අපි බැන්ද අලුතම මහත්තයට ආපහු යන්න උනා, නිවාඩු නැති නිසා. මට යන්න තිබුනේ තව මාසයක් විතර ගිහින්. ජීවිතේට කවදාවත් පිටරටකට ගිහින් නැති මට තනියමම මේ ගමන යන්න සිද්ද උනේ. මොනවා කරන්නද ? කවුරුවත් එක්ක යන්න කියලයැ. පැය 25ක විතර ගුවන් ගමනකින් පස්සෙ උදේ 8ට වගේ මං ඔන්න ඇමෙරිකාවට පය තිබ්බා. දැන් ඉතිං පාස් පොට් එකේ සීල් එක ගහගන්නත් එපැයි. එතනත් ලොකු පෝලිමක්. ඒත් ඒ වෙලාවේ මං ආපු ප්ලේන් එක විතරද කොහෙද ඇවිත් තිබුනේ. ඒ නිසා මහා ලොකු සෙනඟක් නම් නෑ.
එන මගීන්ට ගුවන්තොටුපලේ කෙරෙන වැඩ ගැන විස්තර යන TV එකක් මගේ ඉස්සරහම. සීල් එක ගහන්න ගියාම අහන ප්‍රශ්න, ඒවාට උත්තර දෙන්න හැටි, බෑග් වල බර වැඩි වුනොත් කීයක් ගෙවන්න ඕනෙද, බෑග් චෙක් කරන විදිහ අනම් මනම් ගොඩයි. ඒවා දැක්කාම භය උපරිමයි. ඇයි අප්පා මගෙන් මොනවා මොනවා අහයිද කවුද දන්නේ. මං ආපු ප්ලේන් එක පටන් ගත්තේ ඉන්දියාවෙන් නිසා ඉන්දියන් අය තමා වැඩි පුර හිටියේ. ඔන්න එක කවුන්ටර් එකක ඉන්දියන් පවුලක් නවත්තගෙන සෑහෙන්න ප්‍රශ්න කරනවා. මගේ භය තව වැඩි උනා. පලවෙනි වතාවටනෙ මෙහෙම අත්දැකීමක් ලැබෙන්නේ. ඒ අස්සේ පෝලිමේ ඉන්න ඉන්දියන් අය මට හින්දියෙන් කතා කරනවා. මාත් එයාලගේ ජාතියේ කියලා හිතලද කොහෙද.
කොහොම හරි පෝලිම ඉදිරියට ගිහින් මගේ වාරෙත් ආවා. ඇමරිකන් කොල්ලෙක් ඉන්නවා උදේ කොපි එකත් බිබී. මං ඉතිං හොදට හිනා වෙලා ගුඩ් මෝර්නින් කිව්වා. එයත් ගුඩ් මොර්නින්ග් එහෙම කියලා පාස් පොර්ට් එක ඉල්ලගෙන බැලුවා. රට මොකක්ද ඇහුවා. ශ්‍රී ලංකා කියපු ගමන් අහා ලස්සන රට කියපි. මාත් හොද හිනාවක් දාලා ඔව් ඒක ඇත්ත කිව්වා. අනේ කිසි ප්‍රශ්නයක් නැතුව සීල් එකත් ගහලා දුන්නා. මට පුදුමත් හිතුනා. අර ඉන්දියන් අයගෙන් සෑහෙන්න ප්‍රශ්න කරලා මට නිකංම යන්න කිව්ව විදිහ හිතුවාම.
