Showing posts with label අපේ ඉතිහාසය. Show all posts
Showing posts with label අපේ ඉතිහාසය. Show all posts

Monday, November 5, 2012

102 ලංකාවටම එකයි.... තියෙන්නෙ මෙතනයි...

පහුගිය දොහේ අනම් මනම් වල් පල් කථා කොරපු එකේ අද නැවතත් වැදගත් යමක් කථා කොරන්නයි සිරා කොලුවගෙ මේ සූජානම... අන් අයට කෙසේ වෙතත් මම නම් ඉතිහාස තොරතුරු හොයාගෙන කියවන්න බොහොම මනාපයි... ඒ ආශාව කාමරයට එන ඔබටත්  බෝ කරන්නයි සිරාගෙ මේ අහිංසක වෑයම...


අපි අද කථා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන මේ වර්ගයේ එකම එක තියෙන ඉසව්ව ගැන... මේ කුණුහරුපෙ මොකක්ද කියලා තව සුට්ටකින් විසදෙන හින්දා බොලා කලබල වෙන්න කාරි නෑ...

සිරා හා පුරා කියලා මේ කියන ඉසව්වට පය තිබ්බෙ 2011 වසරේ නැගෙනහිර පළාතෙ කරපු සංචාරයක් අතර තුර, ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය පිළිබද තමයි ඔන්න ඔබ දැනුවත් වෙන්න යන්නෙ.




මගුල් මහා විහාරය පිහිටා තිබෙන්නෙ නැගෙනහිර පළාතෙ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමෙ. එය පුරාණ පරිපාලන බෙදීමට අනුව නම් මඩකලපු දිස්ත්‍රික්කයේ පානම පත්තුව. මොණරාගල පොතුවිල් (A-4) මාර්ගයේ ගමන් කල විට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18 ක් පමණ ගමන් කලාම හමුවෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරිලා තවත් කි.මි භාගයක් පමණ ගිය තැන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව වැදගත් මේ සිද්ධස්ථානයට ලගා වෙන්න පුලුවන්.... ත්‍ර‍ස්ත භීෂණ පැවති කාලයේ බොහොම අපහසුතාවයට පත්ව එදිනෙදා දාන වේල පවා අපහසුවෙන් සරිකර ගත් අපේ කාලයේ මහා යතිවරයාණන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නොවන්නට මෙම ස්ථානය අද වන විට මුඩු බිමක් වන්නටත් ඉඩ තිබුනා... එසේ වූවා නම් අපේ මුතුන් මිත්තන්ගේ කලා කෞෂල්‍යය හා හැකියාවන් මතු පරපුරේ දෑස් මානයෙන් මිදී වැලිතලාවක්  යට සදාකාලික නින්දේ සැතපෙන්නටත් ඉඩ තිබුනා.

ඓතිහාසික තොරතුරු


මගුල් මහා විහාරයේ අතීතය පිළිබද වර්තමානයට තොරතුරු ගෙන එන ප්‍ර‍ධාන මුලාශ්‍ර‍ කීපයක් තියෙනවා.  මහාවංශය හා පූජාවලිය යන ඉපැරණි සාහිත්‍යමය මූලාශ්‍ර‍ වලට අමතරව පූජා භූමියේ පිහිටා තිබෙන 14 වන සියවසට අයත් පුවරු ලිපි දෙකත් ඊට ඇතුලත්.  මෙම විහාරය අතීතයේ හැදින්වූ ආකාරය පිළිබද වඩා විශ්වාසදායක අදහසක් ගත හැක්කේ පුවරු ලිපි මගින්...අතීත නාමය පිළිබද මහාවංශයේ පවා සදහනක් නෑ.   නටබුන්ව අතහැර දමා තිබූ රූණු මහා විහාරය විහාරමහා දේවිය විසින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර එහි නඩත්තුව උදෙසා ඉඩ කඩම් පූජා කල බවක් එක් පුවරුවක සටහන් වී තිබෙනවා.

තවත් පුවරු ලිපියක සදහන්ව පවතින සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර යන පාඨය මගින් ධාතුසේන රජතුමා (ක්‍රි.ව 516 - 526 ) විසින් මෙම විහාරය ප්‍ර‍ථමයෙන්ම ඉදිරකරන ලද බවට අදහසක් ලබා දීමට උත්සාහ කලත් විහාර ආරම්භය පිළිබද මහාවංශයේ හා පූජාවලිය යන ඉපැරණි මූලාශ්‍ර‍ වල සදහන් වෙන්නෙ ක්‍රි.ව 661 දි පමණ කෙටි කලකට අනුරාධපුර රජ වී සිටි 1 වන දප්පුල රජතුමා විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කරවූ බවක්. මහාවංශයට අනුව පාණ දිවයින් වාසී මහතෙරුන්ගෙන් බණ අසා පැහැදීමට ලක් වූ 1 වන දප්පුල රජතුමා උන්වහන්සේට බුහුමන් පිණිස රුහුණු වෙහෙර කරවා සතර දිගින් එන සංඝයා උදෙසා පූජා කල බව තමයි එහි දැක්වෙන්නෙ.


