ක්ෂීරපායි හෙවත් මැමාලියා ගණයට අයත් අලියා ගැන නොඇසූ කථා කීපයක් ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. එහෙත් අලියාගේ බොහෝ තොරතුරු ඔබද දනියි. සමහරු කැපුවත්
අලියා හැර නොයන බැව් කියති. නැතිනම් ආණ්ඩුවේ සිටිනා දේශපාලුවෙක් කියූ
අලි බොරුවක් හෝ කරන ලද
අලි වංචාවක් ගැන කථා වෙති. අනේ මගේ මූණෙ උලන්නට
අලි ගැට පේර ගෙඩියක් දෙකක් අරන් එනවකො. බිරින්දෑවරු සැමියන් අමතා එසේ පවසති. බලනවකො...ඔය යකා
අලි වැඩ්ඩෙක්....මෝටර් සයිකලය අලුත් වැඩියා කරන තැනක සිටිනා පාරිභෝගිකයකු බයිසිකල් බාස් පිළිබද තම හිතවතෙකුට එසේ හදුන්වාදෙති. එසේත් නැතිනම් තම හිතවතෙකු මිය ගිය කල්හි
අලියා බීම බෝතල කීපයක්ද ඉදිරියෙන් තබාගෙන මතක පැන් වත් කරති. කලකට පෙර අපෙන් සමුගත් කෝපිකඩේ
අලි ජේමිස් උන්නැහේද ඔබට අමතක විය නොහැක.
එහෙත් සබද....මා මේ කියන්නට යන්නේ ඒ අලීන් ගැන නොව පණ ඇති අලීන් ගැනය. කකුල් හතරේ අලියා වූ කලී විශාල ශරීරයක් සහිතව ඉපදී මෙලොව ඇති සියලු දුක්ඛ දෝමනස්සයන් දශක ගනනාවක් පුරාවට නිහඩව විද අවසන් ගමන් යන අහිංසක සත්ව ප්‍රජාවකි. සම්පූර්ණයෙන්ම ශාකභක්ෂක පිරිසකි. බොහෝ මිනිසුන් අවධානය යොමු නොකරන ඒ සද්දන්තයන් විදිනා දුක් ගැහැට මේ ලිපියටත් මෙයින් පසු ලියවෙන ලිපියකටත් පාදක වෙයි.
ගොඩබිම සිටිනා විශාලතම සත්වයා ලෙස විරුදාවලිය ලද අලියා වර්තමානය වන විට ආසියානු හා අප්‍රිකානු අලියා ලෙස වර්ග දෙකකට පමණක් සීමා වී සිටී. ඒ අතරිනුත් ආසියානු අලියා සුන්දරත්වයෙන් හා නුවනින් ඉහළ කෙනාය. එහෙත් තරහා ගිය කලෙක ප්‍රචණ්ඩත්වයෙන් ඉහළ කෙනා අප්‍රිකානු අලියාය. මේ අයගේ ආදිතමයා පෘථිවිය දැඩි ශීතලකින් යුතු වූ පලයිස්ටෝසීන යුගයේ ජීවත් වූ අඩි 14 පමණ උස, ශරීරය පුරාම ගණව රෝම වැවුනු
වුලි මැමත් නම් නාමයකින් නූතන සත්ව විද්‍යාඥයන් විසින් හදුන්වන සත්වයාය. එහෙත් පසු කාලෙක පෘථිවිය තුල ඇතිවුන විවිධ වෙනස්කම් හමුවේ මැමත්ලා අප හැර සදහටම වෙන්වී ගියහ.
|
අලියාගේ සීයා...මැමත් |
අලියා යනු සැබැවින්ම නෙතට රසදුනකි. ඒ නිසාමදෝ පුරාතණයේ සිටි අපේ මුතුන් මිත්තෝ...
අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා නොවනා වගත්
අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත ආදී ලෙස ඒ අලීන්ගේ වරුණ අපට කියන්නට අමතක නොකලහ. එසේත් නැති නම් ගොඩබිම වෙසෙන වෙනත් සත්වයෙකුට උරුම නොවූ අපූරු අංගෝපාංගයන්ගෙන් සමන්විත මේ අගනා ජෛව නිර්මාණය දෙස බලා ඔවුන්ගේ සෞන්දර්යවාදී සිත් අවදි කලහ. අපූරු ශරීර ලක්ෂන වලින් හෙබි වීමත්, ශරීරයේ ඇති විශාලත්වයත්, ශක්තිසම්පන්න භාවයත් නිසාම අන් සතුන් හට හිමි නොවූ සුවිශේෂී ස්ථානයක් අලියා නමින් මිනිස් සමාජයේ වෙන් වූයේ ඈත අතීතයේ සිටම බැව් අවිවාදයෙන් පිළිගත හැකි කාරණයකි. ගල් යුගය දක්වා දිවෙන ගුහා චිත්‍ර වලද අලියා සටහන් වී ඇත්තේ එබැවිනි.
ඈත අතීතයේදී රජවරු අලින් තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කල බවත් තම සිව්රග සේනාවන් තුල සාමාජිකයන් කොට යුධ සටන් සදහා පෙරමුණට යැවූ බවත් ඇතැම් කථාවක කියවෙයි. ඒ අනුව මිනිසා සහ අලියා අතර ඇති සැබැදියාවට සෑහෙන කාලයක ඉතිහාසයක් ඇත.
අලියා හෙවත් හස්තියා යනු සොබාදහමේ අපූරු නිර්මාණයක් බැව් යලි යලිත් කීම අවැසි නොවේ. බිම වැටුනු ඉදිකට්ටක් වුවද අහුලා ගත හැකි තරම් සංවේදීත්වයක් ඇති, හුස්ම ගැනීමටත්, ආහාර ලබා ගැනීමට ආධාරකයක් ලෙසත්, අතක් මෙන් හදිසියේ පහර දීමටත්, ඕනෑම දෙයක් අල්ලා ගැනීමටත් යන ආකාරයේ බහුවිද ප්‍රයෝජන වලින් යුතු හොඩවැල අලියා සතු විශාලම සම්පතයි. අන් කිසිදු සතකුට එවැනි යමක් නැති නිසාම අලියා කැපී පෙනෙයි. ඉදිරියට නෙරා එන උඩු ඇන්දේ කෘන්තක දත් දෙපලට මිනිස් සමාජය දළ නම් නමක් පට බදියි. එය අලියාට සුන්දරත්වයක් එකතු කලද...අද වන විට උන්ගේ ජීවිත වලට කණකොකා හඩා ඇත්තේද මේ කෙහෙල් මල් දළ දෙක නිසාය. අලින්ට තම ජීවිත කාලය තුල ගස් අතු ඇඹරීමට එසේත් නැතිනම් ආහාර කුඩා කැබලි වලට කඩා ගැනීමට දත් කට්ටල 6 ක් ලැබෙයි. 6 වන කට්ටලයද අවසාන වූ පසු ආහාර ගැනීමට ප්‍රථම ඒවා පොඩි කරගන්නට ක්‍රමයක් නොමැතිව සමහර අලින් ජීවිත සටන පරාද වන බැව් ඇතැම් තැනක මම කියවා තිබේ.
අපේ ජන සමාජයේ විශාලව ඵලය හටගන්නා පුවක් ගෙඩිය, දෙල් ගෙඩිය, අඹ ගෙඩිය රට නම් විශේෂන පදයකට මුවා වූවා සේම දළ ඇති අලියා ඇතා නම් අපූරු නමකට හිමිකම් කියයි. ඇතාගේ කාන්තා පාර්ශවය ඇතින්න වන විටක අලියාගේ ගැහැණු පාර්ශවය කෙණෙර යනුවෙන් හදුන්වයි. එහෙත් බොහෝ දෙනා ඇතින්නිය ගැන අසා තිබුනත් කෙණෙරක ගැන අසා නැත.