ඊළග කඩඉම බෑග් චෙක් කිරිල්ල. බෑග් දෙකත් අරගෙන බෑග් චෙක් කරන තැනට යනකොට ඉන්දියන් සෙට් එකකගේ බෑග් ඇරගෙන ඔක්කොම ඇද ඇද බලනවා, ස්කෑන් කරනවා. මං හිතුවා හරි මටත් ඔය ටිකම තමා වෙන්නෙ කියලා. මගේ ක්‍රාෆ්ට් බඩු ටිකකුත් අරගෙන ආපු නිසා ඒවා දැක්කාම මුන් මොනවා අහයිද ඒවාට දෙන්න ඕනේ මොන වගේ උත්තරද කියල කල්පනා කරන ගමන් එතන හිටපු නිලධාරීන් දෙන්නගෙන් කෙනෙකුට පාස්පොර්ට් එක දුන්නා. ඉස්සරහ සිංහල අකුරු දැක්ක ගමන් මේ මොන රටේ පාස්පෝර්ට් එකක්ද කියල ඇහුවා. ශ්‍රී ලංකා කියපු ගමන් අත දික් කළා පැසේජ් එකක් වගේ එකකට. ස්කෑන් මැෂින් එකක්වත් පේන්න නෑ ඒ පැසේජ් එකේ. පුදුම වෙච්ච පාරට මගේ කටත් අැරුනද කොහේද. මං ආයේ නිලධාරියා දිහා බැලුවා. ඔයාට යන්න පුළුවන් කියලා ආයේ අර පැසේජ් එකටම අත දික් කළා. මේ මක් උනාද කියල හිත හිත මාත් ට්‍රොලියත් තල්ලු කරගෙන ගියා.බැලින්නම් කෙලින්ම එලියටනෙ ඒ පැසේජ් එක යන්නෙ. :O මෙලෝම දෙයක් චෙක් කලේ නෑ.
එලියට ගියාට මහත්තයා ඈවිත් නෑ තාම. ඒ අස්සේ ටැක්සි ඩ්‍රයිවර්ලා ඇවිත් ටැක්සි ඕනෙද අහනවා.විනාඩි පහළොවක් විතර ගියාම ඔන්න මහත්තයත් ආවා. එලියට ආවාමත් ලොකු වෙනසක් තේරුනේ නෑ. වෙනස තේරෙන්න ගත්තේ කාර් එක පාරට ගත්තාම. පාරවල් සෑහෙන්න ලොකුයි. පාරේ අයිනේ දකින්න ඕනේ බිල්ඩින් තියෙන්නේ පාරෙන් සෑහෙන ඈත. ඒ ඉඩ පිලිබඳ ප්‍රශ්නෙ නිසා නිකන් කරකවල අත ඇරපු තත්වයක් තම මට ආවේ. අනික් එක එලවන දිශාවේ මාරුව. එක පාරටම සමහර වාහන දැක්කාම හිතෙනවා කෝ යකෝ මේකේ ඩ්‍රයිවර් කියලා. ටික දවසක් ගියා ඒක අවුල් නැති තත්වෙකට එන්න.
ගෙදර යන්නත් කලින් මුලින්ම ගියේ ඇමෙරිකාවේ ප්‍රසිද්ද Walmart කියන කඩේට. හරිම පිළිවෙලයි. සමහර වෙලාවට සේල් බඩු එහෙම කඩෙන් එලියේ ඔහේ තියලා තියනවා. කවුරුත් අරගෙන යන්නෙ නෑ. ඕනෙනම් ශේප් එකේ අරන් ගිය හැකි. ඒත් කවුරුත් ගෙනියන්නේ නෑ වගේ. කඩේ ඇතුලෙදි විකාර රූපි ඇදුම් ඇද ගත්ත අය සෑහෙන්න දැක්ක හැකි. ෆේස්බුක් එකේ එහෙම සමහරුනම් දැකලා ඇති ඒ කඩේට එන මිනිස්සු ඇදගෙන එන ඇදුම් වල විකාර බව එහෙම පොඩි වීඩියෝ කෑලි එහෙම. ගිය පලවෙනි දවසේ දැක්කේ නැති උනාට පස්සෙනම් විකාර ෂෝ දැක්කා. :D. එක දවසක් බඩ එල්ලා වැටෙන ගෑනු කෙනෙක් ඒ එල්ලා වැටෙන බඩ තනිකර එලියේ තියෙන විදිහට ටීෂර්ට් එක ඇදල. හුළං වැදෙන කොට සනීපෙට වෙන්න ඇති.
