Showing posts with label මා බාල කාලේ. Show all posts
Showing posts with label මා බාල කාලේ. Show all posts

Monday, August 31, 2015

77 සිරා කොලුවාගේ ගායක සිහිනේ...

සිරා කොලුවා පුංචිම සන්ධියේ සිටම ගායනයට මනාපය. ඒ බැව් මගේ ළමා කාලය පිළිබඳ මෙනෙහි කරනා විටෙක නිරායාසයෙන්ම සිහියට නැගෙයි. මතකයේ අග රැඳුන කවියක් සී පදයක් ටින් බෙලෙක්කයකට මහ හඬින් පහර දෙමින් අඳුර වැටෙන විට නිවසේ ඉස්තෝප්පුවට වී උස් හඬින් ගායනා කිරීම සිරා කොලුවාගේ ඒ කාලයේ සිරිතයි.

මම ඉතා කුඩා එකෙකු සන්ධියේ අපේ ගමටම විදුලිය තිබුනේ නැත. ඒ නිසා අඳුර වැටෙන විට අම්මාගේ සුරතින් දැල්වෙන කුප්පි ලාම්පුවකින් නිවස තුල අඳුර මැකෙන විට මගේ ගායනයන් දිනපතාම වාගේ ආරම්භ වෙයි. මේ ගායනා ඇසීමට වඩාත්ම ප්‍රිය කලේ අපේ අසල්වැසි නිවසේ වාසය කල ජෑස් කොල්ලා බව මම සංවේගයෙන් යුතුව සිහිපත් කරන්නේ ඔහු අපෙන් සමුගෙන බොහෝ කලක් ගත වී ඇති හෙයිනි.

ගායනය උස්ව නැගෙන විට ජෑස් කොල්ලා අපේ නිවසටම පැමිණ මගේ මිත්තනිය ආසන්නයේ හිඳගෙන නිහඬව මගේ ගායනය දෙස බලා සිටි ආකාරය මට ඉතා හොඳින් තවමත් මතක තිබේ. මයෙ මලයා බහ තෝරන වියට පැමිණි විට මගේ ගායනයට ඔහුගේ සහායද ලැබුනි. ටින් බෙලෙක්කයක් වාදන භාණ්ඩයක් කරගනිමින් කරගෙන ගිය අපේ මේ ගායනා අඳුරේ ගිලුන අපේ ගමේ පාලුව නසන්නට ඇත.

එක තැනක ඉන්නට බැරි මහා කඩි ගායක් කුඩා කල මා හට වැළඳී තිබුන නිසාම ඒ කාලයේ සිරා කොලුවාගේ ඥාති සමූහයා මගෙන් ගායනා බලාපොරොත්තු වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් මගෙන් බලාපොරොත්තු වූයේ නැටුම් අංගය. විශේෂයෙන් විවාහ මංගල උත්සව වලදී අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පොඩි එකෙකු හෝ මහ එකෙකු නර්තනයෙන් සභා තොමෝ කුල්මත් කරනා විටෙක බන්දුල බාප්පා මා සභාවට යවා අපේ පාර්ශවයටද ලකුණක් දෙකක් රැස් කළේය.

අපේ ගමට විදුලිය සම්ප්‍රාප්ත වන විට තාත්තා නොරටක තනි වී සිටියේය. ඔහු එහි සිටි වසර 3 පුරාවටම එකම වරක් හෝ දුරකථනයෙන් අපේ කටහඬ අසන්නට ඔහුට අවස්ථාව ලැබුනේ නැත. ඒ දිනවල අන්තර්ජාලය කියා දෙයක් නොතිබීමත් පිටරටට ගන්නා ඇමතුමක  එක් විනාඩියක් රු 200 කටත් වඩා මිළ වීමත් මේ සඳහා හේතු භූත විය.

තාත්තා වරෙක නිවසට එවන ලද ලියමනක සඳහන් කලේ තාත්තා සිටි රටේ සිට ලංකාවට නිවාඩු පැමිණි හිතවතෙකු අතේ මටත් මලයාටත් ගීත ගායනා කර කැසට් පටයක පටිගත කොට එවන ලෙසයි. නිවසේ වූ කුඩා කැසට් යන්ත්‍රයෙන් මේ කාරිය අපූරුවට සිදු කොට එහි ලේබලය පවා අපේ චිත්‍ර වලින් හැඩ කොට තාත්තා අතට පත් කල අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගේ මතකයේ ගැඹුරුම තැනක සටහන් වී තිබේ. තාත්තා එදා අපේ ගායනයන් තම හිතවතුන් ඉදිරියේ වාදනය කලේ මහත් සතුටකින් බව තාත්තාගේ හිතවතෙකු වූ රොහාන් අයියා පසු කලෙක අප සමග කීවේය.

සිරා කොලුවාගේ ගායන කෞෂල්‍ය මුලින්ම කරළියට ආවේ මම 3 වසර පන්තියේ සිටිනා විටයි. ඒ වන විට විවිධ පන්ති වලින් තෝරා ගත් පිරිසක් දිනපතා යම් අරමුණක් වෙනුවෙන් අපේ කුඩා පාසලේ විශේෂ ස්ථානයක ගායනා පුහුණුවක් සිදු කරන බව මා හට නිරීක්ෂණය විය. එහෙත් මම මේ කණ්ඩායමට අයත් නැත. එහෙත් ගායනට ළබැඳි මගේ චිත්ත සන්තානය මට නිතර පැවසූවේ මේ කණ්ඩායම සමග මමද එකතු විය යුතු බවකි. කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම මමද පුහුණූවීම් වලට එකතු වූ අයුරක් මට මතක තිබේ. මගේ හැකියාව පිළිබඳ සෑහීමකට පත් වූ ගුරු භවතුන් මගේ සහභාගිත්වය තහවුරු කළෝය.

අප එදා මෙලෙස පුහුණුවන ගීතය කුමක් සඳහාදැයි පුහුණු වන අවස්ථාවේ දැන සිටියේ නැත. සතියක් දෙකක් ගිය තැන සංගීතයද සමග සමස්ත පාසල් කාලයම විවිධ රංගනයන් සහිතව මේ පුහුණුවීම සිදු කරන තැනට පුහුණුව වර්ධනය විය. මේ කුඩා පාසලේ පහසුකම් මඳ හෙයින් ගබඩා කාමරයක් සංගීතය පුහුණුවීමේ කාමරයක් බවට පත්කොට තිබුනි. 

තවත් මඳ කාලයක් ගත වූ පසු අප වෙනුවෙන් නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් ආදිය අපේ නෙත ගැටුනි. නළලේ බඳින ලද තැඹිලි පැහැ රෙදි කඩකින් සහ විවිධ හැඩතල වලින් අලංකාර කරන ලද සරමකින් මෙය සමන්විත වූවේය.

අපේ ගීතය වේදිකාගත වන්නට කාලය ඉතාම ආසන්න බව අපට ඒත්තු ගියේ පාසලේ අනෙක් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ නිබඳ අවධානය මේ පුහුණුවීම් වලට එල්ල වූ පසුවයි. කෙමෙන් කෙමෙන් කාලය ගත වී දින සති  ගනනින් ගෙවා අපේ ගායනය වේදිකාගත වන දිනය එළැඹී තිබේ.

එවකට ලංකාවේ ප්‍රධාන පුරවැසියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ ගීතය ගායනා කරන්නට නියමිතව තිබුනි. ඒ ඔහු ජනාධිපති ධූරයට පත් වී වර්ෂ 5 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ගම්පහ ශ්‍රී බෝධි පිටියේ පැවති මහා සැමරුම් උත්සවයකට සමගාමීවය. මේ ගායනයෙන් ලද සහතික පත්‍රය ඉතාමත් සුරැකිව මගේ සහතික පත්‍ර ගොනුවේ අදටත් තිබේ. ශ්‍රී බෝධි පිටියේ පැවති මේ අලංකාර උත්සවය පිළිබඳ ගම්පහ වාසියෙකු ලෙස කම්මල අයියාට මතක ඇතුවාට සැක නැත.

ඇඳුම් ආයිත්තම් වලින් අප සරසා අපේ දෙමාපියෝ සහ ගුරු භවතුන් අපේ අංගයට අවස්ථාව එන තුරු එහි වූ ප්‍රධාන පීඨිකාව අද්දර බලා සිටි අන්දම මා හට යන්තමින් මතක තිබේ. විවිධ පාසල් වලින් ඉදිරිපත් කල ප්‍රාසාංගික අංග කීපයකට පසුව අපේ අවස්ථාව ලැබුනි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආසන්නයේම සිට මේ ගායනය ඉදිරිපත් කරන්නට අපට එදා අවස්ථාව හිමි විය. එතුමා ඉතාම උවමනාවෙන් මේ ගීතය සාවධානව අසා සිටි අන්දමත් ගායනය අවසානයේ අත්පොලොසන් දෙමින් පුංචි අප දෙස බලා ඉතාම හොඳයි යනුවෙන් සිනාමුසුව පැවසූ අන්දමත් ශත පහේ හැඩයේ එතුමාගේ මුහුණත් සිරා කොලුවාගේ ළමා කාලය හා බැදුන වටිනා මතකයන් සමූහයකි.

සිස්සත්තය සමත් වී ගමේ කුඩා පාසලෙන් නගරයේ ප්‍රධාන පාසලට ගිය වි‍ට සෞන්දර්ය නම් විෂයක් අපට අලුතින් මුණ ගැසුනි. සංගීතය / චිත්‍ර / නැටුම් මේ යටතට අයත් වී තිබුනි. සිරා කොලුවාගේ එකම තේරීම සංගීතය විය. බොහෝ සිසුන් සෞන්දර්යය විෂය ලෙස සංගීතය සහ චිත්‍ර තෝරාගෙන සිටි හෙයින් නැටුම් විෂයට සිසුන් අවම වී තිබුනි. එ් හේතුව නිසාම සෑම සිසුවෙකුගේම සංගීත හැකියාව පිළිබඳව තනි තනිව විමසා සංගීත හැකියාව නැති උන් මේ විෂයෙන් කිරීමට සංගීත අංශය භාරව සිටි ජේෂ්ඨ ගුරුතුමිය වූ ශ්‍රීමතී මිය කටයුතු යෙදුවාය.

එදා සියලුම සිසුන් තනි තනිව අනෙකුත් සිසුන් ඉදිරියේ ගායනයක් ඉදිරිපත් කල යුතු විය. එමගින් සංගීත හැකියාව පිළිබඳ නිගමනයකට ආ ගුරු භවතුන් සංගීතය විෂයට ඔහු තෝරගන්නවාද නැද්ද යන්න තීරණය කළෝය. සිරාගේ ගායනය පිළිබඳ ශ්‍රීමතී ගුරු මාතාව ඉතාම සෑහීමකට පත් වූ බව මට මතකය. ඒ සෑහීම කෙතරම්ද යත් අපේ වසරේ සහ අපට ඉහළ වසර වල හොඳම ගායකයන්ගෙන් සැදුම් ලත් විද්‍යාලයීය ගායන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන්නට මා හට අවකාශ ලැබුනි. එළිමහන් රැස්වීම් වලදී සහ පාසලේ විශේෂ උත්සව වලදී පාසල් ගීතය සහ ජාතික ගීය ගායනයට අමතරව විවිධ තරග සඳහා සහභාගි වන්නට අපට අවස්ථාව ලැබුනි.

ශ්‍රීමතී මහත්මියගේ සහ සංගීත අංශයේ සිටි අනෙක් ගුරුවරියන් දෙදෙනාගේද සහයෝගය ඇතුව 1994 වසරේදී ජන ගී අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගන්නට මේ ගායනා කණ්ඩායමට හැකියාව ලැබුනි. සිරා කොලුවාද මේ ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වූ නිසාම ලැබුන සහතික පත්‍රය අදටත් මගේ සහතික ගොනුවේ වටිනා ස්ථානයකට හිමිකම් කියයි.

ජන ගී තරඟය කොට්ඨාශ පළාත් ආදී ලෙස පැවැත්වී ජාතික තලයට පැමිණෙත්ම අපට පන්ති කාමරයේ අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් නොවීය. මමත් මගේ පන්තියේ අධ්‍යාපනය ලැබූ රවීන්ද්‍ර කුමාරපේලිත් මේ හේතුවෙන් සතියක දෙකක කාලයක් නම ලකුණු කරන්නට හෝ පන්තියේ සිටින්නේ නැත. අවශේෂ මිතුරන් එවකට අපේ පන්තිය භාරව සිටි ජයසේකර සෑර් වෙත අප සංගීත පුහුණුවට ගොස් ඇති බව සැළ කරති.

නිතර දෙවේලේ සිදුවන මේ පුහුණුව පිළිබඳ එතුමා පැහැදීමකින් සිටියේ නැත. ඒ නිසාම ඉඳ හිට හෝ දවසක ඔහුගේ විද්‍යාව පාඩම උගන්වන වේලාවට අප දෙදෙනා පන්තියේ සිටින බවක් දුටුවහොත්...

තමුසෙලා දෙන්නා අද සංගීත කාමරයෙන් එලෙව්වාදැයි අසන්නේ පන්තියේ අනෙක් උන්ට සිනහාවෙන්නට අවස්ථාව උදා කරමිනි. එහෙත් අප ජයග්‍රහණය ලැබූවායින් පසුව ඔහුගේ මේ ප්‍රතිචාරය නැත්තටම නැති වී ගියේය.

සිරා කොලුවාට සාමාන්‍ය පෙළ විභාගයේදී සංගීත විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුනේ එකල අප හට සංගීතය මැනවින් පසක් කල මේ ගුරු භවතුන් නිසා බැව් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. සාමාන්‍ය පෙළ සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයේදී මා විනිශ්චයට ලක් කල ගුරුවරියගේද විශේෂ අැගයීමක් මවෙත ලැබුනි.

සංගීතය සමග සිරා කොලුවාට තිබුන ජන්මාන්තර සබඳතාව නිසාදෝ ගායනා කණ්ඩායමෙන් සමුගත් පසු විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය සමග එකතු වී කල කී දේ බොහෝ අවස්ථා වල මම මෙහි අකුරු කොට තිබේ. එහෙත් පාසල් කාලයෙන් පසුව වෘත්තීය සංගීත කරුවෙකු ලෙස ගමනක් යන්නට මා හට සිත් නොවූයේ අපේ ගමේ නම් දරා සිටි සංගීත කරුවෙකු වූ නෙවිල් අයියා සංගීතය නිසාම හිඟන්නෙකු වීමත්...සංගීත කාරයෝ හිඟන්නෝ ලෙස නිතරම ආඩපාලි කියූ තාත්තාගේ ප්‍රකාශයන් නිසාත් බව කිව යුතුය.

සංගීතයෙන් හොඳ ආර්ථික තත්වයක් ලඟා කර ගැනීමට හැකියාවට අමතරව වාසනා ගුණයක්ද තිබිය යුතුය. එහෙත් කාලයේ ඇවෑමෙන් හැකියාවක් නැති උන්ද ගායකයන් වී කෝටිපතියන් වූ අන්දම වර්තමානයේදී අපට දැක ගත හැකිය. ඒ වාසනාව අපේ ගමේ නෙවිල් අයියලාට තිබුනේ නැත.

