පොඩි වැඩක් තියෙනවා කරමුද ? පාසලේ 12 කැලෑසියෙ මම හිටපු පේලියෙම හිටිය බඩියා මගෙන් එහෙම ඇහුවෙ දවසක්දා උදෑසනක පාසල පටන් ගත්ත විගසම වගේ...
මොකක්ද බොල වැඩේ...කියහං බලන්න...කොරන්න පුලුවන් දෙයක් නම් කොරමු....
නෑ බොල මේකයි කාරණේ...අපේ ගමේ යෞවන සමාජෙ මෙදා පොටේ අවුරුදු උත්සවයක් එක්ක සංගීතෙකුත් අටවලයි තියෙන්නෙ...අපිට පොඩි පුරස්නයක් තියෙනවා....
|
ඡායාරූපය ikman.lk වෙතිනි. |
හෑ....ඒ මොකක්ද?
අපිට සින්දු කියන්න ගායකයො නෑ....බඩියා එහෙම කියලා අසරණ බැල්මක් දැම්මා...
එතකොට මේක ආධුනික ප්‍රසංගයක්ද...මමත් පෙරළා විචාලා....
ඔව් ඔව් බං...ප්‍රසිද්ධ උන් ගේන්න අපිට සල්ලි තිබ්බා නම් උඹලට එන්න කියනවද ? එක වේදිකාවක අපේ ගමේ උන් එක්ක අහල පහල ගම් වල බෑන්ඩ් දෙකකුත් එදාට ගහනවා...ඔක්කොම බෑන්ඩ් 3යි. ඒ උනාට අපේ ගමේ කියලා එකෙක්වත් සින්දුවක් කියන්න ඉදිරිපත් වෙන්නෙ නෑ බං... උන් ඔක්කොම භයයි සින්දුව වැරදිලා උන්ට නරඹන්නන්ගෙන් ගල් පාර කන්න වෙයි කියලා....බලහං...පුරුෂ දහිරිය තියෙන එකෙක් නෑ.
හැබෑට...අපි වැඩේ කොරමු එහෙනං...ගෙවීම් එහෙම කොහොමද....
උඹ මගෙන් කුණු හබ්බ අහගන්න එපා...කන්න බොන්න දීලම බොක්ක පාත් කරලා යවන්නම්...ඒ මදිද ?
ඇති බං...ඒ හොදටම ඇති..මම මේ විහිලුවට එහෙම ඇහුවෙ....ඒක නෙමෙයි, උඹලගෙ ගමේ ලස්සන කෙලියො එහෙම නැද්ද බං....ඒ දවස් වල අනංගයා මගේ වටේ කැරකි කැරකි හිටි නිසා තමයි එහෙම ඇහුවෙ.
මොකෑ බොල නැත්තෙ....ඔය ඉන්නෙ කීප දෙනෙක්ම...එදාට ඇවිල්ලා බලා ගං.....
අඩේ කෙල්ලො ඉන්නවා නම් මාත් එනවා උඹලා එක්ක එදාට සංගීතෙට යන්න...පැත්තක හිටිය ඔටුවා සින්දු කියන්න පුලුවන් එකෙක් වගේ අපේ මේ කථාව මැද්දට පැන්නා.
මේකව එක්කගෙන යනවා නම් උඹලගෙ ගමට මුගෙ කට විදලා ඉබ්බෙක් දාපන්.. නැත්තං ගමේ උන්ගෙන් ගුටි කන්න වෙන්නෙ බොට...මම බඩියට එහෙමත් කිව්වා...මොකද ඔටුවා කියන්නෙ ජාතියක් ජම්මයක්, හැදියාවක් නැති එකා.
මගේ මේ කාමරේට මේ කියන චරිත ටික හදිසියේ කඩා පාත් වුනේ
පහුගිය කථාවෙන් නොවැ...ඒ නිසා තවම බොලාට මේ අය ගැන වැඩි අවබෝධයක් නැති බව මම දන්නවා....ඔහොම යන කොට යම් අවබෝධයක් ඇති වේවි....
බඩියා මට ඉස්සෙල්ලාම මුලිච්චි උනේ 9 වසරෙදි...ඒ වෙනකං වෙනත් පන්තියක ඉදලා තාක්ෂණ විෂයන්ට අනුව පන්ති කළවම් කරද්දි තමයි අපි දෙන්නත් කළවම් උනේ....පුංචි ශරීරයක් තිබ්බ හිත හොද, බොහොම ප්‍රිය මනාප එකා නිසා හැමෝම මේකාට කැමතියි....ඒ හින්දම තමයි බඩී කියලා නමකුත් වැටුනෙ...
මේ කියන හාදයට බොහොම ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්....පෑන් පහරවල් දෙක තුනකින් ලස්සන ගැටිස්සියක් අදින එක ඌට මහ කජ්ජක් නෙමෙයි. ඇරත් ඒ කාලෙ පන්තියෙ කොල්ලො කී දෙනෙකුගේ නම් ආදර හසුන් බඩියගෙ චිත්‍ර වලින් හැඩ වුනා කියලද, චිත්‍ර ඇදීමේ හැකියාව නිසාම බඩියා ටික කලකින්ම පංතියේ ඉදිරිපෙළ එකෙක් බවට පත් වුනා.
ඉතිං බොලව්...දවසින් දවස පැයෙන් පැය කාලය ගත වෙලා බඩියලගෙ ගමේ අවුරුදු සාදය බොක්කෙන්ම සමරන්න ගමේ කොල්ලො කෙල්ලො එක ඉත්තක පිපුනු මල් වගේ මහන්සි වෙලා සංවිධානය කරලා තිබුන අවුරුදු උත්සවයට ආරාධිතයො විදියට අපි සැපත් වෙන දවස උදා වුනා...
මේ ගමන යන්න පෙර දවසෙත් ඔටුවාගෙන් බේරිල්ලක් තිබුනෙ නෑ අපට....අනේ බං මට සින්දු කියන්න බැරි උනත් උඹලා සින්දු කියන වෙලාවට බිම ඉදලා මම දෙන්නං රටක් වටින නැටුමක්...මාව හලන්නෙ නැතුව එක්ක යනවා නේද....
