Saturday, October 12, 2013

69 දොස්තර අංකල්

කාලෙකට කලින් සිරා ලිව්ව හුජ්ජ පෝස්ටුවෙ මනමාලයගෙ මල්ලි තමයි ප්‍රියා. ඒ කිව්වෙ මම උසස් පෙළ කරන අවධියෙ මගේ ජීවිතයට ලං වෙච්ච කදිම මිතුරෙක්. අපේ මේ මිත්‍රත්වය දළු ලා වැඩෙද්දි තමයි අපි එකිනෙකාගෙ නිවෙස් වලට යාම් ඒම් කරන්න පටන් ගත්තෙ. මගේ මිතුරෙක් අපේ ගෙදර ආවොත් අපේ අම්මා දවල්ට කන්න දෙන්නෙ නැතුව යවන්නෙ නෑ වගේම උන්ගෙ ගෙදරකට මම ගියොත් ඒ නිවෙස් වල සත්කාරයත් එහෙමයි.

ප්‍රියාගෙ නිවස බොහොම පිළිවෙලයි. වැඩිමල් සහෝදරයො දෙන්නම විදේශයන්හි රැකියාව කරපු නිසා නිවසෙ හිටියෙ පවුලෙ බඩපිස්සා වෙච්ච ප්‍රියා කොලුවා, අම්මා, තාත්තා පමණයි. ප්‍රියාගෙ තාත්තා විශ්‍රාමික බටහිර වෛද්‍යවරයෙක්. ගම්පළාත නුවර. අන්තිමේදි ප්‍රියාගෙ අම්මගෙ ගමේ තමයි පදිංචියට ගෙවල් දොරවල් ගොඩ නගලා තිබුනෙ. තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩෙක් විදියට තමයි තමන්ගෙ පසුකාලීන බිරිද මුලින්ම හමුවුනේ කියලයි ප්‍රියාගෙ තාත්තා එහෙමත් නැත්නම් අපි ආමන්ත්‍රණය කරපු විදියට Doctor Uncle අපිට කිව්වෙ.



මට ජීවිතේ මුලිච්චි වෙච්ච අතිශය සුන්දර මනුස්සයෙක් තමයි මේ විශ්‍රාමික වෛද්‍යවරයා. අපේ ප්‍රියා නිසා ඒ නිවසට නිතර ආගිය අපි අන්තිමේදි පුතාට වඩා තාත්තා එක්ක හිතවත් වුනා කිව්වත් ඒකෙ වරදක් නෑ.

තමුසෙලත් ඉතිං දවල්ට කන වෙලාවම බලලා ගෙදරට එනවා නේද ? නගා එක්ක ප්‍රියාගෙ නිවසට යන ඇතැම් දවසක ආලින්දයේ හාන්සි පුටුවක විවේකී සුවයෙන් ඉන්න Doctor Uncle තමන් පැළදගෙන ඉන්න කණ්නාඩිය යටින් බලලා අපිට කියන්නෙ විහිළුවට මිස ඇණුම් පදයකට නොවන බැව් අපි ඒ වෙද්දි හොදට අවබෝධ කරගෙන හිටියෙ. මොකද ඒ නිවසට කොයි වෙලේ ගියත් කෑම මේසෙ ඉදගන්නෙ නැතුව අපිට ආපසු යන්න අවසර දුන්නෙ නැති හින්දා. එතුමාගේ ශබ්ද කෝෂයෙ “අයිසෙ කියන වචනය වැඩිපුර භාවිතා උනාට කිසිම අවස්ථාවක ඒ තවත් කෙනෙක් පහත් කරන්න නෙමෙයි කියන කාරණයත් ඒ වෙද්දි අපිට වැටහිලා තිබුනෙ. ඉතාම කරුණාවන්ත හදවතක් තිබ්බ මනුස්සයෙක් විදියට ප්‍රියාගෙ තාත්තව අපි හදුනගත්තෙ නිවසේ ඇති කරන සුරතල් සතුන් රෝගී උනාම ඒ වෙනුවෙන් ඇප කැප වෙලා බේත් හේත් කරන විදිය, දුප්පත් මිනිහෙක්ට ගෙදරට බඩු මල්ලක් ගන්න, පන්සලේ අඩුපාඩුවක් හදාගන්න නොමසුරුව පරිත්‍යාගයන් කරපු තැන්වල අපිත් හිටපු හින්දා.

මට කියනවකො අපේ මිනිහට කෙල්ලෙක් එහෙම තාම සැට් වෙලා නැද්ද කියලා...ඇතැම් දවසක අපේ කථා බහ ආරම්භ වෙන්නෙ ඔය විදියට. අයිසෙ දැන් තමුසෙලත් බදින වයස නේද ? තාම බදින්න අදහසක් නැද්ද...ඕනෙ නම් මගේ යාලුවන්ගෙ දුවලා කීප දෙනෙක් ඉන්නවා කථා කරන්නම්.

දැන්ම බදින්න අදහසක් නෑ අංකල්....ගෙයක් දොරක් හදාගෙන වාහනයක් කාරිය ගන්නකම් බදින්න අදහසක් නෑ.

ඒවා ගත්තට පස්සෙ අයිසෙ නොබැද ඉන්න එක තමයි හොදම වැඩේ.

ඒ මොකද අංකල්...

මොකද ඔය ඔක්කොම සම්පූර්ණ කර ගන්නකොට අවුරුදු 40ත් පැනලා තියේවි නොවැ...

මම කියන දේ අහනවා...ඔය හැමදේම සම්පූර්ණ කර කර බදින්න බෑ. මමත් බැන්දෙ ඔය දේවල් ඇතුව නෙමෙයි. ඉස්සෙල්ලා බදිනවා. ඊට පස්සෙ තමන්ගෙ සහකාරියත් එක්ක සහයෝගයෙන් අනිත් දේවල් කරගන්නවා...ඔන්න ඕකයි ක්‍රමේ. හැබැයි බැදපු ගමන් දරුවෙක් හදනවා. නිකං කල් මර මර ඉන්නෙ නැතුව.

