Friday, October 5, 2012

89 මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා

ඡායාරූපය  මෙතැනින්

ප්‍රේමය වනාහි පුදුමාකාර මානුෂීය හැගීමකි.. එය මෙන්න මේ යැයි අරුත් දක්වන්නට කිසිවෙකුත් අපොහොසත්ය. සමහරෙකුගේ ජරා ජීර්ණ වී කුණු ගද ගහන ජීවිතය රෝස මල් යහනාවක අතුරා සුවද මලින් සරසන්නට තරම් ඒ ආදරය උතුම්ය... තවත් සමහරෙකු තමන් නියෝජනය කරන සමාජ පන්තියෙන් නෙරපා දිළින්දෙකු /හිගන්නෙකු බවට පත් කලේද මේ කියන ආදරයමය. එක්ටැම්ගෙයක විසූ චිත්‍රාවන්ද... රජකම හැරදා සැඩොල් ලදකට ආලය කල සාලිය කුමරාද , පෙම්කල වරදට මරණ දඩුවම් විදි දස්කොන් ඇමතියාද ලෝකයට පසක් කලේ ආදරයේ ඇති බලපුලුවන්කාර කම නොවේද ?  සැබෑවටම ආදරය යනු කුමක්ද? ජීවිතය ජීවත් කරන්නට ධෛර්යය දෙන්නේ ආදරයද... මම නොදනිමි. එහෙත් එක් දෙයක් දනිමි. ආදරය සොදුරු කල්හි ජීවිතය සොදුරුමය.... සෙනෙහසින් රැකබලා ගත් ආදරය වියෝ වූ කල්හි ජීවිතය අපායකි.

මා මේ කියන්නේ 2003 කාල සමයේ සිදුවූ සත්‍ය සිදුවීමක්.. සිරාගෙ කාමරේ තුලින් කවර දාක හෝ මා මුසා බස් පවසා නැත.  උසස් පෙළින් පස්සෙ පරිගණක ක්ෂේත්‍ර‍යට අදාළව උසස් අධ්‍යාපනය ලබන සමයෙ මටම කියලා කීයක් හරි හම්බ කරන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබුනා... ඒ ආත්ම අභිමානය උදෙසා ඉක්මනින් ස්වාධීන වීම කිය‍න කාරණය නිසා වෙන්න ඇති. ඒ අස්සෙ මටම කියලා ජංගම දුරබණුවක් මිළදී ගන්නත් කාලයක ඉදන් හිතේ තිබුන සිතිවිල්ලත් හේතු වුනා.

දවසක් මගේ මිත්‍රයෙක් මාර්ගයෙන් ලංකාවෙ ප්‍ර‍ධානම පාවහන් නිපදවන ආයතනයක  ශාඛා කළමනාකරුවෙක් හැදිනගෙන ඒ මගින් ඔහුගේ සේවා ස්ථානයේම විකුණුම් කරුවෙක් විදියට තාවකාලික රැකියාවක් කරන්න මට අවස්ථාව හිමි වුනා. ඒ ජා-ඇල ප්‍රදේශයේ... ක්‍රිස්තු භක්තිකයන් වැඩි ව‍ශයෙන් මේ පළාතෙ වෙසෙන නිසා නත්තල් කාලෙට ඇතිවන අධික ඉල්ලුමට සරිලන සේවයක් ලබා දීමට මේ වගේ තාවකාලික සේවකයන්  කීප දෙනෙකු යොදා ගැනීමට ඔවුන් තීරණය කරනවා... ඒ මාස 1 1/2 වගේ කාලයක් සදහා.... මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මට උදා වුනේ.... අධ්‍යාපන කටයුතු සදහා නිවාඩු ගැනීමට හැකි වීමත්, ආකර්ශණීය ගෙවීම් නිසාත් ඔන්න සිරා හා පුරා කියලා අළෙවිකරුවෙකු වුනා.

උදෑසන 9 ට සේවයට වාර්තා කලාට පස්සෙ රාත්‍රී 8 ට තමයි සේවය අවසන් වුනේ. අලුත් පැරණි කියලා භේදයක් නැතුව හැමෝම බොහොම සුහදව සිටි නිසා රැකියා ස්ථානය බොහොම ප්‍රියජනක එකක්. තදබදය අධික වෙන්න කලින් අලුත් අය සේවයට ගන්නෙ තද බදය අධික කාලයට වේගවත් සේවයක් සැලසීමට අවශ්‍ය පුහුණුව ලබා ගන්න. ඒ ඒ මාදිලියෙ පාවහන් අංක 5කින් යුත් කාණ්ඩ අංකයකින් තමයි හදුන්වන්නෙ...පාරිභෝගිකයා යම් මාදිලියක් පෙන්නුවාම එයට අදාළ මාදිලි අංකය තමයි අළෙවි සේවකයා මතක තබා ගත යුත්තෙ.... මේ අංක පිළිවෙලට නෙමෙයි රාක්ක වල ගබඩා කරලා තියෙන්නෙ... ඒ නිසා ඒ ඒ මාදිලි ගබඩා කර ඇති ස්ථානත් මතක තබා ගත යුතුයි... පළමු සති තුන ගෙවෙනකොට පාරිභෝගිකයා පෙන්වන මාදිලිය රාක්ක වල අඩුක් කරලා තියෙන ස්ථාන එක්වරම හොයාගන්න පුලුවන් තරමේ හැකියාවක් ලැබෙනවා.

මෙහි සේවය කල සමයේ බොහෝ විශේෂ පුද්ගලයන් මා හට හමුවුවත් ඒ අතරින් එක් අයෙක් ඉතාමත් සුවිශේෂී වුනා... ඔහු යාචකයෙක්... අපගේ මුල්ම හමුවීමත් සුවිශේෂ එකක්,

ජා-ඇල නගරයේ වෙළද ආයතන වෙත සතිය පුරාම යාචකයන් පැමිණෙන්නෙ නෑ... වෙළද ව්‍යාපාරිකයන් ඒ සදහා දිණයක් නියම කර තිබෙනවා ඒ සිකුරාදා දවස.. මේ නිසාම වෙනත් නගර වල යාචකයනුත්         සිකුරාදාට ජා-ඇලට ඇදෙනවා කියලා සමහර අය කියනවා. සිකුරාදා උදෑසන සිට වරින් වර දවස පුරා පැමිණෙන යාචකයන් සීයකට පමණ රුපියලේ කාසි ලබා දීමට ඊට පෙර දිණ බැංකුවෙන් රුපියලේ කාසි ගෙනත් තබා ගන්නවා....

ජරාජීරණ වූ ශරීර කූඩු එක්ක කුණු ගද ගහන අපිරිසිදු ඇදුම් ඇදගෙන නොයෙක් මැසිවිලි කියමින් සිගමන් යදින මේ පිරිස අතර ඉතාමත් පිරිසිදු ලෙස ඇදුම් අදින , ප්‍රිය මනාප යාචකයෙක් සිටියා... ඔහුගේ හිසකෙස් නත්තල් පප්පාගෙ වගේ සුදුම සුදුයි. ගුඩ් මෝනින් අපේ සර්ලාට කියමින් පැමිණෙන මේ පුද්ගලයා වෙත ආයතනයේ පැරණි අයත් අනෙක් යාචකයන්ට නැති සැළකීමක් දක්වන බව මම දැක්කා... ඒ නිසාම  මේ පුද්ගලයා එක්ක කථා බහ කරන්න ආශාවක් මටත් නොදැනීම ඉපදිලා....

ඔන්න දවස උදා වුනා ... ගුඩ් මොර්නින් සර් කියද්දි මම රුපියලේ කාසියත් අරන් ඔහු හමුවට ගියා... ඔය කියන දවස් වල සිරා ඉංග්‍රීසි ඉගෙනගන්න හරිම උනන්දුයි... පාරිභෝගිකයකු ඉංග්‍රීසියෙන් කථා කලොත් ඔහුට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දෙන පුරුද්දකුත් මට තිබුනා...ඊට අමතරව විදේශිකයෙක් පැමිනියොත් ඔහුගේ සහායට අනිත් උන් තල්ලු කලෙත් මාවම තමා.... මෙන්න මේ නිසා  මේ යාචක තුමා එක්ක මම ඉංග්‍රීසියෙන්ම කථාවට මුල පිරුවා.... අන්න එතන තමා මට වැරදුනේ.... ඔහු පුදුමාකාර ලෙස චතුරව ඉංග්‍රීසි කථා කරනවා... නියමම වචන උච්චාරණ සමග සුද්දෙක් වගේම... මට එතෙක් කල් ඉංග්‍රීසි උගන්වපු කිසිදු ගුරුතුමෙක් ඒ තරම් චතුර ඉංග්‍රීසි කථිකයො වුනේ නෑ.... ඒ වගේම ඇමරිකන් සුද්දෙක් වගේ කථාව බොහොම වේගවත්... ඔය අව් අස්සෙ ආයෙ පුරුදු සිංහලටම බැහැලා මම යන්තම් ජාමෙ බේර ගත්තා...

මෙන්න මේ සිද්ධියෙන් පස්සෙ මේ අද්භූත යාචකයා කවුද කියලා දැනගන්න මට තිබ්බෙ පුදුම පිපාසයක්... ඒ නිසාම මා සමග සේවය කල ආයතනයේ පැරණි සේවකයකුගෙන් ඔහු පිළිබද තොරතුරු විමසා සිටියා...

මල්ලි ඔය අන්කල් පුදුම චරිතයක්.... ඉස්සර බාටා එකේ ඉංජිනේරුවෙක්ලු  (පසුව මා දැනගත් පරිදි යාන්ත්‍රික ඉංජිනේරුවෙක් හෙවත් Mechanical Engineer ) එයා කවදාවත් ජරාවට අදින්නෙ නෑ... කසිප්පු බීගෙන කෑගහන්නෙ නෑ... ඔය හිගාකන්නෙ තමන්ට කෑමට යමක් අරගන්න... ඒ කිව්වෙ උදේ වරුවෙ හිගාකන්නෙ උදේට කන්න... ඊළගට දවල්ට කන්න .. ඔන්න ඔය වගේ ... තමන්ට කෑමට සරිලන මුදලක් හොයා ගත්තට පස්සෙ හිගාකන එක නවත්තනවා... අනිත්  උන් වගේ දවස පුරාම හිගා කන්නෙත් නෑ...

හරිම පුදුමයි... එහෙම වෙන්න හේතුව මොකක්ද ? මම ඇහුවා

ලව් හුටපටයක් නිසා පිස්සු හැදුනා කියලා තමයි මම අහලා තියෙන්නෙ...  ඔහු කිව්වා...

කථාව ඇත්තකි... අපේ ප්‍ර‍දර්ශනාගාරය ඉදිරිපිට තිබූ එම ආයතනයට අයත් ප්‍ර‍දර්ශනාගාරය වෙත පැමිණෙන ඉහළ නිලධාරීන් ඔහු සමග කථා බස් කරන දසුන් මා නොයෙක් වර දැක ඇත.

මගේ තාවකාලික රැකියාවේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩු වෙමින් තිබුනා....
දිණක් හිටි ගමන් සතියේ දිණක උදේ වරුවෙ  අද්භූත යාචකයා පැමිණියා

පුංචි මහත්තයො ගුඩ් මෝනින්.... මට උදේට කෑම එකක් ගන්න තවමත් සල්ලි හොයා ගන්න බැරි වුනා...  තරහා නැතුව මට රුපියල් පණහක් දෙන්න මම හැන්දෑවට ගෙනත් දෙන්නම්.....

ඔහුගේ ඉල්ලීම මම සැනෙන් ඉටු කලා.... එදා සැන්දෑ යාමයේ ඔහු නැවතත් පැමිණියා ඒ මගෙන් ණයට ගත් රුපියල් 50 ලබා දෙන්න...

මෙන්න මහත්තයගෙ සල්ලි.... ගොඩාක් ස්තූතියි....
ඔහුගෙ මහලු නෙත් මා වෙත ලොකු කථාවක් කියද්දි ඔහුගෙ මුවෙන් එසේ කියැවුනා...

සිරා ජීවිතයේ පළමු වතාවට ප්‍ර‍තිපත්ති ගරුක යාචකයෙක් දැක්කෙ එදා...

හිගන දවස හෙවත් සිකුරාදා දිණයට ඔහු වැඩි වේලා කථා බහට රැදෙන්නෙ නෑ... ඒ එදාට ඔහුට යමක් පහසුවෙන් උපයාගත හැකි දිණය නිසයි... ඒ නිසා ඔහු පිළිබද මගේ කුතුහලය සංසිදවා ගන්න ගතවුන දිණ ගනනත් වැඩි වුනා... ඔහු මහා මාර්ගයේ ගමන් කරනු දුටුවද අප හමුවට පැමිණියේ සිකුරාදාට පමණයි.

දිනක් ඔහු අපේ ප්‍ර‍දර්ශනාගාරය ඉදිරියෙන් යමින් සිටියා...  සිකුරාදාට පමණක් අපවෙත පැමිණෙන හෙතෙම එදා සිකුරාදා දිණයක් නොවූවත් අප කිට්ටුවට ඇවිත් .....
ප්‍ර‍දර්ශනාගාරයේ සිවිලිමේ සවිකර ඇති ස්පීකරයෙන් එළියට පැනලා අවකාශයේ පාවෙන ගීතයකට සාවධානව ඇහුම් කම් දෙමින් සිටියා....

