Thursday, January 22, 2015

43 ගිමන් හරින දියඹ දිගේ හමු වූ ඔහු

ගලන අතට පිහිනීමත් උඩුගං බලා පිහිනීමත් යනු දෙකකි. සැඩපහර දිගේ පහළට යාමට ශක්තිය වැය වන්නේ නැත. එහෙත් නිර්භීත කමත් චිත්ත ශක්තියත් ඇති පදමට ඇති මිනිසුන් ගලන ගඟට අභියෝග කර විරුද්ධ දිශාවට පිහිනති.

ක්ෂේත්‍රය කුමක් වුවත් උඩුගං බලා යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ඒ ක්ෂේත්‍රය තුල තමන්ගේ දැනුම මට්ටමේ වපසරිය පුළුල් වීම මත ඇතමෙකුට ඒ සඳහා මග හසර එළි පෙහෙළි වී තිබේ. උඩුගං බලා ගිය බොහෝ ඇත්තන් සමාජයට අලුත් යමක් දායාද කරන්නට සමත් වූවෝ වෙති. ඇති පදමට ධෛර්යය තිබූ මිනිසුන් වෙති. වර්තමාන ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ උඩුගං බලා පිහිනන එක් ප්‍රමුඛ චරිතයක්  සමග වෙනස් ආරක කථා බහකට එක් වන්නටයි මගේ මේ ඇරයුම.

සිරා කොලුවා වන මට මේ චරිතය මුලින්ම මුලිච්චි වෙන්නේ මගේ පාසල් වටපිටාවේදී බව යම් අභිමානයක් සිත දරාගෙන ඔබට කියන්නට මම රිසි වෙමි. ඒ කාලයේදී සංගීතය සමග බොහෝ කිට්ටු සබඳතාවක් තිබූ එකෙකු වන මට පාසලේ සිටි ලොකු අයියා කෙනෙකි අද අපේ කථා නායකයා. ඔහු නමින් අරුණ ගුණවර්ධන නම් වෙයි. මෑත කාලයේ ජනප්‍රිය වූ ඉතාම සුන්දර ගීත කීපයකම සංගීතඥයා ලෙස කටයුතු කල ඔහු ඔබ වෙනුවෙන් සිරාගේ කාමරයට කැන්දාගෙන ගෙන එන්නට මා දැරූ උත්සාහයේ ප්‍රතිඵලය ලෙස මේ ලිපිය හදුන්වාදෙන්නට හැකිය. නමින් එතරම් ප්‍රසිද්ධ නැති මුත් ඔහුගේ දායකත්වය ලද  නිර්මාණ ඔබ හඳුනන බවට සැකයක් නැත.

අරුණ ගුණවර්ධන



අප කුඩා උන් ලෙස පාසලේ සංගීත කණ්ඩායම නියෝජනය කරන අවදියේ, ඒ වටපිටාවේ සිටි ජේෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස අරුණ අයියා හඳුන්වා දිය හැක. පාසලේ සංගීත කටයුත්තක් සිදුවන සෑම තැනකම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ඔහුගේ රූපකාය සැමවිටම දෘෂ්‍යමානව තිබුනි. ඒ කාලයේදී ගිටාරය සහ විදුලි ඕගනය සමග ඔහුට තිබුනේ කිට්ටු ඇසුරකි. එහෙත් ඔහුගේ ගායන චමත්කාරයද ඊට නොදෙවෙනිය. පාසලේ පැවති විවිධ ප්‍රසංගයකදී Richard Marx ගේ Hazard නැමති සදා නොමියෙන අපූර්වතම ගීතය ඔහු ගායනා කල චමත්කාරය අපහසුවකින් තොරව තවමත් මට සිහියට නගා ගත හැකිය.

කාලයේ තාලය අවසානයේ අපි සියල්ලෝම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වීමු. ජීවන ගමනේ කටයුතු අරභයා හැල්මේ දුවන සමාජයට එකතු වීමු. ඒ තරගය අතර තුර තැනක දශකයකටත් පසු දවසක අරුණ අයියා මා හට නැවතත් සම්මුඛ වන්නේ මයෙ මලයාගේ දැනුම් දීමක් මත මූණු පොතෙනි. එහෙත් අපගේ අතීත සුහදත්වය ඒ වෙද්දිත් නිරුපද්‍රිතව තිබූ අතර වෙනසකට තිබුනේ ඔහු දැන් රටක් වසඟ කල තනු නිර්මාපකයෙක් වී සිටීම පමණි.

වර්තමාන සංගීත ක්ෂේත්‍රෙයේ බොහෝ දෑ සිදුවන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය අනුවය. බොහෝ සංගිතකරුවන් / පද රචකයන් / ගායකයන් මේ රැල්ලට හසුවී මුදල් මත පිනුම් ගසති. හරසුන් නිර්මාණ හරවත් නිර්මාණ යටකරගෙන බලෙන් ඉලිප්පෙන්නට වෙර දරති. විරහව ඇති තරම් විකුණති. හැකියාවක් නැති උන්ද තාක්ෂණයට පින්සිදු වන්නට ගායකයන් වී සිටිති.

සුභාවිත ගීතයට ප්‍රිය කරන රසික ප්‍රජාවට වර්තමාන සංගීත පෙරළි එතරම් ගෝචර නැත. ඔවුන්ගේ රසඥතාවයට ගැලපෙන ගීත නිර්මාණ එළිදකින්නේ ඉතාමත්ම අඩුවෙනි. එවන් වටපිටාවක අරුණ ගුණවර්ධන නැමති මේ සංගීතඥයාගේ නිර්මාණ දායකත්වය අන් කවරදාටත් වැඩියෙන් අපේ හදවත් වලට දැනෙයි. මන්ද යත් ඔහු සුභාවිත ගීතය පොෂණය උදෙසා ගන්නා අපමණ මහන්සිය නිසාවෙනි.


                                           හද පෙලන්න - නිරෝෂා විරාජිනී

වෘත්තීය සංගීතඥයෙකු නොවන ඔහු සංචාරක ක්ෂේත්‍රයට අදාළ රැකියාවක නිරත වෙමින් ලාංකීය ගීත කලාව පෝෂණය කිරීම සැබැවින්ම පැසසිය යුතු කරුණකි. මුදල් නැමති සාධකය මත තම නිර්මාණ හැකියාව ලන්සු තබන්නේ නැති ඔහු සැම විටම සිටගන්නේ සුභාවිත ගීතය ප්‍රියකරන රසික කැළ සමගිනි. හෙතෙම තනු නිර්මාපකයෙක් ලෙස කරළියට පැමිණ තවමත් වැඩි කාලයක් ගත වී නැත. එහෙත් ඒ කෙටි කාලය තුල ක්ෂේත්‍රයේ දැවැන්තයන් උදෙසා නිර්මාණකරණයේ යෙදෙන්නට අවස්ථාව ලැබීමම ඔහුගේ සංගීත පරිචය පිළිබද අපට කරුණු හෙළි කරයි.


හන්තාන සිහිනේ - පණ්ඩිත් අමරදේව / උමාරියා

පසුගිය දිනෙකදී සුභාවිත ගීතය ප්‍රියකරනා රසික කැළ වෙනුවෙන් අරුණ අයියා සමග පුංචි පහේ කථා බහක යෙදෙන්නට සිරා කොලුවාට අවස්ථාව ලැබුනි. ඒ කථා බහ තුල මගේ ගැටලු සහ ඒවාට ඔහු දුන් පිළිතුරු සැකෙවින් මෙසේය

ලංකාවේ සංගීතය වෙළදපොල ඉලක්ක කරගෙන ඉල්ලුමට සැපයුම ලබා දෙන වකවානුවක පවතින ප්‍රවාහයට එකතු වෙන්නෙ නැතුව ඔබේම කියලා ගමනක් යන්න ඔබ කල්පනා කලේ ඇයි ?


