Showing posts with label එදා පත්තර කී කථා. Show all posts
Showing posts with label එදා පත්තර කී කථා. Show all posts

Saturday, June 29, 2013

76 කෑ හැටියේ බඩ යාම

එදා පත්තර ඇසුරෙන් සිරාගේ කාමරයේ දිග ඇරුනු ලිපි මාලාවේ තවත් ලිපියක් සමගින් ඔබ මා හමුවන දිනයකි අද. මෙතෙක් කල් පල වූ දෑ විවිධ මාතෘකා අනුව වර්ග කර දැක්වීමට මම උත්සාහ කළෙමි. ඒ අනුව අද පලවන සියලුම දැන්වීම් ලෙඩ රෝග සහ විවිධ අපහසුතා සදහා සහනය සලසන නිෂ්පාදන හා ප්‍රතිකාර ක්‍රම වලින් සන්නද්ධ ඒවාය. මේ ලිපියත් සමගින් එදා පත්තර කී කථා ලේබලයෙන් ලියැවුනු ලිපි පෙල නිමාවට පත් වේ. ඉදිරි දිනයක නැවතත් මෙවැනි යමක් ඇස ගැටුනහොත් නිසැකවම එය කාමරයට ගෙන එමි.

මෙතෙක් ලිපි පෙල නුදුටු අය මෙතැනින්  ඒවා කියවන්න.

සුනිල් දැන් ප්‍රීතියෙන් සිටින රහස ඔබ දන්නවාද ?


සුනිල් ඈලි මෑලි දුබල ගතියෙන් පෙළුණි !  ඔහුගේ ශක්තිය හා ජීව බලය හීන වී ඔහුගේ ශරීරය දිරාපත් වී, වෙහෙසට පත්ව අලසයෙක් විය. නින්ද නොයාමෙන් ජීවිතය නීරස විය. (සුනිල්ට ඈලි මෑලි දුබල ගතිය ඇති වී තිබුනි)

දැන් සුනිල් ප්‍රීතියෙන් සිටී. ඔහු ශක්තිසම්පන්න පෘෂ්ඨිමත් ප්‍රබලයෙක් විය. ඔහුගේ සාමාන්‍ය නිරෝගී භාවය සහ පෙර තිබූ උද්යෝගය නැවත ලගා වී නිදි සුවය ලැබුනි. (දැන් සුනිල්ට ඈලි මෑලි දුබල ගතිය නොමැත) 

ඔබ ගනු ලබන ආහාර වලින් උවමනා තරම් පෝෂ්‍යගුණය ලබාගැනීමට ඔබේ ශරීරය අපොහොසත් වුවහොත් ඈලි මෑලි දුබල ගතිය (කෑම අරුචිය සහ ශක්තිය නැතිවී යාම, හිසරදය සහ නහර දුර්වලතාවය) වැළදෙන බව රසායනාගාර පරීක්ෂණයන්ගෙන් ඔප්පු වී ඇත. විශේෂයෙන්ම මාංශ ජනක ධාතුන් සහ විටමින් B පදාර්ථය අඩු වූ විට එය ඇති වේ. ඔබ ඈලි මෑලි දුබල ගතියෙන් නොපෙළිය යුතු අතර එයින් සුවය ලබාගත හැකි බව වැඩිදුර පර්යේෂණයන්ගෙන් ඔප්පු වී ඇත. 

පැනෝපෙප්ටන් පුදුමාකාර ලෙස සහනය ලබාදේ. සාමාන්‍යයෙන් ඈලි මෑලි දුබල ගතිය වැළදුන විට දිනපතා අවශ්‍ය මාංශ ජනක ධාතූන් සහ විටමින් බී පදාර්ථයන් බෙහෙවින් අඩංගු ඖෂධීය පානයක් ගැනීමට වෛද්‍යවරු නියම කරති. පැනෝපෙප්ටන්හි සෞඛ්‍ය සැපතට ඉවහල් වන මේ ප්‍රධානතම විටමින් පදාර්ථයන් බහුලව අඩංගු වී ඇත. 

පැය 24 ක් තුලදී ඉතා සීඝ්‍ර පුදුමාකාර ප්‍රතිඵල ලබාදෙන පැනෝපෙප්ටන් වල මනා දිරවීමේ සහ උරාගැනීමේ සංයෝගයන් අඩංගු වී ඇත. බාල මහළු දහස් ගණනකට සමව ක්ෂණික ප්‍රතිඵල ලබා දී ඇති පැනෝපෙප්ටන් ඔබත් පාවිච්චි කරන්නෙහි නම් නැවත වරක් ඔබ ඈලි මෑලි දුබල ගතියෙන් නොපෙලෙනවා ඇත.

කාලයේ ඇවෑමෙන් සමහරක් විට පැනෝපෙප්ටන් මේ වන විට භාවිතයෙන් ඉවත් වී ඇතුවාට සැකයක් නැත.

ප්‍රේත දෝෂ වින දෝෂ, අපල උපද්‍රව ගැන කථාකරද්දි ඒ සියලුම දේවල් ජනතාවගේ පොකැට්ටුවට තට්ටු කරන දේවල් බව බොහෝ දෙනා දන්නවා. මේ දේවල් දුරු කරලන්න භාර ගන්න අයත් අවසානයේ ජනතාවගේ පොකැට්ටුවටම තමා තට්ටු කරන්නෙ. භාහිර අයගේ මැදිහත් වීමකින් තොරව තමන්ගේ නිවසේ ඇති දෝෂ දුරුකර ගත හැකි අන්දමක් ගැන සදහන් දැන්වීමක් හදිසියේ නෙත ගැටුනා. ඒ වෙසමුනි නයනායුධය නම් බලගතු සුවද ධූපයක් ගැන... මෙය භාවිතයෙන් දුම් ඇල්ලූ කල සියලු අපල දුරු වේලු.


කෑ හැටියේ බඩ යාම...කටක් ඇරලා කියන්න පුලුවන් ලෙඩක්ද...මේ ලෙඩේ හැදුන උන් කන්න බොන්න ඇත්තෙ වැසිකිළිය කිට්ටුවක ඉදගෙන වෙන්න ඇති. මේ ලෙඩේ අද නැද්දා මන්දා...කෙසේ වෙතත් බඩ යා හැකි විවිධ ආකාර පිළිබදවත් මේ දැන්වීමෙන් කියා දෙනවා.


ශරීරයේ ඇති වන අපහසුතාවක් සමනය කරගැනීම උදෙසා නිපදවූ නිෂ්පාදනයක් මීළගට...සෙම්ප්‍රතිශ්‍යව නිසා ඇතිවන නාස්පුඩු හිරවීමට එමගින් ඉක්මන් සහනය ලබා දුන්නේලු.



මේ තියෙන ලෙඩ ලිස්ට් එක දැක්කම භයත් හිතෙනවා...ඔය පණදෙන බෙහෙතකුත් තියෙන්නෙ...පණ එන්නෙ කාටද කියන එකනම් කියවලාම දැනගන්න.


කොල්ලො අර්සස් ද...නරකද සත්‍යාපාලගෙන් බෙහෙත් ටිකක් බීලා බැලුවොත්...


මේ කාන්තා රෝග පිළිබද දැන්වීමක්... ඒ පිළිබද විශේෂඥතාවක් සහිත වෛද්‍යවරයෙක් පලකරන ලද්දක්...පයාගල දුම්රිය නැවතුමේ  නාමපුවරුව තවමත් තියෙන්නෙ මේ දැන්වීමේ දක්වා තියෙන පරිදි නේද ?


ඒ කාලෙ ඉතිං පවුලක් ගත්තොත් අවම 6 දෙනෙක් වත් ඉන්නවා...බොහෝ තැන් වල ඊට වැඩි මිසක් අඩු නෑ. පවුලෙ යැපීමට ප්‍රමාණවත් සහල් කුඹුරෙන් ලබා ගැනීමට හැකි වීම, බතට අවශ්‍ය අනිකුත් දේවල්  තමන්ගෙ ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකි වීම, දරුවන්ගෙ පෝෂණයට අවශ්‍ය කිරි ගෙදර ඇති කරන එළදෙන මගින් ලබා ගැනීමට හැකි වීම, ඇළ දොළ ගංගා මගින් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරමින් මත්ස්‍ය අස්වැන්න නිවසට පැමිණීම ආදීය නිසාම මේ වගේ ඉහළ අගයක දරුවන්  ප්‍රමාණයක් භිය සැක නැතුව ජනිත කරන්නට හේතු සාධක වෙන්න ඇති. ඊට අමතරව අදුර වැටුනට පස්සෙ රූපවාහිනී නරඹන්න...චිත්‍රපට, ක්‍රිකට් තරග, අන්තර් ඡාලය වගේ දේවල් නොමැති නිසා අදාළ කර්තව්‍යයට වැඩි වැඩියෙන් හිත යොමු වෙන්නත් ඇති. බත් කන්න බැරි නම් ප්‍රයෝජනයට ගන්න කොස් ගහක් දෙල් ගහක් සෑම වත්තක පාහේම තිබුනා.

නමුත් කාලයේ ඇවෑමෙන් මේ කියන කාරණය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ නිවසේ ආර්ථික තත්වය අයහපත් වන්නට පටන් ගැනීමත් සමග. මහගෙදර වත්ත දරුවන් අතර බෙදා දෙනකොට බව භෝග වවන්නට ඉඩක් කඩක් නැති වුනා. ඒ නිසාවෙන් කලින් නොමිලේ ලැබුනු දේවල් මුදල් දී වෙළදපොලෙන් ලබා ගැනීමට සිදු වුනා. පඩිපෙල වගේ දරුවන් ඉද්දි ඒ බර ගෘහ මූලිකයට දැනෙන්නට පටන් ගත්තා. එයින් පසු තමයි පවුල් සැලසුම් කියන වචනය ලංකාවෙ ශබ්ද කෝෂයට එකතු වෙන්නෙ. ඒ පිළිබද දන්න සිංහලෙන් තේරුම් කිරීමට ගත්ත වෑයමක් විදියටයි මීළග දැන්වීම හදුන්වා දෙන්න පුලුවන්...

1959 සැප්තැම්බර් මාසය වෙද්දි ලංකාදීප ඉරිදා පත්‍රය පමණයි ඔවුන් කළු පැහැයට අමතරව තවත් වර්ණයක් එකතු කර මුද්‍රණය කර තිබෙන්නෙ. ඒ අනුව මේ දැන්වීම ඉරිදා ලංකාදීපයේ පල වූවක්... වර්ණ දෙකකින් පල වී ඇති නිසාම මේ සදහා පුවත්පත අයකර ඇති ගාස්තුවත් අනෙකුත් ඒවාට වඩා වැඩියි.

උපත් පාලනය කියන නුහුරු වචනය මිනිසුන්ට සමීප නැති නිසා...එයින් කියැවෙන අරුත පොදු ජනයා ග්‍රහණය කර නොගනී යැයි විශ්වාස කල නිසා සීඝ්‍රයෙන් බෝවීම කියන වදන භාවිතා කරන්නට ඇති කියලයි මට හිතෙන්නෙ. පේනවනේ අතින් කටින් වඩාගෙන ඉන්න අන්දම...