ඒ මොකද අංකල් එහෙම කියන්නෙ. මෙහෙම මාතෘකාවක් ගැන අපේ දෙමව්පියන් එක්ක කථා කරන්න අපි විළි ලැජ්ජා උනාට ප්‍රියාගෙ තාත්තා වෛද්‍ය වෘත්තියෙ නිරත වෙච්ච කෙනෙක් හැටියට අපිට එහෙම ලැජ්ජාවක් දැනුනෙ නෑ.

මෙහෙමනෙ අයිසෙ...ජීවිතේ වැදගත්ම දේ මොකක්ද කියලා කියනවා...ගෙවල් දොරවල්ද, වාහනද, රැකියාවද,

හිතාගන්න බෑ අංකල්...අපේ උත්තරේ එහෙමයි

ජීවිතේ වැදගත්ම සම්පත තමයි දරුවො, මම ඔය කලින් කියපු හැමදේම සපුරගත්තත් ළමයි නැති ජෝඩු කීයක් නම් මේ ලෝකෙ ඉන්නවද...ඒ හැමෝම කොච්චර සම්පත් තිබුනත් වේදනාවෙන් තමයි ජීවත් වෙන්නෙ දරු සම්පත නැතුව,

අද ඉන්න ජෝඩු කසාද බැදලා..ගෙවල් හදනකං...අරව මේවා ගන්නකං කිය කියා වැදගත්ම කාරිය පස්සට දානවා...දරුවො ලැබෙන එක වළක්වන්න බෙහෙත් බොනවා..ඔය බෙහෙත් වල රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය හින්දා සමහරුන්ට අතුරු ආබාධ හැදෙනවා. තවත් සමහරුන් තමන්ගෙ ඉලක්ක ජය අරන් ළමයෙක් බලාපොරොත්තු වෙද්දි ශරීරයේ සැකැස්ම සෑහෙන වෙනස් වෙලා. ඊට පස්සෙ දොස්තරලා පස්සෙ දුවනවා ලක්ෂ ගණන් වියදම් කර කර. ඒ හින්දයි මම කිව්වෙ ඉස්සෙල්ලාම වැදගත් රාජකාරිය කොරගෙන ඉන්නෙයි කියලා.

මම අදුරන පවුලක් දරුවො ලබාගැනීම කාලයක් පස්සට දාලා අවශ්‍ය කාලය ආවම දරුවෙක් හදාගන්න බැරුව හැම තැනම ගියා...ඒ අයට මිළ මුදල්, යාන වාහන, දේපළ ඇති තරම්. ඒත් වැදගත්ම දේ නෑ. අන්තිමේදි දොස්තරලා කිව්වා ගර්භාෂයෙ ප්‍රශ්නයක් තියෙනවා සැත්කමකින් යථාතත්වයට පත් කරන්න ඕනෙ ඒකට ලංකාවෙ පහසුකම් නෑ කියලා. මේ අය අන්තිමේදි සැත්කම කරන්න කැනඩාවට යන්න තීරණය කලා...වියදම කෝටි ගාණක්...අන්තිමට ගමන පිටත් වෙන්න මාස දෙක තුනකට කලින් දරුවෙක් ලැබෙන ලකුණු පහල උනා. ඒක ඒ අයගෙ වාසනාව. හැබැයි හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන්නෙ නෑ.

ප්‍රියාගෙ තාත්තා ඒ නිවසට යන හැම මොහොතකම වගේ කසාදය පිළිබද ගැටළුව ඉදිරිපත් කරන නිසා මම දවසක් කිව්වා

මම ඉතිං කලාවට බර හාදයනෙ අංකල්...ඒ හින්දා මට චිත්‍ර ටීචර් කෙනෙක් හොයලා දෙන්න කියලා.

සති දෙක තුනකට පස්සෙ Doctor Uncle ප්‍රියාගෙන් නොම්බරේ ඉල්ලන් මට කථා කරනවා ජංගම දුරබණුවෙන් ...

ඔන්න මට කියපු විදියට වැඩේ කලා...තමුන් මෙහෙ එනවා ළගදි දවසක, හොද නැටුම් ටීචර් කෙනෙක් ඉන්නවා...මාත් එක්ක වෙලාවක යමු ඒ ළමයගෙ ගෙවල් පැත්තෙ...

අංකල් ඒ ළමයා උඩරට නැටුම්ද කරලා තියෙන්නෙ...

මම දන්නෙ නෑ අයිසෙ..උඩරට පහතරට බැරි නම් දහඅට සන්නිය හරි නටයිනෙ...තමුසෙ මම කියනවට එනවකො ...

තවත් දවසක එහෙ ගියාම

බලනවා අයිසෙ මේ අපේ ප්‍රියා...දැන් ගෑණු කීයක් කියලා බලන්න ගියාද...මේ යෝධයා එකකට වත් කැමති වෙන්නෙ නෑනෙ...තමුසෙලා දෙන්නවත් අහලා කියනවකො මේ මිනිහට කොහෙ හරි කෙල්ලෙක් පැටලිලා ඉන්නවද කියලා ඉක්මනට කරලා දාන්න.

තවත් දවසක..

