Tuesday, December 24, 2013

85 ඔටු නැටුම් සහ සංගීතේ

පොඩි වැඩක් තියෙනවා කරමුද ? පාසලේ 12 කැලෑසියෙ මම හිටපු පේලියෙම හිටිය බඩියා මගෙන් එහෙම ඇහුවෙ දවසක්දා උදෑසනක පාසල පටන් ගත්ත විගසම වගේ...

මොකක්ද බොල වැඩේ...කියහං බලන්න...කොරන්න පුලුවන් දෙයක් නම් කොරමු....

නෑ බොල මේකයි කාරණේ...අපේ ගමේ යෞවන සමාජෙ මෙදා පොටේ අවුරුදු උත්සවයක් එක්ක සංගීතෙකුත් අටවලයි තියෙන්නෙ...අපිට පොඩි පුරස්නයක් තියෙනවා....


ඡායාරූපය ikman.lk වෙතිනි.



හෑ....ඒ මොකක්ද?

අපිට සින්දු කියන්න ගායකයො නෑ....බඩියා එහෙම කියලා අසරණ බැල්මක් දැම්මා...

එතකොට මේක ආධුනික ප්‍රසංගයක්ද...මමත් පෙරළා විචාලා....

ඔව් ඔව් බං...ප්‍රසිද්ධ උන් ගේන්න අපිට සල්ලි තිබ්බා නම් උඹලට එන්න කියනවද ?  එක වේදිකාවක අපේ ගමේ උන් එක්ක අහල පහල ගම් වල බෑන්ඩ් දෙකකුත් එදාට ගහනවා...ඔක්කොම බෑන්ඩ් 3යි. ඒ උනාට අපේ ගමේ කියලා එකෙක්වත් සින්දුවක් කියන්න ඉදිරිපත් වෙන්නෙ නෑ බං... උන් ඔක්කොම භයයි සින්දුව වැරදිලා උන්ට නරඹන්නන්ගෙන් ගල් පාර කන්න වෙයි කියලා....බලහං...පුරුෂ දහිරිය තියෙන එකෙක් නෑ.

හැබෑට...අපි වැඩේ කොරමු එහෙනං...ගෙවීම් එහෙම කොහොමද....

උඹ මගෙන් කුණු හබ්බ අහගන්න එපා...කන්න බොන්න දීලම බොක්ක පාත් කරලා යවන්නම්...ඒ මදිද ?

ඇති බං...ඒ හොදටම ඇති..මම මේ විහිලුවට එහෙම ඇහුවෙ....ඒක නෙමෙයි, උඹලගෙ ගමේ ලස්සන කෙලියො එහෙම නැද්ද බං....ඒ දවස් වල අනංගයා මගේ වටේ කැරකි කැරකි හිටි නිසා තමයි එහෙම ඇහුවෙ.

මොකෑ බොල නැත්තෙ....ඔය ඉන්නෙ කීප දෙනෙක්ම...එදාට ඇවිල්ලා බලා ගං.....

අඩේ කෙල්ලො ඉන්නවා නම් මාත් එනවා උඹලා එක්ක එදාට සංගීතෙට යන්න...පැත්තක හිටිය ඔටුවා සින්දු කියන්න පුලුවන් එකෙක් වගේ අපේ මේ කථාව මැද්දට පැන්නා.

මේකව එක්කගෙන යනවා නම් උඹලගෙ ගමට මුගෙ කට විදලා ඉබ්බෙක් දාපන්.. නැත්තං ගමේ උන්ගෙන් ගුටි කන්න වෙන්නෙ බොට...මම බඩියට එහෙමත් කිව්වා...මොකද ඔටුවා කියන්නෙ ජාතියක් ජම්මයක්, හැදියාවක් නැති එකා.

මගේ මේ කාමරේට මේ කියන චරිත ටික හදිසියේ කඩා පාත් වුනේ පහුගිය කථාවෙන් නොවැ...ඒ නිසා තවම බොලාට මේ අය ගැන වැඩි අවබෝධයක් නැති බව මම දන්නවා....ඔහොම යන කොට යම් අවබෝධයක් ඇති වේවි....

බඩියා මට ඉස්සෙල්ලාම මුලිච්චි උනේ 9 වසරෙදි...ඒ වෙනකං වෙනත් පන්තියක ඉදලා තාක්ෂණ විෂයන්ට අනුව පන්ති කළවම් කරද්දි තමයි අපි දෙන්නත් කළවම් උනේ....පුංචි ශරීරයක් තිබ්බ හිත හොද, බොහොම ප්‍රිය මනාප එකා නිසා හැමෝම මේකාට කැමතියි....ඒ හින්දම තමයි බඩී කියලා නමකුත් වැටුනෙ...

මේ කියන හාදයට බොහොම ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්....පෑන් පහරවල් දෙක තුනකින් ලස්සන ගැටිස්සියක් අදින එක ඌට මහ කජ්ජක් නෙමෙයි. ඇරත් ඒ කාලෙ පන්තියෙ කොල්ලො කී දෙනෙකුගේ නම් ආදර හසුන් බඩියගෙ  චිත්‍ර වලින් හැඩ වුනා කියලද, චිත්‍ර ඇදීමේ හැකියාව නිසාම බඩියා ටික කලකින්ම පංතියේ ඉදිරිපෙළ එකෙක් බවට පත් වුනා.

ඉතිං බොලව්...දවසින් දවස පැයෙන් පැය කාලය ගත වෙලා බඩියලගෙ ගමේ අවුරුදු සාදය බොක්කෙන්ම සමරන්න ගමේ කොල්ලො කෙල්ලො එක ඉත්තක පිපුනු මල් වගේ  මහන්සි වෙලා සංවිධානය කරලා තිබුන අවුරුදු උත්සවයට ආරාධිතයො විදියට අපි සැපත් වෙන දවස උදා වුනා...

මේ ගමන යන්න පෙර දවසෙත් ඔටුවාගෙන් බේරිල්ලක් තිබුනෙ නෑ අපට....අනේ බං මට සින්දු කියන්න බැරි උනත් උඹලා සින්දු කියන වෙලාවට බිම ඉදලා  මම දෙන්නං රටක් වටින නැටුමක්...මාව හලන්නෙ නැතුව එක්ක යනවා නේද....

වරෙං වරෙං...උඹ වගේ එකෙකුත් එතැන ඉන්න ඕනෙ තමා....අපි එහෙම කියලා අපේ කාණ්ඩෙට ඔටුවාවත් එකතු කර ගත්තා..මා එක්කම විද්‍යාලයීය ගායන කණ්ඩායම නියෝජනය කරපු කමල් ගොයියත් මේ ගමනට එකතු උනා.

හැන්දෑ වරුවක ගම්පහ ටවුමට එක්කාසු වෙච්ච අපි 211 දිවුලපිටිය බස් එකකට නැග ගත්තා...ඊට කලියෙන් කවදාවත් බඩියගෙ ගෙදර ගිහිල්ලා නෑ වගේම මේ බස් රථය ධාවනය වන මාර්ගයේ ගිහිල්ලත් නෑ...ඒ දවස් වල ජංගම දුරබණුවක් අපේ අත් වල තිබුනෙ නැති හින්දම සෑහෙන දුකක් විදගෙන උඩුගම හන්දියෙන් බැහැලා අපේ මිත්තරයා පන්තියෙදි අපිට ඇදලා දුන්න සිතියම දිහා බලාගෙන අපි දැන් අතුරු මාර්ගයක ගමන් කරනවා....

සිතියමේ තියෙන තොරතුරු එක්ක මාර්ගයේ තියෙන සළකුණු හරියටම ගැලපුනු නිසා අපි අපහසුවකින් තොරව අපේ මිත්තරයගෙ නිවස කිට්ටුවම තියෙනවා කියපු  පුංචි වෙළදසැල ලගටත් ආවා.....මේ සිංහල අලුත් අවුරුද්දෙ ගෙදරකට යන්න පුලුවන්ද අත වන වනා....ඒ සිතිවිල්ල නිසාම අපේ පසුම්බි වල අග්ගිස්සෙ හැංගුන අන්තිම රුපියල දෙකත් යොදලා පුංචි පහේ බිස්කැට් ටින් එකක් ගන්නයි ඔටුවගෙ ආශාව.

අපිට අවශ්‍ය දේ මිළදීගෙන අපි කඩේ මුදලාලිගෙන් ඇහුවා අහ වලාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ කියලා...ඊට පස්සෙ කඩේ මුදලාලි අපෙන් ඇහුවා එයාගෙ තාත්තා මොනවා කරන කෙනෙක්ද කියලා....අපි ඉතිං අපේ ගජ මිත්තරයගෙ පවුලෙ තොරතුරු රාශියක් දැන හිටිය හින්දම ඒ ප්‍රශ්නය අපහසු එකක් උනේ නෑ... එයාගෙ තාත්තා දිවයින පත්තරේ ප්‍රාදේශීය වාර්තාකාරයනෙ අංකල්....අපි එහෙම උත්තර දුන්නා...

