පර්චස් 20 ට වැඩි ඉඩම් තියෙන, ඒවයෙ පොල් ගසුත් තියෙන අයට ආණ්ඩුවෙන් පොල් පොහොර සහනාධාරයක් දෙනවලු. ග්‍රාම සේවක නෝනා ලග අන්න පෝරම කොල තියෙනවලු. ගොහින් කොළයක් ගෙනල්ලා තියන්ඩ. මම ආපහු ආවම පෝරමේ පුරවලා උවමනා තැන් වලට ඉදිරිපත් කරලා පෝර ටික ගන්න සූජානම් කොරන්නං. පේනවනෙ...දැන් ගස් වල පොල් එන්න එන්නම පොඩි වෙනවා. ඵලදාව මේ විදියට අඩු වෙන්නෙ පොහොර හිඟ හින්දා...මතකනෙ එහෙනං...
සිරා කොලුවගෙ පිය තුමා මෑණියන් දෑ සමග දඹදිව වන්දනාවෙ යන්න ගුවන් තොටුපලට පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා පවසපු මේ වදන් පෙළ මට ආයෙමත් කම්පනාවට ආවෙ ඒ අය එහෙ ගොහින් සතියක් ගත උනාට පස්සෙ. බැරි වෙලාවත් පෝරම කොල අහවර වෙලා තිබුනොත් මෙතන වසන්න වෙන්නෙ නැති නිසාම මමත් තකහනියක් ග්‍රාම සේවක නෝනා බැහැ දකින්න යන්න උදැහැනැක්කෙම පිටත් උනා.
සිරා කොලුවා රට පැටවෙන කාලෙ අපිට හිටිය ග්‍රාමසේවක නෝනා බොහොම වයසක උන්දෙක්. කොහොමින් කොහොම සිරා කොලුවා ආයෙමත් සියරට එන කාලෙ වෙද්දි ඒ උන්දැ විශ්‍රාම ගිහින් ඒ වෙනුවට අපේ ගම් තුලානෙ ග්‍රාම සේවක රාජකාරිය බාර අරගෙන හිටියෙ යාබද ප්‍රදේශයක පදිංචි සීදේවි නෝනෙක්.
නෝනෙක් කිව්වට ඉතිං සිරා කොලුවටත් වඩා වයසින් අඩු...තවම අවිවාහක කෙලියක්. මගුල් මුද්ද දාන ඇගිල්ලට යාබද ඇගිල්ලෙ තමයි එයා මුද්දක් දාලා හිටියෙ. ඒ දර්ශනෙන් පස්සෙ මගේ අක්මාවට දැනුනා මේ කෙලී තවම කසාද බැදලත් නැති විත්තිය.
කාරණේ මතක නැතත් සිරා කොලුවට ලංකාවට ආ විගස වගේ යම් රාජකාරියකට ග්‍රාම සේවක නෝනව මුණ ගැහෙන්න යන්න උනා. එදා තමයි ඔන්න නමෝවිත්තියෙන් අපේ අභිනව ග්‍රාමසේවක නෝනව මගේ කලු ඉංගිරියාවට වැටුනෙ. අපරාදෙ කියන්න බෑ. සී දේවි කෙල්ල. සාරියක් කාරිය ඇදලා හරිම පිළිවෙලට, නීතියට වැඩේ කරගෙන ඉන්නවා. යන එන කා එක්කත් සුහදයි. ඒ වගේද අත් අකුරු මුතු කැට වගේ බබලනවා. ඉතින් මට රාජකාරිය අහවර උනත් එතනම පදිංචි වෙලා ඉන්න හිතුනා.
ඔන්න ඔහොම වටපිටාවක් තියෙද්දි පොල් පෝර පෝරමේ ගේන්න යන්න ඉතින් මොනවටද බොලව් පැකිලෙන්නෙ. සිරාගෙ ඇන්ටික් ස්කූටරේට බර දීලා කොලුවා ගියා ඔන්න ග්‍රාමසේවක නෝනව මුලිච්චි වෙන්න.
අපේ නැසීගිය උස බන්දුල ගොයියගෙ ගෙදර තමයි ග්‍රාමසේවක කාර්යාලය පිහිටුවාගෙන තිබුනෙ. මම එතැනට ලගා වෙද්දිත් ග්‍රාම සේවක නෝනගෙ කාමරේ කීප දෙනෙක්ම ඉන්න විත්තිය මට දැනුන නිසා ස්කූටරේ පිටට නැගලා බන්දුල ගොයියගෙ වත්තෙ ඵලදාව දිහා මම ඇස් දෙකේ පොට යනකං බලාන උන්නෙ කොරන්න වෙන කෙං ගෙඩියක් තිබුනෙ නැති නිසයි.