අයිසෙ සිරා...තමුසෙට ගෑණු හොයන එක මම නැවැත්තුවා..නැටුම් ටීචර් කෙනෙක් හෙව්වාම කියනවා චිත්‍ර ටීචර් කෙනෙක් ඕනෙලු...චිත්‍ර ටීචර් කෙනෙක් හෙව්වාම කියනවා සංගීත ටීචර් කෙනෙක් ඕනෙලු...ඔය කියන කියන විදියට ගෑණු හොයන්න තමුන් හිතුවද ගෑණු කියන්නෙ  කලාගාරයක් කියලා. මම කියන්නද හොදම වැඩේ..තමුසෙ පෙර පාසල් ටීචර් කෙනෙක් බදිනවා...එතකොට තමුන්ට ළමයි ඉන්න දවසක ඒ දරුවන්ට ආදරෙන් සළකගෙන ගෙදරදිම මූලික අධ්‍යාපනය දීගෙන ඉන්නෙ නැතැයි තමුන්ගෙ පවුල.

Doctor Uncle මගේ අතිජාත ස්කූටරය අළුත් වැඩියා කරන්නත් අදහස් වලින් සෑහෙන්න උදව් වෙච්ච කෙනෙක්...

අයිසෙ මම පේරාදෙණියෙ පැකල්ටියෙ ඉන්න කාලෙ මගෙ ලගත් තිබුනා vespa එකක්. ඒ දවස් වල ප්‍රියාගෙ අම්මගෙ තාත්තා තේ වත්තක සුපිරින්ටන්ඩ් කෙනෙක් හින්දා මේ පවුල හිටියෙත් නුවර... ඉතිං හැන්දෑවට හැන්දෑවට මම කුරුල්ලා වගේ යනවා ඇන්ටිව බලලා එන්න. ඒ දවස් වල මට මතක විදියට අපේ කැම්පස් එකේම සෑහෙන දෙනෙක් කොල්ලො පැද්දෙ ස්කූටර්...හැබැයි ඇන්ටි ස්කූටරේ ඉදගෙන යන්න කැමති නෑ..අමාරුයි කියලා...අපි දෙන්නා ඉතිං කොහේහරි යන දවසට අපේ තාත්තගෙ වොක්ස්වැගන් කාර් එක තමයි පාවිච්චි කලේ.

මේ බයිසිකලේ කෑලි අඩුයිනෙ. මෙන්න මෙතනට එනවා ස්විච් එකක්..ඒක මේකෙ නෑනෙ...මෙන්න මෙතනට එනවා මේ විදියෙ කෑල්ලක්...ඔය විදියට අඩුපාඩු පිළිබද උපදෙස් එතුමගෙන් ලැබුනා.

කොහොම හරි තාත්තගෙ නිසි මග පෙන්වීම හින්දම ප්‍රියා යෝජනාවකින් තමන්ට ගැලපෙන යුවතිය තෝරගෙන විවාහ ජීවිතේට එළැඹුනා. ඒ උත්සවය වගේම අයියලා දෙන්නගෙම විවාහ උත්සව වලටත් මගේ සහයෝගය විවිධ අංශ වලට ලබා දුන්න නිසාම ඒ වෙද්දි ප්‍රියාගෙ පවුලෙ ලගම හිතවතෙක් තරමටම මම ඔවුනට සමීප වෙලා හිටියෙ.

ඒ නිසාම විවාහ උත්සව වලට සංගීත කණ්ඩායමක් සොයා දීමේ වගකීම හැම විටම පැවරුනේ මට.
තමුන් ඉතිං සංගීතකාරයා නොවැ...අයියලට හොයලා දුන්නා වගේ වැඩි සද්ද බද්ද නැති හොද සංගීත කණ්ඩායමක් ප්‍රියාගෙ වැඩේටත් හොයලා දෙනවා...එහෙම වෙලාවට මට වගකීම් පැවරුනේ ඒ විදියට.

මම ඒ නිවසෙ දැක්ක වටිනාම දේ තමයි සමගිය සහ දෙමාපියන්ට දරුවො දක්වපු ගෞරවය. රාත්‍රියට කෑම මේසයට හැමෝම ඉදගත්තම තමයි Doctor Uncle දරුවන්ට කියන්න තියෙන දේවල් කියන්නෙ. අයියලා දෙන්නම නිවාඩුවට ලංකාවට එන්නෙ එකටම නිසා එහෙම දවසට මමත් රාත්‍රී භෝජනයකට ඒ ගෙදර ආරාධිතයෙක්. අයියලා විවාහ ජීවිත වලට එළැඹිලා තිබුනත් තාත්තා කියන දේවල් එක්ක කවදාවත් වාදයකට ගියේ නෑ. පුතාලා තුන්දෙනාම මත්පැන් කටේවත් තිබ්බෙ නැති උනාට Doctor Uncle කෑමට පෙර පොඩි එකක් අරන් කෑමෙන් පස්සෙ ඉක්මනට නිදාගන්නවා.

දවසක් මේ ගෙදරට ගිය වෙලේක Doctor Uncle කවදාවත් නැති අමුතුම කථාවක් කිව්වා. මම ආශාවන් කියන දේ සෑහෙන්න අඩු කරගෙන දැන් ජීවත් වෙන්නෙ. මට දරුවො සැළකුවත් එකයි, නැතත් එකයි. මම ඒ ගැන බලාපොරොත්තු තියාගෙන නෑ. අපි දෙන්නට ජීවත් වෙන්න මට ලැබෙන ආදායම් හොදටම ඇති. අපේ ජීවිත ගැන විශ්වාසයක් තියන්න බැරි හින්දා තමයි ප්‍රියාට උනත් ඉක්මනට කසාද බදින්න කියලා මම පස්සෙන් පැන්නුවෙ. දැන් ඉතිං ඒ වැඩකටයුතු ඔක්කොම ඉවරනෙ.