දැනට පවතින මේ තත්වය අනුව තව තවත් බෝවීම ඇති වුවහොත්, අනාගතය කෙබදුද යන්න ඔබට වැටහෙනවා ඇත. එසේ නම් අදම උත්පත්ති පාලනය සදහා ලෝක පවුල් සංවිධාන සංගමය පිළිගත් නෝනාවරුන්ගේ උපකරණයක් වූ "චැක් පැසරි" යක් පාවිච්චි කරන්න. බොහෝ කාලයක් සේවය ගෙනදෙනවත් හැර ඔබේ අවශ්‍යතාවය මැනවින් ඉටු කරයි.

එදා පත්තර කී කථා මෙතෙකින් සමාප්තයි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මෙහි ඇති රෝගාබාධයන් හා චැක් පැසරි  පිළිබද දැනුමක් ඇත්තෝ ඒවා පහදා දෙත්වා..

Sunday, May 26, 2013

74 රුපියල් 40 කට තුවක්කුවක්

එක ලග ලියැවුනු සිරාගේ රට කථා කීපයකින්  පසු ඒ සදහා කෙටි විරාමයක් තබන්නට කල්පනා කළෙමි. එක දිගටම ඒ සම්බන්ධයෙන් කියවීම ඔබට නීරස විය හැකි යයි සිතුනු නිසා සිරාගේ සීයා පෙරදිනයක කියවූ පත්තර ඇසුරින් ඔබ වෙත ගෙන ආ එදා පත්තර කී කථා  විශේෂාංගයට අද නැවතත් යොමු වෙමු. මේ වන විට මේ ලේබලයෙන් ලියවුනු සටහන් කීපයකි. ඒවා කියවීමට අතපසු වූ අය සිටී නම් ඉහත දැක්වූ ලින්කුව ඒ සදහා මග කියාවි.

අද මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1959 වසර වන විට ශ්‍රී ලාංකීය වෙළද පොල ජයගෙන සිටි පාරිභෝගික නිෂ්පාදන පෙළකි. ඒවායේ රුව ගුණ තේජස පෙන්වන්නට රූපවාහිනී කලාවක් එකල නොවූයෙන් ඒ වගකීම ප්‍රධාන පෙලේ ජාතික පුවත් පත් වෙත පැවරී තිබිනි. අතීතයේ පලවු පුවත්පත් දැන්වීම් හා වර්තමාන දැන්වීම් අතර ප්‍රධාන වෙනස ලෙස මා දකින්නේ සිංහල භාෂාව භාවිතා ඇති ආකාරය බැව් මා මීට පෙරද පවසා තිබේ. ඇතැම් විටක හාස්‍ය ස්වරූපයක් ගන්නා මේ භාෂා භාවිතයට හේතුව සිංහල පිළිබද දැනුම අඩු ඉංග්‍රීසියෙන් උගත් අයවලුන් පත්තර කන්තෝරු වල වගකිවයුතු පුටු වල සිටීම බැව් වරෙක මට දැනගැනීමට ලැබිනි. අද රට පුරා දැන්වීම් ප්‍රචාරන ආයතන තිබුනත්...එදා මේ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ පුවත් පත් ආයතන මගින් පමණයි.

වර්තමානයේ වෙළදපලේ දක්නට නැති නිෂ්පාදනයක් පිළිබද දැන්වීමක් මුලින්ම,


අලුත් ඇස් ආර් වල සිසිල් රසටත්, පෙණ නගින ගතියටත් ඔබ ආශා වෙයි. මුඛයට අළුත් මිහිරියාවක්, ආශ්වාසයට අමුතු ක්‍රියාකාරිත්වයක් ඇතිවන බව ඔබට දැනෙයි. මතක තබා ගන්න, විදුරු මස් වල ලෙඩ රෝගයන්ට හා ඉන් ආරක්ෂා වීමට දන්ත වෛද්‍යවරු පාවිච්චි කරන සෝඩියම් රිසිනෙලි‍යෙට් අඩංගු ඇස් ආර් වල පමණය. එය සැමදා ඔබේ විදුරු මස් ඝණව හා නීරෝගීවද, දත් ශක්තිමත්ව හා සුරක්ෂිතවද තබයි. අළුත් ගිබ්ස් ඇස් ආර් අදම පාවිච්චි කර බලන්න.

සිරා කුඩාකල බඩ රිදෙනවා අද ඉස්කෝලෙ යන්න බෑ කී කල මගේ මිත්තනියගේ පිළිතුර වූයේ ඊළගට දක්වා ඇති නිෂ්පාදනය පානය කිරීමට සලස්වා මා නිවසේ රැදවීම යහපත් බවයි. නිතර නිතර හොර අසනීප ගනිමින් පාසල් නොයන්නට වෙර දැරූ එකෙකු නොවූ මා එවැන්නක් පවසන්නේ සැබෑවටම එසේ වූ විටක පමණි. අදද වෙළදපලේ ඇති මේ නිෂ්පාදනය පිළිබද වර්තමාන පරපුරට වඩා ඉහ නිකට පැහුණු ඇත්තෝ හොදින් දනිති.



මොරවක මෙඩිටෝ බෝතලයටත් ඉමිටේෂන් වර්ග හදපු ඇත්තො ඒ කාලෙත් ඉදලා තියෙනවනෙ හැබෑටම...

ඊළගට අපි යොමුවෙන්නෙ වර්තමානයේදිත් වෙළදපොලේ ඉතාමත් ඉහළ කීර්තිනාමයක් දිනා සිටින සුප්‍රසිද්ධ ලිවර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදනයක් වෙත. රෙදි හෝදන කාරණය ගැන කථා කරනවානම් මේ නිෂ්පාදනේ නමත් අනිවාර්යෙන්ම කියවෙනවා.


ඔබේ පවුල ගැන ආඩම්බර වන්න, ඔවුනට දිනපතාම අළුතෙන් සේදූ පිරිසිදු ඇදුම් අන්දවන්න. සන්ලයිට් වලින් දිනපතා සේදීමෙන් පුදුමාකාර ලාභයක් ඔබට ලැබේ. මක්නිසාද ? සන්ලයිට් ස්වල්පයකින් ඇදුම් රාශියක් සෝදාගත හැක. කමිස, කලිසන්, සාරි, තුවා පමණක් නොව ඇද ඇතිරිලි පවා සන්ලයිට් වලින් සේදීම පහසුය. 

සන්ලයිට් වල ඇති විශේෂ පෙණ පිඩු ගලේ ගැසීමක් නැතුවම ඇදුම් වල දිප්තිමත් සුදු පැහැයන් ගෙනදේ. මතක තබා ගන්න. දිනපතාම ඇදුම් සෝදන විට ඔබට සේදීමට ඇත්තේ ස්වල්පයකි. ගෙදරදී සන්ලයිට් වලින් සේදිමෙන් ඇදුම් දිරා යාම වළකී. වැඩිකල් පවතී. 

පිරිමින්ටම සුවිශේෂී වූ උපකරණයක් පිළිබද මීළගට සලකා බලමු. වර්තමානයේ වුවද මෙහි ප්‍රසිද්ධියේ වෙනසක් නැත. රැවුල කපන අය අදද මෙහි විශිෂ්ඨත්වය දනී.


වර්තමානයේ නම් ඉතාමත් කලාතුරකින් පාවිච්චි කරන මුත් මා කුඩා කල නිතර පානය කරන්න ලැබුනු පානයකි මේ. එහි ඇති සුවිශේෂී සුවද සමහරුන්ට දිරවන්නේ නැත. පානයක් ලෙස මෙන්ම පාන් මත තැවරුමක් ලෙසද භාවිතා කල හැකි මාමයිට් අදද වෙළදපොලේ තිබේ. නමුත් මේ කියන ආකාරයෙන් ආහාර පිසීම සදහා එය උපකාරී කරගන්නා අන්දමක් ගැන මම මෙය දකින තුරු දැන සිටියේ නැත.


මාමයිට් ගැන දැනගැනීමට පෙර ඈ කෙසේ කෑම පිළියෙල කළේද යන්න ඈට පුදුමයකි. මුලු පවුලේම අය එයට කැමතියි. එය ඔවුනට බොහෝ ප්‍රයෝජනවත් වී ඇත. ඔවුන් වැඩි හොදට කෑම ගනිති. දැන් ඈ සුප් සහ සේවරි ආදියට මාමයිට් යොදන නිසා වඩාත් පැසසුම් ලබයි. මාමයිට් පිරිසිදු යීස්ට් සහ එළවළු සාර රසයකි. එය විටමින් බී බහුල වශයෙන් ලබාගැනීමට මාර්ගයකි. එහි මස් හෝ සත්ව තෙල් නොමැතියි. සියල්ලෝම මාමයිට් වලට ප්‍රිය කරති. එය ඉතා පිරිමැස්මදායකයි. අදම ටිකක් පාවිච්චි කර බලන්න. 

රස විදීමට (බටර් සහිත හෝ නොමැති) පාන් හෝ විස්කෝතුවල යොදා පාවිච්චි කරන්න. ඔබ එහි ඇති ආහාර රුචිය වඩවන ප්‍රනීත රසයට ප්‍රියවඩනු නිසැකය.

ප්‍රණීත රසැති මාමයිට් වලින් සාදන විට මුලු පවුලේම අය සුප් ආශාවෙන් පානය කරනු ඇත. ඔවුන් තව තවත් ඉල්ලනු නිසැක නිසා එය වැඩියෙන් සාදන්න.

ඒ බවර් සහ සමාගම පොහොර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකි. එහෙත් ඔවුන් බිස්කට් වෙළදාමේද නිරත වී සිට ඇති බැව් දැනගත්තේ මේ දැන්වීමෙනි. මේ නාමයෙන් තවමත් වෙළදපොලේ නිෂ්පාදනයක් තිබේදැයි නොදනිමි.



අප කුඩා කල නොයෙක් වර භුක්ති විදීමට ලැබුනු නිෂ්පාදනයකි මේ. මෝර ගුලි ලෙසද වඩාත් ප්‍රසිද්ධ වූ තවත් ආකාරයක් වෙයි.

























මීළගට ඇති නිෂ්පාදනය දුටු විට මේවා පාවිච්චි කරන ඇත්තන් අදත් මේ මිළටම ඒවා දෙනවා නම් කෙතරම් සතුටු වනු ඇද්ද.... එසේ වී නම් කිසිවෙකු එක, දෙක බැගින් මිළදී නොගන්නවා ඇත. පැකට් පමණක් ගන්නවා නියතය. එකල සිගරට් ශරීරයට සැනසුම දුන්  නිසාදෝ සිගරට් බොන ඇත්තන්ට පිළිකා අවධානමක් තිබී නැති බවක් පෙනේ. ඒ හෙයින්ම රජයේ අවවාදය යනුවෙන් පෙට්ටිය මත සටහන්ව නැත.

