ප්‍රථම ප්‍රේමය..හ්ම්...හරි ලස්සන වචන දෙකක්. ප්‍රේමවන්තයො කවදාවත් වයසට යන්නෙ නෑ කියනවා වගේ, වයස්ගත කෙනෙක්ට උනත් තමන්ගෙ ප්‍රථම ප්‍රේමය කිසි දවසක අමතක වෙන්නෙ නෑ. මම දන්න විදියට ගොඩාක් අයට ප්‍රථම ප්‍රේමය ජයගන්න ලැබිලා නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම ආදරයක රහ දැනුන අවස්ථාව නිසා ඒ මතකය මිහිරි රිදුමක් වෙලා අපේ හදවතේ ගැඹුරුම තැනක රැදෙන්නෙ ආශ්චර්යමත් විදියට. කසාද බැඳලා දරු මුණුපුරන් හිටියත් ප්‍රථම ප්‍රේමය ගැන මතක් කල පමණින් සංවේදී වෙන වැඩිහිටියොත් මට මුණ ගැහිලා තියෙනවා. ප්‍රථම ප්‍රේමය කිසිදිනෙක නොමියෙයි කියලත් කියමනක් තියෙනවානෙ.
මම ඉතින් මගේ ප්‍රථම ප්‍රේමය ගැන යමක් සිරාගෙ කාමරයට ලියලා හිතේ කෙළවරකට වෙන්න තියෙන පුංචි වේදනාවටත් සමු දෙන්නයි හිතුවෙ. හිනාවෙන්න එපා මේක ඒක පාර්ශවීයයි කියලා. ඒක පාර්ශවීය උනත් දැනෙන්නෙ එකම වේදනාවම තමයි. විරහව වෙලාවකට රසයක්. වෙලාවකට දුකක්. ඒක රසයක් කරගත්තම හරි අමුතු ලස්සනක් මට දැනෙනවා.
ගෑල් ළමයෙක් ගැන හැගීමක් ඇතිවෙන්න පටන් අරන් සෑහෙන කලක් ගත උනත් ආදරයක් කියලා හැගීමක් හිතට ආවෙම නෑ. උසස් පෙළ අතිරේක පන්ති ගනනාවකට ගියත්, බස් රථ වල නිතර නිතර එහා මෙහා ගියත්, ලස්සන කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවත් කිසිම දවසක අනේ මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා මට හිතිලා තිබුනෙම නෑ. මම බොහොම නිදහස් විදියට ජීවත් උනේ.
විභාගය අවසන් උනාට පස්සෙ මම පොඩි වෘත්තීය පාඨමාලාවකට සම්බන්ධ උනා. එතනදි නුවර පළාතෙ ගොඩාක් ලස්සන කෙල්ලෙක් මට මුණ ගැහුනා. පන්තියෙ හිටිය කොල්ලො බහුතරය මේ ළමයා එක්ක යාලු වෙන්න උත්සාහ කලත් ඒ කිසිම කෙනෙක් එයා තඹේකට මායිම් කලේ නෑ. නමුත් මේ කෙල්ල මා එක්ක හිතවත් උනා. එයා නුවර යන දවසට අපි බස් එකේ එකට ආවා ගියා. ඒත් මට මේ ලස්සන කෙල්ල ගැනවත් කිසිම ආදර හැගීමක් ඇති උනේ නෑ. මට උවමනා උනේ යාලුවෙක් විදියට ඉන්න. නමුත් ඒ දැරිවි මා ගැන යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න බව දැනුනම වැඩේ දුරදිග යන්න කලින් මම එයාගෙන් ඈත් උනා.
මගේ යාළුවො මට බැන්නෙ උඹට තියෙන්නෙ ලෙඩක් ඕකට බේතක් ගනින් කියලයි. මටත් ඇත්තටම හිතුනා මට ආදරය කරන්න හිතෙන්නෙ නැත්තෙ ලෙඩක් නිසාද කියලා. ඒ උනත් අපේ පන්තියෙ කෙල්ල ගැන නම් මට ආදරයක් ඇති උනේම නෑ.
