සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් ලෙස කලක් බොක්කට බඩවැල සේ ආශ්‍රය කල නගා කොලුවා ගැන සිරාගේ කාමරයට එන යන බොලා දැන් හොඳින් දනියි. ඒ කාලයේ එ්කාට සිදු වූ සාටර් ක්‍රියා බොහොමයක් මවිසින් මෙහි අකුරු කොට තිබේ. මගේ වාසනාවකටදෝ නගා කොලුවා සිරාගේ කාමරය ගැන හාංකවිසියක් වත් දන්නේ නැත. ඒ නිසාම තවමත් අතුරු උපද්‍රවයකින් තොරව නගා කොලූගේ ඇඳිවතේ ඉතිරියත් ගලවා දමන්නට මා හට හැකියාව තිබේ.
සිරා කොලුවාගේ පාඩම් නඩයේ එකතුව 4 කි. වනිගයා, පුෂ්පයා සහ නගා එ් කණ්ඩායමේ සිටි බව පන්සලේ පාඩම් කල ඉතිහාසය ගැන ලියූ අවදියේද මම සඳහන් කර ඇත්තෙමි. අපි අතිරේක පන්ති, පාසලේ ක්‍රියාකාරකම් වලින් පසුව පාඩම් කරන්නට හැන්දෑ කොරේ පන්සල් ගියේ පා පැදි හෙවත් පුටාරා වලිනි. අපි සියලු දෙනාගේම පා පැදි වල හරස් පොල්ල සාමාන්‍ය අන්දමට තිබුනත් නගා පැද්දේ කාන්තාවන් පදින ආකාරයේ හරස් පොල්ල නැති වර්ගයේ පා පැදියකි. නගාගේ කෝල කොමල අංග චලන සහ කථා බහත් සමග ඒ පා පැදිය ඒකාට කදිමෙට ගැලපුන බව ඒ කාලයේ අප කාගේත් අදහස විය.
ඇතැම් දිනයක පන්සලේ බණ මඩුවේ පැත්තක ගොඩ ගසා ඇති ඩෙස්ක් බංකු බාධක ලෙස සකසා අපි සියල්ලෝ ඒ අතර පැපැදි පැද්දෙමු. එසේ කරන්නේ අනිවාර්යෙන්ම නායක හිමියන් බැහැරක වැඩිය දවසකය. එවන් විටෙක නගාගේ පොල්ල නැති බයිසිකලය නිසාවෙන් ඒකා විඳි නවනිංගිරාව මෙතෙකැයි කියා නිම කල නොහැක. සියලුම අවඥාවන් සිනහවකින් දරාගෙන කෝප නොවී ඉන්නට නගා සුරුවිරුකම් පෑවේය.
පොල්ල නැති උනත් අපේ නගා තමාගේ බයිසිකලයට ආදරේය. ඒකාගේ නිවසේ සිට බස් මාර්ගයට සෑහෙන දුරකි. මේ දුර පයින් එනවා නම් කලින් දවසේ පාන්දරම උදෑසනට බුදින්නට බත් එකක් කාරිය ඔතාගෙන පැමිණිය යුතුය. මේ නිසාම බස් මාර්ගයට ආසන්නව නිවාස පිහිටි සිරා කොලුවාගේ හෝ පුෂ්පයාගේ නිවෙස් වල තම පා පැදිය තනිකොට දමා අතිරේක පන්ති වලට සහභාගි වීම නගා කොලුවගේ සිරිත වූවේය.
නගාගේ පියා අමුතුම කෙනෙකි. රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ඔහු ඇඟට පතට නොදැනී පොලියට මුදල් දෙන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. නගාගේ අයියා එකල සේවය කලේ ගම්පහ පොලිසියේය. අක්කාද රජයේ සේවිකාවකි. මේ කරුණු කාරණා හේතුවෙන් උපන් යම්කිසි අාත්ම අභිමානයක් තරමට වැඩි වූ නිසාදෝ වටේ පිටාවේ කිසිවෙක් නගාලා සමග එතරම් ඇයි හොදයියක් තිබුනේ නැත. ගමේ එකාලා සමග වැඩි පයුරු පාසානයක් තිබුනේ නැති නිසාම නගා උගේ අතිජාතයෝ ලෙස අප සමගම දිවි ගෙවූයේ අපෙන් ලද කුණු කථා කනකට වත් නොගෙනය.