ප්‍රියාගෙ වෙඩිමෙ වැඩකටයුතු ඔක්කොම ඉවරවෙලා ආයෙත් නිවසට ආපු වෙලෙත්...මට තට්ටුවක් දාලා Doctor Uncle කිව්වෙ ඊළගට නගාට බැරි නම් තමුසෙවත් බදිනවා...හොද ළමයෙක් මම හොයලා දෙන්නම් කියලා. ඊට හරියටම මාසෙකට විතර පස්සෙ දවල් වරුවක ප්‍රියාගෙන් මට ඇමතුමක් ලැබුනා.

හෙලෝ ප්‍රියා...

සද්දයක් නෑ...ප්‍රියා ඉකිගහන හඩක් යන්තමට ඇහෙනවා...

මොකද බන්...කථා කරපන්...

ම...මචන්...තාත්තා නැති උනා බන්...ඒකාට එච්චරයි කියාගන්න ලැබුනෙ...දරුවෙක්ට ජීවිතේ කියන්න ලැබෙන දුක්බරම වචන ටික ඒ විදියට කියලා ප්‍රියා මහා හයියෙන් කෑ ගහලා අඩන්න ගත්තා...

මමත් ඉක්මනට කහ කුරුල්ලා පිටේ නැගලා ප්‍රියාගෙ නිවසට ගියා.

වෙච්ච සිද්ධිය මට කිව්වෙ අසල්වැසියෙක්...නිවැසියො සියල්ලෝම ඒ වෙද්දි රෝහලට ගිහින්...

දොස්තර මහත්තයා වෙනදා වගේ උදේ ටීවී බල බල සාලෙ පුටුවට වෙලා ඉදලා. නෝනා කුස්සියට ගිහිං තේ එකක් හදාගෙන එද්දි ඔලුව පැත්තකට බර වෙලා ඉදලා තියෙන්නෙ...මුලින් හිතලා තියෙන්නෙ නින්ද ගිහින් කියලා..ඒත් වෙනදට මේ වෙලාවට නිදියන්නෙ නැති හින්දා හොයලා බලනකොට තමයි නෝනා දැනගෙන තියෙන්නෙ සිහිය නෑ කියලා. අපි ඉතිං ඉක්මනට ඉස්පිරිතාලෙට යැව්වා..ඒ වෙද්දිත් නැති වෙලාලු...පපුවෙ අමාරුවක්...

මේ විදියෙ මරණයක් ලබන්න කෙනෙක් බොහොම පින් කරන්න ඕනෙ...මළගෙදර දවසෙ පන්සලේ නායක හාමුදුරුවො එහෙම දේශනා කලා. දොස්තර මහත්තයා ජීවතුන් අතර ඉද්දි මේ සමාජයට වගේම ගමට රටට කරපු සේවය මෙතෙකැයි කියන්න බෑ. මෙහෙම ආදර්ශමත් ජීවිත වලින් තමයි මේ ජීවත්වෙන ඇත්තොත් තමන්ගෙ ජීවිතේට යම් ආදර්ශයක් ගන්න ඕනෙ.

හැමෝගෙම සෝ සුසුම් මැද්දෙ ගහක් ගලක් වගේ හිටපු Doctor Uncle ගෙ සොහොනට කනත්තෙදි ගිණි ඇවිලෙන කොට එතුමා සිරාට මුලිච්චි වෙන හැම වෙලාවකම කටේ තිබුන වචන පෙළ මගේ හිත ඇතුලෙ දෝංකාර දුන්නා.

ඉක්මනට බදිනවා අයිසෙ....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

ප්‍රියාගෙ තාත්තට පපුවෙ අමාරුව හැදුන දෙවැනි වතාව තමයි මේ. මීට පෙර එතුමා ගම්පහ ප්‍රධාන පුද්ගලික රෝහලක අධ්‍යක්ෂ වරයා ලෙස වැඩකටයුතු කරමින් ඉන්න වෙලාවක රාජකාරී ස්ථානයේදීම පපුවෙ අමාරුව හැදිලා ප්‍රතිකාර ලෙස ලබාදුන්න මිළ අධික එන්නතක පිහිටෙන් නැවතත් ජීවත් වෙන්න වරම් ලබාගෙන තිබුනා.

ඒ එන්නත ඒ දවස් වලත් රු 35000/- කට වැඩියි බන්...ඉස්පිරිතාලෙම ඉතුරු වෙලා තිබුනෙ එකම එකයි...තාත්තට අමාරුව හැදෙනකොට මමත් මොකක් හරි වැඩකට ගිහිං ඒ ළගමයි හිටියෙ...

දොස්තර කෙනෙක් එන්නත තියෙන ෆ්‍රිජ් එක පෙන්නුවාම ඒක එතනින් අරගෙන දුවලා ගියෙත් මමමයි. තාත්තගෙ ජීවිතේට අනතුරක් වෙයි කියලා ඒ වෙලාවෙ මගේ අත වෙව්ලුවා බන්...ඊට පස්සෙ තාත්තා කොලස්ට්‍රෝල්, සීනි හැමදේම එයාම චෙක් කරගෙන හොද මට්ටමක ඒ හැමදේම පවත්වගෙන ගියේ. මේ වතාවෙ එයාව බේරගන්න අපි කවුරුවත් ලග හිටියෙ නැති එක ගැන මට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි බන්. පස්සෙ දවසක ප්‍රියා එහෙම කිව්වා.

තාත්තා ජීවතුන් අතර ඉද්දි දුන්නු උපදෙස් අකුරටම පිළිපැද්ද ප්‍රියා කසාද බැදලා පළවෙනි අවුරුද්දෙදිම තාත්තා කෙනෙක් උනා.

69 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පිය සෙනෙහස ගැන සංවේදී කතාවක් බන්... මේ ලෝකේ සැබෑ මව් වරුන් සහ පියවරුන් ඉන්නවා.. ඒ අයව අඳුනන්නේ කොහොමද කියලා දන්නවද සිරා ...?

