Friday, October 31, 2014

58 බංගලි සහ බංග්ලාදේශය

බංග්ලාදේශය වර්ග කිලෝමීටර් 144000 කට ආසන්න රටකි. එහි අගනුවර ඩකාය. මුදල් වර්ගය ටකාය. ප්‍රධානම ආදායම් මාර්ගය ඇඟලුම් අපනයනයයි. එය ලෝක නිෂ්පාදනයෙන් 27% කි. මෙහි තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා වල කළමනාකරුවන්ගෙන් 50% ක් පමණ ශ්‍රී ලාංකිකයෝ වෙති. මෙයට වසර දෙකකට පෙර මා මේ රටට පැමිණියේ අගනුවර ඇති ප්‍රධාන ඇඟලුම් ආයතනයක ආරාධනයෙනි. මේ වසර 2ක කාලය තුල මා ලද අත්දැකීම් ඇසුරු කොට ගෙන මෙම ලිපිය සිරාගේ කාමරය වෙත ලියා එවමි.

මෙහි පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අදාල ආයතනය මගින් නවාතැන්, ප්‍රවාහනය ආදී සියලු පහසුකම් ලබා දෙයි. මා පැමිණි පළමු දින මා සමග මාගේ ආයතන ප්‍රධානියාද පැමිණියේය. තට්ටු නිවාසයක එකිනෙකට මුහුණලා තිබෙන සුපිරි නිවාස දෙකක් අපට නවාතැන් ලෙස ලැබිණි. ඒවා නම්කර තිබුනේ Company Guest House ලෙසයි. අප දින 15 ක් මෙම නිවෙස් ව‍ල රැදී සිටිය යුතු වූ අතර ඒ දින 15 තුල අපට අවශ්‍ය ආකාරයේ නිවාසයක් තෝරා ගත යුතුය. පළමු දින රාත්‍රියේම ඉතා හාස්‍යජනක අත්දැකිමකට මුහුණ දුන්නෙමි. රාත්‍රී ආහාරය නිමවා නින්දට ගිය පසු විසිල් හඬට සමාන හඬක් මට ඇසුනි. මෙය මුලින් මුලින් ඇසුනේ  පැය භාගයකට වරකි.  මධ්‍යම රාත්‍රිය වන විට විටින් විට මෙවැනි හඬවල් විශාල ප්‍රමාණයක් ඇසෙන්නට විය. මා සිතුවේ රාත්‍රියට කෑ ගසන කුරුල්ලෙක් විය යුතු බවයි. මධ්‍යම රාත්‍රිය පසුවී මගේ ආයතන ප්‍රධානියා මට දුරකථනයෙන් අමතා ඒ හඬ කුමක්දැයි විමසීය. මා ඔහුට කීවේ කුරුල්ලෙකු වන්නට හැකි බවකි. ඔහු මට කීවේ එවැනි කුරුල්ලෙකු මේ අවට ජීවත් වන බවක්  අන්තර්ජාලයේ හෝ නැති බවත් මේ හඬ නිසා නිදා ගැනීමට නොහැකි බවත්ය.

අලුයම් කාලය වන විට තත්වය ඉතා දරුණු විය. විනාඩියක් විනාඩියක් පාසා මේ හඬ ඉතා තියුණු ලෙස ඇසෙන්නට විය. පෙර දින රාත්‍රීයේද මා හරි හැටි නිදා ගත්තේ නැත. මේ ශබ්දය නිසා එක විනාඩියක් හෝ නින්ද යන්නේද නැත. ඉවසන්නට බැරි තැන මේ කුරුල්ලා එළවා දැමීමට තීරණය කර දොර හැරියෙමි. මගේ ආයතන ප්‍රධානියා ඒ වන විටත් දොර අසලය. ඔහු සිටියේ ඉහ වහා ගිය කෝපයකිනි. අප දෙදෙනා  බිම් මහලට ගියෙමු. එකල්හි අප දුටු දෙයින් සිනහව නවතා ගන්නට නම් නොහැකි විය.

නිවාස මුරකරු කටකපලා නිදා සිටියි. කුඩා විසිල් එකක් ඔහුගේ කටේ සිරවී තිබේ. සිදුවී ඇත්තේ මෙයයි. එක ලඟ තට්ටු නිවාස වල මුරකරුවෝ සිටිති. මේ මුරකරුවන් නිවැරදිව රාජකාරි කරනවාදැයි බැලීමට බයිසිකලයකින් තවත් අයෙක් පැමිණ නිවස ඉදිරිපිට සිට විසිල් හඬක් නගයි. නිවසේ මුරකරුද විසිල් හඬකින් ඒ අයට පිළිතුරු දිය යුතුය. එකවර විසිල් හඬවල් කීපයක් වට පිටාවෙන් ඇසෙයි. අපගේ මුරකරු තද නින්දේය. එහෙත් ඔහු නිදාසිටින ගමන් විසිල් ගසයි. යන්තම් පිබිදෙන ඔහු එක දිගට විනාඩි 5ක් පමණ නාදකර නැවතත් කඩින් කඩ නාදකරයි. පසුව ඔහුට නැවතත් නින්ද යයි. ඔහුගේ පිළිතුරු විසිල් හඬ ඇසෙන තුරු බයිසිකල් කරුවාද නොනවත්වා විසිල් හඬ නගයි. සැනෙකින් අවදිවන අපගේ මුරකරු නැවතත් නොනවත්වා පිළිතුරු ලබාදෙයි.

මේ මිනිහා අවදිකිරීමට අපට මහත් වෙහෙසක් ගන්නට සිදු විය. බංග්ලාදේශයට ආ පළමු දිනයේදීම මේ රට එපා විය. වාසනාවකට ආයතන ප්‍රධානියා පසු දිනම අපගේ නිවසේ විසිල් ගැසීම නැවැත්විය. එහෙත් අසල නිවාස වල එය තවමත් ක්‍රියාත්මක වේ. එයට ඇති එකම විකල්පය නම් තුන්වෙනි මහලෙන් ඉහළ නිවාසයක පදිංචි වීමයි.

බංග්ලාදේශයේ ගත වූ දෙවැනි දිනයේ අපට තිබුනේ අපගේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කිරීමයි. එහිදී අපට අවශ්‍ය සියලු දේ ලැබුනු අතර බංග්ලාදේශ භාෂාව පිළිබද කුඩා අත්පොතක්ද ලැබුනි. පැය 4 ක් පමණ ප්‍රධාන කාර්යාලයේ ගත කොට නවාතැනට පැමිණියෙමි. පසුදින උදෑසන සිට සේවය ඇරඹිය යුතුය. සවස් කාලය මා ගත කලේ අත්පොත කියවා අත්‍යවශ්‍ය වචන ඉගෙනගැනීම සඳහාය. පෙරදිනයේ නින්දක් නොවූ නිසා ගුවන් තොටුපලෙන් මිළදී ගත් මත්පැන් බෝතලයක් මා සහ ආයතන ප්‍රධානියා විසින් අනුමත කළෙමු. ඒ රාත්‍රියේද විසිල් හඬ ඇසුනද මත්පැනේ බලයෙන් අපට නින්ද ගියෝය.

පසු දින උදෑසන රැකියාවට යන්නට සූදානම් වී නිවස තුලට වී සිටියෙමි. අපට උපදෙස් දී තිබුනේ තනිව කිසිවිටෙකත් පිටතට නොයන ලෙසයි. නැතහොත් රියදුරා පැමිණ අප කැඳවාගෙන යන බවයි. මොහොතකින් නිවසේ දුරකථනයට ඇමතුමක් ලැබුනි.

ගුඩ් මොර්නින් සර්....අයි ඈම් කැ-යා  ස්පීකින්....කැ-යා කේම් ටු යුවර් ප්ලේස් සර්...

උදේ පාන්දරම මට මල හොඳ එකෙන් පැන්නේය.

වට් ආ යූ ටෝකින්...හූ ආ යූ....

අයි ඈම් කැ-යා සර්...කැ-යා කැ-යා ආසේ....

මම දුරකථනය විසන්ධි කලෙමි. අත්පොත අතට ගෙන කැ-යා කියා වචනයක් සෙවූවෙමි. පොතේ එවැනි වදනක් නැත. ආසේ කියා නම්  වචනයක් ඇත. ආසේ යනු තියෙනවාද යන්නයි. උදේ පාන්දර කැ- තියෙනවද කියා ඇසීම මට හිතා ගන්නටත් බැරිය. නිවසේ සීනුව නාද වූයෙන් මම දොර විවෘත කළෙමි.

මැදි වියේ අහිංසකයකු සිටගෙන සිටියි. ඔබ කවුද මම ප්‍රශ්න කලෙමි.

අයි ඈම් කැ-යා සර්...කැ-යා ආසේ....මට නැවතත් කෝපයක් ඉපඳුනි.

කැ- වට් කැ- මම තදින් ඇසුවෙමි.

සර් සර් හෑන්ඩ් කැ- බෑග්, ලැප් ටොප් ඔහු කීවේය.

මට තරු විසිවිය. පසුව දිනක දැනගත් පරිදි අපගේ ලාංකිකයන් බොහෝ අය රියදුරන් අමතන්නේ කැ-යා කියාය. රියදුරන්ද සිතා සිටින්නේ අප යන යන තැන ඔවුන් අපගේ බෑග් ඔසවාගෙන යන නිසා මේ නම කියනා බවකි. මම නම් මෙලෙස මගේ රියදුරා අමතන්නේ නැත. එසේ වුවද බංගලි සමග වැඩ කරන විට දවසකට අඩුම තරමේ කුණුහරුප දෙකක් වත් පිටවෙයි. සමහර නිලධාරීන් ඉඳහිට පහරදෙන අවස්ථාද මා දැක තිබේ. ඒ බංග්ලාදේශයේ ක්‍රමයයි. බංගලියන් හොඳින් යමක් කියා දෙන විට වැටහුනා සේ සිටියි. දවසක් දෙකක් ඒ ගැන සොයා නොබලා සිට නැවත ඇසුවහොත් ඒ කාර්යය කරන්න හිතලාවත් නැත. ප්‍රශ්න කල විට ඔවුන් කියන්නේ නොතේරුන බවකි. මේ අයට ඉතා තදින් සිටීමෙන් සේවයට අදාල වගකීම් ඉටු කරගැනීමට පහසුවක් ඇති අතර භාෂාව ඉගෙන ගැනීමද අත්‍යවශ්‍ය කාරණයකි. මා පළමු මාස 6 ක කාලය තුල හැකි ඉක්මනින් බංග්ලාදේශ භාෂාව ඉගෙන ගැනීමට මහන්සි වූයෙමි.

මේ හා  සමාන සිදුවීමකට පසුගිය සතියේත් මට මුහුණදීමට සිදුවිය. මාස දෙකකට පෙර මා පළමු ආයතනයට සමුදී වෙනත් ආයතනයකට බැඳුනෙමි. එහි කාර්මික අංශයේ කළමනාකරුවෙකු සදහා පුරප්පාඩුවක් ඇති වී තිබු බැවින් අයඳුම්කරුවන් කීප දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමට මා හට පැවරී තිබුනි. ඒ අතර කොබීර් නම් අයෙකුද විය. ඔහු මෙයට පෙර සේවය කර තිබුනෙ ලංකාවේ විශාලතම ඇඟලුම් ආයතනයකට අයත් බංග්ලාදේශ ශා‍ඛාවේය. මමද ලංකාවේදී මේ ආයතනයේ වසර 8 ක් පමණ සේවය කර ඇති නිසා එහි සියලු කළමනාකරුවන් මාගේ මිත්‍රයන්ය. මිතුරෙකුගේ නමක් කියා ඔහු හඳුනනවාදැයි මම කොබීර්ගෙන් ඇසීමි. ඔව් මම හොඳට දන්නවා එයාව, මට ගොඩාක් ආදරෙයි....ආදරය වැඩි කමට මට කථා කරන්නෙ හුත්-ගෙ පුතා කියලා...යනුවෙන් කොබීර් මා හට කීවේය. එ් වචනයේ අරුත ඔහුගෙන් විමසූ විට ඔහු කිව්වේ පුතා යන අරුතින් එසේ කියනා වගකි.

දින 13 කට පසු මමත් ආයතන ප්‍රධානියත් වෙන වෙනම නිවාස 2 ක නවාතැන් ගත්තෙමු. මාසයකට පමණ පසු ආයතනයේ ගිණුම් කළමණාකරු විද්යුත් තැපෑලෙන් යම් විමසීමක් කර තිබුනි. එහි තිබුනේ අප කලින් නවාතැනේ සිටි දින 13 ක කාලය තුල පහත ද්‍රව්‍ය අප ආහාරයට ගෙන ඇති අතර එය පරීක්ෂා කර අනුමත කරන ලෙසයි. බඩු ලැයිස්තුව පහත පරිදි විය. හාල්කිලෝ 10 කුකුල් මස් කිලෝ 13 අල කිලෝ 4, ලූණු කිලෝ 4, සුදුලූණු කිලෝ 4, තෙල් ලීටර් 5, පාන් 6, සීනි කිලෝ 2 මෙයට අමතරව තවත් ආහාර වර්ගද එහි විය. බංගලින්ගේ හැටි එහෙමය. ගෙස්ට් හවුස් සේවකයා සෑම දිනකම අපට කියා බිල් සඳහා අත්සන ලබා ගත්තේය. ඒවා ලියා තිබුනේ ඔවුන්ගේ බසිනි. මම ඔහේ අත්සන් කලෙමි. මට කල හැකි දෙයක් නොවූ නිසා මම එය ආයතන ප්‍රධානියා වෙත යොමු කළෙමි. මට මතක විදියට මා එම කාලය තුල බො‍ෙහෝ විට ආහාරයට ගත්තේ ලංකාවෙන් පිටවන විට මගේ බිරිඳ විසින් සකසා ඇසුරුම් කර දුන් අච්චාරු/චිලී පේස්ට් ආදිය සමග බත්ය.

මේ රටේ දියුණුවට වින කරන ප්‍රධාන කාරණා 3ක් මම වටහා ගෙන සිටිමි. රථ වාහන තද බදය, හර්තාල්, දූෂණය සහ වංචාව ඒවා වෙති. හර්තාල් යනු කුමක්දැයි මෙහි එන්නට පෙර මා දැක තිබුනේ නැත. 56 හර්තාලය 71 හර්තාලය ගැන වැඩිහිටියන් කියනවා මම අසා ඇත. බංග්ලාදේශයේ තරම් හර්තාල් ලෝකයේ වෙනත් රටක තිබෙන්නට ඉඩක් නැත. මෙහි ආණ්ඩු පක්ශය ඇතුලු ප්‍රධාන පක්ෂ 3 ක් තිබේ. ඔවුන් වෙන වෙනම සති ගනන් හර්තාල් කරති. ඒවා පැය 24, පැය 48, පැය 72 ලෙස වේලාසනින් ප්‍රසිද්ධ කරති. හර්තාල් කියා කරන්නේ පාරේ යන වාහන ගිණි තැබීම. අලාභහානි කිරීම, කඩසාප්පු වලට ගිණි තැබීම, පාරේ යන අයට පහර දීම, මරා දැමීම . වැනි ඉතා අමානුෂික ක්‍රියාකාරකම්ය. සමහර අවස්ථා වල පොලිසිය සමග වෙඩි හුවමාරු ඇතිවන අතර පොලිස් නිලධාරීන් පවා මිය යයි. නැතිනම් තුවාල ලබයි. එවැනි දිනවල අපට වහ කන්නට සිතේ. උදෑසන 4 වන විට සේවයට යා යුතු වෙයි. මේ අපහසුතා මැද හර්තාල් කරන උන්ගේ දෙමාපියන් නිරතුරුව ආදරයෙන් සිහිපත් වෙයි.



රථ වාහන තදබදය අතින් මෙරට ඉතා ඉහල තැනක් ගනී. කිලෝමීටර් 10 ක් යාමට පැය 5ක් ගතවන අවස්ථා ඇත. ඒ තත්වය බංගලින්ට සාමාන්‍ය තත්වයකි. 90% පමණ වාහන ධාවනය වන්නේ ගෑස් ඉන්ධනය ලෙස යොදා ගනිමිනි. ගෑස් කිලෝවක් රුපියල් 45 කි. ලංකාවේදී එය රු 200 කි.  කොපමණ රථ වාහන තදබදය තිබුනත් ඉන්ධන වියදම සොච්චමකි. රථ වාහන ගමන් කිරීමේ සැලසුම් නැත. One Way මාර්ග තිබෙන්නේ නමටය. රියදුරන් තමන්ට රිසි සේ ඒ මේ අත ධාවනය කරයි. පොලිසිය බලා හිදියි. ඔවුන් කරන්නේ රියදුරන්ගෙන් ජරාව කෑමයි. පොලීසිය අත නිතරම විශාල පොල්ලක් තිබේ. සමහර වෙලාවට ඒවා යොදාගෙන ඇතැම් වාහනයකට පොලිසියෙන් තඩි බායි. නැතිනම් රික්ෂෝ කරුවන්ට පහර දෙයි. කොපමණ පහර දුන්නත් රියදුරන්ට වගේ වගක් නැත. බොහෝ බස් රථ වල සැබෑ බොඩියට පිටින් බැරල් තහඩු වැනි දෙයකින් තවත් බොඩියක් ගසා ඇත. ඉදිරිපස හා පසුපස ශක්තිමත් යකඩ බාර් යොදා ඇත. පැති කන්නාඩි නැත. වාහන බොහෝ විට ගමන් කරන්නේ අනෙක් වාහනයේ බාර් එකට හේත්තු වන පරිදිය.


තුන්රෝද රථ සියල්ල දැල් ගසා ආවරණය කර ඇත. රථයට ගොඩවූ වහාම රියදුරා දැල් ආවරණය අඟුලු දමයි. එයට හේතු දෙකකි. මංකොල්ල කරුවන්ගෙන්, පොලිසියෙන් එල්ල වන පොලු ප්‍රහාර වලින් ආරක්ෂාව සලසා ගැනීම, වාහන තද බදයකදී රථය නැවතී තිබෙන විටෙක මගියා මුදල් නොදී පැන යාම නැවැත්වීම ඒ කාරණාවෝ වෙති.



පොදු ප්‍රවාහන මාධ්‍ය ලෙස විවිධ වාහන බංගලියන් විසින් යොදාගෙන තිබේ. බස් රථ වලින් හරි අඩක් පමණ කුඩා ලොරි වෙති. ඒවාට බොඩියක් ගසා බස් බවට පරිවර්ථනය කර තිබේ. තුන් රෝද රථද බස් බවට පරිවර්ථනය කර තිබේ. බස් රථයේ වහලය මතට වී ගමන් කරන්නේ නම් ගමන් ගාස්තුවෙන් හරි අඩක් පමණක් අය කරයි. සමහරක් බස්වල ඇතුලත හිස්ය. වහලය මත යන්නට හැමෝම පොර කති. බස් රථ තුල එළුවන් කුකුලන් ගමන් කරන අවස්ථා ද මා දැක තිබේ.






තවත් ප්‍රධාන ප්‍රවාහන අංගයක් වන්නේ රික්ෂෝවයි. රික්ෂෝකරුවන් සෑමතැනකම සිටිති. ඔවුන් ගත කරන්නේ ඉතාම දුක්ඛිත ජීවිතයකි. පාරේ ගමන් කරන කිසිවෙක් නීතිය ගැන තැකීමක් නැත. ගැටලුවක් ඇති වූ කලෙක පොලිසිය ජරාව කා ගැටලුව විසදයි. මහා මාර්ගයක් මැද වාහනයක් කාර්මික දෝෂයකට ලක් වූ විටෙක එය එතැනම තබාගෙන අළුත් වැඩියාවන් සිදු කරයි. වාහන තදබදය කෙතරම් විශාල වුවත් කිසිවෙකු ඒ ගැන වද වෙන්නේ හෝ ආපදාවට ලක්වූ රථය අයිනකට ගන්නේ හෝ නැත. සමහර දිනෙක මාර්ගය පුරාම මී හරක් දක්කාගෙන යති. එවැනි දවස් වලට වාහන සියල්ල මී හරකුන් පසුපස යති.

