අපි අද කථා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන මේ වර්ගයේ එකම එක තියෙන ඉසව්ව ගැන... මේ කුණුහරුපෙ මොකක්ද කියලා තව සුට්ටකින් විසදෙන හින්දා බොලා කලබල වෙන්න කාරි නෑ...
සිරා හා පුරා කියලා මේ කියන ඉසව්වට පය තිබ්බෙ 2011 වසරේ නැගෙනහිර පළාතෙ කරපු සංචාරයක් අතර තුර, ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය පිළිබද තමයි ඔන්න ඔබ දැනුවත් වෙන්න යන්නෙ.
මගුල් මහා විහාරය පිහිටා තිබෙන්නෙ නැගෙනහිර පළාතෙ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමෙ. එය පුරාණ පරිපාලන බෙදීමට අනුව නම් මඩකලපු දිස්ත්‍රික්කයේ පානම පත්තුව. මොණරාගල පොතුවිල් (A-4) මාර්ගයේ ගමන් කල විට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18 ක් පමණ ගමන් කලාම හමුවෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරිලා තවත් කි.මි භාගයක් පමණ ගිය තැන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව වැදගත් මේ සිද්ධස්ථානයට ලගා වෙන්න පුලුවන්.... ත්‍රස්ත භීෂණ පැවති කාලයේ බොහොම අපහසුතාවයට පත්ව එදිනෙදා දාන වේල පවා අපහසුවෙන් සරිකර ගත් අපේ කාලයේ මහා යතිවරයාණන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නොවන්නට මෙම ස්ථානය අද වන විට මුඩු බිමක් වන්නටත් ඉඩ තිබුනා... එසේ වූවා නම් අපේ මුතුන් මිත්තන්ගේ කලා කෞෂල්‍යය හා හැකියාවන් මතු පරපුරේ දෑස් මානයෙන් මිදී වැලිතලාවක් යට සදාකාලික නින්දේ සැතපෙන්නටත් ඉඩ තිබුනා.
ඓතිහාසික තොරතුරු
මගුල් මහා විහාරයේ අතීතය පිළිබද වර්තමානයට තොරතුරු ගෙන එන ප්‍රධාන මුලාශ්‍ර කීපයක් තියෙනවා. මහාවංශය හා පූජාවලිය යන ඉපැරණි සාහිත්‍යමය මූලාශ්‍ර වලට අමතරව පූජා භූමියේ පිහිටා තිබෙන 14 වන සියවසට අයත් පුවරු ලිපි දෙකත් ඊට ඇතුලත්. මෙම විහාරය අතීතයේ හැදින්වූ ආකාරය පිළිබද වඩා විශ්වාසදායක අදහසක් ගත හැක්කේ පුවරු ලිපි මගින්...අතීත නාමය පිළිබද මහාවංශයේ පවා සදහනක් නෑ. නටබුන්ව අතහැර දමා තිබූ රූණු මහා විහාරය විහාරමහා දේවිය විසින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර එහි නඩත්තුව උදෙසා ඉඩ කඩම් පූජා කල බවක් එක් පුවරුවක සටහන් වී තිබෙනවා.
තවත් පුවරු ලිපියක සදහන්ව පවතින සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර යන පාඨය මගින් ධාතුසේන රජතුමා (ක්‍රි.ව 516 - 526 ) විසින් මෙම විහාරය ප්‍රථමයෙන්ම ඉදිරකරන ලද බවට අදහසක් ලබා දීමට උත්සාහ කලත් විහාර ආරම්භය පිළිබද මහාවංශයේ හා පූජාවලිය යන ඉපැරණි මූලාශ්‍ර වල සදහන් වෙන්නෙ ක්‍රි.ව 661 දි පමණ කෙටි කලකට අනුරාධපුර රජ වී සිටි 1 වන දප්පුල රජතුමා විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කරවූ බවක්. මහාවංශයට අනුව පාණ දිවයින් වාසී මහතෙරුන්ගෙන් බණ අසා පැහැදීමට ලක් වූ 1 වන දප්පුල රජතුමා උන්වහන්සේට බුහුමන් පිණිස රුහුණු වෙහෙර කරවා සතර දිගින් එන සංඝයා උදෙසා පූජා කල බව තමයි එහි දැක්වෙන්නෙ.