කෝ දෙන්න කියලා අපි ගත්ත බිස්කැට් ටින් එක ආයෙමත් අරන් මුදලාලි මුදල් ආපසු  දුන්නා...ඔටුවා උගෙ ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලාන ඉන්නවා මේ මොන හරුපයක්ද කියලා....

නෑ නෑ මේවා ඕනෙ නෑ...ඔන්න ඔය වත්ත දිගේ පහළට යන්න...අර පේන්නෙ එයාගෙ ගෙදර...මුදලාලි එහෙම කිව්වා....ඇයි බිස්කට් එක ආයෙම ගත්තෙ...ඔටුවා  ඇහුවා....

ඔය කියන හාදයා මගේ පොඩි පුතා. අපේ ගෙදරට අපේ කඩෙන්ම බිස්කට් අරං යන්න ඕනැයි....නැද්ද හාමිනේ.... බඩියගෙ  පෙනුම ඒ විදියටම අම්මගෙ මුහුණ තුලින් විද්‍යාමාන වෙච්ච හින්දම තවත් සැක සංකා තියාගන්න අවශ්‍ය වුනේ නෑ.  ඒ වෙනකං අපි දැනන් උන්නෙ නෑ අපේ මිත්තරයගෙ දෙමව්පියො සතුව කඩයක් තියෙන විත්තියක්...

සරුවට වැඩිලා තිබුන පොල් වත්තක් දිගේ අපි පල්ලම් බැස්සා...බඩියලගෙ නිවෙස ඇතුලෙ ඒ වෙද්දිත් උගේ ගමේ මිත්තරයො කීප දෙනෙක්ම සංවිධාන වැඩ වලට ඇවිල්ලා....

වරෙල්ලා වරෙල්ලා....තොපි තුන්දෙනා එනකං තමයි අපි මේ මග බලාන උන්නෙ...නැත්තං සංගීතෙට කික් එකක් නෑ. ජනක, ප්‍රදීප්, වසන්ත මේ තමයි අපේ ආරාධිත ගායකයො.....බඩියා ගමේ උන්ට අපිව හදුන්වා දුන්නා. මේ අපේ අයියා නෙවිල්....කොළඹ තරු හෝටලයක ඒ වන විටත් සේවය කරමින් උන්න අපේ මිත්තරයගෙ අයියා තමයි සංවිධායක කමිටුවෙ ප්‍රධානියා.

අපේ ගමන් මළු නිවස තුල තියලා ඒ වෙද්දිත් ක්‍රියාත්මක වෙමින් තිබුන අවුරුදු ක්‍රීඩා බලන්න අවුරුදු උත්සවේ පැත්තට ඇදුනෙ ඊටත් පස්සෙ. අපි එහි යද්දි සංවිධායක මණ්ඩලයට රුපියලක් දීලා  ගිණි කූරක් අරගෙන වැඩිම ඉටි පන්දම් ප්‍රමාණයක් දල්වන අලුත් ආරක තරගයක් තමයි එහි තිබුනෙ...ඒක කොර කොරා හිටියෙ ගමේ පොල් මුදලාලිගෙ දුව සාමා...සුන්දර නිහතමානී දැරියක්....අපේ පළමු හමුවීම උනත් ඇය අප සමග ඉක්මනින් හිතවත් උනා....

ඔටුවා දැන් එතනින් හෙල්ලෙන්නෙ නෑ....රුපියල් 10 ක විතර ඉටිපන්දම් පත්තු කරලා සාමාව ගිලින්න වගේ සාමා දිහා බලාන ඉන්නවා...මුගෙ කුප්ප වැඩ ගැන දන්න නිසා අපිත් බලාගෙන ඉන්නවා ඔටුවා අපේ නම තියාවි අපූරුවට කියලා...

පුටුවක ඉදගෙන මේ කටයුතු කරමින් හිටිය සාමා කුමක් හෝ අවශ්‍යතාවකට නැගිට්ටා....ඒ ඇසිල්ලෙම ඇයට හොරෙන් ඒ පුටුව ඉවත් කරපු ඔටුවා...ඇය වාඩි වෙන්නට දරන උත්සාහයේදි වැටෙන්න යනකොට අල්ලන්න සූදානමෙන් වගේ හොර ගල් අහුලමින් උන්නා....නමුත් තමන්ට පිටුපසින් අමුත්තක් දැනුන නිසාදෝ  ඇය හැරිලා බැලුවාම ඔටුවගේ හොරේ අතේ මාට්ටු....ඇයි....ඇය ඔටුවට කණට ගැහුවා වගේ ඇහුවා.....නෑ නෑ මොකුත් නෑ...ඔටුවා රතු වෙච්ච මූණ හංගගෙන එතනින් මාරු උනා....

ඔය ඉන්න කෙල්ලො අපේ මේ කොල්ලන්ගෙ අක්කලා නංගිලා....උන්ට අරවා මේවා කරන්න ගිහිල්ලා ගුටි කෑවොත් මම නෑ....බලහං උඹේ ඇග දිහා...කටු විතරයි මස් කලදක් නෑ...යකෝ කෙල්ලෙක් කැමති කරගන්න තව ටිකක් මස් ලියලනකං ඉදිං.... බඩියා වටේ පිටේ බලලා ඔටුවගෙ භෞමික අඛන්ඩතාව කීතු කීතු වලට ඉරලා දැම්මා.

කෙමෙන් කෙමෙන් අදුර වැටෙද්දි  අපි නැවතත් මිත්තරයගෙ නිවසට සම්ප්‍රාප්ත උනා...උඹලා ඇගපත හෝදගෙන හෙමීට ලෑස්ති වෙයල්ලා...අරහෙ සංගීත බඩු ටික  අරගෙන කට්ටිය ඇවිල්ලා මම ඒක බලලා එන්නම්...බඩියා එහෙම කියලා අපෙන් සමුගත්තා....

මමත් ගායක කමලත් සංගිත පෙනුමෙන් සන්නද්ධ වෙලා අවසන් වෙද්දි....ඔටුවා බතික් සරමක් ඇදගෙන ඊට උඩින් කමිසයක් ඇද ගත්තා.....

ඔය මොකද බොල ඔය....කමලා ඔටුවගෙන් අහුවා.

කලබල නොවී හිටහල්ලකො....මම ලස්සන නැටුමක් පෙන්නන්නං....උඹලා සින්දු කියන වෙලාවට....

තවත් ටික වේලාවක් ගත උනාට පස්සෙ සංගීත භාණ්ඩ සුසර කරන හඩ ශබ්ද විකාශන උපකරණ ඔස්සේ ඇහෙන්න ගත්තා...

මේක පොඩි සංගීතයක් කිව්වට බං පොඩිම නෑ වගේ...බලහංකො සද්දෙ....ඔටුවා කාමරේ මුලු වල තියෙන විවිධ පාර්සල් මොනවද කියලා බලන්න ඔබන ගමන් අපිට ඇහෙමින් තියෙන හඩ ගැන උගේ අදහස ඉදිරිපත් කොලා...

උඹලා කියපල්ලා අමුවෙන් සින්දු කියන්න බෑ කියලා...ප්‍රසිද්ධ ගායකයොත් එකක් දෙකක් අනුමත වෙලානෙ සින්දු කියන්නෙ...ඇරත් බඩියා කිව්වනෙ රිදෙන්න සළකන්නම් කියලා....ඔටුවා හිතට එන  දේවල් එක එක වෙලාවට කියනවා....

තවත් මොහොතක් ඇවෑමෙන් බඩියා ගෙදර ආවෙ හිස ගිණි ගත්ත ගානට... මොකෝ බන් අවුලක්ද ?

බෑන්ඩ් 3 ක්ම ඉන්නවනෙ බං අපේ වැඩේට.....ඒ හින්දා මුන් ගහන පිළිවෙල තෝරන්න තුණ්ඩු ඇද්දා....අල්ලපු ගමේ උන්ට පළවෙනි නොම්බරේ ලැබුනෙ....ඒකට අපේ ගමේ උන් විරුද්ධයි...උන් කියනවා අපේ ගමේ වැඩේ අපි තමයි ඉස්සෙල්ලා ගහන්නෙ කියලා....එතන ගිණි විජ්ජුම්බරයයි බන්....සවුන්ඩ් ගෙනාපු උනුත් භය වෙලා සවුන්ඩ් වලට කෙළවෙයි කියලා...

අඩේ කැත සිද්ධිය.....දැන් මොකද උනේ....සංගීතෙ හුටස් ද ? ඔටුවා එහෙම අහනකොට දොර රෙද්ද මෑත් කරගෙන කාමරේට එබුනෙ බඩියගෙ අයියා නෙවිල්....

පික්සුද මල්ලි...අපි ඉන්නකං ඒම වෙනවද...අපේ ගමේ උන්ට අපි කිව්වා පිට ගමකින් ආවම ආගන්තුක සත්කාරයක් කියලා දෙයක් තියෙනවා ඒ හින්දා උඹලා දෙවැනියට ගහපල්ලා, ඒක අවනම්බුවක් නෙමෙයි කියලා....උනුත් ඒක අන්තිමට හරි පිළිගත්ත හින්දා ගින්න ලොකුවට ගියේ නෑ....

