පවුලෙ දෙවැනි දරුවා විදියට කෙලියක් තමයි මගේ දෙමාපියන්ගෙ අපේක්ෂාව වෙලා තියෙන්නෙ. ඒ උනාට මේ කියන කාලය වෙද්දි අද තරම් තාක්ෂණය දියුණු වෙලා තිබුනෙ නැති හින්දම ස්කෑන් කොරලා බලලා වේලාසනින්ම ඉපදෙන්නෙ මොකාද කියලා කියන්නට හැකියාවක් තිබිලා නෑ. අලුතෙන් පවුලට එකතු වෙන කෙලි පොඩිත්ත පිළිගන්න අම්මා තාත්තා හැමදේම සූජානම් කොරලා තියෙන්නෙ රෝස පාටට උනත්...ඒ අයගෙ අහිංසක බලාපොරොත්තු කඩ කරමින් මේ ලෝකයට ආවෙ සුදුම සුදු බෝලයක් වගේ මල්ලි කොල්ලෙක්. හරියට අද කාලෙ කිරිපිටි දැන්වීම් වල ඉන්නවා වගේ කොලුවෙක්. පොඩිකාලෙ අපි දෙන්නා ඉන්න ඡායාරූපයක් ලංකාවෙන් ලැබුනොත් පස්සෙ මේ පෝස්ටුවටම අමුණන්නම්.
මෙන්න මේ මල්ලි කොල්ලා රෝස කැලෙන් අහුලගෙන එන්න අපේ අම්මා ගම්පහ ඉස්පිරිතාලෙ නැවතිලා උන්නු කාලෙ ඇයට ගෙදර ඉදන් අරන් ගිය බත්මුල සපයන්න ගිය ගමන තමයි මේ ආත්මයේ මා සතුව තියෙන පැරණිම මතකය. තාත්තත් එක්ක පුෂ් බයිසිකලයෙන් ගිය මේ ගමන් බිමන් ලස්සන හීනයක් වගේ මගේ හිතේ කොණක තවමත් සැතපිලා තියෙනවා. බයිසිකලේ හරස් පොල්ල උඩින් පුංචි කොට්ටයක් තියලා...ඒක උඩින් පුංචි සිරා කොලුවව ඉන්දවලා...කිලෝමීටර් 5 කට ආසන්න දුරක් තාත්තා බයිසිකලය පදින්නෙ පුංචි පස්සා පැත්තා රිදෙනවා කියලා සිරා මැසිවිලි නගන සෑම විටකම අතර මැද පුංචි විරාමයක් තබමින්.
මේ කියන සිදුවීමෙන් පස්සෙ නැවතත් මගේ මතක ගබඩාවෙ මල්ලි කොල්ලා ගැන මතකයක් තියෙන්නෙ පුංචි මැටි කැටයකුත් එක්ක. මැටි කැටයක් කිව්වෙ සල්ලි දාන කැටයක්. අපේ මව්තුමිය අපි පුංචි කාලෙ ඉදලම සකසුරුවම් ජීවිතයක හුරුව ඇති කොරන්න කියලා හිතාගෙනද කොහෙද පොලේ ගිය වෙලාවක පුංචි මැටි කැටයක් ගෙනත් දුන්නා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 6 විතර ඇති.
ඉතිං අපිට කැටයක් ලැබුනාම ඊලගට තියෙන ලොකුම ආශාව තමයි ඒක සල්ලි වලින් ඉක්මනින් පුරවන එක.
ආච්චිලගෙ ගෙදරට ගිහිල්ලා ඕකට කීයක් හරි දාගන්න....අම්මා එහෙම කිව්වෙ අපේ තාත්තගෙ නැන්දණියක් අපේ නිවාසය කිට්ටුව ජීවත් වෙච්ච හින්දා. ඔන්න ඉතිං මල්ලි කොල්ලයි මමයි අර පුංචි කැටයත් එකතු කරගෙන ආධාර වටයක් ගියා. ඒ ගෙදර හිටිය නැන්දලා මාමලා හැමෝම තමන්ගෙ අතේ තිබුන මාරු කාසි දෙවරක් නොහිතා අපේ කැටයට එඹුවා. කැටය ඇතුලට සල්ලි වැටෙද්දි ඇහෙන සද්දෙත් පංකාදුයි. වැඩි වැඩියෙන් කාසි ඔබලා ඒ සද්දෙ අහන් ඉන්න පුංචි අපේ හිත් ආශා කොලා.