ඒ අවස්ථාව ගැණුම්කරුවන් නැති විවේකී වේලාවක් වෙච්ච නිසාම සිරා සිටියේත් ඔහු සමග කථා බස් කල හැකි වාතාවරණයක... මම ඔහුට කිට්ටු වුනා... ඔහු මා නොදුටු සෙයකින් ගීතය ශ්‍ර‍වණය කරමින් සිටියා පුදුමාකාර සංයමකින්.....ඒ මිල්ටන් මල්ලවආරච්චි ගේ බොහොම සංවේදී විරහා ගීතයක්.
යුගයේ අසහාය ගායකයා මිල්ටන් මල්ලවාරච්චි
ඡායාරූපය  මෙතැනින්

ගීතය අවසන් වනවාත් සමගම ඔහු පොඩි එකෙක් වගේ ඉකිගසා හැඩුවා... අවු රශ්මියට කලු වූ මුහුණේ  යට ගිය ඔහුගේ නෙත් කෙවෙනි තුලින් කදුලු බිදු එකින් එක පෙළට ගලා එද්දි සුදුම සුදු කෙස් රොද සුළගට ඒ මේ අත වැනුනා... ඒ අවස්ථාවේ මටත් ඔහු පිළිබද  පුදුමාකාර සංවේදී බවක් දැනුනා....

එක් අතකින් කදුලු පිහදාන ගමන් ඔහු මගෙන් ඇසුවෙ සින්දුව කිව්ව කෙනා දන්නවද කියලයි...

ඔව් මම දන්නවා ඒ මිල්ටන් මල්ලවාරච්චි නෙ...

අන්න හරි... ඒ මගේ හොදම යාලුවෙක් ... අපි ඉස්සර එකටමයි හිටියෙ. මිනිහා ලොකු අතු අල්ලන්න ගියේ නැත්නම් අදත් ජීවත් වෙනවා... ඔහු එහෙම කිව්වා... මේ උපන් කදුල මිතුරා වෙනුවෙන්ද / ගීතයෙන් කියවුනු පරිදි බිදුනු පෙමක් පිළිබද මතක සටහනක් නිසාදැයි මට සිතාගත නොහැකි වුනා.

සෑහෙන දිනක්  පිළිතුරු සෙවූ පැනය මා ඔහුට යොමු කලා... ඇයි හිගාකන්න පටන් ගත්තෙ ?

ඔහුගෙ කදුලු පිරි දෙනෙතින් පුදුමාකාර දීප්තියක් පළ වුනා...  මුහුණේ ඉරියව් බොහෝ උද්යෝගිමත් වුනා...

මම ශාන්ති කියලා දෙමළ කෙල්ලෙක්ට ආදරය කලා... එයත් ඒ විදියට මට ආදරය කලා... අපේ පවුල වලව් පැළැන්තියෙන් ආපු එකක්... මගේ දෙමව්පියන් වගේම එකම නංගිත් එයා දෙමළ නිසා මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධ වුනා... ශාන්තිගෙ දෙමාපියොත් මේ සම්බන්ධෙට විරුද්ධ වෙලා එයාව බලෙන්ම කෙනෙක්ට කසාද බන්දලා දුන්නා.... එතනින් පස්සෙ මට මේ ජීවිතයේ කිසිම දෙයක වටිනාකමක් දැනුනෙ නෑ.... මම ඉංජිනේරුවෙක් විදියට වැඩකල තැනින් අයින් වුනා... මට ජීවිතයට බලාපොරොත්තුවක් තිබුනෙ නෑ... ශාන්ති නැති ජීවිතය ඇතුලේ මට මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා හිතුනා... ඒ හින්දා මම පාරෙ ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්තා.... ඒ ඇවිදිල්ල තමයි අවුරුදු ගාණක් තවමත් මේ ඇවිදින්නෙ...

ඔය අතරතුර මගේ දෙමව්පියො නැතිවුනා.... එකම නංගි කසාද බැදලා ඔස්ට්‍රේලියාවෙ පදිංචි වුනා... අපි ජීවත් වුන ගෙදර කෝට්ටෙ පැත්තෙ  තියෙන්නෙ. තාත්තා මැරෙන්න කලින් ඒක මගෙ නමට ලියලා.... ඒක අදටත් මගෙ නමට තියෙන්නෙ.... මම ළගකදි ඒ පැත්තට ගියේ නෑ.... ගිය අවුරුද්දෙ ලංකාවට ආපු නංගි මාව හොයාගෙන ඇවිල්ලා කථා කලා.... ඒ සමගින් ඔහුට සෑහෙන තරමේ තරහක් ඇති වූ බවක් දක්නට ලැබුනා... එයාටත් එයාගෙ අයියව දැනුයි මතක් වෙලා තියෙන්නෙ...ඔහු එහෙම කිව්වා...

අද මට මේ ජීවිතයෙ නැතිවෙන්න දෙයක් නෑ... තිබුනොත් කනවා.. නැත්නම් නිකං ඉන්නවා... මැරෙන දවසක පාරෙම මැරෙයි... කුණු ගද ගහන නිසා කවුරු හරි වළලලා දායි....
එහෙම කිව්ව ඔහු මගෙන් සමුගත්තා....

ඒ සමුගැනීමෙන් පස්සෙ දිණ කීපයක් ඔහුව දකින්නට ලැබුනත් මගේ තාවකාලික රැකියාව අවසන් වීම නිසා නැවත කිසිදිණක ඔහුව දකින්නට ලැබුනේ නෑ... තවමත් ඔහු ජීවතුන් අතර සිටින්නටත් පුලුවන්...

මිල්ටන් මල්ලවාරච්චි ගේ නමත් මේ කථාවට ඈදුන නිසා ඔහු පිළිබදවත් යමක් කියන්නට මට සිත්වුනා...

සිංහල ගීත ක්ෂේත්‍ර‍ය අතික්‍ර‍මණය කල ලයාන්විතයා ඔහුය. නොයෙක් කෙණෙහිලි කම් මැද ඉන්ද්‍ර‍ඛීලයක් මෙන් නැගී සිටියේද ඔහුය. සිංහල විරහ ගීතය කදිම තැනකට ඔසවා තබා විරහා ගින්නෙන් දැවෙන උන්ගේ හදවත් සුවපත් කලේ ඔහුය. ඉන්පසු නොයෙක් උන් සැබෑ ජීවිතයේදී අත්දැකීම් නැති මුත් බලහත්කාරයෙන් අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගනිමින් විරහ ගී යැයුවද ඒ එකෙකු වත් මිල්ටන් මල්ලවාරච්චි තරම් ජනතාවගේ හදේ ලැගුම් ගත්තේ නැත. මිල්ටන් වෙනුවෙන් බොහෝ ගීත එදා රචනා කලේ කරුණාරත්න අබේසේකරයන්ය.

සැබෑ ජීවිතයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන් මිල්ටන් විරහා වේදනා හදුනන උන්ගේ හදවතට දැනෙන්නට ගායනා කළේය. ගුවන් විදුලි ගායකයන් ශ්‍රේණි ගත කිරීමේ  පරීක්ෂණයෙන් කුහක ලෙස අසමත් කලත් උත්සාහය අත්නොහැර ගායකයකු වූවා මෙන්ම ලංකාවේ කැසට් පටයකට ගායනා කල පළමු ගායකයාද වූයේය.

මිල්ටන්ගේ ආදර කථාවද සිගන තෙමේගේ මෙන්ම කදුලක් වූ එකක්ය... මිල්ටන් සිය වේදනාව ගීත බවට පත්කරද්දී අනෙකා පාරක් පාරක් ගානේ ඔලුව හැරුණු අත ගමන් කලේය..

එහෙත් දෙදෙනාම සිය පණ මෙන් ආදරයට ආදරය කල උන් බව පැහැදිලිය. මා පාසලේ අ.පො.ස සා/පෙ ලියූ වසරේ පන්ති භාරව සිටියේ ගුරු මෙනෙවියකි. වයස අවුරුදු 40 කට ආසන්න වුවත් ඇය අවිවාහක වූවාය.  මිල්ටන් ඇගේ ප්‍රියතම ගායකයා වූ අතර ඔහුගේ අභාවය සැලවූ දිණ ඇය මහත් සංවේගයට පත්ව අපට උගන්නන්නට පවා පැමිණියේ නැති බව මට හොදට මතකය. ඇයද ආදරයේ විරහව විදි කෙනෙක් විය යුතුය. නොයෙක් රස අතර විරහවද රසයකි.  බොරුවට විරහව ඇගට ගත් නූතන ගායක ගිරව්  විරහ ගී තලු මරති. එහෙත් තවමත් අංක එකේ විරහ ගීත මිල්ටන් මල්ලවාරච්චිගේය. සිය හදවත විනිවිද ගිය දුක්ඛ දෝමනස්සයන්  ආත්මීය හඩකින් රසික කැළ වෙත ඉදිරිපත් කිරීම එයට හේතුව විය හැකිය.


මට ඔබෙන් අසන්නට ඇත්තේ එකම පැනයකි...
සිය පණ මෙන් ඉතා  දැඩිව තවත් කෙනෙකුට ආදරය කිරීම මෝඩ කමක්ද ?


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

මිල්ටන් මල්ලවාරච්චි නම් සොදුරු ගායකයා ගැන මා වැඩි දුර විස්තර කතා නොකලේ බ්ලොග් අවකාශයේ  සහෝදර බ්ලොග් කරුවකු වන චමී 4 යූ  ඒ ගැන ලස්සන ලියමනක් ළගපාත දිණෙක ලියා තිබූ නිසාවෙනි. කාලයේ වැලිතලාවට යටව තිබූ  යාචකයා සම්බන්ධ මේ සිදුවීමද මට සිහිපත් වූයේ මේ ලියමන දැකීමෙනි.

චමී ලියූ  පෝස්ටුව මෙතැනින් කියවන්න

මගේ තාවකාලික රැකියාවෙන් ලද ආදායමෙන් කොටසක් යොදා මා හා පුරා කියලා මිළදී ගත්ත ජංගම දුරබණුව  මෙන්න මෙහෙමයි. ලැබෙන ඇමතුම් තත්පර 30 ක් නිකං දෙන සිම්පතක් රුපියල් 2500 කට ගත්තෙ. මගේ යාලුවන් අතරින් ඉස්සෙල්ලාම දුරබණුවක් ගත්තෙ මම නිසා සමහර උන් ආදරීට කථා කරන්නත් SMS ගහන්නත් මගේ දුරබණුව ඒ කාලෙ පාවිච්චි කොලා.... උන්ගෙ සතුට වෙනුවෙන් මගේ රුපියල් ශත මම අමතක කලා...

Monday, October 1, 2012

76 ගැමුණු / තිස්ස ඉතිහාසගත සහෝදර හබය

සිරා.... පොරොන්දුවක් තියෙනවා නේද ඉටු කරන්න ?

සිරාගෙ කාමරේ පාඨකයෙක්  ඉටු කිරීමට පමාවූ පොරොන්දුවක් පිළිබද මතක් කර මා හට ඊයක් එවා තිබුනේ ඉහත පරිදි ආරම්භ කල සටහනකිනි. මා මේ පොරොන්දුව වූයේ චාරිකා සටහන් 3 වන කොටසේදීය.  දෙමට මල් විහාරය පිළිබද විස්තර කිරීමේදී මේ කියන්න යන සහෝදර හබයද මතුවිය.  එදා එම සටහන මා නිමාකලේ  ගැමුණු සහ තිස්ස අතර වූ හබය පිලිබද මතුවට ලියන්නේ යැයි පවසමිනි.

රුවන් වැලි සෑය අසල ඇති දුටුගැමුණු රජුගේ පිළිරුව
ඡායාරූපය  http://www.google.lk/imgres?um=1&hl=en&sa=N&biw=1366&bih=643&tbm=isch&tbnid=nNvXo6K0J7XPeM:&imgrefurl=http://lankapura.com/2009/06/king-dutugemunu/&docid=IK--V3yvf1OcBM&imgurl=http://lankapura.com/wp-content/uploads/2009/05/30-stone-figure-of-king-dutugemuna.jpg&w=760&h=563&ei=xRhpUMf1J8XsrAe-lYCQDA&zoom=1
ගැමුණු යන නම දුටු පමණින් සමහර විට ඔබ සිතන්නට ඇත්තේ කැලණිය සිය වාසභවන කරගත් ලෝකල් දුටුගැමුණු පිළිබදවද ? එසේ නම් ඔබට වැරදීමක් සිදුවී ඇත. මා මේ කථා කරන්නට සූදානම් වන්නේ එළාර රජුගෙන් රට බේරා ගෙන තුන් සිංහලය එක්සේසත් කල දුටුගැමුණු නම් හෙළයේ අග්‍ර‍ගණ්‍ය මහා රජතුමා සහ එතුමාගේ සහෝදරයා වූ  සද්ධාතිස්ස රජතුමා  අතර වූ ගැටුම පිළිබද කරුණුය. බුද්ධ වර්ෂ 161 සිට 137 දක්වා රජකම් කර ඇති දුටු ගැමුණු රජු දුට්ඨ ගාමිණී අභය සහ ගාමිණී අභය ලෙසද හදුන්වා ඇත.