විනාඩි 15 ක් 20 ක් ගත වෙන්න ඇති. ග්‍රාමසේවක කාර්යාලයේ දොරෙන් එක පාරටම මතු උනේ මාලු විකුණන නිශාන්ත ගොයියා. බොලේ මේ හාදයා අද මාලු වෙළදාමෙ ගිහින් නැත්තෙ මොකද...මම මනෝ ආතල් ලොවක සැරි සරද්දි මටත් නොදැනිම නිෂාන්තයා මගේ ලග.
පින්තූරය මෙතැනින් |
මොකෝ මේ පැත්තෙ...ඇරත් මේ උදේම....එච්චරයි මට අහන්න ලැබුනෙ.
මගෙ 8000 කට කෙලියා ඕයි ! නිෂාන්තයා හෙණ ගැහුවා වගේ එකපාරටම කිව්වා.
මොකක්ද බොල ඒ හරුපෙ...උඹ බූරු ගහන්නවත් ගොහින් පැරදුනාද ? මම එහෙම ඇහුවෙ සැක සංකා හිතේ තියාන ඉන්න හොද නැති හන්දයි.
නෑ බං මල්ලියෙ අද උදේ මාලු ගේන්න මීගමු යද්දි මාව කොල්ල කෑවා බං ඒකල වෙළ මැද්දෙදි.
ගම්පහ - ජාඇල 201 බස් මාර්ගයෙ යන එන ඇත්තො දන්නවා ඒකල වෙල කියන්නෙ මාර්ගය දෙපැත්තෙම වෙල් යායක් තියෙන නිවාස වලින් තොර හුදෙකලා පෙදෙසක් කියලා. අන්න එතැනදි තමයි මේ අසරණයගෙ 8000 ට කවුරු හරි කාලකණ්නියෙක් කෙළියෙ.
එ්කළ වෙල කිව්වම අපි කුඩා සන්ධියෙ නිතරම කොල්ල කෑම් සිද්ධ උනා. මේ හොරකම් වලට රැයක් දවාලක් තිබුනෙ නෑ. මහ දවාලෙ වැඩිපුරම සුද්ද උනේ මාලු වෙළඳාමේ නිරත වෙච්ච අය. මේ වගේ හොරකම් දිගින් දිගටම සිදුවෙන්න ගත්තට පස්සෙ සිරිලංකා පොලෝසියෙ ඇත්තො ගත්ත යම් යම් සාධනීය පියවර නිසා හොරු රැළ වඳවෙලා ගිහින් ඒකළ වෙල මැද්දෑව බොහොම සාමකාමී තැනක් බවට පත් උනා.
ඒත් දැනට වසර තුන හතරක ඉඳලා ආයෙමත් කොල්ලකෑම් එක දෙක බැගින් වාර්තා වෙන්න ගත්තා. සිරා කොලුවගෙ පියතුමාගෙ හිතවතෙක් වෙන ඕල්ටර්නේටර් තිස්ස මාමා තමන්ගෙ ඇඹේනියත් එක්ක බයිසිකල් කටුවක නැගලා ගොහින් බැංකුවෙන් ගත්ත රුපියල් ලක්ෂ 9 ක් එක්ක ගෙදර එද්දි, ඒකල වෙල හරියෙදි පිටිපස්සෙන් ආව වෑන් රථයක් මේ ජෝඩුව මහා මාර්ගය වෙනුවට අලුතින් වපුරපු කුඹුරක් වෙත යොමු කලා. බයිසිකලේ පෙරළගෙන මඩ අස්සෙ එරිලා දගලන තිස්ස ගොයියා ලගටම ආව හොරු රැළ රුපියල් ලක්ෂ 8 ක් දාලා තිබුන බ්‍රවුන් පේපර් කවරෙ අරගෙන ගියෙ ඒ අසරණයට කෝචොක් හිනාවකුත් දාගෙන, උඩ සාක්කුවෙ තිබ්බ ලක්ෂය විතරක් ඉතිරි කරලා.
මම වෙනදා යන වෙලාවට පාන්දර 4.30 ට ගෙදරින් පිටත් උනා. රුපියල් 8000 ට ටිකක් වැඩියෙන් සල්ලි තිබුනා. ඒකල වෙල මැද්දෙ පුලුන් ගහ කිට්ටුවට යද්දි මට විරුද්ධ පැත්තට බයික් එකක කොල්ලො දෙන්නෙක් ආවා. උන් මාව පහුවෙද්දි මගේ දිහා හරි අමුතු විදියට බලාන ගිය නිසා මට සැකයක් හිතුනා.
