ඔන්න සිරා අද කියන්න යන්නෙත් වෙනස් කථාවක්... අලුත් කථා අහන්න, කාමරේට එන ඇත්තො බොහොම මනාපයි කියලා දැනගත්තට පස්සෙ ඒවායින් තව එකක් කියන්නයි මේ වෑයම... මම මේ කියන්නෙ මීට දශකයකට එහා වෙච්ච සිදුවීමක්. සිරාට වඩා වසරකින් බාල ගමේ හිච්චො කාලෙ ඉදන් හිටපු යාලුවෙක් හිටියා ලක්මාල් කියලා. මේ හාදයා මේ කියන අවුරුද්දෙදි තමා අ.පො.ස උ/පෙළට පෙනී හිටියෙ ඒ ගණිත අංශයෙන්... කොතරම් දක්ෂයෙක් වුනත් විභාගෙ නම් අන්තිමටම අනා ගත්තා... ඒ ලව් හුටපටයක් නිසා... අනේ සංසාරේ මට ඒ කාලෙ මතක් වෙනකොටත් බඩ පපුව දාලා යනවා.. ඒ තරම් පවු මේ කොලුවා...
සිරා , ඇතුලු කාණ්ඩෙම උසස් පෙළට පාඩම් කරන්න ගම්පහ ටවුමෙ මහජන පුස්තකාලෙට තමා ගියෙ... පුස්තකාලෙ එක් කොටසක් වෙන් වෙලා තියෙන්නෙ විභාග වලට පාඩම් කරන අපි වගේ අයට... සාමාජික කාඩ්පත ගත්තට පස්සෙ මේ කොටසේ පාඩම් කරන්න යන්න කාටත් පුලුවන්... උදේ 8.00 සිට සවස 6.00 දක්වා එතැන සිටිය හැකියි. ගෑණු දරුවොත් පාඩම් කොරන්න එන නිසා අපේ කොල්ලන්ටත් උනන්දුව වැඩියි... ඇතුලෙදි කිසිම කථා බහක් බෑ පාඩම් විතරයි.. ඒත් අංග චලන වලින්, ඇහැ භාගෙට වහලා ගහන ඒවායින් දෙපිරිස අදහස් හුවමාරු කරගත්තා. ලක්මාල් කොලුවත් මේ කොටසට ආවා ගියා...
අපේ ගමේම දැරිවියක් තමයි දේශානි කියන්නෙ... මෙයා වගේම ලක්මාලුත් එකම වයසේ.. දෙන්නගෙ නිවෙස් පිහිටා තිබුනෙත් එකිනෙකට මුහුණලා ටිකක් දුරින්... දේශානි ඇත්තටම උදේ පිපිච්ච මලක් වගේ සුන්දර කෙල්ලෙක්... කරල් දෙකට කොන්ඩෙ ගොතලා මුතුකැට වගේ දත් පෙන්නලා හිනාව දාගෙන යද්දි, ලෙඩක් නැති ඕනෙ කොල්ලෙක් එයා දිහා බලනවා... ගම්පහ ප්‍රධාන පාසල් වල තමයි මේ කියන චරිත දෙකම අධ්‍යාපනය ලැබුවෙ.. ගමේ කමට ලක්මාල් එක්ක එයා හරිම හිතවත් ඒ යාලුකමක් විතරමයි...
ඔන්න ඉතිං කෙලපි තාප්පෙට කියලා මේ කෙල්ලත් අපේ පාඩම් කරන කොටසට ආවා...ඒ වෙද්දි ඒගොල්ලන්ට උ/පෙ ලියන්න වසරක්ම තිබ්බා.. ඒ උනාට සිරා උ/පෙ ලියන වසර, වසරකට කලින් ඉදන් මේ විදියට මහන්සි වෙන්නෙ ගොඩ යන්න ආසාව තියෙන කෙල්ලො / කොල්ලො නිසා සිරාගෙ වයසෙ අය මේ වගේ අයට නොදන්න දේවල් කියා දුන්නා කිසිම ලෝභ කමක් නැතුව...
දැන් ලක්මාල් වගේම දේශානිත් පුස්තකාල ගොඩනැගිල්ලට වෙලා අනාගත සිහින සාක්ෂාත් කරගන්න පාඩමේ යෙදෙනවා... ටික දවසකින් අර බෝවෙන ලෙඩේ හැදුනෙ නැතෑ මේ ලක්මාල් කියන එකාට
මොන ලෙඩේද ?
