Sunday, January 11, 2015

65 තාත්තේ අර...

දුම්රිය කවුළුවෙන් හමාවිත් මුහුණේ දැවටෙන සුළං රැල් මාලිකාගේ දඟකාර කෙහෙරැල් තවත් දඟකාර කරනා අයුරු ඇය අසලම සිටින සම්පත්ගේ නෙතට හසුවෙයි. දුම්රිය විටෙක ඉබි ගමනේද තවත් විටෙක අධි වේගයෙන්ද ධාවනය වෙයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට වේයන්ගොඩ දක්වා කොටස රැකියාවට යන්නට එන්නට පටන් ගත් පසු දහස් වාරයක් පසුකර තිබුනත්  හා පුරා කියා මේ මග ගමන් ගන්නා එකෙකුට ඇති වෙන අන්දමේ හැගීම් සමුදායක් සම්පත්ගේ සිත තුල නලියයි. ආදරවන්තයෙකු ලෙස කුළුදුලේ විඳිනා අමුතුම මිහිරකින් අද ඔහුගේ චිත්ත සන්තානයම පිරී ගොසිනි.

මාලිකා.....ඔහු දයාබරිත වූ හදින් ඇගේ නම මුමුණා, ඇගේ වමත තදින්  අල්ලා ගත්තේය...

ඇයි....ඇගේ නෙත්යුග අමුතුම කාන්තියකින් බැබලෙන අයුරක් ඔහුට පෙනෙයි...

ආදරෙයි නේද...සම්පත් රහසින් මෙන් ඇසුවේය...

ඔව්.. ඇගේ මුවේ මන්දස්මිතියක් නැගෙයි.

කොච්චරක්ද ?

ගොඩාරියක්.... ඇය සෙමින් පිළිතුරු දුන්නාය.

මේ යුවල  ඉදිරිපස අසුනේ වියපත් මිනිසෙක් අහස පොළව ගැටලන්නට මෙන් දුම්රිය කවුළුවෙන් ඉවත බලා සිටියි. පසෙකින් කුඩා පිරිමි දරුවෙකු ඔහුට කිට්ටු වී නිදාගෙන උන්නේය. ඔහුගේ දෑස් වටා සුදු පැහැති වෙළුම් පටියකි.
.......................................................................................................

තමන්ගේ කාර්යාලයේම වෙනත් අංශයකට අලුතින් සේවයට එක් වූ කොණ්ඩය දිග පැහැපත් යුවතියක් අසල තමන්ගේ දෙනෙත නැවතුන දිනය හරියාකාරයෙන් සම්පත්ට මතක නැත. නමුත් ඇය කාර්යාල ගමන අරඹා නොබෝ දිනකින්ම තමාගේ නෙතු යුග ඇය සොයා ගිය බව නම් ඔහුට හොඳින් මතකය. කාලය දින සති බවට පත් වෙද්දී ඇය පිළිබඳව ඇතුලු හදේ උපන් ආදරය නම් කුළුදුල් හැගීමකින් සසල වූ සිතක් සම්පත්ට උරුම විය.

ඔසරියට කැපී පෙනෙන ඇගේ නාරි දේහයේ හැඩතල වල අපූරුව විඳින්නට ඔහුට තිබුනේ පුදුමාකාර කෑදර කමකි. මුතු මාල පොටක් ඇගේ ගෙලේ වැරදුනේ නැත. අත් බොරිච්චි කල හැට්ටයත්...ඒ තුලින් ඉදිරියට නෙරාවිත් තිබෙන ඇගේ පිරුණු ළැම පෙදසත්, ඈ තබන පියවරක් පාසා දෙපසට වැනෙන කේෂ කළ්‍යාණියත් සම්පත්ගේ දෙනෙතට රසඳුනක්ම විය.

මේ රුවැත්තියගේ නම මාලිකා බවත් ගම්පහ සිට ඇය සේවයට පැමිණෙන බවත් සම්පත්ගේ හිතවතියක් විසින් එක්තරා දිනෙක ඔහු වෙත සන්නිවේදනය කලෙන් ඒ මාර්ගයේම වෙනත් දුම්රියක ගමන් ගත් ඔහුගේ සිත සොම්නසට පත් වූයේ ඇය සමග එකම දුම්රියක උදේ සවස රැකියාවට එන්නට යන්නට වටපිටාවක් සකසා ගත හැකි බව අවබෝධ වූ හෙයිනි.

.......................................................................................................

දුම්රිය සංඥා විරහිත කමින් නතර වී ඇති සෙයකි. නිවාඩු දිනයක් නිසාවෙන් මහා විශාල සෙනගක් මේ මන්දගාමී දුම්රියේ නැත. ආසන පිරෙන තරමට සිටින මගීන් අතර ඇත්තේද තරමක නිහඬ බවකි. ඔවුන්ගේ උස් නොවූ කථා බහ අතරින් විටෙක කඩල විකුණන පුද්ගලයෙකුගේ හෝ  සිගමන් යදින කෙනෙකුගේ හඩ මාලිකාට ඇසෙයි. තම දෙවුර තදින් අල්ලගෙන සිටින සම්පත්ගේ දකුණත, මාලිකාගේ සිතේ ආරක්ෂාකාරී හැගීමක් ඇති කර තිබේ.