මම සංගීතය කරන්නෙ ආත්ම තෘප්තිය උදෙසා. මට ඒ වගේ තීරණයක ඉඳලා මගේ ගමන යන්න හැකිවෙලා තියෙන්නෙ මම වෙනත් වෘත්තියක නිරත වෙලා ඉන්න නිසා. කලබලයක් නැතුව මගේ පාඩුවේ හෙමිහිට වෙලාව අරගෙන සංගීත නිර්මාණ සිදුකරන්නයි මගේ කැමැත්ත තියෙන්නෙ.

අනිත් නිර්මාණ කරුවන්ට එවැනි තීරණයකට එන්න බැරි ආර්ථික සාධකය නිසාද ? අතීතයේ හොඳ නිර්මාණ බිහිවෙන්නත් වර්තමානයේ හරසුන් නිර්මාණ වැඩි වශයෙන් බිහිවෙන්නත් ඉඩ ප්‍රස්ථාව ලැබුනෙ වෙළදපොල මතද...අතීතයේ නිර්මාණ විකුණන අදහසින් කලේ නැතත් අද නිර්මාණ විකුණන අදහසින් කරන්නේ සංගීතය වෙළදපොලේ විකිණිය හැකි දෙයක් ලෙසට වර්තමානයේ පත්වෙලා තියෙන නිසාද...මේ වෙනස අතීතයත් එක්ක ගලපන්නෙ කොහොමද ?


අතීතයේ කලා නිර්මාණ බිහිවුනේ සියලුම පාර්ශව වල උපරිම දායකත්වයෙන්. මුදල් ඒ කාලයෙත් ගැවසුනා. නමුත් ඔවුන් මුදල් මූලික කරගත්තෙ නෑ. අපි අහලා තියෙනවා පද රචකයො, සංගීත වේදීන්, සොඳුරු හමුවීම් අතර තුර නිර්මාණ කරපු හැටි. වර්තමානයෙ නිර්මාණ පිළිබඳ තීරණ ගන්නෙ මාධ්‍ය විසින්. ඒ අතරත් වැඩිපුරම තිබෙන්නෙ පුද්ගලික මාධ්‍ය. ඔවුන් ලාභය මූලික අරමුණ කරගෙනයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ ස්ථාන වල නිර්මාණකරණය හෝ ඒවා අගය කරන පිරිසක් නෑ.

ගීතයෙන් මුදල් උපයන්න පුලුවන් අනෙකුත් විධි ක්‍රම ආරම්භ උනේ බොහොම මෑතකදි. ඒ අතරිනුත් රිගින් ටෝන් වලට සින්දු විකුණන එක තමයි ප්‍රධානම මාර්ගය. ඒ හරහා මුදල් ලැබීමේ වරදක් මම දකින්නෙ නෑ. මොකද කලාකරුවන්ට ඒ හරහා ආදායමක් ලැබෙන නිසා. නමුත් මේ ක්‍රියාවලියෙදි වැඩිම ලාභය ලබන්නෙ දුරකථන සමාගම් සහ කලාකරුවන් අතර ඉන්න අතරමැදියො. මේ සඳහා රජය මැදිහත් වෙනවා නම් එය ක්‍රමානුකූල වෙයි. අපේ ජේෂ්ඨ කලාකාරයො මේ කටයුත්තට සම්බන්ධ වෙන්නෙ නෑ. නමුත් ඔවුන්ගේ නිර්මාණත් මේ ප්‍රවාහයට එකතු වෙනවා නම් ඔවුන්ගේ රසිකයන් කැමති වෙයි කියලා මට හිතෙනවා.

හම්බකරන අරමුණින් කරන ගීත නිර්මාණ වල ගති ලක්ෂණ  බොහෝ වෙලාවට එක වගෙයි. ඒ විදියට තමන්ට නිර්මාණ ලබාදෙන්න කියලා ඉල්ලන්නෙ මාධ්‍ය විසින්. මේ හේතුවෙන් කලා කරුවො අසරණයි. තමන්ගෙ කැමැත්තට නිර්මාණයක් කරන්න ඔවුන්ට ඉඩක් නෑ. එහෙම කලේ නැති නම් ඔවුන්ට ආදායමක් ලැබෙන්නේ නැති නිසා.

අද එෆ් එම් නාලිකා තනිකරම යැපෙන්නේ ගීත මත...බුද්ධිමය නිර්මාණ මේ විදියට ඔවුන් පාවිච්චි කර ආදායම් ඉපයුවාට ඒ නිර්මාණ කරුවන්ට ඔවුන් ගෙවීමක් කරන්නේ නෑ නේද..මීට එරෙහිව කලාකරුවන්ගේ පාර්ශවයෙන් හඩක් නැගෙන්නේ නැතිද ?


ස්සර තමයි ගුවන් විදුලි ආයතන වලින් යම් කිසි මුදලක් කලා කරුවො අපේක්ෂා කලේ. ඒත් දැන් ඒ නාලිකා වලට කලාකරුවන්ට මුදල් ගෙවන්න වෙලා තියෙන්නෙ. මගෙ අදහසේ හැටියට යහපත් ගීත ප්‍රචාරය කරන්නට හැකි ලෙස යාන්ත්‍රණයක් හදන්නට පුලුවන් නම් හරසුන් බොල් නිර්මාණ ප්‍රචාරය නතර වෙනවා. ජනප්‍රිය ගීත කියන්නෙ බොරුවට හදාගත්ත දෙයක්. මිනිස්සු දැන් ගුවන් විදුලිය අහන්නෙ ගොඩාක් අඩුවෙන්. ගොඩාක් අය අන්තර්ජාලයන් තමයි ගීත අහන්නෙ. මම හිතන විදියට විවිධ ශෛලීන් වලට අදාළ ගීත තියෙන්න ඕනෙ. සංගීතය රටක සංවර්ධන අරමුණු වලටත් යොදාගන්න පුලුවන්. ඒ සඳහා උසස් රස වින්දනයයක් ඇති කරන්න පුලුවන් සංගීතයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕනෙ. ප්‍රමිතීන් හදන්න ඕනෙ. ගීත ගායනා කරන්න හැකියාව නැති අය මෘදුකාංග හරහා ගායකයො වෙලා පටිගත කල ගීත ජනමාධ්‍ය වල ප්‍රචාරය නවත්වන්න ඕනෙ. මේ වගේ හරසුන් නිර්මාණ වැඩි වශයෙන්ම අහන්නෙ කුඩා දරුවො. ගීතයක යොදා ගන්නා වචන ගැනත් සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනෙ. මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. 

අතීතයේදී ගායකයන් විසින් නිර්මාණයක් කරගන්න පද රචකයා හා සංගීතඥයා සොයා ගියත් අද වන විට ගායකයා සොයා යන්නට පද රචකයාට සහ සංගීතඥයාට සිදු වී තිබෙනවා නේද...කුමක්ද මේ වෙනස ?


