මේ ලියමන ලියන අවස්ථාව වන විට මගේ මිත්තනියන් දෙදෙනා මෙන්ම සීයාවරුන් දෙදෙනාද දිව්‍ය ලෝකයට ගොස් හමාර වී ඇති මුත් ඔවුන්ගේ ගුණ සුවද මුසු වූ විවිධ සැමරුම් තවමත් අප නිවසේ විවිධ අහුමුළු වල සැතපී සිටී. දැනට දශකයකට පමණ පෙර හිටිවනම පියාගේ පියා භාවිතා කල පැරණි කබඩ් ලාච්චුවකින් ප්‍රාතූර්භූත වී සිරාගේ මව විසින් ගිණි දෙවියාට පුද දීමට නියමිතව සිටියදී මවිසින් අභය දානය දී අදුරු මුල්ලක් සැතපවූ මේ අපූරු ලියවිලි සමූහය එදා සහ අද, සමාජ/දේශපාලන/ආර්ථික විපර්යාසයන් පිළිබද වර්තමාන පරපුරට තොරතුරු සපයන දත්ත ගබඩාවක් බදුය. එදා සහ අද අතර වෙනස දක්වන කදිම කැඩපතකි.
මෙවර මා ඉදිරිපත් කරන ඇන්ටික් ගැජට්ටුව වනාහී පැරණි පුවත්පත් එකතුවකි. නිකංම නිකං පුවත් පත් නොව අදින් වසර 53 කට පෙර මුද්‍රණය කර ප්‍රසිද්ධ කල පුවත්පත් සමූහයකි. වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩිම අළෙවියක් ඇති පුවත් පත ලෙස නම් දරා සිටින මෙහි නම එදා මෙන්ම අදද සංස්කරණයකින් තොරව එකසේ භාවිතා වෙයි. එය ලංකාදීප නම් වෙයි.
1959 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා සිට ඔක්තොම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා දක්වා ලංකාදීප පුවත් පත් පිළිවෙලින් සීයාගේ එකතුවේ තිබිනි. මේ පුවත්පත් කිපය විශේෂයෙන් එක්රැස් කර ලග තබාගැනීමට ඔහු කටයුතු කලේ විශේෂ කාරණයක් නිසාවෙන් බව පැහැදිලිය. සිරාගේ සීයා දැඩිව ඇලුම් කල ජනනායකයා වූයේ දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාය. ඔහුගේ අභාවය සහ අවසාන කටයුතු පිළිබද තොරතුරු ඇතුලත් මේ පුවත්පත් කීපය ඔහුට ළග තබා ගැනීමට සිත් පහල වූයේ ඒ නිසාවෙන් විය හැකිය. දොඹ ගෙඩියක් තරමේ පුංචි කොණ්ඩ ගෙඩියක් බැදි පාරම්පරික ගොවියෙක් වූ උන්දෑ සිරා කොලුවා වයස අවුරුදු 5 ක් තරමේ පුංචි එකෙකු සන්ධියේදිම මිය පරලොව ගියේය. නමුත් ඔහුගේ රූපකාය පිළිබද යම්තරමේ මතකයක් තවමත් මා සතුය. පහත ඡායාරූපය පසුකලෙක ඔහුගේ ගොවි හැදුනුම්පතින් මා විසින් ගලවා ගන්නා ලද්දකි.
පත්තර එකතු කල සිරාගේ සීයා |
ගෙවී ගිය වසර 53 ක කාලය තුල සිදුවී ඇති වෙනස්කම් රාශියකි. එදා ටයිම්ස් ඔෆ් සිලෝන් යනුවෙන් හැදින්වූ ලංකාදීප ආයතනය අද විජය පුවත්පත් සමාගම ලෙස සිය නාමය වෙනස් කර ඇත. වර්ණ දෙකක් පමණක් භාවිතා වූ අතීත පුවත්පත් ආ මග දිගේ දැන් සිදුවී ඇති තාක්ෂණික පෙරළියද සිතාගත නොහැකි තරමේ එකකි. පැය ගණනාවක් මිඩංගු කර පත්තර පිටු අතින් සැලසුම් කර ඒ අනුව අකුරු අමුණා පිටපත් තුන් හාරදාහක් ගැසූ ඉතිහාසය වෙනස් කරමින් නවීනතම පරිගණක මෘදුකාංග මගින් විනාඩි ගණනාවක් ඇතුලත පිටු සැකසුම් කිරීමටත් වැඩි ධාරිතාවක් සහිත මුද්‍රන යන්ත්‍ර මගින් වෛර්ණයෙන් ලක්ෂ සංඛ්‍යාත පිටපත් සංඛ්‍යාවක් මුදුණය කර , රටපුරා විහිදුනු බෙදාහැරීමේ ජාලයක් මගින් වෙළදපලට යැවීමටත් හැකි යුගයකට අප දැන් පිවිස සිටී.අකුරු ඇමිණීම අතීතයට අයිති කාර්යයක් පමණකි. අද සියලුම අකුරු පරිගණකය තුලින් උපදී.