වරෙං වරෙං...උඹ වගේ එකෙකුත් එතැන ඉන්න ඕනෙ තමා....අපි එහෙම කියලා අපේ කාණ්ඩෙට ඔටුවාවත් එකතු කර ගත්තා..මා එක්කම විද්‍යාලයීය ගායන කණ්ඩායම නියෝජනය කරපු කමල් ගොයියත් මේ ගමනට එකතු උනා.
හැන්දෑ වරුවක ගම්පහ ටවුමට එක්කාසු වෙච්ච අපි 211 දිවුලපිටිය බස් එකකට නැග ගත්තා...ඊට කලියෙන් කවදාවත් බඩියගෙ ගෙදර ගිහිල්ලා නෑ වගේම මේ බස් රථය ධාවනය වන මාර්ගයේ ගිහිල්ලත් නෑ...ඒ දවස් වල ජංගම දුරබණුවක් අපේ අත් වල තිබුනෙ නැති හින්දම සෑහෙන දුකක් විදගෙන උඩුගම හන්දියෙන් බැහැලා අපේ මිත්තරයා පන්තියෙදි අපිට ඇදලා දුන්න සිතියම දිහා බලාගෙන අපි දැන් අතුරු මාර්ගයක ගමන් කරනවා....
සිතියමේ තියෙන තොරතුරු එක්ක මාර්ගයේ තියෙන සළකුණු හරියටම ගැලපුනු නිසා අපි අපහසුවකින් තොරව අපේ මිත්තරයගෙ නිවස කිට්ටුවම තියෙනවා කියපු පුංචි වෙළදසැල ලගටත් ආවා.....මේ සිංහල අලුත් අවුරුද්දෙ ගෙදරකට යන්න පුලුවන්ද අත වන වනා....ඒ සිතිවිල්ල නිසාම අපේ පසුම්බි වල අග්ගිස්සෙ හැංගුන අන්තිම රුපියල දෙකත් යොදලා පුංචි පහේ බිස්කැට් ටින් එකක් ගන්නයි ඔටුවගෙ ආශාව.
අපිට අවශ්‍ය දේ මිළදීගෙන අපි කඩේ මුදලාලිගෙන් ඇහුවා අහ වලාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ කියලා...ඊට පස්සෙ කඩේ මුදලාලි අපෙන් ඇහුවා එයාගෙ තාත්තා මොනවා කරන කෙනෙක්ද කියලා....අපි ඉතිං අපේ ගජ මිත්තරයගෙ පවුලෙ තොරතුරු රාශියක් දැන හිටිය හින්දම ඒ ප්‍රශ්නය අපහසු එකක් උනේ නෑ... එයාගෙ තාත්තා දිවයින පත්තරේ ප්‍රාදේශීය වාර්තාකාරයනෙ අංකල්....අපි එහෙම උත්තර දුන්නා...
කෝ දෙන්න කියලා අපි ගත්ත බිස්කැට් ටින් එක ආයෙමත් අරන් මුදලාලි මුදල් ආපසු දුන්නා...ඔටුවා උගෙ ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලාන ඉන්නවා මේ මොන හරුපයක්ද කියලා....
නෑ නෑ මේවා ඕනෙ නෑ...ඔන්න ඔය වත්ත දිගේ පහළට යන්න...අර පේන්නෙ එයාගෙ ගෙදර...මුදලාලි එහෙම කිව්වා....ඇයි බිස්කට් එක ආයෙම ගත්තෙ...ඔටුවා ඇහුවා....
ඔය කියන හාදයා මගේ පොඩි පුතා. අපේ ගෙදරට අපේ කඩෙන්ම බිස්කට් අරං යන්න ඕනැයි....නැද්ද හාමිනේ.... බඩියගෙ පෙනුම ඒ විදියටම අම්මගෙ මුහුණ තුලින් විද්‍යාමාන වෙච්ච හින්දම තවත් සැක සංකා තියාගන්න අවශ්‍ය වුනේ නෑ. ඒ වෙනකං අපි දැනන් උන්නෙ නෑ අපේ මිත්තරයගෙ දෙමව්පියො සතුව කඩයක් තියෙන විත්තියක්...
සරුවට වැඩිලා තිබුන පොල් වත්තක් දිගේ අපි පල්ලම් බැස්සා...බඩියලගෙ නිවෙස ඇතුලෙ ඒ වෙද්දිත් උගේ ගමේ මිත්තරයො කීප දෙනෙක්ම සංවිධාන වැඩ වලට ඇවිල්ලා....
වරෙල්ලා වරෙල්ලා....තොපි තුන්දෙනා එනකං තමයි අපි මේ මග බලාන උන්නෙ...නැත්තං සංගීතෙට කික් එකක් නෑ. ජනක, ප්‍රදීප්, වසන්ත මේ තමයි අපේ ආරාධිත ගායකයො.....බඩියා ගමේ උන්ට අපිව හදුන්වා දුන්නා. මේ අපේ අයියා නෙවිල්....කොළඹ තරු හෝටලයක ඒ වන විටත් සේවය කරමින් උන්න අපේ මිත්තරයගෙ අයියා තමයි සංවිධායක කමිටුවෙ ප්‍රධානියා.
අපේ ගමන් මළු නිවස තුල තියලා ඒ වෙද්දිත් ක්‍රියාත්මක වෙමින් තිබුන අවුරුදු ක්‍රීඩා බලන්න අවුරුදු උත්සවේ පැත්තට ඇදුනෙ ඊටත් පස්සෙ. අපි එහි යද්දි සංවිධායක මණ්ඩලයට රුපියලක් දීලා ගිණි කූරක් අරගෙන වැඩිම ඉටි පන්දම් ප්‍රමාණයක් දල්වන අලුත් ආරක තරගයක් තමයි එහි තිබුනෙ...ඒක කොර කොරා හිටියෙ ගමේ පොල් මුදලාලිගෙ දුව සාමා...සුන්දර නිහතමානී දැරියක්....අපේ පළමු හමුවීම උනත් ඇය අප සමග ඉක්මනින් හිතවත් උනා....
