Sunday, January 18, 2015

59 අතින් කයිට් වැඩි ලාභ අඩු ජීවන්තයා

හේවගේ ජීවන්ත කියන්නෙ සිරා කොලුවගෙ හොඳ බොක්කක්...ඒ කිව්වෙ සැපට දුකට දෙකටම ඉන්න ඉතාම කිට්ටු මිත්තරයෙක්. බොලා මීට කලින් එක වතාවක් මේකා ගැන සිරාගෙ කාමරෙන් කියවලා තියෙනවා. ඒ කාලෙකට ඉස්සෙල්ලා ගියපු මී මුරේ චාරිකාව ගැන මම ලිව්ව සටහනින්.

ජීවන්තයා මට මේ ආත්මයෙදි ඉස්සෙල්ලාම මුණ ගැහුන හැටි මට තාම හොඳට මතකයි. සිරා කොලුවා සිස්සත්තෙ ලියන අවදියෙ උදේ හවස කිලෝමීටර් දෙකක් පමණ වෙච්ච පාසලට තිබුන දුර ආවෙ ගියෙ අම්මා එක්ක පා ගමනින්. ඒ කාලෙ මූණ පිරෙන්න පොල් දත් දෙකක් තිබුන එකෙක් නිල් පාට ඉරි දෙකක් බඳේ පින්තාරු කරලා තිබුන පාසල් වෑන් රථයක දොරෙන් වඳුරෙක් වගේ, ඔලුව ඉවතට දාගෙන පාරෙ ආගිය අයට ඔච්චම් කරමින් කොළ කෑලි වලින් දමා ගසමින් ගියා. මේ කොළ කෑලි ප්‍රහාර මටත් වැදිලා තියෙනවා. අන්න ඒ ගොයියා තමයි මේ කියන ජීවන්තයා.

සිස්සත්තෙ සමත් වෙලා නගරෙ පාසලට ගියාම මෙන්න බොලේ මගේ පන්තියෙම ඉන්නවා මගේ හතුරා. මේ හතුරුකම මගේ හිතෙන් එක පාරටම මැකිලා ගියේ නෑ. 6 වසර E පන්තිය තමයි මගේ අලුත් පාසලේ මුල්ම නවාතැන උනේ. අපේ පන්තිය භාරව කටයුතු කලේ විද්‍යාව උගන්වපු ජයසේකර සෑර්. ඉතාම ඉක්මනින් කුපිත වෙන, බොහොම සැර කෙනෙක් විදියටයි එතුමා ප්‍රසිද්ධ වෙලා උන්නෙ. අපේ 6 වසරෙ කොල්ලන්ට දඩුවම් විදියට ඩෙස්ක් එක උඩට නැගලා හිටගෙන ඉන්න...එහෙමත් නැතිනම් ඩෙස්ක් එක යටට රිංගන්න වගේ දඬුවම් තමයි නිතරම ලැබුනෙ. ඉදලා හිටලා කොල්ලන්ට අත දිහ ඇරලා ගහන වෙලාවලුත් තිබුනා. ඒ වෙලාවට අතේ තියෙන ඔරලෝසුව ගලවනවා...ඔරලෝසුව ගලවනවා දකිනකොට අද කාට හරි බඩු පැකට් කියලා අපි දන්නවා.

දවසක් ජීවන්තයා මොකක්ද වරදක් කරලා ඩෙස්ක් එක යටට රිංගෙව්වා අපේ ජයසේකර සෑර්...ඒකා කපටි කමටද කොහෙදෝ ඩෙස්ක් එක යට ඉදගෙනත් විද්‍යාව පොත කියවමින් උන්නා.

අන්න බලනවා....ඉගෙන ගන්න උවමනාව තියෙන මිනිහා...ඩෙස්ක් එක යට ඉඳලත් පොත කියවනවා.... එහෙම කිව්ව ජයසේකර සෑර් ඒකාව නිදහස් කලා.

6 E පන්තිය ඉදිරියෙන් තිබුනෙ කජු ගහක්. අවුරුදු කාලය ලං වෙද්දි මේ ගහේ කජු පුහුලං එල්ලෙන්නෙ හරියට අපේ පන්තියෙ උන්ට හිනාවෙනවා වගෙයි. අපි ඉතිං කජු පුහුලමක් බිම වැටුන සැනින් කරාමයට අල්ලලා හෝදලා අනුභව කරන්න සැදී පැහැදී උන්නෙ.

විවිධ පාසල් වලින් සිස්සත්තෙ සමත් වෙලා ආව අලුත් මිත්තරයො රාශියක් අපේ පන්තියෙ ඇතුලෙ දැන් ඉන්නවා. සිරා කොලුවා එක්ක ඉක්මනින් සුහද වෙලා අලුත් පාසලේ මුල්ම මිත්තරයා බවට පත් උනේ අද වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන සුරේෂ් ගොයියා. ජීවන්තයා මා එක්ක මිත්තර වෙන්න කල් ගත උනා. ඒකට හේතුව තමයි මගේ හිතේ ඒකා ගැන තිබුන කෝපය.

අපේ පන්තියෙ හිටියා ඇගපත බොහොම උස මහතට හිටිය යෝධයෙක් වගේ එකෙක්. අපි ඒකාට කිව්වෙ බතා කියලා. බතා අද ගම්පහ නගරයේ දන්ත වෛද්‍යවරයෙක් විදියට සේවය කරනවා. විවේක වෙලාවට බතාගෙ අත් දෙකේ එල්ලිලා ඒකාව දෙපැත්තට අදින එක තමයි ඒ කාලෙ අපේ විනෝද ක්‍රීඩාව. බතා හරිම අහිංසකයි. ඇඟපත ලොකුවට තිබුනට චණ්ඩියෙක් නෙමෙයි. දවසක්දා විවේක කාලයෙ බතා රස බලමින් උන්නු අයිස් පලමට මගේ හතුරා අතින් ගැහුවා. අනේ බතාට ඉතුරු උනේ අයිස් පලම මැද්දෙ තියෙන ලී පතුර විතරයි.

