Showing posts with label සිරාගේ කයිවාරු. Show all posts
Showing posts with label සිරාගේ කයිවාරු. Show all posts

Tuesday, July 31, 2018

117 බිරිඳ මගේ ඔබ...

සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකු වගත්, නුවර මැණිකේ මුලිච්චි වීමෙන් පසු ඇති වූ තත්වයත් මෙයට පෙර ලිපියේදී බොලාට කීවෙමි. තනිකඩ කොලුවෙකුට ගැලපෙන කෙලියක් යෝජනාවකින් සොයායාම සැබැවින්ම අගක් මුලක් නැති නූල් බෝලයක් දිග හරින්නට තැත් කරනවාක් වැනි යැයි නිවී සැනසිල්ලේ හිතන විටෙක මට සිතෙයි. කාලය, ධනය, ශ්‍ර‍මය ආදී සියල්ලම සම සමව වියදම් කල යුතු, ස්ථිරව ප්‍ර‍තිඵලයක් ලැබෙන්නේ කවදාදැයි කිව නොහැකි අපූරු ගමනක් වේ නම් ඒ යෝජනාවකින් යුවතියක් බලන්නට යන ගමනයි.

ඇතැම් කෙලියක් පොදුවේ පුරුෂ පරාණ කිසිවකට කැමති නැත, එය පුරුෂ ෆෝබියාව යනුවෙන් නම් තැබිය හැකිය. ඇතැම් විටෙක කෙලී කැමතිය...එහෙත් වැඩිහිටියන් අකමැතිය...ඒ දෑවැද්දේ බර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි විටෙකය...නැති නම් කුල මල භේද පිළිබඳ ගැටලුවකි. මේ සියල්ලම ගැලපුන තැනක කේන්දරයේ කොටුවක මාරක පිහිටීමකි. කසාද බැන්දොත් දෙදෙනාගෙන් කෙනෙකු නොඑන ගමන් යන දවස වැඩි ඈතක නොවේය. එසේත් නැති නම් අධි කාම යෝගයකි. බඩු ෂුවර් නෑ පුතේ...එවන් විටෙක කේන්දර කරුවා කසාද බඳින්නට තැත් කරන අහිංසකයාගේ හිස අතගා ආදරයෙන් පවසා හිත සනසයි.

නුවර මැණිකේ බැහැදැකීමෙන් පසු ගත වූ කාල සීමාව තුලදී මේ මගුල කෙරෙන්නේ නැති වග සහසුද්දයෙන් දැන ගත් ගෙදර බුදුන් අම්මා, සිරා කොලුවා කෙසේ හෝ අමාරුවේ දමන්නේයැයි දැඩි අධිෂ්ඨානයකින් සිටි හෙයින්දෝ එයින් පසු එළැඹුන සති අන්තයක ජාතික පුවත් පතක, මංගල තීරුවේ සිරා කොලුවාගේ ගුණ උච්ච ස්වරයෙන් වයා දැන්වීමක් පළ කලාය. ඒ ගුණ දැකීමෙන් අමන්දානන්දයට පත් ජනී ජනයා..තම තමන්ගේ දූ වරුන්ගේ රූ සොභා අඩු වැඩි වශයෙන් විස්තර කරමින් පත්තර කන්තෝරුවට එවූ ලිපි සතියකට දෙකකට වරක්  අප සොයා පැමිණියෝය. 

නවීන පන්නයේ මෝටර් රථයක් දායාද වශයෙන්, අලුතින් ඉඳිකල නිවසක් හිමි දියණිය, රජයේ රැකියාවැති දියණිය, සුදු පැහැපත් රූමත් දියණිය ආදී වශයෙන් දියණියන්ගේ ගති සොභා සමග මාපියන් හිත සතුටින් දෙන්නට කැමති දෑද ඒ ලිපි වල අඩංගු වූහ. එහෙත් සෑම ලිපියකම අවසන කේන්දර සටහන මෙන්ම කේන්දර ගැලපීම අනිවාර්යය බැව් ද සඳහන් කර තිබූ නිසාවෙන් තෝරාගන්නා සෑම යෝජනාවක්ම කේන්දර මාමාට යොමු කොට ගැලපීම සොයාගත යුතුව තිබේ. මා පියාණන් ලිපි එවූ සෑම කෙනෙකුටම දුරබණුවෙන් අමතා ස්තූති කොට, කේන්දර ආදිය ගලපාගෙන යථා කාලයේ තථා අයුරින් කථා කරන බැව් පවසා දුරබණුව පසෙකින් තැබුවේය.

සිරා කොලුවාගේ අසරණ පසුම්බියේ අසරණ මුදල් කේන්දර මාමා සොයා යන විට මාමා පැවසුවේ සියලුම යෝජනා අතරින් තරමක් හෝ ගැලපෙන්නේ දෙකක් බවකි. ඒ යෝජනා ද්විත්වයට සිරා කොලුවාගේ අකමැත්තත් එක් වූ  විට මංගල කිංකිණි හඬන්නේ නැතිවම නිහඬ වූවේය. යෝජනාවකින් දැරිවියක් සෙවීම කාලය, ධනය මෙන්ම කසාද බඳින්නට හදිස්සි උන් හට මානසික අවපීඩනයද ඇති කරන භයානක තත්වයකි.

පත්තරේ දැන්වීමෙන් පලක් නැති තැන කෙලියක් නැතිව ලතැවුන මගේ මිතුරෙකුට අති සුන්දර ලලනාවක් සොයා දුන් කපු සීයා කෙනෙකුගේ සරණ යන්නට  සිරා කොලුවා වන මම ඉටා ගතිමි. දුරබණුවෙන් ඇමතූ දිනෙක, ඔයාගෙම ගෙයක් තියෙනවද , වාහන මොනවද තියෙන්නෙ, කොහෙද වැඩ කරන්නෙ, පඩිය කීයද, මොනවා කරන කෙල්ලෙක්ටද කැමති, ආදී වශයෙන් ප්‍ර‍්‍ර‍ශ්න පත්තරයකට පිළිතුරු දුන් පසු අප නිවසට පැමිණ කරුණු සොයා බලන බැව් හෙතෙම කීවේය. එහෙත් ඒ දිනවල නිවසේ සිදුවූ අලුත් වැඩියා කටයුතු නිසා ගේ හදලා ඉවර උනාම මම එන්නම් යනුවෙන්  අවසානයේ හෙතෙම ශපථ කලේය.

කලින් කලට තැනින් තැනට පුංචි පුංචි ආදර කථා දෙක තුනක් ඇති වූවා මිසක සිරා කොලුවා අනංගයෙකු වූයේ නැත. මේ අතරින් අපේ ගම් පියසේම දිවි ගෙවූ ඇගේත් මගේත් ආදර කථාවට තිත තබා වසර 8 ක් ඉක්ම ගොසින් තිබුනත්...ඇගේ සිත් අහසින් මා බැස ගොස් තිබුනේ නැත. සිරා කොලුවාගේ ඇතැම් අතීත බ්ලොග් ලිපියක පුරාවිද්‍යා උපාධිධාරී පැරණි පෙම්වතී යනුවෙන් මම ඇයව හඳුන්වා තිබේ.

පුරාවිද්‍යා උපාධිධාරිනිය ගත වූ වසර 8 පුරාම වරින් වර අපගේ සබඳතාව යලිත් අරඹන්නට උත්සුක වුවත්...ඒ සෑම අවස්ථාවකම මම ඇයව මග හැරියෙමි. කුඩා කල සිට මා ඇයව දුටු නිසාත්...එකම ගම් පියසේ නිසාත්...ඇගේ වටිනාකමක් එවකට මට දැනෙන්නට නැත. සරසවියේ අවසන් වසරේ ඈ සිටිද්දී අපේ පෙම නතර වූවේය. ඇය එදා නතර වූ තැනම නතර වී සිටියත් මම බොහෝ තැන්හි ඇවිද ගියෙමි. හරියට ලෝකයේ ලස්සනම මල සොයන්නට නිවෙසින් පිටත් වූ මිනිසෙක් බොහෝ දුරු කතර ගෙවා මාස ගණනාවකට පසු යලි නිවසට එන විට අල්ලපු වත්තේ ලස්සනම මල පිපී තිබුනාක් වැනිය.

වසර 8 කට පෙර මම ඇයට වඩා රුවැත්තියකට පෙම් බඳින අටියෙන් ද්වේශසහගත ලෙස ඇයව හැරගියෙමි. ඒ අපේ සබඳතාව නවතන්නට දාහක් හේතු දක්වමිනි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් අහිංසක දැරිවියකි. අපේ ආදර වියෝවෙන් පසු ගතවූ වසර 8 ඇය මහත් සෝ තැවුලෙන් ගත කල බව නොරහසකි. වරින් වර ඇගේ වේදනාව ඇය මවෙත අකුරු කලාය, නැතහොත් අන්තර්ජාලය හරහා ගන්නා ඇමතුමක සටහන් කලාය. මා ඇයටද නොකියා හොර රහසේ රටින් පිටවූ කලෙක ඇයට කෙතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද ? සිරා කොලුවා වන මට එවකට ඇගේ වේදනාව දැනුනේ නැත. මම සිරිත් පරිදි නොරටක සිට රැකියාව කලෙමි.

ඇය වේදනාව මතින් හෝ තම අධිෂ්ඨානය වෙත ගමන් කලාය. ඉතිහාසය ගුරුවරියක ලෙස රජයේ පත්වීමක් ලබා, ඉන් පසු ශාස්ත්‍ර‍පති උපාධියද සම්පූර්ණ කලාය. එහෙත් ඇය තවමත් එදා මා පෙම්කල තරුණියමය. මගෙන් ආදරය අයඳින ඇයමය.

ඇගෙන් වෙන් වී විවිධ අත ගිය මට පැතූ ලෙසම සුන්දර යුවතියක මුණ ගැසුනේය. මා ඇමතූ දිනක පැරණි පෙම්වතියට මා නැවතත් පෙම්වතෙකු බව සැළ කලෙමි. අලුත් පෙම්වතියගේ රූපයක්ද යැව්වෙමි. එය බලා ඇය තෙපලූවේ නව පෙම්වතිය බොහෝ සේ රූමත් බවකි. මට දුකයි...ඇය එසේ තෙපලුවත්...ඇය පිළිබඳ මා හට දුකක් දැනුනේ නැත.

නව පෙම්වතියගේ රූ සොභාවෙන් මන්මත් වී සිටි මට ඇය ඇතුලතින් තනිකර හිස් බව හඳුනාගන්නා විට, ඇය මා හැරගොස්, මවිසින්ම හඳුන්වා දුන් මගේ එවකට හොඳම මිතුරෙකුගේ තුරුලට වූවාය. විරහවේ වේදනාව කෙතරම්දැයි එකල මා යලි යලිත් අත් දුටුවෙමි.

කාලයේ අැවෑමෙන් මම සියරට පැමිණියෙමි. පුරාවිද්‍යා උපාධිධාරිණිය මගේ ආගමනයෙන් මහත් සතුටට පත් වූවාය. අපි බඳිමුද ? ඇය කීප වරක් මාගෙන් විමසුවාය. එහෙත් මම උදාසීනව සිටියෙමි. වසර 8 කට පෙර දිනයක ඇගේ මව්පියන්ගෙන්  ඇය හා විවාහ වීමට අවසර ගෙන තිබූ  මට ඇගේ නිවස දැන් තහනම් කලාපයකි.

මාව බලන්න කෙනෙක් එනවා ඊශ්‍රායලයෙ ඉඳන්...ඔයා මොකද කියන්නෙ...ඇය දිනක් මගෙන් විමසුවාය. මම බොහෝ සැහැල්ලුවෙන් ඔහුට කැමති වෙන ලෙස පැවසුවෙමි. මෙයට පෙරද නොයෙක් වර ඇගේ දෙමාපියන් ඇයට යෝජනා පිණිස තරුණයන් රැගෙන ආවත් ඇගේ කේන්දර සටහන සමග ඒවා සමපාත නොවූයෙන් ඒවා සියල්ලම බැහැර වූවේය. ඇගේ කේන්දරය ගලපන්නට අපහසු එකකි. එහෙත් ඇයත් මමත් කේන්දරයෙන් මනාව ගැලපෙන බැව් අතීතයේ දිණයක අපි ශපත කරගෙන සිටියෙමු.

අපි බඳිමුද ? ඇය අවසන් වතාවටත් මගෙන් විමසුවාය. මා දිහා බලාන ඉන්න එපා ඔයාට ඔය ගේන හොඳ යෝජනාවකට කැමති වෙලා එයාව බඳින්න. මම සැහැල්ලුවෙන් යුතුව නැවතත් පැවසුවෙමි.

එතැනින් පසු ඇය මට නැවත කථා නොකලත් එක් සැඳෑවක එවූ කෙටි පණිවිඩයක සටහන් වූයේ ඇය බලන්නට පැමිණි තරුණයා ඇයට කැමති වූ වගත්, ඒ දෙපළගේ කේන්දරද මනාව ගැලපෙන බවත්, ඉතා ඉක්මනින් කසාදය සිදු කොට ඇය ඊශ්‍රායලයට හෝ ඔහු සමග ඔස්ට්‍රේලියාවට යන බවත්ය.

සත්‍ය ලෙසම වසර 8 ක් මගේ පැරණි පෙම්වතිය අරභයා නිද්‍රාශීලී ප්‍ර‍තිපත්තියක සිටි මගේ දෙනෙත් විවර කලේ ඒ කුඩා පණිවිඩයයි. වසර 8 ක් පුරාවට මා දෙස බලා හිඳිමින් නිහඬවම ආදරය කල ඇගේ වටිනාකමක් මට ඒ වන තෙක් දැනුනේ නැත. මගේ ලඟම මිතුරියක මෙන් හිඳිමින් අවවාද අනුශාසනා කල ඇය අන් අයෙකුගේ අතගෙන රටින් පිටවී යන්නට ඇත්තේ තවත් මඳ කාලයක් බැව් මම යළි යලිත් සිහිපත් කළෙමි.

උඹට ආදරය නැති උන්ට ආදරය කරන්න ගිහින් හිත රිද්දගන්නෙ...මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉද්දි...උඹට නම් පින නෑ බොල....මිතුරන් නොයෙක් වර එලෙස කීවත් සිරා කොලුවාට ඇගේ වටිනාකම දැනුනේම නැත.

එහෙත් ඇගේ වෙන්වයාමටත් පෙර සිටම ඇගේ වෙන්වීම පිළිගන්නට දැන් මගේ සිත වෙහෙසෙයි. එහි ප්‍ර‍තිඵලය ලෙස මගේ චිත්ත සන්තානයම මහත් වූ වේදනාවකින් පිරී යන්නට ගත් වූයේ දින දෙක තුනකි. කාර්යාලයේ එදිනෙදා රාජකාරි ඉටු කරන්නට අපහසු තරමට මම මානසික මට්ටමෙන් පිරිහුනේ පුදුම සහගත අන්දමිනි. මගේ ආයතන ප්‍ර‍ධානියන් මගේ ගැටලුව ගැන දැනුවත් වූ පසු එයින් ගොඩ එන්නට අනුශාසනා කළෝය. එහෙත් තව තවත් වේදනා පතුලේ ගිලී ගියා මිස මා ලැබූ සහනයක් නැත.