සිගරට් බොන ඇත්තන්ගෙන් මම මේ අහන්නෙ.....තාමත් සිගරට් මුදලේ නියම වටිනාකම දෙනවාද ?


පාරිභෝගික ද්‍රව්‍ය අස්සෙ වෙනස් දැන්වීමක් ඉදිරිපත් කරන්නයි මේ වෑයම. මේ  දැන්වීම දැක්ක ගමන් මට මතක් වුනේ අපේ විචාරක තුමාව, තුවක්කු ගැන දැනුම අපට ලබාදෙන්නෙ ඉතිං එතුමා නොවැ...එදා පත්තර වල දැන්වීම් දාලා තුවක්කු විකුණන්න ඇත්තෙ සතුන්ගෙන් වගා හානි බේරා ගැනීමට අවශ්‍ය ගොවි මහතුන්ගෙ ප්‍රයෝජනයට කියලයි මට හිතෙන්නෙ. මොකද කියන්නෙ සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව රුපියල් 40 ට තුවක්කුවක් ගමුද ?


1959 වගේ අවදියක ජනතාවට විනෝදාස්වාදය උදෙසා තිබූ අවස්ථා සීමිත නිසා  චිත්‍රපට කර්මාන්තය ඉතාමත් හොදින් ලාභ ලබමින් පැවතුනා. එකල නිපදවුනු චිත්‍රපට අද වගේ ප්‍රේක්ෂකයගෙ සාක්කුවට විදින ඒවා නොවුන නිසාත්....සමාජයට යම් වැදගත් පණිවිඩයක්  ලබා දෙන නිසාත්, වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මිදිලා තිබුන නිසාත් ඒවා නරඹන්න පවුල් පිටින් තමයි ප්‍රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට ගොස් තිබෙන්නෙ. අන්න එහෙම සාඩම්බර අතීතයක චිත්‍රපට දැන්වීමක් බලන්න ලැබුනොත් නරකම නෑ නේද... මෙහි සදහන් සිරිමලී චිත්‍රපටය ඒ අවදියේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ එකක්. මා කීප වතාවක් මේ චිත්‍රපටය පසුකාලීනව රූපවාහිනියෙන් නැරඹුවා.

පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඔබව කුල්මත් කරන මෙවැනි සිංහල චිත්‍රපටයක් පෙර නොවූ විරූය. 


ඔන්න ඒ අස්සෙ හාල් මිළත් නැගලා... හාල් , පාන්, මේ වගේ පාරිභෝගික ද්‍රව්‍ය වල මිළ ඉහළ යාම් කෙතරම් ශ්‍රී ලාංකීය ජනජීවිතයට බලපෑම් කලාද කියතොත්...පැවති රජයන් පවා බිද වැටුනා...සමහරු හදෙන් හාල් ගේන්න සැලසුම් හැදුවා.... ඔන්න එහෙනම් 1959 සැප්තැම්බර් මාසයේ බඩු මිළ.



එහෙනම් අදට අහවරයි. ආයෙත් දවසක පරණ පත්තර එක්ක හමු වෙමු.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..






Monday, May 6, 2013

120 පරණ පත්තර එක්ක සිරා අයෙත් කාමරයට ආවෝ !

මාස දෙකකට කලියෙන් සිරා අවසන් බ්ලොග් සටහන නිමා කලේ  “  සිරාගේ කාමරයට කෙටි විරාමයක් තබමි. එනමුදු නුදුරු දිනයක නැවතත් කාමරයට යන එන ඔබ වෙනුවෙන් නිසැකවම ලියමි. යනුවෙනි. අවිනිශ්චිත අනාගතයක් පිළිබද සුභවාදීව සිතමින් සිරා මවුබිමෙන් සමුගැනීම එයට හේතුවයි. නැවතත් කාමරයට පැමිණ මා කියවන උන් වෙනුවෙන් යමක් අකුරු කරන දිනය නිසැකවම දක්වන්නට ඒ අවස්ථාවේදී මා අපොහොසත් විය. මාස දෙකක විරාමයකින් පසු යළිත් ඇරඹෙන සිරාගේ බ්ලොග් කෙරුවාව සිරාගේ කාමරයේ දෙවන උපත ලෙසද වරෙක මට සිතේ.

සිරා කොලුවා පේන්නට නොසිටි කාලය තුල දුක සැප විමසා ඊයක් එවූ මෙන්ම, මකුළුදැල් බැදී පාලුවට ගොස් තිබූ කාමරයට ගොඩ වැදී මේකා කොහෙ මකබෑවුනාදැයි විමසමින් සටහනක් තැබූ බ්ලොග් මිතුරන්, මිතුරියන් සියල්ලන්ටම එක සේ ස්තූතිවන්ත වෙමි. ඔබේ ඒ අල්පමාත්‍රයකුදු නොවෙනස් අකලංක ලෙංගතුකමට මා අතිශයින් කෑදර නිසාවෙන්ම නැවතත් සිරාගේ කාමරයේ අද පටන් විවිධ දෑ ලියවෙයි. ගත වූ කාල සමය තුල මා අත්දුටු, කල කී දෑ අසීරුවෙන් ගලපාගන්නා තුරු සීයාගේ පත්තර එකතුවෙන් ඔබවෙත ගෙන ආ පැරණි පත්තර මතකයන් ඔබ වෙත නැවත තිළිණ කරන්නෙමි. ලංකාවෙන් පිටත් වන විට මේවා මගේ පරිගණකයේ තැන්පත් කර ගත්තේ ඔබ වෙත තිළිණ කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. මීළග සටහනේ සිට නොරටක සිටින සිරා මුහුණ පෑ දේ පිළිබද නොවලහා කියමි. පසුගිය කාල සමය තුල මා හට කිසිවෙකුගේ හෝ බ්ලොග් සටහනක් කියවීමට අවස්ථාව නොවීය. ඒ මගේ අරමුණු හඹා යාමට කාලය යෙදවීමට මට සිදු වූ බැවිනි. ඒ පිළිබද ඔබ සැමගෙන් සමාව භජනය කරමි. 

මේ වන විට එදා පත්තර කී කථා ලේබලයෙන් සිරාගේ කාමරයේ ලියැවුනු සටහන් කීපයකි. ඒ විවිධ මාතෘකා ඔස්සේය. ඒවා මගහැරුනු අය කියවා බලන්න. 1 කොටස 2 කොටස 3 කොටස

1959 සැප්තැම්බර් මාසය වන විට වෙළද පොලේ පැවති  යන්ත්‍ර සූත්‍ර හා ඒවායේ තාක්ෂණික මට්ටම පිළිබද යම් තරමක දැනුමක් අද පෝස්ටුවෙන් ඔබට ලබාගත හැකි වනු ඇත. වර්තමානය වන විට එම නිෂ්පාදන අතීතයට වඩා දියුණුවට පත්ව තිබුනත් කාලයට සාපේක්ෂව ඒ ගැන සිතීමට කාරුණික වන්න. මුලින්ම ඇත්තේ ගුවන් විදුලි යන්ත්‍ර පිළිබද දැන්වීම් කීපයකි. 

රූපවාහිනිය කරලියට පැමිණ නොතිබූ ඒ කාලයේ ජනමාධ්‍ය අතර සුඛෝපභෝගී මට්ටමක තිබූ ජනමාධ්‍ය ගුවන්විදුලිය විය. ඒ හේතුවෙන්ම වෙළදපොලේ ඉහළ මිළක් නියම වූ ගුවන් විදුලි යන්ත්‍රයක් තිබී ඇත්තේද ආර්ථික හැකියාව තිබූ අයෙකු ලග පමණි. බැටරි බලයෙන් ක්‍රියාකල හැකිවීම මෙන්ම මුද්‍රිත ජනමාධ්‍යයට වඩා සජීවී වීම හා වේගවත් වීම මත ගුවන්විදුලිය පසු කලෙක ඈත ගම් නියම් ගම් වෙතද වේගයෙන් පැතිර ගොස් තිබේ. වෑල්ව් භාවිතය නිසා ප්‍රමාණයෙන් විශාල වූ අතීත රේඩියෝ  ට්‍රාන්සිස්ටරය නම් මාහැගි සොයාගැනීම සිදුකල පසු ප්‍රමාණයෙන් කුඩා විය. පසුකලෙක අතේ ගෙන යා හැකි තරමට කුඩා වූ විට ඒවා වෑරලස් (Wire less) නම් විය. කෙටි තරංග (SW) මගින් විකාශයන් පවත්වාගෙන ගිය මුල්කාලීන ගුවන්විදුලියේ සේවය කලෝ දැනුමෙන් සන්නද්ධ ඇසූ පිරූ තැන් ඇති අයවලුන්ම වූහ. එහෙත් තාක්ෂණයේ දියුණුව සමග එෆ් එම් සංඛ්‍යාත භාවිතයට ගුවන් විදුලිය හුරු වුවත්  ලංකා ගුවන් විදුලියේ මුල්කාලයේ සේවය කල දැනුමින් සපිරුනු ඇත්තන් ඒවායේ නොවීය. ඒ වෙනුවට වූයේ ඔවුන් සමග සෙට් වී ෆන් එක ගන්න යයි අපට  ඇරයුම් කල ගිරා පෝතක රැළකි. නූතන සමාජය ගුවන් විදුලිය ශ්‍රවනය කරනවාද නැතිනම් ඒවා කරන උන් මුදල් දී ශ්‍රවනය කරගන්නවාද යන්න තීරණය ඔබට භාර කරමි.



මැජික් ඇස ඇතුළු වෑල් අටකි, තරංග පටි පහයි, හඩ පාලන උපකරණ දෙකයි, තදකරන බොත්තම් හයයි, තද කිරීමේ - ඇදීමේ “ අවුට් පුට් ස්ටේජ් “, නියම ප්‍රමාණයේ බැටරි වලින් වැඩිම ජීවිත කාලයක් පාවිච්චි කල හැක, පිකප් සම්බන්ධය, එක්ස්ටෙන්ෂන් ස්පීකර් සොකට් එක, විදුලි බලය ඉතිරිකිරීමේ උපකරණය



මීළගට ඇත්තේ කෘෂිකාර්මික අවශ්‍යතාවක් උදෙසා නිපදවූ යන්ත්‍ර සූත්‍ර කීපයකි. මේ ආයතන අදටත් අදාළ ක්ෂේත්‍රයන්හි පතල නමක් ඇතිව කටයුතු කරන්නේ අතීතයේ සිට රැකගෙන ආ කීර්ති නාමය නිසාවෙන් යැයි මට සිතේ. 