මෙතැනදි කාරණා කීපයක් තියෙනවා. ප්‍රවීණ ගායකයො අලුත් නිර්මාණ කරන්න යොමු නොවීම ප්‍රධානම හේතුවක්. ඔවුන් අලුත් පරපුර සමග වැඩ කරන්න භයක් තිබෙනවා. අලුත් පරපුර කියලා මාධ්‍ය මගින් කරළියට ආව අය එක්ක වැඩ කරන්න භයයි. අන්න එහෙම අයට හොඳම පිළිතුර දුන්නෙ පණ්ඩිත් අමරදේවයන් සහ නන්දා මාලිනිය. මගේ පුද්ගලික අදහස අනුව ලංකාවෙ සංගීත ක්ෂේත්‍රය තුල ඉන්න ශ්‍රේෂ්ඨ වගේම විශිෂ්ඨතම ගායන ශිල්පියා සහ ශිල්පිනිය ඔවුන් දෙදෙනායි. ඒ දෙපළ මමත් ජානක සිරිවර්ධනත් එක්ක වැඩ කරන්න කැමති උනා. මේ තරම් සියුමැලිද කළුගල් ගීතයෙදි දර්ශන රුවන්, රජී වෙල්ගම එක්ක සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායකයා එකතු උනා, අමරසිරි පීරිස් මහතා සමනල සංධ්වනිය චිත්‍රපට ගීත වලදි දර්ශන රුවන් සහ අමිල තේනුවර එක්ක සම්බන්ධ උනා. මේ අය හරහා තවත් ජේෂ්ඨ ශිල්පීන් මේ වෙද්දි නව පරපුර සමග වැඩ කරන්න පටන් අරගෙන. ඒ වගේම ප්‍රවීණ ගී පද රචකයො වගේම සංගීතඥයොත් නව පරපුරට තමන්ගෙ සහයෝගය ලබා දිය යුතුයි. ඒ වගේම මේ විදියට හදන ගිත ජනතාව අතරට අරගෙන යන්න රාජ්‍ය මධ්‍ය උදව් කල යුතුයි.

කොහොමද ඔබේ සංගීත චාරිකාවට පදනම වැටුනෙ, ඒ වගේම තනුවක් නිර්මාණය කරන්න ප්‍රවේශය ලබා ගන්නා ආකාරයත් දැනගන්න කැමතියි, ඔබේ නිර්මාණ තුල බොහෝ විට බටහිර සම්භාව්‍ය සංගීතයේ වැඩිපුර යොදාගන්නා චෙලෝවේ හඩ අපට ඇහෙනවා...කුමක්ද එයට හේතුව


මම පද රචනාව මූලික කරගෙන වගේම යම් හැගීමක් මූලික කරගෙනත් සංගීතය නිර්මාණය කිරීම කෙරෙනවා. ඒ සඳහා මමත් පද රචකයාත් හොඳින් එකිනෙකාව හඳුනාගන්න ඕනෙ. ඒ අතරින් ජානක සිරිවර්ධන, අසංක රුවන්, ධනුෂ්ක ප්‍රනාන්දු, ලක්ශාන්ත අතුකෝරළ වැනි අය එක්ක මගේ හඳුනාගැනීම විශේෂයි. ඒ වගේම මෙතනදි රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවොත් මට විශාල අවස්ථා කීපයක්ම ලබා දුන්නා. මගේ සංගීත පරිසරය ගැන කියනවා නම්, මම කුඩා කාලෙ ඉඳලම ගෙදර ඇහුනෙ බටහිර සංගීතය. මගේ අම්මා ගුරු වෘත්තියෙන් පස්සෙ ගෙදරදි පියානෝව වාදන කලා. තාත්තා නිතරම ඇහුවෙ ස්පාඤ්ඤ ගීත. එහෙමත් නැත්තං නෙවිල් ප්‍රනාන්දු වගේ අයගෙ ගීත. මම කුඩා කාලයෙදිම ඒ සංගීතයට ඇහුම් කන් දුන්නා. ඒ වගේම අම්මා තවමත් හොඳ සිංහල සින්දුවක් ඇහුනොත් ඒ ගැන මට කථා කරලා කියනවා.

මම පාසලේදි ඉගෙනගත්තෙ පෙරදිග සංගීතය. ඒ ශිල්පය මට ලබාදුන්න සියලුම ගුරු මව්පියවරු ආදරයෙන් මතක් කරනවා. මගේ සංගීත නිර්මාණ වල හරි අඩක් නියෝජනය කරන්නෙ මේවා සඳහා දායක වූ වාදන ශිල්පීන්. ඔබ විශේෂයෙන් ඇහුවා චෙලෝව ගැන, මගේ ගීත වලට එය වාදනය කරන්නෙ රෝචන රාමනායක. ඔහු අති දක්ෂ වාදන ශිල්පියෙක් වගේම සංගීත නිර්මාණකරුවෙක්. මගේ නිර්මාණ වලට නිතරම මේ වාදන භාණ්ඩය යොදාගන්න ඔහුගේ සුවිශේෂී වාදන හැකියාවත් බලපාන්න ඇති. 
වී හේමපාල පෙරේරා, මහේන්ද්‍ර පැස්කුවල්, සංගීත් වික්‍රමසිංහ, ජයංග දැදිගම, සුගත් හෙට්ටිආරච්චි, රුක්ෂාන්, ධනංජය සෝමසිරි,  වැනි ලංකාවෙ විශිෂ්ඨතම වාදක මණ්ඩලයක් මේ හැම ගීතයක් පිටිපස්සෙම ඉන්නවා. මගේ හැගීම් ඔවුන් තමයි සංගීතයෙන් ශ්‍රාවකයා කරා අරගෙන යන්න උදව් කරන්නෙ.

මහේන්ද්‍ර පැස්කුවල් සමග

ඔබ ක්ෂේත්‍රයට පැමිණ විශාල කාලයක් නැති උනත් බොහෝ දැවැන්තයින් සමග මේ වන විටත් නිර්මාණකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබී තිබෙනවා...විශේෂයෙන් ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මුදුන් මල්කඩ බඳු අමරදේවයන් සමග නිර්මාණ කරණයේ යෙදෙන්නට ඔබට අවස්ථාව ලැබුන අන්දම හා ඒ අත්දැකීම් ගැන කථා කරනවා නම්


ඒකනම් පෙර පිනකට වෙච්ච දෙයක් කියලා තමයි මම තවම විශ්වාස කරන්නෙ. මට මතක් වෙන්නෙ මැග්සයිසෙ සම්මානයත් අරගෙන අමරදේවයන් ලංකාවට ආපු අවස්ථාවෙ මම සේවය කලේ කටුනායක ගුවන් තොටුපලේ. මම ගුවන්තොටුපල ඡායාරූප ශිල්පියාට මුදල් ගෙවලා එතුමා සමග එකට ඉඳලා ඡායාරූපයක් ගත්තා. ඒ සිදුවීමෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි අමරදේවයන් කෙරෙහි මගේ තිබෙන ආදරය සහ ගෞරවය. පස්සෙ දවසක මම එතුමා වෙනුවෙනුත් ගීත නිර්මාණය කලා කිව්වම මටත් පුදුමයි.