වසර 8 ක් පුරා ඇය විඳි වේදනාව දැන් ක්‍රම ක්‍රමයෙන් මා ගිලගනිමින් සිටියි. දින දෙක තුනක් විඳ දරාගෙන සිටින්නට බැරි තරම් වූ එය ඇය එතරම් කාලයක් නිහඩවම වින්දේ කෙසේදැයි මම පුදුමයෙන් මෙන් සිතුවෙමි. ඇගෙන් තොරව ජීවත් වන්නට බැරි බැව් මා තේරුම් ගන්නා විට අශ්වයා පැන යන්නට ඔන්න මෙන්නය.

ඇය තවමත් විවාහක නැත. එහෙයින් නැවත කෙසේ හෝ ඇයව ලබාගනිමියි මම අධිෂ්ඨාන කළෙමි. ඇයව දුරබණුවෙන් ඇමතුවෙමි. ඇය වෙනදා මෙන්ම සන්සුන්ය දයාබරය. වෙනසක් නැත. 

අපි බඳිමු...මම කීවෙමි.

ඇය සිහින් හඬින් ඉකිබිඳින බවක් ඇසේ...ඇයි ඔයා ඕක කියන්න ඔය තරම් පරක්කු උනේ...මම අවුරුදු 8 ක් තිස්සෙම උත්සාහ කලේ ඔය වචනෙ ඔයාගෙ කටින් කියව ගන්න. ඒත් දැන් ඔයා හොඳටම පරක්කුයි අයියෙ. මට ආපහු හැරෙන්න බෑ. ගෙවල් දෙකේම අය මුණ ගැහිලා කේන්දර ගලපගෙන දැන් ඉතිරි වෙලා තියෙන්නෙ කසාදෙට දින යොදාගන්න විතරයි.

මම නොයෙක් වර ඇවිටිලි කලත්...ඇගේ සිත වෙනස් කරන්නට නොහැකිය. මා පෙලන වේදනාව දිනෙන් දින දැඩි වේ. ඇය වේදනා විඳින කල හැඟීමක් නැත්තෙකු ලෙස සිටි මට කාලයේ ඇවෑමෙන් ඒ වේදනාවම උරුම වී ඇත්තේ දෛවයේ සරදමක් පරිද්දෙනි. ලෝකයේ සෑම ක්‍රියාකාරකමකටම සාධාරණ වූ ප්‍ර‍තිවිරුද්ධ ක්‍රිියාවක් ඇති වග මම දැන් විශ්වාස කරමි.

මම දිනපතා ඇයව දිනාගන්නට නොයෙක් වර ඇමතුම් ලබා ගත්තද ඇය සෑම විටෙකම කීවේ දැන් මා ප්‍ර‍මාද බවයි. අවුරුදු 8 ක් ඔයා එක්ක හිටිය මට වඩා මාස දෙකක් ආශ්‍ර‍ය කරපු කෙනාද ඔයාට ලොකු...මම අසාධාරණ ගැටලුවක් නැගුවෙමි. ඒකට මට දෙන්න උත්තර නෑ...ඇය එසේ පැවසුවාය.

මට ආපහු හැරෙන්න බෑ....ඇගේ වදන් මගේ දෙසවනේ දෝංකාර දෙයි....එක් දිනක් සවස කාර්යාලයේ මිතුරන් සමග මධු සාදයකි. මගේ චිත්ත සන්තානයම මේ වේදනාවේ ගිලී මම පුදුමාකාර පීඩාවකින් යුතුව සිටියෙමි. මා ගැන සොයාබලන්නට ගෙදර ඇත්තන්ට අමතරව සිටි එකම තැනැත්තියත් මට සමුදෙන්නට ඇත්තේ තවත් සුළු කාලයක් බැව් මම මටම කියා ගනිමින් සිටියෙමි. මම ඇයව ඇමතුවෙමි. 

මම අවුරුදු 8 ක් ඔයා වෙනුවෙන් බලා හිටියා. ඔයාට කිසිම හැගීමක් තිබුනෙ නෑ මා ගැන...මේ කෙනා මාව බලන්න එන්න කලිනුත් මම ඔයාට කිව්වා...ඔයා එතකොටවත් ඒක වලක්වන්න හැදුවෙ නෑ. දැන් පරක්කුයි. හොඳටම පරක්කුයි.

අද මම හොඳටම බොනවා...ගෙදර එයිද, අතරමග හැප්පිලා මැරෙයිද මම දන්නෙ නෑ... 

අනේ එහෙම බොන්න එපා...ඔයාට මොනවා හරි උනොත් මටත් දුකයි...පිස්සු නැතුව ගෙදර එන්න පරිස්සමෙන් ඇය එසේ පැවසුවාය.

එදින මම ජීවිතයේ ප්‍ර‍ථම වතාවට පියවි සිහිය නොමැති වනතෙක්ම මධු පානය කළෙමි. ෂැන්ඩි නොමැතිව වේදනාව කැපෙන්නට කියා  අමුවෙන්ම බිව්වෙමි. කාර්යාල සගයන් මහත් වූ වෙහෙසක් ගෙන මා වත්තම් කරගෙන පැමිණි ආකාරය මට කිසි ලෙසකින් මතක නැත. නිවෙසට පැමිණ පැය ගණනාවක් යන තුරාවට මට සිහියක් නැත. මේ ළමයා ඇයි මේ තරම් බිව්වෙ...දෙමාපියන් විස්සෝපයෙනි.

මම පසුදා ඇය අමතා මගේ වේදනාවේ තරමත් පෙරදා රාත්‍රියේ අරුමයත් ඇයට පැවසීමි. ඇය නිහඩවම සිටියාය.

ඔයා ඔහොම ගිහින් බේබද්දෙක් වෙලා ජීවිතේ නාස්ති කරගත්තොත් මගෙ ජීවිතේ සතුටින් ගෙවුනට වැඩක් නෑ. 

එතැන් සිට මම නැවත නැවතත් ඇගේ සිත දිනාගන්නට වෑයම් කළෙමි. ඇයව නොපමාව කැන්දාගෙන යන බැව් පැවසුවෙමි. අවසානයේ මාස දෙකකට වඩා වසර 8  බලවත් බැව් ඇය පිළිගත්තාය.

ගෙදර ඇවිත් අහන්න...එයාලා ඔයාව එලවගනීද මන්දා...මට තේරෙන්නෙ නෑ අනේ...මාවත් ගෙදරින් එලවලා දායි අම්මා...ඇගේ ස්වරය හැඬුම්බරය.

ඇගේ සහෝදරයා කලකට කලින් මගේ හොඳම මිතුරෙකි. අපේ ආදර සබඳතාව බිඳ වැටුන දා ඔහු අපේ මිත්‍ර‍ත්වයෙන් ඈතට ගියේය.

මම අයියව මුණ ගැහෙන්නද ? එයා හරහා දෙමාපියන්ට දන්වමු....

ඇය එයට කැමැති වූවාය.


එයින් අනතුරුව දවසක මම හොර රහසේම ඇගේ සහෝදරයාව ඔහුගේ සේවා ස්ථානයේදී මුණ ගැසුනෙමි. ඔහුගේ නැගණිය වැනිව ගතිගුණ ඇති තරුණියක වර්තමානයේ සොයාගැනීමට ඇති අපහසුතාව මෙන්ම, ඇගේ වටිනාකම මා හට දැනෙන්නට ප්‍ර‍මාද වීම පිළිබඳවද මම ඔහු සමග කථා කලෙමි. ඔහු බොහෝ සංවේදී වී ඇත.

අවුරුදු 8 ක් නංගි විඳපු දුක මම දන්නවා. අපේ තාත්තා එක්ක ඔය ගැටලුව ගැන කථා කරන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්නෙ. එයාලා කවුරුවත් ඔයාව ආපහු පිළිගන්න කැමති නෑ. තමන්ගෙ දුවව එක වතාවක් ප්‍ර‍තික්ෂේප කරපු මිනිහෙක්ට එයාලා මොන වගේ ප්‍ර‍තිචාරයක් දක්වයිද...මගේ නම් අකමැත්තක් නෑ...මම උත්සාහ කරන්නම් එයාලා එක්ක කථා කරන්න. 

එයින් පසු උදා වූ සති අන්තයේ දවසක උදෑසනම ඇගේ පියාණන් අප නිවසට පැමිණියේ හදිසියෙනි. මා පියාත් ඇගේ පියාත් පැරණි මිතුරන්ය. මව්වරුන්ද එසේමය. මේ සියලු බැඳීම් වසර 8කට පෙර මොට වූවේ මගේ තීරණයෙනි.

ඔයාගෙ පුතා අපේ දුව එක්ක ආයෙ පැටලෙන්න හදනවලු...දැන් එයාට මනමාලයෙක් හොයලා කේන්දර ගැලපිලා ඔක්කොම ඉවරයි. එක සැරයක් දාලා ගිය කෙනෙක්ට අපි කොහොමවත් කැමති වෙන්නෙ නෑ. ඔය ගැන කථා කරන්න පොඩ්ඩක් අපේ ගෙදර එන්න.

අමුතුවෙන් වෙලාවක් ඕනෙ නෑ...මම දැන්මම එන්නම්...මා පියාණන් මේ සිදුවීම පිළිබඳ සියලුම තතු දැන සිටි නිසා ඒ වේලාවෙම ඇගේ නිවස බලා පිටත්ව ගියේය.

දෙමාපියො කැමති නෑ කියලම කියයි. ඒත් ගෑණු ළමයගෙ කැමැත්ත අහලා බලමු කියලා ඔයා කියන්න. මම එයාට ඒ ගැන කියලා ලෑස්ති කරලා තියෙන්නෙ. එපරිද්දෙන් සිදු වීමට යන කාරණය ගැන මා පියාණන් මෙන්ම ඇයද දැනුවත් කළෙමි.

පියාණන් එහි යන විට ඇගේ නිවසේ සභා තොමෝ රැස්වී සිටි බවත්...විවිධ කථා බහ අතරේ මේ කාරණය ගැන නැවත කථා කරන්නට දෙයක් නැති වග ඇගේ පියා පවසනාවත් සමගම, දුවගේ තීරණය එයාගෙන්ම අහලා බලමු යයි මා පියාණන් පැවසූ නිසාම ඒ ගැන විමසන්නට කටයුතු යෙදුන බවත්, ඇගේ තීරණය නිර්භීතව හෙළි කල පසු ඇගේ දෙමාපියන් අසරණ වූ අන්දමත්, ඕක කලින් කිව්වා නම් අපි මනමාලයො ගේන්නෙ නෑ නේද මේ ගෙදරට යනුවෙන් ඇගේ මව ඇයට සැර කල බවත්, පසුව මා හට දැනගන්නට ලැබුනි.

කාලය වෙනදා මෙන් ටික් ටික් හඬින් ගලා ගියේය. සියලු නොහොඳ නෝක්කඩු කෙමෙන් කෙමෙන් සමනය වූවේය. ඇගේ දෙමාපියන් ක්‍ර‍ම ක්‍ර‍මයෙන් යථා තත්වයට පත් වූහ. ඊශ්‍රායලයෙන් පැමිණි විවාහ අපේක්ෂකයා අපේක්ෂා භංගත්වයෙන් නැවතත් විදේශගත වූවේය.

පසුගිය බක් මාසයේදී ඈ වසර 8 ක් පුරාවට පැතූ ලෝකය මම ඇයට හිමි කර දුන්නෙමි. මෙයින් මතු සිරාගේ කාමරය තුල සිරාගේ බූට් කථා ලියවෙන්නේ නැත. ඒ සමය දැන් අතීතයට එක් වී හමාරය. අප දැන් ඉතාම ප්‍රීතිමත් විවාහක යුවලකි. අපට අහිමි වූ වසර 8 ගැන දුක් නොවී අපි වර්තමානය ගෙවාදමමින් සිටින්නෙමු.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය කඳිම බිරිඳකි. සිරා කොලුවාගේ සමාජ සත්කාර උදෙසා, විශේෂයෙන් ඈත පළාත් වල අසරණ පාසල් දරුවන් වෙනුවෙන් සිදු කරනා සත්කාර උදෙසා ඇගේ දායකත්වයද දැන් නොඅඩුව ලැබේ. ඉතිහාසය ගුරුවරුන් නොමැතිව ලතැවෙන පිටිසර පාසල් වලට ඇගේ දායකත්වය නිවාඩු සමයේ ලබා දීමටද ඇය කැමතිය.

ලෝකයේ සුන්දරම කුසුම සොයා ඉබා ගාතේ යන, තමා ආසන්නයේම ඒ මල විකසිත වී ඇති බැව් නොදන්නා සිරා කොලුවා වැනි බොහෝ දෙනා මේ සමාජයේ තවත් සිටිති. ඒ ඇත්තන්ට මේ ලියමන දකින්නට ලැබේවායි පතමි!!!





මම කාමරේ අරින සිරා කොලුවා.






ප.ලි

ඇගේ ජීවිතයට අදාළ කොටස් මෙම ලිපියේ අන්තර්ගත නිසාම, ප්‍ර‍ථමයෙන් මා ප්‍රිය බිරිඳට කියවන්නට ලබා දුනිමි. ඇගේ අවසරය ලැබුන පසු මෙසේ පබ්ලිෂ් බටනය එබුවෙමි.

Tuesday, January 12, 2016

71 සයිමන්ට හූ කියූ රවියා සහ අයුතු ජනරාශිය

ඊයෙ පෙරේදා දවසක ඇඹිලිපිටියේ සිදු වූ ඛේදවාචකයෙන් පසු ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුල වේගයෙන් පැතිරෙන නවතම වචනය අයුතු ජන රාශියයි. පොලෝසිය අත වරද තිබුනත් ඉහළින් ලැබෙන අණ පරිදි තමන්ගේ සහෝදර නිළධාරීන් වෙනුවෙන් සුදු හුණු ගාන්නට යන පොලෝසියේ මාධ්‍ය ප්‍රකාශක උතුමා ඔහුට කලින් රාජකාරි කොල උත්තමයා මෙන්ම විහිළුවක් බවට පත් වී ඇති ආකාරය දෙස සංවේගප්‍රාප්තව නෙත් යොමු කරමින් මේ ලියවිල්ල අරඹමි.

මෙවැනි ක්‍රියාකාරකමක් හමුවේ පොලෝසියේ නම ගෑවුනේ පළමු වතාවට නම් නොවේ. ඉතාමත් අවංකව, රාජකාරිය දේවකාරියක් ලෙස සළකා ඉටු කරනා පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින සිරිලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුළු තරයක් මී හරකුන් නිසා සමස්ත දෙපාර්තමේන්තුවේම කීර්තිනාමයට කැළැලක් ඇති වීම සාමාන්‍ය පුරවැසියන් ලෙස අප නිතර නිතර අත් දැක තිබේ. වර්තමානයේ සන්නිවේදන ක්ෂේත්‍ර තුල ඇති වී තිබෙන දියුණුවත්, කැමරා සහිත ජංගම දුරකථන ඉතාම සුලභ වීමත්, සමාජ ජාල වටා සිටින බහුතර තරුණ පරපුරත් නිසාම අතීතයේ මෙන් නොමනා දෙයක් කොට සැඟවී සිටීම පහසු නැත. රූප මාධ්‍යයෙන් විදුලි වේගයෙන් පුවත් මවනා මෙවැනි සිදුවීමකට රටේ දැවෙන ප්‍රශ්න කෙටි කලකට හෝ අමතක කර දමන්නට ඇත්තේ කදිම හැකියාවකි.

අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට එක් නීතියකුත්, දේශපාලන රස්නය වැදුන අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම හරහා නීතිය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම වැළැක්විය හැක්කක් නොවේ. ඇඹිලිපිටියේ තරුණයා උඩුමහළින් බිමට පැන්නා යයි නිර්භයව කියනා පොලෝසිය...ඇතැම් දේශපාලන චරිත වැරදි කර තිබුනත් අත්අඩංගුවට ගන්නට නීතිපති උපදෙස් පතන්නේ සෑහෙන කාලයක් ගත කරමිනි. මෙය තෙවන ලෝකයේ රටවල් බහුතරයක සරළ සාමාන්‍ය ක්‍රමවේදයයි. මෙවැනි ආකල්ප වලින් මිදෙනා තුරාවට අපට සංවර්ධනයේ දොරගුළු විවර කරගන්නට නොහැකි බව සිරා කොලුවා වන මගේ අක්මාවට මෙය ලියන අවස්ථාවේත් දැනෙයි.

අයුතු ජනරාශිය නිසා මේ දිනවල බඩට බත් නැති එකාගෙත් හිත කුතුහලයෙන් පිරිලාය. එළවළු වෙළඳ සැලේ මිළ ගනන් අහස උසට උවත් පාරිභෝගිකයාට වගේ ගණනක් නැත. කොන්දොස්තර මල්ලීගෙන් නොලැබුන ඉතිරි රුපියල ගැන වද වෙන්නෝ අල්පය. අයුතු ජනරාශිය එතරම් ප්‍රබල තැනකට පැමිණියේ ඉතාම කෙටි කලකිනි.

සිරා කොලුවාගේ ඉතිහාස පොත පෙරලා බැලූ විටෙක අයුතු ජන රාශිය නැමති අරුම පුුදුම චෝදනාව මම මෙන්ම මගේ මිත්තර කැළටත් ඇතැම් සිදුවීම් අරභයා එල්ල වෙන්නට ඉඩ තිබුනාදෝයි ඇඹිලිපිටිය සිදුවීම පසුබිමක තබා නිවී සැනසිල්ලේ සිතන විට සිතෙයි. එවැනි සිදුවීම් කීපයක් අද දවසේ මෙහි අකුරු කරමි.

උ/පෙ විභාගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරියක් සිරා කොලුවා විසින් සිදුකල බව කාමරයට යන එන අයට මතක ඇතුවාට සැක නැත. ඒ පිළිබඳ කථා කීපයක්ම මවිසින් අතීතයේ දවසක ලියා තිබේ.

මම දැන් කියනා සිදුවීම ඒ කාලයට අදාළ එකකි. අප එකල ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත අළෙවි කරන ප්‍රවේශපත්‍ර වර්ගය අවසන් වූ විටෙක ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් එක් රැස් වූ මුදල් වල වගකීම රැගෙන හෝ..මුළු මුදලම අදාළ නිළධාරියෙකුට භාර කොට ක්‍රිකට් තරඟ නරඹන්නට එකතු වෙන්නට හැකියාව තිබුනි.

මා සමගම ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ රාජකාරියේ යෙදී සිටි රවී ගොයියා එහෙම් පිටින්ම ක්‍රිකට් පිස්සෙකි. ලංකාවේ කණ්ඩායම තරඟයක් ජය ගන්නවා නම් රවියාට මුලු ලෝකයම දිනුවා වැනි තරම් සතුටක් දැනෙයි. ඒ වේලාවට ඒකාට ඉන්නා තැන කරනා දෙය පවා අමතක වෙයි.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති තරඟයකි. ලංකාව සහ ඔස්ට්‍රේලියාව කරට කර සටනකි. චමින්ද වාස්ගේ අවසන් පන්දු වාරයට ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 7 කි. මයිකල් බෙවන් සමග සයිමන් අයියා පිත්ත හසුරුවයි. එහෙත් කැන්ගරුවන් පරදා සිරි ලංකාව එදා ලැබූවේ කලකට අමතක නොවන අති විශිෂ්ඨ වර්ගයේ ජයග්‍රහණයකි.

ලංකාව පරදිනු ඇතැයි සිතා ශෝකයෙන් විලම්භීත වී තිබූ රවියාගේ මුහුණට ජයග්‍රහණයෙන් පසු අලෝකයේ රැස් වැටී තිබේ. ඒකාට උන්හිටිතැන් අමතකය. පරාජයට පත් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනා යලි ක්‍රීඩාගාරයට යා යුත්තේ අප සිටිනා ස්ථානය අසලිනි.

බිම බලාගත් වනම පොඩි ළමයින් දෙදෙනෙකු මෙන් පිතිකරුවන් දෙපළ නැවත ක්‍රීඩාගාරයට පියමං කරන අතරතුරේ අප පසු කරන්නට ආසන්න වූවා පමණි. සිරිලංකාවේ ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටි රවියා අප සිටි තැන සිට පහතට ඔලුව යොමුකොට ඇන්ඩෘ සයිමන් (Andrew Symond)  නැමති ක්‍රීඩකයාගේ මුහුණ ආසන්නයේම සිට  දරුණු හූ හඬක් කීප වතාවක් නැගුවේය. සයිමන් රවියා දෙසට හෙලුවේ, ඔස්ට්‍රේලියාවට වරෙන්කො දෙන්නං උඹට වැනි බැල්මකි.

සයිමන් අයියා

මේ හූ හඬ නිසා කුපිත වූ ඒ ආසන්න පෙදෙසේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළදරුවෝ දඬයමකට එළඹෙන සිංහ පෝතකයින් මෙන් රවියාගේ බෙල්ල බදාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ඒකා වෙතට පැන්නෝය.

රවියා දැන් බෙහෙවින් අසරණ වී සිටියි. වටේ පිටාවේ ඉන්නා ප්‍රේක්ශක ජනතාවද දෑස් අයාගෙන රවියා දෙස බලා සිටිති. ප්‍රථමයෙන් පැමිණි පොලිස් නිලධාරියා රවියා වෙත එල්ල කල කම්මුල් පහර ඒකාට නොවැදුනේ හිස පැත්තට හැරවූ නිසාය. 

තෝ කාටද යකෝ හූ කිව්වෙ....

පොලෝසියේ ඇත්තෝ ඉතාම ආදරයෙන් රවියා වඩාගන්නට පොර කති. මා සමග පැමිණි එකා තනිකර පලායන්නට මට හිතක් නැත. ඒ නිසාම මේ අටමගලය මැද්දට මමද පැන්නෙමි.

අනේ සෑර් මගෙ යාලුවට සමාව දෙන්න. මූ තනිකර ක්‍රිකට් පිස්සෙක්...ගම්පහ ඉදන් දඹුල්ලට ආවෙ මේක බලලා යන්න. මම ඔවුන්ගෙන් අයැද සිටියෙමි.

මූ මහ හරකෙක්...අර මිනිහගෙ කනට කරලා මූ හූ කිව්වෙ. ඒ යකා ගිහින් කම්ප්ලෙන් කලාට පස්සෙ මේ වීඩියෝ එක බැලුවොත් මේ පොයින්ට් එකේ ඩියුටි කරපු අපි ඔක්කොම ගස්...මට දෙන්න හිතෙනවා මූට....

පොලිස් රාළහාමිගේ මිට මෙළවූ අත වක ගැසී රවියාගේ සුදු කම්මුල් සිප ගන්නටම වෙර දරයි. ඒ අතර තුර කාලයේ මගේ අඛණ්ඩ දුක්ගැනවිල්ල නිසාම ඒ ඇත්තන්ගේ හදවත උණු වී ගිය සෙයකි.

හරි මල්ලි උඹ කියන නිසා මූව අත ඇරලා දානවා..ඒත් මේකාට කියන්න අනිත් දවසෙ මෙහෙම වැඩක් කලොත් අද වගේ ලේසි වෙන්නෙ නෑ කියලා...අරිද....

එදා යන්තමින් පොලෝසියෙන් රවියා බේරාගත්තේ වටා පිටාවේ අති මහත් ප්‍රේක්ෂක සමූහයක් සිටි නිසාම විය යුතුය. වර්තමානයේ වගේ කාලයක නම් රවියාත් මමත් අප අසල සිටි තවත් පිරිසකුත් අයුතු ජන රාශියකට අයත්ව එළොව බලා යන්නට හෝ අතපය ඒවායේ සන්ධි වලින් පන්නාගන්නට චෑන්ස් එක ලැබෙන්නට ඉඩ තිබුනි.

මේ තවත් දවසක කථාවකි. එක් වැසි සහිත රාත්‍රියක ගම්පහ නගරයේදී මධුවිතක් තොලගා අප මිත්‍ර කෂ්ඨාගේ CT 100 යතුරු පැදිය මතට මමත් නඟා කොලුවාත් පැටවුනේ නිවෙස් බලා පැමිණීමේ අරමුණිනි. රැකියාව අහවර කර සිරා කොලුවාත්, නඟාත් දුම්රියෙන් ගම්පහට පැමිණියෙන් කෂ්ඨා බයිසිමොටෝවෙන් තනියම නිවසින් පිට වී තිබුනි. බයිසිමොටෝව පණ ගන්වා මඳක් ඉදිරියට ධාවනය කලා පමණි. පොලිස් පරීක්ෂක උතුමෙක් හදිසියේ එහි ප්‍රාතූර්භූත වූ පොලිස් ජිප් රථයකින් බැස අප කරා ආවේ විදුලි වේගයකිනි. මඳ අඳුර සහිත වැසි පොද යට වුවත් එතුමාගේ උරහිසේ වූ තරු දෙක මට අද මෙන් මතකය.

මේක බයිසිකලයක්ද ත්‍රී වීල් එකක්ද අයිසෙ ? කී දෙනෙක් මේකෙ නැගලද ? ඔහු ඇගිලි දිගු කර මුලු මගීන් ගනන 3 ක් ලෙස තීන්දු කළේය. කෂ්ඨා තමන්ගේ ශ්‍රී මුඛයෙන් වෑහෙන අරක්කු ගඳ නොදැනෙන්නට බොහොම සංයමයෙන් පොලිස් පරීක්ෂක උතුමාගෙන් මුඛය දුරස් කරගෙන පිළිතුරු දෙයි.

සෑර් වැස්ස නිසා මේ යාලුවෙක්ව මේකට දාගත්තෙ....එයා අද කුඩේ ගෙනල්ලා නෑ ගොඩාක් දුර පයින් යන්න තියෙනවා.

කුඩේ නෑ කියලා බයිසිකලේ තුන්දෙනා ඩබල් දාලා ගියාම හරියනවද අයිසෙ...තමුසෙලා ගිහින් කොහෙහරි හැප්පිලා සැමන් උනාම අපිට තමයි ඒත් කරදරේ...නගිනවා බලන්න දැන් බයිසිකලේ මුලින්ම ආපු උන් දෙන්නා. 

මමත් කෂ්ඨාත් ඉක්මනින් බයිසිකලය මතට වීමු... නඟා කොලුවා දැන් පාරේ ඇවිදගෙන ගිය මගියෙකුගේ චරිතය රඟ දක්වයි.

ආ දැන් තමුන් දෙන්නා යන්න ගිය ගමන යනවා... ඉබ්බා වතුරට දමන්නට ඇසූ කල ඇන්නෑවේ කියූවාක් මෙන් අපි අපේ ගමන පිටත්වීමු. 

අනිත් දවසෙ මතක ඇතුව කුඩයක් අරගෙන එනවා පාරට බහිනකොට...

තරු දෙකේ සෑර් නඟාට ගෝරනාඩු කරනවා අපට ඇසුනේ යන්තමිනි. දඩයක් නොකා මෙවැනි අවස්ථාවකින් ගැලවෙන්නට ලැබුන චෑන්ස් එක ගැන සිතමින් අප අපේ නිවාස දෙසට දිවෙන මාර්ගයේ මඳ දුරක් පැමිණ නැවත නඟා බලන්නට ගියෙමු. ඒ වන විට පොලිස් ජිප් රිය එතැන නොතිබුන නිසා වැහි දියට සෘජුව නිරාවරණය වෙමින් මගියාගේ චරිතය රඟ පාමින් සිටි නඟා කොලුවා ගැන උපන් සානුකම්පාව නිසා ඒකාව නැවත පටවාගෙන තුන්දෙනා ඩබල් දමා නිවෙසට සැපත් වන්නට අපිට හැකි වූහ.

මේ තවත් රාත්‍රියක කථාවකි.

ගම්පහ මල්වත්ත ආසන්නයේ තැනක ඒ කාලයේ තිබූ වාහන ටින්කරින් වැඩපලක් මේ කියන දිනයේත් දිනයක අවසානය සනිටුහන් කරමින් නිහඬ වී තිබුනි. සේවක භාරකරුවන් නිවෙස් කරා ගොස් සිටි හෙයින් ඒ ස්ථානයට තනි රැක්කේ අඟ පසඟ අඩු වූ වාහන කීපයක් පමණකි.

එදා අපේ උන්ට ෆුල් කෝඩයක් ගැසූ දවසකි. එවන් දවසක මහත්වරුන් ලෙස නැටුම් තෙල් ඩිංගිත්තක් ඒ සඳහා වෙන්වූ තැනක සිට බොක්කට හලා ගන්නට අපට වරම් නැත. අමාරුවෙන් රුපියල දෙක එකතුකරගෙන ගන්නා ඖෂධ බෝතලය සහ ගම්පහ නයිට් කඩයකින් ගන්නා කොත්තුවකින් අපේ සාදය ඇරඹෙන්නේ මේ ගැරේජය වැනි අහළ පහල නිවෙස් නැති කුරා කූඹියෙකුට හෝ කරදරයක් නැති හුදෙකලා ස්ථානයකය.

වයිට් ලේබල් බෝතලයේ අඩිය පෑදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පොලෝසියේ රාළහාමිලා 10 දෙනෙකු පමණ එහි පැමිණියේ බයිසිමොටෝ කීපයකිනි.

අඩ අඳුරේ සිටි අප වෙතට ඔවුන්ගේ අධි සැර විදුලි පන්දම් එල්ලවූයේ සැණකෙනි...

මොකද ඔතන කරන්නේ....උච්ච සප්තකය ආශ්‍රිත ස්වර කීපය මැද පරිසරයේ නිහඬතාව බිඳී ගියේය.

හංගන්නට කිසිම දෙයක් නැති නිසා හන්දියෙ ගෙදර පුෂ්පයා අපි මේ බොනවා යනුවෙන් ප්‍ර‍තිරාව නැගුවේය.

මුන් බොන්නේ මොනවාදැයි බලන්නට එතනට පැමිණි නිළදරුවන් විදුලි පන්දම් එළියෙන් බෝතලයේ ඉතිරිය කොපමණදැයි විමසා බැලුවෝය.

ඉන් අනතුරුව එකිනෙකාගෙන් තමන් නිරත වෙන ආර්ථික කාර්යයන් කුමක්දැයි පොලෝසියේ ඇත්තන් විමසීමට පටන් ගත්හ.

පුෂ්පයා වරලත් ගණකාධිකාරී ශිෂ්‍යයෙකි, නඟා කොලුවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. මම ගැෆික් කරුවෙකි. එතැන සිටි වනිගයාද සමාජයට වැඩදායී යමක නිතරව සිටි හෙයින් අප සිතුවාට වඩා තත්වය සාමකාමී විය.

බීලා බයිසිකල් පදින එක වැරදි වැඩක් කියලා දන්නවනෙ. ඉගෙන ගත්ත ළමයි නිසා කියන්නෙ..මේ ඉතිරියත් ඉක්මනින් බීලා..වෙරි වෙන්න කලින් ගෙදර යන්න...එසේ කියා පොලිස් ඇත්තන් අපට ඈතින් වූ ප්‍ර‍ධාන මාර්ගයේ බේබදු රියදුරන් වටලන ක්ෂණික මාර්ග බාධකයක් යෙදීය.

