Wednesday, April 20, 2022

40 නැට්ට කොටා

සිරා කොලුවා කාමරයේ දොර සෑහෙන කලෙකින් විවෘත කොට නැත. ඒ නිහඬතාව බිඳිමින් 2022 වසරට ලිපි දෙක තුනක් හෝ ලියා තබන්නේයැයි අධිටනින් මේ ලියමන අරඹමි. එදා මෙන්ම අදත් සිරාගේ කාමරයේ පයුරු පාසානමට ළබැඳිව සිරා කොලුවෝ තෝ ලියන්නේ නැද්දැයි අසා විමසූ සැමට ස්තූතියි...

සිරා කොලුවා මැලේසියාවේ සිට සිරි ලංකාවට ආනයනය වූ 2015 වසරේ අග භාගය වන විට අපේ ගෙවත්තේ කෙළවරක බයාදු බැල්මෙන් බලා ඉන්නා හිමිකරුවෙකු නැති කුඩා නැටි කොටයක් සහිත අහිංසක සුනඛයෙක් වූවේය. බැලූ බැල්මට අහිංසක කමේ ප්‍ර‍තිමූර්තියක් බඳු වූ මේ සත්වයා කාලයක් කොහේ හෝ නිවහනක සුරතලෙන් ඇතිදැඩි වී හදිසියේ ඇති වූ හේතුවක් මත මංමුලා වී සිටින බවක් ප්‍ර‍කට විය. නව අවුරුදු ප්‍රීතිය විඳගැනීමට පත්තු කරනා රතිඤ්ඤා වල හඬට බියෙන් හෝ චූන් පාන් රථයේ මාමා මග දිගට විසි කරනා පරණ බනිස් කෑමට රථය පසුපස දිව ඒමේ ආනිශංසයෙන් මේ හාදයා අපේ ගම් පියසට අනාරාධිතවම පැමිණ සිටියේය.

ගමේ කිසිදු නිවෙසකින් මේ අමුත්තා පිළිගන්නට සූදානමක් නොතිබුන හෙයින් ඒකා එක එකාගේ ගල් මුල් පහරින් පීඩාවට පත්වෙමින් ඇකිලුන කුසත් දරාගෙන අතනින් මෙතනටත් මෙතනින් අතනටත් දුවනා දසුන සංවේදී මගේ හිතට බර වැඩි වූයෙන් මම මගේ මෑණියන් දෑ ඇමතීමි.

මේ සතා පව්..අපි හදා ගමු...

එහෙත් ඒ අරභයා මෑණියන්ගෙන් ලැබුනේ යහපත් ප්‍ර‍තිචාරයක් නොවේ. දේව පාදයක පිහිටියා යැයි කියන අප නිවසේ සුනඛයන් සඳහා දිගු ආයුෂ නොමැති බවත්, කුමක් හෝ සුවකල නොහැකි රෝගයකින් ඔවුන් වේලාසනින් ජීවිතය නිම කරන බවත් ඒ වන විට අප ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන සිටීම ඇගේ ඒ විරෝධයට පාදක වී තිබුනි. ඇගේ දැඩි ප්‍රතිරෝධය නිසාම මම පසුපස පාදයට නැවතත් වැටුනි.

ඒ එක්තරා වැසි සමයක ආරම්භය වූවේය. දින කීපයක් එක ලග වැටුන වැහි කෝඩය නිසාම එක්තැන් වූ ජලයෙන් නිර්මාණය වූ කුඩා ජල තටාකයක් අප නිවස ආසන්න පහල වෙලේ තිබුනි. පෙර දින රාත්‍රියේ ඉතිරි වූ බත් සහ වෙනත් අඩුම කුඩුම සහිත කසල ඉවත ලන විට බත් දංකුඩ කීපයක් මේ කියන තටාකයේ අගල් 5-6 කට නොවැඩි වූ ජල තටාකය යට සැගව ගොස් තිබුනි.

දුඹුරු පැහැ කුඩා ශරීරයක් හිමි, කුසගින්නත්, භියත් එක්ව නිර්මාණය වූ අහිංසක බැල්මක් සහිතව උන් සුනඛ තෙමේ තව දුරටත් දැරිය නොහැකි කුසගින්න නිසාදෝ ඉහළින් වූ ජල තලය තරනය කරමින් දිය යට වූ බත් දංකුඩ ඇහිලීමට තම දිව ජලය තුලින් පහලට යවන්නට දරනා උත්සාහය හදිසියේ මගේ නෙත ගැටුනි. ඒ අවස්ථාවේ මේ අහිංසකයා කෙරෙහි මා සිතේ උපන් අනුකම්පාව නිසාම දැනුන කම්පනයේ ආනුභාවයෙන් මෑණියන්ගේ අවසරය ඇතත් නැතත් ඒකා හදාවඩාගන්නට මම තීරණය කළෙමි.