මේ නිසාම පාසලින් සමුගත් පසු සංගීතය සමග තිබූ මගේ බැඳියාව කෙමෙන් කෙමෙන් ඈත් වී ගියේය. එහෙත් මංගල අවස්ථාවක මගේ මිතුරෙකු හෝ ඥාතියෙකු එතැන සිටියේ නම් ගීතයක් ගායනා කරන්නට අාරාධනාවක් ලැබෙන්නේමය. එය අදටත් වලංගුය.

එදා මෙන්ම අදත් සිරා කොලුවාගේ සිතේ විවිධ සිහින පැළපදියම් වී තිබේ. ඒ අතරින් එක් ප්‍රමුඛ සිහිනයක් වන්නේ ශබ්දාගාරයකදී මගේම කියා ගීතයක් පටිගත කිරීමයි. මේ ලියමන තුල මෙතෙක් වේලා පොට පෑදුයේ මේ ගැන බොලාට කියන්නටය. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත කීපයක් සමගම සිරා කොලුවාට සබඳතා තිබුනත් වර්තමානය වන විටත් මම මේ සිහිනය සාක්ෂාත් කරගෙන නැත. 

මෙවැනි වටපිටාවකදී සිරා කොලුවාගේ නෙතට මුහුණු TV නැමති ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා සංවිධානය කල #‎MuhunuTv‬ ‪#‎CoverSong Challenge‬ නැමති ගායනා තරඟයක් නෙත ගැටුනි. තමාට කැමති ගීතයක් ගායනය කරන අන්දම ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝවක් ලෙස පටිගත කොට එවීමෙන් මේ තරඟයට ඇතුලත් විය හැකි බව එහි වූවේය. මගේ ජංගම දුරබණුව බොහොම අමාරුවෙන් විවිධ ආධාරක මත රදවාගෙන පටිගත කල ගීතයක් මම ඔවුන් වෙත යැවූවෙමි. මුහුණු TV යනු ගීත සඳහා රූප රචනා තැනීමේ ලංකාවේ සම්මානනීය ප්‍රමුඛතම අායතනයක් වන තාල රූප  හි  අනුබද්ධ සමාගමකි. 

දැන් තරඟය ආරම්භ වී තිබේ. තරඟ බිමේ සිරා කොලුවා ඇතුලුව තරඟකරුවන් 23 කි. දෙවැනි වටයට යන්නේ තරඟ කරුවන් දස දෙනෙකි. මේ තරඟයේ ජයග්‍රාහකයාට දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කරුවන්ගේ දායකත්වයෙන් නිමවෙන ස්වතන්ත්‍ර නිර්මාණ පෙළකි. පළමු දසදෙනාටම මේ වරම ලැබෙන අතර පළමුවැනියාට තාල රූප ආයතනයෙන් නොමිලයේම ලැබෙන රූප රචනාවක් අමතරව හිමි වෙයි.

ජයග්‍රාහකයන් තෝරන්නේ ශ්‍රාවකයන් විසිනි. එය කල හැකි ආකාරය ඉතාම සරළය. SMS වැනි කරදරකාර ක්‍රමවේද නැත. එ පිළිබඳ සංශිප්ත සටහනක් පහළින් ලියමි. 

සිරා කොලුවාගේ ලගම හිතවතෙකු දෙන්නෙකු හැර මෙතුවක් කාලයකට බ්ලොග් අවකාශයේ හිතවතුන්ගෙන් මගේ ගායනයක් දැක ඇත්තේ පොත් බෙදන්නට අම්පාරට ගිය ඇත්තන් සහ ගම්පහ ගෙට්ටුවට පැමිණි අයවලුන් පමණය.

සිරා කොලුවාගේ කාමරයට නිතරම එන යන ඔබ මා සමග ගොඩනගාගෙන ඇති හිතවත්කම සිරා කොලුවාගේ වටිනාම වත්කමයි. ඒ වත්කමට මේ තරගයේ මගේ විනිශ්චය බාර කරමි. මේ වෑයම හුදෙක් මාගේ ආත්ම තෘප්තිය උදෙසා මිසක අනෙක් සැඟවුන අරමුණක් වෙනුවෙන් නොවේ.  

මුහුණු TV ආයතනය මවෙත දන්වා ඇති පරිදි ‪#‎MuhunuTv‬ ‪#‎CoverSongChallenge‬ තරඟයේ නීති රීති පහත පරිදිය. මගේ ගායනය ගැන සෑහීමකට පත් වෙන්නට ඔබට හැකි නම් ඔබට පහසු අයුරකින් සහයෝගයක් ලබා දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

YOUYUBE - http://bit.ly/1PEdlpN
තරඟකරුට අදාල යූ ටියුබ් වීඩියෝව නරඹා එම වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2

FACEBOOK - http://on.fb.me/1WYHJk0
මෙම ඇල්බමයේ ඇති තරගකරුට අදාල පින්තුරය ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5

තරගකරුට අදාල මුහුණු ටි වී වීඩියෝව ලයික් කරන්න / ලයික් 1 = ලකුණු 5
තරගකරුට අදාල වීඩියෝව ෂෙයාර් කිරීම මගින් වීඩියෝවට විවුස් ලබාදෙන්න / විවුස් 1 = ලකුණු 2




එහෙනං කථාව අහවරයි. බලමුකො සිරා කොලුවට දෙවැනි වටයට යන්න හැකි වෙයිද කියලා. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, බොලාටයි මටයි දොගොල්ලන්ටම ජය වේවා !


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සිරා කොලුවාට ස‍හයෝගයක් දිය හැකි අන්දම ගැන තව දුරටත් අපහැදිලිකමක් තියෙනවා නම් මෙන්න මෙතනින් කියවා බැලුවොත් ඒ අපහැදිලි තැන් පැහැදිලි වේවි.

Friday, August 21, 2015

66 නිදි නැති රැයක ජීවමාන වූ කාන්තා මළ සිරුර

සිරා කොලුවා හිච්චි එකා සංන්ධියේ අපේ අම්මා අල්ලපු ගෙදර විමලාවතී උන්දෑ සමග හැන්දෑකොරේ දර කැබැල්ලක් දෙකක් අහුලා ගන්නට වෙල් ඉස්මත්තට යාම බොහොම සුපුරුදු දසුනක් වූවේය. විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිඳ බව මම මෙයට බොහෝ කාලයකට පෙර බොලාට කියා තිබේ. දෙගොඩහරි වයසේ සිටි මේ දෙපළට දූ දරුවන් නොවූයෙන් වැඩි වගකීමක් නොමැතිව ජීවත් වන්නට අවකාශ ලැබී තිබුනි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කල සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා දිනපතා කරන්නට වෙනයම් රාජකාරියක්ද නොවූයෙන් තම බිරින්දෑ පස්සෙන් වැටී දර අහුලන ඉසව්වට යාමට ඇතැම් විටෙක ප්‍රිය කළේය.

අපේ නිවස පිහිටි ඉඩම අහවර වන තැනින් වෙල් යාය ආරම්භ වෙයි. එතැන් සිට එක යායට පෙනෙන්නේ කුඹුරු සමූහයකි. මේ කුඹුරු යාය මැදින් ඈතින් අත්තනගළු ඔයා ගලා යයි. අධික ලෙස වැසි ලැබෙන කාලයේදී පිටාර ගලන අත්තනගළු ඔයේ රොන්මඩ වල වූ පෝෂ්‍ය ගුණය නිසාදෝ ඔයට යාබද කුඹුරු ඉඩම් වල සරුසාර ලෙස මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං  ආදිය වැවෙන බව කාලයක සිට අපේ ගමේ වනිතාවෝ දැන සිටියහ. මේ ඉඩම් වලට හිමිකරුවන් නොසිටි නිසා ඒවායේ වැඩෙන පලා වර්ග වලටද අයිතිවාසිකම් කියන්නට කිසිවෙකු සිටියේ නැත.

වස විෂ නැති පලා ටිකක් නෙලාගෙන එන ගමනේදී ආහාර පිසින්නට දර කැබැල්ලක් දෙකකුත් සොයාගන්නට හැකි වීම එක ගලකින් කුරුල්ලන් දෙන්නෙක්  බාවනවා වැනි කාරියකි. ඉසිඹුවක් ලද වෙලාවක මේ ගමන යන්නට අපේ අම්මාගේ තනියට අනුලාවතී උන්දෑ හෝ විමලාවතී උන්දෑ සිටියහ. මේ දෙදෙනාම මගේ මවට වඩා බොහෝ සේ වැඩිමල් අය නිසා අපේ අම්මා අක්කේ කියා ඔවුන්ගේ නමට අගින් යෙදුවාය.

අනුලාවතී නැති දවසට විමලාවතී සමගත්, විමලාවතී නැති දවසක අනුලාවතී සමගත් අම්මා පලා නෙලන්නට ගියාය. සිහින් සුළං හමන හැන්දෑ කොරේ වෙල්යායේ ගමන ගතට මෙන්ම සිතටද සහනයකි. මඳ නල සමග එතී දඟපාන ගොයම් පත්‍ර වලින් නැගෙන සර සරයත්, එහි අසිරියත් එදවස සිරා කොලුවාගේ ළමා මනසට එක් කල මිහිරියාව තවමත් අමතක නැත.

කාන්තා පාර්ශවය පලා නෙලමින් ඕපයක් දෙකක් හුවමාරු කරගන්නා අත‍රේ මමත් මලයාත් ජෑස් කොල්ලා සමග ඉබාගාතේ ඇවිදින්නෙමු. ඒ අතරතුර  ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලෙයි.

කොලුවො...මෙන්න මේ හරියෙ කුඹුරු දැන් වැඩ නොකලට අපි තරුණ කාලෙ අපේ තාත්තලා වැඩ කලා. දැන් මේ හරියට වතුර එන්නෙ නෑ. ඒකයි අත් ඇරිලා තියෙන්නෙ. 

ජෑස් කොල්ලාටත් විමලාවතී උන්දෑටත් දරුවන් නෙැමැති වීමේ පාලුව යාබද නිවසේ ජීවත් වූ මමත් මලයාත් නිසා අවම වන්නට ඇත. ඒ අප බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවසේ කාලය ගත කල හෙයිනි.

එක්තරා දවසක හැන්දෑවේ සිරිත් පරිදි අපේ අම්මාත් ජෑස් කොල්ලාගේ ඇඹේනියත් පලා නෙලීම සඳහා ගියෝය. සාමාන්‍යයෙන් මේ ඇත්තියන් මුලින්ම දර එකතු කරති. දර මිටියක් පමණ වන්නට එකතු කරගන්නට වැය වන කාලයට පසු එහි යාම මගෙත් මලයාගේත් ජෑස් කොල්ලාගේත් සිරිත වූහ. දර ඉපල් කඩා මිටියක් වන්නට බැඳ දැමීමෙන් පසු වෙල් යායේ ඔයට කිට්ටු හිස් භූමිය තුල ඉබාගාතේ සරුවට වැඩී තිබෙන පලා වර්ග එකතුකිරීම ඇරඹෙයි. එතැන තිබූ ගොටුකොළ ශාඛයන්හි පත්‍ර ගමේ පොලේ විකුණන ගොටුකොළ වල තරම් විශාල නැත. එහෙත් වෙල් ගොටුකොළ ගුණයෙන් ඉහළ බවත්...කොළකැඳ සෑදීමට පංකාදු බවත් ජෑස් කොල්ලාගේ අදහස වූවේය. ඇතැම් විටෙක මමත් මලයාත් පලා නෙලන කාරියට සම්මාදම් වන විටෙක ජෑස් කොල්ලා බීඩියක් අවුළුවා ඒ දුමෙන් කැවුත්ත පුරවා ගනියි. ඒ අවධියේ ජෑස් කොලුවාගේ කන් ගැට්ටේ නිතරම වාගේ මුත්තයියා බීඩියක් වැරදුනේ නැත.

ජෑස් කොල්ලාගේ පැරණි රසාංග වෙල් ඉස්මත්තේ ගලා යන්නට පටන් ගත්තා පමණකි. කොහේදෝ සිට එක් වනම ප්‍රාතූර්භූත වූ දුඹුරු පැහැති පුල්ලි සහිත හා පැටියෙක් අප ඉදිරියෙන් දිව ගියේය. හාවා යනු සිරා කොලුවාගේ ප්‍රියතම සත්වයෙකි. අපේ නිවසේ හාවෙක් ඇති දැඩි කරන්නට කාලයක සිට සිහින දුටුවත් නිවසේ සිටි වස වර්ති මාරයන් බඳු බිළාල කැළ නිසා අපේ අම්මා ඒ අදහස සාක්ෂාත් කරගන්නට කිසි කලෙක ඉඩ දුන්නේ නැත.

රබර් බෝලයක් දිය යට ඔබන්නා සේ අම්මා විසින් බලෙන් යට යවා තිබූ මගේ ආශාව මේ හාවා දුටුමතින් එක්වරම නැගී අාවේය. අනේ මේකා අල්ලාගන්නට තියේ නම්. මා හට එලෙස සිතුනේය.

වහාම මමත් මලයාත් අපට හැකි උපරිමයෙන් ඒකා පසුපස දිවීමු. එතරම් විශාල නැති මේ කුඩා හා පැටියා මේ කුඹුරු යායට අතීතයේ ජලය සැපයූ හිස් බෝක්කු කටක සැගවිනි. මමත් මලයාත් බෝක්කු කට දෙපැත්තේ මුරට සිටියේ ඉන් අනතුරුවයි. හාවාට පැනයන්නට දැන් ඉඩක් නැත. සියලුම ප්‍රවේශ මාර්ග අප දෙදෙනා නිසා ඇහිරී ගොසිනි. 

බීඩි දුම ඉහළට යවමින් අප කරා පැමිණි ජෑස් කොල්ලා හාවා ඉවතට ගැනීමට දිග රිටක් සොයාගෙන එන ලෙස පවසා මලයාගේ පැත්තේ මුරට සිට ගත්තේය. එහෙත් ඔහුගේ අතපසු වීමක් නිසා කකුල් දෙක මැද්දෙන් පැන දුවන හාවා දෙස කෝපයෙන් බලා සිටිනවා විනා කල හැකි වෙනත් යමක් මා හට නොවීය. කුමක් වුවත් සිරා කොලුවා පරාජය බාර ගන්නට සූදානම් නැත. හාවා කුඩා වුවත් ඒකාගේ වේගයට අලඟු තබන්නටවත් අපට නොහැකිය. වෙල්යාය දිගේ දිවවිත් අත්තනගළු ඔය අසබඩ ගුහාවක් මෙන් සැකසුන අඳුරු තැනක හාවා සැඟවී ගියේය. ජෑස් කොලුවාට අනේක වාරයක් හිතින් දොස් පවරමින් එදා අම්මා සමග නැවතත් නිවසට ගිය බවක් මට මතකය.

මේ කියන කාලයේ සිරා කොලුවා ඉගෙනුම ලැබූවේ 7 පන්තියේ විය යුතුය. සිස්සත්තය සමත් වීමෙන් පසු නගරයේ පාසලට ඇතුලු වී තවමත් ගෙවී ඇත්තේ වසරක කාලයකි. පාසල් ගිය තවත් දිනයක් නිමවා සිරිත් පරිදි නැවත නිවෙසට පැමිණි විටෙක මා හට දකින්නට ලැබුනේ අපේ වත්ත පහලින් පටන් ගන්නා වෙල් යාය පුරාවටම ඔබ මොබ යන මහ ජන ගංගාවකි.