ඒ කාලෙත් සිරා කොලුවා අද වගේම අසාධාරණයට විරුද්ධයි. මම වහාම මගේ හතුරා එක්ක සටනට එළැඹුනා. ජීවන්තයත් මගේ දිහා බලාන අත උළුක් කරගෙන හිටියා. අපේ පන්තියෙ උන් දෙපැත්ත බෙදිලා අපි දෙන්නා වටේ රවුමක් විදියට හිටියා. නමුත් අපි එදා එක ගුටියක්වත් ඇණගත්තෙ නෑ. හතුරත් මමත් මිතුරු වෙන්න ගත්තෙ එදායින් පස්සෙ කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ.

දෑ අවුරුද්දක් විතර පාසල් වෑන් රථයක ගිහිල්ලා සාමාන්‍ය විදියට සීසන් ටිකට් එකත් අරගෙන ලංගම බස් ගමන පටන් ගත්තට පස්සෙ තමයි මමයි ජීවන්තයයි බොහොම සමීප උනේ. අපි දෙන්නම ඉතිං එකම මාර්ගයේ යන උන් නොවැ.

ඒ කාලෙ සිරා කොලුවා පාසලේ බාහිර ක්‍රියාකාරකමක් විදියට කලේ බාලදක්ශයෙකු ලෙස කටයුතු කිරීම. බාලදක්ෂයන්ට මුද්දර එකතුකිරීමේ කාර්යයක් පැවරුනේ මේ කියන කාලයෙදි. වැඩි දොහක් ගියේ නෑ. මුද්දර එකතුකිරිල්ල පිළිකාවක් වගේ අපේ වයසෙ හැම පන්තියකම සීඝ්‍රයෙන් පැතිරිලා ගියා. ජීවන්තයගෙ ව්‍යාපාරික ඥානය ඒ කාලෙත් කොයි වගේද කියනවා නම්, මේකා මුද්දර සමාජයක් හොයාගෙන එතනින් මිළදී ගන්න මුද්දර ඊට වඩා වැඩි ගානකට පන්තිය ඇතුලෙදි අනිත් අයට වික්කා. යාලුකමවත් බලන්නෙ නැතුව මේකා මට විකුණලා තිබුනෙත් එකට එකක් ලාභ තියාගෙන. අන්තිමේදි මේ මුද්දර සමාජය ගැන හැමෝම දැනගත්තට පස්සෙ ජීවන්තයගෙ ලාභ තීරුවේ තරම අපිට අවබෝධ උනා.

මේ කියන අතීතයෙදි පාසල් වෙලාවෙන් පස්සෙ අපේ මාර්ගයේ ධාවනය වෙන ලංගම බස් එකක් ආවෙ බොහොම වෙලාවක් ගත වුනාට පස්සෙ. සමහර දවස් වලට අපි පැය දෙකකට වඩා පාරෙ රස්තියාදු උනා. ඒ පැය දෙක අපි ගත කලේ පාසල අසල හිස් ඉඩමක පදුරු අතර තිබුන ටික්කො නමින් හදුන්වන පුංචි කරලක් බදු යමක් කටේ දමා ඉවතට ගෙන පිපිරීමෙන්. මමත් ජීවන්තයත් ඒ කාලෙ තරගෙට ටික්කො එකතු කලේ.

අ.පො.ස සාපෙ පන්තියට එද්දි ජීවන්ත මගේ බොහොම ලග මිත්තරයෙක්. අපි සා/පෙ වෙනුවෙන් අතිරේක පන්ති ගියෙ ආවෙ එකට. විභාගයට මාස කීපයකට කලින් ඒකා දරුණු අනතුරකට මුහුණ දුන්නා. පන්ති ඉවර උනාට පස්සෙ බස් රථයක එල්ලිලා ගිහිල්ලා පාපුවරුව සහ ටෙලිකොම් මෑන් හෝල් වලක් අතරට ජීවන්තයගෙ කකුල හිරවෙලා මිනිහගෙ එක කකුලක් දරුණු විදියට හානි උනා. ශල්‍යකර්මයක් පවා කරලා කම්බි දාලා මේ කකුල හදන්න ගත වෙච්ච කාලය පුරාවටම මිනිහා හිටියෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ. මමත් වතාවක් දෙකක් ඒකව බලන්න ගිය හැටි මතකයි. අපි හිතපු නැති වෙලාවක ජීවන්ත කිහිලි කරුවක ආධාරයෙන් ආයෙත් අතිරේක පන්තියට ආවා. ඒක මට ඒ කාලෙ බොහොම සංවේදී දසුනක් උනා.

උසස් පෙළට සිරා කොලුවා වාණිජ විෂයන් හදාරනකෙට ජීවන්තයා ගණිත විෂයන් හැදෑරුවා. සිරා කොලුවා බටහිර තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරද්දි ජීවන්තයා පාසලේ අමද්‍යප සංගමය නියෝජනය කලා. පස්සෙ කාලෙක කරටි කැඩෙන්න ගැහුවත් ඒ කාලෙ නම් ඒකා අරක්කු බොන උන්ට බැන්නෙ පුදුම තරහකින්.

පාසල් ජීවිතේ අවසන් කොරාන අපි දෙන්නා ඉතිං වෘත්තීය ජීවිතයටත් ආවා කියමුකො. මගේ මිත්තරයගෙ පවුල් පසුබිමේ තිබුනෙ ව්‍යාපාර අභාෂයක්. ඒ නිසා ඒකා කවදාවත් රැකියාවක් කරන්න උත්සාහ ගත්තෙ නෑ අනුන් යටතේ. එදා ඉදන්ම තමන්ගෙ කියලා දෙයක් තමයි කලේ.

ජීවන්තයගෙ අම්මා තාත්තා පවත්වාගෙන ගිය මහා පරිමාණ කජු ව්‍යාපාරය ඒ වෙද්දි අඩපණ වෙලා තිබුනෙ ඉතින් ජීවන්ත විවිධ දේ කලා...අද කරන දේ නෙමෙයි ටික දවසකට පස්සෙ කරන්නෙ. ඒ කියන්නෙ ස්ථිරව කරගෙන ගිය දෙයක් නෑ. කාලයක් කජු බිස්නස් කරලා අවුරුදු කාලෙට රෙදි බිස්නස් වලට බහිනවා...ඊලග මාසෙ අල බැදලා හදන අමුතුම කෑමක් එක්ක අමුතුම බිස්නස් එකක් පටන් ගන්නවා. මේ සමහර තැන් වල මගේ වෘත්තීය දැනුමෙන් මම ඒකට උදව් කලේ ශත පහක්වත් අය කරන්නෙ නැතුවයි. ඒ වෙනුවට ඉතිං මිනිහා ඉදලා හිටලා මට බියර් බෝතලයක් කාරිය අරං දීලා තියෙනවා.