ආතක් පාතක්, යන්න එන්නට තැනක්, ඉන්නට ලගින්නට, ආරක්ෂා කරන්නට භූමියක් නොමැතිව එතෙක් කල් එහේ මෙහේ ගිය සුනඛ තෙමේ හට දැන් නව නිවසක්, ස්වාමියෙක් ලැබී තිබේ. ඒ කාරණය කෙසේ වෙතත් කිණිතුල්ලන් හා මිනිස් වෙසින් සිටිනා යක්ෂයින් විසින් එල්ලකල කැට කැබිලිති නිසාවෙන් ඇති වූ තිබූ ලොකු කුඩා තුවාල කීපයක් උදෙසා ප්‍ර‍තිකාර කොට මේ සත්වයා සුවපත් කරන්නට මා ඉටා ගතිමි. 

දිය නාවන්නට රැගෙන ගිය විට කෙතරම් කාලයකින් මේ බලු තෙමේ දිය නා නැද්දයි මා හට ප්‍ර‍ත්‍යක්ෂ වූයේ ජලය කෙරෙහි දැක්වූ අසීමිත භිය නිසාවෙනි. එහෙත් ජලය ස්නානය කොට සබන් ගා ශුද්ධ පවිත්‍ර‍ කරන්නට මා හට ඉඩ දුන්නා සේම ඒකාත්මිකව මදෙස බලාසිටින්නටත් ඒකා අමතක කලේ නැත.

ඒ ආසන්න කාලයේම රජයේ පිස්සු බලු එන්නත් වැඩසටහන අප ගම්මානයට සපැමිණි නිසා සියලු බලු උවදුරු දූරින් භූතව ගියේය. කුස පිරෙන්නට ලැබෙන ආහාරත්, කලින් නොලැබුන ආදරය, කරුණාව සහ නිදහස දැන් ලැබෙන නිසාත් සුනඛයා කෙටි කලකින්ම පෘෂ්ටිමත් වූවේය. ඒකාට බැරි කාලයේ කෙණෙහෙලි කම් කල උන්ගෙන් පළිගැනීමේ කුරිරු උවමනාවකින් බලු තෙමේ දැන් පෙලෙයි.

අප නිවසට යාබද නිවසක වෙසෙන වයසක අනුලාවතී උන්දෑ ඔවුන්ගේ නිවසේ විසූ දේහදාරී සුනඛයා මේ අහිංසකයාට එරෙහිව නොයෙක් වර සටනට කැඳවා තිබූ අතර කාය ශක්තියෙන් හීන වී ගිය අසරණයා මෙවැනි සෑම විටෙකම පීඩාවට පත්ව පරාජය වැළදගෙන තිබුනි.

එහෙත් දැන් සියල්ල වෙනස් වී තිබේ. තමන්ට හිමිකරුවෙක් සහ රකින්නට භූමියක් ඇති බව දන්නා අපගේ බලු රාළ ඒකාට අඩත්තේට්ටම් කල දේහදාරී සුනඛයාගෙන් පළිගැනීමට කුරිරු ආශාවකින් බලා සිටියේය. දකින දකින සෑම විටෙකම සටනට යන, අප විසින් වළක්වාලන නිසා අකමැත්තෙන් පසුබසින, ශරීර ප්‍රමාණයෙන් ඒකාට වඩා බොහෝ සේ කුඩා වුවත් නිර්භීතභාවයෙන් ඉතා ඉහළ තැනක සිටි අපගේ බලු තෙමේ එක් දිනයක මේ සුනඛයාට දරුණු සේ සපා කා මාරාන්තික තුවාල ඇති කොට තිබුනි. මාස දෙක තුනක් නිවැසියන් විසින් ප්‍රතිකාර කලද ඒ උත්සාහයන් නිෂ්ඵල කරමින් ඒකා තීන්දු ගමන් ගියේය. එතැන් සිට අප අවට රාජධානියේ පාලනය අපගේ නව සුනඛ සුරතලා හෙවත් නැට්ට කොටා සතු වූවේය.

