මල්ලි....උඹත් මගේ වෙඩිමට වරෙන්...මගේ නමට අකුරු කල කාඩ් පතක් මා අත තබමින් හෙතෙම මා හටද ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කොලේය. සුපුරුදු පරිදි ටික් ටික් හඩින් ගලා ගිය කාලය අප වෙඩිමට යන දිනය ආසන්නයටම කැදවාගෙනද ගියේය.
වෙඩිම තියෙන්නේ සෑහෙන දුරකය. එනම් හැටන් පැත්තේ කොටගල නම් ඉසව්වේය. ඒ නිසාම දැරිවියෝ එහි යන්නට එන්නේ නැති බව කීවෝය. තවත් සමහරු මම ඔච්චර දුර යනවට අරයා කැමති නෑ, නැන්දම්මා කැමති නෑ...අල්ලපු ගෙදර සුදු අයියා කැමති නෑ ආදී ලෙස විවිධ කරුණු දක්වමින් ආරාධනය මග හරින ලකුණු පෙන්වයි. එකෙක් දෙන්නෙක් අනේ මට හොද සාරියක් නෑ යනුවෙන් මුචලින්ද ප්‍රමාණයේ නාගයන්ද ඔපීසිය කියා බලන්නේ නැතුව ඔහේ මුදා හැරියෝය.
හැටන් කියන්නෙ සීතල පැත්ත....අපිට එදාට ගහන්න පුලුවන් කොල්ලො රිදෙන්න...මත්ලෝලී පොදු ජනමනයා එසේ පැවසූහ. කොහොමත් මගුලකට යන්නට පිරිමි පාර්ශවයට එතරම් දේ අවශ්‍ය නැත. මූණේ විසිතුරු මතු කරන්නට වැලි කඩදාසි, පොටි වැනි දෑ අවශ්‍යද නැත. ඒ නිසාම මේ මගුලට යන්නට පිරිමි පාර්ශවය සිටියේ දත කට මදිමිනි.
මස්සිනා, අපිට මගුලෙ යන්න හොද වාහනයක් ලැස්ති කරපන්. ආයතනයේ වාහන භාරව සිටි තැනැත්තාට වේලාසනින් මේ වග පවසා වැඩේ සැටමෝල් කර ගන්නට තරම් අපේ පිරිමි පාර්ශවය දූර දර්ශී ඇත්තන්ම වූහ.
මංගල උත්සවයට පිටත් වන දිනය උදා වන විට අප සමග යන්නට කිසිම බවලතෙක් නොවූයෙන් එය තනිකරම විනෝද චාරිකාවක් සේ දිස්විය. ගෙදරදී මැදගෙන පොඩි නොවන සේ ගෙනා මගුලට අදිනා ඇදුම් වෙනම බෑගයක අසුරාගෙන ඩෙනිමකින් හා ටී ෂර්ටයකින් සැරසී මගුල් නඩේ ගමනට මුලපුරන්නටයි දැන් සූජානම.
වාහන බාරව සිටි පුද්ගලයා කදිම බුවෙක්ය. අපට යන්නට තිබූ සියලුම වාහන විවිධ කාර්යයන්ට මුද හැර ඇති සෙයකි. දැන් මොකේද බොල යන්නෙ ? උඹට වේලාසනින්ම කිව්වා නේද අපිට වාහනයක් තියපන් කියලා...
අනේ මට සමාවෙන්න ලොකු අයියේ....අත්‍යවශ්‍යම වැඩකට තමයි ඕගොල්ලන්ට යන්න වෙන් කරපු වෑන් එක වෙන ගමනක් යැව්වෙ.
දැන් මොකක්ද එහෙනං යන්න තියෙන්නෙ...
කැමති නම් අර ඩීමෝ බට්ටව අරන් යන්න.
බට්ටා........
බට්ටා අල්ලලා ගහ ගනිං උඹේ -කේ.