මොකද අම්මෙ අර ? මම ඇගෙන් මේ පිළිබඳ විමසීමි.

අපි දර කඩන්න යන දිහා ඔයේ ගැටගහපු මිනියක් තියෙනවලු ගෑණියෙකුගෙ. අම්මාගේ පිළිතුරින් මගේ සිතේ උපන්නේ මහත් කුහුලකි. දිවා අාහාරයෙන් පසු මමද මහ මද්දහනේ වෙල් ඉපනැල්ල දිගේ මිනිය බලන්නට යන ජනතාව අතරට එකතු වූයෙමි.

පෙරදා අප හාවා පසුපස එළවූ ඉසව්වේ එකම මිනිස් ගංගාවකි. ඉතාම සාමකාමී මිනිසුන් පිරිසක් වෙසෙන අප ගම් පියසේ මෙවැනි සිදුවීම් ඉතාමත් කලාතුරකින් සිදුවන නිසා  මෙලෙස ජනතාව ඒකරාශී වීම පුදුම විය යුතු තත්වයක් නොවේ. මේ ජන රළ අතරින් සිරා කොලුවාට අත්තනගළු ඔය කිට්ටුව ඉවුර වෙත යන්නට අවකාශ ලැබුනි. ඔයේ ඉවුර අසලටම වන්නට මුනින් අතට හැරී ජලයේ පාවෙන කාන්තා සිරුරකි. එහි උඩුකයට ඇදුමක් නැත. යටිකය නිල් පැහැති ඩෙනිම් සායකින් වැසී පවතී. ඉන වටා යොදන ලද කඹයකින් මිනිය ජලය පතුලේ යමක ගැට ගසා ඇති බවක් ගම්‍ය වෙයි. මාලුන් විසින් අනුභව කල නිසාදෝ මියගිය කාන්තාවගේ මුහුණේ මාංශයන් දිය රැලිති සමග ඒ මේ අත වැනෙන ස්වරූපයක් පෙනෙයි.

පොලිස් නිලදරුවෝ එහි පැමිණ වටපිටාවේ සෝදිසියක් කලෝය. පෙරදා හාවා දිව ගිය ගුහාව බදු ස්ථානයේ ඇතුලට වෙන්නට සගවා තිබූ මියගිය තැනැත්තියට අයත් ඇඳුම් කැඩුම් කීපයක් සොයාගන්නට ඔව්හු සමත් වූහ. තවත් පැයකට දෙකකට පමණ පසු අනිත් පැත්තේ ඉවුරෙන් මිනිය ගොඩට ගන්නා අවස්ථාව තෙක්ම මා එහි රැඳී සිටියෙමි. 

පෙරදා අප හාවුන් පසු පස දුවනා විටත් මේ ස්ථානයේ මේ මිනිය තිබූ බවට සැකයක් නැත. තවමත් හාත්පස හිරු එළිය තිබුනත් මගේ පුංචි සිතේ මහත් බියක් හටගෙන අහවරය. මම හැකි ඉක්මනින් ගෙදර දිව්වෙමි. ඒ අතර තුර කෙමෙන් කෙමෙන් හිරු අවරට ගොස් රාත්‍රී ගණදුරට පරිසරය එකතු විය.

මේ කාලයේ අපේ තාත්තා විදේශයක සේවය කලේය. එහෙයින් නිවසේ කිසිදු වැඩිහිටි පිරිමි චරිතයක් නැත. අම්මාත්, තාත්තාගේ මවත්, මමත් මලයාත්  දැන් නිවසේ රැඳී සිටින්නෙමු. දිවා කල දුටු කාන්තා මළ සිරුරේ ස්වරූපය මා ඉදිරියේ කෙමෙන් කෙමෙන් මැවෙයි. සිත පුරා ඉතිරී ගිය විශාල බියකින් මම දැන් පීඩා විඳිමි. අම්මා පෙනෙන මානයෙන් මිදෙන්නට මා හට නොහැකිය. 

රාත්‍රී ආහාරය නිමවා නිදාගැනීම පිණිස විදුලි පහන් නිවාදැමූ විට දෙනෙත් පියාගන්නට ඉඩක් ලැබුනේ නැත. තාත්තාගේ රැකවරණයත් නොමැති නිසා හිතට දැනෙන භිය ඉහවහා ග‍ොස් තිබේ. මළ සිරුර තිබූ අයුරුත් මුහුණේ කොටස් ඒ මේ අත වැනෙමින් තිබූ ආකාරයත් දෙනෙත් අද්දර මැවෙයි. මුලු ගතම දහඩියෙන් නැහැවී ග‍ොසිනි. නිදාගන්නවා තියා නින්ද අහල ගං හතක නැත.

හාවා පසුපස එදා දිවගියා නම් පොලිසිය සොයාගත් බඩු බාහිරාදිය මුලින්ම දකින්නේ අප වන්නට ඉඩ තිබුනි. අප එහි කාලය ගත කරන විටත් මළ සිරුර දියේ තිබෙන්නට ඇතැයි සිතෙන විට භිය දෙගුණ තෙගුණ වෙයි. එහා ඉවුරෙන් සිරුර ගොඩට ගන්නා විට හාත්පස පැතිර ගිය දුගඳ දැනුදු නහයට දැනෙනවා වැනිය. 

ඒ මේ අත පෙරළෙමින් උදෑසන දක්වා මා වි‍ඳි අපහසුතාව මට තවමත් අමතක නැත. බොහෝ සේ අපහසුවෙන් රැය පහන් කරන්නට අවසානයේ මා හට හැකි විය. මගේ මවද මේ දර්ශනය නිසා නිඳි නොමැතිව පීඩා විඳි බව පසුදා උදෑසන දැනගත හැකි වූවේය.

අපේ නිවසේ සිට බොහෝ දුරකින් කුඹුරු යාය අද්දරටම වන්නට නිවෙසක් වෙයි. මේ නිවසේ හිමිකරු එහි පදිංචිව සිටියේ නොමැති නිසා එහි කලින් කලට නිවස කුලියට ගන්නා ලද කුලී නිවැසියෝ ජීවත් වූහ. එහෙත් මේ සිදුවීම සිදුවන කාලයේ එහි කිසිවෙකුත් ස්ථිරව පදිංචිව සිටියේ නැත. ඒ නිවසට යාබද නිවෙස් වල වෙසෙන කීප දෙනෙක් ඉකුත් දිනක රාත්‍රී කාලයේ කාන්තාවක් යටි ගිරියෙන් කෑ ගසන හඬක් යන්තමින් ඇසුන බවක් පොලීසියේ ඇත්තන් වෙත කියා තිබුනි. එහෙත් පොලිස් පරීක්ෂණ වලින් මේ මරණයට වගකිවයුතු තැනැත්තන් අත්අඩංගුවට ගත්තාදැයි මා දන්නේ නැත.

මේ ඝාතනය සිදුවීමෙන් පසු බොහෝ කාලයක් යන තුරු ඒ ඉසව්වට කාන්තාවක තියා පිරිමියෙකු හෝ තනිපංගලමේ ගියේ නැත. මගේ මවත් විමලාවතී උන්දැත් පලා නෙලාගත් ඉසව්වේම මළ සිරුර තිබුන නිසා ඔවුනට එහි නැවත යන්නට කිසිදු ධෛර්යයක් නොවීය.

එක් වැසි සමයක අත්තනගළු ඔය දෙගොඩ තලා ගලා ගොස් නැවත පෙර පරිදි නිසල විය. ඒ අාසන්න දිනයක තම ගවයන් රැගෙන එන්නට ගිය අපේ ගමේ පියසේන ගොයියාට නුහුරු දෙයක් නෙත ගැටුනේය. එදා හාවා දිව ගිය ගුහාව තුලින් මෙදා ගලාගිය අත්තනගළු ඔයේ ජල පහරට හසුවීමෙන් වෙල්යාය වෙත ලඟා වී තිබූ ඇට සැකිල්ලකුත්...ඒ අාසන්නයේ  රැදී තිබූ ඉතා දිගු කෙස් කලඹකුත් පියසේන ගොයියා දුටු දර්ශන අතර විය.

ඔහුගේ දැනුම්දීම මත පැමිණි පොලිස් නිලදරුවන් සිදුකල පරීක්ෂණ අනුව දෙවැනි සිරුරත් තරුණියකට අයත් වූවකි. පළමු සිරුර එහි දමා යන විටම මේ සිරුරද කැලෑව තුල සගවන්නට ඇති බව ඔවුන්ගේ අදහස වූහ. ඒ අනුව තරුණියන් දෙදෙනෙකු එකිනෙකාට ආසන්නයෙන් අවසන් ගමන් ගොස් තිබූ අතර මේ දෙදෙනාම දුර පළාත්වල පදිංචිකරුවෝ බවට සැළ විය.

‍මේ සිදුවීම් වලින් පසු වසර 20 ක පමණ කාලයක් ගත වී තිබේ. එහෙත් පාළු කාමරයක, නිසල රාත්‍රියක මේ ලියමන අකුරු කරන මා හට. ප්‍රාණය නිරුද්ධ සිරුර දෙකක් සැගවි තිබූ වටපිටාවක පලා නෙලමින්, හාවෙකු පසුපස දිවූ ඒ සන්ධ්‍යාවේ ත්‍රාසජනක මතකයන් තවමත් සියුම් බියක් මෝදු කරයි. 



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

ඒ සමයේ ගමේ පැතිර ගිය කටකථා අනුව මේ ඝාතන තහනම් ගහේ ගෙඩි කෑමේ ප්‍රතිඵලය. තහනම් ගහේ ගෙඩි ඉතාම විෂ සහිත නිසා නොකන තරමට හොඳය. 

Saturday, April 11, 2015

41 මගේ මුල්ම තෑග්ග

සිරා කොලුවාගේ කුඩා අවධිය කාමරය ඇතුලේ ලියවුනේ පිළිවෙලකට නොවේ. අනෙකුත් බොහෝ දේ පිළිවෙලකට ලියවුනද මගේ බාල කාලය පිළිවෙලකට ලියන්නට මම අපොහොසත් වූයෙමි. විඩෙන් විඩේ මතක් වන පරිදි සමහර දෑ මෙතුවක් ලීවෙමි. මේ ක්‍රමයෙන් මට ඉදිරියේදී හෝ ගොඩයාමක් නැතැයි අක්මාවට වැටහෙයි.

ඔබට මතක ඇති පරිදි ඔබේ ජීවිතයේ ලද මුල්ම තෑග්ග කුමක්ද ? කවදද ? කොතැනදීද ?

මේ ගැටලු කීපය මා ඔබට යොමු කලහොත් ඒ සඳහා ඔබේ ප්‍රතිචාර කෙබඳු වේදැයි මොහොතක් සිතා බලන්න. ඇතමෙකුට දෙමාපියන් හෝ පවුලේ සමීපතම ඥාතියෙකු ප්‍රථම ත්‍යාගය පිරිනමන විට මගේ ජීවිතයේ මා ලද ප්‍රථම තෑග්ග ලෙස මතකයේ සටහන්ව ඇත්තේ වෙනකකි. කරුණු එසේ වුවත් එයට කලින් මා දෙමාපියන් හෝ ඥාතීන්ගෙන් ත්‍යාග නොලබා සිටින්නට ඉඩක් නැත. එහෙත් මතකයට අනුව ප්‍රථම ත්‍යාගය මෙයයි.

සිස්සත්වය සමත් වී නගරයේ පාසලට ඇතුලු වන තෙක් මා ඉගෙනගත්තේ අපේ ගමේ පුංචි පාසලෙනි. ගමේ ළමයින් කියා වෙනසක් නැතුව කැපවීමෙන් අකුරු කල ගුරු දෙමාපියන් රැසක් එහි වූහ. මේ කාලයේ සිරා කොලුවාගේ මව මෙන්ම පියාද රැකියාවට ගිය නිසා පාසල නිමවීමෙන් පසු පියාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට වී දෙමාපියන් රැකියාව නිම වී පැමිණෙන තෙක් සිටින්නට මා හට සිදු විය. මහප්පාගේ දියණියද මගේ වයසේම වීමත්. ඇයත් මමත් එකම පාසලක අධ්‍යාපනය ලැබීමත් නිසා තනිකමක් පාළුවක් මා හට දැනුනේ නැත. පාසල් වේලාවෙන් පසු එළඹෙන සවස් කාලයේ මම ඇයත් සමග මයියොක්කා කොළ වලින් මාල, කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් ආදිය සෑදුවෙමි. ඇය හා මම  අහාර පාන ගත්තේත්, පොත් පාඩම් කලේත් එකටමය.

ඥාති සොයුරියත් මමත් වයස අවුරුදු 3 දී

උදෑසන පාසලට යන විට මගේ පොත් බෑගයට, පාසල නිමවීමෙන් පසු අඳින ඇඳුම අම්මා විසින් ඇතුලුකරයි. නිවසට පැමිණි පසු මහප්පාගේ බිරිඳ හෙවත් මහම්මා විසින් එයින් සැරසෙන්නට මා හට උදව් කලාය. මේ කියන කාලයේ මම 1 වසරේ හෝ 2 වසරේ ශිෂ්‍යයෙකි. මහප්පා ඕමාන් රටේ රෝහලක කෘතිම පාද නිපදවීමට සම්බන්ධ රැකියාවක නිරත වූ නිසා ඔහු අප තරුණ වියට එළඹෙන තෙක්ම සිටියේ ලංකාවෙන් බැහැරවය. හෙතෙම වසරකට වරක් පැමිණ ආපසු ගියේය.

ඒ කාලයේ රැකියා අපේක්ෂාවෙන් නිවසට වී සිටි තාත්තාගේ නැන්දනියගේ පුතුන් අතරින් කවරෙකු හෝ පාසල නිම වන වේලාවට අප දෙදෙනා රැගෙන එන්නට පාසල අසලට පැමිණෙයි. සහෝදරිය හරස් පොල්ලේත්  සිරා කොලුවා වන මම පිටුපස ලගේජයේත් යන ආකාරයෙන් අප පුෂ් බයිසිකලයේ පැටවී ගෙදර ආවෙමු. ප්‍රධාන මාර්ගය අභියසට වන්නට තිබූ මහප්පාගේ නිවෙසින් අපගේ ගමන හැමදාමත් කෙළවර විය.

හොඳම මල් පැළය තේරීමේ අමුතුම ආකාරයේ තරගයක් සඳහා ඉදිරිපත් වන්නට මා හට අවස්ථාව ලැබුනේ මේ අතර තුරයි. මෙවැනි තරගයක් කුඩා දරුවන් වූ අප උදෙසා එදා පැවැත්වූයේ ඇයි දැයි මා හට දැනුදු සිතා ගත නොහැක. 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වුනු අපේ කුඩා පාසලේ සියලුම දරුවන්ට මේ සඳහා සහභාගි වන්නට අවසර තිබුනි. 

එකල අපේ විදුහල්පති තුමා වූයේ එම්මානුවෙල් නම් වූ ජාතික ඇඳුමෙන් සැරසුන කාලවර්ණ පෙනුමක් ඇති තරමක් උස ගුරු පියෙකි. පාසලට යතුරු පැදියකින් පැමිණියේ ඔහු පමණි. හොන්ඩා සුපර් කබ් වර්ගයට අයත් අළු පැහැති එකක් වූ එය විදුහල්පති කාර්යාලය නුදුරේ සෙවනක නිතරම ගිමන් හැරියේය.