![]() |
මේක නම් ගුගල් දෙයියාගෙන් ගත්ත එකක් |
තව මෙහෙදී දැකපු දෙයක් තමයි කළු ජාතික ඇමෙරිකානු ගැහැණු ගොඩක් දෙනෙක් බොරු කොන්ඩ දාන එක. එයාලට තියෙන කොන්ඩේ මදි කියල හිතලා වෙන්න ඇති එක එක පාටට කොන්ඩ දාලා. හුගක් අය සුදු පාට කොන්ඩ දාලා. ඉතිං දැක්ක ගමන් තේරෙනවා මේක බොරු කොණ්ඩයක් කියලා. කළු හමත් එක්ක සුදුම සුදු කොන්ඩේ දැක්කාම විකාරයක් වගේ පෙනුනත් එයාලගේ කැමැත්තනේ කියලා ඉන්න තමා තියෙන්නේ.
ඇමෙරිකාවට ආපු දවසට පස්සෙ දවසෙම අපිට පැය 16ක දුර ගමනක් යන්න සිද්ද වෙලායි තිබුනේ. ඉන්ඩියානා කියන ප්‍රාන්තෙට. අපි පාන්දරම පිටත් උනා. නැත්නම් ඉතිං ඊට පහුවදා තියෙන සෙමිනා එකට යන්න ලැබෙන්නේ නෑ. ලංකාවෙයි මෙහෙයි වෙලාව වෙනස නිසා ඇති වෙන නිදිමත මැද්දෙම තමා මට යන්න උනේ. ප්‍රාන්ත අතර යන්න තියෙන්නේ හයිවේ වල. ආයේ මොනවද එක දිගට එලවාගෙන යන්න තියෙන්නේ. මහන්සි උනාම නතර වෙලා පොඩ්ඩක් මහන්සි නිවාගෙන යන්න තැනුත් තැනින් තැන හදලා තියෙනවා. සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගෙන, ඕනෙනම් සල්ලි දාලා කොපි කෝප්පයක් අරන් බීලා ගිය හැකියි. අපිත් සෑහෙන්න නවත්ත නවත්ත තමා ගියේ. කන්න බොන්න, පෙට්‍රල් එහෙම ගහන්න ඕනේ නම් ඒවාට යන්න පාරෙන් අයින් වෙලා යා යුතු තැන් තියෙනවා.
![]() |
මේ තියෙන්නේ ඒ වගේ මහන්සි නිවන්න ඉන්න තැනක් (Rest Area) |
මාර්ග සංඥා නියම විදිහට තියෙනවා.වේග සීමා,ලේන් ඉවර වෙන විදි දහසකුත් එකක් බෝඩ්. එලවන කෙනෙක් ඉතිං ඔය ඔක්කොම බලාගෙන යන්න ඕනේ. මට දැනුන විදිහටනම් මාර්ග සංඥා ලංකාවට වඩා වැඩියි වගේ. ඒත් මිනිස්සු ගානට යනවා. නොයන මිනිස්සුත් නැත්තෙ නෑ. ඒත් ලංකාවට සාපේක්ෂව හරිම අඩුයි. ඒ වගේම පොලිස් පප්පලත් හැම තැනම ඉන්නවා. පප්පලා කියනවට වඩා ඉතිං අයියලා වගේ තමා :D. පගා ගැහිලි අනං මනං කතා මුකුත් නෑ. මාර්ග නීති කැඩුවොත් බේරිලි බොරු. ආහ් තව දෙයක් ලේසියකට හෝන් සද්දයක් අහන්නත් නෑ. ලේසියෙන් මෙහෙ මිනිස්සු හෝන් ගහන්නේ නෑ.