වංගෙඩි මෙන් විශාලව වැඩී අලි සිරුරේ අලි බර දරණා අලි පාදයන්ද...එහි ඇති අලි නියපොතුද.... නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගනී. එහෙත් මිථ්‍යා විශ්වාසයන්ගේ එල්බගෙන, මහන්සියෙන් කිසිවක නිරත නොවන ඇතැමෙකු තම වාසනා මහිමය වැඩි කරගන්නට හදන්නේ අලි වලිගයෙන් කෙදි ගැලවීමෙනි. ඒවා ලග තබාගැනීමෙන් වාසනාව පහල වන බවට ඇති මේ තේරුමක් නැති කථාව නිසාම පෙරහැර අස්සේ වුවද අලි නැට්ටෙන් කෙදි ගැලවීමට ඇතැමුන් වෙර දරති.
ගමරාළ අලි වලිගයේ එල්ලී දිව්‍යලෝකේ ගිය කථාව පුංචි සන්ධියේ නොකියවූ ඇත්තෙකු සිටිය නොහැකි වන තරමට ජනප්‍රිය එකකි. අප කුඩා කල කියවූ කතන්දර වල අලියාගේ කන්පෙති සමාන කර තිබුනේ ධාන්‍ය වර්ගයන්හි අනවශ්‍ය කොටස් ඉවත් කර අවශ්‍ය දේ ඉතිරි කර ගැනීමට කුස්සියේ භාවිතා වන කුල්ල නම් උපරකරණයටයි. ඒ යෙදුම අදටත් ගැලපෙනවා යැයි මා සිතමි. නමුත් නාගරික දරුවන්ගෙන් බහුතරයක් කුල්ල යනු කුමක්දැයි නොදන්නා බව සිකුරුය. එවිට මට සිතෙන්නේ කාලය මැව් වෙනසක අරුමේ යනුවෙනි. කුල්ලෙන් පොලන්නට දෙයක් නැති නාගරික නිවසට...කුල්ලක් කුමකටද ?
අති විශාල අලි ශරීරයේ දාහය නිවා ගැනීමට අලියා මේ කුලු යුග්ම දෙපසට වනමින් පවන් සලාගන්නා ආකාරය කදිමය. මේ කුලු වලට ඇතුලතින් ඇති අලියාගේ කන ඉතා තියුණුය. කිලෝ මීටර 3 ක් හෝ 4 ක් එහායින් ඇසෙන ශබ්දයක් වුව ග්‍රහණය කරගත හැකි තරමට ප්‍රබලය. නමුත් අලියාගේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව දෙනෙත කුඩාය. ඒවායේ පෙනීම දුර්වලය. එහෙත් ඉව යනුවෙන් අප හදුන්වන හැකියාව නිසාම අලියා කරදරයකින් තොරව ඒ මේ අත ගමන් කරයි. වැඩිමනක් රාත්‍රී කාලයට ඇවිදින්නට ප්‍රිය කරයි. අධික හිරු එළියෙන් ඇති වන පීඩාවන්ද එයට එක් හේතුවක් විය හැක. දාහය තවත් දරාගත නොහැකි තැනට පත් වූ කලෙක අලියා ජල පහරකට බැස දිය ස්නානය අරඹයි. හොඩෙන් පිට මැදට වෙන්නට වතුර ඉස ගනියි. නෑමෙන් අනතුරුව මඩ නාගෙන ගොඩට එයි. ඒ දැඩි හිරු කිරණ මගින් සමට වන පීඩාව වලකන්නට ක්‍රීම් වර්ග හා ලෝෂන් වැනි දෑ අලියාට නැති හෙයිනි.
මේ අපූරු සත්වයා මිනිසා සමග වාසය අරඹන්නේ බල්ලන්, බළලුන්, ගවයන් වැනි සත්වයින්ට සෑහෙන කාලයකට පසුව වීම විශේෂයකි. ඒ ශරීර ප්‍රමාණ වලින් කුඩා පෙර නම් කියූ සත්වයින් හීලෑ කරගැනීම පහසු වුවත්..මෙවැනි සද්දන්තයෙක් හීලෑ කරගැනීමට අවැසි තාක්ෂණය ආදිතම මිනිසාට ලැබෙන්නට සෑහෙන කාලයක් ගිය නිසා විය යුතුය. ඒ කාරිය ඇරඹෙන්නට ඇත්තේ මවගෙන් වෙන් වූ කුඩා පැටියකු හෝ ලෙඩරෝග යනාදියෙන් අසරණ වූ සතෙකු මුලින්ම තම ජනාවාශ වලට රැගෙන ඒමෙන් වන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
මේ හමුව මිනිසාට කෙසේ වුවත් අලියාගේ නස්පැත්තියට ඉවහල් වූ කාරණයක්ම විය. වනාන්තරයට වී තමන්ට රිසි සේ ඒ මේ අත ඇවිදමින්, ආහාර බුදිමින්, දිය ස්නානය කරමින් ගත කල ඒ නිදහස් සමය අලියාට අහිමි විය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් එළැඹුනු යුගය තමාට වඩා බොහෝ සෙයින් ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසාගේ බලයට යටත්ව පඩි රහිතව සේවය කරනා කම්කරුවෙකු තත්වයට අලියා පත් කලේය.