එහෙත් මෙම ස්ථානය හා බැදුනු ජනප්‍රවාද මීට හාත්පසින් වෙනස් කථාවක් තමයි කියන්නෙ... රුහුණේ පාලකයෙකුව සිටි කාවන්තිස්ස රජතුමා (දුටු ගැමුණු හා සද්ධාතිස්ස රජ වරුන්ගේ පියා ) විසින් විහාරමහා දේවිය නම් කුමරියක සරණ පාවාගෙන අභිෂේක කල ස්ථානය මෙය නිසාම උත්සවයෙන් පසුව රජතුමා ඉදිකල විහාරය මගුල් මහා විහාරය බවයි ඉන් කියැවෙන්නෙ.
එදා කැලණිතිස්ස රජු විසින් රටේ ආරක්ෂාව පතා මුහුදට බිලි දුන් සිය එකම දියණිය නැවතත් ගොඩබිමට සේන්දු වූ ස්ථානය කිරින්ද ලෙස බොහෝ අය විශ්වාස කලත්.. පුරාවිද්‍යාත්මක සාධක අනුව නම් එය වර්තමාන පොතුවිල් නගරයට ආසන්න මුහුදු මහා විහාරයට ආසන්න භූමි භාගයක් ලෙසයි සැළකෙන්නෙ. වර්තමානයේ නැගෙනහිර මුහුදු වෙරළේම පිහිටා තියෙන කෝමාරිය නැමති ස්ථානයේ නම ඇති වීමටද මෙම සිදුවීම ඉවහල් වී තිබෙනවා... කෝමාරිය අද සම්පූර්ණයෙන්ම දෙමළ කථා කරන ජනතාවගේ ජනාවාසයක්.
කාවන්තිස්ස රජතුමා මුහුදේ පාවී ආ කුමරිය ගැන ආරංචිය ලැබී මෙම ස්ථානයට පැමිණ කෝ කුමාරි යනුවෙන් ඇසූ වදන් පසුව කෝමාරිය නමින් ව්‍යවහාර වූ බැව් 1921 දි එස්.ඕ. කනගරත්නම් මහතා විසින් ලියන ලද මඩකලපු දිස්ත්‍රික්කයේ වෘතාන්තය නැමැති කෘතියේද සදහන් වෙනවා. මේ අසලදී අබලන් වූ නැවක කුමරියක සිටි බවත්, අවසානයේ ඒ කුමරිය ප්‍රදේශයේ රැජින වූ බවත් තවදුරටත් එම ග්‍රන්ථයේ සදහන්.
මගුල් මහා විහාරයට ආසන්න හුලංනුගේ ගමේ පිහිටා තිබෙන කරදහෙල හෙවත් පුරාණ හබුතල විහාරයෙන් කාකවණ තිස මහ රඣ (කාවන්තිස්ස මහ රජු) යන වචන පෙළ සදහන්ව හමුවී ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිය මගින් මගුල් මහා විහාරයට සම්බන්ධ තවත් කථාවක් කියවෙනවා. කාවන්තිස්ස රජතුමාගේ දේශපාලනික හා ආගමික ක්‍රියාකාරකම් මෙම වෙහෙර අවට පැවති බවක් ඉන් ගම්‍ය වෙන්නෙ.
ධාතුවංශය හා රෝහණ වංශ කථාව යන ග්‍රන්ථයන්ගෙ සදහන් වී ඇති අන්දමට කාවන්තිස්ස රජුගේ ආධිපත්‍ය යටතේ පැවති මාගම රාජධානියට පරිබාහිරව සමකාලින සේරු නුවර, ලෝණ නුවර, හා සෝම නුවර යනුවෙන් ස්වාධීන රාජධානි තුනක් පිළිවෙලින් සිව,මහානාග,ගිරි අභය යන පාලකයන්ගේ ආධිපත්‍ය යටතේ පැවතුනා. මහවැලි ගගට උතුරින් පිහිටි මේ ස්වාධීන රාජ්‍යයන් එළාර රජුට එරෙහිව සේනා සංවිධානයේදී බාධාවක් වූ නිසා ඒවා වක්‍ර ලෙස තම ආධිපත්‍යය යටතට ගැනීමට උපායක් ලෙස සේරුනුවර චෛත්‍යය ඉදිකලා. එමගින් යුද්ධයකින් තොරවම තමන්ට අවැසි දේ කිරීමට කාවන්තිස්ස රජතුමාට හැකි වුනා. ඒ අනුව මගුල් මහා විහාරය හා ඒ ආශ්‍රිතව සිදු වූ ක්‍රියාකාරකම් පිළිබදව ඔබට දළ අවබෝධයක් ලබාගත හැකි වේවි.