බඩියො....මුන්ට අමුවෙන්ම සින්දු කියන්න අමාරුයි කියන්නෙ...සෘතියෙ හරියට පිහිටන්න බෑලු...ඔටුවා සරමෙ කොණක් උස්සගෙන එහෙම කියන්නෙ උගෙ බොක්ක ගැන පමණක් හිතලා විත්තිය අපි දන්නවා...

එතකොට බොල ඉස්සර මුන් පන්තියෙදි සින්දු කිව්වෙ බීලද ?

අඩේ ඒ කථාව වැරදියි...මුන් දෙන්නා වගේ ඉස්කෝලෙ ඉන්න ජේෂ්ඨ ගායකයො දෙන්නෙක්  මේ දුරු කතර ගෙවාගෙන වැලේ එල්ලිලා උඹේ ගමට ආවම ඔහොම සළකලා බෑ මස්සිනා...අරි...උඹ එන්න ඉස්සෙල්ලා කෝමද කිව්වෙ රිදෙන්න සලකන්නම් කියලා....අපි මේ රිදෙන්න සළකනකං බලාන ඉන්නෙ....

ඔටුවා සමහර වෙලාවට තරහා ගියා වගේ මෙහෙම කථා කරන්නෙ ඇත්තටම නෙමෙයි....එහෙම කථා කරලා ඒකා අමුතුම වින්දනයක් ගන්න විත්තිය ලගින් ආශ්‍රය කරන උන් විදියට අපි දැනගෙන හිටියෙ.

උන්ට නම් ඕනෙ නෑ...ඒත් උඹට නම් ඕනෑ පාටයි....අර සාමත් මගෙන් ඇහුවා කවුද අනේ අර කටුස්සෙක් වගේ එකෙක් ඇවිල්ලා ඉන්නෙ කියලා.....

ඒකි ඒම කිව්වද....මොනවද ඕට්ටු...මම සංගීතෙ යන වෙලාවට ඒකිව බදාගෙන නටනවා...උඹ මොකද කියන්නෙ....උඹට අවුල්ද ? ඔටුවත් පස්ස ගහන්නෙ නෑ.

මට ඇති අවුලක් නෑ බොල...උඹ ඔය සරම ගලවගන්නෙ නැතුව ඕනෙ නැටුමක් නටා ගනු....හැබැයි සාමාගෙ තාත්තා පොල් බිදින මහ මන්නයෙන් අත පය විතරක් ගලව ගන්න එපා. වරෙන්කො එළියෙන් කාමරේ ජනේලෙ ලගට....එහෙම කිව්වා විතරයි ඔටුවා අඩියට දෙකට කාමරෙන් එළියට ගිහිල්ලා ජනේලය අද්දරට පිටතින් ඔන්දස්පොට් උනා...එතෙක් වේලා කාමරේ මුල්ලක සැතපිලා තිබුනු සිංහ රුවක් සහිත දුඹුරු පැහැති බෝතල් කීපයක් කාමරේ ජනේලය හරහා එළියට ගමන් කරන දසුනක් අපිට දකින්නට ලැබුනා...

මේවා කොහෙද බොල තියන්නෙ....ඔටුවා එළියෙ ඉදං මොර දෙනවා...
උඹේ සරමට දා ගනිං...බඩියා උත්තර දෙනවා....

බෝතල් 10 විතර මේ විදියට හුවමාරු කලා...එත් අන්තිම බෝතලේ ගන්නකොට ඔටුවගෙ අතින් ඒක ග්‍රිල් කූරක තදට වැදිලා ලොකු සද්දයක් ඇති වුනා...ඒ සද්දෙ මොකක්ද බලන්න බඩියගෙ තාත්තත් ඉක්මනට කාමරේට ආවා.....බඩු අතේ මාට්ටු....

අපේ පුත්තරයා එහෙනං යාලුවන්ට හොදට සළකන පාටයි.... පියතුමා හීන් හිනාවක් දැම්මා....

එහෙමට කියලා නෑ තාත්තෙ....මෙච්චරයි තියෙන්නෙ....බඩියා එහෙම කියලා ජාමෙ බේරගත්තා....

අයියෝ බන්...බියර් විතරද...මම එහෙම අහුවෙ සීතල නැති බියර් බොන එක එපා කරපු වැඩක් නිසයි....සීතල නැති උනාම ඒවා හරිම තිත්තයි....

තව සැර ජාති තියෙනවා බන්...උඹලා ආව වෙලාවෙ ඉදන් බොන්නමනෙ බොලව් ඉල්ලන්නෙ...ඉස්සෙල්ලා සින්දු කියලා බැහැපල්ලා...ඊට පස්සෙ බොන්න නෙමෙයි නාන්න දෙන්නම්....

එහෙනං ඔහොමම යමු සංගීතෙ පැත්තට...තව ටිකකින් වැඩේ පටන් ගන්නවා....අයියත් ගියා පොල්තෙල් පහන පත්තු කරන උන් ටික හොයාගෙන එන්න....බඩියා එහෙම කියලා නිවසින් පිටතට ඇවිල්ලා පිළිකන්නෙ හිටිය ඔටුවගෙන් බෝතල් දෙක තුනක් අරන් කලුවරේම පොල් වත්තෙ ඉදිරියට ගියා...

අඩේ මට මෙච්චර ගෙනියන්න බෑ බොල...මගේ සරම කඩන් වැටෙන්න එනවා....කැහැපට ගහපු සරම තුලට බියර් ලෝඩ් එක පටවලා තිබුන ඔටුවා එහෙම කෑ ගැහුවෙ පොල් වත්තෙ භාගයක් දුර ආවට පස්සෙ....සරම කැඩුනොත් ආයෙ ඇද ගනින්....බඩියා ගනනකට නොගෙන උත්තර දුන්නා....

මම ජොකා දාලා නෑ යකෝ.... අහල පහල කෙල්ලෙක්වත් දැක්කොත්...ඒ කථාවට නම් අවට හිටිය ඔක්කොම ඔටුවගෙ ඇස් රතුවෙනකං හිනා වුනා....

එකා දෙන්නා බැගින් ඇවිත් දැන් සංගීත සංදර්ශනය පවත්වන පුංචි පිට්ටනිය අතුරු සිදුරු නැතුව පිරිලා...ගම්මානයකට මෙහෙම අවස්ථාවක් හැමදාමත් උදා වෙන්නෙ නැති නිසා අවස්ථාවක් ලද විටෙක හැම දෙනාම එතැනට එකදු පහදු වෙන්නෙ අවුරුදු උදාවත් එක්ක ඇති වෙන චිත්ත ප්‍රීතිය දෙගුණ කරගන්න බව මගේ අක්මාවට දැනෙමින් තිබුනා.

නෙවිල් අයියා මයික්‍රෆෝනය අතට අරගෙන සහය දුන් හැමටම මුලින්ම ස්තූති කරලා සාර්ථක ආරම්භයක් ලබා දීලා පොල්තෙල් පහන් දල්වන්න ආරාධිතයන්ට ආරාධනා කලා....ඒ හැමෝම ගමේ ඇත්තො...විවිධ විදිහට මේ කටයුතු වලට උදව් වෙච්ච අය....සාමගෙ හැඩි දැඩි තාත්තා දැක්කම නම් ඔටුවා ගැස්සුනාද කොහෙද....

පේනවනෙ තාත්තා....උඹව අල්ලලා කිහිල්ලෙ ගහ ගනී...පරිස්සමෙන් හිටපං....කමලා ඔටුවට හීනියට කෝචොක් එකක් දැම්මා....

පළවෙනි සංගීත කණ්ඩායම තමන්ගෙ කටයුතු ආරම්භ කලා....මට දැන් මේ කණ්ඩායම් වල නම් මතක නෑ...ඒ නිසා පළවෙනි කණ්ඩායමට භාග්‍යා කියලා කියමු....මොකද කණ්ඩායමක් දෙකක් එවැනි නම් වලින් තමයි එදා සන්නද්ධ වෙලා හිටියෙ.

භාග්‍යා  සතුව හිටියෙ එකම එක ගායකයයි...ගායකයො පැමිණෙන්නෙ නැති ආධුනික ප්‍රසංගයක් නිසාම...දිගින් දිගටම ගීත ගායනා කරන්න වෙන්නෙ බෑන්ඩ් එකටම තමයි....මේ වාදක කණ්ඩායම් 3 සමගම කථා කරලා අපි ගයන්න සුදානම් වෙලා තිබුන ගීත වාදනය කරන්න පුලුවන් අය සමගයි අපේ ගායනා ඉදිරිපත් කරන්න අපි යොදාගෙන තිබුනෙ....ඒ අනුව මට නියමිත වෙලා තිබුනෙ දෙවැනි කණ්ඩායම එක්ක....ඒ කිව්වෙ බඩියගෙ ගමේ සැට් එක එක්ක සින්දුවට ඇන්ටොර් වෙන්න.....

අපි ඉතිං සින්දු කියන්න නියමිත වෙලා හිටියට...සංවිධායක වැඩ එක්ක හිරවෙලා හිටිය අපේ මිත්තරයා බඩියා එක්ක එහෙ මෙහෙ ඇවිද ඇවිද තමයි වැඩි වේලාවක් ගත කලේ... සංගීතය පටන් අරන් දැන් පැය දෙකකටත් වැඩියි....දැන් වාදන කටයුත්ත භාර අරගෙන ඉන්නෙ දෙවැනි කණ්ඩායම හෙවත් ගමේ කණ්ඩායම...