ගිමන් හරින දියඹ දිගේ ගීතය පටිගත කල දින අමරදේවයන් සමග


හන්තාන සිහිනේ ගීතය පටිගත කල දින අමරදේවයන් සහ උමාරියා සමග
මට මේ අවස්ථාව ලැබෙන්නෙ අග්නි ටෙලි නාට්‍යය නිසයි. ඒ වෙද්දි මම මලී ටෙලිනාටකයෙ තේමා ගීතය සංගීතවත් කරලා තිබුනා. එය ගායනා කලේ නන්දා මාලිනිය. අග්නි ටෙලිනාටකේ තේමා ගීතය ගැන අපි කථාකරමින් හිටිය කාලෙ මට අමරදේවයන්ට පෙන්වන්න තිබුනෙ නන්දාමාලිනිය ගායනා කල ඒ ගීතය. චරිත් කොතලාවල මහතා සහ මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරපු ඒ වගේම ගීතයේ පද පෙල ලියපු ජානක අයියා තමයි මට මේ අවස්ථාව ලබා දුන්නෙ. අමරදේවයන්ගෙ පුතා රංජන අමරදේව මට මලී ගීතය ගායනා කරලා පෙන්වන්න කිව්වා. දේශයේ මහා ගාන්ධර්වයා ඉදිරියේ ඒ ගායනය කල වෙලේ මට දැනුන හැගීම වචනයෙන් කියන්න බැරි තරමේ එකක්. මගේ ගායනයෙන් පස්සෙ අමරදේවයන් වගේම රංජන අයියත් මා ගැන විශ්වාසය තිබ්බා. ගීතයේ පද පෙල වගේම සංගීතය ගැනත් අපි අමරදේවයන් සමග කීප වරක් සාකච්ඡා කරලා තමයි පටිගත කිරීමට ගියේ. ඒ අත්දැකීම සදාඅනුස්මරණීයයි කියලා කිව්වත් වරදක් නෑ. එතුමා දෙවැනි නිර්මාණයකටත් මා හට ආරාධනා කල නිසා මම මේ ගීතය තුල සාර්ථක වෙලා තියෙනවා කියලා නිහතමානී සතුටක් දැනෙනවා.



ගිමන් හරින දියඹ දිගේ - පණ්ඩිත් අමරදේව

ඔබේ ඉදිරි අනාගත බලාපොරාත්තු ගැන යමක් කථා කරමු...සංගීතයෙන් ඔබ අනාගතයේ කල යුතු යැයි සිතා සිටින යම් යම් දේ තිබෙනවාද ? ඒ වගේම නූතන තරුණ සංගීතවේදීන් අතර අංක 1 චරිතය කුමක්ද ?


මට යමක් කල හැකි නිර්මාණ මාධ්‍යය ගීතය කියලයි මම හිතන්නෙ. මේ වනතෙක් කරගෙන ආවා වගේ හෙමින් හෙමින් නිර්මාණ කරන්නයි මගේ කැමැත්ත. හදිස්සියක් නෑ. ඒ වගේම ලංකාවෙ සංගීතය ගැන සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්නත් පුලුවන්. සුරේෂ් මාලියද්ද, නදීක ගුරුගේ, මහේෂ් දෙණිපිටිය, බිලී ප්‍රනාන්දු, කසුන් කල්හාර, දර්ශන රුවන් දිසානායක, රාජ්, භාතිය, දර්ශන වික්‍රමතුංග, තිළිණ රුහුණගේ, රධීෂ් වැන්දබෝනා, උදාර අතපත්තු, වගේ දක්ෂ නිර්මාණ කරුවො නිතරම නිර්මාණ කරනවා. මේ අය තම තමන්ට ආවේණික ලක්ෂණ සහිත විවිධ කුසලතා ඇති අය. ඒ නිසා අංක 1 මෙන්න මෙයයි කියලා කාටවත් කියන්න බෑ. මේ වෙද්දි උසස් පදරචකයො පිරිසකුත් බිහිවෙමින් ඉන්නවා. ඒ වගේම ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතියෙන් එළියට එන නිර්මාණකරුවො බොහෝ පිරිසකුත් ඉන්නවා. ඒ අය විධිමත් ආකාරයකට මේ ක්ෂේත්‍රයට එකතු කරගන්න යම් වැඩ පිළිවෙලක් මේ වෙද්දි අපි අතර සාකච්ඡා වෙමින් තිබෙනවා. ලංකාවෙ සිදුවෙච්ච දේශපාලන පෙරළියත් එක්ක ඉදිරියේදී නව පරපුර සමග එකතුවෙලා ගොඩාක් හොද නිර්මාණ කරන්නට හැකි වෙයි කියලා මට හිතෙනවා.

අන්තිම ගැටලුව...නව පරපුර නොමග යන බව බොහෝ ජේෂ්ඨයන්ගේ අදහස...නමුත් බොහොම අතලොස්සක් දෙනා තමයි නවකයන්ට ගුරු හරුකමක් දෙන්න ඉදිරිපත් වෙන්නෙ. ඔබත් ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට නවකයො තමන්ගෙ නිර්මාණ කරණය කුමන දිශාවකට අරගෙන ගියොත් වඩා වැදගත් කියලද ඔබ හිතන්නෙ


මමත් තවම කලාකරුවෙක් වෙන්න හදන කෙනෙක්. ජේෂ්ඨයන් නවකයන්ට බනින්නෙ නැතිව නවකයො අතර ඉන්න හොඳ පිරිස අගය කරනවා නම් මෙහෙම වෙන්නෙ නෑ. මම කලින් කිව්ව මාධ්‍ය වලින් එන තරුණ පිරිසට එරෙහිව බැන බැන ඉදලා පලක් නෑ.  තමන්ගෙ මග යන පිරිසට අත දීලා ඔවුන්ට ශක්තියක් වනවා නම් වඩාත් හොඳයි. අද ඉන්න බහුතර තරුණ පරපුර විශ්ව සංගීතය ඇසුරු කරන අය. මේ අය තමන්ගෙ සංගීත දිවියේ මුලින්ම කරන හෘදයාංගම නිර්මාණ ජනතාව අතරට ගෙනයන්න මාධ්‍ය උදව් කලේ නැතිනම් තමන් ඉගෙන ගත්ත ශිල්පය අමතක කරලා ජනප්‍රිය වෙන්න බොළඳ නිර්මාණ කරනවා. ජීවත් වෙන්න මුදලුත් අවශ්‍ය නිසා. මෙන්න මේ තත්වය යහපත් කරගන්න තමයි රාජ්‍ය ප්‍රතිපත්ති වල අවශ්‍යතාව තියෙන්නෙ.

පුරන් වෙමින්  තිබූ ශ්‍රී ලාංකීය කලා කෙත නැවතත් අස්වද්දන්ට අරුණ අයියාගේ ගීත අස්වැන්නෙන් වැඩි කොටසක් ලාභ උපයන්නට හරසුන් නිර්මාණ බිහිකරන්නට අත හිත දෙන මාධ්‍ය වල අවශ්‍යතාව ඉටු නොකරන නිසාදෝ ඉඳහිට දවසක හෝ ප්‍රචාරය වන්නේ නැත. එම ගීත නිර්මාණ සමහරක් පහතින් දක්වා තිබේ.



ගායනය - කරුණාරත්න දිවුල්ගනේ       පද- රඹුක්කන සිද්ධාර්ථ හිමි
 ගායනය - හර්ෂණ දිසානායක       පද- අසංක රුවන් සාගර
ගායනය - අරුණ ගුණවර්ධන         පද- ශාන් දෙල්කඳුරආරච්චි
 ගායනය - ටී. එම්. ජයරත්න         පද- රඹුක්කන සිද්ධාර්ථ හිමි
 ගායනය - විශාරද නන්දා මාලනී       පද- ජානක සිරිවර්ධන
 ගායනය - කරුණාරත්න දිවුල්ගනේ    පද- ගෝණදෙණියේ සීවලී හිමි
 ගායනය - අමරසිරි පීරිස්         පද- රඹුක්කන සිද්ධාර්ථ හිමි

පාසල් බිමේදී දශකයකටත් එහා දිනයක හඳුනාගත් ඔබ එදා මෙන්ම තවමත් නිරංහාරකමේ ප්‍රතිමූර්තියක් බඳුය. අදට වඩා යහපත් වූ කලාවක් හෙට දින බිහි කරන්නට ඔබ ඇතුලු අවශේෂ සංගීත කරුවන්ගේ උරමත පැටවී ඇත්තේ විශාල වගකීමකි. ඒ වගකීම නිසි ලෙස හඳුනාගෙන තව තවත් ලාංකීය කලාකෙත පෝෂණය කරමින් ශ්‍රාවක සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යා හැකි නිර්මාණ බිහි කිරීමට ඔබට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා !



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මෑත දිනයකදී අමරදේවයන් ගැයූ ගිමන් හරින ගීතය අරුණ ගුණවර්ධනයන්ගේ හඬින් ගැයුනි. 


43 comments:

  1. හන්තාන සිහිනේ මෑතකදි හුඟක්ම ආසාවෙන් අහපු සින්දුවක්.. අරුණ ගැන වටින් ගොඩින් ඇහිල තිබ්බත් මේ තරම් විස්තරයක් දැනං හිටියේ නෑ කොහොමත්.. සින්දු හැම එකකම එකකට එකක් වෙනස් ලස්සනක් තියෙනව.. බොහෝම අගෙයි දිග ගමනකට සුභාසිරි!!

    ප.ලි. ඒ මට මොන වැරැද්දකටද දන්නෙ නෑ බං ,දිවුල්, ගේ හඬත් නිකන් දේශපාලණීකරනය වෙලා චොර වෙලා වගේ ඇහෙන්නේ. කාලෙකින් අහපු නැති නිසාද මංදා.

    ReplyDelete
    Replies
    1. ගිමන් හරින දියඹ දිගේ සහ හන්තාන සිහිනේ මම මුලින්ම අහද්දි මේ නිර්මාණ කලේ අරුණ අයියා කියලා දැනගෙන උන්නෙ නෑ...විශේෂයෙන් ගිමන් හරින ගීතය මම එක දිගට වාර කීපයක්ම නැවත නැවතත් ඇහුවා...ඒ ගීතයේ රූපරාමුත් එක්ක මට දැනුනෙ පුදුමාකාර චමත්කාරයක්..බොහොම කාලයකට පස්සෙ ඇහුවා ලස්නම සින්දුවක් එක...

      Delete
  2. මම ආසම කරන ගීත අතර මුල්ම තැනක් ගන්න ගීතයක් තමයි ගිමන් හරින දියඹ දිගේ...
    පද රචනය වගේම එහි තනුවත් හිතට ගේන්නේ හරිම දුක්බර සැනසීමක්. ඉන්පස්සේ හන්තාන හීනයත් හදවත හූරන හැගීමක් හිතට ගෙනාවා

    මේ ගීත දෙකේම තනු එකම කෙනාගේ කියලා මම දැනන් හිටියේ නෑ. ඒ වගේ පාලු හුදකලා ශෝකී රසයක් ඇතිකරන තනුවක් නිර්මානය කරන්න ඔහුගේ නිර්මාන හැකියාව වගේම හදවතේ සංවේදි බවත් බලපාන්න ඇති.

    ගොඩක් ස්තූතියි සිරා අපිට මේ විස්තර කියනවට.

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය ඔබේ වගේම මගෙත් ප්‍රියතම ගීත අතරට අලුතින් එකතු වෙච්ච ගීතයක්. ඒ ගීත දෙකේම සංගීතය හරිම නිස්කලංකයි...ඇස් දෙක පියාන අහද්දි චිත්ත රූප මැවෙන්නෙ නිරායාසයෙන්..අරුණ අයියා මට කියපු විදියට එයා සංගීතය පටිගත කරද්දි වාදන භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනම ට්‍රැක් රෙකෝඩ් කරන්නෙ නැතුව එක්වරම සියලුම වාදන භාණ්ඩා වාදනය කරනවා කිව්වා...එයත් යම් හේතුවක් වෙන්න ඇති මේ ගීත දෙක මේ තරම් තදින් අපිට දැනෙන්න....

      Delete
  3. එළකිරි වගෙ සිංදු ටිකක් සිරා.

    ReplyDelete
    Replies
    1. සියලුම ගීත අහලා බලන්න සරත් අයියා...කාලෙකට පස්සෙ රහ කෑමක් දැක්කා වගේ දැනෙයි...

      Delete
  4. එල ද බ්‍රා..
    අරැණගේ හැකියාව වගේම උඔ එයාව ඉන්ටව්ව් කරලා තියන විදිහත් මාර වටිනවා..

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි මෙන්ඩයියා...මගේ හිතේ කැකෑරෙමින් තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි මම ඇහුවෙ රසිකයෙක් විදියට...

      Delete
  5. මුල ඉදල අගට යනකං ආසවෙන් කියෙව්ව සිංදුවකුත් අහන ගමන්
    අයි ඩී එම් එකට පිං සිද්ද වෙන්න ඔක්ක බාන ගමන්
    හිහි
    හන්තාන සිහිනේ මියුසික් එක නං පට්ට... උමාරියාගෙ වොයිස් එකත් ලෙසටම ගැලපෙනව...
    මේ දවස් වල පට්ට ගහන සිංදුවක්...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මම මෙතන තියෙන අනිකුත් ගීත වලින් සපුමලී ගීතයට ගොඩාක් කැමතියි...ඒ ගීතය අහද්දි සෞන්දර්යවාදී කදිම හැගීමකින් සිත පිරී යනවා..එකකට එකක් තනු නිර්මාණය කරන්න අරුණ අයියා සතු හැකියාව විශිෂ්ඨ මට්ටමේ එකක් කියලයි මගේ හැගීම.

      Delete
  6. අරුණ ගුණවර්ධන කියන නම අහලා තිබුනට වැඩි විස්තර දැනගන හිටියේ නෑ. තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට හදවතින්ම සුබ පතනවා..

    සිරා අයියාටත් ස්තූතියි මේ තොරතුරු ගෙනාවට.

    ReplyDelete
    Replies
    1. මේ ගීත ටික අහලා බලන්න නංගි...සුභාවිත ගීතය ප්‍රිය කරන රසික ප්‍රජාවට...කර්කෂ ඉඩෝරයට වැටුන පොද වැස්සක් වගේ දැනේවි...

      Delete
  7. හන්තාන සිහිනය හරිම අගේ අැති ගීතයක්... නව පරපුර සහ පැරණි පරපුර ඒකට ඒකතු කළ ගීතයක්..... අැත්තට ම මේ ගැන මෙච්චර විස්තර දැනගත්තෙත් දැනුයි සිරා............ ඔබට තුති

    ReplyDelete
    Replies
    1. අපි අමරදේවයන්ට ස්තූති වන්ත වෙන්න ඕනෙ නව පරපුරේ ගායන ශිල්පිනියක් සමග මේ ගීතය ගායනා කරන්නට එකතු වීම ගැන...එතුමාගේ තියෙන කීර්තියත් එක්ක මේ තරම් නිහතමානී වීමම ඒ කීර්තිය තව තවත් ඉහළ නංවනවා කියලයි මට හිතෙන්නෙ.

      Delete
  8. වටින මනුස්සයෙක් ඔහු. හඳුන්වා දුන්නාට සිරා අයියට ස්තූතියි ගොඩක්ම.

    මං කල්පනා කලේ ලංකාවෙ පත්තර වල කලාකරුවන්ව ඉන්ටර්විව් කරන අයට මේ වගේ හරවත් හා වැදගත් විදියේ ප්‍රශ්ණ ඔවුන්ගෙ අහන්න බැරි මොකද කියලයි.