අප කුඩා අවධියේදී බංග්ලාදේශය ගැන කියනවිට නිරන්තරයෙන් කියවෙන්නේ ගං වතුර පිළිබදවයි. ගංවතුර ඇතැම් විටෙක ඔවුන්ට ආශිර්වාදයකි. ජමුනා, මැග්නා යන විශාල ගංගා මෙම රට තුලින් ගලා බසී. ඒ වටා භූමිය ඉතා සරුසාරය. සමහර පළාත් මාස 6ක් පමණ ජලයෙන් යටවී පවතී. ඒ කාලයට බොහෝ දෙනා කරන්නේ ධීවර කර්මාන්තයයි. ඉතා බහුලව මිරිදිය මත්සයින් මෙම ගංගා ජලයේ ජීවත් වෙති.  දුර පළාත් වල සිට වැලි, උණගස්, ලී දඬු ආදිය ජලය හරහා ප්‍රවාහනය කරති. ජලය බැසගිය පසු එම බිම  අතිශයෙන් සරුසාරය.

බංගලි ජාතිකයෝ වගාවට ඉතා සමර්ථකම් දක්වති. කිලෝ 60 ක් පමණ බර වට්ටක්කා , කිලෝ 10 කොමඩුද, කිලෝ 30 පුහුල් ගෙඩිද මේ රටට ආගන්තුක දේ නොවෙති. ලංකාවේ මුදලින් අල කිලෝවක් රුපියල් 15 කටද, ලූණු කිලෝව රු 20 කටද ලබා ගත හැක. දේශීය එලවළු මිළ ඉතා අඩුය. කැරට් කිලෝවක් රු20 ට ගත හැකි අතර කිලෝවට අල්ලන්නේ අල 2 ක් හෝ 3කි. ගඩොල් කර්මාන්තය ඉතා විශාල ලෙස කරගෙන යන අතර ඒවා ශක්තිය අතින් ඉතා ඉහළය. තට්ටු 3ක් උඩ සිට බිමට අතහැරියත් කැඩෙන්නේ නැත. කොන්ක්‍රීට් දැමීම, තාර දැමීම සදහා මෙම ගඩොල් කුඩා කැබලි වලට කඩා භාවිතා කරයි. වැලි ඉතා සිහින්ය. ගංගාවල සිට ඒවා ගොඩබිමට පොම්ප කරයි. ලී බඩු සෑදීම, පිඟන් බඩු සෑදීම, සාරි කර්මාන්තය ආදියට බංගලි ජාතිකයන් අති දක්ෂ පිරිසකි.





රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතක බහුතර ලාංකිකයන් වෙදකම ගැන දනිතියි ලියා තිබේ. මට ලියන්නට ඇත්තේ බංගලි ජාතිකයන් බහුතරය රථවාහන රාජකාරි දන්නා බවකි. සෑම තැනකම රථවාහන හැසිරවීම සිවිල් පුරවැසියන් විසින් භාරගෙන තිබේ. සමහර තැනක තුන් හතර දෙනා සිටිති. ඔවුන් එයින් පුදුම වින්දනයක් ලබති. දිග පොල්ලක් අතේ තබාගෙන සිටින ඔව්හු මෙම රාජකාරිය කරනා අන්දම සිනා උපදවන සුළුය. රික්ෂෝ, තුන්රෝද රථ වැනි වාහන වලට පොල්ලෙන් පහර දෙති. සියලු රියදුරන්ට බනිති. පොලීසිය ඒ ක්‍රියාකාරකම් දෙස  බලා සිටිනවා විනා කිසිත් නොකියති.



ස්වභාවික සම්පත් අතින් මේ රට ඉතා පොහොසත්ය. රටේ විශාල වශයෙන් ගෑස් නිධි ඇත. වාහන වලට ඉන්ධනයක් ලෙස, විදුලිය නිපදවීමට, ඉවුම් පිහුම් කටයුතු සදහා ගෑස් භාවිතා කරයි. වී වගාව මෙන්ම තේ වගාවද ඉතා සාරු සාරව කරගෙන යයි. පොල් සහ කොස් භාවිතයට ගන්නේ පළතුරු ලෙසයි. කුරුම්බා ගෙඩියක් රු 75ක් වන අතර වරකා ගෙඩියක් රු 15 ක් පමණ වෙයි. පොල් ආහාර පිසීම සඳහා භාවිතා කරන්නේ ලාංකිකයන් පමණි. සූරියකාන්ත සහ සෝයා තෙල් ඉතා බහුලව භාවිතා කරති. කුකුල්මස් ඉතා සුලභව ඇති අතර මිළද ඉතා අඩුය. නමුත් බංගලියන්ගේ ප්‍රියතම මස් වර්ගය ගව මස්ය. සෑම උදෑසනකම මාර්ගය අයිනේ ගවයින් මරා මස්කරන ආකාරය දැකිය හැක. සමහර පුද්ගලයින් මේ සඳහා ඇබ්බැහි වී සිටිති. කොත ගැසූ කෑම පිඟානක් ඉක්මනින් හිස් කරන්නට බංගලින්ට කදිම හැකියාවක් ඇත. ලංකාවේ සමහරෙක් රාත්‍රී ආහාරයට පෙර පොඩියක් අනුමත වෙන්නට සෙවූවත් බංගලින් සොයන්නේ රාත්‍රී ආහාරයට හරක් මස් තිබේද යන්නයි.

බංගලිදේශයේ ප්‍රධාන උත්සව දෙකක් ඇත. එකක් රොජා ඊද්ය. ඒ කාලයට ඔවුන් උදෑසන සිට රාත්‍රිය වන තුරු ආහාර ලබාගන්නේ නැත. බොහෝ දෙනෙක් මෙය පිළිපදින නමුත් අප සමග වැඩ කරන උන් නම් මේවා කඩ කරති. හොරෙන් කති. මෙලෙස මාසයක පමණ කාලයක් ගෙවා දමයි. රට පුරා සමරන විශාල උත්සවයකින් නිරාහාරව සිටීම අත් හරිති. අනෙක් උත්සවය කුරුබානි ඊද් නම් වෙයි (හජ්ජි). මෙහි සිටින මුස්ලිම් නොවන ජනතාවද මේ උත්සවයෙන් සතුටු වෙති. මෙහිදී ප්‍රධාන වශයෙන් සෑම පවුලකින්ම සතෙකු මරා දෙවියන්ට පූජා කිරීම සිදුවෙයි. මේ සදහා බංග්ලාදේශ ජනතාව වසර මුල සිටම සූදානම් වෙයි. දිළිදු අය පවා මේ උත්සවය සැමරීමට වේලාසනින් මාසිකව මුදල් ඉතිරි කරති.

මේ උත්සවය නිසා 95% පමණ ජීවිත අහිමි වෙන්නේ ගවයන්ගේය. මාසයකට පමණ පෙර සිට ඉන්දියාවෙන් ගවයන් ආනයනය කරති. සියලු දෙනාම පිරිමි සතුන්ය. ලංකාවේ ගවයෙකු මෙන් නොව දෙගුණයක් පමණ විශාලය. හරියටම මේ ලිපිය ලියන්නට දින 3කට පෙර ඒ උත්සවය නිමා විය. එදින සිට අද වනතුරු මා නිවසින් එළියට බැස්සේ නැත. අපගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ගවයන් 8 දෙනෙකුත්, එළුවන් 5 දෙනෙකුත් අවසන් ගමන් ගියහ. ඒ දර්ශනය මතක් වන වාරයක් පාසා මා ඒ අවස්ථාවේ ලද කම්පනය සිහි වෙයි. තවමත් නරගය තුල ගවයන්ගේ සිරුරු වලින් ගලා ගිය රුධිරයෙන් හමන පල් ගඳ ඇත. දුප්පත් අය ගවමස් වියලා කල් තබා ගනිති. දෙවියන්ගේ නාමයෙන් ඔවුන් පවත්වන උතුම් පූජාව නිසා සත්ව ජීවිත අහිමි වෙයි.




බංග්ලාදෙශයේ භාෂාව බංග්ලා නම් වේ. එය සිංහල භාෂාවට තරමක් සමීපකමක් දක්වයි. විජය කුමාරයා ලංකාවට පැමිණියේද එවකට මහා භාරතයට අයත්ව තිබූ අද බංග්ලාදේශයට අයත් මේ භූමියේ සිටයි. අපේ භාෂාවේ තිබෙන වචන විශාල ප්‍රමාණයක් බංග්ලා භාෂාවේද ඇත. සමාන, පුෂ්ප, උත්තර, අපරාජිත, ජනේලය, දකුණ එවැනි වචන කීපයකට උදාහරණ වෙති. මේ රටේ වැසියන් ඉතා ඉක්මනින් කිපෙන සුළුය. රණ්ඩු කරගනිති. කේන්ති ගිය විටෙක අතට අසු වන ඕනැම දෙයක් විනාශ කරති.

මා කලින් සේවය කල එක් ආයතනයක වැටුප් ගෙවිමේදී සෑම කෙනෙකුටම ටකා 30 බැගින් අඩුවීමක් සිදුවිය. සේවකයන් එවේලේම ටකා 30 ඉල්ලා සිටියෝය. කළමනාකරුවෙක් කියා සිටියේ එය ඊලඟ මාසයේ වැටුපට එකතු කරන බවකි. සේවකයන් ආයතනයට එවලේම ගිණි තැබූහ. ඉතා විශාල අලාභයක් සිදු කලහ. අදද එම සේවකයන් එම ආයතනයේම සේවය කරති.

මේ රට තුල පාතාල අපරාධකරුවන්ගේ බලපෑමද ඉතා ඉහළය. එක් ප්‍රදේශයකට එක් අයකු බැගින් මෙවැනි චරිත සිටිති. සියලු ආයතන බැහැර කරන ද්‍රව්‍ය මිළට ගැනීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, ආපන ශාලා පවත්වාගෙන යාම වැනි සියලු කටයුතු මෙවැනි පාතාලයන් අතින් සිදු වෙති.

වෙනත් අයට මෙම කටයුතු කිරීමට ඔවුන් කිසිවිටෙකත් ඉඩ නොදේ. ආයතන සේවකයන්ගේ විරෝධතා ස්ට්‍රයික් මැඩ පැවැත්වීමේදී මොව්හු විශාල කාර්යභාරයක් ඉටු කරති. එවැනි තත්වයක් ඇතිවුන විට පොලිසියට පෙර මෙම අපරාධකරුවන් පැමිණේ. අප ඔවුන්ට කියන්නේ පොලු හමුදාව කියාය. මොවුන් කිසිම ඉවක් බවක් නැතුව සියලු දෙනාටම තම අත ඇති පොල්ලෙන් නෙලාගෙන නෙලාගෙන යති. විරෝධතා කරුවෝ විසිර යති. ඉන් අනතුරුව පොලිසිය පැමිණ ආයතනයේ වියදමෙන් කා බී ආයතනයේම වාහනයකින් පොලිසියට යති.

පොලිසිය ගැන සඳහන් කරන විට RAB නම් පොලිස් කණ්ඩායමක් තිබේ. ඔවුන් ඉතා නීති ගරුකය. සියලුම ජනතාව ඔවුන්ට ඉතා භියක් දක්වති. මෙහි හමුදාවද ඉතා නීති ගරුකය. ආණ්ඩුව හමුදාවට ඉතා හොඳින් සලකයි. නමුත් හමුදාව කඳවුරු තුලින් ඉවතට එන්නේ කලාතුරකිනි. අතීතයේ හමුදා කුමන්ත්‍රණ කීපයක් මේ රට තුල සිදුවී තිබීම මෙයට හේතු විය හැක. මෙයට මාස කීපයකට පෙර ආණ්ඩුවට හර්තාල් පාලනය කිරීමට අසීරු තත්වයක් ඇති විය. ආණ්ඩුව ඩකා නගරයේ පාලනය හමුදාව අතට පත් කලේය. පැය කීපයකින් හර්තාල් සාමකාමී විය. මෙරට හමුදාව අප රට ඇතුලු විදේශ රටවල් කීපයකටම හමුදා පුහුණුව ලබා දෙයි.

බංග්ලාදේශ ජනතාවගෙන්  බොහෝ දෙනෙක් නූගත් අය වෙති. මොවුන් භූතයන්ට ඉතා බියක් දක්වති. මගේ නිවසේ කාලයක් රීපොන් නැමති තරුණයෙක් සේවය කලේය. ඔහු හැම විටම කථා කිරීමට ඉතා රුචියක් දක්වයි. ඔහේ කියවයි. සමහර දිනෙක මගේ මිතුරන් ඇඳ ඇතිරිල්ලක් පොරවාගෙන භූතයන් මෙන් ඔහුගේ ඇඟට කඩා පනියි. ඉන් පසු ඔහු කථා කරන්නේ නැත. වැඩක් කරන්නේද නැත. ඉතා බියෙන් මා අසලටම වී සිටියි. මොනවා කලත් මා හැර යන්නේ නැත. මගේ මිතුරා භූතයෙක් නොවන බව මා කොපමණ කීවත් ඔහු පිළි නොගනියි. එය පිළි ගන්නට නම් ඔහුට මිතුරා අතගා බැලිය යුතුය. මා ඔහුට අතගා බලන ලෙස කොපමණ ඇවිටිලි කලද ඔහු මිතුරා දෙස බලන්නේවත් නැත. මිතුරා පැමිණ ඔහුව බලෙන්ම අතගායි. ඉන්පසු භූත බිය රිපෝන්ගේ  සිතින් තුරන් වී පෙර පරිදිම වාචාල කම් දොඩවයි.

මේ රට ශ්‍රම සම්පත අතින් ඉතා බහුල රටකි. ලංකාවේ මෙන් නොව ඕනෑම වෙලාවක ඕනෑම කාර්යයක් කිරීමට සේවකයන් සොයා ගත හැකිය. ඇඟලුම් කර්මාන්තය මේ රට තුල ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව ශ්‍රමය සහ ඉන්ධන මිළ ඉතා අඩු වීමයි. මෙම කර්මාන්තය තුලින් විශාල විදේශ විනිමයක් මේ රට තුලට ගලා එයි. එහෙත් ඒවා බෙදී යාමේ විශාල විෂමතාවක් ඇත. සෑම තැනකම දූෂණය ඉතා ඉහළින් සිදුවේ. ගුවන් තොටුපලේ සිට සෑම ආයතනයකම සන්තෝසම් නොමැතිව කිසි දෙයක් කළ නොහැක. එය එදිනෙදා ජීවිතයට බද්ධව තිබේ. පොලිසියට ටකා 10 ක් දීමෙන් රික්ෂෝ කරුවන්ට අධිවේගී මාර්ග හරහා ගමන් කල හැක. ඒවා නමට පමණක් අධිවේගී මාර්ග වෙයි. අලුත් මාර්ගයක් සාදා නිමකල විට ටික කාලයක් යන තුරු ඒ හරහා ගමන් ගන්නා සියලු වාහන මුදල් ගෙවිය යුතුයි. සමහර දිනවල අපට අතුරු මාර්ග වල ගමන් කිරීමට සිදුවන අතර, මගදී අනිවාර්යෙන්ම පගාව දීමට සිදුවේ. මේ රටේ අතුරු මාර්ග ඉතා අනතුරු දායකය. සොර සතුරන් ඉතා බහුලය. මංකොල්ල කෑම් නිතරම සිදුවේ. බසයකදී නිකමට හෝ නින්ද ගියහොත් ගමන් මල්ල රහත් වෙයි.

බංග්ලාදේශයේ නීත්‍යානුකූලව මත්පැන් අළෙවිය සිදු නොවේ. එය ඉතා හොද දෙයකි. එහෙත් මේ ජනතාව අධිකව දුම් පානය හා බුලත් කෑම සිදුකරයි. බාබුල් නම් මත්පුවක් වැනි දෑ ඉන්දියාව හරහා ගෙන්වති. සාමාන්‍ය ජනතාවට මිළට ගත නොහැකි සුපිරි මිළ වලට විදේශිකයන් සදහා මත්පැන් විකිණීමට වෙනම ස්ථාන තිබේ. එහෙත් ඒවායෙන් වැඩිපුර මිළට ගන්නේ ස්වදේශිකයන්ය. බොහෝවිට ඔවුන් ඒවා නැවතත් විදේශිකයන්ට අළෙවි කරති. මේ රටට සංචාරකයන් එන්නේ ඉතා අඩුවෙනි. මා නම් කිසිදිනෙක සංචාරකයන් දැක නැත. රට අභ්‍යන්තරයට වෙන්නට සුන්දර ස්ථාන තිබේ. සුන්දර් බාත් වනාන්තරය, කොක්සස් බසාර් වෙරළ තීරය ඉතා සුන්දරය. කිලෝමීටර් 5ක් 6ක් දිග පාලම්ද ඇත. ඒවා හරහා ගමන් කිරීමත් සුන්දර අත්දැකීමකි.

රංගමාටී නම් කදුකර ‍පෙදෙසේ වාසය කරන ජනතාවගෙන් 90% පමණ බුදු දහම අදහන අය වෙති. ඔවුන්ගේ ස්වරූපය වෙනස්ය. චීන හෝ තායිලන්ත ජාතිකයන්ට සමානය. ඔවුන් බුදුන් වහන්සේ චක්මා හෝ මරිමා (Chakma / Marima) යන නමෙන් හදුවන්වති. ඔවුන්ගේ නම් වල අගට මේ කියූ පද දෙකෙන් එකක් බොහෝවිට ඇත. මේ ජනතාවට ඉතා ඉක්මනින් තරහා යයි. ඔවුන්ගේ ඉසව්වට බංගලි ජාතිකයන් යන්නේ කලාතුරකිනි.

බංග්ලාදේශය ගැන තවත් ලිවීමට බොහෝ දේ ඇත. එහෙත් ලියන්නට වේලාවක් සොයගන්නට ඉතා අපහසුය. නිවාඩු දින ඇත්තේ සතියට 1කි. සිරා මේ ලිපිය පල කලහොත් එහි පූර්ණ ගෞරවය හිමිවන්නේ ඔහුටය. ඒ මන්ද යත් මගේ අකුරු තෝරා බේරාගෙන සිංහල යතුරු ලියනය කිරීමට සිරාට වෙහෙසක් දරන්නට සිදුවන නිසාවෙනි. ලිපිය අවසන් කිරීමට පෙර සිරා කොලුවා ඇතුලු සියලුම බ්ලොග් කරුවන් ආදරයෙන් මතක් කරමි. කාමරයට නිතර යන එන අයවද මතක් කරමි. ඔවුන් සතුව රසබර ලිපි ඇතිනම් සිරා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.


මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට

බංග්ලාදේශයේ සිට ලියා එව්වේ එම්.ඩී. රත්නායක.




ප.ලි


මෙවැනි ප්‍රතිචාර මා මෙන්ම අවශේෂ බ්ලොග් කරුවන්ද දිරිමත් කරනවා නියතය.

පිටු 14 ක් පුරාවට තමන්ගේ අත් අකුරින් ලියා සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මේ ලිපිය බංග්ලාදේශයේ සිට සම්පාදනය කල රත්නායක සහෘදයාට සිරා කොලුවාගේ නොවක් ස්තූතිය පිරි නැමේ. සිරාගේ කාමරය තුල පල වූ විවිධ රටවල විස්තර අැතුලත් ලිපි අතරට අලුතින් එකතු වන මේ ලිපිය ඒ සියල්ලටම වඩා ප්‍රමුඛ එකක් වේ යැයි මම සිතමි. සාක් කලාපයේ රටක් වුවද අප වැඩිදුර තොරතුරු නොදන්නා බංග්ලාදේශය පිළිබද සිංහලෙන් ලියවුන මේ ලිපිය අපේ දැනුම් මට්ටමේ රික්තය යම් තරමකට සම්පූර්ණ කරනු ඇත.