නප්පියට තද වූ එකෙක් වාහන භාරව කටයුතු කරන සුපින්වතාට දෙස් දෙයි.
ඩීසල් ගහන්නට සොච්චමක් දී යන්නට හැකි නිසාම කෙසේ හෝ අවසානයේ සැට් එක බට්ටා මතට ගොඩ වූහ. ඒ තරමක කාලයක් ගෙන එය මොඩ් කලාට පසුවය. පිටුපස කොටසට කෘතිම වහලයක් සකසා...තට්ටුව මත නිවෙසක සාලයේ තිබෙන ආකාරයේ සෝෆා සැට් දෙකක් තැබූ පසු එය සුවපහසු වාහනයකි. යකඩ හා ලී භාවිතයෙන් කදිම වැඩ කල හැකි වැඩ කරුවන් සිටිනා වැඩ පලකින් යුතු වූ (Work Shop) මේ කියන ආයතනයේදී පෙර කියූ ලෙස බට්ටා සැකසීම එතරම් අමාරු කාරියක් නොවුනි.
පොල් ගසා, දුම් අල්ලා, දෙවියන්ට යාථිකා කිරීමෙන් පසු අපේ ගමන ඇරඹිනි. බට්ටා ඒ මේ අතට පැද්දෙමින් තැන්නේ හැටට හැටේ දුවයි. එහෙත් කන්දක් දුටු විගස හති හලයි. එදා අප සමග සිටි අය අතර අපේ කොම්පැණියේ සුපරීක්ෂකයෙකු, අළෙවි ප්‍රවර්ධකයෙකු, ස්ටිකර් අලවන්නෙකු මෙන්ම වෑල්ඩින් කරුවන් දෙදෙනෙකුද සිටි බව මට මතකය. රථය පැදෙව්වේ කොම්පැණියේම රියදුරු සගයෙකි.
අපේ පළමු ගමනාන්තය වූයේ බෝපත් ඇල්ලයි... බට්ටා දැන් ගමන් කරන්නේ ඒ ඉසව්ව වෙතය. එක ආයතනයක සේවය කලද අප විවිධ අංශ වලට අයත් වීමත්...ඒවා එක් ස්ථානයක නොව විවිධ තැන්හි පිහිටා තිබීමත් නිසාම මේ ගමනේදි හමුවන ඇතැමුන් මට ආගන්තුකයෝය. ස්ටිකර් කරුවා සහ වෙල්ඩින් කරුවෙකු ගෑණු දැක නැති උන් බැව් මට ඒ වන විටත් වැටහී තිබුනි. පිටුපස විවෘත බට්ටා ඉදිරියට ඇදෙද්දී මාර්ගයේ ගමන් ගන්නා සෑම යුවතියකටම උන් දෙන්නාගේ අවඥා සහගත විහිලු වලින් ගැලවෙන්නට නොලැබීම එයට හේතුවයි.
අනෙක් වෙල්ඩින් කරුවා තරමක වයසක අයෙකි. නමුත් ජොලිය කොතැනද එතැනදී කොල්ලන්ටත් වඩා පෙරමුණ ගන්නෙකි. හෙතෙම ලීනස් නම් විය. ස්ටිකර් අලවන්නා ලලිත් වන විට අනෙක් වෑල්ඩින් කරුවා අනුර නම් විය.
බෝපත් ඇල්ලෙන් නා කියා ගෙන පිරිස මගුල් සූට් එකට මාරු වුනේ ඇදුම් මාරු කරන්නට එහි වූ, කුලියට දෙන ලෑලි කාමර තුල සිටය. සැට් එකම මනමාල පෙනුමෙන් සන්නද්ද වූ පසු බට්ටා හැටන් බලා කන්ද නගින්නේ දැන්නම් මට සෑහෙන්න අමාරුයි කොලුවෝ කියමිනි.