    ReplyDelete
    Replies
    1. මමත් කල්පනා කලේ ඕකම තමයි.

      බත් කන හැටි, මුණ හෝදන හැටි, කෙල්ල/කොල්ලා ගැන ආදී විකාර ප්‍රශ්නනේ අහන්නේ ඉන්ටවිව් කරද්දී... එක්කෝ සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්න ඇහුවම එස්කිමෝ එකාලට පොල් ගස් ගැන කියනවා වගේ තියෙයි.. අනේ මන්ද..

      Delete
    2. බොහොම ස්තූතියි බස්සි / උපේ්ක්ෂා ඔබේ අදහස් වලට...මම හිතනවා පත්තර වල යන සමහර ඉන්ටර්විව් වලදි ඒ කථා කරන තැනැත්තා අහන්න කැමති ප්‍රශ්නත් එකතු කරනවා ඇති...කොහොම උනත් මම මෙතැනදි ඇහුවෙ රසිකයෙක් විදියට ඔහුගේ නිර්මාණ රස විදලා ඒ රස දැනුන කෙනෙක් හැටියට මගේ හිතේ පොදුවේ ලංකාවෙ සංගීත ක්ෂේත්‍රය පිළිබද සහ ඔහුගේ ගීත නිර්මාණ පිළිබද ඇතිවූ සිතුවිලි වලට ප්‍රස්තූත වෙච්ච කාරණා ගැන.

      Delete
  9. දැකල තිබුණට මොහු ගැන දැනන් හිටියේ නැ... ඉතා වටිනා ලිපියක්. ඔහුට වගේම අපිටත්. .

    ReplyDelete
    Replies
    1. මල්කොබා බොලාට සමහර විට උගන්වලත් ඇති අරුණ අයියගෙ අම්මා...අපි ඉතිං පුංචි එකාලා කාලෙ ඉදලම සංගීතය එක්ක ගණුදෙනු කල නිසා තමයි මේ චරිත ආශ්‍රය කරන්න ලැබුනෙ.

      Delete
  10. වටිනා සින්දු, වටිනා මුතු වගේ දිලිසෙනවා.

    අගනා සටහනක්. ඔහුට මගේ සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම උපේක්ෂා...අවුරුදු 35 කට මර්වින් පෙරේරා කෘතහස්ත ගායකයා නිර්මාණය කර තිබුනේ ගීත 98 ක් පමණයි...ඒ සංඛ්‍යාත්මක අගයෙන්ම පේනවා නිර්මාණ කරණයේදි ඔහුට තිබුන ඉවසිලිමත් භාවය...ආප්ප පුච්චනවා වගේ හොද වටිනා නිර්මාණ කරන්න බෑ...නිර්මාණ කරුවන්ගෙ මනෝභාවයන් ඉහළ තලයක තියාගෙන කරන නිර්මාණ තමයි කාලාන්තරයක් පවතින්නේ...

      Delete
  11. මම අද උදේ මෙව බාගෙන තියන් ඉදල දැනුඉ \ඇහුවෙ. කාලෙකට පස්සෙ හිතට දැනුන දැනෙන සින්දු සෙට් එකක්. දිග ගමනකට සුබ පතනව සහොදරය!!!. සිරා මලයටත් ගොඩක් ස්තූති මෙවා ඔයගෙ බ්ලොගට දාන්ඩ මහන්සි උනාට. මේ දවස්වල සින්හල කොටන්නෙ බොහොම අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියන්ඩි...අරුණ අයියා මා සුවිශේෂී සංගීතකරුවෙක් විදියට දකින්නෙ කාලයකට පස්සෙ අපි අතීතයේ රස වින්ද ආකාරයේ ගීත ගොන්නක් නිර්මාණය කරන්නට හැකිවූ නිර්මාණ කරුවෙකු නිසයි...70 80 දශක වල තරම් ලස්සන ගීත දැන් බිහිවෙන්නෙ නෑ කියලා අපිට කියන්න බැරි අරුණ ගුණවර්ධන / දර්ශන රුවන් දිසානායක වැනි තරුණ සංගීත කරුවන් තමන්ගෙ සංගීත ඥානය මෙහෙයවා උදාහරණ පෙන්වා දී තිබෙන නිසයි.

      Delete
  12. ඉතාමත්ම වටිනා වැඩක්.

    //හරසුන් නිර්මාණ හරවත් නිර්මාණ යටකරගෙන බලෙන් ඉලිප්පෙන්නට වෙර දරති. විරහව ඇති තරම් විකුණති. හැකියාවක් නැති උන්ද තාක්ෂණයට පින්සිදු වන්නට ගායකයන් වී සිටිති//

    විශේෂයෙන්ම කිසි හැකියාවක් නැතිව හරසුන් සංගීත නිර්මාණ කරන පිරිසක් ජනප්‍රිය වී සිටින මෙවන් යුගයක මෙවැනි දක්ෂ පුද්ගලයෙක් ගැන මේ ලියපු ලිපිය ගොඩක් වටිනව.

    ආදරයද මේ, හන්තාන සිහිනේ ගීත මෑත කාලයේදී මම ඉතාමත්ම කැමැත්තෙන් අහපු ගීත. ඒ ගීත වල සංගීතය ඇහෙද්දී මට හැමවෙලේම අප අතරින් වෙන්ව ගිය ආචාර්ය කේමදාස මාස්ටර්ගෙ සංගීත නිර්මාණ වල තියෙන ඇතැම් ලක්ෂණ තමා ඇහෙන්නෙ සහ දැනෙන්නෙ. අරුණ ගුණවර්ධන කියන නම දැනගෙන හිටියට ඔහු ගැන කිසිම තොරතුරක් නොදැන හිටියෙ.
    මෙවැනි වටිනා පුද්ගලයෙක් ගැන අපිව දැනුවත් කලාට සිරා අයියට මගේ ප්‍රණාමය. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා ගොයියත් ඉතිං සංගීතය එක්ක ගණුදෙනුකරන මිනිහා වෙච්චි කොට මේ කියන කාරණා ගැන අපිටත් වඩා දන්නවා ඇති නොවැ. අද කැපිච්ච පණුවො වගේ දගලන ඉනෙන් පහලට රූටා හැලෙන කලිසම් කෑලි එල්ලගෙන අත පය වටේටම වන වනා සින්දු කියන තරුණ ගායකයො සමහරෙක්ට සජීවීව ගීත ගායනා කරන්න ගියාම තමයි වැඩ වරදින්නෙ.

      ඔබට මේ ගීත වල සංගීතය ඇහෙද්දි කේමදාස මාස්ටර් මතක් වෙන්නෙ ඔහු යොදන ආකාරයේ අතුරු සංගීතය (Counter Parts) මේ ගීත තුල අන්තර්ගත නිසා විය යුතුයි. චෙලෝව නැමති බටහිර වාදන භාණ්ඩයෙන් ලංකාවෙදි හොදටම වැඩ ගත්තෙ කේමදාසයන්. මේ ගීත වල ඒ වාදන භාණ්ඩයෙ හඬ නිතරම අහන්නට ලැබීමත් එතුමා මතක් වෙන්න හේතු වෙන්න ඇති...ස්තුතියි මනා...ඔබේ අදහසට..

      Delete
  13. My Dear Sira Malaya

    Many thanks for this excellent collection of songs. සුභාවිත ගීතය නොමල බව දෑනගනීම නොමද සතුටකි. It is heartening to see the land that gave birth to doyen such as Somadasa Elvitigala, Amaradeva and Khemadasa, is not barren of talent as once feared. Indeed as Manaage has said, Aruna’s music reminds me of the style of Khmedasa and Sarath Wickrama. After a long time I enjoyed songs of present day. I hope the main stream media learns from your interview style instead of insulting our intelligence with platonic discussions.