පිටරට විස්තර කියවන්නට ලංකාවේ ඇත්තන් ඉතාම මනාපය. ඒ බව එවැනි ලිපියක් පලවූ පසු ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් මොනවට පැහැදිලි වෙයි. සිරාගේ කාමරයේ අටවා තිබෙන විවිධ රටවල ධජ එකතුව සහිත ගැජට්ටුව දෙස බලන විට එහි රටවල් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් සටහන් වී තිබේ. ඉඳින් සබඳ, ඔබ සිටිනා ඉසව්ව පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට යමක් ලියන්නට මෙය කියවන ඔබට ඇරයුම් කරමි. සිංහල යතුරු ලියන හැකියාව අවශ්‍ය නැත. අත් අකුරින් ලියා ස්කෑන් කොට මා වෙත ඊයක් එවන්න. ඒවා යුනිකෝඩ් බවට පෙරලීමේ වගකීම මම දරමි.

ඔබේ ප්‍රශ්න සඳහා සිරා කොලුවා වන මවිසින් පිළිතුරු එකතු කලද ඒවා ලිපියේ රචකයා විසින් මාවෙත ඔහුගේ අත්අකුරින්  ලියා එවන ලද ඒවාය. සිංහල අකුරු යතුරුලියනය නොදන්නා නිසා ඔහු පිළිතුරු අතින් ලියා මවෙත එවන්නට තීරණය කරන්නට ඇත.

Sunday, October 26, 2014

84 කප්පාදුවෙන් ඇස් රතු කර ගතිමි

ඒ සහශ්‍රය උදා වූ වසරයි. කාලයෙන් කාලයට විවිධ මල් පැල සිටවා මගේ මව් තුමිය විසින් අලංකාර කරන අපේ මිදුලේ ඒ වකවානුව වන විට විසිතුරු ශාක කීපයකටද අවස්ථාව ලැබී තිබුනි. නම නොදන්නා අලංකාර රතු පැහැති පත්‍රයන්ගෙන් යුතු වු ශාකයක් මිද‍ුලේ පසෙක පඳුරක් ආකාරයෙන් සරුවට වැඩී ඒ වන විටත් තම අණසක පතුරවා හමාරය.

නිවැසියන් කිසිවෙකු මේ පැලය කිසිවෙකුගෙන් ඉල්ලාගෙන හෝ පැල තවානකින් මිළදී රැගෙන ආ එකක් නොවීය. ඒ හේතුවෙන් මෙය තණකොළ වැවීම පිණිස අතුරන ලද රතු පස් සමග මෙහි එන්නට ඇති බව අපගේ විශ්වාසය විය. මේ වකවානුවේදී සිරා කොලුවා උ/පෙ විභාගය සමග ඔට්ටු වෙමින් සිටියත් ඒකාගේ කේන්දරයේ ග්‍රහයන් නීචව සිටි නිසාදෝ මේ සිදුවීම සිදු වූ දිනයේ මිදුලේ ඇති රතු පැහැති පත්‍ර සහිත නම නොදන්නා ශාකය කප්පාදු කොට රවුම් කරන්නට දොලක් උපන්නේය.

ඒ සඳහා අවැසි වන විශේෂ උපකරණ අප නිවසේ නොමැති වූ හෙයින් පාන් කපනා සාමාන්‍ය පිහියකින් පඳුර රවුම් කිරීමේ භාරදූර කාර්යයට සිරා කොලුවා අත ගසන විට පෙරවරු 11 පමණ වන්නට ඇත. සවස 2 වන විට උසස් පෙළ ගිණුම්කරණ පන්තියකට සහභාගි වන්නට යා යුතුය.

හෝරාවකට ආසන්න කාලයක් ගත වන විට පඳුරේ වැඩි හරිය කඳින් වෙන් වී බිම සැතපී තිබුනි. සුදු පැහැති කිරි විශේෂයක් ගසේ තුවාල වූ තැන් වලින් පිටතට වෑස්සෙයි. මගේ කාර්යය අහවර කරන්නට තවත් කපා දමන්නට ඇත්තේ ගහ මුදුනේ කිණිති දෙක තුනක් පමණි.

ඉහළම ඉත්තක් ඉලක්ක කරමින් දෙපසට වැනූ පිහියේ අනුභාවයෙන් ඉවතට ගලමින් තිබූ සුදු පැහැති කිරි බිඳුවක් සිරා කොලුවාගේ ඇසකට අනවසරයෙන් ඇතුලු විය. ඇස මඳක් පිසදා දිගටම කප්පාදුව ගෙන ගියෙමි. නමුත් ඇස තුලින් සියුම් දැවිල්ලක් උත්පාදනය වන වග මට ඉතා ඉක්මනින් අවබෝධ විය. මොහොතකදු පමා නොවී ජලය පිරවූ බේසමක මගේ අක්ෂි රාජයා ගිල්වීමි. අ‍හෝ මා ලද සහනයක් නැත....කෙමෙන් කෙමෙන් දැඩිවන වේදනාව හමුවේ සිරා කොලුවා නැමති සාටර් ජීවියා වේදනාවෙන් ඇඹරෙන සෙයකි.

මේ ආගන්තුක ද්‍රව්‍ය ඇසට ඇතුලු වී විනාඩි 10 ක් පමණ ගත වන විට ඉවසිය නොහැකි දැවිල්ලක් ඇස තුලින් හට ගත්තේය. තවත් නම් ඉවසුම් නැත...මගේ ඇස අන්ධ වේද...ඇස බේරාගත හැකි වේද නොයෙකුත් ප්‍රශ්න සිතේ උපදියි. මම වහ වහා මෑණියන් හට කාරණය පවසා මා සමග  ගම්පහ නගරයට යන්නට පැමිණෙන ලෙස සැළ කලෙමි.

එතෙක් වේලා ගත නැගී තිබූ දහදිය උඩට කමිස කෑල්ලක් අටවාගෙන මා නිවසින් පිටතට එන විට හන්දියේ තුන්රෝද රථ ගාලේ නම් දැරූ ප්‍රචණ්ඩ මාතලී චරිතය වූ බාබු අප නිවස වෙත පැමිණ තිබුනි. මයෙ මලයා රියදුරෙකු කැඳවන අටියෙන් එහි යන විට මා ඔහුට කීවේ බාබු කොලුවාම කැඳවාගෙන එන ලෙසයි. බාබු යනු තුන්රෝදයෙන් රේස් පදිනා වර්ගයේ එකෙකි. ගමේ අතුරු මාර්ගයක වංගුවකින් බාබු රථය හරවන විට එහි වේගය වැඩි කමට මාර්ගය දෙසට වන්නට පිහිටන පසුපස රෝදය ඉහළට එසවෙයි. එසේ නොමැති වුවහොත් එය බාබුවාගේ හිතට හරි නැත. බාබු යනු කුමන රියදුරෙකුදැයි දැන් ඔබට දළ අවබෝධයක් ලැබෙනු ඇත.

අප කෙනෙකුට යමක් හැකි උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන්නේ, ඇස් දෙක වාගේ බලාගන්න කියාය. ඒ ඇස් අපට ඒ තරම් වටිනා නිසාය. වේලා ගතවුවහොත් ඇස අන්ධ වේ යැයි භියෙන් මම තුන් රෝද රථයට බර දුන්නෙමි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා මැයි දින පෙළපාලියේදී ඝාතනය කලේ බාබු නැමති මරාගෙන මැරෙන LTTE සාමාජිකයාය. අපේ හන්දියේ බාබුවාගේ උප්පැන්නයේ ඇත්තේ වෙනත් නමක් වුවත්...මේකා රථය පදවන්නේ මරාගෙන මැරෙන්නට අපේක්ෂාවෙන් සිටින එකෙකු වාගේ නිසා කෙටි කලෙකින්ම ඒකාගේ නම බාබු ලෙස වෙනස් විය.

උඹට යන්න පුලුවන් උපරිම වේගයෙන් පලයං බාබු....ඇස තුල ඇති අධික දැවිල්ල හමුවේ මගේ පෙනීම නැති වේය යන සිතුවිල්ල මගේ හදවත වේගයෙන් කම්පොනය කරයි. බාබුවා තම රතු පැහැති තුන් රෝදය හැකි උපරිම වේගයෙන් ධාවනය කොට වෛද්‍යවරුන් චැනල් කල හැකි පුද්ගලික වෛද්‍ය සේවාවක් තම ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු සතු භූමියක රථය නැවතීය. විශේෂඥ වෛද්‍ය වරයෙකුම හමුවීමට ලැබීම මා ලද භාග්‍යයකි. එතුමා මේ වෛද්‍ය ම‍ධ්‍යස්ථානයේ කටයුතු මෙහෙයවන තැනැත්තා නිසා දිනය පුරාම එහි රැදී සිටියි.

මට මුහුණ දෙන්නට සිදු වූ අලකලංචිය පැවසූ පසු, කුඩා ඇඳක මා සතපවා විදුලි පන්දමකින් වම් ඇස පරීක්ෂා කල වෛද්‍යතුමා,

ඇහැ ටිකක් පිච්චිලා යනුවෙන් ගත් කටටම කීවේය.

ඇහේ පෙනීම නැතිව යයිද ?

නෑ නෑ...එහෙම වෙන්නෙ නෑ...යනුවෙන් පවසා සුදු පැහැති බෝතලයක තිබූ අවර්ණ දියරයක් ඇසට වත් කලේය. දිගටම මට ඇස විවෘත කරගෙන සැතපී සිටින්නට අණ ලැබිනි. විනාඩි 10 ක් පමණ ඉක්ම ගිය තැන මට ඇස වසන්නට නියෝග ලැබිනි.

ඇහේ දැවිල්ල ටිකෙන් ටික අඩුවෙයි...ගෙදර ගියාම ඇස් දෙක පියාන විවේක ගන්න. එතුමා එසේ පවසා බෙහෙත් පෙති කීපයක් සහ ඇසට දමන්නට බෙහෙත් දියර කුප්පියක් නිවසට රැගෙන යන්නට දුන්නේය.

ආයෙත් මේ වගේ වැඩ කරද්දි තමන්ගෙ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන්න. අවසාන වශයෙන් එතුමා මට අවවාදයක්ද කළේය.

ආපසු යන ගමන සෙමින් යන්නට බාබුවාට යෝජනා කලෙමි.ඇසට දැමූ බෙහෙත් වලින් තිත්ත රසයක් දිවට දැනෙයි. මේ ඉන්ද්‍රියන් අතර පවතින අන්තර් සබඳතාව එසේ යැයි සිතා මම නිවසට පැමිණි පසු මගේ දුප්පත් ඇඳ කබලේ සැතපුනෙමි.

සිරා කොලුවාට අකරතැබ්බය සිදුවන අවස්ථාවේ නිවසේ නොසිටි මගේ පියතුමා නිවසට පැමිණි වහාම සිදුක‍ලේ මේවා මිදුලට ඕනෙ නෑ යනුවෙන් පවසා රතු පැහැති පත්‍ර සහිත ශාකය මුලින් උදුරා විසි කිරීමයි. එදායින් පසු මේ ශාඛය මම අප ප්‍රදේශය තුල දැක නැත්තෙමි. නමුත් එහි පත්‍ර වල පැහැයත් හැඩයත් මගේ මතකයේ හොඳින් රැදී තිබූ නිසා අන්තර්ජාලයෙන් එය සොයාගැනීම අසීරු නොවීය. ඒ අනුව මතු ලියවෙන්නේ විකිපීඩියාවෙන් සොයාගත් මේ අද්භූත ගසේ විස්තර සමූහයකි.

මේ ගහට සිංහල නමක් තියේදැයි මම නොදනිමි.  එහි විද්‍යාත්මක නාමය Euphorbia Cotinifolia වෙයි . එයට අමතරව Smoketree spurge, Tropical Smoke Bush, Caribbean  Copper Plant වැනි තවත් නාමයන්ද භාවිතා වන බව අන්තර් ජාලය පිරික්සන වන විට පෙනෙයි.



මේ ශාඛයේ නිජබිම වෙන්නෙ දකුණු සහ මධ්‍යම ඇමරිකාවයි. ගහෙන් වෑස්සෙන කිරි විෂ සහිතයි. ඒවා ‍ඖෂධයක් ලෙස වගේම විෂ වර්ගයක් ලෙසත් ඒ කලාපය ආශ්‍රිත රටවල භාවිතා වෙයි. ඇතැම් රටක පාරම්පරික ‍ඖෂධ ක්‍රම වලදි මේ විෂ සහිත කිරි භාවිතා වේලු.

සමීප දසුනක්...පුංචි සුදු පාට මල් විශේෂයකුත් හට ගන්නවා.

පුරාණ ධීවර‍යො මේ කිරි වර්ගය ජලාශ වල ජලයට එකතු කරලා මසුන් ඇල්ලීම සිදු කලා කියලත් කියනවා. මේ ද්‍රාවණය නිසා මත්සයො ජලය මතුපිට පාවෙන්නට පටන් ගන්නවාලු. ඊටත් අමතරව Curacao නැමති දකුණු කැරිබියන් මුහුදේ පිහිටා තිබෙන කුඩා දිවයිනේ අාදි වාසීන් මේ විෂ තම ඊතල හිස් වලට යෙදූ බවකුත් විකිපීඩියාව කියනවා.

මේ ශාකයේ කිරි වර්ගය මිනිස් සම වගේම ඇස් වලටත් අහිත කරයි. බැරි වෙලාවත් ඔබට ඒවා ගිලුනොත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට බොහොම හානිකරයිලු.

පත්‍ර වල ඇති රතු පැහැය නිසා මේ ශාඛයට උද්‍යාන අලංකරණයේදී බොහොම හොඳ ස්ථානයක් ලැබෙනවා. හොඳින් හිරු එළිය පතිත වෙන පරිසරයක ජීවත් වෙන්න වඩාත් කැමති නිසා ශ්‍රී ලංකාව වගේ නිවර්තන කලාපීය රටක මේවා හොඳින් වැඩෙනවා.

මේ ශාඛය ඔ‍බේ මිදුලේත් වැඩී තිබෙනවා නම් එය අලංකරණය කරන්න යනවා නම් ඔබේ ආරක්ෂාව ගැන හැම විටම සැලකිළිමත් වෙන්න. ඒ වගේම කුඩා දරුවන් මේ පත්‍ර, නාරටි ආදිය හපන්නට ඉඩ තිබෙන නිසා ඔවුන් ගැනත් විම‍සිල්ලෙන් ඉන්න. එහෙම උනොත් මම මුහුණ දුන්නා වගේ අතිශය වේදනාත්මක අත්දැකීමකට ඔබට මුහුණ දෙන්නට සිදු නොවෙනු ඇති.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මෙම ශාකයේ කිරි ඇසට ඇතුලු වී පැය 18 ක් තුල නිසි ප්‍රතිකාරයක් නොලැබුනහොත් සදාකාලික අන්ධ භාවය ඇති විය හැකි බව ජාලයේ තැනක සටහන් වී තිබුනි.

තුන්රෝදයෙන් ලැබෙන ආදායම දිනෙන් දින ඉහළ යන ජීවන වියදම දරන්නට ප්‍රමාණවත් නොවූ නිසාදෝ පසු කලෙක සොරකම් සඳහා යොමු වී පොලෝසියෙන් ඇති පදම් ගුටි කා ගල් පල්ලි ගිය බාබුවා වරින් වර අප ගම් පියසේ ප්‍රාතූර්භූත වුවද මෑත කාලයේදී දකින්නට ලැබුනේම නැත. මා අවසන් වරට ඔහු දකින විට අප ප්‍රදේශයේ කුකුළු මස් කඩයක වධකයාගේ භූමිකාව රගදක්වමින් සිටියේය.

Wednesday, October 22, 2014

77 වෙද රාළ සහ කලු ගාමිණී

කවුද යකෝ ඔය පාහර කථාව කිව්වෙ....මේක එහෙනං වෙදාට ගිය ගමනෙ. ඌ කැමති දේවල් විතරද අපි කරන්න ඕනෙ. මට අහු උනොත් වෙදාගෙ හතර හන්දි දිග අරිනවා...අම්මපා....

තදින් මිට මොළවාගත් දකුණත වරිච්චි බිත්තියේ අනිමින් කලු ගාමිණී සිත තුල පැන නැගී ඇති කෝපාග්නිය පිට කර හරියි. අත්ලේ පහසෙන් සැනහෙන බිත්තියේ මැටි අංශු වරින් වර බිත්තිය පාමුලට වැටෙන අයුරු කොස්තා බලා සිටියේ හොර බළල් තඩියෙකු මෙනි.

ලඟපාත සිටින විටෙක ගාමිණී මහත්තයා ලෙස තම ගෝල බාලයන්ගෙන් ගෞරව බහුමානය ලබන කලු ගාමිණී මේ පිටිසර ගම් තුලානේ පැල පදියම් වී සිව් වසරක් පමණ ගෙවෙන්නට ඇත. මොරටුවේ සලමොන් මුදලාලිගේ කීකරු ගෝලයෙකු ලෙස කැලෑ තේක්ක සොයා අහම්බෙන් ආ ගමනකදී මුලිච්චි වූ මේ හුදෙකලා ගම් පියසත්, අහිංසක දෙපා වාසීනුත් ඊට එපිටින්  ඇති ඝණ කැලෑවත් කලු ගාමිණීට මේ ගමේ නතර වෙන්නට ආරාධනා කල අචේතනික සහ සචේතනික වස්තූන් සමූහයා වූහ.

ඡායාරූපය මෙතැනින්

ගාමිණී මහත්තයා....වෙදා හින්දා ගමේ උන් දැන් අපි එක්ක ටික ටික අරියාදුවට එනවා. අපේ පොට් එකෙන් හැමදාම පිනට සුදුවා කෙලින අමරයා තමයි වැඩේ අල කරන්නෙ. ඒකා හැමදාම ගෙදර ගිහින් ගෑණි එක්ක ජල්ලි අල්ලනවා..ඒ ගෑණිත් අමරයාගෙන් ගුටිකාලා පහුවදාට වෙදාට කේලම් කියනවා. අමරයගෙ ගෑණි වෙද ගෙදරම ඉන්න එකී නොවැ.

ඒක හින්දයි වෙදා කියන්න ඇත්තෙ අපේ බිස්නස් පොලිසියට අල්ලලා දෙනවා කියලා. එහෙම උනොත් හොරට ඉරපු තේක්ක ලෝඩ් එකයි..ඊට පිටිපස්සෙන් තියෙන කංසා හේනයි...... ගඟ අයිනෙ තියෙන බූලි ටිකයි....

කට කට කට....තොගෙ දිව අඹරන්න කලින් කට වහ ගං....තෝ වගේ ගං කපුටෙක් නෙමෙයි බොල මේ ගාමිණී කියන්නෙ. වෙදා එක එකා එක්ක පූචානම දෙඩෙව්වට මේ ගාමිණීට අහවල් කෙං ගෙඩිය කරයි කියලා තමයි භය. මම සලකන්න ඕනෙ තැන් වලට අත දිග ඇරලා සලකන මිනිහෙක් යකෝ.

ඈ බං කොස්තා...ගමේ ග්‍රාම සේවක උන්දැට දඩමස් කිලෝවක් දෙකක් සතියකට දෙකකට වතාවක් යවනවා නං.....පළාතෙ මන්තිරීගෙ උවමනා එපාකම් ඉටු කරනවා නම්, පොලෝසියෙ මහතැනගෙ ගේ හදන්න ලී දඩු ටික දෙනවා නම් මම කාට භය වෙන්නද බං...

උඩ සාක්කුවෙන් ඉවතට ගත් සිගරැට්ටුවක් තම වම් අතේ ඇති ඔරලෝසු මුහුණතේ තට්ටු කරමින් කළු ගාමීණී කොක්සන් හඬ ලයි..

ඒකත් ඇත්ත තමා....ඒ උනාට අද උදේ වෙදා මාව අල්ලගෙන මට තරවටු කරපු විදියට මට භය හිතුනා මහත්තයො...

