පින්තූරය මෙතැනින් |
ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ව පාලනයට සම්බන්ධ රාජකාරියක නිරත වූ මගේ මිත්තරයෙක් වතාවක් මට කීවේ මෙවන් කථාවකි. අපේ ෆැක්ටරියෙ මහන ළමයින්ට ඇහෙන්න කොයි වෙලෙත් එෆ් එම් චැනල් එකක් අල්ලලා තියෙන්නෙ. ඒකෙ අජියගෙ සින්දුවක් යන වෙලාවට කෙල්ලො මහන එක නවත්තලා බං අහං ඉන්නෙ...උන් පුදුම කැමතියි ඒ සින්දු වලට.
ලිපියේ මාතෘකාව දුටු පමණින් බොලා සිතන්නට ඇත්තේ මේ ලිපිය පෙර කියූ පුද්ගලයා පිළිබදව නම් ඒ වැරදීමකි. මා කියන්නට යන්නේ ඒ අජිතෙක් ගැන නොවේය. අපේ බස් මාර්ගයේ දැනට සෑහෙන කලකට පෙර කොන්දොස්තර රැකියාව කල බස් අජිත් ගැනය.
සිරා කොලුවා වන මම රට පැටවෙන්නට ආසන්න අවදියකවත් බස් අජියා මුලිච්චි වී නැත. කොටින්ම මේ චරිතය තව දුරටත් ජීවතුන් අතර ඉන්නවාදැයි කීමටවත් මම නොදනිමි. අපේ මාර්ගයේ පුද්ගලික බස් ධාවනය ආරම්භ වූ ඈත අතීතයේම කොන්දොස්තර වෘත්තියට අත් පොත් තැබූ මූලිකයෙක් ලෙස බස් අජියා හැදින්වූවාට කිසිදු වරදක් නැත.
අප කුඩා අවධියේ තනිදොරේ රෝසා බස් එකක දොරේ බස් අජියා නිතරම එල්ලි ගිය බවක් මට මතකය. තලාපෙලා, රළු වචන දොඩා බස් මගීන්ගෙන් සල්ලි උදුරා ගන්නා බස් පල්ලන් සිටින වකවානුවක බස් අජියා වැනි චරිතයක වටිනාකම මගේ අක්මාවට මෙය ලියන අවස්ථාව වන විටත් කාන්දු වෙමින් තිබේ.
සල්ලි වෙනුවට සද්දය දමා මාරු වන්නට දත කන චණ්ඩි පමණක් නොව බයියන්ගෙන්ද සල්ලි ගන්නා අන්දම බස් අජිත් මැනවින් දැනගෙන උන්නේය. මහත්තයා, පොඩි නෝනා, නැන්දා, රතු මාමා, සුදු ආච්චි ආදී වශයෙන් බස් රථයට ගොඩවෙන ඕනෑම කෙනෙකුට ඥාතීත්වයෙන් යුතුව කථා කිරීම අජියාට ටොයිස් වැඩකි. මෙලෙස සිය වෘත්තීය ගරුත්වය රැකගෙන බස් සේවය කල බස් අජියා හයේ හතරේ සයිස් නැත. ඉතාම කෙසඟ සිරුරක් හිමි කාලවර්ණ පුද්ගලයෙකු වූ ඔහුගේ හැකර කට විශාල සිරුරක් නැති වීමේ අඩුපාඩුව යම් තරමකට සම්පූර්ණ කල බවක් මට සිතෙයි. සල්ලි අතේ ගුලිකරගෙන සල්ලි නෑ කියනා අං ගිලපු උන්ගෙන් වුවද සල්ලිය එලියට අද්දන සාස්තරය අජ්ජා හොඳ හැටි ප්‍රගුණ කර සිටියේය.