හොඳම මල් පැලය තේරීමේ තරගය දෙසට ආයෙත් හැරෙමු. තරගකරුවන් ඉදිරිපත් කරන ‍පෝච්චි වල සිටවූ මල් පැල අතරින් හොඳම ඒවා තෝරා ත්‍යාග ලබාදීම තරගයේ ස්වභාවය විය. මගේ මව වර්තමානයේ මෙන්ම එකලද වරින් වර මිදුලේ ඇති මල් වර්ග වෙනස් කලාය. මේ කියන අතීතයේ තිබුනේ ක්‍රෝටන් වර්ගයට අයත් ගස්ය. ඉන් පසු ඒවා ගැලවී එහි බාබන් ඩේසියා සහ ඩේලියා වර්ග වල මල් පැල සිටුවිනි. ඉන් පසුව බෝගන් විලා වසන්තයත් එයිනුත් අනතුරුව කැනස් වර්ගත් අපේ මිදුල වර්ණවත් කලෝය. වර්තමානයේ නම් එය ඕකිඩ් වර්ග වලට වෙන් වී තිබේ.

අම්මෙ මට ලස්සන මල් පැලයක් ඕනෙ. ඉස්කෝලෙ තරගයක් තියනවා.

දවස අවසානයේ මා නිවසට රැගෙන යන්නට පැමිණි මවට මම කාරණය සැළ කලෙමි. මිදුලේ මල් පෝච්චි අතර වටයක් ගිය ඇය මල් නොපිපෙන කොළ පැහැති විසිතුරු පත්‍ර සහිත ශාකයක් මට පෙන්වා මෙය රැගෙන යන ලෙස පැවසුවාය. එහෙත් මට එහි කිසිම ලකයක් පෙනුනේ නැත. අනේ මල් පිපෙන එකක් දෙන්නයි මම කොතෙකුත් ඇවිටිලි කලද අම්මාගේ තීරණයේ වෙනසක් නොවීය. අවසානයේදී අකමැත්තෙන් හෝ මේ ශාකය සහිත මල් පෝච්චිය රැගෙන තරඟයට සහභාගි වන්නට මා හට සිදුවිය. එදා එය පාසලට රැගෙන ගියේ කවරෙකු දැයි මට දැන් නිච්චියක් නැත. ඒ කාලයේ තුන්රෝද රථයක් අහල ගම් හතක තිබුනේ නැති බව මා හට සිහිපත් වෙයි.

අප පාසලට යන විට අපේ මල් පෝච්චි රැඳවීම පිණිස ලී යොදාගනිමින් විශාල අට්ටාලයක් වැනි යමක් සකසා තිබුනි. අවසානයේ ඒ මත අප විසින් ගෙන ආ මල්පෝච්චි අපේ නම් සහිතව පිළිවෙලකට තැන්පත් විය. ඇත්ත වශයෙන්ම මේ කියන කාලය මට යන්තමින් මෙන් මතකයේ රැදී තිබෙන්නකි. මල් පෝච්චි වල වූ ශාකයන් විනිශ්චය කලේ ගුරු මණ්ඩලය විසිනි. මහප්පාගේ වැඩිමලා වූ ජානක අයියා පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස 5 වසරේ එවකට අධ්‍යාපනය ලබමින් සිටි නිසා ඔහු මේ කාර්යය සඳහා වැඩි දායකත්වයක් දෙන්නට ඇත.

තරග විනිශ්චය අවසන් වී ප්‍රතිඵල දැනුම් දෙන විට කුඩා අප එක පේලියට පාසලේ වූ සුදු අරලියා ගහ යට සිටගෙන සිටියෙමු. පසෙකින් ගුරු මණ්ඩලය පෙනෙයි. ඊට විරුද්ධ පැත්තේ දෙමාපියන් පිරිසකි. තවත් පසෙකින් මල්පෝ්ච්චි රාශියයි. විදුහල්පති තුමා ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට සූජානමෙනි.

මුලින්ම තෙවන ස්ථානය ප්‍රකාශයට පත් විය. ජයග්‍රාකයා ඉදිරියට යන විට ඊට අදාළ මල් පෝච්චිය ඔහු හෝ ඇය අතට පත් කොට සෙසු අයට පෙන්වීමට වෙනම වැඩ පිළිවෙලකි. දෙවැනි ස්ථානයට මගේ නම ප්‍රකාශ විය. මම මහත් පුදුමයට පත් වීමි. මගේ අතට ලැබුන මල් පෝච්චියත් රැගෙන මම සභාව ඉදිරියට ගියෙමි. මගේ විරෝධය මැද වුවද අම්මාගේ තේරීම ගැන මම මහත් විමතියට පත් වී සිටියෙමි.

ජයග්‍රාහකයන් මෙන්ම ජයග්‍රහණ නොලැබූ අයද සභාව හමුවේ විවිධ අංග ඉදිරිපත් කල අතර සිරා කොලුවා වන මම රෝස මලේ නටුවෙ කටූ ගීතය ඉඳිරිපත් කලෙමි. එහෙත් නටුවෙ කටු වෙනුවට කටුවෙ නටු යනුවෙන් මවිසින් පද වරද්දවා කල ගායනය එම්මානුවෙල් විදුහල්පතිතුමාගේ අවධානයට ලක් වූ අතර ඒ බැව් විශේෂයෙන් සභාවට දැනුම් දී මා හට තවත් වටයක් අත්පුඩි ගසන්න යැයි එතුමා එදා පැවසූ ආකාරය ඉතා හොඳින් මගේ මතකයේ තැන්පත් වී තිබේ.

බ්‍රවුන් පේපර් යයි සම්මත කොළයක ඔතන ලද ත්‍යාගයක් මා හට ලැබිනි. එදින මා රැගෙන යන්නට පැමිණ සිටියේ අප නිවස ආසන්නයේ හිතවතෙකි. මා මහප්පාගේ නිවසේ දෙමාපියන් එනතුරු සිටින බවක් ඔහු නොදැන ඉන්නට ඇත. ඒ නිසා වසා දමා තිබූ අප නිවසට ඇරලවා හෙතෙම යන්නට ගියේය.

ත්‍යාගය විවෘත කර බලන තෙක් මට ඉවසුම් නැතිය. නිවසේ ප්‍රධාන දොර වසා දමා ඇති නිසා නිවස තුලට යන්නට ක්‍රමයක් නැත. පොත් බෑගය පසෙකින් තබා මම ඉස්තෝප්පුවේ කොනක හිඳගෙන ත්‍යාගය විවර කළෙමි. එහි අභ්‍යාස ප‍ොත් කීපයක් සහ නිල් පැහැති කලිසම් රෙද්දක් තිබූ බැව් මා හට යන්තමින් මෙන් මතකය.

ත්‍යාග වල හැඩරුව බලමින් සිටින කල හිස ගිණිගත්තෙකු මෙන් එහි පැමිණියේ වෙනදාට මා රැගෙන යන්නට පැමිණෙන බාප්පාය. ඔහු බන්දුල බාප්පාගේ බාල සහෝදරයායි. මගේ අඩුම කුඩුම රැගෙන ඔහුගේ පුෂ් බයිසිකලයට මා නංවා මහප්පාගේ නිවසට රැගෙන යන්නට ඔහු සැනින් කටයුතු කලේය. කාත් කවුරුවත් නැති අපේ නිවසේ මා වරුවක් තනිව සිටි බව සැලවූ පසු  තාත්තා අම්මාට රැකියාවෙන් ඉවත් වී දරුවන් බලාගෙන නිවසට වී සිටින ලෙස පවසන්නට ඇත. මේ වකවානුවේ මයෙ මලයා බෙහෙවින් කුඩා එකෙකු නිසා ඒකා සිටින්නට ඇත්තේ අම්මාගේ මහ ගෙදර කිරි අම්මා සමග විය යුතුය.

දිනක් පාසල් අවසන් වීමෙන් පසු අප රැග‍ෙන එන්නට සිරිත් පරිදි පැමිණෙන බාප්පා හට වෙනත් කාර්යයක් සඳහා පිටත් වීමට සිදුවී තිබුන හෙයින් සුදු අයියා නැමති අපේ ගමේ ඔහුගේ හිතවතෙකු පාසල අසලට එවා තිබුනි. බාප්පාගේ බයිසිකලයේ ලගේජයක් තිබුනත් සුදු අයියාගේ බයිසිකලයේ එවැන්නක් නැත. සොයුරිය හරස් පොල්ල මත නංවා මා හට බයිසිකල් හැඩලයේ හිඳගන්නා හැටියට සුදු අයියාගෙන් උපදෙස් ලැබුනි. කකුල් දෙක පහලට සිටින සේ මම දැන් හැඬලය මත හිඳගෙන සිටිමි. අපේ ගමන නිම වෙන්නට තව ඇත්තේ ස්වල්ප දුරකි. එහෙත් ඒ ඉසව්වේ අැති පල්ලමේදී එක්වරම සමබරතාව ගිලිහී යාමෙන් ධාවනය වන බයිසිකලයෙන් මහා මාර්ගයට බල්ටියක් ගසන්නට මා හට සිදුවිය.

මේ අනතුරෙන් පසු සිරා කොලුවා මහා හයියෙන් හැඩූ බව මතකය. ඉර මුදුන් වී තිබූ වෙලාව නිසා තුවාල වලින් ලෝභ නැතුව ලේ ගලයි. කෙසේ හෝ මහප්පාගේ නිවසට කැටුව ගොස් ප්‍රතිකාර කරන්නට අවට එක් රැස් වූ වැඩිහිටියෝ පියවර ගත්හ. එම නිවසේ මහප්පා විසින් පිටරටින් රැගෙන ආ තුවාල මතට ස්ප්‍රේ කල හැකි ‍‍‍ඖෂධයක් විය. තුවාලය මත ගැටුන සැනින් එය කදිම සිසිලසක් උපදවා පසුව අති භයංකාර දැවිල්ලකුත් අවසානයේ දැලක් මෙන් වියමනක් තුවාලය මත සකසන්නත් මේ අරුම පුදුම බෙහෙතට හැකි වූ බව මට මතකය.

බයිසිකලයෙන් ගැසූ බල්ටියෙන් පසු අම්මාගේ වෘත්තීය ජීවිතය අවසන් විය. දරුවන්ගේ ආරක්ෂාවට නිවසේ නවතින ලෙස තාත්තා ඇයට කියන්නට ඇත. එදායින් පසු ජීවන බර තනියෙන් කරට ගත් තාත්තා රජයේ සේවකයන්ට එකල ලැබුනු සොච්චම් වැටුපෙන් මමත් මලයාත් කෙසේ හෝ උස්මහත් කලේය. නිවසේ තිබූ ආර්ථික ගැටලු කිසිවක් අපට දැනෙන්නටවත් ඉඩ නොතබා මේ දෙපල අප දෙදෙනා යහපත් මිනිසුන් කරන්නට කල මෙහෙවර සිහිපත් වන විට ඇතිවන්නේ පුදුමාකාර භක්තිමත් හැගීමකි. නෙත් අගට කදුලක් උනන්නේ නිරායාසයෙනි.

අද ලිපියට මම මෙතැනින් විරාමය තබමි. ළමා කාලය ආශ්‍රයෙන් තව බොහෝ දෑ ලිවිය හැකිය. ඒවා මතක් වෙන පිළිවෙලට ඉදිරියේදී අකුරු කරන්නට මම සිතා සිටින්නෙමි. අප එදා ගතකල සොඳුරු ළමා විය එලෙසින් ගත කරනා පුංචි එවුන් වර්තමානයේදී අපේ ගමේදී සෙවීම පවා උගහටය. උන්ගේ අත්වල කුරුම්බැට්ට මැෂින් නැත, පොල්පිති හරක් නැත, මයියොක්කා මාල කොස් කොළ ඔටුනු නැත. මුදල් සෙවීම පිණිස හැල්මේ දුවන සමාජයක මේ දරුවන් නිවසේ තනි කරන්නට, කාටූනයක් නරඹා හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රීඩාවක නිරත කරවන්නට අකැමැත්තෙන් හෝ දෙමාපියන්ට සිදුවී තිබේ. වෙනත් දරුවන් සමග වැඩි භජනයක් නැති නිසා මේ පොඩි උන් සහජීවනය ගැන දන්නේ නැත. ජය පරාජය විඳදරා ගන්නා හැටි දන්නේ නැත. නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වන්නේද බොහෝ මන්දගාමීවය.

සිරාගේ කාමරයට පැමිණි ඔබට මේ ආරාධනාව සිරා කොලුවාගෙනි. ඔබේ මතකයට අනුව ඔබ මුලින්ම ත්‍යාගයක් ලද අවස්ථාව මෙහි කමෙන්ටුවක් ලෙස සටහන් කලහොත් මේ සටහන වඩාත් පරිපූර්ණ වේ යැයි මගේ අක්මාව මට කියයි.

බාල කාලය ගැන කථා කරනා විට මා හට අමතක නොවන ගීතයක් වෙයි. මගේ ළමා කාලය පිළිබඳ ලිපි වලට ලේබලය අලවා ඇත්තේද මේ ගීතය උපයෝගී කරගෙනයි.  C.T ප්‍රනාන්දු මහතා විසින් මේ ගීතය ගායනා කොට තිබේ. නාවික හමුදා තූර්ය වාදක ඛන්ඩයේ කාලයක් සේවය කල අයිය බඩා වතාවක් මට කිව්වේ දියතලාවේ පැවති හමුදා සෙබලුන් විසිර යාමේ උත්සවයකදී මේ ගීතය වාදනය කල බව හා එදා එතැන සිටි බොහෝ දෙනා හඬා වැටුන බවකි.

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ


ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා


මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවලා ස්නේහේ රට දෑ කෙරේහී
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ


මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ

වීකෘති වී නැති නියම ගීතය රසවිඳ බලන්න.







මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

වර්තමානයේ යුරෝපයේ සිටින මගේ ඥාති සහෝදරිය සමග ඊයෙ පෙරේදා දිනක සිදු කල කථා බහක් අපගේ පුංචි කාලය දක්වාම ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සටහන අද මෙහි ලියවෙයි. ඇය මෙන්ම මමද, මෙය කියවන ඔබද ළමා කාලයට බොහෝ සේ ඇළුම් කරන බව දනිමි. ඒ සුන්දරත්වය ඔබේ දරුවන්ටත් හැකි පමණ විඳින්නට දෙන්න.

සිරා‍ කොලුවා නොරටක සිටින නිසා මෙවරත් අවුරුදු නැත. එහෙත් ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට ප්‍රීතිමත් එකක් වන්නට ඉතසිතින් පතමි.