ඔටුවා දැන් එතනින් හෙල්ලෙන්නෙ නෑ....රුපියල් 10 ක විතර ඉටිපන්දම් පත්තු කරලා සාමාව ගිලින්න වගේ සාමා දිහා බලාන ඉන්නවා...මුගෙ කුප්ප වැඩ ගැන දන්න නිසා අපිත් බලාගෙන ඉන්නවා ඔටුවා අපේ නම තියාවි අපූරුවට කියලා...
පුටුවක ඉදගෙන මේ කටයුතු කරමින් හිටිය සාමා කුමක් හෝ අවශ්‍යතාවකට නැගිට්ටා....ඒ ඇසිල්ලෙම ඇයට හොරෙන් ඒ පුටුව ඉවත් කරපු ඔටුවා...ඇය වාඩි වෙන්නට දරන උත්සාහයේදි වැටෙන්න යනකොට අල්ලන්න සූදානමෙන් වගේ හොර ගල් අහුලමින් උන්නා....නමුත් තමන්ට පිටුපසින් අමුත්තක් දැනුන නිසාදෝ ඇය හැරිලා බැලුවාම ඔටුවගේ හොරේ අතේ මාට්ටු....ඇයි....ඇය ඔටුවට කණට ගැහුවා වගේ ඇහුවා.....නෑ නෑ මොකුත් නෑ...ඔටුවා රතු වෙච්ච මූණ හංගගෙන එතනින් මාරු උනා....
ඔය ඉන්න කෙල්ලො අපේ මේ කොල්ලන්ගෙ අක්කලා නංගිලා....උන්ට අරවා මේවා කරන්න ගිහිල්ලා ගුටි කෑවොත් මම නෑ....බලහං උඹේ ඇග දිහා...කටු විතරයි මස් කලදක් නෑ...යකෝ කෙල්ලෙක් කැමති කරගන්න තව ටිකක් මස් ලියලනකං ඉදිං.... බඩියා වටේ පිටේ බලලා ඔටුවගෙ භෞමික අඛන්ඩතාව කීතු කීතු වලට ඉරලා දැම්මා.
කෙමෙන් කෙමෙන් අදුර වැටෙද්දි අපි නැවතත් මිත්තරයගෙ නිවසට සම්ප්‍රාප්ත උනා...උඹලා ඇගපත හෝදගෙන හෙමීට ලෑස්ති වෙයල්ලා...අරහෙ සංගීත බඩු ටික අරගෙන කට්ටිය ඇවිල්ලා මම ඒක බලලා එන්නම්...බඩියා එහෙම කියලා අපෙන් සමුගත්තා....
මමත් ගායක කමලත් සංගිත පෙනුමෙන් සන්නද්ධ වෙලා අවසන් වෙද්දි....ඔටුවා බතික් සරමක් ඇදගෙන ඊට උඩින් කමිසයක් ඇද ගත්තා.....
ඔය මොකද බොල ඔය....කමලා ඔටුවගෙන් අහුවා.
කලබල නොවී හිටහල්ලකො....මම ලස්සන නැටුමක් පෙන්නන්නං....උඹලා සින්දු කියන වෙලාවට....
තවත් ටික වේලාවක් ගත උනාට පස්සෙ සංගීත භාණ්ඩ සුසර කරන හඩ ශබ්ද විකාශන උපකරණ ඔස්සේ ඇහෙන්න ගත්තා...
මේක පොඩි සංගීතයක් කිව්වට බං පොඩිම නෑ වගේ...බලහංකො සද්දෙ....ඔටුවා කාමරේ මුලු වල තියෙන විවිධ පාර්සල් මොනවද කියලා බලන්න ඔබන ගමන් අපිට ඇහෙමින් තියෙන හඩ ගැන උගේ අදහස ඉදිරිපත් කොලා...
උඹලා කියපල්ලා අමුවෙන් සින්දු කියන්න බෑ කියලා...ප්‍රසිද්ධ ගායකයොත් එකක් දෙකක් අනුමත වෙලානෙ සින්දු කියන්නෙ...ඇරත් බඩියා කිව්වනෙ රිදෙන්න සළකන්නම් කියලා....ඔටුවා හිතට එන දේවල් එක එක වෙලාවට කියනවා....
තවත් මොහොතක් ඇවෑමෙන් බඩියා ගෙදර ආවෙ හිස ගිණි ගත්ත ගානට... මොකෝ බන් අවුලක්ද ?
බෑන්ඩ් 3 ක්ම ඉන්නවනෙ බං අපේ වැඩේට.....ඒ හින්දා මුන් ගහන පිළිවෙල තෝරන්න තුණ්ඩු ඇද්දා....අල්ලපු ගමේ උන්ට පළවෙනි නොම්බරේ ලැබුනෙ....ඒකට අපේ ගමේ උන් විරුද්ධයි...උන් කියනවා අපේ ගමේ වැඩේ අපි තමයි ඉස්සෙල්ලා ගහන්නෙ කියලා....එතන ගිණි විජ්ජුම්බරයයි බන්....සවුන්ඩ් ගෙනාපු උනුත් භය වෙලා සවුන්ඩ් වලට කෙළවෙයි කියලා...
අඩේ කැත සිද්ධිය.....දැන් මොකද උනේ....සංගීතෙ හුටස් ද ? ඔටුවා එහෙම අහනකොට දොර රෙද්ද මෑත් කරගෙන කාමරේට එබුනෙ බඩියගෙ අයියා නෙවිල්....
පික්සුද මල්ලි...අපි ඉන්නකං ඒම වෙනවද...අපේ ගමේ උන්ට අපි කිව්වා පිට ගමකින් ආවම ආගන්තුක සත්කාරයක් කියලා දෙයක් තියෙනවා ඒ හින්දා උඹලා දෙවැනියට ගහපල්ලා, ඒක අවනම්බුවක් නෙමෙයි කියලා....උනුත් ඒක අන්තිමට හරි පිළිගත්ත හින්දා ගින්න ලොකුවට ගියේ නෑ....