දැන් කැටය සෑහෙන තරමකට බරයි..ආච්චිලගෙ ගෙදර ගිය ගමන නරකම නෑ...කාසි සෑහෙන්න වැටිලා...ආපහු එන ගමනෙදි මේ කැටය හොල්ල හොල්ල ආව මල්ලි කොල්ලා ඒක පාර මැදම අත ඇරියා. කැටේ දෙපලු වෙද්දි ඇතුලෙ තිබුන කාසි ඉර එළියට දිළිසුනා. මගේ හිතේ ලොකු තරහක් ඇතිවුනා. ඒ තරහටම මම මල්ලි කොල්ලට තද පාරක් ගහලා ගෙදර දිව්වා. වටේ පිටේ හිටිය ඇත්තො කාසිත් එක්කම කැටේ සුන් බුන් ටික අහුලලා දීලා ඒකත් අරගෙන මගේ මලයා අඩ අඩා ගෙදර ආව හැටි මට යන්තමට වගේ තවමත් මතකයි.
අපේ මලයා දණ ගාන කාලෙ නලල බිම වැදිලා එතන ගෙඩියක් ආව බවත්...ළමා රෝහලේදි ඒ ගෙඩිය පළලා ප්‍රතිකාර කරපු බවකුත් අම්මා තාත්තා කිව්වත්...ඒ ගැන මට මතකයක් නෑ. හැබැයි මගේ මලයට පුංචි කාලෙ බොහොම තද අපල තියෙනවා කියලා කේන්දර කරුවො කියපු නිසාත්...අපේ ආච්චිලා සීයලා ඒවා බොහොම දැඩිව විශ්වාස කරපු නිසාත් මලයා පෙර පාසල් යන අවදිය වන විට රද්දොළුවෙ අපේ ලොකු නැන්දලගෙ ගෙදර නවාතැන් ගත්තා. අපේ තාත්තගෙ ලොකු අක්කා තමයි මේ කියන නැන්දා. එයාගෙ දුව තමයි පෙර පාසල් ටීචර්...නෑ කමින් අපිට අක්කා. ඒ කාලෙදි මල්ලි කොල්ලා සමහර වචන උච්චාරණය කරපු විදිය මට තවමත් මතකයි. සීබ්‍රාට කිව්වෙ සිරිබ්බා කියලා.
![]() |
මේ ඡායාරූපය පසුව එකතු කරමි. මේ මගේ මලයගෙ 3 වෙනි උපන් දිනය දවසෙ ගත්ත ඡායාරූපයක්...අද මේ ඡායාරූප ශාලාවත් ගම්පහ නෑ. |
මලයා රද්දොළුවෙ නැවතුනාට පස්සෙ මාසයකට සැරයක් විතර මමත් අම්මත් ඒකව බලන්න ගිය හැටිත් මට මතකයි. අපි ගිය වහාම බොහොම සතුටින් උඩ පනින මගේ මලයා අපි සමුගන්න අවස්ථාවෙදි බිම පෙරළි පෙරළි අඩපු හැටි මතක් වෙද්දි මගේ හිතට තවමත් දුකයි. ආයෙත් එනවනෙ පුතේ කියලා අපේ අම්මත් මල්ලිගෙන් සමුගන්නෙ නෙත් අග දිළිසෙන ලොකු කදුළු බින්දුවක් දෙකක් දරාගෙන.
පෙර පාසල් ජීවිතය ඒ විදියට ගත කරන්න මගේ සහෝදරයට ලැබුනෙ කෙටි කාලයයි. ඒකා නැතුව ජීවත්වෙන එක මගේ මවටත් ලොකු දුකක් නිසා අපල වලට ඕනෙ මගුලක් වෙද්දෙං කියලා ආයෙමත් ගෙදර ගෙනල්ලා අපේ පැත්තෙ පෙර පාසලකට ඇතුලු කොලා.