කාලයේ ඇවෑමෙන් අලි හිමිකරුවන් අලි සල්ලිකාරයන් මෙන්ම සමාජයේ අලි බලවතුන්ද වූහ. මේ නිසාම අලි ඇල්ලීම මෙන්ම විකිණීමද....සේවය සදහා කුලියට සැපයීම වැනි විවිධ අතුරු කාරණා ඔස්සේ පසු කාලීනව අලියා කරළියටම පැමිණියේය. නැති නම් ලාභදායී ව්‍යාපාරයක් විය. අලියෙකු නිවසේ ඇති දැඩි වීම තමාගේ ප්‍රබලත්වය මෙන්ම සල්ලිකාර කමද බාහිර සමාජයට කියනා අගනා සාධයක් වූ නිසාම අලියෙකු දෙන්නෙකු තමන් හට ලබාගැනීමට ප්‍රභූ පැලැන්තිය දත කෑහ. මේ සියලු කාරණා ලාංකීය ජන සමාජයයේ පේන තෙක් මානයක ඇති ඉතිහාසයට පොදු වූ කාරණාවෝය.
ලක්බිම පාලනය ඉංග්‍රීසීන් විසින් සිදු කල කාල වකවානුව අපේ අලි සම්පතේ අවාසනාවන්තම කාලය බැව් කිව යුතුය. විනෝදය පිණිස අලි මැරීම එකල සිටි මෝඩ සුද්දන්ගෙ විනෝද ක්‍රීඩාවක් විය. අහිංසක සතෙකුට ගිණි බිද විනෝද විය හැකි හිතක් මිනිහෙකුට තිබේ නම්...ඒකා වනචාරියෙකි. මිනිස් කමට නින්දාවකි. එලෙස අලීන් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් විනෝදය උදෙසා මරා දැමූ කෘ ෘර සුද්දෙකුද වෙයි. ඒකාගේ මරණින් පසු සිරුර තැන්පත් කර ඇති මහනුවර ඇති මිනී වලටද වසරක් පාසා හෙණ ගසනා බවක් නුවර වැසියෝ කියති.
සිරිලංකාවේ අලි ඉතිහාසය ගැන සොයා බැලීමේදී නම කියූ පමණින් බොහෝ දෙනා දන්නා හස්තිරාජයන් දෙදෙනෙකි. ඒ පනාමුරේ ඇත් රාජා සහ දළදා මාලිගාවේ සිටි රාජා.
පනාමුරේ....පනාමුරේ...පනාමුරේ ඇත් රාජා.....පනාමුරේ ඇත් රාජා....
පනාමුරේ ඇත් රාජා සැබැවින්ම ඇතෙකු නොව අලියෙකු වුවත් තිරිසන් සතකු ලෙස සිටියදීත් තම අවශේෂ වර්ගයාගේ නිදහස වෙනුවෙන් සටන් කොට මියගිය අභිමානවත් සත්වයෙකි. එකල මෙන්ම දැනුදු ශ්‍රී ලාංකීය ජන සම්භාවනාවට පත්වෙන අලියෙකි. ඒ නිසාම ඇත් රාජා යන බුහුමන ඒ සතා වෙනුවෙන් පුද දී තිබේ.