මෙම සහෝදරයන්ගේ  පියා වූයේ කාවන්තිස්ස රජතුමාය. මව විහාර මහා දේවියයි. එළාර නම් ආක්‍ර‍මණික රජෙකු අනුරාධපුරය රාජධානිය කර ලංකාවේ රාජ්‍ය කරන සමයේ කාවන්තිස්ස රජතුමා රුහුණේ මාගම සිය රාජධානිය බවට පත්කර ගෙන රජකම් කලේය.

ඉතාමත් දූරදර්ශී රජෙකු වූ කාවන්තිස්ස රජතුමා  එළාර රජතුමා සමග එකවර සටනට නොගොස් තම යුධ ශක්තිය ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ගොඩනංවා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව රුහුණේ ශක්ති සම්පන්න මිනිසුන්ගෙන් සමන්විත විශාල හමුදාවක් ගොඩනැගූ අතර යුද්ධයකදී අවශ්‍ය වන යුධ උපකරණ නිපදවීමට කර්මාන්ත ශාලා පවා ආරම්භ කර තිබිනි. උතුරින් පැමිණිය හැකි සතුරු බලවේග වලට මුහුණ දීමට මහවැලි ගග දිගේ තැනින් තැන ආරක්ෂාව තර කල අතර විහාර මහා දේවියට නොව වෙනත් බිසවකට දාව උපන් දීඝාභය නම් කුමරා වෙත දේශසීමා ආරක්ෂා කිරීමේ වගකීම පවරා තිබුනි.

යුද්ධය ජයග්‍ර‍හණය කිරීමට ජනතාව අතර සමගිය ඉතා අවැසි බව තේරුම් ගත් රජතුමා  ඒ අනුව කටයුතු කල අතර  ඒ හැගිම පුතුන්ගේ සිත් තුලටද කා වැද්දවීමේ අරමුණින් කිසිදු දිණෙක එකිනෙකා  සමග සටනට නොයන බවට ඔවුන්ගෙන් දිවුරවා  පොරොන්දු ලබා ගත්තේය. මහ ජනයා සම්බන්ධ වැඩ කටයුතු වලදී සංඝයා වහන්සේලාට කල හැකි බලපෑමේ තරම පිළිබද අවබෝධයක් තිබූ රජතුමා පැවිදි උතුමන්ට ඉතා ගෞරවයෙන් සැළකුම් කල අතර එසේ හැසිරීමට තම පුතුන්ටද අවවාද කළේය. උතුරු ප්‍රදේශයෙන් එල්ලවිය හැකි සතුරු ප්‍ර‍හාර පිළිබද සුළුවෙන් නොතැකූ කාවන්තිස්ස රජතුමා සුදුසු කාලයට පෙර සටනට එළඹීමෙන් පරාජයට පත්වුවහොත් සිය නැතිවී ගිය උරුමය ලබා ගැනීමට තිබූ එකම අවස්ථාච ගිලිහී යා හැකි යැයි සිතූ නිසා නියම අවස්ථාව එළඹෙන තුරු අවශ්‍ය සම්පත් රැස් කරගනිමින් කල්මැරීය.

දුරදිග බලා කටයුතු කල පියරජතුමාගේ මේ කටයුතු ගාමිණී අභය කුමාරයා දුටුවේ බියසුළු කමක් ලෙසය. ළදරු වියේදී පවා පියාගේ අවවාද ඔහු නොරිස්සූ බව මහාවංශයේ සදහන් වෙයි. දෙමළුන් හා සටන් නොකරන ලෙස පොරොන්දු වන ලෙස කාවන්තිස්ස රජතුමා  කුඩා ගාමිණී අභය කුමරාගෙන් ඉල්ලා සිටීමේ ප්‍ර‍තිඵලයක් ලෙස  සිය යහන මත වකුටු වී නිදාගත් අතර අත පය දිග හැර නොනිදන්නේ මන්දැයි විමසූ සිය මෑණියන් වෙත  උතුරින් හැඩි දෙමළු සහ දකුණෙන් මහ මුහුද මා වළකද්දී කෙසේ නම් මා සුවපහසු ලෙස සැතපෙම්ද යනුවෙන් මේ පැහිච්ච කුමරා පිළිවදන් සපයා ඇත. හමුදාවක් රැස් කර පුහුණු කිරීමෙන් අනතුරු දෙමළ සතුරන් සමග සටනට යාමට 16 වියැති ගාමිණී අභය කුමරා පිය රජුගෙන් අවසර ඉල්ලා සිටියද නිසි කල එළඹ නැතැයි එම ඉල්ලීම ඉවත දැමූ  කාවන්තිස්ස රජතුමා වෙත සිය අප්‍ර‍සාදය පල කළේ  පිය රජතුමා වෙත ගැහැණු ඇදුම් පැළදුම් යැවීමෙනි. මේ සිදුවීම මහාවංශය, සිංහල ථූපවංශය සහ රාජාවලිය යන ඉපැරණි වංශ කථා වල සදහන්ය.

මෙයින් කෝපයට පත් කාවන්තිස්ස රජතුමා සිය වැඩිමහල් පුත් කුමරා වන ගාමිණී අභය හැකිල්ලකින් බැද තබන ලෙස අණ කළේය. එහෙත් කුමරා රාජ ආඥාව ක්‍රියාත්මක වීමට පෙර කොත්මලේ පෙදෙසට පළාගොස් රජකමට පත්වන තුරු වෙස් වලාගෙන ජීවත් වූ බව කියනු ලැබේ.  ඔහුගේ මේ අලුත් නවාතැන පිළිබද විහාර මහා දේවිය දැන සිටි අතර, එතුමිය විසින් රජතුමාට හොරෙන් නිතරම පණිවුඩ කරුවන් ලවා සිය වැඩිමහල් පුතු පිළිබද සොයා බැලූ බවටද සාධක ඇත. මේ පිය පුතු ගැටුමෙන් අනතුරුව ගාමිණී අභය කුමාරයා දුට්ඨ ගාමිණී හෙවත් දුටු ගැමුණු ලෙස හැදින්වීමට පටන් ගෙන ඇත. සේරු රටේ බලය පතුරා සේරුවිල දාගැබේ ධාතු නිධානය කළේ කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසාන භාගයේ බව ධාතුවංශයේ සදහන් වන නිසා මෙම සිදුවීම සිදුවූයේ කාවන්තිස්ස රජතුමාගේ  පාලන කාලයේ අවසාන භාගයේ බව සිතිය හැක.

කාවන්තිස්ස රජතුමා මියගියේ දුටුගැමුණු කුමරා කොත්මලේ ප්‍රදේශයේ සැගවී සිටින විටය. මේ පුවත ඇසූ සද්ධාතිස්ස කුමරා දිගාවැවේ සිට වහාම මාගමට පැමිණ මව් බිසව හා මංගල හස්ති රාජයා රැගෙන නැවතත් දිගාවැවටම ගියේය. ඇමතිවරු පියරජු මිය ගිය බව දුටුගැමුණු කුමරාට දන්වා යැවූ අතර මාගමට පැමිණි පසු හෙතම රජකමට පත්කර ගන්නා ලදී. මංගල හස්තියා තමා වෙත එවන ලෙස දුටුගැමුණු රජු සිය මලණුවන් වෙත දන්වා යැවූ අතර එය නොසලකා හැර සද්ධාතිස්ස කුමරා දිගාවැවට වී සිටි අතර මව් බිසවටද මාගමට එන්නට ඉඩ නුදුන්නේය. මේ හේතුවෙන් සොයුරන් දෙදෙනා එළිපිටම එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගත්හ. යම්හෙයකින් මාගේ ප්‍ර‍ත්‍ර‍යන් එකිනෙකා සමග සටන් වැදුනහොත් කිසිවෙකුට හෝ සහාය පළ නොකරන ලෙස මහළු කාවන්තිස්ස රජතුමා ජීවතුන් අතර සිටියදී මහා සංඝරත්නය/ ඇමතිවරු/ සෙන්පතියන් පොරොන්දු කරවාගෙන සිටීම භාග්‍යයක් වූ අතර ඒ නිසාම ඔවුන්ට සිදුවූයේ තම තමන් යටතේ සිටි සුළු හේවා කණ්ඩායම් යුධ බිමට යවා සිය ආරවුල් බේරුම් කර ගැනීමය.

මෙලෙස මෙම දෙපාර්ශවය අතර පළමු සටන ඇතිවූයේ චුල්ලංගණිය පිට්ඨි (සුලුගුණාපිටිය)  නම් ස්ථානයේය. වර්තමානයේ මෙම පෙදෙස යුදගනාව ලෙස සමහර ඉතිහාසඥයන් දක්වයි. මෙම සටනෙන් ජය හිමිවූයේ සද්ධාතිස්ස කුමරාගේ පාර්ශවයට වූ අතර දුටුගැමුණු රජතුමාට සිදුවූයේ තමාට ලැදි එක් අනුගාමිකයකු අහිමි කරගෙන තමා ලුහු බැද ආ උන්ගෙන් ගැලවී මාගමට පලා යාමටය.

කෙසේ හෝ තවත් මද කාලයක් ඇවෑමෙන් සිය බල පිරිස පුළුල් කරගෙන නැවතත් සිය මලණුවන් හා සටනට දුටුගැමුණු රජු පිටත් විය.  දක්ෂ අශ්වාරෝහකයකු වූ එතුමා දෙවැනි සටනින් ජය ගත් අතර සද්ධාතිස්ස කුමරාට සිදුවූයේ නින්දිත පලා යාමකටය... ඒ සිද්ධිය මහාවංශයේ විස්තර වන්නේ මෙසේය.

ඒ තෙමේ මාගම් ගොස්  හැටදහසක් බලසෙන් ගෙන මළු හා නැවත යුධ පිණිස ගොස් යුධ කළේය. රජ තෙමේ වෙළඹ පිටද තිස්ස කුමර කඩොල් ඇතු පිටද නැගී සම්මුඛ වූහ. එකල්හි දෙබෑයෝ යුධ කරන්නාහු. යුද්ධයේදී රජ තෙමේ ඇතු ඇතුලු කොට වෙළඹ මඩුල්ලක් කළේය. එසේද අවසර නොදැක පන්වන්නට සිතීය. වෙළඹ ඇතුමත්තෙන් පන්නවා සහෝදරයාගේ  මස්තකයෙන් පිට සන්නාහය කැපෙන පරිද්දෙන් තෝමරය දැමීය. ඒ යුද්ධයෙහි කුමාරයාගෙ නොයෙක් දහස් ගණන් මිනිස්සු යුධ කෙරෙමින් වැටුනෝය. මහත් බලයද බිදුනේය. ඇතරුවා විකල බැවින් ස්ත්‍රිය මා මතුයෙන් පැන්නවූයැයි කිපුනු ඇත් තෙම ඔහු පාලනය කෙරෙමින් එක් රුකක් වෙතට ගියේය. කුමරු රුකට නැගීය. ඇත් තෙමේ හිමියා වෙත ගියේය. ගැමුණු රජ ඇතු නැගී පලායන කුමරහු ලුහු බැන්දේය. ඒ කුමර විහාරයකට වැද මහ තෙරුන් ගෙට වන්නේය. කුමාර තෙමේ බෑයාට භයින් යට හැද වැදහොත්තේය. මහා ස්ථවිර තෙම ඒ ඇද සිවුර ඇසුර සේක. රජතුමා පසුපස්සෙන් ගොස් තිස්සයා කොහේදැයි විචාළේය. මහ රජාණෙනි ඇදෙහි නැතැයි ස්ථවිර තෙම රජ හට කීවේය. මිහිපල් තෙමේ යට හැද යයි දැන එයින් පිටත්ව වෙහෙර සිසාරා මුර තැබීය. ඒ කුමරහු  වනාහි කුරු ඇදක හොවා මත්තෙහි සිවුරකින් වසා ළදරු භික්ෂූහු සතර දෙනෙක් ඇද කකුල් අල්වා ගෙන මළ භික්ෂූ කෙනෙකු  මෙන් බැහැර ලූය. මිහිපල් තෙමේ ඒ ගෙනයනු ලබන්නාහු  හැදින
තිස්සය.....තෝ කුලදේවතාවන් හිස හිදගෙන යනු නොලබ කුලදෙවියන් අතින්  මාගේ පැහැරගැන්මක් නැත්තේය. තෝ කොයි දවසක් කුලදෙවියන් ගුණ සිහිකරවයි මෙසේ කීය.

එහි සංෂිප්තය සරළ බසින් මෙසේය.

දක්ෂ අසරුවෙකු වූ දුටුගැමුණු රජු සිය සොයුරා  සමග සටන් වදින්නට ගොස් ඇත්තේ වෙළඹක පිටය. මේ වෙළඹ කඩොල් ඇතු මතින් පැන්නවීමෙන් සිදු වූ මදිපුංචිකම නිසා කෝපයට පත් කඩොල් ඇතු එය සිය ස්වාමියා වූ සද්ධාතිස්ස කුමරුගේ දුර්වලතාවක් යැයි සිතා ඔහුගේ අණට අකීකරුව රජු සමග එක්තර ගසක් සමීපයට ගොස් ඇත. රජු ගසට නැගි පසු හස්තියා තම ස්වාමියා ලෙස දුටුගැමුණු රජතුමා පිළිගෙන ඔහු වෙත ගොස් ඇත. ඇතු මගින් තමා ලුහු බදින සහෝදරයාගෙන් බේරිමට සිතා අසල වෙහෙරක නායක හිමිගේ ඇද යට සැගවී සිටි සද්ධාතිස්ස කුමරු එළියට පැමිණෙන තුරු දුටුගැමුණු රජතුමාගේ සේනාව රැකවල් ලා සිටියෝය. මේ අවස්ථාවේ කුමරු විහාරයෙන් පිට කිරීමට උපායක් කල්පනා කල නායක හිමියන් ඔහු කුඩා ඇදක සතපවා සුදු රෙද්දකින් වසා මියගිය හිමිනමක සේ පෙනෙන ලෙස කුඩා හිමිවරුන් සතර දෙනෙකුගේ කර මතින් පන්සල් භූමියෙන් ඉවතට යවන්නට කටයුතු කලහ. මේ දෙස උපහාසයෙන් බලා සිට ඇති දුටුගැමුණු රජතුමා තිස්ස උඹ කුල දේවතාවුන් හිස මතින් යනවා නේදැයි  පවසා ඇත.