මා ඇතුලු බේබදු නඩය බෝතලයේ අඩිය පාදා, කොත්තුවේ අවසානය උදා කර බයිසිමොටෝ පණගන්වා මේ මාර්ග බාධකය මැදින්ම නිවෙස් කරා ගියේ පොලිස් මාමලාට සැලියුට් කිරීමෙන් අනතුරුවය.

ඇඹිලිපිටියේ වැනි තත්වයක් එදා එතැන තිබුනා නම්...අප සියලු දෙනා අයුතු ජනරාශියකට යටත් කොට පොලෝසියේ රැය පහන් කරවන්නට ඉඩ තිබුනි.

මේ ලියමනේ නොයෙක් තැන ඔබට හමුවූයේ ඇඹිලිපිටියේදී චෝදනාවට ලක් වූ පිරිසද ඇතුලත් සිරිලංකාවේ පොලෝසියයි. එහෙත් ඇඹිලිපිටියේ වැනි අත්දැකීම් අපි නොලැබුවේ අපට හමු වූ පොලිස් නිලධාරීන් සමාජය සමග ගණුදෙනුව හොඳින් කරන්නට දන්නා අයවලුන් නිසා විය යුතුය. එහෙත් මේ ගනුදෙනුව පිළිබඳ අල්ප මාත්‍ර‍ දැනුමක් ඇති පොලිස් ඇත්තන් සමාජයට අලුත් සිදුවීමක් නිර්මාණය කරනවා මෙන්ම වටිනා මිනිස් ජීවිතද ඩැහැ ගනිති. මෙවැනි සිදුවීම් යලි ඇතිවීම වැළැක්වීමට නම් පොලෝසියේ උන්දලාට උපදේශන වැඩමුළු පැවැත්වීම ඵලදායී වේ යැයි මට සිතේ.

මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ගිය වසරේ පෙබරවාරිය සිරාගේ කාමරය තුල සැමරුවේ බූට් මාසයක් යනුවෙනි. මෙවරද පෙබරවාරිය බූට් මාසයක් කරන්නට මම සිතා සිටිමි. දැනටම මා වෙත එක් කථාවක් ලැබී අහවරය. ඔබටත් ඔබේ හද පෙලූ ආදර කථාවක් වේ නම්, විරහව ඔබ හඳුනන්නේ නම්...සිරාගේ කාමරයට යන එන දහස් සංඛ්‍යාත පිරිස සමග ඒ කථාව බෙදාගන්නට කැමති නම් ඔබේ කථාව ඊයක් (E-mail) ලෙස සිරා කොලුවාට විදින්න. එය ඔබේ නම සහිතව මෙහි නිසැකවම පල වේවි.

Wednesday, January 6, 2016

96 කාමරේ දොර ආයෙමත් විවෘතයි.

සුභ 2016 වසරක් වේවා බොලා හැමෝටම...කාලෙකට පස්සෙ සිරා කොලුවා ආයෙමත් කාමරේ ලෑලි දොර විවර කොලා. කාමරේ පැත්ත පළාතෙ නෑවිත් හිටිය පහුගිය කාලය බොහොම කාර්ය බහුලයි. දැන් කියලා ඉතින් වෙනසක් නෑ. ඒත් ඉතින් දන්න නොදන්න ඇත්තො ආයෙමත් යමක් ඇදබාන්නෙ නැතෙයි අහලා සතියකට තුන හතරක් ඊ විදිනකොට මගේ හඳුන්පොත මෙලෙක් උනා. ඒ හින්දම අකුරු දෙක තුනක් හරි කොටලා මකුළුදැල් බැඳුන මගේ දුප්පත් කාමර කබල ආයෙමත් බොලා වෙනුවෙන් විවර කොරන්නයි මේ වෑයම.

ගෙඹි මස් ගැන දෙසාබෑව අන්තිම බ්ලොග් සටහන අමුණන කොට මැලේසියාවෙ හිටිය සිරා කොලුවා දැන් ඉන්නෙ සිරි ලංකාවෙ. මගේම කියලා පුංචි ව්‍යාපාරයක හිමිකාරයෙක් වෙලා. දැන් ඉතින් අණ දෙන්න බොසාලා නැති නිසා ලොකු නිදහසක් දැනුනත් හැමදේම තනිවම කළමණාකරණය කරගත යුතු නිසාම තමයි බොලව් මේ තරම් කාර්යබහුල උනේ.

ලෝක වෙළඳපලේ තෙල් මිළ දරුණු ලෙස පහළ යාම මැලේසියානු ආර්ථිකයට මරු පහරක් වෙලා තියෙන්නෙ. ඒ නිසාම පහුගිය අප්‍රියෙල් මාසයෙදි අලුතින් පනවපු 6% භාණ්ඩ හා සේවා බද්දෙන් පස්සෙ ඒ රටේ භාණ්ඩ සහ සේවා ගාස්තු ඉහළ ගියා. ඊට සරිලන විදියට අපේ වැටුප් පත්‍රිකාවත් ආදරණීය බොසා ඉහළ නංවාවි කියන පරම පිවිතුරු චේතනාවෙන් හැඩගැන්වී තිබුන අපේ මල් වගේ අහිංසක හිත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුන තැන යම් කළකිරීමකට පත් උනා.

ඒ අතරතුර කාලෙදිම තමයි සිරා කොලුවගෙ පිය තුමාගෙ පපුවෙ ආගන්තුක ගැස්මකුත් හට ගත්තෙ. නම් දරාපු විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් විවිධ පරීක්ෂණ අවසානයෙදි කිව්වෙ කොලෙස්ට්‍රෝල් මට්ටම ඩිංගිත්තක් වැඩි වෙලා තිබුනත් පපුව ඉතාම හොඳ තත්වයේ තිබෙන බවක්. එහෙත් තාත්තගෙ පපුවෙ ගැස්ම අඩු උනේම නෑ. වරින් වර මතු උනා.

අන්තිමේදි ජයවර්ධනපුර රෝහලේ නවත්වලා ප්‍ර‍තිකාර කලත්, පැය 24 ක්ම හෘදයේ රිද්මය හඳුනන නවීන යන්ත්‍රයක් සවිකර තිබුනත් තාත්තා චෝදනා කරන මේ පපුවෙ ගැස්ම නං අල්ලගන්නම බැරි උනා. කියන්න ලෙඩක් නැති නිසා ඒ ඇත්තො ලෙඩා ගෙදර එව්වා.

අන්තිමේදි මම උපකල්පනය කලේ මාස තිහකින් නොදුටු සිරා කොලුවා දුටුවොත් තාත්තගෙ අසනීප තත්වයේ වෙනසක් වේවි කියලා. එහෙමත් නැත්තං නවීන උපකරණ වලට හසු නොවන ඔහුගේ පපුවෙ ගැස්ම හුදු මානසික සිතිවිල්ලක් පමණක් කියලා.

ඔය කිව්ව කාරණා දෙක නිසාම මම තීරණය කලා මාස 30 ක මැලේසියානු ජීවිතයට තිත තියන්න...දෙමාපියන් සමග ජීවත්වෙන්න තියෙන කැමැත්ත නිසාම ලංකාවෙ ඉපයීම් මාර්ගයක් ආරම්භ කරන්න. වැටුපට වැඩ කරනවා වෙනුවට මගේම කියලා ව්‍යාපාරයකට අත ගහන්න. ඔන්න ඔය විදියට තමයි මේ ලියවිල්ල ලියන අවස්ථාව දක්වා කරුණු කාරණා සිද්ධ උනේ. සතුටට කාරණය තමයි තාත්තගෙ රෝගී තත්වය මේ වන විට සුවපත් වී තිබීම. මගේ ආගමනය නිසා ඔහුට ඇතිවුන චිත්ත ප්‍රීතියත් එයට ඉවහල් වෙන්න ඇති.

මාස 30 කට පස්සෙ ලංකාවට සම්ප්‍රාප්ත උන මට, ගුවන්තොටුපල ආපසු පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කඩ සාප්පු කිසිම ලකයක් නැති වග, මත්පැන් බෝතල් තියෙන තැන ඒවා විකුනන්නට පමණට වඩා මේකප් දැමූ නංගිලා අවශ්‍ය ප්‍ර‍මාණයටත් වැඩියෙන් ඉන්නා බව, නගරයේ මාර්ග වල දිවෙන වාහන සංඛ්‍යාව සැළකියු යුතු ලෙස වැඩිවී තිබෙන බව, රටකජු කරත්තෙන් ඉස්සර වගේ රුපියල් 10 ට රටකජු ගන්න බැරි විත්තිය, ඒ දවස් වලට වඩා දැන් ඉන්න දැරිවියො ෆාස්ට් ෆෝවඩ් වග. මගේ දෙමාපියො වගේම මිත්තරයන්ගෙ දෙමාපියොත් පෙනුමෙන් වයසට ගිහින් තියෙන බව, මා එක්ක අතීතයේ දවසක ස්කූටර් චාරිකා වලට එකතු උන ඇත්තන්ගෙන් සමහරෙක් පිය පදවි ලබා, වගකීම් සහගත ජීවිත ගත කරන නිසා නැවත චාරිකා යන්නට එකතුකරගන්නට නොහැකි විත්තිය අක්මාවට දැනුනා.

සිරිලංකාවට පය තිබ්බට පස්සෙ බ්ලොග් ලියන කියවන ඇත්තන්ගෙන් සෞදි අරාබියේ ඉන්දික සහ ගම්පහ කම්මල ගොයියා මුණ ගැහුනෙ ගම්පහ ගල් පල්ලිය ලගදි. ඒ හමුවීම අවසන් උනේ ගම්පහ තානායමේ රවුම් මේසයකින්. ඉන්දික අයියා හා පුරා කියලා මුලිච්චි උනේ එදා.

කම්මල / ඉන්දික (පින්තූරෙ ගත්තෙ ඉන්දික අයියා බත් කන ගෙදර අක්කා)
ඊට පස්සෙ බ්ලොග් අඩවිය නිසාම සිරා කොලුවා එක්ක බොහොම ලඟ යාලුවෙක් තරමට බැදුන ඇමරිකාවේ සමීර කොලුවගෙ ගාල්ලෙ නිවසෙ පැවැත්වුන සාදයකට සහභාගි උනේ ඔහුගේ ආරාධනාවකින්. සමීර වගේම සමීරගෙ පවුලේ උදවිය දක්වපු ආගන්තුක සැළකිළි ඉතාම ඉහළ නිසාම පහුවදා දවල්ටත් බඩ පුරවගෙනයි සිරා කොලුවා එළියට බැස්සෙ.

නැති බැරි සමීර කොලුවා

සමීරගෙ නිවසේ පැවති ධාරාණිපාත සංගීත වරුසාව
ඔයින් මෙයින් ජනවාරි පළමුවෙනිදාවත් උදා උනා. සුභ වේලාවල් නැකත් අරවා මේවා බැලුවෙ නෑ. නමක් හදාගන්න සිංහල භාෂාව මුදලට වික්ක උන්ව හොයාගෙන ගියෙත් නෑ. යමක් කරන්න උවමනා නම් එ් සඳහා ඕනෑම වෙලාවක් සුදුසුයි කියන තර්කයේ ඉදගෙන කාලයක් තිස්සේ හිතේ එකතු උන හීන වලට පණ දෙන්න මගේ පුංචි ව්‍යාපාරය ආරම්භ කොලා. ව්‍යාපාරයේ නම Dreamz Creations. ග්‍රැෆික් නිර්මාණ කටයුතු සහ මුද්‍ර‍ණ කටයුතු තමයි අපේ ප්‍ර‍ධාන ව්‍යාපාරික කටයුතු වලට අයත් වෙන්නෙ. ඊට අමතරව මයෙ මලයා මංගල ඡායාරූපකරණයට අත ගහලා තියෙන්නෙ.

මගේ අලුත් පුටුව

ගතවුන කාල සීමාව තුල බ්ලොග් ලිපි කිසිවක් කියවන්න ඉසිඹුවක් තිබුනෙ නෑ. ඒ පිළිබඳ ඒ ඇත්තො අහිතක් හිතන එකක් නෑ කියලයි මගේ විශ්වාසය. එක් වරම එක හුස්මට මේ ලියමන ලියාගෙන ලියාගෙන යන්නෙ සිරාගෙ කාමරේට යන එන බණ්ඩාරවෙල නැන්දා කෙනෙක් කොලුවො යමක් ලියපිය කියලා මට තරයේ අවවාද කල නිසාම තමයි.

බ්ලොග්කරණය තුල ගතවෙලා තියෙන වසර 3 ඇතුලෙදි සිරා කොලුවා ඉපයූ වත්කම් වලට සාක්ෂි සපයන්නෙ මා ගැන විමසා මවෙත ලැබුන ඊ පණිවිඩ, එහෙමත් නැතිනම් තෝ මොකද ලියන්නෙ නැත්තෙ මැරිලද ? යනුවෙන් මා ලද දුරකථන ඇමතුම්...මේ උණුසුම් ප්‍ර‍තිචාර නිසාම කොහොමද යමක් අකුරු කරන්නෙ නැතුව ඉන්නෙ. ඒ හින්දම සිරා කොලුවා ආයෙමත් හැකි විදියට ලිපියක් දෙකක් ලියාන පාඩුවේ ඉන්න තීරණය කලා. ඔබ සියල්ලන් සමග කරන මේ ගණුදෙනුව මට මහත් සතුටක්.

අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන මීගමු පුරවරය ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ...කන බොන පපුව හොඳ මිනිස්සු ඉන්න පළාතක් විදියට තමයි ප්‍ර‍සිද්ධ. හැමදේම බිම් මට්ටමෙන් පටන් අරගෙන ඉදිරියට යන්නයි සිරා කොලුවගෙ වර්තමාන වෑයම.

එහෙනං බොලව් අදට මේ මදැයි...ආයෙ එහෙම..සිරෝ තෝ මලාද කියලා අහලා ජංගම දුරබණුවට ඇමතුම් එහෙම දෙනවා නෙමෙයි. කසාදයක්වත් නොබැඳ දැන්ම මැරෙන්න මගේ අදහසක් නෑ බොලව්..


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවා ගැන විමසූ හැමටම අක්මාවෙන්ම ස්තූතියි...ඉඩ ඇති පරිදි ඔබ සැම කියවන්නට එමි.

Wednesday, September 16, 2015

121 ගෙඹි මස් සමග බත් කෑ දා...

අදින් සති දෙකකට කලියෙන් සිරා කොලුවාගේ කාර්ය බහුලත්වය තවත් මාස 6 කින් නැවත හමුවෙන අටියෙන් වෙන් වී ගියේය. වසරකට දෙවරක් පැවැත්වෙන, මැලේසියාවේ සංචාරක අංශයේ ප්‍රධානතම ප්‍රදර්ශනය වන MATTA FAIR වෙනුවෙන් මම සේවය කරන ආයතනය සහභාගි වීම මේ කාර්ය බහුල තාවයට හේතුවයි. මේ ප්‍රදර්ශනයේ ජාතකය බොලා ඉදිරියේදී පෙර දිනයක මවිසින් කියා ඇති නිසා නැවත ඒ ගැන කිව යුතු නොවේ. කියවා නැති කෙනෙක් ඉහත ලින්කුවෙන් කියවා එනු මැන.