එයින්ද නොනැවතී අතේ ඇති කුඩා ටැබ් එකෙන්, ජංගම දුරකථනය මගින් කියවිය හැකි ඊ පුවත්පත් පැමිණෙන යුගයට අප අද අවතීර්ණ වී සිටී . කැකුළු හාල් සේරුවක් ශත 75 ට ලබාදුන් යුගය පසුකර සහල් කිලෝව රු 60/- කට විකිණෙන සමාජයක සාමාජිකයන් වී සිටිමු.
ගෙවී ගිය වසර 53 ක කාලය තුල රාජ්‍ය නායකයන් 8 දෙනෙකු පමණ රටට නායකත්වය සපයා ඇති අතර එදාට සාපේක්ෂව සෑහෙන තරමේ වෙනසක් සහිත ජීවන තත්වයක් වර්තමාන ශ්‍රී ලාංකිකයාට උරුම වී තිබේ. කාලය මැවූ වෙනස පුදුමාකාරය. එක් අතකින් එය චමත්කාර ජනකය. ඒ චමත්කාර ජනක අතීතයේ සිරි විසිතුරු ඔබ වෙත ගෙන එන පරණ පත්තර පිටු ආශ්‍රිත ලිපි කීපයක ඇරඹුම මෙසේ සටහන් වේ.
පංචමහා බලවේගය තුලින් බලයට පැමිණ ජනතා හදවත් දිනා සිටි බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රමන වේෂයෙන් පැමිණි අයෙකු විසින් සිදුකල වෙඩිතැබීමකින් ඝාතනය වූයේ 1959 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා දිනයකය. එය සිරාගේ සීයාට සෑහෙන තරමේ සංවේගජනක පුවතක් වූ බවට සැකයක් නැත. ඔහුට අමතරව එවකට ශ්‍රීලාංකික ජනයාද සිය නායකයාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ආකාරය පහත ඡායාරූපයන් මගින් අවබෝධ කරගත හැකි වනු ඇත.
1957 සැප්තැම්බර් මස 27 වන ඉරිදා ලංකාදීපයේ මුල පිටුවේ විස්තරය පහත පරිදිය....
උපුටා ගැනීම
අවමගුල ගුරුදා හොරගොල්ලේදී
දහනායක නව අගමැති වෙයි.
අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාට වෙඩි වැදී පැය 22කට පසු ඊයේ උදේ 8ට අභාවප්‍රාප්ත වූ බෑව් ඊයේ ‘ලංකාදීප‘ විශේෂ මුද්‍රණවලින් ඉතා සංවේගයෙන් ජාතිය වෙත නිවේදනය විය.
අගමැතිගේ අභාවයෙන් පැය 3කට පසු අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතා, අළුත් අගමැති ලෙස දිව්රුම් දී අගමැති කාර්යාලයට පැමිණ හඩා වැලපෙමින් අගමැති ධූරයේ වැඩ භාර ගත්තේය.
අගමැති අවමගුල ලබන බ්‍රහස්පතින්දා රාජ්‍ය සම්මාන සහිතව හොරගොල්ලේදී පැවැත්වේ. අගමැති තුමාගේ මෘත දේහය මහජන ගෞරවය සදහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්දිරයේ තැන්පත් කෙරෙනු ඇත. අලුත් ඇමති මණ්ඩලය මේ ගැන විධි විධාන යෙදීම ගැන ඊයේ කථානායක තුමා හමුවී සාකච්ඡා කළේය.
අවසාන ගෞරව දැක්වීමට පෙරහැරේ
අගමැති බණ්ඩාරනායක මහතාගේ මහජන සේවී ජීවිතය දුක්ඛදායක සිද්ධියකින් අවසාන වීමෙන් කම්පාවට පත් දස දහස් ගණන් ජනයා ඊයේ දවාල සිට සැතපුම් ගණන් පෝලීම් ගැහී රොස්මිඩ් පෙදෙසේ නිවසේ තැන්පත් කර තුබුණු මෘත දේහය බලා කදුළු සලමින් අවසාන ගෞරවය පල කලහ.