ගම්පහට මැජික්... 


ජීවන්තයා මෙන්න මෙහෙම පෝස්ටරයක් ගැහුවා ගම්පහ නගරය පුරාම. දැන් ඔන්න මිනිහා මැජික් බිස්නස් එකකට බැහැලා. ලංකාවෙ නමගිය මැජික් ශිල්පියෙක් සම්බන්ධ කරගෙන මහජන සංදර්ශන දෙකක් නිවාඩු දවසක අපේ පාසලේම සූජානම් කොරලා. ප්‍රකට කලා ශිල්පීන් දෙන්නෙකුත් මේ වැඩේටම සම්බන්ධ කරගෙන. ඒකෙ එක අංගයක් තමයි ඇස් දෙක රෙදි කඩකින් බැඳලා යතුරු පැදියක් නගරය මැදින් ධාවනය කිරීම. මමත් ඉතිං මේ අරුම පුදුම වැඩේ බලන්න එතැනට යද්දි සෙනග වටවෙලා උන්නා...මැජික් ශිල්පියත් උන්නා...ඒකාට යාබදව ජීවන්තයත් උන්නා.

මොකද බං වැඩේ පටන් ගන්නෙ නැත්තෙ...මම ජීවන්තයට ලං වෙලා ඇහුවා.

මල රෙද්දක් වෙලා තියෙන්නෙ බං...මේකා ඇස් දෙක බැඳගෙන බයිසිකලේ පැදලා ඒක පෙරලලා කඩලා දායි කියලා බයික් එක දෙන්න හිටපු එකා දැන් දෙන්න බෑ කියනවා...අපි මේ බයික් එකක් නැතුව බලා ඉන්නෙ....

එතැන වටේට එකතු වෙච්ච ගම්පහ තුන්රෝද රථ සහෝදරයො යතුරු පැදියක් හොයලා දීලා ඒ කාරියට සහයෝගය දුන්නා. සිරා කොලුවා නාලා කාලා 3.30 දර්ශනය බලන්න ගියා. ගම්පහට මැජික් පෝස්ටර් නගරය පුරාම වාර දෙකක් විතර අලවලා අති විශාල ජනකායක් මේ සංදර්ශනය බලන්න ඒවි කියන විශ්වාසයෙන් තමයි ජීවන්තයා උන්නෙ. සංදර්ශනයේ ආරම්භය පැය භාගයක් පමා කලත් අනේ 100 කට වඩා සෙනග උන්නෙ නෑ. කලින් ආරාධනාවක් තිබුනෙ නැති උනත් ජීවන්තයගෙ දැනුම්දීම මත මටත් පොල්තෙල් පහන පත්තු කරන්න නිවේදක තැනගෙන් ආරාධනාවක් ලැබුනා. ජීවිතේ හා හා පුරා කියලා ආරාධිතයෙක් විදියට පහනක් පත්තු කරලා සභාවේ ඉස්සරහම පුටුවක ඉදන් ගම්පහට මැජික් අපූරුවට දැකගත්තා.

මැජික් පෙන්වලා සතියකට විතර පස්සෙ තමන්ට වෙච්ච අලාභය ගැන ජීවන්තයා මා එක්ක කිව්වා.
ලක්ෂ එකහමාරකට වැඩියි බං පාඩුව. මේ වැඩේ කරන්න උගෙ ලග මැජික් බඩු නෑ කියලා මම ඉන්දියාවෙන් ගෙන්නුවා. අතින් කයිට් බං...

මෙයින් පස්සෙ ගතවෙච්ච කාල වකවානුවෙ ජීවන්තයා ඉතිං තමන්ගෙ පාඩුවෙ අතට අහුවෙන ව්‍යාපාරයක් කරගෙන හිටියා. මමත් ඉතිං මගේ වෘත්තිය කරගෙන උන්නා. ඉදලා හිටලා මධුවිතකට එහෙම සම්බන්ධ වෙන්න ආරාධනාවක් ආවොත් මම ඒ හැමවිටකම ඒකාව මුලිච්චි උනා.

අපරාදෙ කියන්න බෑ. මගේ මිත්තරයා ලෝභ කම දන්නෙවත් නැති එකා. තමන්ගෙ අතේ සල්ලි තියෙනවා නම් අනුන් වෙනුවෙන් ඔක්කොම හරි වියදම් කරයි. ක්‍රිස්තු භක්තිකයෙක් නොවුනට අල්ලපු වත්තෙ තියෙන පල්ලියෙ මංගල්ලය සමරන්න පාටි දාන්නෙ මිනිහගෙ සල්ලි වලින්. බයික් එකට තෙල් ගැහුවම අහල පහල උන් තමයි සවාරි ගිහින් ඒක ඉවර කරන්නෙ. ගමේ එකෙක් කුමක් හෝ තක්කඩි වැඩකට පොලෝසියට කුදලගෙන ගියොත් ඒකව බේරගන්න යන්නෙත් ජීවන්තයාම තමයි.

මැජික් පෙන්වලා කාලයක් යනකං ඒ වගේ සංදර්ශන පෙන්වන්න ජීවන්තයා නැවත උත්සාහ කලේ නෑ. නමුත් හිටි අඩියෙම ඒකා වටේ ඒ වෙද්දි උන්නු අය දුන්න ලණුවක් ගිලලා අනුන්ගෙ සින්දු කියලා ජනප්‍රිය වෙච්ච ගායකයෙකුගෙ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් ගම්පහ ලෑස්ති කරන්න ජීවන්තයා තීරණය කොරලා තිබුනා. කියන හැම ගීතයක්ම අනුන්ගෙ උනත් මේ ගායකයා ලක්ෂ ගනනින් තමන්ගෙ අය කිරීම් දන්වලා තිබුනෙ.

මිත්‍රත්වය නිසාම මේ වගේ සැලසුම් ගැන වේලාසනම මට දැනුම් දෙන පුරුද්දක් ජීවන්තයාට තිබුනා. සංවිධාන වැඩ වලට යන වියදම..ප්‍රවේශ පත්‍ර වල මිළ, පැවැත්වෙන ස්ථානය සහ වෙලාව වගේ සාධක දිහා බලලා මම කිව්වා මේ වැඩේ කරන්න එපා පුතෝ වැඩේ පාඩුයි කියලා. ඇරත් අනුන්ගෙ ගීත ගයන ගායකයෙකුට ලක්ෂ ගනන් ගෙවන්න පිස්සුද...