පනාමුරේ ඇත් රාජා වැනි උතුම් ගුණාංගයෙන් යුතු වූ සත්වයෙකු ගැන මෙසේ සිල්ලරට පවසා ඉන් ඉවත් වීමට මගේ සිත ඉඩ නොදෙයි. මේ ලිපිය කෙතරම් දිගු වුවත් කියන්නට ඇති සියලුම දෑ ලියන්නට මගේ අතැගිලි වෙර දරයි.
සිරි ලංකාවේ පළමු කථානායකයා වන ප්‍රැන්සිස් මොලමුරේ මහතාට ඉංග්‍රීසි රජයෙන් ලියා පැවරූ අක්කර 99000 ක පමණ අති විශාල භූමිය තුල ජීවත් වූ සියලුම අලි ඇතුන් අල්ලා හීලෑ කර විකුණා දැමීමට තීරණය විය. ඒ අනුව ඒ භූමිය තුල ඉතා ශක්තිමත්ව හා විශාලව අලි ගාලක් සකසා අල්ලා ගන්නා කැළෑ අලින් හීලෑ වන තෙක් රදවා තබා ගැනීමට කටයුතු කොට තිබේ. එහි ආරම්භය 1928 තරම් ඈත අතීතයකට දිව යන්නකි.
එක් දිනකදී ගාලට කොටු කල අලි 18 දෙනෙකු අතර පෙර කියූ හස්තියාද සිට ඇත. සාමාන්‍යයෙන් කැලෑ අලීන් ඇල්ලීමට හීලෑ අලීන්ද යොදා ගන්නා අතර...අල්ලා ගැනීමෙන් පසු උන් හීලෑ බවට පත් කිරීමටද හීලෑ අලින් යොදා ගනියි.
මේ සුවිශේෂී හස්තියා මේ කිසිම ක්‍රමයකට අවනත වී නැති අතර හීලෑ අලින්ට මුලින්ම පහරදී තිබේ. සාමාන්‍ය කැළෑ අලි දළ ඇතෙකු කෙරේ භය පක්ෂපාත බවක් දක්වන නිසා ඉන් අනතුරුව පනාමුරේ හස්තියා හිලෑ කිරීමට දළ ඇතෙකු ලං කර තිබේ...දළ ඇතාටද නොසිතූ පරිදි දැඩිව පහරදී තමා රදවා සිටි ශක්තිමත් බුරුත කොටන් වලින් සකසා තිබූ කුටියද කඩා බිද දමා රුදුරු වෙස් ගෙන අලි ඇල්ලීම නරඹමින් සිටි මිනිසුන් හටද පහරදීමට උත්සාහ කරමින් හැසිරුනු මේ හස්තියා පාලනය කිරීමට තව දුරටත් අසමත් කල උගේ නිදහස නැති කල ෆ්‍රැන්සිස් මොළමුරේ නම් හදවතේ තෙතමනයක් නැති මිනිසා විසින්ම මේ සත්වයා හට වෙඩි තැබීමට ලංසි ජාතිකයකුට අණ කොට ඇත. නළල මැදට වැදුනු එකම එක වෙඩි පහරකින් තමා හා තම වරිගයේ නිදහස උදෙසා සතියකටත් වඩා කාලයක් එක දිගට දිවි හිමියෙන් තනිව සටන් කොට ලාංකීය ජන සමාජය තුල වීරත්වයට පත් මේ පනාමුරේ ඇත් රාජා වෙඩි කෑ පසුව එහි සිටි සාමාන්‍ය ජනතාව කදුලු සැලූ බැව්ද ප්‍රකටය.
|
ඡායාරූපය http://www.silumina.lk/ |
1950 අගෝස්තු 9 වන දින එම ස්ථානයේ සිට මේ දසුන නරඹා කම්පනයට පත් සුගතපාල මලලසේකර නැමති ගායකයා හා තනු නිර්මාපකයා මෙන්ම ආනන්ද රාජකරුණා නැමති ගී පද රචකයාද එක්ව ඔවුන් දුටු සංවේදී සිදුවීම අදද අප ශ්‍රවනය කරනා පනාමුරේ ගීතය බවට පත්කොට ඇත. මේ වීර හස්තියා මියගොස් දැන් වසර 63 ක් ගත වී ඇතත් අදද මේ සත්වයා මිය ගිය දිනය දා පනාමුරේ ප්‍රදේශයේ ජනතාව රාජා සිහිපත් කරමින් භික්ෂූන් වහන්සේ නමක් ලවා බණක් කියවති. අටපිරිකර සහිතව අංගසම්පූර්ණ දානයක් පළිගන්වති. මතක වස්ත්‍ර පූජා කරති.