එහෙත් මෙම ස්ථානය හා බැදුනු ජනප්‍ර‍වාද මීට හාත්පසින් වෙනස් කථාවක් තමයි කියන්නෙ... රුහුණේ පාලකයෙකුව සිටි කාවන්තිස්ස රජතුමා  (දුටු ගැමුණු හා සද්ධාතිස්ස රජ වරුන්ගේ පියා ) විසින් විහාරමහා දේවිය නම් කුමරියක සරණ පාවාගෙන අභිෂේක කල ස්ථානය මෙය නිසාම උත්සවයෙන් පසුව රජතුමා ඉදිකල විහාරය මගුල් මහා විහාරය  බවයි ඉන් කියැවෙන්නෙ.

එදා කැලණිතිස්ස රජු විසින් රටේ ආරක්ෂාව පතා මුහුදට බිලි දුන් සිය එකම දියණිය නැවතත් ගොඩබිමට සේන්දු වූ ස්ථානය කිරින්ද ලෙස බොහෝ අය විශ්වාස කලත්.. පුරාවිද්‍යාත්මක සාධක අනුව නම් එය වර්තමාන පොතුවිල් නගරයට ආසන්න මුහුදු මහා විහාරයට ආසන්න භූමි භාගයක් ලෙසයි සැළකෙන්නෙ. වර්තමානයේ නැගෙනහිර මුහුදු වෙරළේම පිහිටා තියෙන කෝමාරිය නැමති ස්ථානයේ නම ඇති වීමටද මෙම සිදුවීම ඉවහල් වී තිබෙනවා... කෝමාරිය අද සම්පූර්ණයෙන්ම දෙමළ කථා කරන ජනතාවගේ ජනාවාසයක්.

කාවන්තිස්ස රජතුමා මුහුදේ පාවී ආ කුමරිය ගැන ආරංචිය ලැබී මෙම  ස්ථානයට පැමිණ කෝ කුමාරි යනුවෙන් ඇසූ වදන් පසුව කෝමාරිය නමින් ව්‍යවහාර වූ බැව් 1921 දි එස්.ඕ. කනගරත්නම් මහතා විසින් ලියන ලද මඩකලපු දිස්ත්‍රික්කයේ වෘතාන්තය නැමැති කෘතියේද සදහන් වෙනවා. මේ අසලදී අබලන් වූ නැවක කුමරියක සිටි බවත්, අවසානයේ ඒ කුමරිය ප්‍රදේශයේ රැජින වූ බවත් තවදුරටත් එම ග්‍ර‍න්ථයේ සදහන්.

මගුල් මහා විහාරයට ආසන්න හුලංනුගේ ගමේ පිහිටා තිබෙන කරදහෙල හෙවත් පුරාණ හබුතල විහාරයෙන් කාකවණ තිස මහ ර (කාවන්තිස්ස මහ රජු) යන වචන පෙළ සදහන්ව හමුවී ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිය මගින් මගුල් මහා විහාරයට සම්බන්ධ තවත් කථාවක් කියවෙනවා. කාවන්තිස්ස රජතුමාගේ දේශපාලනික හා ආගමික ක්‍රියාකාරකම් මෙම වෙහෙර අවට පැවති බවක් ඉන් ගම්‍ය වෙන්නෙ.

ධාතුවංශය හා රෝහණ වංශ කථාව යන ග්‍ර‍න්ථයන්ගෙ සදහන් වී ඇති අන්දමට කාවන්තිස්ස රජුගේ ආධිපත්‍ය යටතේ පැවති මාගම රාජධානියට පරිබාහිරව සමකාලින සේරු නුවර, ලෝණ නුවර, හා සෝම නුවර යනුවෙන් ස්වාධීන රාජධානි තුනක් පිළිවෙලින් සිව,මහානාග,ගිරි අභය යන පාලකයන්ගේ ආධිපත්‍ය යටතේ පැවතුනා. මහවැලි ගගට උතුරින් පිහිටි මේ ස්වාධීන රාජ්‍යයන් එළාර රජුට එරෙහිව සේනා සංවිධානයේදී බාධාවක් වූ නිසා ඒවා වක්‍ර‍ ලෙස තම ආධිපත්‍යය යටතට ගැනීමට උපායක් ලෙස සේරුනුවර චෛත්‍යය ඉදිකලා.  එමගින්  යුද්ධයකින් තොරවම තමන්ට අවැසි දේ කිරීමට කාවන්තිස්ස රජතුමාට හැකි වුනා.  ඒ අනුව මගුල් මහා විහාරය හා ඒ ආශ්‍රිතව සිදු වූ ක්‍රියාකාරකම් පිළිබදව ඔබට දළ අවබෝධයක් ලබාගත හැකි වේවි.