Friday, December 19, 2014

58 මාකස් සහ ඇලිස් නෝනා සමග අතීතයට ගියෙමි

සිරා කොලුවා වන මම අද ඔබට දෙසන්නට යන කථාවට දශක දෙකකට වැඩි ඉතිහාසයක් තිබේ. පාසල් යන වයසේ සිටි මා මෙන්ම මගේ ගමේ අසල්වැසි කොලු කුරුට්ටන්ද ජීවිතය පිළිබද මෙලෝ සංසාරයක බරක් නැති, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටි මේ සුන්දර අතීතය ඉතාමත් රසබර එකකි. ගමක ඉපදුන එකෙක් ලෙස මම ඉතාමත් සුන්දර ළමා කාලයක් අත් විද්දෙමි. වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින්නටත්, ඇලේ දොලේ පනින්නටත් අපට එකල තහංචි තිබුනේ නැත. අද කාලයේ දරුවෙකුට මේ සුන්දර අත්දැකීම් බොහෝ සේ දුරස්ථ බව දනිමි.

පාසල් නිවාඩුවේදී අපි ගුඩු විද්දෙමු, කොහි කිරිල්ල ගෙඩි යොදා බට තුවක්කුවෙන් වෙඩි තිබ්බෙමු, සරුංගල් උඩ අරින සමය උදා වූ විට එය රෝගයක් ලෙස ගමටම බෝ විය. සරුංගලයක් තනිව සාදා ගත නොහැකි උන් ඒ කාරිය කරන්නට හැකි කෙනෙකු වෙත පාප්ප, සව්කොල, ඉරටු ගෙනැවිත් දී සරුංගල් සාදවා ගත්තෝය. සිරා කොලුවා වන මට කපුටා සහ නයා යන වර්ගයේ අතුරු ආපදාවකින් තොරව උඩ යන සරුංගල් සෑදීමේ පුංචි කීර්තිනාමයක් තිබුන නිසා පුංචි එකෙක් දෙන්නෙක් සමහර දවස් වලට අපේ නිවසට පැමිණෙයි...සරුංගලයේ සැකිල්ල සකසා දුන් විට සමහරෙක් තම සහෝදරියකට කියා එයට සවුකොල අලවා ගත්හ. සරුංගලය වැඩ නිමවා උඩ යවන විට ඒ දෙස බලා විදි සතුටත්..සරුංගලයක් නූල කැඩී කඩාගෙන යන විට එකාවන්ව ඒ පසුපස දිව ගිය අයුරුත් මට තවමත් මතක් කරන්නට අපහසු නැත.

මේ කෙහෙල්මල් සරුංගලයක් හින්දා මේ ළමයි අව්වෙ වේලෙනවා...සමහර දිනෙක අම්මා දෙස් තියන්නේ උදෑසන සිටම අපි සරුංගලය සමග වෙල් ඉපනැල්ලේ කාලය ගත කරන නිසාවෙනි. අප එකල නිදාගන්නේ එළිවෙනතුරු සිටින්නට බැරි ඉස්පාසුවකිනි. නව දවසක් උදා වූ පසු සරුංගල් අරින්නට තරමේ සුළගක් හමන්නට පැය කීපයක් ගත වෙයි. පොල් ගස් වල මුදුන් අතු සෙලවෙන විට සුළං හැමීම ආරම්භ වී ඇති බව අපි දනිමු. එතැන් සිට අපේ සරුංගල් උඩු ගුවනට යවනකං අපට මෙලෝ සිහියක් නැතිය.

මම කාලා එනකං මේක බලාගනින්..දිවා ආහාර සමය එළඹෙන විට අහල පහල සිටිනා එකෙක් වෙත සරුංගලය පවරන්නත්...කෑමෙන් පසු නිවසේ මිදුලේ සිට සරුංගලය දෙස බලා එය අම්මාට පෙන්වන්නත් එකල මමත් මලයාත් මහත් සේ රිසි වීමු.

කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වෙන විට සරුංගලය අපෙන් කෙමෙන් කෙමෙන් ඈත් විය. සිස්සත්ත කඩඉමෙන් පසු බොහෝ දෙනෙකුට පා පැදියක් ලැබීම එයට හේතුභූත වූ කාරණය වන්නට ඇත. බයිසිකල් මගින් වෙසක් බලන්නට යන්නත්....පොසොන් සමයේ දන්සැල් සොයා යන්නටත් සරුංගලයෙන් පසු අපි ප්‍රිය කළෙමු. මේ ක්‍රියාකාරකම් නිසාම සම වයසේ උන් අතර කදිම සමගියක් දළු ලා වැඩිනි.

විදේශගතව සිටි මගේ පියා නැවත සියරට පැමිණි පසු අපේ නිවාස කිට්ටුවෙන් ගලා යන අත්තනගළු ඔයේ පිහිනුම් පාඩම් කියා දුන් අන්දම මම අතීතයේ දවසක ලියා තිබේ. මටත් මයෙ මලයාටත් ඇරඹුන මේ පිහිණුම් පාසලට දවසක් දෙකක් ගත වන විට පිහිනීම ඉගෙනගැනීමට ආසාවෙන් සිටි ගමේ තවත් උන් එකතු විය.

අනේ මල්ලියෙ මෙන්න මේකටත් ඔය පීනන හැටි කියලා දෙන්න..

දෙමාපියෝ උන් මගේ පියා වෙත බාර දුන්නේ එසේ පවසමිනි.

හිරු මුදුන් වන විට අප තාත්තාට කරදර කොට ඔයට යන්නෙමු. එතැන් සිට පැයක් දෙකක් දිය කෙළියද පිහිණුම් පුහුණුවද සිදුවෙයි. එදා අපේ කෙළි කවට සිනා හඩින් නිම්නාද වූ  ගමේ නාන තොටුපල අද වල් වැදුන තැනකි. වතුර මලෙන් නිවසේ සිට නාගන්නවා විනා ඔයට ගොස් රෙදි ටික සෝදා නාගන්නට කිසිවෙකුට අවශ්‍යතාවක් නැත. කාලය මැව් වෙනස අතරතුර අත්තනගළු ඔය හුදෙකලා වී ගලා බසියි.

ඡායාරූපය මෙතැනින්


මාසයක දෙකක ඇවෑමෙන් අපි සියල්ලෝම පිහිණීමේ දක්ෂයන් වීමු...ඔය හරහා දෙපසට පිහිනන්නත්...තරගයට පිහිනන්නත්, දිය යට කිමිදෙන්නත් අපට වෙනත් අයෙකුගේ ගුරු හරුකම් අවශ්‍ය වූයේ නැත. තවත් ටික දවසකට පසු පාලම් ඇන්දේ සිට ඔයට පනින්නට අපි පුරුදු වීමු. සෑහෙන උසක සිට ජල තලයට වැටුන පසු ඔයේ අඩිය දක්වාම ගමන් කර නැවත ඉහළට පැමිනීම සැබැවින්ම විනෝදජනක අත්දැකීමක් විය.

අපේ හැකියාවන් ගැන සෑහීමට පත්වූ පසු තාත්තා අප සමග ඒම නවතා දැමුවේය. දැන් පාසල් නිවාඩු කාලයට කොල්ලන් සරුංගල් යවන්නේ නැත. දිවා කාලයේ අත්තනගළු ඔයේ ජල තලයට එකතු වෙන අපි එතැන් සිට ඇස් ගෙඩි ගොරකා මද මෙන් දිස් වෙනතෙක් දිය කෙලින්නෙමු. පාලම යටින් ගොස් පාලමේ කොන්ක්‍රීට් කණු දිගේ ඉහළට බඩගා පාලම මතට පිවිසීමත්...එතැනින් නැවත ජලයට පැනීමත් අපට එදා කජු කනවා මෙන් වුවත් මේ තඩි බඩ ගෙඩිය උස්සාගෙන අද සිරා කොලුවා ජලයට පැන්නොත් බඩ පැලී  එතැනම යටියන්තොට යනු ඇත.

අපේ පිහිණුම් නඩය බොහෝ සේ එකමුතුය. පාසල් නිවාඩු කාලයේ දිනපතාම දිය කෙළියේ යෙදෙන විට ඇතැම් ක්‍රියාකාරකම් නීරස වන විට අප අලුත් දේ කරා යොමු වීමු. එකල අපි හැන්දෑ කොරේ ක්‍රිකට් ක්‍රීඩා කලේ වෙන්දේසිවත්ත නම් කට්ටි කර විකුණූ පොල් වත්තක සිටය. ඉඩම් අළෙවිය පිළිබද ප්‍රසිද්ධ සමාගමක් මේ ඉඩම විකුණා අහවර කර තිබූ නමුත් එහි බිම්කොටස් මිළදී ගත්ත උන් ඒවායේ නිවාස තැනීම ඒ වනතෙක් අරඹා තිබුනේ නැත. ඒ නිසාම එහි වූ පොල් ගස් වලට මෙන්ම තැඹිල් ගස් වලටද අයිතිකරුවන් සිටියේ නැත.

අත්තනගළු ඔයේ සිට කුඹුරු ඉඩම් වෙත ජලය රැගෙන ගිය තරමක් විශාල ඇළ මාර්ගයක් මේ ඉඩමට පහළින් වැටී තිබුනි. පහළ සිට ඉහළට ජලයේ පිහිනා විත් ඒ ආසන්නයේම ඇති ගස් වලින් කුරුම්බා කැඩීමේ අපූරු සැලසුමක් වතාවක් සභාවට ඉදිරිපත් කලේ අපේ පිහිණුම් සංගමයේ සිටි ප්‍රබල සාමාජිකයෙකු වූ මාකස් විසිනි. ඒකාගේ නම වෙනත් එකක් වුවද ගමේ කොල්ලන් අතර ප්‍රසිද්ධ වූයේ මාකස් යන නමිනි. ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඔහු රාහුල් ද්‍රාවිඩ් වැනිය. පන්දුවට තට්ටු දමමින් සිටිනවා විනා විශාල පහරකට යන්නේ ඉඳහිට හෙයින් දවා ගැනීම පහසු නැත. පාසල් නිවාඩු සමයේ අප උදෑසනම ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වූ නිසා මේකාගේ තට්ටු දැමීම අපට හිසරදයක් වී තිබූ කාල වකවානුවක්ද විය.

පොල් වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරන කරන විට පන්දුව පොල් ගස් මුදුනේ ඇතැම් විටෙක රැදෙයි. එවන් විටෙක පන්දුව නැවත ලබා ගැනීමට ෆයිලට් කෙනෙකුගේ අවශ්‍යතාව අපට ඇතිවේ. ඒ අවශ්‍යතාව ඇතිවූ දිනක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වළල්ලක ආධාරයකින් තොරව පොල් ගස මුදුනට ලගා වූ මාකස් තම හැකියාව හා පුරා කියා අපට පෙන්වූවේය.

ඔහුට ඇත්තේ අපූරු හැකියාවකි. පොල් ගස අත් දෙකෙන් අල්ලාගෙන ඒ මත ඇවිදිනවා මෙන් කකුල් දෙක තබමින් ඉහළට යන ආකාරය බලා සිටින්නට ආශා හිතෙන එකකි. එදායින් පසු පොල් ගහක පන්දුවක් රැදුන සෑම විටෙකම එය ලබාගන්නට ගුවන් ගත වූයේ මාකස්ය. නමුත් ටික දිනක් යන විට මේ කාරිය පිනට කරන්නට මාකස් කැමති වූයේ නැත.

මට කුරුම්බයක් කඩා ගන්න දෙනවා නම් විතරයි මම නගින්නේ....

මාකස් තම ඉල්ලීම් එලෙස ඉදිරිපත් කරන විට ක්‍රීඩා කරන තැන සිටින වැඩිහිටි එකෙක්...

හා කඩාගනින්කො... කියන්නේ වෙන්දේසිවත්තේ පොල් ගස් එකාගේ දේපොළ යයි සිතාගෙන විය යුතුය.

වෙන්දේසිවත්තට යාබදව තිබුනේ ඇලිස් උපාසිකා මාතාවගේ නිවසයි. බොහොම සැර පරුෂ කාන්තාවක් වූ ඇය, අප හොර කුරුම්බා කඩනවා දුටුවහොත් කනේ ඇගිලි ගහගන්නට බැණුම් අහන්නට වන බව දන්නා නිසාම අපේ කුරුම්බා කැඩිල්ල ඇයට හොරෙන් කල යුතු එකකි.

දිනය උදාවිය. ඇළ මාර්ගය දිගේම අපි උඩුගං බලා පිහිනමින් වෙන්දේසිවත්ත ආසන්නයට පැමිණියෙමු. ඇළ ඉවුරේ සිට බලන විට තම මිදුල අමදින ඇලිස් නෝනාගේ දසුන අපට සමීප වෙයි. ඒ නිසාම ඇය වසන් වන තුරු අප කල්මැරිය යුතුය. වරින් වර පන්දු ලබාගන්නට පොල් ගස් බඩ ගා ඒවායින් කුරුම්බා බී තිබූ මාකස් රසැති කුරුම්බා සහිත ගස් මොනවාදැයි දැන උන්නේය.

අන්න අර ඇලිස් ආච්චිගෙ ගේ කිට්ටුව තියෙන ගහේ කුරුම්බා නම් මාර රහයි...මාකස් එසේ කියයි. එය එතරම් උස නැති එකකි. ඒ නිසා වැඩේ දෙන්නට අපහසුවක් නැත.

හෝරාවක් පමණ ගත වන විට තම මහළු සැමියා සමග නිවසේ සිටින ඇලිස් නෝනා දවල්ට කන්නට යමක් රත් කරන්නට කුස්සියට වැදෙයි. නිවසේ දුම් කවුළුවෙන් දුම් වළාවක් ඉහළට නැගෙන විට ඇය දැන්ම නිවසින් පිටතට පැමිණෙන්නේ නැති බව දන්නා අපි මාකස් දියෙන් ගොඩට කැඳවන්නෙමු. තෙත බරිත කලිසම් කෙටියත්..වතුර බේරෙන දෙපා සහිත වුවත් මාකස්ට ගහට බඩගාන්නට කිසිම අපහසුතාවක් නැත. ඒකා වදුරු පැටියෙකු මෙන් වේගයෙන් ගහේ කරටියට ඇදෙයි. සැනෙකින් ලපටි කුරුම්බා ගෙඩි හත අටක් දෝයි දෝයි හඩින් බිම පතිත වෙයි. ගහ යට රැකගෙන සිටින අනෙක් උන් ඒවා ඇලට විසිකරන්නේ ඉතාම වේගයෙනි. ගෙඩි වැටෙනා ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණෙන ඇලිස් උපාසිකා මාතාවට ගහෙන් බිමට බඩගානා මාකස්ව පෙනෙයි. මාකස්ට ටිකක් ඈතට වන්නට කුරුම්බා අහුලන්නට ආ උන් ඇළ දෙසට දුවන දසුන පෙනෙයි.

අවලං හැත්ත...තොපි හොරෙන් කුරුම්බා කැඩුවද...මට මේ අදුනගන්න බෑ ...නැත්තං මම ගෙදරටම ඇවිත් තොපේ මහ උන්ට කියාදෙන්නෙ...වල් හැත්ත....

ඇලිස් නෝනාගේ කටින් පිට පනින්නේ එවැනි වදන් පෙළකි. ඇයට අනුන්ගේ වත්තක කුරුම්බා කැඩීම මේ තරම් කෝපයක් ගෙන දෙන්නට ඇත්තේ වෙන්දේසිවත්තේ ගස් වලින් වැටුන පොල් බොහොමයක් ඇගේ කුස්සියේදී පොල් කුඩු බවට පත්වූ නිසා විය යුතුය.