පෞද්ගලික ජීවිතය කෙරෙහි පවා බලපෑ දේශපාලන පෙරළි දුක සැප හා දහසක් ගැටළු මැද උරෙන් උර ගැටී ජීවත් වූ තම ආදරණීය ස්වාමියා නැතිවී යාමේ විද දරා ගත නොහැකි ශෝකයෙන් වෙලී ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෘත දේහය පසෙකින් සිටී.
රෝහලේ සිට අගමැති මෘත ශරීරය රියක තබා රොස්මිඩ් නිවසට ගෙන යද්දී මාවත දෙපස රොක්වී ජනයා ආචාර කරමින්ද, දෑත් නගා වදිමින්ද ගෞරවය පල කලහ. රටට වැඩ කළා - ජාතියට වැඩ කළා - අද මා තනිවුනා යයි දෑත් හිසේ තබා සිරිමාවෝ මැතිණිය විටින් විට විලාප නගයි.
අගමැතිවරයාට අවසාන ගෞරවය දැක්වීම සදහා ඊයේ පෝලිමේ ගමන් ගත් ජනකාය හසුරුවා ගැනීමට පොලීසිය අසමත් තරම් වූයේය.
අගමැති මෘත ශරීරයට අවසාන ගෞරවය දක්වා යන හැම කෙනෙකුගේම මුහුණේ ශෝකී භාවය රැදී තිබිණි.
1959 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා පත්තරේ මුල පිටුවේ විස්තරය මෙසේය.
අගමැති දේහය බැලීමට දහස් ගණන් දෙනා අව් වැසි නොබලා පෝලිම් ගැසී යති.දැන් පන්ලක්ෂයත් පනී. මුළු රට මළගෙදරක් මෙනි.
දිවා රෑ දෙකේහි පෝලිමේ ගොස් අගමැති දේහයට අවසාන ගෞරවය දැක්වූවන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට පන් ලක්ෂය ඉක්මවා ගියේය.
අගමැතිගේ මෘතදේහය බලා වාවාගත නොහැකි ශෝකයෙන් ඉකිබිද හැඩූ එක් භික්ෂූන් වහන්සේ නමකට ඊයේ සිහිසන් නැතිව ගියේය.
‘‘අනේ ඉතින් මීට පස්සෙ කවුරුන් හමුවී අපේ දුක කියන්නදැයි අගමැති දේහය හමුවේ වැද වැටෙන කම්කරුවෝ කියති.
රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවසේ තැන්පත් කර ඇති මෘත දේහයට ගෞරව දැක්වීමට ඊයේ මුළු දවස පුරා ගිය මහ ජනකාය නිවසේ ගේට්ටුව ළග සිට මැකාර්ති පාර ඔස්සේ වෝඩ් පෙදෙසට විත් බොරැල්ල පැත්තට විහිදී කින්සි පාර දිගේ, හෝටන් පෙදෙස රවුම කරකැවී ඇලෙක්සැන්ඩර් මාවතේ පදික වේදිකාව අගට සිට රොස්මිඩ් පෙදෙසේ නිවස ලගට සෑදුනු සැතපුම් තුන හතරක් දිග එකම මිනිස් වළල්ලක් සේ දිස්විය.
අගමැති ඇසින් නොදුටු ඈත ගම්වල සමහරු කෑමක් බීමක් නැතිව, ජාතියේ නායකයානන්ට වූයේ මොන අපරාධයක්දැයි සිත සිතා තැවෙති.
කවරදාවත් කොළඹ නොආ, මහළු අම්මලා පුතුන් අමතමින් "අනේ පුතේ මට බණ්ඩාරනායක උන්නැහේ නම් බලන්න ඕනේ" යැයි පෙරැත්ත කරති.
"කොච්චර වැස්සත් නොබලා නම් යන්නේ නෑ" කිය කියා සමහරු පැය පහ,හය යන පෝලිමේ එක තැන පැය භාගය, කාල සිටිති.
උපුටා ගැනීම අවසන්...
මෙතැන් සිට ඡායාරූප එකතුව නරඹන්න...
උපුටා ගැනීම අවසන්...
මෙතැන් සිට ඡායාරූප එකතුව නරඹන්න...