ඔන්න ඒ විස්තරයත් අහවර කරලා සිරා කියන්න යන්නෙ ලංකාවට තියෙන එකම දේ ගැන... ඒ තමයි  මෙම විහාරයේ  පිහිටා තිබෙන සදකඩ පහණ, ඇතා සමග ඇත් ගොව්වාද කැටයම් කර තිබෙන ලංකාවෙ එකම සදකඩ පහණ තමයි මේ.  ඇත්ගොව්වා ඇතාගේ පිට මත හිදින අතර එය ඉතා සියුම්ව බලන කල පෙනෙන්නේ ධාවනයේ යෙදෙන ක්‍රියාශීලී ආකාරයක්.















එහි අනෙක් සදකඩ පහන් වල මෙන් පළමු කවයේ ගිණි දැල්ල හෝ පලාපෙති පෙනෙන්නට නෑ. එම කොටස කැටයම් රහිත බවක් තමයි දිස්වෙන්නෙ.  දෙවැනි කවයේ ඇත් ගොව්වා සහ හස්ති රූප එකා පිටුපසින් එකා ගමන් කරනා ආකාරයක් දක්නට ලැබෙනවා. හංසාවලිය ඇතුලු වෙනත් සතුන් දක්නට නෑ. මේවාට අමතරව ලියවැල් මෙන්ම නෙළුම් පොහොට්ටු ඉතාමත් සජීවි ලෙස නිර්මාණකරුවා නිර්මාණය කර තිබෙනවා.

සදකඩ පහනට අමතරව පොකුණු, ප්‍රාකාර, ස්තූප, බොධිඝර, මුරගල්, භික්ෂු වාස කුටි, දාන ශාලා, ධර්මශාලා  ආදී ඉදිකිරීම් මෙම භූමියේ දක්නට තිබෙන අතර එමගින් යටගිය දවස මෙම ස්ථානයේ තිබූ බෞද්ධ ප්‍රබෝධය සිතාගන්න පුලුවන්. 











මේ ඉදිකිරීම් වලට අයත් නොවූ තවත් වැදගත් දෙයක් මෙම භූමියේ තිබෙනවා... ඒ කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය අතර විවාහ මංගල උත්සවයට උපයෝගී කරගත්තේ යැයි සැළකෙන ශිලාමය මංගල පෝරුව...මේ සාධකයත් විහාර මහා දේවිය සැබෑ ලෙසම ගොඩ බැස්සේ කිරින්දට නොවන වගට සාක්ෂියක්...

මංගල පෝරුව

පෙර රජ දවස මෙම පුදබිම දීපතිමත්ව බැබලුනත් වරින් වර ඇතිවූ පර සතුරු ආක්‍ර‍මණ හා වසංගත රෝග නිසා වසර සිය ගණනක් ජනශූන්‍යව තිබෙනවා. කාලය විසින් හුදකලා කල මෙම ස්ථානය අවට නැවත වරක් කෙමෙන් කෙමෙන් ජනාවාශ ඇතිවුවත් නටබුන්ව තිබූ මෙම පුදබිම ඇසුරු කරන්නට ඒ අතර ස්වාමීන් වහන්සේලා සිටියේ නෑ... නමුත් 1907 දී පමණ අහඹු ලෙස ලාහුගල යල්පොත ගම්මානයට ස්වාමීන් වහන්සේ නමක් පිඩු සිගා වැඩියා. එය මහත් භාග්‍යයක් ලෙස සැලකූ ගම්මු උන් වහන්සේට මෙම විහාරස්ථානයේ වැඩ වසන ලෙස ආරාධනා කලා. උන් වහන්සේ තමයි දානෙගල ස්වර්ණජෝති ලොකු හාමුදුරුවො. මෙහි තිබූ පෞරාණික වටිනාකම හොදින් වටහාගත්ත මේ මහා යතිවරයාණන් වහන්සේ කිසිදු පහසුකමක් නැතිව අලි, කොටි , වලසුන් ගහන දරුණු වනාන්තරයක පිහිටි ආර්ථික දුෂ්කරතා වලින් යුත් සීමිත මිනිසුන් පිරිසකගෙන් ජනාවාස වූ  මේ ප්‍රදේශයේ විශාල සියඹලා ගසක ගම්වාසීන් විසින් ඉදිකර දුන් අට්ටාලයක  දිවිගෙවමින් ලාහුගල මගුල් විහාරය නැවතත් කරළියට ගෙනඒමට ඉතාමත් වටිනා නිහඩ සේවයක් ඉටු කර තිබෙනවා. භූමියේ කොටසක් එළි පෙහෙළි කර  ඉලුක් සෙවිලි කල කුඩා ආවාසයක් සකස් කරගෙන තමන්ගේ සහාය සදහා ශිෂ්‍ය හිමිනමක් වූ අරවාකුඹුරේ දේවරක්ඛිත හිමි කැදවාගෙන ආ බැව් වර්තමාන ස්වාමීන් වහන්සේ සමග කල සාකච්ඡාවකින් දැන ගන්න ලැබුනා.