බඩියො....මුන්ට අමුවෙන්ම සින්දු කියන්න අමාරුයි කියන්නෙ...සෘතියෙ හරියට පිහිටන්න බෑලු...ඔටුවා සරමෙ කොණක් උස්සගෙන එහෙම කියන්නෙ උගෙ බොක්ක ගැන පමණක් හිතලා විත්තිය අපි දන්නවා...
එතකොට බොල ඉස්සර මුන් පන්තියෙදි සින්දු කිව්වෙ බීලද ?
අඩේ ඒ කථාව වැරදියි...මුන් දෙන්නා වගේ ඉස්කෝලෙ ඉන්න ජේෂ්ඨ ගායකයො දෙන්නෙක් මේ දුරු කතර ගෙවාගෙන වැලේ එල්ලිලා උඹේ ගමට ආවම ඔහොම සළකලා බෑ මස්සිනා...අරි...උඹ එන්න ඉස්සෙල්ලා කෝමද කිව්වෙ රිදෙන්න සලකන්නම් කියලා....අපි මේ රිදෙන්න සළකනකං බලාන ඉන්නෙ....
ඔටුවා සමහර වෙලාවට තරහා ගියා වගේ මෙහෙම කථා කරන්නෙ ඇත්තටම නෙමෙයි....එහෙම කථා කරලා ඒකා අමුතුම වින්දනයක් ගන්න විත්තිය ලගින් ආශ්‍රය කරන උන් විදියට අපි දැනගෙන හිටියෙ.
උන්ට නම් ඕනෙ නෑ...ඒත් උඹට නම් ඕනෑ පාටයි....අර සාමත් මගෙන් ඇහුවා කවුද අනේ අර කටුස්සෙක් වගේ එකෙක් ඇවිල්ලා ඉන්නෙ කියලා.....
ඒකි ඒම කිව්වද....මොනවද ඕට්ටු...මම සංගීතෙ යන වෙලාවට ඒකිව බදාගෙන නටනවා...උඹ මොකද කියන්නෙ....උඹට අවුල්ද ? ඔටුවත් පස්ස ගහන්නෙ නෑ.
මට ඇති අවුලක් නෑ බොල...උඹ ඔය සරම ගලවගන්නෙ නැතුව ඕනෙ නැටුමක් නටා ගනු....හැබැයි සාමාගෙ තාත්තා පොල් බිදින මහ මන්නයෙන් අත පය විතරක් ගලව ගන්න එපා. වරෙන්කො එළියෙන් කාමරේ ජනේලෙ ලගට....එහෙම කිව්වා විතරයි ඔටුවා අඩියට දෙකට කාමරෙන් එළියට ගිහිල්ලා ජනේලය අද්දරට පිටතින් ඔන්දස්පොට් උනා...එතෙක් වේලා කාමරේ මුල්ලක සැතපිලා තිබුනු සිංහ රුවක් සහිත දුඹුරු පැහැති බෝතල් කීපයක් කාමරේ ජනේලය හරහා එළියට ගමන් කරන දසුනක් අපිට දකින්නට ලැබුනා...
මේවා කොහෙද බොල තියන්නෙ....ඔටුවා එළියෙ ඉදං මොර දෙනවා...
උඹේ සරමට දා ගනිං...බඩියා උත්තර දෙනවා....
බෝතල් 10 විතර මේ විදියට හුවමාරු කලා...එත් අන්තිම බෝතලේ ගන්නකොට ඔටුවගෙ අතින් ඒක ග්‍රිල් කූරක තදට වැදිලා ලොකු සද්දයක් ඇති වුනා...ඒ සද්දෙ මොකක්ද බලන්න බඩියගෙ තාත්තත් ඉක්මනට කාමරේට ආවා.....බඩු අතේ මාට්ටු....
අපේ පුත්තරයා එහෙනං යාලුවන්ට හොදට සළකන පාටයි.... පියතුමා හීන් හිනාවක් දැම්මා....
එහෙමට කියලා නෑ තාත්තෙ....මෙච්චරයි තියෙන්නෙ....බඩියා එහෙම කියලා ජාමෙ බේරගත්තා....
අයියෝ බන්...බියර් විතරද...මම එහෙම අහුවෙ සීතල නැති බියර් බොන එක එපා කරපු වැඩක් නිසයි....සීතල නැති උනාම ඒවා හරිම තිත්තයි....
තව සැර ජාති තියෙනවා බන්...උඹලා ආව වෙලාවෙ ඉදන් බොන්නමනෙ බොලව් ඉල්ලන්නෙ...ඉස්සෙල්ලා සින්දු කියලා බැහැපල්ලා...ඊට පස්සෙ බොන්න නෙමෙයි නාන්න දෙන්නම්....
එහෙනං ඔහොමම යමු සංගීතෙ පැත්තට...තව ටිකකින් වැඩේ පටන් ගන්නවා....අයියත් ගියා පොල්තෙල් පහන පත්තු කරන උන් ටික හොයාගෙන එන්න....බඩියා එහෙම කියලා නිවසින් පිටතට ඇවිල්ලා පිළිකන්නෙ හිටිය ඔටුවගෙන් බෝතල් දෙක තුනක් අරන් කලුවරේම පොල් වත්තෙ ඉදිරියට ගියා...
අඩේ මට මෙච්චර ගෙනියන්න බෑ බොල...මගේ සරම කඩන් වැටෙන්න එනවා....කැහැපට ගහපු සරම තුලට බියර් ලෝඩ් එක පටවලා තිබුන ඔටුවා එහෙම කෑ ගැහුවෙ පොල් වත්තෙ භාගයක් දුර ආවට පස්සෙ....සරම කැඩුනොත් ආයෙ ඇද ගනින්....බඩියා ගනනකට නොගෙන උත්තර දුන්නා....
මම ජොකා දාලා නෑ යකෝ.... අහල පහල කෙල්ලෙක්වත් දැක්කොත්...ඒ කථාවට නම් අවට හිටිය ඔක්කොම ඔටුවගෙ ඇස් රතුවෙනකං හිනා වුනා....
