දුම්රිය කවුළුවෙන් හමාවිත් මුහුණේ දැවටෙන සුළං රැල් මාලිකාගේ දඟකාර කෙහෙරැල් තවත් දඟකාර කරනා අයුරු ඇය අසලම සිටින සම්පත්ගේ නෙතට හසුවෙයි. දුම්රිය විටෙක ඉබි ගමනේද තවත් විටෙක අධි වේගයෙන්ද ධාවනය වෙයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට වේයන්ගොඩ දක්වා කොටස රැකියාවට යන්නට එන්නට පටන් ගත් පසු දහස් වාරයක් පසුකර තිබුනත් හා පුරා කියා මේ මග ගමන් ගන්නා එකෙකුට ඇති වෙන අන්දමේ හැගීම් සමුදායක් සම්පත්ගේ සිත තුල නලියයි. ආදරවන්තයෙකු ලෙස කුළුදුලේ විඳිනා අමුතුම මිහිරකින් අද ඔහුගේ චිත්ත සන්තානයම පිරී ගොසිනි.
මාලිකා.....ඔහු දයාබරිත වූ හදින් ඇගේ නම මුමුණා, ඇගේ වමත තදින් අල්ලා ගත්තේය...
ඇයි....ඇගේ නෙත්යුග අමුතුම කාන්තියකින් බැබලෙන අයුරක් ඔහුට පෙනෙයි...
ආදරෙයි නේද...සම්පත් රහසින් මෙන් ඇසුවේය...
ඔව්.. ඇගේ මුවේ මන්දස්මිතියක් නැගෙයි.
කොච්චරක්ද ?
ගොඩාරියක්.... ඇය සෙමින් පිළිතුරු දුන්නාය.
මේ යුවල ඉදිරිපස අසුනේ වියපත් මිනිසෙක් අහස පොළව ගැටලන්නට මෙන් දුම්රිය කවුළුවෙන් ඉවත බලා සිටියි. පසෙකින් කුඩා පිරිමි දරුවෙකු ඔහුට කිට්ටු වී නිදාගෙන උන්නේය. ඔහුගේ දෑස් වටා සුදු පැහැති වෙළුම් පටියකි.
.......................................................................................................
තමන්ගේ කාර්යාලයේම වෙනත් අංශයකට අලුතින් සේවයට එක් වූ කොණ්ඩය දිග පැහැපත් යුවතියක් අසල තමන්ගේ දෙනෙත නැවතුන දිනය හරියාකාරයෙන් සම්පත්ට මතක නැත. නමුත් ඇය කාර්යාල ගමන අරඹා නොබෝ දිනකින්ම තමාගේ නෙතු යුග ඇය සොයා ගිය බව නම් ඔහුට හොඳින් මතකය. කාලය දින සති බවට පත් වෙද්දී ඇය පිළිබඳව ඇතුලු හදේ උපන් ආදරය නම් කුළුදුල් හැගීමකින් සසල වූ සිතක් සම්පත්ට උරුම විය.
ඔසරියට කැපී පෙනෙන ඇගේ නාරි දේහයේ හැඩතල වල අපූරුව විඳින්නට ඔහුට තිබුනේ පුදුමාකාර කෑදර කමකි. මුතු මාල පොටක් ඇගේ ගෙලේ වැරදුනේ නැත. අත් බොරිච්චි කල හැට්ටයත්...ඒ තුලින් ඉදිරියට නෙරාවිත් තිබෙන ඇගේ පිරුණු ළැම පෙදසත්, ඈ තබන පියවරක් පාසා දෙපසට වැනෙන කේෂ කළ්‍යාණියත් සම්පත්ගේ දෙනෙතට රසඳුනක්ම විය.
මේ රුවැත්තියගේ නම මාලිකා බවත් ගම්පහ සිට ඇය සේවයට පැමිණෙන බවත් සම්පත්ගේ හිතවතියක් විසින් එක්තරා දිනෙක ඔහු වෙත සන්නිවේදනය කලෙන් ඒ මාර්ගයේම වෙනත් දුම්රියක ගමන් ගත් ඔහුගේ සිත සොම්නසට පත් වූයේ ඇය සමග එකම දුම්රියක උදේ සවස රැකියාවට එන්නට යන්නට වටපිටාවක් සකසා ගත හැකි බව අවබෝධ වූ හෙයිනි.
.......................................................................................................