පොඩ්ඩක් වරෙං...මේ ගෙදරට ගිහිල්ලා ස්ටේජ් එක ලගට යමු.... අපේ යෞවන සමාජෙ භාණ්ඩාගාරික කෙල්ල ඉන්නෙ මේ ගෙදර. අපේ ගමේ උන් එක්ක නේද උඹ සින්දු කියන්නෙ.... එහෙම කියලා බඩියා සංගීතය පැවැත්වෙන ස්ථානයට යාබදව තිබුන නිවසක් ඇතුලට රිංගුවා....මමත් ඒ නිවසට යද්දි සාලෙ පුටුවක සතපවා හිටිය කලු කොල්ලෙක්ට සුදු කෙල්ලො කීප දෙනෙක් වටවෙලා පවන් ගහනවා....

මොකාද බන් මේ....මම එහෙම ඇහුවා...

මේ මචං භාග්‍යා බෑන්ඩ් එකේ ගායකයා....ඌට සින්දු කියලා වැඩි වෙලා කලන්තෙ දාලා..... මට මතක විදියට මිනිහා එදා එක දිගට සින්දු 20 කට වඩා ගායනා කලා.

කෙල්ලො ටිකක් ලග ඉන්න හින්දද කොහොද ඒකා සෑහෙන්න අමාරු බවකුයි පෙන්නුවෙ....

මා ප්‍රිය සංගීතලෝලී හිතවතුනි හිතවතියනි...අපේ සංගීත සංදර්ශනයට ප්‍රථම ආරාධිත ආධුනික ගායකයා ඉදිරිපත් කරන්නයි අපේ මේ සූදානම.....

ඔය උඹ ගැන කියන්නෙ යමං එතනට.....අපේ නම් වල අගට අපි ගායනා කරන ගීත වල ඇත්ත ගායකයගෙ වාසගම දාලා කියන්න කියලා නිවේදකයට උපදෙස් දීලා තිබුනෙ පඩත්තර ඔටුවා....මිල්ටන් මල්ලවආරච්චි ගායකයගෙ ගීත ගායනා කල මගේ නම අගට මල්ලවආරච්චි කොටසක් එකතු වුනා...චන්දන ලියනාරච්චිගෙ ගීත ගායනා කරපු කමලා....කමල් ලියනාරච්චි උනා....

ඔය විදියට රටේ නැති බොරු ටිකක් හලලා සිරා කොලුවව වේදිකාවට නැග්ගුවා.....මොකාද බොල මේ කියලා බලන්න වගේ...නරඹන්නො දැන් වේදිකාවට බොහොම ලං වෙලා....ඒ අතර ඉන්න සී දේවී දැරිවියන්ගෙ මූණු ටික මම වෙනම හොයලා බැලුවා. ඒ ඉතිං වෙන මොකටවත් නෙමෙයි...පස්සෙ කාලෙක යුග ගීතයක් ගායනා කරන්න.

මෙන්න බොලේ ගීතය ආරම්භ වනවාත් සමගම වගේ කොහේදෝ අකුලක ඉදලා ඔටුවා දුවගෙන ඇවිල්ලා වේදිකාව ඉදිරිපස භූමියෙ බිම තිබුන පොල්තෙල් පහන අද්දරට වෙලා ආරාධිත අමුත්තන්ටත් ඉදිරියෙන් සරම අත්දෙකෙන්ම උස්සගෙන අමුතුම නැටුමක් නටන්න ගත්තා...මට හොදටම විශ්වාසයි...ඔටුවට ඒ වෙද්දි ජොකා නෑ කියලා අමතක වෙලයි හිටියෙ.

මට ගීත 3 ක් ගායනා කරන්න නියමිත වෙලා තිබුනත් ඒ අතරින් එක් ගීතයක පද මට මතකයේ තිබුනෙම නෑ....ඒ හින්දා පුංචි කොළ කැබැල්ලක් අතේ තියාගෙන තමයි වැඩේ යන්නෙ....ගමේ කොල්ලොත් ගමේ කෙල්ලො ඉස්සරහා වාදනය කරන හින්දද මන්දා...දුං පිටවෙන්න වැඩේ දෙනවා...වාදනය ඉතාම හොද මට්ටමක තියෙනවා....පළවෙනි ගීත දෙක අපහසුවකින් තොරව ගායනා කරලා //මා හා සෙනෙහස පාලා//....මගේ අවසන් ගීතයටත් ලං වුනා.

කොළ කැබැල්ල අතට ගන්නවත් එක්කම ගීතයේ ආරම්භක වාදනය පටන් ගත්තා...ඒ එක්කම මම රැදී හිටිය ස්ථානයට ඉහළින් තිබුන විදුලි පහන නිවී ගියා...වේදිකා පරිපාලකයා හිතෙන හිතෙන විදියට ලයිට් සෙල්ලං කරන නිසා මට ඉළින් තියෙන බල්බය දැල්වෙන්නෙ තත්පර ගානකට පමණයි....ගීතය ගායනා කරන්න පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දිම බල්බය පත්තු උනා...ඒ සැනින් ආයෙමත් නිවුනා....පද කිසිවක් මතක නැති නිසා මට කොළය බලාගෙන කීම අත්‍යවශ්‍යයි. ඒකෙ ලියලා තියෙන අකුරු කරුවලේ පේන්නෙ නෑ....විදුලි එළිය වැටුනම මම පේළි කිපයක් ඉදිරියට මතක තියා ගන්නවා....ඒ පේළිය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පෙර පිනකට වගේ ආයෙමත් බල්බය දැල්වෙනවා...මගේ හදවත දෙගුණයක් වේගයෙන් ගැහෙනවා. බඩ ඇතුලෙ සමනල්ලු පියාඹනවා.

ඒ මදිවට ඉස්සරහා ඉදන් කොමිටල් නැටුමක් සභාවට ඉදිරිපත් කරන ඔටුවා...සරම දෙපසින් ඉහළට ඔසවාගෙන කණමදයා වගේ බීලා කෙලින් ඉන්න පණ නැති එකෙකුගේ චරිතය රගපානවා. උගෙ රංගනයත්, නර්ථනයත් ගීතය ගායනා කරන අතරෙදි දුටුවොත් මට හිනාවක් පනිනවා සහතිකයි. ඒ නිසාම මම වෙන ඉසව්වක් බලාගෙන සින්දුව කිව්වෙ. සමහර දැරිවියො සංගීතෙ වෙනුවට ඔටුවගෙ යන්තමට පෙනෙන පශ්චාත් කලාපය දෙසම බලාගෙනත් හිටියා..ඒකට වගේ වගක් නෑ...සරම ඉහළටම උස්සගෙන අමුතුම නැටුමක් නටනවා... ගීතයේ පද වලින් කියවන දෑ අත් වලින් විවිධ හැඩතල මවලා නරඹන්නන්ට පැහැදිලි කරනවා....

අතුරෙ යනවා වගේ ඇන ගන්නෙ නැතුව කලුවරේ ජරමරේ අස්සෙ මම යන්තං ගීතය අවසාන කරගත්තා....නරඹන්නොත් ලෝභ නැතුව ලොකු අත්පුඩියකුත් ගහපු නිසා හිතට කික්....තුන්වෙනි කණ්ඩායම වේදිකාවට එද්දි  ඒකෙ උන් ඔක්කොටම වගේ හොදටම වැදිලා...වේදිකාවට පිටිපස්සෙ සංවිධායකයො ජංගම ස්කාගාරයක් පවත්වාගෙන ගොස් තියෙන බවක් මට වැටහුනේ  ඊට පස්සෙ...

ඩ්‍රම්ස් වාදකයට කුණු වෙරි...මිනිහා මූණ ඇදකරගෙන ඇස් ලොකු කරගෙන ඩ්‍රම්ස් වාදනය කරපු ආකාරය මනහරයි....දැකුම් කළුයි, චිත්තාකර්ෂණීයයි. ඒ මොනවා උනත් බීට් එක තිතට වදිනවා...සින්දුවත් අපූරුවට ගලාගෙන යනවා.

සංගීතකාමී පරපුරක ඊළග පරම්පරාවේ නියෝජනය...පිළිගන්න කමල් ලියනාරච්චි......ඔන්න අපේ අනිත් ගායකයා කමලත් වේදිකාරූඩ  වුනා...මිනිහට ආලෝකය පිළිබද ගැටලුවක් ආවෙ නෑ...නමුත් ඔටුවගෙ සුපුරුදු නැටුම ආයෙත් විද්‍යාමාන උනා....

කවුද බන් අතන අර වෙරිමර ගාතෙ සරමත් උස්සගෙන නටන එකා....කණට දෙකක් ගහලා පැත්තකට දාපන්කො..පොඩි උනුත් බලාගෙන ඉන්නවනෙ....නෙවිල් අයියට මද වේලාවකට කලියෙන් ගෙදර හිටිය ඔටුවව දැන් අදුන ගන්න බෑ.