මම පැති කණ්නාඩියෙන් බලාගෙන ඉස්සරහට යද්දි, හදිස්සියෙ දැක්කා උන්ගෙ බයිසිකලේ මගේ පැත්තට හරවනවා. එතැනින් පස්සෙ මම යන්න තියෙන උපරිම වේගෙන් බයිසිකලේ පැද්දා. ඒත් වැඩක් උනේ නෑ. උන්ගෙ තිබුනෙ බොහොම බල සම්පන්න බයික් එකක්. උන් අඩියට දෙකට මගේ ලගට ආවා. එන පොට හොඳ නෑ කියලා මට දැනුන නිසා මම බයික් එක නතර කරලා බැහැලා දුවන්නයි හැදුවෙ. එත් පරක්කුයි මල්ලියෙ. හොඳ උස මහත එකෙක් පැනපු ගමන් මගෙ බෙල්ලට කඩුවක් තියලා කුණුහබ්බයක් කියලා මගෙ පර්ස් එක උදුරලා ගත්තා.
මාලු ගන්න තිබ්බ සල්ලියි. අපේ පොඩි කෙල්ලගෙ ඉස්කෝලටෙ උවමනා පොත් කීපයක් ගන්න උවමනා සල්ලියි ඔක්කොම තිබුනෙ එකට. උන් සල්ලි උදුරගෙන යද්දි මම පිංසෙන්ඩු උනා මගේ ලැයිසොමවත් දීලා යන්න කියලා. ඒත් ඒ නරුමයො ඒ කථාවට ඇහුම් කං දුන්නෙම නෑ
නිශාන්තයගෙ මුහුණෙන් තවමත් කම්පනයක සළකුණු පේනවා. ඇස් කෙවෙනි අග පුංචි කඳුලක් දිලිසෙනවා. දරු පැටව් 4 දෙනෙකුගෙ තාත්තා කෙනෙක් විදියට මාලු රස්සාවෙන් හොයන සල්ලියෙන් ජීවත් වෙන කෙනෙක්ට රුපියල් 8000 ක් නැති වෙනවා කියන්නෙ මොන තරම් පාඩුවක්ද ?
අද උදේම පොලෝසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ග්‍රාමසේවක නෝනගෙන් අරගෙන යන්න ලියකියවිලි වගයක් තියෙනවා. ඒ ටික ගන්න තමයි මෙහෙට ආවෙ. මට වාවන්නෙ නෑ බං පොඩි කෙල්ල අලුත් පොත් අරගෙන ඉස්කෝලෙ යන්න හරි ආශාවෙන් හිටියෙ.
ඒ අවසරයෙන් ග්‍රාම සේවක නෝනගෙ ඔපීසියෙන් එළියට ආවෙ නිෂාන්ත ගොයියගෙ ඇඹේනිය.
හෙණ ගහලත් මදි නේද මල්ලි මේ කරන අපරාද වලට ? ඇය මගෙන් ඇහුවා.
ඔය හරියෙදිම සති දෙකකට කලියෙනුත් මාලු කාරයෙක්ව සුද්ද කරලා. උන් හිතාන ඇත්තෙ මාලු විකුනන්නෙ කෝටිපතියො කියලා වෙන්න ඇති. ඇයි යකෝ පොඩි මිනිහටමනෙ මංකොල්ලා කන උනුත් කෙළින්නෙ.
ඇගේ කථාව ආවේගශීලියි. පුංචි එකෙක් වඩාගෙන නිෂාන්ත තවමත් සුසුම් හෙලනවා.
කඩුව බෙල්ලට තියද්දි මට හොඳටම භය හිතුනා මල්ලි. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. මට දරු පැටව්, ගෑණි මතක් උනා. ඒත් උදව්වට කියලා කවුරුවත් ආවෙ නෑ. උන් දෙන්නා ගිහින් විනාඩි 10 කට විතර පස්සෙ තමයි සෙනඟ එකා දෙන්නා එන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.
තවත් මොහොතකින් නිශාන්ත ගොයියා තමන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගෙන ග්‍රාමසේවක කාර්යාලයෙන් පිටත් උනා.