විහාරයට ප්‍ර‍විශ්ඨ වන ස්ථානයේ ඇති වල්බිහිවූ වැවක්


1928 දි ස්වර්ණජෝති නාහිමියන් අපවත් වූ පසුව දේවරක්ථිත ගෝල හිමියන් විසින් ගම්මානයේ දායකයන් සංවිධානය කොට නව ගොඩනැගිලි ඉදිකර පන්සලක් ලෙස වැඩිදියුණු කල බවත්, ගම්වාසීන්ගේ යහපත් ගුණ වගාව වෙනුවෙන් පෙරහැර හා පිංකම් ආදිය සංවිධානය කොට මෙම පූජනීය ස්ථානයට අති විශාල සේවාවක් සිදුකර  ලෝ දහමට අනුව 1982 දි අපවත් වී තිබෙනවා.

අදට එහෙනම් කථාව අහවරයි..යමක් කමක් දැනගත්තා නම් ඒක තමා සිරාගෙ සතුට...

මේ කථාබහට පෙර බ්ලොග් අවකාශයේ  ලාහුගල මගුල්  මහා විහාරය පිළිබද තවත් සටහන් තිබූ නිසා ඇතැම් පොදු කරුණු එක් නොකොට ඒවාට මගහැරුණු දෑ  මෙම සටහනට එක්කිරීමට සිරා කටයුතු කලා.

පූසා කල සටහන මෙතැනින්
හසිත කල සටහන මෙතැනින්



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,



ප.ලි


බෝගහමුල්ලේ සුමන හිමි සහ ලාහුගල පී.බී. දිසානායක මහතා විසින් රචිත ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය කෘතියද පරිශීලනය කළෙමි.

ඇතැම් කරුණු පුරාවිද්‍යා උපාධිධාරී සිරාගේ පැරණි පෙම්වතිය වෙතිනි. ඉතිහාසය සම්බන්ධ පෝස්ටු වෙනුවෙන් මෙයට පෙරත් කීප වාරයක් ඈ මට සහාය දී තිබෙනවා.

මේ සිද්ධස්ථානය අවට වෙසෙන ගම්වාසීන් කාලයක් යුද්ධයෙන් බැට කා දැන් ආර්ථික  අපහසුතා මැද  ජීවත් වන පිරිසක්.  ඔවුන්ගේ  ජීවන තත්වය සියසින් දැකගෙන ඔවුන්ට සහායක් වෙන්න වැඩි වැඩියෙන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමෙන්  ඔබට දායක වෙන්න පුලුවන්... ඒ නිසා ඔබේ මීළග චාරිකාවට මේ සිද්ධස්ථානයත් ඇතුලත් කරගන්න. ගම්වාසී ආරක්ෂක අංශ වල සාමාජිකයන් ඇතැම් ඉතිහාස කරුණු ඔබ වෙනුවෙන් විස්තර කර දෙන්නෙ ස්වේච්ඡාවෙන්...

ගම්මානයේ වෙළද සැලක්

මෙහි සියලුම ඡායාරූප මවිසින් ගන්නා ලද ඒවාය.

මේ ආසන්නයේ ඇති පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය තුල අනවසර ඉදිකිරීම් කරමින් අන්‍ය ආගමිකයන් කටයුතු කරන අතර මේ ප්‍රදේශ තුල බහුතර සිංහල ජනතාවක් වර්තමානයේ ජීවත් නොවීමත් එයට හේතුවක්... කෙසේ හෝ මේ ගැටළු පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු වී පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සුරැකී ඒවා අපේ මතු පරපුරටත් දැක බලාගැනීමට වරම් ලැබේවා !
















Monday, October 1, 2012

76 ගැමුණු / තිස්ස ඉතිහාසගත සහෝදර හබය

සිරා.... පොරොන්දුවක් තියෙනවා නේද ඉටු කරන්න ?

සිරාගෙ කාමරේ පාඨකයෙක්  ඉටු කිරීමට පමාවූ පොරොන්දුවක් පිළිබද මතක් කර මා හට ඊයක් එවා තිබුනේ ඉහත පරිදි ආරම්භ කල සටහනකිනි. මා මේ පොරොන්දුව වූයේ චාරිකා සටහන් 3 වන කොටසේදීය.  දෙමට මල් විහාරය පිළිබද විස්තර කිරීමේදී මේ කියන්න යන සහෝදර හබයද මතුවිය.  එදා එම සටහන මා නිමාකලේ  ගැමුණු සහ තිස්ස අතර වූ හබය පිලිබද මතුවට ලියන්නේ යැයි පවසමිනි.