ඔයින් මෙයින් හෝරා කීපයක් අවසානයේ සංගීතය නිමා වුනා...ශබ්ද විකාශන උපකරණ වගේම වේදිකාවත් මහ රාත්තිරියෙම ප්‍රවාහනය කරන එක තමයි ඒවා ගෙන එන අයගෙ සිරිත...ඒ අල්ල පනල්ලෙ නටලා නටලා හති වැටිලා හිටිය ඔටුවා තටු අකුලගෙන අපේ ලගට ආවා....

කොහොමද මගේ නැටුම....

නොදකින්....උඹ දිහා බැලුවා නම් මට වමනෙ යන හින්දා මම ඈත හිටිය කෙල්ලෙක් දිහා බලාගෙන සින්දු කිව්වෙ...කමලා එහෙම කිව්වා....

අපේ බඩියත් සංවිධායක වරයෙක් විදියට තමන්ට තිබුන රාජකාරි අවසන් කරලා...වේදිකාව පිටුපස තිබුන ජංගම ස්කාගාරයට අපිව කැටුව ගියේ පොඩ්ඩක් රත් වෙන්න සලකන්න...ඒ හරියෙ තිබුනා මදක් උසට වැවුණු තණකොළ යායක්....

මචං ඔය තණකොළ අස්සෙ බියර් බෝතල් ඇති...කකුලෙන් පාගලා හොයාගනිල්ලා....

ඔටුවො බැරි වෙලාවත් නයෙක්,පොළගෙක් වගේ අහුවුනොත්...ඒකා උඹම තියා ගනින් අපිට දෙන්න හදන්න එපා. බඩියා එහෙමත් කිව්වා.

ඔයින් මෙයින් සීදුවෙ ගල් වලට සෝඩා කලවම් වෙලා වට දෙක තුනක් ගියා...ඒත් අමධ්‍යප සංගමයෙ හිටිය කමලා කටේ තියන්නෙ නෑ....

මොනවද බන්....පොඩ්ඩක් ගනින්කො.... අද වගේ ලස්සන දවසක....පණුවන්ටත් හොද බේතක් මේක...

ඔටුවා කමලට නැටුම් තෙල්  පිළිබද වරුණාව කියනවා..වටේ පිටේ බේබද්දන් අතර නොබී හිටිය එකම එකා ඒකා වෙච්චි කොට කමලා තීරණය කලා පොඩි ෂොට් එකක් ජීවිතේ පළවෙනි වතාවට උගුරෙන් පහලට හලලා බලන්න.

භය වෙන්න එපා යකෝ...පොඩි එකක් ගනින්....ඔටුවා එහෙම කියලා අහිංසක කමලට පෙරැත්ත කරපු නිසාම ගල් බෝතලේ මූඩියෙන් පොඩි ෂොට් එකක් ගන්න කමලා පසුබට උනේ නෑ.

කොහොමද ආතල්ද ? ඔටුවගෙ පුරස්නෙට කමලගෙන් උත්තරයක් නෑ....

තවත් විනාඩි 10 කට විතර පස්සෙ මිනිහා ගල් මූඩියෙන් දෙවැනි එකත් ළග නමා ගත්තා...කාගෙවත් ආරාධනයකින් තොරවම....ඊටත් පස්සෙ කමල් ලියනාරච්චි එක දිගට ගල් මූඩියෙන් ලග නමාගෙන නමාගෙන ගියා....

රස හදුනන්නෝ ගල්ම ගහන්නෝ.... ඔටුවා ගලේ වරුණාව මහ හඩින් පවසමින් වීදුරු එක දෙක හිස් කරනවා...

මචංලා....සවුන්ඩ් ගෙනාපු ලොරිය ස්ටාර්ට් වෙන්නෙ නෑ....පොඩි තල්ලුවක් දෙමුද ?

බඩියා හැති දාගෙන දුවගෙන ඇවිල්ලා දුන්න පණිවිඩේ හින්දම අපිත් සුනංගු නොවී ඉක්මනට ඒ පැත්තට දිව්වා...ගල් බෝතලේ ඔටුවා තමන්ගෙ ඉන ප්‍රදේශයට හිර කරලා සරම තදට ඇද ගත්තා...

ලොරිය බොහොම පරණ ඔස්ටින් වර්ගයේ එකක්....ඒ වෙද්දිත් රියදුරා ඇන්ජිම පණ ගන්වා ගන්න දන්න සෙල්ලම් ඔක්කොම දාලා හැති වැටිලා හිටියෙ...

මොනවද මල්ලි ඉනේ...මිනිහා අපේ ඔටුවාගෙන් ඇහුවා....

ගල් බෝතලයක් අයියෙ.....

අපේ මුදලාලිට හදිස්සි උනාට මට ඇති හදිස්සියක් නෑ මල්ලි....ලොරිය ඇතුලෙම හීනියට ගම්මු....

එහෙම කියලා රියදුරා හංගපු තැනකින් ප්ලාස්ටික් කෝප්පයක් අරන් අපිත් එක්ක එකතු පහදු වෙච්චි හින්දා කඩල ගොට්ටක්, හිල වඩයක් අපි ඉදිරියේ කටගැස්ම බවට පත්වුනා.

කමල් ලියනාරච්චි තාමත් මූඩියත් එක්ක සෙල්ලම් කරනවා...මේ විදියට බෝතලේ එක දෙක වෙලා...ලොරිය ඇතුලෙ නාටකේ අවසන් උනා....

කොහොමද දැන් මේ බඩකඩිත්තුව ස්ටාර්ට් කරන්නෙ....ඔටුවා රියදුරාගෙන් ඇහුවා...

මට දැන් ක්‍රමයක් මතක් වුනා කොල්ලො....ඔටුවට තට්ටුවක් දාලා රියදුරු තැන ගල් බෝතලයක ඉතිරි වෙලා තිබුන අමෘතයෙන් ටිකක් ලොරියෙ ඇන්ජිං පෙට්ටියට ඉදිරියෙන් තිබුන රේඩියේටරයට වතුර දාන හෝස් පයිප්පයට හැලුවා...ඊටත් පස්සෙ පත්තර පිටුවක් අරන් ඒක හොදට පොඩි කරලා ලයිටරයකින් ඒ කඩදාසිය පත්තු කොලා...ඊටත් පස්සෙ ගිණිගන්නා කඩදාසිය හොස් පයිප්පයට ලං කොලා....

හෝස් පයිප්පය ඇතුලෙන් දැන් ගිණි ගන්නවා...අපිට හිතා ගන්න බෑ...මේ කුමන ක්‍රමයක්ද කියලා...බොද වෙලා පේන ඇස් ගෙඩි  නිසාම අපිට දැන් දැන්  පේන්නෙ ලොරියෙ ඇන්ජිමටත් ගිණි අරන් වගෙයි....ඒ භයටම ඔටුවා සරම කරේ තියන් ලොරියෙන් බිමට පැන්නා....

රියදුරා අසුනට බර උනා....යතුර කැරකුවේ එක වරයි....කෙදිරි ගාගෙන ලොරිය පණ ගැන්වුනා....අපි සියල්ලන්ටම සැලියුට් එක බැගින් තිළිණ කර ඔහු අපෙන් සමුගත්තා...නමුත් රථය පණගැන්වුන විදිය නම් මට තවමත් ප්‍රහේලිකාවක්....

ඔයින් මෙයින් සංගීතයේ කටයුතු අවසානයි....සංවිධායකයො , ගායකයො, වාදකයො සියල්ලන්ම බඩියගෙ ගමේ මිත්තරයා වෙච්චි වසන්තයගෙ නිවසට ආවෙ අමෘතයේ ඉතිරියක් තියෙනවා නම් එයත් අවසන් කරන අටියෙන්.

ඒ වෙද්දිත් වසන්තයගෙ නිවසේ ස්කාගාරයේ ඇති පදම් බඩු තිබුනා...නමුත් සැන්ටිං අවසන්...

අපි ඉස්සරහා වත්තෙන් තැඹිලි වලු දෙක තුනක් බාමු....වසන්තයගෙ යෝජනාවට ගමේ කොල්ලො දෙන්නෙක් කඹ දෙකකුත් උරහිසේ පටලවාගෙන සුටුස් ගාලා ගස් බඩ ගෑවා...

දැන් ඔන්න තැඹිලි වතුර එක්ක ගල් යුෂ අපේ ආමාෂ සිප ගන්නවා...මේ විදියට ගත වෙච්ච පැය දෙක තුනකින් පස්සෙ බඩියගෙ නිවසෙ කෙටි නින්දක් ලබලා මම පසුදා උදෑසනම නිවෙස බලා පිටත් වුනා.

නිවෙසට ලගා වෙලා සුළු මොහොතකින් ඔටුවා ඇතුලු අපේ පිරිසෙ සැපදුක් බලන්නයි ඒ පැත්තට ඇමතුමක් ගත්තෙ.

ඇමතුමට කථා කලේ බඩීගෙ තාත්තා...