තම තරුණ දිවිය බස් පොල්ල අල්ලාගෙන පාපුවරුවේ එල්ලීගෙන ගොස් බස් වලටම දිය කර දැමූ බස් අජිත් මට මතක මෑත අතීතයේදී කලෙත් ඒ රැකියාවමය. අපට රුපියලක්, ශත පනහක් ඉතුරු නොලැබුන විටෙක කොන්දොස්තර චරිතය අම්මා මෝ නැතුව බැනුම් අසයි. නමුත් ඒ රැකියාව තුල ජනතාවගෙන් මෙන්ම රථ හිමිකරුවාගෙන්ද එල්ල වන පීඩනයට හසුවී රැකියාව කරන්නට අජියලාට සිදු වී තිබේ...මෙවන් වටපිටාවක් තුල හිමිකරුට අසුනොවන සේ මාටියා පාරක් ගැසීමට අජියා කම්බි පොටවල් දෙක තුනක් පාත් කර තබාගන්නටත් ඇත.
තමාගේ අතට ලැබෙන මුදල් නෝට්ටු වටිනාකමේ පිළිවෙලට දික් අතට දෙකට නමා අතේ ඇඟිලි අතරේ රුවා ගන්නා ඔහු කාසි වලින් කලිසම් සාක්කු පුරවා ගනියි. දරුවෙක් ලැබෙන්නට ඉන්නා මාතාවකට හෝ මහළු කාන්තාවකට අසුනක් දෙන ලෙස අජියා මොර දෙන විට ඒ ඇත්තියෝ බස් රථයට නගින්නට හිතලාවත් නැත.
බස් රථ හිමිකරුවකුට වැඩි ආදායමක් ලබාගන්නට නම් රථය තුල ටින් මාළු මෙන් සෙනග අසුරන්නට පුලුවන් කොන්දොස්තර චරිතයක් සිටිය යුතුය. එසේ කිරීමේදී මගී පාර්ශවය කිපෙන නිසා ඒ ඇත්තන් සමග නොගැටී මේ අභියෝගය ජය ගැනීම පහසු නැත. මේ කාරණයේදී අජියා සිටියේ ඉදිරියෙනි.
මල්ලි පොඩ්ඩක් ඔය නංගිට කියලා එහා පැත්තට පනින්නකො...බලන්නකො මේ තව සෙනග ඉන්නවා බිම...ඒ අයත් අරගෙන යමු...පව්නෙ....
අජියාගේ වාග් විලාශය එපරිදිය. ශරීරය එතරම් බර නැති නිසා ඔහු ඇතැම් විටෙක පා පුවරුවේ එල්ලී යන්නේ ඇඟිලි දෙක තුනකිනි. තවත් විටෙක පා පුවරුව අසල ජනේලයක් මත ඔහු හිඳ ගනියි. කොපමණ මගීන් පිරිසක් සිටියද කිසිවෙකුට අජියාට කොකා පෙන්වා සල්ලි නොදී මාරු වෙන්නට ඉඩක් නැත. පරිගණකයක් බඳු අජ්ජාගේ හිතේ මුදල් ගෙවන්නට සිටින මගීන් ගනන කීයක්දැයි පැහැදිලිව සටහන් වී තිබේ.
බකල ගැහුනු පාද දෙකක් සහ කුදු ගැහුණු කොන්දක් සහිතව වයස අවුරුදු 40 පසුකර සිටි බස් අජිත්ගේ රූපකාය ඔහු මට මුලිච්චි වූ අවසාන කාලයේදී මෙන් තවමත් හොඳින් මතක තිබේ. රහමෙර සමග සිගරට් සහ වෙනත් දුම් වර්ග සියල්ලම හරි හරියට පානය කල නිසාදෝ, අජ්ජාගේ නියම වයසට වඩා වැඩිහිටි පෙනුමක් මුහුණින් පිළිඹිබු විය.