උඹ මගුලක් කථා කරනවා..මේක පිටිපස්සෙ දැවැන්ත සෙට් එකක් ඉන්නවා බං...ගායකයම මට කිව්වා උගෙ යාලුවො 500 කට වඩා එනවා උන් ටිකට් අරං තමයි ෂෝ එක බලන්නෙ කියලා...මේක පාඩුවක් නෑ බං..බොරු නම් බලහංකො.

කොහෙද ඉතිං කිව්වට ඇහුවෙම නෑ. මමත් ඉතින් සුපුරුදු වෙලාවට සංදර්ශනය බලන්න ගියා. අනේ සංවිධායක මණ්ඩලයට වඩා පොඩියක් විතර වැඩිවෙන්න ප්‍රේක්ෂක ජනතාව සූ ගාලා උන්නා. ගායකයගෙ යාලුවො 500 අතරින් එක වෑන් රථයක විතර පිරිසක් ආවා.

සංදර්ශනය ඉවර වෙලා තමන්ගෙ මුදල ගන්න බැරුව ගායකයා ලතැවෙනවා. වාදක මණ්ඩලය කසු කුසු ගානවා. ජීවන්තයා නම් වෙනසක් නැතුව පුටුවක ඉඳගෙන සිගරට් දුමක් උරනවා.

දැන් කොහොමද බං මුංගෙ සල්ලි බේරන්නෙ....මම කිට්ටු වෙලා ඇහුවා.

වාදක මණ්ඩලයෙ සල්ලි ටික ඔක්කොම බේරුවා. ගායකයට අතේ තිබුන සල්ලි ටික දුන්නා. දැන් ශත පහක් අතේ නෑ.

එතකොට ඉතිරිය...

මොන ඉතිරියක්ද...බොල...මම ඌට වෙන ශත පහක් දෙන්නෙ නෑ...උගෙ යාලුවො 500 ටාගට් කරගෙන මම උන්නෙ...යාලුවො නැති නිසා ඌට සල්ලි නෑ.

උඹට පාඩුවක් ඇත්තෙම නැද්ද...

මොකද නැත්තෙ..මට ලක්ෂ දෙකකට වඩා පාඩුයි..මගේ වාහන වලට තෙල් ගහපු ඒවා, මගේ ලග ඉන්න කොල්ලො වැඩ කරපුවා උන්ට කන්න බොන්න, පෝස්ටර් කටවුට් ගහන්න ගිය වියදම්, අරක්කු වලට වියදම් කරපුවා තමයි ඒ.

ලක්ෂ දෙකකට වැඩි පාඩුවක් ලැබුව ජීවන්තයගෙ පෙනුම මෙන්න මේ වගේ කියලා කියන්න මම එදා මිනිහගෙ ඡායාරූපයක් අරගෙන මිනිහටම දුන්නා. ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් කවදාවත් මූණ එල්ලගන්න එකෙක් නෙමෙයි ඒකා.

සිරා කොලුවා රට පැටවුනාට පස්සෙ අපි දෙන්නා කථා බහ කරන්නෙ කලාතුරකින් උනත් මිත්‍රත්වයට කිසි හානියක් වෙලා  නෑ. කාලෙකට පස්සෙ ජීවන්තයා දැන් ස්ථිරව යමක් කරනවා කාලයක් තිස්සේම. යකඩ සම්බන්ධ කොන්ත්‍රාත් අරගෙන තමන්ගෙ සේවකයො යොදාගෙන ඒ කාර්යයන් සම්පූර්ණ කරනවා. කාලයක් තිස්සෙ තමන්ගෙ පෙම්වතිය වෙලා හිටිය තැනැත්තියව මේ අවුරුද්දෙදි පතිනිය කරගත්තා.

පහුගිය කාලෙ ඉතින් ජනාධිපතිවරණයේ උණුසුම හැම අතේම පැතිරුන වෙලාවෙ ජීවන්තයත් මේ ප්‍රවාහයට එකතු උනා. මිනිහා එදා ඉදලම කැපුවත් මහින්ද වර්ගයේ කෙනෙක්. ඡන්දයක් තිබ්බ හැම වෙලාවෙම ඡන්ද ඔට්ටු දාන එක සිරිතක්. මිනිහා අදටත් පාවිච්චි කරන මෝටර් සයිකලය මහින්ද උන්නැහේ පළවෙනි වතාවට ජය ගත්ත වෙලේ දිනාගත්ත ඡන්ද ඔට්ටුව.

එතැනින් පස්සෙත් දිගින් දිගටම ඔහු වෙනුවෙන්ම ඔට්ටු අල්ලලා විවිධ දේ දිනාපු නිසාම මිත්තරයා මෙදා පාරත් පරණ පාරෙම ගමන ගියා.

මහින්ද දිනනවා...ලක්ෂ දෙකක් ඔට්ටුයි...කැමති කෙනෙක් මට කථා කරන්න...දුරකථන අංකයත් එක්කම මූණු පොතේ මේ විදියෙ සටහනක් තිබුනා.

පැයක් දෙකක් ගත උනත් කවුරුවත් නැති නිසා ...ජීවන්තයා මේ විදියෙ සටහනක් යටින් දැම්මා....

යහ පාලන කාරයො කවුරුවත් නැද්ද..මගේ ඔට්ටුව බාර ගන්න...එන්න භය නැතුව...

මම ඉතින් නොරටක හිටියත් මට තිබුන ආරංචි අනුව දිනන කෙනා ගැන අදහසක් තිබුන නිසා මගේ මිත්තරයට තරයේ කියා සිටියා මේ වැඩේ කරන්න එපා කියලා.

අනේ පලයං බං යන්න...උඹ ඉතිං එදා ඉදන්ම මහින්දට විරුද්ධව ඡන්දෙ දීපු එකානෙ. ලංකාවෙ නැති උඹ කොහොමද මෙහෙ තියෙන මහින්ද රැල්ල ගැන දන්නෙ...මහින්ද අනිවා දිනනවා.