තම පියාට ලංව හිඳගෙන සිටින දරුවා නින්දෙන් අවඳි වූ බවක් මේ දෙපලගේ නෙත් වලට හසුවෙයි. වයසට වඩා මහළු පෙනුමක් ඇති මේ මිනිසාගේ අව්වට පිච්චුන සම මෙන්ම යට ගිලුනු ඇස් ගෙඩි දෙකද ඔහු ජීවන ගමන් මගේ විඳි සරතැස පිළිබඳ දෙස් දෙයි. අර්ථයක් දිය නොහැකි හිස් බැල්මකින් දුම්රිය මැදිරියේ කවුළුවකින් අනන්තය සොයන ඔහුගේ රූප කාය මාලිකාගේ සිතේ ඇති කර ඇත්තේ බොහෝ සංකීර්ණ සිතිවිල්ලකි.

කුඩා දරුවා තම දෙනෙත වසා සිටින රෙදි පටියේ කෙලවරක් අතින් අදියි.

.......................................................................................................

කාර්යාලයේ වාර්ෂික චාරිකාවේදී මාලිකාට සමීප වෙන්නට සම්පත් කල්පනා කලේ දුම්රිය තුලදී ඇය වටා සිටි මිතුරු මිතුරියන් ගණන විශාල එකක් වූ හෙයිනි. කොළඹ සිට වේයන්ගොඩ දක්වා දිනපතා දුම්රියෙන් ගමන් කරනා ඔහුගේ සිත සොවින් බර වන්නේ ගම්පහින් බැස යන මාලිකාගේ දසුන නිසාවෙනි. එතැන් සිට තම ගමනාන්තයට ඇති ඉතිරි දුර අතර තුර ඔහුගේ සිත තුල විවිධ සිතුවිලි ඉපදී මියයයි. ඇය සහ ඇගේ මිතුරු මිතුරියන් අතරට අනාරාධිතවම යන්නට සිත තුල ධෛර්යයක් නොමැති හෙයින් සම්පත් ඇය ගමන් කරනා දුම්රිය මැදිරියේ අනෙක් අන්තයේ සිට ඇය දෙස නෙතු දෑල යොමා සිටින්නට පුරුදු වූවේය.

වාර්ෂික චාරිකාව අතරතුර මාලිකාට සමීප වෙන්නට සම්පත් මැවූ සිහින සැබෑ කරගන්නට ඇගේ අංශයේම සේවය කරන ඔහුගේ මිතුරියකගේ සහාය ලැබුනි. ඒ හේතුවෙන් යම් තරමකට හිතවත් කමක් ගොඩනගා ගන්නට ඔහුට හැකියාව ලැබී තිබේ. ආයතනය තුල කාර්යශූර සේවකයෙකු ලෙස ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයත්, ඔහුගෙ මහත්මා ගති ගුණ පිළිබදවත්...යෙහෙළිය විසින් වරින් වර මාලිකා වෙත පැවසූ වදන්....කිසිදිනෙක පෙම්වතෙක් සොයා නොගිය ඇගේ ආඩම්බර සිත යම් තරමකට දමනය කොට තිබේ. ඔහුගේ කඩවසම් රුවත් එයටම එක්වුනු පසු මාලිකා යම් තරමකට නොසන්සුන් වී ඇති බවක් පෙනෙයි.

චාරිකාව තුල ඇති වූ හිතවත්කම දුම්රිය මැදිරියට ගෙන යන්නට ඇය කටයුතු කොට තිබුනෙන් ඇගේ පිරිවර සමග රැකියාවට යන්නට එන්නට සම්පත් වෙත අවකාශ ලැබුනි. මේ ගමන අතර තුර නොයෙක් වර කථා කල ඔහුගේ නෙතු සඟල ඇයට බොහෝ දේ කීවේය. එහෙත් ඇය සසල නොවුනාය. ඔහුගේ මුවින්ම ඒ බැව් දැන ගන්නට ආශා කලාය.

එක් වැහිබර උදෑසනක දුම්රිය නැවතුමේ සිට කාර්යාලය බලා යන්නට ක්‍රමයක් නොමැතිව සිටි සම්පත් වෙත ඇය හදිසියේ මෙන් පැමිණියාය. කහ පැහැති ඔසරියකින් සැරසී සිටි ඇය පුංචි කුඩයක් තම අත් බෑගයෙන් ඉවතට අදියි.

ඔයා යන්න මාලිකා...මම වැස්ස ටිකක් අඩුවෙනකං ඉඳලා එන්නම්...

මේ වැස්ස තව පැය තුන හතරකට අඩු වෙන එකක් නෑ...අයියෙ...එන්න මේ කුඩෙන් යමු.

ඔය පොඩි කුඩේ අස්සට මම ආවොත් දෙන්නවම තෙමෙනවා...සම්පත් යටිහිතේ නැග එන ආශාව අමතක කොට කීවේය.

ඉතිං මොකද....ඇගේ පිළිවදන් හමුවේ නිරුත්තර වූ සම්පත් ඇය සමග මහ වැසි යට මල් මල් කුඩයක සෙවනට වූවේය.