![]() |
කොහොමද නම පටස් කාලා :D |
මහා මාර්ග නම් සෑහෙන ලොකුයි. පාර දෙපැත්තෙම ලොකු ගස්. සමහර මාර්ග වල දෙපැත්තට යන මාර්ග දෙක මැද්දේත් ගස්. මෙහෙ ආපු විස්තර අහන්න යාළුවො කතා කලාම මං කියනවා ගස් ගොඩයි, ලංකාවටත් වඩා කියලා. සමහරු විශ්වාස කලෙත් නෑ. මට මතක විදිහට සිරා කොලුවා හිතුවෙත් මෙහෙ ගස් අඩුයි කියලා. කොටින්ම මමවත් මෙච්චර ගස් බලාපොරොත්තු වුනේ නෑ. ෆිල්ම් වල ගොඩාක් පෙන්නන්නෙම ඉතිං ටවුන් එකක් අල්ලගෙනනේ. ඒත් මෙහේ මිනිස්සු සෑහෙන්න ගස් ආරක්ෂා කරන බවක් තමා පේන්න තියෙන්නේ. ටිකක් ගම්බද වගේ සමහර මාර්ග වල යනකොට මට හිතෙන්නෙ හබරණ කැලේ මැද්දෙන් යනවා කියලා. ඒ තරම් ගස්. පාරක් හදන්න ඕනේ වෙලා ගස් කැපුවොත් පාර හදලා ඉවර වෙලා ආයේ ගස් වවනවා. ගස් වගේම තමා සත්තුත්.
![]() |
මාර්ගයට යාබද රුක් ගොමුවක් |
ඒ පාරවල් වලදී දකින්න වෙන සත්තු නෙ. හුගක් ගෙවල් කිට්ටුවත් සත්තු දකින්න පුළුවන්. හාවෝ, ලේන්නු වගේ. ලේන්නු කිව්වට ඉතිං ලංකාවේ වගේ තුන් ඉරි අප්පුලා නම් නෙවේ. ලංකාවේ දඬු ලේනෙක්ගේ ප්‍රමාණයේ විතර එකෙක් තමා මෙහෙදි වැඩිපුරම දකින්න හම්බෙන්නේ. උන් එච්චර මිනිස්සුන්ට භයත් නෑ. . ලංකාවේ වගේ තුන් ඉරි අප්පු කෙනෙකුත් මෙහෙ ඉන්නවා. හැබැයි උගේ නැට්ටේ ලොම් නෑ. මීයෙකුගේ වාගෙයි ඒකාගෙ නැට්ට. මක් වෙලාද දන්නේ නෑ. උන් ගස් දිගේ යන්නෙත් නෑ. බිමමයි යන්නෙ. හාවොත් හුගක් වතු වලට ඇවිත් නිදහසේ තණකොළ එහෙම කාලා යනවා. ලංකාවේ නිදහසේ ඉන්න හාවෙක් දැක්ක කාලයක් මතක නෑ මටනම්. මෙහෙ සත්තු නිදහසේ ඉන්න පාටයි.
![]() |
මේ අපි ඉන්ඩියානා වල ගියපු විශ්ව විද්‍යාලයේ හිටපු ලේනෙක් |
ඇමෙරිකාවෙ කෑම බීම ගැනත් නොකියම බෑනේ ඉතිං.ලෝකේ තියෙන හැම රටකම වගේ කඩ තියෙනවා මං හිතන්නේ. ලංකාවේ ඒවානම් අඩුයි හැබැයි. තාම යන්න බැරි උනා. ලංකාවේ කෑම කඩේකට. චයිනීස්, ඉන්දියන්, ඉතියෝපියන්, එජිපිට්, ඉටලියන් එක එක ජාතියෙන් කෑම කඩ. එක එක කඩ ට්‍රයි කළා ඉතිං. අපරාදේ කියන්න බෑ කෑම ඒකෙන් භාගයක් විතර අහක. මං වැඩිය කන කෙනෙක් නෙවේනේ. ඒත් දෙන්නේ මෙහෙ මිනිස්සු කන විදිහටනේ. සෑහෙන ගොඩක් කන්න අරන් ඉතුරු කරන එක තමා විදිහ. ඉතුරු කලත් ඒ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් බඩේ. ඒ වගේම තමා ගෘහ භාණ්ඩ. හුගක් අය පොඩ්ඩක් එහා මෙහා වුන ගමන් පුටු සෙටි, කබඩ් කුණු බක්කියට තමා දාන්නේ. අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ කුණු බක්කිය ගාව එක පාරක් හොද කබඩ් එකක්, තවත් දවසක පුටු සෙටි එකක්. කුණු දානකොටත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් බඩු දකින්න ලැබෙනවා කුණු බක්කිය ඇතුලේ.