ලයිට් කණුවක් කණුවක් ගානෙ කටවුට් ගැහුවට ඡන්ද දින්නන බෑ බොල...ඔය ලක්ෂ දෙක නාස්ති කරගන්නෙ නැතුව හිටහං...මහින්ද පරදිනවා...ඒක ස්ථිරයි...උඹට ඔය සල්ලි වැඩක් නැත්තං අපි බෙහෙත් ගන්න සල්ලි නැති කෙනෙක්ට උදව් කරමු, ඉගෙන ගන්න සල්ලි නැති ළමයින්ට උවමනා දේවල් අරගෙන දෙමු.

මම මොන දේ කිව්වත් මේකා මගේ වචන කනකට ගත්තෙම නෑ. අන්තිමට ටියුෂන් ගුරුවරයෙක් ජීවන්තයගෙ අභියෝගය භාර අරගෙන තිබුනා. ඡන්දයට ඉස්සෙල්ලා දවසෙත් මම මේ පාඩුව නතර කරන්න උපරිම උත්සාහ ගත්තෙ ලක්ෂ 2 ක් කියන්නෙ ජීවන්තයට පොඩි ගානක් නොවන නිසාමයි.

හෙට ඡන්දය දිනුවට පස්සෙ මම උඹලගෙ ගෙදරටත් කිරිබත් යවන්නං...ජීවන්තයා පාරම් බෑවා. අන්තිමේදි මහින්ද ලොක්කා පැරදුනා. ජීවන්තයා  මූණුපොතේ තිබුන ඡන්දය පිළිබද පරණ කියුම් කෙරුම් සියල්ල මකලා දැම්මා. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා කියලා හිතුන නිසාදෝ ඒකා පේන්න නැතුවම ගියා. මම යවපු පණිවිඩ වලටත් තවම පිළිතුරක් නෑ. සමහර විට ලැජ්ජාව නිසා වහං වෙලා ඇති.




මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

මෙය පවතින දේශපාලන ප්‍රවාහය පිළිබඳ ලියවුන ලිපියක් නොවේ. ඒ නිසා දේශපාලන මතවාද මෙතැනට අදාළ නොවන බැව් කරුණාවෙන් සළකන්න.

59 comments:

  1. ඈ බං සිරා, උඹේ යාළුවට මුද්දර බිස්නස් කරපු කාලේ තිබුණු මොලේවත් දැන් නැද්ද මන්දා..... මොනවා උණත් නව ගිලුනත් බෑන්ඩ් චූන් කට්ටිය තමයි මේ ලෝකේ ඉන්න ඕනි. කෙළවෙන/ පරදින වාරයක් ගානෙ ගහ මරාගන්න යන කට්ටියට උඹේ යාලුවා හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. අකමො උඹව දැක්ක කල්...අලුත් ආණ්ඩුවක් බලයට එන්නම උනා නේද බොටත් ආයෙම සමාජය ඉදිරියට එන්න.

      ජීවන්තයා මුද්දර බිස්නස් කරපු කාලෙත් මම කල්පනා කලේ මූ නම් පුදුම කාක්කෙක්...කවදා හරි හොද ව්‍යාපාරිකයෙක් වෙලා තමයි නතර වෙන්නෙ කියලා...අද මිනිහා ව්‍යාපාරිකයෙක්..නතර වෙන තැන ගැන නම් නිෂ්චිත අදහසක් නෑ තවම.

      Delete
  2. සාලවනේ...........................සිරා කියන්නේ බලනකොට මරුසිරාගේ මල්ලි කෙනෙක් වගේ. මේ උඹ අපේ ගෙදර එහෙම එනවනං දවස් දහයකට පහළොවකට කලින් කියපං අපේ පැත්තේ මිනිස්සු අයින් කරලා තියන්න.


    අම්මපා සිරෝ මේ වගේ සිදුවීම් නැති ඉස්කෝල ජීවිතෙන් ඇති වැඩක් තියෙයිද.

    ReplyDelete
    Replies
    1. ආං ඒකනෙ අපි හැමදාම ඉස්කෝලෙ ගියෙ..කොහෙද මේ පන්තිභාර කියයි අංශභාර කියයි විශයභාර විනය භාර කියයි සෑර්ල මිස්ල සෙට් එක අපිට අත්දැකීම් ගන්න දුන් නෑ නෙවැ.. ඒ කියල අපිත් ඇරියෙ නෑ.… :D :D

      Delete
    2. මෙන්න මමත් අත්දෙකම ඉස්සුවා..ඒ මදිවට අපේ අම්මටයි තාත්තටයි අත්දැකිම් ගන්න සතියට සැරයක් ඉස්කෝලේට ගෙන්නුවා.. මාසදෙක තුනකට සැරයක් පංති තහනම් අත්දැකිම.

      Delete
    3. මම බොහොම වීනීත ළමයෙක්...කවදාවත් පාසල් වෙලාවට කලින් තාප්ප වලින් පැනලා ගෙදර ගිහින් නෑ. මේ ඇත්තමයි කිව්වෙ...මම ඉස්කෝලෙත් වැඩ කරන උන් එක්ක තමයි ඉන්න උත්සාහ කලේ...ඒ නිසා මට අදටත් නඩු මොකුත් නෑ...විචාරක තුමා භය වෙන්න එපා..මම නිරුපද්‍රිතව ගෙදර එනනම් වෙලාවක...

      Delete
  3. යකෝ මේකා නැව ගිලුනත් බෑන් චූන් ටයිප් එකේ එකෙක් නේ!

    ReplyDelete
    Replies
    1. අන්න හරි...ලක්ෂ ගනන් පාඩු උනත් මිනිහා සින්දුවකුත් කියාගෙන දුමක් ඇදගෙන ඉන්නවා ආතොල් එකේ...