බුත්තල මාළිගාවිල මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගමන් කලාම හමුවෙන දෙමටමල් විහාරය තමයි සද්ධාතිස්ස කුමරා එදා සැගවී සිට ඇති විහාරය. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ පොල් වගා ජනපදයේ ඔවාගිරිය කියන විහාරස්ථානය මේ දෙදෙනා සමගි කිරීමට මහා සංඝරත්නය  එදා ඔවදන් දුන් ස්ථානය ලෙසත් සමහර ඉතිහාසඥයන් විශ්වාස කරනවා. ඔවාගිරිය යන නමද මේ අර්ථයෙන් බිදී ආ එකක් ලෙසයි සැලකෙන්නෙ. මේ විහාරස්ථාන පිළිබද තොරතුරු සිරාලියූ චාරිකා සටහන් 3 හා 4 කොටස් වල ලියැවී තිබෙනවා...

කුමාර වරුන් දෙදෙනා විරසකව කලක් සටන් කලත් පසුකාලීනව මේ දෙදෙනා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රීලංකා දිපය  මුලුමනින් සතුරු ග්‍ර‍හණයෙන් මුදවා ගැනීමට හැකිවූ අතර රට ජාතියට සහ ආගමට විශාල සේවාවක් ඔවුන් අතින් ඉටු වී තිබෙනවා...දුටුගැමුණු රජතුමා විසින් ඉදිකල මහානර්ඝ ඉදිකිරීමක් වන රුවන් වැලි සෑයෙ ඉදිකිරීම් නිමකිරීමට  පෙර එතුමා රෝගාතුර උනා. එතුමාගේ අවසාන ප්‍රාර්ථනය වූයේ වැඩ අවසන් කල දාගැබට වන්දනා කොට අවසන් හුස්ම හෙළීමයි. මේ අවස්ථාවේ එම කාර්යය සාර්ථක කර ගැනීමට සහාය වන සද්ධාතිස්ස කුමරා දාගැබේ ඉදි නොකල කොටස් සුදු රෙදි වලින් ආවරණය කොට වැඩ නිමවූ පසු පෙනෙන පරිදි දක්වා ඇති අතර ඒ දුටු  දුටු ගැමුණු රජතුමා මහත් ප්‍රීතියෙන් දාගැබ වන්දනා කරමින්ම අවසන් හුස්ම හෙලූ බවත් මරණින් පසු දිව්‍ය රාජයකු වී තුසිත දෙව්ලොව උත්පත්තිය ලැබූ බවත් මහා වංශයේ සදහන් වෙයි. රජුගේ ඇවෑමෙන් සද්ධාතිස්ස රජතුමා දාගැබේ වැඩ අවසන් කලහ.


දුටුගැමුණු රජතුමා පිළිබද තවත් අගනා ලිපියක් මෙතැනින්

මොණරාගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම පිළිබද වටිනා තොරතුරු රැසක් මෙතැනින්


මාස ගණනක් පුරා සැමගේ අවධානයට ලක්වූ බස් රේඩියෝ සම්මාන උළෙල අවසානයේ ජයග්‍ර‍හණ ලැබූ සහෝදර බ්ලොග් කරුවන් වෙත මගේ උණුසුම් සුභ පැතුම් !



මම සයිබරයේ අලුත් මිතුරා සිරා...

ප.ලි

පුරාවිද්‍යා උපාධිධාරී මාගේ අතීත පෙම්වතිය වෙත  ආචාරය පිරිනමමි. 

ඉතිහාසය පිළිබද තොරතුරු  ඇය විසින් මා හට නැවත වතාවක් සපයා දුන්නාය.

දුටු ගැමුණු රජතුමාගේ සිතුවමක් Google හි සොයන විට මෙය දක්නට ලැබුනා..










Monday, September 24, 2012

108 මාලි බේරාගන්න හැමෝම එන්න

අලියා හෙවත් හස්තියා යනු ගොඩබිම වෙසෙන විශාලම සත්වයාය... එය අද කාලයේ මොන්ටිසෝරි දරුවාද දන්නා කාරණයකි. අලියා තරම් මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර‍ වූ තවත් සත්වයෙක් සිටී දැයි විටෙක මට සිතේ.... අලියා සම්බන්ධව අප අසා ඇති ඇතැම් සිදුවීම් බුදුරජානන් වහන්සේගේ කාලය දක්වාම දිව යයි.... මහාමායා දේවිය  සිදුහත් උපතට පෙර දුටු සිහිනයේද සිටියේ සුදු ඇත් පැටවෙකි.  බුද්ධත්වයට පත් වූ පසු දසවන වස් කාලය ගතකිරීමට පාරිලෙයිය වනයට වැඩම කල බුදු රාජාණන් වහන්සේ වෙත පළතුරු  ආදියෙන් සංග්‍ර‍හ කර සුගතිගාමී වූයේ පාරිලෙයිය වනයේ ජීවත් වූ ඇතාය. බුදු රජාණන් වහන්සේ වෙත කෙනෙහෙලි කම් කල දේවදත්ත වරෙක පිඩුසිගාවඩින බුදු රදුන් ඉදිරියට යැව්වේද රා පොවා මත් කල නාලාගිරි ඇතාය. ඒ බුදුන් දවස අලි ඇතුන්ගේ නම් කියැවුනු අවස්ථා කීපයකි. රට එක්සේසත් කිරීමට දුටුගැමුණු මහරජතුමා ගේ ගමනට සවියක් වූ කඩොල් ඇතුද කිසිවෙකුට අමතක විය නොහැක.

ඉන්දියානු ජනප්‍ර‍වාද අනුව අලියා යනු ශක්තියේ මෙන්ම නොසැලෙන බවේ සංඛේතයකි... කිරි මුහුදෙන් ඉගිලිනු සුදු ඇතුන් ගැන මෙන්ම වර්ෂාව ඇති කිරීමට සුදු ඇතුන්ට හැකි බවද ඔවුන් අදහයි. වාසනාවේ මෙන්ම සෞභාග්‍යයේ සංඛේතයක් ලෙසද අලි ඇතුන් ඉන්දියානු සමාජයේදී පිළිගැනේ.... මෙවැනි සතකු හිමිව නොසිටි කිසිදු රජෙකු අපට අතීත කථා වලදී හමුනොවන්නේ ඒ නිසාය. හින්දු ආගමේදී ඥාණයට අධිපති දෙවියා ලෙස සළකන ඝණ දෙවියන්ටද ඇත්තේ ඇතකුගේ ස්වරූපයකි.

ශ්‍රීලංකා වාසී බොදුනුවන් අන්කවර ජාතියකටත් වඩා අලිඇතුන් කෙරේ සෙනෙහෙ දක්වන්නන්ය. උතුම් දළදා වහන්සේ සහිත කරඩුව සිය පිටමත තබාගෙන පාවඩ මත සිට ගෞරව බහුමානයෙන් යුක්තව ගමන්කරන්නට වාසනාව උදාකරගත්තෝද මේ පරපුරේම අයය. නැසී ගිය රාජා හස්තියා මෙන්ම පනාමුරේ හස්තියාද ලක්වාසී ජනතාවගේ නෙතින් කදුලක් හෙලන්නට තරම් ලාංකීය ජනජීවිතයට සමීප වූ සද්දන්ත කුලයේ අය වූහ.

මා මෙතෙක් වේලා වටින් ගොඩින් පොට පාදා ගත්තේ මෙවැනි සාඩම්බර පරපුරක නුතන නියෝජනයක් වන හස්තියකු පිළිබද අනුවේදනිය කථා පුවතක් ඔබ වෙත ගෙන හැර දැක්වීමටය. ඇත්තටම ඇය ගැහැණු සතෙක් හෙවත් කෙණෙරක්. නම මාලි.....

බලන්න ඇගේ ඇස් දිහා..... ඇය කෙතරම් නම් අසරණද ?

වයස අවුරුදු  3ක කුඩා අලි දියණියකව සිටියදී නැදෑයෙක්... යහලුවෙක් නැති නුපුරුදු පිලිපීනයේ මැනිලා සත්තුවත්ත වෙත ලංකාවෙන් පරිත්‍යාග කල මෙම සත්වයා ගතවූ වසර 35 ක්ම ගත කර ඇත්තේ කුඩා ප්‍ර‍මාණයේ කොන්ක්‍රීට් කූඩුවක් තුලය. මිනිස්කමේ ආශිර්වාදය ලත් ඔබ මදකට සිතන්න .... වසර 35ක් වැනි දීර්ඝ කාලයක් ඔබේ හිතවතෙකු හෝ ඇසුරුකිරීමට අවස්ථාවක් නොලැබී.... නිසි ලෙස පොෂණය මෙන්ම ව්‍යයාමද නොමැතිව ජීවත් විමට සිදුවුවොත් ඔබේ හැගීම්.... හිතේ මවාගන්න, සිය හැගීම් වචන බවට පෙරළනු නොහැකි මාලි අසරණකමෙන් නරඹන්නන් දෙස මේ මොහොතේදීද  බලා සිටින ශෝක ජනක දර්ශනය....

විශාල ශරීරයක් හිමි මෙවැනි සතෙකුගේ ජීවන චර්යාව විමසීමේදී මෙය ඉතාමත් අනුවේදනීය තත්වයක්... වනගත අලියෙක් සිය ආහාර සොයාගනිමින් දිණකට කිලෝමීටර් 20 - 25 ත් අතර දුරක් ගමන් කරනවා... ඒ ව්‍යයාමය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයටත් ඉතා වැදගත්.... කිලෝමීටර් ගණනත් තබා අඩි 50 ක් වත් ඇවිදින්නට ඉඩක් නොමැති මාලි වසර 35 ක් පුරා කෙතරම් පීඩාවට පත්වී ඇතිදැයි ඔබට සිතාගත හැකිද ?

ඇය කකුල් තබාගෙන සිටින ස්වරූපය බලන්න

අලි ඇතුන් පිළිබද වසර 40 ක අත්දැකීම්  සහිත විශේෂඥයකු මෙන්ම ලොව පුරා සත්වෝද්‍යාන / අභය භූමි වල සහ සර්කස් කණ්ඩායම් සතු සද්ධන්තයන් 100 කට වැඩි ප්‍ර‍මාණයක් පිළිබද වාර්තා ඉදිරිපත් කර ඇති දොස්තර හෙන්රි රිචඩ්සන් ( Dr. Henry Richardson)  පසුගිය ජූනි මස සිදුකල බාහිර පරීක්ෂා කිරීම් වලින් මාලි ශාරීරිකව  ඉතාමත් දුර්වල තැනක සිටින බවට වාර්තාවක් ඉදිරිපත් කලා. ඊට අමතරව ඇගේ පාදයන්ද නිසි ව්‍යායාම නොමැති කම හෙයින් අවධානමට ලක් වී තිබෙනවා...දීර්ඝ කාලයක් තනිව වාසය කිරීම නිසා ඇගේ මානසික මට්ටමද ඉතාමත් නරක ලෙස පිරිහී ඇති බවද සොයා ගත්තා. ඇගේ වාසස්ථානය ආශ්‍රිතව රාත්‍රී කාලයේ පවා ඔහු නිරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙයට විසදුම ලෙස එතුමා යෝජනා කරන්නේ සත්ව උද්‍යානයෙන් ඉවත් කර ඇය අභය භූමියක් වෙත නිදහස් කල යුතු බවයි. මිනිසා හා සමාන ආයුෂ ඇති සත්ව කොට්ඨාශයක් නිසා එසේ වුවහොත් මාලිගේ ඉතිරි කාලය යහපත් පරිසරයක සිට ගත කරන්න ඇයට හැකි වේවි.

දොස්තර මහතාගේ අත්දැකීම් අනුව අලින්ගේ ගැහැණු සතුන් කිසිම දිණෙක සිය රැළ හැර නොයන අතර මියයන තුරුම සිය නෑදෑයන් සමග ජීවත් වීමට ප්‍රිය කරයි. මෙම හේතුවම මාලි ගේ මානසික තත්වය අයහපත් කිරීමට හේතු විය හැක.

රිචඩ්සන් මහතාට අනුව අලින්ගේ දෛනික ක්‍රියාකාර කම් වන ඇවිදීම, කදු නැගීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක්  වසර 35 ක කාලයක් තුල ඇය විසින් සිදු කර නෑ... ඇගේ කුඩා කූඩුව අක්කරයෙන් 0.001 පංගුවක් වත් විශාල නෑ.