ඊයෙ රෑ මොනවද කට්ටිය කෑවෙ බිව්වෙ....අර ඔටුවා කියන මිනිහටයි...සින්දු කිව්ව හාදයටයි...උපේ උන් දෙන්නටයි....එක දිගට බඩ යනවා....ගෙදර කක්කුස්සියට අපිට යන්න විදියක් නෑ...මුං ටික මාරුවෙන් මාරුවට යනවා එනවා. දැන් ඔන්න ඔක්කොම ඒක ඉස්සරහ ඇණ තියාන ඉන්නවා මුරට දැම්මා වගේ.  මමත් මේ අල්ලපු ගෙදරට දුවලා  ගිහින් මගේ උවමනාව කොරගෙන ආවෙ.

එහා පැත්තෙන් දුරකථනය තියෙනවත් එක්කම....මහා අන්ත්‍රය, කුඩා අන්ත්‍රය, බොකු බඩවැල්, උණුඩුක පුච්ච මැදින් ගුද මාර්ගය දෙසට වෙන්නට කොටපු විදුලියක් එක්ක අහවල් කැත සිග්නල් එක මටත් වැදුනා. එතැනින් පස්සෙ මමත් මගේ මිත්තරයන්ගෙ ක්‍රියාකාර කොමටම එකතු උනා. අහ වල් එක මුර කොලා.

ගද ගහන කථාවක් අස්සෙන් සුවද හමන පැතුමක්....


ඔබ හැමටම ප්‍රීතිමත් නත්තලකට ආසිරි...


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා....



ප.ලි

සිරා කොලුවා ඉස්සර මෙහෙම උනාට...අද මෙහෙම නැතිය. දැන් සෑහෙන්න නිවිලාය.

බඩියා යනු වර්තමානයේ වෙළද දැන්වීම්/ ගීත රූප රචනා/ කෙටි චිත්‍රපට/ යන සියලු අංශයන්හි තම හැකියාව හොදින් පෙන්වා ඇති ජනප්‍රිය තලයේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙකි. මේ වන විට සම්මාන රාශියකින්ද පිදුම් ලබා තිබේ. එයටත් අමතරව ත්‍රිමාණ සජීවීකරණය පිළිබද හසල දැනුමක් සහිත කෙනෙකි.

ඔටුවා දැන් දෙදරු පියෙකි...වැඩිමල් දරුවා 2 වසරේ ඉගෙනුම ලබයි. පියාගේ ව්‍යාපාර වැඩිදියුණු කරගෙන ධාර්මිකව කල් ගෙවයි. ඉස්සර තිබූ වාචාල කට දැන් නැත. අවසන් වරට මට ඒකාව මුලිච්චි වූ කමලාගේ වෙඩිමේදීද ඔටුවා දැහැමෙන් සෙමෙන් කල් ගත කලේය.

අවසර ගෙන පසුව එකතු කොලා.....

අපේ බඩියා සම්මානයට පාත්‍ර වූ එක් රූප රචනයක්.... ඉරාජ්ගෙ ...පොලිසිය
2011 - Best Video / Best reggae  - Derana Music Awards















85 comments:

  1. හපොයි දිග,,............ හෙටම කියෝනව..!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් දෙකට කැඩුවාම බනිනවනෙ...මෙදා පොටේ ඇරලා දැම්මා...තනි එකකට...

      Delete
    2. ඇත්තටම දෙකට කඩනවට වඩා මෙහෙම හොඳා.
      සිරාත් පට්ට ගායකයෙක්නෙ බලන් ගියාම. හිතාගන්න බෑ ගෑල්ලමයෙක් බැලුවෙ නැත්තෙ ඇයි කියල..??? ඒ කාලෙ අවුරුදු උත්සව වල නිවේදක රාජකාරිය කොරලත් ගෑල්ලමයි .. කොකන්පානව බං අපිට..!

      Delete
    3. ගම්පහ ගෙට්ටුව වෙලේ මම එකම එක සින්දුවක් කිව්වා මතක නැද්ද වීයො.....අන්තිමටම තමයි ඒක කිව්වෙ...බොලා එතකොට ආපහු ගොහින් වෙන්න ඇති.

      ගෑණු ළමයි බැලුවෙ නැත්තෙ නෑ බං...බෑන්ඩ් ගහපු එකෙක් විදියට කාන්තා පාසල් වල ඇත්තියො සෑහෙන ආකර්ශනයක් තිබ්බා මට...නමුත් ඒ දවස් වල ප්‍රේම කථාවක් අරඹන්න මම පාසලට වගේම ගෙදරටත් සෑහෙන භයෙන් හිටියෙ...ඒ නිසාම ඒ බොහෝ දේ ලත් තැනම ලොප් උනා....

      Delete
    4. අය්යෝ .ඕනවට වඩා කීකරු වීමත් නරකයිනේ

      Delete
    5. බින්දිව දැක්ක කල්,...?

      Delete
    6. අද මටත් එහෙම හිතෙනවා අක්කෙ....ඒ කාලෙ භය නැතුව පෙරට කකුලක් තිබ්බා නම් ආදරේ සුන්දරත්වය බොහොම හොදට විදින්න තිබුනා...ජීවිතේට පසුකාලීනව තිළිණ වන වගකීම් ඒ කාලෙදි නැති නිසා...මම විශ්වාස කරන විදියට පාසල් ප්‍රේමය බොහොම සුන්දරයි....අවාසනාවකට අත්දැකීම් නැත...

      Delete
  2. මම එක, :D අද තමයි ඔන්න ඔක්කොම පෝස්ට් කියවල ඉවර කලේ, රහට ලියල තියෙනව ඈ , (Y)

    ReplyDelete
  3. නත්තල් අසිරිය විඳිමින්ම හිනා වෙවීම කියෙව්වා...

    සිරා අයියටත් සුබම සුබ නත්තලකට සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගා....මම බෞද්ධ ඒ උනාට....කාමරේට එන යන ක්‍රිස්තියානි හිතවතුන්ට තමයි මම සුභ නත්තලක් වෙන්ට කියා පැතුවෙ...

      Delete
  4. උපරිමයි සිරෝ ඈ !!
    අර ලොරියෙ සීන් එක මචං එයා ෆිල්ට‍ර් එකේ කවරෙ ගලෝලා පෙට්‍රල් ටිකක් අතින් ඉස්සම නං පට ගාල ස්ටාට් වෙනවා . ඒ ක්‍රමයද ඩැයිවර් මාම කලේ දන් නෑ !!

    ReplyDelete
    Replies
    1. කොයි ක්‍රමේ කලාද දන්නෙ නෑ පත්තරයො...මොකද අපි ඒ වෙද්දි ඇස් බොද වෙන්න වැදිලා හිටියෙ....

      Delete
  5. ඔන්න පාන්දරම කියෙව්වා.. මොනා කාපු හින්දද?

    ReplyDelete
    Replies
    1. කාපුවා නෙමෙයි බන්...තැඹිලි සැන්ටිං කරපු නිසාද කොහෙද...තැඹිලි පාවිච්චි කරලා රහ මෙර පානය බොහොම අගුණයි කියලා මම පස්සෙ කාලෙක අහලා තියෙනවා.....

      Delete
    2. //තැඹිලි පාවිච්චි කරලා රහ මෙර පානය බොහොම අගුණයි කියලා මම පස්සෙ කාලෙක අහලා තියෙනවා.....//
      ඒ මොකද බං..?

      හැබැයි ටිකක් වැඩිපුර වදිනවා මම හිතන්නෙ..සේලයින් එක්ක කවලං කලාවගේ නොවැ..!

      Delete
    3. ඔන්න ඔය සේලයින් කථාව තමයි මමත් අහලා තියෙන්නෙ...ක්ෂණිකව ශරීරයේ සීනි පරිමාව ඉහළ යනවා කියලයි කියන්නෙ...

      Delete
  6. අපේ අම්මේ ,,, මේකේ දිග
    //මොකද ඔටුවා කියන්නෙ ජාතියක් ජම්මයක්, හැදියාවක් නැති එකා./// මෙහෙම කියන්න එපා අප්පා මිනිස්සුන්ට .

    ජංගම දුරබණුවක්/// ද ජංගම තෙලබනුවක්ද ? මං මෙහෙමත් අහලා තියෙනවා ..

    ඇත්ත වශයෙන්ම මේක කියවන්න කොෆි කප් 3ක් එක්ක චොක්ලට් බිස්කට් 10 ක් ගියා ...

    ReplyDelete
    Replies
    1. දෙකට කැඩුවාම සැට් එක මට බනින නිසා තමයි එහෙම නොකර මෙදා පොටේ තනි කොටසකට පළ වෙන්නෙ...

      ඔටුවට ඔය මම කියලා තියෙන කථාවම මම උගෙ මූණටත් කියලා තියෙනවා...ඒක තමයි අපේ ෆිට් එක....නැතුව දකින දකින මිනිහට එහෙම කියන්න යන්නෙ නෑ....අපි අතර තියෙන මිත්‍රත්වය ඒ තරම් ප්‍රබලයි..බොහොම කිට්ටු මිතුරෙකුට විතරයි එහෙම දැඩි විවේචනයක් එල්ල කරන්නෙ...