කොස්තා කුඩා දරුවෙකු මෙන් මාපටැගිල්ලෙන් ගොම පොළව හාරන්නට වෙර දරයි. රාස්සිගේ අව්ව පිල් කොටයේ හැපී  යන්තමින් තේක්ක කෑල්ලේ ඇති කුඩා වරිච්චි නිවසේ ඉස්තෝප්පුව මත පතිත වෙයි. ලා කහ පාට අව් තීරු වරිච්චි බිත්තියේ අඳින සිතුවම් රටා තේරුම් ගැනීමට අපහසු හෙයින්දෝ කොස්තා ඉන් ඉක්බිති මුනිවත රැක්කේය.
.......................................................................................................
මොකද බං ගිය පයින්ම හිස් අතින්..කෝ උඹට ගේන්න කිව්ව බෙහෙත් බඩු...අඩු ගානෙ ඒකාවේරිය මුලක් වත් අරගෙන ආවෙ නැද්ද ?

අර මුසල හැත්ත කැළෑව වනසලා වෙද මහත්තයො. ගල්ගේ කන්ද ලග තිබුන සුදු හඳුන් ගහ බිම පතබාලා ගහත් කුට්ටි කරලා. මම ගිය සතියෙත් ඒකෙන් පොතු ගැලෙව්වා. ඒ මදිවට ඒ වටේ පිටේ ඔක්කොම සුද්ධ කරලා. තව ටික දවසකින් බෙහෙත් බඩුවක් හොයන්න ටවුමෙ බෙහෙත් කඩේටම යන්න වැඩ සිද්ධ වෙයි වගේ.

අනේ අම්මපා...මුන්ට මොනවා කලාම හිත් වදියිද....අපේ අප්පොච්චත් ඔය හඳුන් ගහේ පොතු ඇන්න ඇවිත් මිනිස්සුන්ට බේත් කොලා. ඒවයෙ කෙළෙහි ගුණ දන්න ගමේ එකාලා ඔය වගේ අලුගුත්තේරු වැඩ කොරන්න තනන්නෙ නෑ. ගමට පිටින් ඇවිල්ලා ඔය කළු ගාමිණියා කියන එකයි, උගෙ නඩෙයි ගම අසානාසි කොරලා තමයි පස්ස බලන්නෙ. අපේ එකාලත් උන්ගෙ දුං කූරට, හැලි අරක්කු වීදුරුවට, දඩ මස් කෑල්ලට වහ වැටිලා මේ ගම විනාශ කොරනවා. අර කොස්තා කියන එකා තමයි ගමේ එකෙක් වෙලත් ගමට වින කටින්න උන්ට එකතු වෙච්ච මූලිකයා.

කථාව ඇත්ත වෙද මහත්තයො. ගමේ වැඩිහිටියො විදියට මේ හැත්ත ගමෙන් පන්නලා දැම්මෙ නැත්තං අපිට ගමක් ඉතුරු වෙන්නෙ නෑ ඕන්න. තරුණ ගැටව් ගස් ගල් ගානෙ දුං උරනවා, රහමෙර ගිලිනවා,  නාන මං කඩේ අපේ කෙල්ලෙක්ට නිදහසේ නාගන්න නෑ. දර ඉපලක් ඇන්න එන්න කැලෑ වදින්න නෑ. මුන්ට අම්මලා අක්කලා නැද්ද වදේ..

කථාව ඇත්ත සියාතු ගොයියො...මම මේ ඉවසාන ඉන්නෙ අපේ මැණිකෙ කියන හින්දා...නැත්තං මගේ මන්තර සාස්තර ගුරුකං වලින් ඔය ගාමිණියව තීන්දු ගමන් යවන එක මට මහ කජ්ජක් නෙමෙයි.
.......................................................................................................

ලපයො....මෙහෙ වර...අර බඩ ඉරිඟු වගාවට පෝර ටිකක් දාන්න කියලා මම කී සැරයක් උඹට කිව්වද ? උඹලට ඉතිං නාන මංකඩේ ගෑණු නානවා බැලුවාම ඇති. මෙතැන වැඩ වලට හෙණ ගැහුවත් කමක් නෑ.

බයාදු ලෙස හිස පහත් කරමින් තමා සමීපයට එන ලපයා දෙස ගාමිණී බලා සිටියේ තරමක කෝපයෙනි.

අන්තිමට ගෙනා පෝර කවරෙ ඉවර වෙලා දවසක් දෙකක් වෙනවා මහත්තයො...

තොගෙ කටේ පිට්ටු හිරවෙලා තිබුනද ඕක මට වේලාසන කියන්න බැරි උනේ..ඔන්න ඔය කමිසයක් ඇඳගෙන වරෙන් එහෙනං ටවුමට යන්න. බඩ ඉරිඟු ටික මලොත් ඒකට මුවා කරලා වවපු අනිත් ඒවත් මිනිස්සුන්ට පේනවා.

කළු ගාමිනීගේ ගොරකා මඳ මෙන් රත්වූ ඇස් ගෙඩි දෙක පෙර දා රාත්තිරියේ පැවති මධු සාදයේ සලකුණු බාහිර ලෝකයට කියා පාන කැඩපතක් බඳුය. කලු ඉරි වැටුන සුදු සරම ඔසවා කැහැපට ගහ ගත් හෙතෙම ඈතින් පෙනෙන කඳු වලල්ල දෙස හිස් බැල්මක් හෙලා නවීන පන්නයේ කැබ් රථයේ රියදුරු අසුනට බර වූවේය.

කොස්තා...උඹත් නැගපං...

පිල් කණ්ඩිය මතට වී  වාහනය දෙස බලා සිටි කොස්තාට ගාමිණීගෙන් ලැබුනු ආරාධනාව සිතට සතුටක් එක් කර ඇති සෙයකි. රියදුරු අසල ඉදිරි අසුනේ අසුන් ගත් කොස්තා වාහනයේ පැති වීදුරුවෙන් තම කෙස් රොදක් හිසේ උඩට වෙන්නට සකසා ගත්තේය.

උඹ ඉරුම් පට්ටලේ ඉන්න උන්ගෙ සිල්ලර කාසි ගනං බේරුවද ? කළු ගාමිණී නොසිතූ අවස්ථාවක මුනිවත බින්ද නිසාදෝ කොස්තා මදක් ගැස්සී ගියේය.

ඔ..ඔව් ඔව් ගාමිණී මහත්තයා...මම උන්ට කන්න බොන්න අඩුම කුඩුම ටිකත් ගිහින් දුන්නා.

බොහොම හොඳයි. ඔන්න ඔහොම කැපවීමෙන් වැඩකරගෙන ඉඳිං...උඹ ගැන මම නොසලකා ඉන්නෙ නෑ බොල. ගාමිණී මහත්තයා කථා කරන විට සීල් අරක්කු කුයිලක් දැනෙන බව කොස්තාට හැඟෙයි.

දැන් බලහං මම මේ ගමට එද්දි මට බයිසිකල් කටුවක් වත් තිබුනද...අද මේ ලක්ෂ ගානක වාහනයකුත් තියාගෙන යස අගේට ඉන්නෙ. අන්න ඒ වගේ කැපවෙලා වැඩකරපු හින්දා. මෙදා සැරේ තේ්ක්ක ලෝඩ් එක සලමොන් මුදලාලිට බාලා...අතට ගාන ලැබුන ගමන් මම උඹටත් මෝටර් සයිකලයක් අරන් දෙන්නං.

කොස්තාට දැනුනේ පුදුමාකාර ප්‍රීතියකි. නිතර දෙවේලේ ඉරුම් පලටත්, වඩිය පෙරන ස්ථානයටත් යන ගමන වෙහෙසකර එකකි. බයිසිමොටෝවක් ලැබෙන්නේ නම් රාං කුරුල්ලා වගේ යන්නට හැකි බව ඔහුට සිතෙයි.

ඇරත් මේ ගමේ උන්ට පේන්නට හන්දියේ කඩය ලග, නාන මංකඩ ලග ගුරු පාරේ, තොට දෙන්න ගෑණු මෙහෙ නෑ යයි කියා පද පලිච්චි කොට ගෙමිදුලෙන් පන්නා ගත් අදිරියන් ගොයියාගේ නිවෙස අසලත් තමාට බයිසිමොටෝවේ තේජස පෙන්වන්නට හැකිය.

හැබෑට...අනේ කොච්චර දෙයක්ද ගාමිණී මහත්තයා...මට ඒක පදිනකං ඉවසුම් නෑ...

කොස්තාගේ වල ගැහුණු දකුණු කම්මුලත්...ඇහැ යටට වෙන්නට ඇති අව්වට කළු ගැහුණු තුවාල කැළලත් තමා දෙස බලා සිනාසෙන්නේ යයි ගාමිණීට සිතෙයි.

ලපයො...තෝ රෙන්න ගියාද බොල....

ගමනක් යන්නට කථා කරන හැම විටෙකම වළ කක්කුස්සිය සොයා දුවන ලපයා ගැන දන්නා කළු ගාමිණී උස් හඩින් කෑ ගැසුවේය.

මේ එනවා ගාමිණී මහත්තයො...මේ ලගම එනවා....මට කියන්න අමතක උනා නෙව..අනිද්දට පෙරන රාජකාරියට සීනි මදි කියලා සිරිමලා පයින්ඩයක් එවලා තිබුනා...අපි ඒකත් මේ ගමනෙන්ම අරගෙන එමුද ?

පුදුමයි...ඕක උඹට මතක තිබුන එක...නැත්තං පහේ කෑන් ටිකත් අරගෙන බඩු ටික පටවන්න එතනට ගියාම තමයි මම දැනගන්නෙ.
.......................................................................................................
කැබ් රථය වල ගොඩැලි වල වැටෙමින් ගැස්සෙමින් පැද්දෙමින් ඉදිරියට ඇදෙයි. මෙවැනි ගමනක් යන්නට ගාමිණී මහත්තයා ආරාධනා කරන්නේ කලාතුරකින් දවසක නිසා ලපයා තමා පසුකර පසුපසට ඇඳෙන ගහ කොළ දෙස ආශාවෙන් බලා සිටියි.

මහත්තයො..අර යන්නෙ වෙද රාළගෙ ලොකු කෙල්ල...ඈතින් ඇදෙනා යුවතියක කළු ගාමිණීට පෙන්වූ කොස්තා  ඇසක් වසා ඉඟි මැරුවේය.

හැඩකාරියක් වගේ නේද බොල...හිටහංකො හොද වැඩක් කරන්න.

ගුරුපාර අයිනේ දිගින් දිගටම කුඩා පරිමාණයේ මඩ කඩිති සමූහයකි. ඒ ඔස්සේ වේගයෙන් රිය පැදවූ කළු ගාමිණී හිත යටින් සතුටු වූවේය.
.......................................................................................................
අයියෝ........

එක තැන නතර වූ මාලිකා ඇය හැඳ සිටි සුදු පැහැති දිගු සාය දෙපසට අල්වාගෙන සිටියි. සාය පුරාම ඇත්තේ දුඹුරු පැහැයෙන් යුතු මඩ පැල්ලම්ය.

කවුද පුංචි මැණිකෙ ඒ වාහනේ මහ වේගෙන් ගිය නොසන්ඩාලයා...

කවුද ඉතිං අර කළු ගාමිණී කියන පෝරිසාදයා නොවැ... බලන්න නැන්දෙ...මේ මඩ හේදුවත් යන එකක් නෑ.

යකඩෝ මුන්ට ගිය රට..ගමේ කෙනෙක්ට දැන් පාරෙ යන්නත් මුන්ගෙන් අවසර ගන්න වෙලා නොවැ. අර කොස්තා කියන එකාද ඉස්සරහ උන්නෙ...උගෙ මූණ විතරයි මම යන්තමට දැක්කෙ...

ඔව්...උන් තමයි අපේ ගමේ එකාලා වෙලත් පිටින් ආපු උන්ට හේත්තු වෙලා ගම වනසන්න උල්පන්දම් දෙන්නෙ. අප්පච්චිත් හරිම අමනාපෙන් ඉන්නෙ මුන්ගෙ වැඩ ගැන.
.......................................................................................................
මොකද දුවේ මේ...සාය පුරාම මඩ ඉහිරිලා...වෙද හාමිනේ නිවෙසට ගොඩවෙන සිය වැඩිමල් දියණිය දෙස විශ්මයෙන් යුතුව බලා සිටියාය.

දැන් අපිට ගමේ පාරක යන්නත් බෑ අම්මෙ. මඩ වලවල් දැක දැකත් කළු ගාමිණීයා උගේ වාහනේ එලෙව්වා මහ හයියෙන් ටවුම පැත්තට.

මැණිකෙ තවත් නම් මම ඉවසන්නෙ නෑ. අපි මේ ගමේ පාරම්පරික මිනිස්සු...පිටින් ආපු උන් ගහන පදයට නටන්න අපි කවුද. ග්‍රාම සේවක උන්නැහේට මම කීප වතාවක් කිව්වා මේ සිද්ධ වෙන නීති විරෝධී වැඩ ගැන. ඒ ගැන පියවරක් තවම අරගත්තෙ නෑ. මට ආරංචි විදියට මිනිහටත් දඩමස් ගාතයක් දෙකක් ලැබෙනවලු. මේ ගමේ හැම එකාම උන්ට අහුවෙලා.

තම සැමියාගේ මුහුණ මෙලෙසින් රත් පැහැ වන්නේ අධික කෝපයක් ඇති වූ පසුව බව වෙද හාමිනේ දනියි. එවන් විටෙක ඔහු අස්වසන්නට මොන ඒජන්තයා ආවත් බැරි බවද ඇය හොඳින් දනියි.

අද දෙකෙන් එකක් බේරගන්නම් මම...ඉවසන්න ඉවසන්න මුන් හිතාන ඉන්නෙ අපි නිවටයි කියලා. ගෙයි මුල්ලේ සගවා තිබූ දුර්වර්ණ වූ කඩුවක් අතැතිව සරම එක් අතකින් ඔසවාගෙන වෙද රාළ මහමගට බැස්සේ ඇඹේනියගේ මෙන්ම දියණියන් දෙදෙනාගේද බාධා කිරීම් තඹයකට මායිම් නොකරය.

සියාතුවෝ / සුනිමලෝ / රතු මාමේ / නැන්දේ...වෙද ගෙදර බෙරිහන් දීම් කණවැකුනු අසල්වැසියෝ වෙද රාළ පිටුපස  ගුරු පාර අද්දරට එක පිම්මේ දුවයි. ත්‍රාසයත් භීතියත් නිසා ලොමු දැහැගැන්වුන දෑස් ඇති මාලිකා ආයාසයෙන් සිත තද කරගත්තාය.
.......................................................................................................
ගිය වාරෙට වඩා මේ වාරෙ සීනි මිටියක ගාන වැඩිවෙලා බං...පෝර නම් ඒ ගානමයි.

තුන්වෙනි ගියරයේ සිට හතරවැනි ගියරයට ගියර් ලිවරය කරකවමින් කළු ගාමිණී තම ගෝලබාලයන් සමග කථා බහේ නිරත වෙයි.

වෙදාගෙ කෙල්ලට යස වැඩේ උනේ...මම දැක්කා ඒකිගෙ සාය පුරාම මඩ විසික්ක වෙන හැටි.
ලපයාගේ අවිනීත සිනහව ගාමිණී තුල ඇති කලේ සියුම් සතුටකි. ගෙයක් දොරක් පුළුටක් නොමැති කැලෑ මණ්ඩිය පසු කල රථය ගම්පියසට ආසන්න වංගුවකින් මතු වූවා පමණකි.

කවුද යකෝ පාර හරහා කොටයක් දාලා තියෙන්නෙ.

රථය නැවතූ කළු ගාමිණී බිමට බැස්සා පමණකි. හතර අතින් ඔහු වෙත කඩා පීනූ වෙදරාළ ප්‍රමුඛ ඔහුගේ අතවැසියන්ගෙන් ඔහුට ලැබුනේ දැඩි ප්‍රහාරයකි.

තෝ හිතුවද යකෝ තොගෙ කෙලි වලට අනිත් උන් භය උනාට මම භය වෙයි කියලා. මගේ දරුවට අඩත්තේට්ටම් කරන්න උඹ..අද මේකව මම මෙතනම බාවනවා...අත ඇරපල්ලා...යකුනේ...

වෙද රාළගේ කෝපය නිම්හිම් නැත. හදිසි කෝපය නිසා ඔහු කරදරයේ වැටෙන්නට හැකි බව ඉවෙන් මෙන් දැනගත් සෙසු පිරිස ඔහු අල්ලා පසෙකට කොට, රථයේ උන් දෙදෙනාටද බඩකට පුරා සංග්‍රහ කරන්නට අමතක නොකලහ.

තොපි එහෙනං මට අත ඉස්සුවා...නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතාගනියව්...බලාගමුකො....එදාට ඔය කාට කාටත් මේවට වන්ධි ගෙවන්න වෙයි. උඩුතොල පිපිරී වැගිරෙන ලේ බිදක් පිටිඅත්ලෙන් පිසදා ගනිමින් කළු ගාමිණී ගුගුලේය.
.......................................................................................................
මට ඉවසන්න බෑ බොලව්....ඉරුම් පට්ටලේ ඉන්න උන්ටයි...වඩිය පෙරන උන්ටයි එන්න කියාපිය...අද රෑම මම වෙදාව කම්බස් කරනවා...මට අත උස්සපු එකෙක් වැඩිකල් යහතින් තියලා නෑ...

ගාමිණී මහත්තයා..කේන්තියෙන් වැඩ කරන්න යන්න එපා. අපි හිමින් සීරුවෙ හීන් නූලෙන් වැඩක් දෙමු. අපි දෙන්නටත් උන් තැලුවා නොවැ. කොස්තා හිතේ කැකෑරෙන කෝපය සගවාගෙන කථා කරයි.

උණ ගැනුනු එකෙකු මෙන් තටු පොරවා සිටින ලපයා. තවමත් බියෙනි.

කොස්තයියා කියනවා වගේ මහත්තයා ඕවට පැටලෙන්න හදිස්සි වෙන්න එපා...මහත්තයට මොනවා හරි උනොත් අපිත් ගමේ වසලා හමාරයි.

මට මොනවා වෙන්නද බොල...මම වැඩිකල් වෙදාට රජකම් කරන්න දෙන්නෙ නෑ මේ ගමේ.
.......................................................................................................
වෙදරාළගේ ගුටි කෙළිය නිම වී සති දෙක තුනක් ගත වෙන්නට ඇත. තමාට පහර දුන් එකාලාගෙන් පළිගැනීමේ චේතනාවෙන් ගාමිණී තවමත් දැවෙයි.

කොස්තා...මගෙ බඩ ටිකක් රිදෙනවා බං...දැන් ටික වෙලාවක ඉදං...ඊයෙ ඉරුම් පට්ටලේ උන් ඉබි මස් උයලා තිබුනා. මමත් බඩජාරි කමට කෑවා...ඒකද දන්නෙත් නෑ.

ගාමිණී මහත්තයට මං කෝපි එකක්වත් හදලා දෙන්නද...

කොස්තා සකසා දුන් කෝපි කොප්පයෙන් සප්පායම් වී පැයක් දෙකක් ගෙවුන පසු ගාමිණී යටි බඩ අල්ලාගෙන කෙඳිරි ගාන්නට වූවේය. ඉවසන්න බෑ බං..බොකු බඩවැල් අඹරනවා වගෙයි...මේ මොන කරුමයක්ද එක සැරේට මට උනේ.

තව තවත් රෑ බෝ වන විට ගාමිණීගේ තත්වය ඉතාම අයහපත් වූවේය. කෙලින් සිටගෙන සිටීමට පවා නොහැකි වූ ඔහුගේ අකමැත්ත නොසලකා කොස්තා වෙද ගෙදර දිව්වේය.
.......................................................................................................
තොපි මේ ගමට කරපු විනාශය දැකලා දෙයියො දීපු දඬුවමක් වෙන්ට ඇති. ඒත් ඉතිං අපේ ලගට බේතක් හේතක් ඉල්ලගෙන එන හතුරට උනත් උපකාර කරන්නය කියලා තමයි අපේ මුතුන් මිත්තො අපිට කියා දීලා තියෙන්නෙ.