      Delete
  4. මරු ඩෑල් එක ඈ....
    බුවත් උගත් පාඩං වලින් ප්‍රයෝජනයක් ගන්නෙ නැති එකෙද්ද කොහෙද...
    නැත්තං සිරා අයිය කලිං එපා කියපු වෙලේ වෙච්චදේ පාඩමකට ගත්ත නං මේ පාර ලක්ෂ දෙක බේරගන්න තිබ්බ...
    ඡන්ද ඔට්ටු වලින් නං කට්ටිය සෑහෙන්න පැරදුණ...
    කොළඹ කුරුණෑගල රූට් එකේ බස් තුනක් පර්මිට් තුනක් එක්කම දාල නා ගත්ත... කෝටි ගාණක් එතන...
    කාට කියන්නද සිරා අය්යෙ
    කන්න දෙන්න පුලුවං මොළේ දෙන්න බෑ නෙව

    ReplyDelete
    Replies
    1. ජීවන්තයා ඊලග වතාවෙ මම කියන දේ අහයි කියලා මට හොද විශ්වාසයක් තියෙනවා. මම කරන්න එපා කියපු දේ වාර දෙකකම කරලා මිනිහා පාඩු විඳගත්තා....

      Delete
  5. මෙහෙම චරිත කීපයක්ම මම දන්නවා. උන් ගැන මට නම් මෙහෙම ලියන්න තරම් හැකියාවක් නැහැ. හ්ම්ම්.. හ්ම්ම්... මේවා ලාංකික අනන්‍ය ජීවිතද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කටුසටහනක් ගහලා සිරාට එවන්න 7 වෙනි ලිපිය විදිහට .... බන්ඩි පෝර ගහලා ලස්සනට ලියන්න මේකා රුසියෙක්....

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. උපේක්ෂා...නම් ගම් මනංකල්පිත කරලා ලියලා දාන්න අනේ...ඕවා කියවන්න නියම අයිතිකාරයො එන්නෙ නෑ.

      Delete
  6. බොලේ අන්න නියම පොරවල්. ලක්ෂ දෙකක් පාඩුවෙලත් පැත්තකට වෙලා සිගරට් එකක් උරනව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බාගයක් වත් ගහන්න ඕනැ කේෂ් එකක් සිගරට් එකකට පාවා දීම ගැන අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමු !!!!!

      කැඳවුම්කරු
      ගල් බලකාය
      2015/01/19

      Delete
    2. ඔන්න අපිත් ආවා බෝඩ් කෑල්ලක් උස්සන්....ඕ යෙස්......!!!!

      Delete
    3. බිලා අඩන්නත් ඔනේ

      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. ඉලව්වයි.

      සිරාට බියර් බෝතලයක් ගෙනත් දෙන බුවා වෙච්ච එකේ ඔය වගේ ශෝකජනක අවස්ථාවක ජීවන්තයට ගල් බාගෙකින් වත් දමා නොගැසූ සිරා වෙනුවෙන් මගේ විරෝධය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි සහෝදරවරුනි.

      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    5. ඇත්ත වශයෙන්ම ප්‍රසන්න අයියා...මම මිනිහා ලක්ෂ දෙකක පාඩුවක් විදින ගමන් දුමක් ඇදපු ඡායාරූපය ජීවන්තයටම දුන්නා...ඒකා කාලයක් මූණු පොතෙත් දාලා තිබුන ඒ ඡායාරූපය.

      අපි ඉස්සර බියර් එකට සෙට් උනත් දේශපාලනයට තමයි හැමවෙලේම අපේ කථා බහ දෝලනය උනේ...ඒ හැම වෙලාවකම මම මහින්දට බැනලා ජීවන්තයා ෆෝම් කලා...ඌ අමු තිත්ත කුණුහරුප දෙසනවා මගේ තර්ක වලට ඌට උත්තර නැති උනොත්...

      Delete
  7. අඩේ මූ නම් මරු ඩයල් එකක් නෙහ්...
    මමත් කාලයක් මුද්දර එකතු කලා. අපේ යාලුවෙක්ට කිව්වා ඌ ලඟ මුද්දර ගොඩාක් තියෙනවා ගානක් දීපං ගෙනත් දෙන්නම් කියලා. මාත් ගානක් දීල පහුවෙනිදා වෙනකන් බලන් උන්නා. මූ එකම ජාතියේ මුද්දර ගොඩාක් ගෙනත් දුන්නා. සෑහෙන මුද්දර ගොඩක් කාවෝ කාලාත් එක්ක.. :(

    ReplyDelete
    Replies
    1. මගේ ලග තවමත් තියෙනවා එදා එකතු කරපු පැරණි මුද්දර...ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ නිකුත් කරපු ශත 1,2,3, ආදී වශයෙන් වටිනාකමෙන් වැඩි පැරණි මුද්දර ගොඩාක් මගේ එකතුවේ අදටත් තියෙනවා. ඉස්සර අපි අපි ලග වැඩිපුර තියෙන මුද්දර දීලා අපි ලග නැති දේවල් ලබා ගත්තා. අපේ පන්තියට විවේක කාලය ලැබුන ගමන් මුද්දර හුවමාරුව තමයි අපි 6-7 පන්ති වල ඉද්දි කරපු ප්‍රධානම දේ.

      Delete
  8. පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද මිනිහ පක්ෂේ මාරු කරලද කියල.. . මාත් දැක්කනේ ඔය ඔට්ටුව් අෆරාධයක් නෙ අෆ්ෆා ඇල්ලුවේ නැති එක.

    සිරා කොලුවට තිබ්බේ ඔට්ටුව අල්ලන්න. . එතකොට මිනිහට දින්නත් එකයි පැරදුනත් එකයි වගේනෙ..

    ReplyDelete
    Replies
    1. මම ජීවන්තයා එක්ක ඔට්ටු අල්ලලා දිනලා අනේ මේ සල්ලි මට එපා කියලා දුන්නත් ජීවන්තයා බාර ගන්න මිනිහෙක් නෙමෙයි...ඒකා කිව්වොත් කිව්වා ජාතියෙ එකෙක්.

      මල්කොබා උඹත් බාලයක්ෂයා නේද..මුද්දර එකතු කොලේ නැතෙයි..

      Delete
    2. මුද්දර විතරක් නෙමේ පරණ කාසිත් එකතු කළා .. මුද්දර බිස්නස් වලටත් අහු උනා.. පස්සේ තමයි දන්නෙ ඒවා ඔරිගීනල් ඒවා නෙමේ කියල... හොක් හොක්

      Delete
  9. හ්ම්ම් හිත හොඳ ගෑණි වගේ හැමදාම දුකේ.. ඔය වගෙ නෑම්බෙක් මාත් දැනං හිටියා.

    ReplyDelete
    Replies
    1. හිතහොඳ ගෑණි හැමදාම බඩින් කියලා නේද ඔරිජිනල් විදියට කියන්නේ...