    Regards

    ldealwis

    ReplyDelete
    Replies
    1. I also enjoyed these songs very much before identify who is the composer of this lovly songs. Beautiful counter parts and usage of Chello has caused to remind great Kemadasa master in this background. Thanks for your comment.

      Delete
  14. පහුගිය කාලේ මේ පැත්තේ එන්න බැරි උණා... උඹේ ලියුම් වල දිගත් එක්ක මට ලැබෙන වෙලාව ගලපන්න අමාරු වුණා. මේක නම් මම බොහොම උවමනාවෙන් කියෙව්වා. මොහු සංගීතවත් කරපු ගීත කීපයක්ම පහුගිය කාලේ ඇහුවා. ලොකු උවමනාවකින් හිටියේ ඔහු ගැන තොරතුරු දැනගන්න.... බොහොම ස්තූතියි සිරා. මොහු නම් අති දක්ෂයෙක්...

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම කාලෙකින් තමයි ඔබව කාමරයෙදි මුණ ගැහුනෙ...මම යමක් ලියද්දි මගේ සිතුවිලි නිදහසේ අකුරු කරනවා විනා ලිපියේ දිග පලල බලන්නෙ නෑ...ඒ නිසයි සමහර ලිපි ඔබ කියන ආකාරයට දිගු වෙන්න ඇත්තෙ.

      අරුණ අයියගෙ සංගීත භාවිතාව තුල කල්පනාවෙන් බැලුවොත් මේ ගීත වල සංගීතය හරිම සරළ බව පෙනේවි...නමුත් ඒ සරළ සංගීතයට ගීතයේ වචන වල සියුම් තැන් ඉතා හොදින් භාව නිරූපනය කරන්නට හැකිවීමම ඔහුගේ හැකියාවට නිදසුනක්...

      Delete
  15. Ma Me lipiya pilibandawath eyata lebee thibena prathichara pilibandawath puduma widihata sathutu wenewa.
    Sanjeewa malli ( Nazeer) mata newatha hamu une aurudu ganakin..api godak de gena kathakela.... me lipiya keraddi mata itha nidahaswa adahas prekasha keranda ida deema ha buddimath prashna yomu kireema thula ohu thula sitina kalakami charithaya wagema niweradi madya karuwath dutuwa.
    Ewagema me lipiyata prathichara dekwoo oba semata hadawathin thuthi pudami.....

    ReplyDelete
    Replies
    1. පාසල් කාලයේ සිට දන්නා හඳුනන ඔබ අද සිටින තැන ගැන ඉතාමත් සතුටු වෙමි. එහෙත් එදා ඔබ තුල තිබූ අව්‍යාජ බව තවමත් නොනැසී පවතින බව දැකීම ඊටත් වඩා සතුටකි. බොහෝ අය ජනප්‍රියත්වය සහ සාර්ථක භාවය අත්පත්කරගන්නා විටෙක එතෙක් ඔහු තුල තිබූ ගුණාංග ලොප් වීම බොහෝ සුලභ දෙයක් වන වර්තමානයක ඔබේ මේ වචන පෙළ මට මහත් ප්‍රහර්ෂයකි.

      මේ ලිපියට ප්‍රතිචාර දක්වා ඇති සියල්ලන්ගේම අදහස ඔබ දක්ෂ සංගීතකරුවෙකු බවයි...ඒ අදහස් වලින් තව තවත් පන්නරය ලබාගෙන හෙට දවසේ බොහෝ සේ කන්කළු ගීත ගොන්නක් අප වෙත දායාද කල මැනවි.

      Delete
    2. Me prathichara mata raththaran wage watinewa.....

      Delete
  16. බොහොම වටිනවා සිරෝ මේ වගේ අගනා තරුණ කලාකරුවකු හඳුන්වාදීම ගැන. ගීත කීපයක් ඇහුවා බොහොම ඉහලයි.

    මම සෑහෙන්න රේඩියෝ ඒකෙන් ඈත්වෙලා ඉන්නේ පිත කොපවෙන ආකාරයේ ගොං කතා, පුහු කතා, සම්ඵප්‍රලාප කියන ඊනියා ජරා නිවේදක නිවේදිකාවෝ සහ අනුන්ගේ ගීත තමන්ගේ වගේ ගයන පුස්සන්ගේ කර්කශ හඬ අහන්න අකමැති නිසා. අද ගේත කලාව කියන්නේ ගණිකා මඩමක් වගේ කියලා කිව්වට වැරද්දක නැහැනේ. සල්ලි වලට අම්මව විකුණනවා වගේ වැඩ තමයි, ගායකයන් කියාගන්නා සමහර පුස්සෝ කරන්නේ. මේ වගේ අයට දෙන්න තියන අවවාදය තමයි හෙමින්, අවබෝධයෙන්, ඉතා සැලකිල්ලෙන්, සතතාභ්‍යාසයේ යෙදෙමින්, ඉදිරියට යන්න කියන එක.

    මේ කලාකරුවා තුළ ඒ ලක්ෂණ තිබෙන බව පෙනෙනවා. ඔහුට සුබ පතනවා. සිරාට නැවතත් ස්තුතියි මෙවැන්නකු හඳුන්වා දුන්නාට.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමාගෙ අදහසට මම සම්පූර්ණයෙන් එකගයි..ගුවන් විදුලියෙන් ශ්‍රාවකයො ඈත් වෙච්ච නිසා තමයි ඒ අයට ලක්ෂ ගනන් මුදල් ගෙවලා / තෑගි දීලා රේඩියෝ බලෙන් අස්සවන තැනට ලංකාවෙ ගුවන් විදුලි කලාව පත්වුනේ. පවතින වට පිටාව ගැන මම ලිපිය තුලත් කිව්වා නොවැ...එවැනි වර්තමානයකදි උඩුගං බලා පිහිනන අරුණ අයියා වැනි චරිතයක් අගය කල යුතු නිසාම තමයි මේ ලිපිය මම ලිව්වෙ. විචාරක තුමාගෙ අදහසට බොහොම ස්තූතියි...

      Delete
  17. මේ ඉන්ටර්වීව් එක කරද්දී උඹ ලබපු සතුට ගැන මට හිතා ගන්න පුළුවන්. තමන් දන්නා ක්ෂේත්‍රයක කෙකෙනුගෙන් ප්‍රශ්න අහන්න ලැබීම කෙනෙකුට ලැබෙන මාහැඟි අවස්තාවක්. බ්ලොග් කලාව නිසා ඒ වගේ සතුටක් මමත් වින්දා. සුභාවිත ගීතය නැති වෙන්න මට පේන හේතුවක් තමයි, ඒ කාලේ ගීත වලට පසුබිම් වුණු පරිසරය ගැමි එකක්, ඒක ගීතයේ කියවෙද්දී අසන්නාගේ හිතේ චිත්‍රයක් මැවෙනවා. ඒ චිත්‍රය මවෙන්න හේතුව, අසන්නා ඒ පරිසරය ඇසුරු කර තිබීම. අද සපු මල් සුවඳක් විඳපු, වෙල් ඉපනැල්ලක ගියපු කෙනෙක් ඉන්නවද ? ඒ නිසා තමයි ඒ වචනම භාවිතා කලත් ඒ රසය එන්නේ නැත්තේ. ඒ එක හේතුවක් විතරයි. දැන් ගීතයක් ලිව්වොත් හොට්ස්පොට් එකේ, ෆුඩ් සිටියේ, වොකින් පාත් එකේ කියලා තමයි ලියන්න වෙන්නේ. අනික රූප රචනා නිසා ගීතයට හානි වෙනවා කියන එක මගේ විශ්වාසයක්. අද එෆ්.එම්. වල ඉන්න ගිරා පොතකයින්ට චතුර කම හැරෙන්න යම් විෂයක් ගැන තිබෙන්න ඕනේ පරිචය හෝ අධ්‍යනය නෑ. මොනවා කරන්නද ? තමන් ලියපු ගීත ජනප්‍රිය කරගන්න එෆ්.එම්. වලට මුදල් ගෙවන රචකයෝ ඉන්න යුගයක් මේක.