මෙන්න මේ චූර්ණය දෙහි ඇඹුලෙන් අනලා මදටිය ඇටයක් වගේ ප්‍රමාණෙට පුංචි ගුලි හදලා ලෙඩාට ගිලින්න දීපං. ගුලි තුන හතරක් හොඳටෝම ඇති. හැබැයි මේක අනන්න ඕනෙ මැටි භාජනේක දාලා...තේරුනාද ගොයියො.

හිස ගිණිගත් කොස්තා නැවතත් තේක්ක කෑල්ලේ නිවස වෙත එන විට දැඩි වේදනාවකින් බිම වැටී දඟලමින් උන් කළු ගාමිණී ඈත තියාම දුටුවේය.

මම ලපයව යැව්වා ඉරුම් පොලේ වාහනයක් එලවන්න පුලුවන් එකෙක්ව හොයාගෙන එන්න ඉස්පිරිතාලෙටවත් යන්න. මට ඉන්න බෑ යකෝ...තෝ මොන මඟුලකට වෙද ගෙදර දිව්වද...ඔය වෙදාගෙ බේත් බොන්න මට ලැජ්ජාවක් නෑ කියලා හිතුවද ?

එහෙම කියන්න එපා මහත්තයො...වෙද රාළත් මොකුත් නොකියා බේත් ටික දුන්නෙ දැම්ම ලෙඩාට දෙන්න කියලා.

මැටි භාජනයක්ම ඕනෙ මේක අනන්න...කුස්සියෙ භාජන මේ ලපයා කොහෙ තියලද මන්දා. 
.......................................................................................................
වෙද රාළගේ චූර්ණය ගිල අවසන් වනවාත් සමග අසාධ්‍ය වූ කළු ගාමීණී රෝහලට යන්නටත් පෙර අතර මගදී රථය තුලම අවසන් ගමන් ගිය බව ගම පුරා ලැව් ගින්නක් සේ පැතිරී ගියේය.

බේත් කියලා වෙදා වහ කවන්න ඇති. මොනවා උනත් ගාමිණියා මැරුන එක ගමට හොඳයි. අර මන්තිරියා එක්ක එකතු වෙලා කැලේ වැනසුවා ඒකා.

කොහොමත් ගුරුකම් කරලා ගාමිණියව මරනවා කිය කියා නොවැ හිටියෙ . උන්දැ එහෙම කරන්නත් ඇති.

ගම්මුන් තැන තැන රොක් වී මේ මරණය ගැන විවිධ දේ පවසති..

අපේ ගාමිණී මහත්තයට ඔය වෙද රාළ හොඳටම තඩි බෑවා..දැන් ටික දොහකට උඩදි...ඒ බවත් අමතක කරලා කරන්නම දෙයක් නැති තැන තමයි මම වෙද ගෙදරට දිව්වෙ ඔය බේත් ටික අරගෙන එන්න. දෙහි ඇඹුලින් අනලා දෙන්න කියලා චූර්ණයක් තමයි එදා දුන්නෙ මහත්තයො, සිදුවූ සියල්ල කොස්තා පොලිසියේ ලොකු මහත්තයාට විස්සෝපයෙන් යුතුව කීවේය.

වෙද මහත්තයා මේ තියෙන කාරණා කාරණා එක්ක මට තමුන්ව සැකපිට අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා.

අනේ මහත්තයො....ලෙඩ්ඩු දහස් ගානක් සුවපත් කරපු මේ අත් දෙකෙන් මම කොහොමද මිනිහෙක් මරන්නෙ....ජිප් රථයට ගොඩවෙන්නට පෙර වෙද මහතා පොලිස් පරීක්ෂක තුමා දෙස අසරණව බලා සිටියේය.
.......................................................................................................
ඉල් මස මූසල පෙනුම ගත් වැහි කෝඩයක් තිබූ හවසක කළු ගාමිණීගේ නිසල දේහයේ අවසාන කටයුතු සොලමන් මුදලාලිගේ සහ පළාතේ මන්ත්‍රී තැනගේ සහභාගිත්වයෙන් ජන ශූන්‍ය පසුබිමක සිදුකෙරිණි.

කළු ගාමිණීගේ අඩුව ඔහු වාසය කල තේක්ක කෑල්ලේ අටවාගත් නිවසේ වෙසෙන කොස්තාට සහ ලපයාට හොඳින් දැනෙයි.

අපරාදෙ බං,  වෙදාට වේලාසන ගේම දෙන්න හදනකොට අපි ගාමිණී මහත්තයව නැවැත්තුවේ එහෙම නොකලා නම් අද මෙහෙම වෙන්නෙ නෑනෙ. සොලමන් මුදලාලි අලුත් හාදයෙක් එවනවලු මෙතැන බලාගෙන ඉන්න. මට ඉරුම් පලේ චන්දරයා කිව්වෙ ලපයො.

ඒක තමයි මොනවා කරන්නද...ගහක් ගලක් වගේ උන්නු ගාමිණී මහත්තයා මලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. 

කොස්තයියෙ කෝ බං මෙතන කුස්සිය පිළිකන්නෙ නමලා තිබ්බ මැටි භාජනේ...මේ තක්කාලි ගස් වලට දාන පොහොර මම ඒ භාජනේ තමයි හැමදාම කවලම් කලේ.


මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, October 19, 2014

98 සිතියමක් සමග පැය 24 ක්

ඕන්න ඉතිං දෙයියනේ කියලා බොලාට අලුත් කථාවක් ඇද බාන්න සිරා කොලුවා ලෑලි දොරට පයින් එකක් ගහලා විවෘත කොරගෙන කාමරේට ආවා. පහුගිය දොහේ හවස් යාමෙ බොහොම තදට අහස් දිය ඇඳගෙන වැටුන හින්දාමදෝ කාමරේ ඇතුලෙ බොහොම හීතලයි. ඒ හීතල පයිසෙකට මායිම් කොරන්නෙ නැතුව අපි එහෙනං කථාවට බහිමු.

2008 - 2011 කියන කාල වකවානුවෙ ලංකාවෙ මුල් පෙලේ බාහිර ප්‍රචාරන ආයතනයක ග්‍රැෆික් ඩිසයිනර් චරිතයක් විදියට තමයි සිරා කොලුවා රාජකාරි කොලේ. මේ ආයතනයෙ තිබුනෙ අමුතුම උප සංස්කෘතියක්...සිරා කොලුවට මේ වටපිටාව පත්තියන් උනේ නැති නිසා වසර 3කට පස්සෙ එතැනින් ඉවත් උනත්....එකට වැඩ කොරාපු සේවක /සේවිකාවො නම් එක පවුලක උන් වගේ හිටි බව මතක් කරන්නම ඕනෙ.

බොලාට මතක ඇති ලංකාවෙ තිස් වසරක් තිස්සෙ හිඟන්නගෙ තුවාලෙ වගේ සුව වෙන්නෙ නැතුව ඇදි ඇදී ගිය සිවිල් යුද්ධය මේ කාලවකවානුව තුල අහවර වෙච්ච බව. මගේ අද කථාව මේ කාරණයට සම්බන්ධයි.

මේ කියන සේවා ස්ථානයෙ මම උන්නු කොටසෙ වැඩිමල් එකා වගේම වෘත්තීය ජීවිතයෙ අත්දැකීම් වැඩි කෙනා විදියටත් මට වඩා වයසින් අඩු එකාලා එකීලා වට කරගෙන තමයි මම උන්නෙ. උන් ඔක්කොම පුදුමාකාර විදියට එකමුතුයි..ලෙංගතුයි. මේ අතරින් කෙනෙක්ට යම් කිසි රාජකාරියක් අායතනයේ ඉහළ නිලධාරියෙක් භාර කලාම ඒ කාරිය කරන ක්‍රමය පිළිබද අදහසක් නැති නම්...ඒ දේවල් අන්තිමට ඇවිත් නතර උනේ මගේ ලග...අදත් එහෙම දවසක්.

අයියෙ මේ සිතියමක් තියෙනවා හදන්න. අනේ මට තව වැඩ වගයක් තියෙනවා. ඔයාට පුලුවන්ද කරන්න...

නංගි බබෙක් ඒගොල්ලන්ට තියෙන 64 න් එකක් පෙන්නලා දිවා ආහාර වෙලාව කිට්ටුව එහෙම ඇහුවාම ඉතිං මම කාටද මේ කාරිය පවරන්නෙ. අන්තිමට අහක යන සිතියමක් සිරා කොලුවගෙ ඔලු ගෙඩිය උඩට පාත් උනා.

මල්ලි අපි වව්නියාව ආමි කෑම්ප් එකේ IT සෙක්ෂන් එකෙන්...මේක ආමි එකේ වැඩක්....කොහොම හරි කරලා දෙන්න...මේක රටේ අවශ්‍යතාවක්...සිතියම එක්ක හිටිය සිවිල් චරිත දෙකක් මට සම්මුඛ උනා. එතැන කෝප්‍රල් වරු දෙදෙනෙක් සිවිල් ඇඳුමෙන් සිතියම එක්ක රැදී උන්නා.

මට ලැබුන සිතියම මේ වගේ එකක් නෙමෙයි..බොහොම විස්තර සහිත එකක්.
කාරණා කාරණා බලාගෙන යද්දි...මේ රාජකාරිය කොටි වලිගය අල්ලගත්තා වගේ එකක් කියලා මගේ අක්මාවට සැනකින් දැනුනා. ඒත්....

ආමි එකට කොල්ලො ගියේ වෙන කරන්න රස්සාවක් නැති නිසා පඩියට කියලා සම හරක් අවඥා සහගතව කථා කලාට සිරා කොලුවා හමුදාවට එකතු නොවුනෙ ජීවිත අවධානම ගන්න තරමේ නිර්භීත කමක් මට තිබුනෙ නැති නිසා. ඒ හින්දා පඩියට හරි ආමි එකට ගිය හැමෝම මට වීරයො. ඒ මට තිබුනෙ නැති වීරකමක් උන්ට තිබුන නිසා. වැටුපක් ලබන්න හරි තමන්ගෙ ජීවිතය අවධානමකට ලක් කරන්න ශක්තියක්, ධෛර්යයක් හැමෝටම නැති නිසා.

මම කවදාවත් හිතුවෙ නෑ...මගේ වෘත්තීය ජීවිතය තුල ඩිසයිනර් ගොයියෙක් විදියට මගේ සේවය අපේ රටට, අපේ හමුදාවට,  මේ තරම් වැදගත් වෙන දවසක් ඒවි කියලා. ඒ නිසා හමුදා සෙබලෙක් විදියට සේවයට එකතු වෙලා  ඉටුකරන්න බැරි වෙච්ච යුතුකම් කොටස වක්‍රාකාරයෙන් හෝ මේ විදියට මේ අවස්ථාවෙදි ඉටු කරන්න මගේ ඇතුලු හදේ ලොකු අධිෂ්ඨානයක් එකතු වුනා. ලංකාවෙ ජනජීවිතය දශක 3 ක් පුරා පීඩාවට පත් කරපු, අපේ අහිංසක ජනතාව අමු අමුවේ ඝාතනය කරපු මේ කාලකන්නි යුද්ධය අවසන් කරන්න සිරා කොලුවට හැකි විදියට දායක වෙන්නයි මේ සූජානම.

මල්ලි....මෙතැන තියෙනවා එකට පනස්දාහ සිතියම් 3 ක්. මේ සිතියම් 3 එකකට එකක් සම්බන්ධයි. මේ සිතියම් 3 ම එකක් කරලා ප්‍රින්ට් කරන්න ලෑස්ති කරලා දෙන එක තමයි ඔයාට කරන්න තියෙන්නෙ. හමුදා සහෝදරයෙක් මගේ උරහිසට අතක් තිබ්බා.

ඒ එක් සිතියමක් A2 (සාමාන්‍ය හාෆ් ෂීට් 4) ක විශාලත්වයෙන් යුක්තයි. මේ අවස්ථාව වෙද්දි අප සතුව තිබුන ස්කෑනරය A3 (හාෆ් ෂීට් 2)  විශාලත්වයෙන් යුතු එකක්. නමුත් මගේ කරුමෙට ඒ යන්තරේ ඒ වෙද්දි ක්‍රියා විරහිත වෙලා නඩත්තු කණ්ඩායම එනතුරු මග බලාන උන්නෙ. දැන් ඉතිරිව තියෙන්නෙ A4 ප්‍රමාණයේ සාමාන්‍ය ස්කෑනරයක් පමණයි. සිතියමක් කියන්නෙ ඉතාම සියුම් විදියට විවිධ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, ඇළ මාර්ග ආදී දත්ත නිරූපනය කරන එකක් නිසා...කොටස් වශයෙන් ස්කෑන් කොට, එකකට එකක් නියම විදියට පෑහෙන පරිදි යලි එකතු කිරීම ඉතාම අපහසු ක්‍රියාවක්. ඒ නිසා මෙවැනි  සිතියමක් එක්වරම ස්කෑන් කල හැකි ඩ්‍රම් ස්කෑන් නම් විශාල ස්කෑනරයක ස්කෑන් කරන්න අදහසක් මට පහළ උනා.

ඩ්‍රම් ස්කෑනරයක්
මේ යන්තරේ මිළ අධික නිසා ස්කෑන් කරන්න තරමක මුදලක් අය කරනවා. ඒ වෙද්දි කොළඹ නගරය තුල ඒවා ස්ථාපිතව තියෙන තැන් පිළිබද යම් අවබෝධයක් මට තිබුනා. ඉන් එකක් තිබුනෙ ලේක් හවුස් ආයතනයෙ. මම එතැන ඉහළ නිලධාරියෙකුගේ ජංගම දුරබණුවට ඇමතුවා. මගේ අවශ්‍යතාව දැනුම් දුන්නාම එතුමා මට ලබාදුන්නෙ මෙවැනි පිළිතුරක්...

අපේ එකේ ඒවා තියෙනවද....මම දන්නෙ නෑනෙ පුතා...මම දැන් නාට්‍යයක් බලන්න ඇවිල්ලා ඉන්නෙ...හෙට කථා කරන්නකො...

මල්ලි....අපි මේ වැඩේ මෙහෙට ගේන්න කලින් Quotation එකක් ගත්තා. ඒ නිසා ඊට පිටින් වියදම් කරන්න විදියක් නෑ. ඕගොල්ලො  පෙන්නපු වියදම දරලා මේක කරන්න හමුදාවෙන් අනුමත වෙලා තියෙන්නෙ. හමුදා සහෝදර වරු එහෙම කිව්වා.

ඒ නිසා වෙනත් තැනකට සිතියම් යොමු කලොත් ඒවාට ගෙවන්න වෙන්නෙ මගේ සාක්කුවෙන්. මේ කටයුතු ගැන අවබෝධයක් නැති අපේ ආයතනයෙ මූසල මාකටිං කාරයෙක් මේ කාරිය බොහොම පහසු එකක් කියලා හිතලා හමුදාවට මිළ ගනන් දැනුම් දීලා සිරා කොලුවගෙ බෙල්ල බාගෙට මිරිකලා අවසන්...අඩු ගනනේ මේ මිළ ගනන් ඉදිරිපත් කරන්න කලියෙන් විෂය ගැන දැනුමක් තියෙන කෙනෙකුගෙන් ඇහුවා නම් මේ කාරණා නිවැරදි කරන්න තිබුනා.

මල්ලි...අපේ කෑම්ප් එකේ දැන් තියෙන්නෙ මීට කලින් මේ විදියට හදලා ප්‍රින්ට් කරලා බිත්තියෙ ගහලා තියෙන කිලිනොච්චිය සිතියම. අපි දැන් ඒ පැත්ත අල්ලලා ඉවරයි. මේ සිතියම් 3 කිලිනොච්චියෙ ඉදන් මුලතිව් පැත්තට විස්තර පෙන්වනවා. අද ඉදන් දවස් දෙකකට පස්සෙ උදේ 9 වෙද්දි මේ ඔක්කොම අපි වව්නියාව කෑම්ප් එකේ ලෑස්ති කරලා තියන්න ඕනෙ. කොළඹින් ආරක්ෂක ලේකම් තුමා එක්ක හමුදාපති තුමා යුද්ධයේ ඉදිරි සැලසුම් හදන්න වව්නියාවට එනවා. අපි හදන මේ සිතියම තමයි එතැනදි උසස් නිලධාරීන්ට අණ දෙන්න ඒ අය පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ යුද්ධයේ අනාගත සැලසුම් හදන්නෙ මේ සිතියමෙන්. මේක නියමිත වෙලාවට එතැන තිබුනෙ නැතිනම් අපි ඉඳලා හමාරයි. මෙන්න මේ විදියට වටින් ගොඩින් මඳින් මඳ සිරා කොලුවට පීඩනය එල්ල වෙන්න ගත්තා.

තවත් මොහොතක් ඇවෑමෙන් වව්නියාව කඳවුරේ තොරතුරු තාක්ෂණ අංශය භාරව සිටි මේජර් වරයා පිළිබද ඒ අය මා සමග පැවසුවා. ඔහු මා සමග එක පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරෙකුගේ වැඩිමල් සහෝදරයෙක් විත්තිය ඒ කථා බහෙන් මම දැනගත්තා. මම මේ නිලධාරියාගේ මළනුවන් හඳුනන වග මා අසල සිටින දෙදෙනාට දැනුම් දුන්නා විතරයි. ඒ අය ජංගම දුරබණුවක් මගේ කනේ තිබ්බා.

මල්ලි...මම ........ගෙ අයියා...වව්නියාව කෑම්ප් එකෙන්. මම තමයි මේ සිතියමේ වැඩේ භාරව ඉන්නෙ. මේක මෙතැන සූදානම් වෙලා තියෙන්න ඕනෙ වෙලාව ගැන ඔතන ඉන්න අය කියන්න ඇතිනෙ. මේක මල්ලි යුද්ධයේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක සාධකයක්. ඒ හින්දා නියමිත වෙලාවට සිතියම මෙතැන තියෙන්නම ඕනෙ. නැතිනම් මමත් ගස්...ඔයාගෙ අතේ දැන් තියෙන්නෙ බොහොම ලොකු වගකීමක්. හැකි උපරිමයෙන් හැකි ඉක්මනින් මේ උදව්ව කරලා දෙන්න. එහෙම කිව්ව දුරබණුව විසන්ධි උනා.

සිරා කොලුවගෙ ඔලු ගෙඩිය දැන් යකාගේ කම්මල වගේ. එක පැත්තකින් සිතියම ස්කෑන් කිරීමේ ගැටලු...තවත් පැත්තකින් හමුදාවෙන් ලැබුනු වගකීම්, ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩියක් වගේ පීඩාවට පත් වෙලා හිටිය සිරා කොලුවා මේ කාර්යය ආරම්භ කරලා තරමක් දුරට කටයුතු කලත් කොටස් 4 කට ස්කෑන් කරන ලද සිතියමක් එක් සිතියමක් ලෙස එකතු කිරීම ඉතාම අපහසු වෙහෙසකර කටයුත්තක්. පළමු දවස නිමාව සටහන් වද්දී මට එකදු හෝ සිතියමක් සකසන්න අවකාශයක් ලැබුනේ නෑ. ඔයාගෙ අතේ දැන් තියෙන්නෙ බොහොම ලොකු වගකීමක්....ඒ වදන් පෙල මගේ හිතේ දෝංකාර දුන්නා.

මොකද මල්ලි අපි කරන්නෙ....තාම එකක්වත් ගොඩදාගන්න බැරි උනා නේද....කෝප්‍රල් වරයෙක් මගෙන් විමසුවා. ඒ අය මේ සිතියම් වල ආරක්ෂාවට ඒවා හැරදා කොහෙවත් යන්නෙ නෑ. දිවා ආහාරයටත් දෙවතාවකට තමයි ඒ අය ගියේ. හැම විටකම කෙනෙකු සිතියම් වල ආරක්ෂාවට රැදී උන්නා.