මෙයට පෙර නොයෙක් වර මවිසින් සුරතල් සතුන් ඇතිදැඩි කොට තිබුනත් ඒ හැමටම වඩා මේ අලුත් හාදයා මගේ සිත් ගත්තේය. රැකියාව නිමවී නිවසට පැමිණ විනාඩි කීපයක් යනතුරු උස් හඬින් උගේ සතුට ගායනාවක් සේ ප්‍රකාශ කරන අන්දම මම මහත් අභිරුචියෙන් විඳගතිමි. කිසිදිනෙක අප විසින් කූඩුවකට කොටු නොකොට, අප භූමියේ නිදැල්ලේ සිටීමට අවසර දී තිබුන නිසාම නැට්ට කොටා සිත් සේ ඔබ මොබ ඇවිද ගියේය. කිසිවෙකුට ප්‍රචණ්ඩත්වය පාන්නේ නැති නිසාම අපගේ අසල්වැසියන්ගෙන් පැමිණිලි කිසිවක් ලැබුනේද නැත.

දිය ස්නානය පිණිස රැගෙන යන්නට උත්සාහ කරන බවක් දැනුන විටෙක මේකා අල්ලාගැනීම ඉතාම අපහසු කාරියක් වූවේය. නිවසින් ඈතට දිවයන නැට්ට කොටා නැවත අල්ලාගැනීමට විවිධ ක්‍රම අත්හදා බැලීමට මා හට සිදු වේ. පැයක් පමණ ගත වූ පසු තත්වය යළි සාමකාමී වී ඇතැයි සිතා නැවත නිවසට පැමිණෙන විට  මගරැක සිට ග්‍රහණයට ගැනීම වඩාත් ඵලදායී වූවේය. එයින් පසු ශරීරයේ සෑම තැනකම ඇති කිණිතුල්ලන් ආදියෙන් ඌ මුදවා, ජලය නහවා, සුවඳ සබන් ඇගේ උලා බලු කුමාරයෙක් කරන්නට තවත් මොහොතක් ගත වේ.

මේ ආකාරයෙන් වසර 3 කට මඳක් වැඩි කාලයක් ගෙවෙන්නට ඇත. දේවපාදයක පිහිටා ඇති අප නිවසේ සුනඛයන් ඇති දැඩි කරන්නට නොහැකි බව ඒ වන විටත් මා හට අමතකව තිබුනේ නැට්ට කොටා හොඳ ශරීර සුවයකින් ඇති දැඩි වූ හෙයිනි. එහෙත් එක් දිනක් උගේ පාදයක ඇති ව තිබුනේ තරමක ඉඳිමුමකි.

මෙයට පෙර වතාවක සර්ප දෂ්ඨනයක් නිසා නැට්ට කොටාගේ අතක යටි පැත්තෙන් කුණූ වී ඉස්ම ගලන තත්වයට පත්ව තිබූ අතර මමත් බිරිඳත් මහත් සේ වෙහෙස වී ගැලපෙන වෛද්‍යවරුන් කරා රැගෙන ගොස්, දිවා රෑ බෙහෙත් දමා එම තත්වයෙන් මුදවා ගතිමු. 

යළිත් වතාවක් එවැනි තත්වයක් ඇතිවී දෝයි සිතූ මම ප්‍රමාද නොවී අපගේ බලු සුරතලා  හැම විටකම රැගෙන ගිය විශ්‍රාමික පශු වෛද්‍යවරයාගේ නිවසට රැගෙන ගියෙමි. එතුමා යම් බෙහෙතක් ෆාමසියෙන් රැගෙන එන ලෙස මා හට පැවසූ නිසාවෙන් වෛද්‍යවරයාගේ මිදුලේ බැඳ තබා තිබුන නැට්ට කොටා සහ මා ප්‍රිය බිරිඳ එහි තබා බෙහෙත රැගෙන ඒමට පිටත් වීමට රථය පණ ගැන්නුවෙමි.

අහිංසක ලීලාවෙන් ගැට ගැසූ තැන සිට මදෙස බලාසිටි සුනඛ තෙමේ, ඒකා එහි තනිකොට මම පිටත්වන්නේ යැයි හැගුන නිසාදෝ මහත් වේදනාවකින් මෙන් කෑ මොර දුන්නේය. ඒ සංවේදී මතකය මේ යුනිකෝඩ් අස්සෙන් දැනුදු මැවී පෙනෙයි.