      තමන්ගේ දරුවද වෙන කෙනෙක්ගේ දරුවද කියලා වෙනසක් නැහැ එයාලට...

      Delete
    2. ඔබේ අදහස සමග මමත් එකගයි සහන්..පියවරුන්ගේ ආදරය කොහොමත් නිහඩයි නිසලයි...ඒ නිසයි පිය සෙනෙහසට ලියවුනු ගී අල්පයක් පමණක් ඇත්තෙ...

      Delete
    3. ඉක්මනට බැඳපං සිරෝ

      Delete
  2. හුඟක් සංවේදි කතාවක් සිරා අයියේ..

    ReplyDelete
    Replies
    1. මේ සියල්ලක්ම සත්‍ය මිස අසත්‍ය නොවේ...

      Delete
  3. අනිත් අයගෙ යහපත ගැන හිතන මිනිස්සු අද සමාජේ අඩුයි අයියේ. එහෙම බලනකොට මේ ලිපිය ඒ වැදගත් පුද්ගලයට උත්තමාචාරයක්......!!

    ReplyDelete
    Replies
    1. එහෙම අය අඩුයි තමයි..නමුත් සමාජයටම මෙහෙයක් කරන මෙහෙම චරිතයක් දෙකක් දුටුවනම අදුන ගන්නත් පුලුවන්...

      Delete
  4. ඔහොම අංකල්ලා මටත් මුණගැහිලා තියෙනව.සමහර අංකල්ලා එක්ක ෂොට් එකටත් සෙට් වෙලා තියෙනව.
    මොකද බං මේ ටිකේ මරණ ගැනම මතක් වෙන්නෙ.
    අර ගියවර ලිපියෙ අහල තිබුන වගේ සල්ලි තියෙන එක්දරු මවකුත් වරදක් නැහැ බදිනවනම්.
    ලබන ආත්මෙ මොනවද ලබන්න ඒකත් එක පිනක් වෙනවලු.

    ReplyDelete
    Replies
    1. මතක පොත පෙරළනකොට ඉතිං අහුවෙන ඒවා තමයි...එක ලග මරණ කීපයක් ගැන ලියවුනා තමයි...ඒවා හිතලා වෙන දේවල් නෙවෙයි..

      එහෙනං එක්දරු මවක් ගැන සලකා බලන්නද ?

      Delete
  5. හිතට වැදුන කතාවක්.

    ReplyDelete
  6. කලාතුරකින් දකින්ට ලැබෙන විදියේ හොඳ කෙනෙක්.

    දැන්වත් ඉතින් සිරාට තියෙන්නේ එයා කියපු දේවල් ගැන සලකලා බලන්ට. එයා කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත සිරෝ .

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගිය දවසක සලකා බලන්න තමයි හිතාගෙන ඉන්නෙ පොඩ්ඩි...ඒකටත් තව අවුරුදු කීපයක් තියෙනවා නොවැ...

      Delete
  7. අද මම පුල් කාර්ය බිසී. පස්සේ බලලා 'දෙකක් කියන්නම්'

    ReplyDelete
    Replies
    1. දෙකක් නෙමෙයි විචාරක තුමා තුන හතරක්ම කියන්න...ඕගොල්ලො වගේ පරිණත පුද්ගලයො තමයි ඉතිං මේ කථා වල ඇත්ත නැත්ත දන්නෙ...

      Delete
    2. ඔබ මේ කියන ආකාරයේ පුද්ගලයන් දෙදෙනෙක් මම දන්නවා. නමුත් විස්තර කියන්න බැරි ඉතා සුළු වැරදීමකින් හෝ ඔවුන්ගේ අනන්‍යතාව හෙළිවන්නට ඉඩ ඇති නිසා. තමන්ගේ යුතුකම් ඉෂ්ට කරගන්න පුළුවන්වු දෙමවුපියන්ට මරණය ප්‍රශ්නයක් හෝ අභියෝගයක් නෙවෙයි. මේ දොස්තර මහත්තයා ළමයින්ට දායාද කලේ දේපොළ වස්තුව නෙවෙයි. ලෝකයේ ජීවත්වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියන දැනුම. ඒ දැනුම විශ්ව විද්‍යාලයකින්වත් ලබන්න බැහැ. අද වේගයෙන් ඈත්වෙමින් තිබෙන දෙමාපිය දූදරු සබඳතාව යලි සමීප කරන්න නම් ඒ දෙපාර්ශ්වයටම විශාල කැපකිරීම් කරන්න වෙනවා.

      Delete
    3. කථාව ඇත්ත...දෙමාපිය දූදරු සබදතාව පළුදු වෙන්නෙ ඒ දෙපාර්ශවය අතර සමීපත්වය අවම උනාම කියලයි මට හිතෙන්නෙ...සමහර දෙමාපියන්ට තමන්ගෙ දරුවගෙ පාසලේ වැඩක්වත් හොයලා බලන්න වෙලාවක් නෑ...ළමයි අයාලේ යනවා...වැරදි වැඩකට යොමු වුනොත් ඉතිං මහන්සි වෙලා හොයපු සල්ලියෙන් වැඩකුත් නෑ...

      Delete
  8. ඔහොම සතුටෙන් ජීවත්වෙන මිනිහෙකුට තමයි ඔය වගේ සතුටුදායක මරණයක් ලැබෙන්නෙ.
    සංවේදී කතාවක්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා නේද ? සමාජයට අහිතකර පුද්ගලයො තමයි විදවලා මැරෙන්නෙ...ඉතුරු වෙන්නෙ...

      Delete
  9. ගොඩක් හොඳ මනුෂ්‍යයෙක්...

    කතාව රසබර විදියට ගලපගෙන ඇවිල්ලා අවසානය දුකක් උනා නේ

    මේ සිරා හැමදාම අපිට ඔය වැඩේ කරනවා...