රුවන් වැලි සෑය අසල ඇති දුටුගැමුණු රජුගේ පිළිරුව
ඡායාරූපය  http://www.google.lk/imgres?um=1&hl=en&sa=N&biw=1366&bih=643&tbm=isch&tbnid=nNvXo6K0J7XPeM:&imgrefurl=http://lankapura.com/2009/06/king-dutugemunu/&docid=IK--V3yvf1OcBM&imgurl=http://lankapura.com/wp-content/uploads/2009/05/30-stone-figure-of-king-dutugemuna.jpg&w=760&h=563&ei=xRhpUMf1J8XsrAe-lYCQDA&zoom=1
ගැමුණු යන නම දුටු පමණින් සමහර විට ඔබ සිතන්නට ඇත්තේ කැලණිය සිය වාසභවන කරගත් ලෝකල් දුටුගැමුණු පිළිබදවද ? එසේ නම් ඔබට වැරදීමක් සිදුවී ඇත. මා මේ කථා කරන්නට සූදානම් වන්නේ එළාර රජුගෙන් රට බේරා ගෙන තුන් සිංහලය එක්සේසත් කල දුටුගැමුණු නම් හෙළයේ අග්‍ර‍ගණ්‍ය මහා රජතුමා සහ එතුමාගේ සහෝදරයා වූ  සද්ධාතිස්ස රජතුමා  අතර වූ ගැටුම පිළිබද කරුණුය. බුද්ධ වර්ෂ 161 සිට 137 දක්වා රජකම් කර ඇති දුටු ගැමුණු රජු දුට්ඨ ගාමිණී අභය සහ ගාමිණී අභය ලෙසද හදුන්වා ඇත.

මෙම සහෝදරයන්ගේ  පියා වූයේ කාවන්තිස්ස රජතුමාය. මව විහාර මහා දේවියයි. එළාර නම් ආක්‍ර‍මණික රජෙකු අනුරාධපුරය රාජධානිය කර ලංකාවේ රාජ්‍ය කරන සමයේ කාවන්තිස්ස රජතුමා රුහුණේ මාගම සිය රාජධානිය බවට පත්කර ගෙන රජකම් කලේය.

ඉතාමත් දූරදර්ශී රජෙකු වූ කාවන්තිස්ස රජතුමා  එළාර රජතුමා සමග එකවර සටනට නොගොස් තම යුධ ශක්තිය ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ගොඩනංවා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව රුහුණේ ශක්ති සම්පන්න මිනිසුන්ගෙන් සමන්විත විශාල හමුදාවක් ගොඩනැගූ අතර යුද්ධයකදී අවශ්‍ය වන යුධ උපකරණ නිපදවීමට කර්මාන්ත ශාලා පවා ආරම්භ කර තිබිනි. උතුරින් පැමිණිය හැකි සතුරු බලවේග වලට මුහුණ දීමට මහවැලි ගග දිගේ තැනින් තැන ආරක්ෂාව තර කල අතර විහාර මහා දේවියට නොව වෙනත් බිසවකට දාව උපන් දීඝාභය නම් කුමරා වෙත දේශසීමා ආරක්ෂා කිරීමේ වගකීම පවරා තිබුනි.

යුද්ධය ජයග්‍ර‍හණය කිරීමට ජනතාව අතර සමගිය ඉතා අවැසි බව තේරුම් ගත් රජතුමා  ඒ අනුව කටයුතු කල අතර  ඒ හැගිම පුතුන්ගේ සිත් තුලටද කා වැද්දවීමේ අරමුණින් කිසිදු දිණෙක එකිනෙකා  සමග සටනට නොයන බවට ඔවුන්ගෙන් දිවුරවා  පොරොන්දු ලබා ගත්තේය. මහ ජනයා සම්බන්ධ වැඩ කටයුතු වලදී සංඝයා වහන්සේලාට කල හැකි බලපෑමේ තරම පිළිබද අවබෝධයක් තිබූ රජතුමා පැවිදි උතුමන්ට ඉතා ගෞරවයෙන් සැළකුම් කල අතර එසේ හැසිරීමට තම පුතුන්ටද අවවාද කළේය. උතුරු ප්‍රදේශයෙන් එල්ලවිය හැකි සතුරු ප්‍ර‍හාර පිළිබද සුළුවෙන් නොතැකූ කාවන්තිස්ස රජතුමා සුදුසු කාලයට පෙර සටනට එළඹීමෙන් පරාජයට පත්වුවහොත් සිය නැතිවී ගිය උරුමය ලබා ගැනීමට තිබූ එකම අවස්ථාච ගිලිහී යා හැකි යැයි සිතූ නිසා නියම අවස්ථාව එළඹෙන තුරු අවශ්‍ය සම්පත් රැස් කරගනිමින් කල්මැරීය.