මේ කියන දිනයත් සුපුරුදු ලෙස අතිරේක පන්තියකට සහභාගි වී නිවසට පැමිණි දිනයකි. එදා නගාගේ පොල්ල නැති පුටාරාව අපේ නිවසේ මිදුලේ ගසකට හේත්තු කොට ඒකා පන්ති ගොස් තිබූ නිසා අාපසු පැමිණියේ සිරා කොලුවා සමගිනි. ඊට කලින් දිනයක පන්තියට සහභාගි නොවීම නිසා අතපසු වූ සටහන් ලියා ගැනීමට මා හට නගාගේ අභ්‍යාස පොතක් අවශ්‍යව තිබුනි. මා පැමිණෙන ලෙස රැදී සිටින ලෙස පැවසුවත්...නගාගේ බඩේ ගින්දර ඉහ වහා ගොස් තිබූ නිසා ඒකා මා දමා තනිවම පොල්ල නැති බයිසිකලයට පණ දුන්නේය.
කකුල් දෙකටම කලිසම් ඇද සිටි මම ඒවායින් මිදී කොට ෂෝටකින් විළිවසාගෙන එකල මගේ ප්‍රියම්භිකාව වූ මගේ පුටාරාව මතට නැගී නගාගේ ඉසව්ව බලා පිම්මේ පෑගුවේ කෙසේ හෝ නගා පසු කර යන ඒකායන පැතුමක් මගේ චිත්ත සන්තානයේ ඉපදී තිබූ නිසාවෙනි.
අපේ නගා කොලුවාගේ නිවෙසට ගම මැදින් යන ප්‍රධාන මාර්ගයේ ගොස් කන්දක් සමග හමුවෙන හතර මං හන්දියකින් වමට හැරී යා යුතුය. මේ කන්ද දෙන්නා ඩබල් දමා යන විටක නම් පෑගීම උගහටය. ඒ නිසාම එතනින් බොහෝ බබල් කරුවන් තම දෙපා මතින් කන්ද තරණය කළෝය.
සිරා කොලුවා හැති දමමින් දැන් කන්දට ලං වෙමින් තිබේ. සාමාන්‍යයෙන් එතරම් ජනකායක් ගැවසෙන්නේ නැති මේ හන්දියේ ඈත සිටම විශාල ජනතාවක් රැඳී සිටින අන්දම මගේ යුගදෙනෙතට සම්මුඛ වූ හෙයින් කුමක් හෝ යමක් එතැන සිදුවන වග මගේ අක්මාවට දැනෙයි.
ගම්වැසියෝ කවයක් ආකාරයෙන් වටවී ඔවුන්ට ඉදිරියෙන් ඇති කැන්ටර් වර්ගයේ ටිපර් රථයක් දෙස බලා සිටියි. හන්දියේ සියලු මාර්ග අවහිර වන ලෙස කැන්ටරය නවතා ඒ ඉදිරියේ චණ්ඩියෙකුට රගපාමින් එකෙක් සිටියි. ඒ පුද්ගලයා මම කලින් දැක නොමැති නිසා ජාතකේ දන්නේ නැතිය. එහෙත් කැන්ටරයට යට වී පොඩි පට්ටම් වී තිබූ අපේ නගාගේ අසරණ පොල්ල නැති බයිසිකලය දුටු විගස මගේ ආවේගයන් මා තුල බුර බුරා නැගෙන බව යන්තමින් මෙන් දැනුනේය. මිත්‍ර සම්පත්තියේ නාමයෙන් මිට මොළවාගත් දකුණත සහිතව චණ්ඩියාගේ හකු පන්නන්නට සිරා කොලුවා වෑයමක් දරනු දුටු නගා නිසා හඳුනාගත් උන්ගෙ ගමේ රොෂාන් කොලුවා එසේ නොකරන ලෙස මා හට හස්ත සංඥා මගින් ඈත සිට දැනුම් දුන්නේය. ඒ පෙරළා මවෙත එල්ලවිය හැකි ප්‍රති ප්‍රහාරයන් නිසා විය යුතුය.