මිනිසා හා සමගාමී අලියාගේ ආයුෂ ප්‍රමාණයත්...අනෙකුත් සතුන්ට වඩා අලියා නුවනක්කාරයෙකු වීමත්...අලි සමාජය තුල අලින්ගේම සංස්කෘතියක් ඇති කරගන්නට තරම් ඥාණවන්ත භාවයක් තිබීමත්, යන කාරණා නිසා අලියා අනෙකුත් සතුන්ගෙන් පැහැදිලිවම වෙනස් වෙයි.
අලි රංචුවක නායකත්වය බොහෝ විට දරන්නේ ගැහැණු සත්වයෙක්. නමුත් මේ අදහස වෙනස් කල අවස්ථාව තමයි පනාමුරේ සිදුවීම. සමහරු විශ්වාස කරන්නෙ පනාමුරේ රාජා අලි රැළට නායකත්වය දුන්න නිසයි තමන්ගෙ රැළ වෙනුවෙන් තනිව සටනට බැස්සෙ කියලා.
අලුත් පැටවෙකු ඉපදුන කල්හි කිරිදෙන සෑම අලි මාතාවක්ම තමාගේ නොවුනත් හැම පැටියෙකුටම කිරී බීමට ඉඩ දීම අලි සංස්කෘතියෙ සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම රැළේ නායිකාව විසින් නාහෙට අහන්නේ නැති විසේකාර පිරිමි අලි රැළෙන් පිටමං කිරීමට කටයුතු කිරීම හේතුවෙන් තනි අලියා නම් දරුණු අලියෙක් උපදිනවා. සද්දන්ත අලියා විවිධ ශබ්ද හා අංග චලන 200 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත දියුණු භාෂාවක් සන්නිවේදනය උදෙසා භාවිතා කරන බවයි නූනත සත්ව විද්‍යාඥයින්ගේ අදහස.
රැලෙන් පිටමං වන කෙනා තනි අලියා බවත්...ඒකා දරුණු ගතිගුණ ඇති එකෙකු බවත් ඔබ දන්නවා...අලින් ගැන කථා කරද්දි තුන්පත් රෑන නම් ජනප්‍රිය වදනකුත් තියෙනවා. තුන්පත් රෑණ යන සංකල්පයෙදි මත දෙකක් තියෙන බවයි පේන්නෙ. පොදු ජනවහරෙ තාත්තා මව දරුවා කියා හැදින්වුවත්...සත්ව වේදීන්ගේ අදහස අනුව මව, පෙර මුරයක පැටියෙකු සහ පසු මුරයක පැටියෙකු, (උදා අයියා මල්ලි )ලෙසයි තුන් පත් රෑන හදුන්වන්නෙ.
බර වැඩෙහි යෙදිය හැකි යන්ත්‍රෝපකරණ නිපදවා තිබූ නැති අතීතයේ අලින් විසින් ඒ කාරිය ඉටු කලා. වර්තමානය වන විට එවැනි කාර්යයන්ගෙන් බොහෝ අලින් නිදහස් වුනත් නවීන යන්ත්‍රෝපකරණ වැඩෙහි යෙදිය නොහැකි තැන්වල තවමත් අලියා දුක්විදිමින් සේවය කරනවා.
කාර්මීකරණයෙන් පස්සෙ පළමු, දෙවැනි ලෝක යුද්ධ නිමාකරගෙන වේගයෙන් භෞතික දියුණුවක් කරා ලෝකය ගමන්කරද්දි මිනිසුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් තිබූ ඉඩත් පුළුල් උනා..ජනමාධ්‍ය, චිත්‍රපටි, සංගීතය වගේම සර්කස් කලාවත් ඒ යටතේයි ඉදිරියට එන්නෙ.