ලව් අමාරුව බොලව්, ලව් අමාරුව
තමන්ගෙ ගමේ හැමදාම දැකපු කෙල්ල ගැන මේකාට හිතක් පහළවෙලා, පුස්තකාලෙට පාඩම් කරන්න ආවට පස්සෙ. මේ වගේ සද්කාර්යයකට පුස්තකාලෙ හිටපු සිරා ඇතුලු කොලු නඩේම සපෝට් එක දෙන්නෙ පැනපු ගමන්... එතනදි පාසල කොහෙද අරව මේවා නෑ... කොල්ලො ඔක්කොම එක පවුලක් වගෙයි හිටියෙ... ඒත් දැරිවියො නම් එහෙම හිටියෙ නෑ.. උන් එකෙක්ට එකෙක් නෑ...බොලව් ඇත්තමයි.. ජන්ම ගතිය වෙන්න ඇති.
දැන් ලක්මාල්ගෙ හිතේ දේශානි රජවෙලා.. ඌට රෑ හීනෙන් කථා කරනවලු / මල්වතු උයන්වතු වල සිරි නරඹන්න අඩගහනවලු/ බැන්දට පස්සෙ ලැබෙන ළමයින්ට දාන නම් මොනවද කියලා අහනවලු... කෙටියෙන් කියනවා නම් මේකා සෙවල පෙරාගෙන දැන් ෆුල් ලව්.
මුලින් මුලින් ඉගියෙන් පටන් ගත්තා, තව ටික කාලෙකින් එකට බස් එකේ යන්න පටන් ගත්තා, තවත් ටික කාලෙකින් නිවාඩු දවස් වලට බයිසිකල් කටුවකින් ගෙවල් පැත්තෙ හවසට හවසට කැරකෙන්න වුනා . අන්තිමට ඕනෙ මගුලක් කියලා අපි වගේ උන්ගෙ උපදෙස් පිට කෙලින්ම ඩිරෙක්ට් කැමැත්ත විමසුවා...
මොනවා වෙන්න ඇති කියලද බොලා හිතෙන්නෙ ?
මම වතුර වීදුරැවක් බීලා එනකම් හිතපල්ලා බලන්න, උඹලටත් යමක් කමක් තේරෙන
උන්ද කියලා දැනගන්න.
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
වෙන මොනවා වෙන්නද බොලව් කෙල්ල ගත් කටටම බෑ කිව්වා, මට ඔයාව හැමදාම යාලුවෙක් විතරයි මට එතනින් එහාට දෙයක් ඔයාගෙන් එපා කියලමයි දේශානි කෙල්ල කිව්වෙ. ලක්මාලයා ඒ වෙනකොටත් ඇගේ පාසලේම දැරිවියො කීප දෙනෙකුටම සෙනේ කොල යවා තිබීමත් / පාසල් යන උන් අතර නමක් දිනා සිටි බේබද්දෙකු වීමත් එයට හේතු වුනා...
අනේ හොදට වැඩ කරගෙන ආපු ලක්මාල් දැන් දැන් කිසිම වැඩක් කරන්නෙ නෑ... උගෙ විෂයම කරපු කොල්ලො ඌට පුලුවන් තරම් උදව් කලා මානසිකව සන්සුන් වෙන්න. ඒත් අර කෙල්ල පේන්න නැත්නම් මේකා ගිණි කසයා වගේ වැඩ ඒ දැරිවි ආපු ගමන් එයා දිහා බලාගෙන මනෝලොව රජ වෙනවා.. ටික දවසක් ගියාට පස්සෙ ඌට අලුත් ලෙඩක් හැදුනා.. දේශානිව දැක්ක ගමන් පොත් පත් ටික අකුලගෙන ගෙදර යන තරමට අපේ කොලුවගෙ ලෙඩේ උත්සන්න උනා. දවසක් මේකා ගෙදර යනකොට කොල්ලො පිරිස උගෙ පොත් ටික උදුරලා ගත්තා ගෙදර යන්න එපා කියලා.. උඹලා එහෙනං ඔය ටික තියා ගනින් කියලා ඌ එදත් ගෙදර ගියා.....
අවසානයේ මේ වැනසී යන ජීවිතය වෙනස් කරන්න අපි හැමෝම ඌට උදව් වුනා... අපේ සාම සාකච්ඡා වලින් පස්සෙ දේශානිගෙ යාලුවො පවා දෙන්නා සැට් කරන්න ට්‍රයි එක දුන්නත් ඒකි නෙමෙයි වචනෙ වෙනස් කලේ...