පොල්ල නැති බයිසිකලයේ පැමිණි නගාට කුමක් වීද ? නගාගේ බයිසිකලය මෙසේ දූෂණය කර මරා දැමුවේ ඇයි ? මෙවැනි ගැටලු මගේ චිත්ත සන්තානය වෙලාගෙන අවසානය. මේ ක්‍රියාව හමුවේ නගාගේ ගමේ ගම්වැසියන් විරෝධතාවක් නොදක්වා මුණිවත රකින අන්දම මා හට විශ්මයකි. අපේ ගම්මානයේ මෙවැනි යමක් වූවා නම් කැන්ටර් කරුවා අවසන් හුස්ම හෙළන්නේ ගමේ උන්ගෙන් බඩකට පුරා සැලකුම් ලැබීම නිසාවෙන් බව මට විශ්වාසය. නගාගේ පවුල සමග වට පිටාවේ උන්ගේ හිත් වල තිබූ විරසකය නිසාම මේ සිදුවීම දෙස ඔව්හු මහත් අභිරුචියෙන් බලාගෙන සිටිති.
නිතර දෙවේලේ නගාගේ ගෙදර බඩගෑම නිසාම මා හදුනන නගාගේ අසල්වැසි කාන්තාවක් මගේ කනට ඇගේ මුව ලං කර...
පුතේ ........තාත්තට කියන්න යනුවෙන් මා හට කීවාය.
ඒ සැනින් මම පුටාරාව රැගෙන නගාගේ නිවසට ගියෙමි. මා එහි යන විටත් හන්දියේ සිදුවන කලබලය පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නා නගා කොලුවාගේ පියා ඉරිදා ලංකාදීපය තම මුහුණ වැසෙන සේ අල්ලාගෙන කියවමින් සිටියේය.
මාමෙ...කෝ .........
ඇයි තවම පන්ති ඇරිලා ආවෙ නෑනෙ.
ඉන් ඉක්බිති හන්දියේ මා දුටු සිදුවීම් පෙළ නගාගේ පියාට කියන්නට පටන් ගත් විගසම පිය සෙනෙහස මේ යැයි කියමින් ඒ මහළු මිනිසා උඩුකයට ඇදුමක් හෝ නොමැතිව සරම් කොටය පිටින්ම හන්දියට දිව්වේ මිදුලේ තිබූ උදළු කෙටියද රැගෙන විලාප නගමිනි. එ් පසුපසින් සිරා කොලුවාද දැන් පිම්මේ දුවයි. පියාගේ විලාපය නිසා සභා තොමෝ ඒ මේ අත විසිර ගොස් එහි තරමක හිස් තැනක් නිර්මාණය වූයේ ක්ෂණයකිනි.
කෝ යකෝ මගෙ කොල්ලා....තෝ ඒකාට මොකද කලේ.. නගාගේ පියාගේ උදළු පහරකින් කැන්ටරයේ පැමිණි බීමත් චණ්ඩියා යටියන්තොට යන්නට ආසන්නය. මම වහා ඉදිරියට පැන උදලු මිටෙන් අල්ලාගෙන නගාගේ පියතුමා මිනී මැරුමකින් නිදහස් කරගත්තෙමි.
මට මගෙ කොල්ලා දීපන් යකෝ...මම තෝව තියන්නෙ නෑ. ඇගපතින් කුඩා වුවත් පුත්‍ර ස්නේහය නිසාම ඇතිවූ ධෛර්යයකින් නගාගේ පියා කෑ කෝ ගසයි.