    මොනවා කරන්නද... යථාර්තය නේද සිරා අයියේ...හ්ම්ම්..

    ඉන්නා තැනක දැන් ඒ ඇත්තා හොඳින් ඇති...

    ReplyDelete
    Replies
    1. ඉපදීම දුකක් නොවැ නගේ...මේ හැමදේම දවසක අපිට අතඅරින්න වෙනවා කියන තැන තමයි මගේ සිත කොහොමත් තියෙන්නෙ...ඒ නිසා ආශා පොදිබැදලා ලොකු බලාපොරොත්තු තියාගෙන නෑ...දෙමාපියන්ට හොදට සලකන එක තමයි මගේ එකම පැතුම....

      Delete
  10. සංවේදී කතාවක්. වාසනාවන්ත මරණයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ලොකු හාමුදුරුවොත් දේශනා කොලේ....

      Delete
  11. පහුගිය ටිකේ පෝස්ට් ටික කියෙව්වම නං හිතෙන්නෙ මූට දැන් රස්සාව හරි නිසා පරස්තාව තමයි අඩුවෙලා තියෙන්නෙ කියලා.. නිකමට වගේ කට්ටියම කියෝලා බලන්නකෝ.. හැම එකකම මංගල දැන්වීමක් තියෙනව.. හි හි...

    සරලව ජීවත් වෙන මිනිස්සු ඔහොම තමයි බං.. හිතේ කහට පුරෝගෙන ඉන්න අයට තමයි දුක් විඳ විඳ මැරෙන්න වෙන්නෙ... නිකමට හොයලා බලපං... විඳව විඳව ඇඳ ඇඳ ජීවත් වෙන අයගේ හිත් වල කොච්චර දේවල් තියෙනවද කියල... එහෙම දේවල් නැති අය සැනසිල්ලෙ යන්න යනව.. ප්‍රියාට උනත් අර විදියට හිතලා දුක් වෙන්න දෙයක් ඇති කියලා මං නං හිතන්නෙ නෑ... තමුන්ගෙ ජීවිතෙත් හොඳට ගත කරලා, ළමයින්ටත් හොඳට ජීවත් වෙන්න සලස්සලා දීලා, සන්තෝසෙන්නේ තාත්තා ගියේ... වෙන මොනාද අපිට දෙන්න පුළුවන් ඉතිං...

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මපා හිරුවො මටත් ඔය උඩම එක හිතුනනෙ

      Delete
    2. උඹ ඉතිං මගුලක් කථා කරනවා...අනේ බොලං මතක පොතේ පිටු පෙරළිලා එන විදියට තමයි පෝස්ටු ලියවෙන්නෙ...එක ලග මගුල් කථා කීපයක් ලියවුනා තමයි...ඒවා හිතලා මතලා කරන වැඩ නෙමෙයි...බොලා කියන තරම් තදියමක් තියෙනවා නම් මංගල කිංකිණි එකට දැන්වීමක් දානවා නොවැ මෙතන කොටන වෙලේ...

      බොගෙ කථාව එක්ක මමත් එකගයි..ආශා පොදි බැද තණ්හාවෙන් එක එකාට වල කැපූ උන් තමයි කරෝල වෙනකං වේලිලා යටියන්තොට යන්නෙ...

      Delete
    3. meya hik hik gaga habai aththama kiyala thiyenawa... hik hik

      Delete
  12. හිත්වලට කතා කරන සිදුවීමක්....

    ReplyDelete
    Replies
    1. අපිත් දවසක මැරෙන බව සිතේ තබාගෙන කටයුතු කිරීම වැදගත්...සමහරු ජීවත් වෙන්නෙ සදාකාලිකව ජීවත් වෙන උන් වගේ...

      Delete
  13. දැනෙන කතාවක් මචං .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරුවො...දැකීමත් සතුටක්...

      Delete
  14. මේ කමෙන්ට් එකෙන් පස්සේ මුලින්ම කරන්නේ තාත්තට කෝල් එකක් දෙන එක. මේ වගේ සුන්දර මිනිස්සු වැඩිකල් ජීවත් නොවෙන්නේ ජීවිතේ යතාර්ථය තේරුම් ගැනීම නිසාමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අයියෙ..නිතර ඒ අයගෙ දුක සැප හොයලා බලන්න...පුලුවන් හැම වෙලාවෙම බැහැ දකින්න යන්න...ඔය තමයි මේ ආත්මෙ අපිට තියෙන වටිනාම වස්තුව...නැතුව ගෙවල් දොරවල් වාහන නෙමෙයි...

      Delete
  15. හදවතට දැනෙන කතාවක් මුලීන් ආතල් දීලා අනතිමට ඇහැටම ඇන්නානෙ.
    ඉක්මනට බඳීනව අයිසේ............

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ නැද්ද හොද ගැටිස්සියක් එහෙම...ඩොක්ටර් අන්කල් කියපු දේ කොරලා දාන්න...