පවට පින දෙන්න බෑ කිව්ව වගේ අවසානයේ සිරාගෙ වයසෙ පිරිස විභාගෙ හෙම ලියලා පුස්තකාලෙන් සමුගත්ත නිසා මේ ප්‍රේම පුරාණයට මොකද වුනේ කියලා දැනුවත් වීම අඩු වුනා... එක ගමේ ජීවත් වුනාට මේ දෙන්නම ඊට පස්සෙ මටත් හමුවුන වාර ගණන අඩුයි.
ඔන්න කාලයක් ගත වුනාට පස්සෙ ලක්මාල්ගෙ ලගම යාලුවෙක් වෙච්ච කොලුවෙක් මට ඒ විස්තරය දෙසා බෑවා... ඌට අපි කියමුකො සංජය කියලා...
පුස්තකාලෙන් අපේ පිරිස සමුගත්තට පස්සෙ ලක්මාල්ගෙ සහයට හිටිය අයත් නැතිවුන නිසා ඌ සෑහෙන්න මානසිකව වැටිලා පුස්තකාලෙට යන ප්‍රමාණය අඩු කරලා බිමත්කමට ඇබ්බැහිවෙලා / අරක්කු / සූස්ති වලින් සැනසෙන්න පටන් අරන්... ගංජා ගහලා හැමදාම දේශානිගෙ නම කියලා කෑ ගහලා අඩනවලු... මේ වගේ සංවේදී දසුනක් තවත් බලන් ඉන්න බැරි කමත්, විසදුමක් සෙවීමේ අපහසුවත් නිසා මේ පිරිස ඊළගට යොමුවෙලා තියෙන්නෙ නොපෙනෙන බලවේග වල පිහිට පැතීම හෙවත් හිංහලෙන් කියනවා නම් වශී කොරන්න.
සංජය කියන්නෙ නුවර පලාතෙ වලව් පැලැන්තියෙන් පැවත ආපු එකෙක්... ගම්පහ නෑදෑ ගෙදරක නැවතිලා තමයි අධ්‍යාපනය ලැබුවෙ.. ලක්මාල් වගේම සංජයත් එකම පාසලේ.. මැණික් හින්නෙ ගුරෙක් මගින් වශී කිරීමෙන් පීඩිතයා වෙත සැනසුම ගෙන ඒම තමයි උන්ගෙ අදහස වෙලා තියෙන්නෙ... කවුරු කොහොම කලත් මේවා නම් මහ සහගහන අපරාධ හැටියට තමයි සිරා නම් පිළිගන්නෙ. මම දැනුවත්ම හැබැයි මේ වගේ දේවල් වලින් වශී කරගත්ත එකෙක්වත් නෑ...
සංජය ඒ පළාත කිට්ටුවම කෙනෙක් නිසා මේ වැඩේට මැදිහත් වෙලා, ලක්මාල් කැටුව ඒ ඉසව්වට ගිහින් තියෙන්නෙ, උගෙ ඉල්ලීම අනුව, ගිය දවසෙ ඉදන් මල් සුවය හෙව්වට කවුරැවත් ඒකාට මලක් පේන්න වත් තියලා නෑ... කොහොම හරි ගුරා මාර්ගයෙන් කස්ටිය වැඩේ කරගෙන.
දරැවො මේ මතුරපු වැලි ඒ දැරිවිගෙ මිදුලට ඉහළා වරු තුනක් යනතුරැ එයාට පේන්න එහෙ මෙහෙ යන්න, මේ සුරය ඉනේ බැදගෙන... හැබැයි කථාවට යන්න එපා... ඔන්න ගුරුන්නාන්සේගේ අවවාදය.. දහසින් බැදි පියළි එහෙම පුදලා මේ පිරිස දැන් නුවර ඉස්ටේසුමෙන් කොළඹ එන සීඝ්‍රගාමී දුම්රියකට නැගලා...
දුම්රියට නගින්න ඉතා ආසන්නව ලක්මාල් කොලුවා ඒ පැත්තෙන් මත්වෙන පෙත්තක් වෙනුවට පෙති කීපයක අරන් පානය කරලා.. ඒ ගන්න ඕනෙ මාත්‍රාවට ඉතාම වැඩියෙන්... දුම්රියෙ ඇතුලෙදි මේකගෙ සිහිය විකල් වෙලා දැන් පිස්සෙක් වගේ දගලන වලු... කෙල්ලගෙ ගෙදර මිදුල කියලා දුම්රිය ඇතුලෙම මතුරපු වැලි ඉහින්න හදනවලු, ලෙඩ ගොඩයි... අනේ තනියට ගිය උන්ට දැන් දහසක් ප්‍රශ්න.. එකෙක් වැලි මල්ල පරිස්සම් කරනවලු... එකෙක් සුරය පරිස්සම් කරනවලු.. තව එකෙක් මේකා දුම්රිය මගීන් ගෙන් හොදට සප්පායම් වෙයි කියලා සීට් එකට හේත්තු කරලා නිදිකරවන්න හදනවලු...