ඔන්න ඒ විස්තරයත් අහවර කරලා සිරා කියන්න යන්නෙ ලංකාවට තියෙන එකම දේ ගැන... ඒ තමයි මෙම විහාරයේ පිහිටා තිබෙන සදකඩ පහණ, ඇතා සමග ඇත් ගොව්වාද කැටයම් කර තිබෙන ලංකාවෙ එකම සදකඩ පහණ තමයි මේ. ඇත්ගොව්වා ඇතාගේ පිට මත හිදින අතර එය ඉතා සියුම්ව බලන කල පෙනෙන්නේ ධාවනයේ යෙදෙන ක්‍රියාශීලී ආකාරයක්.
එහි අනෙක් සදකඩ පහන් වල මෙන් පළමු කවයේ ගිණි දැල්ල හෝ පලාපෙති පෙනෙන්නට නෑ. එම කොටස කැටයම් රහිත බවක් තමයි දිස්වෙන්නෙ. දෙවැනි කවයේ ඇත් ගොව්වා සහ හස්ති රූප එකා පිටුපසින් එකා ගමන් කරනා ආකාරයක් දක්නට ලැබෙනවා. හංසාවලිය ඇතුලු වෙනත් සතුන් දක්නට නෑ. මේවාට අමතරව ලියවැල් මෙන්ම නෙළුම් පොහොට්ටු ඉතාමත් සජීවි ලෙස නිර්මාණකරුවා නිර්මාණය කර තිබෙනවා.
සදකඩ පහනට අමතරව පොකුණු, ප්‍රාකාර, ස්තූප, බොධිඝර, මුරගල්, භික්ෂු වාස කුටි, දාන ශාලා, ධර්මශාලා ආදී ඉදිකිරීම් මෙම භූමියේ දක්නට තිබෙන අතර එමගින් යටගිය දවස මෙම ස්ථානයේ තිබූ බෞද්ධ ප්‍රබෝධය සිතාගන්න පුලුවන්.
මේ ඉදිකිරීම් වලට අයත් නොවූ තවත් වැදගත් දෙයක් මෙම භූමියේ තිබෙනවා... ඒ කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය අතර විවාහ මංගල උත්සවයට උපයෝගී කරගත්තේ යැයි සැළකෙන ශිලාමය මංගල පෝරුව...මේ සාධකයත් විහාර මහා දේවිය සැබෑ ලෙසම ගොඩ බැස්සේ කිරින්දට නොවන වගට සාක්ෂියක්...
![]() |
| මංගල පෝරුව |
පෙර රජ දවස මෙම පුදබිම දීපතිමත්ව බැබලුනත් වරින් වර ඇතිවූ පර සතුරු ආක්‍රමණ හා වසංගත රෝග නිසා වසර සිය ගණනක් ජනශූන්‍යව තිබෙනවා. කාලය විසින් හුදකලා කල මෙම ස්ථානය අවට නැවත වරක් කෙමෙන් කෙමෙන් ජනාවාශ ඇතිවුවත් නටබුන්ව තිබූ මෙම පුදබිම ඇසුරු කරන්නට ඒ අතර ස්වාමීන් වහන්සේලා සිටියේ නෑ... නමුත් 1907 දී පමණ අහඹු ලෙස ලාහුගල යල්පොත ගම්මානයට ස්වාමීන් වහන්සේ නමක් පිඩු සිගා වැඩියා. එය මහත් භාග්‍යයක් ලෙස සැලකූ ගම්මු උන් වහන්සේට මෙම විහාරස්ථානයේ වැඩ වසන ලෙස ආරාධනා කලා. උන් වහන්සේ තමයි දානෙගල ස්වර්ණජෝති ලොකු හාමුදුරුවො. මෙහි තිබූ පෞරාණික වටිනාකම හොදින් වටහාගත්ත මේ මහා යතිවරයාණන් වහන්සේ කිසිදු පහසුකමක් නැතිව අලි, කොටි , වලසුන් ගහන දරුණු වනාන්තරයක පිහිටි ආර්ථික දුෂ්කරතා වලින් යුත් සීමිත මිනිසුන් පිරිසකගෙන් ජනාවාස වූ මේ ප්‍රදේශයේ විශාල සියඹලා ගසක ගම්වාසීන් විසින් ඉදිකර දුන් අට්ටාලයක දිවිගෙවමින් ලාහුගල මගුල් විහාරය නැවතත් කරළියට ගෙනඒමට ඉතාමත් වටිනා නිහඩ සේවයක් ඉටු කර තිබෙනවා. භූමියේ කොටසක් එළි පෙහෙළි කර ඉලුක් සෙවිලි කල කුඩා ආවාසයක් සකස් කරගෙන තමන්ගේ සහාය සදහා ශිෂ්‍ය හිමිනමක් වූ අරවාකුඹුරේ දේවරක්ඛිත හිමි කැදවාගෙන ආ බැව් වර්තමාන ස්වාමීන් වහන්සේ සමග කල සාකච්ඡාවකින් දැන ගන්න ලැබුනා.