එකා දෙන්නා බැගින් ඇවිත් දැන් සංගීත සංදර්ශනය පවත්වන පුංචි පිට්ටනිය අතුරු සිදුරු නැතුව පිරිලා...ගම්මානයකට මෙහෙම අවස්ථාවක් හැමදාමත් උදා වෙන්නෙ නැති නිසා අවස්ථාවක් ලද විටෙක හැම දෙනාම එතැනට එකදු පහදු වෙන්නෙ අවුරුදු උදාවත් එක්ක ඇති වෙන චිත්ත ප්‍රීතිය දෙගුණ කරගන්න බව මගේ අක්මාවට දැනෙමින් තිබුනා.
නෙවිල් අයියා මයික්‍රෆෝනය අතට අරගෙන සහය දුන් හැමටම මුලින්ම ස්තූති කරලා සාර්ථක ආරම්භයක් ලබා දීලා පොල්තෙල් පහන් දල්වන්න ආරාධිතයන්ට ආරාධනා කලා....ඒ හැමෝම ගමේ ඇත්තො...විවිධ විදිහට මේ කටයුතු වලට උදව් වෙච්ච අය....සාමගෙ හැඩි දැඩි තාත්තා දැක්කම නම් ඔටුවා ගැස්සුනාද කොහෙද....
පේනවනෙ තාත්තා....උඹව අල්ලලා කිහිල්ලෙ ගහ ගනී...පරිස්සමෙන් හිටපං....කමලා ඔටුවට හීනියට කෝචොක් එකක් දැම්මා....
පළවෙනි සංගීත කණ්ඩායම තමන්ගෙ කටයුතු ආරම්භ කලා....මට දැන් මේ කණ්ඩායම් වල නම් මතක නෑ...ඒ නිසා පළවෙනි කණ්ඩායමට භාග්‍යා කියලා කියමු....මොකද කණ්ඩායමක් දෙකක් එවැනි නම් වලින් තමයි එදා සන්නද්ධ වෙලා හිටියෙ.
භාග්‍යා සතුව හිටියෙ එකම එක ගායකයයි...ගායකයො පැමිණෙන්නෙ නැති ආධුනික ප්‍රසංගයක් නිසාම...දිගින් දිගටම ගීත ගායනා කරන්න වෙන්නෙ බෑන්ඩ් එකටම තමයි....මේ වාදක කණ්ඩායම් 3 සමගම කථා කරලා අපි ගයන්න සුදානම් වෙලා තිබුන ගීත වාදනය කරන්න පුලුවන් අය සමගයි අපේ ගායනා ඉදිරිපත් කරන්න අපි යොදාගෙන තිබුනෙ....ඒ අනුව මට නියමිත වෙලා තිබුනෙ දෙවැනි කණ්ඩායම එක්ක....ඒ කිව්වෙ බඩියගෙ ගමේ සැට් එක එක්ක සින්දුවට ඇන්ටොර් වෙන්න.....
අපි ඉතිං සින්දු කියන්න නියමිත වෙලා හිටියට...සංවිධායක වැඩ එක්ක හිරවෙලා හිටිය අපේ මිත්තරයා බඩියා එක්ක එහෙ මෙහෙ ඇවිද ඇවිද තමයි වැඩි වේලාවක් ගත කලේ... සංගීතය පටන් අරන් දැන් පැය දෙකකටත් වැඩියි....දැන් වාදන කටයුත්ත භාර අරගෙන ඉන්නෙ දෙවැනි කණ්ඩායම හෙවත් ගමේ කණ්ඩායම...
පොඩ්ඩක් වරෙං...මේ ගෙදරට ගිහිල්ලා ස්ටේජ් එක ලගට යමු.... අපේ යෞවන සමාජෙ භාණ්ඩාගාරික කෙල්ල ඉන්නෙ මේ ගෙදර. අපේ ගමේ උන් එක්ක නේද උඹ සින්දු කියන්නෙ.... එහෙම කියලා බඩියා සංගීතය පැවැත්වෙන ස්ථානයට යාබදව තිබුන නිවසක් ඇතුලට රිංගුවා....මමත් ඒ නිවසට යද්දි සාලෙ පුටුවක සතපවා හිටිය කලු කොල්ලෙක්ට සුදු කෙල්ලො කීප දෙනෙක් වටවෙලා පවන් ගහනවා....
මොකාද බන් මේ....මම එහෙම ඇහුවා...
මේ මචං භාග්‍යා බෑන්ඩ් එකේ ගායකයා....ඌට සින්දු කියලා වැඩි වෙලා කලන්තෙ දාලා..... මට මතක විදියට මිනිහා එදා එක දිගට සින්දු 20 කට වඩා ගායනා කලා.
කෙල්ලො ටිකක් ලග ඉන්න හින්දද කොහොද ඒකා සෑහෙන්න අමාරු බවකුයි පෙන්නුවෙ....
මා ප්‍රිය සංගීතලෝලී හිතවතුනි හිතවතියනි...අපේ සංගීත සංදර්ශනයට ප්‍රථම ආරාධිත ආධුනික ගායකයා ඉදිරිපත් කරන්නයි අපේ මේ සූදානම.....
ඔය උඹ ගැන කියන්නෙ යමං එතනට.....අපේ නම් වල අගට අපි ගායනා කරන ගීත වල ඇත්ත ගායකයගෙ වාසගම දාලා කියන්න කියලා නිවේදකයට උපදෙස් දීලා තිබුනෙ පඩත්තර ඔටුවා....මිල්ටන් මල්ලවආරච්චි ගායකයගෙ ගීත ගායනා කල මගේ නම අගට මල්ලවආරච්චි කොටසක් එකතු වුනා...චන්දන ලියනාරච්චිගෙ ගීත ගායනා කරපු කමලා....කමල් ලියනාරච්චි උනා....
ඔය විදියට රටේ නැති බොරු ටිකක් හලලා සිරා කොලුවව වේදිකාවට නැග්ගුවා.....මොකාද බොල මේ කියලා බලන්න වගේ...නරඹන්නො දැන් වේදිකාවට බොහොම ලං වෙලා....ඒ අතර ඉන්න සී දේවී දැරිවියන්ගෙ මූණු ටික මම වෙනම හොයලා බැලුවා. ඒ ඉතිං වෙන මොකටවත් නෙමෙයි...පස්සෙ කාලෙක යුග ගීතයක් ගායනා කරන්න.