      ගොඩාක් කෝපි බොන්න එපා අපුර්වි ....එය හදවතට එච්චර සුවදායක නෑ....චොකලට් බිස්කට් 10 ගියේ බඩේ හිගන ජනපදයක් ඇති ෂුවර් එකටම....

      Delete
  7. මගෙත් බොක්කෙක් හිටිය චිත්‍ර අදින්න පුළුවන් ඒකට කියල තමයි මමත් පෙම් හසුන් වල චිත්‍ර අන්දවා ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කෙන්ජි මාමත් කොලුවා කාලෙ පෙම් හසුන් කාරිය ලියලා තියෙනවා...

      Delete
  8. ඔටුවා වගේ ඩයල් එකක් හිටියේ නැත්තන් කිසිම ආතල් එකක් නෑ , හැබෑටම කොහොමද අර ලොරිය ස්ටාර්ට් වුනේ, ඩ්‍රයිවර් දැම්ම මොත්තයක්ද දන්නේ නෑ ෂොට් එකක් ගහ ගන්න ඕන වෙලා

    ReplyDelete
    Replies
    1. මොත්තයක් නෙමේ අයියෙ, ඩීසල් වාහන ස්ටාර්ට් වෙන්න අමාරු කරද්දි එයාක්ලීනරේට පැට්‍රෝල් වගේ දෙයක් දැම්මම ඉක්මනට ස්ටාර්ට් වෙනවනෙ, ඉතින් ඒකම තමා වෙන්නෙ අරක්කු දැම්මමත්...

      Delete
    2. කවුද බන් ඕව දන්නේ මගේ මිකැනිකල් දැනුම බිංදුවයි... තැන්කු වේවා සසිඳුවෝ

      Delete
    3. ඔය සසිදු කියපු දේ වෙන්ට ඇති එදත් වුනේ....මොකද මමත් කාර්මික දැනුම බින්දුවේ එකෙක්...

      Delete
  9. මම මීට වැඩිය උද්වේගකර අවසානයක් බලාපොරොත්තු වුනා ඔටුවගෙන්.. ඌ මගේ බලාපොරොත්තු කෑවා.. ඕකට අහුවෙන්න එපා කියපිය...

    සිරා කොලුවටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නත්තලක් හා සිරාට මංගල සීනු හැඬවෙන සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඇයි බොලා උගේ සරමත් ගැලවෙනකල්ද බලාගෙන හිටියෙ. :D

      Delete
    2. පිස්සුද මචන් එච්චර චූටි එකක් නෙමේ මම කිව්වෙ. නිකන් ගමේ කට්ටියම පොල් පිති උස්සන් සිරාලා පස්සෙන් එලෝගෙන එනවා වගේ සුන්දර අවසානයක්.. කෝ අරූ පැවරුව රාජකාරිය හරියට ඉස්ට කොරලා නෑනෙ...:D

      Delete
    3. ඒක ඇත්ත අවසානය නිකන් පතෝල වගේනෙ.. :)

      Delete
    4. සෙන්නගෙ ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි...මංගල සීනු කෙසේ වෙතත් හොද සහකාරියක් මේ වසරෙදි මුලිච්චි වුනොත් ඒ හොදටම ඇති....එතකොට මට සීනු හඩවන්න පුලුවන් තව වසරකින් දෙකකින්....

      කථාවෙ අවසානය ඇත්ත ඇති සැටියෙන් තමයි ලිව්වෙ...උද්වේගකර අවසානයකට යන්න කලියෙන් සැට් එකට බඩ ගිය එක තමයි අවුල...

      හරි....

      මොනා කරන්නද බන්...බඩ යන්නෙ කලින් කියලයෑ....

      Delete
  10. නොබොන අහින්සකයට බොන්න පුරුදු කෙරුවට ආනිසංස තමා ඔය හම්බුනේ :D

    ReplyDelete
    Replies
    1. ඒ අහින්සකයත් අහ වල් එක මුර කොරපු එක නොවැ පුදුමෙ...

      Delete
  11. සුභ නත්තලක් වෙවා සිරා
    ලොරියෙ එන්ජිමෙ හීට් එක වැඩිකර වෙන්න පුලුවන්.එත් ඔක සර්ථක එකක්ද කියල සැකයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...මට හොදට මතකයි මිනිහා ගිණි තිබ්බෙ අර හෝස් පයිප්පයට කියලා...

      Delete
  12. බොලා සංගීතෙට අපේ ගම් පලාතට නුදුරු තැනකට නොවැ ඇවිදින් තියෙන්නෙ.ඔය පැත්තෙ පොල්ම තමා බං.
    සුබ නත්තලක් සහ සිරි සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපෙ මාමා ඒ කියන්නෙ මීරිගම කිට්ටුව....පොල් කියන්නෙ යායට පොල්...එක නිවසක් වත් නෑ පර්චස් 10 - 15 ප්‍රමාණයේ..හැම එකක්ම වගේ අක්කර ගානක් තියෙන වතු....

      ඔබටත් සුභ නව වසරකට ආසිරි පතමි...

      Delete
  13. බඩ අල්ලගෙන කියෙවුවෙ බන්. ඔටුවාගෙ තරම තේරුනා ජොකා නැතුව සරම ඇදපු එකෙන්ම. පොර නම් එළ බුවෙක් සිරෝ.

    අපි නම් දහම් පාසලට සරම ඇන්දෙත් දණිස්සටම ෂෝටක් ගහලා. වෙන උන් අපේ ඒවා කඩා වඩා ගනී කියල බයට

    ReplyDelete
    Replies
    1. ආ සුභම සුභ නත්තලක් පැතුවා ඕන්.

      Delete
    2. දහම් පාසලේදි ඉතින් සරම කඩා වැටුනොත් කෙල්ලො ඉදිරියෙ භෞමික අඛණ්ඩතාව මොට වෙන නිසා ඒ ක්‍රමය වඩා ගුණදායකයි...

      Delete
  14. කොහොම උනත් ඔටුව සිරා ඩයල් එකක්. අන්තිම මොහොත වෙනකල් හරි වැටෙන්නෙ නැතුව හිටපු නිසා.
    අන්තිමට වෙලා තියෙන සීන් එකනං නියම පජාතයි.මැවිල පේනව කට්ටිය දොර ඉස්සරහ පෝලිමේ ඉන්නව.

    සිරාටත් සුබ නත්තලක් !

    ReplyDelete
    Replies
    1. ඔටුවා කපටියා....ඒ කියන්නෙ හැමෝටම බොන්න පෙරැත්ත කලාට ඒකා බොන්නෙ බොහොම අඩුවෙන්...ඒ නිසයි අන්තිමි වෙද්දිත් කද කෙලින් තියාගෙන ඉන්නෙ....

      Delete
  15. චැඃ.......! මෙච්චර ලස්සනට ඇදීගෙන ආව කතාව බඩගියානේ අන්තිමට. චික් විතරක්. පොඩ්ඩක් හෝව් මමත් ටක් ගාලා ටොයිලට් එකට ගිහිං ඇවිත් ඉතුරු ටික කොටන්නං .

    ReplyDelete
    Replies
    1. තැඹිලි සැන්ටිං කරපු එක තමයි අවුල....තැඹිලි එක්ක අනුමත උන බොහෝ දෙනෙකුට මේ සන්තෑසිය උනා...විචාරක තුමාට මොකද වුනේ...ඊයෙ රෑට කාපු දෙයක් අජීර්ණය වෙලාද.....

      Delete
  16. nice job machan.parana mathake aluth una.

    ReplyDelete
    Replies
    1. මෙන්න කමල් ලියනාරච්චි ඇවිල්ලෝ....උඹ තාමත් මූඩියෙන්ද ගහන්නෙ....

      Delete
  17. උඹෙ විසාල රස කතාවක් කලකට පස්සෙ ඔක්කොම කියෙව්ව. ඇත්තටම අවසානෙ තව ටිකක් ලොමු දැහැගැන්වෙන විහිළුවක් තිබ්බනං කියල වැඩක් නෑ!

    ReplyDelete
    Replies
    1. අවසානයේ ලොමු දැහැගැන්වෙන්න කලියෙන් අපේ උන්ට බඩ ගියා නොවැ...අන්න ඒ අසික්කිත සිදු වීම තමයි හරහට හිටියෙ....

      Delete
  18. යකඩෝ ඔටුවා කියන්නේ අපේ උදයා වගේ පොරක් නේ යන තැන ඉවරයි මොකක් හෝ අලකලංචියක්. සිරා මල්ලවආරච්චි හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. බොලාගෙ උදයත් එහෙම පොරක්ද....ඇත්තටම ඔටුවා වගේ එකෙක් නැත්තං කම්මැලියි...ඔටුවා ඉන්න තැනක කම්මැලි කමක් දැනෙන්නෙම නෑ...

      Delete
  19. ඔටුවා නම් නියම පොරක්...උගේ වාචාල කට නැවතුනේ බැන්දට පස්සෙද?

    ReplyDelete
    Replies
    1. ඒකා පාසලෙන් සමු ගත්තට පස්සෙ අපිත් එක්ක සබදතාවක් තිබුනෙම නෑ. වැඩිය සමාජයට ආවෙත් නෑ...බොහොම කාලෙකින් ඒකා මුලිච්චි වෙනකොට කසාද බැදලා මදිවට දෙදරු පියෙකුත් වෙලා අවසන්...