ඇමරිකන් මිනිස්සු හරිම මිත්‍රශීලීයි. දැක්ක ගමන් හිනා වෙන හායි කියන අය තමා වැඩි. එහෙම උනාට අනුන්ගේ වැඩට ඇගිලි ගැහිලි එහෙම නෑ. ඇත්තම කිව්වොත් අපි දන්නෙත් නෑ මේ අපේ ගෙදරට එහා ගෙදර ඉන්නේ කවුද කියල. :D
මම මේ ලිව්වෙ මෙහෙ ඇවිත් ගතකල මාස එක හමාරට මට ඇමෙරිකාව ගැන දැනිච්ච දේවල් ටිකක් තමා. එහෙත් සෑහෙන කාලයක් මෙහෙ හිටපු අයට තව කියන්න දේවල් එහෙම ගොඩාක් ඇති. එහෙම අයට ඒ විස්තර කමෙන්ට් එකක් විදියට බෙදා ගන්න ආරාධනා කරනවා.
මේ තියෙන්නෙ මම ගත්ත පින්තූර ටිකක්.
ලෝකේ පුරාම නගර වල නම් මෙහෙ තියෙනවා. නගරනම් මදෑ රටවලුත් තියෙනවා. යන අතරමගදී අපි ඊජිප්තුව එහෙම බලාගෙන ගියේ. :D
![]() |
සමහර ගිමන් හල් ඇතුලේ ඒ ඒ ප්‍රාන්තේ විශේෂ දේවල් ප්‍රදර්ශනයට තියලා තියෙනවා |
![]() |
සෝයා වතු යායක් |
![]() |
මාර්ගය අද්දර වවා තිබෙන මල් |
![]() |
විශ්ව විද්‍යාලයක් තුල |
![]() |
අපි බලන්න ගිය සත්තු වත්තක හිටපු මේස් දාගත්ත කුකුළෙක්. මුගේ කකුල් දෙකේත් පිහාටු හරියට මේස් දැම්මා වගේ. |
![]() |
ගගක් හරහා ඉදිකර ඇති පාලමක් |
![]() |
කන්දක් මැදින් ගමන් කරනා මාර්ගයක් |
මාසයේ අවසාන ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
නිසුපා හෙට්ටිවත්ත.
ප.ලි
කලකට පෙර සිංහල බ්ලොග් අවකාශය තුල නිතරම දැකිය හැකි මුහුණක් වූ නිසුපා තම පුද්ගලික ජීවිතයේ කටයුතු සමග බ්ලොග්කරණයෙන් මේ වන විට ඈත් වී සිටියි. නිසූගේ කථා යන නමින් ඇය පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිය සිරාගේ කාමරයට එන යන බොහෝ අයට මතකයේ ඇතුවාට සැක නැත. බ්ලොග් කෙරුවාවට පිවිසීමෙන් පසු සිරා කොලුවා වන මම උපයාගත් මිතුරු මිතුරියන් අතර ඇය සුවිශේෂී චරිතයකි. මූණු පොතෙන් සිදුකල කථා බහකදී ඇගේ වර්තමාන අත්දැකීම් සිරාගේ කාමරය සමග බෙදාගන්නට මා කල ඇරයුමට ඇය ලබාදුන් ප්‍රතිචාරයට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. නිසූ....ඔබට ජය !