හැන්දෑ කොරේ රැකියාව නිමකර බස් රථය ගාල් කිරීමෙන් පසු එය අතුගා පිරිසිදු කොට, ඇඟේ පතේ අමාරුව යන්නට අරවායින් ටිකක් සප්පායම් වී පසුදා පෙරේතයෙක් සේ බස් රාජකාරිය කොරන නිසාම අජියාව බහුතරයක් බස් රථ හිමියන්ට දිරෙව්වේ නැත. මේ නිසාම පසු කාලීනව ඔහුට ස්ථිරව සේවය කරන්නට බස් රථයක් නොතිබුන අතර සේවකයෙකු සේවයට පැමිණ නැති කලෙක ඒ අඩුව පුරවන්නට එහෙමත් නැතිනම් ටෙම්පරියක් අදින්නට ඔහු හුරු විය. විටෙක අපේ මාර්ගයේ බස් රථයක දකින ඔහු තවත් දිනයක වෙනත් මාර්ගයක සේවය කරනවා දකින්නට ලැබෙන්නේ එදින ටෙම්පරියක් වැදුනේ ඒ මාර්ගයේ නිසාය. රැකියාවක් ඇතත් නැතත් ඔහුගේ දවස ගෙවුනේ බස් නැවතුම්පලේ බස් රථ සමගය. බස්රථ යනු ඔහුගේ අතිජාත මිත්‍රයන් සමූහයක් වැනිය.
බස් අජියාට ඉවසාගත නොහැකි කෝපයක් පැමණි හැම විටෙකම බනින්නේ තම මෑණියන් හට බව මට කිසිවෙකු කිව්වා මතකය. කුඩා එකෙකු සන්ධියේ ඉතාම හුරුබුහුටි කොලු පැටවෙකු වූ මේකාව දරුකමට හදාගන්නට ඇමරිකානු යුවලක් ඉල්ලා සිටි නමුත් තම පුත්‍රයාට මහත් සේ ආදරය කල අජියාගේ මව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබේ.
උඹ තමයි මේ හැම එකටම මුල...එදා අර සුද්දට මාව අරගෙන යන්න දුන්නා නම් මම අද ඇමරිකාවට වෙලා සැප විඳිනවනෙ...උඹට ඔනෙ උනේ මම දුක් විඳිනවා බලන්නද... අජියා මෑණියන් සමග කෝපයට පත් වෙන සෑම විටෙකම මේ දෙබස කියනා බව ප්‍රසිද්ධ රහසකි.
බස් අජිත් මට දකින්නට ලැබුනු අවසාන කාලයේ දිනෙක සවස් යාමයේ කරටිය පාත් වන තරමට රහමෙර ගිල දමා සිටියේය. ටෙම්පරියක් හෝ අදින්නට නොලැබුන කරුම දවසක් වූ එදා ඒකා හොඳටම කිපී සිටියේ කිසිවෙකු රැකියාව කිරීමට අවස්ථාවක් ලබා නොදුන් නිසා විය යුතුය.
මෙච්චර කල් අනුන්ගෙ බස් වල වැඩ කලා ඇති ඩෝ...මම වැඩ කරනවා මගේම බස් එකක..
බස් නැවතුමේ නවතා ඇති විවිධ බස්රථ කරා යන ඔහු සේවකයන්ගෙන් ඒවායේ මිළ ගනන් විමසයි.
කීයද බං මේ බස් එක...
මේක තනි දොරක්නෙ ලක්ෂ 25 යි....
චැහ්....ලක්ෂ 25 ගානක්ද යකෝ...මම මේකෙන් ගන්නවා නම් බස් දෙකක් ගන්නවා...උන් හිතාගෙන ඉන්නෙ අපි හිඟන්නො කියලා...අපි ලගත් සල්ලි තියෙනවා ඩෝ.....
අජියා දැන් සිටින්නේ ලේලන්ඩ් දොර දෙකේ බස් රථයක් අසලය.
කීයද ඩෝ මේ බස් ඒක...
ලක්ෂ 42 යි...
උඹලගෙ අයිතිකාරයගෙන් අහපං ලෝඩ් එක බස්සපු ගමන් මේක මට දෙනවද කියලා...රෙඩි කෑෂ් ඩෝ...