මගුල පැවැත්වූයේ තේ වත්තක් මැද වූ රමණීය ස්ථානයකය. සිහින් මීදුමත්, ඇගට දැනෙන කදිම සිසිලත් නිසාම බොහෝ උන් සිටියේ මත් වතුරෙන් බොක්ක තෙමා ගන්නේ කොයි වේලාවේදෝයි සිතමිනි. ඒ නිසාවෙන්ම මගුලට පිවිසි සැනකින් මංගල යුවලට සුභ පැතීමද පසෙකලා සියල්ලෝ බෝතලය ඇති ඉසව්වට ඉව ඇල්ලූහ.
අප එහි යන විටත් අපිටත් කලියෙන් එහි පැපත් වූ අපේ ආයතනයේ තවත් ඇත්තන් පිරිසක් විසින් බෝතලය කරළියට ගෙනවිත් තිබුනි. මනමාලයා පව්ය. නැත්නම් මේ වගේ බේබද්දන් පිරිසකට මෙවැනි ප්‍රදේශයක වෙඩිමකට ආරාධනා කරන්නේ නැතිය. එකෙකුට එකෙක් දෙවැනි නැත. බෝතල්ම ඉල්ලයි.
කොච්චර ගැහුවත් වදින්නෙ නෑ බං....මොනවද බන් මේ බ්‍රැන්ඩි...හොරට ගහන එකක්ද මන්දා....
බලාපොරොත්තු වන කික් එක නොමැති කල බැනුම් අසන්නේ බෝතලය නිපදවූ සමාගමයි.
කෝ බන් ලලියා....මත් වතුර අතරින් එකෙක් විමසයි.
මම දැක්කා වැනි වැනී හෝටලේ ඉස්සරහා පැත්තට යනවා... තවකෙක් උත්තර බදියි.
මේකා කොහේ හරි ගොස් කුප්ප වැඩක පැටලී ඇතැයි භියෙන් මම ඉක්මනින් ඒකා සොයා ගියෙමි. මා යන විට ලලිත් සිටියේ හෝටලයේ ඉදිරිපසට වන්නට තිබූ රෙස්ටූරන්ට් එක තුලය. ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ආහාර පාන ආදිය ලබා ගත හැකි තැනක් වූ එයින් කිරි තේ කෝප්පයක් බී මුදල් නොගෙවා මගුලට ආ අයෙකු ලෙස පාරම් බාමින් සිටි හෙයින්ම එහි වූයේ උණුසුම් වාතාවරණයකි. කාර්ය මණ්ඩලයේ සුන්දර මුහුණු ඇති යුවතියන්ගේ කෝපයෙන් රතු වූ දිගැස් ලලියා දෙසටම යොමුවී තිබේ.
ඒ වන විටත් හෝටලයේ කළමණාකාරතුමාද ගැටලුව විසදීමට පැමිණ සිටි අතර මනාලයාගේ පියතුමා හා මවිසින් කාරණය පැහැදිලි කොට අදාළ පාර්ශව වෙත කණගාටුව ප්‍රකාශ කල පසු තේ කෝප්පයේ බිල ගෙවා යන ලෙසට අවසන් තීරණය ලැබිනි.
මනාලයාගේ පියා සැනෙකින් ඒ මුදල ගෙවූයෙන්..ලලියාගේ මෙන්ම මංගල උත්සවයේද ගෞරවය රැකුනේය.
උඹ මොකද බන් පිස්සු කෙළින්නෙ...මොනවටද මේ අරක්කුත් බීලා කිරි කෝපි බොන්න ගියේ... තාත්තගෙ බස් අසා ඒ ඉසව්වට පැමිණි මනමාල තුමා එහෙම ඇහුවෙ ටිකක් සැරෙන්.
කවුද බන් දන්නෙ...මම හිතුවෙ මගුල් ගෙදරට ගේන්න එතන තමයි කෝපි හදන්නෙ කියලා...මම ගියේ එතන කෙල්ලෙක්ව ලයින් කර ගන්න...නිකං ඉන්න බැරි කමට තමයි කෝපි එක ගත්තෙ...පස්සෙ මතක් වුනේ පර්ස් එක වාහනේ ඇතුලෙ කියලා.