දුරදිග බලා කටයුතු කල පියරජතුමාගේ මේ කටයුතු ගාමිණී අභය කුමාරයා දුටුවේ බියසුළු කමක් ලෙසය. ළදරු වියේදී පවා පියාගේ අවවාද ඔහු නොරිස්සූ බව මහාවංශයේ සදහන් වෙයි. දෙමළුන් හා සටන් නොකරන ලෙස පොරොන්දු වන ලෙස කාවන්තිස්ස රජතුමා  කුඩා ගාමිණී අභය කුමරාගෙන් ඉල්ලා සිටීමේ ප්‍ර‍තිඵලයක් ලෙස  සිය යහන මත වකුටු වී නිදාගත් අතර අත පය දිග හැර නොනිදන්නේ මන්දැයි විමසූ සිය මෑණියන් වෙත  උතුරින් හැඩි දෙමළු සහ දකුණෙන් මහ මුහුද මා වළකද්දී කෙසේ නම් මා සුවපහසු ලෙස සැතපෙම්ද යනුවෙන් මේ පැහිච්ච කුමරා පිළිවදන් සපයා ඇත. හමුදාවක් රැස් කර පුහුණු කිරීමෙන් අනතුරු දෙමළ සතුරන් සමග සටනට යාමට 16 වියැති ගාමිණී අභය කුමරා පිය රජුගෙන් අවසර ඉල්ලා සිටියද නිසි කල එළඹ නැතැයි එම ඉල්ලීම ඉවත දැමූ  කාවන්තිස්ස රජතුමා වෙත සිය අප්‍ර‍සාදය පල කළේ  පිය රජතුමා වෙත ගැහැණු ඇදුම් පැළදුම් යැවීමෙනි. මේ සිදුවීම මහාවංශය, සිංහල ථූපවංශය සහ රාජාවලිය යන ඉපැරණි වංශ කථා වල සදහන්ය.

මෙයින් කෝපයට පත් කාවන්තිස්ස රජතුමා සිය වැඩිමහල් පුත් කුමරා වන ගාමිණී අභය හැකිල්ලකින් බැද තබන ලෙස අණ කළේය. එහෙත් කුමරා රාජ ආඥාව ක්‍රියාත්මක වීමට පෙර කොත්මලේ පෙදෙසට පළාගොස් රජකමට පත්වන තුරු වෙස් වලාගෙන ජීවත් වූ බව කියනු ලැබේ.  ඔහුගේ මේ අලුත් නවාතැන පිළිබද විහාර මහා දේවිය දැන සිටි අතර, එතුමිය විසින් රජතුමාට හොරෙන් නිතරම පණිවුඩ කරුවන් ලවා සිය වැඩිමහල් පුතු පිළිබද සොයා බැලූ බවටද සාධක ඇත. මේ පිය පුතු ගැටුමෙන් අනතුරුව ගාමිණී අභය කුමාරයා දුට්ඨ ගාමිණී හෙවත් දුටු ගැමුණු ලෙස හැදින්වීමට පටන් ගෙන ඇත. සේරු රටේ බලය පතුරා සේරුවිල දාගැබේ ධාතු නිධානය කළේ කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසාන භාගයේ බව ධාතුවංශයේ සදහන් වන නිසා මෙම සිදුවීම සිදුවූයේ කාවන්තිස්ස රජතුමාගේ  පාලන කාලයේ අවසාන භාගයේ බව සිතිය හැක.

කාවන්තිස්ස රජතුමා මියගියේ දුටුගැමුණු කුමරා කොත්මලේ ප්‍රදේශයේ සැගවී සිටින විටය. මේ පුවත ඇසූ සද්ධාතිස්ස කුමරා දිගාවැවේ සිට වහාම මාගමට පැමිණ මව් බිසව හා මංගල හස්ති රාජයා රැගෙන නැවතත් දිගාවැවටම ගියේය. ඇමතිවරු පියරජු මිය ගිය බව දුටුගැමුණු කුමරාට දන්වා යැවූ අතර මාගමට පැමිණි පසු හෙතම රජකමට පත්කර ගන්නා ලදී. මංගල හස්තියා තමා වෙත එවන ලෙස දුටුගැමුණු රජු සිය මලණුවන් වෙත දන්වා යැවූ අතර එය නොසලකා හැර සද්ධාතිස්ස කුමරා දිගාවැවට වී සිටි අතර මව් බිසවටද මාගමට එන්නට ඉඩ නුදුන්නේය. මේ හේතුවෙන් සොයුරන් දෙදෙනා එළිපිටම එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගත්හ. යම්හෙයකින් මාගේ ප්‍ර‍ත්‍ර‍යන් එකිනෙකා සමග සටන් වැදුනහොත් කිසිවෙකුට හෝ සහාය පළ නොකරන ලෙස මහළු කාවන්තිස්ස රජතුමා ජීවතුන් අතර සිටියදී මහා සංඝරත්නය/ ඇමතිවරු/ සෙන්පතියන් පොරොන්දු කරවාගෙන සිටීම භාග්‍යයක් වූ අතර ඒ නිසාම ඔවුන්ට සිදුවූයේ තම තමන් යටතේ සිටි සුළු හේවා කණ්ඩායම් යුධ බිමට යවා සිය ආරවුල් බේරුම් කර ගැනීමය.