මෙන්න බොලේ ගීතය ආරම්භ වනවාත් සමගම වගේ කොහේදෝ අකුලක ඉදලා ඔටුවා දුවගෙන ඇවිල්ලා වේදිකාව ඉදිරිපස භූමියෙ බිම තිබුන පොල්තෙල් පහන අද්දරට වෙලා ආරාධිත අමුත්තන්ටත් ඉදිරියෙන් සරම අත්දෙකෙන්ම උස්සගෙන අමුතුම නැටුමක් නටන්න ගත්තා...මට හොදටම විශ්වාසයි...ඔටුවට ඒ වෙද්දි ජොකා නෑ කියලා අමතක වෙලයි හිටියෙ.
මට ගීත 3 ක් ගායනා කරන්න නියමිත වෙලා තිබුනත් ඒ අතරින් එක් ගීතයක පද මට මතකයේ තිබුනෙම නෑ....ඒ හින්දා පුංචි කොළ කැබැල්ලක් අතේ තියාගෙන තමයි වැඩේ යන්නෙ....ගමේ කොල්ලොත් ගමේ කෙල්ලො ඉස්සරහා වාදනය කරන හින්දද මන්දා...දුං පිටවෙන්න වැඩේ දෙනවා...වාදනය ඉතාම හොද මට්ටමක තියෙනවා....පළවෙනි ගීත දෙක අපහසුවකින් තොරව ගායනා කරලා //මා හා සෙනෙහස පාලා//....මගේ අවසන් ගීතයටත් ලං වුනා.
කොළ කැබැල්ල අතට ගන්නවත් එක්කම ගීතයේ ආරම්භක වාදනය පටන් ගත්තා...ඒ එක්කම මම රැදී හිටිය ස්ථානයට ඉහළින් තිබුන විදුලි පහන නිවී ගියා...වේදිකා පරිපාලකයා හිතෙන හිතෙන විදියට ලයිට් සෙල්ලං කරන නිසා මට ඉළින් තියෙන බල්බය දැල්වෙන්නෙ තත්පර ගානකට පමණයි....ගීතය ගායනා කරන්න පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දිම බල්බය පත්තු උනා...ඒ සැනින් ආයෙමත් නිවුනා....පද කිසිවක් මතක නැති නිසා මට කොළය බලාගෙන කීම අත්‍යවශ්‍යයි. ඒකෙ ලියලා තියෙන අකුරු කරුවලේ පේන්නෙ නෑ....විදුලි එළිය වැටුනම මම පේළි කිපයක් ඉදිරියට මතක තියා ගන්නවා....ඒ පේළිය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පෙර පිනකට වගේ ආයෙමත් බල්බය දැල්වෙනවා...මගේ හදවත දෙගුණයක් වේගයෙන් ගැහෙනවා. බඩ ඇතුලෙ සමනල්ලු පියාඹනවා.
ඒ මදිවට ඉස්සරහා ඉදන් කොමිටල් නැටුමක් සභාවට ඉදිරිපත් කරන ඔටුවා...සරම දෙපසින් ඉහළට ඔසවාගෙන කණමදයා වගේ බීලා කෙලින් ඉන්න පණ නැති එකෙකුගේ චරිතය රගපානවා. උගෙ රංගනයත්, නර්ථනයත් ගීතය ගායනා කරන අතරෙදි දුටුවොත් මට හිනාවක් පනිනවා සහතිකයි. ඒ නිසාම මම වෙන ඉසව්වක් බලාගෙන සින්දුව කිව්වෙ. සමහර දැරිවියො සංගීතෙ වෙනුවට ඔටුවගෙ යන්තමට පෙනෙන පශ්චාත් කලාපය දෙසම බලාගෙනත් හිටියා..ඒකට වගේ වගක් නෑ...සරම ඉහළටම උස්සගෙන අමුතුම නැටුමක් නටනවා... ගීතයේ පද වලින් කියවන දෑ අත් වලින් විවිධ හැඩතල මවලා නරඹන්නන්ට පැහැදිලි කරනවා....
අතුරෙ යනවා වගේ ඇන ගන්නෙ නැතුව කලුවරේ ජරමරේ අස්සෙ මම යන්තං ගීතය අවසාන කරගත්තා....නරඹන්නොත් ලෝභ නැතුව ලොකු අත්පුඩියකුත් ගහපු නිසා හිතට කික්....තුන්වෙනි කණ්ඩායම වේදිකාවට එද්දි ඒකෙ උන් ඔක්කොටම වගේ හොදටම වැදිලා...වේදිකාවට පිටිපස්සෙ සංවිධායකයො ජංගම ස්කාගාරයක් පවත්වාගෙන ගොස් තියෙන බවක් මට වැටහුනේ ඊට පස්සෙ...
ඩ්‍රම්ස් වාදකයට කුණු වෙරි...මිනිහා මූණ ඇදකරගෙන ඇස් ලොකු කරගෙන ඩ්‍රම්ස් වාදනය කරපු ආකාරය මනහරයි....දැකුම් කළුයි, චිත්තාකර්ෂණීයයි. ඒ මොනවා උනත් බීට් එක තිතට වදිනවා...සින්දුවත් අපූරුවට ගලාගෙන යනවා.
සංගීතකාමී පරපුරක ඊළග පරම්පරාවේ නියෝජනය...පිළිගන්න කමල් ලියනාරච්චි......ඔන්න අපේ අනිත් ගායකයා කමලත් වේදිකාරූඩ වුනා...මිනිහට ආලෝකය පිළිබද ගැටලුවක් ආවෙ නෑ...නමුත් ඔටුවගෙ සුපුරුදු නැටුම ආයෙත් විද්‍යාමාන උනා....
කවුද බන් අතන අර වෙරිමර ගාතෙ සරමත් උස්සගෙන නටන එකා....කණට දෙකක් ගහලා පැත්තකට දාපන්කො..පොඩි උනුත් බලාගෙන ඉන්නවනෙ....නෙවිල් අයියට මද වේලාවකට කලියෙන් ගෙදර හිටිය ඔටුවව දැන් අදුන ගන්න බෑ.