උඹලා ඇති තරම් බීපල්ලා...කාපල්ලා...මම අපේ මාමලටත් කිව්වා ඔෆිස් එකේ උන්ට රිදෙන්න සලකන්න කියලා...ඒකෙ කිසිම අවුලක් නෑ...අනේ වදින්නම්...කෙල්ලන්ට තුණ්ඩු කෑලිනම් දෙන්න හදන්න එපා. මෙතන ඉන්න ගොඩාක් අය අපේ නෑදෑයො.එහෙම කියපු මනාල ගොයියා ආපහු හැරුනා....හැබෑටම ඇයි ඒකා එහෙම කිව්වෙ....කලින් වතාවක ඔෆිස් එකේ උන් එක්ක මේ වගේ ගමනක් ගිහිල්ලා වෙච්ච දෙයක් නිසාද...මම තනිවම කම්පනා කොලා.
දිවා භෝජනය උදෙසා ආරාධිතයන් එක්ව ඇරඹූ පෝලිමේ දිග දැකීමෙන් දිවා ආහාරය ටක්කෙටම ලැබේදෝයි සැක සංකා පහල විය. ඒ නිසාම අපිද සුනංගු නොවී වහ වහා ඒ මගම ගියෙමු. ඔයින් මෙයින් හිරු අවරට යන්නට යන්නට අවට පරිසරයේ සෙන්ට්‍රිග්‍රේඩ් අගය පහල ගිය හෙයින් දිවා භෝජනයෙන් පසුද බෝතල් කොට විවිධ අහුමුලුවලින් ප්‍රාතූර්භූත වී අවසන් බින්දුව දක්වාම අපේ උන්ට සේවය සැලසීය. එහි ආනුභාවයෙන් බමන මතින් යුතු පිරිසක්ද මංගල සභාවේ අසුන් ගත්හ.
මේ කියන දිනය සිරා කොලුවා වන මටද රිදෙන්නට වැදුනු දවසකි. එහෙත් බීමට පෙර මෙන්ම පසුවද සාමකාමී චරිතයක් නිසාම මාගෙන් කිසිවෙකුටත් කරදරයක් නැත.
නව යුවල මධු සමයට පිටත් වීමට ප්‍රථමයෙන් දැන් දෙපාර්ශවයේම වැඩිහිටියන් තම තමන්ගේ කුල පරම්පරාවන්හි නම්බුකාර බව මොනවට පසක් කරමින් නව යුවල වෙත අවවාද අනුශාසනා කරන අවස්ථාවටයි දැන් අපි එළඹ සිටින්නේ...එකෙකුට එකෙකු දෙවැනි නැත. තම තමන්ගේ වරිගයා ඉතාම හොද අයවලුන් බව රගපා පෙන්වයි. ඹමන මතින් යුතු වුවද අනුර සහ ලලිත් කෙල්ලක දැලේ දා ගන්නට මාන බලයි.
උඹට හිත ගිය කෙල්ලෙක් එහෙම නැද්ද මෙතන....ලලියා මගෙන් විමසූයේ මේ අතරය.
ඒ වෙද්දී මගේ හිත ගත් රූමත් එකියක මංගල සභාවේ වූයෙන් මම ඈ පෙන්වීමි.
උඹ මොකද කියන්නෙ...උඹේ ටෙලිෆෝන් නොම්බරේ මම ඔය කෙල්ලට දුන්නොත්...ලලිත් මා සමග අලුත් කාර්යයකට අතගසයි.
ඔට්ටුයි බෑ....මම පිළිවදන් සැපයූවෙමි.
උඹ දන්නෙ නෑ බන්...මේ ලලිත් කවුද කියලා...පොඩ්ඩක් හිටපං....මම කොළයක් හොයාගෙන එනකං...