මේ කරුණු හෙළිදරව් වීමෙන් පසු සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන PETA ( the People for the Ethical Treatment of Animals ) ජාත්‍යන්තර සංවිධානය මාලි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත් අතර, මේ කථාව ලොව පුරා ප්‍ර‍චාරය කිරීමටත් ඔවුන් දායක වුනා.  ඒ එක්කම ඉංග්‍රීසි ජාතික ගායක Morrissey  පිලිපීන ජනාධිපති Benigno Aquino වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ අසනීප තත්වයෙන් සිටින නිසා මාලි නිදහස් කරන ලෙසයි. 

ඇගේ පාද සමබර ලෙස පොළොව මත තැබීමට ඇයට දැන් හැකියාවක් නෑ...බැක්ටීරියා ආසාධන නිසා ඒ තත්වය ඇති වී ඇති බවයි සිතන්නෙ... එය ඇයට දැඩි වේදනාවක් බවයි පරීක්ෂකයන් විශ්වාස කරන්නෙ. මේ පිළිබද ඉතා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇගේ පාද 4 වෙන වෙනම විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් පරීක්ෂා කල යුතු අතර ලේ සාම්පල පරීක්ෂාවද අවශ්‍යයි. එහෙත් තවමත් එවැනි යමක් සිදුවී නෑ. මෙම ආසාධන තත්වය වැඩි වීම නිසා  ඇගේ මරණය පවා සිදුවිය හැකියි.  PETA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබද අධ්‍යක්ෂ  Rochelle Regodon  පවසන පරිදි මැනිලා සත්තුවත්තෙන් මාලි වෙත ලැබෙන දුර්වල වෛද්‍ය පහසුකම් හා අවධානය නිසා ඇය ඉතා ඉක්මනින් අභය භූමියකට නිදහස් කල යුතුයි.

මේ අතර ලෝකයේ ඉදිරියෙන්ම ඇති ඇමරිකාවේ සහ එංගලන්තයේ සත්වෝද්‍යාන වලින් දැන් දැන් අලි ඇතුන් සහිත ප්‍ර‍දර්ශන කුටි ඉවත් කෙරෙමින් පවතිනවා... ඒ අලින් සදහා අවශ්‍ය සියලුම අවශ්‍යතා සත්ව කූඩුවක සපුරාදීම තාක්ෂණයෙන් දියුණු එවැනි රටවල් වලට පවා අපහසු නිසා.  ඉන්දියානු රජයද සිය සියළුම සත්වෝද්‍යාන වලට නිර්දේශ කර ඇත්තේ සත්ව උද්‍යාන වලින් අලි ඇතුන් ඉවත් කර රජයේ පාලනය යටතේ පවතින අභය භූමි වෙත නිදහස් කරන  ලෙසයි.

මාලි අභය භූමියක් වෙතට යැවිය යුතු බව දොස්තර රිචඩ්සන් පවසන්නේ ඔහු සතු අත්දැකීම් නිසයි... සත්ව උද්‍යාන තුල වසර 20 කට වඩා කල් ගත කර නැවතත් අභය භූමි වෙත නිදහස් කල අලින්  කිසිම විටෙක වනගත අලින් වෙතින් ප්‍ර‍තික්ෂේප වී නැති බවයි එතුමාගෙ නිරීක්ෂණ ඇසුරෙන් පවසන්නෙ.

වසර 30කට වඩා කල් ඇලස්කා (Alaska ) සත්වෝද්‍යානයක කල් ගත කර මෙලෙසම රෝගී වූ මැගී (Maggie)  නම් කෙණෙරකද  කැලිෆෝනියාවේ අලින් සදහා වූ අභය භූමියක් වෙත නිදහස් කිරීමෙන් පසු ඒ රෝග තත්වයන්ගෙන් මිදී යහපත් මානසික තත්වයක් උදාකරගෙන තිබෙනවා...

උතුරු තායිලන්තයේ තවත් අලි 14 දෙනෙකු වෙසෙන අභය භූමියකට මාලි යැවීමට අවශ්‍ය සියලු වියදම් දැරීමට PETA සංවිධානය තීරණය කර තිබෙනවා... මාලිගේ සෞඛ්‍ය තත්වය විමසා රක්ෂිතයකට මුදා හරින ලෙස පිලිපීන ජනාධිපති කාර්යාලය නියම කර ඇතත් ඒ පිළිබද වගකිව යුතු  පිලිපීන නිලධාරීන් මාලි නිදහස් කිරීම පිළිබද නිවේදනයක් නිකුත් කර නෑ... ඔවුන් පවසන්නේ මාලි හොද තත්වයෙන් සිටින බවත් දොස්තර  Henry Richardson ගේ වාර්තාවක් ඔවුනට ලැබී නැති බවත්...ඒ වගේම ඔවුන් PETA  සංවිධානයේ ක්‍රියාකාරකම් වලටත් බාධා කරමින් සිටිනවා.

මෙයට පිළියමක් ලෙස මාලි නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් PETA සංවිධානය විසින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කලා....ඔවුන්ගේ ඉලක්කය අත්සන් 50000 ක්.

මෙය ලියන අවස්ථාව වන විට එයට ලොවවටා 35068 දෙනෙකු අත්සන් කර තිබූ අතර තවත් අත්සන් 14932 ක් අවශ්‍යව පැවතුනා...

දයාබර සොයුරු සොයුරියනි... 

මෙවැනි ඉරණමකට ලක්ව සිටින මාලි වෙත දයාබරත්වයේ හස්තය දිගු කරන්නට ඔබත් කැමති නම් / හදවතේ තෙතමනයක් තිබේ නම්, දැන්මම මේ පෙත්සමට අත්සන් කර මාලි මුදාගැනීමේ මෙහෙයුමේ සක්‍රීය  දායකයෙක් වන්න.... ඔබ ඩොන්ගලයක් භාවිතා කරන්නෙක් නම්  මෙගා බයිට්ටු කීපයක් මෙවන් උතුම් සත්කාර්යයක් වෙනුවෙන් පුද කරන්නට දෙවරක් සිතන්න එපා .........

වසර 35ක් පුරාවට මාලිගේ ඒකාකාරී දින චරියාව මේ  වීඩියෝවෙන් නරඹන්න...... එය කෙතරම් නම් කටුකද ?




පෙත්සමට අත්සන් කරන්න මෙතැනින්

මේ කාර්යය පිළිබද ඔබේ හිතවතුන් දැනුවත් කිරීමට තරම් කාරුණික වන්න.


මාලි පිළිබද තවත් සිංහල වාර්තාවක් මෙතැනින්

Face book හි මාලි වෙනුවෙන් වෙන්වූ පිටුව මෙතැනින්

මාලි නිදහස් වේවා !

මාලිගේ නිදහස තවත් අත්සන් 14000 ක් දුරින්....




මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලාංකික සත්වවේදීන් කීප දෙනෙකුට පුද්ගලිකවම ඇමතුවෙමි.

මාලි ට පසු තවත් කුඩා අලි පැටවෙකු මෙම සත්වෝද්‍යානයට පරිත්‍යාග කිරීමට ශ්‍රීලාංකික බලධාරීන් කටයුතු කලද සත්වවේදීන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස එය වැළැකී ඇත.

ඡායාරූප ලබා ගැනීමට පරිශීලනය කල වෙබ් අඩවි...

http://www.gmanetwork.com/news/story/262422/news/metromanila/elephant-expert-says-manila-zoo-s-mali-is-suffering

http://newsinfo.inquirer.net/221061/profound-loneliness-foot-ailments-might-kill-manila-zoo%E2%80%99s-lone-elephant%E2%80%93expert

මගේ යුතුකම මම ඉටු කලෙමි.




Thursday, September 20, 2012

79 ඇන්ටික් යකඩ අස්පයෝ (ඡායාරූප සහිතයි)

සිරාගේ ස්කූටරය ගැන කියවූ පසු, මෙන්න තවත් ඇන්ටික් යතුරුපැදි පෙළක්....  ඇන්ටික් යතුරුපැදි වෙත අප්‍ර‍මාණ ආදරය දක්වන්නන්ට මේ පෝස්ටුව විශේෂයි.

මිතුරෙකුගේ නිවසක ධර්ම දේශනාවක් ශ්‍ර‍වණය කිරීමට ආරාධනා ලැබී දිනක් සිරා එහි ගියේය. බණ අවසානයේ පිරිනැමෙන රාත්‍රී භෝජනයද භුක්ති විදීමෙන් අනතුරුව පැවති කාල සමයේදී මැදි වයසේ අ‍යෙකු හා දැනහැදුනුම් කමක් ඇතිකරගැනීමට අවස්ථාව ලැබුනි. ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගහට ගහක් මොරටුවේදී හමුවන්නේ යැයි කිව්වා සේ අප දෙදෙනාද එක වල්ලේ පොල්ය. දෙදෙනාම පැරණි වාහන ප්‍රේමීන්ය. කථා බහ අතරතුර මාගේ ස්කූටරයේ වගතුග මටත් හොරෙන් එළියට පැන්නේය. ඔහු හා ඔහුගේ බිරිද ඒ විස්තර ශ්‍ර‍වණය කල පසු ස්කූටරය දැක ගැනීමට පැමිණි  අතර එයින්ම අපගේ පළමු හමුවීම අවසන් විය. සමුගන්නට පෙර එතුමා මා හට පැවසුවේ...

පුතා වෙලාවක අපේ ගෙදර එන්න... පරණ වාහන එහෙත් තියෙනවා යනුවෙනි.

සිංහරාජය නැරඹීමට රත්නපුරය හරහා ගිය ගමන එතුමාගේ නිවසට යාමට හොදම අවස්ථාව විය. ඒ නිසාම ඒ අවස්ථාව පැහැර නොහැර රත්ගග පන්සල පාරේ කිලෝමීටර් 3 ක් පමණ ගිය තැන අදාළ ස්ථානයට යාමට අපට හැකි විය. ඉතාම අලංකාර උද්‍යානයකින් සමන්විත එම නිවස එංගලන්තයේ නිවෙසක් සිහිගැන්වීය. අප යන විට ගෘහ මූලික තෙමේ නොසිටියද ඔහුගේ ප්‍රියාදර භාර්යාව අප සාදරයෙන් පිළිගත්තාය. පාසල් ගුරුවරියකද වන ඇය පැවසූවේ,

මහත්තයා එළියට ගියාට පුතා ඉන්නවා... එයා දැන් තාත්තටත් වඩා මේවා ගැන විස්තර දන්නවා කියාය.

මහා පරිමාණ දැව ව්‍යාපාරිකයන් වන ඔවුන්ගේ කාරුණික ආගන්තුක සත්කාර විදීමෙන් අනතුරුව මේ අනර්ඝ සම්පත් වර්තමානයේ රැක බලා ගන්නා කසුන් වැලිකල සොයුරා අප හට හමුවිය.ඔහුගේ ආරාධනයෙන් අපි සියල්ලෝම පැරණි යතුරුපැදි තිබෙන ඉසව්වට ගියෙමු. කසුන්ගේ නිරහංකාර බව අපගේ ප්‍රමෝදයට හේතු විය. කාලයක්ම මැලේසියාවේ රථ වාහන තරග සම්බන්ධ පාසලක අධ්‍යාපනය ලබා...  එහිදී Lotus වර්ගයේ රථයක් පදවමින් තරග කර ඇති ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිරහංකාර සරළ චරිතයකි.

අප යන විට මෙම යතුරුපැදි සදහා කෞතුකාගාරයක් බදු ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පැවතුනා. යතුරුපැදි නවතා ඇති කොටසට අප කැටුව ගිය ඔහු බයිසිකල් මත යොදා තිබූ ආවරණ ඉවත් කර අපට හොදින් ඒවා දර්ශනය වන්නට සැලැස්වූවේය. පැරණි බයිසිකල් දුටු පමණින් මා හට මහත් වූ ප්‍රීතියක් දැනුනි. පැරණි නෑදෑයන් පිරිසක් හමු වූවා වැනි හැගීමකින් මා සිත වෙලී ගියේ මාගේ චිත්ත සන්තානය තනිකරම ඇන්ටික් ලෝලියෙක් බවට මා පත් කර ඇති නිසාවෙන් විය යුතුය. අපගේ ගැටළු සදහා ඉතා නිවැරදි පිළිතුරු සැපයීමට ඔහු එක් එක් යතුරුපැදිය සදහා වෙන් වෙන් වශයෙන් පවත්වා ගෙන යන ලිපිගොනුද සිය මෑණියන් මගින් ගෙන්වා ගත්තේය. එම ලිපිගොනුවක් තුල ඒ ඒ යතුරුපැදිය මිළදී ගත් දින සිට බොහෝ ලියවිලි ඇතුලත්ය.

එහි පේළියට නවතා තිබූ යතුරු පැදි අතර  මුලින්ම තිබුනේ මෙම යතුරු පැදියයි.මෙතැන් සිට මේ ඡායාරූප ඔබට බොහෝ දේ පවසාවි.


වර්ගය - ඉන්දියන් බ්‍රේව් (Indian Brave) 
නිෂ්පාදිත වසර සහ රට - 1956 ඇමරිකාව
එන්ජිමේ ධාරිතාවය - 248 CC සයිඩ් වැල්ව් එන්ජිමකි.
තවමත් 100 % වැඩ නිමවා නැත. 
සමහර කොටස් එංගලන්තයෙන් ආනයන කෙරෙමින් පවතී.



ඉහත යතුරුපැදියට අදාළ ලියාපදිංචි පොත
මෙවැනි දෑ බොහෝවිට බාහිර පාර්ශව වෙත රථහිමියන් විසින් පෙන්වන්නට අකමැති මුත් කසුන් දැක්වූ සුහදශීලී ප්‍ර‍තිචාරයට අප ස්තූතිවන්ත විය යුතුය.