පහළට ගලා යන ජල පහර ඔස්සේ අපද දැන් පහළට යන්නෙමු. අපට ඉදිරියෙන් කුරුම්බා පා වෙයි. අපේ නාන තොට අසලදී ජලයෙන් ගොඩ එන මේ කුරුම්බා අප වෙත මහත් රසයක් ගෙන දුන්නෝය. හොර කුරුම්බා කොහොමත් ඉතා රසවත් බව ඒවා එලෙස පානය කල උන් දන්නවා ඇත.

සතියකට දවසක් මාකස් මාර්ගයෙන් හොර කුරුම්බා ගෙඩියක රහ බැලීමත්...ඇලිස් උන්දෑගේ ලෝඹු කටෙන් බැනුම් ඇසීමත් පාසල් නිවාඩු සමයට ඉතා සුුපුරුදු කාරියක් විය.

ඇලිස් ආච්චිගෙ වත්තෙ තියෙනවා රන්තැඹිලි ගහක්...මම දැක්කා හොද පැහිච්ච ගෙඩි තියෙනවා....දෙමුද ඒකට වැඩක්...

අත්තනගළු ඔයේ පිණුම් ගසනා දවසක මාකස් එවැනි යෝජනාවක් කළේය.

කොහොමද බොල ඒ වැඩේ කරන්නෙ..උන්දැ දවල්ට ගෙදර ඉන්නවා නොවැ.

උන්දැ ඉන්නෙ ගේ ඇතුලෙනෙ...අපි ගෙඩි ටික සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න පහලට දාමු...

මාකස්ට එවැනි සැලසුමක් තිබේ.

සුපුරුදු පරිදි ඇළ දිගේ ඉහළට පිහිනා පැමිණි කුරුම්බා නඩය ඇළිස් උපාසිකාවගේ වත්ත පිටුපසින් රන් තැඹිලි ගස ඉලක්ක කොට ඉදිරියට ඇදෙයි. නිවසේ දුම් කවුළුවෙන් ඉහළට ඇදෙනා දුම් රොටු ඇය ආහාර පිසින බව අපට සැළකරයි.

මාකස් තෙත බරිත කලිසම් කොටය පිටින් තැඹිලි ගහේ කඳ මත ඇවිදියි. සැනෙකින් තැඹිලි ගහේ මුදුනට සැපත් වෙන ඔහු අතින් කරකවා තැඹිලි ගෙඩියෙන් ගෙඩිය බිම සිටිනා උන් වෙත එවයි. ඒවා කිසිදු හඩක් නොනගා බිම සැතපෙයි.

එහෙත් තැඹිලි අල්ලන්ට සිටි එකෙකුගේ අත් වැරදීමකින් දෝයි යනුවෙන් මහ හඩක් නගාගෙන තැඹිලි ගෙඩියක් බිම පතබෑවිනි.

පෙර වැරදි තිබෙන නිසාම මේ හඩ කුමක්දැයි හොඳින් හදුනන ඇලිස් නෝනා එදා එළියට පැන්නේ අතට අහුවුන ඉඳලද සමගය. වෙනදාට වෙන්දේසිවත්තේ කුරුම්බා කඩන උන් අද තමන්ගේ වත්තේ ඇති රන් තැඹිලි ගහේ ගෙඩි කරකවනවා දුටු උන්දැට සිටිනා තැන අමතක වෙන්නට ඇත. අමු තිත්ත කුණු හරුප වැස්සක් වහින්නට විය.

තොපි කාගෙන් අහලද යකෝ මගේ තැඹිලි ගහට බඩගෑවෙ...අවලං හැත්ත...හිටපියව් මම තොපිට හොඳ වැඩක් කරන්න. අනුන්ගෙ ගහක ගෙඩියක් තියාගන්න දෙන්නෙ නෑනෙ මේ හු........ පුතාලා.

ඇලිස් උන්දෑ කෝපයෙන් පරල වී අපේ උන් පසුපස ඉඳල වන වනා පහරදෙන්නට එලවයි. එහෙත් ඇයට සැනෙකින් මතක් වූයේ ගහට බඩ ගෑ එකා තවමත් ගහේ බවයි.

ගහ බදාගෙන සිටින මාකස් දැන් තැඹිලි කරටියේ සිටී. ගස් නගින්නට වළල්ලක් පාවිච්චි නොකරන නිසා කොටියාට මෙන්ම මාකස්ටද ගහෙන් බැසීම නගිනවා තරම් පහසු නැත. ඉඳලක් අතින් ගත් කුණු හබ්බයෙන් පළාත නැති කරන ඇලිස් නෝනා ගහ යට සිටියි.

තෝ වරෙංකො පහලට...මම තොගෙ කොන්ද කඩනවා අද ආයෙ ගස් බඩගාන්න බැරි වෙන්න. මම මෙතනින් යන්නෙ නෑ උඹ ගහෙන් බිමට බහිනකං...

මහත් සේ තැතිගෙන සිටින මාකස් කකුල් දෙක පටලවාගෙන ගහ බදාගෙන සිටින අයුරු දුටු විට ඒකා ගැන අපට දුකක් ඇතිවෙයි. අපි සියල්ලෝ වෙනුවෙන් තැඹිලි කරකවන්නට ආ මාකස් මේ උවදුරෙන් ගලවා ගත යුතුය.

අප්පට සිරි තඩි නයෙක්...රිංගුවා රිිංගුවා  මෙන්න ඒකා කුස්සිය ඇතුලේ....ඇලිස් ආච්චියේ මෙන්න කලු නයෙක් කුස්සියේ..

අපේ එකෙක් අපේ නොවන ලෙසින් නිවසේ පිටුපස සිට මරහඬ දෙයි. ඒ හඩින් උන් හිටි තැන් අමතක වූ ඇලිස් නෝනා මාකස් අත හැර නිවසට දිව්වේ නයා බලන්නටය. ඒ අතර තුර සුරුස් ගා ගහෙන් බිමට ලෙස්සූ මාකස් තැඹිලි ගෙඩියක්ද රැගෙන ඇළ ඉවුරට පැමිණ ජලයට පැන්නේය. කලු නයා දකින්නට අපහසු වූ කෝපයෙන් ඉඳලත් ඔසවාගෙන මාරාවේශයෙන් ඒකා පසුපස එළවාගෙන පැමිණි ඇලිස් නෝනා ඇළ ඉවුරේ නැවතී...අප සියල්ලන්ගේම මව්පිය වරු සෙනෙහසින් මතක් කලාය.

අපේ පිහිනුම් නඩයේ සිටි අනිත් කටකාරයා කිත්තාය...ඒකාට කාන්තා කටහඬකින් කථා කිරීමේ අපූරු හැකියාවක් තිබුනි. එකල අපේ පළාතේ බොහොමයක් යුවතියන් ඇඟලුම් කම්හල් වල සේවයට එකතුව සිටි හෙයින් අපට යාබද ගමට ගමන් ගන්නා සේවිකාවන් බොහෝ විට අප කරණම් ගසනා පාලම මතින් එගොඩට ගියෝය.

තරුණියන් පිරිසකට පාලම මතට එන්නට ඉඩ දී පාලම යට සිට කිත්තා නගන්නේ මර හඬකි.

අනේ අයියා මාව අත අරින්න...මගෙ ඇදුම් මට දෙන්න..මාව අනාථ කරන්න එපා අයියා...අනේ පින්සිද්ධ වෙයි මට යන්න දෙන්න...

පාලම යටින් ඇසෙන්නේ යම්කිසි අතවරයකට ලක් වූ යුවතියකගේ හඬ යැයි සිතා කෙල්ලන් විදුලි වේගයෙන් ආපසු හැරී ඒ ආසන්නයේ තිබෙන මහතු මාමාගේ කඩයට දුවයි. කිත්තාද පාලම යටින් ඔයට පැන විදුලි වේගයෙන් අතුරුදන් වන නිසා අතවරයට පත්වූ යුවතිය සොයා එන උන්ට කිසිදිනක විත්තිකරුවන් සොයාගන්නට හැකියාව ලැබුනේ නැත.

දියකෙළිය අතරතුර සිදුවූ තවත් රසබර සිදුවීම් තිබේ. ඒවා ඉදිරි දිනයක ලියන්නෙමි. සිරා කොලුවාගේ හිත හදිසියේම අතීතය කරා ගොස් තිබූ වේලාවක මේ සටහන ලියවුන බව ඔබට කියන්නට රිසි වෙමි.



මම කාමරේ අරින සිරා කොලුවා.



Tuesday, September 9, 2014

83 කමලා නිසා අඟලාගෙන් ගුටි කෑ වීර චොපා

සිරා කොලුවා 9 කැලෑසියේ ඉගෙනගත්ත කාලෙ අපිට විද්‍යාව විෂය ඉගැන්නුවෙ සුගතදාස කියලා සෑර් කෙනෙක්. මෙතුමා බොහොම මිටි කෙනෙක් හින්දම අපිට කලියෙන් එතුමාගෙන් ඉගෙනගත්ත කුපාඩි කොල්ලො අඟලා කියලා විකට නාමයක් එතුමාට පට බැදලා තිබුනෙ.

අපි ඉතිං ඔය කියන කාලෙ කොට කයිසං අදින සූටි එව්වො වෙච්චි කොට සෑර්ට කවදාවත් අඟලා කියලා කථා කොලේ නෑ එතුමා ලගපාතක ඉන්න වෙලාවට. සිරා කොලුවා හිටියෙ 9 F පන්තියෙ. අනෙක් පාසල් වල කොහොම උනත් අපේ ඉස්කෝලෙ 9 වසරෙදි තාක්ෂණික විෂයන් වලට සැට් එක තෝරා ගත්තෙ ගණිතය විෂයට 8 වසර කැලෑසියෙදි ලබපු සාමාර්ථය දිහා බලලා. ලකුණු අඩු එවුන් කෘෂිකර්මාන්තය, ලී වැඩ, ලෝහ වැඩ වගේ ඒකක වලට තල්ලු කොරලා දැම්මා. 9 F  පන්තියෙ වැඩිපුර උන්නෙ වාණිජ වෙනුවට වෙනත් විෂයක් හදාරපු ඇත්තො. මමත් එහෙම එකෙක් බොලව්. මම කලේ ලී වැඩ.

ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට බලාන ආවම F අකුරට ටිකක් දුරයි නොවැ...ඒ අරුතෙන්ම බොලාට වැටහෙනවා ඇති අපේ පන්තියෙ හිටිය එවුන්ගෙ කැරැට්ටුව කොහොමද කියලා. පන්තියම භය කරගත්ත මහ චණ්ඩියෙක් හිටියෙ නැති උනාට, චණ්ඩි දෙන්නෙක් තුන්දෙනෙක්ම මේ තැන ගන්න තරග කොලා. උන් උන් අතර ඇයි හොදයියක් තිබුනෙම නෑ.

මේ කිව්ව චණ්ඩි අතර ඉදිරියෙන්ම හිටිය දෙන්නා තමයි වීර චොපා සහ රට බල්ලා. චොපා චොපා කියලා මුලින් මුලින් කොල්ලො කථා කලාට, වාසගම වීර පොකුණ නිසා අන්තිමේදී චොපා වීර චොපා උනා. රට බල්ලගෙ කම්මුල් දෙක පිම්බිලා වගේ තමයි කොයි වෙලාවෙත් තිබුනෙ. ඒ හින්දයි ඒකා රට බල්ලා උනේ. සමහරු Country Dog කිව්වා. අ.පො.ස සා/පෙ ලියපු වසර වෙද්දි ඒ නම තවත් කොට වෙලා කන්ට්‍රියා බවට පත් වෙලා තිබුනා.

වීර චොපා වගේම රට බල්ලත් හිටපු ගමන් ඇවිළුනා...හරියට සංස්ථා පෙට්‍රල් වලට ගිණිකූරක් විසි කලා වගේ. උන් දෙන්නා පන්තිය මැද්දෙ අතපය වනාගද්දි අනිත් එව්වො දෙන්නා දෙපැත්තට කලේ නෝර්වේ සාම නියෝජිත සොල්හයිම්ලා වගේ.

පන්තියක් කියන්නෙ ඉතිං සාමාන්‍ය ජන සමාජයේ පැතිකඩක් වගේ තමයි...චණ්ඩි අස්සෙ නොන්ඩිත් උන්නා. උන් කා එක්කවත් වලියට ගියෙත් නෑ...ගහ බැන ගත්තෙත් නෑ, පාසලේ බාහිර ක්‍රියාකාරකමක් කලෙත් නෑ, ඉගෙන ගත්තෙත් නෑ. හරියට පතෝල වගේ තමයි.

වීර චොපා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය නිසා පිරිස් බලයේ පොඩි වැඩිවීමක් තිබුනා. රට බල්ලා චණ්ඩිකම් දැම්මට කිසිම බාහිර වැඩක නියලුණු එකෙක් නෙමෙයි. ඒ නිසාම මිනිහා තනියම තමයි හැම අභියෝගයකටම මුහුණ දුන්නෙ.

අපේ 9 කැලෑසියෙ හිටිය උන්ගෙ මූණු පොඩි මට තවම හොදට මතකයි. පන්තියෙ ඉගෙනීමට බර, හොද ළමයි කියලා ගුරුවරුන්ගෙන් නිතරම වගේ අහපු පිරිස පන්තියේ ඉදිරියෙන්ම හිටියා. ඊලගට පන්තියේ ජෝකර්ලා සහ පතෝල..ඊටත් පස්සෙ චණ්ඩි.

අපේ පන්තියේ හැමදාම පළවෙනියා උනේ ලතා. ගෑණු ළමයෙක් වගේම තමයි මිනිහා. ඇවිදින්නෙ කථා බහ කරන්නෙ වගේම කටහඩේ පවා කාන්තා ලකුණු තිබ්බා. ඌට හැමෝම ලතා කිව්වට අමනාපයක් නෑ. ලතාට හොදට සින්දු කියන්නත් පුලුවන් නිසා කාලයක්ම සිරා කොලුවා සහ කමල් ගොයියා එක්ක විද්‍යාලයේ ගායනා කණ්ඩායමත් නියෝජනය කලා. පස්සෙ කාලෙක අපි හැමෝම පුදුමයට පත් කරවමින් ලතා අනෙක් හැමෝටම කලින් වෛද්‍යවරියක් සමග විවාහ උනා. දැන් දරු සුරතල් බලන ගමන්. ලතා ඒ කාලෙ හිටපු විදියට මේකා දැන් පියෙක් කිව්වාම අපේ සමහර මිතුරො පුදුම වෙනවා. ඌට ඇතිවෙච්ච තදියම ගැන.

ලතාගෙ සෑම්පලයේම තව කෙනෙක් උන්නා රසික කියලා. මිනිහා පුදුමාකාර විදියට නිශ්ශබ්දයි. කවදාවත් දගලන්නෙ නෑ. කවුරුවත් රසිකගේ වැඩ වලට බාධා කලෙත් නෑ.

මම මේ කියන කාලෙ අපේ කැලෑසියට උගන්වන්න ආපු ගුරු භවතුන් අතර සැර පුරුෂ ගුරු භවතුන් දෙතුන් දෙනෙක් හිටියා. ඒ කාලෙ බොහෝ උන්ට වගේම මටත් ගණිතය නම් පත්තියන් උනේම නෑ. විද්‍යාවෙ නම් අවුලක් තිබ්බෙ නෑ.


