Showing posts with label බෑන්ඩ් ජීවිතයේ රස කථා. Show all posts
Showing posts with label බෑන්ඩ් ජීවිතයේ රස කථා. Show all posts

Saturday, December 31, 2016

22 මයිනරය, Vibration සහ තවත් කථා

සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්‍ර‍සංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ.


නිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය අසබඩ කොළ ටයි පටි කෙල්ලෙකුගේ සිනා කැකුලකට ක්ෂණිකව විකසිත කරන්නට හැකි බැව් අපි එදා දැනගතිමු.

කෙතරම් විඩාවක් දැනුනත්, නිදි වර්ජිත රාත්‍රීන් කීපයක් ගත වුවත් සිරා කොලුවා වන මටත්, ජපන් චමියාටත් ඉසිඹුවක් ලබන්නට ඉඩක් නැත. අපගේ ප්‍ර‍සංග සංවිධානයේ කුමන හෝ තැනක අඩුපාඩුවක් ගැන පැමිණිල්ලක් නොලැබෙන දිනයක් නැත. 

ආනන්දයගෙ ලොරි බට්ටට තෙල් ගහන්න සල්ලි නෑ. පෝස්ටර් අලවන්න යන්න පාප්ප ගන්න සල්ලි නෑ. 

මෙවැනි අටෝරාශියක් ගැටලු කෙලවර වන්නේ ජපන් චමියාගේ හෝ මා ඉදිරිපිටිනි. ඒ සෑම විටෙකම යන්තං ඔලුව බේරාගත හැකි පිළිතුරක් දෙන්නට තරම් අපි දෙදෙනා දක්ෂයෝ වීමු.

වෙනදා වගේම කාලය වේගයෙන් ගත වී ගියේ ටික් ටික් හඬිනි. Vibration 2006 ප්‍ර‍සංගය අත පොවන මානයට පැමිණ තිබේ. චමියාගේත් මගේත් ඔලු ගෙඩි යක්ෂයාගේ කම්මල මෙන් අවුල් වියවුල් ජාලයකි. තවත් විටෙක මේ ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මහත් පීඩනයකි. මේ සියලු දෑ දරාගෙන අපි දෙදෙනා තවමත් පිම්මේ දුවන්නේ සාර්ථක ප්‍ර‍සංගයක් අපගේ තූර්ය වාදක ඛණ්ඩයේ පොඩි උන්ට දායාද කරනා අදහසිනි.

ප්‍ර‍සංගයට ඇත්තේ තවත් දින කීපයකි. අලුත් වටයකින් ගම්පහ නගරයම පෝස්ටර් වලින් හැඩ කරන්නට අපේ පාප්ප බාල්දි වලට හැකි වී තිබේ. කොල්ලො කුරුට්ටන් සියල්ලක්ම පාහේ අමුතුම ජවයකින් අවසන් අවස්ථාවේ තම දායකත්වය ඒ ඒ අංශ වෙනුවෙන් ලබා දෙන්නට සැදී පැහැදී සිටිති. තූර්ය වාදක ඛණ්ඩයට දායකත්වයක් නැති පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය ප්‍ර‍ජාවද ප්‍ර‍සංගය නිසාවෙන්ම වෙනදා නැති උද්යෝගයකින් සිටිනා වගක් සිරා කොලුවාගේ අක්මාවට දැනේ.

කොල්ලො...මේ දවස් ටික එක දිගට හවසට ප්‍ර‍චාරය දීහං ගම්පහ ටවුමෙ. මිනිස්සුන්ට එතකොට හොඳට දිනේ මතක හිටිනවා. මාස්ටර් දවසක් දෘ උදෑසනම මා වෙත අවවාදයක් දුන්නේය. දවසක් හැර දවසක් හෝ ආනන්දයාගේ ලොරි භාගයට පින් සිදු වන්නට ඒ වන තෙක් අප ප්‍ර‍චාරක කටයුතු සිදු කර තිබුනි. ප්‍ර‍සංගයට පෙර ගත වෙන අවසන් දින කීපය නිසා දැන් ඒ කටයුතු වෙනදාවට වඩා උවමනාවෙන් සිදු කරන්නට කාලය එළඹ තිබුනි.

අනේ මල්ලියෙ...අද නම් එන්න විදියක් ඇත්තෙම නෑ වාහනේ අරගෙන. අම්මට යකා නැගලා ලොරියෙ යතුරත් හංගලා තියෙන්නෙ. උඹලා අදට මොනවා හරි කරගනිල්ලා...මම හෙට කොහොම හරි එන්නං...

ආනන්ද අයියාගේ දුක්මුසු වැලපුම් හඬ මේ කියන දිනයේ 4 පසු වී විනාඩි ගනනක් ගිය තැන මාගේ සවන්පත් කම්පොනය කලෙන් මම මහත් කලබලයෙන් යුතුව මේ අසුබ ආරංචිය සංගීතය පුහුණුකරමින් සිටි බෑන්ඩ් මාස්ටර් වෙත සැළ කළෙමි.


යකඩ කටවල් දෙක තියෙනවා නේද බෑන්ඩ් කාමරේ...ඒක බැදහං මගේ කාර් එකට, අපි කාර් එකෙන් අද වැඩේ කරමු. වයසට ගියත් බෑන්ඩ් මාස්ටර්ගේ මෙවැනි අභීත ක්‍රියාකාරකම් ඒ කාලයේ මහත් සුලභ දසුන්ම වූවේය.

කොල්ලො කුරුට්ටන්ගේ නොමඳ සහයෝගය නිසාම මේ ප්‍ර‍සංගයේ ප්‍ර‍චාරක රථයක් පරිද්දෙන් සෑර්ගේ මයිනරය හැඩ වැඩ වන්නට වැඩි වෙලාවක් ගියේ නැත. වාහනය පුරාම අපගේ පෝස්ටර අළවා යකඩ කටවල් දෙක, කාරයේ වහළය මත තබා කොහු ලණුවෙන් කිටි කිටියේ බැඳ දැමූ පසුව සියලු දුක්ඛ දෝමනස්සයන් අහවර වූවේය.

නිවේදන කටයුතු සඳහා මයිනරය දැන් ගම්පහ නගරය බලා ඇදෙමින් තිබේ. කඩින් කඩ සෑර්ගේ උපදෙස් පරිදි මම ප්‍ර‍සංගය පිළිබඳ නිවේදන කටයුතු සිදු කලෙමි. රැකියාව අහවර වී නිවාස වෙත ඇදෙන ගම්පහ ජනතාව අපගේ ඉලක්කගත පිරිස වූහ.

ගම්පහ නගරයේ හදවත වැනි දුම්රිය ස්ථානය ඉදිරිපිට කොටසේ ප්‍ර‍චාරක කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සෑර්ගේ අදහස වූයේ දුම්රිය හරස් මාර්ගයෙන් ඔබ්බේ වූ කොටසේද ප්‍ර‍චාරක කටයුතු සිදු කල යුතු බවයි.

මයිනරයේ ඉදිරි වම්පස අසුනේ සිට ගම්පහ සිරි අසිරි නරඹින් සිටි මගේ දැහැන බිදුනේ එක් වරම නැගී ගිය මහා හඬකිනි. ඒ සමගම වාහනයේ මා සිටි කොටස පසෙකට ඇළවී එම කොටස තාර පාර දිගේ ඇතිල්ලෙන වගක් මට දැනුනි.

මොකක්ද බං ඒ සද්දෙ...වික්ෂිප්තව ගිය සෑර් මගෙන් විමසයි. නමුත් මා හට දෙන්නට පිළිතුරු නැත.

සැනින් ගමන නතර වූ මයිනරයෙන් බිමට බට සැනින් එහි ඉදිරිපස වම්පස  ටයරය පසෙකට ඇළවී තිබෙන අන්දම දැකගත හැකි වූවේය.

ටයර් එක ෆික්ස් කරන තැනට එනවා අපේ ඇගිල්ලක් විතර මහත ක්ලිප් එකක් මේ කාර් එකේ අන්න ඒක කාලයක් තිස්සෙ ටිකෙන් ටික  කැපිලා බං...ටයර් එක පැත්තට ගිහින් වාහනේ පාත් වෙද්දි පොළවෙ වදින සද්දෙ තමයි ලොකුවට ඇහුනෙ.

ප්‍ර‍සංගයේ බැනර් එල්ලන්නට වන්දනා නඩයක් රැගෙන මයිනරය ගෙවීගිය රාත්‍රියක ගිය ගමන මේ විපත උදා කරන්නට ඇති බැව් මා හට සිහි වුවද ඒ පිළිබඳ මම මාස්ටර් සමග කථා නොකළෙමි.

මාස්ටර්ගේ කාර්මිකයා එහි ලගාවනතුරු අපි දෙදෙනා මයිනරයට තනි රැක්කෙමු. ඒ අවසරයෙන් එතැනින් ගිය සිරා කොලුවා ගමන් ගන්නා මාර්ගයේ මගී බස්රථවල සිටි කෙල්ලන් පාසලේ නම සහිත පෝස්ටර් සමග අබ්බගාතව සිටින මයිනරය දුටු විගස කොක්සන් හඩලා සිනා සුනහ. ඒ සෑම විටෙකම මම මගේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනිමේ පරම අධිෂ්ඨානයෙන් මයිනරය ඇතුලට හිස යොමු කරගෙන සිටියද, කඳ එළියේය.

මේ හදිසි අනතුරෙන් මයිනරය නැවතී තිබූ ස්ථානයෙන් මාර්ගය අවහිර වී තිබීම නිසා, මාර්ගයේ සැනෙන් ඇති වූයේ දැවැන්ත වාහන තදබදයකි. කවදත් අපේ තූර්ය වාදක ඛණ්ඩය සමග හොඳ හිත පතුරවාගෙන සිටි ගම්පහ පොලෝසියෙ ඇත්තන් ඒ සියලු තත්වයන් සමනය කරන්නට මහත් සහායක් දුන්නෝය.

ප්‍ර‍සංගයට පෙර දින රාත්තිරියේ ප්‍ර‍සංගයේ ආරාධිතයන් දැල්විය යුතු පොල්තෙල් පහන කිසිම සුකුරුත්තමක් නොමැතිව ඔහේ සිමෙන්ති පොළව මත තිබෙන අයුරු දැක අපගේ මාස්ටර් පරල වූවේය. 

මේක මෙහෙමද හෙටත් තියෙන්නෙ. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

උඹලා භය වෙන්න එපා මම දෙන්නං පොල්තෙල් පානට ලොද පනින්න නියම ඩෙකරේෂන් එකක්..ඒ වෙලාවේ අප මිත්‍ර‍ ජෝතියාගේ වදන් අපිට මහත් සහනයක්ම වූහ.

සෑර්ගේ දෝස්මුරයට හසු වූ පසු, මිත්‍ර‍ ජෝතියා සමග පාසලට යාබද කනත්තේ ඇති සුදු අරලියා ගස් වෙතින් මල් සහ කොල කඩාගන්නා විට මධ්‍යම රාත්‍රිය එළැඹී තිබුනි. ජෝතියාගේ ආරක්ෂාවට ඒකා සමග කනත්ත වෙත බඩගාන්නට මමත් චමියාත් එකතු වූයෙමු. උඩු කය නිරුවතින් සිටි කලුම කලු ජෝතියා දුටුවා නම් හොල්මනක් වුවත් භිය වෙනවා නිසැකය.

සති කීපයක සිට, නොයෙක් දෙනාගේ සහයෛා්ගය ඇතිව මහත් වැර වෑයමෙන් තැනූ ප්‍ර‍සංග වේදිකාවේ ප්‍ර‍සංගයට ඉඩ හසර වෙන්වන දිනය දා උදේ පාන්දරම ඇන්ටන් ජූඩ් කලාකරුවා රැගෙන එන්නට රත්මලානට යන්නට මා හට සිදුවූවේය. අප එහි යන විට තම සියලුම අඩුම කුඩුම සූජානම් කරගෙන ඔහු සැදී පැහැදී සිටියේය. ඒ වකවානුවේ මේ කලාකරුවාට තිබුනෙ ඉමහත් ජනප්‍රියත්වයකි.


නිවස ඉදිරිපිට මාර්ගයට පා ගමනින් පැමිණි සැනෙකින් ආයිෂ් අම්මා ගුණ්ඩු...යනුවෙන් පුංචි කොලු ගැටවුන් කීප දෙනෙක් මහා හඬක් නැගුවේය. එය අසා ජූඩ් අයියා සිනහවක් මිස තරහාවක් ඔවුනට තිළිණ නොකලේය.
දන්නවද මල්ලි...මට ඉන්න හොඳම රසිකයො තමයි ඒ....ජූඩ් අයියාගේ එවදන්..ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් වසර කීපයක් ගත වුවත් තවමත් මගේ සිතේ රැව් පිළිරැව් දෙයි.

ඉංග්‍රීසි සෑර්ගේ මෝටර් රථයේ ඉදිරිපස ජූඩ් අයියා අසුන් ගත් පසු  නැවත පාසල කරා පැමිණෙන්නට අපට හැකි වූවේය. ඒ ගමන අතර තුර වාහන තදබදයක් තිබෙන තැනකදී ඔහු හඳුනාගන්න අවශේෂ රියදුරන් මෙන්ම මගී ජනතාවද දැක්වූ ප්‍ර‍තිචාර අභිමුව ඔහු ඉතාමත් නිහතමානීව ප්‍ර‍තිචාර දැක්වූවා පමණක් නොව මහත් සේ සතුටු වූ අන්දමද මට මතකය. සමහර විටෙක අපගේ වාහනය පිටුපස අධික වේගයකින් නලාව නාද කරමින් පැමිනෙන සුඛෝපභෝගී බස් රථයක රියදුරා නලාව නාද කර ඇත්තේ ජූඩ් අයියාටය.


ඇන්ටන් ජූඩ් , රොඩ්නි වර්ණකුල සුසංයෝගයෙන් හැඩගැන්වුන Vibration 2006 ප්‍ර‍සංගය සැබැවින්ම සාර්ථක එකක්ම වූවේය. අතුරු සිදුරු නැතුව පිරීගිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳ මේ කලාකරුවන් දෙදෙනාම සිටියේ මහත් සතුටකිනි. ඒ සතුටේ තරම් කෙසේද යත්....

ඇන්ටන් ජූඩ් සහෘදයා අපගේ ප්‍ර‍සංගයට සහභාගි වූයේ යන්නට එන්නට ප්‍ර‍වාහන පහසුකම් සලසනවා යන පොරොන්දුව මත වුවත්...ප්‍ර‍සංගයේ සාර්ථකත්වයෙන් ඔඳ වැඩී සිටි ඔහු 

මල්ලි රොඩ්නියට නම් කියන්න  යන්න එපා... මම ගෙවාගෙන ආපහු යන්නං. මට වාහනයක් විතරක් හොයලා දියං...ජූඩ් අයියාගේ මනුස්ස කම එබඳුය. ඒ වෙද්දී ප්‍රවේශපත්‍ර‍ ආදායම කලාකරුවන් දෙදෙනාගේ අයකිරීම් ආවරණයට, ශබ්ද පරිපාලනයට, ආලෝකකරණ රටාවන්ට අත්තිකාරමක් ගෙවීමට පමණක් ප්‍ර‍මාණවත් වූ වටපිටාවක ප්‍ර‍සංගයේ සංවිධායකයෙකු මා පත්ව සිටි අපහසුතාව සමහරක් විට ඔහුට දැනෙන්නට ඇත. 

මම වහා කුලී රථ සේවා සපයන ආයතනයක් අමතා ඇන්ටන් ජූඩ් කලාකරුවාට රත්මලානට යන්නට ඉතාම හොඳ තත්වයේ වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.  මේ ඇමතුමෙන් පසු කුලී රථය පැමිණෙන්නට සිතුවාට වඩා කාලයක් ගත වූ හෙයින් එදින රාත්තිරයේ හෙන්රි ජයසේන මහතාගේ නිවසේ පවත්වන්නට නියමිතව තිබූ පැදුරු පාටිය පිළිබඳ ජූඩ් අයියා සිටියේ කුකුසකින් යුතුවය.

මොකද අනේ මෙච්චර වෙලා ගියේ මේ වාහනේ අරගෙන එන්න. මම රියදුරා ඇමතුවෙමි. කුලී රථ රියදුරා එහි පැමිණියේ අලුත්ම වෑන් රථයකිනි.

මේ හයර් එක එන්න හැම එකාම පොර කෑවා. අන්තිමේදි මම කොහොම හරි ගොඩ දාගත්තා. මම ඇන්ටන් මහත්තයගෙ හොඳම රසිකයෙක්. 

කලාකරුවන් මෙන්ම අපගේ හිතෛශීන්ද අපට සමුදී නිවෙස් බලා යන විටත් මමත් චමියාත් ප්‍ර‍සංගයේ බර කරට ගෙන නිදි වර්ජිතව ගත කල අවසන් රාත්‍රී කීපයක අරුමය විඳිමින් සිටියෙමු. සාර්ථකව අවසන් වූ ප්‍ර‍සංගය අපගේ සියලු ශාරීරික අපහසුතාවයන් පහ කරන්නට ලැබුන ඔසුවක්ම වූවේය.



මම කාමරේ වෙසෙන සිරා කොලුවා.


ප.ලි

2017 නව වසර එළඹෙන්නට විනාඩි ගනනක් තිබියදී, 2016 වසරේ අවසන් ලියමනට මෙසේ තිත තබමි. එළඹෙන නව වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත එකක් වේවා !

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය විසින් දිඹුලාගල කන්දේගම ග්‍රාමයේදී පවත්වන්නට සූදානමින් සිටින සමාජ සත්කාර වැඩ සටහනට ඔබේ දායකත්වය ලබා දෙන්නට තවමත් කාලය තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර බ්ලොග් අඩවියේ දකුණු පස ඉහළින් තිබෙන අරුණළු ලාංඡනයට කෙටීමෙන් ලබා ගත හැක.




Monday, October 31, 2016

49 මොරිස් මයිනරය සහ Vibration

සිරා කොලුවාගේ බෑන්ඩ් කෙරුවාව ගැන බොහෝ තතු කාමරයට යන එන ඇත්තෝ සෑහෙන කාලයක සිට කියවති. පාසල් සමයේ මුලු හදින්ම පෙම්බැදි තූර්ය වාදක ඛණ්ඩ ඉතිහාසයත්, ඒ තුල විඳින්නට ලැබුන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම කම්කටොළුද නැවතිල්ලේ මෙනෙහි කරන වර්තමාන දවසක සිතට දැනෙන්නේ කදිම ප්‍ර‍හර්ශයකි. එදා සිරා කොලුවාගේ සම වයසේ සිටි අයිය බඩා, ජපන් චමියා, කිඩා වැනි උන් සමග කල මහත් කැපකිරීම් වල ප්‍ර‍තිඵලය ලෙස තවමත් අප විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය යෙහෙන් වැජඹෙයි.

2003 වසරේ දවසක එවකට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල, දැන් කැන්ගරු දේශයේ වෙසෙන මංජු මලයා ප්‍ර‍සිද්ධ කලාකරුවන් කීප දෙනෙකු සමග සංගීත ප්‍ර‍සංගයක් පැවැත්වීමට සැලසුම් කලේ අපගේ බෑන්ඩ් ඉතිහාසයේ නවමු පියවරක් තබමිනි. ඒ සඳහා මංජු මලයා සහ පිරිවර තැබූ නාමය Vibration 2003 වූවේය. එතැන් පටන් වාර්ෂිකව පැවැත්වූ මේ ප්‍ර‍සංගය තෙවැනි වරටත් පවත්වන්නට කටයුතු යෙදිනි.