එකල ඇමරිකානු පොලිස් සේවයේ යෙදී ඇති 

ඉන්දියන් බ්‍රේව් බයිසිකල් පෙළක්

ඉන්දියන් යන නාමය තිබුනද මේවා ඉන්දියානු නිෂ්පාදන නොවේ.
ඡායාරූපය http://en.wikipedia.org/wiki/File:Indian_Scouts.jpg
යතුරුපැදි පේළියේ ඊළගට තිබුනේ තවත් පැරණි යතුරුපැදියක්... සයිඩ් කාරයකින් සමන්විත මිලිටරි බයිසිකලයක් වන එයට ගැලපෙන සයිඩ් කාරයක් මේ දිණ වල සොයමින් පවතිනවා...




වර්ගය - ඉන්දියන් ස්කවුට් (Indian Scout)
නිෂ්පාදිත වසර සහ රට - 1943 ඇමරිකාව
එන්ජිමේ ධාරිතාවය - 750 CC



මිලිටරි යතුරුපැදියක් ලෙස
ඡායාරූපය http://en.wikipedia.org/wiki/File:1942_Indian_Scout_500cc_v_twin_2.jpg
ඉන්දියන් ස්කවුට් බයිසිකලයේ විශේෂතා කීපයකි. ඇක්සලේටරය ඇත්තේ හැඩලයේ වම් පැත්තේය.. ගියර් දැමීමට වාහන වල මෙන් ගියර් ආම් එකක් ( ගියර් පොල්ලක් )  ඇති අතර ක්ලච් එක පැඩලයක් ලෙස වම්පස පාදයට ලබා දී ඇත.

ඊළගට තිබූ යතුරුපැදිය කසුන්ගේ ඥාතියකුට අයත්ව දිරාපත්ව තිබූ ට්‍ර‍යම්ප් වර්ගයේ එකකි,




වර්ගය - ට්‍ර‍යම්ප්  T 100 (Triumph T100 )
නිෂ්පාදිත වසර සහ රට - 1959 එංගලන්තය
එන්ජිමේ ධාරිතාවය - 500 CC 
එකල ශ්‍රිලංකා පොලීසිය මෙවැනි යතුරු පැදි භාවිතා කර ඇති නිසා 
මෙය පොලිස් මොඩ්ල් ලෙසද හදුන්වයි.



මෙවැනි යතුරු පැදි අද මෙම තත්වයෙන් දක්නට ලැබුනත්... මේවා කසුන් වෙත ලැබෙන විට පවතින්නේ දැඩි ලෙස අබලන් වූ ලෙසයි.. ඊට හොදම උදාහරණය ඔබ දුටු ට්‍ර‍යම්ප් T100 බයිසිකලය කලින් පැවති ආකාරය පෙන්වන මේ ඡායාරූප පෙළයි.







මේ සියලුම යතුරුපැදි වල නවීකරණ කටයුතු සිදුකරන්නේ කසුන් විසින්මයි. ඔහුගේ අප්‍ර‍තිහත ධෛර්යය නිසාම සාඩම්බර අතීතයක් නියෝජනය කර ලොවෙන් සමුගන්නට සූදානම් වන පැරණි යතුරුපැදි නැවතත් ප්‍රාණය ලබන ආකාරය විශ්මයජනකයි.



මීළගට ඇති යතුරුපැදි නම්  අධික බරකින් යුක්තයි.. තනිව ප්‍ර‍ධාන ආධාරකය පවා ක්‍රියාත්මක කල නොහැකි තරම්.






වර්ගය - ට්‍ර‍යම්ප්  T 110 Tiger (Triumph T110 Tiger )
නිෂ්පාදිත වසර සහ රට - 1959 එංගලන්තය
එන්ජිමේ ධාරිතාවය - 650 CC


මෙම යතුරුපැදිය හා සම්බන්ධ රසවත් කථා පුවතකි. මෙය කලින් අයත්ව තිබී ඇත්තේ ජීවිතයේ සැදෑ සමය ගෙවමින් සිටි පුද්ගලයකු හට...මේ ඔහු තරුණ කල සිට පාවිච්චි කල යතුරුපැදිය.  එක්තැන් වී සිට ඇති ඔහුගෙන් වසර 18 ක් පුරාවටම මෙම බයිසිකලය මිළදී ගැනීමට බොහෝ අය ඉල්ලීම් කලත් ඔහු ඊට කැමති වී නැහැ. අවසානයේ ඔහුගේ මරණය ඉතා ආසන්නයේ දිනෙක කසුන් වෙත ලැබුණු ආරංචියකින් කියැවුනේ බයිසිකලය විකිණීමට සූදානම් බවයි. ඒ අනුව ඉතා ඉක්මනින් ඔහු හමුවී ගණුදෙනුව නිමා කරන්න කසුන් කටයුතු කර තිබුනා.මෙය පණගැන්වූ විට ඇතිවන ශබ්දය  සාමාන්‍ය යතුරුපැදි වලට වඩා වෙනස්... ඒ වෙනස ඇති කිරීමට මෙහි ඇති ඔරිජිනල් සයිලන්සර් හේතු වී තිබෙනවා... මිළදී ගන්නා විට දිරාපත්ව තිබූ සයිලන්සර් වෙනුවට මෙම යතුරුපැදියට ගැලපෙන නියම  සයිලන්සර් මිළදී ගැනීමට කසුන් ස්වීඩනයට ගොස් තිබෙනවා.

සමහර දිණෙක කොළඹ පැමිනීමට මෙම යතුරුපැදිය ඔහු පාවිච්චි කරනවා... ලීටරයකට කිලෝමීටර් 12 ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවක් තමයි මෙහි පවතින්නෙ. ඔහු පවසන පරිදි මෙය සෙමින් ධාවනය කිරීම අපහසු වන අතර බයිසිකලයේ බර අධික කම නිසා රථවාහන තදබද වලදී පාලනය කිරීමත් ඉතා අපහසුයි. පැයට කිලෝමීටර් 225 ක පමණ උපරිම වේගයක් මෙම යතුරුපැදියට ලබාගත හැකි අතර ක්ෂණිකව එන්ජිමේ කාර්යක්ෂමතාව උපරිම කර වේගය උපරිමයෙන් ලබා ගැනීමට වෙනම ස්විචයක්ද හැඩලයේ තිබෙනවා.


වර්ගය - ට්‍ර‍යම්ප්  TR 612   (Triumph TR 612 )
නිෂ්පාදිත වසර සහ රට - 1970 එංගලන්තය
එන්ජිමේ ධාරිතාවය - 650 CC



මෙම යතුරුපැදියද කොළඹ පැමිනීමට භාවිතා කරයි. බරින් අඩු නිසා භාවිතය පහසුය. මෙහි සංඥා ලාම්පු, බ්‍රේක් ලයිට් ආදිය එංගලන්තයෙන් ආනයනය කර අලුතින් සවි කර ඇත. මෙම මාදිලියේ රේසිං මාදිලියක්ද ඇති අතර මෙහි දැක්වෙන සිවිලියන් මාදිලියෙන් ලංකාවේ දැනට ඇති  එකම යතුරු පැදිය මෙය වේ.






වර්ගය - බීඑස්ඒ ගොල්ඩන් ප්ලෑෂ්  (BSA - Golden Flash)
නිෂ්පාදිත වසර සහ රට - 1957 එංගලන්තය
එන්ජිමේ ධාරිතාවය - 650 CC



BSA Golden Flash යතුරු පැදිය පණගැන්වූ විට 


මෙය මෙම වර්ගයේ විශාලම යතුරුපැදියකි... 2004 වර්ෂයේදී හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබී ඇති අතර සුනාමියට හසුවීම නිසා ක්‍රියාවිරහිතව තිබී කසුන් විසින් මිළදී ගෙන අලුත්වැඩියා කර ඇත. පිටුපස රෝදය ගැලවීමට මඩ ආවරණය මැද්දෙන් ඉහළට එසවීමට හැකි අතර එන්ජිම කිට්ටුවම රවුමක් ලෙස ඇත්තේ මෙහි නලාවයි.

මෙම තොරතුරු දැනගැනීමෙන් අනතුරුව සිරාගේ රුචිකත්වය පිළිබද අවබෝධයක් ලබාගත් කසුන්  අලුත්වැඩියාව පිණිස ගාල් කර ඇති තවත් යතුරු පැදි කීපයක් නැරඹීමට ඔහුගේ ව්‍යාපාර ස්ථානයකට අපව කැදවාගෙන ගියේය.


පහත දැක්වෙන්නේ කසුන්ගේ පියා විසින් මෙම යතුරුපැදි එකතුව ඇරඹීමට මුලින්ම මිළදීගත් යතුරුපැදියයි. එන්ජිමේ අලුත්වැඩියාවක් කෙරෙමින් පවතින නිසා මේ දිනවල ධාවන තත්වයේ නැත.  එය ට්‍ර‍යම්ප් (Triumph) වර්ගයේ එංගලන්තයේ නිෂ්පාදිත එකකි.




විවිධ පුද්ගලයන් ලබාදෙන තොරතුරු හරහා මිළදීගෙන අලුත්වැඩියා කිරීම පිණිස පසෙක ගාල් කර ඇති  The Birmingham Small Arms Company Limited (BSA) වර්ගයේ යතුරුපැදි එකතුවක්, මේවාද එංගලන්තයේ නිෂ්පාදනයන්ය....






මෙවැනි යතුරු පැදියක් හොද තත්වයට පත් කිරීමට රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය වෙනවා. සමහර අමතර කොටස්  (සංඥා ලාම්පු පවා) මිළදී ගැනීමට ඒවා නිෂ්පාදනය කරල රටවල් වෙත සංචාරය කිරීමටත් සිදුවෙනවා. විවිධ අය මාර්ගයෙන් මෙම යතුරුපැදි එකතුව පිළිබද දැනගන්නා විදේශිකයන් ඇතුලු බොහෝ පිරිස් මේ ස්ථානයට පැමිණ මේවා ඉතා ඉහළ මිළ ගණන් වලට මිළදී ගැනීමට කැමැත්ත පල කලත්  කසුන් සහ ඔහුගේ පියාණන් මේවා විකිණීමට කිසිම සුදානමක් නෑ....

අවසාන වශයෙන් මෙවැනි පෝස්ටුවකට ගොනු කල හැකි කරුණු රාශියක් නිර්ලෝභීව මාවෙත ලබා දුන් කසුන් වැලිකල සොයුරා , ඔහුගේ දෙමාපියන්  ඇතුලු නිවැසියන් සියල්ලන් හට සිරාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමේ. ඔහුගේ මේ වෑයම තව තවත් සාර්ථක වේවා !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

මෙම පවුල සතුව පෞරාණික වාහනද තිබේ. ඒවා ගාල් කර ඇත්තේ වෙනත් ස්ථානයක නිසා ඒවා ඡායාරූපයට නැගීමට නොහැකි විය.

Monday, September 17, 2012

126 සිරාගේ අතිජාත ස්කූටරේ

සිරා යනු පැරණි දෑ කෙරෙහි ආකර්ශනය වන ඇන්ටික් රසඥතාවයක් සහිත ජීවී පරානයකි. පාසල් වියේදී බාලදක්ෂයකුව සිට කාසි සහ මුද්දර එකතු කිරීමෙන්  ඇරඹුන මේ ආශාව අද වන විට වාහන දක්වා පැතිර ගොසිනි. මාගේ කාසි එකතුව වර්ෂ 1740  තරම් ඈත අතීතය සරසන VOC කාසි වලින්ද යුක්තය....රුපියලේ නෝට්ටු වල සිට ඉහළට එය සන්නද්ධය, මුද්දර එකතුවද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නිකුත් කල සත 3 මුද්දරය දක්වාම දිව යයි. සත 1 මුද්දරද මා සතුව අතීතයේ තිබුනත් කපටි කොල්ලෝ මා රවටා නොවටිනා වෙනත් මුද්දර මට දී  ඒ වටිනා මුද්දර මගෙන් ඩැහැ ගත්තෝය. අපේ පවුලේ මෙසේ ඇන්ටික් උණ ඇත්තේ මට පමණකි. මට හිතෙන ලෙසට එය සාංසාරික පුරුද්දක් විය යුතුය.  පැරණි වාහනයක් හදිසියේ පාරේ දකින්නට හැකි වුනොත් මගේ දෑස ඇසිපිය නොහෙලා එය දෙස බලාහිදී.  කෙතරම් නවීන වාහන කෙරෙහි සමවයසේ උන් සිහින මැව්වත් මගේ ආදරය , ආසාව පැරණි වාහන කෙරෙහි පමණමය.

ඒ නිසාමදෝ මම කලක් ඇන්ටික් ස්කූටරයකට සිහින මැව්වෙමි. වසර ගණනාවක් යන තුරා සෙව්වත් මට ඔබින ආකාරයේ එකක් ලැබුනේ නැත. අමතර කොටස් සපයා ගැනීමේ පහසුව නිසා බජාජ් වර්ගයේ එකකි මට අවශ්‍ය වුනේ. කෙසේ හෝ අවසානයේ බජාජ් නම පසෙකලා  කුමන හෝ පරණ ස්කූටරයක් මිළට ගැනීමට සොයන විට මළනුවන්ගේ මිතුරෙකු මගින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ ඇති ස්කූටරයක් පිළිබද දැනගැනීමට ලැබී අපි එහි ගියෙමු.