දුම්රිය සංඥා විරහිත කමින් නතර වී ඇති සෙයකි. නිවාඩු දිනයක් නිසාවෙන් මහා විශාල සෙනගක් මේ මන්දගාමී දුම්රියේ නැත. ආසන පිරෙන තරමට සිටින මගීන් අතර ඇත්තේද තරමක නිහඬ බවකි. ඔවුන්ගේ උස් නොවූ කථා බහ අතරින් විටෙක කඩල විකුණන පුද්ගලයෙකුගේ හෝ සිගමන් යදින කෙනෙකුගේ හඩ මාලිකාට ඇසෙයි. තම දෙවුර තදින් අල්ලගෙන සිටින සම්පත්ගේ දකුණත, මාලිකාගේ සිතේ ආරක්ෂාකාරී හැගීමක් ඇති කර තිබේ.
තම පියාට ලංව හිඳගෙන සිටින දරුවා නින්දෙන් අවඳි වූ බවක් මේ දෙපලගේ නෙත් වලට හසුවෙයි. වයසට වඩා මහළු පෙනුමක් ඇති මේ මිනිසාගේ අව්වට පිච්චුන සම මෙන්ම යට ගිලුනු ඇස් ගෙඩි දෙකද ඔහු ජීවන ගමන් මගේ විඳි සරතැස පිළිබඳ දෙස් දෙයි. අර්ථයක් දිය නොහැකි හිස් බැල්මකින් දුම්රිය මැදිරියේ කවුළුවකින් අනන්තය සොයන ඔහුගේ රූප කාය මාලිකාගේ සිතේ ඇති කර ඇත්තේ බොහෝ සංකීර්ණ සිතිවිල්ලකි.
කුඩා දරුවා තම දෙනෙත වසා සිටින රෙදි පටියේ කෙලවරක් අතින් අදියි.
.......................................................................................................
කාර්යාලයේ වාර්ෂික චාරිකාවේදී මාලිකාට සමීප වෙන්නට සම්පත් කල්පනා කලේ දුම්රිය තුලදී ඇය වටා සිටි මිතුරු මිතුරියන් ගණන විශාල එකක් වූ හෙයිනි. කොළඹ සිට වේයන්ගොඩ දක්වා දිනපතා දුම්රියෙන් ගමන් කරනා ඔහුගේ සිත සොවින් බර වන්නේ ගම්පහින් බැස යන මාලිකාගේ දසුන නිසාවෙනි. එතැන් සිට තම ගමනාන්තයට ඇති ඉතිරි දුර අතර තුර ඔහුගේ සිත තුල විවිධ සිතුවිලි ඉපදී මියයයි. ඇය සහ ඇගේ මිතුරු මිතුරියන් අතරට අනාරාධිතවම යන්නට සිත තුල ධෛර්යයක් නොමැති හෙයින් සම්පත් ඇය ගමන් කරනා දුම්රිය මැදිරියේ අනෙක් අන්තයේ සිට ඇය දෙස නෙතු දෑල යොමා සිටින්නට පුරුදු වූවේය.
වාර්ෂික චාරිකාව අතරතුර මාලිකාට සමීප වෙන්නට සම්පත් මැවූ සිහින සැබෑ කරගන්නට ඇගේ අංශයේම සේවය කරන ඔහුගේ මිතුරියකගේ සහාය ලැබුනි. ඒ හේතුවෙන් යම් තරමකට හිතවත් කමක් ගොඩනගා ගන්නට ඔහුට හැකියාව ලැබී තිබේ. ආයතනය තුල කාර්යශූර සේවකයෙකු ලෙස ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයත්, ඔහුගෙ මහත්මා ගති ගුණ පිළිබදවත්...යෙහෙළිය විසින් වරින් වර මාලිකා වෙත පැවසූ වදන්....කිසිදිනෙක පෙම්වතෙක් සොයා නොගිය ඇගේ ආඩම්බර සිත යම් තරමකට දමනය කොට තිබේ. ඔහුගේ කඩවසම් රුවත් එයටම එක්වුනු පසු මාලිකා යම් තරමකට නොසන්සුන් වී ඇති බවක් පෙනෙයි.
චාරිකාව තුල ඇති වූ හිතවත්කම දුම්රිය මැදිරියට ගෙන යන්නට ඇය කටයුතු කොට තිබුනෙන් ඇගේ පිරිවර සමග රැකියාවට යන්නට එන්නට සම්පත් වෙත අවකාශ ලැබුනි. මේ ගමන අතර තුර නොයෙක් වර කථා කල ඔහුගේ නෙතු සඟල ඇයට බොහෝ දේ කීවේය. එහෙත් ඇය සසල නොවුනාය. ඔහුගේ මුවින්ම ඒ බැව් දැන ගන්නට ආශා කලාය.