ඒ වන විට කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් ලෙස කල දවස ගෙවූ සිරා කොලුවා ඇතුලු ආදි සාමාජිකයන්ගෙන් එවකට කණ්ඩායමේ සිටි සාමාජිකයන් Vibration 2006 ප්‍ර‍සංගය සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූයෙන් අප සියල්ලෝම මේ නව අත්දැකීම විඳගන්නට එක් වූයේ ඉතාම සතුටිනි.

ප්‍රවේශපත්‍ර‍ නිකුත් කොට, විද්‍යාලයට පරිභාහිර ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවැත්වෙන ප්‍ර‍සංගයක් නිසා පුහුණුවීම් වෙත යොදවා තිබූ අධික බර තැබීම හේතුවෙන් ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු සහ තවත් අටෝරාශියක් වැඩ කටයුතු ආදි සිසුන් වෙත පවරාගෙන ප්‍ර‍සංගයට වාදනයෙන් දායක වන පිරිස ඒ වගකීම් වලින් නිදහස් කිරීමට අපි තීරණය කළෙමු. සිරාගේ කාමරයේ අද කථාව ඇරඹෙන්නේ එතැනිනි.

පරණ උන් ටික තිතට ගේම ගහන්න ඕනෙ...දැන් ඉන්න කොල්ලො ටිකට බරක් නොවැටෙන්න. ඔය ගැන අපි කථා කරමු පොඩි මීටිමක් දාලා. හැමෝම වරෙල්ලා. ලොකු අයියා එවකට සේවය කල පරිගණක අධ්‍යාපනය සම්බන්ධ ආයතනයේ කාර්යාල භූමියේම අපි අපේ පළමු රැස්වීම පැවැත්වූවෙමු.

මේකෙ ලයිටින්ද, සවුන්ඩ්ස්ද, අරවද මේවද උපරිමයෙන් තියෙන්න ඕනෙ. මේක අපි ලයිව් රෙකෝඩ් කරලා ටීවී චැනල් එකක ගහමු අනුග්‍රාහකයෙක් හොයාගෙන. අපිට ඕනෙ නම් රොකෝඩින් එක සීඩී එකකට ගහලා විකුනන්නත් පුලුවන්.

ලොකු අයියා රැස්වීමේදී මහා පරිමාණ සැලසුමක් හෙළි කලද , අනෙකුත් උන් ඒ ඉලක්ක වෙත යාමට සහයෝගය දෙන බැව් කීවද අවසානයේ මේ මහා වගකීම් ගන්නට කිසිවෙකු නොපැමිණෙන බව අපේ අක්මා වලට දැනෙයි.

ඕකුන් එකෙක්වත් ඔය කිසිම දෙයක් කරන්න එන්නෙ නෑ බං. අපි දෙන්නා ගේම ගහමු. ජපන් චමියාත්, අයිය බඩාත් මමත් ඉතාම සමීප උන්ය. අයිය බඩා නාවික හමුදා තූර්ය වාදක රාජකාරි නිසා මේ කාරියට එන්නේ නැත.

කරන්න තියෙන දේවල් ටික බෙදාගෙන කරමු. අතේ ලොකු ගානක් නැති නිසා ලැබෙන සල්ලි පරිස්සමට වියදම් කරගෙන යං. මුලින්ම ආටිස්ට්ලට කථා කරලා ඒ අයව බුක් කරගමු. ඊට පස්සෙ ලයිටින් සවුන්ඩ්ස් ටික බලලා ඊට පස්සෙ යමු පෝස්ටර් බැනර් කටවුට් වලට.

රොඩ්නියයි, ඇන්ටයි දෙන්නම මගෙ යාලුවො බං..ඕනෙනම් මම උන් දෙන්නව අඩුවට සෙට් කරන්නං. ආදි සිසු ආම්ස්ට්‍රෝන් පෙර දවසක කිව් කථාව මට සැනින් මතක් විය.

අපි ආටිස්ට් වැඩේ ආමට දෙමු. ඌ තිතට වැඩේ දෙයි. චමියාද එයට විරුද්ධ නැත.

සතියක් දෙකක් ගත වන තැන මූලික කටයුතු නිම වී තිබුනි. නගරාධිපතිතුමාගේ අනුග්‍ර‍හය නිසා කටවුට් වලට නගර සභාවෙන් බදු මුදලක් අය කලේ නැත. ප්‍ර‍සංගය යෙදී තිබූ දිනය වන විට තම ශිෂ්‍ය ප්‍ර‍ජාවගේ දක්ෂතා මතින් තම කීර්ති නාමය දිදුලන බව දැන සිටි අපගේ බෑන්ඩ් මාස්ටර් හැකි සෑම විටෙකම පුහුණුවීම් සිදු කලේය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සිදුවන බාධා අවම වන පරිදි යොදාගත් රාත්‍රී කාලයේ පුහුණුවීම්  සුලභ විය.

එකල මාස්ටර් විසින් භාවිතා කල ලා කොල පැහැති මොරිස් මයිනර් 1000 රථය ඒ සෑම රාත්‍රියකම ප්‍ර‍ධාන ශාලාව ආසන්නයේ නවතා තිබුනි. එහි ඉදිරි එක් දොරක් අගුලු දැමිය නොහැකි බවත්, මාස්ටර් බොහෝ විට රථයේ යතුර රැගෙන නොයන බවත් ඒ වන විට අපි අත්දැකීමෙන් දැන සිටියෙමු.

ප්‍ර‍සංගයේ වැඩ රාජකාරීන් අස්සේ මාස්ටර්ගේ රථය ඔහුට හොරා අපි සිත් සේ ධාවනය කළෙමු. රිය ධාවනයට හැකියාව තිබූ හැම එකාගෙම අතින් අතට මොරිස් මයිනරය මාරු වෙයි. ඇති පදම් මයිනරය එලවූ පසු හොඳ ළමයින් මෙන් මාස්ටර් නතර කල තැනම රථය නැවතත් නතර වෙයි.

සංවිධාන වැඩ කටයුතු වලට අත තිබූ මුදල් ඉතාම සීමිත වූ නිසාම අපි බොහෝ විට දන්නා අඳුනන අයගෙන් සහයෝගය පැතුවෙමු. ආනන්ද අයියාද එවැන්නෙකි. ඔහුගේ නිවසේ තිබූ කුඩා පහේ ලොරි බට්ටෙක් සිය මෑණියන්ට හොරෙන් රැගෙන විත් හෙතෙම බොහෝ විට අපේ කටයුතු වලට සහයෝගය දුන්නේ ඔහු බෑන්ඩ් කෙරුවාවට දායක වී නොමැති වුවද විදුහලේ ආදි සිසුවෙකු වූ අරුමය නිසාමය.

එක් දිනක් රාත්‍රියේ ගම්පහ නගර සීමාවේ කටවුට් බැනර් එල්ලන්නට යොදාගෙන සිටියෙමු. එහෙත් ගිවිසගත් වේලාව සෑහෙන්න පසු වී තිබුනත් ආනන්දයා නැත. ඒකාගේ ජංගම දුරබණුවද වැඩ නැත. සැකයක් නැත. ආනන්දයා සිය මෑණියන්ගෙන් ලුණු ඇඹුල් සහිතව අසා ගත් දිනයක් විය යුතුය. ඒ අතර තුර පුහුණුවීම් නිමකොට බෑන්ඩ් මාස්ටර් අප හට සම්මුඛ වෙයි.

උඹලා තවම ගියෙ නැද්ද බං...සෑර් විමසයි...

යන්න වාහනයක් නෑ සෑර්...ආනන්දයා ආවෙ නෑ...

ඉනිමගක් එහෙම තියෙනවද බැනර් එල්ලන්න...මාස්ටර් නැවතත් විමසයි.

ඔව් සෑර්....

එහෙනම් ඉනිමග කාර් එක උඩ තියාගෙන යමල්ලා මේකෙ...

සෑර් රථයේ රියදුරු අසුනේ වාඩි වන විට අවට සිටි බහුතරයද රථය තුලට රිංගන්නට මාන බැලූහ.

එහි ප්‍ර‍තිඵලය ලෙස රථය තුල සිටි පිරිස 7 කි. බොනට්ටුව දෙපසට වී ඉනිමග අල්ලාගෙන යන්නට තවත් දෙදෙනෙකි. ඩිකිය තුල තවත් දෙදෙනෙකි. එවිට සමස්ත මගීන් ගනන රියදුරු සමග 11 කි.

මේ මහා වන්දනා නඩයද සමග ඉඹි ගමනින් ඉදිරියට ඇදුන මොරිස් මයිනරය තැන් තැන් වල නතර වන්නේ ඒ ස්ථාන වල කටවුට් එල්ලීම උදෙසාය. එවන් විටෙක ගම්පහ පොලෝසියේ මුර සංචාරක ජීප් රථයක් අපට සම්මුඛ වූවේය. ගම්පහ පොලෝසියේ වාර්ෂික පරීක්ෂණ සඳහා කාලයක සිට තූර්ය වාදක සහයෝගය ලබා දුන් නිසා ඔව්හු අප කණ්ඩායම සමග මෙන්ම මාස්ටර් සමගද ඉතා හිතවත් ඇත්තෝ වූහ.

ආ..මාස්ටර්...අපි දන්නෙත් නෑනෙ මාස්ටර් ලොරියක් ගත්තා කියලා.

මොන ලොරිද කොල්ලො...මේ අපේ උන්ට බැනර් කෑලි ටික එල්ලගන්න වාහනයක් නෑ කියලා අටෝගෙන ඉද්දි කඩාවැටුනත් කමක් නෑ කියලා මේ කාර් එකට පටවගෙන ආවෙ.

ඒ රාත්‍රියේ අපගේ මාස්ටර් කෙරෙහි නූපන් මහා භක්තියක්..මේ ලියමන ලියනා මේ රාත්‍රියේ මගේ සිතේ උපදින්නේ මා එදාට වඩා අද වයසින් මුහුකුරාගොස් සිටින නිසා විය යුතුය. එදා ඔහු අප වෙනුවෙන් කල කැපකිරීම් වර්තමානයේ වඩ වඩාත් දැනෙන නිසා විය යුතුය.

එවකට අපගේ බෑන්ඩ් මාස්ටර්  ප්‍රේමසිරි ගම්හේවා මැතිඳුන්
 අපේ එකෙකුගේ විවාහ මංගල අවස්ථාවකදී සිය සැක්සෆෝනය වාදනය කරන අතරතුර.
දිවි මගේ 82 වන විය ඉක්මවා සිටියත් වෙඩිම අපේ එකෙකුගේ නම් අපේ මාස්ටර් අදටත් මෙලෙස වයයි.

අතුරු ආපදාවකින් තොරව ගම්පහ නගර සීමාවේ කටවුට් සහ බැනර් එල්ලාගන්නට මාස්ටර්ගෙන් ලැබුන සහයෝගය පිළිබඳ කියන්නට වදන් නැත.

ප්‍ර‍සංගයට තවත් ඇත්තේ සති දෙකකි. ඒ වන විටත් කලාකරුවන්ගේ නම් රැගත් පෝස්ටරය වාර කීපයකදීම ගම්පහ නගරය පුරා ඇළවී තිබුනි. කලාකරුවන් සම්බන්ධීකරණය ආම්ස්ට්‍රෝන් විසින් බාරගෙන තිබූ නිසා මමත් චමියාත් කිසි විටෙක ඔවුන් අමතන්නට උත්සාහ නොකලෙමු.

මචං ආමා සමහර වෙලාවට බුල කෙලිනවා. කෝකටත් කියලා ආටිස්ට්ලට කථා කරලා බලමු...මම සැනෙකින් ඇන්ටන් ජූඩ් හිතවතාගේ ජංගම දුරබණුවේ අංකය සොයා ඇමතූවෙමි...

කවුද ?

අපි මේ ගම්පහ ඉස්කෝලෙන්...අපේ සංගීතෙට දිනය මතකයි නේද ජූඩ් අයියා ?

මොන සංගීතයක්ද ?

ඇයි කිව්වෙ නැද්ද ?

කවුරුවත් මට කිව්වෙ නෑ එහෙම සංගීතයක් ගැන....

මාර වැඩේනෙ...අපි පෝස්ටරුත් ගහලා ඉවරයිනෙ...

එහෙම කොහොමද මගේ නම දාලා පෝස්ටර් ගහන්නෙ මම දන්නෙත් නෑනෙ...ජූඩ් අයියාට මල උපරිමේටම පැන ඇත. සමහර දවසක ආමා වැඩක් කළොත් හත් පොලේ ගාගන්නා වග අපට අමතක වූ අරුමය සිහිපත් කරමින් මම ජූඩ් අයියාට යාප්පුවෙන් කථා කළෙමි.

එහෙම කියන්න එපා ජූඩ් අයියා..ඔයා නාවොත් අපි අනාථ වෙනවා...

කවදද මල්ලි ඔය කියන දිනේ...

ජනවාරි මාසෙ ..... දවසෙ...

මට එන්න විදියක් නෑ.....එදා හැන්දෑවට හෙන්රි ජයසේන මහත්තයගෙ ගෙදර පැදුරු පාටියක්...

එහෙම කියන්න එපා අයියා...මේ වැඩේ කොට උඩ යයි එහෙම උනොත්..කොල්ලො ගොඩාක් මහන්සි වෙලා වැඩේ කරන්නෙ. මම වාහනයක් එවන්නං රත්මලානටම.

හරි මල්ලි මට දවස් දෙකක් දියං..මම හරියටම උත්තරේ දෙන්නං.

එයින් අනතුරුව අපේ ඇමතුම රොඩ්නි වර්ණකුල සහෘදයා වෙතද යොමු විය. එතැනදීද ආමා කිසිම දෙයක් ඔහු සමග කථා කොට නොතිබූ අතර අපේ වාසනාවට ඔහුට ප්‍ර‍සංගය යෙදී තිබුන දිනයට රාජකාරියක් යෙදී තිබුනේ නැත.

දින දෙකකට පසු ජූඩ් අයියාද සහභාගි වන්නට කැමති වූයෙන් අපේ සිත් සතන් වල නැගි භිය සංකා දුරුව ගියේය.

ප්‍ර‍සංගයට සතියක පමණ කාල පරාසයක් වන විට අමුතුම පිබිදීමකින් සියල්ලෝම ඉතා උවමනාවෙන් ප්‍ර‍සංගය සාර්ථක කරගන්නට වෙහෙසමින් සිටියෝය. සැම සන්ධ්‍යාවකම ටිකට් පත් අළෙවිය සහ ප්‍ර‍සංගය පිළිබද දැනුවත් කිරීමට අප තීරණය කොට සිටියෙමු. හැකි සැම විටෙකම ආනන්ද අයියා අම්මාගේ ඇස් වසා ලොරි භාගය පාසලට රැගෙන ආවේය. ගෙදරට හොරෙන් පන්නාගත් රුපියල දෙක එතකු කොට අපි ආනන්දයාගේ ලොරි භාගයේ ටැංකිය පිරවීමු. කොහෙන්දෝ පිනට සොයාගෙන විත් තිබූ යකඩ කටවල් දෙක ලොරි රථය මත සවිකල පසු එය ගම්පහ නගරයේ අහුමුළු නෑර සැරිසරයි. ප්‍ර‍සංගයේ ගුණ වර්ණනාව ගැයෙයි. ටිකට් පත් අළෙවි වෙයි.

මේ රථයේ සිට බොහෝ වෙලාවට නිවේදක භූමිකාව රගන්නට සිරා කොලුවාට සිදු වූවේය. ඇතැම් දවසක දෙරණ රූපවාහිනියේ දතා මලයාද මගේ සහයට පැමිණියෙන් කටයුතු තවත් පහසු විය. තනිව බොහෝ වෙලාවක් ප්‍ර‍චාරන කටයුතු සිදු කරන විට උගුරු දණ්ඩ පවා රිදුම් දෙන්නේ මට විවේකයක් දියං කොල්ලො යනුවෙන් පවසමිනි.

ජපන් චමියාගේ සහ සිරා කොලුවාගේ නායකත්වයෙන් අපට වඩා කණිෂ්ඨ සාමාජිකයන් රැසකගේම සහයෝගයෙන් ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මැනවින් සිදුවෙන පසුබිමක සෑම දිනෙකම රාත්‍රියේ පාසලට එක් රැස්වන පිරිස කෙමෙන් කෙමෙන් වැඩි වූවේය. ඒ අයට වගකීම් බෙදා දී අපද යම් කාර්යයක නිරත වූවෙන් සියලුම සැලසුම් හොඳින් ක්‍රියාත්මක කරන්නට හැකි බව මමත් චමියාත් අත් දැක්කෙමු. එහෙත් ප්‍ර‍සංගය පිළිබඳ පූර්ව රැස්වීම් තබා පොර සහ කොර ටෝක් දුන් ලොකු අයියා ඇතුලු කිසිම එකෙකු පාසල පැත්ත පළාතක තවමත් නැත.

මේ කාලය වන විට තම පළමු සේවා ස්ථානය හා සම්බන්ධව සිටි ගණකාධිකාරී ජෝතියාද කඩි මුඩියේ එක් රැයක අප සොයා පැමිණියේ තමන්ට හැකි තරමේ සහයෝගයක් මේ ප්‍ර‍සංගය වෙනුවෙන් ලබා දීමේ පිවිතුරු අපේක්ෂාවෙනි. එදා මධ්‍යම රාත්‍රියේ සිට පසුදාට පහන් වන තුරුම ආනන්ද අයියාගේ ලොරි බාගයට පටවා ගත් පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දි සමග අපි හරි හරියට ඔට්ටු වූයෙමු. ගම්පහ නගරයෙන් ආරම්භ වී නුවර පාර දිගේ නිට්ටඹුවට ගොස් ආපසු පැමිණෙන විට  අලුයම 4 පමණ වී තිබුනි. වර්ෂ අවසානය නිසාදෝ මේ ගමනේදී අධික ශීතලක් දැනුන අතර උඩු කයට ඇදුමක් නැතුව සීතලේ වෙව්ලමින් සිටි ජෝතියා අපට දුන් විනෝදය කිසි දිනක අමතක නොවන්නකි.

අපි වේලාසනම ගහපු පෝස්ටර් ටික බලන්න යමල්ලා. ජෝතියා එලෙස යෝජනා කලේ ටියුෂන් තරගය උපරිමයට තිබෙන ගම්පහ වැනි නගරයක පෝස්ටරයක් බේරා ගැනීම කලු නික සොයනවාටත් වඩා අපහසු කාරියක් බව ඒකා දැන සිටි නිසාය.

ජෝතියා නිවැරදිය. රාත්‍රී 12 ට පමණ අප විසින් අලවන ලද පෝස්ටරය මත පාන්දර 4 වන විට තවත් පෝස්ටර් 3 ක් ඇලවී හමාරය. ගම්පහ නගරයේ පෝස්ටර් කෙලියේ තරම දැන් ඔබට වැටහෙනු ඇත. අපගේ නිරීක්ෂණයට අනුව උසස් පෙළ නව පන්ති ආරම්භ කරන්නට වලිකන ටියුෂන් ගුරෙකුගේ පෝස්ටර් වලින් හිතා මතාම අපේ ප්‍ර‍සංගයේ පෝස්ටර් වැසී ඇති බව පෙනුනි. එතැන් සිට අපි නැවතත් පෝස්ටර් ඇළවීම ආරම්භ කළෙමු.