අරක්කු වල මත් ගතිය නිසාදෝ අතේ සතේ නැතත් පම්පෝරි ගසනා අජියා දෙස වෙනත් බස් සේවකයෝ උපහාසයෙන් බලා සිටිති. මෙවැනි විටෙක හිටි හැටියේ අතුරුදහන් වන ඔහු නැවත දැකිය හැකි වන්නේ කලින් දින සිදුවූ කිසිවක් මතක නැති අයුරින් ටෙම්පරියක් අදිනා විටෙකය.
අපි බොහෝවිට මිනිසුන් මනින්නේ බාහිර පෙනුමිනි. ඇඳුම් පැළඳුම් අනුවය. කරන රැකියාවේ ස්වභාවය අනුවය. නැතුව මනුස්ස කම අනුව නොවේය. උදේ සිට කෝඩෙ ගසා තිබූ..ටෙම්පරියක් හෝ වැදුනේ නැති දවසක හැන්දෑ යාමයේ බස් නැවතුමේ යකඩ පොල්ලකට බර දී සිටි බස් අජියා තම සාක්කුවේ රැදී තිබූ අන්තිම ශත 50 කාසිය පවා එකතුකොට කාත් කවුරුවත් නැති මහල්ලෙකුට බනිස් ගෙඩියක් සමග ප්ලේන්ටියක් මිළදී ගන්නවා මම වරක් දුටිමි. බස් අජියා පිළිබද එතෙක් මගේ සිතේ තිබූ සියලු උපකල්පනයන් අවලංගු වී රූපය අනෙකක් වෙතත් අජියාගේ හදවත නම් ඉතාම ලස්සන බව සහසුද්දෙන් දැන ගතිමි.
අන්න මිනිස්සු.
ReplyDeleteබස් අජිත්ට අපගේ උපහාරය
මේ වගේ අසරණ මිනිස්සු ලග අඩු නැතිව මනුස්ස කම තියෙනවා මම ඕනෙ තරම් දැකලා තියෙනවා.
Deleteසිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියන්නේ ඒකනේ අයියා
ReplyDeleteඔව්...ඒ සින්දුවෙන් කියවෙන්නෙත් ඒ යථාර්තයම තමයි...
Deleteඇ බන් උඹ මේ බස් අජියා එල පොරක් උනාට කොහොමද බස් ගැමුණුවා නන්වන්න හරිම කමතියි නමුත් බස්වන්න අකමැතියි
ReplyDeleteබස් ගැමුණුවත් ඉතිං පෘථග්ජන මිනිහෙක් නොවැ...රුපියලකින් ඩීසල් වැඩ උනත් ගාන උස්සන්න කථා කරන මිනිහා ගාන අඩු කරන්න නම් රුපියල් 10 කින් වත් අඩුවෙන්න ඕනෙ කියලා කියනවා මම දැකලා තියෙනවා.
Deleteසිරාගෙ කාමරෙන් ඉදල හිටල එළියට එන මේ වගේ කතා වලට මම මාර මනාපයි...
ReplyDeleteමාත් එක පාරක් කෙටි කතාවක් ලීව ආදුනිකයා කියල ඇත්ත සිදුවීමකින්...
අපි නොහිතන ගොඩක් පැති ඕනම කෙනෙක්ගෙ කතාවක තියෙනව නේද සිරා අය්යෙ
මටත් ඔබේ ඒ කතාව මතක් උනා..
Deleteටික්කෝ ඒ කොලුවාගේ ගමේ යන්න තිබුන සල්ලි ටික උදුර ගත්ත එකද?
Deleteමහේෂ් ලියපු කථාව මට මතකයි...ඒකෙ සමහර තැන් ගැන කියවපු අයට ගැටලුත් තිබුනා නේද...මගේ ජීවන අත්දැකීම් එක්ක පිටින් පේන රූපයට අදුනගන්න බැරි ගතිගුණ තියෙන මිනිස්සු ගොඩාක් මට හමුවෙලා තියෙනවා.