පව් නේද අර මනුස්සයට වෙලා තියෙන වැඩේ...දැන් ඊලග දවසෙ මාලු ගේන්න යන්න අමුතුවෙන් සල්ලි හොයන්න එපායැ. ඇරත් ඒ අය සල්ලි ඔහේ අරගෙන යනවා මිසක ආරක්ෂාව ගැන හිතන්නෙ නෑනෙ. මම ඒත් දැන් කිව්වෙ මීට පස්සෙ මාලු වෙළදාමෙ යද්දි සල්ලි අතේ අරගෙන යන්නෙ නැතුව. මීගමුවට ගිහින් බැංකු කාඩ් එකෙන් උවමනා ප්‍රමාණය ගන්න, මාලු විකුනලා අහවර උනාම ආයෙමත් බැංකුවට දාන්න කියලා. ග්‍රාම සේවක දැරිවි එහෙම කිව්වා.
පොල් පොහොර පෝරමේ අරගෙන ගෙදර ආවා කියමුකො. පිට පළාතකින් ඇවිත් දවල් කාලයේ අපේ ගමේ මාලු විකුණන තවත් ගොයියෙක් මට අතර මගදි සම්මුඛ උනා.
අර නිශාන්ත ගොයියගෙ 8000 කට ඇරලා දෙන්නෙක් අද පාන්දරම මාලු ගෙන්න යද්දි.
ආ මිනිහද කෙනා...අපිට මීගමුවට ආරංචිය ආවා වෙච්ච වැඩේ ගැන. ඔයාට කියන්න මල්ලි දැන් මාස දෙකකට විතර කලියෙන් මාවත් කොල්ල කන්න ආවනෙ දෙන්නෙක් මහ දවාලෙ.
මම එදා මාලු බයිසිකලේ නවත්තලා පොඩියක් අකුලක් අස්සට රිංගුවා මුත්තරා බරෙන් නිදහස් වෙන්න. මම එතැනින් ආයෙමත් බයිසිකලේ ලගට එද්දි එතන දෙන්නෙක් හිටියා.
මල්ලි...ඉස්සො ඉන්නවද ? උන් එහෙම ඇහුවා. මම ඉන්නවා කිව්වා.
ලොකු උන්ද පොඩි උන්ද ?
ලොකු උන්
කීයද ගාන
කිලෝ එකක් 1000 යි.
මෙහෙම කථාව යද්දි කථාවට සම්බන්ධ නැති අනිත් එකා බයික් එක උඩ ඉදන්
මචං ඉක්මන් කරපං.... ඔහොම කියනවා.
මම මාලු පෙට්ටිය ඇරලා මාලු පෙන්නුවා. ඉස්සො ගන්න හදපු මිනිහා මගෙන් අහනවා 5000 ක් මාරු කරන්න නැද්ද කියලා. මගෙ ලග මාරු කරන්න සල්ලි තිබ්බත් මම නෑ කියලා පොඩි සල්ලි විතරක් තියාන ඉන්න පර්ස් එක අැරලා පෙන්නුවා.
වැඩක් නෑ මචං...ඉක්මනට යං කියලා තමයි අන්තිමට මිනිහා ගිහින් බයිසිකලේට නැග්ගෙ. ඔන්න ඔහොමයි මල්ලි තත්වෙ. මාලු පෙට්ටියක් බැදගෙන යනවා දැක්කම අපිවම කොල්ල කන්න ටාගට් කරන උන් ටිකක් වෙනමම ඉන්නවා. මම මහ පාන්දර මාලු ගෙන්න යන්නෙත් නෑ...ගේන්න ගියත් තව වෙළෙන්දො දෙතුන් දෙනෙක් එක්ක යන්නෙ. එතකොට කොල්ල කන්න ආවොත් මාලු මන්න පාරක් හරි දෙන්න පුලුවන් මකබෑවිලාම පල කියලා.
ගන්න අක්කෙ පණ පිටින් ජීලාවො..පන්සීය 360 යි. මිනිහා මාලු බිස්නස් එකකට ඇන්ටර් වෙද්දි සිරා කොලුවා නිවස බලා ආවා.
අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න වෙර දරන මේ වගේ මිනිහෙක් කොල්ල කනවා කියන්නෙ කොල්ල කන එකා මොන වගේ මානසික මට්ටමක එකෙක්ද ? මට හිතාගන්න බැරි උනා.
සමහරු මළගෙවල් හොයාගෙන ගිහින් බූරු ගහලා අම්බානක පැරදිලා පාන්දර පාරට බැස්සම හිතේ කේන්තියට අහුවෙන එකාව කොල්ල කනවා. එහෙමත් නැත්තං ඉතිං කුඩ්ඩෙක් තමයි පුතේ.
ගෑණි මැරිච්ච දා ඉදන් හන්දියෙ පිලට තනි රකින පියදාස මාමා එහෙම කිව්වෙ බුලත් කෙල තළියක් පාර පුරා රටා අඳිද්දි.