පාන්දර 5 න් පසු කිසිවෙකුත් පොස්ටර් අලවන්නට ගම්පහට එන්නේ නැත. එහෙයින් අප දැන් අලවන පෝස්ටර් වහන්නට කිසිවෙකු නැත. ටියුෂන් ගුරාගේ සියලුම පෝස්ටර් ප්‍ර‍සංගයේ පෝස්ටරයෙන් වැසී ගියේ කුජීත අන්දමිනි. අඩුම තරමේ පන්තිය පැවැත්වෙන ස්ථානයේවත් ඒකාගේ පෝස්ටරයක් ඉතිරි කරන්නට අපේ උන් කැමති වූයේ නැත. උදෑසන 7 වන විට ගම්පහ නගරයම අපගේ ප්‍ර‍සංගයේ පෝස්ටර් වලින් හැඩ වී තිබූ අතර සීතල හිමිදිරිය අස්සේ පාසල් යන මල් වැනි, වතුර ටැංකිය අසල පාසලේ යුවතියන්..මුලු රැයක් නිදි වරා කබ කඩමින් ආනන්ද අයියාගේ ලොරි තට්ටුවේ පිටුපසට වී සිටි අපට නෙත්කළු දසුනක්ම වූවේය.



මතු සම්බන්ධයි.




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සැබෑ කලාකරුවෙකු වූ නැසීගිය ජූඩ් අයියා මේ ප්‍ර‍සංගය වෙනුවෙන් ලබා දුන් සහයෝගය සිරා කොලුවාට තවමත් අමතක නැත.

වයිබ්‍රේෂන් ප්‍ර‍සංගයේ හැඩරුව සහ තවත් කථා ඊලග කොටසින්...

Vibration 2003 වූ කලී සිරි ලංකාවේ ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩයක්  ප්‍ර‍සිද්ධ කලාකරුවන් සමග පැවැත්වූ පළමු ප්‍ර‍සංගය වූ අතර එයින් පසු අගනගරයේ පාසල් කීපයක්ම මේ තේමාව යටතේ ප්‍ර‍සංගයන් පවත්වන ලදී.

සිරා කොලුවා හා පුරා කියා මයිනරයක් පැදවූයේ නම් ඒ අපේ මාස්ටර්ගේ මයිනරයයි. මයිනර් කාරයක ඇති ආතොල් එක දන්නේ ඒවා පැදවූ ඇත්තෙක්...ඇත්තියක් පමණකි.


Sunday, October 23, 2016

50 බියුටිෆුල් ස්ටෝන්

කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවක

ස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක 

අවස්ථාව -  ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක්


මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින් බෑන්ඩ් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙදි තමා....ලොකු අයියා සියරැට් එකක් දකුණු අතින් මේසෙට තට්ටු කරන ගමන් අපි දිහා බලාගෙන කිව්වෙ හදිස්සියෙ යමක් මතක් වෙච්ච එකෙක් ගානට. ඉගුරු දාපු ප්ලේන්ටියෙන් ඉහළට ඇදෙන දුමාරයට තවත් ටිකකින් ලොකු අයියගෙ සියරැට් දුමත් එකතු උනා.

මොකෝ කියන්නෙ...කස්ටිය සෙට් වෙලා යමුද ට්‍රිප් එකක්...ප්ලේන්ටියෙ රස්නෙ වැඩිකමට අයිය බඩාගෙ දිව පිච්චුනත් මිනිහා අදහසක් දුන්නෙ එතෙක් වේලා කඩේ ඇතුලෙ තිබුන නිහඩතාවය බිඳිමින්.

අන්න ගින්දර අයිඩියා එක. යමල්ලා යමල්ලා එකෙන්ම යමල්ලා. ලොකු අයියා අයිය බඩාගෙ යෝජනාව සපථ කලේ කඩේ කොල්ලා ලොකු අයියට ගෙනත් දුන්න තේ කෝප්පෙ දිහා ජාගර බැල්මක් හෙලන ගමන්.

කොහෙද යනවා නම් යන්නෙ ලොකු අයියෙ...VP ගොයියා කඩේ ෂෝකේස් එක ඇතුලෙන් පේන කේක් කෑල්ලක් දිහා පෙරේත කමට බැලුවෙ ඒවා ගන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා වෙන්න ඇති.

කොහෙ ගියත් අපි යන්නෙ බොන්නනෙ බං...ඒ හින්දා අඩියක් ගහලා ආතල් එකේ නාගන්න පුලුවන් තැනකට යමල්ලා.

එහෙනං අපි උණවටුන බීච් එකට යමු....බඩ මහත ජපන් චමියාගෙ අදහසට එකෙන්ම ඇන්කෝර් එකක් නැගුනා.

උණ වටුන

ඔය තියෙන්නෙ අදහස්...එක එකා එක එක කෝස්, ජොබ්, ලව් අරවා මේවා පටන් ගන්න කලියෙන් එහෙනං ඔය කියන ගමන යමල්ලා. නැත්තං ආයෙ අල්ලනවා බොරු. ලොකු අයියගෙ උපදෙස් අනුශාසනා මැද අපේ බෑන්ඩ් නඩේ හා හා පුරා කියලා විනෝද චාරිකාවක යෙදෙන්නයි මේ සූජානම.

ජයන්ත අයියගෙ ඇට්ටේරියා ගහ යට ස්පොට් එකේ ගතවුන තවත් සන්ධ්‍යා වරු දෙක තුනකින්, හිස් උන ප්ලේන්ටි කීපයකින්, විසිකරපු සියරැට් කොට දුසිමකට එකහමාරකට විතර පස්සෙ ගමනට දිනයක්...ගමන යන්න වාහනයක් වගේම ගමනට එකතු කරගන්න පිරිස පිළිබඳවත් අවසන් නිගමනයකට එන්න අපි හැමෝටම හැකියාව ලැබුනා. මෙච්චර කාලයක් දුක සැප එකට බෙදාගෙන එක පවුලෙ සහෝදරයො රැළක් වගේ හිටියට අපිට කවදාවත් විනෝද චාරිකාවක් යන්න තරමෙ ඉස්පාසුවක් තිබුනෙ නෑ. බෑන්ඩ් ගැහිල්ල අහවර කරලා පාසලෙනුත් සමු අරගෙන ඉන්න අල්ල පනල්ලෙ විනෝද චාරිකාවක් යන්න කාලය  ඇති පදම්.

අපේ පුංචි අම්මගෙ පුතාගෙ ගෙවල් ලග තියෙන රෝසා බස් කොටේ බුක් කලා. මොකද වෑන් එකකට කස්ටිය වැඩිනෙ. අනික බීලා වැඩිඋන උන් හිටියොත් උන්ටත් ආතොල් එකේ එන්න පුලුවන්නෙ. උදේ කෑම එක ගෙදරින් අරගෙන යමල්ලා. සල්ලිත් හිගයිනෙ තවම...ජොබ් කරන උන් ඉන්නෙත් මමයි අයිය බඩයි VP යයි විතරනෙ. දවල්ට ඔය මොනා මොනා හරි බඩට දාගමු. ආයෙ වෙන කොහෙවත් නැවතිලි නෑ. කෙලින්ම උණවටුනෙ අරිද ? නාන්න සෝටක් එහෙම අරගෙන වරෙල්ලා. ගෙදරින් ගන්න පුලුවන් උපරිම ගාන අරගෙන වරෙල්ලා. මොකද බෝතල් දෙක තුනක් නැතුව සොමියක් නෑනෙ.

ලොකු අයියා අපූරුවට ගමනේ අරමුණු පැහැදිලි කොලා. සිරා කොලුවත් ඉතින් ඒ වෙද්දි නෝ ජොබ් කම්පැණියෙ ප්‍රාදේශීය කළමණාකරුවෙක් විදියට වැඩ කොරාපු එකෙක් නිසා අපේ නිවසින් විවිධ වියදම් වෙනුවෙන් ලබා දුන්න මුදලින් එකතු කරගත්ත සොච්චම් මුදලක් එක්ක ගමන යන්න එකදු පහදු උනේ පුදුමාකාර සතුටකින්.

කාලය වෙනදා වගේම ටික් ටික් හඬින් ගලා ගියා. දවසින් දවස උණවටුන චාරිකාව යන දවස අපිට ලං උනා. අමතර මුදලක් හොයාගන්න පුලුවන් වෙච්ච උන් ගමන යන්න අලුතින් කමිසයක් කලිසමක් මිළදී ගත්තා. කොහොමින් කොහොම ඕන්න අපි ගමන යන දවසත් උදා උනා.

බෑන්ඩ් කෙරුවාව වසර ගානක් කොරාපු එකෙක්ට වෙලාවට වැඩක් කරන්න කියලා අමුතුවෙන් කියලා දෙන්න උවමනා නෑ ආයුබොවන්ඩ. ඒ හින්දම උදැහැනැක්කෙ ලොකු අයියා එන්න කියලා නියම කරපු වෙලාවටම වගේ එකා දෙන්නා බැගින් ආව පිරිස රෝසා බස් එකක් පිරෙන්න තරමට එකතු උනා.

තවමත් හාත්පස කලුවරයි. සති අන්ත දවසක් නිසාම ගම්පහ නගරයේ තවමත් විශාල ජනතාවක් නෑ. මේ වටපිටාව දෙබෑ කරමින් තවත් මොහොතකින් අපි ඉදිරියේ නැවතුනේ  සුදු පාට බඳ මැදින් නිල් පාට ඉරි සටහන් උන රෝසා බස් එකක්. උණවටුන අපිට සමීප කරන්නෙ මේ රෝසා බස් කොටේ.

රෝසා මේ වගෙයි.

චාරිකාවට සහභාගි වෙන්න ඇවිත් උන්නු හැම දෙනාවම සාදරයෙන් පිළිඅරගෙන, නාම ලේඛණය කාරිය ලකුණු කරලා ඔන්න ඉතින් දෙයියන් බුදුන් සිහිකරගෙන උණවටුන චාරිකාව පිටත් උනා.

නිකං මළගෙදරක වගේ යන්න බෑ ඩෝ...කෝ බෑන්ඩ් කාමරයෙන් අරගෙන ආව බඩු ටික. ඔය ටිකත් සෙට් කරගෙන සින්දුවක් කියන ගමන් යමල්ලා. ලොකු අයියා හැමෝටම අණ දුන්නා. 

තවමත් හරියකට අඳුර මැකිලා නැති හුදෙකලා මාර්ගය දිගේ රෝසා කොටේ ඇදෙන්නෙ විවිධාකාරයේ ගීත ගොන්නකුත් දරාගෙන. පැය කීපයක් ගත උනාට පස්සෙ ගාලු පාරෙ මුහුදට යා උන හිස් භූමියක රෝසා ගිමන් හරින්න නතර උනේ අපේ බොකු බඩවැල් උදෑසන ආහාරයෙන් සන්තර්පණය කරගන්න ඉඩක් ලබා දෙමින්. 

පාතරාසයෙන් පස්සෙ ඔන්න ආයෙමත් රෝසා හැටට හැටේ උණවටුන බලා ඇදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි බස් රථයෙ ඉදිරියෙ හිටිය ලොකු අයියා තරමක කැප් තොප්පියක් එක එකාට ලං කරමින් බස් එකේ පස්සට ආවෙ.  බෝතල්වලට ආධාර කරපියව්....සියරැට් බොන උන් ඒකටත් කීය කීය හරි දියල්ලා...ලොකු අයියගෙ හඩ රෝසගෙ හඩට ඉහළින් නැගෙනවා.

මේ කියන කාලෙ වෙද්දි සිරා කොලුවා සුරා සූදුවෙන් තොර බෝ පැලයක් වගේ කොලුවෙක්. මේ දහජරා බීම මිනිහා පරිහාණිය කරා අරගෙන යනවා කියලා මගේ අක්මාවටම දැනිලා තිබුන නිසා මම ඒ වෙද්දි අමද්‍යප සංගමයෙ ඉහළ තනතුරක් දරමින් උන්නෙ. ඔයින් මෙයින් මගේ වාරයත් ආවා.

බෝතලේට කීයක් හරි දියං. ලොකු අයියගෙ කැප් තොප්පිය මගේ ඉස්සරහා නතර වෙලා. මයෙ දිහා බලාන උන්නා.

ලොකු අයියෙ මම බොන්නෙ නෑ.

උඹ නොබිව්වා කියලා හරියන්නෙ නෑ බොල බොන උන්ට බොන්න හරි මේකට කීයක් හරි දාහං...

මේ ලෝකය හරිම කුරිරුයි වෙලාවකට...අපි කොච්චර උත්සාහ කලත් යහපත් විදියට ජීවත් වෙන්න පාපමිත්තරයො ඉඩ දෙන්නෙම නෑ. ලොකු අයියගේ වදෙන් බේරෙන්නම බැරි උන තැන අනිත් උන් වගේම මටත් බෝතලයට ආධාර කරන්න සිද්ධ උනා.

කැප් තොප්පියට ආධාරයක් තියන ගමන්ම මම හිතින් හිතාගත්තෙ ලොකු අයියෙ මම උඹට දෙන්නං බැටේ කියලයි.

එකතු උන ආධාර මුදල ගැන ලොකු අයියා සතුටින්. ඔහුගෙ මුහුණෙ තිබුනෙ තෘප්තිමත් සිනා රැල්ල ඒ වගට සාක්ෂි. ගාලු පාරට යාබදව මුහුද පේන, වැඩියමක් නිවාස නොපෙනෙන තැනක රෝසා නතර උනා. ලොකු අයියා එක්ක බස් එකෙන් බැස්ස ජපන් චමියා, අයිය බඩා, කිඩා වගේ උන් තවත් මොහොතකින් බස් එකට නැගුනෙ සියරැට් පැකට් දෙක තුනක්, එවකට කාගෙ කාගෙත් නිළ පානය වෙලා තිබුන සීදුවෙ ගල් බෝතල් කීපයක්, බයිට් එකට අවශ්‍ය කළමනා, ෂැන්ඩියට උවමනා දේවල් සහ ප්ලාස්ටික් කොප්ප දුසිමක් සමගින්. මේ දර්ශනය දැකලා බේබදු කැලගෙ කට කනට ගිය අන්දම මගේ නෙත් වලට සම්මුඛ උනත් නොබොන සිරා කොලුවගෙන් එකතු කිරීමේ වෑයම ගැන මම හිටියෙ බොහොම තරහින්.

ඉර මුදුන් වෙන පැයේදි රෝසා උණවටුන වෙරළ පැත්තට ඇදෙන අතුරු මාර්ගයක මඳ දුරක් ගොහින් නතර උනා. ස්නානයට අවශ්‍ය කළමනා, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කළමනා සමග බෝතල් අඩුම කුඩුම ටිකත් හනි හනිකට වෙරළට ප්‍ර‍වාහනය උනා.

හොඳින් ඉර එළිය වැටුන ලස්සන දවසක අසිරිය සිත් පුරා විඳගනිමින් උන්න විදේශික ජෝඩු අප ඉදිරියේම ඔවුනොවුන් සිප ගත්තෙ අපේ කිරි කෝඩු හිත් දූෂණය කරමින්.

ස්නානය පිණිස යොදාගන්න සෝටෙන් සැරසුන බෑන්ඩ් නඩේ උණවටුන වෙරළෙ හෙවන තියෙන තැනක ස්ථාන ගත උනා. බෝතලයක් කඩාගෙන සවුදිය පුරනකම් කාට කාටත් ඉවසිල්ලක් නෑ. බොන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් ගෙදරින් ආව සිරා කොලුවගෙ දැහැන බිඳුනෙ ලොකු අයියා කල නොමනා වැඩෙන්. ඒ හින්දම මමත් බොන උන් අතරින් හිඳ ගත්තා.

උඹ බොන්නෙ නෑ කියලා මොත්තෙ දැම්මා නේද ඩෝ....මම දන්නෙ නැද්ද උඹ ගැන. ලොකු අයියා සාටර් හිනාවක් නගාගෙන කාට කාටත් මදි නොකියන්න උවමනා කළමනා බෙදා දුන්නා. මගේ හිතේ තියෙන තරහා මිනිහා දන්න එකක්යැ...දෙන්නං අද මම උඹට දුවන්නම. මගේ හිත මටම කිව්වා.

මඳින් මඳ සීදුවෙ  හතරැස් බෝතල් වල අඩිය පෑදෙද්දි සිරා කොලුවා උන්නෙ ලග නමමින්. මම තොප්පියට දාපු ගානට වඩා ගානක බීලා මගේ පාඩුව අවම කරගන්නවා. මගේ හිත දැන් එක අරමුණක නතර වෙලා.

අවසානයේ සිරා කොලුවට වෙච්ච දේ සිරා කොලුවා දන්නෙත් නෑ. මට මතක වෙරළේ තැනක ඉඳගෙන ගල් බෝතල් හිස් කරමින් උන්නා කියලා විතරයි.

දැන් සිරා කොලුවට ගැස්සෙන මතුපිටක අපහසුවෙන් වැතිරී ඉන්න බවක් දැනෙනවා. මේ කොහෙද ? මම තනිවම කල්පනා කොලා. ඇස් දෙක අරින්න අපහසුයි. ඔලුව බඹර චක්කරයක් ගානට කැරකෙනවා. මුලු ශරීර කූඩුවම තලා දාලා වගෙයි.

මූ මාර බීමක්නෙ බං බීලා තියෙන්නෙ. බලහං කීයටද කට් ඩවුන් උනේ....තාමත් නිදි.

ඌට දවල්ට කන්නත් බැරි උනානෙ...බොක්කෙ තිබ්බ ඔක්කොම උණවටුන වෙරළට හැලුවා.

ඕකා බොන්නෙ නෑ කියද්දි මමමයි තග දාලා ගානක් කපා ගත්තෙ. ඒ තරහට ලග නැමුවද මන්දා...

මොකද ලොකු අයියෙ කරන්නෙ..මූට ගම්පහට යනකම්ම ඇහැරුනේ නැත්තං අපි මොකද කරන්නෙ...

විවිධ කටහඬ මගේ සමීපයෙන්ම ඇහෙනවා...මම තවමත් උත්සාහ කරන්නෙ මම ඉන්නෙ කොහෙද කියලා හඳුනාගන්න. බොඳ වෙච්ච සිනමා රූප වගේ චාරිකාව යන්න පිටත් උන හැටි, රෝසා උණවටුන වෙරළ කිට්ටුව තැනක නතර උන හැටි මගේ සිහියට ආවා. මම අපහසුවෙන් ඇස් දෙක විවෘත කොලා.

ලොකු අයියෙ මෙන්න මූ ඇහැරුනා. ජපන් චමියා බෙරිහන් දුන්නා.

උඹට දැන් කොහොමද මල්ලි..අවුලක් නෑ නේද...උඹට වැඩි වෙලා බීච් එකේම ඩවුන් ගියා. මාර ගේමක් දීලා බස් එකට පටව ගත්තෙ ඇඳගෙන ආපු ඇඳුම් ටික අන්දවලා.

මට තිබහයි...බඩගිනියි. මම බොහොම අසරණ තාලෙට කිව්වා.

ඉඳින් ටිකක් ඉස්සරහා තේ කඩේක නතර කරන්න කියන්නං. ගාලු කොටුවටත් ගිහින් දවල්ට කෑවෙ හැන්දැ වෙලා. අපි තවම උණවටුනෙන් පිටත් උනා විතරයි බං.

තවත් පැය භාගයක පමණ ඇවෑමෙන් වැහැරී ගිය පෙනුමෙන් යුතු දුප්පත් තේ කඩයක් ඉදිරියේ රෝසා නතර උනා. 

බැහැලා වරෙන් මොනා හරි කාලා තේ ටිකක් බීහං...දවල්ට කන්නත් බැරි උනානෙ. ඔන්න ඕකනෙ බං කියන්නෙ තරමට බීහං කියලා...කොහෙද උඹලා බොන්න ගියාම තියෙන අරක්කු ඔක්කොම පෙරේත කමට බොන්න යනවනෙ. ලොකු අයියා තවමත් දෙහි කපයි.