ට්‍රැක්ටරය සම්බන්ධයෙන් කථා කරන විට ලංකාවෙන් බිහි වූ කීර්තිමත් නව නිපැයුම් කරුවෙකු වූ රේ විජේවර්ධන මහතා අමතක කල නොහැක. ලංකාව වැනි ඝර්ම කලාපීය රටක ගොවියාට ගැලපෙන පරිදි රෝද දෙකේ ට්‍රැක්ටරයක් නිපදවීමට 1955 දී එතුමා සමත් වුවද එකල පැවති රජය ඔහුට දිරිදුන්නේ අපට රෝද 4 ට්‍රැක්ටර් මිස රෝද දෙකේ ට්‍රැක්ටර් වැඩක් නැත යනුවෙන් යැයි මා අසා ඇත. මේ වචනයෙන් පසුබා ගිය එතුමා තම සැලසුමෙන් කවර ජාතියක් හෝ ප්‍රයෝජනයක් ගනීවී යැයි සිතුවිල්ලෙන් එංගලන්තයේ ලෑන්ඩ් මාස්ටර් සමාගම වෙත තම සැලසුම ඉදිරිපත් කල අතර ඒ සමාගම එමගින් රෝද දෙකේ ට්‍රැක්ටර් නිපදවූ පසු ඔවුන් නියම කල මිළ යටතේ ඒවා මිළදි ගැනීමට ලාංකිකයන්ට හැකි විය. රෝද දෙක එපා යයි කී අපේ පාලකයින් එදා ඒ දෙස බලා සිටියේ රෙදි ඇදගෙන දැයි විටෙක මට සිතේ. රේ විජේවර්ධන මහතා පිළිබද විස්තර මෙතැනින්


ශත වර්ෂ ගණනාවක් තිස්සේම උෂ්ණ කලාපීය රටවල ගොවියා තමා වගා කරන අක්කර ගණනත් නිෂ්පාදන ප්‍රමාණයත් මීහරකුන්ගේ ගමන් වේගයට සීමාකරගෙන සිටියේය. එහෙත් තවදුරටත් අප එසේ කිරීමට උවමනා නැත.

ලෑන්ඩ් මාස්ටර් 150 සාදා ඇත්තේ ඒවා ලාභයට ඉක්මනට හා පහසුවට නිෂ්පාදනය වැඩිකර ගොවිතැනට යාන්ත්‍රික ආධාර දෙමින් සුළු ගොවියාට බොහෝකල් වැඩ ගත හැකි වන පරිද්දෙනි. ලෑන්ඩ් මාස්ටර් 150 උෂ්ණ කලාපීය රටවල ගොවීන්ගේ ජීවන තත්වය උසස් කිරීමට බෙහෙවින් උපකාර වනු ඇත. එය පාවිච්චි කිරීමට අමතර වියදමක් නොයයි. බොහෝකල් පවතී. බර වැඩට ඔරොත්තු දෙයි. ක්‍රියාකරවීමට ලෙහෙසියි. වී ඇතුළු හැම ධාන්‍ය වර්ගයක්ම වගා කිරීමට සුදුසු ලෙස සාදා ඇති එය ගොඩේත් මඩේත් එකසේ ක්‍රියා කරයි. හෑම,මඩ කිරීම, සමතලා කිරීම, ජලය සැපයීම් ආදී හැම දෙයක්ම.... මීහරකුන් දවස් ගණනකින් කල හැකි දෙයක්ම..... පැය ගණනකින් කරයි.


කැටපිලර් යන නාමය වර්තමානයේ ඉදිකිරීම් කටයුතු සදහා භාවිතා කරන විශාල පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර සමග සම්බන්ධ වූවකි.  ගොවිපලේ වැඩකරන කැටපිලර් ඩීසල් ට්‍රැක්ටරයක සුවපහසු ගෙනදෙන ආසනයක හිදගත් එක් මිනිසෙකුට කුඩා ට්‍රැක්ටර් හෝ සතුන් යොදා වැඩකරන වැඩිදෙනෙකුගේ තැන ගැනීමට හැකිවේ. මෙය කෘෂිකර්ම ද්‍රව්‍ය නිපදවන්නන්ට විශාල ඉතිරිකිරීමක් වන අතරම ඔබේ වැඩ කිරීමේ ශක්තිය වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් සදහා යෙදවීමට ඉඩකඩද සැලසේ. එයින් යන්ත්‍රෝපකරණ සදහා ඔබේ මුදල් යෙදවීමත් ක්‍රියාකරවීමේ වියදමත් එයින් අඩුකරගත හැකි වේ. එය ඔප්පු කිරීමට අපට දන්වා අපට අවස්ථාව ලබාදුන මැනවි.

ගොවිතැනෙන් පසු ලැබෙන අස්වැන්නෙන් රස මසවුළු සෑදූවෝ  කාන්තා පරපුරයි. ඒ ඇත්තියන්ගේ ඉවුම් පිහුම් කටයුතු පහසු කිරීම සදහා එදා දායක වූයේ මෙවැනි උපකරණයි. ගෑස් උදුන් භාවිතයට ප්‍රථමයෙන් භූමිතෙල් උදුන් භාවිතයෙන් ආහාර පිසීම වැඩි වශයෙන් සිදුකලත් වර්තමානයේද භූමිතෙල් උදුන් වෙළදපලේ තිබේ. Boss යන නමින් වෙනත් නිෂ්පාදන අද රථ වාහන වෙළද පොලේ තිබුනත් ඔවුන් තවමත් ගෘහණියන් වෙනුවෙන් නිෂ්පාදන සිදුකරනවාදැයි මා දන්නේ නැත.


එදා පත්තර කී කථා  ලේබලයෙන් තවත් දෑ ඉදිරියේදී ඔබ වෙත.......


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

වෑරලස් ගැන තවත් දේ විචාරක තුමා ලියූ මේ සටහනින්

මගේ අලුත් වටපිටාව පිළිබද  තොරතුරු ඉදිරියේදී ඔබට කියමි.

සයිබරයේ සිහින අවුරුදු උළෙලේදී මෙතෙක් හමු නොවූ බ්ලොග් කරුවන් හමුවීමට වසර ආරම්භයේ  සිතා සිටියද ඒ අවස්ථාව මෙවර මා වෙතින් ගිලිහී ගියේය. එහි ඡායාරූප බැලීමෙන් සැනහෙමි.

යශෝධා නැගනිය වෙනුවෙන් කලයුතු යමක් ඉදිරියට කථා කරමු.







Thursday, February 14, 2013

113 50 දශකයේ ඉට්ටයිල් සහ බියුටි කචල්

1 කොටස  2 කොටස

සීයාට පින් දෙමින් සිරාගේ කාමරේ දිගහැරෙන, පැරණි පුවත් පත් චමත්කාරය ඔබට ගෙන එන තෙවැනි දිනය අදයි. සීයාගේ පුවත් පත් එකතුවේ තිබූ වෙළද දැන්වීම් වලින් සිරා කොලුවා වන මා විසින් අද තෝරා ගත්තේ කාන්තා පාර්ශවයට වැඩිපුර ඇගෑලුම් කමක් ඇති මාතෘකාවකි. Beauty Culture ලෙස ලෝකයා හැදින්වුවද කුපාඩි කොල්ලෝ බියුටි කචල් ලෙස හදුන්වන මේ විෂය වූ කලී වර්තමානයේ ඉතාමත්ම පුලුල් වෙළද පලක් ඇති මාතෘකාවකි. කෑම කඩ තරමටම වර්තමානයේ හන්දියක් හන්දියක් ගානේ බිහි වී ඇති කාන්තා සැලූනයෝ මේ බහට නිහඩව සාක්ෂි සපයයි.

අතීතයට සාපේක්ෂව අද වන විට වැඩි වැඩියෙන් කාන්තා පරපුර සිරිලංකා ශ්‍ර‍ම බලකායට එකතු වීමත්, උසස් අධ්‍යාපනයට යොමු වීමත්, විවාහ උත්සව වලට ඡායාරූප කරණය අත්‍යවශ්‍ය සාධකයක් වීමත් තම රූපය ගැන අතීතයට වඩා  සැළකිලිමත් වීමේ කාලීන වෙනසට හේතු සාධක ලෙස සිරා කොලුවාගේ අක්මාවට වැටහේ. වර්තමානයේ ඉතාමත් මිළ අධික රූපලාවන්‍ය ක්‍ර‍ම/නිෂ්පාදන රාශියකි. හිසකෙස් සැකසීම, මුහුණේ ඇති වල ගොඩැලි  පුරවා කඩතොළු වසා දැමීම, අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ඉන්නන් එලොව යැවීම, ඇහිබැම සැකසීම  ඒ අතර ඇති සමහර රූපලාවන්‍ය ක්‍ර‍මෝපායන්ය.

නමුත් අතීතයේදී කුටුම්භයටම සීමා වී දුවා දරුවන් හදා වඩා ගනිමින්, ආහාර පිසිමින්  , ස්වාමියාගේ එදිනෙදා කටයුතු වලට සහාය දක්වමින් සිටි ගම්බද ශ්‍රීලාංකික වනිතාවන් බොහෝ විට රූපලාවන්‍ය කෙරේ සැළකිලිමත් වූයේ නැත...ඔවුන්ගේ හොදම රූපලාවන්‍ය ආම්පන්න වී ඇත්තේ ඖෂධීය වටිනාකම් සහිත ගසක පොත්තක්, ගෙඩියක් තලා ලබාගන්නා සාරය හෝ  සුවද සබන් කැටයක් / පුයර ටිකකි.

මේ කියන දින වල ලක් වනිතාවන් නිවසින් බැහැරට යන විට බොහෝ විට ඇන්දේ රෙද්ද හැට්ටය හෝ සාරියකි. සාරිය/ඔසරිය යන කාන්තා ඇදුම එකල බොහෝ විට උසස් යැයි සම්මත කුල කතුන් නිවසට පවා හැදි ඇදුමයි. කොළඹ නාගරික සංස්කෘතිය තුලද සාරිය ට හිමිව තිබුනේ අද්විතීය ස්ථානයක් බව පැරණි චිත්‍ර‍පට දර්ශන වලින්ද මොනවට පැහැදිලි වෙයි.

ඔන්න ඔය විදියට අද පෝස්ටුවට ප්‍රවේශය අරගෙන අපි එහෙනං මුලින්ම  සාරි වල මිළ ගණන් හා මෝස්තර බලාකියාගෙන ඉමු. මේ 1959 වර්ෂයේ සැප්තැම්බර් මස පැවති මිල ගනන්,


මෙන්න රෙදි වර්ග පිළිබද දැන්වීමක්...ඉන්දියාවෙන් ගෙන්වලා බෙදා හැරීම කරලා තියෙන්නෙ...මව් සමාගමේ ලංකා නියෝජිතයෙක් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ...මේ කියන මාදිලි මොනවද කියන්න නම් මට දැනුමක් නෑ...දැනුම තියෙන ඇත්තෙක් ඉන්නවා නම් පහදා දෙන්නට ඇරයුම් කරමි.


කාන්තිමත් දෝති
කාන්තිමත් කෙහෙස්
මල් වැටුණු කාන්තිමත් ලෝන් හා වොයිල්
කාන්තිමත් වියූ බුට්ටාස්
පිටරට යැවීමේ එකම නියෝජිතවරු
සීමාසහිත විනූ බායි ඇන්ඩ් බ්‍ර‍දර්ස් ප්‍ර‍යිවෙට්
චර්ච්ගේට් හවුස්, වීර් නාරිමන් පාර, කොටුව, බොම්බාය - 1 (ඉන්දියාව)



මේ තියෙන සබන් වර්ගය ගෑවම  අම්මයි දුවයි අදුනගන්න බැරිවෙනවා කියලා තමයි පසුකාලීනව ප්‍ර‍චාරණ වැඩසහන්වල තේමාව ලෙස යොදාගත්තෙ. පුංචියට තියෙන අකුරු වලින් කියැවිලා තියෙන්නෙ...