කොහොමින් කොහොම පිරිස ගම්පහ දුම්රිය ස්ථානයටත් ආවා කියමුකො... දුම්රියෙන් බැහැලා ඉදිරියට එනකොටම ලක්මාල් වැලි මල්ල උදුරගෙන ඉස්සරහට දුවලා... අනිත් උන් උගෙ පස්සෙත් එළෙව්වත් සුනංගු වැඩී.
අදින් පස්සෙ උඹ මගෙයි කෙල්ලෙ
කියපු ලක්මාල් ගම්පහ දුම්රිය පොල ඉදිරිපිට තාර පාරට දේශානිගෙ ගෙදර මිදුල කියලා හිතලා දහස් ගාණක් වියදම් කරගෙන, දවස් ගාණක් මහන්සි වෙලා ගෙනාපු වැලි ටික දමා ගහලා.... ඒ ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යන සිය ගණනක් කෙල්ලන්ගෙ උසුලු විසුලු මධ්‍යයේ.
හනේ හනිච්චේ.... පවු ඉතිං කාගෙ හරි දෙමාපියෙක්ගෙ දරුවෙක්නෙ...
කියපු ලක්මාල් ගම්පහ දුම්රිය පොල ඉදිරිපිට තාර පාරට දේශානිගෙ ගෙදර මිදුල කියලා හිතලා දහස් ගාණක් වියදම් කරගෙන, දවස් ගාණක් මහන්සි වෙලා ගෙනාපු වැලි ටික දමා ගහලා.... ඒ ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යන සිය ගණනක් කෙල්ලන්ගෙ උසුලු විසුලු මධ්‍යයේ.
හනේ හනිච්චේ.... පවු ඉතිං කාගෙ හරි දෙමාපියෙක්ගෙ දරුවෙක්නෙ...
බීපු පෙතිවල සැරට උගෙ මූන දවස් කීපයක් ඇද වෙලා තිබ්බෙ... සිරා ඇස්දෙකට දැක්කා උගෙ මූණ කුරැළෑ වලින් වැහිලා අදුනගන්න බැරි මට්ටමට තිබුන ඒ දින කීපය.
කාලයේ ඇවෑමෙන් දේශානි කොල්ලෙක්ට සැට් වෙලා විවාහ වුනා, ඊට පස්සෙ විදේශ ගතවුනා...
ලක්මාල් ගාමන්ට් පාඨමාලාවක් හදාරලා යන්තම් රැකියාවකුත් හොයා ගත්තා... එතනදි තමන්ට ගැලපෙන්නෙ නැති ඈත පළාතක කෙල්ලෙක් එක්ක සැට් වෙලා විවාහ වුනා...
වර්තමානයේ මේ දෙන්නම ආයෙත් ගමේ ඉන්නවා...
දේශානි දැන් අම්මා කෙනෙක්
ලක්මාල් දැන් තාත්තා කෙනෙක්
තම තමන්ගෙ දරුවො වඩාගෙන ගෙයි මිදුලෙ හිටගෙන හැන්දෑවට හැන්දෑවට එකිනෙකා දිහා බලාගෙන ඉන්න මේ ජෝඩුව අදටත් සිරාගෙ නෙත ගැටෙනවා...ඒ අවස්ථාවක තමයි මේ අතීත කථාව සිරාට ආයෙත් මතක් වුනේ.
තමන්ට අකමැති කෙල්ලෙක්/කොල්ලෙක් කවදාවත් මේ විදියට බලෙන් අයිතිකරගන්න හදන්න එපා... එයා අකමැති නම් ඒ ගැන අමතක කරලා තමන්ගෙ අනාගතේට වැඩ කරගන්න.. වශී හොරුන්ට සල්ලි පුදන්න යන්නෙ නැතුව.
ඒ ටික තමයි මේ පෝස්ටුව කියවන අයට සිරාට දෙන්න තියෙන පණිවිඩේ...
මේක කියවපු බොලාලගෙ අදහසුත් පහළින් කොටලම යන්න...
ඒ ටික තමයි මේ පෝස්ටුව කියවන අයට සිරාට දෙන්න තියෙන පණිවිඩේ...
මේක කියවපු බොලාලගෙ අදහසුත් පහළින් කොටලම යන්න...
මම සයිබරයේ අලුත් මිතුරා සිරා......
උඩ පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින්..