සිරා කොලුවට ඔලුව කෙලින් කරගන්න තවමත් අමාරුයි. ඒත් මොනා හරි බඩට දාගන්න උවමනාව තදට දැනෙන නිසා වැනි වැනී තේ කඩේ ඇතුලට ගියේ බොහොම ආයාසයෙන්. තේ කඩේ මැද පුංචි වීදුරු ෂෝකේස් එකක කෑම වර්ග කීපයක් තිබුනා. ඊට එහායින් බොහොම පැරණි තාලෙ පුංචි ශීතකරණයක් තිබුනා.

මොනා හරි අරගෙන කාහං...ලොකු අයියා ආයෙමත් කිව්වා.

මම අත් දෙකට වර්ග දෙකක් එක සැරේ ගත්තා.

ඔච්චර එක සැරේ කන්න එපා යකෝ...ගෙවන්න සල්ලි නෑ...ලොකු අයියා වැද වැටෙනවා...ඒත් මට තවමත් මිනිහා එක්ක තරහයි. අතට ගත්ත අඩයකුයි ඥාණ කථාවකුයි කාලා අහවර වෙද්දි අනිත් උන් ටික ප්ලේන්ටියක් බොන්න සැට් වෙලා උන්නා.

මොනවද උඹට බොන්න ඕනෙ ? ලොකු අයියා ආයෙමත් ඇහුවා...සිරා කොලුවා ඒ දිනවල ප්‍ර‍සිද්ධ වෙලා තිබුන පැණි බීම ජාතියක නම කිව්වා. කඩේ හිමිකරුවා පුංචි ශීතකරණෙ ඇරලා බීම බෝතලයක් මගේ ඉදිරියෙ තියෙන ගමන් අනිත් උන්ගෙන් ඇහුවෙ මෙයාට වැඩි උනාද කියලයි. 

සිරා කොලුවා බොහොම අමාරුවෙන් කාලා බීලා ආයෙමත් බස් රථයට නගින්න තේ කඩයෙන් එළියට එද්දි ලොකු අයියා තමන්ගෙ පසුම්බියෙ අදුරු මුලු වල තිබ්බ මාරු කාසිත් එකතුකරගෙන කඩේ බිල ගෙවනවා යන්තමින් මතකයි.

දැන් ඔන්න රෝසා ආයෙමත් සැර දාගෙන ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙනවා. අයිය බඩා, ජපන් චමියා, කිඩා, ජෝතියා වගේම ලොකු අයියත් වරින් වර මා එක්ක කථා බහේ යෙදෙනවා.

උඹ නම් මාර යකෙක්...බීලා බීලා වැඩි වෙලා නටපු පිස්සුවක්.

මට මතක නෑනෙ බං...මට මතක වැල්ලට වෙලා අඩියක් ගගහා හිටියා කියලා විතරයිනෙ.

ඒ උඹටනෙ. උඹ ඇදගෙන වැටෙන්න කලින් වැල්ල පුරාම ඇවිද්දා....ඒ වෙද්දි සිංහල සහමුලින්ම අමතක වෙලා ඉංගිරිසි විතරයි පාවිච්චිය. උඹ අන්තිමට වැල්ලට වෙලා අව්ව තපින සුද්දියෙක් ලගට ගියා. ගිය ගමන් බියුටිෆුල් ස්ටෝන් කියලා ඒකිගෙ කකුල අත ගෑවා. ටිකක් දුරින් හිටිය සුද්දිගෙ මිනිහා උඹට නෙලන්න කියලා එතනට එද්දි අපි දහ අතේ ඌට වැදලා උඹව බේරගත්තෙ.

ඊට පස්සෙ තමයි මෙලෝ සිහියක් නැතුව ඇදගෙන වැටුනෙ. අන්තිමට මේ මහ සෙනග බලා ඉද්දිම උඹේ සෝට ගලවලා...අහවල් එකේ වැලි ගසලා බොහොම අමාරුවෙන් ඔය කලිසම ඇන්දුවෙ...දැන් තේරෙනවා නේද උඹ අපිට දුන්න ආතල් එකක තරමක්.

අනේ අම්මේ ආයෙ සැරයක් අපි ට්‍රිප් ගියොත් මම උඹෙන් නම් බොන්න කියලා කීයක් වත් එකතු කරන්නෙ නෑ...ඇත්තමයි සත්තයි. ලොකු අයියා පරාජිත හඬින් එහෙම කියද්දි බමන හිසින් යුතු වූ සිරා කොලුවට ජයග්‍රාහී සතුටක් දැනුනා.




මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

බියුටිෆුල් ස්ටෝන් කථාව ඇත්තටම සිදු වූවක්ද, අනිත් උන් ගොතන ලද කථාවක් දැයි මම තවමත් නොදනිමි. මේ චාරිකාවෙන් පසු කාලයක් යන තුරු උන් බියුටිෆුල් ස්ටෝන් මතක් කරමින් සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව කීතු කීතු කර දැම්මෝය.

බෑන්ඩ් නඩේ ඊලග වසරේද වාර්ෂික චාරිකාව ලෙස උණවටුනටම ගියෝය. පෙර වර්ෂයේ අමිහිරි මතකයත්, එතෙක් විඳිමින් හුන් නව නිංගිරාවත් නිසා මම එවර සැර පානයෙන් වැළකී හොද ළමයා වූයෙමි. පෙර චාරිකාවේ අත්දැකීම් නිසා එවර රෝසා කොටේට ලොකු අයියා විසින් තැඹිලි වල්ලක්ම පැටවූයේ කට් ඩවුන් වන උන්ගේ මතු ප්‍රයෝජනය පිණිසය.


අප කණ්ඩායමේ සිටි අයිය බඩාත්, කෂ්ඨාත් මා වෙනුවට එවර කට් ඩවුන් වූහ. උන් දෙදෙනා එදා අප හට දුන් ආතොල් එකට පිං සිදු වන්නට එයින් ඉදිරියට අපේ වාර්ෂික චාරිකාව මෙන්ම, බියුටිෆුල් ස්ටෝන් කථාවටද තිත තැබිනි.

ජයන්ත අයියාගේ ඇට්ටේරියා ගහ යට ස්පොට් එක වර්තමානයේ එතැන නැත. අද එතැන රාජ්‍ය බැංකුවක ශාඛාවක් ඇත.


සෑහෙන කාලයකට පසු බෑන්ඩ් කථාවක් ලීවෙමි. අතීතයේ දිනෙක මෙන් විවේකය නොමැති නිසා දැන් දැන් සිරාගේ කාමරය තුල ලිපියක් පල වන්නට ගත වන කාලය ඉතාම ඉහළ ගොස් තිබේ. එය හැකි තරම් අඩු කරගන්නට හැකි සෑම විටම උත්සාහ ගනිමි.

Sunday, May 17, 2015

62 පුංචි හොරු සමග බෑන්ඩ් කථා

හෙට උදේ 8 වෙද්දි පෝලිම් වෙන්න බලාගෙන වරෙල්ලා...පරක්කු වෙන උන්ට දැඬි දඬුවම්...‍කලින් දවසෙ පුහුණුවීම් අවසන් වෙද්දි ලොකු අයියා කිව්වෙ එහෙමයි. සාමාන්‍ය වෙලාවට සහෝදරයෙක් වගේ ඉන්න ලොකු අයියා බෑන්ඩ් එකේ පුහුණුවීම් කරන වෙලාවට නම් නීතියට වැඩ කරන හාදයෙක්.

සිරා කොලුවගෙ බෑන්ඩ් ජීවිතයෙන් යමක් ඇඳබාන්නයි මේ සූජානම. ළඟකදි ඒ ගැන යමක් ලියවුනෙත් නැති නිසා අද ඉතිං ඒ අතීතය ගැන යමක් ලිව්වොත් හොඳා කියලයි මගේ අක්මාව මට කිව්වෙ. බෑන්ඩ් එකේ හිටිය කාලෙ එකට දුක සැප විඳපු මිත්තරයො එකා දෙන්නා යුග දිවියට යද්දි, ඒ සතුටුදායක මොහොත උන් එක්ක විඳ ගන්න ලංකාවෙ නැති මගේ හිතට දැනෙන හීන් දුකත් එක්ක අතීතයේ දවසක මමයි, මගේ හිතයි නතර වෙනවා.

සිරා කොලුවා කණ්ඩායම නියෝජනය කරපු කාලය වෙද්දි රන්ටැඹේ කඳවුරු භූමියෙ පැවැත්වෙන වාර්ෂික ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩ ඇගයීමේ තරඟාවලියට සහභාගි උනේ නැති නිසා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගි වීම සහ ගම්පහ පුරවයේ රාජ්‍ය නිදහස් දින සැමරුමට දායකත්වය දෙන එක තමයි අපිට තිබුන ප්‍රධාන වගකීම්. අවට පාසල් වල මල් වගේ දැරිවියො රාශියක් හමුවන තැනක් නිසා නිදහස් දිනය දවසට නම් අපේ උන් උන්නෙ හරිම සතුටෙන්. ඒ ඇත්තියො උත්සවයේ කටයුතු අහවර උනාම අපේ ලගට ඇවිත් සුහද පිළිසඳරේ යෙදෙනකොට අපේ මල් වගේ හිත් බිමට බර උනේ කෙහෙල් ගහ මැද්දට මාලු මන්නෙන් කෙටුවාම කෙහෙල් කැන පාත් වෙනවා ව‍ාගෙයි.

නොවැම්බර් මාසෙ මැද පිට්ටනියට බැස්සම ජනවාරි මාසෙ අවසන් වන තුරාවට අපි ඉතිං ගිණි අව්වට පිච්චෙනවා. පන්ති කාමරයක් අපිට තිබුනද කියලත් අමතක වෙනවා. මේ කාර්යය බොහොම වෙහෙසකර එකක් උනත් එක පවුලක වගේ හැගීමක් අපිට තිබුන නිසා අපහසුතාව දරාගන්න හැම එකාටම ශක්තිය තිබුනා.

කණ්ඩායමේ හැම දෙනාම පහුණුවීමට අවශ්‍යයි. එකෙකුගේ හෝ අඩුවක් තිබුනොත් එය පුහුණුවීම් වලට බාධා වෙන අවස්ථා තිබුනා. සමහරුන්ට නිවෙස් වලින් පුහුණුවීම් වලට යන්න බාධා තිබුනත් උන් මොන දහං ගැටය හරි ගහලා පිට්ටනියට ආවෙ බෑන්ඩ් උණ කියන රෝගය ඒ වෙද්දිත් වැළඳිලා තිබුන නිසයි. සමහරු එහෙම එන්නෙ බඩට කිසිවක් දාගන්නෙ නැතුව වගේම අතේ සතේ නැතුව. තත්වය එහෙම උනත් කවුරුවත් තනි තනියෙන් තම තමන්ගෙ බත්ගෙඩි දිග ඇරියෙ නෑ. කන්න නැති එකාවත් ලගට අරගෙනයි අපි බත් කෑවෙ.

මම මේ කියන කාලෙ අපේ පාසලේ කොල්ලො අතර අපට ලොකු පිළිගැනීමක් තිබුනෙ නෑ. පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයේ ඉතිහාසය බොහොම ඈතකට දිව යාමත් ඔවුන් ඒ වෙද්දි වාර්තාකර තිබුන සමස්ත ලංකා ජයග්‍රහණ ආදියත් නිසා ඒ අය තමයි අංක එකට වැජඹුනේ. බටහිර තූර්ය වාදක ඛණ්ඩය වෙච්ච අපිට ලැබුනෙ කුඩම්මගෙ සැළකිලි. පෙරදිග පිරිස පාසල් ක්‍රීඩා පිටියෙ පුහුණුවීම් කරද්දි අපට එහි ඉඩක් නැතුව ගියා. අපි නරඹන්නො වෙලා බලා උන්නා. අපි පුහුණුවීම් කරද්දි අපිට හූ කිව්වා. නින්දා කලා...මේ කිසිවකින් අපේ කණ්ඩායම සැලුනෙ නැති නිසාම පස්ස‍ෙ දවසක පිට පිට ජාතික ශූරතාවයට වග කියන්න අපෙන් පස්ස‍ෙ කණ්ඩායමට ආව උන්ට හැකි උනා.

අපිට ඉතිං පාසලේ පිට්ටනියෙ පුහුණුවීම් කරන්න අවස්ථාව නැති උනාම ගත්ත පියවර තමයි විකල්ප ස්ථාන හොයපු එක. එතනදි ඉතින් වැඩිය සෙනග ගැවසෙන්නෙ නැති පාසල අවට අතුරු මාර්ග, පාසලට යාබද කනත්ත වගේ තැන් අත්හදා බැලුවට කිසි ලකයක් නැති නිසා අන්තිමේදි කාන්තාරයකු වගේ තිබ්බ ගම්පහ ශ්‍රී බෝධි පිට්ටනියට ගොඩ බැස්සා. උදේට සංගීත බඩු ටිකයි, බත් ගෙඩි ටිකයි කර පින්නාගෙන එතනට යන්න තමයි ලොකු අයියා උදේ 8 වෙද්දි වරෙව් කියලා ඔය මොර දෙන්නෙ.

කල්‍යාණි පාරෙන් හැරිලා සිසිර මාවතේ හරි , සමරක්කොඩි මාවතේ හරි පුහුණුවීම් කරපු කාලෙ ජම්බුගස් නගින්න පොඩි උන් නැති ගෙදරක ගහ පාමුල ජම්බු ගෙඩි කුණු වෙලා යනවා දැක්කම නිවසේ හිමිකරුවගෙ අවසරය අරගෙන ජම්බු ගහ හිස් කරන වගකීම අපි බාර ගන්නවා. ඒ වෙනුවෙන්ම සැදී පැහැදී උන්න පයිලට් ලා කණ්ඩායමක් අපිට උන්නා. මේ මාර්ග වල හැම නිවසක්ම විශාල ‍ගේට්ටු සහ තාප්ප වලින් වටවෙලා තිබුනෙ.

ඒත් හිසට සෙවනක් නැති ගුරුපාට පොළවක් තිබුන කාෂ්ඨක පරිසරයක් වෙච්ච ශ්‍රී බෝධි පිට්ටනිය අපි දැක්කෙ සහරා කාන්තාරය වගේ. අව්වට කලු වෙලා ඇස‍්ගෙඩි යට ගිලුනට කණ්ඩායමේ එකමුතුකම ගිලිහුනේ නැති නිසාම අපි හැමදාමත් පුහුණුවීම් කලා. බෙදා හදාගෙන බඩට යමක් දාගත්තත් අධික මහන්සිය නිසාම ඒවා ඉක්මනින් පිච්චෙනවා..ඉතිං ආයෙමත් කුස ගින්න නැගෙනවා. ඔන්න ඔය නිසාම සිරා කොලුවා පුහුණුවීම් වලට යද්දි  මා එක්ක හිටිය උන් එක්ක බෙදා හදාගෙන කන්න ගල් බනිස් අරගෙන ගියා ගම්පහ නගරයෙන්. ගලක් බඩට දාගත්තම වතුරෙන් පොඟව පොඟව දෙයියනේ කියලා සෑහෙන වෙලාවක් ගත කරන්න පුලුවන්.

ලොකු අයියට හැමදේම තිතට ඕනෙ..පැයක් ගිණි අව්වෙ පිච්චුනාම විනාඩි 5 ක විතර විවේකයක් ලැබෙනවා වතුර ටිකක් බොන්න. යාබද නිවසක කම්බි වැට අස්සෙන් රිංගලා තමයි ඒ කාරිය කලේ. දිව ගිලෙන්න යන තිබහක් තියෙන මේ වෙලාවට වටේ පිටේ ගස් වල තැඹිලි වලු දකිනකොට නම් අපි ඉවසාන උන්නෙ හරිම අමාරුවෙන්.

හැම එකාම එකයි. ඕක තමයි වචනයෙන් නොලිව්වට අපේ තේමාව. ඒ නිසා එකෙක් වැරැද්දක් කලත් පොදුවේ හැමටම පෝරියල් එක ලැබෙනවා. අන්තිමට වැරැද්ද කරපු එකාට ඇතුලෙ ඉන්න උන්ගෙන් කන පිරෙන්න බැනුම්, සමහර වෙලාවට ගුටිත් ලැබෙනවා.

ගිණි අව්වේ පිච්චිලා පිච්චිලා හොඳපණ ගියාම පිටිපස්සෙම ඉන්න අපි ඉස්සරහම ඉන්න ලොකු අයියට පලු යන්න බනිනවා. සමහරු බනින්න‍ෙ ලොකු අයියගෙ ගෙදර ඉන්න අම්මවත් මතක් කරලා. ඒකා ලේසියකට සෑහීමකට පත් වෙන්නෙ නැති එක ගැන තමයි හැමෝටම තරහා. කොච්චර අමාරු උනත් දිගටම පුහුණුව.

දවල්ට කන්න ලැබෙන විවේකය ඉතින් හැමෝටම සෑහෙන සහනයක්. තියෙන දෙයක් කාලා සමහරු හෙවනක පොඩි නින්දක් දානවා. තවත් සමහරු අහල පහල ලඳු කැලෑවකින් ගඩා ගෙඩියක් දෙකක් කඩනවා. හැබැයි කඩාගත්ත දේවල් හැමෝ එක්කම බෙදා හදාගෙන තමයි කෑවෙ.

ඉස්සර ඉතින් බෑන්ඩ් එක ඇතුලෙ එක එක වැඩ වලට දක්ෂයො බිහි උනා. සමහරු සංගීතයට අති දක්ෂ වෙද්දි තවත් සමහරු ස්වර ප්‍රස්ථාර ගත කරන්නත් ඒවා පිටපත් කරන්නත් දක්ෂ උනා. ඔය අතරින් ජපන් චමියා වඩාත් දක්ෂ උ‍නේ බෑන්ඩ් කාමරේට උවමනා දේ සම්පාදනය කරදෙන්න. ඒ කියන්නෙ අපිට නැති දේවල් තියෙන තැනකින් උස්සගෙන එන්න.


බෑන්ඩ් කාමරයේ ටියුබ් පොල්ලක් ක්‍රියා විරහිත උනාම එකක් තියෙන තැනකින් ගලවගෙන වරෙන් කියලා ලොකු අයියා කොන්ත්‍රාත්තුව දෙන්නෙ චමියට. බෑන්ඩ් එකේ උන්ට කන්න බොන්න පිඟන් කෝප්ප මදි උනාම ඒවා කැන්ටිමෙන් උස්සගෙන එන්න කියන්නෙත් චමියටම තමයි. සමහර වෙලාවට ඒකාට යර්ස් කොලුවගෙ සහාය ලැබුනා. එහෙම දවසට ටිකක් අඳුර වැටුනට පස්සෙ උන් දෙන්නා දඩයමේ යනවා තමන්ට උවමනා දේ හොයාගෙන. දවසක් අයිය බඩයි ජපන් චමියයි දෙන්නා මඳ අඳුරෙ හොරකමේ ගිහින්.

හදිසි පයින්ඩයක් දැනුම් දෙන්න පාසල පුරාම හොයලා හොයලා අන්තිමේදි 6 වසරේ පන්ති කාමරයක මුන් දෙන්නා  ඉන්නවා මම දැක්කා. එක ටියුබ් පොල්ලක් ගේන්න කිව්වම අනාගතය ගැනත් හිතලා පොලු තුන හතරක් ගේන්නයි දෙන්නගෙ වෑයම.

හැන්දෑවෙ 6 න් පස්සෙ විද්‍යාලයේ ආරක්ෂක අංශයට අමතරව සිරිපාල කියලා තවත් හාදයෙක් උන්නා ජංගම මුරසංචාරයේ යෙදෙන. මම පන්ති කාමරයට එපිටින් ඉදගෙන අයිය බඩාලා දිහා බලාන ඉද්දි සිරිපාලත් අනිත් පැත්තෙ ජනේලයකින් මේ දෙන්නා දිහා බලාන ඉන්නවා.