පළමු ප්‍රතිකාර වටයෙන් පසු තත්වය තවත් නරක අතට හැරී පාදයේ ඉඳිමුම  වැඩි වූ නිසා වෛද්‍යවරයා මා හට යෝජනා කලේ වැලිසර සත්ව රෝහළට රැගෙන යන ලෙසත්, බරවා රෝගය වැළඳී ඇති බවට සැක කරන බවත්ය.

එවකට මම සේවය කරන කාර්යාලයේ පැවති අධික කාර්යබහුල තත්වය නිසා බලු ප්‍රතිකාර උදෙසා නිවාඩුවක් ලබා ගන්නට තවත් දිනයක් දෙකක් ගත විය. ඒ වන විට අපගේ බලු රාළ ආහාර ගැනීම ඉතාමත් අඩු කොට තරමක් කෘෂ වී සිටියේය. හිස පිරිමදින විට වෙනදා අතට හසු නොවූ අස්ථි කොටස්ද ග්‍රහණය වේ.

වැලිසර සත්ව රෝහලේදී....
වැලිසර සත්ව රෝහලේදී...

වැලිසර සත්ව රෝහලේ වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කොට වැළඳී ඇත්තේ බරවා රෝගය බව තහවුරු කළේය. බරවා පරපෝෂිතයා නසන්නට එන්නත් සහ විවිධ බෙහෙත් වර්ග අපගේ බලු රාළ වෙත සපයා තවත් දෑ ෆාමසියෙන් මිලදී ගන්නා ලෙස දන්වා සිටියේය. එහි වූ එක් බෙහෙතක් සොයා ගැනීම බොහෝ සේ අපහසු වුවත් එයද සොයාගතිමි. මේ සමස්ත කාලයම අඩපණව වැතිර සිටි නැට්ට කොටාගේ දසුන මට මහත් වේදනාවක් වූවේය.

ප්‍රතිකාර ලබාදීමෙන් පසු නිවසට රැගෙන විත් සුපුරුදු ස්ථානයේ සුනඛ තෙමේ නැවතත් ස්ථානගත වූවේය. මීළගට බෙහෙත් පොවන්නට ඇත්තේ සවස් කාලයේ නිසා මම හදිසි අවශ්‍යතාවයකට කොළඹට පැමිණියෙමි. ඒ කාරිය ඉටුකරගෙන නිවසට පැමිණෙන විට තවත් පැය කීපයක් ගත වන්නට ඇත.

මා පැමිණෙන විට අපගේ බලු රාළ නිදා ඉන්නා ඉරියව්වෙන්ම තම ජීවිතය අවසන් කොට තිබුනි. බරවා පරපෝෂිතයන් ශරීරය තුල බහුලව ඇති විටෙක කරනා ප්‍රතිකාර නිසාවෙන් උන් මිය යන අතර හදවතට රුධිරය ගෙන යන නාල තුල මියගිය පසු සිරවුවහොත් මෙවැනි මාරාන්තික තත්වයක් ඇති වේ. සංවේදී පුද්ගලයෙකු ලෙස මා හට නැට්ට කොටාගේ සමුගැනීම මහත් වේදනාවක් වූ අතර මේ සුනඛයා මුලින්ම දුටු දිනයේ සිට ඇති වූ සිදුවීම් රූපාවලියක් ලෙස මෙනෙහිවන්නට විය.‍ෙ

අපගේ සුරතලාගේ රූපකායට සමුදී, ඒකා වළ දැමීමෙන් පසුව මෙයට වඩා දුක්ඛදායක අවසානයක් උරුමව සිටි සත්වයෙකුගේ ඉරණම යම් තරමකට හෝ වෙනස් කිරීමට හැකිවීම ගැන මම අවසානයේ සතුටු වූයෙමි. සුරතල් සතෙකු විශේෂයෙන් සුනඛයෙකු සෑම විටෙකම ඔබ වෙත පල කරන්නේ අවංක ආදරයයි. සැබෑ ලෙංගතුකමයි. ඒ තුල වෙනත් යටි අරමුණු නැත. එක් දිනකට බත් පතක් ලබාදුන්නත් ජීවිත කාලයම ඒ මතකයට ලෙංගතුව ප්‍රතිචාර දක්වයි. මිනිසුන් මෙන් හදිසියේ වෙනස්වන්නේ නැත.

සුරතල් සතෙකු ඇතිදැඩි කිරීමට ඔබට අරමුණක් ඇති නම් හැකි සෑම විටෙකම අසරණ සතෙකුට පිහිට වන්න. එය ඔබේ ජීවිතයට තව තවත් යහපත් අත්දැකීම් හා සිදුවීම් තිළිණ කරනු ඇත. 




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...