වේගයෙන් හමනා සුළඟ ප්‍රචණ්ඩ වූයෙන් කාර්යාලයට යන අතුරු මග තුල දෙදෙනෙකු වැසි දියෙන් බේරා දෙන්නට මල් මල් කුඩය අපොහොසත් වී ඇති අයුරක් දිස්වෙයි. වෙනත් කිසිවෙකුත් මේ මාවතේ පෙනෙන්නට නැත. ගත හිරිගඬු නංවන සිහිලසක් සම්පත්ට දැනෙමින් තිබේ. සුදු පැහැති වැසි දුමාරයෙන් වැසුනු අතුරු මාවත දිගේ ගලනා වැසි දියෙන් තම ඔසරිය බේරාගන්නට මාලිකා වමතින් එය මඳක් ඉහළට කොට ඔසවාගෙන සිටියාය.

යුවතිය වෙතින් හමනා සුවඳ විලවුන් පුසුඹ තව තවත් දැනෙන ලෙස ගැඹුරින් හුස්ම ගන්නා සම්පත්ට මේ ගතවෙන නිමේෂය සිහිනයක්දෝයි සිතෙන තරමට චමත්කාර ජනකය. වමතින් ඇගේ කුඩය දරා සිටි ඔහු දකුණතින් ඇය තමා වෙත ලං කොට අල්ලා ගත්තේ කොහෙන්දෝ ආ පුරුෂ දහිරියක් නිසාවෙනි.

ඔයාව තෙමිලා....මම කිව්වනෙ දෙන්නෙක්ට යන්න බෑ මේ වැස්සෙ කියලා...

සම්පත්ගේ නෝක්කාඩුවට පිළිවදන් දෙන්නට නොගිය මාලිකා, ඔහු දෙස බලා සිනාසුනා පමණකි. තම දෙවුර වටා ඇති ඔහුගේ හස්තය පිළිබඳ ඇය වද නොවුනාය.

කුඩය අල්ලා සිටින සම්පත්ගෙ වමත ඔසරි පොට ඔසවාගෙන ඉදිරියට පැමිණ තිබෙන ඇගේ පපු පෙදෙසේ දැවටෙයි. ඉන් මැවෙන මිහිරෙන් සිත ඔද්දල් වී සිටි ඔහු මහ වැසි තරණය කොට කාර්යාලයට සේන්දු වූවේය.

.......................................................................................................

පුතේ ඔය පටිය ගලවන්න එපා...ගෙදර යන කං ඇස් දෙක වහගෙන යන්න කියලානෙ දොස්තර මහත්තයා කිව්වෙ. 

මෙතෙක් වේලා මුනිවත රැකි මිනිසාගේ හඬ ඔහුගේ පෙනුම තරම් රෞද්‍ර නැත. හේ අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බඳු යැයි මාලිකාට සිතෙයි. බොහෝ දුබල කටහඬකින් තම පුත්‍රයා අමතන ඔහුගේ දසුන ප්‍රේමයේ සුව විඳින ඇගේ සිතට යම් තරමකට දුකක් එන්නත් කොට තිබේ.

අනේ තාත්තෙ...චුට්ටම චුට්ටයි...පොඩි එකාගේ මැසිවිලි හඬ මැද පරාජය බාරගත් පියතුමා ඉහළට ගත් මහා හුස්මක් සමග ඒ හිතේ හිරවී තිබුන සියලු බර එකවිට පහතට හෙලුවේය.

දුම්රිය අසුනේ පසුපසට වෙන්නට නැවතත් හරිබරි ගැසී වාඩි වූ සම්පත් තම අතීතාවලෝකනයේ නැවතත් අතර මං වූවේය.

.......................................................................................................

වැසි මැද ගමනින් ලද මහා ධෛර්යය නිසාම එඳින සවස තම සිතැගි ඇයට හෙළි කරන්නට ඔහුට හැකි විය. ඒ වන විටත් ඇය කිසිවෙකුගේ පෙම්වතිය නොවන බව ඔහු දැන උන්නේය. සම්පත්ගේ බස් අසා අමුත්තක් නොපෙන්වූ මාලිකා ඔහුට සිනහවක් පමණක් සංග්‍රහ කලාය.

තවත් සතියක් දෙකක් ඇවෑමෙන් ඔහු අපේක්ෂා කල පිළිතුර ඇගෙන් ලැබුනේ මිතුරු මිතුරියන් රැසකගේ සුභ පැතුම්ද සමගිනි. එතැන් සිට දුම්රියේ එකටම ගමන් ගිය මේ ජෝඩුව නිවාඩු දිනයක හිතමිතුරන් මෙන්ම කාර්යාලයෙන්ද ඈත් වී නිදහසේ කථා කරන රිසියෙන් යුතු වූවෝය.

මේ ඉරිදට ගංගාරම පන්සලට ගිහින් ඊට පස්සෙ සතුටු දූපතට යමු...සම්පත්ගේ යෝජනාවට ඇගෙන් එකවර පිළිතුරක් ලැබුනේ නැත

අනේ ඉරිදට කොළඹ එන්නෙ මොනවා කියලද ?