    අරුණ ගුණවර්ධන සිරාගේ ඥාති සහෝදරයෙක් කියලා හිතෙනවා පින්තූරය දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මමත් කියවලා තියෙනවා සුදීක අයියා ක්‍රීඩ ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු සමග කරපු සංවාද සටහන්...මේ චරිතය කිසිවෙකු නොහදුනන අතීතයේ ඉදලම දන්න නිසා අද ඔහු ලබා තිබෙන සාර්ථකත්වය දැක්කම හිතට හරිම සතුටුයි..විශේෂයෙන්ම අපේ පාසලේ ආදි ශිෂ්‍යයෙකු වීමම මහත් සතුටක්..

      ඔබේ අදහස තුල මතුකර තිබෙන කාරණාවත් සත්‍යයි. අද ඉන්න සමහර රචකයො තමන්ගෙ ගීතයෙන් කියවෙන අත්දැකීම් කිසිදා විඳ නෑ. මවාගත්ත ලෝකයක සිට ඔහු ගම හෝ ඒ වටා පරිසරය ගැන රචනා කරන්නේ...

      අරුණ අයියා සහ මා අතර මිත්‍රත්වය හැර වෙනත් ඥාතීත්වයක් නෑ. ඔහුගේ මව අපටත් ඉගැන්වූ ඉතාම ආදරණීය ගුරු මාතාවක්..අපේ පරපුරේ හැමෝම ඇයට මහත් සේ ගෞරව දක්වනවා. එතුමිය ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා පිළිබද ඉගැන්වීම් කල නිසාම අරුණ අයියටත් මේ භාෂා දෙක ඉතාම හොඳින් හසුරුවන්න පුලුවන්.

      Delete
  18. සිරායියේ, එහෙන් මෙහෙන් විස්තර ටිකක් දැනගෙන තිබුණට හරියට පුද්ගලය ගැන දැනගත්තෙ අද තමයි. විශේෂයෙන්ම ගිමන් හරින වෙරළ අහපු හැටියෙ කවුද සංගීතඥය කියල පිස්සුවෙන් වගේ හොයපු හැටි මතක් වුණා. ඒ පස්සෙ එළවන අතරේ ඔහුගෙ අනිත් නිර්මාණත් අමාරැවෙන් හොයාගන්න පුළුවන් වුණා. දර්ශන රුවන්, ජානක ‍පොන්සේකා, කරැණාරත්න විජේවර්ධන, නදීක වගේ අරුම සංගීතවේදියො අතරට අරුණ ගුණවර්ධනත් අනිවාර්යෙන්ම සදහන් කරන්න ඕනෑ.
    අමරදේවයන් සමග වැඩ කරන්න ඔහු වාසනාවන්ත වුණා වගේම සිරාත් කොයි තරම් වාසනාවන්තද කියල වෙලාවකට හිතෙනව. මොකද අපි ආදරේ කරන ගොඩක් චරිත එක්කො සිරාගෙ පාසල් සගයෙක් නැත්නම් කුමක් හෝ සම්බන්ධයක් තියන කෙනෙක්.

    සිරායියෙ ලංකාවේ දැන් ඉන්නෙ ජාති දෙකයි. ඒ වැළපෙන සංගීතකාරයො සහ වළප්වන සංගීතවේදියො කියන ජාති දෙක. එතනින් අරුණ අපව වළප්වන කලාව හොදින්ම ඇදිනගෙන තියනවා.
    මේ වැනි ලිපියක් සකස් කළාට සිරාට බොහොමත්ම ගෞරවයෙන් ස්තුති කරන්නත් ඕනෑ.
    ජය!

    ReplyDelete
    Replies
    1. අංකුර කලාකාරයො විදියට ඉසුරු මලයලා වට වෙන්න ඕනෙ අරුණ අයියා වගේ චරිත වටේටයි. ඔහු ඔබ වැනි අයට අත හිත දෙන්න සැදී පැහැදී ඉන්න වග මට කිසිම සැකයකින් තොරව කියන්න පුලුවන්. ඉසුරු මලයලා කණ්ඩායම් වශයෙන් කරන නිර්මාණ උදෙසා ගුරුහරුකම් හා සහයෝගය ගන්න ඉදිරි දිනයක ඔබට මම ඔහු හඳුන්වාදෙන්නම්...නිර්මාණකරණ චාරිකාවේදී ඔබේ ප්‍රවේශය එතැනින් එහාට දුර ගමනක් රැගෙන යන බව විශ්වාසයි. ස්තූතියි බොට...

      Delete
  19. මේ පොස්ට් එක දාපු දවසෙම බැලුවත් මගේ කමෙන්ට් එක මිස් වෙලා . පළවෙනියෙන්ම කියන්ඩ ඕනේ අරුණ ඔයාගෙ සහෝදරයෙක් වගේ පෙනුමක් තියෙන්නෙ.
    මේ සින්දු ආසාවෙන් අහල තිබ්බත් මේකට සංගීතය සපයපු පුද්ගලයා ගැන දැනගෙන හිටියෙ නෑ . ඇත්තෙන්ම අමරසිරි පීරිස්ගේ සිගිරිය සින්දුවට දීල තියන මියුසික් එක සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම අරුණ අයියා මගේ පාසලේ වැඩිමහළු සහෝදරයෙක් පමණයි...කිසිදු ඥාතීත්වයක් අප අතර නෑ. මේ ගීත අරුණ අයියාගේ නිර්මාණ බව දැනගන්නා විටත් ඒවා මගේ හිතේ කාවැදිලා අවසන්...ඉතින් එහෙම තනුවක් මගේ හිතෛශියෙක් විසින් නිර්මාණය කර තිබෙන බව දැනගන්න ලැබුනාම විශාල සතුටක් දැනුනා.

      අමරසිරි පීරිස්ගෙ ගීතය ශ්‍රවනය කල මුල් අවස්ථාවේම මට මතක් උනේ සුනිල් එදිරිසිංහයන්ගෙ මේ තරම් සියුමැලිද කළුගල් ගීතය. ඒ රසයම නොඅඩුව ලැබෙන පරිදි සීගිරිය ගීතයට තනුව සකසා තිබෙන බවයි මගේ අදහස.

      Delete
  20. කෝ යකෝ මගේ කමෙන්ට් එක ?

    ReplyDelete
    Replies
    1. මම ස්පෑම් ගොඩෙත් බැලුවා...එතැනත් නෑ සුදෝ...සමහර විට කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්න නැතුව ඇති...ඒ අදහස් නැවතත් මෙහි පලකරනවා නම් මම බොහොම ස්තූතිවන්ත වෙනවා...මොකද ඔබේ අදහස් අරුණ අයියාගේ හෙට දවසේ නිර්මාණ කරණයට මහත් ශක්තියක්.

      Delete
  21. Aurudu dekakata passe mn meka dakke ahanbu lesa. Great artist.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...