එක් වැහිබර උදෑසනක දුම්රිය නැවතුමේ සිට කාර්යාලය බලා යන්නට ක්‍රමයක් නොමැතිව සිටි සම්පත් වෙත ඇය හදිසියේ මෙන් පැමිණියාය. කහ පැහැති ඔසරියකින් සැරසී සිටි ඇය පුංචි කුඩයක් තම අත් බෑගයෙන් ඉවතට අදියි.
ඔයා යන්න මාලිකා...මම වැස්ස ටිකක් අඩුවෙනකං ඉඳලා එන්නම්...
මේ වැස්ස තව පැය තුන හතරකට අඩු වෙන එකක් නෑ...අයියෙ...එන්න මේ කුඩෙන් යමු.
ඔය පොඩි කුඩේ අස්සට මම ආවොත් දෙන්නවම තෙමෙනවා...සම්පත් යටිහිතේ නැග එන ආශාව අමතක කොට කීවේය.
ඉතිං මොකද....ඇගේ පිළිවදන් හමුවේ නිරුත්තර වූ සම්පත් ඇය සමග මහ වැසි යට මල් මල් කුඩයක සෙවනට වූවේය.
වේගයෙන් හමනා සුළඟ ප්‍රචණ්ඩ වූයෙන් කාර්යාලයට යන අතුරු මග තුල දෙදෙනෙකු වැසි දියෙන් බේරා දෙන්නට මල් මල් කුඩය අපොහොසත් වී ඇති අයුරක් දිස්වෙයි. වෙනත් කිසිවෙකුත් මේ මාවතේ පෙනෙන්නට නැත. ගත හිරිගඬු නංවන සිහිලසක් සම්පත්ට දැනෙමින් තිබේ. සුදු පැහැති වැසි දුමාරයෙන් වැසුනු අතුරු මාවත දිගේ ගලනා වැසි දියෙන් තම ඔසරිය බේරාගන්නට මාලිකා වමතින් එය මඳක් ඉහළට කොට ඔසවාගෙන සිටියාය.
යුවතිය වෙතින් හමනා සුවඳ විලවුන් පුසුඹ තව තවත් දැනෙන ලෙස ගැඹුරින් හුස්ම ගන්නා සම්පත්ට මේ ගතවෙන නිමේෂය සිහිනයක්දෝයි සිතෙන තරමට චමත්කාර ජනකය. වමතින් ඇගේ කුඩය දරා සිටි ඔහු දකුණතින් ඇය තමා වෙත ලං කොට අල්ලා ගත්තේ කොහෙන්දෝ ආ පුරුෂ දහිරියක් නිසාවෙනි.
ඔයාව තෙමිලා....මම කිව්වනෙ දෙන්නෙක්ට යන්න බෑ මේ වැස්සෙ කියලා...
සම්පත්ගේ නෝක්කාඩුවට පිළිවදන් දෙන්නට නොගිය මාලිකා, ඔහු දෙස බලා සිනාසුනා පමණකි. තම දෙවුර වටා ඇති ඔහුගේ හස්තය පිළිබඳ ඇය වද නොවුනාය.
කුඩය අල්ලා සිටින සම්පත්ගෙ වමත ඔසරි පොට ඔසවාගෙන ඉදිරියට පැමිණ තිබෙන ඇගේ පපු පෙදෙසේ දැවටෙයි. ඉන් මැවෙන මිහිරෙන් සිත ඔද්දල් වී සිටි ඔහු මහ වැසි තරණය කොට කාර්යාලයට සේන්දු වූවේය.
.......................................................................................................
පුතේ ඔය පටිය ගලවන්න එපා...ගෙදර යන කං ඇස් දෙක වහගෙන යන්න කියලානෙ දොස්තර මහත්තයා කිව්වෙ.
මෙතෙක් වේලා මුනිවත රැකි මිනිසාගේ හඬ ඔහුගේ පෙනුම තරම් රෞද්‍ර නැත. හේ අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බඳු යැයි මාලිකාට සිතෙයි. බොහෝ දුබල කටහඬකින් තම පුත්‍රයා අමතන ඔහුගේ දසුන ප්‍රේමයේ සුව විඳින ඇගේ සිතට යම් තරමකට දුකක් එන්නත් කොට තිබේ.
අනේ තාත්තෙ...චුට්ටම චුට්ටයි...පොඩි එකාගේ මැසිවිලි හඬ මැද පරාජය බාරගත් පියතුමා ඉහළට ගත් මහා හුස්මක් සමග ඒ හිතේ හිරවී තිබුන සියලු බර එකවිට පහතට හෙලුවේය.