ඒ කථාව ඒ විදියට ඉවරයක් උනා. පාඨමාලාවෙ අදියර දෙකක් අවසාන කරලා මම රැකියාවකට සම්බන්ධ වෙන්න බැලුවා. ලංකාවෙ ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන ශාඛාවේම හොඳ රැකියාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා. දවසක්දා රාජකාරි කටයුත්කට අපේ සමාගමේ කොළඹින් පිට ශාඛාවක ලේකම් කෙල්ලෙක් එක්ක මට දුරකථනයෙන් කථා කරන්න අවස්ථාව ලැබුනා. මේ කථාබහ තවත් දවසක් දෙකක් කෙරීගෙන යද්දි අපි දෙන්නා හොඳ යාලුවො බවට පත් උනේ අපිටත් හොරෙන්. එයා මට වඩා වසර දෙකක් වැඩිමල්.
මුලින්ම අක්කා, මල්ලි විදියට ආමන්ත්‍රණය කලාට, පස්සෙ පස්සෙ ඒ දේවල් වෙනස් උනා. තවත් ටික දවසකින් අපේ මිත්‍රත්වය තද බැඳීමක් බවට පත් උනා. එයා එයාගෙ දුක්බර අතීතයේ හැම දේම මට කිව්වා. පළමු පෙම අහිමි වීම නිසා මේ ගෑණු දරුවා බොහොම කණගාටුවෙන් හිටියෙ. ඒ හිත හදන්න මම රාජකාරී නොවන වෙලාවටත් එයාව ඇමතුවා. සමහර වෙලාවට පැය දෙක තුන අපි දෙන්නා දුරකථනයෙන් කථා බහ කලා.
අපේ මේ සමීපත්වයට පිං සිද්ධ වෙන්න මම ආදරය කියන හැගීම කුළුදුලේම විඳගත්තා. අපේ මිත්‍රත්වය ආදරයක් බවට පෙරලුනේ මම හිතුවෙ නැති විදියට. මට එයා ගැන ආදරයක් ඇති උනාට පස්සෙ ඒ බව කියන්න මම හදිස්සි උනේ නෑ. හිතේ හිරකරගෙන හිටියා. දවසින් දවස ආදරය වැඩි උනා.
කොළඹ රැකියාවක් කරන්න එයා ආශාවෙන් හිටියෙ. මමත් ඒකට උදව් කලා. එක පැත්තකින් ඒකෙ මටත් වාසියක් තියෙන නිසා. රැකියාවෙන් පස්සෙ ලැබෙන වෙලාවෙදි මම කැපවීමෙන් එයාට රැකියා හෙව්වා. ඒක සතුටින් කරපු වැඩක්.
ඔය අතරතුර කාලෙදි හදිසියේම වගේ මගේ ඒක පාර්ශවික ආදරවන්තිය කියපු කථාවකින් මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ මට දැනුනා. එයාගෙ සති අග පන්තියක කොල්ලෙක් එයාගෙන් කැමැත්ත ඇහුව බවත්, එයාට කැමති වෙන බවත්, මේ ආරංචිය එයාගෙ ලගම යාලුවෙක් විදියට මට මුලින්ම කියන බවත් තමයි කෙල්ල මට කිව්වෙ. මෙච්චර කාලයක් ආදරයක් හිතේ හංගගෙන මම කරපු ගොං වැඩේ ගැන මට හරියට පසුතැවිල්ලක් ඇති උනා. මම නියම වෙලාවට මගේ අදහස කිව්වා නම් ඇයව මට හිමිවෙන්න ඉඩ තිබුනා නේද කියලා හිතෙනකොට ලොකු වේදනාවක් හිතට දැනුනා. අන්තිමට එයාට තිබුන ආදරය නිසාම එයාගෙ සතුට ගැන හිතලා මේ සම්බන්ධයට උදව් කරන්නං කියලා කියන්න මට සිද්ධ උනා.