වෙස්පා වර්ගයේ 7 ශ්‍රී එකක් වූ එය හොද තත්වයෙන් තිබුනත් අපේ ආගමනයෙන් පසු හිමිකරු එය විකිණීමේ අදහස අත හැරියේය. රැයක් පුරා දුටු සිහින බොද වන විට  මළනුවන් වෙත ඔත්තුව දුන් කෙනා පැවසුවේ මේ ආසන්නයේ 9ශ්‍රී බජාජ් වර්ගයේ තවත් ස්කූටරයක් ඇති මුත් එය නම් කීයටවත් විකුණන්නේ යැයි නොසිතන බවත්ය... කෙසේ හෝ මගේ පෙරැත්තයෙන් පසු එහි හිමිකරු වෙත ගත් ඇමතුමට දැක්වූ ප්‍ර‍තිචාරය වූයේ... ඔව් විකුණනවා එන්න කියාය. එහෙත් ඔත්තුකරු පැවසූවේ මට නම් විශ්වාස කරන්නත් අමාරුයි මිනිහා විහිලුවක් කරන්න ඇති කියාය.


ඇදුම වෙනස් කරන්නට කලින්

සිහිනයට නැවතත් ඉගිලෙන්නට තටු ලැබිනි... අපි ඔහුගේ නිවසට යන විට හිමිකරු රබර් වත්තක් මැද ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියහ.  අපේ ආගමනයෙන් අප අසලට පැමිණි ඔහු...

විකුණන්න නම් කොහොමවත් අදහසක් තිබ්බෙ නෑ.... මම මගේ ලොරියත් එක්ක රට වටේ යන මිනිහා... මට බයික් පදින්න දැන් වෙලාවක් නැති නිසා තමයි විකුණන්න තීරණය කලේ. කාටවත්ම විකුණනවා කියලා කියලා තිබුනෙත් නෑ... ඕගොල්ලො අහපු නිසා තමයි කිව්වෙ....

මේකෙ ගොඩාක් දේවල් මම ළගකදි හැදුවා... දිරුම් මොකුත් නෑ...පේන්ට් එකත් ලගකදි ගැහුවා... වැදගත්ම දේ තමයි... මේ බයිසිකලය පැදපු කිසිම කෙනෙක්ට අනතුරක් වෙලා නෑ... මට කලින් අයිතිකාරයත් ඊට කලින් කෙනා එයාටත් ඒ බව කියලා තියෙනවා. ඔරිජිනල් පොත් පත් ලියකියවිලි ඔක්කොමත් තියෙනවා... ඊට අමතරව 1987 ඉදන් බයිසිකලයට දාපු හැම අමතර කොටසකටම අදාළ බිල්පත් එකතුවකුත් තියෙනවා... වටයක් පැදලා බලන්න කොහොමද කියලා...

මෙතෙක් කල් මා සෙවූ ස්කූටරය මට හමු වී ඇත. තවත් දවස් 3කට පස්සෙ ස්කූටරය අපේ නිවසට සේන්දු වුනා... අපූරුයි පුතේ... කිරි අම්මා පළමු අදහස පල කලේ. ඒක ගේනකොට ඇන්ජිමෙන් ආවෙ ටින් බෙලෙක්ක හොල්ලන සද්දයක්... ඒ වගේම බ්‍රේක් කදුලක් නෑ... මේ වැඩ ටික සම්පූර්ණ කරන්න හිතවතෙක් මාර්ගයෙන් කොච්චිකඩේ චමින්ද අයියගෙ ගැරේජ් එක සම්බන්ධ කර ගත්තා. ඒ උනාට පාරෙ නීත්‍යානුකූලව යන්න විදියක් නෑ... බලපත්‍ර‍ය කල් පැනලා අවුරුදු කීපයක්ම ගෙවිලා... අලුත් බලපත්‍ර‍ය ලබා ගන්න දුම් සහතිකය ගන්නත් ඕනෙ... බලපත්‍ර‍ය අලුත් නොකල වසර ගණනට දඩ ගෙවන්නත් ඕනෙ, අප්සැට් එන්ජිමක් එක්ක කොහොමද දුම් සහතිකේ ගන්නෙ... ගැටළු රාශියක්,  ඉදිරිපත් කල පළමු වාර දෙකේදීම දුම් පරීක්ෂණය අසමත්... ඊටත් පස්සෙ යන්තම් ගොඩ වෙදකමක් කරගෙන දුම් සහතිකෙත් අරගෙන කොච්චිකඩේ ගියා.

මේ කාලෙදි රථවාහන අංශ පොලිස් නිලධාරීන් බයිසිකලේ දිහා බලලා  අවඥා සහගත හිනාවක් එහෙම දාලා  දඩයක් එහෙම ගහන්න පුලුවන් වේයි කියලා හිතාගෙන ලංවෙලා අහන්නෙ,  මේකට ලියකියවිලි තියෙනවද කියලයි....

ගම්පහ ඉදන් කොච්චිකඩේ ගියේ මේ වගේ පැරණි බයිසිකල් තිතටම හදන්න හැමෝටම බැරි නිසා... මෙහි එන්ජිම ඉස්සෙල්ලාම ගැලෙව්වෙ අපි ගත්තට පස්සෙ... එන්ජිමේ සියලු කොටස් යාවත්කාලීන කලාට පස්සෙ ලානිල් පැහැති ඔරිජිනල් පැහැය මට අවශ්‍ය පරිදි කහ පැහැයට පින්තාරු කලා. මළකඩ කාගෙන ආපු සෑම තැනක්ම ශුද්ධ පවිත්‍ර‍ කරලා.. සමහර තැන් අලුතෙන් සකස් කලා.. සෑහෙන කාලයක් වගේම තරමක ධනයකුත් මේ සදහා වියදම් වුනා. ඉන් පසු ඔන්න සිරාගේ බයිසිමොටෝ චාරිකා ආරම්භ වුනා.

කොල්ලා හැන්ඩ්සම් ද ?

වට්ටාරම

කැකිරාව

රන්ටැඹේ

බෙලිහුල් ඔය නාන වෙලාවක

ඉන්දියාවට ගිය ගමනකදි ස්කූටරයට අවශ්‍ය තවත් අඩුම කුඩුම සහ ඔරිජිනල් තත්වයේ කාපට් එකකුත් ගෙනාවා...මේ වර්ගයේ පැරණි බයිසිකල් ඉන්දියාවෙත් වැඩිපුර දකින්න ලැබෙන්නෙ ඌටි වැනි කදුකර පෙදෙස් වල විතරයි... ඒ කදුනැගීමට ඒවා සතු උපන් හැකියාව නිසයි....

ඉන්දියානු මාවතක් අසල ඇති චෙටැක් ස්කූටරයක්

ඉන්දියානු  පංචිකාවත්තක අභාවයට යන චෙටැක් ස්කූටර්
මේවා ඇස ගැටුනෙ ස්කූටරේට කාපට් එකක් හොයන්න යද්දි...
ස්කූටර් ගැන කථා කරනවා නම් ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය වෙළද නාමයන් දෙකක් තිබෙනවා. ඒ වෙස්පා සහ ලැම්බ්‍රෙටා (Vespa / Lambretta) මේ වෙළද නාමයන් දෙකම අයත් වන්නේ ඉතාලි සමාගම් දෙකකට. ඒ අතරින් ලැම්බ්‍රෙටා ස්කූටර් නිපදවූයේ ඉතාලියේ මිලානෝ හි පිහිටි ඉනොසෙන්ටි (Innocentiනම් සමාගමක්. මේ සමාගමේ ඇතැම් කොටස් 1972 දී ඉන්දියානු රජය විසින් මිළදීගෙන තිබෙනවා. ලැම්බ්‍රෙටා ස්කූටර් සදහා  අමතර කොටස් සොයා ගැනීම ලංකාවේදී දැන් දැන් අපහසු කාර්යයක්.

1968 වෙස්පා ස්ප්‍රින්ට් මාදිලියේ  නිවුන් සහෝදරයා විදියටයි 1979 දී බජාජ් චෙටැක්  150 CC මෙම බයිසිකලය නිපදවා තිබෙන්නෙ... නිෂ්පාදනය ඉන්දියානු වුවත් තාක්ෂණය ඉතාලි. වෙස්පා (ඉතාලි භාෂාවෙන් බඹරා)  ස්කූටර් නිපදවන ලද්දේ ඉතාලියේ පියාජියෝ (Piaggio) සමාගම විසින්. 1960 සිට පියාජියෝ මව් සමාගම ඉන්දියානු රජය සමග ගිවිසුම් ගතව  ස්කූටර් ඉන්දියාවේදී නිපදවූයේ වෙස්පා යන නාමය යටතේ. ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ පෞද්ගලීකරණ වැඩසටහන යටතේ 1971 දී ගිවිසුම අලුත් කිරීමට කටයුතු නොකිරීම නිසා  පියාජියෝ සමාගම ඉන්දියාවෙන් බැහැර වෙනවා.

ඒ තාක්ෂණය යටතේ Piaggio අවසරය සමග මුල් කාලයේ ස්කූටර් නිපදවීම ආරම්භ කර පසුව තමන්ගේම සැලසුම් යටතේ  බජාජ් සමාගම 2009 වසර දක්වාම චෙටැක් මාදිලියේ ස්කූටර් නිපවනු ලැබුවා. මුල් කාලයේදී තෝරාගත් වෙස්පා මාදිලි වලට සමාන නිෂ්පාදන තමයි කරලා තියෙන්නෙ. ඒ 2 stroke ආකාරයේ එන්ජින් සමග, පසුව එය 4 stroke ආකාරයට වෙනස් කර තිබෙනවා.  එහෙත් ස්කූටර් සදහා වඩාත්ම සාර්ථක වී ඇත්තේ  2 stroke ආකාරයේ එන්ජින් බවයි බහුතරයගේ පිළිගැනීම. එවැනි එන්ජින් සදහා නඩත්තු වියදම, එන්ජින් ඔයිල් පරිභෝජනය ඉතාමත් අඩුයි.  අද කිසිම රටක මෙම මාදිලියේ ස්කූටර් අලුතින් නිපදවන්නේ නෑ.

වෙස්පා ස්ප්‍රින්ට් 1968 මාදිලිය
ඡායාරූපය  http://www.flickr.com/photos/nikebgoode/4569401152/
6V මැගින්ටෝ ක්‍ර‍මයට තමයි මෙය නිපදවලා තියෙන්නෙ... ඒ කියන්නෙ බැටරියකින් තොරව චුම්භක ආධාරයෙන් විදුලිය උත්පාදනය කරන ක්‍ර‍මයක් තමයි මෙහි තියෙන්නෙ.... පැති කණ්නාඩි වගේම,  සංඥා ලාම්පු පවා මේ ස්කූටරයට ඇවිල්ලා නෑ... ඒ එදා මාර්ග වල තිබ්බ අවශ්‍යතාව අනුව. එහෙත් අද කාලයට ගැලපෙන ලෙස පැති කණ්නාඩි සවිකර, විදුලි සැපයුම 12V දක්වා වැඩි කරන්න අපට සිදුවුනා... නැතිනම් රාත්‍රියට ප්‍ර‍ධාන ලාම්පුව එළිය මදි.

මෙන්න චෙටැක් ස්කූටරයේ කාර්මික තොරතුරු

Engine :Two stroke/petrol
Transmission :Four-speed
Displacement :145. 45cc

Max Power :7.48 hp@5500 rpm
Max torque:1.1kgm@3500 rpm
Ground
Clearance :145mm
Ignition :External Coil
Dry Weight:103kg
Fuel tank
Capacity :6.5 litres
Voltage6V
F/R suspension :Spring-loaded
Absorber
R/R suspension :Hydraulic absorber
Max Speed :85kph
Front Tyre size :3.50x10.4 Pr
Rear Tyre size :3.50x10.4 Pr
Wheelbase :1230mm


ලියාපදිංචි පොත

චෙටැක් යනු ඉන්දියානු යුධ වීරයෙකු වන රාණා ප්‍ර‍තාප් ගේ අශ්වයාගේ නාමයයි. 1576 දී හල්ඩිඝාටි හිදී පැවති සටනකදී චෙටැක් මිය යන අතර ඉන් පසු ඉන්දියාවේ චෙටැක් යනු අමරණීය නාමයක් බවට පත්වෙනවා...

Jamanlal Bajaj යනු සුප්‍ර‍සිද්ධ බජාජ් ඔටෝ සමාගමේ නිර්මාතෘ වරයා... ඉන්දියානු නිදහස් සටනේ ඉදිරියෙන් සිටි සටන්කාමියෙකු හා මානව හිතවාදියෙකු ලෙස මහත්මා ගාන්ධි තුමා සමග පිය පුතු මෙන් කිට්ටු ඇසුරක් තිබූ ඔහු දේශීය නිෂ්පාදන තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ උදාර අරමුණින් මේ සමාගම ආරම්භ කර තිබෙන්නේ 1926 තරම් ඈත අවදියකදී. හමාරා බජාජ් යන ආදරණීය නාමයෙන් ඉන්දියාවේදී හදුන්වන බජාජ් නිෂ්පාදන ඉන්දියානු සංස්කෘතියට, එහි ජනජීවිතයට ඉතාම සමීපයි.