Deleteගොඩාක් කොන්දෝ මිනිස්සු නග්ගගන්නකොට නම් බොහොම ආදරෙන් කතා කරනවා.. නැග්ගයින් පස්සේ ටිකක් අමුතු වෙනවා.. හැක් හැක්.. ඒ අතින් අජිත හොඳයි වගේ..
ReplyDeleteබාහිර පෙනුමෙන් මිනිස්සුන්ව මනින එක කොහොමත් කරන්න බෑ..
පොඩි කාලේ බස් ගැන මගේ තියෙන පුදුම සහගතම මතකය තමයි.. කොච්චර මිනිස්සු නැග්ගත් ඩ්‍රයිවර් මහත්තය බස් එකට නගිනකොට ඒ හඬ වෙනම අඳුන ගන්න පුළුවන් එක.. ඒක හරිම බර හඬක්.. සමහරවිට මේක මගේ බස් එක කියන හැඟීම නිසා වෙන්න ඇති.. වෙනද වගේම සිරා පෝස්ට් එකක්. ජය ශ්‍රී!
නග්ගගත්තට පස්සෙ බැස්සත් එකයි නැතත් එකයි වගේනෙ...මට හොදට මතක සිද්ධියක් තියෙනවා...ඒ බස් එක කාලෙකට කලින් අපේ පාරෙ දිව්ව පිිටිපස්සෙ එන්ජිම තියෙන පූසො බස් එකක්...සිරි මාමා හැමදාම සිගරට් එක පත්තු කරන් තමයි බස් එකට නගින්නෙ...ඉස්සර දුම්බීම තහනම් නෑ...පොර පිටිපස්සෙ සීට් එකේ ඉදන් සිගරට් එක බොන අතරෙ ඒක වැටිලා සීට් එක අස්සට...එතනින් පස්සෙ එන්ජිම...බස් එක ගිණි ගනී කියලා බස් එකේ හිටිය උන් පිටිපස්සෙ සීට් එක අස්සෙ බඩ ගගා සිගරට් කොටේ හෙව්වෙ එදා....
Deleteඅව්‍යාජ මිනිස්සු...................
ReplyDeleteඇත්ත වශයෙන්ම..
Deleteදුප්පත් එකානෙ බං බඩගින්න අඳුනන්නෙ...!
ReplyDeleteබඩගින්න දන්න එකා තමයි තව කෙනෙකුගේ බඩගින්නට සහාය වෙන්නෙ...හදිසි අනතුරකට ලක් උනා කියන්න පාරකදි...කවුද බලන්න ඉස්සෙල්ලාම දුවගෙන එන්නෙ උදව් කරන්න...
Deleteසංවේදී කතාවක් ....
ReplyDeleteඔබට දැනුනද ඒ සංවේදී බව...
DeleteGood Post...!
ReplyDeleteස්තූතියි..
Deleteහැම අජිතම එක වගේ නෑනෙ බොල.
ReplyDeleteහැමෝම අජිත් වගේ කියලා මම කිව්වෙ නෑ නේද...
Deleteනියම මනුස්සයෙක් නෙ.
ReplyDeleteහැබැයි ඉතිං ඒ මනුස්සයා අම්මට කතා කරපු හැටි නම් අනුමත කරන්නේ නෑ. ඒ උනාට දුප්පත්කම දන්න මනුස්සයෙක්.
ජීවන ගමනේ සරතැස දරාගන්න බැරිම උනාම..ඉපදීමත් දුකක් කියලා හිතෙන වෙලාවට වෙන්න ඇති මිනිහා ඒ විදියට අම්මට කථා කරන්න ඇත්තෙ.