මේ කියන පෙර පාසල සහ මගේ පාසල අවසන් වුනේ වාර දෙකකට නිසා මව්තුමියට සිදු වුනා දෙවරක්ම ගිණි අව්වෙ අපිව නිවසට රැගෙන යන්න පාසල් එන්න. ඒ දිහා උපේක්ෂාවෙන් බලා හිටිය එකල මගේ පන්ති භාරව හිටිය විජිත සෑර් මලයට පෙර පාසලෙන් පස්සෙ මගේ පන්තියෙ රැදෙන්න අවස්ථාව ලබා දුන්නා. එතැනින් පස්සෙ අපි දෙන්නටම එකවරකට නිවෙසට යන්න හැකි වුනා.
මේ වකවානුවෙදි මගේ පන්තියෙ හිටිය කොල්ලො කෙල්ලො හැමෝම වගේ මලයා එක්ක ඉක්මනින්ම හිතවත් වෙච්ච හින්දම තමයි විවේකයට කන්න කියලා ඒ අය ගේන පාන් පෙත්තක් හරි බිස්කැට්ටුවක් හරි ඒකාට දෙන්න ඉතුරු කරලා තිබ්බේ.
පුංචි කාලෙ ඉදලම බොහොම නිශ්ශබ්ද...දාංගලය අඩු කෙනක් නිසාම මල්ලි කොල්ලා ගැන කාගෙන්වත් පැමිණිලි නෑ...සියලු පැමිණිලි මට එරෙහිවයි ඉදිරිපත් වුනේ. ඒ උනාට ඉදලා හිටලා මගේ දග වැඩ ගැන අම්මට කේළමක් දෙකක් කියන නිසාම තමයි මමත් මලයත් අතර ද්වන්ද්ව සටන් ඇති වුනේ. අද මට දුක හිතුනත් එදා මට දුකක් හිතුනෙ නැති නිසාම මලයා මගෙන් ගුටි කෑවා....හැමදාමත් ඇඩුවා....ඊට පස්සෙ නඩුව විභාග කරලා අම්මා ඉදලා හිටලා මට පාරක් ගැහුවා...සමහර දවස් වලට මමත් මල්ලි කොල්ලා එක්කම ඇඩුවා.
ඉස්සර තිබුන මුත් අද අපේ මිදුලෙ නැති දැවැන්ත කොස් ගහ යට සෙවනෙ ලී හිටවලා මමත් මලයත් ඉස්සර සෙල්ලං ගෙවල් හැදුවා. වලවල් හතරක් කපලා ලී කෝටු 4 ක් හිටවලා වහලෙටත් මොනවා හරි දැම්මම අපි දෙන්නගෙ ගේ අංග සම්පූර්ණයි. ගේ වටේ අහුරන්න අම්මගෙ පරණ සාරියක් දෙකක් දැම්ම බවකුත් මතකයි. එවැනි දවසක දවල්ට බත් කන්නෙත් ඒ ගේ ඇතුලෙ ඉදලා. මේ විදියට තමයි අපේ සුන්දර ළමා කාලය ගලාගෙන ගියේ.
ඉස්සර තිබුන මුත් අද අපේ මිදුලෙ නැති දැවැන්ත කොස් ගහ යට සෙවනෙ ලී හිටවලා මමත් මලයත් ඉස්සර සෙල්ලං ගෙවල් හැදුවා. වලවල් හතරක් කපලා ලී කෝටු 4 ක් හිටවලා වහලෙටත් මොනවා හරි දැම්මම අපි දෙන්නගෙ ගේ අංග සම්පූර්ණයි. ගේ වටේ අහුරන්න අම්මගෙ පරණ සාරියක් දෙකක් දැම්ම බවකුත් මතකයි. එවැනි දවසක දවල්ට බත් කන්නෙත් ඒ ගේ ඇතුලෙ ඉදලා. මේ විදියට තමයි අපේ සුන්දර ළමා කාලය ගලාගෙන ගියේ.