ඔයින් මෙයින් හෝරා කීපයක් අවසානයේ සංගීතය නිමා වුනා...ශබ්ද විකාශන උපකරණ වගේම වේදිකාවත් මහ රාත්තිරියෙම ප්‍රවාහනය කරන එක තමයි ඒවා ගෙන එන අයගෙ සිරිත...ඒ අල්ල පනල්ලෙ නටලා නටලා හති වැටිලා හිටිය ඔටුවා තටු අකුලගෙන අපේ ලගට ආවා....
කොහොමද මගේ නැටුම....
නොදකින්....උඹ දිහා බැලුවා නම් මට වමනෙ යන හින්දා මම ඈත හිටිය කෙල්ලෙක් දිහා බලාගෙන සින්දු කිව්වෙ...කමලා එහෙම කිව්වා....
අපේ බඩියත් සංවිධායක වරයෙක් විදියට තමන්ට තිබුන රාජකාරි අවසන් කරලා...වේදිකාව පිටුපස තිබුන ජංගම ස්කාගාරයට අපිව කැටුව ගියේ පොඩ්ඩක් රත් වෙන්න සලකන්න...ඒ හරියෙ තිබුනා මදක් උසට වැවුණු තණකොළ යායක්....
මචං ඔය තණකොළ අස්සෙ බියර් බෝතල් ඇති...කකුලෙන් පාගලා හොයාගනිල්ලා....
ඔටුවො බැරි වෙලාවත් නයෙක්,පොළගෙක් වගේ අහුවුනොත්...ඒකා උඹම තියා ගනින් අපිට දෙන්න හදන්න එපා. බඩියා එහෙමත් කිව්වා.
ඔයින් මෙයින් සීදුවෙ ගල් වලට සෝඩා කලවම් වෙලා වට දෙක තුනක් ගියා...ඒත් අමධ්‍යප සංගමයෙ හිටිය කමලා කටේ තියන්නෙ නෑ....
මොනවද බන්....පොඩ්ඩක් ගනින්කො.... අද වගේ ලස්සන දවසක....පණුවන්ටත් හොද බේතක් මේක...
ඔටුවා කමලට නැටුම් තෙල් පිළිබද වරුණාව කියනවා..වටේ පිටේ බේබද්දන් අතර නොබී හිටිය එකම එකා ඒකා වෙච්චි කොට කමලා තීරණය කලා පොඩි ෂොට් එකක් ජීවිතේ පළවෙනි වතාවට උගුරෙන් පහලට හලලා බලන්න.
භය වෙන්න එපා යකෝ...පොඩි එකක් ගනින්....ඔටුවා එහෙම කියලා අහිංසක කමලට පෙරැත්ත කරපු නිසාම ගල් බෝතලේ මූඩියෙන් පොඩි ෂොට් එකක් ගන්න කමලා පසුබට උනේ නෑ.
කොහොමද ආතල්ද ? ඔටුවගෙ පුරස්නෙට කමලගෙන් උත්තරයක් නෑ....
තවත් විනාඩි 10 කට විතර පස්සෙ මිනිහා ගල් මූඩියෙන් දෙවැනි එකත් ළග නමා ගත්තා...කාගෙවත් ආරාධනයකින් තොරවම....ඊටත් පස්සෙ කමල් ලියනාරච්චි එක දිගට ගල් මූඩියෙන් ලග නමාගෙන නමාගෙන ගියා....
රස හදුනන්නෝ ගල්ම ගහන්නෝ.... ඔටුවා ගලේ වරුණාව මහ හඩින් පවසමින් වීදුරු එක දෙක හිස් කරනවා...
මචංලා....සවුන්ඩ් ගෙනාපු ලොරිය ස්ටාර්ට් වෙන්නෙ නෑ....පොඩි තල්ලුවක් දෙමුද ?
බඩියා හැති දාගෙන දුවගෙන ඇවිල්ලා දුන්න පණිවිඩේ හින්දම අපිත් සුනංගු නොවී ඉක්මනට ඒ පැත්තට දිව්වා...ගල් බෝතලේ ඔටුවා තමන්ගෙ ඉන ප්‍රදේශයට හිර කරලා සරම තදට ඇද ගත්තා...
ලොරිය බොහොම පරණ ඔස්ටින් වර්ගයේ එකක්....ඒ වෙද්දිත් රියදුරා ඇන්ජිම පණ ගන්වා ගන්න දන්න සෙල්ලම් ඔක්කොම දාලා හැති වැටිලා හිටියෙ...
මොනවද මල්ලි ඉනේ...මිනිහා අපේ ඔටුවාගෙන් ඇහුවා....
ගල් බෝතලයක් අයියෙ.....
අපේ මුදලාලිට හදිස්සි උනාට මට ඇති හදිස්සියක් නෑ මල්ලි....ලොරිය ඇතුලෙම හීනියට ගම්මු....
එහෙම කියලා රියදුරා හංගපු තැනකින් ප්ලාස්ටික් කෝප්පයක් අරන් අපිත් එක්ක එකතු පහදු වෙච්චි හින්දා කඩල ගොට්ටක්, හිල වඩයක් අපි ඉදිරියේ කටගැස්ම බවට පත්වුනා.
කමල් ලියනාරච්චි තාමත් මූඩියත් එක්ක සෙල්ලම් කරනවා...මේ විදියට බෝතලේ එක දෙක වෙලා...ලොරිය ඇතුලෙ නාටකේ අවසන් උනා....
කොහොමද දැන් මේ බඩකඩිත්තුව ස්ටාර්ට් කරන්නෙ....ඔටුවා රියදුරාගෙන් ඇහුවා...