මට උවමනා උනේ කෙල්ලගෙ සතුට. එයාට මම ඒක පාර්ශවීයව ගොඩාක් ආදරේ කලා. දැන් අලුත් ජෝඩුව ආදරය කරගෙන යනවා. මමත් අමාරුවෙන් අමාරුවෙන් හිත හදා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ටික ටික කාලයත් ගත උනා. හදිසියේම දවසක මගේ හිතවතී මට ආයෙමත් කථා කලා. එයා බලාපොරොත්තු වන ආදරය පෙම්වතාගෙන් ලැබෙන්නෙ නෑ කියලයි එදා මට කිව්වෙ. මේ වචනෙ ඇහුව වෙලේ ඉදලම මගේ පරණ ආදරය ආයෙමත් හිස ඔසවන්න ගත්තා. කාර්යාලයේ මා එක්කම වගේ සේවය කරන කීප දෙනෙකු මේ ගැන යම් තරමකට දැනගෙන හිටියා. ඒ අය අපි දෙන්නගෙ නම් දෙක ගාවලා විහිළු කලත් මම මේ ගැන කිසිවෙකුට කිව්වෙ නෑ.
ඉවසලා ඉවසලා බැරිම තැනදි ඕනෙ දෙයක් වෙන්න කියලා මම මගේ ආදරය ඇයට හෙළි කලා. එතනින් එහාට සියල්ලම වෙනස් උනා. එයාට මං ගැන කවදාවත් ආදරයක් තිබුනෙ නැති බවත්, මාව ආශ්‍රය කලේ හොඳම මිතුරෙක් විදියට බවත් එයා කිව්වා.
දවස් දෙකකට විතර පස්සෙ එයා මට රාජකාරිමය වැඩකට කථා කලා. කිසිම දෙයක් නොවුන ගානට. කෙල්ලො මේ විදියට කොහොම හැසිරෙනවද මන්දා. මට දුක කියන දේ හොඳට දැනුනා. ඔය අතරෙදි අපේ ආයතනයෙන් ඉවත් වෙලා ගිය වෙළඳ කළමනාකරුවෙක් එයාගෙ වර්තමාන ආයතනයේ ඇතිවෙච්ච පුරප්පාඩුවකට මට කථා කලා. ලැබෙනවා කිව්ව වැටුපත් නරක නෑ. එ සමාගම ගොඩාක් ප්‍රසිද්ධ එකක් නෙමෙයි. මගේ ආයතනික හිතවතුන් මේ තීරණය ගැන කොච්චර බැන්නත් මම අදහස අතඇරියෙම නෑ
අලුතින් කෙනෙක්ව අරගෙන පුහුණු කරනවට වඩා මගෙන් පුරප්පාඩු වෙන තනතුරට මගේ ප්‍රථම ප්‍රේමයව බඳවා ගැනීම වාසිදායක බව ආයතනය තීරණය කලා. එයත් ඒ තීරණය ගැන බොහෝ සතුටු උනා.
ඉස්සර මම රැකියාවෙන් අයින් වෙනවා කිව්වම දුක් වෙච්ච කෙල්ල දැන් මගෙන් අහනවා කවදද යන්නෙ කියලා. එයාට නම් ගානක් වත් නෑ. මට තමයි දුකක් කියලා දෙයක් දැනෙන්නෙ. ඒ මම අවංකව ආදරය කරපු නිසාද ?
දන්නෙ නැති නිසයි අහන්නෙ. පණ දෙන්න වගේ ලගින් ඉඳන් දුක සැප හැම වෙලේම අහන, අපි ගැන හොයා බලන කෙල්ලෙකුගෙන් ප්‍රේමය ගැන ඇහුව ගමන් ඒ අය වෙනස් වෙන්නෙ, කෝපයට පත් වෙන්නෙ, මට කිසිම අදහසක් ඔයා ගැන ඇති වෙන්නෙ නෑ කියන්නෙ ඇයි...මට හිතාගන්න බෑ. ආදරය කියන වචනය ඒ තරම් නරක එකක්ද කියලා මම තවමත් කල්පනා කරනවා.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
ජනිත චතුරංග
ප.ලි
ජනිත චතුරංග මිත්‍රයා සිරාගේ කාමරයට සෑහෙන කාලයක සිට එන යන පාඨකයෙකි. මාස 6 කට පමණ ඉහතදී ඔහු මේ කථාව මවෙත එව්වේ සිරාගේ කාමරයේ කෙසේ හෝ පල කරන ලෙසයි. ඔහුගේ ඒ ඉල්ලීම අද මෙසේ ඉටුවෙයි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට ලිපියක් ලිවීම පිළිබඳ මගේ ස්තූතිය ජනිත මලයාට හිමි වෙයි.