ඒ උනාට දවසක් මලයාව අල්ලලා ඇද උඩට තල්ලු කරපු දවසක මගේ ඇස් රතු වුනා. ඒකගෙ ඔලුව ඇද විට්ටමේ වැදිලා පැලුනා. ලේ ගලනවා උනත්...ඒකා ඇඩුවෙ නෑ....දෙමාපියො නඩුව විසදන්න සුනංගු නොවී වහාම දොස්තර මහතෙක් කරා රැගෙන ගිහිල්ලා ඉක්මනින් තුවාලය හොද කලා. ඊට ටික දවසකට පස්සෙ තමයි මලයා මට පළවෙනි ප්‍රතිප්‍රහාරය එල්ල කලේ.
ආයෙමත් දවසක අපි දෙන්නා පැටලුනු වෙලාවක අලුතින්ම උල් කරලා තිබුන මගේ පැන්සලෙන් මලයා මගේ වම් ඇහැට අගලක් විතර යටට වෙන්න තදින් ඇන්නා. පැන්සල එළියට අදිනකොට ඒකෙ තිබුන තුඩ මගේ මූණ ඇතුලෙ. අපේ පවුලේ දොස්තර මහත්තයා අපේ තාත්තට කිව්වෙ මේක ගන්න නම් මෙතන පලන්න වෙනවා...එහෙම උනොත් මූණෙ පෙනුමත් කැත වෙනවා...තුඩ අපි එහෙමම තියමු මිනිරං ශරීරයට විෂ නෑ කියලයි. ඒ නිසා තවමත් මලයා ඇනපු මිනිරං තුඩ මූණෙ තියාගෙන තමයි සිරා කොලුවා ජීවත් වෙන්නෙ...ඒ කැළල යන්තමට වගේ තාමත් තියෙනවා.
මේ දෙන්නා තනියම ගෙදර දාලා යන්න බෑ...එද්දි මොනවා කරගනීද මන්දා...අපේ අම්මා තාත්තට එහෙම කිව්වෙ මගෙත් මලයගෙත් නිරන්තර ගැටුම් නිසයි. එතැනින් පස්සෙ දෙන්නගෙන් කෙනෙක් අනිවාර්යෙන්ම මව හෝ පියා නිවසින් පිටතට යද්දි රැගෙන ගියා....ඒ කාලෙ අපි රණ්ඩු වුනේ මොන මොන හේතු වලටද කියලා මට දැන් මතකයක් නෑ.
මගේ ගුටි බැට වලින් මලයාට සහනයක් අත් කර දෙන්න තාත්තා තීරණය කලේ ඊටත් පස්සෙ. අපේ තාත්තා කරාටේ ක්‍රීඩාව සෑහෙන දුරකට ප්‍රගුණ කරපු කෙනෙක්...ඒ දැනුමෙන් යමක් මලයාට ලබා දෙන්න එතුමා කටයුතු කොලා....ඒ හැම වෙලාවකම තාත්තා කිව්වේ මේ දැනුම තමන්ගේ ආරක්ෂාවට මිස වැඩ පෙන්වන අරමුණෙන් කිසිම තැනක පාවිච්චි නොකල යුතු බවක්. නමුත් මට කිසිවක් කියා දුන්නෙ නෑ...තාත්තා ඉගැන්නූ දේ වලින් පහරවල් වළකාලන්නත්...සෙළවිය නොහැකි සේ ගැට දමන්නත්...කෙටි කාලයකදි මලයාට හැකි වුනා...ඔයින් මෙයින් ඒකාගෙන් මටත් පහරක් දෙකක් වදින කාලයක් ආවා. එතැනින් පස්සෙ අපි දෙන්නට ඇති තරම් ගහගන්න ඉඩ දුන්නා....හැබැයි එක කොන්දේසියක් උඩ ...අඩන කෙනාට ගෙදරින් ගුටි....ඒ නිසාම මලයා හිතට ධෛර්යය අරගෙන අඩන්නෙ නැතුව හැකි තරම් දුර සටන් කලත්...සමහර දවස් වලට මිනිහා අඩනවා....ඒත් වයසෙන් මුහුකුරා යද්දි...පවුලෙ වැඩිමලා විදියට මලයා ගැන වගකීමෙන් හිතලා ඒකාගෙ පහරකට ප්‍රතිප්‍රහාර දෙන්න යන්නෙ නැතුව නිහඩව ඉවසන්න මම පුරුදු වුනා.