මෙවර ප්‍රදර්ශනයත් වෙනසක් නොමැතිව ගෙවී ගියේය. වෙනසකට තිබුනා නම් ඒ අප අායතනය සමග අලුතින් අත්වැල් බැඳගත් නවක සේවක සේවිකාවන්ය. එහෙමත් නැතිනම් අත්පත්‍රිකා බෙදීම සඳහා සහාය වූ විශ්ව විද්‍යාල සිසුවියන්ය. මෙවර ඒ සඳහා මැලේසියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඉරාන සහ යේමන් ජාතික රූමතියන් දෙදෙනෙකුද එකතු වීම පිරිමි අපට සෑහෙන දහිරියක්ම විය.

උස ළමයා ඉරානයෙනි, මිටි ළමයා යේමනයෙනි, ඉදිරියේ සිටින සුදු නංගි මැලේසියාවෙනි

මේ නගාලා දෙදෙනා රූමත් වූවා කියා ආඩම්බර වූයේ නැත. ලද අවසරයකදී ඔවුන් සමග කල කථා බහකදී බෞද්ධ දහම ගැන ඔවුන්ගේ දැනුම වැඩි කරන්නට මා හට අවස්ථාව ලැබුනි. මේ දෙදෙනා ඉතාමත්ම නිහතමානීව කීවේ බුදු දහම ගැන වැඩි විස්තරයක් නොදන්නා නමුත් ඒ පිළිබඳ කියවා යමක් දැනගන්නට කැමති බවයි. මම ඔවුනට කීවේ බුදු දහම වර්තමානයේ එක් ආගමකට සීමා නොවූ දර්ශනයක් බවට පත් වී ඇති බවකි.

මේ වතාවේදී  අපගේ සංචාරයන් පෙර වසරට වඩා අළෙවි කරනු පිණිස වැඩි වැයක් දරා ඉඩකඩ විශාල කරමින් ප්‍රදර්ශන කුටියක් ඉඳි කල අතර ගණුදෙනුකරුවන් වඩා වඩාත් තෘප්තිමත් කරවනු පිණිස ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දීමද හඳුන්වා දී තිබුනි. ඒ වෙනුවෙන් විවිධ රසයෙන් අයිස්ක්‍රීම් පුරවන ලද අධි ශීතකරණයක් ප්‍රදර්ශන කුටියේ පසුපස කලාපයේ තබා තිබුනි. නගාලට අයිස්ක්‍රීම් කවන්නට බොහෝ අය එතැන රැස් කකා සිටියහ.

බෙදිල්ල බාරව සිටි යාපනයේ යතුරාජ්

කාර්ය බහුල වේලාවක අපගේ ප්‍රදර්ශන කුටිය

ගිය වර වටදාගෙය ඇතුලත් කල මා මෙවර සීගිරිය ඇතුලත් කළෙමි.
මැලේසියාවේ සිටින චීනුන් අයිස් ක්‍රීම් කන්නට පුදුම විදියට පෙරේතය. අධිශීතකරණය දුටු විගස ඔවුන් වයස් බේදයකින් තොරව අයිස් ක්‍රීම් ඉල්ලා අප වෙත පැමිණියහ. එහෙත් මේවා අපගේ ගණුදෙනුකරුවන්ට පමණක් යැයි කියූ විට ඔවුන් කිසිවක් නොදොඩා ආපසු හැරී ගියෝය. එහෙත් අප කිසිවිටෙකත් කුඩා දරුවන්ගේ ඉල්ලීම් ඉවත නොදමා ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දුනිමු. ලංකාවේ සහ මැලේසියාවේ අයිස් ක්‍රීම් සළකා බලන විට මැලේසියාවේ අයිස් ක්‍රීම් ලංකාවේ ඒවා තරම් පැණිරස නැත. එයට හේතුව මේ රටේ ආහාර පාන ආදියට යෙදිය හැකි සීනි ප්‍රමාණය පිළිබඳ සම්මත නීති මැලේසියානු රජය විසින් පනවා තිබීමයි.  මා දන්නා තරමින් අපේ ‍රටේ එවැනි තදබල නීතියක් නැති නිසාදෝ නිෂ්පාදකයෝ හිටු කියා සීනි දමති. අපේ ඇත්තෝ ඇති පදම් පැණිරස වළඳා දියවැඩියාව දෑතින්ම බදා ගනිති.

අපෙන් අයිස් ක්‍රීම් ඉල්ලූ චීන දැරිවියක්


අපේ ආයතනයෙන් යම් කිසි සංචාරයක් මිළදී ගන්නා ගණුදෙනුකරුවකුට ත්‍යාග භෝග හා ඒ අවස්ථාවේ අදින ඔහුගේ / ඇයගේ  මුහුණේ පැන්සල් සිතුවමක් ලබා දෙන්නට ආයතන ප්‍රධානියා සැලසුම් කොට තිබුනි. ඒ සඳහා සුදුසු චිත්‍ර ශිල්පියෙකු සෙවීමේ කාගෙ කාගෙත් උත්සාහය මැලේසියානු ජාතික චිත්‍ර ශිල්පීන්ගේ ඉහළ අය කිරීම් නිසා බොඳ වී තිබූ වටපිටාවක සිරා කොලුවා විසින් සොයාගන්නා ලද අපේ මව්බිමේම කුරුණෑගල සහෝදරයෙකු නිසා නැවත පණ ගැන්විනි. ඔහු අති දක්ෂ ලෙස ඔහුගේ අභියෝගය සෑම විටෙකම ජය ගත්තා පමණක් නොව චිත්‍රයට පෙනී සිටි අයගේ නොමඳ ස්තූතියටද පාත්‍ර වූවේය.

යුවතිය ඉදිරියේ තබාගෙන ඇගේ මුහුණ කොළයක සටහන් කරන ලංකාවේ දක්ෂතාව

මේ ප්‍රදර්ශනය සෑම කල්හිම දින තුනක් පැවැත්වෙන්නකි. සිකුරාදා දිනයක ආරම්භ වන එය ඉරිදා දිනයෙන් අවසන් වෙයි. අවසාන දිනයේ ප්‍රදර්ශනය රාත්‍රී 9 ට අවසන් වූ පසු ප්‍රදර්ශන භූමියට කාර්යාලයෙන් රැගෙන ආ අඩුම කුඩුම සියල්ල නැවත කාර්යාලය වෙත පටවා රාත්‍රී ආහාරය සඳහා අපේ නඩය ඇදෙන්නේ ක්වාලාලම්පූර් නුවර නොනිදන ඉසව්ව වන බුකිට් බින්තාන් (Bukit Bintang) වෙතයි.

මැලේසියාවට පැමිණෙන ඔබ රසවත් චීන ආහාරයක රස බලන්නට, පුංචි අඩියක් ගසා හිත සනසා ගන්නට, ගමන් මහන්සිය යන්නට සම්භාහනයක් කර ගැනීමට අවැසි නම් යා යුතු තැන මෙතනයි. මේ ඉසව්වේ සංචාරකයන් ඉලක්ක කර සේවා සපයන සම්භාහන මධ්‍යස්ථාන, මධුවිත අළෙවි සැල්, රාත්‍රී සමාජ ශාලා, මස් මාංශ, පළතුරු අළෙවිසැල්, චීන අවන්හල් මෙන්ම මාර්ගයේ සිට විකිණෙන ගණිකාවන්ගෙන්ද අඩුවක් නැත.

කුකුල් කකුල් බැඳුම
ලොකු රට කජු
මැලේසියාව මුස්ලිම් රටක් උවත් චීන අවන්හල් වල උෟරු මස් තිබේ
රක් අප එහි යන විට අප්‍රිකානු රටකින් පැමිණි ගණිකාවක සමග හෙට්ටු වෙන යුරෝපීයන් දෙදෙනෙකු දුටිමු. බැලූ බැල්මට ඒ ඇත්තන් කලු යුවතියගේ සීයා වරුන් බඳුය. වයසක සුද්දන් දෙදෙනාද පරාජය බාර ගන්නට සූජානම් නැත. ඔවුන් තව දුරටත් හෙට්ටු කරති. ඉවසීමේ සීමාව පැන ගිය ගණිකාව...ඒ ගානට මට දෙන්නෙක් එක්ක ඉන්න බෑ.....යනුවෙන් කල ගෝරනාඩුවට ඉංගිරිසිය වැටහෙන මාර්ගයේ ගිය බොහෝ උන් සිනහා හඩ නැගුවෝය.

මෙවර අප ප්‍රදර්ශනය නිමවා වාහන කීපයක එහි ගියෙමු. ඊට මත්තෙන් ඇතැම් දෑ අප කාර්යාලය වෙත ප්‍රවාහනය කල යුතු විය. මා හට ප්‍රවාහන පහසුකම් සැපයීමට අපගේ කාර්යාලයේ, මැලේසියානු ජාතික" ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකරු ජේම්ස් එකඟ වූවේය. එහෙත් ප්‍රදර්ශන ශාලාවේ සිට කාර්යාලය වෙත යන්නට ඔහු පාර දන්නේ නැත. අතීතයේ දිනෙක සිරා කොලුවාගේ නවාතැනක් මේ මාර්ගය ඔස්සේ වැටී තිබූ නිසා ඉදිරි අසුනේ සිට මම ජේම්ස් වෙත මාර්ගය පෙන්නුවෙමි. ජේම්ස්ගේ නවතම නිසාන් රථය මැනුවල් ගියර් සහිත එකකි. මැලේසියාවේදී මැනුවල් ගියර් සහිත රථයක් දකින්නට ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසා මම ඒ වෙනස ගැන ජේම්ස් සමග කථා කළෙමි. පිරිමියෙක් නම් පදින්න ඕනෙ මැනුවල් තමයි... ඔහු කෙටියෙන්ම මවෙත පිළිතුරක් ලබාදෙන විට අප සමග මෑතකදී එක් වූ පකිස්ථානයේ ගුල්ෆාම් පසුපස අසුනේ සිට සිනහා හඬ නැගුවේය.

කාර්යාලය වෙත රැගෙන ගිය දෑ එහි දමා අප තිදෙනා බුකිට් බින්තාන් ඉසව්වට යන විට අපගේ යුවතියෝ ඇතුලු පිරිස එහි ළඟා වී සිටියෝය. වාහනයේ සිට අවට පරිසරය වෙත නෙත යොමු කරන විට නියෝන් නාම පුවරු යට ඒ මේ අත ඇවිදින යුරෝපීයන් ඉතාම සුලභය.


බුකිට් බින්තාන් වල නැති දෙයක් නෑ. ඕනෙම දෙයක් තියෙනවා. නීති විරෝධී වැඩත් එමට තියෙනවා. ජේම්ස් එසේ පවසා රථය නවතා තබන්නට ස්ථානයක් අපහසුවෙන් සොයා ගත්තේය. අප දැන් චීන අවන් හල් එක‍ පෙලට ඇති ඉසව්වට පිවිසී සිටිමු.


චීනා යනු ලෝකයේ දීර්ඝ ආයුෂ විඳින ජන වර්ගයකි. ඒ සඳහා ඔවුන්ගේ ආහාර රටාව බෙහෙවින් ඉවහල් වී තිබේ. ඔවුන් ආහාර ගන්නා වේලාවන්ද එයටම උපකාර වී ඇති සෙයකි. දහවල් 12 වන විට දිවා ආහාරයත්, හැන්දෑවේ 6.30 පමණ වන විට රාත්‍රී ආහාරය ලබා ගන්නටත් චීනා කැමතිය. ඒ බොහෝ වෙලාවට ඖෂධීය ගුණයෙන් යුතු සුප් හැන්දක් දෙකක් පානය කරන්නටත් ඔව්හු අමතක නොකරති.

චීන අවන්හල් වල සෑම දෙයක්ම ඉතාම නැවුම් ලෙස සකසා දෙයි. එළවළු වර්ග ලංකාවේ මෙන් වරුවක් තම්බන්නේ නැත. මෑ කරල් පිසූ පසුවත් ඒවා බොහෝ සේ කොළ පැහැතිය. කංකුං ද එසේමය. ඒ නිසා මේවායේ මිළ ගණන් අවශේෂ අවන්හල් වලට වඩා මඳක් වැඩිය. චීනා ඉස්සන් ව්‍යංජනයක් සකසනවා නම් ලූණු තුනපහ ආදිය තාච්චියේ දමා තෙම්පරාදු කරන විට සූපවේදියාට අාසන්නයේ ඇති භාජනයක තවමත් ඉස්සන් පිහිනමින් සිටිති. නිසි අවස්ථාව පැමිණි කල තාච්චියේ මූඩිය විවර කර පණ ඇති ඉස්සන් එයට දමා පියන වසා දමන්නේ ඉස්සාගේ ඔලු කැඩීමකින් තොරවය. චීනා මෙන්ම මැලේ ජාතිකයන්ද ඉස්සන් පිසින විට ඔලුව ඉවත් කොට අහවල් ඒවා ඉවත් කරන සිරිතක් නැත. 

මා මැලේසියාවට පැමිණි මුල්ම කාල‍යේ නවාතැන් ගෙන සිටි මැලේ ජාතික නිවසේ ඇත්තන්ද එසේමය. දිනක් ඔවුන් සකසා තිබූ ඉස්සන් ව්‍යංජනයක් මගේ බත් පතටද බෙදුවේය. නමුත් ඉස්සන්ගේ ඔලුව කඩා නැති බව දැක ඉස්සන් කන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. ගෙදර ඇත්තන්ට වගේ ගනනක් නැත. ඉස්සාගේ ඔලුව කැඩු විට එහි තිබෙන අහවල් ඒවා දියරයක් මෙන් බත් පතට එකතු වෙයි. ඔව්හු ඒවාද බත් සමග හොඳින් අනා බත් ඇට අාමාශය වෙත තල්ලු කරන්නට රුසියෝය.

මේ හේතුවෙන් අප කිසිදා චීන අවන්හලකින් ඉස්සන් ඇනවුම් කරන්නේ නැත. අපේ ආයතනයේ ඇත්තන් අවන්හලේ අසුන් ගන්නේ කාන්තා පරාණ එක් මේසයක සහ පිරිමි පාර්ශවය තවත් මේසයක වන පරිද්දෙනි. මේ අවන් හල් සෑම එකකම ඒවා වෙත පැමිණි චීන සම්භවය සහිත මැලේසියාවේ සිනමා, ගායන, නිරූපන ආදී ක්ෂේත්‍ර වල ජනප්‍රිය තරු සමග අවන් හල් කාර්ය මණ්ඩලය එකට සිට ලබාගත් ඡායාරූප රාමුකොට බිත්තියේ එල්ලා තිබේ.


අවන්හලේ මෙනුපත අනුව  ඇණුවුම් කල ආහාර අතර මෙදා සුවිශේෂී යමක් විය. ඒ ගෙඹි මස් ව්‍යංජනයයි. මේ නම ඇසූ කල්හිම කාන්තා පරාණ අප්පිරියාවෙන් මෙන් ඉවත බලාගත් අතර සමහර පුරුෂ පාර්ශවයන්ද තමන් ගෙඹි මස් නොකන බව පැවසුවෝය. ඒ නිසාම තනි තනිව ගෙඹි මස් බුඳින්නට කැමති ඇත්තන් විමසන්නට ආයතන ප්‍රධානියාට සිදු විය. කිසිදා ආහාරයට ගෙන නැති නිසා මෙවර එහි රස බලන්නට මා හට සිත් වූයෙන් ගෙඹි මස් කන්නට අත එසවූ 5 දෙනා අතරට මගේ නාමයද එකතු වූහ. ගෙඹි මස් මැලේසියාවේ සෑම තැනකම නැති අතර බුකිට් බින්තාන් චීන අවන්හල වල එය සුළභ ආහාරයකි.