චමියො....මේ ටියුබ් පොලු දෙකම ගලවමු...අපි ගැලෙව්වා කියලා කවුරුවත් දන්නෙ නෑනෙ බං...අයිය බඩා එහෙම කියද්දි

ජපන් චමියා වහලෙ බාල්කයක් බදාගෙන වැඩේ දෙනවා හිටු කියලා...

ඒ අස්සෙ පන්ති කාමරේ තිබුන අල්මාරියකින් හඳුන්කූරු පැකට් දෙකකුත් අයිය බඩාට ලැබිලා...ඒකත් ගෙනියන ගොඩට දාගත්තා.

සිරිපාලයා බලා ඉන්න බව මට කියාගන්න ඕන‍ෙ...ඒත් කියාගන්න විදියක් නෑ...යන්තමට සද්දයක් දැම්මත් සැරටම හොරකම යන නිසා මුන්ට ඇහෙන්නෙ නෑ. අන්තිමේදි යන්තම් අයිය බඩාගෙ අවධානය අරගෙන සිරිපාලයව පෙන්වන්න මට හැකි උනා. අයිය බඩා චමියගෙ කනට කරලා රහසක් කිව්වා.

මල්ලි ඉගෙන ගන්නෙ මේ පන්තියෙ කියලා ෂුවර්ද...බං..

ඔව් ඔව් ඉතිං මම හැමදාම ඉන්ටර්වල් එකට එනවනෙ...

එතකොට කොයි ලයිට් එකද වැඩ කරන්නෙ නෑ කිව්වෙ...

මේ දෙකෙන් එකක් තමයි....අද හදලා දීලා යමු.


සිරිපාලගෙ කනට ඇහෙන්න දෙබස නැගලා යනවා...ඒ අස්ස‍ෙ අයිය බඩා හදිසියෙම සිරිපාලව දැක්කා වගේ ඒ පැත්තට හැරුනා.

ආ..සිරිපාල අයියා....කොහොමද ඉතින්...

මල්ලිලා මොකද මේ පොඩි පන්තියක උඩ නැගගෙන....

මේ අපි ලයිට් එකක් හදනවා....

ආ එහෙමද..ලයිට් ගලවනවා එහෙම නෙමෙයිනෙ...හරි මල්ලි එහෙනං ක‍රගෙන යන්නකො...එහෙම කියලා සිරිපාල වාෂ්ප උනා. මිනිහා පස්ස‍ෙ ටික දුරක් ගිහින් ඒකා ඈතටම ගියාම ටියුබ් පොලු දෙකකුයි හඳුන්කූරු පැකට් එකකුයි අරගෙන අපි තුන්දෙනා පල්ලං බැස්සා.

කැන්ටිමෙන් පිගන් කෝප්ප උස්සපු දවසට නම් වහලයෙන් තමයි ආවෙ ගියේ. දවසක්දා හදිසි අවශ්‍යතාවකට අපේ කණ්ඩායම රාත්‍රියේ පාසලේ නතර උනා. විදුහල්පතිතුමාගෙ අවසරය ගත්තම ඒ කාරිය කරන්න පුලුවන්. අපි ඉතින් මධ්‍යම රාත්‍රිය උදාවෙනකං පුහුණුවීම් වල නිරත වෙලා නින්දට ගියා කියමුකො.

පහුවදා උදේ පිට්ටනිය පුරාම හිස් කිරි පැකට් සීයකට වඩා විසිරිලා. පාසලේ ජංගම මුර සංචාරකයා සිරිපාල මේ කාරියට අපිව සැක බව කැන්ටිමේ ටෙන්ඩරය අරගෙන හිටිය අශෝක අයියගෙ කනේ තියලා මිනිහා ප්‍රින්සිපල් උතුමා එක්කම උදේ පාන්දර අපිව මුලිච්චි වෙන්න ඇවිත්,
මෙයාලා තමයි කැන්‍ටිම කඩන්න අැත්තෙ සෑර්.

තමුං මේ වැඩේ කලාද...විදුහල්පති තුමාගෙ හඬ බොහොම සැරයි.

අනේ නෑ සෑර්...අපි දන්නෙත් නෑ...උදේ තමයි අපිත් දැක්කෙ.

එතකොට ඊයෙ රෑ තව කවුරු හරි ඉස්කෝලෙ නතර උනාද...

ඒක දන්නෙත් නෑ සෑර්....

හොඳයි අශෝක...මම මේ ගැන හොයලා බලලා සාධාරණයක් කරන්නං...

එහෙම කියලා විදුහල්පති තුමා අපෙන් සමුගත්තට අපිට ඒ පිළිබඳ වද වෙන්න උවමනා නොවුනෙ කිරි පැකට් උස්සපු උන් ටික පස්සෙ දවසක මාට්ටු වෙච්ච නිසයි. ඒ විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරමක නිරත වෙන තවත් කණ්ඩායමක්. උනුත් රෑ පාසලේ නැවතුන දවසක තමයි අපේ නම යන්න වැඩේ දීලා තිබුනෙ.

ඒ උනාට මල් වගේ අහිංසක අපිව සැක කරපු කැන්ටිමේ අශෝක අයියා කොල්ලන්ට ඇට නැති පරිප්පු හොඳි බෙදලා දුන්න ප්ලාස්ටික් පිඟන් වගේම උණු වතුර රහට තේ දුන්න ප්ලාස්ටික් කෝප්පත් වරින් වර එළැඹුන රාත්‍රියන් වලදි අන්තරස්දාන කලේ නම් මිනිහට පාඩමක් උගන්වන්න අපේ ජපන් චමියම තමයි.


එහෙනං අදට අහවරයි.



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

එවකට කාන්තාරයක් බඳු  ශ්‍රී බෝධි ක්‍රීඩාංගනය සිරා කොලුවා රට පැටවෙන්නට කලින් අවසන් වරට දකිද්දී තණකොළ වවන ලද මනරම් ක්‍රීඩා සංකීර්ණයකි. පිහිනුම් තටාකයක්, කාය වර්ධන උපරකණද ඇතුලත්ව ගම්පහට ඇති එකම මීටර් 400 ධාවන පථය වර්තමානයේ මෙහි ඉඳිකොට තිබේ. මම එහි අවසානයට ගියේ අදින් වසර ගනනාවකට ඉහත දවසකය. ඒ සන්ධ්‍යාවේ වැසි වැටෙමින් තිබුනි. එවකට පිහිනුම් තටාකය බාරව සිටි අප විදුහලේම වැඩිහිටි සගයෙක් වු ශ්‍රීනාත් අයියා වැසි මැද  පිහිනුම් තටාකයට පැන සිටි ගෙම්බන් අල්ලමින් උන් ආකාරය දැනුදු මැවී පෙනේ.

Wednesday, December 10, 2014

50 රබානකට පෙම්බැඳි සිරා කොලුවා

සිරා කොලුවාගේ බෑන්ඩ් ඉතිහාසයෙන් යමක් ලගදි දවසක මම බොලාට කියා නැත. ඇතමෙකු ඒ ගැන විමසා ඊයක් දෙකක් විදිති. බොලාගෙ බෑන්ඩ් කථා අහවරද ? උන් අසති. මෙසේ විමසන්නේ පාසල් යන සමයේ බෑන්ඩ් උණ තදින් වැළඳුනු එකෙකු හෝ එකියක බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. සෑහෙන දොහකට පසු සිරා කොලුවාගේ බෑන්ඩ් ජීවිතයෙන් කථාවක් ඇදබාන්නේ එහෙයිනි.

සිරා කොලුවාගේ තූර්ය වාදක ඛණ්ඩ නඩයට අයත් අයිය බඩා, ජපන් චමී, ජෝති, ලොකු අයියා, වැනි චරිත සිරාගේ කාමරය තුලදී ඔබට වරින් වර හමුවී තිබේ. අදින් දශකයකටත් එහා අතීතයේදී අපි සියල්ලෝම එක පවුලක උන් මෙන් දුක සැප සමව වළඳා තූර්ය වාදක ඛණ්ඩයේ දියුණුවට ඇප කැප වූ අන්දම මම කීප විටක් ලියා ඇත්තෙමි. ඒ නිසා ඒ දේවල් නැවත නැවත ලිවීම අවැසි නොවේ.

අපේ පාසලේම කොල්ලන්ගේ හූ හඩ මැද සාටර් ජීවීන් පිරිසක් වී සිටි අප බෑන්ඩ් මාස්ටර්ගේ ආගමනයෙන් පසු අළුත් ගමනක් ඇරඹූ අන්දමද මම වේලාසනින් ලියා තිබේ. විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුල බ්‍රහස්පතින්දා දිනයන්හි සන්ධ්‍යා යාමයේ කෙමෙන් කෙමෙන් නැගුන සංගීත නාද රටා වඩ වඩාත් විධිමත් වෙමින් කණ්ඩායමක් ලෙස ශක්තිමත් වෙද්දී අපේ කණ්ඩායමේ කීර්තිනාමයද පාසල් භූමියේ සීමාව සළකුණු කොට තිබූ තාප්පය පැන ඉන් එහා දුරකට ඉගිල ගියේය.

බෑන්ඩ් මාස්ටර්ගේ අනුපමය කැපකිරීම්  /මහන්සිය අාදියේ ප්‍රතිඵලයක් ලෙස මේ කියන දවස වන විට අප බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් ලෙස සීඝ්‍ර දියුණුවක් ලබා සිටියෙමු. ඒ නිසාම කෙමෙන් කෙමෙන් පාසලට පරිභාහිර තූර්ය වාදන අවශ්‍යතා වෙනුවෙන් විවිධ අය අප සොයා ඒමට පටන් ගෙන තිබුනි.

බොහෝ විට මෙවැනි ඉල්ලීම් අප විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම පැරණි ශිෂ්‍යභට සාමාජිකයෙකුද වූ ආනන්ද අයියා විසින් ගෙන ආ එවැනි ආරාධනාවක් අප විසින් අනුමත කලේ ඔහු අප විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වැඩිමහල් සොයුරෙකු වූ නිසාමය.

සිරා කොලුවාගේ වාදන භාණ්ඩය වූයේ ට්‍රම්පට් නලාවයි. අතීතයේදී තැඹිලි වලු පිටින් හොරා කෑ ජෝතියා වාදනය කලේද මේ වාදන භාණ්ඩයමය. ත්‍යාග ප්‍රදානෝත්සවයන්හිදී ට්‍රම්පට් මගින් නගන කෙටි සංගීත නාදය Fan Fare ලෙස එකල අපි හැදින්වීමු. ආනන්ද අයියා අපිට සැට් කරන්නට යන්නේ Fan Fare ගහන්නට චෑන්ස් එකකි.

ඒ වෙද්දී හෙතෙම ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ගම්පහ නගරයට දුරින් පිහිටි එක්තරා මිශ්‍ර පාසලක සේවය කරමින් සිටියේය. මේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යම් වෙනස්කමක් කරන්නට පාසලෙන් ඔහුට ලැබුන යෝජනාව මත ඔහු දැන් අප හමුවන්නට පැමිණ සිටියි.

මල්ලි....මේක දුප්පත් ඉස්කෝලයක් බං...ඒකෙ උන් ට්‍රම්පට් එකක් ඇහැට දැකලා නෑ. උඹලා ඇවිල්ලා මේ වැඩේ කරලා දුන්නොත් ඒක ලොකු පිනක් එක පැත්තකින්....ඒ ළමයි සතුටුවෙනවනෙ බං...

ලස්සන කෑලි එහෙම නැද්ද අයියා.....වැඩකට බහින්නට හොඳ උත්තේජනයක් තිබිය යුතුය. අන්න ඒ උත්තේජනය සෙවීමේ අරමුණින් මම කට ඇරියෙමි.

ලස්සන කෑලි මොනවටද බොල...සම්පූර්ණ ඒවා පෙන්වන්නම් අාවම...ලස්සන කෙල්ලො ගොඩාක් ඉන්නවා ඉස්කෝලෙ....බෑන්ඩ් එකේ තමයි හුගදෙනෙක් ඉන්නෙ....උඹලා ආවම බලහල්ලකො මම කියන්නෙ බොරුද කියලා.

එහෙනං මල්ලිලා අහවල් දවසෙ අහවල් වෙලාව වෙද්දි..අහවල් තැනට බස් එකේ වරෙල්ලා...එතැන ඉඳන් මම ප්‍රවාහන පහසුකම් දෙන්නම්. ආනන්ද අයියා වැඩේ පංගරාර්තු කොට වාෂ්ප වී ගියේය.

Fan Fare රාජකාරිය සඳහා පිටත් වෙන්නට ඛණ්ඩයේ එවකට සැරයන් වරයා වූ ලොකු අයියා යෝජනා කලේ සිරා කොලුවා, ජෝතියා, සහ තරින්ද්‍ර නම් තවත් එකෙකි. අප තිදෙනාම එක් වී පුහුණුවීම් කොට එකිනෙකට වෙනස් සංගීත ඛණ්ඩ තුනක් පුරුදු පුහුණු වූයෙමු.

බෑන්ඩ් මාස්ටර් දැන් සිටින්නේ සතුටෙනි. තමන්ගේ ගෝලයන් තිදෙනෙක් පාසලට පරිබාහිර තැනක ශිල්ප දක්වන්නට හා හා පුරා යන ගමන පිළිබඳ එතුමා සිටින්නේ තෘප්තියෙනි. කොල්ලො වැඩේ දෙන්න ඕනෙ සුපිරියට...ඒ සතුට වචන වලට පෙරළෙයි.

නියමිත දිනය උදා වූ පසු...අපට එන්නට නියම කල වේලාව අනුව ට්‍රම්පට් නලා තුනක් ට්‍රම්පට් පෙට්ටි වල ඇසුරුම් කොටගෙන අප තිදෙනා පාසල ඉදිරිපසින් කිරිඳිවැල බසයකට ගොඩවෙන්නට තූර්ය වාදක කාමරයෙන් පිටත් වෙන විටත් අපේ සගයෝ පිටියේ පුහුණුවීම් වල නිරතව සිටියහ.

හොඳ කෑල්ලක් ගොඩ දාගනියව්...අයිය බඩා මෙන්ම ලොකු අයියාද අපට සුභ පතා සමුදුන්නෝය.

කිරිඳිවැල බස් රථය ගම් නියම් ගම්, වෙල් යාය පසුකරමින් ඉදිරියට ඇදෙයි. පාර අයිනට වෙන්න දකුණු අත පැත්තෙ තියෙනවා බෝධියක්...එතනම තමයි බස් හෝල්ට් එක.අන්න එතැනින් බහින්න...ආනන්ද අයියා පැවසූ අයුරින්ම බෝධිය සොයාගෙන අප බස් රථයෙන් බිමට බසින විට විද්‍යාලයේ වැඩිහිටි සිසුන් කීප දෙනෙකු සමග  අප පිළිගන්නට ඔහු එහි රැදී සිටියේය.

එතැන් සිට පාසල වෙත තවත් මාර්ගයකි. එහි සිටි ශිෂ්‍යයෝ තිදෙනෙක් ඔවුන්ගේ බයිසිකල් වල අප හිඳුවාගෙන පාසල බලා එක් පිම්මේ පාගන්නට විය. ට්‍රම්පට් පෙට්ටිය වැටෙන්නට නොදී අල්ලාගෙන අප තිදෙනා බයිසිකල් හරස් පොල්ලට පශ්චාත් භාගය තදකර ගෙන විනාඩි 10 ක පමණ දුරක් යන්නට ඇත.

පින්තූරය මෙතැනින්

පාසලට ලගා වන විට එහි පැවතියේ මගුල් සිරියකි. ප්‍රධාන ආරාධිතයා පිළිගැනීමට ඇති පදම් රෝස පවුඩර් උලා ගත් දැරිවියන්ගෙන් සමන්විත වූ තූර්ය වාදක කණ්ඩායමක් එතැන සැදී පැහැදී සිටියහ. ඉතාමත් උණුසුම් අන්දමින් අප තිදෙනා පිළිගත් ගුරු භවතුන් කීප දෙනෙකු අපට රැදී ඉන්නට ස්ථානයක් නියම කොට විසිර ගියහ.

ඉතා විසිතුරු හැට්ටයකින් හා චීත්තයකින් සැරසුනු මේ යුවතියන් බහුතරයක් සැබෑ ලෙසම ලස්සන උන්ය. උන්ගේ සුන්දරත්වය මගේ මෙන්ම අනිත් උන් දෙදෙනාගේද හෘදය වස්තු කම්පොනය කොරන්නට සමත් වූහ. යුවතියෝ  ආරාධිත අමුත්තා පිළිගෙන විද්‍යාලය තුලට කැඳවාගෙන විත් අප සමීපයට පැමිණියහ.

අපේ විද්‍යාලයේ කීර්තිනාමයත්, අප තිදෙනාද තූර්ය වාදක ඛණ්ඩයක සාමාජිකයන් වීමත් යන කාරණා හේතුවෙන් ඒ ඇත්තියෝ අප සමග දොඩමළු වන්නට අර අදින බව පෙනෙයි. යුවතියන් රැසක් අතර අතරමං වූ සිරා කොලුවා වන මම අවසානයේදී රබන් වැයූ සුන්දර එකියක් කෙරෙහි ආශක්ත වූයෙමි. ලව් තියා ඉලව් වත් නැති  අසරණයෙක් වූ ජෝතියාද තවත් එකියකට ලයින් වූයේය. තරින්ද්‍රයා ඒ වෙද්දිත් පෙම්බරයෙක් වී සිටි නිසා කිසිවෙකුට ලයින් දමන්නට ගියේ නැත...හොඳ දරුවෙක් මං චරිතය රඟ පෑවේය.

ඉතින් කොහොමද ?

හොඳයි අයියා....ඔයාලා අද එනවා කියලා ආනන්ද සර් කිව්වා...

ඉතිං අපි එනකං බලාන හිටියද ?

ඉඳා....අපිට වෙන වැඩක් නෑනෙ...කෙල්ලන්ගේ කිච් බිචිය අස්සේ ගුරු මණ්ඩලයේ කීප දෙනෙකු පැමිණ අප සංග්‍රහ කරන කලාපයට කැටුව ගියෝය.

එහෙත් සංග්‍රහ භූමියෙන් පලාවිත් රබානට මුවා වෙන්නටම මට සිතෙයි...

ජෝතියො ඕක ලෙව කකා ඉන්නෙ නැතුව ඉක්මනට යමං යකෝ....අර කෑල්ලක් කොහොම හරි සැට් කරගමු.

මගේ වචනයෙන් පුරුෂ දහිරිය ඉපදුන නිසාදෝ දුම් දමන තේ කෝප්පය එක හුස්මට බොක්කට හලා ගත් ජෝතියාද සංග්‍රහ කලාපයෙන් නික්මී මා සමග නැවතත් දැරිවියන් අභියසට පැමිණෙන්නට විය.

අප එහි යන විට තරින්ද්‍රයා මල් පාත්තියකට මැදිව සිටියේය...

කොයි අයියද ජෝතියා කියන්නෙ....එකියක් එළියට පනින්නට පොර කන හිනාව අතින් තදකරගෙන ඇසුවාය. අප සංග්‍රහය භුක්ති විද පැමිණෙන ටිකට ජෝතියාගේ භෞමික අඛණ්ඩතාව මොට වීම සැබවින්ම ඛේදජනකය.

ලැජ්ජාව නිසාම සෝ බරව සිටි ජෝතියා පසෙක සිටියත් සිරා කොලුවා වන මම රබානට ඇහැ දුන්නෙමි.