LTTE එකේ උන් ලගත් සිතියම් තියෙනවා. ඒවා උන් විසින්ම හදාගත් එ්වා. හැබැයි අපි ලග තියෙන ඒවා තරම් ඒවායෙ විස්තරාත්මක තොරතුරු නෑ. මේ වගේ සිතියමක් බැරි වෙලාවත් උන් අතට ගියොත් අපේ කෑම්ප් වලට ඇස් පියාගෙන ගහයි. ඒ තරම් විස්තර මේවායෙ තියෙනවා. ඒ නිසයි සිතියම් මේ තරම් පරිස්සම් කරන්නෙ. 

කොහොමින් කොහොම දවසක නිමාව සනිටුහන් කරමින් හිරු අවරගිරින් බැස ගියා. නමුත් සිරා කොලුවගෙ හිතට ඉස්පාසුවක්...සහනයක් නෑ. හෙට උදෙන්ම කොතනින්ද මේ රාජකාරිය පටන් ගන්නෙ. මගේ හිත මගෙන්ම අහනවා. රාත්‍රිය උදා උනත් නෙතට නින්ද නෑ. ඉටුකරන්න තියෙන වගකීමේ තරම මෙනෙහි වෙද්දි කොහොම හරි මේ කාරිය සාර්ථකව අවසන් කරන්න හිතට ධෛර්යය මඳින් මඳ කාන්දු වෙනවා. මේක බොහොම තීරණාත්මක රාජකාරියක්. මගේ හිත එහෙම කිව්වා.

පහුවදා උදෑසන රාජකාරියට පිටත් වෙද්දි මේ කාරිය ඉටුකරන්න මගේම කියලා සැලසුමක් හදාගන්න මට හැකි උනා. ඒ අනුව පළමුවෙන් එක් සිතියමක් කොටස් 4 ක් විදියට ස්කෑන් කරන්න අවශ්‍යයි. එතකොට සමස්ත කොටස් සංඛ්‍යාව 12 ක් වෙනවා. ඊට පස්සෙ මේ කොටස් එකතු කරමින් සිතියම් 3 වෙන් වෙන්ව සකසන්න අවශ්‍යයි. ඊටත් පස්සෙ ඒ සිතියම් 3 එකට එකතු කරන්න අවශ්‍යයි. මගේ වෘත්තීය ජීවිතයේ අතිශයින් බැරෑරුම් රාජකාරිය පටන් ගන්න මම සූදානම්.

උදෑසන 8.30 කණිසමට සිරා කොලුවා රාජකාරී ස්ථානයට වාර්තා කරද්දි හමුදා සෙබලුන් දෙදෙනා පැමිණ සිටියා. හොද හුස්මක් අරගෙන මේ කාරිය අද කොහොම හරි අවසන් කරනවා කියන අධිෂ්ඨානය හිතේ ඇතිකරගෙන පරිගණකය ක්‍රියාත්මක කොලා. මගේ සැලසුමට අනුව පියවරෙන් පියවර කරදරයක් නැතුව ඉදිරියට යනවා. එහෙත් සමහර තැනක මම අපේක්ෂා නොකල තරමේ වේලාවක් වැය වෙනවා. දිවා ආහාරයට විනාඩි 20 ක් වත් යන්න නැතුව ඇති. කෝප්‍රල් වරුන් දෙදෙනා ඔවුන්ගේ අත්දැකීම් මා සමග පවසමින් හැම වෙලාවකම මගේ අසලම රැදී උන්නා. යුධ හමුදාවට එකතු නොවුන මමත් රට වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවක යම් සහයෝගයක් ලබා දෙනවා කියන හැගීම නිසාම සන්ධ්‍යාව එළඹෙන තුරුම මට වෙහෙසක් දැනුනෙ නෑ.

කාලය පැයෙන් පැය ගතවෙලා සහෝදර සේවක සේවිකාවන් දවසේ කටයුතු හමාර කරලා නැවත නිවෙස බලා යන්න සූජානම් වෙනවා. නමුත් සිරා කොලුවා තවමත් එක හුස්මට වැඩ. ඔයාගෙ අතේ දැන් තියෙන්නෙ බොහොම ලොකු වගකීමක්....ඒ වචන කීපය වරින් වර මතක් වෙනවා. වව්නියාව කඳවුරේ නිලධාරීන්ගෙන් වරින් වර මා සමග සිටින සෙබලුන් දෙදෙනාට ඇමතුම් ලැබෙනවා.

වැඩේ අවුලක් නැතුව යනවා සර්...අපිට අනිද්දා 09.00 පැයට  මේ සිතියම කෑම්ප් එකේ ලෑස්ති කරන්න පුලුවන්. ඔවුන් එහෙම කිව්වා.

මේ කියන වකවානුවෙ මගේ සේවා ස්ථානය පැය 24 ම විවෘතව තිබුනා. නමුත් එහි රාත්‍රී සේවා මුරය තුල ඩිසයිනර් චරිත රාජකාරි කොලේ නෑ. දිවා කාලයේ ඔවුන් අතින් නිමවෙන දේ මුද්‍රණය කිරීම පමණයි රාත්‍රී කාලයේ සිදු උනේ. ඒ අනුව රාත්‍රී රාජකාරිය භාරගෙන තිබුනෙ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්. ඒ අයත් දැන් මගේ අසලම ඉන්නවා.

මල්ලි රෑට කෑම කන්න කොහෙවත් යන්න එපා. මම ගෙදරින් කෑම එකක් අරගෙන එන්නම්. එක් හමුදා සොයුරෙක් අපේ ආයතනය කිට්ටුව පාතක කෙනෙක්. ඔහු මට නිවසේ පිසූ රසවත් කෑම වේලක් ගෙනැවිත් තිබුනා. රාත්‍රී 11 ට පමණ රාත්‍රී ආහාරයත් ඉතා ඉක්මනින් ලබාගෙන සිරා කොලුවා නැවතත් එක දිගට වැඩ. මගේ හිත දන්නවා මේ රාජකාරිය අහවර කරන්න ඒ ඒ කොටස් අවසන් විය යුතු වේලාව.

අපේ උන්ගෙ වගේම හමුදාවෙ ඇත්තන්ගෙ රස කථා මගේ කන් දෙකට වෑස්සෙනවා. ඒවාට යන්තමින් කන දාගෙන රිදුම් දෙන ඇස් ගෙඩි දෙක ආයාසයෙන් දරාගෙන සිරා කොලුවා පාන්දර 2 කඩ ඉමටත් ලගා උනා. මේ වෙද්දි මගේ හොද පණ ගිහින්. හරියට කලන්තෙ හැදෙන්න වගේ....උදේ ඉදන් පැය කීයක් එක දිගට වැඩ කලාද...වායු සමීකරණයෙන් ලැබෙන නුවර එළි සිසිල මගේ ගිණියම් වූ ඔලු ගෙඩිය සිසිල් කරන්න ප්‍රමාණවත් නෑ.

මල්ලි පොඩි විවේකයක් ගන්න. අපි දන්නවා ගොඩාක් මහන්සි ඇති ඔයාට....ඒත් මේ වෙලාවෙ අපිට විකල්පයක් නෑ. ඉන වටේ තිබුන බෙල්ට් එක ගලවලා දාලා සපත්තු දෙකත් ගලවා ඉවත් කලා. හමුදා සෙබලුන් සෑම පැයකට වතාවක්  මට විවේකයක් ගන්නා ලෙස එතැන් සිට දැනුම් දුන්නත් රාජකාරිය එක්ක බොහොම තදින් බද්ධ වෙලා හිටි මට විවේකයකින් පලක් නෑ.

දැන් වෙලාව පාන්දර 5 යි. සිතියම් 3 එක් සිතියමක් විදියට සකස් කරලා අවසන් උනේ ඒ වෙද්දි. පුංචි පුංචි ඇළ මාර්ග, කෙස් ගස් වගේ දිවෙන මහා මාර්ග එකට එක සම්බන්ධ කරන එක පණයන වැඩක්. වටින් ගොඩින් අඳුර පහවෙන ලකුණු වීදුරු ජනෙල් අතරින් මට පේනවා. හිසේ පැත්තක් නෑ වගෙයි දැන් මට දැනෙන්නෙ. හරියට මහා බරක් හිස උඩ තිබ්බා වගේ...නෙත් කෙවෙනි පියවෙන්න වෙර දරනවා. මම මේ අවස්ථාව වෙන තෙක් ඒවා මොනතරම් නම් පීඩාවට පත් කලාද ?

පාන්දර 5න් පස්සෙ එක් එක් අවස්ථා වල වෙන් වෙන්ව ස්කෑන් කොට සම්බන්ධ කල සිතියමේ කොටස් වල වර්ණ ගැලපීම ආරම්භ කලා. ඒ කාරිය අවසන් වන විට මගේ සහෝදර සේවක කැල අලුත් දවසක රාජකාරියට වාර්තා කරලා.

අයියා අද උදේම වැඩට ආවද ? එකියක් මගෙන් අහනවා.... ඒ දැරිවි දන්නෙ නෑ මම මේ වැඩ කරන්නෙ කලින් දා උදේ සිට බව. ඒ බව ඇහුවාම ඒ මුහුණු විශ්මයකින් ඇලලී ගියා.

දැන් වේලාව උදෑසන 10. සිරා කොලුවගෙ හෘදය තවමත් ස්පන්දනය වෙනවා. මේ CD තැටියෙ අපි කලින් කරපු සිතියම තියෙනවා. ඒකත් එක්ක ඔයාගෙ අලුත් සිතියම එකට සම්බන්ධ කරලා තැටියට දාලා දෙන්න. කෝප්‍රල් චරිතයක් මට එහෙම කිව්වා. ඒ කාරියට තවත් පැය භාගයක වගේ කාලයක් ගත වෙන්න ඇති.

ඕන්න දැන් සිතියමේ වැඩේ අහවරයි. අඩි 14 ක් දිග දැවැන්ත සිතියමක් මුද්‍රණයට සූදානම්. මෙහි තියෙන විශාලත්වය නිසා සැබෑ සිතියමේ කුඩාවට පෙනෙන ඇතැම් දේ මෙහි ඉතාම පහසුවෙන් දැකගන්න පුලුවන්.

මේ වෙද්දි සිරා කොලුවට කෙලින් හිටගෙන ඉන්න පණ නෑ. පැය 24 කටත් වැඩි කාලයක් එක දිගට පරිගණකයක් දිහා බලාන ඉදලා...වැඩ කරලා මගේ නෙත් යුග ගොරකා මඳ වගේ රතු වෙලා.

මල්ලි ඔයාගෙ කම්පියුටර් එකෙන් මේ සිතියම් අපි ඉස්සරහම මකලා දාන්න. Shift Delete ගහන්න. (මකා දමන දෑ පරිගණකයේ කුණු බක්කියේ තැන්පත් නොවන සේ)

හමුදාවෙ ඇත්තන්ගෙ ඒ ඉල්ලීමට මම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා. දැන් ඉතිං මගේ රාජකාරිය අවසන්. කොපමණ වෙහෙසක් දැනුනත් මගේ මේ වෑයම අපේ රටේ හෙට දවසට පුංචි හරි රුකුලක් වේවි කියන හැගීමෙන් මගෙ හිත පිරිලා.

මල්ලි....ඔයා අද කරපු මේ දේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වටිනවා. අපට ඒ ගැන ස්තූති කරන්න වචන නෑ. කවුරුවත් මේ වගේ වැඩ කරන එකක් නෑ. අපි දන්නවා රට ගැන හැගීමෙන් තමයි එහෙම වැඩ කලේ කියලා. අපිට වෙන දෙන්න දෙයක් නෑ. අපේ ස්තූතිය විතරක් දෙන්නම්. හමුදා සොයුරන් මගේ දෑත බොහොම තරයේ අල්ලා ගත්තා.

උදෑසන තේ කෝප්පයත් ඔපීසියෙන්ම තොල ගාලා...මූණ කටවත් සෝදා නොගෙන, සිරා කොලුවා ගම්පහ බලා එන්නට දුම්රිය ස්ථානය වෙත දෙපසට වැනි වැනී සැපත් උනා. එක විනාඩියක් ඇස් දෙක ඇරගෙන ඉන්න බෑ. නින්ද යනවා. දුම්රියේදිත් කට කපලා නිදාගෙනයි ගම්පහට ආවෙ.

නිවසට සම්ප්‍රාප්ත වෙලා මගේ ඇඳ කබලට වැටිලා නෙතු පියන් වසාගත්ත හැටියෙම මම හදපු සිතියමේ මහා මාර්ග, අතුරු මාර්ග, බෝක්කු, වගා ළිං, මාළු වාඩි අරවා මේවා සියල්ලම හරි අපූරුවට පේන්න ගත්තා.

ඒ විදියටයි සිරා කොලුවගෙ වෘත්තීය ජීවිතය තුල මෙතෙක් කරන ලද අපහසුම රාජකාරිය අවසන් උනේ. අද ඒ මතකය අවදි වන සැම විටෙකම මගෙ හිතට දැනෙන්නේ නිම් හිම් නැති සතුටක්.

මම කාමරේ අරින සිරා කොලුවා.

 

ප.ලි

කථාව උපරිම කෙටියෙන් ලියන්නට වෙර දැරීමි. නමුත් මගේ සිතුවිලි වලට බ්‍රේක් නැත. මේ පෝස්ටුව දිග වැඩි නම් කමා කරත්වා. 

බොලාගේ රාජකාරී ජීවිතය තුල මෙවැනි අමතක නොවෙන දවසක් තියේ නම් ඒ බවත් කමෙන්ටුවක් ලෙස කොටාගෙන යන්න. එයින් මේ ලිපිය තවත් සුන්දර වේවි.

Tuesday, October 14, 2014

97 මයෙ මලයා සහ ලේලන්ඩ් දොර

ට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිං................................

ජංගම දුරබණුව කම්පොනය වන්නේ පන්සල් හන්දියේ පුෂ්පෙ කොලුවාගේ ඇමතුමක් නිසාවෙනි. සති අන්තයේ නිවාඩු දවසේවත් ලස්සන හීනයක් බලාගෙන දැරිවියකට තුරුල් වෙලා මල්වත්තෙ අකුලක් අස්සට රිංගන්න මුන් ඉඩ දෙන්නෙ නැති හැටියක්...හිතින් බැන බැන මම දුරබණුව අතට ගත්තා.

මස්සිනා....උඹ තවම නිදිද....පොඩි දෙයක් කියන්න ගත්තෙ...කලබල වෙන්න එපා හැබැයි.

කියපං කියපං කලබල වෙන්නෙ නෑ.

උඹලගෙ මල්ලිට පොඩි කරදරයක්...

ඇයි බං මොකද උනේ....

මට හදිස්සියේ අකුණක් වැදුනා වගෙයි. බම්බලපිටියෙ ලාල් හෑගොඩ මහතාගෙ ඡායාරූපකරණය පිළිබඳ පන්තියට යන්න ඒකා ඉරිදා උදේම නිවසෙන් පිට වෙනවා කියලා මම දන්නවා.

අම්මට තාත්තට වැඩිය විස්තර  කියන්න එපා ඒ අය කලබල වෙයිනෙ බං....ඒකයි මම ගෙදරට ගන්නෙ නැතුව උඹේ එකටම ගත්තෙ.

කියපං යකෝ මොකද උනේ...

මල්ලි ආව බස් එකේ පඩිපෙළ කඩාගෙන වැටුනා හරියටම අපේ ගේ ඉස්සරහදි. ඒකා පඩියක ඉදලා තියෙන්නෙ. හොඳටම තුවාලයි...අද ෆොටෝ පන්ති යනවා කිව්වා. කැමරාව ගැන තමයි මුලින්ම ඇහුවෙ. මම ඒක ගෙදර ගෙනත් තිබ්බා. කැමරාවෙ ලෙන්ස් එකත් හයි කරලමයි තිබුනෙ...ඒකට සීරීමක් වත් වෙලා නෑ. වැටෙද්දි ඇග උඩට වෙන්න ඇති කැමරාව වැටෙන්න ඇත්තෙ. ඒක අපේ ගෙදර තියෙනවා. තව තුවාල කාරයො කීප දෙනෙක් ඉන්නවා. ගෑණු ළමයෙක් හිටියා එයාගෙ මුළු ඇඟම වගේ තුවාලයි. මිනිස්සු එකතු වෙලා ඔක්කොම අයව ඉස්පිරිතාලෙ යැව්වා. උඹ අම්මලව අරගෙන ඉස්පිරිතාලෙට පලයං. මමත් එන්නම්.

මට හිතාගන්න බැරි උනා. නිදහස් ඉරිදාවක මේ වෙච්ච සන්තෑසිය ගැන. හැකි ඉක්මනින් ගෙදර ඇත්තන්වත් සූජානම් කොරගෙන ගම්පහ රෝහලට යද්දි අනතුර සිදු වෙලා පැයකට ආසන්නයි.

හදිසි අනතුරු ඒකකයට යද්දි එතැන එළියෙ පුටුවක මයෙ මලයා වාඩි වෙලා බොහොම දුක්බරව බලා උන්නා. මට දරාගන්න බැරි උනා ඒකාගෙ ස්වරූපය දැක්කාම. අලුත්ම ටී ෂර්ට් එකේ භාගයක්ම නෑ. හරියට ක්ලේමෝ බෝම්බයකට අහු උන එකෙක් වගේ කලිසම වගේම ටී ෂර්ට් එකෙත් කෑලි කෑලි එල්ලෙනවා. අත් දෙක පුරාම ලේ. අත් දෙක ඇඟට ලං කරගන්න බැරි නිසා ඈත් කරගෙන උන්නෙ. ඒකාගෙ පිට සම්පූර්ණයෙන්ම හම ගහලා වගේ. අපේ අම්මට ලේ බලන්න අපහසු නිසා එයා ඇස් දෙක පියා ගත්තා.

මොකද උනේ....මම ඇහුවා...

බස් කාරයා රේස් ගියා. පුෂ්පෙගෙ ගේ හරියෙදි පාරෙන් උඩට ඉස්සිලා තිබුන ටෙලිකොම් මෑන් හෝල් (Manhole) එකක පඩිපෙළ වැදිලා සම්පූර්ණයෙන්ම ගැලවිලා විසිවුනා....බස් එකේ සෑහෙන්න සෙනග හිටියා. මම හිටියෙ යටම පඩියෙ. එතකොට බස් එක 90 ට 80 ට  විතර යන්න ඇති.


පොලිසියේ ගාල් කර තිබියදී මවිසින් ගන්නා ලද අනතුරෙන් පසු බස් රථයේ දර්ශන



ඇඟපුරාම තුවාල තියාගෙන පැයකට ආසන්න කාලයක් අපහසුවෙන් බලා ඉන්න මයෙ මලයා නිසා මට ඇතිවුනේ රෝහල් කාර්ය මණ්ඩලය එක්ක දරාගන්න බැරි කෝපයක්.

මෙච්චර ලොකු ඉස්පිරිතාලයක් වෙලත් පැයක් යනකං ඇයි බේත් ටිකක් දාන්න බැරි. මගේ කෝපය වචන බවට පෙරලුනා. පිරිමි හෙද නිලධාරියෙක් මා එක්ක පැටලුනා.

මේ අය එක්ක ගෙනාපු ගෑණු ළමයට ගොඩාක් අමාරුයි...එයාගෙ ඇඳුම් ඔක්කොම ගලවලා බේත් දාන නිසා මේ අය එළියෙන් තියලා තියෙන්නෙ.