රෙක්සෝනා සබන් වල
සම අති සිනිදු ලෙසත්, මෘදු ලෙසත්, තබා ගැනීමට ආධාර වන චර්මාලංකාරය ඇතිකරණ විශේෂ මිශ්‍ර‍ණයන් වූ කැවිල් අඩංගු වෙයි.


ඊළග දැන්වීම නාගරික පන්තියේ ලදුන්  ඉලක්ක කරගෙන පල කරපු එකක් කියලයි මට හිතෙන්නෙ...අද වාගෙ එකල ගම්බද ලදුන් මේ තොල් කූරු පාවිච්චි කලේ නෑ නොවැ...


තොල් පියකරුව තබාගැනීම ලෝකයේ සිත් වශී කරන නිළියන්ගේ රහසකි. ඔවුන් පාවිච්චි කරන්නේ මැක්ස් ෆැක්ටර් තොල් සායම්ය. ඕනෑම පාටක මැක්ස් ෆැක්ටර් ඔබට කිට්ටුව හොද වෙළද සැලෙකින් ලබාගත හැකිය. අදම  මැක්ස් ෆැක්ටර් තොල් සායම් ලබාගෙන ඔබ සිත් ගත් චිත්‍ර‍පටි නිළිය මෙන් පියකරුව සිටින්න.

රූපාලංකාරය පිළිබද ස්වර්ණමය සාංවත්සරිකය.


මේ දැන්වීම තෙල් පැහැති සමක් ගැන...වර්තමාන වෙළදපොලේ වැඩියෙන්ම රූපලාවන්‍යයට සම්බන්ධ නිෂ්පාදන නිපදවන්නෙ සම පැහැපත් කිරීමේ  අවශ්‍යතාව සපුරාලන්න. මේ අතර ශරීරයට හිතකර මෙන්ම අහිතකර ආලේපත් තියෙන වග සැළකිය යුතුයි.


කෘෘක්ස්ගේ සුප්‍රසිද්ධ ලැක්ටෝ කැලමයින් දියර, හැම කෙනෙකුම අගය කරන සුන්දර තෙල් පැහැති සම ඔබට ලබාදෙයි. දිවා කාලයෙහි පුයර පදනමක් වශයෙන් හා රාත්‍රී කාලයෙහි සම පෝෂණය කරන්නක් ලෙසද ලැක්ටෝ කැලමයින් ක්‍රියා කරයි. අදම මෙය මිලයට ගෙන, දිනෙන් දිනම ඔබේ සම වඩා පවිත්‍ර‍, වඩා පැහැපත්, වඩා ප්‍රියංකර වූවක් වන සැටි බලන්න.

පුංචි කොටුව ඇතුලෙ තියෙන්නෙ

ඔබ සාප්පුවේ සිටින විට ලැක්ටෝ කැලමයින් පුයරද ලබාගැනීමට සිහියේ තබාගන්න.


ඊළගට කියන්න යන්නෙ ඒ යුගයේ ජනප්‍රියම පුයර වර්ගයක් ගැන...ඒ තමයි කියුටිකුරා...පෙම්වතා පෙම්වතියට තෑගි දුන්නෙත්, පෙම්වතිය පෙම්වතා මුණගැහෙන විට තවරගෙන ආවෙත් මේ වර්ගයලු...ඔය පැරණි ජනසමාජය ගැන කියවෙන ටෙලි නාටක වලත් බොහෝවිට මේ පුයර වර්ගයේ නම කියවෙනවා මම අහලා තියෙනවා...




පේනවනෙ ඒ දවස් වල සබන් කෑල්ලත් සුඛෝපභෝගී භාණ්ඩයක්...

ගොයා සුවද කැවූ සබන් සියලුම ලෝක ප්‍ර‍සිද්ධ ගොයා සුවදින් ලබාගත හැකිවේ. ප්‍රියංකර පැස්ටල් වර්ණය ඇති හැම සබන් කෑල්ලකින්ම ඔබේ සමට කල් පවත්නා සුවදක් ලබා දේ.

පාස්පෝට්, බ්ලැක්රෝස්, නො 5 සහ ගාඩිනියා යන වර්ග වලින් තෝරාගන්න.
ගොයා  - ලන්ඩන් - පැරිස් - නිව්යෝක්

ලාල්වානි සහෝදරයෝ
107, කෙළින් වීදිය, කොළඹ, ලංකාව.


ඉදිරි දිණයක තවත් මාතෘකාවක් යටතේ පරණ පුවත්පත් දැන්වීම් කියවමු...



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මෙහි පලවෙන සියලුම දැන්වීම් සීයාගේ එකතුවෙන් තෝරාගෙන මවිසින් Scan කරන ලද ඒවා බව අවධාරනය කරමි. අන්තර්ජාලයේ තවත් තැනකින් උපුටා ගත් ඒවා නොවේය.

ගොයා සබන් වල තිබුන පාස්පෝට් සහ නො 5 සුවද මොන වගේ විය හැකිද ?

Tuesday, January 22, 2013

99 රු 7850/- ට ෆියට් කාර් එකක්

එදා පත්තර ගැන ඔන්න අදත් අපි කථා කරන්නයි මේ සූජානම...පළමු ලිපිය කියවන්න අතපසු උනානම් මෙතැනින් ගොහින් එය කියවාගෙන ඒම ඔබට පහසුවක් වේවි. 

මුල්  ලිපියෙන් අප ඡායාරූප වාර්තාවක් වෙත අවධානය යොමු කලත්, පැරණි පුවත්පතක බොහොම රසවත් අංගය තමයි වෙළද දැන්වීම්...වෙළද දැන්වීම් කලාව වර්තමානයේ ඉතාමත් තරගකාරී ව්‍යාපාරික ස්වරූපයක් ගත්තත්, අතීතයේදී මේවා පුවත්පත් ආයතන මගින්ම තමයි බොහෝදුරට සැකසීම කරලා තියෙන්නෙ... සිරා කොලුවා මේ ඉදිරිපත් කරන්නෙ 1959 සැප්තැම්බර් මාසයේ ලංකාදීප පුවත් පතේ  පලවූ දැන්වීම් (අදින් වසර 50 කට එහා) ඒ කාලයේ පුවත් පත් කලාවේදී භාවිතා කර තිබෙන ඇතැම් වචන අදනම් සිනහා උපදවන සුළු වුවත්, මේ කියන අතීතය නොවන්නට අද අප කියවන තත්වයට පුවත් පත් කලාව උසස් නොවෙන්නත් ඉඩ තිබුනා. ඒ නිසාම පැරණි පුවත්පත් වල භාවිතා වී ඇති භාෂාව රස උල්පතක්...

විවිධ දැන්වීම් රාශියක් අතරින් අද මෙම ලිපියට පාදක කර ගන්නෙ වාහන සහ එයට සම්බන්ධ දෑ පිළිබද පුවත් පතේ පළවී තිබූ  දැන්වීම් කීපයක්... එකල පැවති තාක්ෂණයන් සහ වාහන සතු සුවිශේෂ උපාංග (options)  පිළිබදවත් යම් අවබෝධයක් මෙමගින් ලබා ගැනීමට ඔබට හැකි වේවි.

මුලින්ම තියෙන්නෙ ප්‍ර‍ංශයේ නිෂ්පාදිත රෙනෝල්ට් කාර් රථයක් පිළිබද දැන්විමක්...මෙවැනි දැන්වීමක් වෙනුවෙන් වර්තමානයේ තරුණියන් පෙනී සිටින ආකාරය සහ එදා ඒ වෙනුවෙන් නිරූපිකාව පෙනී සිට  ඇති ආකාරය අතර සෑහෙන පරස්පරයක් තියෙනවා.. මේ තරුණිය අද මේ දැන්වීමට පෙනී සිටිනවා නම් ඇගේ ශරීරයෙන් වැඩි කොටසක් පාඨකයන්ට දැක බලා ගැනීමේ භාග්‍ය හිමි වෙනවා සිකුරුයි. ඒකට කෙටියෙන් කියන්නෙ ගුණ ධර්ම පහළට, ගවුමෙ වාටිය ඉහළට කියලයි.

Renault Dauphine




දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි.

රූං......

එය වචනයෙන් දෙකෙන් විස්තරයකි.
ඇත්තෙන්ම එය ඒ අතින් විශිෂ්ඨයි.
අපි මේ කියන්නේ රෙනෝල්ට් ඩෝෆින් රථය ගැනයි.

දොර 4යි. 5 දෙනෙකුට යා හැකියි. ගැලුමකට සැතපුම් 45

ඔව් එය කදිම කුඩා මෝටර් රථයකි.
පිරිමැස්මදායකයි, පහසුයි, සීඝ්‍ර‍ ක්‍රියාකාරිත්වයෙන් යුක්තයි, ප්‍ර‍බලයි.
ඕනෑ තරම් බලය ඇතුව විදුලිය මෙන් ගමන් කරයි.
මෙහි පැමිණ මේ පුදුම ඩෝෆින් රථය බලන්න.

සීමාසහිත සී.ඇෆ්.ටී ඉන්ජිනියරින්
467, යුනියන් ප්ලේස්, කොළඹ 2.




රෙනෝල්ට් ඩෝෆින් රථයක්
http://encarsglobe.com/data_images/models/renault-dauphine/renault-dauphine-04.jpg

Fiat 600

මාතෘකාව දැකලා රු 7850/- ට කාර් එකක් ගන්න හිතපු ඇත්තො මේ දැන්වීම හොදින් කියවා බැලුවාට කමක් නෑ... හැබැයි ඒ අය ඒ මුදලට ෆියට් 600 වර්ගයේ රථයක් මිලදී ගන්න ජීවත් විය යුතුව තිබ්බේ 1959 කාල සමයේ. ඒ අවදියේ ලංකාවෙ ජනතාව අතර සෑහෙන්න ජනප්‍රියතාවයකට පත් වූ ඉතාලියේ නිෂ්පාදිත රථයක් තමයි මේ. ප්‍ර‍මාණයෙන් කුඩා වීමත්, ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ වීමත් එයට හේතු ලෙස දක්වන්නට පුලුවන්...සිරිලංකා වැසියො නිෂ්පාදකයා තිබ්බ නමට අමතරව දේශීය වශයෙන් වාහන වලට නම් දාන්න රුසියො නොවැ...අන්න ඒ අනුව මේ රථයට තිබ්බ කැතම කැත නම තමයි “බග් ෆියට්“ (Bug Fiat). මේ දැන්වීමේ  රථයේ විශේෂතා ලෙස දක්වා ඇති කොටස විශේෂයෙන් බලන්න. ඒ අවදියේ රථ වාහන තාක්ෂණය පිළිබදවත් යම් අවබෝධයක් ඔබට එමගින් ගත හැකි වේවි.


දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

ෆියට් 600 ආසන හතරේ සැලූනය
(පදවන්නා හැර හතර දෙනෙකුට යාමට බලය ඇත.)
අමතර විශේෂාංගයන්ගෙන් යුතුව දියුණු කර තිබේ.

* කරකැවිය හැකි විශාල අංශ කවුළු
* සුවදායක ආසන 4 ක් සහිත මැනවින් ආලෝකමත් ඇතුලත
* පසුපස අසුනේ හාන්සි වන කොටස ඇකිලිය හැක.
* ස්ප්‍රේ වින්ඩ්ස්ක්‍රීන් වොෂරය
* සූට් කේස්, පාර්සල්, හා බෑග් ආදිය පහසුවෙන් ගෙනයාම සදහා බොනට්ටුව යට බඩු බාහිරාදිය ගෙනයාමේ  ඉඩකඩ.
* දිසා සංඤාවන් හා ශීර්ෂ පහන් (හෙඩ් ලයිට් ) පාලනය සදහා ස්ටියරිං වීලයේ ලිවර්
   (වහාම බාරදිම සදහා දැන් ලබාගත හැකිවේ.)

දැන් ඔබ ෆියට් රථයක් මිලදී ගන්නා විට, ස්වර්ණ ජයන්ති තරගයට ඇතුලත් වී ෆියට් මෝස්තරයේ මිලසෙන්ටෝ රථයක් හෝ “500“ රථයක් දිනාගැනීමට හෝ ඒවායේ වටිනාකම මුදලින් ලැබීමට සුදුසු වනවා ඇත.


ෆියට් 600  රථයක්
http://automovil011.files.wordpress.com/2011/08/fiat600.jpg

Volks Wagen Beetle

තනි මාදිලියක් ලෙස ලෝකයේ මෙතෙක් වැඩියෙන්ම නිපදවා ඇති රථය, වැඩියෙන්ම අළෙවි වී ඇති රථය, ලෝකයේ සියලුම මහද්වීප වල ධාවනය වන රථය ලෙසට මෙම මාදිලිය වාර්තා පොතට එකතු වී තියෙනවා. ජර්මනියේ හිටපු ආඤා දායක හිට්ලර්ගේ අණින් දෙවන ලෝක යුද්ධය උදෙසා සේවයේ යෙදවීමට තමයි මුලින්ම මෙම වර්ගයේ රථ නිපදවා තිබෙන්නෙ. ඒ නිසාම මෙහි එන්ජිම එයාර් කූල් (සුළං මගින් සිසිල් වන) වර්ගයේ එකක්. ඒ කටුක දේශගුණික තත්වයන් යටතේ රළු ධාවනයක යෙදෙන්නට හැකි වෙන්න. වොක්ස් වැගන් (Volks Wagen) යන ජර්මන් වචන වල අදහස පොදු ජනතාවගේ රථය යන්නයි. එයට හේතුව එය යුද්ධයෙන් පස්සෙ සාමාන්‍ය ජනතාවට මිළදී ගත හැකි පහසු මිළකට වෙළද පොලට ඉදිරිපත් කිරීමයි. මෙය ලියන සිරා කොලුවාද ඉතාමත් ප්‍රිය කරන රථයක් තමයි මේ.  බොහෝ අය දේශීයව මෙය හදුන්වන්නේ ෆොක්ස් වැගන් යන නමින්...ඊට අමතරව පිටුපස කවුළු ආසන්නයේ සවිකර ඇති එන්ජිම සිසිල් කිරීමට අමතර සුළං ධාරාවක් යොමු කරන ගැජට්ටුව කනේ මයිල් ලෙස හදුන්වනවා. කුරුමිණියෙකුගේ හැඩය ඇති නිසා මෙය උපතින්ම බීට්ල් (Beetle)  ලෙසයි හදුන්වා තිබෙන්නෙ. විවිධ රටවල විශාල නාමයන් සංඛ්‍යාවකගෙන් හදුන්වා ඇති මෙම රථය ලංකාවේදී  ඉබ්බා ලෙස හදුන්වා තිබෙනවා.




දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

සැලකිල්ල යොමු වී ඇත්තේ, අවංක රථය වන ෆොක්ස්වාගන් කෙරෙහි වේ.
ලොව පුරාම වෙසෙන්නෝ මෝටර් රථ වාහන පාවිච්චි කරති.
එසේම ෆොක්ස්වාගන් රථය ලොව පුරාම ගණනාවක් නොමැති මිත්‍ර‍යින් රැසක් දිනාගෙන සිටී.

එහි පුදුමාකාර පිරිමැස්ම ගැන සමහරු එයට ප්‍රියකරති. තවත් අය එහි ශක්තිමත් සෑදීම හා කදිම නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිමාව ගැන ප්‍රිය කරති. එහෙත් මෝටර් රථයක උදක්ම බලාපොරොත්තු වන සියලුම අංගෝපාංගයන් එහි එක්ව ඇති බවට සියල්ලෝම දිවුරුම් දෙති.

සීමාසහිත ක්ලැරන්ස් අමරසිංහ සහ සමාගම


කනේ මයිල් සහිත වොක්ස් වැගන් රථයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTPEqftGH55I_19F4gT5U_6GIVAFDl6Eq1DFd5Brx9Zq82bJka_ftJMUPJt2H8klXWLtGZL2nR9OA9jGuCEtr-_9HHhcsOXvkl7_98NS0eq2BNJCjMSemkhweSHOXb1dlmBhUVt2WHX1Y/s1600/Untitled-3.jpg





Hilman Minx

එංගලන්ත රථ වාහන නිෂ්පාදකයන් අතර මුල්පෙලේ වැජඹුනු හිල්මන් සමාගම විසින් නිපදවූ රථයක්... අද නම් ඉතාමත් කලාතුරකින් මෙවැනි රථයක් මාර්ගයක දකින්නට ලැබුනත් එදා නම් ඉතා සුලභව මෙවැනි රථ මාර්ගයේ දක්නට ලැබෙන්න ඇති. විශේෂයෙන්ම කුලී රථවාහන සේවය සදහා මෙම රථ සුලභව යොදාගෙන තිබේලු. හිල්මන් නාමය යටතේ වර්තමානයේ  වාහන නිෂ්පාදනය වෙන්නෙ නෑ.


දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

පිරිමැස්ම, සුවපහසුව හා විශ්වාසදායකත්වය
ක්‍රියාකාරිත්වය, ප්‍රවේශම සහ කඩවසම් පෙනුම
හිල්මන් මින්ක්ස් “විශේෂ සැලූනය“ පිරිමැස්මදායක රථය
තනි ආසන, පහත ගියර් මාරුකිරීම
ඉඩකඩ සහිත බඩුගෙනයාමේ කොටස
ඩිලුක්ස් මෝස්තරයට වඩා රු. 525/- අඩුවේ.
බෙදාහරින්නෝ
සීමාසහිත ග්ලෝබ් මෝටර්ස්
103, ටරට් පාර, ටෙලි 6271, කොළඹ 1.


හිල්මන් මින්ක්ස් රථයක්
http://www.carrosyclasicos.com/imagenes/cronicas/panorama_automotriz_1959/hillman_minx_1959.jpg


























ඊළගට තියෙන්නෙ ටයර් වෙළද දැන්වීමක්... ටයර් නැතිව වාහන යන්නෙ නැති නිසාම ඔන්න එයත් මෙතනම පල කරනවා...



දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

අලුත් ඩන්ලොප් “ගෝල්ඩ් සීල්“ ටයරය හැඩරුවින් පෙරමුණ ගනී. බෙහෙවින් දියුණු කට්ට මෝස්තරයන් හා එක්වුණු සම්පූර්ණ “තුලනාත්මක“ ක්‍රියාකාරිත්වය, සියලුම තත්වයන් යටතේ විශේෂ ටයර් සේවාවක් ලබා දේ. ප්ලයි 4 හෝ බරවැඩ සදහා ප්ලයි 6 රේටිං කේසිං සහිතව හෝ, ටියුබ් රහිතව හෝ සහිතව කළු හෝ සුදු අංශයන්ගෙන් යුතුව ලබාගත හැකිවන අතර, හැම නවීන ටයර් ප්‍ර‍මාණයක්ම සපයනු ලැබේ.

* නවීනතම කට්ට හැඩරුව සෑම රිය පැදවීම් තත්වයන් අනුව යථා පරිදි සකස් වේ.
* වඩා ප්‍ර‍බල, ප්‍රවේශම් සහිත ග්‍ර‍හණය, වඩා හොදින් වංගු ගැනීම, අඩු ටයර් ශබ්දය.
* වැඩි සැතපුම් ගණන, කට්ට සමසේ ගෙවී යාම
* සුවපහසුව හා වැඩිකල් පැවැත්ම සැලසෙන සේ විද්‍යානුකූලව හැඩ ගැන්වූ කේසිං.

යළිත් ඩන්ලොප් ටයර් ක්‍රියාකාරිත්වය පිළිබද අලුත් තත්වයන් ඇති කෙරේ.

සිරා කොලුවා මේ පෝස්ටුව අද අවසන් කරන්නෙ කාර් වලටම සම්බන්ධ තවත් ගැජට් එකක් වන කාර් කැසට් පිළිබද දැන්වීමකින්.



දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

කාර් රේඩියෝ නිෂ්පාදනයෙහි වර්ෂ ගණනක පළපුරුද්දක් ඇති බෙකර්, සෑම මෝටර් රථයකටම සරිලන කාගේත් මුදල් තත්වයට හා රුචියට ගැලපෙන කාර් රේඩියෝ දැන් ඉදිරිපත් කරයි.

බෙකර් මොන්ටිකාලෝ

* කුඩා රථවලට විශේෂ හා සාමාන්‍ය මෝස්තර
* මුද්‍රිත බල චාරිකා සටහන වැඩි විශ්වාසදායකත්වයක් ඇති කරයි.
* “පුෂ් බටන්“ තරංග සැකසුම

බෙකර් යුරෝපා

*  සාමාන්‍ය හා විශේෂ නිමාවන් යුත් මෝස්තර හතරක්
* තරංග මාලා තුනක්
* දෙයාකාර ශබ්ද පාලනය
* “පුෂ් බටන්“ ක්‍රියාකාරිත්වය

ඉබේ ක්‍රියා කරන බෙකර් මෝස්තර

මැක්සිකෝ - ඉලෙක්ට්‍රොනික් පාලනයෙන් ශබ්ද සකස් කිරීම
ලීමාන්ස් - පැහැදිලිකම හා ශබ්ද ප්‍ර‍මාණය සදහා යෙදීම් තුනක්
බ්‍රෙස්කියා - ඉබේ ක්‍රියාකරන ශබ්ද පාලනය
              - තැටි වැසීමේ උපකරණ හා ටේප් රැකෝඩර් යෙදීමට උපකරණ

බෙකර් රිම්ස් - කෙටි තරංග සදහා වූ උපකරණයෙන් වෙන් වෙන් වශයෙන් කෙටි තරංග 6කින් කදිම නිරූපණයක් ඇති කරයි.