      Delete
  10. අර බයික් සර්කස් පෙන්නන පොර නිමෝ කියලා කෙනෙක් නේ ?? ඕ යේස් මේ ඊයෙ පෙරේදත් බියර් තේහැඳි දෙකක් බීලා මාර සටන්ට් ටිකක් පෙන්නලා තිබුනා රාගම දිහෑ .… ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. බියර්... චැහ්...!!!!! ගහන්න කියපන් ගල්...

      Delete
    2. බ්‍රෑනඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. මේ මැජික් කරපු ඩයල් එක මීගමුවෙ පදිංචි වෙලා හිටිය රටම දන්න කෙනෙක්...ටික කාලයක් ඇතුලට ගිහිිල්ලත් හිටියා..තමන් ලග මැජික් ඉගෙන ගන්න ආපු දරුවෙක්ට අහ වල් වැඩක් කරලා.

      Delete
  11. මගේ ගාව තාම තියෙනවා බොල මුද්දර ඇල්බම් 5ක්... අද කාලේ උන්ට කොහෙද එහෙම ආතල් එකක්..... සිරාගේ අතීත සිද්දිනම් මම කියවන්න බොහොම මනාපයි.... මාර රහයි ලියන විදිහත්..... දාපන්කෝ බන් ලැජ්ජාව පැත්තකින් තියලා තව ප්‍රේම ජවනිකාවක්....

    ReplyDelete
    Replies
    1. එනවා එනවා ලගදිම එනවා

      Delete
    2. බූට් ඇනෝ...උඹ ඩුබායි ඉන්න එකේ උඹේ දුක පහව යන්නත් එක්ක පිල්ලියක් හරි සැට් කරගනුකො.

      මගේ ලගත් තරමක් විශාල මුද්දර එකතුවක් තියෙනවා...ඒකෙ තියෙන සමහර මුද්දර අපට නිදහස ලැබෙන්න කලින් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ නිකුත් කරපු ඒවා.

      පෙම් ජවනිකාවක් දාන්නම් නිසැකවම...

      Delete
    3. හපෝ බන්.... උන් කන දේවල් දැක්කම ලගටවත් ගන්න හිතෙන්නේ නෑ... කුකුලගේ, හරකාගේ , ඌරගේ නොකන මලදානයක් නෑ... උන් කෑම හදනකොට පළාතේ ඉන්න බෑ ගන්දස්සාරේ... හැබැයි ඉතින් බටර් කෑල්ල වගේ ඉන්නවා... මුණ ලස්සන උන් නම් සුප්පා.....

      Delete
    4. ගිය සතියේ Sports City තිබුන ICricket match එකට ලස්සන සිංහල කෙල්ලො ඇවිත් හිටියා දැක්කෙ නැද්ද?

      Delete
    5. බූට් ඇනෝ මේ වගේ ඉවෙන්ට් එකක් තියෙන වෙලාවක ගිහින් උඹේ ඔය පාළුව තනිය මකාගන්න කවරු හරි සැට් කොර ගනින්කො බං...උඹේ කිසි උනන්දුවක් නෑනෙ...

      Delete
    6. අපිත් ආසයි බං වෙඩිං කේක් කැල්ලක් කලා ගල් අරක්කු ටිකක් බොන්න

      Delete
    7. වෙලාවක් නෑ බොල ... ඉරිදා පටන් ගත්තම බ්‍රහස්පතින්දා වෙනකම් වැඩ... (උදේ 8.30 - 6 ) ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන කළා බීලා ෆිල්ම් එකක් එහෙම බලලා දොයි... සිකුරාදා සෙනසුරාදා ඉන්න තැන අස් කරගෙන රෙදි හෝදලා නින්දක් දාලා රෑට පටියකට සෙට් උනාම එනකොට පාන්දර 4යි 5යි... කෝ බන් වෙලා...?


      ගෙදරින් සැහෙන්න බර බරේ බන් මෙන්ඩෝ... සිරාට කෙල්ලෙක් බලන ගමන් මටත් බලපන්.... මම සිරා තරම් නාකි නෑ.. අවුරුදු 28ක තරුණ කොලු ගැටයෙක්....

      Delete
  12. මගේ ගාවත් තියෙනවා බං පරණ මුද්දර එකතුවක්.
    මදැයි ඌගේ ඔට්ටුවට වෙච්චි දේ,හැබැයි ඉතින් එක ගැනත් ඌ එච්චර හිතන්නේ නැතුව ඇතිනේ,මොනා කරන්නද දැන් ඉතින් ආයෙත් ඌ කතා කෙරුවොත් කියපන් මහින්ද මාමා ආයේ එන්නේ නැතෙයි කියලා කිසිම දාක.

    ReplyDelete
    Replies
    1. ජීවන්තයගෙ අතේ ඔට්ටු දාන්න සල්ලි තිබුනෙ නැ...මිනිහා විශ්වාස කරපු විදියට ජයග්‍රාහකයා වෙන්න ඉඩ තිබුනෙ මරා. ඉතින් මරා දිනනවා කියලා ඔට්ටු අල්ලලා නිකංම ලක්ෂ දෙකක් අතට ගන්න එක තමයි මිනිහගෙ බලාපොරොත්තුව වෙන්න ඇත්තෙ. මම යවපු එක මැසේජ් එකකට තවම උත්තර නෑ

      Delete
  13. ඉස්කෝලේ යද්දී අච්චර හොඳට මුද්දර බිස්නස් කරපු එකාට තිබ්බ මොලේට ගුල්ලෝ ගැහුවද බං, පස්සේ ඔය වගේ මැටි වැඩම කලේ. කොහොම වුනත් ඌ බොක්ක හොඳ එකෙක් වග නම් පේනවා .

    ReplyDelete
    Replies
    1. ඌ හොද බොක්කක් තියෙන එකෙක්. ඒකෙ දෙකක් නෑ...පාසල් යන කාලෙ කපටිකමෙන් බිස්නස් කරපු මිනිහා පස්සෙ කාලෙක ධාර්මික උනාද මන්දා...