රබන් නංගියාද මගේ ඉඟි බිඟි තේරුම් ගත්  නිසාදෝ රබාන කරකවමින් විළියෙන් ඇඹරුනාය. මේ ආකාරයෙන් අපේ පිළිසදර හෝරාවක් දෙකක් පමණ තිබෙන්නට ඇත. අපේ මුහුණු වලින් පිටතට බේරෙන පෙම් පාට නිසාදෝ විද්‍යාලයේ ගුරු මව්වරුන් මේ කෙල්ලන් සහ අප දෙස විමසිල්ලෙන් බලා සිටින බව ඒ වන විටත් මගේ අක්මාවට දැනී තිබුනි.

ප්‍රේමයට කොහෙදෝ නැති බාධා.....යන කියමන සිහිපත් කරමින් ආනන්ද අයියා හදිසියේම එහි පැමිණ අපේ අාතොල් එක මොට කලේය.

මල්ලිලා වැඩේ හරි පළවෙනි සෙට් එකට තෑගි දෙන්න යන්නෙ...ඉස්කෝලෙ නම හිටින්නත් එක්ක දීහල්ලා වැඩේ තිතට...

Fan Fare ගැහිල්ලට කළුවා මාරපන ගියා වගේ යන්නේ නැත. තිදෙනාම එකම ආකාරයකින් පියවර තබමින් ගමනේ ගොස් එකටම නැවතී දකුණට හැරී නතර විය යුතුය. අපගේ වාදන භාණ්ඩයන් ඔසවන්නේ මෙන්ම පහත් කරන්නේද එකටමය.  මේ සදහා අණ දෙන්නේ මැද්දෙන් සිටි ජෝතියාය.

ගමන පිටත් වීමට ප්‍රථම අප පුහුණුවීම් කර තිබෙන සංගීත ඛණ්ඩ වලින් වාදනය කරන්නේ කුමන එකදැයි කථිකා කර ගතිමු. ඒ නිසා වැරදීමක් නැත. වැඩේ ලස්සනට ගලාගෙන යයි. ආනන්ද අයියා ත්‍යාග ප්‍රධානයක් සිදුවන විට අප කරා පැමිණ දැනුම් දෙයි..ඒ වනතෙක් රබන් වයන්නට අපට අවසර තිබේ.

මේ අයුරින් වාර 10 කට පමණ ආසන්නව අප විසින් වාදනය කළෙමු. තවත් එක් අවස්ථාවක් පමණක් ඉතිරිව තිබේ. ජෝතියා ලයින් කල දැරිවිය මේකාගේ සීදේවි මුහුණ දැක පසුබා ගිය නිසාදෝ ඒකා සන්තාපයෙනි. නමුත් මගේ රබාන එසේ නැත. ඇය මට ප්‍රාර්ථනාවේ එළි දල්වන්නීය.

වැඩක් නෑ බං....මුන් නලලට අරගෙන...නරියා මිදි තිත්තයි කිව්වා සේ ජෝතියාට ලව් කිරීම එපා වී ඇති සෙයකි.

මල්ලිලා...අන්තිම එක...මේකත් ගැහුවම උඹලා නිදහස්...ආනන්ද අයියා මොර දෙයි. පෙර පරිදිම ගමනේ ගොස් ජෝතියාගේ අණ අනුව වාදන භාණ්ඩ ඔසවාගෙන වාදනය අරඹන්නට අපි නැවතත් සූජානමෙනි. වාදනය අරඹන්නේද ජෝතියාගේ විධානය අනුවය.

මමත් තරින්ද්‍රයාත් ගිවිස ගත් සංගීත ඛණ්ඩය වයන විට ජෝතියා පෙම් මරගාතේ වෙන රෙද්දක් වාදනය කළේය. වැඩේ සාටර් බව ඒකාගේ පුංචි මොළයට වැටහෙන විට ජෝතියා වාදනය නවතා අප දෙදෙනාට අවස්ථාව දුන්නද ඒ වන විටත් සායම හේදී අවසන්ය.

ලොකු බෑන්ඩ් එකක ලොකු අයියලා ලෙස නංගිලාට පොරවල් වී සිටි  අප ක්ෂණිකව මහපොළවට ඇඳ වැටී තිබේ. බෑන්ඩ් කෙල්ලන් අපට නොපෙනෙන්නට කිචිබිචි ගෑවාට...අප සැලුනේ නැත.

මොන රෙද්දක්ද බොල තෝ ගැහුවෙ...

මම ජෝතියාව මරාගෙන කන්නට හදන විට ඒකා කිව්වේ එතැනට ගිය පසු අප යන්නට පෙර කල කථිකාව අමතකව ගිය බවකි.

රබන් නංගී රෝස පැහැ වත දරාගෙන මා දෙස බලා සිටින්නීය. ටවුමෙ ඉස්කෝලෙ අයියා කෙනෙකු සමග යාලු වෙන්නට ඇය කැමැත්තෙන් ඇතිවාට සැක නැත. එහෙත් මුරුංගා ගහට මන්නෙන් කෙටුවා සේ එක් වරම කැමැත්ත අහන්නට ක්‍රමයකුත් නැත. ඒ දිනවල ජංගම දුරබණු හෝ මූණුපොත තිබුනා නම් මේ කාරිය බොහෝ පහසු වන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් අද වන විට සිරා කොලුවා සිව්දරු පියෙකු වන්නට ඉඩ තිබුනි.

දැන් ඉතින් සියල්ලෝ විසිර යන්නට සූජානමෙනි. නමුත් සිරා කොලුවාගේ හිත රබාන මැද තනිවී තිබේ. රබන් කෙල්ල ඈතට වී මා දෙස බලා සිටියි. මමද ඈ දෙස බලා සිටිමි. අපේ නෙත්යුග එකිනෙකා හා කථා කරයි.

ජෝතියා අර කෙල්ල මට කැමතියි වගේ බං....මොකද කරන්නෙ....මම ජෝතියාගෙන් ඇසීමි.

මොනවා කරන්නද....ගිහිං අහපං....ඒකා විනිශ්චය දුන්නේය.

එහෙත් ඒ දිනවල සිරා කොලුවාගේ පුරුෂ දහිරිය අද මෙන් වර්ධනය වී තිබුනේ නැති නිසා මම ඒ කාරිය කලේ නැත.

ක්‍රීඩා උළෙලේ සියලු කාර්යයන් නිමවී තවත් සංග්‍රහ වටයකට සහභාගි වී අපට එතැනින් සමුගන්නට කාලය පැමිණ තිබේ.

ලියුම් කවර වල බහා අපහට තුටු පඬුරක් පිළිගන්වන්නට ආනන්ද අයියා සූජානමෙනි.

මේක ගන්න මල්ලි...උඹලා මහන්සි උනානෙ...

පිස්සුද අයියා....අපිට සල්ලි එපා...අපි මේ වැඩේ කලේ ඔයා නිසා....

අපි තිදෙනා මුදල් නොගෙන ඉන්නට තීරණය කළෙමු. එහෙත් ආනන්ද අයියා මුදල් දෙන්නටම වෙර දරයි. කෙසේ හෝ අප තිදෙනා දිගින් දිගටම මුදල් නොගත් නිසා ඒ උත්සාහය අවසානයේ අත් හරින්නට ඔහුට සිදුවිය.

කෙමෙන් කෙමෙන් අඳුර උදාවන පැයේ පාසල් භූමියේ රැදෙන්නට තවත් අවසර නැත. එතෙක් කල් දෙනෙත් මායිමේ සිටි රබාන මටත් නොකියාම සමුගෙන ගොසිනි. සෑම හමුවීමකම වෙන් වීමක් තියෙනවා නේදැයි මම කල්පනා කළෙමි.

මල්ලිලා බොහොම ස්තූතියි....ස්තූතියි අයියා....ස්තූතියි පුතා....නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් අප තිදෙනාට ස්තූති කළෝය...අප මේ ගමන පැමිණෙන විට අප රැගෙන ආවේ  ට්‍රම්පට් පෙට්ටිය පමණි...එහෙත් ආපසු යන්නේ එයට අමතරව සොඳුරු මතකයක් හිත දරාගෙනය. රබන් කෙල්ලගේ රෝස පැහැති වත කමල චිත්ත රූපයකට නගමින් මම පා පැදියේ හරස් පොල්ලට බර දුනිමි. තවත් මොහොතකින් අපි බෝධිය අසල බස් නැවතුමට පිවිසියෙමු.

අප එදා පාසලට නැවත යන විටත් ලොකු අයියා සහ අයිය බඩා ඇතුළු කීප දෙනෙකු පාසලේ සිටියහ. තරින්ද්‍රයා සිදුවූ සියලු දේ නොවලහා කීවෙන් ලොකු අයියා කෝචොක් සිනහවක් නගයි.

තොපි තුන්දෙනාම වටවෙලා රබාන පලන්න හැදුවද යකෝ.....දුන්න සල්ලි නොගෙන....අපරාදෙ ගල් බෝතලයක් ගහන්න තිබුන චෑන්ස් එක..තොපි එනකං මෙතන මදුරුවො තැලුවටත් පාඩුයි. ලොකු අයියා විස්සෝප වද්දී මම නැවත වතාවක් රබාන සිහිපත් කළෙමි.



මම කාමරේ අරින සිරා කොලුවා.


Monday, April 21, 2014

61 බණ්ඩාට වෙච්ච හදියක්...

මාගේ අතීත බෑන්ඩ් ජීවිතය ගැන කාලයකට පසු ලිපියක් ලියූ නිසා තැටිය රත් වූ වේලාවේ තවත් රොටියක් පුච්චන්නයි මේ වෑයම.

තූර්ය වාදක ඛණ්ඩයේ පුහුණුවීම් කෙතරම් අපහසු වුවත් සාමාජිකයන් අතර සිටි ජොලි බුවාලා ඒ අපහසුතා අපේ සිත් වලින් තාවකාලිකව හෝ අකා මකා දමන්නට සිදු කලේ මහා මෙහෙයකි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටියේ බණ්ඩයියා, රැකපුලියා සහ දුන්න හා ඊතලය යුවල බව මට මතකය.

බණ්ඩා කියා සම වයසේ උන් ඇමතුවද අපට වඩා වසර 4 ක් පමණ වැඩිමල් නිසා අප ඔහු ඇමතුවේ බණ්ඩයියා යන නමිනි. ඛණ්ඩයේ ජේෂ්ඨ සාමාජිකයන්ගේ සම වයසේ වුවත් බෑන්ඩ් කණ්ඩායම සමග එකතු වූයේ පමාවී හෙයින් ඔහු වැඩිමහල්ලෙකු වුවද සාමාන්‍ය සාමාජිකයකු විය.

බණ්ඩයියා වූ කලී අව්‍යාජ සිනහවකින් නිතරම මුව සරසාගත් අහිංසක චරිතයකි. සියල්ලන් සමගම සහයෝගයෙන් කටයුතු කල ඔහු සතුව සහජ සංගීත ඥාණයක් විය. අලුතින් පුහුණුවන සංගීත ඛණ්ඩ ඉතා නිවැරදිව ඔහු වාදනය කල ට්‍රම්පට් නලාවෙන් අවට පරිසරයට මුදා හරින්නට  ඔහුට ගත වූයේ සුලු වේලාවකි.

ඒ කාලයේ ඛණ්ඩයේ සාමාජිකයන් නියමිත වේලාවටම පුහුණුවීම් සදහා ගෙන්වා ගැනීමට විවිධ දඩුවම් ක්‍රම ක්‍රියාවට නගා තිබුනි. සිරාගේ කාමරයේ වේලාසනින් ලියවුනු කථා කීපයකින්ම ඔබට මුලිච්චි වූ ලොකු අයියා නායකත්වයේ වගකීම කරපිට පටවා ගැනීමට ඔන්න මෙන්න කාලය මේ ලෙස දැක්වූවත් වරදක් නැත.

වර්තමානයේ අප පාසලේ දන්ත ශල්‍යාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල අතීතයේ තුන් මහල් එකකි. එහි තෙවන මහලේ ඉදිකිරීම් වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් මතුව තිබූ නිසා ඒ මහල භාවිතයට ගත්තේ නැත. පසු කාලයක ඉහළම මහල කඩා බිද දමා දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත්කල මෙහි හරියටම අද දන්ත ශල්‍යාගාරය බවට පත්ව ඇත්තේ එදා අප සිටි තූර්ය වාදක කාමරයයි.

මෙහි සිට උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ පිහිටා ඇති ගොඩනැගිල්ලට ඇත්තේ ඉතාම කෙටි දුරකි. උදාර අයියා යනු එකල අප ඛණ්ඩයේ සිටි ඉදිරි පෙළ නියමුවෙකි. කළු පැහැ හොදින් වැඩුනු සිරුරකට හිමිකම් කියූ ඔහු...ඔහුගේ නමේ පරිදිම උදාර ලීලාවෙන් යුතු වූ අතර මනා පෞර්ෂත්වයක් ඔහු කෙරෙන් විද්‍යාමාන විය. මේ නිසාම ලාබාල සාමාජිකයන් ලෙස අප ලොකු අයියාටත් වඩා භය පක්ෂපාතීත්වය දැක්වූයේ උදාර අයියා වෙතය.

මීට පෙර ලිපියේදී අපට හමු වූ කව්වා එකල උසස් පෙළ ගණිත අංශයේ පළමු පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියේය. හදිසියකදී ඔහුව තූර්ය වාදක කාමරයට ගෙන්වා ගැනීමට අවැසි වුවහොත් උදාර අයියා කාමරයේ සිටම

කව්වෝ මෙහෙ වර......යනුවෙන් මහා හඩකින් කෑ ගසයි.  ගණිත අංශ ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සිටින කව්වාට මේ හඩ ශ්‍රවනය වෙයි. උදාර අයියාගේ උදාර ලීලාවන් ගැන දන්නා ඔහු එක්වරම පන්ති කාමරය තුල ඉබේම වාගේ නැගී සිටියි.

වර්තමානයේද ගණිත අංශයේ ඉගැන්වීමේ යෙදෙන “ලේනා“ නම් විකට නාමයකින් හදුන්වන ගෞරවනීය ගුරු භවතා තරමක තද චරිතයක් සහිත තැනැත්තෙකු ලෙස මේ අංශ වල අධ්‍යාපනය ලද බහුතරයකගේ අදහසයි.

කෞෂල්‍ය ඔයා එහෙනං යන්න....අර කෑගහපු එකාව මාව හම්බවෙන්න එවන්න.... යනුවෙන් පවසා කව්වා පන්තියෙන් නිදහස් කරයි. එහෙත් කිසි දිනක උදාර අයියා ලේනා මුලිච්චි වීමට ගියේ නැත.

ඛණ්ඩයේ සාමාජිකයන් නිසි වේලාවට පුහුණුවීම් වලට ගෙන්වා ගැනීමට දඩුවම් ක්‍රම තිබූ බැව් මම ඉහතදී කීවෙමි. සාමාන්‍යයෙන් දිනයේ පුහුණුවීම් නිම කර පිරිස නික්ම යාමට මත්තෙන් ඊලග දින සියලු අවශ්‍යතා සපුරා පෝලිම් විය යුතු වේලාව කණ්ඩයේ සැරයන් සියල්ලන් වෙතම එකවර දැනුම් දෙයි. ඒ අනුව පුහුණුවීමට යොදා ගන්නා ඇදුම් වලින් සැරසී සපත්තු ආදිය  පැළද සැරයන් දැනුම් දෙන වේලාවට සූජානම් වී සිටිය යුතුය.

එහෙත් ඇතැම් විටක ඇතැම් සාමාජිකයන් ප්‍රමාද වී පැමිණෙයි. එවන් විටෙක...ගෙම්බා පැනගෙන කාමරය අසලට පැමිණෙන ලෙස සැරයන් අණ කරයි. ප්‍රමාද වී ඇත්තේ විනාඩි දෙක තුනක් නම් ඊට වඩා දඩුවමක් නොපමුණුවයි. නමුත්  ඉතා විශාල ලෙස ප්‍රමාද වී පැමිණි කෙනෙකු නම් තත්වය මදක් වෙනස් වෙයි.

මෙවැනි දඩුවමක් විදි මට හොදින් මතක ඇති තැනැත්තා අපේ බණ්ඩයියාය. ඒ කාලය වන විට වඩාත් සුලභව ප්‍රමාද වී පැමිණෙන අයට පැනවූ දඩුවම වූයේ ඩිප්ස් ගැසීමට අණ කිරීමයි. ඒ උදෙසා සහාය කර ගැනීමට ඩිප්ස් චක්කරයක් කාමරයේ බිත්තියේ පැන්සලකින් ලියා තිබුනි. විනාඩියකට ඩිප්ස් 5 යි. විනාඩි 2 කට ඩිප්ස් 10යි. ආදී ලෙස පෑ භාගයක් පමණ කාලයක් දක්වා මේ චක්කරය බිත්තියේ ලියා තිබුනේ පහේ සිස්සත්වයට අප පාඩම් කල චක්කර සිහිපත් කරමිනි.



මේ කියන දවසේ අසරණ බණ්ඩා පුහුණුවිම් සදහා පැමිණියේ පැය දෙකකටත් වඩා ප්‍රමාද වීමෙනි. ඔහුට නියම වූ ඩිප්ස් සංඛ්‍යාව 680 කට මදක් වැඩි ගනනක් බව මා හට මතකය. ඔහුට හිමි දඩුවම ලොකු අයියා විසින් පැනවීමෙන් පසුව

එච්චර ගහන්න ගියොත් අද ප්‍රැක්ටිස් කරන්න බැරි වෙයි...බණ්ඩා නිහඩව කීවේය.

කමක් නෑ...අද දවසම අරන් හරි මේ කිව්ව ගාන ගහලා මිසක් අද පිට්ටනියට එන්න එපා. ඒ ලොකු අයියාගේ අණයි.

මෙවැනි විටෙක දඩුවම විදින කෙනාගේ පහසුවට ඩිප්ස් ගනන් කිරීම සදහා නවක සාමාජිකයකු රදවනු ලැබේ. ඒ අනුව බණ්ඩයියා ගහන ඩිප්ස් ගනන් කිරීමේ මැෂිමක් එහි තිබේ.

බණ්ඩා සහ ගණක යන්ත්‍රය බෑන්ඩ් කාමරයේ තනිකර අප පුහුණුවීම් සදහා ක්‍රීඩා පිටියට ගොස් හෝරා දෙක තුනක ඇවෑමෙන් නැවතත් කාමරයට පැමිණ බලන විට බණ්ඩා බොහෝ සේ අඩපණව ඩිප්ස් භාග ගසමින් සිටියේය. එවන් විටක භාග දෙකක් එකක් ලෙස ගණනය කරනු ලැබේ.

කෙසේ හෝ ඩිප්ස් ගැසීම නිසා ඔහුගේ අතක මතුවූ ආබාධ සහිත තත්වයක් හේතුවෙන් තවත් පැයකට දෙකකට පමණ පසු බණ්ඩයියාව ගම්පහ රෝහල වෙත රැගෙන යන්නට අපට සිදුවිය.

දුන්න සහ ඊතලය යනු එකිනෙකාට ඉතාම සමීපව සිටි සම වයසේ මිතුරන් දෙදෙනෙකි. ඉදිකට්ටයි නූලයි මෙන් ඕනෑම තැනක එකටම දෙදෙනා පෙනී සිටි නිසා දුන්න සහ ඊතලය යනුවෙන් මොවුන් දෙදෙනා හදුන්වනු ලැබීය. කාලයක් යන තුරාවට ඉතා හොදින් පුහුණුවීම් සදහා පැමිණි මේ දෙදෙනාගෙන් ඊතලය පුද්ගලික අවශ්‍යතාවක් නිසා කණ්ඩායමෙන් සමුගත්තෙහිය. ඔහු කණ්ඩායම හැර ගොස් නොබෝ දිනකින්ම දුන්නද කණ්ඩායම හැර ගියේ මිතුරා නැති පාළුව නිසා විය යුතුය.