අසරණ ගෙම්බා


මේ ගෙම්බන් ආහාර පිණිසම ඇති කරන සුවිශේෂී වර්ගයක් මිස ලංකාවේ අපගේ ළිං පඩිය ලග ගැවසෙන, කුණු කාණුවේ ලගින වැනි  උන් නොවේය. කොළ පැහැති මෙන්ම දුඹුරු පැහැති ගෙම්බන් විශේෂයක්ද චීනුන් සතුව සිටිති. තමන්ගේ ජීවිතයේ අවසානය උදාවන තෙක් ඉහළින් ආවරණය කල මාලු ටැංකි වල වෙසෙන මේ සත්වයින් ඇණවුමක් ලද විගස මරණයට පත් කොට ආහාරයක් ලෙස සකසන්නට චීනුන් යුහුසුලු වෙති.

ඇනවුම් කල ආහාර අපගේ මේස වෙත පැමිණෙන තුරු අායතන ප්‍රධානියාගේ සුරතින් මේසයට පැමිණෙන රහමෙර පිරිමි පාර්ශවයේ වීදුරු වෙත පතිත වෙන්නේ ප්‍රදර්ශනය සාර්ථකව නිමකිරීමට හැකි වීමේ ප්‍රීතියද සමගිනි. මේ ප්‍රදර්ශනයේදී අපේ අළෙවිය වැඩි කරගැනීමට මාස දෙකක පමණ සිට සෑම කෙනෙකුටම විවිධාකාරයේ වගකීම් පැවරෙන අතර අපගේ ප්‍රදර්ශනය කුටිය, ගණුදෙනුකරුවන්ට ලබාදෙන අත්පත්‍රිකා, පුවත් පත් දැන්වීම් ආදිය නිර්මාණය කිරීමේ වගකීම මා හට පැවරෙයි. මේ නිසාම ප්‍රදර්ශනයක නිමාව යනු අප සෑම කෙනෙකුගේම මානසික විඩාව සංසිඳුවන දිනයකි.

වතුර ෂැන්ඩියට කලු ලේබල්

අප සියල්ලෝ  රහමෙර සමග මිතුරු දම් අරඹන විට කාන්තා පරාණ පළතුරු යුෂ වල හෝ චීන තේ වල රස බලති. මුස්ලිම් ජාතික පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාට රහමෙර හරාම් නිසා ඔහුද යුවතියන් සමග පළතුරු යුෂ පානය කරයි. මේ අතර තුර ගෙඹි මස් ඇතුලු ඇණවුම් කල ආහාර කට සැර චීන යුවතියකගේ දෑතින් අපගේ මේස වෙත ලඟා වෙති. මේ අය සතුව වෝකි ටෝකි යන්ත්‍ර ඇත්තේ සෘජුව ඔවුන්ගේ මුළුතැන් ගෙය හා සම්බන්ධ වීම සඳහායි.


ගෙඹි මස් ව්‍යංජනය දුටු විගස කාන්තා පරාණ අහක බලාගත්තෝය. ඔවුනට තව දුරටත් කරදරයක් නොවනු පිණිස ඒ ව්‍යංජනය බුඳින්නට එකඟ වූ පිරිස ඉක්මනින් තමන්ගේ පිඟන් වෙත ඒවා අඩුක් කර ගත්තෝය. පළමු වරට ගෙඹි මස් කෑල්ලක් හපන විට මා හට කිසිදු අපුලක් දැනුනේ නැත. හොඳින් තුනපහ යොදා පිස තිබූ එම මාංශයේ රස අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා කිසිම වර්ගයක නැති අමුතුම එකකි. මස් අඩුය. කටු වැඩිය.

සියළු සංග්‍රහයන් භුක්ති විඳ අවසන් වන විට මධ්‍යම රාත්තිරියට ආසන්නය. ඒ ඒ ගමනාන්ත වෙත යන්නට වාහන නැති පිරිසට කුලී රථ සේවයේ පිහිට පැතිය යුතුය. ඒවායේ වියදම් ආයතන විසින් දරනු ලැබේ. එකම මගක යන පිරිස වේ නම් ඔවුන් එකම රථයක යාම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඒ අනුව මම යන මාර්ගයේ යන්නට චිත්‍ර අදින ලද ලංකාවේ සහෝදරයාත් පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාත් සිටිති.

නිල් පැහැයෙන් ගුල්ෆාම් ගොයියා

චීන අවන්හලෙන් ඉවතට එද්දීම කුලී රථයකි. මම සැනින් අත දැමුවෙමි. එය පැදවූ චීන ජාතික තරුණිය රථය පසෙකට කොට නතර කලාය. ඇගේ දිගු කෙස් කළඹ ඉතා හොඳින් ඈතට දිස් වෙයි. අපේ ඔපීසියේ කෙලියෝ මහ හඬින් හිනැහෙන්නේ චීන යුවතියක සමග කුලී ගමනක් යන්නට අප තිදෙනාට ලැබුන චෑන්ස් එක දැක විය යුතුය.

අපගේ ගමනාන්තය ගැන පැවසූ විට ඇය එහි යාමට හැකි බව හස්ත සංඥාවෙන් පැවසූයෙන්  අප තිදෙනා රථයට ගොඩ වීමු. සිරා කොලුවා දැන් ඉදිරි අසුනේය. රථාචාර්ය වරිය සමග කථාකරන්නට මාන බලමින් සිටි මගේ චිත්ත සන්තානය රථය සංඥා එළියක නතර වූ විගස ඒ සඳහා පොට පාදා ගත්තේය. මගේ ගැටලුවට පිරිමි හඩකින් වහා පිළිතුරු ලැබුනි. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් විශ්මයට පත් අප තිදෙනාම රියදුරු තැන දෙස දෑස් හොඳින් විවර කර බැලූ කල එතැන සිටියේ චීන යුවතියක් නොව කොණ්ඩය වවාගත් ගෑණු පෙනුම ඇති පුරුෂ රත්නයකි.





මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මා ගෙඹි මස් සමග බත් කෑ බව ලංකාවේ යුවතියකට සැළ කලෙමි.  ඇයි කන්න දෙයක් නැතුවද ගෙඹි බස් කෑවෙ...පව්කාර වැඩ...යනුවෙන් පැවසූ අැය සම්බන්ධතාව විසන්ධි කලාය.

Wednesday, May 27, 2015

56 පති භක්තිය සමග වෙසක් කූඩු

ආකාලයේ අපෙන් වියෝ වූ පන්ති සගයා නිශාන්ත පිළිබඳ දුක් මුසු මතක ආවර්ජනයට පසුව අපේ 11 වසර පන්තිය පිළිබඳ තවත් මතක සමුදායක් මා හට හදිසියේ මෙන්  මතක් වී තිබේ. ඒවා ඒ වෙලාවට කාමරේ දොර ඇර ලියා දැමුවේ නැතිනම් නැවත මේ කපේට මතක් වෙනවා බොරු කියා මගේ අක්මාවට දැනෙයි.

6 වසරේදී E පන්තියේ සිටි සිරා කොලුවා 9 වසරේදී තාක්ෂණ විෂයන් අනුව පන්ති වෙන් කරන විට F පන්තියට ඇද වැටුනි. එ් පන්තියේ මුල සිටම සිටි උන්ගෙන් බොහෝමයක් එ් වන විටත් වෙනත් පන්ති වලට ගොස් සිටි නිසා තග දාන්නට කිසිවෙකු සිටියේ නැත. පන්තියේ නම වෙනස් වුවත් පාසලේ කුමන හෝ තැනක දකින්නට ලැබුන මුහුණත් තහඩු බැවින් නුපුරුදු බවක් දැනුනේ පළමු සතිය පමණකි.

6 වසරේ සිටම F පන්තිය බාරව සිටි ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ශ්‍රියාණි ගුරුතුමිය ඉතා සුහදව ශිෂ්‍යයන් සමග කටයුතු කරනා ගුරු මාතාවක් වූ හෙයින් සියල්ලෝම ඇගේ සමාගමය ප්‍රිය කළෝය. ඒ නිසාම අලුත් පන්තිය සිරාගේ හිත් ගත්තේය.

මේ පන්ති කාමරයේ හැම වර්ගයකම උන් උන්නේය. අධ්‍යාපනයට කැපවුන පිරිස ඉදිරියේම ඇති ඩෙස්ක් පේලි වල මුල් අදින විට නසරානි ගනයට අයත් වූ පිරිස පිටිපස්සේ වල බැස්සෝය. මේ කලාප දෙක අතර කලාපයට සිරා කොලුවා ප්‍රිය කල නිසාම මගේ අතිජාතයෝ වූ ඔටුවා, බඩියා, අයිය බඩා, කිඩා, ඔකපතන කොලුවාද මේ කොටසේදී මා හට මුණ ගැසින.

පන්තියේ මුල් පෙලේ ප්‍රහාරකයන් ලෙස රට බල්ලා සහ වීර චොපා කටයුතු කල හෙයින් හිටි ගමන් ඇවිලී යන මුන් දෙන්නාගේ ඇඟ කිලිපොලා යන සටන් ජවනිකා නොමිලේම නරඹන්නට අපට අවස්ථාව ලැබුනි. ඒවා ඉතාමත්ම උද්වේගකර ඒවා විය. පහරක් දෙකක් වැදුන පසු පොළගෙකු මෙන් කිපෙන වීර චොපා අතට අහුවෙන කුමක් වුව උඩුගුවනේ පා කර හරින්නට මැලි නොවන නිසාම එකෙකු යටියන්තොට යන්නට ප්‍රථමයෙන් අපි හැමදාමත් මුන් දෙන්නා දෙපසට කළෙමු.

සිරා කොලුවා, කිඩා, අයිය බඩා බටහිර තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරන විට පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කල සජ්ජාද අප සමගම එකම පේලියක වාසය කළේය. තූර්ය වාදක ඩයල් එකට සිටි නිසාම ගුරුවරයෙකු නැති හිස් කාලජේද වල පන්තිය මැද කදිම බජව්වකි. බජව්ව නැගලා යන විටෙක පිටස්තර පන්ති වලින්ද එකා දෙන්නා සැට් වෙති.

අයිය බඩා බෑන්ඩ් එකේ ගැහුවේ සයිඩ් ඩ්‍රමකි. ඒ හේතුවෙන්ම අපේ ඩ්‍රම්ස් වාදකයා වූයේද අයිය බඩාය. කවකටු පෙට්ටියෙන් අයිය බඩා කදිමයට රිද්මය උත්පාදනය කල බව මට මේ මොහොතේ සිහිපත් වෙයි. ඒ රිද්මයට ගී ගැයුවේ සිරා කොලුවා ඇතුලු නඩයයි. මේ සංගීතය සජීවී සංගීත ප්‍රසංගයක් වැනි එකකි. එහි නිවේදකයා ලෙස හැමවිටම කටයුතු කලේ මාලක ගොයියාය. සමස්ත ලංකා කථික තරග වලින් වසර ගනනාවක් හෙතෙම ජයග්‍රාහකයා වී සිටීම ඒ තනතුර ඔහුට පංගරාර්තු වන්නට ඉවහල් විය. මාලක අද ගම්පහ පුරව‍රයේ ප්‍රසිද්ධ අතිරේක පන්ති ගුරුවරයකි. නීතිඥයෙකි.

මාලකයා සමග වැඩි පයුරු පාසානයක් නැති කීප දෙනෙකු පන්තියේ වූහ. බජව්වට ගායකයන් වේදිකාවට කැදවීම මෙන්ම වේදිකාවෙන් බිමට බස්සවා ගැනීමද නිවේදකයා විසින් අපූරුවට සිදු කරන වට පිටාවක හිටි ගමන් අනුග්‍රාහක භවතුන් මතක් කරනා අවස්ථාවක් එයි. මේ වෙලාවේ මාලකයා සමග උරනව සිටිනා කීප දෙනා වෙත ගල් මුල් මඩ විසිවෙයි. ඒවාට කිපෙනා උන්ද ඉන්නා තැනක සිට දක්වන ප්‍රතිචාර අප හැමට ගෙන ආවේ කඳිම විනෝදයකි. එවැනි චරිත අතරට අල පඩයා, බර්නාඩ් සහ රටබල්ලා නිතරම අයත් වූහ.

බජව්වේ ශ්‍රාවක සමූහයා අතර ප්‍රමුඛයා වූයේ ඔටුවායි. අඩෝ...ප්‍රියාගෙ හදවත් ඉල්ලා දියං...සමිතගෙ රණ හංස යුවල දීහං..යනුවෙන් තමාට අවශ්‍ය ගීත ඔටුවා ඉල්ලාගන්නේ තර්ජනය කිරීමෙනි.

අපේ 11 වසර පන්තියට සිංහල විෂය ඉගැන්වූවේ නන්දාවතී නැමති ගුරු මාතාවකි. ඒතුමිය ඒ වන විටත් වසර 20 කට වඩා වැඩි කාලයක් අප පාසලේම ගුරුවරියක් ලෙස සේවය කොට තිබුනි. හිටි අඩියේ තම පැරණි ගෝලයෙකුගේ රූපකාය සහ නම අතර අතර මං වන එතුමිය එවැනි නමකින් වර්තමාන උන්ද අමතයි. එලෙස කියනා  නම් එතැන් සිට උන්ගේ හතුරන්ගේ උසුළු විසුළු වලට හසුවෙයි.

බර්නාඩ් ඔය පොත අරගෙන මෙහෙ එනවා.

දිනක් ඇය එසේ පැවසුවේ මැද පේලියක සිටි ජගත් කොලුවා දෙස බලාගෙනයි. එතැන් සිට ජගත් බර්නාඩ් යනුවෙන් බෞතීස්ම ලැබුවේය. තවත් දිනක පසුපස සිටි ෂ්‍යාම් කොලුවා ඇගෙන් ආමන්ත්‍රණය ලැබුවේ ලෙස්ලි යනුවෙනි. ලෙස්ලි..මොකද ඔතන දඟලන්නෙ ? වැඩ කරන්නෙ නැත්තං කරන මිනිහෙක්ට ඉඩ දෙනවා. එදා ඇය එසේ කීවාය. එතැන් සිට ෂ්‍යාම් දර්ශණ ගුණසිංහ ලෙස්ලි යනුවෙන් නම් ලද අතර පසු කාලයකදී එය ලෙස්ලේ යනුවෙන් උච්චාරණය විය.

මේ පන්තියේ කදිම විකටයන් දෙදෙනෙකු වූහ. ටිරෝන් සහ හෙසිත මුන්ගෙ උප්පැන්නයේ නාමයන් වුවද මෙහි ලියන්නට බැරි තරමේ තුප්පහි නම් දෙකක් උන් වෙනුවෙන් පන්තියේ කොල්ලන් රැජිස්ටර් කොර තිබුනි. අපේ පන්තියට කාලයක් ගණිතය විෂය ඉගැන්වූ කපිල් දේව් සෑර් පන්තියට පැමිණි මුල්ම දවස් වල එක එකාගෙන් නම ඇසුවේය. එවිට නැගී සිටි හෙසිතයා තම නම කියා නිහඬ විය. 

දෙසිත...මොකක්ද අයිසෙ දෙසිත කියන්නෙ...ඒක නමක්ද...සෑර් විචාලේය.