      Delete
  14. මගේ හොදම යාලුවෙක් ඉන්නවා ඌත් ලෝකෙ පෙරලුනත් සිගරට් එකක් බිලා තමයි ප්‍රශ්නෙ විසදන්නෙ..හැබැයි ඒක මෝඩකමක් නෙමෙයි එක පැත්තකින් උගේ ආත්ම ශක්තිය..පොඩි පාඩුවක් උනත් වහ බොන වුන් ඉන්න රටක ඇත්තටම ඌ පොරක්.

    ReplyDelete
    Replies
    1. ජීවන්තයට තියෙන කරදර ගැන මම මෙතන ලිව්වෙ නෑ...ජීවන්තයාට පුදුම තරමේ කරදර/බාධක කම්කටොළු වලට මුහුන දෙනන සිදු උනා. වෙන එකෙක් නම් ජීවිතයෙන් සමුගන්නා. අපේ එකාටත් සිගරට් එක එක්ක ලග නෑදෑ සබඳතාවක් තිබුනා.

      Delete
  15. ඔට්ටු අල්ලන එවුන් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. කවුද දන්නේ මූ යාලුවෙක් දාලා මේ ෂෝ ඒකට සෙනග එන්නේ නෑ කියලා ඔට්ටුවක් අල්ලවා ගත්තද කියලා ? අර බැංකු මැනේජර් එක්ක ඇල්ලුවා ඔට්ටුව වගේ. පොස්ට් එක මගක් කියවනකොට මම හිතුවේ මේකට හරි යන්නේ දේශපාලනය කියලා. බලනකොට ඌ සබ්ජෙට් එකේ එක කෙළවරක ඉන්නවා. පොඩ්ඩක් හොයලා බලපන් මූ අනිත් පැත්තටත් ඔට්ටුවක් අල්ලලාද කියලා. මගේ අර ආර්.ආර්.ගෙ පොස්ට් එකේ වගේ.

    ReplyDelete
    Replies
    1. මේ ෂෝ එකට සෙනග එන්නෙ නෑ කියලා ඔට්ටු අල්ලන එක ප්‍රායෝගික නෑ . එකේ සංවිධායක විදියට වැඩිපුර ආදායමක් ලැබෙන විදියට මේ කාරියසැලසුම් කරලා ලාභ තීරුව වැඩි කරගන්න තමයි ජීවන්තයා උත්සාහ කලේ. දේශපාලනය කියන්නෙ ජීවන්තයට ගහට පොත්ත වගේ දෙයක්

      Delete
  16. Jeewantha aiya... mata hondata matakai.... issara man ge katema tibba ekak tamai,,, school eken ain wenna kalin Ja-Ela Gampaha school bus ekak dala denawa kiyala.. miniha ekata sahena wada kala... antima kale kiyanna gatta mama marenna kalin dala denawa kiyala.... but mama danna hatiyata tama school bus ekak naha,,,, :D

    ReplyDelete
    Replies
    1. ඔය පාසල් බස් රථය අපේ මාර්ගයේ ධාවනය කරවන්න මමත් මහන්සි උනා. නමුත් නිසි බලධාරීන්ගෙන් සහයෝගය නොලැබුන නිසා තමයි ඒ කාරිය කොරන්න බැරි උනේ. ජීවන්තයා මැරෙන්න කලින් වැඩේ කරලා දෙන්නම් කිව්වා නම් අනිවාර්යෙන් වැඩේ කරලා දෙයි.

      Delete
  17. ඕන දෙයක් දරාගන්න පුළුවන් මිනිස්සු හරි අඬුයි.. මේ ඒ වගේ කෙනෙක් කියල තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්...එහෙම කියන්නත් පුලුවන්..කොච්චර පාඩු සිද්ධ උනත් ඒ හැමදේම උපේක්ෂාවෙන් තමයි මගේ මිත්තරයි හැමදාමත් දරා ගත්තෙ.

      Delete
  18. ජීවිතේ අපිට හමුවෙන වෙනස් චරිත වලින් එකක්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ මිනිස්සුත් මේ ලෝකයේ ඉන්න බවට මේ ලියවිල්ල සාක්ෂියක් වේවි .

      Delete
  19. මෙහෙම ඔට්ටු ඇල්ලිල්ල නම් හරිම මෝඩකමක් විදිහට මම දකින්නේ.

    ReplyDelete
    Replies
    1. සමහරු ඉතින් මහන්සි නොවී අතට වාසියක් ලබාගන්නත් ඔට්ටු අල්ලනවා...දෙපාර්ශවයම සමබර නම්...කරට කර නම් ඒ වගේ වෙලාවට ඉතින් වාසනාවට තමයි ජයග්‍රහණය භාර දෙන්න වෙන්නෙ.

      Delete
  20. මාත් එක්ක අමද්‍යප සංගම් වල හිටපු එවුන් දැන් අමු බේබද්දො වෙලා ඉන්නවා...
    කොහොම වුණත් ජීවන්තයා අපූරු චරිතයක්. ලක්ෂ ගාණක් තියා රුපියල් දහයක් පාඩු වුණත් සති ගාණක් පුස් මූඩ් දාගෙන ඉන්න එවුන් අත‍රේ මූ අදහන්න වටින චරිතයක්

    ReplyDelete
  21. හෙහ් හෙහ් මරු බුලට් එකක් තමයි. අපේ ඔහොම අතින් කයිට් කරගන්න එකෙක් හිටියා. උගේ කාඩ් එක ටොපියා. හැබැයි ඌත් ජීවන්තයා තරම් නෑ

    ReplyDelete
  22. එහෙම මිනිස්සුත් ඉන්නව නේ. හැබැයි ඉතින් ඒ වගේ චරිත මේ ලෝකෙන් සමුගද්දීත් අපහසුවක් නැතුව පණ ටික යනව ඇති. මොකද ඉතින් බහුතර ජනතාව වගේ ඒ මිනිස්සු ජිවත් වෙලා ඉද්දි තන්හාවෙන් ඇලී ගැලී ඉන්නෙ නැහැනෙ.

    හැබැයි ඉතින් ඔට්ටු අල්ලන එකයි, එක එකාගෙ ලණු ගිලින එකයි ඒ මිනිස්සුන්ගෙ තියෙන මෝඩ කම. ජය වේවා!!!

    ReplyDelete
  23. machan siro ape paseleth hitiya kalu usa mahatha vidya sir kenek. eya nittambuwa ranpokunugama skeem eka patte endan awe desk eka uda parippuwama thamai apita dunne , eyamada danne oya kiyanne

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...