අපිට ගණිතය ඉගැන්වූවෙ ලොකු බැබ්බා....එයාට ලොකු බැබ්බා කිව්වෙ පොඩි බැබ්බා කියලා තවත් ගුරුවරයෙක් විද්‍යාලයේ සේවය කරපු නිසයි. බැබුන් කියන සතාගෙ මුහුණෙ පෙනුම මතක් කරගනිල්ලකො....ඉතිං මේ කිව්ව දෙන්නගෙත් ඊට සමාන ලක්ෂන මූණත් තහඩුවෙ තිබුන නිසා තමයි බැබුන් කියන වචනයෙන් සමහර කෑලි ලොප් කරලා බැබ්බා කියලා යොදලා තිබුනෙ.

මේ කියපු බැබ්බලා දෙන්නම තිතට උගන්වපු ගුරුවරු. කවදාවත් අයිස් ගැහුවෙ නෑ. විකට නම් යොදලා තිබුනට මේ ඇත්තො ගුරු දෙවිවරු. ඒ නිසයි ඒ අයගෙන් ඉගෙන ගත්ත අපේ උන් හිරේ විලංගුවෙ නොවැටී යහපත් ජීවනෝපායක නිරත වෙමින් වර්තමානයේ ජීවත් වෙන්නෙ.

9 වසරෙදි විද්‍යාව උගන්වපු සුගතදාස සෑර් වගේම ගණිතය උගන්වපු ලොකු බැබ්බා සෑරුත් ගෙදර වැඩ කියලා යමක් දුන්නොත්, පහුවදාට ඒවා බලනවාම තමයි. ඒ වෙලාවට ඒවා නොකරපු උන්ට සම්බුව දුන්නා මදි නොකියන්න. වේවැල පාවිච්චියක් නෑ. අතින් පයින් තමයි ගණුදෙනුව බේරගත්තෙ. එහෙම වෙලාවට අසරණ අපිට උදව්වට හිටියෙ අපේ ලතා, නැතිනම් රසික.

අපි දන්නවා පන්තියෙ කවුරු වැඩ නොකලත්...සෑර් දීපු ගනන් ටික මුන් දෙන්නා හදන විත්තිය.

ලතෝ...උඹ ගෙදර වැඩ කලා නේද..පොත දීපිය මෙහෙට්ට....

අන්න එහෙමයි පන්තියෙ චණ්ඩි ලතාව ආමන්ත්‍රණය කොලේ....

ගෙදර වැඩ නොකරපු දවසට එහෙම උන් වේලාසන ඉස්කෝලෙට එනවා...උදේ ඉදන් අතින් අත යන ලතාගෙ වගේම ගැටළු විසදපු අනිත් අයගෙ  පොත් වලින් සැට් එකම නියමෙට කොප්ප ගහනවා....

මෙහෙම කොප්ප ගහලා සිරා කොලුවා වන මට කෙළවුන දවසකුත් මගේ මතකයට එනවා බොලව්...මගේ සායම හේදුනත් ඒ කථාවත් කියන එක මගේ යුතුකම.

ලොකු බැබ්බා මේ කියන දවස් වල ජ්‍යාමිතිය ගැනයි උගන්වමින් උන්නෙ. අපි සැට් එක සුපුරුදු විදියට ලතාගෙන් කොප්ප ගහලා බබාලා වගේ පන්තියෙ ඉන්නවා දැන්.

සෑර් ගෙදර වැඩ බැලුවා...හැමෝම කරලා...එකෙක්වත් නොකර ඉදලා නෑ.

ලොකු බැබ්බා සෑර් සාමාන්‍යයෙන්උඹ බං බොලං කියලා තමයි කථා කරන්නෙ...

මෙහෙ වරෙං.....

හෙණයක් පාත් උනා වගේ එක පාරටම පන්තිය සසල වෙලා නිසල උනා.

ඔව් ඔව්...වට පිට බලන්න දෙයක් නෑ උඹ තමයි....අනේ ඒ උත්තමයා මගේ දිහාට අත දික්කරගෙන බලා ඉන්නවා.

මමත් ඉතින් පුරුෂ දහිරිය එකතු කරගෙන සෑර් ලගට ගියා.

උඹලා දැන් මම දුන්න ගනං ටික හදලා තිබුනනෙ. මෙන්න මේ ගාන මට කළු ලෑල්ලෙ හදලා පෙන්නපං....

අපේ ගණං සෑර් මට ගණිතය පෙළපොතේ ජ්‍යාමිතියට සම්බන්ධ ගැටළුවක් ඉදිරිපත් කොලා. අනේ ඉතිං දැන් මක්ක කරන්නද....ලතාට කියලා හදාගන්නයැ...

මම ඉතිං එතුමා ලගට ගොහින් කොටි වලිගෙ අල්ලගත්ත එකා වගේ වට පිට බල බලා ඉද්දි සෑර්ට වැඩේ තේරුනා...

උඹලා හිතන්නෙ අපි දන්නෙ නෑ බබ්බු කියලා නේද...අනුන්ගෙන් කොපි කලාට විභාගෙට උත්තර ලියන්න ඕනෙ උඹ නේද.....

උඹ සිස්සත්වෙ පාස් වෙලාද මේ ඉස්කෝලෙට ආවෙ.

ඔව් සෑර්

ලකුණු කීයද...

.........

උඹ ඒ කාලෙ හොඳ ළමයෙක්.... ඊට පස්සෙ තමයි උඹ නරක් වෙලා තියෙන්නෙ.

එහෙම කියලා මගේ කං කෙටියෙන් අල්ලගෙන....මගේ ඇගේ සවි ශක්තිය මදි කියලා එතුමාට හිතුන තැන් වලට මිට මොළවලා පාරවල් දෙක තුනක් දුන්නෙ....උඹ කෝනෙ දන්නෙත් නෑ...පාදය දන්නෙත් නෑ කියන ගමන්.

මම ඉතින් ෆුල් සාටර් වෙලා අස්සයා මැරිච්ච කව් බෝයි වගේ ආයෙමත් මගේ පුටුවට බර උනා.

එතැනින් පස්සෙ ලොකු බැබ්බා බෝඩ් එකේ ගනං හදන්න ආරාධනා කොලේ පන්තියෙ හිටිය පතෝල වගේ මෙලෝ රහක් නැති අල පඩයට.

උගෙ තිබ්බ වාසනා මහිමයට...ගාන හදන්න නැගිටිනකොටම කාලජේදයේ අවසානය සනිටුහන් කරමින් සීනුව නාද උනා. සෑර්ටත් හිනා... ඒ උත්තමයා අල පඩයා ලගටම ඇවිල්ලා....

කොල්ලො අද උඹේ වාසනාව හොදයි...යන ගමන් ස්විප් ටිකට් එකක් අරගෙන පලයං....අමතක කරන්න එපා...කියලා තට්ටුවක් දැම්මා.

9 වසරෙදි විද්‍යාව උගන්වපු සුගතදාස සෑර් හෙවත් අඟලා සෑර් කොල්ලන්ට දඩුවම් කලේ ඉදලා හිටලා දවසක. ඊට පස්සෙ වසරෙදි අපට විද්‍යාව උගන්වපු පොඩි බැබ්බා සෑර් නම් නිතරම වගේ කොල්ලන්ට සැර වැර කලා. මේ දෙදෙනාම ඒ කාලෙ රූපවාහිනී අධ්‍යාපන විකාශනයට පවා දායක වෙච්ච බොහොම දක්ෂ ගුරුවරු.

කිරිවත්තුඩුවගේ ලසන්ත මිහිලැල් හෙවත් හැමෝම කියපු විදියට KLM තමයි අපේ පන්තියෙ හිටිය මහතම එකා. ඒකාගෙ දෙමාපියන්ට බේකරියක් තිබුනා. බේකරියෙ පිටි කාලම වෙන්න ඇති මේකා ඌරෙක් වගේ මහත් වෙලා හිටියෙ. අපි ඉතින් උදේට කන්න කියලා රුපියල් 20 ගෙදරින් ඉල්ලගෙන ඉස්කෝලෙ ආව කාලෙ බේකරියෙ ලාච්චුවට අත දාලා රුපියල් 200 කට වඩා ගානක් KLM පාසලට දිනපතා අරගෙන ආවා.

මේ සල්ලි වලින් KLM උගෙ සහචරයන්ට පාසලේ කැන්ටිමෙන් මදි නොකියන්න කන්න අරගෙන දුන්නා හැමදාම වගේ. පන්තියෙ හිටිය පතෝල ටිකකුයි...ඔටුවා වගේ ලෝක කපටියො ටිකකුයි KLM ගෙ ඕනෑ එපාකම් ඉටුකරමින් උගෙ ලගටම වෙලා උන්නා අතවැසියො විදියට.

ඒ අව් අස්සෙ අපි පන්තිය ඇතුලෙම කැනීම් කටයුත්තකුත් කරගෙන ගියා. 9 F පන්තියේ පැති බිත්තියක අපිට කලියෙන් මේ පන්තියෙ හිටිය උන් හාරපු ලොකු හිලක් තිබුනා...හරියට පුංචි ගස් බෙනයක් වගේ...බිත්තියේ ගඩොල් පසාරු කරගෙන බොහෝ දුරට මෙය හාරලයි තිබුනෙ. අපට යාබද පන්තිය 9 G. අපේ පන්ති දෙක අතර සුහදතාව වර්ධනය කරන්න මේ කුහරය දිනපතාම ගුරුවරු නැති වෙලාවට ටික ටික හෑරුවා. නමුත් දෙපැත්ත යා වෙන්න කිට්ටු දවසක හොද සිමෙන්තියෙන් එය වසා දමා තිබුනා.

විද්‍යාව උගන්වපු සුගතදාස සෑර්ගෙන් හොඳ ගුටියක් ලබපු එකෙක් තමයි සිංගප්පූරුවෙදි මට මුලිච්චි උන අපේ චාමර ගොයියා. චාමර කියන්නෙ අපේ පන්තියේ විභාග ලකුණු වලින් පළමු 5 දෙනා අතර සිටිය කෙනෙක්. නමුත් මිනිහා ලතා වගේ නෙමෙයි. දැගලිල්ල උපරිම. දවසක්දා චාමර තව එකෙකුත් අල්ලගෙන පන්තියේ දගලමින් උන්න වෙලාවක...පිටිපස්සෙන් ආව සුගතදාස සෑර්ව දැක්කෙ නෑ.

චාමරයගෙ කනෙන් අල්ලගෙන සෑර් ගුරු මේසය ලගට ඒකව කුදලගෙන ගියා.

උඹ මොකද ගුරුවරයෙක් නෑ කියලා පන්තියෙ දගලන්නෙ. උඹලා වගේ උන් හින්දා තමයි පන්තියෙ ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙන ගන්න නැත්තෙ.

උඹ කී වෙනියද මේ සැරේ පන්තියෙ

4 වෙනියා සෑර්

මොකක්...4 වෙනියා...පන්තියේ දගලනවා මදිවට උඹ බොරුත් කියනවද ? උඹ වගේ දාංගලේ තියෙන එකෙක් කොහොමද බොල 4 වෙනියා වෙන්නෙ කියලා අඟලා සෑර් චාමරයට තද පාරක් දුන්නා.

එදා එහෙම ගුටි කෑවට චාමරයා ඇත්තටම පන්තියේ 4 වෙනියා. අවුරුදු 12 කට පස්සෙ මේකාව මට සිංගප්පූරුවෙදි මුලිච්චි වෙච්ච වෙලාවෙත් අපි මේ සිද්ධිය මතක් කරලා හිනා වුනා ඔහුගේ බිරිදත් සමගම. මේ දෙදෙනාම අද මෘදුකාංග ඉංජිනේරුවන්.

වීර චොපාට වෙච්ච සන්තෑසිය මතක් වෙද්දිත් මට හිනා යනවා. සුගතදාස සෑර් ඉංග්‍රීසි භාෂාවෙන් පවා විද්‍යාව උගවන්නට හැකියාව තිබුන ඉතාම හොද ගුරු පියෙක්. එතුමා සා/පෙ පන්ති වලට වගේම උසස් පෙළ විද්‍යාව පන්ති වලටත් අධ්‍යාපනය ලබා දුන්න නිසාම බොහෝ වෙලාවට පාසලේ විද්‍යාගාරයක තමයි හිටියෙ.

සමහර වෙලාවට අපිට පොත්පත් අරගෙන විද්‍යාව කාලජේදයට විද්‍යාගාරයකට එන්න කියලා පණිවිඩේ එවනවා. අදත් එහෙම දවසක්. මම වේලාසනම කිව්වා නොවැ..වීර චොපා කියන්නෙ චණ්ඩියෙක් කියලා...මේකට එක තැනක් ඉන්න බෑ...නළියනවා...ඉතින් දැන් අඟලා සෑර් විද්‍යාගාරය ඇතුලෙ අපට පාඩම කරගෙන යනවා.

අපේ පන්තියෙ ඒ දවස් වල උන්නු ගායනා කණ්ඩායම නියෝජනය කරපු මගේ මිත්‍රයා කමල් වීර චොපාගෙ කවකටු පෙට්ටිය කුමක් හෝ හේතුවකට අර ගත්තට ආපසු දීලා නෑ.

කමලො කවකටු පෙට්ටිය දීපිය..සෑර් ලියන්න දෙද්දි ලියාගන්න විදියක් නෑ. පෑන ඒක ඇතුලෙ....

වීර චොපා හෙමිහිට මුමුණනවා....ඒත් ටිකක් ඈතින් ඉන්න කමලට මේ වගක් ඇහෙන්නෙ නෑ...

වීර චොපා දන්න වැඩ ඔක්කොම පාවිච්චි කරලා පයින්ඩෙ යවන්න හැදුවත් හරිගියේ නෑ. අන්තිමේදි නප්පියට නැග්ග චොපාට විද්‍යාගාරයෙ තමා ඉන්න බව අමතක උනා...

කමලෝ......... කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා.

අනේ අපේ සුගතදාස සෑර්ට ඒක ඇහුනේ අඟලෝ.... කියනවා වගේ.

එතුමාගෙ මල අතට ආවෙ තත්පර කීපෙකින්.  සුගතදාස සෑර් වේවැල් කොටේකුත් අරගෙන වීර චොපාට ගහන්න පැන්නා.

උඹ මම කවුරු කියලා හිතුවද යකෝ අසමජ්ජාති කථා කියන්න..එහෙම කියලා වීර චොපාට ගහපු ගැහිල්ලක් හැබෑට....එද මෙදා තුර ගුරුවරයෙක් එහෙම ගහනවා මම නම් දැකලම නෑ. අන්තිමේදි වේවැල කැඩිලම ගියා. නමුත් චොපා නෙමෙයි සැලුනෙ...මිනිහා එච්චර ගුටිකාලත් කිසි දෙයක් නොවුන ගානට හිටියා. සුගතදාස සෑර් මේ තරම් කිපෙනවා අපි කවදාවත් දැකලා තිබුනෙ නෑ...කොල්ලො කවට කමට කියන නම් ගුරුවරු දැන ඉන්න බව අපේ අක්මා වලට එදා වැටහුනා.