මේ ඉස්පිරිතාලෙටම බේත් දාන්න තියෙන්නෙ එතැන විතරද ? ඒ ගෑණු ළමයට බේත් දාන්න පැය ගානක් ගියොත් මේ අයත් ඒ පැය ගානම ඉවසගෙන මෙතන බලා ඉන්න ඕනෙද...මගේ වචන ඊතල වගේ හෙද නිලධාරියා සොයා ගියා. අන්තිමේදි අපි දෙන්නා අන්තිම දරුණු වාග් සංග්‍රාමයක පැටලුනා. සහෝදර කැක්කුම නිසා මගේ හිත අද මට අවනත නෑ.

මෙන්න මේ මිනිහව එළියට දානවා...හෙද නිලධාරියා වයසක රෝහල් ආරක්ෂකයෙකුට නියම කලා. අනේ බොහොම වයසක මනුස්සයෙක්.

මහත්තයා...මෙතන කළබල කරන්න එපා....අපිට තමයි ප්‍රශ්න වෙන්නෙ...කරුණාකරලා එළියට යනවද...

මම ඉතින් ඒ වචන වලට ගරු කරලා මලයව වහාම පුද්ගලික රෝහලකට ඇතුලු කලා. ඒ ඇත්තො ඉතාම කඩිනමින් තුවාල පිරිසිදු කරලා විශාල ගෝස් කැබැල්ලකින් පිට වහලා රාජකාරිය අහවර කලා. ඒ වෙද්දි මලයගෙ එක අතකට මැහුම් 4 ගානෙ මැහුම් 8ක් ඒකාට දායාද වෙලා තිබුනා.

මේ තියෙන බෙහෙත් හෙට තුවාල වලට දාන්න. පිටට දාලා තියෙන ගෝස් කෑල්ල මේ බෝතලේ තියෙන සේලයින් වතුර වලින් තෙම තෙමා ගලවන්න.

එදා රාත්තිරියෙ මලයා නිදාගන්න විදියක් නැතුව ඇඹරුන හැටි මට හොදට මතකයි. ඇඟ පුරාම තුවාල තියෙද්දි කොහොම නිදා ගන්නද ?

පහුවදා උදේ වරුවෙ බෙහෙත් දාන රාජකාරිය පටන් ගත්තා. මේ වැඩේට අපේ නිවසේ ඉන්නෙ මම විතරයි. තුවාලෙ විශාලත්වය නිසාම මගේ හිතත් සසල වෙලා. මලයගෙ පිට එහෙම් පිටින්ම තුවාලයක්.

මම හිත තද කරගෙන රාජකාරිය පටන් ගත්තා. ලේ වලට ඇලිලා තියෙන ගෝස් කැබැල්ල සේලයින් වලින් පොඟවලා ගලවන්න හැදුවත් ඒක ගැලවෙන්නෙ තුවාලෙ උඩ හම තීරුවක් විදියට ගලවගෙන. මම හෙමින් හෙමින් වෙලාව අරගෙන මේ සම්පූර්ණ කොටසම ගලවගෙන යද්දි තුවාලයේ තරම දැක්කම මගේ ඔලුව කැරකෙන්න ගත්තා. මේ වැඩේ මම කල යුතුමයි කියන කාරණේ සිහිපත් කලාම ආයෙමත් හිතට ධෛර්යය ආවා.

තමන්ගෙ හම ගෝස් කැබැල්ලත් එක්ක තීරුවට ගැලවෙද්දි දැනෙන වේදනාව කොපමණද...නමුත් මලයා එක ශබ්දයක් මුවෙන් පිට නොකර ඒ වේදනාව දරා ගත්තා. මට හරිම පුදුමයි ඒ හැකියාව ගැන.

තවත් දවසක් දෙකක් යද්දි තුවාල කාරයො පිළිබඳ වගේම සිදුවීමේ සුළ මුල ගැනත් මගේ කන් දෙකට වැටුනා. ගම්පහ - ජා-ඇල මාර්ගයේ බස් රථයකට ඒ කාලෙ තමන්ගෙ ගමන නිම කරන්න විනාඩි 40 ක් ලබා දී තිබුනා. මේ අය එයින් විනාඩි 30 පමණම බස් රථය ආරම්භ කරන කලාපයේ අතර මග කොට කොටා ගත කරනවා. අන්තිමේදි විනාඩි 10 ට තමයි ගමන ගිහින් තියෙන්නෙ. ඉතිං වේගය ගැන හිතන්න පුලුවන්නෙ.

මේ අනතුර වෙච්ච දවසෙ රථය පදවලා තිබුනෙ අපේ මාර්ගය හුරු නැති වෙනත් මාර්ගයක රිය පදවපු හාදයෙක්. ගමනේ මුල් කොටස තුල නියමිත වෙලාවෙන් තුන් කාලක් විතර වැය කරපු මේ අය කට කපලා සෙනග හිටිය බස් රථය විනාඩි 5 න් කිලෝමීටර් 10 කට කිට්ටු ගමනාන්තය සොයා ගියා. අවසානයේ අධික වේගයත් එක්ක ටෙලිකොම් ගැට්ටෙ වැදුන බස් රථයේ පසුපස පාපුවරුව එහි දොරත් සමග එළියට විසි උනේ ඒ මත හිටි අයත් එක්කමයි. ඒ කොටස එළියට විසි වී ගියත් රථයේ වේගය නිසා එය නවතාගන්න රියදුරාට තවත් මීටර් 50 ක පමණ දුරක් යන්නට සිදු වී තිබුනා. අන්න ඒ අවස්ථාවෙදි රථය තුල උන්න උසස් පෙළ ශිෂ්‍යාවක් බස්රථයෙ පියගැටපෙල ගැලවුනාට පස්සෙ එතැන ඇතිවුන කුහරයට වැටිලා බස් රථය සමගම ඉදිරියට ඇදිලා දරුණු ලෙස තුවාල ලැබුවා.

මේ තියෙන්නෙ කුහරෙ
බස් එකෙන් එළියට විසිවෙලා වැටුනට පස්සෙ මම ඉක්මනටම නැගිට්ටා. මම දැක්කා ඈතින් බස් එකේ යට ගෑණු ළමයෙක් වැටිලා ඉන්නවා. ඩ්‍රයිවර් කලබලේට පල්ලමක් වගේ තැනක හෑන්ඩ් බ්‍රේක් නැතුව බස් එක නවත්තලා තිබුනෙ. බස් එක ටිකෙන් ටික පස්සට එනවා. කාටවත් අර ළමයා ගැන අවධානයක් නෑ. මම ඉක්මනට බස් එක යටට රිංගලා ගෑණු ළමයට හානියක් නොවෙන විදියට උස්සලා ගත්තෙ. මලයා කාලයක් වෘත්තිකයෙක් විදියට රතු කුරුස සමාජයේ හිටිය නිසා හදිසි අනතුරකදී තුවාල කරුට හානියක් නොවන පරිදි ඔසවන ආකාරය පිළිබද පුහුණුවක් තිබුනා.

එයාගෙ ඒ ක්‍රියාව වීර සම්මාන කමිටුවට දැනුම් දුන්නා නම් සමහර විට සම්මානයක් ලැබෙන්නත් ඉඩ තිබුනා. තමන් මොන තරම් තුවාල වෙලා හිටියත්...ඒ දැරිවියගෙ ජීවිතය බේරගන්න තමන්ගෙ ජීවිතය අවධානම ලක් කරලා මලයා බස් එක යටට රිංගපු එක ගැන තුවාල ලබපු දැරිවියගෙ දෙමව්පියො පස්සෙ දවසක මලයට පින් දුන්නා.

අනතුර සිදුවෙලා දවස් දෙකක් ගතවෙන්න ඇති. හැන්දෑ කොරේ කීප දෙනෙක් අපේ නිවසට සම්ප්‍රාප්ත වෙලා. බස් රථයේ රියදුරා / කොන්දොස්තර තැන / හිමිකරු මේ තිදෙනාම එතැන හිටියා.

බස් එක පොලිසියෙන් අරගෙන ගියා. අපි දෙන්නගෙ බලපත්‍ර කැන්සල් කලා. බස් රථයෙ සේවකයො දෙන්නා මල්ලි එක්ක කියනවා මට ඇහුනා.

මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. මේ රස්සාව නැතුව වෙන කරන්න එකක් නෑ. ලැයිසම නැතුව කවුරුවත් මාව වැඩට ගන්නෙත් නෑ. පොලිසියෙන් කියනවා තුවාල වෙච්ච අය අපේ බලපත්‍ර ආයෙම දෙනවට විරුද්ධ නෑ කියලා පොලිසියෙ අත්සන් කලොත් ඒවා දෙන්න පුලුවන් කියලා.

අපේ පොඩි දරුවො ගැන හිතලා අත්සන් කරන්න බැරිද ? කොන්දොස්තර තැන මලයගෙ අත අල්ලගෙන එතැන බිම වැටිලා පින් සෙන්ඩු වෙනවා.

ආයෙ කවදාවත් මම මෙහෙම බස් එක එලවන්නෙ නෑ. රියදුරා එහෙම කිව්වා.

මම වන්දි මුදලක් දෙන්නං. රථයේ හිමිකරුවා එහෙම කිව්වා.

මට වන්දි එපා....ඒකත් අර ගෑණු ළමයටම දෙන්න. මයෙ මලයා එහෙම කිව්වා.

නඩුවක් ගොණු කරලා හොද වන්දි මුදලක් ගමු කියලා හිත මිත්තරයො යෝජනා කරලා තිබුනත්...මේ සේවකයො දෙන්නගෙන් යැපෙන අය ගැන හිතලා පොලිසියේ අත්සන් කරන්න මලයා කැමති උනා.

නමුත් ගෑණු ළමයගෙ නිවසෙ අය මේ තුන්දෙනාව කුණු හරුපෙන් බැනලා එළවලා තිබුනෙ සමාදාන ඕනෙ නෑ නීතියෙන් බලාගමු කියලා. ඒ වගේම මේ සිද්ධියෙන් තුවාල ලබපු අය අතර නාවික සෙබලෙකුත් හිටියා. ඔහුගේ දකුණතේ ඇඟිලි වලට බරපතල තුවාල සිදු වී තිබුන වටපිටාවක නැවත ගිණි අවියක් භාවිතා කරන්න හැකි වෙයිද කියන ගැටලුව නාවික හමුදා ප්‍රධානීන්ට තිබුනා. මේ සෙබලව හදන්න රජය වියදම් කරලා තියෙන නිසාත්...ගිණි අවියක් හසුරුවන්න නොහැකි වුවහොත් ඔහුගේ සේවයෙන් පලක් නොවන නිසාත් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න තීරණය කල බවක් මට ඒ දවස් වල ආරංචි උනා.

අපට ආසන්න පෙදෙසක හිටිය තුවාල ලබපු දැරිවිය බලන්න මලයා සහ අපේ පවුලෙ අයත් එක්ක මමත් වතාවක් ගියා. ඇය අපි යද්දි නිදාගෙන උන්නෙ.

අනේ දවස පුරාම කෙල්ල මොර දෙනවා...වේදනාව ඉවසන්න බෑ කියලා. මේ අගෝස්තුවෙ උසස් පෙළ ලියන්න හිටියෙ. පන්ති යද්දි තමයි මේක උනේ. මේ පුතා අපේ ළමයව බේරාගත්තෙ කියලා කීප දෙනෙකුම කිව්වා. චීත්ත අගිස්සෙන් දැරිවියගේ මව කඳුලක් පිස දමයි.

මයෙ කෙල්ලට මොනවා හරි උනා නම් මම ඕකුන්ව ඉතුරු කරන්නෙ නෑ. තම එකම දියණිය ගැන පියාගේ කෝපය සාධාරණ එකකි.

ඉස්පිරිතාලෙදි බෙහෙත් දාන වෙලාවට මයෙ දුව කෑ ගහන්නෙ ඕකුන්ව මරපියෝ කියලා....කෙල්ලට ඉවසන්න බෑ වේදනාව. මට දුක දරාගන්න බෑ ඒ වෙලාවට...කොච්චර ආශාවෙන්ද විභාගෙට ලෑස්ති උනේ. දැන් ඔක්කොම ඉවරයි. කාලකන්නි අමනයො සල්ලි පස්සෙ දුවලා අපේ සතුට උදුරගත්තා.

අම්මාට අමතරව තාත්තාගේ නෙතු අගටද කදුළු පුරයි. පියවරුන් හඩන්නේ ලොවට රහසේ කලාතුරකින් දවසක නිසා ඒ කදුළු වල බර වැඩි යැයි මට සිතෙයි.

ක්‍රම ක්‍රමයෙන් මලයා අතුරු ආපදාවකින් තොරව සුවපත් වීම අපගේ නොමඳ සතුටටම හේතු විය. රතු කුරුසියේ මලයාගේ සහෝදර සේවක කැළ වතාවක් දෙකක් අප නිවසට පැමිණි  අතර මලයාගේ අනතුර නිසා මහත් කැළඹීමට පත් යුවතියක දුටුවෙමි. ඇය ඒ වන විට මලයාගේ පෙම්වතිය බැව් ඒකා කියා තිබුනේ මා හට පමණකි. අද ඇය මලයාගේ පතිනියයි.

කාලයේ අවෑමෙන් නඩු නොගොස් බස් රථය බේරාගන්නට එහි හිමිකරු නාවිකා සෙබළාට මෙන්ම දැරිවියටද වන්දි මුදලක් ගෙවූ බව අසන්නට ලැබුනි. රියදුරා සහ කොන්දොස්තර ඉවත් කොට අලුත් දෙදෙනෙකු සමග අළුත්වැඩියාවෙන් පසු නැවත ගමන් ඇරඹූ  මේ බස් රථයෙන් බේබද්දෙකු ඉවතට විසි වී මිය යාමත්...ඒ හා සම්බන්ධ නඩු හබත් නිසාම බස් කෙරුවාව තිත්ත වූ හිමිකරු බස් රථය විකුණා දැමූ බව තවත් කාලයකට පසු ආරංචි විය. අලුතින් බස් රථය මිළට ගත් තැනැත්තා එය තවමත් අප මාර්ගයේම ධාවනය කරවයි.

මලයාගේ අනතුරට සම්බන්ධ රියදුරා සහ කොන්දොස්තර තැන මා පිටරට පැටවෙන අවස්ථාව දක්වාම අප මාර්ගයේ බස් රථ වල සේවය කරමින් සිටි අතර. රියදුරා මේ සිදුවීමෙන් උගත් පාඩම් නිසාදෝ එයින් පසු අධික වේගයෙන් ධාවනය කලේ නැත. කොන්දොස්තර තැන මලයා හැම විටම ගාස්තුවෙන් නිදහස් කළේය.



මම කාමරේ අරින සිරා කොලුවා.


Thursday, October 9, 2014

80 බන්දුල බාප්පා

කවුද මේ නොසන්ඩාල අවලං වැඩේ කරපු එකාලා...හොයාගෙන ඇවිත් කන පැලෙන්න දෙන්න කලිං මේ කාර් එකේ ලියලා තියෙන කුණු කථා ටික මකනවද නැද්ද ?

මේ වෙඩිම සිරා කොලුවාගේ ඥාති සහෝදරයෙකු වන අතුල අයියාගේය. උගේ ජීවිතයේ ලස්සනම දවස ජල්තර කරන්න හදන්නේ කවුද ඩෝ...සිරා කොලුවාගේ සිංහයා ඇතුලු හදේ අවදි වී ඇති සෙයකි.

අත පය දෙපසට වනමින් කෑ ගසනා චරිතය දුර තියා හදුනාගැනීමට අපහසු නැත. ඒ අපේ බන්දුල බාප්පාය. හොදින් වැඩුනු උස මහත සිරුරක් සහිත මේ චරිතය කෝප වූ විටෙක පාලනය කිරීම උගහට බැවින් ඥාති සමූහයා ඔහු වටා රොක් වී කාරණේ කුමක්දැයි විමසති.

බන්දුල මල්ලි පොඩ්ඩක් ඉවසලා හිටියා නං....

නෑ කරුණෙ අයියෙ...අපේ කොල්ලෙක් අද බැන්දෙ...මෙහෙම කැත කථා වාහන වල ලියන එක හරිද...මට අහුවුනොත් කණ පැලෙන්න දෙන්නෙ. බන්දුල බාප්පා නිම්හිම් නැති කෝපයෙන් මොර දෙයි.

සිරිලංකා ගුවන් හමුදාවේ නිළ දරුවෙකු ලෙස යුද්ධය ඉතාම දරුණුවට ඇදී ගිය කාලයේ චීන වරාය කඳවුරේ සේවය කල බන්දුල බාප්පා වූ කලී කදිම රසවතෙකි. මගේ පියානන්ගේ නැන්දනියගේ පුතුන් හතරදෙනාගෙන් කෙනෙකු වන ඔහු අපට නැදෑකමින් බාප්පා කෙනෙකි. නමුත් අනිකුත් බාප්පලා අතර අපට වඩාත්ම සමීපතමයා ඔහුය. ඒ නිසාම සම වයසේ ඥාති පුතුන් තම තමන්ගේ ආදර ගැටළු, භෞමික අඛණ්ඩතාවය මොට වීම ආදී ප්‍රශ්න සියල්ල ඉදිරිපත් කලේ ඔහු වෙතය.

වෙනදාට සොමිබරව සිටින ඔහු මේ අවස්ථාව වන විට කෝපය ඉහවහා ගොස් ඇති නිසා ඊලගට සිදුවෙන්නට යන්නේ කුමක්දෝයි සිතන ඥාති ජන සමූහයා මගුල අස්සේ තෝන්තු වී සිටිති.

මගුලේ මනාලයා වූ අතුල අයියා පැණි හද කෑමට පිටත්වීමට මොහොතකට පෙර පෙරලුනු බාල්දිය ගැන විස්සෝපයෙනි.

මොහොතක ඇවෑමෙන් හිස බිමට හරවා ගත් චරිත 3 ක් මංගල රථය අසලට පැමිණෙන අයුරු පෙනෙයි. රථයේ පසුපස වීදුරුව මත දන්තා ලේප භාවිතයෙන් ලියූ අසැබි වදන් පෙළකි. ඒවා සීමාව ඉක්මවා ඇති බව බන්දුල බාප්පාගේ අනු මස්තිෂ්කයට වැටහී තිබේ.

ගුටි නොකා ඉක්මනට මකපල්ලා...බන්දුල බාප්පාගේ මුහුණ ආතුරයාගේ ශරීරයට වැහුනු යක්ෂයා එලවන්නට දත කන කට්ටඩියෙකුගේ වැනිය. මුහුණ දහඩියෙන් පෙගී ගොසිනි.

මනාලියගේ සහෘදයන් ඔවුන් දෙපලට දෙන්නට සූජානම් කොට තිබූ පුංචි පහේ රැග් එක ලත් තැනම ලොප් වී අතර මග කෙළවී අවසානයේ කුජීතම වී ඇත. කොහෙන්දෝ පාත් වූ බන්දුල බාප්පා ඉදිරියේ උනුන් මුහුණට මුහුණ බලාගෙන සිටිති.

මේ මගුලෙ බන්දුල බාප්පා හිටියා නම් දෙතුන් දෙනෙක් ඉස්පිරිතාලෙ බඩගානව ෂුවර්
ඡායාරූපය ඉස්සුවෙ මෙතැනින්


විනාඩි කීපයක් අතරතුර රථයේ කුණු හරුප නළ ජලයෙන් සේදි ගියෙන් මංගල රථය පැණි හද කන්නට යන ගමනට  සූජානමෙනි. බාප්පාගේ කෝපය අශෝක වීදුරුවට වැටුන තේ යාරයක රස්නය මෙන් කෙමෙන් කෙමෙන් පල්ලම් බසියි.

සභාව සන්සුන් වී ගුණ කථන / අවවාද  / ළමයි හදන ආකාරය  ආදී  නව යුවල කෙරේ උපන් අනුපමේය අනුකම්පාවෙන්, දැන උගත් වැඩිහිටියන්ගේ බොක්කෙන් ඉපදුන අදහස් සභා ගත වී හමාර වෙන විට අතුල අයියා තුල තදියමේ සලකුණු හොදින් පෙනෙයි.