ඇඟපතේ හොඳින් මස් පිඩු වැඩී තිබූ චණ්ඩියා අඩියක් ඉදිරියට පැමිණ,
තොට කොල්ලා නේද ඕනෙ...හිටහං කොල්ලව දෙන්න...
එසේ කියා ඔහු කැන්ටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවර කලේ විදුලි වේගයකිනි. මා ඇත්තටම සිතුවේ නගා කොලුවා අවසන් ගමන් ගොස් කැන්ටරයේ ඉදිරියේ සතපා ඇති බවකි. ඒ නිසාම මගේ හදවතද වේගයෙන් ගැහෙයි.
සිතාගත නොහැකි වේගයකින් රථය පණ ගන්වා ඉදිරියට පැදවූ ඔහු නගාගේ අසරණ පියා එයට යට කරන්නට ගත් සාහසික උත්සාහය මවිසින් වැලකුවේ වහා ඒ මහළු මිනිසා මාර්ගයේ පසෙකට තල්ලු කර දැමීමෙනි. ඒ පිම්ම නැවත රථය හරවාගත් චණ්ඩියා වේගයෙන් රථය පදවා නොපෙනී ගියේය.
එතෙක් වේලා කැන්ටරයට යට වී විලාප දුන් නගාගේ පොල්ල නැති බයිසිකලයේ දසුන හද කම්පා කරන එකකි. මේ බයිසිකලයට නගාගේ ඇති ආදරයත්...ගන්න අලයක් නොමැතිව දරණ ගසාගත් නයකු බඳුව ඒ මේ අත ඇඹරී ගොස් නැවත කිසිම දිනෙක භාවිතයට ගත නොහැකි පරිද්දෙන් බිම වැතිරී සිටි අන්දමත් දුටු විගස මගේ හදවතට මහා දුකක් දැනින.
සිද්ධිය සමනය වී මඳ වේලාවක් ගත වූ පසු ඒ ආසන්නයේ නිවෙසකින් නගා කොලුවා නිරුපද්‍රිතව අප ඉදිරියට පැමිණීම මහත් සොම්නසට කරුණක් විය. තම ජීවිතය බේරා ගැනීම පිළිබඳ මා හට අනේක ස්තූති කල නගාගේ පියතුමා ඒ සැනින් පොලිස් පොතට මේ පිළිබඳ පැමිණිල්ල එකතු කරන්නට පොලිසිය බලා ගියේය.
නගාගෙන් පසුව දැනගත් පරිදි එදා පන්තිය නිමවී නැවත නිවෙස් බලා යන විටෙක මාර්ගය අසල සිටි කැන්ටර් චණ්ඩියා පොඩියක් කථා කරන්නට අවැසි බව කියමින් නගා නවතාගෙන තිබේ. ඒ ඇසිල්ලේ ඒකා නගා වෙත එල්ල කල පහරක් නිසා නගා පුටාරාව අත හැර අසල නිවෙසකට දිව්වේ නැවත පැමිණ පොල්ල නැති බයිසිකලය රැගෙන නිවසට යන අටියෙන් වුවත් බීමතින් සිටි මෝඩ චණ්ඩියා හන්දිය මධ්‍යයට එය රැගෙන විත් තම රථයෙන් සාහසික ලෙස තලා දමා ඇත්තේ ඉන් පසුවයි.
මගේ මිත්තරයාගේ ගමේ නීති විරෝධී කසිප්පු ජාවාරම් කරුවෙකු වන මේ පුද්ගලයා ඊට සති කීපයකට ඉහතදී පොලෝසිය මගින් හදිසියේ කුදලාගෙන යන්නට ඔත්තුව දුන්නේ පොලිසියේ සේවය කරන නගාගේ අයියා බවට සැක කර තිබේ. මහ මහ තනි පංගලමේ අයියා අල්ලාගන්නට මාන බැලූවද ඒ කාරිය කොරගන්නට බැරි වූ තැන අයියාගේ මල්ලී වූ නගා කොලුවා නිරපරාදේ දංගෙඩියට බෙල්ල තැබුවේය.