මෙලෙස මෙම දෙපාර්ශවය අතර පළමු සටන ඇතිවූයේ චුල්ලංගණිය පිට්ඨි (සුලුගුණාපිටිය)  නම් ස්ථානයේය. වර්තමානයේ මෙම පෙදෙස යුදගනාව ලෙස සමහර ඉතිහාසඥයන් දක්වයි. මෙම සටනෙන් ජය හිමිවූයේ සද්ධාතිස්ස කුමරාගේ පාර්ශවයට වූ අතර දුටුගැමුණු රජතුමාට සිදුවූයේ තමාට ලැදි එක් අනුගාමිකයකු අහිමි කරගෙන තමා ලුහු බැද ආ උන්ගෙන් ගැලවී මාගමට පලා යාමටය.

කෙසේ හෝ තවත් මද කාලයක් ඇවෑමෙන් සිය බල පිරිස පුළුල් කරගෙන නැවතත් සිය මලණුවන් හා සටනට දුටුගැමුණු රජු පිටත් විය.  දක්ෂ අශ්වාරෝහකයකු වූ එතුමා දෙවැනි සටනින් ජය ගත් අතර සද්ධාතිස්ස කුමරාට සිදුවූයේ නින්දිත පලා යාමකටය... ඒ සිද්ධිය මහාවංශයේ විස්තර වන්නේ මෙසේය.

ඒ තෙමේ මාගම් ගොස්  හැටදහසක් බලසෙන් ගෙන මළු හා නැවත යුධ පිණිස ගොස් යුධ කළේය. රජ තෙමේ වෙළඹ පිටද තිස්ස කුමර කඩොල් ඇතු පිටද නැගී සම්මුඛ වූහ. එකල්හි දෙබෑයෝ යුධ කරන්නාහු. යුද්ධයේදී රජ තෙමේ ඇතු ඇතුලු කොට වෙළඹ මඩුල්ලක් කළේය. එසේද අවසර නොදැක පන්වන්නට සිතීය. වෙළඹ ඇතුමත්තෙන් පන්නවා සහෝදරයාගේ  මස්තකයෙන් පිට සන්නාහය කැපෙන පරිද්දෙන් තෝමරය දැමීය. ඒ යුද්ධයෙහි කුමාරයාගෙ නොයෙක් දහස් ගණන් මිනිස්සු යුධ කෙරෙමින් වැටුනෝය. මහත් බලයද බිදුනේය. ඇතරුවා විකල බැවින් ස්ත්‍රිය මා මතුයෙන් පැන්නවූයැයි කිපුනු ඇත් තෙම ඔහු පාලනය කෙරෙමින් එක් රුකක් වෙතට ගියේය. කුමරු රුකට නැගීය. ඇත් තෙමේ හිමියා වෙත ගියේය. ගැමුණු රජ ඇතු නැගී පලායන කුමරහු ලුහු බැන්දේය. ඒ කුමර විහාරයකට වැද මහ තෙරුන් ගෙට වන්නේය. කුමාර තෙමේ බෑයාට භයින් යට හැද වැදහොත්තේය. මහා ස්ථවිර තෙම ඒ ඇද සිවුර ඇසුර සේක. රජතුමා පසුපස්සෙන් ගොස් තිස්සයා කොහේදැයි විචාළේය. මහ රජාණෙනි ඇදෙහි නැතැයි ස්ථවිර තෙම රජ හට කීවේය. මිහිපල් තෙමේ යට හැද යයි දැන එයින් පිටත්ව වෙහෙර සිසාරා මුර තැබීය. ඒ කුමරහු  වනාහි කුරු ඇදක හොවා මත්තෙහි සිවුරකින් වසා ළදරු භික්ෂූහු සතර දෙනෙක් ඇද කකුල් අල්වා ගෙන මළ භික්ෂූ කෙනෙකු  මෙන් බැහැර ලූය. මිහිපල් තෙමේ ඒ ගෙනයනු ලබන්නාහු  හැදින
තිස්සය.....තෝ කුලදේවතාවන් හිස හිදගෙන යනු නොලබ කුලදෙවියන් අතින්  මාගේ පැහැරගැන්මක් නැත්තේය. තෝ කොයි දවසක් කුලදෙවියන් ගුණ සිහිකරවයි මෙසේ කීය.

එහි සංෂිප්තය සරළ බසින් මෙසේය.

