ලොකු දුවට දරුවා ලැබී වසරකට පසු, ලංකාවට පැමිණීමත් සමග තමන් එහි යෑම ඒම කෙමෙන් අඩු වී ගියේ යයි විමලජීව මා හා පැවසීය. සිදු විය යුත්ත නම් තම දරුවකුට දරුවකු ලැබුණු පසු සීයා කෙනෙක් වශයෙන් නිරන්තරව ඔවුන් හා ගැවසීම වුවද විමලජීව කලේ හෝ ඔහුට නොදැනීම සිද්ධ උනේ එහි අනෙක් පැත්තය.
දුවගෙන් පමණක් නොව තමා බිරිඳගෙන්ද දුරස් වී ඇති බව ඔහු කීවේ වේදනාවෙන් පීඩිත හදිනි. වෙනදා සීතා හා ඔහු අතර තිබූ ඇල්ම බැල්මෙන් සැලකිල්ලෙන් හෙතෙම හිතා මතාම දුරස් වී හුදෙකලාව විසීමට කටයුතු කර ඇත.
යොහොන්සා රුවනාරි, ඔව්, ඇයගේ දෑස මිස තමා මේ කිසිවකට වගකිවයුතු නොවනා වගට විමලජීව තර්ක කරයි. යොහොන්සා රුවනාරි .. ඔව්, ඇය ලොකු දුවගේ කුළුදුල් දියණිය, නැතිනම් විමලජීවගේ කුළුදුල් මිණිපිරියයි.
ඒ ඇස් දෙකෙහි අහිංසකකම පිරී ඇත. බින්දුවක් ඇත්නම් එළියට පනින්නට බලාගත් කදුළු ඒ තුල දිලිසෙයි. විමලජීව වරෙක මට එසේ ලීවේය.
උඹට මතක ඇතිනම් මා මීට පෙරද ඔය ලෙසින් පවසා ඇති වග සිහිපත් වෙනු ඇත. ඒ හරියටම හතළිස් එක්වසකට පෙරාතුවය. එදා එය කවුරුන් උදෙසා වීද යන්න මගේ ළගම සිටි උඹ හොදින් දනියි. ඉතින් මා සාධාරණද අසාධාරණද යන්න උඹම සිතා බලන්න. හිත හදාගෙන ඒ දරුවාගේ මුහුණ දැක්මට මා කොහොම යන්නද සිතන්න.. ඇයගේ අැස් දෙක දකින විට මා දෙකකුල් පණ නැති වී උගුර කට වියැළෙයි. සීතා හා දරුවන් ඉදිරිපිට වෙනදා සේම හැසිරීමට නොහැකිව මම මහත් මානසික වේදනාවක් විඳිමි. කුමක් කරන්නද යන්න සිතාගත නොහැකිව සිටින විටයි උඹ අමතා හැමදේම කියා සිත සැහැල්ලු කර ගැනීමට සිතුවේ. මට මීට විසදුමක් නැතත් අඩු තරෙමේ හිත හැදෙන්නවත් උඹට කිව හැකි යමක් වේද ?
ඔහු පත්තිරුව මත තැබූ ප්‍රශනාර්ථයෙන් මගේ හදවතද බර වෙයි. විමලජීව බාල කාලයේ හමු වූ ජීවිතය පුරාවට සෝවුරෙකු මෙන් මා ළග හිඳි මිතුරාය. විශ්ව විද්‍යාලයේදී ද එතැනින් නික්ම සිවිල් සේවයට එක්වී ගත කල කාලයද මේ සියල්ල අප දෙදනාම කලේ එකටය. අතීතයේ විඳි හැම කටුක අත්දැකීමක් හමුවේම මා පසෙක සිටි මගේ පරම මිතුරා වශයෙන් මම ඔහුව දැකගත්තෙමි, දකිමි. ඉන් උපන් වේදනාව හමුවේ ඔහුට කවරාකාර නම් උපදෙසක් දෙන්නද යන්න මට ද සිතගනු බැරිවිය. ඔහුගේ සිතට සහනයක් සැලසිය හැකි යමක් මා අතින් ලියවුනාද යන්න මට ද සංකා සහිත වූවකි.
ඇයගේ දෑස ඒ වැනි වූවා කියා ඒ ගැන මෙතරම් සිතීමෙන් ඇත්තේ කවර ඵලයක්ද ? සමාන දෑස් පමනක් නොව එක හා සමාන මුහුනු ඇඟපත ඇත්තෝද මෙලොව කෙතරම් වෙත්ද ? උඹ වැනි උගත් බුද්ධිමත් පරිණත කෙනෙක්ගේ මෙවන් සුළු කරුණක් මත ඇතිවන හැසිරීමේ තේරුමක් ඇත්දැයි මදක් විමසා බලන්න. මෙතරම් උඹ වෙනුවෙන් කැපවන සීතා ඇතුළු පවුලේ අය වෙත නුඹෙන් සාධාරණයක් ඉටුවේද යන්න යළි යළිත් සිහිකරනු මැනවි.