එදා වගේම වර්තමානයේදීත් සර්ක්ස් වල අනිවාර්ය අංගයක් උනේ පුහුණු කරන ලද සතුන්. ඔබ ටිකට් පතක් රැගෙන ආශාවෙන් මේ දේවල් බලා සිටියත් මේ සතුන් පුහුණු කරන්නේ ඉතාම කුරිරු ලෙස බැව් ඔබ නොදන්නවා විය හැකියි. මෙන්න
මෙතැනින් මේ පිටුවෙ තියෙන වීඩියෝව බලන්න...සර්කස් දර්ශනයකට මොහොතකට පෙර මේ හස්තින්ට පහර දෙන හැටි හා..ඒ අසරණ සතුන් දකිනකොට මගේ නෙතු අගට කදුලක් එකතු වෙන එක නතර කරන්න බෑ. සර්කස් සංදර්ශනයකදි සෑම සර්කස් කරුවෙකුම අතේ කුඩා පොලු කැබැල්ලක් තිබෙන්නේ ඒ සත්වයාට පහර දීමෙන් පසු ලද වේදනාව මතක් කරන්න. ඒ මතකයන් නිසාම අසරණ සතුන් කියන දේ කරනවා.
|
මේ කාරණය අරමුණු කර PETA සංවිධානය මගින් පැවැත්වූ විරෝධතාවක් |
නිරන්තරව පහර දෙමින්...ඔවුන්ගේ නිදහස මුලිනුපුටා දමා මේ කරන කාර්යයන් මිනිසුන් ලෙස අපට කිසිසේත් අනුමත කරන්න බෑ. මේ ලිපිය ලියනා සිරා කොලුවා වන මම දැනුම් තේරුම් ඇති වූ කාලයේ සිටම අසරණ සතුන් කෙරේ ඉතාමත්ම සෙනෙහස, අනුකම්පාව දක්වන කෙනෙක්. මා කුඩා කල අපේ ගම ආසන්නයට පැමිණි සර්කස් කණ්ඩායමේ සිටි එළුවෙකු පිළිබද මතකයක් මෙතැනදි අලුත් වෙනවා.
එදා එළුවාට සමබර දණ්ඩෙ යන්න පළමු වතාවෙ නොහැකි වුනා....සර්කස් කරුවන් සර්කස් මඩුවෙ පිටිපස්සට මේ සතාව රැගෙන ගිහිල්ලා විනාඩි 5 කට පමණ පසු නැවතත් රැගෙන ආවා....ඒ සතා දුවගෙන ආවෙ....මට හොදටම දැනුනා...පසුපසට රැගෙන ගිහිල්ලා මුගුරකින් ගහපු බවක්...හීනියට තියෙන පොල්ලක් දිගේ අමාරුවෙන් කකුල් තියා තියා යද්දි එදා මම හිතින් ප්‍රාර්ථනා කලා අනේ මේ වැඩේ සාර්ථකව කරන්න එළුවට අවස්ථාව ලැබෙන්න කියලා...නැවතත් ගුටිකන්න වෙන නිසා.
ඒ තමයි මම නරඹපු පළමු සහ අවසන් සර්කස් දර්ශනය. ඇත්ත දැන ගත්තට පස්සෙ නැවතත් එවැනි යමක් බලන්න කිසිම ආශාවක් ඇති වෙන්නෙ නෑ.
90 දශකයෙන් පස්සෙ රට රටවල් අතර සංචාරය කිරීම කර්මාන්තයක් විදියට සංවර්ධනය වෙන්න පටන් ගත්තා. සහශ්‍රය ලබන අවස්ථාව වන විටත් එය සීඝ්‍ර දියුණුවක් ලබා තිබුනා. මා සිටින මැලේසියාවේ ජනතාවට ලොව වටා සංචාරය උදෙසා සහාය වීමට වසරකට දෙවරක් අති දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට තරම් මේ රටේ සංචාරක වෙළදපොල පුලුල් වෙලා. ලෝකයේ බොහෝ දියුණු රටවලත් තත්වය එහෙමයි. හැම තැනම අලුතින් හෝටල් ඉදිකරනවා...ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කරනවා.