මංගල සභාව වටේ රවුමක් ගිය ලලිත් කොලුවා නැවතත් මට සම්මුඛ වූයේ හිස් සිගරට් පැකට්ටුවකින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබැල්ලක්ද සමගිනි.
ඕකෙ ලියපං නොම්බරේ... හොද සිහියෙන් ඉන්න වෙලාවට ඔලුව පහත් කර යටහත් පහත්ව කථා කරනා මේකා දැන් දැන් රැස්පොට්ය.
සෑහෙන වෙහෙසක් දරා සොයාගත් පෑන් කබලකින් මම ඉක්මනින් පැහැදිලි ලෙස නොම්බරය සටහන් කළෙමි.
උඹ බලාගෙන ඉදහං..මම මේක ඒ කෙල්ලගෙම අතට දෙන හැටි....අපි ඩෝ ෆේස් ටු ෆේස් ගේම් ගහන කොල්ලො අරිද ? ඕක්....ලලියාට වැඩි වී ඇති සෙයකි.
මම කියූ සී දේවි යුවතිය හිදගෙන සිටිනුයේ උත්සව සභාවේ කෙළවරකට වන්නට තිබූ ස්ථානයකය. අහස් නිල් පාටට සමාන නිල් පැහැයක් සමග කලු පැහැය මිශ්‍ර වූ ඔසරියකින් සැරසී සිටි ඇය අතිශයින්ම රූමත්ය. බැලූ බැල්මට ඇය සිටිනුයේ තනිවමය. හොර පූසෙකු මෙන් වට පිට බල බලා ලලියා ගොදුරට ළං වන විටම කොහේදෝ සිට ඈ වෙත ඇස ගසා සිටින ඇගේ මාතාව යැයි කිවහැකි වැඩිහිටි කාන්තාවක් මේ දර්ශන පෙළ අතරට කඩා පාත් වෙයි. ෂේප් න්‍යායෙන් ආපසු හැරෙනා ලලිත් කිසිවක් නොවූ ලෙස නැවතත් මා කරා එයි.
කෙල්ලගෙ අම්මා එක්ක බෑ බං...ඒකිට ඇහැ ගහගෙනමයි ඉන්නෙ...ඒකා නිදහසට කාරණා ඉදිරිපත් කරයි.
තවත් විනාඩි කීපයක් ඇවෑමෙන් ලලියා නැවතත් උත්සාහ කරයි. ප්‍රතිඵලය පෙර පරිදිමය. පරාජිත හැගීමකින් ඒකා මා වෙත සම්මුඛ වෙයි.
මොනවද බන්...උඹේ පුරාජේරුව විතරනෙ...කෝ කොලාද ?
මාගේ උපහාස බස් තවදුරටත් අසා සිටිනු නොහැකි තැන ලලියා ඊ ගහක වේගයෙන් ඒ දෙසට නැවත වාරයක් ඇදුනේ මෙදා පොටේ නම් දෙන එක දෙනවාමයි යනුවෙන් මා හට ශපත කරමිනි.
දැන් සිරා කොලුවා සිටින්නේ මේ වටිනා දර්ශනය හොදින් දෑසට හසුකර ගත හැකි ස්ථානයකය. මා හට මෙහි සිට එක එල්ලේ තොරණේ විස්තරය අපූරුවට පෙනේ. එවර ලලියා කෙසේ හෝ ඇය තනිකර ඈ වෙත ලං වන්නට සමත් වුවද තුණ්ඩුව දෙන්නට කලියෙන් සිරිත් පරිදි මව්තුමිය සැපත් වූවාය.
මව් තුමිය සමග මද වේලාවක් සුහද කථා බහක නිරත වූ ලලියා ඈ වෙත තුණ්ඩුව දී මා සිටිනා ඉසව්ව පෙන්නන්නට හැරුනත් එහි මා නොවූයෙන් තරමක අපහසුතාවකට පත් වන බව පෙනුනි. ඒ අවසරයෙන් ඔවුන්ගෙන් සමුගෙන ඒකා මා සොයා පැමිණියේය.