Deleteමිනිස්සුන්ගේ රැකියාවත්, රැකියාවෙන් එල්ලවෙන පිඩාවත් කොතරම්ද කියල මටත් බස්වල යනකොට මෙහෙම කොන්දොස්තරලා දකින වාරයක් පාසා හිතෙනවා. ඔවුන් කරන්නේ දුෂ්කර රැකියාවක්. ඒ ආශ්‍රිත වැඩිපුර අවධානයට ලක්වෙන්නේ නැති පුද්ගලික ප්‍රශ්න හරිම කටුකයි. පිටින් බලලා අපිට ඔවුන්ව ජජ් කරන්න අමාරුයි. බස් අජිත්ගේ කල්ක්‍රියාව අනුමත කරන්න බැරි උනත් ඔහු ගැන සංවේගයක් ඇතිවුනා. කතාවක් මතක් උනා මේක කියෝලා.
ReplyDeleteමම නම් කොන්දොස්තරලා එක්ක ගැටුනෙ හරිම කළාතුරකින්..එයට එක හේතුවක් තමයි ඒ අය කරන රැකියාවේ තියෙන පීඩනය යම්කිසි ප්‍රමාණයකින් තේරුම් ගන්න මම උත්සාහ කිරීම. ඔය බනින කවුරුවත් කොන්දොස්තර රැකියාව දවසකට වඩා කරන එකක් නෑ. ඒ ජීවිත හරිම කටුකයි...පාන්දරම නැගිටලා වැඩට ඇවිත් ආපහු යන්නෙ රෑ ජාමෙ...තමන්ගෙ දරුවෙකුගෙ මූණ බලන්නවත් සමහරුන්ට ලැබෙන්නෙ නෑ ඇහැරලා ඉන්න වෙලාවක...
Deleteබාහිර පෙනුම සහ රැකියාව අනුමා මනුස්සකම මනින්න බෑ. සිරා ...එක තමයි මම හැමතැනම දකින සත්‍යය
ReplyDeleteඋඔ ලියපු චුන් පාන් මල්ලිගේ කවියට අදටත් මම කැමති.
Deleteඒ සත්‍ය මම අවබෝධ කරගෙන තියෙන වාර ගනනත් විශාලයි...ඒ නිසාම තමයි එකම වරද නැවත නැවත සිදුවෙන්නෙ නැත්තෙ...
Deleteමගේත් බස් යාලුවෝ ගොඩයි..
ReplyDeleteමෝචරියා, ලේනා, පොඩි, දතා මංඡු, පොඩි මැන්, ටින් ටින්, ඉබ්බා, සූදා, බෝස් කුමාර, ඒ අතරින් මම කැමතිම මෝචරියාට ඌත් මාර බෝක්ක..
මම 57 රෑට් එකේ බස් වල යන කිසිම දවසක ඉදගෙන යාමට නොලැබෙන්නෙ එක දොරක කොන්දෝස්තර වැඩේ කල යුතුමය එහම නැතුව ඉදගෙන ගිය දවසක අම්මාමෝ නැතුව බැනුම් අහන්න වෙන එක බුදු ෂුවර්.. උසස්පෙල කරලා චාටර් ගහන දවස් වල බස් ස්ටෑන්ඩ් එකට දාන බස්වලින් සල්ලි එකතු කරා ඒකත් මාර කලාවක් ඉස්ල්ලා ගිය බස් එකට කෝල් කරලා කියනවා අනිත් බස් එක අදින වේලාව.
උඔ මේ වගේ කෙනෙක් ගැන ලිපියක් ලියපු එක එල ද බ්‍රා..කොහොම හරි අඡියා බස් එකක් ගත්තද දන්නෙ නෑ?
//ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ව පාලනයට සම්බන්ධ රාජකාරියක නිරත වූ මගේ මිත්තරයෙක් //
ඇත්ත කතාව.සමහර කෙල්ලෝ අඩනවා..හැබැයි ඒ ඒකාලේ දැන් ටිකක් වෙනස්.
කොහොමත් කොන්දොස්තරලගෙ ෆිට් එක උදව් කරන පිරිසකුත් ඉන්නවා නේද...විශේෂයෙන් දුර ගමන් වලදි...