මේ වකවානුවෙන් පස්සෙ කාලයක් විදේශගත වෙලා හිටිය තාත්තා නැවත සියරට ඇවිල්ලා අපිට පීනන හැටි කියාදෙන්න අත්තනගළු ඔයට රැගෙන යන අවස්ථාවලත් හැම වෙලේම මලයත් මා එක්කම හිටියා...අපි දෙන්නම එක විටම තමයි පීනන්න ඉගෙන ගත්තෙ. නමුත් හැම වෙලේම මට වඩා කලියෙන් අලුත් යමක් ඉගෙන ගන්න ඔහුට කදිම හැකියාවක් තිබුනා. අනිත් කාරණේ ඔහුට වම දකුණ අත් දෙකම හුරුයි..දකුණු අත ලියන්න භාවිතා කරනවා නම් ඔහු ලීයක් කපන්න පිහිය අල්ලන්නෙ වම් අතින්. ක්‍රිකට් ක්‍රීඩා කරන වෙලාවට දකුණතින් පිත්ත හැසිරෙව්වත් පන්දු යවන්නෙ වම් අතින්.
ඔයින් මෙයින් ශිෂ්‍යත්වය සමත් කරගෙන සිරා නගරෙ පාසලට ගියාට පස්සෙ මගේ මලයත් ඒ පාරෙම ඇවිල්ලා අපේ පාසලට ඇතුලු වුනා. මලයා 6 හෝ 7 පන්තියෙ ඉද්දි ඒකට වඩා වසරක් වැඩිමල් එකෙක් පාසලේදි සද්දයක් දාලා සල්ලි ඉල්ලලා තිබුනා. දවසක් දෙකක් බලලා බැරිම තැන ඒකා මට පැමිණිලි කලා. මම ඒ වෙද්දි පාසලේ දිග කලිසං අදින වයසට ඇවිල්ලා හිටිය හින්දා භය නැතුව පාසල් වෙලාවෙන් පස්සෙ අදාළ කොල්ලව කොටු කරගෙන....අතින් පයින් නැතුව වචන වලින් භය කරලා එලෙව්වා....එදායින් පස්සෙ කිසිම කරදරයක් වුනේ නෑ.
මම බෑන්ඩ් කණ්ඩායමට බැදෙද්දි එයත් ඒකටම එන්න පොරකෑවත් මගේ නිදහස නැති වේයැයි බියෙන් මම එයට විරුද්ධ වුනා. ඉන් පසුව ඔහුගෙ තේරීම උනේ රතු කුරුස සමාජය...මේ ඔස්සේ උනන්දුවෙන් කටයුතු කරලා එක් වසරක දකුණු කොරියාවෙ සංචාරයකට යන්න ලංකාවෙ බස්නාහිර පළාතින් තේරුනේ අපේ මලයා වුනත්...ඒ එක්කම ඒ කලාපෙ පැතිරී ගිය සාර්ස් වයිරසය නිසා ඒ චාරිකාව යන්න එයාට අවස්ථාවක් ලැබුනෙ නෑ.
මට හිතෙන විදියට මලයත් මමත් බොහොම සමීප උනේ මම උසස් පෙළ කරන කාලෙදි...සහෝදරත්වයට වඩා මිත්‍රශීලී හැගීමක් තමයි එතැන තිබුනෙ...වයසින් වැඩෙද්දි මගේ ලග තිබුන දගකාරකම් නැති වෙලා තැන්පත් තත්වයට මම පත්වෙද්දි...ඔහු තරහා ගිය විටෙක ආවේගශීලී කෙනෙකු බවට පත් වුනා.
වතාවක් මගේ මවුන්ටන් බයිසිකලය රැගෙන මලයා කඩේ ගියා. ආපහු එද්දි ඒකෙ තිබුන ප්ලාස්ටික් ගැජට් කොටසක් නෑ...
කෝ බන් මේකෙ තිබුන කෑල්ල...
කොතනද කෑල්ලක් තිබුනෙ..
මේ මෙතන බං....ඒක දැන් නෑනෙ...
ආ...එහෙනං බිම වැටිලද දන්නෙ නෑ..
ඊට පස්සෙ දෙන්නම නැවතත් හන්දියට ගියා...බිම වැටිලත් නෑ...