දුම්රිය අසුනේ පසුපසට වෙන්නට නැවතත් හරිබරි ගැසී වාඩි වූ සම්පත් තම අතීතාවලෝකනයේ නැවතත් අතර මං වූවේය.
.......................................................................................................
වැසි මැද ගමනින් ලද මහා ධෛර්යය නිසාම එඳින සවස තම සිතැගි ඇයට හෙළි කරන්නට ඔහුට හැකි විය. ඒ වන විටත් ඇය කිසිවෙකුගේ පෙම්වතිය නොවන බව ඔහු දැන උන්නේය. සම්පත්ගේ බස් අසා අමුත්තක් නොපෙන්වූ මාලිකා ඔහුට සිනහවක් පමණක් සංග්‍රහ කලාය.
තවත් සතියක් දෙකක් ඇවෑමෙන් ඔහු අපේක්ෂා කල පිළිතුර ඇගෙන් ලැබුනේ මිතුරු මිතුරියන් රැසකගේ සුභ පැතුම්ද සමගිනි. එතැන් සිට දුම්රියේ එකටම ගමන් ගිය මේ ජෝඩුව නිවාඩු දිනයක හිතමිතුරන් මෙන්ම කාර්යාලයෙන්ද ඈත් වී නිදහසේ කථා කරන රිසියෙන් යුතු වූවෝය.
මේ ඉරිදට ගංගාරම පන්සලට ගිහින් ඊට පස්සෙ සතුටු දූපතට යමු...සම්පත්ගේ යෝජනාවට ඇගෙන් එකවර පිළිතුරක් ලැබුනේ නැත
අනේ ඉරිදට කොළඹ එන්නෙ මොනවා කියලද ?
මොකක් හරි බොරුවක් මම හදලා දෙන්නම්කො.... සම්පත් ඇගේ සිහින් රතැගිලි තදින් අල්ලා ගත්තේය.
.......................................................................................................
සතියෙ සෑම දිනකම ඔසරියෙන් දකිනා ඇය අද දිගු ගවුමකින් සැරසී ඔහු හමුවෙන්නට පැමිණ සිටියි. පෙර දින නිදි නොමැති රැයක් අපහසුවෙන් ගෙවා දැමූ සම්පත්...ඇගේ වත කමලේ සුන්දරත්වයෙන් වශීකෘතව ඇය වෙත ගොස් ඇගේ අත අල්ලා ගත්තේය.
ගංගාරමය වෙත ගොස් බුදුන් පුදා...අනතුරුව සතුටු දූපතට පිවිසි මේ යුවල එහි වූ බංකුවක් මත හිඳ ගත්හ. කථා කරන්නට බොහෝ දේ තිබේ. මේ ගෙවෙන නිමේෂය දෙදෙනාගේම ජීවිත වලට නැවුම් අත්දැකීමකි.
ඇයි මට කැමති උනේ...මාලිකා ඔහුගේ උරහිස මත තම හිස තබන ගමන් විමසුවාය.
නිකං....මට හිතුන නිසා...සම්පත් බොහෝ සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.
ඇයි මට කැමති උනේ...ඔහුද පෙරළා විමසුවේය.
නිකං මට හිතුන නිසා...ඇය එසේ පවසා සිනාසෙන විට සම්පත් අැගේ අත සෙමින් කෙනිත්තුවේය.
ඌයි....රිදෙනවා...මෝඩයො....
.......................................................................................................
තාත්තෙ අර...
පොඩි කොල්ලාගේ කන් බිහිරි කරවන තරමේ හඬ සම්පත් තුල ඇති කලේ සියුම් කෝපයකි. තමන්ට නිදහසේ ප්‍රේම පුරාණය වත් මතක් කර සැනහෙන්නට මේකා ඉඩ දෙන්නේ නෑ....වැනි සිතුවිල්ලක් ඔහුගේ සිත වෙළාගෙන තිබේ....
තාත්තෙ අර මොක්කුද ?
දුම්රිය මැදිරිය සෙලවෙන තරමේ හඬකින් කොල්ලා නැවතත් බෙරිහන් දෙයි.
මේ යකා නිකමට මේ කොල්ලව නිෂ්ශබ්ද කරන්නෙ නෑනෙ...හිනා වෙවී බලා ඉන්නවා...සම්පත්ගේ කෝපයේ අතු ඉති සෙමින් සෙමින් එසවෙයි.
.......................................................................................................