මොකක් හරි බොරුවක් මම හදලා දෙන්නම්කො.... සම්පත් ඇගේ සිහින් රතැගිලි තදින් අල්ලා ගත්තේය. 

.......................................................................................................

සතියෙ සෑම දිනකම ඔසරියෙන් දකිනා ඇය අද දිගු ගවුමකින් සැරසී ඔහු හමුවෙන්නට පැමිණ සිටියි. පෙර දින නිදි නොමැති රැයක් අපහසුවෙන් ගෙවා දැමූ සම්පත්...ඇගේ වත කමලේ සුන්දරත්වයෙන් වශීකෘතව ඇය වෙත ගොස් ඇගේ අත අල්ලා ගත්තේය.

ගංගාරමය වෙත ගොස් බුදුන් පුදා...අනතුරුව සතුටු දූපතට පිවිසි මේ යුවල එහි වූ බංකුවක් මත හිඳ ගත්හ. කථා කරන්නට බොහෝ දේ තිබේ. මේ ගෙවෙන නිමේෂය දෙදෙනාගේම ජීවිත වලට නැවුම් අත්දැකීමකි.

ඇයි මට කැමති උනේ...මාලිකා ඔහුගේ උරහිස මත තම හිස තබන ගමන් විමසුවාය.

නිකං....මට හිතුන නිසා...සම්පත් බොහෝ සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.

ඇයි මට කැමති උනේ...ඔහුද පෙරළා විමසුවේය.

නිකං මට හිතුන නිසා...ඇය එසේ පවසා සිනාසෙන විට සම්පත් අැගේ අත සෙමින් කෙනිත්තුවේය.

ඌයි....රිදෙනවා...මෝඩයො....

.......................................................................................................

තාත්තෙ අර...

පොඩි කොල්ලාගේ කන් බිහිරි කරවන තරමේ හඬ සම්පත් තුල ඇති කලේ සියුම් කෝපයකි. තමන්ට නිදහසේ ප්‍රේම පුරාණය වත් මතක් කර සැනහෙන්නට මේකා ඉඩ දෙන්නේ නෑ....වැනි සිතුවිල්ලක් ඔහුගේ සිත වෙළාගෙන තිබේ....

තාත්තෙ අර මොක්කුද ?

දුම්රිය මැදිරිය සෙලවෙන තරමේ හඬකින් කොල්ලා නැවතත් බෙරිහන් දෙයි.

මේ යකා නිකමට මේ කොල්ලව නිෂ්ශබ්ද කරන්නෙ නෑනෙ...හිනා වෙවී බලා ඉන්නවා...සම්පත්ගේ කෝපයේ අතු ඉති සෙමින් සෙමින් එසවෙයි.

.......................................................................................................

හිරු මුදුන් වී තිබුනත් බේරේ වැව ඔස්සේ හමා එන සුළඟ අවට පරිසරය සිසිල් කරයි. කුඩ යට ගුලි වූ ප්‍රේමවන්තයින් අතර මේ දෙදෙනාද තවත් එක් යුවලකි.

මේ කුඩය යට වැස්සෙ ගිය දවස මතකද ?

මොකද අමතකයි කියලා හිතුවද....මාලිකා ඔහු වෙත තව තවත් නැඹුරු වෙමින් ඇසුවාය.

ඒ ඇසිල්ලේ ඇය තමා වෙත තරයේ වැළඳගත් ඔහු ඇගේ නලලත ආදරයෙන් සිප ගත්තේය.

ආදරෙයිද...ඔහු ඇගේ කම්මුලක් සිප ගනිමින් විචාලේය...

ඔව් මහත්තයො....ගොඩාරියක් ආදරෙයි...අපි යමු නේද...දැන් වෙලාව 2 ටත් කිට්ටුයි.

.......................................................................................................

තාත්තෙ අර ලොකු සතා මොකාද.....

කොල්ලාගේ හඬින් පියවි සිහියට පැමිණි සම්පත් හට මහත් වූ කෝපයක් දැනිනි.

ඒකාගේ හඩ දැන් පෙරටත් වඩා උස්ව නැගෙයි...දුම්රිය මැදිරියේ සෙසු ආසන දෙස විමසිල්ලෙන් බැලූ සම්පත් හට එකදු තැනකවත් එක ලග හිස්වූ ආසන දෙකක් පෙනෙන්නට නැත. බොහෝ උන් නිදාගත් සෙයියාවෙන් සිටින නිසා මේකාගේ හඬ කරදරයක් වී නැති අයුරක් පෙනෙයි.

මේ මොන මළ කරදරයක්ද අනේ...අපි වෙන පෙට්ටියකට යමුද...සම්පත් ඇයට පමණක් ඇසෙන ලෙස ඇසුවේය.

අනේ පොඩි ළමයෙක්නෙ .ඉවසන්න...තරහා ගන්න එපා....ඇය පෙර පරිදිම ජනේලයෙන් ඉවත බලා සිටින්නීය.

ආන්න බලන්න තාත්තෙ අර ලොකු ගහ යට මොකුන්ද ඉන්නවා...

සම්පත්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොසිනි.

මේ ළමයට කෑ නොගහා ඉන්න කියනවකො අයිසෙ...මෙතන අපි කොහොමද කනක් ඇහිලා යන්නෙ...තැනක හැසිරෙන හැටි කියා දීලා නැද්ද මේ ළමයට...