Deleteඅද කෙල්ලො වෙනස් කියන්නෙ ඇයි...උන් දැන් අජියගෙ සින්දු වලට කැමති නැද්ද...නැත්තං සින්දු ගියාට අඩන්නෙ නැද්ද...
මරු ලියැවිල්ල. ඇත්ත තමයි බාහිර පෙනුමෙන්, රැකියාවෙන් මනුස්සකම් මනින්න බෑ. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් මෙහෙම සටහනක් ලියැවීමම ගොඩක් වටිනව සිරා අයියේ...
ReplyDeleteස්තූතියි බස්සි ඔයාගෙ හෘදයාංගම අදහසට...මිනිහා හරිම සංකීර්ණ සතෙක්...ඒ සතාව ආශ්‍රය කරලත් සම්පූර්ණයෙන් අදුනගන්න බැරිකොට බාහිරින් කොහොම අදුනගන්නද...
Deleteබස් අජිත් ට මාගේ ප්‍රණාමය...
ReplyDeleteඅජියට බස් වල ආගිය අයගෙ ලොකු අකමැත්තක් තිබුනෙ නෑ.
Deleteඅපේත් හිටියා ඔවගේ එකෙක් වෙනසකට උගේ නම “මැජික්“
ReplyDeleteඒ මොකද බොලං...මිනිහා බස් එක අදිනකං ඉදලා මැජික් පෙන්නුවද බස් එක ඇතුලෙ....
Deleteනෑ ඒකා අවුරුද්දේ දවස් 365 ම බස් එකේ වැඩ කරපු නිසා ඒ නම දාලා.. දැන් උනත් කොටුව ස්ටෑන්ඩ් එකෙන් අහපං මැජික් ගැන දන්නවා.. හැක්
Deleteඔය බස් වැල වැඩ කරන හුගක් ඉහලට ඉගෙන ගත්ත මිනිස්සුත් ඉන්නවා.. දවසේ වියදම හොයාගන්න, වෙන කරන්න දෙයක් නැතිකමට වැඩකරන මිනිස්සු. කොහොම වුනත් බස් අජියාට ප්‍රණාමය..
ReplyDeleteකොහොමත් මම අත්දැකීමෙන් දන්න දේ තමයි දුක දන්න මිනිහා තමයි ඉතාම ඉක්මනින් තවත් කෙනෙකුගේ දුකට පිහිට වෙන්නෙ...සමාජයේ පැත්තකට දාලා තියෙන මෙවැනි චරිත කෙනෙකුට කරදරයක් උනාම උදව් කරන්න ඉක්මනින් ඉදිරිපත්වෙන ආකාරය මම බොහෝ විට දැක තිබෙනවා.
Deleteමට මතක් වුනේ බස් අජියා කිව්වාම අර රූපවාහිනියේ ගිය නාට්‍ය බං.නාට්‍ය නොබැලුවත් එකනම් ටිකක් වුමනවෙන් බැලුවා.
ReplyDeleteඅනේ දන්නෙ නෑ බං උඹ කියන්නෙ මොන නාටකයක්ද කියලා..මම ලංකාවෙ හිටිය කාලදෙි උනත් ඔය නාටක බැලුවෙ නැති තරම්...
Deleteබස් අජිත්ල වගේ චරිත මේ රටේ කොච්චරනම් ඇත්ද. මනුස්සකම කියන දේ හදවතින් එන දෙයක් කියන්නෙ ඒකනේ. බාහිරට කොහොම පෙනුනත් හදවත රත්තරන් මිනිස්සු සෑහෙන්න ඉන්නවා. ජය වේවා!!!
ReplyDelete//බාහිරට කොහොම පෙනුනත් හදවත රත්තරන් මිනිස්සු සෑහෙන්න ඉන්නවා//
Deleteහරියටම හරි මනා...මට මෙවැනි පුද්ගලයන් ගැන ගොඩාක් අත්දැකීම් තියෙනවා...ඒ චරිත වලට ලං වෙලා බලද්දි පිටින් බලන කෙනාමද මේ ඉන්නෙ කියන සිතිවිල්ල නිරායාසයෙන්ම ඇති වෙනවා.