දක්ෂ අසරුවෙකු වූ දුටුගැමුණු රජු සිය සොයුරා  සමග සටන් වදින්නට ගොස් ඇත්තේ වෙළඹක පිටය. මේ වෙළඹ කඩොල් ඇතු මතින් පැන්නවීමෙන් සිදු වූ මදිපුංචිකම නිසා කෝපයට පත් කඩොල් ඇතු එය සිය ස්වාමියා වූ සද්ධාතිස්ස කුමරුගේ දුර්වලතාවක් යැයි සිතා ඔහුගේ අණට අකීකරුව රජු සමග එක්තර ගසක් සමීපයට ගොස් ඇත. රජු ගසට නැගි පසු හස්තියා තම ස්වාමියා ලෙස දුටුගැමුණු රජතුමා පිළිගෙන ඔහු වෙත ගොස් ඇත. ඇතු මගින් තමා ලුහු බදින සහෝදරයාගෙන් බේරිමට සිතා අසල වෙහෙරක නායක හිමිගේ ඇද යට සැගවී සිටි සද්ධාතිස්ස කුමරු එළියට පැමිණෙන තුරු දුටුගැමුණු රජතුමාගේ සේනාව රැකවල් ලා සිටියෝය. මේ අවස්ථාවේ කුමරු විහාරයෙන් පිට කිරීමට උපායක් කල්පනා කල නායක හිමියන් ඔහු කුඩා ඇදක සතපවා සුදු රෙද්දකින් වසා මියගිය හිමිනමක සේ පෙනෙන ලෙස කුඩා හිමිවරුන් සතර දෙනෙකුගේ කර මතින් පන්සල් භූමියෙන් ඉවතට යවන්නට කටයුතු කලහ. මේ දෙස උපහාසයෙන් බලා සිට ඇති දුටුගැමුණු රජතුමා තිස්ස උඹ කුල දේවතාවුන් හිස මතින් යනවා නේදැයි  පවසා ඇත.

බුත්තල මාළිගාවිල මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගමන් කලාම හමුවෙන දෙමටමල් විහාරය තමයි සද්ධාතිස්ස කුමරා එදා සැගවී සිට ඇති විහාරය. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ පොල් වගා ජනපදයේ ඔවාගිරිය කියන විහාරස්ථානය මේ දෙදෙනා සමගි කිරීමට මහා සංඝරත්නය  එදා ඔවදන් දුන් ස්ථානය ලෙසත් සමහර ඉතිහාසඥයන් විශ්වාස කරනවා. ඔවාගිරිය යන නමද මේ අර්ථයෙන් බිදී ආ එකක් ලෙසයි සැලකෙන්නෙ. මේ විහාරස්ථාන පිළිබද තොරතුරු සිරාලියූ චාරිකා සටහන් 3 හා 4 කොටස් වල ලියැවී තිබෙනවා...

කුමාර වරුන් දෙදෙනා විරසකව කලක් සටන් කලත් පසුකාලීනව මේ දෙදෙනා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රීලංකා දිපය  මුලුමනින් සතුරු ග්‍ර‍හණයෙන් මුදවා ගැනීමට හැකිවූ අතර රට ජාතියට සහ ආගමට විශාල සේවාවක් ඔවුන් අතින් ඉටු වී තිබෙනවා...දුටුගැමුණු රජතුමා විසින් ඉදිකල මහානර්ඝ ඉදිකිරීමක් වන රුවන් වැලි සෑයෙ ඉදිකිරීම් නිමකිරීමට  පෙර එතුමා රෝගාතුර උනා. එතුමාගේ අවසාන ප්‍රාර්ථනය වූයේ වැඩ අවසන් කල දාගැබට වන්දනා කොට අවසන් හුස්ම හෙළීමයි. මේ අවස්ථාවේ එම කාර්යය සාර්ථක කර ගැනීමට සහාය වන සද්ධාතිස්ස කුමරා දාගැබේ ඉදි නොකල කොටස් සුදු රෙදි වලින් ආවරණය කොට වැඩ නිමවූ පසු පෙනෙන පරිදි දක්වා ඇති අතර ඒ දුටු  දුටු ගැමුණු රජතුමා මහත් ප්‍රීතියෙන් දාගැබ වන්දනා කරමින්ම අවසන් හුස්ම හෙලූ බවත් මරණින් පසු දිව්‍ය රාජයකු වී තුසිත දෙව්ලොව උත්පත්තිය ලැබූ බවත් මහා වංශයේ සදහන් වෙයි. රජුගේ ඇවෑමෙන් සද්ධාතිස්ස රජතුමා දාගැබේ වැඩ අවසන් කලහ.


දුටුගැමුණු රජතුමා පිළිබද තවත් අගනා ලිපියක් මෙතැනින්

මොණරාගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම පිළිබද වටිනා තොරතුරු රැසක් මෙතැනින්


මාස ගණනක් පුරා සැමගේ අවධානයට ලක්වූ බස් රේඩියෝ සම්මාන උළෙල අවසානයේ ජයග්‍ර‍හණ ලැබූ සහෝදර බ්ලොග් කරුවන් වෙත මගේ උණුසුම් සුභ පැතුම් !



මම සයිබරයේ අලුත් මිතුරා සිරා...

ප.ලි

පුරාවිද්‍යා උපාධිධාරී මාගේ අතීත පෙම්වතිය වෙත  ආචාරය පිරිනමමි. 

ඉතිහාසය පිළිබද තොරතුරු  ඇය විසින් මා හට නැවත වතාවක් සපයා දුන්නාය.

දුටු ගැමුණු රජතුමාගේ සිතුවමක් Google හි සොයන විට මෙය දක්නට ලැබුනා..










Related Posts Plugin for WordPress, Blogger...