සත්‍ය වශයෙන්ම මාගේ විශ්වාසය වූයේ මෙය ගණනකට ගත යුත්තක් නොවන බවයි. දරුවාගේ දෑස් ඒ වගේ වුවද එහි ඇති දෙයක් මට එදා නොහැගිණි. ඇය තම එකම දියණියගේ දරුවා මිස අන් කිසිවකුත් නොවන වග විමලජීවට ඒත්තු ගැන්වීමට කෙතරම් උත්සාහ කලද ඔහු ඒ තේරුම් ගත් බවක් නොපෙනුනි. මා විශ්වාස කලේ කාලයත් සමග විමලජීව මේ අදහස් හැර දමා සාමාන්‍ය පරිදි කල් ගත කරනු ඇති කියාය. නමුත් සිදු වූයේ අනෙකකි.
අවසන් වරට මට ඔහුගෙන් ලිපියක් ලැබුනේ වසර එකකුත් හමසකට පෙරාතුවය. ඒ ඔහු අතුරුදහන් වී යයි සැලකෙන දිනට පසු දිනය.
දයාබර විජේ වෙත
විජේ ඒ ඈම මිස අනිකෙකු නොවන වග ප්‍රත්‍යක්ෂ කොට කියමි. ඔබගේ උපදෙස් හිසින් ගෙන මේ සියල්ල යථා තත්වයට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් මම යළිත් සාමාන්‍ය ලෙස ජීවිතය ගත කිරීමට දැඩි ලෙස ප්‍රයත්න ගතිමි. ඒ අනුව ලොකු දුව බෑනා හා මිණිබිරිය සමග වඩ වඩාත් කාලය ගත කිරීමත්, සීතාගේ සිතට කරදරයක් නොදෙනු පිණිස වෙනසකින් තොරව හැසිරීමටත් කටයුතු කළෙමි. නමුත් දිනක් මා නොපැතූ නොසිතූ වෙලාවක මගේ අවාසනාවන්ත අතීතයේ අවාසනාවන්ත අතපසු කිරීම් මා හැර නොයනා වග මට පෙන්වා දුන්නේ මා වැනි පවුකාරයෙකු මිහිපිට තවත් නොමැති හෙයිනි. මේ ලිපිය ලියන රාත්‍රියට පෙර සන්ධ්‍යා කාලයේ සීතාත් මමත් ළදැරිය හා සෙල්ලම් කරමින් ඇය හා ප්‍රීතියෙන් සිටියෙමු. එක වරම බහ තෝරන වියේ හුන් ළදැරිය අත් පන්දුවක් මාවෙත දිගු කරමින් ඉමල් ඉමල් යයි හඬ ගෑවාය. මහ හඬින් සිනාසුනු සීතා දැරිය තුරුළු කොට සිඹිමින් අනේ අනේ අම්මා තාත්තා පැත්තකට දාලා අපේ පැටියා සීයට නමම කියලා බහ තේරුව නේද ? ආ පැටියෝ කියූ විට මට ක්ලාන්ත වන්නා සේ මුළු ලොවම කැරකෙන්නා සේ දැනුණි. අද රාත්‍රියේම මා මේ තීරණයට එළඹීමට සිතුවේ ඒ අනුවය.
මා සිටිනා තත්වය මත මා ගත් තීරණය නිවැරදි වග උඹ තේරුම් ගන්නේ නම් එය මට මහත් සහනයකි. මන්ද මට මගේ දයාබර සීතා වෙත මෙලෙස ලිපියකින් වචනයක් කියා ගැනීමට නොහැකි වන බැවිනි . මා හා ජීවිතයෙන් වැඩි කොටසක් ලඟ හුන් මිතුරා වශයෙන් ඔබගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනුයේ සීතා හා දරුවන් සනසා ඔවුන්ගේ තත්වය පහසු කරවන ලෙසයි. ඔබටත් මංගලිකාටත් රුවන්තා පුතාටත් දිගාසිරි.
මෙයට
සදාමිත්‍ර විමලජීව
සීතා විමලජීවට විමල් යයි අමතන්නේ නැත. ඔහුට ඒ ලෙස ඇමතුවේ ඇයම පමණි. ශ්‍රියානිම පමණි. ලිපියේ සදහන් වූ දෑ මෙන්ම ශ්‍රියානි පිළිබඳව සීතා හෝ පවුලේ කිසිවකුත් නොදනියි. අසරණ ඔවුන් විමලජීවගේ අතුරුදන් වීමෙන් කම්පිත වෙද්දී, ඊට නිවැරදි හේතුව දැන සිටියේ මමත් ඔහුත් පමණකි.