හැමෝම එක වගේ නෑ වගේම ඉතින් මේ වගේ අය අද කාලේ හුඟක් අඩුයි..
ReplyDeleteවර්තමානය වන විට මමත්වය ඉහළ ගහපු මිනිස්සු තමයි අපිට බොහෝ වෙලාවට හමුවෙන්නෙ...අනුන්නට හෙණ ගැහුවත් මට අවුලක් නෑනෙ කියලයි ඒ අය හිතන්නෙ.
Deleteනියම ලියැවිල්ලක් සිරා..
ReplyDeleteස්තූතියි රවින්...
Deleteහොඳ මනුස්සයෙක්!! ඒ වගේම හොඳ ලියවිල්ලක්!!! :)
ReplyDeleteඅදහසට ස්තූතියි පොඩ්ඩි..
Deleteචැක්... මටත් මතක් උනේ අර නහයෙන් අඩන එකාව බන්... ඔය වගේ හොඳ මිනිස්සු අතරේ අමු හොරුත් ඉන්නවා බන්... සමහරක් උන් මලාට ඉතුරු දෙන්නේ නෑ.. එත් අපේ පැත්තේ ඩයල් එකක් හිටියා ඌ අපිට අමතක වෙච්ච ඉතුරුත් හොයන් ඇවිත් දෙනවා... දවසක් මම උසස්පෙළ කරන කාලේ මම 500 කොලයක් දුන්නේ රුපියල් 12ක් ඕන තැනට... වෙන එකෙක්ට දුන්නනම් උන් 500 ගන්නේ ලංකාවේ භාවිතා නොකරන සල්ලි ගානට.. (උන් ගාව මාරු කරන්න නැත්තම් මහා බැංකුවෙත් නෑ) මම බස් එකෙන් බහින්න ඉන්න මෙන්න තියෙද්දී මු මට ඉතුරු දුන්නා රුපියල් 10, 20, 50 කොළ වලින්... මමත් කලබලේට සාක්කුවේ ඔබන් ගියා මිසක් ගණන් කරේ නෑ... පන්තියට සල්ලි දෙන්න 400 ක් හොයනකොට තමයි එලෝ පොල් පෙනුනේ... කොන්දා ඉතුරු දීලා තිබ්බේ 100ක් අඩුවෙන්... යාලුවෙක්ගෙන් ණයක් දාගෙන පංතියේ සල්ලි ගෙව්වා... හොදම සිද්දිය උනේ පහුවදා බස් හෝල්ට් එකට ගියාම... පොරම මන් ලගට ඇවිත් කියනවා මල්ලි ඊයේ මන් ඉතුරු දුන්නේ 100ක් අඩුවෙන් නේද...? කොහෙද ඔයා බැහැලා ගියානේ කියලා... බැලින්නම් පොර ඒ වෙලේ අතේ ඉතුරු වෙලා තිබ්බ සල්ලි වලින් තමයි සල්ලි දීලා තියෙන්නේ... අනිත් 100 දෙන්න හදලා තියෙන්නේ අර උන් ගාව සල්ලි දාලා තියෙන ලොකු පර්ස් එකෙන් අරන්... මම කලබලේට බැහැලා ගිහින්...
ReplyDeleteඒ වගේ තමන්ගෙ රාජකාරිය අවංකව කරන මිනිහෙක් හමු උනාම ලොකු සතුටක් දැනෙනවා. අතලොස්සක් කොන්දොස්තරවරු තමයි ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන තියෙන්නෙ..බහුතරයකට ඒ හැකියාව නෑ
DeleteBus Ajith Kiwwa gaman matath mathakune, Nahen adannawa.--(Ranjan)
ReplyDelete