      Delete
  16. සන්වේදි වාසනාවන්ත මිනිසෙක්.සතුටින් නික්මෙන්න ඇති.
    // තමන්ගෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩෙක් විදියට තමයි තමන්ගෙ පසුකාලීන බිරිද මුලින්ම හමුවුනේ //
    // අයිසෙ මම පේරාදෙණියෙ පැකල්ටියෙ ඉන්න කාලෙ මගෙ ලගත් තිබුනා vespa එකක්. ඒ දවස් වල ප්‍රියාගෙ අම්මගෙ තාත්තා තේ වත්තක සුපිරින්ටන්ඩ් කෙනෙක් හින්දා මේ පවුල හිටියෙත් නුවර... ඉතිං හැන්දෑවට හැන්දෑවට මම කුරුල්ලා වගේ යනවා ඇන්ටිව බලලා එන්න. ඒ දවස් වල මට මතක විදියට අපේ කැම්පස් එකේම සෑහෙන දෙනෙක් කොල්ලො පැද්දෙ ස්කූටර්..//
    නොගැලපිමක් තියෙනවද මන්ද

    ReplyDelete
    Replies
    1. නොගැලපීමක් නෑ මිත්‍රයා...ප්‍රියාගෙ අම්මා ගම්පහට කිට්ටුව පළාතක...එතකොට පියා නුවර පළාතෙ...මේ දෙපළ ඉස් ඉස්සෙල්ලාම හමුවෙන්නෙ රෝගියා සහ වෛද්‍යවරයා ලෙස...ගම්පහට කිට්ටුව හිටපු කෙනා ඒ වෙද්දි නුවර පළාතෙ ජීවත් වුනේ තාත්තගෙ රැකියාව නිසා..ලව් එක නැගලා ගියාට පස්සෙ තමයි අර බයිසිකලෙන් ගෙදර යන තැනට එන්නෙ...බයිසිකලේ ගත්තා කිව්වෙ සරසවියෙ අවසන් වසරෙදි..ඒ වෙද්දිත් අහල පහල අයට පොඩි බෙහෙතක් දෙකක් ලියලා දෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...ඒ ඩිස්පැන්සරි දාගෙන නෙමෙයි...ඇදුනුම් කමට...

      Delete
  17. මට හරිම දුක හිතුනා මේ කතාව අහලා. හරිම සුන්දර මනුස්සයෙක්නේ බං.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නොවැ හෙන්රි අයියත් සෑහෙන්න තමන්ගෙ තාත්තට කිට්ටු චරිතයක් බව...දුක දැනුනා නම් ඔබේ හදවත සංවේදියි...සංවේදී හදවතක් ඇති තැනැත්තාගෙන් කවදාවත් සමාජයට විපතක් නෑ...එහෙම අයට තමයි මමත් මනාප...ඔය ගැලපීම නිසාම වෙන්ට ඇති අපි දැන් ව්‍යාපාරික සගයො වෙලා ඉන්නෙ....

      Delete
  18. ඩොක්ට අංකල් ගැන නෙමේ සිරෝ දුක.ඩොක්ට අංකල් හැමදේම කරනා ඉවර වෙලානේ මළේ.
    දුක තියෙන්නේ බොලා ගැනයි.ඉක්මනින් ඩොක්ට අංකල් කියූ දේ කර ගනින්.

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතිං නෑනෙ කිසිම හැල්ප් එකක්...ඔය පාන් ගේන්න කඩේ යන ගමන් එහෙම බලපංකො දීග යන වයසෙ ගැටිස්සියො එහෙම ඉන්නවද කියලා...

      Delete
  19. කතාවේ අවසානෙදි දුක හිතුනා බං,.. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ ලොකු දුකක් කියනවනේ.කොහොම උනත් ඒ මනුස්සයා නිතරම කියපු දේ දැන්වත් ඉක්මන් කරන්න බලපන්.

    ReplyDelete
    Replies
    1. ඒක කොරගන්න වෙන්නෙ ඉතිං ආයෙත් සිරිලංකාවට සැපත් වෙච්ච වෙලාවක තමයි...බලමු ඉදිරිය තමා පැහැදිලි මදි...

      Delete
    2. ඉຩ໱ය තම๟ ප๠හ๠ຩල๢ මຩ... ??????? ai ban mee dumada ?

      Delete
  20. ජීවිතේ ගැන හොදින්ම තේරුම ගත්තු පුද්ගලයෙක්.එහෙම අය දැන් කළුනික වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත...මේ විදියෙ කෙනෙක් පළමු වරට හමුවුනත් මට ඒ හමුවීමෙන්ම එයාගෙ ගතිගුණ ගැන යම් දළ අවබෝධයක් ලබා ගන්න පුලුවන්...

      Delete
  21. මේ වගේ මිනිස්සු හරි අඩුයි සිරා අයියේ. ඒ මිනිස්සු ගැන වැඩිය කට්ටිය කතා කරන්නෙත් නෑ! හැබැයි උ=සුවඳ ඉතිරි වෙලා තියනවා!

    ReplyDelete
    Replies
    1. සමාජයේ අද පවතින සෝදාපාළුවට එක හේතුවක් වන්නෙ හොද මිනිසුන්ගේ නිහඩතාව කියලත් කියනවා නොවැ...

      Delete
  22. "එතුමා සිරාට මුලිච්චි වෙන හැම වෙලාවකම කටේ තිබුන වචන පෙළ මගේ හිත ඇතුලෙ දෝංකාර දුන්නා.

    ඉක්මනට බදිනවා අයිසෙ...."

    ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ට කරන උපහාරයක් වශයෙන්වත් මේ එතුමාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරපන් මචෝ...... ඕනනම් කියපන් මම උදව් කරන්නම්

    ReplyDelete
    Replies
    1. බොලාට කරන්න තියෙන උදව්ව තමයි නිහඩ...තැන්පත්...රූමත් අගනක් මට හොයා දෙන එක...

      Delete
  23. මුලදී සතුටින් කියවගෙන ආවත් අන්තිමට හිත බර වුනා,ඉතාම දුර්ලභ මහත්මයෙක් ගැන කතාවක්.

    ReplyDelete
    Replies
    1. මේ දවස් කීපයේම මම ලිව්වෙ අන්තිමට හිත බර වෙන ඒවා නේද...බලමු ඊළග පොස්ටුවකදිවත් අන්තිම හරියත් සතුටෙන් නිමා වෙන එකක් ලියන්න...