මහළු මිනිසා කලබල වූ බවක් පෙනෙන්නට නැත. ඔහු ඔහුගේ අහිංසක කම විදහා පාමින් බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනහා වූවේය.

සමාවෙන්න මහත්තයො...පොඩි එකාගෙන් වරදක් උනා නම්...මේ අත් දෙකේ කරගැට එනකං අව්වෙ පිච්චිලා පිච්චිලා අවුරුදු ගානක් එකතු කොරගත්ත සල්ලියෙන් කොලුවගෙ ඇස් දෙක ඔපරේෂන් කොරාන අද තමයි ඕං ඉස්පිරිතාලෙන් ගෙදර එක්කගෙන යන්නෙ.

කොලුවගෙ අම්මා බඩු මුට්ටු ටික අරගෙන වේලාසන කෝච්චියෙ ගෙදර ගියා. ඇහැට දාන බේතකුත් අරගෙන අපි දැනුයි යන්නෙ. මේකා ඔය කෑ ගහන්නෙ සතුට වැඩිකමට මහත්තයො...මේ කිසි දෙයක් මයෙ පුතා කලින් දැකලා නෑ.

මයෙ පුතේ...කෑ නොගහා ඉදින්...මේ මහත්තුරුන්ට කරදරයි නෙව.....
.......................................................................................................

තම චිත්ත සන්තානය අභ්‍යන්තරයේ ගැඹුරුම තැනක ඇති වූ සිහින් රිදුමක් මහා වේදනාවක් වෙද්දී නෙතු අගට පැමිණි කඳුලක් මාලිකාගෙන් වසන් කරමින් සම්පත් දුම්රිය කවුළුවෙන් අනන්තය සෙව්වේය.

තාත්තේ...අර.....ඔහුට නැවත නැවතත් ඒ හඬ ඇසුනි.




මම කාමරේ අරින සිරා කොලුවා.

65 comments:

  1. කතාව නම් සිරා, සිරා අයියේ. උඹට නම් තියෙන්නේ සහජ හැකියාවක්. නවකතා/කෙටිකතා පොතක් ලිව්වොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා ඔබේ අදහසට...ඇත්තටම සිරාගෙ කාමරෙන් උපුටා ගන්නා ලියවිලි ටිකක් පොතකට ගන්න අදහසින් තමයි මම ඉන්නෙ...නිෂ්චිත කාල සීමාවක් කියන්න බැරි උනත් යම්කිසි දවසක එය එසේ සිදුවේවි.

      Delete
  2. ඔය කතාවට ලඟින් යන කතාවක් අහලා තියෙනවා. හැබැයි ආරළු බුරළු දාල මේ ලියලා තියෙන හැටිනම් පංකාදු පහයි

    ReplyDelete
    Replies
    1. මම නං මේ කථාව කිසිම තැනකින් කියවලා ලියපු එකක් නෙමෙයි....ඒ නිසා මේ කථාවට ප්‍රස්තූත වෙන කාරණය මගේ සිතුවිල්ලක් කියලා කියන්න පුලුවන්...

      Delete
  3. අනේ මන්දා සිරෝ... බුකියේ දේශපාලන කතා දැකලා දැකලා මොංගල් වෙලා මේක කියවන්න ආවා... මේකේ කෑලි කෑලි කියෝලා දැන් ඔල්මාදේ වගේ... ගල් බෝතලයක් ගහන්න වෙනවා දැන්නම්.... මෙලෝ මගුලක් තේරුනේ නෑ බන්...

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ මේවා තේරෙන්නේ නවකතා කියෝන උන්ටද කොහෙද බන්...

      Delete
    2. ඇති යන්තම් තේරුණා... හම්මේ....!!!!

      Delete
    3. මට ෂුවර් නෑ...බූට් ඇනෝ බොට දැන්වත් තේරුනාද කියලා...

      Delete
  4. අනේ අම්මපා මාවත් මක්කද වෙලා ගියා..බූට් මලය කිව්ව වගේ.?

    ReplyDelete
  5. කතාව පට්ටයි සිරා මචං...............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා කොලුවට පොඩි තල්ලුවක් දුන්නට...

      Delete
  6. පුරුදු හොද්දට තුනපහ දමපු හැටිනම් අගෙයි.ජය වේවා......

    ReplyDelete
  7. Simply par excellence Sira Malaya.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියෙ...සිරා කොලුවට හයියක් උනාට...

      Delete
  8. එතන හිටපු අනික මමද කියල හිතුන බන්...ඒ තරමටම මාව ඒ දර්ශන තලයට ඇදිල ගියා...මල්ලියේ ..පොඩි පොතක් වත් ගහපන් බන් මේ කතා ටික ටික දාල..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ප්‍රබන්ධ නවකථා හෝ කෙටි කථා ලියන්න මම හරිම මනාපයි....දවසක පොතක් වශයෙන් පලකරන්න අදහසක් තියෙනවා...තවත් කල් යද්දි ජීවන ගමන තුල අදටත් වඩා පරිණත වෙන නිසා මෙයට වඩා සමාජරූපී යමක් ලියන්න හැකි වෙයි..ඒ නිසා පොත් පල කරනන් තව ටික කාලයක් ඉවසන්න පුලුවන්.