කෙහෙද බොල ගියේ...මම අන්න කෙල්ලගෙ අම්මටම තුණ්ඩුව දුන්නා...අපි එහෙමයි...වැඩක් භාර ගත්තොත් තිතට ගේම දීලා ඇති...
ඉතින් බං මම කිව්වෙ කෙල්ලට දෙන්න කියලනෙ...උඹ අම්මට දුන්නෙ මොකද...
අම්මා මොකද කෙල්ල මොකද...උන්ගෙ අම්මත් හරි ජොලි බන්...මගෙන් ඇහුවා ඇයි පුතා හොරගල් අහුලන්නෙ කියලා....මමත් කිව්වා ඇන්ටි මේ යාලුවෙක්ගෙ වැඩකට කියලා...
ඉතිං උඹ දිගඇරියා ජාතකේම.. සිරා කොලුවා වන මම මැද්දට පැන්නෙමි. මේවා මනමාල ගොයියා දැනගත්තොත් වසලා හමාරය.
පොඩ්ඩක් ඉදපන්කො පැහැන්නෙ නැතුව...මම කිව්වා මගේ යාලුවෙක් ඔයාගෙ දුවට මනාපයි...එයාගෙ නොම්බරේ දෙන්න ආවෙ...දෙපාර්ශවය කථා කරගෙන ඉදිරි කටයුතු කරගන්න කියලා.
ඉතිං ඊට පස්සෙ මොකද උනේ...ලලියා නම් මාර බඩ්ඩක්..මගේ සිත මටම කියයි.
ඊට පස්සෙද...ඊට පස්සෙ අම්මා කෙල්ල දිහා බලලා තුණ්ඩුව ගත්තා...ගානකට නොගෙන කිව්වා...
මේවා දැන් දීලා වැඩක් වෙයිද මන්දා...මෙයාව බදින්න කියලා කෙනෙක් දැන් ගෙදරටම එනවා කියලා...
අන්න ඒ වෙලාවෙ තමයි බොල උඹව පෙන්නුවෙ...උඹ මාරු උනා නේද මාව ගිරේට අහු කරලා...
පික්සු කථා කරන්න එපා මස්සිනා..උඹව මම එහෙමත් අමාරුවෙ දානවද ? මම මේ අනුරයා කොහෙද කියලා බලන්න ගියා...
කවුද කවුද අපේ කෙල්ලට තුණ්ඩු දුන්නෙ....
ඇදලා ගනු ඕකට දෙකක් දෙන්න...
මංගල සභාවේ අවවාද දේශනා අතරතුර අනතුරක සේයා මතුවෙයි....
හැබෑටම මක්ක වෙන්න ඇතිද ? සිරා කොලුවා ලලියත් එක්ක බඩකට පුරා කන්න ඇතිද ? නැත්නම් අපේ නිශ්ශබ්ද සහන් කියනවා වගේ ගං පෝරියල් එකක්ද ?
ඒ කොටහ ඊළග කොටසින් කියවමු එහෙනං... එතකං ඒකත් මේකෙ ලිව්වෙ නෑ කිය කියා මට බැනහල්ලා.
මතු සම්බන්ධයි....
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
මෙහි එන සිදුවීම් ඇත්තම ඇත්ත වුවද පුද්ගල අනන්‍යතාව රැකගනු උදෙසා මනංකල්පිත නම් භාවිතා කල බැව් ඔබට කියන්නට රිසි වෙමි. ඒ අනුව මෙහි කිසිම නමක් ඒ ඒ චරිත සතු නියම නම් නොවේය.
මලේ..... පෝස්ටුවක් දෙකට කඩද්දි ඒකෙ කුතුහලය උපරිම තැනින් කඩහං යැයි මා හට අම්පාර ගමන අතරතුර ගුරුහරුකම් ලබා දුන් වෙනිවැල් මාමා ආදරයෙන් මතක් කොරමි. ඒ කිව් ලෙසම බැටේ දුන්නෙමි.