මේ කාරණයෙදි විවිධ රටවල් තම තමන්ගේ රටවල ඇති ස්වභාවික පිහිටීම්, විශ්මිත ඉදිකිරීම්, විනෝදාස්වාදය සපයන මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරලා හැකි තරම් සංචාරකයො පිරිසක් තමන්ගෙ රට වලට ගෙන්නගෙන රටේ ආදායම ඉහළ නංවා ගන්නයි උත්සාහ කරන්නෙ. මම මීළගට කියන කථාව අයිති ආසියාවෙම තවත් රටක් වන තායිලන්තයට.
ඔබ තායිලන්තයේ සංචාරය කර තියෙනවද ? තායිලන්තයේ අලි චිත්‍ර අදින, පා පන්දු සෙල්ලං කරන හැටි දැකලා සෑහෙන්න සතුටු උනාද ? ඔබ සතුටු උනා කියලා කියනවා නම් ඒ පසුපස ඇති මේ දුක්මුසු කථාව ඔබ නොදන්නා නිසා බව මට හොදටම විශ්වාසයි.
|
මේ සතුන්ගේ නෙත් දිහා බලන්න...ඒ බැල්ම තුල ඔවුන් විදිනා දුක් ගැහැට අපූරුවට සටහන් වෙලා තියෙනවා |
ඔපීසියේ මගේ ලග ඉන්න රුසියාවෙන් ආපු සුදු නංගි මේ ලගදි කරපු තායිලන්ත සංචාරයෙන් පස්සෙ මට මෙහෙම කිව්වා...
අපෝ ඕගොල්ලන්ගෙ රටේ අලි ෆුට් බෝල් ගහන්න දන්නෙත් නෑනෙ...ඒකට බලන්නකො තායිලන්ත අලි...ඒගොල්ලො ගොඩාක් දේ දන්නවා....
ඇය ලංකාවේත් සංචාරය කරලා තියෙන තැනැත්තියක් විදියට අපේ අලීන්ගේ ක්‍රියාකාරකම් දැකලා තියෙනවා. ඒ ගැටලුවට පිළිතුරක් දෙනවා වෙනුවට මම කලේ අන්තර්ජාලය ඔස්සේ කාරණය සොයා බැලීම. එතැනදී තමයි තායිලන්ත සංචාරක කර්මාන්තයේ පැවැත්ම උදෙසා පාපන්දු සෙල්ලං කරන, චිත්‍ර අදින, සංචාරකයන් පිට මත හිදුවාගෙන එහේ මෙහේ යන මේ අසරණ අලි විදින වද වේදනා ගැන හොද අවබෝධයක් ලැබුනෙ. තායිලන්තයේ සිටින කැලෑ අලි තොග පිටින් අල්ලාගෙන සංචාරකයන් පිනවන්න පුහුණු කරන වැඩ පිළිවෙල නිසාම එරට වනගත අලි ගහණය සෑහෙන්න අඩු වෙලා.
|
මේ සියලු කාරණා ඉවසා සිටින අලියා මනසින් උසස් අපට වඩා ඉවසීම හුරු කර තිබෙනවා නොවේද ? |
මේ වීඩියෝවෙ භාගයක්වත් වත් බලන්න මට බෑ....මගේ හදවත ඒ තරමට සංවේදියි. එහෙත් ඔබට හැකි නම් බලන්න. නොදන්නා දෙයක් ගැන දැන ගන්න.
හැබැයි සංවේදී හදවත් ඇති ඇත්තො නොබලන තරමට හොදයි.
මේ තරමට මිනිසා කුරිරු උනේ ඇයි. සතෙක් උනත් ඌටත් වේදනාව දැනෙන බව නොදන්නා නිසාද? මේ ලෝකය මිනිසාට පමණක් නොව සතා සීපාවාටද අයිති බවත්....ඒ සතුනුත් නිදහස බොහෝ ඉහළින් අගය කරන බවත් මනසින් උසස් යැයි සම්මත එනමුත් තිරිසනුන්ටත් පහත් හිතක් තියෙන මේ අකාරුණික මිනිසුන්ට අමතක වෙලාද ?
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
පනාමුරේ ඇත් රාජා ගැන සම්පූර්ණ ලිපිය මෙතැනින්
ඇතැම් කරුණු අන්තර්ජාලයෙනි.