      Delete
  9. මේ කතාව ඒ කියන්නෙ පොඩි එකාගෙයි තාත්තගෙයි කතාව කලිං මවුබ්මේ අංශක 180 දාල තිබ්බ
    ඒකෙ තිබ්බ විදියට පුතා තරුණයෙක්....
    ඒ වුණත් වෙනස් කං එක්ක අපූරුවට ගලපල කරල ලියල තියෙන විදිය නං පංකාදු පහයි....
    අපි අපි ගැනම හිතනව විතරනෙ නැත්තං අපිට පේන දේ ඒ විදියටම දකිනව විතරනෙ... වෙනස් විදියකටත් ලෝකෙ දිහ බැලුවොත් කොයි තරං ලස්සනද කියල හරි අපූරුවට කියල දෙන කතාවක්
    ජයෙන් ජයම වේවා සිරා අය්ය

    ReplyDelete
    Replies
    1. මම ඔය කිසිම කථාවක් දැකලා නැ...මම වෙනත් තැනක තියෙන කථා කියවලා ඒ අර්ථයට පරිබාහිර දේ ලියන්න යන්නෙ නෑ...මම කථාවක් ලියනවා නම් ඒක මගේ සිතුවිල්ලක් නැත්තං මම ජීවත් වෙන පරිසරයෙදි දැකපු දෙයක්. උපුටාගත් දෙයක් නෙමෙයි.

      මට මේ කථාව ඔස්සේ කියන්න උවමනා උනේ පිටින් බලලා අපි තීරණ වලට එළඹෙන්න නරකයි...මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරක් ඇතැම් විටෙක අපි නොහිතන තැනක තියෙන්න පුලුවන් කියන කාරණය...

      Delete
  10. @ සිරා භයියා,

    ෆට්ට හේ!!!!!! සිරාවටම මරු ස්ටෝරිය අයියේ....!! අන්තිම සීන එක කියවනකොට නම් මගේ පපුව කඩාගෙන ගියා වගේ දැණුනා!
    කීප් ඉට් අප්!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොලාව දැක්ක කල්....ඡන්ද වැඩ වලට ගිහින් හිටියද...ස්තූතියි බොලාගෙ අදහසට....ජය !

      Delete
  11. සිරාගේ සිරා කතාවක්. කරුණු මැවෙනන ලියලා තියෙනවා.

    මෙන්න කතන්දර කාරයාගේ හෙළුව

    ReplyDelete
  12. ම්ම් මේක තව ටිකක් දිගට ලියුවනම්. තව හොඳයි

    ReplyDelete
    Replies
    1. තවත් දිගට ලියන්න ගියා නම් සමාන්තරව කියවෙන අවස්ථා දෙකේ සම්බන්ධය ගිලිහෙන්න පුලුවන් කියලා මට හිතුනා....ඒ නිසයි මෙතැනින් තිත තිබ්බෙ....

      Delete
  13. අකුරු අතරින් රූප පේලියකුත් මැවිලා ගියා ....

    අන්තිම කොටසේදී නම් හිත නැවතුනා වගේ දැනුනා. ඒ තරමටම කතාව ජීවමානවයි.. ඉහළ පෙලේ අපූරු නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. නගාගෙ වචන මට මහත් සතුටක්...ඊලග ලියවිල්ල ලියන්න ශක්තියක්...ස්තූතියි ඔබට...

      Delete
  14. අපූරුයි....

    අපිවත් වෙනස් කලාද මන්ද.. හි.. හි..

    ReplyDelete
    Replies
    1. වෙනසක් සිදු උනා නම් සතුටුයි...මතුපිටින් පෙනෙන දෙයින් තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා...කියන දේ ඉගෙනගත්තා නම් හොදයි...

      Delete
  15. ශා.. පොතක් ලියමුකෝ සිරා !

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්න ආසයි...නවකථා ලියනවට වඩා කෙටි කථා ලියන එක තමයි තෘප්තිමත්...තව කාලයක් යද්දි මෙතනම මෙවැනි කථා ටිකක් එකතුවෙයි නොවැ...ඒ ටික ගන්නවා පොතකට යම්කිසි දවසක....

      Delete
  16. සිරාගේ හැකියාවට අත දුන්නනම් හොදම කෙටි කතා කතුවරයා කරන්න පුළුවන් වගේ. . ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල් කොබා ඔබේ බොක්කෙ අදහසට....අවංක හිතින් මගේ ලියවිලි විවේචනයකරන එක තමයි ඔබෙන් ඉල්ලන උදව්ව...

      Delete
  17. මේකෙ කඩ්ඩ කතාවට වඩා සිරා අයියගෙ සිංහල අනුවාදය පට්ට සංවේදියි! ඔයාගෙ අකුරු මහ බරයි. හිත ඇතුලටම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක මව්බිම පත්තරේ ගියාද...මේකට ඉංග්‍රීසි අනුවාදයක් තියෙනවද මම නම් දන්නෙ නෑ...ඔයා කිසිම දෙයක් ගැන මම දැනුවත් නෑ....මේක තනිකරම මගේ හිතේ ඇදුන සිතුවිල්ලක්...ඒ සිතුවිල්ලට බන්ඩි පොහොර පාරක් ගහලා කථාවක් බවට පත් කලා....