ජේෂ්ඨයන් වැර වෑයමෙන් කියා දෙන ශීල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන මෙලෙස කණ්ඩායම හැර යාම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවුනේ එවැනි විටෙක එවැනි පුද්ගලයන් හට දඩුවම් මාලාවකට මුහුණ දී කණ්ඩායමෙන් සමු ගැනීමට අවස්ථාව උදා කර තිබූ හෙයිනි. පවුලේ අවශ්‍යතාවක් වැනි ඉතා සාධාරණ දෙයකදී මේවා ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් කණ්ඩායමේ පැත්තක් සමබර කරන අත්‍යවශ්‍යම වාදන භාණ්ඩයක් වාදනය කරන තැනැත්තෙකු එලෙස හදිසියේ සමුගැනීම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඒ වෙනුවට ඊලගට පැමිණෙන සාමාජිකයා පරණ සාමාජිකයාගේ තත්වයට ගැනීමට සෑහෙන කාලයක් සහ වෙහෙසක් දැරිය යුතු වීම එයට හේතුවයි.

ඇතැම් දෙමාපියන් තම දරුවන් බෑන්ඩ් කණ්ඩායම සමග අව්වේ පිච්චෙනවාට කැමති නොවූ බව මම මෙයට පෙර ලිපියෙදිද කීවෙමි. නමුත් බොහෝ උන් දෙමාපියන්ගේ බස පසෙකලා දිගින් දිගටම පුහුණුවීම සදහා පැමිණියේ බෑන්ඩ් කාමරය තුල ඒ වන විටත් පුංචි පවුලක් ගොඩ නැගී තිබූ හෙයිනි. මේ පවුල තුල වූ වැඩිමහල් හා බාල සියල්ලෝ සහෝදරයන් මෙන් එකිනෙකා සමග ඉතාමත් සමීපව ආශ්‍රය කිරීම එයට එක් හේතුවකි.

බෑන්ඩ් කණ්ඩායමේ පුහුණුවීම් සදහා බාධා සහිත නිවෙසකින් පුහුණුවීම් සදහා පැමිණෙන අප සාමාජිකයන්ට බොහෝ විට දහවල් ආහාරය ලෙස භුක්ති විදීමට බත් ගෙඩියක් ලැබෙන්නේ නැත. මේ අපහසුතා දුරු කර ගැනීමට යොදා තිබූ උපක්‍රමය වූයේ කණ්ඩායම් ලෙස දිවා ආහාරය ලබා ගැනීමට සැළැස්වීමයි. ඒ අනුව සම වයසේ හෝ එකම වාදන භාණ්ඩයක් වාදනය කරන හෝ තූර්ය වාදක ඛණ්ඩය තුල ඉතා සමීපව සිටින මිතුරන් එක කණ්ඩායමකට අයත් වන සේ සාමාජිකයන් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම් කීපයක් සකසා ඒවාට නායකයන්ද පත් කර තිබිනි. උදෑසන ආහාරය සදහා විවේකය ලද විගසම නායකයා එදින තම කණ්ඩායම සතු බත්මුල් සංඛ්‍යාව පරීක්ෂා කර බලා එයින් කීයක් උදෑසන භාවිතයට ගන්නවාද ? කීයක් දිවා ආහාරය සදහා තබා ගන්නවාද යන තීරණය කරයි.

බත් මුල් එකින් එක සාමාජිකයෝ සියල්ලන්ගේම දායකත්වයෙන් හිස් වෙයි. විවිධ රස එක විටෙක රස බැලිය හැකි අවස්ථාවකි මේ. ඉතාමත් රසවත් බත්මුල් ගෙන එන උන් ලෙස කීප දෙනෙකු  ප්‍රසිද්ධියට පත්ව තිබූ බවක්ද මට මතකය.

බත්මුලක් ගෙන ඒමට අපොහොසත් වූ අයෙකු වේ නම් ඔහු සතුව ඇති මුදලකින් හෝ යමක් තම කණ්ඩායමේ බත්මුල් රැගෙන ආ සහෝදරයන්ට ලබා දීමට ඇතැම්හු ක්‍රියා කලෝය.

අපේ අවාසනාවටදෝ කිසි කෙනෙකු තම බත් කණ්ඩායම් වලට වද්දා ගැනීමට අකමැති වූ ඈෂ්ලියා අපට එක් වී සිටියේය. බත් මුලක් ලිහන විටෙක තම දකුණු අත ඒ තුලට ක්ෂණිකව දමා අල්ල පුරා හසුවන දෙයක් රැගෙන කටට දමා ගැනීම ඒකා සතුව තිබූ කැත පුරුද්දකි. සමහර දිනෙක බිත්තරය ඈෂ්ලියා අතේය. කෙතරම් කිව්වත් කුස ගින්න වැඩියෙන් දැනෙන විටෙක දුන් උපදෙස් මේකාට අමතක වෙයි. සමහර දිනක ඇෂ්ලියාගේ අල්ල පිරෙන්නේ බත් වලින් නොව මැල්ලුම් වලිනි.

මේකාගෙන් තම බිත්තරය රැක ගැනීමට බත් මුල් හිමිකරුවන් ඒවා වෙනම රැගෙන ඒමට හෝ බත් මුලේ විවිධ මුලු වල සැගවීමට පසුව ක්‍රියා කලෝය.

දිනක් දිවා ආහාරය ලබාගැනීම සදහා සැරයන් අවස්ථාව ලබා දෙන විට සවස 4 ට පමණ කිට්ටු වී තිබුනි. අප සතුව ඉතිරිව තිබූ බත් මුල් වලින් කීපයක්ම ඒ වන විටත් පිළුනු බවට පත් වී තිබුනත් කුසගින්න වැඩි කමට ඒවා ඉවත ලන්නට අපට සිත් නොවෙයි. ඒ නිසාම පිළුනු බත් කමින් බෑන්ඩ් ගැසූ දින කීපයක්ම අපට තිබූ බව මට මේ මොහොතේ සිහිපත් වෙයි. බැණ බැණ හෝ නිවෙසින් ලබාදෙන බත්ගෙඩිය අපගේ කුස ගින්න නිවා ගැනීමට තිබූ එකම මග විය. එවන් විටෙක කණ්ඩායමේ සියල්ලෝම එකා වන්ව පිළුනු බත් හෝ කුස පුරා අනුභව කොට වර්තමානයේ අප කණ්ඩායම තිබෙන තැනට තූර්ය වාදක ඛණ්ඩය ගෙන එ්මට ක්‍රියා කලා නේදෝයි සිතෙන විට හිත පුරා ඇතිවන්නේ සියුම් සතුටකි.

පිළුණු බත්මුලක් හෝ නොමැති දිනක ඇන්ටිගේ කඩේ යනුවෙන් එකල අප විසින් හදුන්වනු ලැබූ අප පාසල ආසන්නයේ පිහිටා තිබූ කුඩා ආපන ශාලාවකින් ගල් බනිස් රැගෙන භුක්ති විදීම අපගේ සිරිත විය. ගල් බනිසක් කෑ පසු දවසක් ගත කිරීම ඉතා පහසුය. අවශ්‍ය වන්නේ වරින් වර බනිසය කුස තුල පොගවා දමන්නට ජලය පානය කිරීම පමණි.

කඩේ ඇන්ටිගේ කඩයේ කැෂියර් මේසයේ සමහර දාක හිදගෙන සිටියේ ඇගේ තරුණ දියණියයි. තුරුණු රූ සපුවෙන් පිරිපුන් ඇය දැකගැනීමත් ඇතැම් දිනෙක අපගේ පරමාර්ථය විය. කඩෙන් කන්නට උවමනාවක් නැති වූවන්ද මේ තරුණිය දැක ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කඩයට ගොඩවැදුනු අතර එයින් ඇන්ටිට පාඩුවක් නොවුනේ ඒ එන උන් ජාමෙ බේරාගැනීමට අවම තරමින් ප්ලේන්ටියකට හෝ වග කියූ හෙයිනි. අපේ අවාසනාව ඉතාමත් වැඩි දිනෙක මේ කියන කඩයේ ගල් බනිස්ද අහවර වෙයි. එවැනි දිනයක අපගේ කුසගිනි නිව්වේ නාරං කැවුම් නම් රසකැවිල්ලකි. එය ඉතාම රසවත් විය. නාරාං කැවුමක් දෙකක් කුසට බස්සා අලියා බාර්ලි බෝතලයක් පිරිස හවුලේ පානය කල පසු බඩ පණුවෝ අතුරුදහන් වූහ.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

අපේ බණ්ඩයියා වර්තමානය වන විට නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ ඉදිරි පෙලේ පුරුකකි. ලීඩ් /බොක්ස්/ බේස් යන ගිටාර් වර්ග ඉතාමත් දක්ෂ අන්දමින් වාදනය කරන ඔහු මගින් තම දරුවන්ට ගිටාර් වාදනය ඉගැන්වීමට ලංකාවේ ප්‍රමුඛ පෙලේ දේශපාලන නායකයන්ද කටයුතු කොට තිබේ. හෙතෙම අතීතයේ විවේකයක් ලැබෙන විටෙක නිතරම ගිටාරයෙන් වාදනය කලේ හොටෙල් කැලිෆෝනියා ගීතය බව මට මේ අවස්ථාවේ සිහිපත් වෙයි.

දුන්න සහ ඊතලය අතරින් ඊතලය පසු කාලයක ඉංජිනේරුවෙකු බවට පත් වූ අතර දුන්න ජර්මානු කාර්මික විද්‍යාලය හරහා කාර්මික ක්ෂේත්‍රයට පා තැබීය. මේ දෙදෙනා මා හට දැනට වසර 15 කට මෙහායින් හමු වී නැත. 

උදාර අයියා කාලයක් ගුවන් හමුදාව නියෝජනය කොට පසුව එයින් ඉවත් වූවේය.  වර්තමානයේ ලංකාවේ ජනප්‍රිය පුවත්පතක සේවය කරයි. ඉදහිට දිනක සිරාගේ කාමරයටද එබිකම් කොරයි.

ඇන්ටිගේ කඩේ අද එතැන නැත. මා අවසන් වරට දකින විට එතැන තිබුනේ වාහන කුෂන් වැඩපලකි.

Thursday, April 17, 2014

58 ගිණි අව්වෙන් මතුවුන සහෝදරත්වය

සිරාගේ තූර්ය වාදක ජීවිතය ගැන මෑතකදී යමක් ලියවුනේ නැත. සිරාගේ කාමරයට පැමිණෙන ඇතමෙක් ඒ වර්ගයේ කථා කියවන්නට මහත් අභිරුචියෙන් සිටින වග ඔවුන් නොයෙක් වර මවෙත එවා තිබෙන අදහස් නිසාම මම දනිමි. ඒ අතර කාන්තා පිරිමි භේදයක් නැත. මේ අයගෙන් බහුතරයක් තම පාසල් කාලය තුල බෑන්ඩ් කෙරුවාවේ රහ බැලූ  උන් වෙති.

සිරා කොලුවා වන මම 9 පන්තියේදී බෑන්ඩ් ගැහිල්ලට එකතු වන කාලයේ කණ්ඩායමේ ජේෂ්ඨ සිසුන් අතර වැඩිපුර සිටියේ මරුමුස් පෙනුමෙන් යුතු අයයි. මේ අයගේ දේහදාරී සිරුරු සහ කළාතුරකින් සිනහාවන මුහුණු දුටු වනම අපේ සිත් තුල භීතියක් ඇති කලත් බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයකු වීමේ සිහිනය නිසාම බොහෝ උන් මෙන්ම මමද ඒ කාරණා පිළිබද එතරම් නොතැකුවෙමි. මක්නිසාද තනි ඒකකයක් ලෙස තිබෙනා බෑන්ඩ් කණ්ඩායමේ  සාමාජිකයකුට යම් අතුරු උපද්‍රවයක් ආ කලෙක සෙසු සාමාජිකයන්ගේ සහාය නිරතුරුව ලැබුන හෙයිනි.

බොහෝ විට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් ගනන 25 ක් වුවත් ඊට වැඩියෙන් පිරිස පුහුණු වීම නිරතුරුව සිදුවුනි. අවශ්‍යතාව අනුව යොදා ගැනීමට පුද්ගලයන් අනුව හොද තේරීමක් කිරීමට ඉන් වටිනා ඉඩ කඩක් ලැබෙයි. සාමාන්‍යයෙන් පාසලේ 9 කැලෑසියේ සිට ඉහළට මේ පිරිස සමන්විත වෙයි. ඕනෑම අයෙකුට බෑන්ඩ් කෙරුවාව සදහා එකතුවීමට ඉඩ ඇතත් පුහුණුවීම් වලදී මේ හාදයා නම් මකලාවත් හදන්න බෑ යයි බෑන්ඩ් කෙරුවාවේ නිරත ලොකු අයියලාට සහ අදාළ ගුරු භවතුන්ට සිතුනොත් ඒ අයගේ කාලය වෙන කාරියක් සදහා යොදා ගන්නා ලෙස පුද්ගලිකව පවසයි. නමුත් සංගීතයට හෝ කණ්ඩායමක් ලෙස කෙරෙනා මේ ක්‍රියාන්විතයට පෙම් බදිනා උන් යන්න කීවත් යන්නේ නැත. ඔවුන් පණිවිඩකරුවන්, ලිපි සම්පාදනය කරන්නන්, සහායකයින් ලෙස හෝ තූර්ය වාදක ඛණ්ඩයට වක්‍රව සහාය දෙන්නට මනාපය. අපේ කණ්ඩායමේ කාලයක් සිටි මපටා නම් එකෙකුද මේ ඝනයට අයත්ය. ඒකාට නිසි පරිදි ගමනේ යාමට දිගු කාලයක් පුහුණුවීමෙන් පසු හෝ නොහැකි වූ නිසා මේ කියන පණිවුඩ කරුවන්ගේ ලැයිස්තුවට සිය කැමැත්තෙන්ම එකතු විය. ඇතමෙකු උත්පත්තියෙන්ම සංගීතය, තාලය වැනි දෑ පවත්වාගෙන යාමට ආධාර වන හැකියාවන් ගෙන එන්නේ නැත. එවැනි අය කොපමණ පුහුණුකලත් ගොඩගන්නට නොහැක.

බ්‍රහස්පතින්දා දිනය ඈත අතීතයේ සිටම කණ්ඩායමේ පුහුණුවීම් සදහා යොදාගත් දිනයයි. වසරේ මුල ඇති කාර්යබහුල සමය නිම වූ පසු පුහුණුවීම් එතරම් පීඩාකාරී නැත. උදෑසන නිවෙසින් එද්දී මව්තුමිය ලබාදෙන බත්මුල පන්ති කාමරයේ සිටම අනුභව කර ක්‍රීඩාගාරයේ උඩුමහලේ ඇති බෑන්ඩ් කාමරයට යාම එකල මගේ සිරිතයි. බත්මුලට මා සමගම වග කියන්නට අයිය බඩා සහ කිඩාද බොහෝ විට වූහ. ඔව්හුද මා මෙන්ම බත්මුල් රැගෙන බ්‍රහස්පතින්දා දිනට පාසල් ආවෝ වෙති. ඒ දිනවල රන්ටැඹේ කදවුර සදහා සහභාගි වන්නට අප සුදුසුකම් සපුරා නොසිටි හෙයින් වසරකදී අපට වාදනය කරන්නට ලැබෙන ප්‍රධානම උත්සව දෙකක් විය.

ඉන් පළමු වැන්න ජනවාරි මාසයේ පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. දෙවැන්න නිදහස් සැමරුම් උත්සවයයි. නොවැම්බර් අග භාගයේ දැහැමෙන් සෙමින් ආරම්භ වන මේ පුහුණුවීම් දෙසැම්බර් මාසය මෙන්ම සමස්ත ජනවාරි මාසය පුරාද එක සීරුවට ක්‍රියාත්මක වෙයි. පෙබරවාරි 4 වෙනිදායින් පසු පුහුණුව අවසන් වන අතර එතැන් සිට පන්ති කාමරයේ අධ්‍යාපනය ලැබීමට අපට හැකි වෙයි.

2001 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අපේ නියෝජනය


හමුදා ඛණ්ඩයක මෙන් දැඩි විනයක් තිබූ මේ ඒකකයේ පුහුණුව දුෂ්කර එකකි. උදෑසන සිට සැන්දෑ භාගය වන තුරාම ගිණි අව්වේ පුහුණුවීම් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. දිවා ආහාරයෙන් පසු ලැබෙන විනාඩි 10 ක 15 ක කාලය හැරෙන්නට වෙනත් විවේක කාල නැත. පැයකට දෙකකට වරක් ජලය පානය සදහා විනාඩි 5 ක පමණ කාලයක් ලැබෙයි.

මේ පුහුණුවීම් බොහෝ විට ඛණ්ඩයේ සැරයන් විසින් සිදුකලත් ඇතැම් විටෙක ඔහුට පෙර කණ්ඩායම නියෝජනය කල පැරණි නායකයන්ගේ සහායද ලැබෙයි. මේ අය බහුතරයක් වැරැද්දක් දුටු සැනින් කුපිත වන අය වූ නිසාම එකල අපට දඩුවම් වලින් නම් කිසිදු අඩුවක් තිබුනේ නැත.

මේ කියන දඩුවම් අතර වැඩිපුර තිබුනේ කෝඩ්රෝල් ගැසීම සහ ඩිප්ස් ගැසීමයි. ඉදහිට දිනක පුක පැත්තට රීප්ප පටියකින් එකක් දෙකක් වදියි. ඒ කිසිදු පහරක තිබුනේ පලිගැනීමේ චේතනාවක් නොව කණ්ඩායමට අවැසි හොද සාමාජියකයකු බිහිකරමි යන සිතුවිල්ලම බව මට සිතෙයි. එදා අපට එලෙස දඩුවම් කල අපේ ලොකු අයියලා සමග අද අපි එකට කරේ අතදාගෙන ඉන්නේ ඒ නිසාවෙනි. එකතැන බිමට පහත් වී තම දෑත පොළව මත තබා ඒ මත හිස සිටින සේ තබා හිසට ඉහළින් දෙපා යන සේ කරණමක් ගැසීම සහ මේ ක්‍රියාදාමය අඛණ්ඩව සිදු කරමින් ඉදිරියට යාම කෝඩ්රෝල් ගැසීම නම් දඩුවමේ ස්වභාවය ලෙස කෙටියෙන් හදුන්වා දෙන්නට හැකිය.

ගහපල්ලා කොණටම කෝඩ්රෝල්....අපේ පාසලේ ක්‍රීඩා පිටිය විශාල එකක් වූ නිසා කෙළවරටම කෝඩ්රෝල් ගැසීම ලෙහෙසි පහසු නැත. ඇරත් කණ්ඩායමට අලුතින්ම පැමිණි එකෙක් වේ නම් ඒකාට කෝඩ්රෝල් ගහන්නේ කෙසේදැයි කියාදීමටද සිදු වේ. ඇතමෙකු පළමු අවස්ථාවේදීම එහි තාක්ෂණය වටහා ගත්තත් ඇතමෙකු එය වටහාගන්නේ මද කාලයක් ඇවෑමෙනි. තාක්ෂණය නියමාකාර ලෙස නොතිබුනොත් බොරළු සහිත පොළවේ කෝඩ්රෝල් ගැසීමේදී  පිටකොන්දේ ගල් ඇනීමෙන් චිත්ත සන්තානය පිනා යන මිහිරක් විදගත හැකි වනු ඇත. නමුත් කෝඩ්රොල් ඇගට පත්තියන් වූ පසු විදුලි වේගයෙන් ඒ කාරියේ නිරත විය හැක.