එදා නම් අපි බඩකට පුරා සිනහා වූයෙමු. වැඩියෙන්ම සිනහා වූයේ හෙසිතයාගේ හතුරා මෙන්ම මිතුරාද වූ ටිරෝන් කොලුවා බව මට මතකය. අප සා/පෙ ලියූ කාලයේ අන්තර්ජාලයේ ප්‍රතිඵල පෙන්වූයේ නැත. හැමෝම වාගේ ප්‍රතිඵල දැනගැනීමට පාසල් ආ යුතු විය. පාසලේ කටයුතු වලට බාධා නොවන සේ ප්‍රතිඵල සටහන් විදුහලට පිවිසෙන ප්‍රධාන දොරටුව සමීපයේම තබා තිබුනි. ඒ ඉදිරියේම ඇත්තේ බස් නැවතුම් පලයි. 

ටිරෝන් කොලුවා ප්‍රතිඵල සටහන පරීක්ෂා කරමින් ඉන්නා විටක බස් නැවතුමේ නතර කල බස් රථයකින් හෙසිතයා බහිනා වගක් ඒකා දකින්නට ඇත.

බලන්න දෙයක් නෑ බොල...තෝ ෆේල්... බස් රථයටම ඇසෙන සේ ටිරෝනයා හඬ නැගුවද ඒකාද ගණිතය විෂය අසමත් වී උසස් පෙළ හදාරන්නට සුදුසුකම් නැති මට්ටමට පත් වී සිටියේය.

පින්තූරය උපුටා ගත්තේ මෙතැනින්
මේ ලිපිය කියවන බොලාට..දැන් 11 F පන්තියේ සිටි උන් පිළිබඳ දළ අවබෝධයක් ඇති වී ඇතැයි සිතමි. මෙවන් වටපිටාවක එළැඹුන වෙසක් මාසයේදි  වෙසක් කූඩු තරගයක් පවත්වන්නට විද්‍යාලයේ විදුහල්පති තුමා විසින් අවශ්‍ය පියවර ගෙන තිබුනි. හොඳම වෙසක් කූඩුවට තෑගි දෙනවා. පණිවිඩය අපට සන්නිවේදනය වූයේ එලෙසයි.

එතැන් සිට එකාවන්ව කූඩු තරගයට මුහුණ දෙන්නට සෑම පන්තියකම උන් සැලසුම් ගැසුවේය. අපේ පන්තියේද තත්වය එලෙසම විය. උණබට ආශ්‍රයෙන් විශාල අටපට්ටමක් සහ පැටවුන් සැකසීම අපගේ පරමාර්ථය විය. උණබට පාප්ප සව්කොල සමග මේ කාරිය කෙරෙන අන්දම නරඹන්නට ශ්‍රියානි ගුරුතුමිය දවසකට වතාවක් දෙකක් පන්තියට ආවේ තම හිතවත් වෙනත් ගුරුවරියන්ද සමගිනි.

ඒ එන විටෙක අපේ තුණ්ඩිලයා කැපවීමෙන් කූඩුව සකසමින් උන්නේය. ඒකාගේ කට බොහොම සද්දය සහිත එකකි. හෙමින් කථාවක් ඇත්තේම නැත.

වැඩේ ලස්සනයි....හොඳට තියෙනවා. 

වැඩ නිම වෙමින් තිබූ කූඩුව දෙස බලා ශ්‍රියානි ටීචර් අදහසක් පල කරන විට කට හැකර තුණ්ඩිලයාට නිකං ඉන්නට බැරිය.

මේක මිස් අපි පති භක්තියෙන් හදන කූඩුවක්.

මේ වදනට සිනහා වෙනවාද, අඩනවාදැයි අපි කල්මනා කරමින් සිටිනා විට ගුරුවරියන් සාරි පොටෙන් මුව වසා සිනහා වෙනු දක්නට ලැබුනි.

සෑම පන්තියකම ඇසට හුරු විවිධ කූඩු මෝස්තර සකසා තිබුනත් 11 D පන්තියේ පමණක් වහලයේ බාල්කයේ එල්ලන ලද මකරෙක් වැන සත්ව රුවක් දක්නට ලැබුනි. එය රූකඩ පරිද්දෙන් නැටවිය හැකි වනසේ නුල් යොදා තිබුනි. 

මොකක්ද බං උඹලා හදලා තියෙන්නෙ.

වෙනත් පන්ති වල උන් D පන්තියේ කොල්ලන්ගෙන් ඒ බව ඇසූ විටෙක උන් මුනි වතම රැක්කෝය.

තරගය විනිශ්චය කරන අවස්ථාවට එළැඹිනි

පන්ති භාර ගුරුවරුන් ඉදිරියේම තවත් ගුරුවරු පිරිසකගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් වෙසක් කූඩු විනිශ්චයට බාජනය වෙයි. 11 D පන්තිය භාරව සිටි නන්දා ගුරුතුමිය බොහෝ කෙසග, කට සැර අයෙකි. එතුමියව කොල්ලන් විසින් හැදින්වූයේ කටු බැල්ලි යනුවෙනි.

විනිශ්චය මණ්ඩලය දැන් ලග ලගම එයි. පන්ති බාර ගුරුවරිය ලෙස විනිශ්චය මණ්ඩලය පැමිණෙන්නට කලියෙන්  පන්තියේ සකසා ඇත්තේ කුමක්දැයි හරියාරව දැනගත යුතු බවක් ඇයට සිතෙන්නට ඇත.

කොල්ලනේ උඹලා මොකක්ද මේ හැදුවෙ. මකරෙක් වගේ එකෙක්...වහලෙ එල්ලලා...කියහල්ලා....මමත් දැනගෙන ඉන්න එපායැ...

අපි මේ හදලා තියෙන්නෙ මිස්ව....

කොල්ලන්ගේ පිළිතුරෙන් අධික ලෙස කෝපයට පත්  නන්දා මිය ඒ ඉසව්වේ හෝ නොසිට වහා ඉවත ගිය බවත්, දින කීපයක් උන්ට ඉැගැන්වීමෙන් ඈත්ව සිටි බවත් පසුව අනාවරණය විය.




මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, April 26, 2015

54 පොඩි ඇඟිල්ල සහ වෙසක් සඳ

සිරා කොලුවා බයිසිකලයට පෙම් බැන්දේ කෙසේදැයි අතීතයේ දවසක ලියා තිබේ. බොහෝ උන්ට මෙන්ම මටද මගේම කියා බයිසිකලයක් ලැබුනේ සිස්සත්තය සමත් වීමෙන් අනතුරුවයි. මේ පුංචි බයිසිකලය සමග කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වන විට ශරීරයේ ප්‍රමාණයට බයිසිකලය නොගැලපෙන අවස්ථාවක් උදාවෙයි.

සාමාන්‍ය පෙළ ලියන අවදිය වන විට අපේ කාලයේ කොල්ලන්ට තිබුනේ මවුන්ටන් බයිසිකලයක් පැදීමේ ආශාවයි. මමත් බොහෝ උන් මෙන් ඒ සඳහා සිහින මැව්වෙමි. විභාගය හොඳට පාස් උනොත් බයිසිකලයක් අරගෙන දෙන්නම්. අම්මා එසේ කියූ නිසා මගේ ආශාවට තටු ලැබුනි.

විභාගයේ ප්‍රතිඵල පැමිණ මඳ කාලයක් ඇවෑමෙන් ජපානයේ මඳක් පාවිච්චි කල කදිම මවුන්ටන් පා පැදියක හිමිකරුවෙකු වන්නට මට අවස්ථාව ලැබුනි. බයිසිකලයේ ඇති ගියර් ප්‍රමාණය සහ අනෙකුත් අංග උපාංග අනුව බජාර් එකේ බයිසිකලයට ලැබෙන ස්ථානය තීරණය විය. සම වයසේ මිත්තරයන්ද විවිධ පාපැදි සමග කරළියට එන විට අප අතර බයිසිකල් මගින් වෙසක් බලන්නට යාමේ අලුත් උන්මාදයක් පැතිරි ගියේය.

වෙසක් දිනයේ උදේ රැයින් මාර්ගයට එකතු වන මේ මිත්තර කැළ තම පාපැදි මගින් ‍තෝරාගත් සිද්ධස්ථානයක් වෙත ගමන් කිරීම ආරම්භ වන අතර ඒ ගමන් මගේදී හමුවන සෑම දන්සැලකටම සහභාගි වීම අපගේ සිරිත විය. දහවලේ කුසගිනි දැනෙන වේලාවට බත් දන්සැලකින් සප්පයාම් වන අප තවත් කිලෝමීටරයක් ගිය තැන හමුවන බත් දන්සැලෙන්ද සප්පායම් වන්නෙමු. සිසිල් පැන් දන්සැල් එකක් අතහරින්නේ නැත. කුස තුල මේ තරම් දන්සැල්  සඳහා ඉඩ ලැබුනේ කොහෙන්දැයි අපි දන්නේ නැත.

මේ අයුරින් සෑම වසරකම පා පැදි මගින් වෙසක් සිරි නරඹන්නට යාම පුරුද්දකට වඩා සිරිතක් වන තරමට දියුණු විය. පසුකාලයකදී පාපැදි පාගන්නට අකමැති ඇත්තන් යතුරු පැදි මගින් මේ ගමන් ගිය නිසා පාපැදි සංගමයේ සාමාජිකයන් ගනන අඩු විය. සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ අයනු ආයනු කියවූ වකවානුව වන විට උදෑසන සිටම දන්සැල් සොයා බයිසිකල් පැදීම නතර කොට සන්ධ්‍යාවට පමණක් කොහේ හෝ යන්නට තරම් අපි වයසින් මුහුකුරා ගොස් සිටියෙමු.

ගම්පහ අවට ජීවත් වන ඇත්තන් ගම්පහ සාම විහාරයේ පෙරහැර ගැන දනිති. ගම්පහ නගර මධ්‍යයෙන් චිරාත් කාලයක සිට ගමන් කරනා, අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මේ පෙරහැර දැකබලා ගැනීමට අාසන්න ගම් නියම් ගම්වලින් පවා ජනතාව ගම්පහ නගරයට ඇදෙති. පෙරහැර ආරම්භ වන අවස්ථාව වනවිට නගරය එකම හිස් ගොඩකි. වාහනයක් තියා බයිසිකලයක් හෝ නවතන්නට ඉඩක් නැත.

මේ කියන දිනයේ බයිසිකල් සංගමයේ සාමාජිකයන් ඒ මේ අත ගොස් සිටි නිසා පෙරහැර නැරඹීමට යාමට ජොකියෙක් නොමැතිව මම හතර අතේ කල්පනා කළෙමි. මට සැනින් නගා කොලුවා මතකයට පැමිණියෙන් මම වහා ඇමතුමක් ගතිමි.

නගෝ...උඹ මොකද කරන්නෙ.

මොකුත් නෑ බං ගෙදර ඉන්නෙ.

හැන්දෑවට පෙරහැර බලන්න යමුද බයිසිකලේ.

මගෙ බයිසික‍ලේ පැච් එකක්. තවම දාගන්න බැරි උනා.

එහෙනං කිතුලගෙ එක ඉල්ලගෙන යමං. මම එන්නං 6 වෙද්දි ගෙදරට.

පෙරහැර බලන්නට යන්නට දැන් නගා කොලූ සිටී. එහෙත් උගේ පොල්ල නැති බයිසිකලයේ හුළං නැති නිසා කිතුලා නැමති තවත් මිතුරෙකුගේ පා පාදිය රැගෙන එන්නට එහි යා යුතුය. ඉතාමත් අහිංසක එකෙකු වූ කිතුලා කිසි විටෙකත් රෑ පානේ ගමන් බිමන් ගියේ නැත. එහෙයින් උගේ බයිසිකලය නිවසේ සුවසේ පසුවෙයි.

හවස 6 වෙද්දී මම පෙරහැර නරඹන්නට සූජානම් වී නගා කොලූගේ නිවසට සේන්දු වූයෙමි. ඉන් අනතුරුව ඒකා මගේ බයිසිකලයේ පටවාගෙන කිතුලාගේ  නිවෙසට පෑගුවෙමි. මෙය ගම්බද මාර්ගයකි. ඇතැම් තැනක තරමක පල්ලම් මෙන්ම කඳුගැටද තිබේ. ඒවා තරණය කොට කිතුලා සොයා යන විට ඒකා පාපැදිය මිදුලේ තබා තිබුනි.

මම හෙට කොහෙවත් යන්නෙ නෑ.. උදේට ගෙනත් දියං ඒ ඇති. කිතුලා හැමදාමත් මෙන් අහිංසක සිනහවක් නගයි.

උඹේ එක මට දියං...මේක උඹ ගනින්..නගා කවදත් මගේ බයිසිකලයට මනාපය. එහි ජේත්තුකාර පෙනුම ඒකාගේ සිත්ගෙන තිබේ. මම කිතුලාගේ මවුන්ටන් බයිසිකලයට නැගුනෙමි. අපි දැන් ගම්පහ නගරය බලා පා පැදි හසුරවන්නෙමු.

කිතුලාගේ නිවස මඳක් පසු වූ විට ඇත්තේ තරමක පල්ලමකි. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආවත් එතැන ඇත්තේ පල්ලමකි. ඒ කලාපය අඳුරේ ගිලී පැවතුනේ මාර්ගයේ වූ විදුලි බුබුළු ක්‍රියාත්මක නොවූ බැවිනි. මට සැනින් කිතුලාගේ බයිසිකලයේ ඩයිනමෝවක් ඇති බව මතකයට නැගුනෙන් බයිසිකලය පදින අතරතුර ඩයිනමෝව ක්‍රියාත්මක කරන්නට ඒ දෙස බලමින් බයිසිකලය ඉදිරියට ධාවනය කලෙමි.

මගේ ඇස් ඩයිනමෝවේ තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් මාර්ගයේ විරුද්ධ පැත්තෙන් ගණ අඳුරේ වේගයෙන් පැමිණි තවත් පා පැදියක් මගේ පා පැදිය සමග මුහුණට මුහුණ ගැටුනේ මේ අතරයි. ඒ ගැටුමෙන් සිරා කොලුවා පාරේ වම් පසටත්..ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පැමිණි හාදයා තාර පාර මැද කොන්ද බිම වදින ලෙසත් ඇද වැටුනි. ඒකා වැටුන සැනින් බුදු අම්මෝ යැයි හඩ නැගූයෙන් මම මගේ තුවාල අමතක කොට ඉක්මනින් එතැනට ලගා වූයේ උගේ කොන්ද කැඩෙන්නට ඇති බවට උපකල්පනය කිරීමෙනි. වට පිටාවේ රූස්ස ගස්කොළන් ඇති නිසා එතැන ඇත්තේ කෑලි කැපිය හැකි අඳුරකි. මමත් නගාත් හනිකට බිම වැටී උන් තරුණයා වෙත ලගා වන විට ඒකාට බැට දෙන්නට අප සැරසෙනවා යැයි උගෙ අක්මාව සන් කල නිසාදෝ දනි පනි ගා නැගිට, පෙරළී තිබූ පා පැදිය කෙලින් කොට එයට නැගී නැවතත් හැටට හැටේ පාගන්නට විය.

පාපැදිය ගැටුන සැනින් මගේ දකුණතේ ඇගිලි හිරි වැටී ගිය නිසා මම භියෙන් යුතුව නගාට ඒ බව දැනුම් දුන්නෙමි. නගා කොලුවා වහා තම ජංගම දුරබණුවේ ආධාරයෙන් මගේ ඇගිලි පරීක්ෂා කර පොඩි ඇගිල්ල මොනවා හරි වෙලා යැයි පවසනවා මට සිහිනයෙන් මෙන් මතකය.