මට දැන් ක්‍රමයක් මතක් වුනා කොල්ලො....ඔටුවට තට්ටුවක් දාලා රියදුරු තැන ගල් බෝතලයක ඉතිරි වෙලා තිබුන අමෘතයෙන් ටිකක් ලොරියෙ ඇන්ජිං පෙට්ටියට ඉදිරියෙන් තිබුන රේඩියේටරයට වතුර දාන හෝස් පයිප්පයට හැලුවා...ඊටත් පස්සෙ පත්තර පිටුවක් අරන් ඒක හොදට පොඩි කරලා ලයිටරයකින් ඒ කඩදාසිය පත්තු කොලා...ඊටත් පස්සෙ ගිණිගන්නා කඩදාසිය හොස් පයිප්පයට ලං කොලා....
හෝස් පයිප්පය ඇතුලෙන් දැන් ගිණි ගන්නවා...අපිට හිතා ගන්න බෑ...මේ කුමන ක්‍රමයක්ද කියලා...බොද වෙලා පේන ඇස් ගෙඩි නිසාම අපිට දැන් දැන් පේන්නෙ ලොරියෙ ඇන්ජිමටත් ගිණි අරන් වගෙයි....ඒ භයටම ඔටුවා සරම කරේ තියන් ලොරියෙන් බිමට පැන්නා....
රියදුරා අසුනට බර උනා....යතුර කැරකුවේ එක වරයි....කෙදිරි ගාගෙන ලොරිය පණ ගැන්වුනා....අපි සියල්ලන්ටම සැලියුට් එක බැගින් තිළිණ කර ඔහු අපෙන් සමුගත්තා...නමුත් රථය පණගැන්වුන විදිය නම් මට තවමත් ප්‍රහේලිකාවක්....
ඔයින් මෙයින් සංගීතයේ කටයුතු අවසානයි....සංවිධායකයො , ගායකයො, වාදකයො සියල්ලන්ම බඩියගෙ ගමේ මිත්තරයා වෙච්චි වසන්තයගෙ නිවසට ආවෙ අමෘතයේ ඉතිරියක් තියෙනවා නම් එයත් අවසන් කරන අටියෙන්.
ඒ වෙද්දිත් වසන්තයගෙ නිවසේ ස්කාගාරයේ ඇති පදම් බඩු තිබුනා...නමුත් සැන්ටිං අවසන්...
අපි ඉස්සරහා වත්තෙන් තැඹිලි වලු දෙක තුනක් බාමු....වසන්තයගෙ යෝජනාවට ගමේ කොල්ලො දෙන්නෙක් කඹ දෙකකුත් උරහිසේ පටලවාගෙන සුටුස් ගාලා ගස් බඩ ගෑවා...
දැන් ඔන්න තැඹිලි වතුර එක්ක ගල් යුෂ අපේ ආමාෂ සිප ගන්නවා...මේ විදියට ගත වෙච්ච පැය දෙක තුනකින් පස්සෙ බඩියගෙ නිවසෙ කෙටි නින්දක් ලබලා මම පසුදා උදෑසනම නිවෙස බලා පිටත් වුනා.
නිවෙසට ලගා වෙලා සුළු මොහොතකින් ඔටුවා ඇතුලු අපේ පිරිසෙ සැපදුක් බලන්නයි ඒ පැත්තට ඇමතුමක් ගත්තෙ.
ඇමතුමට කථා කලේ බඩීගෙ තාත්තා...
ඊයෙ රෑ මොනවද කට්ටිය කෑවෙ බිව්වෙ....අර ඔටුවා කියන මිනිහටයි...සින්දු කිව්ව හාදයටයි...උපේ උන් දෙන්නටයි....එක දිගට බඩ යනවා....ගෙදර කක්කුස්සියට අපිට යන්න විදියක් නෑ...මුං ටික මාරුවෙන් මාරුවට යනවා එනවා. දැන් ඔන්න ඔක්කොම ඒක ඉස්සරහ ඇණ තියාන ඉන්නවා මුරට දැම්මා වගේ. මමත් මේ අල්ලපු ගෙදරට දුවලා ගිහින් මගේ උවමනාව කොරගෙන ආවෙ.
එහා පැත්තෙන් දුරකථනය තියෙනවත් එක්කම....මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය, බොකු බඩවැල්, උණුඩුක පුච්ච මැදින් ගුද මාර්ගය දෙසට වෙන්නට කොටපු විදුලියක් එක්ක අහවල් කැත සිග්නල් එක මටත් වැදුනා. එතැනින් පස්සෙ මමත් මගේ මිත්තරයන්ගෙ ක්‍රියාකාර කොමටම එකතු උනා. අහ වල් එක මුර කොලා.
ගද ගහන කථාවක් අස්සෙන් සුවද හමන පැතුමක්....
ඔබ හැමටම ප්‍රීතිමත් නත්තලකට ආසිරි...
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා....
ප.ලි
සිරා කොලුවා ඉස්සර මෙහෙම උනාට...අද මෙහෙම නැතිය. දැන් සෑහෙන්න නිවිලාය.
බඩියා යනු වර්තමානයේ වෙළද දැන්වීම්/ ගීත රූප රචනා/ කෙටි චිත්‍රපට/ යන සියලු අංශයන්හි තම හැකියාව හොදින් පෙන්වා ඇති ජනප්‍රිය තලයේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙකි. මේ වන විට සම්මාන රාශියකින්ද පිදුම් ලබා තිබේ. එයටත් අමතරව ත්‍රිමාණ සජීවීකරණය පිළිබද හසල දැනුමක් සහිත කෙනෙකි.
ඔටුවා දැන් දෙදරු පියෙකි...වැඩිමල් දරුවා 2 වසරේ ඉගෙනුම ලබයි. පියාගේ ව්‍යාපාර වැඩිදියුණු කරගෙන ධාර්මිකව කල් ගෙවයි. ඉස්සර තිබූ වාචාල කට දැන් නැත. අවසන් වරට මට ඒකාව මුලිච්චි වූ කමලාගේ වෙඩිමේදීද ඔටුවා දැහැමෙන් සෙමෙන් කල් ගත කලේය.
අවසර ගෙන පසුව එකතු කොලා.....
අපේ බඩියා සම්මානයට පාත්‍ර වූ එක් රූප රචනයක්.... ඉරාජ්ගෙ ...පොලිසිය
2011 - Best Video / Best reggae - Derana Music Awards