හිරු මුදුන් වී තිබුනත් බේරේ වැව ඔස්සේ හමා එන සුළඟ අවට පරිසරය සිසිල් කරයි. කුඩ යට ගුලි වූ ප්‍රේමවන්තයින් අතර මේ දෙදෙනාද තවත් එක් යුවලකි.
මේ කුඩය යට වැස්සෙ ගිය දවස මතකද ?
මොකද අමතකයි කියලා හිතුවද....මාලිකා ඔහු වෙත තව තවත් නැඹුරු වෙමින් ඇසුවාය.
ඒ ඇසිල්ලේ ඇය තමා වෙත තරයේ වැළඳගත් ඔහු ඇගේ නලලත ආදරයෙන් සිප ගත්තේය.
ආදරෙයිද...ඔහු ඇගේ කම්මුලක් සිප ගනිමින් විචාලේය...
ඔව් මහත්තයො....ගොඩාරියක් ආදරෙයි...අපි යමු නේද...දැන් වෙලාව 2 ටත් කිට්ටුයි.
.......................................................................................................
තාත්තෙ අර ලොකු සතා මොකාද.....
කොල්ලාගේ හඬින් පියවි සිහියට පැමිණි සම්පත් හට මහත් වූ කෝපයක් දැනිනි.
ඒකාගේ හඩ දැන් පෙරටත් වඩා උස්ව නැගෙයි...දුම්රිය මැදිරියේ සෙසු ආසන දෙස විමසිල්ලෙන් බැලූ සම්පත් හට එකදු තැනකවත් එක ලග හිස්වූ ආසන දෙකක් පෙනෙන්නට නැත. බොහෝ උන් නිදාගත් සෙයියාවෙන් සිටින නිසා මේකාගේ හඬ කරදරයක් වී නැති අයුරක් පෙනෙයි.
මේ මොන මළ කරදරයක්ද අනේ...අපි වෙන පෙට්ටියකට යමුද...සම්පත් ඇයට පමණක් ඇසෙන ලෙස ඇසුවේය.
අනේ පොඩි ළමයෙක්නෙ .ඉවසන්න...තරහා ගන්න එපා....ඇය පෙර පරිදිම ජනේලයෙන් ඉවත බලා සිටින්නීය.
ආන්න බලන්න තාත්තෙ අර ලොකු ගහ යට මොකුන්ද ඉන්නවා...
සම්පත්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොසිනි.
මේ ළමයට කෑ නොගහා ඉන්න කියනවකො අයිසෙ...මෙතන අපි කොහොමද කනක් ඇහිලා යන්නෙ...තැනක හැසිරෙන හැටි කියා දීලා නැද්ද මේ ළමයට...
මහළු මිනිසා කලබල වූ බවක් පෙනෙන්නට නැත. ඔහු ඔහුගේ අහිංසක කම විදහා පාමින් බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනහා වූවේය.
සමාවෙන්න මහත්තයො...පොඩි එකාගෙන් වරදක් උනා නම්...මේ අත් දෙකේ කරගැට එනකං අව්වෙ පිච්චිලා පිච්චිලා අවුරුදු ගානක් එකතු කොරගත්ත සල්ලියෙන් කොලුවගෙ ඇස් දෙක ඔපරේෂන් කොරාන අද තමයි ඕං ඉස්පිරිතාලෙන් ගෙදර එක්කගෙන යන්නෙ.
කොලුවගෙ අම්මා බඩු මුට්ටු ටික අරගෙන වේලාසන කෝච්චියෙ ගෙදර ගියා. ඇහැට දාන බේතකුත් අරගෙන අපි දැනුයි යන්නෙ. මේකා ඔය කෑ ගහන්නෙ සතුට වැඩිකමට මහත්තයො...මේ කිසි දෙයක් මයෙ පුතා කලින් දැකලා නෑ.
මයෙ පුතේ...කෑ නොගහා ඉදින්...මේ මහත්තුරුන්ට කරදරයි නෙව.....
.......................................................................................................
තම චිත්ත සන්තානය අභ්‍යන්තරයේ ගැඹුරුම තැනක ඇති වූ සිහින් රිදුමක් මහා වේදනාවක් වෙද්දී නෙතු අගට පැමිණි කඳුලක් මාලිකාගෙන් වසන් කරමින් සම්පත් දුම්රිය කවුළුවෙන් අනන්තය සෙව්වේය.
තාත්තේ...අර.....ඔහුට නැවත නැවතත් ඒ හඬ ඇසුනි.
මම කාමරේ අරින සිරා කොලුවා.