කවුරු හරි බයිසිකලය ලග හිටියද ?
ඔව්...අර ...........හිටියා තව දෙන්නෙක් එක්ක..
එහෙනං ෂුවර් එකටම උන් වැඩේ දෙන්න ඇති.
හන්දියේ ඉදන් බැලුවාම අපේ සැකකාරයො 3 දෙනා ඈතින් යනවා පේනවා...මලයවත් දාගෙන මම පැද්දා හැටට හැටේ...
හෝව් හෝව් ....පොඩ්ඩක් ඉදපල්ලා....මලයා එහෙම කියලා කාරණේ කිව්වා....
අනේ අපි ගත්තෙ නෑ....උන් එහෙම කිව්වා
ඒ උනාට මට උඹලවව සැකයි... අයියෙ මුංගෙ සාක්කු බලමු....එහෙම කියලා ඒවා බලාගෙන යද්දි එච්චර වෙලා ගත්තෙ නෑ කියපු ප්ලාස්ටික් කෑල්ල එකෙකු දුන්නා...
මේ වගේ වෙලාවට මම සාමකාමීව හිටියත්..මලයට එහෙම ඉන්න බෑ...මිනිහා පැන්න ගමන් කෑල්ල අරගෙන තිබුන එකාට ගැහුවා...ඒකා කෙහෙල් කදක් වගේ බිම වැටුනා...අනිත් උන් දෙන්නා මලයට ගහන්න පනිද්දි මම උන් දෙන්නට සැලකුවා මගේ සහෝදර ප්‍රේමය නිසා.
මේ වගේ අවස්ථා දෙක තුනකදි අපේ සහෝදර ප්‍රේමය ඉස්මතු උනා. තවත් ශක්තිමත් වුනා. තමන් පාසල් කාලයේ බාහිර ක්‍රියාකාරකමක් විදියට ඇසුරු කරපු රතුකුරුස සමාජයම ඔහුගේ මුල්ම රැකියා නවාතැනත් වුනා. ඇමරිකානු රතු කුරුස සමාජය ලංකාවේ දියත් කරපු ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා සුනාමියෙන් අවතැන් වෙච්ච ජනතාවට සහාය වෙන්න ලංකාව වටේම ඔහු ගියා. සුනාමිය ඇවිල්ලා ගිය ගමන්ම ඔහු මාතර ගියේ එහේ ජනතාවට උදව් වෙන්න. කෙනෙකුට උදව් කිරීමේදීත් අසරණ සතුන්ට කරුණාව දැක්වීමේදීත් මගෙත් මලයගෙත් සිතුම් පැතුම් බොහොම සමානයි.
මලයා සම්බන්ධව පසු කාලීනව වෙච්ච සිදුවීම් වලින් අවස්ථා දෙකක් තියෙනවා මම බොහොම සංවේගයට පත් වෙච්චි. ඉන් පළමුවැන්න Appendicitis රෝග තත්වය වැඩිවෙලා සැත්කමක් සදහා රෝහල් ගත කරපු අවස්ථාව...රතු කුරුස සමාජයෙන් සියලු වියදම් දරණ නිසා පෞද්ගලික රෝහලකයි සැත්කම කලේ...එදා ඒ තීරණය ගන්න අපේ තාත්තා සියලු වගකීම් පැවරුවේ මට. මම අමාරුවෙන් ඉන්න මලයාගෙන් ඇහුවෙ ඔපරේෂන් කරමුද කියලා. ඔහු හා කිව්වා. සැත්කමෙන් පස්සෙ මලයා කෙමෙන් කෙමෙන් පියවි සිහියට එද්දි ඒ කාලය එදා මට දැනුනෙ කල්පයක් වගෙයි...ඒක තමයි මට හිතෙන්නෙ අසීමාන්තික සහෝදර බැදීම.