      Delete
    2. සිරා මේ කතාව ඊමේල් එකකින් සර්ක්‍යුලේට් වුනා. උඹ ඒක නොදැක වෙන ඇසු දුටූ සිද්දියක් පාදක කරගෙන උඹේ සිතේ ඇදුණනම් ඒකත්වෙන්ඩ පුලුවන් කියලා මම පිළිගන්නවා. මෙි ලෝකේ ඕනෑම දෙයක් වන්න පුලුවන් බව මම පිළිගන්නවා.

      Delete
  18. වාහනයක යනවිට, සෙනග රැස්වී සිටින තැනක, ප්‍රශ්න අහන පොඩි එවුන්ගේ කට වහන්න තර්ජනය කරන මෝඩ දෙමව්පියන්, සෑහෙන්න දැකලා තියනවා මම. ඒ කරන්නේ, ඒ දරුවන්ගේ කුතුහලය මොට කිරීමයි. ප්‍රශ්න අහන්න ඕනෙ මෙන්න මෙහෙමයි කියලා, ගෙදරදී කියලා දෙන්නෙත් නැහැ. පොඩි එවුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, විෂයය දැණුම හෝ උපාය ඥානික දැණුම, බොහොමයක් දෙමව්පියන් තුළ නැහැ. තමගේ දරුවාට ආදරයක් ඇත්තටම තිබෙන, මොලේ ඇති අම්මෙක් තාත්තෙක්, කවදාවත් පොදු ස්ථානයකදී ප්‍රශ්න අහන්න එපා කියලා, දරුවට තරවටු කරන්නෙත් නැහැ. මේ කතාවේ එන ජෝඩුව ගැන කියන තියෙන්නේ, කවදා හරි ඒ දෙන්නා විවාහ වෙලා දරුවන් ලැබුනොත්, ඒ දරුවන්ට 'අබ සරණයි'

    ReplyDelete
    Replies
    1. මේ කථාවෙ තිබුන යටිපෙල විචාරක තුමාට අහුවුනේ නැතිද මන්දා...මේ දරුවා ප්‍රශ්න කරන වටපිටාව ඇතුලෙ තියෙන සංවේදීතාව තමයි කථාවෙන් ඔබට කියන්නට මට අවශ්‍ය උනේ.

      ඔබේ අදහසට මම එකගයි...මේකටම සමගාමී අනෙක් කථාව තමයි නිවසේ බිත්ති වල චිත්‍ර අඳින දරුවන්ට තරවටු කිරීම හෝ බිය ගැන්වීම...එසේ කලහොත් ඒ දරුවාගේ ප්‍රකාශන හැකියාව කුඩා කාලයෙම මොට වෙනවා...වයසින් මෝරා යද්දි ඒ දේවල් නැවත කවදාවත් මතු වෙන්නෙ නෑ කියලයි මම අහලා තියෙන්නෙ.

      Delete
  19. එල ද බ්‍රා මචං..
    බස්සි කිවවා වගේ මේ කතාව උඔ අපේ කරලා ලියලා..

    ReplyDelete
    Replies
    1. මේක හරියට රියැලිටි තරග වල කමෙන්ට් එකක් වගේ...

      Delete
    2. බස්සි කියන ආකාරයේ ඉංග්‍රීසි කථාවක් මම දැකලා නෑ....එහෙම උනාම කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම වෙනත් කථාවක් කියවලා මේක ලිව්වෙ කියලා...නෑ එහෙම වෙලා නෑ...මේක මගේ ස්වයං සිතුවිල්ලක්....

      Delete
    3. නෑ නෑ මේ කතාවම නෙමෙයි බං .. අන්තරගතයේ මේකට ටිකක් ලගින් ගිය එකක්..උඔව අධෛර්මත් කරන්න නෙමෙයි එහම කිව්වේ..
      කතාව එල ද බ්‍රා

      Delete
  20. මේක නම් මාරයි.... සිරාවටම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් ගොයියො...බොලත් ඉතිං කෙටි කථාවට උපන් හපන් හාදයා නොවැ...

      Delete
  21. මරු කතාව සිරා අයියේ.... ඇඩෙනවා තනි ඇහැට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...බොලා ඔහොම කියද්දි මේ නිර්මාණය ඇතුලෙ මම යම් තරමකට සාර්ථක ඇති කියලා මට හිතෙනවා...

      Delete
  22. Sira lokka...Attama kiyanawa nam mama me katawa kiyawala thiyanawa....eth ayeth kiyewwa....mata mathaka vidiyata me wagema ekak huru ataka nataka eketh giya..monawa unath lassanai...

    ReplyDelete
    Replies
    1. මම බොහොම අවංකව උත්තර දෙනවා නම්, ඔය කියන කිසිම කථාවක් මම කියවලා නෑ...මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් විදියට තමයි මේ කථාව මගේ අතින් ලියවෙන්නෙ. ලංකාවෙ නැති නිසා මට රූපවාහිනියෙන් හෝ සිංහල පුවත් පතක පල වෙන කිසිම දෙයක් නරඹන්න...කියවන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

      Delete
  23. කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ. අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා...ඇයි දැන් නෙළුම් විල පාලුවට ගිහින්....