අගමැතිතුමාට වෙඩි තැබීමට පාවිච්චි කල අඩියක් පමණ දිග රිවෝල්වරය, ඊට යටින් ඇත්තේ භික්ෂුවගේ කහ රෙද්දය. භික්ෂුව ලග තිබූ බඩු, වමේ පොට්ටනියේ ඇත. |
පඩි පෙළින් පහළට ගෙනයන ලද දෙන පැරැණි සිංහල ගොඩනැගිලි ශිල්පයට සමාන ලෙස සාදා ධවල හා රන්වන් පැහැයෙන් ඔප් ගන්වා තිබුනු රංසිවිගෙට ඇමැති මණ්ඩලය විසින් ගෙනයන ලදී. |
ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ මෘත දේහය හොරගොල්ලේ තැන්පත් කිරීම සදහා අවමගුල් පෙරහැර මෘත කලේබරය සහිතව පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත් වෙයි. |
දිවංගත අගමැති තුමාට අවසන් බුහුමන් දැක්වීම පිණිස කොළඹ සිට හොරගොල්ලට එන මග දිගේ මහ සෙනග රොක් වූහ. පාසැල් ළමෝ සුදුකොඩි ගෙන ආචාර කළහ. මේ මහා පිරිස කැලණි පාලම අසබඩ සිටියහ. |
ඊයේ දවල් දොලහමාරට පමණ හොරගොල්ලේ වලව්වට අවමගුල් පෙරහැර ලගාවීමෙන් පසු මෘත දේහය මැද සාලයේ තැන්පත් කර තිබුනි. පොල්තෙල් පහනට අගමැතිතුමාගේ දෙවැනි දියණිය සුනේත්‍රා සහ පුතු අනුර තෙල් වත් කරති. |
අභාවප්‍රාප්ත අගමැතිතුමාට අවසන් බුහුමන් දක්වන මහජන පෝලිම කොළඹ කොම්පඥ්ඤ වීදිය කොටසේ |
අද 2012 වසරේ අවසන් දිනයයි. 2012 වර්ෂය සිරා කොලුවාට දුක්ඛදායක වසරක් නිසාමදෝ අවසන් පෝස්ටුවද දුක්ඛදායක මතකයන් සහිත එකක්ය. සියලු දුක්ඛ දෝමනස්සයන් 2012 වසරට භාර දී , ගෙවී ගිය වසර තුල කල කී දෑ ගැන පසුතැවිලි නොවී, එයින් ලබාගත් අත්දැකීම් සමගින් 2013 නව වසරට පිය නගමු. සිරාගේ කාමරයට ලෑලි දෙරෙන් ඇතුලු වූ ඔබ සියල්ලන්ටම සුභ දායක නව වසරක්/ පැතුම් ඉටුවෙන නව වසරක් වෙන්නට සත්ගුණවත් සිරා කොලුවා ඉත සිතින් ප්‍රාර්ථනා කරයි.
http://1.bp.blogspot.com/-Gb7CeJFKMoE/UL4Nmh73S_I/AAAAAAAABAs/wRu5pZWD2eU/s1600/Happy-New-Year-2013-picturer-2.jpg |
එදා පත්තර කී කථා නමින් අලුත් ලේබලයක් අලවමින් සිරා 2012 වසර අවසාන දින මෙසේ අලුත් ඉසව්වකට කාමරේ දොර විවර කරන අතර පැරණි පත්තර හා සබැදුනු තවත් රසවත් දේ ඉදිරියට....
කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
මගේ අහිංසක රවුටරය විදුලි කෙටීමකින් ආයුෂ නිම වූ නිසා අලුත් එකක් ගන්නා තුරු මේ පෝස්ටුව තරමක් ප්‍රමාද වූ බැව් කරුණාවෙන් සලකන්න.
මෙවැනි පෝස්ටුවකට සිරා පෙළඹවීමක් ලද්දේ චන්දනගේ සටහන් ලියන සහෘද චන්දන නිසා බැව් මතක් කරමි. ඔහුට කෘතඤ වෙමි. චන්දනගේ ලින්කුව මත එබීමෙන් ඔහුගේ පෝස්ටුවට මාර්ගය විවර වේ.
මේ ලිපිය හුදෙක් පැරණි පත්තර පිටුවක් උපුටා දැක්වීමක් මිස දේශපාලනික කථාබහක නිරත වන්නක් /දේශපාලන මතවාදයක් කියවන්නන් හිස මත බලෙන් පටවන්නට ගන්නා වෑයමක් නොවේය. ඒ හේතුවෙන් දේශපාලනික මතවාදයන් පිළිබද මෙහි සාකච්ඡා කිරීමක් නොකෙරෙන බැව් අවධාරනය කරනු කැමැත්තෙමි.
මේ පුවත් පත පලවූ දිනය වන විට සිරාගේ මෑණියන් වයස මාස 3ක ළදැරියකි.
1959 වකවානුවේ ගුවන් විදුලි යන්ත්‍රක් පවා අති සුඛෝපභොගී භාණ්ඩයක් බවට පත් වී තිබුනේලු.
මෙහි එන ඡායාරූප, විස්තර වර්තමාන පරපුරේ බහුතරය කිසිදිනෙක දැක/අසා නැති බැව් සිතමි.
දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාගේ විශාල ඡායාරූප එකතුවක් මෙතැනින්