පොල්ල නැති නගාගේ බයිසිකලය පොඩි කිරීම, මිනී මරන්නට තැත් කිරීම ආදී එකී නොකී චෝදනා රැසකට කැන්ටර් කරුවා පොලිසියේ අත්අඩංගුවට පත් වූවේය. මේ චණ්ඩියාගේ වැඩිමල් සහෝදරයා ඉහළ උගත් කමක් ඇති සාධාරණයට හිස නමන කෙනෙකි. උසාවියේදී මේ කාරණය ගොඩින් බේරාගන්නට දෙපාර්ශවයම කැමත්ත පල කලේ එහෙයින් විය යුතුය. නගාගේ පිය තුමාගේ දෙපා වැද උසාවියේදී සමාව ගැනීමටත්...විනාශ කල බයිසිකලය වෙනුවට නව බයිසිකලයක් ලබා දීමටත් විත්තිය පොරොන්දු වී තිබුනි.
පේනවනෙ උඹලා මට කෝචොක් කලාට...අපි ඩෝ...ඕනෙ ගේමකට රෙඩි පොරවල්...මට ගහන්න ආව වෙලේ මම දිව්වා උනාට...මගෙ බයිසිකලය චොප්ප උනාට...බලහං අන්තිමේදි කවුද බල්ලෙක් වගේ වැඳලා සමාව ගත්තෙ...ඌට ගමේ උනුත් දැන් කින්ඩියට කථා කරන්නෙ.
නඩුහබ අවසන් වී සතියක් ගිය තැන විත්තියෙන් ලැබුන අලුත්ම බයිසිකලයත් රැගෙන නගා අප හමුවන්නට පැමිණ කට කයිවාරු දොඩමින් සිටියි. විනාශ වූ පොල්ල නැති බයිසිකලය වෙනුවට මෙදා ඒකාට පොල්ල සහිත බයිසිකලයක් ලැබී තිබේ.
උඹට තිබුනෙ පොල්ල නැති එකක්නෙ බං...මේක පොල්ල තියෙන එකක්නෙ...මිනිහා පොරොන්දු උනේ ඒ වගේම එකක් අරන් දෙන්න නේද...
ඒක නං එහෙම තමයි...ඒත් බයිසිකලය දෙද්දි ඒකා කිව්වෙ ඒ බයිසිකල් මොඩ්ල් එකේ පොල්ල නැති බයිසිකල් කොහෙවත් දැන් ගන්න නෑ ඒ නිසා පොල්ල තියෙන එක ගෙනාවා කියලා. මටත් හොදයිනෙ බං ඉතිං...දැන්වත් තොපේ කුණු කටවල් වැහෙන්නෙ නැතෑ...අනිත් එක කලින් බයිසිකලේ ඉස්සරහා බ්‍රේක් වැඩ කලේම නෑ කොච්චර හැදුවත් හරියකට...ඒකට මේකෙ...නියමෙට වැඩ...
ඒ කියන්නෙ තොගෙ බයිසිකලේ පොඩි උන එකෙන් උඹට උනේ වාසියක්ද...මමත් වනිගයාත් පුෂ්පෙ කොලුවාත් එක්වරම මෙන් නගාගෙන් විමසුවෙමු.
නැත්තං යකෝ....දැන් අවුලක් නැතුව කෙල්ලෙක් කාරිය දාගෙන පාගන්න බැරියැ හන්දියෙ ඉදන් ගෙදර එන වෙලාවට...නංගිලා යමුද කියලා අහන පරක්කුව විතරයි. මේක යකෝ ලොතරැයියක් ඇදුනා වගේ වැඩක්.
අසික්කිත නගා එසේ කීවේය.
අසික්කිත නගා එසේ කීවේය.