Jamanlal Bajaj  (1884 - 1942)
ඡායාරූපය 
http://en.wikipedia.org/wiki/File:Jamnalal_Bajaj_2006-03-17.jpg 

මාගේ පැරණි ස්කූටරයට වඩාත්ම ඇළුම් කරන්නෙ දිවිමගේ 50 වසර පසුකල අයයි. ඒ ඔවුන් තරුණ කාලයේ මෙවැනි බයිසිකල් පාවිච්චි කර ඇති නිසාවෙන් විය යුතුය. සිය පෙම්වතිය සමග ආගිය ගමන් බිමන් / රැකියාව ආරම්භ කල මුල් අවධියේ සිදුවීම් ඔවුනට ස්කූටරය දැකීමෙන් සිහිපත් වනවා විය හැක. 70 දශකය තුල  ස්කූටර් පාවිච්චි කර ඇත්තේ..  ගුරුවරුන්/විදුහල්පතිවරුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආදී සමාජයේ යම් පිළිගැනීමකට ලක් වූ අය විසින් බව මම නොයෙක් පුද්ගලයන්ගෙන් ඇසූ කථා බස් නිසාම ඒත්තු ගොස් ඇත. අදද මාර්ගයේ ධාවනය කරන විට ස්කූටර් අතර යම් සබැදියාවක් මා අත්විද ඇත... එනම් අනෙක් පසින් එන්නේ ස්කූටරයක් නම් බොහෝ විට හදුනන්නේ නැති වුවත් පූධාන ලාම්පුව දැල්වීමෙන් හෝ නලාව නාද කිරීමෙන් ඒ සුහදත්වය පළවේ.


ස්කූටරයේ දැන් වයස වසර 32 ක් ඒ කියන්නෙ සිරාටත් වඩා වයසයි. යන එන ඕනෑම තැනකදි නිබද අවධානයට ලක්වෙන එක දැන් නම් සිරාට සාමාන්‍ය දෙයක්....

සිරාගෙ මළනුවන් ලංකාවෙ ජාතික පුවත්පතක ඡායාරූප ශිල්පියෙක් වුනාට ඉඩ ඇති වෙලාවට මංගල ඡායාරූප ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා...ඒ වගේ අවස්ථාවල නිවසට එන ඇතැම් යුවල සිරාගෙ බයිසිමොටෝවත් ඡායාරූප සදහා ඉල්ලනවා....එවිට  ඒ පහසුකම සිරා සපයන්නෙ අයකිරීමකින් තොරව... මෙන්න සාක්ෂි...මේ ඉන්නෙ සිරාගෙ ළගට ස්කූටරේ ආවට පස්සෙ ඒක උඩ ඉදගත්ත පළවෙනි මංගල යුවල.



තෙල් ගහන්න ෂෙඩ් එකට ගියාම  තෙල් ගහන්න ආපු අය අහන්නෙ  විකුණන්න අදහසක් නැද්ද ?
කොළඹ ගිහින් වර්ණ සංඥාවක නැවතුනාම එහා පැත්තෙ කෙනා අහන්නෙ   විකුණන්නෙ  නැද්ද ?
සමහර වෙලාවට රථවාහන මගේ පස්සෙන් ඇවිල්ලා එහෙම අහන අවස්ථාත් තියෙනවා...

දවසක් ට්‍රේල් වර්ගයේ බයිසිකලයක් මගේ පිටිපස්සෙන්ම පන්නලා එනවා වේගයෙන්... මේ මොන අටමගලක්ද දන්නෙ නැති මමත් සෑහෙන වේගෙකින් ගියා...අන්තිමට මට කිට්ටු කරපු ඒ හාදයා
මල්ලි පොඩ්ඩක් ඉන්න.... මම මේ බයිසිකලේ ගිය සතියෙ ජා-ඇල දි දැක්කා... එදා අහන්න බැරි වුනා විකුණනවද කියලා.... අද මේ අහම්බෙන් දැක්කෙ.... විකුණනවද කියලා අහන්න තමයි මෙච්චර දුර පස්සෙන් පැන්නුවෙ කියලා කිව්වා.....

තරුණ ගැහැණු දරුවන් නවීන යතුරු පැදි පදින්නන් දෙස උවමනාවෙන් බැලුවත්... මෙවැනි පැරණි යතුරු පැදි දෙස එතරම් උවමනාවෙන් බලන්නේ නැති බවද මට වැටහී ඇත.

වයසක අය මුණගැසුනු විට

පුතා මේ වගේ ලැම්බ්‍රෙටා එකක් මටත් ඉස්සර තිබුනා... අවුරුදු 15කට ඉස්සෙල්ලා ඒක වික්කෙ.. අද අපරාදෙ කියලා හිතෙනවා විකුණපු එක...


පසුකලෙක බජාජ් සමාගම තුන්රෝද රථය නිපදවන්නේ ස්කූටර් සංකල්පයම තවත් ඉදිරියට සංවර්ධනය කිරීමෙනි... එහි එන්ජිමද ස්කූටරයේ එන්ජිමට බොහෝ සමානය. ලංකාවට පළමු වරට තුන්රෝද රථ හදුන්වා දී ඇත්තේ 1979 දී, එහෙත් රෝද 3ක් සහිත මෙම අරුම පුදුම වාහනයේ  ගමනක් යාම එතරම් සුරක්ෂිත නැති බවට කල්පන කල පොදු ජනතාව නිසා පළමු වසරටම විකිණීමට හැකි වී ඇත්තේ රථ 3ක් පමණයි.

අනෙක් යතුරුපැදි වලට සාපේක්ෂව ස්කූටරයේ වාසි

පදවන්නා කකුල් තබා ගන්නා ආකාරය වාහනයක ගමන් කිරීමට සමාන නිසා දිගු දුර ධාවනයකදී දැනෙන වෙහෙස අඩුය / වැසි දින වලට මඩ බිදක් හෝ ශරීරයට වදින්නේ නැත / සයිලන්සරය සවිකර ඇත්තේ යට පැත්තට වෙන්න නිසා හදිසි පෙරලීමකදී සයිසලන්සරයට ශරීරය පිළිස්සෙන්නේ නැත /  හදිසි අවස්ථාවකදී බයිසිකලය අතහැර ඉවතට පැනීමට පහසුවෙන් හැකිය /  කකුල් ඉදිරියෙන් ඇති යකඩ ආවරණයෙන් පාද සදහා සැලසෙන ආරක්ෂාව / ටයර් වල පැච් එකක් ඇති වූ විට අමතර රෝදය භාවිතා කල හැකි වීම (අමතර රෝදයක් සහිත එකම යතුරුපැදිය) / චේන් එකක් නැති නිසා චේන් එක පැනීමෙන් බයිසිකලය පෙරළීමේ අවධානමක් නැත, පිටුපස රෝදය කෙලින්ම එන්ජිම මගින් කරකවන නිසා කදු නැගීමේදී ඉතා පහසුවෙන් ඒවා තරණය කල හැක.

අවාසි

පසුපස ඉදගෙන යන කෙනාට තරමක් අපහසු වීම  / ක්ලච්,ඇක්සලේටර්, ගියර්  ආදී කේබල් කැඩුනු විටෙක නැවත දැමීමට තරමක් වෙහෙස විය යුතු වීම / හැමවිටම රථය නවතන විට ප්‍ර‍ධාන ස්ටෑන්ඩ් එක පාවිච්චි කල යුතු වීම / ඉන්ධන පුරවන විට බයිසිකලය නවතා බැස ආසනය එසවීමට සිදුවීම.

අලුත්ම මෝටර් සයිකලයක් මිළදී ගැනීමට සිතා සිටි මා මිතුරෙකු දිනක් මගේ ස්කූටරය දැක එදා සිට එයට පෙම් බැන්දේය.. ඔහුද හොද පැරණි ස්කූටරයක්  කාලයක් යන තුරු සෙවූවද හමුවූ නැති තැන අබලන් එකක් මිළදී ගෙන මුල සිට අගට සම්පූර්ණයෙන්ම අලුත්වැඩිය කොට ධාවන තත්වයට ගත්තේය. අපගේ මෙම ස්කූටර් දෙකම 2012 වෙසක් දින පාහියන්ගල බලා  223 Km දුර ගිය චාරිකාව ඉතා රමණීය එකක් වූ අතර බොහෝ දෙනා ඒ කෙරේ අවධානය දැක්වූහ. විශේෂයෙන් මාර්ගයේ සිටි කුඩා ළමුන්  මේ දර්ශනයෙන් ඔද වැඩී  කෑ කෝ ගැසුවෝය. කහ පැහැයෙන් යුත් ස්කූටර් ඉතා අඩු නිසාදෝ ඕනෑම තැනක මේවා කැපී පෙනෙයි. නවතා ඇති ස්ථානය අවට කුඩා දරුවන් සිටියි නම් අනිවාර්යෙන් ඔවුන් ඒ කෙරෙහි ආකර්ශනය වන ආකාරය මා අත්විද ඇත.

මම තනියෙන් ගියාට යාලුවා යන්නෙ ඩබල් දාලා

පාහියන්ගල යන ගමන් සීතාවකදි
මෙවර අප ගිය සිංහරාජ චාරිකාව කිලෝමීටර් තුන්සීය ඉක්මවීය. මා මේ දුර ගණන් දැක්වූයේ ස්කූටරය පැරණි වුවත් හොදින් නඩත්තු කරන්නේ නම් දුර ගැටලුවක් නොවන බැව් දැක්වීමටයි.

ස්කූටරයේ  ලියාපදිංචි ලේඛන වල සටහන්ව ඇති පැරණි හිමිකරුවන් සොයා ගොස් ඔවුන් සමග කථා බස් කිරීමට මම ඉතාමත් ආශාවෙන් සිටිමි.

මා හිතවත් දෙරණ රූපවාහිනියේ කසුන් මල්ලි වරෙක මගේ ස්කූටර් කථාව වස්තු බීජයක් ලෙස ගෙන චිත්‍ර‍පට තිරනාටකයක් ගොඩ නැගුවේය. නිසි නිෂ්පාදකයකු හමු වූ විටෙක එය අපට ඉදිරි දිණක දැකගන්නටත් ලැබේවි.

සිරාගේ ස්කූටරේ දායක වූ රූප රචනා.....



රොමේෂ්  සහ ජිත්මි -  රෑට මං සිහිනෙන් ඇවිදින්



                                                            
                                                             ඉරාජ් / පේෂල -  දෙනුවන්

ශ්‍රීලංකාවේ අපූර්වතම යුගයක් නියෝජනය කල මෙවැනි රථවාහන එදා ජනජීවිතයේ රසමුසු තැන් සමග ගැවසුන ඒවා වෙති. එදා සමාජය ක්‍ර‍මයෙන් අද දක්වා වෙනස් වූ බැව් දැක්කෝ වෙති. වාහන අඩු එදා මහාමාර්ගයන්හි පැරණි රථවාහන සමග ගමන් ගිය අතීතය අමතක කර සංකීර්ණ නවීන වාහන සමග වාහන  තදබදයන්  අස්සේ අදද ධාවනය වන්නෝද වෙති.

ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් සිරා මාස 4 කට වරක් ලංකාවේ සංචාරය කර නොමැති පළාතක සුන්දරත්වය දැක ගැනීමට සිය ස්කූටරය මෙහෙයවයි... ඒ අවශ්‍යතාවම ඇති යතුරුපැදි මගින් සංචාරයට ප්‍රිය තවත් මිතුරන් පිරිසක් සිටීමද වාසනාවකි.




මම සයිබරයේ අලුත් මිතුරා සිරා...

ප.ලි

ස්කූටරය වර්තමානයේ හැඩ වැඩ කරන්නේ වැලිවේරියේ අජන්ත අයියාය... ගම්පහට ආසන්නයෙන් ඉතා හොද වැඩකරුවෙකු සොයාගැනීමට මා කල උත්සාහයේ ප්‍ර‍තිඵලය ඔහුගේ හමුවීමයි.

සිරාගේ ස්කූටරය ඔරිජිනල් ගත් ලක්ෂණ වලින් බැහැර වී කාලීන වෙනස්කම් වලට භාජනය වී ඇත.

ස්කූටරය රූපරචනා සදහා යොදාගැනීමට තීරණය කල තාල රූප අධ්‍යක්ෂ චමිල් සදරුවන් පතිරණ මිත්‍රයාට හා කලා අධ්‍යක්ෂක බිමල් සොයුරන්ට මාගේ ප්‍රණාමය.

ඇතැම් තොරතුරු උපුටා ගත්තේ Wikipedia.org වෙතින් හා scooterhelp.com වෙතිනි.

කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සහභාගී වූ බර්ර්ර්ර්ර්ර් කොකා කෝලා දැන්වීමටද ආරාධනාවක් ලැබුනත් ඒ අවස්ථාවේ කොච්චිකඩේ චමින්ද අයියා අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් කරමින් තිබූ නිසා ඒ අවස්ථාව සිරාට ගිලිහී ගියා....

ඔබද මෙවැනි ස්කූටරයක් පාවිච්චි කරන්නෙක් නම් සිරා වෙත ඊයක් එවන්න. එවැන්නන් හදුනාගැනීමට ඉතාමත්ම කැමතියි... 

ඇන්ටික් යකඩ අස්පයෝ මීළග පෝස්ටුව ලෙස නිසැකවම පළවේවි. ප්‍රමාදය පිළිබද මාගේ බලවත් කණගාටුව....





Related Posts Plugin for WordPress, Blogger...