පසුකාලයකදි මලයා ඡායාරූප කලාව දෙසට දෝළනය වුනා. එහි හැදෑරීම් සදහා කොළඹ යන දවසක අපේ පාරෙ ගමන්ගත්ත පුද්ගලික බස් රථයක් ලංගමයක් සමග රේස් ගිහිල්ලා...තාර පාරෙන් ඉහළට එසවිලා තිබුන ගැට්ටක පිටුපස පා පුවරුව වැදිලා බස් රථයේ වේගය වැඩි කමට පා පුවරුව රථයෙන් ගැලවිලා ඉවතට විසි වෙලා තිබුනෙ ඒ වන විටත් පඩිපෙලේ සිටි අය සමගයි. ඒ අනතුරින් මල්ලි දරුණු ලෙස තුවාල ලැබුවා..අත් දෙකත් පිටත් හම ගහලා වගෙයි තිබුනෙ...එච්චර දරුණු ලෙස තුවාල වෙලා තිබුනත්...රතු කුරුසයේදි ලද පුහුණුව අනුව නිවැරදි ලෙස ඔසවලා බස් රථය අස්සට වැටිලා හිටිය තරුණියක් බේරාගන්නත් ඔහු එදා කටයුතු කොට තිබුනා.
මට මේ ආරංචිය ලැබිලා රෝහලට යද්දි මේ සිදුවීම වෙලා පැයකට ආසන්න කාලයක් ගත වෙලා. ගම්පහ රෝහලේ අලුතෙන් විවෘත වෙලා තියෙන ගොඩනැගිල්ලත් සමග රෝහලේ පහසුකම් දියුණු වුවත් මගේ මලයා බොහොම අසරණ විදියට වේදනාව දරාගෙන මා යන විටත් රෝහලේ පුටුවක ඉදගෙන හිටියා.
සහෝදර ප්‍රේමය නිසාම සන්සුන් සිරා එදා නොසන්සුන් උනා...ප්‍රධාන හෙද නිලධාරියා සමග බහින් බස් උනා...පැයක් යනතුරු කිසිම දෙයක් කරන්නට ඇයි ඔහේලට බැරි උනේ කියලා....එයින් පසු නැවතත් පුද්ගලික රෝහලකදි ප්‍රතිකාර කරලා නිවෙසට රැගෙන ගිය දා ඉදන්ම ඔහුගේ පිටේ තිබුන දරුණු තුවාලයට බෙහෙත් දැමුවෙ මම. ඒ තුවාල දකිනකොට ඔලුව කැරකෙනවා වගේ දැනුනත්...බෙහෙත් දැමීමේ කාර්යය මගේ වගකීමක් ලෙස සලකලා හිත දැඩිකරගෙන ඒ කාර්යය කරන්න එදා මම සමත් වුනා.
සේලයින් වලින් තුවායට එලලා තියෙන ගෝස් කෑල්ල තෙත් කරලා හෙමිහිට ගලවද්දි ඒ සමගම තුවාලයේ මතුපිට සම ගැලවිලා ආවත් ඒ දරුණු වේදනාව ඔහු කිසිම ලෙසකින් හඩක් පිට නොකර දරා ගත් ආකාරය ගැන මට අදත් පුදුමයි. මේ අනතුර නිසා යම්කිසි වන්ධි මුදලක් ගන්න හැකියාවක් තියෙනවා කියලා යමෙකු කිව්වත් ඒ මුදලත් මේ අනතුරින් දැඩි ලෙස තුවාල ලබපු පෙරකී තරුණිය වෙත ලබා දෙන්න කියලයි ඔහු කිව්වෙ.
බස් රථ අනතුරෙන් පසුවත් තමාගේ ශරීරයට වෙච්ච හානි ගැන බලන්න කලියෙන් තමා ලග තිබුන කැමරාවට වූ හානි පිළිබද සොයා බැලූ මගේ මලයා පසු කලෙක ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස ජාතික පුවත්පතකට එකතු වුනා. ඒ එම ක්ෂේත්‍රය පිළිබද හැදෑරීමක් කරලා වගේම හිතේ තිබුන අප්‍රතිහත ධෛර්යයේත් ප්‍රතිඵලයක් ලෙස.