විමලජීවගේ බල පුළුවන්කාර පවුල් පසුබිම හමුවේ ශ්‍රියාණි හැරදමා විමලජීවට සීතා හා විවාහ වන්නට සිදුවිය. ශ්‍රියානි මිය ගියේ ඉන් ටික දිනකට පසුව විමලජීවගේ දරුවකුද කුසින් දරාගෙනය. එදා මෙදා තෙක් මේ සියල්ල දන්නේ විමලජීවත් මමත් මෙතැන් පටන් ඔබත් පමණි.
දරුවා වැඩෙනා තෙක් ඉමල් ඉමල් යයි කියමින් කිසිවකු සෙවුවද ඇයගේ වර්ධනයත් සමග එය මගහැරී ගියේය. දකින්නකු හදවත ආදරයෙන් පුරවන රුවින් හා වදනින් ඇය සුවෙන් වැඩෙන්නීය. සීයාද සොයන්නීය. ඒ ශ්‍රියානිම ද නැතිනම් කවුරුන්ද ? යන්නවත් සිදුවූයේ කුමක්ද? යන්නවත් මේ යයි කීමට මමත් නොදනිමි. නමුත් සාමාන්‍ය මිනිසෙකු වශයෙන් මමද එයින් විස්මයට පත්වූ වග නොකියා බැරිය.
සීතා හා දූ දරුවන් තවමත් බෝධි පූජා පවත්වමින්ද, ශාස්ත්‍ර අසමින්ද ඔහු සොයයි. උන් කෙරේ දයානු කම්පාවෙන් මගේ හදවත මා ඔහු සොයා යෑමට ගත් මේ තීරණයට මග පෙන්වූවේය.
ඒ සමගම ශ්‍රියානි කෙරේද මගේ හදවත කම්පා වෙයි. විමලජීව දෙවරක්ම ඇයව හැර ගියේය. පළමුවර නිහඬව සිටි මට යළිත් එලෙස කළ නොහැක. ශ්‍රියානිට විමලජීව හෝ සිගිති ළදැරියකට සීයා කෙනෙකුගේ උණුසුම අවැසිය.
හෙට උදෑසන පළමුව කැකිරාවෙන් ඔහු සෙවීම අරඹමි. එයට පළමුව මෙය ලියා තබනුයේ මට විමලජීව හමුවේද නැතිද යන්න නොදන්නා බැවිනි. විමලජීව උසය. කොණ්ඩය කොටට කපා ඇත. ඔහු නිරන්තරයෙන් සිනාසෙයි. දෑසින්ද සිනාසෙයි. මිත්‍ර වූ විට ඔහු තරම් යහපත් මිත්‍රයෙකු තවත් නැත. ඔබට මෙවැනි ලක්ෂන ඇතියෙකු හමුවී නම් මා හට දන්වන මෙන් අවසාන වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
ඉසුරු අබේසේකර
ප.ලි
ඉසුරු අබේසේකර යනු කවරෙක්දැයි මේ වන විට සිරාගේ කාමරයේ පාඨකයන්ට අමුතුවෙන්ම කිව යුතු නොවේ. එහෙත් සිරා කොලුවා වන මම මගේ යුතුකම ඉටු කරමි. ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි ඔහු. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.
මේ ඉසුරු සිරාගේ කාමරයට එකතු කරන තෙවැනි කෙටි කථාවයි. ඔහුගේ ලියවිලි තුල ඔහුගේම කිව හැකි ආකෘතියක් තිබේ. ඉතාම කුඩා සිදුවීමකින් වුවද බරසාර කථාවක් ලියන්නට ඔහුට ඇත්තේ පුදුම හිතෙන සුළු හැකියාවකි.
මේ ලිපියට පෙර ඉසුරු අබේසේකර සොයුරා සිරාගෙ කාමරය වෙත එකතු කල කෙටි කථා මෙසේය.
ඇඹුල් දොඩම් , උපත් පාලනය
තෙවන වතාවටත් සිරාගේ කාමරය සමග නිර්මාණයක් බෙදාගත්තාට ඉසුරු මලයාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. ජය !
මේ ඉසුරු සිරාගේ කාමරයට එකතු කරන තෙවැනි කෙටි කථාවයි. ඔහුගේ ලියවිලි තුල ඔහුගේම කිව හැකි ආකෘතියක් තිබේ. ඉතාම කුඩා සිදුවීමකින් වුවද බරසාර කථාවක් ලියන්නට ඔහුට ඇත්තේ පුදුම හිතෙන සුළු හැකියාවකි.
මේ ලිපියට පෙර ඉසුරු අබේසේකර සොයුරා සිරාගෙ කාමරය වෙත එකතු කල කෙටි කථා මෙසේය.
ඇඹුල් දොඩම් , උපත් පාලනය
තෙවන වතාවටත් සිරාගේ කාමරය සමග නිර්මාණයක් බෙදාගත්තාට ඉසුරු මලයාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. ජය !