බෙකර් කාර් රේඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ ඔබේ රථයටමයි.

අදට කථාව අහවරයි එහෙනං....

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

වොක්ස් වැගන් කාර් සමස්ත අළෙවිය ඒකක මිලියන 21 ඉක්මවා ඇත. අවසන් වරට 2003 දී නිෂ්පාදනය කර ඇති අතර දැන් කිසිම රටක නිෂ්පාදනය වන්නේ නැත. (තොරතුරු විකිපීඩියාවෙන්)

ජනවාරි 27 ඉරිදා, ගම්පහ ගෙට්ටුවට පැමිණෙන අයට පුරවන්නට ලබා දුන් පෝරමය  25 වන සිකුරාදා රාත්‍රී 12 න් අවසන් කරන බව දැනුම් දෙමි.  එන්නට කැමැත්තෙන් සිටින ඇත්තන් ඊට කලියෙන් පෝරමය පුරවන්න. දකුණු පස ඉහළින්ම ඇති ලෝගෝවට කොටන්න.

ගෙට්ටුව පිළිබද තොරතුරු මෙතැනින්


Sunday, December 30, 2012

114 එදා පත්තර කී කථා

සිරාගේ ඇන්ටික් රසඤතාවය ගැන කාමරයට ගොඩ වදින බොහෝ ඇත්තන් මේ වන විටත් යම් තරමකට  දනී. සිරා කොලුවාගේ පවුලෙන් මේ ආශාව ඇති එකම ජීවී පරාණයද මමය. අනෙකුත් සමවයසේ නැදෑ දරුවන්ගෙන් සිරා කැපී පෙනෙන්නේද මේ ඇන්ටික් පෙරේතකම නිසාය.

මේ ලියමන ලියන අවස්ථාව වන විට මගේ මිත්තනියන් දෙදෙනා මෙන්ම සීයාවරුන් දෙදෙනාද දිව්‍ය ලෝකයට ගොස් හමාර වී ඇති මුත් ඔවුන්ගේ ගුණ සුවද මුසු වූ විවිධ සැමරුම් තවමත් අප නිවසේ විවිධ අහුමුළු වල සැතපී සිටී. දැනට දශකයකට පමණ පෙර හිටිවනම පියාගේ පියා භාවිතා කල පැරණි කබඩ් ලාච්චුවකින් ප්‍රාතූර්භූත වී සිරාගේ මව විසින් ගිණි දෙවියාට පුද දීමට නියමිතව සිටියදී මවිසින් අභය දානය දී අදුරු මුල්ලක් සැතපවූ මේ අපූරු ලියවිලි සමූහය එදා සහ අද, සමාජ/දේශපාලන/ආර්ථික විපර්යාසයන් පිළිබද වර්තමාන පරපුරට තොරතුරු සපයන දත්ත ගබඩාවක් බදුය. එදා සහ අද අතර වෙනස දක්වන කදිම කැඩපතකි.

මෙවර මා ඉදිරිපත් කරන ඇන්ටික් ගැජට්ටුව වනාහී පැරණි පුවත්පත් එකතුවකි.  නිකංම නිකං පුවත් පත් නොව අදින් වසර 53 කට පෙර මුද්‍ර‍ණය කර ප්‍ර‍සිද්ධ කල පුවත්පත් සමූහයකි.  වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩිම අළෙවියක් ඇති පුවත් පත ලෙස නම් දරා සිටින මෙහි නම එදා මෙන්ම අදද සංස්කරණයකින් තොරව එකසේ භාවිතා වෙයි. එය ලංකාදීප නම් වෙයි.

1959 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සිට ඔක්තොම්බර් මස 1 වැනි බ්‍ර‍හස්පතින්දා දක්වා ලංකාදීප පුවත් පත් පිළිවෙලින් සීයාගේ එකතුවේ තිබිනි. මේ පුවත්පත් කිපය විශේෂයෙන් එක්රැස් කර ලග තබාගැනීමට ඔහු කටයුතු කලේ විශේෂ කාරණයක් නිසාවෙන් බව පැහැදිලිය.  සිරාගේ සීයා දැඩිව ඇලුම් කල ජනනායකයා වූයේ   දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාය. ඔහුගේ අභාවය සහ අවසාන කටයුතු පිළිබද තොරතුරු ඇතුලත් මේ පුවත්පත් කීපය ඔහුට ළග තබා ගැනීමට සිත් පහල වූයේ ඒ නිසාවෙන් විය හැකිය. දොඹ ගෙඩියක් තරමේ පුංචි කොණ්ඩ ගෙඩියක්  බැදි පාරම්පරික ගොවියෙක් වූ උන්දෑ සිරා කොලුවා වයස අවුරුදු 5 ක් තරමේ පුංචි එකෙකු සන්ධියේදිම මිය පරලොව ගියේය. නමුත් ඔහුගේ රූපකාය පිළිබද යම්තරමේ මතකයක් තවමත් මා සතුය. පහත ඡායාරූපය පසුකලෙක ඔහුගේ ගොවි හැදුනුම්පතින් මා විසින් ගලවා ගන්නා ලද්දකි.

පත්තර එකතු කල සිරාගේ සීයා

ගෙවී ගිය වසර 53 ක කාලය තුල සිදුවී ඇති වෙනස්කම් රාශියකි. එදා ටයිම්ස් ඔෆ් සිලෝන් යනුවෙන් හැදින්වූ ලංකාදීප ආයතනය අද විජය පුවත්පත් සමාගම ලෙස සිය නාමය වෙනස් කර ඇත. වර්ණ දෙකක් පමණක් භාවිතා වූ අතීත පුවත්පත් ආ මග දිගේ දැන් සිදුවී ඇති තාක්ෂණික පෙරළියද සිතාගත නොහැකි තරමේ එකකි. පැය ගණනාවක් මිඩංගු කර පත්තර පිටු අතින් සැලසුම් කර ඒ අනුව අකුරු අමුණා පිටපත් තුන් හාරදාහක් ගැසූ ඉතිහාසය වෙනස් කරමින්  නවීනතම පරිගණක මෘදුකාංග  මගින් විනාඩි ගණනාවක් ඇතුලත පිටු සැකසුම් කිරීමටත්  වැඩි ධාරිතාවක් සහිත මුද්‍ර‍න යන්ත්‍ර‍ මගින් වෛර්ණයෙන් ලක්ෂ සංඛ්‍යාත පිටපත් සංඛ්‍යාවක් මුදුණය කර  , රටපුරා විහිදුනු බෙදාහැරීමේ ජාලයක් මගින් වෙළදපලට  යැවීමටත් හැකි  යුගයකට අප දැන් පිවිස සිටී.අකුරු ඇමිණීම අතීතයට අයිති කාර්යයක් පමණකි. අද සියලුම අකුරු පරිගණකය තුලින් උපදී.

එයින්ද නොනැවතී අතේ ඇති කුඩා ටැබ් එකෙන්, ජංගම දුරකථනය මගින් කියවිය හැකි  ඊ පුවත්පත් පැමිණෙන යුගයට අප අද අවතීර්ණ වී සිටී . කැකුළු හාල් සේරුවක් ශත 75 ට ලබාදුන් යුගය පසුකර සහල් කිලෝව රු 60/- කට විකිණෙන සමාජයක සාමාජිකයන් වී සිටිමු.

ගෙවී ගිය වසර 53 ක කාලය තුල රාජ්‍ය නායකයන් 8 දෙනෙකු පමණ රටට නායකත්වය සපයා ඇති අතර එදාට සාපේක්ෂව සෑහෙන තරමේ වෙනසක් සහිත ජීවන තත්වයක් වර්තමාන ශ්‍රී ලාංකිකයාට උරුම වී තිබේ. කාලය මැවූ වෙනස පුදුමාකාරය. එක් අතකින් එය චමත්කාර ජනකය. ඒ චමත්කාර ජනක අතීතයේ සිරි විසිතුරු ඔබ වෙත ගෙන එන පරණ පත්තර පිටු ආශ්‍රිත  ලිපි කීපයක ඇරඹුම මෙසේ සටහන් වේ.

පංචමහා බලවේගය තුලින් බලයට පැමිණ ජනතා හදවත් දිනා සිටි බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍ර‍මන වේෂයෙන් පැමිණි අයෙකු විසින් සිදුකල වෙඩිතැබීමකින්   ඝාතනය වූයේ 1959 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා දිනයකය. එය සිරාගේ සීයාට සෑහෙන තරමේ සංවේගජනක පුවතක් වූ බවට සැකයක් නැත. ඔහුට අමතරව එවකට ශ්‍රීලාංකික ජනයාද සිය නායකයාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ආකාරය පහත ඡායාරූපයන් මගින් අවබෝධ කරගත හැකි වනු ඇත.

1957 සැප්තැම්බර් මස 27 වන ඉරිදා ලංකාදීපයේ මුල පිටුවේ විස්තරය පහත පරිදිය....





උපුටා ගැනීම

අවමගුල ගුරුදා හොරගොල්ලේදී

දහනායක නව අගමැති වෙයි.

අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාට වෙඩි වැදී පැය 22කට පසු ඊයේ උදේ 8ට අභාවප්‍රාප්ත වූ බෑව් ඊයේ ‘ලංකාදීප‘ විශේෂ මුද්‍ර‍ණවලින් ඉතා සංවේගයෙන් ජාතිය වෙත නිවේදනය විය.

අගමැතිගේ අභාවයෙන් පැය 3කට පසු අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතා, අළුත් අගමැති ලෙස දිව්රුම් දී අගමැති කාර්යාලයට පැමිණ හඩා වැලපෙමින් අගමැති ධූරයේ වැඩ භාර ගත්තේය.

අගමැති අවමගුල ලබන බ්‍ර‍හස්පතින්දා රාජ්‍ය සම්මාන සහිතව හොරගොල්ලේදී පැවැත්වේ. අගමැති තුමාගේ මෘත දේහය මහජන ගෞරවය සදහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්දිරයේ තැන්පත් කෙරෙනු ඇත. අලුත් ඇමති මණ්ඩලය මේ ගැන විධි විධාන යෙදීම ගැන ඊයේ කථානායක තුමා හමුවී සාකච්ඡා කළේය.

අවසාන ගෞරව දැක්වීමට පෙරහැරේ

අගමැති බණ්ඩාරනායක මහතාගේ මහජන සේවී ජීවිතය දුක්ඛදායක සිද්ධියකින් අවසාන වීමෙන් කම්පාවට පත් දස දහස් ගණන් ජනයා ඊයේ දවාල සිට සැතපුම් ගණන් පෝලීම් ගැහී රොස්මිඩ් පෙදෙසේ නිවසේ තැන්පත් කර තුබුණු මෘත දේහය බලා කදුළු සලමින් අවසාන ගෞරවය පල කලහ.