![]() |
| විහාරයට ප්‍රවිශ්ඨ වන ස්ථානයේ ඇති වල්බිහිවූ වැවක් |
1928 දි ස්වර්ණජෝති නාහිමියන් අපවත් වූ පසුව දේවරක්ථිත ගෝල හිමියන් විසින් ගම්මානයේ දායකයන් සංවිධානය කොට නව ගොඩනැගිලි ඉදිකර පන්සලක් ලෙස වැඩිදියුණු කල බවත්, ගම්වාසීන්ගේ යහපත් ගුණ වගාව වෙනුවෙන් පෙරහැර හා පිංකම් ආදිය සංවිධානය කොට මෙම පූජනීය ස්ථානයට අති විශාල සේවාවක් සිදුකර ලෝ දහමට අනුව 1982 දි අපවත් වී තිබෙනවා.
අදට එහෙනම් කථාව අහවරයි..යමක් කමක් දැනගත්තා නම් ඒක තමා සිරාගෙ සතුට...
මේ කථාබහට පෙර බ්ලොග් අවකාශයේ ලාහුගල මගුල් මහා විහාරය පිළිබද තවත් සටහන් තිබූ නිසා ඇතැම් පොදු කරුණු එක් නොකොට ඒවාට මගහැරුණු දෑ මෙම සටහනට එක්කිරීමට සිරා කටයුතු කලා.
පූසා කල සටහන මෙතැනින්
හසිත කල සටහන මෙතැනින්
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,
ප.ලි
බෝගහමුල්ලේ සුමන හිමි සහ ලාහුගල පී.බී. දිසානායක මහතා විසින් රචිත ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය කෘතියද පරිශීලනය කළෙමි.
ඇතැම් කරුණු පුරාවිද්‍යා උපාධිධාරී සිරාගේ පැරණි පෙම්වතිය වෙතිනි. ඉතිහාසය සම්බන්ධ පෝස්ටු වෙනුවෙන් මෙයට පෙරත් කීප වාරයක් ඈ මට සහාය දී තිබෙනවා.
මේ සිද්ධස්ථානය අවට වෙසෙන ගම්වාසීන් කාලයක් යුද්ධයෙන් බැට කා දැන් ආර්ථික අපහසුතා මැද ජීවත් වන පිරිසක්. ඔවුන්ගේ ජීවන තත්වය සියසින් දැකගෙන ඔවුන්ට සහායක් වෙන්න වැඩි වැඩියෙන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ඔබට දායක වෙන්න පුලුවන්... ඒ නිසා ඔබේ මීළග චාරිකාවට මේ සිද්ධස්ථානයත් ඇතුලත් කරගන්න. ගම්වාසී ආරක්ෂක අංශ වල සාමාජිකයන් ඇතැම් ඉතිහාස කරුණු ඔබ වෙනුවෙන් විස්තර කර දෙන්නෙ ස්වේච්ඡාවෙන්...
![]() |
| ගම්මානයේ වෙළද සැලක් |
මෙහි සියලුම ඡායාරූප මවිසින් ගන්නා ලද ඒවාය.
මේ ආසන්නයේ ඇති පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය තුල අනවසර ඉදිකිරීම් කරමින් අන්‍ය ආගමිකයන් කටයුතු කරන අතර මේ ප්‍රදේශ තුල බහුතර සිංහල ජනතාවක් වර්තමානයේ ජීවත් නොවීමත් එයට හේතුවක්... කෙසේ හෝ මේ ගැටළු පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු වී පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සුරැකී ඒවා අපේ මතු පරපුරටත් දැක බලාගැනීමට වරම් ලැබේවා !