      Delete
  24. අන්තිම හරිය හිත සසල කලා.

    සම්පත්ට ගුටියක් දෙන්ටත් හිතුණා...:D

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි පොඩ්ඩි....සම්පත් කුළුදුලේ ලව් කරන එකානෙ...ඉතිං උගෙ ප්‍රේම ජවනිකාවට බාධාවක් නිසා තරහා යන්න ඇති පොඩි කොලුවා එක්ක....

      Delete
  25. Every person you meet in your life is fighting a war you know nothing about, be kind always....!!!!

    මේක කිව්වේ කවුද කියලා මට හොයාගන්න බැරිඋනා...!!!

    ලියවිල්ල උපරිමයි SIRA..!!!!

    ReplyDelete
    Replies
    1. බොලා ඉංගිරිසියෙන් දාපු කියමනේ අර්ථයට මම බොහොම මනාපයි...ඇත්තටම මේ ජීවන ගමන් මගේ ඇවිදගෙන යද්දි ප්‍රශ්න නැති මිනිහෙක් අපිට දක්නට නොලැබෙන තරම්..සල්ලි නෑ කියලා කෙනෙක් අඩද්දි...සල්ලි වැඩි එකා සොර සතුරු බියේ දුක් විදිනවා...කන්න නෑ කියලා කෙනෙක් වැළපෙද්දි...තව කෙනෙක් කෑම වැඩි වෙලා ලෙඩ රෝග වලට බෙහෙත් බොනවා....ස්තුතියි අදහසට....

      Delete
  26. මේ වගේ කතාවක් ඊමේල් එකකින් කියෙව්වා මතකයි. උඹ ලස්සනට කතාව ගොතලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා...ඔය කියන කිසිම ආකාරයේ කථාවක් මම කියවලා තිබුනෙ නෑ...මගේ හිතේ ඇදුන සිතිවිලි තමයි මේ කථාව ඇතුලෙ අකුරු උනේ.

      Delete
  27. ආදරේ අන්ධයි කියනවනේ.. සම්පත්ට මොකුත් කියන්නත් බෑ.. හ හ හා..

    ජීවිතේ වෙන හැම සිදුවීමක්ම යට ලොකු කතාවක් තියෙනවා.. ඒ කතාව තෙරුම් ගත්ත තැනදි අපි සාර්ථකයි.. ඉක්මන් වෙලා වැරද්ද ගත්ත තැන අසාර්ථකයි.. උපේක්ශාව ගැන බුදු හාමුදුරුවෝ කියල දීල තියෙන්නේ මේ නිසයි..

    ලියවිල්ල බොහෝම අගෙයි.. සිරාගේ බොන කතා නාන කතා වගේම කෙටි කතාත් අපූරුයිනෙ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මගේ කෙටි කථා කීපයක් තියෙනවා මේ වෙද්දි ලියලා...වෙලාවක කියවලා බලන්නකො පරණ ඒවත්...

      ආදර සබඳතාවක උනත් සහකරු / සහකාරියගෙ මතුපිටින් ඒ චරිතය මනින්න යන්න හොද නෑ..වටේ පිටේ ඉන්න අය මොනවා කිව්වත්...තමන්ම තේරුම්ගත යුතුයි...

      Delete
  28. බබයියාගේ කපුවාJanuary 14, 2015 at 11:38 PM

    සිරා ලස්සනට කතාව පන පිහිටුවලා ලියලා තියෙනවා. මේකෙ මෝටිෆ් එක නම් පරණ එකක්. විවිධ අනුවාදත් තියෙනවා. මේ ගූගල් ක්‍රෝල් පාරකදි අහුවෙන එක අනුවාදයක්. ඒක විවිධ සයිට්ස්වල ගිය හැටි බලන්න.

    http://tinyurl.com/om9zxo5

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලින්කුවට...මම දැනඋන්නෙ නෑ මේ තේමාව මේ තරම් සුලභ එකක් කියලා...

      Delete
  29. පුංචි කොල්ලා ගැන අසීමිත දුකක් දැනුනා.. මේ වගේම දෙයක් දැනුන එක දවසක් රත්මලානේ බිහිරි පාසලට ගිය වෙලාවේ. එතන ළමයි නටන අපූරුව දැක්කම හොදට ඇහැ කන තියන අපි මොනවද කරල තියෙන්නේ කියලා හිතුනා. කතාව නම් ගොඩාක් හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. මම හිතනවා නගා ඔය කියන අත්දැකීම නදී නිම්නයේ ලියවිල්ලක් විදියට අපිට කියවන්න ලැබුනා නම් හොදයි කියලා...

      Delete
  30. කතාව කලින් අහල තිබුනට සිරා පණ පිහිටවලා තියෙන්න කියෙව්වේ අද.. ඇත්තටම මම සම්පත් ද කියල හිතෙන තරමට ඔබ මේ කතාව ලියල තියනවා. ස්තුතියි ඔබට..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...