පෞද්ගලික ජීවිතය කෙරෙහි පවා බලපෑ දේශපාලන පෙරළි දුක සැප හා දහසක් ගැටළු මැද උරෙන් උර ගැටී ජීවත් වූ තම ආදරණීය ස්වාමියා නැතිවී යාමේ විද දරා ගත නොහැකි ශෝකයෙන් වෙලී ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෘත දේහය පසෙකින් සිටී.

රෝහලේ සිට අගමැති මෘත ශරීරය රියක තබා රොස්මිඩ් නිවසට ගෙන යද්දී මාවත දෙපස රොක්වී ජනයා ආචාර කරමින්ද, දෑත් නගා වදිමින්ද ගෞරවය පල කලහ. රටට වැඩ කළා - ජාතියට වැඩ කළා - අද මා තනිවුනා යයි දෑත් හිසේ තබා සිරිමාවෝ මැතිණිය විටින් විට විලාප නගයි.

අගමැතිවරයාට අවසාන ගෞරවය දැක්වීම සදහා ඊයේ පෝලිමේ ගමන් ගත් ජනකාය හසුරුවා ගැනීමට පොලීසිය අසමත් තරම් වූයේය.

අගමැති මෘත ශරීරයට අවසාන  ගෞරවය දක්වා යන හැම කෙනෙකුගේම මුහුණේ ශෝකී භාවය රැදී තිබිණි.

1959 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා පත්තරේ මුල පිටුවේ විස්තරය මෙසේය.


අගමැති දේහය බැලීමට දහස් ගණන් දෙනා අව් වැසි නොබලා පෝලිම් ගැසී යති.දැන් පන්ලක්ෂයත් පනී. මුළු රට මළගෙදරක් මෙනි.


දිවා රෑ දෙකේහි පෝලිමේ ගොස් අගමැති දේහයට අවසාන ගෞරවය දැක්වූවන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට පන් ලක්ෂය ඉක්මවා ගියේය.

අගමැතිගේ මෘතදේහය බලා වාවාගත නොහැකි ශෝකයෙන් ඉකිබිද හැඩූ එක් භික්ෂූන් වහන්සේ නමකට ඊයේ සිහිසන් නැතිව ගියේය.

‘‘අනේ ඉතින් මීට පස්සෙ කවුරුන් හමුවී අපේ දුක කියන්නදැයි අගමැති දේහය හමුවේ වැද වැටෙන කම්කරුවෝ කියති.

රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවසේ තැන්පත් කර ඇති මෘත දේහයට ගෞරව දැක්වීමට ඊයේ මුළු දවස පුරා ගිය මහ ජනකාය නිවසේ ගේට්ටුව ළග සිට මැකාර්ති පාර ඔස්සේ වෝඩ් පෙදෙසට විත් බොරැල්ල පැත්තට විහිදී කින්සි පාර දිගේ, හෝටන් පෙදෙස රවුම කරකැවී ඇලෙක්සැන්ඩර් මාවතේ පදික වේදිකාව අගට සිට රොස්මිඩ් පෙදෙසේ නිවස ලගට සෑදුනු සැතපුම් තුන හතරක් දිග එකම මිනිස් වළල්ලක් සේ දිස්විය.

අගමැති ඇසින් නොදුටු ඈත ගම්වල සමහරු කෑමක් බීමක් නැතිව, ජාතියේ නායකයානන්ට වූයේ මොන අපරාධයක්දැයි සිත සිතා තැවෙති.

කවරදාවත් කොළඹ නොආ, මහළු අම්මලා පුතුන් අමතමින් "අනේ පුතේ මට බණ්ඩාරනායක උන්නැහේ නම් බලන්න ඕනේ" යැයි පෙරැත්ත කරති.

"කොච්චර වැස්සත් නොබලා නම් යන්නේ නෑ" කිය කියා සමහරු පැය පහ,හය යන පෝලිමේ එක තැන පැය භාගය, කාල සිටිති.


උපුටා ගැනීම අවසන්...
මෙතැන් සිට ඡායාරූප එකතුව නරඹන්න...

අගමැතිතුමාට වෙඩි තැබීමට පාවිච්චි කල අඩියක් පමණ දිග රිවෝල්වරය,
ඊට යටින් ඇත්තේ භික්ෂුවගේ කහ රෙද්දය.
භික්ෂුව ලග තිබූ බඩු, වමේ පොට්ටනියේ ඇත.
වෙඩි තැබීම සිදුවූ තැන. ඊයේ උදයේ අගමැති බණ්ඩාරනායක මහතා වෙනදා මෙන් කොළඹ රොස්මිඩ් පෙදෙසේ සිය නිවසේ උදේ තේ බී අමුත්තන් හමුවීමට ඉස්තෝප්පුවට ආවිට "භික්ෂූ  නමක් " සිටි නිසා වාඩි නොගෙන මෙහි කතිරය ඇති තැන සිට ගත්තේය. " භික්ෂුව " වාඩි ගෙන සිටියේ ඊතලය ඇති තැන පුටුවේය. "භික්ෂුව" තැබූ පළමුවැනි වෙඩි පහර වැරදී ගොස් වීදුරු දොරේ වටකර ඇති තැන වැදුනේය.
අගමැති තුමාගේ එක්ස් කිරණ ඡායාරූපය.
 ශරීරය  ඇතුලත රැදී ඇති උණ්ඩයද දැක්වේ.


අගමැති දේහය

මෘත කලේබරය වැසීමෙන් අනතුරුව මැති ඇමැතිවරුන් විසින් ඔසවාගෙන පාර්ලිමේන්තු මන්දිරය තුලින් පිටතට ගන්නා ලදී. ඉදිරියෙන්ම ඔසවා ගත්තේ ජෝන් කොතලාවල, මුදල් ඇමති ස්ටැන්ලි ද සොයියා, රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍ර‍ම යන මහතුන්ය. අනෙක් ඇමතිවරු ඊළගට සිට මෘත කලේබරය ඔසවා ගත්හ.
පඩි පෙළින් පහළට ගෙනයන ලද දෙන පැරැණි සිංහල ගොඩනැගිලි ශිල්පයට සමාන ලෙස සාදා ධවල හා රන්වන් පැහැයෙන් ඔප් ගන්වා තිබුනු රංසිවිගෙට ඇමැති මණ්ඩලය විසින් ගෙනයන ලදී.
ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ මෘත දේහය හොරගොල්ලේ තැන්පත් කිරීම සදහා
අවමගුල් පෙරහැර මෘත කලේබරය සහිතව පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත් වෙයි.
දිවංගත අගමැති තුමාට අවසන් බුහුමන් දැක්වීම පිණිස කොළඹ සිට හොරගොල්ලට එන මග දිගේ
මහ සෙනග රොක් වූහ. පාසැල් ළමෝ සුදුකොඩි ගෙන ආචාර කළහ.
මේ මහා පිරිස කැලණි පාලම අසබඩ සිටියහ.
ඊයේ දවල් දොලහමාරට පමණ හොරගොල්ලේ වලව්වට අවමගුල් පෙරහැර ලගාවීමෙන් පසු 
මෘත දේහය මැද සාලයේ තැන්පත් කර තිබුනි. 
පොල්තෙල් පහනට අගමැතිතුමාගේ දෙවැනි දියණිය සුනේත්‍රා සහ පුතු අනුර තෙල් වත් කරති.
අභාවප්‍රාප්ත අගමැතිතුමාට අවසන් බුහුමන් දක්වන මහජන පෝලිම කොළඹ කොම්පඥ්ඤ වීදිය කොටසේ






අද 2012 වසරේ අවසන් දිනයයි. 2012 වර්ෂය සිරා කොලුවාට දුක්ඛදායක වසරක් නිසාමදෝ අවසන් පෝස්ටුවද  දුක්ඛදායක මතකයන් සහිත  එකක්ය. සියලු දුක්ඛ දෝමනස්සයන් 2012 වසරට  භාර දී , ගෙවී ගිය වසර තුල කල කී දෑ ගැන පසුතැවිලි නොවී,  එයින් ලබාගත් අත්දැකීම් සමගින් 2013 නව වසරට පිය නගමු.  සිරාගේ කාමරයට ලෑලි දෙරෙන් ඇතුලු වූ ඔබ  සියල්ලන්ටම සුභ දායක නව වසරක්/ පැතුම් ඉටුවෙන නව වසරක් වෙන්නට සත්ගුණවත් සිරා කොලුවා ඉත සිතින් ප්‍රාර්ථනා කරයි.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHMnBXi0fPJ-44ECuLyM047UyBNq-3yffwsS55KW9l2Z4LvPyJkn7WAdR-xLSGvndE7BYCxBSs4Zk9fy8CwotdKOda5jV31yfXIEj8N-_W5uSxPbkY_Nno83GR2_ffADZrtvBjyu1mYg-9/s1600/Happy-New-Year-2013-picturer-2.jpg











එදා පත්තර කී කථා නමින්  අලුත් ලේබලයක් අලවමින් සිරා 2012 වසර අවසාන දින මෙසේ අලුත් ඉසව්වකට කාමරේ දොර විවර කරන අතර පැරණි පත්තර හා සබැදුනු තවත් රසවත් දේ ඉදිරියට....


කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මගේ අහිංසක රවුටරය විදුලි කෙටීමකින් ආයුෂ නිම වූ  නිසා අලුත් එකක් ගන්නා තුරු මේ පෝස්ටුව තරමක් ප්‍ර‍මාද වූ බැව් කරුණාවෙන් සලකන්න.

මෙවැනි පෝස්ටුවකට  සිරා පෙළඹවීමක් ලද්දේ චන්දනගේ සටහන් ලියන සහෘද චන්දන   නිසා බැව් මතක් කරමි. ඔහුට කෘතඤ වෙමි. චන්දනගේ ලින්කුව  මත එබීමෙන් ඔහුගේ පෝස්ටුවට මාර්ගය විවර වේ.

මේ ලිපිය හුදෙක් පැරණි පත්තර පිටුවක් උපුටා දැක්වීමක් මිස දේශපාලනික කථාබහක නිරත වන්නක් /දේශපාලන මතවාදයක් කියවන්නන් හිස මත බලෙන් පටවන්නට ගන්නා වෑයමක් නොවේය. ඒ හේතුවෙන් දේශපාලනික මතවාදයන් පිළිබද මෙහි සාකච්ඡා කිරීමක් නොකෙරෙන බැව් අවධාරනය කරනු කැමැත්තෙමි.

මේ පුවත් පත පලවූ දිනය වන විට සිරාගේ මෑණියන් වයස මාස 3ක ළදැරියකි.

1959 වකවානුවේ  ගුවන් විදුලි යන්ත්‍ර‍ක්  පවා අති සුඛෝපභොගී භාණ්ඩයක් බවට පත් වී තිබුනේලු.

මෙහි එන ඡායාරූප, විස්තර වර්තමාන පරපුරේ බහුතරය කිසිදිනෙක දැක/අසා  නැති බැව් සිතමි.

දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාගේ විශාල ඡායාරූප එකතුවක් මෙතැනින්



















Related Posts Plugin for WordPress, Blogger...