      Delete
  24. හොඳ මිනිස්සු වැඩිකල් ඉන්නේ නැත්තේ ඇයි???? කොච්චර හිටියත් මදියි කියල හිතෙන්නේ හොඳ මිනිස්සු විරල නිසා වෙන්න ඇති මේ පොස්ට් එකෙන් මම දෙයක් මගේ ජීවිතේට ගත්තා ඒ මොකක්ද කියල ඉදිරියේදී දැනගන්න ලැබෙයි

    ReplyDelete
    Replies
    1. මට නම් හිතාගන්න පුලුවන් කෝරලේ ගත්ත දේ...ඒ සුභ ආරංචිය ලගදිම අහන්න ලැබේවා එහෙනං...

      Delete
  25. sira giyage yati aramuna pahadili wenawa ne me post ekenuth... muta dan kellek nathuwa sankaawa.. ane kawru hari muta kellek hoyala deepan aathal kan deken berena widiha penna...

    mama shikitone

    ReplyDelete
    Replies
    1. shikitone මලේ...මට ඇති සාංකාවක් නෑ බොලං...බොලා ලා ඇවිල්ලා කාමරේ හක්කොලං කොරලා යනකොට ඔය ගැටිස්සියො ගැන හිතන්න වෙලාවක් කොයි....මේ තනිකම එක්ක තව දුර යන්න තමයි මගේ මනාපෙ...මේවා මේ ඉස්සර සිදු වෙච්ච දේවල් නොවැ මලයො...

      Delete
  26. ////මොකද ඔය ඔක්කොම සම්පූර්ණ කර ගන්නකොට අවුරුදු 40ත් පැනලා තියේවි නොවැ...

    මම කියන දේ අහනවා...ඔය හැමදේම සම්පූර්ණ කර කර බදින්න බෑ. මමත් බැන්දෙ ඔය දේවල් ඇතුව නෙමෙයි. ඉස්සෙල්ලා බදිනවා. ඊට පස්සෙ තමන්ගෙ සහකාරියත් එක්ක සහයෝගයෙන් අනිත් දේවල් කරගන්නවා...ඔන්න ඕකයි ක්‍රමේ. හැබැයි බැදපු ගමන් දරුවෙක් හදනවා. නිකං කල් මර මර ඉන්නෙ නැතුව./////

    සිරා.....ඩොක්ටර් අන්කල් හොඳ මනුස්සයෙක්. ඔය කියලා තියෙන කතාව හරියටම හරි. මම බැන්දේ 25න්. මහ ලොකු ඉටිගෙඩියක්වත් තිබුනේ නැහැ. අපිට දැන් අවුරුදු 25 දරුවෙක් ඉන්නවා. බලපන් හිතට තියෙන ෆිට් එක. දෙමව්පියන්ට රිලැක්ස් එකේ ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ නෑ අරූ මෙච්චර වයසක කෙනෙක් කියලා...ඔහේගෙ පුතත් මට වඩා අවුරුදු කීපයනෙ බාල...අපේ තාත්තලගෙ වයසට කිට්ටු කෙනෙක් නොවැ......බොහොම සතුටුයි...මගේ මලයා බැන්දෙ 26...

      Delete
  27. ස්තුතියි සිරා මේ වගේ කතාවක් බෙදාගත්තට..
    සාමාන්‍ය ජීවිත තුලත් කොපමණ රස මුසු තැන් හැංගිලා තියනවද? එවායින් ආපහු හිතලා අපේ ජීවිතවලට යමක් එකතු කරගන්න තාමත් පරක්කු නෑ..

    ReplyDelete
    Replies
    1. බබාට කොහොමද රූ ?

      Delete
    2. හොද දේ කොතනින් ගත්තත් පාඩුවක් වෙන්නෙ නෑ...ඒ නිසා හොද යමක් කාට හරි ගන්න පුලුවන් නම් ඒ කථාව අනිවාර්යෙන්ම සිරාගෙ කාමරයෙ ලියවෙනවා....

      Delete
  28. සංවේදී පෝස්‍ටුවක්..!
    මේ වගේ සංවේදී කතාවක් ගොඩනගන්න..මිනිසුන්ගෙ සංවේදී හැඟීම් උඹට දැනෙන එක ගැන හද පොජ්ජට මෙව්ව මන්දො වෙනව බොලං..!

    සරල කම...හරි සරල දෙයක්..!

    ReplyDelete
    Replies
    1. වීයත් ඉතිං සවේදී මනුස්සයා කියන්න මම දන්නවා නොවැ...සරල කම ඇතුලෙ බොහොම ලොකු නිදහසක් සහ සතුටක් හිතේ සැනසීමක් තියෙනවා නේද ?

      Delete
  29. අපේ ජීවිත වල අපිට අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවාමයි.... කොහොම වුනත් ඩොක්ටර් අංකල්ගේ උපදෙශේ පිළිපැද්දේ නැත්තේ සිරාවිතරයි එතකොට ....?

    ReplyDelete
    Replies
    1. ඒ උපදෙස පිළිපැද්දෙ නැති අනිත් එකා තමයි නගා...මගේ මිත්තරයෙක්..

      Delete
  30. අනේ පලයන් මීමින්නෝ යන්න තොගේ බ්ලොග් එකේ ඇති ලබ්බක් නැහැ. තෝ හරි අති පණ්ඩිත පසික්කාටුවෙක් වෙලානේ බොලං. තෝ දැන ගනින් දන්නේ නැත්නම් මම කරන යෞවනයා බ්ලොග් එක හරි පුංචි කුමාරිහාමිගේ වලව්ව බ්ලොග් එක හරි බලලා හරි විදිහට වැදගත් යමක් කරන්න ඉගෙන ගනින් අති පණ්ඩිත ටෝක් පොර ටෝක් දෙන්න කලියෙන්.

    ReplyDelete
  31. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...