![]() |
මේ ඡායාරූපයත් පසුව එකතු කරන්නෙ...මලයගෙ අවසරය අරගෙන... මේ චෝගම් අස්සෙ කිළිනොච්චියට ගිය ගමනක්... නිල් පැහැති ටී ෂර්ට් එක ඇදගෙන ඉන්නෙ මලයා.... මේ පෝස්ටුව කියවලා මලයත් සතුටු කදුලු හෙලුවයි කියන්නෙ..... |
![]() |
ලෝකය පීර පීරා කාලයකට කලින් හොයපු KP එක්ක මගේ මලයා කිලිනොච්චියේදි |
![]() |
ඔය කියපු දවසෙ ගත්ත පින්තූරයක්. මෙතන සමහරු අද ජීවතුන් අතර නෑ. |
දැනට මාස තුනකට විතර කලියෙන් මලයා මට බොහොම සතුටුදායක පණිවිඩයක් ජංගම දුරබණුවට කෙටි පණිවිඩයක් විදියට එවා තිබුනා. ඒ ආරංචිය ලද සැනින් මට මතක් වුනේ පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නා හිටිය විදිය වෙනස් වෙලා වයසින් මුහුකුරා ගිය තත්වයට එන්න කාලය කොතරම් වේගයෙන් ගත වෙලාද කියලා...
අද මලයගෙ උපන්දිනය...මේ වසර එයාට සුවිශේෂීයි...ඒ සියලු කඩඉම් සාර්ථකව ජයගෙන තමන්ගෙ ජීවිතය අලුත් මානයකට රැගෙන යන්න මේ වසරෙදි මගේ ආදරණීය මලයාට හැකි වේවා කියලා මම බොහොම හෘදයාංගමව මේ බ්ලොග් ලිපියට මුවාවෙලා ප්‍රාර්ථනා කොරනවා.
අයියෙ....උඹ මහප්පෙක් වෙන්න යනවා.....එන්න එහෙමයි මට මලයා එවපු පණිවිඩේ සටහන් වුනේ. එතැනින් පස්සෙ දුරකථන තිරයෙ මට දිස් වුනේ පුංචි කාලෙ ගහමරාගත්ත, වෙල් එළියෙ සරුංගල් යවපු, අහල පහල ඔට්ටු දිව්ව ඒ ලස්සන අතීතය අපේ දෑස මානයේ ආයෙමත් විද්‍යාමාන කරන්න පුංචි පැටියෙක් අපේ පවුලට එකතුවෙන සුන්දර කාල සමයක්. හැබෑට බොලං කාලය ගතවෙලා යන ඉක්මනක්....
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
අපේ නිවසෙ මේ වෙද්දි එක් මව්කුසක උපන් බළල් සහෝදරයො දෙන්නෙක් එකිනෙකාට හරිම ආදරයෙන් වැඩෙනවා. මේ දර්ශනය දකින අපේ අම්මට අපේ පොඩි අවධියත් මතක් වෙනවා ඇති.
මේ තියෙන්නෙ මම හදිස්සියේ හොයාගත්ත මලයගෙ පින්තූර ටිකක්...මේ ලිපිය ලියන්නෙ එයාට හොරෙන් නිසා එයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්න බෑ.
අපේ මලයා ගත්ත පින්තූර අතරින් මට දැනුන විදියට සංවේදීම පින්තූර දෙකක්.
අපේ නිවසෙ මේ වෙද්දි එක් මව්කුසක උපන් බළල් සහෝදරයො දෙන්නෙක් එකිනෙකාට හරිම ආදරයෙන් වැඩෙනවා. මේ දර්ශනය දකින අපේ අම්මට අපේ පොඩි අවධියත් මතක් වෙනවා ඇති.
මේ තියෙන්නෙ මම හදිස්සියේ හොයාගත්ත මලයගෙ පින්තූර ටිකක්...මේ ලිපිය ලියන්නෙ එයාට හොරෙන් නිසා එයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්න බෑ.
අපේ මලයා ගත්ත පින්තූර අතරින් මට දැනුන විදියට සංවේදීම පින්තූර දෙකක්.
![]() |
මේ ආරක්ෂක අංශ ආබාධිත සෙබලුන්ගෙ ක්‍රීඩා උළෙලක් |
![]() |
කියන්න බැරි උනා නොවැ...මේ ලගදි දවසක මලයා විශේෂ කාර්ය බලකාය එක්ක තණමල්විල ගියා ගංජා හේනක් වටලන අවස්ථාවක් වාර්තා කරන්න. මේ එහි ඡායාරූපයක් |