දැන් බයිසිකල් පදින්නට නොහැක. එහෙයින් කිතුලාගේ පා පැදියට හානියක් වී නොතිබූ නිසා එය නැවතත් කිතුලාට බාර දී ඒ නිවසින් පිටත් වන්නට සැරසෙන අවස්ථාව වන විට දකුණතේ සුළැගිල්ල තරමක් ඉඳිමී අවසානය.

මචං දැන් පෙරහැර බලන්න යන්න එපා. ඉක්මනට ඇගිල්ලට බේතක් කරගනින්. ඔතන තව ටිකක් ඈතට ගියාම සරත් කියලා අයියා කෙනෙක් ඉන්නවා. මේ නගා දන්නවා ඇති. කැඩුම් බිඳුම් වෙදකම් කරන සරත් කිව්වම හැමෝම දන්නවා. හැන්දෑවෙ කිය කියා උන්නා පෙරහැර බලන්න යන්න ඕනෙ කියලා. දැන්ම පලයං. මෙන්න මේ රු 100 ත් අරගනින්. ඒ අවස්ථාවේ කිතුලා දැක්වූ දයාබරත්වය මට තවමත් ඉතා හොඳින් මතක තිබේ.

මගේ බයිසිකලයේ හරස් පොල්ලට බර දුන් පසු නඟා එය එහි පැදවූවේය. කුඩා ඇගිල්ල එන්න එන්නම වේදනා දෙයි. එය සත්‍ය ලෙසම මහත් වූ වේදනාවකි. ඇඟිල්ල කැඩිලද මන්දා බං..හරි කැක්කුමයි. බයිසිකලය පදින නගා කොලූට මම කීවෙමි.

සරත් අයියාගේ නිවසට යන විට ඔහු බිරිඳ හා දරු දෙදෙනා සමග පෙරහැර බලන්නට යාමට සූජානමෙන් නිවසේ ප්‍රධාන දොර යතුරු දමා වසමින් සිටියේය. නඟා කොලුවා හෙතෙම තරමක් හඳුනයි. 

සරත් අයියා..මේ මගේ යාල‍ුවෙක්. බයිසිකලේ හැප්පුනා දැන් ටිකකට කලින්..ඇඟිල්ලට මොනවා හරි වෙලා. පොඩියක් බලන්නකො.

සරත් අයියා දෙවියෙකු මෙන් වහා දොර විවෘත‍ කොට අප නිවස තුලට කැඳවා රෝගීන්ට ප්‍රතිකාර කරනා ස්ථානයේ අසුන් ගැන්වූවේය. ඔහුගේ කැඩුම් බිඳුම් ප්‍රතිකාර සඳහා සාමාන්‍යයෙන් සහාය වන ප්‍රිය බිරිඳද අප කරා අවුත් බෙහෙත් මැල්ලුමක් සකස් කරන්නට ගත්තාය.

මල්ලි දැනට මම බෙහෙත් තෙල් ටිකක් ගාලා මැල්ලුමක් බඳින්නම්. අත වැඩිය හොල්ලන්න එපා. ඇගිලි වලට හානි උනාම හොඳ වෙන්න ගොඩාක් කල් යනවා. ඔයා හෙට එන්න ආයෙම. එතකොට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා හරියටම. 

මම ඒ වන විට වෘත්තීය ජීවිතය ආරම්භ කොට සති දෙකක් ගත උනා පමණි. අලුත් රැකියා ස්ථානයට ගිය සැනින් නිවාඩු ගන්නට සිදු වී තිබේ. මසිතේ නොයෙක් සිතුවිලි ඇතිවී සැනින් නැති වෙයි.

විනාඩි 15 ක පමණ කාලයක් තුල සුළැගිල්ලේ බෙහෙත් තෙල් තවරා, බෙහෙත් මැල්ලුම තබා වෙළුම් පටි වලින් දකුණත ආවරණය කොට පළමු ප්‍රතිකාරය අවසන් විය. නගා ඉදිරිපත් කල රු 100 ලබා නොගත් ‍සරත් අයියා නිවස වසා දමා ඉක්මනින් සිය රථයට නැගුනේ පෙරහැර නරඹන්නට තරමක් පමා වී තිබුන නිසාවෙනි.

අපි මොකද කරන්නේ... අපේක්ෂා භංගත්වයට පත්ව සිටි නඟා කොලුවා පිළිබඳ මට ඇතිවූයේ දොම්නසකි. අපිත් යමං පෙරහැර බලන්න. මේ බයිසිකලයෙම. හරස් පොල්ලට මා නැගුන පසු නගා කොලුවා ප්‍රවේශමෙන් එය ගම්පහ නගරය කරා ධාවනය කළේය.

ගම්පහ නගරයේ ගල් පල්ලිය අසල සිට පාසල් මිත්‍රයන් පිරිසක් සමග පෙරහැර නැරඹූ වේදනාබර රාත්‍රිය මට තවමත් මතක තිබේ. දකුණතේ සුළැගිල්ලෙන් සමහර විටෙක නැගෙනුයේ ඉවසිය නොහැකි වේදනාවකි. මේ මහත් වේදනාව ඉවසාගෙන මම පෙරහැර නරඹා මධ්‍යම රාත්‍රියේ  නිවසට ගියෙමි. නින්දත් නොනින්දත් අතර ගෙවු දීර්ඝ රාත්‍රියකින් පසු නව දවසකට අරුණළු පතිත විය.

පසුදා දහවල වන විට නගාගෙන් මේ අනතුර ගැන දැනගත් මා මිත්‍ර ප්‍රියා කොලුවා මා බලන්නට පැමිණ සිටියෙන් උගේ යතුරු පැදියේම සරත් අයියා සොයා යන්නට මා හට හැකි විය. මෙවැනි අනතුරක් සිදු වූ විටෙක එහි වේදනාව හොඳින් දැනෙන්නේ ඊට පසුදා බව නොයෙක් වර අසන්නට ලැබේ. මම දැන් ඒ මහත් වේදනාව විඳිමින් සිටින්නෙමි.

රිදෙයිද බං..ඊයෙ නම් අතපත ගෑවෙ නෑ...අද නම් මිරිකයි බං ඇගිල්ල..මගේ සිත යකාගේ කම්මල බඳුය. මහත් වූ භීතියකින් ගැහෙමින් මහ දවාලේ සරත් වෙද මහතාගේ නිවෙසට යන විට නොයෙක් පළාත් වලින් පැමිණි රෝගීන් රාශියක් එහි වූහ. මෙයත් බයිසිකල් ඇක්සිඩන්ට් එකක්. සරත් අයියා මා පෙන්වා තවෙකෙකුට පැවසුවේය. එහි සිටි බොහෝ රෝගීන් යතුරු පැදි නිසා අනතුරට පත්වූවන් වූහ.

රෝගීන් එකා දෙන්නා වෙදගෙදරින් පිටත්ව යන විට සිරා කොලුවාගේ අවස්ථාව උදා විය. භියෙන් කම්පොනය වන හදවත දරාගෙන මම රෝගීන්ට ප්‍රතිකාර කරන කාමරයේ ඇඳ මතට ප්‍රියාගේ සහයෙන් නැගුනෙමි. මෙයට පෙර වතාවක් කුකුල කඩාගෙන මෙවැනි අත්දැකීමක් විඳ තිබුනත් මගෙ හිතට දැන් දැනෙනුයේ තරමක භීතියකි. බෙහෙත් තෙල්, මැල්ලුම් සුවඳ නාස් පුඩු විනිවද යයි.

කෝ බලමු. කාමර‍යේ තිරය පහත් වන විට වෙද මහතාගේ බිරිඳ, මා වෙනුවෙන් සැකසීමට අවශ්‍ය බෙහෙත් මැල්ලුම පිළිබඳ දැනගනු රිසියෙන් එහි පැමිණ සිටියාය.

කලින් දිනයේ එතූ වෙළුම් පටි එකින් එක නිරුවත් වී අවසානයේ වේදනාබර සුළැගිල්ල මතු විය. එහි මැද පුරුකෙහි අසාමාන්‍ය ඉඳිමුමක් මා හට දැකගත හැකි විය. 

මොකක්ද කරන රැකියාව. සරත් අයියා අසයි.

මම ඩිසයිනරයෙක්.

අකුරු ටයිප් කරන්න එහෙම මේ ඇගිල්ලත් ඕනෙ නේද.

ඔව්. 

ඒ උනාට කමක් නෑ. ඉක්මනට හොඳ වෙන්න නම් ටික දවසක් නිදහසේ ඉන්න. ඇඟිලි වල කැඩුම් බිඳුම් ඇති උනාම සුව වෙන්න පරක්කු වෙන්නෙ අනිත් ඇඟිලි පාවිච්චි කරලා යමක් කලත් මේ ඇගිල්ලත් හෙලවෙන නිසා. අැගිල්ලක් කැඩුනොත් හරියටම හරි යන්න මාස 6 ක් වත් යනවා.

මම අසරණව ප්‍රියා කොලුවා දෙස බැලීමි. හෙතෙම මගේ උරහිස වටා යැවූ දකුණතින් මිත්‍රත්වයේ උණුසුම දැනුනි. සරත් අයියා දකු‍ණතේ සුළැගිල්ල ඉතා මෘදුව බෙහෙත් තෙල් වර්ගයක් යොදා අත ගාමින් සිට මඳින් මඳ ග්‍රහණය තද කළේය. දැන් නම් ඉවසාගත නොහැකි වේදනාවක් දැනෙයි. මට කෑ ගසන්නට සිතෙයි. එහෙත් මම මහත් පරිශ්‍රමයෙන් සියල්ල දරා ගත්තෙමි. විනාඩි 5 ක පමණ ඇවෑමෙන් ඔහු අවශ්‍ය කරන බෙහෙත් මැල්ලුම පිළිබඳ සිය ඇඹේනිය දැනුවත් කලේය. එයින් අනතුරුව එතැන බිම තිබූ භූමිතෙල් උදුනක ඇගිල්ල තවන්නට බෙහෙත් පොට්ටනියක් උණුසුම් වන්නට විය.

හම පිළිස්සෙන තරමේ උණුසුමකින් යුතු බෙහෙත් පොට්ටනිය ඇගිල්ල මත තබා තද කරනා විට හූ කියන්නට සිතේ. හම පිළිස්සෙන වේදනාවත්..ඇගිල්ලෙන් නැගෙන වේදනාවත් දෙකම එක්වූ විට ඉවසන්නට බැරිය. කෙසේ හෝ ඒ කාරියද අහවර කොට දෙවන දවස නිමාවට පත් විය. ඇඟිල්ල කැඩිලා නෑ. මැද පුරුක පුපුරලා තියෙන්නෙ. සරත් අයියා සිය තීන්දුව දුන්නේය. බුලත් කොළයක තබා අප ලබා දෙන පඬුරක් හැර අයකිරීම මෙපමණයි කියා ඔහු කියන්නේ නැත.

රාජකාරී ස්ථානයෙන් නිවාඩු ලබා සතියකට පසු මම සේවයට යන තත්වයට පත් වී සිටියෙමි. දවසක් හැර දවසක් ආකාරයෙන් බෙහෙත් බැඳ ඒ වන විට ඇඟිල්ලේ වේදනාව බොහෝ දුරට අඩු වී තිබුනි. සුළැගිල්ලට බෙහෙත් තබා දකුණත සම්පූර්ණයෙන් වෙලා තිබූ නිසා බැලූ බැල්මට විශාල හානියක් ඇති බවක් පෙනෙයි. ඒ නිසාම දුම්රියේ ගම්පහ සිට කොළඹ බලා යන විටත්..අාපසු එන ගමනේදිත් මා හට ආසනයක් ලබා දීමට මගීන් සෑමවිටම කාරුණික වූහ.

සේවා ස්ථානයේ අත්සන දමන්නට මා හට නොහැක. බෙහෙත් පොට්ටනියේ තිබෙන තෙල් බෙහෙත් එහි තිබෙන කඩදාසිය මත තැව‍රෙයි. ඒ කටයුත්තේදි මගේ අත්සන ඒ අයුරින් යොදන්නට මිතුරෙකුගේ සහාය ලබා ගතිමි. පරිගණකයේ රාජකාරි කරන විට යතුරු පුවරුවෙන් තෙල් බෙහෙත් සුවඳ පැතිරෙයි.

මාසයකට පමණ පසු මම ප්‍රතිකාර නතර කළෙමි. ඇගිල්ලේ වේදනාව සහ ඉඳිමුම ඒ වන විට අඩු වී තිබුනද මගේ සුළැගිල්ල යථා තත්වයට පත්ව තිබුනේ නැත. එය වක් හැඩයක් ගෙන තිබුනි. එය වෙද මහතාගේ වරදක්දැයි මා දන්නේ නැත. එවකට සේවා ස්ථානයේ බලධාරීන් රජයේ රෝහලක ශල්‍යකර්මයක් මගින් ඇගිල්ල කෙලින් කරන්නට මා හට යෝජනා කලද මම  නැවත් වරක් වේදනා විඳින්නට ඇති අකමැත්ත නිසා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළෙමි. අදටත් වක් වු සුළැගිල්ලකින් පරිගණක යතුරු පුවරුව මත නොයෙක් දෑ කරමි. ඒ කිසිවකට එය බාධාවක් වී නැත.

දකුණතේ වක ගැහුණු සුළැඟිල්ල හැම විටකම මට වෙසක් අසිරිය මතක් කරයි.

වෙසක් සමය යනු රථවාහන අනතුරු ඉතාමත් බහුලව සිදුවන කාල සමයකි. මාර්ගයට සාමාන්‍යයෙන් ධාවනයට එකතු නොවෙන පැරණි අබලන් රථ පවා වෙසක් සිරි නරඹන්නට යන ගමනට එකතු වෙයි. රථවාහන පොලිසියට මාර්ගයේ ඇති තදබදය අස්සේ නීතිය ක්‍රියාත්මක කරන්නටද නොහැකිය. වෙසක් සිරියෙන් ඔකඳ වෙන ඇතමෙකු ආරක්ෂිත හිස්වැසුම් පළදින්නේ නැතිව ඉතාම වේගයෙන් ඒ මේ අත ගමන් කරයි. එ් මදිවාට එක යතුරු පැදියක තුන් හතර දෙනා ගමන් කරති.

මා දන්නා විදියට මේ කාලය තුල සිදුවන රිය අනතුරු වලින් වැඩිම ප්‍රමාණයකට මුහුණ දෙන්නේ යතුරු පැදි කරුවන්ය. මගේ අනතුරෙන් පසු එළැඹුන වසරේ යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව හිස බෝක්කුවක ගැටීමෙන්  ඉතාම තරුණ වයසේ කෙනෙක් අවාසනාවන්ත ලෙස අප ප්‍රදේශයේදී ජීවිතයෙන් සමුගත්තා.

මේ වෙසක් සමයේ වෙසක් නරඹන්නට යතුරු පැදි වලින් යන්නට බලාපොරොත්තුවෙන් සිටින අයටයි මේ මතක් කිරීම. හැම විටෙකම ආරක්ෂිත හිස් වැස්ම පළඳින්න. අධික වේගය මරුවා කැඳවන බව නිතර සිහිපත් කරන්න. එවිට මේ වෙසක් සමයේ ඔබේ සතුට ආරක්ෂා වෙනු ඇති.




මම කාමරේ අරින සිරා කොලුවා.


Related Posts Plugin for WordPress, Blogger...