ඒ අවසරයෙන් මනාලිය කෙරේ පැමිණි ඇගේ යෙහෙලියන්  ඇය ඒ වන විට හැඳ සිටි ගවුම් කර අතරින් අත දමා පෝරුව අභියස පුන් කලස් සැරසූ පොල් මල් වලින් නෙලාගත් බීජ වැනි කොටස් වලින් ඇගේ පුන් පියයුරු යුවල වට කෙරුවේ නුදුරේදී අතුලයාගෙන් එල්ලවිය හැකි අතුරු ආපදා වලින් ඒවා රැකගන්නට විය යුතුය.

ඔය වගේ අහිංසක විහිළු කලාට කමක් නෑ...අර වගේ කුණුහරුප නොලියා....මෙච්චර ලස්සනට වියදම් කරලා මගුලක් කාලා, ලස්සන ඇඳුම් ඇදලා, වටිනා වාහනේකටත් නැගලා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න කුණුහරුප ලියාගෙන යනවා...මොකක්ද ඒ චාරිත්තරේ.....


පොල් මලෙන් කල විහිළුව බන්දුල බාප්පා කෙරෙන් අනුමත වූයෙන් නව යුවල සිත් සතොසින් ගැරඬියන් සේ එකට වෙලී ඔවුන්ගේ ලොවක තනි වෙන්නට පිටත් වූහ.

හැබෑටම බන්දුල බාප්පා මේ කියන මගුලේදී මේ තරම් කිපුනේ මන්දැයි සිරා කොලුවාගේ අක්මාවට වැටහෙන විට ඒකාද කසාදයක් කොරගන්නා වයසට පැමිණ තිබුනි. ඉස්සර දවසක මෙන් නොව දැන් බන්දුල බාප්පා සමග එක මේසයක හිඳ බියර් වීදුරුවක් තොල ගාන තරමට අපට උසස් වීම් ලැබී තිබේ. එවන් විටෙක මම මේ පරණ සිදුවීම මතක් කලෙමි.

ඇයි බාප්පට එදා ඒ තරමට තද උනේ.

මට කොහොමත් මගුල් ගෙවල් වල රැග් කරන උන් පේන්න බෑ. ඒකට හේතුව තමයි අපි බැඳපු දවසෙ අපි වින්ද දුක.

බන්දුල බාප්පා විවාහ දිවියට එළඹෙන විට සිරා කොලුවා සූටි එකෙකි. ඒ කාලයේ අද මෙන් හනිමුන් සොමිය ගන්නට දින ගනන් වැය කරමින් රට පුරා කරක් ගැසුවේ නැත. අද මගුල කෑවා නම් පහුවදා දෙවැනි ගමන සිදුවෙයි. එවන් වටපිටාවක එළඹෙන පළමු රැය තිබහෙන් සිටි එකෙකුට කෙතරම් නම් වටිනේදැයි කම්මල අයියා හෝ එලද බ්‍රා මෙන්ඩිස් අයියා බොලාට කියා දෙනු ඇත.

ඉතින් පළමු දවසේ මගුල කා...හෝටලයට ගොස් අනිත් එකත් කන්නට සැරසෙන විට බන්දුල බාප්පාට මෙන්ම ඔහුගේ සහකාරියටද තරු පෙනුනේ මිතුරු මිතුරියන් කර තිබූ ජඩ කුමන්ත්‍රණය හෙළි වීමෙනි.

එකල තිබුනේ ශාරීරිකව ක්‍රියාත්මක නොවන මෙවැනි වර්ගයේ රැග් විය යුතුය. මනාලියගේ මෙන්ම මනාලයාගේද පහුවදා ගමනට අඳින්නට නියමිත ඇදුම් එකට තබා වාර සිය ගනනක් අරමුණක් නැතුව ඒ මේ අත මසා දමා තිබේ.

ඉතිං කොල්ලො....එදා රෑ ඇඳට වෙලා එළිවෙනකං ඇඳුම් ඩැමේජ් වෙන්නෙ නැති වෙන්න මැහුම් කප කපා ඇඳුම් දෙක වෙන් කරගත්ත එක අපි දෙන්නා කලේ. අවලං හැත්තක් අපේ සොමිය කෑවා. අන්න එදා ඉඳලා තමයි මට ඔය මඟුල් ගෙවල් වල ජෝඩුවට වද දෙන උන් පෙන්නන්න බැරි. අතුල අයියාගේ මගුලේදී බන්දුල බාප්පාට තද වූයේ මන්දැයි දශකයකට පමණ පසු එසේ දැන ගතිමි.

හැඩි දැඩි සිරුර නිසාදෝ මගුලකට පැමිණි කල්හි බන්දුල බාප්පාට තරමක වෙනසක් වන්නට නම් රහමෙර බෝතල කීපයක් වත් හිස් කල යුතු වේ. ඇතැම් දිනෙක පදම ඉක්මවා යයි. සමහර දිනෙක ඔහු කිසිම හේතුවක් නොමැතිව මහා හඩින් හඬා වැලපෙයි. එවන් විටෙක මගේ පියා හෝ වෙනත් වැඩිහිටියෙක්,

අන්න බන්දුලට අඬන වෙරි ඇවිල්ලා යනුවෙන් පවසයි. මේ වදන කාන්තා පිරිමි භේදයකින් තොරව අප පවුල් වල බොහෝ දෙනා දනිති. කලාතුරකින් දවසක බාප්පාට අඬන වෙරි තැපෑලේ පැමිණෙන බව දැනෙන විට වැඩිහිටියෝ ඔහු වසං කරති.

බාප්පා අඬන වෙලාවට අඬන්නේ මනාලයා බදාගත් වනමය. එයින් මට ගම්‍ය වූ කරුණ වූයේ තනිකඩ ජීවිතයේ අවසානය සනිටුහන් කරමින් තවත් එකෙකු වලට වැටෙන හෙයින් බාප්පාගේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන වේදනාව කඳුලු බවට පෙරලෙන බවකි. කලාතුරකින් දවසක එසේ වුවද පසුදා වුව ඔහු සිටින්නේ පෙරදා කිසිවක් නොවූ අයුරිනි.

ගුවන් හමුදාවෙන් සමුගත් බන්දුල බාප්පා වරාය අධිකාරියේ රැකියාවට එක් විය. එහිදී ලද වැටුප සැළකිය යුතු එකක්ම වූයෙන් කෙටි කලෙකින් ඔහු නව නිවසක් ඉදිකර වාහනයක හිමිකරුවෙකුද විය. ඔහු මිළදී ගත් වෑන් රථය පසු කලෙක විකුණා දැම්මේ ඔහු වර්තමානයේ ජීවත් වන පළාත කිට්ටුව පාතක හාදයෙක්ට බව බාප්පා එකල මට කිව්වා මතකය. මුලින් කොටසක් ගෙවා ඉතිරිය සතියක් තුල ගෙවන පොරොන්දුව පිට ගණුදෙනුව අවසන් විය. එහෙත් සතිය දෙසතිය වුවද ඉතිරි කොටස නැත. ඉවසීමෙන් සැනසීම නොලැබුන තැන බාප්පා අදාළ තැනැත්තාගේ නිවෙස බලා ගියේ දෙකින් එකක් අද බේරාගන්නා බව කියමිනි.

මහත්තයා සමාවෙන්ට ඕනෙ....සල්ලි ටිකක් හිර උනා...ලබන සතියෙ දිහාට.....

කථා කරන්න එපා...මට හැමදාම මෙහෙ බඩගාන්න බෑ. අද මේ ගණුදෙනුව ඉවරයක් කරමු.

ඉතිරි කොටහට ඔය පරණ වාහනයක් වත් හුවමාරු කරමු එහෙනං...

මොනවද තියෙන්නෙ ඔහේ ලග

ඔය පෝටිකෝව යට තියෙන ලාන්සර් බොක්ස් එක හරි මිට්සුබිෂි ඩෙලිකා L300 වෑන් එක හරි අරගෙන යන්න....

බාප්පා මේ වාහන පරීක්ෂා කරන අතර තුර ඈතින් වූ දරමඩුවක වසා දමා ඇති රථයක් පෙනෙයි.

අරක මොකක්ද ?

වැඩක් නෑ ඒක විකුණන්නෙ නෑ.

පොඩ්ඩක් යමු බලන්න...බන්දුල බාප්පාගේ අතකින් රථයේ රෙදි ගැලවී බිම වැටෙයි.

අඩේ....මේ තියෙන්නෙ මරු බඩ්ඩක්...මේක මම අරගෙන යන්නම්...




බාප්පා මෙන්ම සිරා කොලුවාද එකසේ මනාප ෆොක්ස්වැගන් බීට්ල් 7 ශ්‍රී ලෙමන් කහපාට රථයක් බාප්පාගේ නිවසේ ගරාජයට ඇතුලු වූයේ එදායින් පසුවය.

අහම්බෙන් දවසක බන්දුල බාප්පාගේ නිවසට ගිය මාගේ දෙනෙත් අදහාගත නොහැකි වූයේ මගේ සිහින රථය එහි තිබෙනු දැකීමෙනි. මගේ ආශාව පිළිබද දන්නා බාප්පා....

උඹට ඕනෙ නම් කොල්ලො ඕක අරගෙන පලයං...පුලුවන් දවසක සල්ලි දීහං...

කීයද ගාන...

දෙක හමාරයි...මම අරගෙන එනකොට ඕකෙ වයර් සෑහෙන්න මීයො කාලා තිබුනෙ....ඒවා හදලා සීට් ඔක්කොමත් කුෂන් කලා. මට ගිය වියදම් නැතුව උඹට ගාන කිව්වෙ...

මම ඒ වෙලාවේම මෑණියන් දෑ ඇමතුවෙමි.

අම්මේ බාප්පගෙ කාර් එකක් තියෙනවා ඉබ්බෙක්....මම අරගෙන එන්නද ගෙදර ?

අපෝ එපා...ඔය ලදරං දාන්න මෙහෙ ඉඩත් නෑ...පඩිය ඔක්කොම ඉවර වෙයි ඕවයෙ කැඩෙන ඒවා හදන්න ගියාම...ඒක ඉබ්බෙක් කිව්වා නේද...ඔය ළග පාත ඇළකට දැම්මොත් නරකද ?

මවගේ විරෝධය නිසා මවිසින් රැගෙන නොගිය ඉබ්බා කාර් එක පසුකලෙක බන්දුල බාප්පා අතට ගානක් කැපෙන පරිදි විකුණා තිබුනි.

සිරා කොලුවා රට පැටවෙන්නට මාස කීපයකට පෙර බාප්පාට සිදුවූයේ අකරතැබ්බයකි. නිවසේ වහළයේ වූ අලුත් වැඩියාවක් සදහා කෙට්ටු ඉනිමගක් දිගේ ඉහළට නැගුනු ඔහුගේ විශාල ශරීරයේ බර තව දුරටත් දරා ගත නොහැකිව ඉනිමග දෙකඩ විය. බිම පතබෑවුන බාප්පාගේ එක් අතක් විසන්ධි වූයෙන් ඔහු නිවසේ අැඳ මත දපාගෙන සිටින විට සිරා කොලුවාට සම්මුඛ විය.

ඉතිං කොල්ලො...හොද ෆොක්ස්වැගන් දෙක තුනක් තියෙනවා....හිටහංකො අත හොඳ වෙනකං....ඔහුට මගේ ආගමනය කැඩුනු අත පවා අමතක කර තිබුනි.

වෑල්ඩිං වැඩ / විදුලි කාර්මික වැඩ / ජලනල වැඩ /රථ වාහන කාර්මික වැඩ / මේ කොයි දේත් බන්දුල බාප්පාට කජු කනවා වැනිය. යමෙකු වැඩ කරන දෙස බලා සිටි පමණින් ඔහුට ඒ කාරණය තනිව ඉගෙන ගන්නට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ඉහත කී හැම දෙයක්ම ඔහු එලෙස ඉගෙනගත් ඒවාය.  සිරා කොලුවාගේ අතිජාත ස්කූටරය මිළදී ගත් අලුතම එහි බොහෝ වැඩ කටයුතු සිදු වූයේ ඔහුගේ දෑතිනි. ‍

එහෙත් ඔහු හෝටල් පාසලේදී ඉවුම් පිහුම් ඉගෙනගත්තේ කුමන ආශාවක් නිසාදැයි මම නොදනිමි. එම අධ්‍යාපනයට පින්සිඳු වන්නට ඥාති වෙඩිම බොහොමයක ගාස්තුවක් අය නොකරන බයිට් සාදන්නා වන්නේ බන්දුල බාප්පාය.

මල්ලියෙ කොහොමද කුකුල් මස් මේ තරම් රහට හදන්නෙ...බාප්පාගේ වැඩිමල් සහෝදරියක් විටෙක අසයි.

උඹලට ඕවා නිකං කියා දෙන්න බෑ. මට ඒවා ඉගෙන ගන්න වියදමක් ගියා...යනුවෙන් පවසා ආඳා මෙන් ලිස්සයි.

සිරා කොලුවා වන මම විදේශගත වූයේ ඥාති හිතමිත්‍රාදින් කිසිවෙකුටත් දන්වා නොවේ. එය බන්දුල බාප්පාටද පොදු විය. රට පැටවී වසරකට පමණ පසු මම ජංගම දුරබණුවෙන් බාප්පා ඇමතීමි.

කවුද කථා කරන්නෙ...

මම අහවලා...

අප්පට සිරි මේ ෆොරීන් ඩයල් එකක්නෙ කථා කරන්නෙ.... ඉතිං ඉතිං...

කථා බහ විවිධ අතුරු මාර්ග දිගේ ඇර සොයිසා කියමින් යයි....

මෙහෙ වාහන නම් බොහොම ගනං අඩුයි බාප්පෙ....ලංකාවට ගේන්න බෑනෙ ඒකයි අවුල...

ලංකාවට ගෙනාවෙ නැති වුනත් කමක් නෑ කොල්ලො...ඔහෙ ඉන්න කාලෙට හරි එකක් පැදහං...පුලුවන් නම් ලංකාවට ආව දවසක ජිප් එකක් ගනිං...ජිප් තමයි ලංකාවට හොදටම අල්ලලා යන්නෙ.

මම පොඩි තේ ඉඩමක් ගත්තා බුලත්සිංහල...උඹට කිව්වද ?

නෑනෙ...

ඒකෙ පොඩි බංගලාවක් තියෙනවා...ඒක හොදට හදලා...නිවාඩු  දවසක නැවතිලා ඉන්න  පුලුවන් තරමට ගේන එක තමයි ඊලග ප්ලෑන් එක.

ඒක නෙමෙයි කොල්ලො...මගේ ඉඩම එහා පැත්තෙ ඉඩම අයිතිකාරයා මගේ හොඳ යාලුවා. මිනිහට ලස්සන දුවෙක් ඉන්නවා, ------------------- ඉස්කෝලෙ උගන්වන ටීචර් කෙනෙක්. මොකද කියන්නෙ උඹට සැට් කරන්නද ? මම කිව්වොත් යාලුවා බෑ කියන්නෙ නෑ. හැබැයි කේන්දරේ නම් ගැලපෙන්නම ඕනෙ පුතේ.

කෙල්ල ලස්සනද ?

උඹ මොනවා කියනවද කොල්ලො...මේ බාප්පා එහෙම අප්සට් ඒවා සෙට් කරයි කියලා හිතුවද අපේ එකෙක්ට..

මේ දවස් වල මගේ කේන්දරේ අවුල් තව අවුරුදු දෙකක් වත් ඉන්න වෙයි වගේ

ඒ වෙද්දි ඒ කෙල්ල බැඳලා ළමයිනුත් ඉඳියි. කේන්දරේ බල්ලට දාලා බැඳපං....

අපෝ බෑ...අපේ අම්මා කැමති නෑ එහෙම කරනවට...

කාලය විටෙක ඉඹි ගමනින්ද තවත් විටෙක අතිධාවන වේගයකින්ද ඉඳිරියට ඇදෙයි. ලංකාවේදී කල කී දෑ නිතර මෙනෙහි වෙයි. මවුබිමේ ලස්සන දවසක සිත නතර වෙයි.

සුදු සීයා නමින් අප හැදින්වූ, අද ජීවතුන් අතර නැති දුරින් ඥාතියෙකු වූ කෙනෙකු වරක් බන්දුල බාප්පාට ෆොක්ස්වැගන් කාරයක් පිළිබද  ඔත්තුවක් දී තිබුනි.

අඩුවට ගන්න පුලුවන් වාහනයක් බන්දුල මල්ලි...ඉක්මනින් බලන්න...

සුදු සීයාද කාලයක්ම තමාගේ කියා මොරිස් මයිනරයක් තිබූ අයෙකි. ඒ නිසා පැරණි වාහන පිළිබඳ නිතරම අවධානයෙන් සිටි කෙනෙකි.

කොල්ලො මේ ඉරිදා වරෙන් කාර් එකක් තියෙනවා බලන්න යන්න..අඩුවට සෙට් උනොත් උඹ ගනින්...

බාප්පා රථ වාහන බලන්න ගිය කිසිම ගමනකට රෝද 4 පාවිච්චි කරන්නේ නැත. ඔහු එවන් ගමනකදී බර දෙන්නේ රෝද 2 වෙතය.

කෙහෙල් දළු පැහැති 4 ශ්‍රී ෆොක්ස්වැගන් වැට මොඩ්ල් රථයක් අප එහි යන විට නිවෙසක අඟුවේ තිබුනි. පිටත පෙනුම ඉතා අගනේය. පින්තාරුව ඉතාම හොඳ තත්වයේ තිබේ. වාහනයේ නිකල් කොටස් හිරු එළියෙන් දිළිසෙයි.

නියමෙට තියෙනවා වගේ මේක නම් නියම භාණ්ඩයක්...

බාප්පා නියමයි කියන්නට ඉස්සර වූයේ නැත. රථය වටේ වට දෙක තුනක් කැරකුණු ඔහු වසා තිබූ වීදුරුවක් පහත් කරමින් රථය තුලට හිස යොමු කළේය.

මෙන්න බලහං, උඹ හොදයි කියපු එකේ අඩිය නෑ.

ෆොක්ස් වැගන් රථය තුල පතුලක් කියා නාමයක් නැත. රථය තුලින් සම්පූර්ණයෙන්ම වාගේ මහ පොළොව පෙනෙයි.

දෙයකට හොඳයි කියන්න ඉක්මන් වෙන්න එපා කොල්ලො. ටිකක් වෙලා ඉවසිල්ලෙන් බලහං....උඹ බඳින්න කෙල්ලෙක් බලන්න ගියත්....මේ වැට මොඩල් ෆොක්ස්වැගන් කාර් එක මතක තියා ගනින්...පිටින් ඔපේ යටින් හපේ බව එතකොට සිහියට එයි.

දර ගොඩක් වෙනුවෙන් වැය කල කාලය පිළිබද තැවෙමින් මේ කියන දවසේ  යළි නිවසට පැමිණියත්....මේ මොහොත දක්වාම බාප්පාගේ අවවාදය මට අමතක වී නැත. මේ වදන මෙයට පෙර නොයෙක් වාරයක් අසා ඇති මුත් එය ශරීරයට ජීරණය වන තරමට ප්‍රත්‍යක්ෂ වූයේ නම් එදාය.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරා කොලුවා යනු උග්‍ර ඇන්ටික් උණක් සහිත එකෙකි. ඒ නිසාම මවිසින් 2008 වසරේදී Flickr වෙබ් අඩවිය තුල ආරම්භ කල වොක්ස්වැගන් බීට්ල් සමූහය, මේ වන විට ලොව පුරා බීට්ල් ලෝලීන් විසින් එකතු කල ඡායාරූප 6000 කට වඩා ප්‍රමාණයකින් සන්නද්ධව තිබේ....ඔබත් බීට්ල් ලෝලියෙකු නම් මෙතනින් ඒවා නරඹන්න.
Related Posts Plugin for WordPress, Blogger...