දැඩි හිරු රශ්මියත්, අඛණ්ඩව සිදුවන පුහුණුවත්, වැරදි උදෙසා ලැබෙන දඩුවම් ආදියත් සළකා බැලූ විට අපේ පුහුණුව යුධ හමුදා පුහුණුවකට ආසන්නය. අවි පුහුණුව පමණක් ඊට අයත් නැත. කණ්ඩායමේ සියල්ලන්ම එක පවුලේ සහෝදරයන් මෙන් සහයෝගයෙන් යුතුව කටයුතු නොකලොත් කිසි දිනෙක සාර්ථක තූර්ය වාදක ඛණ්ඩයක් ගොඩ නැගීමට සිදු නොවේ. එය එතරම්ම වෙහෙසකාරී ක්‍රියාදාමයකි.

බෑන්ඩ් කණ්ඩායමේ නායකයා සැරයන් ලෙස හැදින්වූ අතර දෙවැනියා සීනියර් කෝප්‍රල් යන නමින් හැදින්වෙයි. සාමාන්‍යයෙන් මෙවැනි තනතුරු නාම වලින් මේ කියන චරිත හැදින්වෙන්නේ ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙස ලියාපදිංචියෙන් පසු වුවත් අප ඊට පෙර සිටම එලෙස යොදාගත්තේ බෑන්ඩ් උණ අප ගත දවමින් තිබූ හෙයිනි.

සාමාන්‍යයෙන් කණ්ඩායමේ නායකයාට පසු සිටින ඉහළම ජේෂ්ඨයන් 5 දෙනෙකු පමණ විවිධ කාර්යයන් සදහා නායකයාට නිරතුරුව තම සහාය ලබා දෙයි. එමගින් සැරයන් නිලයේ කටයුතු කරන තැනැත්තාගේ කටයුතු තවත් පහසු වෙයි. පහුණුවීම් කරන විට ඇති වන අභියෝග...පුහුණුවීමට නොපැමිණෙන අයවලුන් ගෙන ඒම, ආහාර සම්පාදනය වැනි කටයුතුද බොහෝ විට ඒ අය මගින් ඉටු වෙයි. නමුත් පුහුණුවීම් අතර තුර ඒ අයගෙන් හෝ වැරැද්දක් සිදු වුනොත් දඩුවමක් ලබා දීමට නායකයා පසුබට නොවේ. කණ්ඩායමේ සමානාත්මතාව ඉහළින්ම තිබූ අතර...25 ම එකෙක් යන අදහස අපේ සිත් වල කාවැදී තිබුනි.

ඒ නිසාම සරඹ පුහුණුවේ නිරතව සිටියදී එක් අයෙකු වැරැද්දක් කලද සමස්ත කණ්ඩායමටම දඩුවම් හිමිවේ. මක්නිසාද තරගයකට ගිය අවස්ථාවකදී එක් අයෙකු කරන වැරැද්දක් සමස්ත කණ්ඩායමේම ලකුණු සංඛ්‍යාව පහල දැමීමට හේතු වන බැවිනි.

ඛණ්ඩයේ සැරයන්ගේ අණ පරිදි ගමනේ යාම වමට, දකුණට, ආපසු හැරීම ආදිය සිදු කෙරෙමින් පවතින විටක පියවර වැරදීම...වමට හැරෙන්නට කියූ කල දකුණට හැරීම ආදී සුලභ වැරදි සිදුවෙයි. එවන් විටක ගමනේ යෙදෙන කණ්ඩායම තුල සිටම අදාළ අයවලුන් නිවැරදි කරන්නට පහරක් දෙකක් ගසන්නට ජේෂ්ඨයන් පසුබට නොවේ.

මුල් කාලයේ බෑන්ඩ් පුහුණුව මේ මොන කරුමයක්දැයි කියා සිතුනත්...විවිධ වයස් කාණ්ඩයන්ගෙන් නියෝජනය වන එහි සහෝදරත්වය දළුලා වැඩුනු පසු පෙර කියූ අපහසුතාවන් ඉවසා දිගින් දිගටම පුහුණුවීම් වල යෙදෙන්නට අවැසි චිත්ත ශක්තිය ලැබේ.

ප්‍රධාන පෙලේ උත්සව ආදියට සහභාගි වීමට අවස්ථාව එළැඹුන කල බොහෝ විට අපට සිටින්නට සිදුවන්නේ අව් රශ්මිය විදිමිනි. එවන් අවස්ථාවක එකෙකු හෝ ක්ලාන්ත වී බිම ඇද වැටුනොත් එය සමස්ත කණ්ඩායමේම නාමයට මෙන්ම පාසලේ නාමයටද කැළලක් ලෙස අප එකල සැලකුවෙමු. ඒ නිසාම සියලුම සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනවින් පවත්වාගැනීමට සෑම උදෑසනකම සෑහෙන දුරක් දිවීමෙන් පටන් ගෙන ශාරීරික අභ්‍යාස රාශියක් සිදුකිරීමෙන් අනතුරුව අවසන් වන ක්‍රමවේදයක් එකල අප අනුගමනය කළෙමු. ඒ හේතුවෙන්ම එකල වරින් වර අව්වේ සිටීමෙන් ක්ලාන්ත වන එකෙකු දෙන්නෙකු නැවත කිසි දිනෙක එලෙස නොවන පරිදි සුව වීමට වරම් ලදහ. එදා කල කී දේ නිසාම කිසිදු ශාරීරික අභ්‍යාසයක යෙදෙන්නේ නැති සිරා කොලුවා තඩි බඩක් ඔසවාගෙන  තවමත් හොද නිරෝගී සුවයෙන් පසුවන්නේය.

දිනපතා පුහුණුවීම් ආරම්භ වී පළමු සතිය හමාර වන අවස්ථාව වන විට අපගේ මුහුණත් තහඩු අදුරු වර්ණයකට පත් වන අතර බෙල්ලේ සටහන් වන ටී ෂර්ට් කොලරයේ හැඩයට පහළ ඇත්තේ කැපීපෙනෙන සුදු පැහැයකි. තමාගේ දරුවා මෙලෙස ගිණි කාෂ්ඨක අව්වේ පිච්චෙන ආකාරය දුටු පසු ඇතැම් මවක, පියෙකු තම දරුවාට මෙයින් ඉවත් වන ලෙස තර්ජනය කලත් සහෝදරත්වයේ හැගීම නිසාම ඔවුන් නිවෙසින් කෙතරම් බාධා පැමිණියත් බෑන්ඩ් කෙරුවාවේ දිගින් දිගටම නිරත වෙයි. ගෙදරින් ලබාදෙන මුදලේ සිට සියලුම දේ කපාහරින්නට එවන් විටෙක දෙමාපියන් පසුබට නොවෙයි. අඩුම තරමේ බත් මුලක් හෝ ලබා නොදෙයි.

නමුත් තම දරුවා කණ්ඩායමක් ලෙස එකතු වී කරනා මෙවැනි පුහුණුවීමකට තම හදවතින්ම ආශිර්වාද කරනා දෙමාපියන්ද නැත්තේ නොවේ...අපේ කණ්ඩායමේ සිටි යර්ස් මලයාගේ මව්තුමිය එවැනි තැනැත්තියකි. ඔහුගේ පියා නාවික හමුදාවේ නිලධාරියකුව සිටි කෙනෙක් නිසාදෝ බත් මුලක් ගෙනෙන්නට හැකියාවක් නැති අයගේ කුසගින්නත් නිවා දැමිය හැකි වන සේ සිමෙන්ති කොට්ටයක් වැනි අති විශාල බත් මුලක් සැමදාම තම පුත්‍රයාට සකසා දීමට තරම් එතුමිය කාරුණික වූවාය. යර්සාගේ බත් මුල අතිශයින් රසවත් එකක් වූ නිසාම ඒකා සමග බත් කන්නට ඇතැමුන් පොර කෑහ.

විවිධ පන්ති වලින් පැමින බෑන්ඩ් කාමරයේ වහළය යට සම්මුඛ වන විවිධ වයස් වල සහෝදරයන් පළමු සතියෙන් පසු එකිනෙකා හදුනාගෙන කාලාන්තරයක් පවතින ශක්තිමත් මිතුරුදමකට අඩිතාලම දැමීම බෑන්ඩ් ජීවිතයේ සිදුවන වටිනාම ක්‍රියාවකි. වර්තමානයේ මගේම සහෝදරයන් ලෙස මා සමග දුක සතුට බෙදාගන්නට සිටින අති මහත් බහුතරය මගේ තූර්ය වාදක ඛණ්ඩ මිතුරන් වෙති.

අප එකල අපේ රූපය ගැන නොසිතුවෙමු. ගිණි අව්වට හසුවීමෙන් එළිය අඩු වූ අපේ මුහුණු ගැන විස්සෝප නොවුනෙමු.  පාසලේ කීර්තිනාමය තවත් අගලකින් හරි ඉහළට ඔසවන්නටත්, අපට නොහැකි වුවත් අපෙන් පසුව එන අයට හෝ රන්ටැඹේ ශිෂ්‍යභට කදවුරට සහභාගි වීම උදෙසා ශිෂ්‍යභට කණ්ඩයක් ලෙස අපගේ තූර්ය වාදක ඛණ්ඩය ලියාපදිංචි කිරීමේ සිහිනයත් එවකට අප දකිමින් සිටියෙමු.

තූර්ය වාදක ඛණ්ඩයේ ජේෂ්ඨයන් පුහුණුවීම් අතර තුර රෞද්‍ර පෙනුමක් ගත්තද සාමාන්‍ය ජීවිතයේදී හොද වැඩිමහල් සහෝදරයන් පිරිසක් බව අපට ඒත්තු යන්නට වැඩි කාලයක් වැය කරන්නට අවැසි නොවීය. ඒ අයගේම වයසේ වුවත් කණ්ඩායමට බැදුනේ පමාවීමෙන් නිසා ජේෂ්ඨත්වයක් නොමැති පිරිසක්ද තූර්ය වාදක ඛණ්ඩයේ වූහ. ඒ ඇත්තෝද අප සමග කෙදිරියකින් තොරව ජේෂ්ඨයන් ලබාදෙන දඩුවම් වින්දේ 25 ම එකෙකි යන කියමන සනාථ කරමිනි.

ඒ අය අතරින් බණ්ඩා / කව්වා / මොංගලයා / රැක පුලියා/ දුන්න සහ ඊතලය නම් යුවල, මගේ මතකයට නිරායාසව පැමිණෙයි. මොව්හු වූ කලී ඉතාම සුන්දර මිනිසුන්ය. පුහුණුවීමේදී අප මුහුණ දුන් කටුක තත්වයන් මේ අයගේ විහිලු තහලු නිසාවෙන්ම තුනී වී ගියහ.

කව්වා වනාහී අඩි 6 කට වඩා උසැති සිහින් සිරුරකට හිමිකම් කියූ කෙනෙකි. මදක් ඉදිරියට නෙරා පැමිණි ඔහුගේ ඉදිරි දත් තරමක විසුලු පෙනුමක් ඔහුට දායාද කලද කණ්ඩායමේ පිට කොන්ද වැනි බේස් ඩ්‍රම් එකට තැලීම බාරගෙන සිටීම නිසා කාගේත් සැලකීමට භාජනය වූ චරිතයකි.

රුදුරු හිරු රැස් වල පහස විදිමින් පුහුණුවීම් වල යෙදෙනා තම සහෝරයන් දකිනා පාසලේ ඇතැම් ශිෂ්‍යයන් අප වෙත පැමිණෙන්නේ අයිස් පලමක් , කඩල ගොට්ටක් , අඹ ගෙඩියක් , අන්නාසි කෑල්ලක් , අච්චාරු අහුරක්  යනාදියෙන් සන්නද්ද වූ පසුවය. මේ අය අතර ඇතැම් විටෙක 6 හෝ 7 පන්ති වල පුංචි බැච්චන්ද සිටි බව මට මතකය. අපගේ පාසල  5 සිස්සත්වයෙන් සමත් වූවන් පමණක් ඇතුලත් වන එකක් හෙයින් එහි පන්ති පටන් ගන්නේ 6 වසරේ සිටය.

25 ම එකෙකු නිසා පොඩි උන් ලබාදෙන වෙරළු ගෙඩියද සියල්ලෝම සමානව භුක්ති විදිය යුතුය. එය අප අතර සහජීවනය සහ සහෝදරත්වය ඇතිකල බැම්ම විය. මට මතක පරිදි වරක් කිසිවෙකු හෝ අපට ටොෆියක් පරිත්‍යාග කර තිබිනි. එය 25 දෙනෙකු දැන් බෙදාගත යුතුය.

සැරයන් දකුණෙන් පෙළ සකසා (දකුණෙන් පෙළ සදනවා යනු උසේ පිළිවෙලට දකුණේ සිට වමට සාමාජිකයන් පේළියට රැදවීමයි) මුල සිට අගට ටොෆිය අතින් අත යැව්වේ මෙයින් කුඩා කොටසක් හෝ නොකෑ එකාට දඩුවම් කරන බවට ගුගරවමිනි. එක පවුලක සහෝදරයන් මෙන් අප සිටි නිසා තවකෙකුගේ කෙළ ගෑවුන තැනින් ටොෆියේ කැබැල්ලක් කඩා ගැනීම අපට අප්පිරියාවක් ඇති කලේ නැත.

එහෙත් කුඩා අන්නාසි කැබැල්ලක් දෙකක් වැනි බෙදාගැනීමට අසීරු දෙයක් ලැබුන විටෙක සැරයන් ගන්නේ වෙනත් පියවරකි.

අන්නාසි කෑලි දෙකක් තියෙනවා...ඉස්සෙල්ලාම එන උන් දෙන්නට මේක...කට්ටියම පේලියට ඉදලා හැරෙන්න අනිත් පැත්ත....තාප්පෙ අල්ලලා එන්න......

කණ්ඩායම පේලියට සිටුවා ආපසු හරවා ඈත අන්තයේ පෙනෙන තාප්පය අල්ලා ඉක්මනින්ම දිව එන පළමු දෙදෙනාට අන්නාසි කැබැලි දෙකට වග කිව හැක. දැන් ඇත්තේ ධාවනයේ වේගය මත ප්‍රතිලාභ හිමිවන අවස්ථාවකි. පිරිස ධාවනයට සූදානමින් අදාළ ඉරියව්වට පැමිණි විටෙක ඒ සදහා අණ දෙන්නේද සැරයන් විසිනි.

සිරා කොලුවා ඒ කාලයේ සිටම ධාවනයට දක්ෂ එකෙකි. මට වඩා වසර දෙක තුන වැඩිමලුන් කණ්ඩායමේ සිටියද ඒ අතර වේගවත්ම එකා වූයේ මමය. අන්නාසි කැබැලි එපා යයි මේ තරගයට සහභාගි නොවී පසෙකට වීමට අවස්ථාව තිබුනද කිසිවෙකු එසේ කරන්නේ නැත.

මෙවන් විටෙක ජේෂ්ඨයන් හැම විටම මගේ ධාවනය අඩපණ කරන්නට මාන බලන්නේ විහිලුවට උවත් එය මැඩපවත්වා ගනිමින් ධාවනයේ යෙදෙන්නට මම සමත් වීමි.

ඉතා දිගු කකුල් සහිත කව්වා මගේ ප්‍රධානම හතුරායි. තම කකුල් පොළවේ තබා පසුපසට ගෙන එන විට පොළවේ ඇති වැලි පිටුපසට පැමිණෙන ලෙස ඒ කාරිය කරන්නට හෙතෙම සමත්ය. එවන් විටෙක පිටුපසින් එන  එකාට වැලි බාධාවක් වෙයි.

පැන පැන යන හාවෙකු මෙන් අමුතුම ආකාරයේ ධාවනයක නිරත වන කව්වා දෙස බලා සිටීම ප්‍රියජනක වුවත් එසේ කරන්නට වෙලාවක් නැත. අන්නාසි කැබැල්ලක රස බැලීම ඊට වඩා වටින්නේය. සැරයන් තම වචනය වෙනස් නොකරන්නෙකි. කියූ පරිදිම පළමු ස්ථාන දෙකට අන්නාසි කැබලි දෙක ලැබෙයි. අනිත් උන් සෙමෙන් සෙමෙන් පැමිණ පිටියේ විවිධ තැන් වල වැටී හති අරියි.

කණ්ඩායමට පැමිණෙන ඇතැම් සහෝදරයෙක් අතිශයින් සබකෝලයෙන් යුතු වූවන් වෙති. පවුල් පසුබිම එයට ප්‍රධානම හේතුවයි. එවන් විටෙක ඒකාගේ සබකෝලය නැති කරන්නට අප යොදාගන්නේ සරළ ක්‍රමයකි. කණ්ඩායමේ 25 දෙනාම එදිනට නියමිත පුහුණුව නිමකර නිවෙස් කරා යන්නට පෙර ඒ සියල්ලන් ඉදිරියේ නවක සාමාජිකයකු ලෙස ගීතයක් හෝ කථාවක් පැවැත්වීමට නියම කිරීම ඒ ක්‍රමයයි. එය ඇරඹෙන්නේ තම පවුලේ තොරතුරු, දෙමාපියන්, සහෝදරයන් පිළිබද තොරතුරු ආදිය සැලකිරීමෙන් අනතුරුවයි. නවක සාමාජිකයා කුමන වසරක අධ්‍යාපනය ලැබුවත්,

උඹට බඩු කෑල්ලක් ඉන්නවාදැයි අසන්නටත් අප අමතක නොකළෙමු. එවන් විටෙක එවැනි සම්බන්ධයක් තියෙන උන් එයද නොසගවා හෙලි කරයි. ඒ බොහෝ ඇත්තියන් අප පාසල වටා පිහිටා ඇති කාන්තා පාසල් තුනෙන් එකකට අයත් වූහ.

මෙවැන් රසවත් අවස්ථාවන් පසුකරමින් කණ්ඩායමේ පුහුණුවීම් දිනෙන් දින ප්‍රගතිය කරා යන විටෙක සෑම කෙනෙකුටම තමාගේ හොදම මිතුරෙක් කණ්ඩායම තුලින් හමුවෙයි. එතැන් සිට ඒ ඇත්තන් කුමන කාරිය කලත් සිටින්නේ එකටමය. දඩුවමක් දුන්නත් එය නිම කරන්නේද එකටමය. බොහෝ විට ඒ සමවයසේ උන් හෝ එකම වාදන භාණ්ඩයක් වාදනය කරනා අයවලුන් වූහ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

මැලේසියාවේ මා සේවය කරන කාර්යාලය පිහිටා ඇත්තේ උස් ගොඩනැගිල්ලක 10 වන මහලේය. එහි දිවා ආහාරය භුක්ති විදීමට වෙන් කර  ඇති කාමරයට වැදී දිවා ආහාරය භුක්ති විදිනා සෑම දිනකම වීදුරු කවුළු අතරින් ඈතින් පෙනෙන කාන්තා පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක සූදානම මගේ නෙත ගැටෙයි. මුස්ලිම් යුවතියන් තම  හිස් රෙදිකඩකින් වසාගෙන ගමනේ යන්නට පුරුදු වෙයි. ඒ දෙසා බලා සිටිමින් ආහාර භුක්ති විදිනා මට මගේ අතීතයද නිරායාසයෙන් සිහිපත් වෙයි. අද ලිපිය ඒ මතකයෙන් කොටසකි.

සිරාගේ තූර්ය වාදක ජීවිතයේ රසමුසු තැන් ඉදිරියේදිත් බලාපොරොත්තු වන්න. මීට පෙර මේ ලේබලයෙන් ලියූ ලිපි මෙතැනින් කියවන්න.
Related Posts Plugin for WordPress, Blogger...