      Delete
  20. බොහොම ස්තූතියි ගොළු.....සියලුම කථා කියෙව්වා කිව්වම මට එය බොහොම සතුටක්...

    ReplyDelete
  21. ඔය උඩුගම අපිට බොහොම කිට්ටුයි.මේ අවුරුද්දෙත් සංගීත ප්‍රසංගයක් තිබුන..බඩිය හොදට සලකල තියෙන පාටයි.කොහොමත් කෙල්ලො බලන්නෙ හොරෙන්නෙ.අපිනම් පස්ස හැරිල හරි බලනව..හැබැයි හොරෙන් නෙවෙයි.හි හි

    ReplyDelete
    Replies
    1. කෙල්ලො හොරෙන් බලලා යාන්තමට ඉගියක් විතරක් දෙනවා....ඒ ඉගිය හිතේ දරාගෙන අපි එපායැ ඉතින් දෙන තරමක් කට්ට කාගෙන පස්සෙන් යන්න....මමත් කී සැරයක් කියලා කෑවද බන් ඔය කියන කට්ට...

      Delete
  22. හම්මෝ මෙහෙමත් බීමක්!!!!!!! :D

    ReplyDelete
    Replies
    1. මේ බොන්න පටන් ගත්තා විතරයි මෙයා...හොද හොද බීපු සීන් ඉදිරියට...

      Delete
  23. මියුසිකල් වල යන ඩාන්ස් ගැන නම් කියලම වැඩක් නැහැ.. පෝරියලුත් ඊට දෙවෙනි නැහැ... ඔටුවගේ සීන් ටික නම් නියමයි බන්..බඩ අල්ලන් හිනා උනා ......

    ReplyDelete
    Replies
    1. දැන් නං සංගීතයක් කියන්නෙ වළි විමානයක්...ඒ හින්දම මම අන්තිම කාලෙදි සංගීත බැලුවෙ වේදිකාවට හැකි තරම් සමීප වෙලා...ගංජා මතේට නටන කොල්ලෙකුගේ ඇගේ යන්තමින් හැප්පුනත් පිහියෙන් අනින සයිස් එකක් දැන් තියෙන්නෙ...එහෙම වෙච්ච අවස්ථාත් නැතුව නෙමෙයි...

      Delete
  24. මේක හිනා වෙවී කියෝන කොට මලේ මෙහේ වැඩ කරන පිලිපීන උන්ටයි..පිරමීඩ රටේ උන්ටයි හෙන ජෙලස්.....මොනා කොරන්නද..මට තෙරෙනවයැ උන්ට තේරුම් කොරල දෙන්න...අනික විලිලැජ්ජ නැතුව අවසානෙ ටික කියන්නද? කට්ටිය වැසිකිලිය හෝදන කොට අම්මලා වැසිකිලියෙ බිත්තිය හේදුව කියන්නෙ හැබෑදැ?කොහොම උනත් වෙනද වගේම ඉස්තරම්...උබට ජය......

    ReplyDelete
    Replies
    1. උන් දන්න එකක්යැ අපේ ආතල්...නැද්ද අයියා...හැබෑට කොලු කාලෙ මෙහෙම අත්දැකීමක් නැත්තං...ඒ කොලු කාලෙන් වැඩක් නෑ....එහෙම නේද ? අපේ උන් පෝලිමේ හිටි හින්දා ගෙදර අය අහල පහල ඒවට ගිහින් තියෙන්නෙ....

      Delete
  25. ඔටුවා දැන් දෙදරු පියෙකි

    හැමදාම වගේ සිරා අයියා තාම තනිකඩය අද මේක කියන්න අමතක උනාදෝ

    කතාව නම් එල ඈ

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වාමත් බනිනවා බන්...බලහං සිරා කොච්චර අසරණද කියලා....ඇත්ත ඇති සැටියෙන් කිව්වත් බනිනවා...කථාවක් දෙකට කැඩුවාමත් බනිනවා....ලංකාවෙ අයට සේවය කරනවා නම් බැනුම් අහන්න ලෑස්ති වෙලා ඒ දේ කරන්න කියලා ප්‍රකාශ කරලා තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා....ඒ නිසාවෙන්ම බනින්න බනින්න කොලුවා කෙලින්....

      Delete
  26. හිහ්.. තැඹිලි සැන්ටින් එකද හරහට හිටියේ?

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තමා වැඩේ අවුල් උනේ....සමහර විට හිල වඩෙත් ෂුවර් නෑ..

      Delete
  27. බම්බා මූදේ හුළඟ වැදි වැදි එක පාරයි ජින් සහ තැඹිලි කලවම් කරලා ගැහුවේ... වදිනවා නහුතෙට මචං...

    බඩේ අවුලක් නම් වුණේ නෑ... ඒත් ගෙදර ගිය විදිය අමතකයි... :D

    සිරාගේ සෙට් එක පිස්සු ආ.... උඹ මොකෝ මේ මැලේසියාවේ කරන්නේ ??

    ReplyDelete
    Replies
    1. හුළං වලට වදිනවා නේන්නම් නස්පුක් වෙන්න...සමහරක් වෙලාවට ෆෑන් එකෙන් හමන සුළගත් හොදටම ඇති...ඔලුවා කැරකිලා මන්දමෝල් වෙනවා....මැලේසියාවෙ ඉතිං රන් කහවණු හොයනවා බන්....අපිටත් අනාගතයක් එපායැ....

      Delete
  28. දැන් ගොළුවො නොවන හැමෝම ගායකයෝ!

    ReplyDelete
    Replies
    1. වෙලාවට අපි නම් සජීවීව ගයන්න බැරි සොෆ්ට්වෙයාර් ගායකයො නොවේ...අද ගොඩාක් ඉන්නෙ තාක්ෂණයෙන් වචන අමුණලා ගායකයො වෙච්ච අය....

      Delete
  29. නත්තල ඉවර ය.

    සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ලියද්දි නත්තල් තිබුනා...දැන් ඉවරද ? :D

      සුභ නව වසරක් කියලා මේ වසරට සමු දීලා ලියන අන්තිම එකෙන් කියන්නම්...

      Delete
  30. ඇත්තට ඔය සංගීතෙට නැටුං තෙල් නැතිවම බැරිද?ඔටුවා මේවා දැක්කොත් පණ නහගනී..... :D

    සුභ නත්තලක්...!

    ReplyDelete
    Replies
    1. නැටුං තෙල් නැතුව බැරි ගානයි...අපිට හිටිය බොහොම වටිනා ගායකයො ජාතියට අහිමි කලේ ඔය නැටුම් තෙල් තමයි....

      Delete
  31. මේක කියෙව්වහම අපේ උන් තව අවුරුදු ගානකින් කොහොම ඉඳියි ද කියලා හිතුනා බං....

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙම ආතල් තියෙන්නෙ ගම් පළාත් වල විතරයි බන්...ටවුමෙ කොහෙද තැඹිලි ගහක් හොයාගන්න තියෙන්නෙ....

      Delete
  32. ඔය ගීයේ විදිහට කරන රංගන නැටුම සංදර්ශන වේදිකාවේ ඉතාම ජනප්‍රිය නැටුම් වර්ගයක් බන්

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කම හිනා කාලා මැරෙනවා බං...වචනයක් වචනයක් ගානෙ...ඒ මොකක්ද කියලා හස්ත සංඥා මාර්ගයෙන් නරඹන්නන්ට පැහැදිලි කරලා දෙනවා....

      Delete
  33. සිරා අයියේ හත්තිලවුවේ මෙච්චර දිග ඒවා දාන්න එපෝ.........
    පැයක් විතර ගියා කියවන්න...
    සීන් එක පට්ට ඔටුවව මතක් කළා කියන්න මමත්....

    ReplyDelete
    Replies
    1. දෙකට කැඩුවාම කාමරේට එන යන උන් බනින නිසා මලේ තනි කෑල්ලට ඇමිනුවෙ...ඊලග වතාවෙ දෙකට කඩනවා මොන තරම් බැන්නත්....මට වැටහෙනවා..දිග වැඩි උනාම කියවන්න සෑහෙන වෙලාවක් යන විත්තිය...කාලෙකට පස්සෙ කාමරේදි දැකීම සතුටක්...මෙදා පොටේවත් දිගටම බැටේ දීහං....

      Delete
  34. සිරාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    කොහොමත් සංගීතයක්නම් බිමත්,වලියක්,ගොරියක් අනිවර්ය දෙයක්නේ.

    ReplyDelete
    Replies
    1. බොටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ! සංගීතය නැගලා ඉද්දි වලි බලිත් නැගලා යනවා....

      Delete
  35. අම්මියෝ , තව පොඩ්ඩෙන් හිනා ගිහින් බඩ යනවා මටත්

    ReplyDelete
    Replies
    1. අනේ කොලුවො බඩ යන්න එනවා නම් සුනංගු නොවී දුවහන් කාමරෙන් එළියට....මට මේවා හෝද හෝද ඉන්න වෙලාවක් නැතුවා...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...