අද කාලෙ එකෙක්ට ඒ විදියට ගැහුවා නම්...සමහර විට ගුරුවරයා උගෙන් ගුටිකනවා...නැත්තං මානව හිමිකම් නඩුවක් වැටෙනවා. නමුත් මේ මොන දේ උනත් අපිව හොද මිනිස්සු කරන්න නේද මේ ගුරුවරු එදා අපට දඩුවම් කලේ කියලා අපේ හිත් අපට කියද්දි...අද සැදෑ සමයට එළැඹිලා ඉන්න මේ චරිත ගැන අපේ හිත් වල උපදින්නෙ අප්‍රමාණ ගෞරවයක්. මහමගදි මේ චරිත හදිසියේ අපට හමුවුනාම අපිටත් හොරෙන් ඒ අයගෙ දෙපා පාමුල අපි වැද වැටෙන්නෙ තුන් හිතකවත් අඹමල් රේණුවක තරමේ තරහක් නැති නිසයි.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මේ කිසිම ගුරුවරයෙක් අද අපේ පාසලේ සේවය කරන්නේ නැත. කාලය මැව් අරුමය මේ යැයි ශපථ කරමින් ඒ අය ගෝලයන්ගේ ඉදිරි ගමන දෙස බලමින් විශ්‍රාම සුවය විදියි.

වීර චොපා පිළිබද පාසල් කාලයෙන් පසු හෝඩුවාවක් නැත/ KLM දෙමාපියන්ගෙන් පසු බේකරියේ පාලනය භාරගෙන එය එදාට වඩා දියුණු තැනකට රැගෙන විත්  ඇති බව ඔහු ලගකදී මුලිච්චි වූ අය මට කියා තිබේ. එතැනට යන අපගේ ඕනෑම පරණ මිත්‍රයෙකුට මාළු බනිසක්, කිඹුලෙක් කන්නට දී කථාවට වැටීම උගේ සිරිත බව අසන්නට ලැබුනි/ අලපඩයා මෙන්ම ඔටුවාද දෙමාපියන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වී අද වගකීම් සහගත වී සිටිති / රටබල්ලා තම උපාධිය සම්පූර්ණ කර ඔහුගේම මුද්‍රණ ව්‍යාපාරයක් අරඹා තිබේ/ කමලාද මා මෙන් විදේශගතව සිටියි.

Thursday, August 14, 2014

114 නෙවිල් අයියා සහ ගමේ සංගීතේ

මට මතක ඇති කාලයේ අපේ ගමේ සංගීත කාරයෙකුට හිටියේ නෙවිල් අයියාය. 90 දශකයේ මුල භාගය වූ මේ කියන කාලයේ නෙවිල් අයියා භද්‍ර යෞවනයෙකි. සිරා කොලුවා තුනේ  පන්තියේ සිටියේ වුවද රටේ එවකට පැවති සංගීත රැල්ල පිළිබද යම් මතකයක් තිබීම මේ ලිපිය ලියන්නට ආශිර්වාදයකි. ගමක් ගමක් පාසා සංගීත කණ්ඩායම් හදා ගැනීමේ උන්මාදයකින් එකල තරුණ කැළ පෙළුනු බව සැබෑවකි. අන්තර්ජාලය හෝ වර්තමානයේ ඇති වෙනත් විනෝදාත්මක අංගයන් සුලභ නොවූ මේ කියන කාලයේ සංගීතය සමග දිවි ගෙවීම මේ ඇත්තන්ට මහත් සතුටක් වන්නට ඇත.

නෙවිල් අයියා ගිටාර් වාදකයෙකි. ඔවුන්ගේ සංගීත කණ්ඩායම සතියේ බොහෝ දින වල හැන්දෑ කොරේ සිය පුහුණුවීම් කලේ ඔවුන්ගේ පුංචි නිවෙසේ ඉදිරියෙන්ම තිබූ කාමරයකය. මේ නිවසට ළග පාත සිරා කොලුවාගේ වාස භවනද පිහිටා තිබූ හෙයින් පුහුණුවීම කරනා විටෙක මේ කාරිය දැක බලාගන්නට මා හට ඇති වන කුතුහලය නිම වෙන්නේ එම ඉසව්වට පා නැගීමෙන් පමණක්මය.

වර්තමානයේ තාර දැමූ මාර්ගයක් තිබුනද එකල අප ගම මැදින් වැටී තිබුනේ ගුරු පාරකි. මේ ගුරු පාරට කිට්ටුව පිහිටි නෙවිල් අයියාගේ සංගීත කාමරයේ පාර දෙසට වන්නට තිබූ ජනේලයේ එල්ලී ඔවුන්ගේ පුහුණුවීම්  නැරඹූ එකම නරඹන්නාද මා පමණක්ම විය. සිරා කොලුවා උත්පත්තියෙන්ම සංගීත රසකාමියෙක් වීම මේ අරුමයට හේතු භූත වන්නට ඇත.

රිදම්, ලීඩ්, බේස් ගිටාර් වාදකයන් තුන් දෙනාට අමතරව ඩ්‍රම්ස් සහ කී බෝඩ් වාදකයන් දෙදෙනා පුංචි කාමරයේ කිටි කිටියේ හිර වී සිටි අන්දම මට තවමත් මතකයට නගා ගත හැක. කුඩා එකෙකු වූ මා ගැන තැකීමක් නොකල ඔව්හු සිය කාරියේ දිගින් දිගටම නියැළුනු අතර කී බෝඩ් වාදන ශිල්පියා පමණක් ඉද හිට සිනහවකින් සංග්‍රහ කල බවද මතකය.

එකල ගම් මට්ටමෙන් සංගීත කරුවන් බවට පත් වී සිටි බොහෝමයකගේ බාහිර සමාජයට පෙනෙන සංගීත සළකුණ වූයේ දිගට වවන ලද කොණ්ඩයයි. අපේ නෙවිල් අයියාටද එවැනි කොණ්ඩයක් එකල තිබුනි. වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, රාජු බණ්ඩාර මෙන්ම එකල ජනප්‍රිය තලයේ ඉහළින්ම සිටි වාදකයෙකු වූ අතුල අධිකාරිද කොණ්ඩය වැවූ අයවලුන් වීම ඒ රැල්ලට ජවයක් එක් කරන්නට ඇත.

අන්න අදත් නෙවිල්ලගෙ බජව්ව පටන් අරන්...සංගීත කණ්ඩායමේ හඩ අපේ නිවෙසට ඇසෙන විට මගේ පියාණන් නොයෙක් වර එසේ කියා තිබේ.

එකල පාසලේ මා වටා සිටි කොල්ලන් බහුතරයකටද මේ කියන සංගීත රසය දැනෙමින් තිබූ යුගයකි.

ඊයෙ පොලේ වත්තෙ සංගීතයක් තිබ්බා....ලීඩ් ගිටාර් එක කරේ තියාගෙන ගැහුවෙ...

එවන් විටෙක ඔව්හු මෙවැනි සිදුවීම් මහත් අභිරුචියෙන් විස්තර කල අයුරු මට මේ ලිපිය ලියන අතරතුර මෙනෙහි වෙයි.


ලංකාවේ කණ්ඩායම් සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූ සංගීත කණ්ඩායමක් වූ බ්ලූ ෂැඩෝස් හි එකල කී බෝඩ් වාදන ශිල්පියා වූ චමින්ද කොළඹගේ අයියාද අප ගම්මානයට යාබද ගමේ විසූවෙකි. ගමේ ජන සමාජය තුල ඔහුට තිබුනේ හොද පිළිගැනීමකි. ඔහුගේ පියා සංගීත ගුරුවරයකු වූ අතර මවට හැර පවුලේ සියල්ලන්ටම කිසියම් හෝ වාදන භාණ්ඩයක් වාදනය කල හැකි බව ප්‍රකටව තිබුනි. එම කණ්ඩායමේ ගායකයෙකු වූ සංගීත් විජේසූරියද අපට කිට්ටුව සිටි කෙනෙකු වූ හෙයින් ගම් මට්ටමින් සංවිධානය වූ බොහෝ සංගීත ප්‍රසංග වල වාදන කණ්ඩායම වන්නට බ්ලූ ෂැඩෝස් ලාට හැකි විය.

සිරාට සිටින බාප්පලා කීප දෙනා අතරින් වරායේ රාජකාරී කරන බන්දුල බාප්පා ස්වභාවයෙන්ම හොද රස වතෙකි. මේ කියන කාලයේ ඔහු සේවය කලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙසයි. ඔහුට ලැබෙන කෙටි විවේකයෙන් වැඩි කොටසක් ගෙවුනේ කාමරයේ වූ බොක්ස් ගිටාරය සමග ඔට්ටු වීමෙනි. ඔහුගේ ගුරුවරයා වූයේ පෙරකී නෙවිල් අයියායි. හෙතෙම ලබාදුන් ගුරුහරුකම් නිවාඩුව අවසන් වන තුරු පුරුදු පුහුණු වීම බන්දුල බාප්පාගේ සිරිත විය.

වරක් බාප්පා අසල ගම්මානයේ වූ සංගීත ප්‍රසංගයක ගායකයෙකු වෙත මූල්‍ය අනුග්‍රහය එක් කර තිබුනි. ඒ හේතුවෙන් එම සංගීත ප්‍රසංගය නැරඹීමට ආරාධිතයකු ලෙස ආරාධනා ලැබූ ඔහු  එහි ගියේ පුංචි සිරා කොලුවාද සමගිනි.

අප එතැනට ගිය හැටියේ ප්‍රසංගයේ සංවිධායකයන් අප මහත් හරසරින් පිළිගෙන අසුන් පැනවූ අන්දමත්, බයිලා චක්‍රවර්ති ඇම් ඇස් ප්‍රනාන්දු මහා ගායකයා අප ඉදිරියේ සජීවීව ගීත ගායනා කල අන්දමත් මගේ මතකයේ තවමත් නොනැසී පවතියි. එතුමා එදා ගායනා කාල ගීත අතරින් මම එන්නෙ ඩුබායි රටේ ඉදලා සහ මැණිකෙ මම ආයෙ ගෙදර එනවා යන ගීත ඉතාම හොදින් මගේ මතකයේ සටහන් වී තිබේ. ගීත ගායනා කරන්නට ප්‍රථම ගීතයේ පද රචකයා, සංගීත නිර්මාපකයා මෙන්ම තමාට අනුග්‍රහය දැක්වූ පුද්ගලයා පිළිබදව මතක් කර ඔවුනට ස්තූති වන්ත වන්නටද එතුමාට හොද කෙළෙහිගුණයක් තිබුනි. ඒ ගුණය වර්තමානයේ සිටින ගායකයන් කී දෙනෙකු සතුව තිබේද ?

සංගීත කාරයො හිගන්නො...නෙවිල් අයියලා සංගීතයෙන් මුදලක් හම්බ නොකල  නිසා අපේ ගම්වාසීන් ඇතැම් විටෙක එසේ සිතන්නට ඇත. කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් නෙවිල් අයියා සංගීත කණ්ඩායම සමග තිබූ ඇයි හොදයියට  ආයුබෝවන් කියූ අතර ඒ සමගම ඔහු විසින් දිගට වවා තිබූ කොණ්ඩයද කලින් තිබූ තැනටම කෙටි කළේය.

අතීතයේ දිනක සවස් භාගයේ ගම දෙවනත් කල සංගීත නාදය දැන් වියැකී ගොසිනි. සංගීතයෙන් ජීවත් වෙන්නට බැරි බව පවුලේ අයෙකුගෙන් නැගෙන ඇණුම් බැනුම් මගින්  හෝ තදට දැනෙන කුසගින්න විසින් නෙවිල් අයියාට උගන්වා දී ඇති සෙයකි.

ඔහුගෙන් පසු අපේ ගමේ සංගීත උණ වැළදුන කිසිවෙකු දක්නට ලැබුනේ නැති වුවද සංගීත ප්‍රේමී ජන කොටස් වලින් නම් අඩුවක් වූයේ නැත. පල්ලියේ මංගල්ලය දවසට මෙන්ම අලුත් අවුරුදු දවසටද රහමෙරට බයිට් මෙන් ගීතයද අත්‍යවශ්‍යම දෙයක් විය. එවන් දිනක අළුයම දක්වාම එක සීරුවට පැරණි රසාංග ශ්‍රවණය කිරීමට තරම් අපේ දෙසවන් පින් කර තිබුනි.

නෙවිල් අයියාගෙන් පසු සිරා කොලුවාගේ ගම් පියසේ සංගීතයට සම්බන්ධ කාර්යයක් කලා නම් ඒ රෝහිත අයියා සහ උපුල් අයියා විසිනි. සහෝදරයන් දෙදෙනෙකු වූ මේ දෙදෙනාගෙන් වැඩිමලා රෝහිත විය. එකල අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සන්ෆ්ලවර් සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වූ දැවැන්ත සංගීත ප්‍රසංගයක් නොමිලේම තම ගම්වාසී හිතවතුන්ට තිළිණ කරන්නට ඔවුන් දෙපළ මූලිකත්වය ගත්තේය. ඒ සදහා නෙවිල් අයියාගේ සහයෝගයද ලැබෙන්නට ඇත.

මේ කියන සංගීත ප්‍රසංගයට සහභාගි වූ ඇතැම් ආරාධිතයන් පිළිබද මා හට යම් තරමකට මතක තිබේ. ඒ කාලය වන විට සමිතා මුදුන්කොටුව ශිල්පිනිය ක්ෂේත්‍රයට පිවිසියා පමණකි. අද මෙන් තරබාරු නොවූ  සිහින් සිරුරක හිමිකාරිය වූ ඇය ඉර පායා යන ගීතය ගායනා කළාය. ප්‍රසංගයේ නිවේදකයා ලෙස කටයුතු කලේ තිලක් කුමාර රත්නායක හෙවත් කෝපි කඩේ සෝමෙ අයියායි. වර්තමානයේ මෙන් පුද්ගලික නාලිකා පැටව් ගසා නොතිබුන ඒ යුගයේ කෝපි කඩේ ටෙලි නාටකය බොහෝ සේ ජනප්‍රිය එකකි. සෝමෙ අයියාද ජනතාවගේ නොමද ආදරය ලබා සිටි කළාකරුවෙකි.

එදා මෙදාතුර සිරා කොලුවාගේ ගම්මානයේ පැවති දැවැන්තම ප්‍රසංගය වූයේ මෙයයි. වර්තමානයේදීත් අපේ ඇත්තන් ඇතැම් විටෙක මේ මතකයෙන් සිය පෙණහළු පුරවාගනියි. පසු කලෙක රෝහිත උපුල් යුවල විදේශගත වීමත් සමග මෙවැනි යමක් සංවිධානය පිණිස කෙනෙකු ගමේ  නොවුනෙන් සිරා කොලුවා ඇතුලු ගම්වාසී  මිතුරන් විසින් වසර 18 කට පසු එම ස්ථානයේම සංගීත සංදර්ශනයක් සංවිධානය කරන තුරු සංගීත සංදර්ශන අත්දැකීම අපේ ගමේ ඇත්තන්ගෙන් ඈත් වී තිබුනි.

දැනුම් තේරුම් ඇති වයසට පැමිණෙන සිරා කොලුවාට ලග පාතක සංගීතයක් තිබෙන බව ආරංචි වුවහොත් එහි යා යුතුමය. නැතිනම් නිදා ගන්නා වේලාව වන විට සංගීත සංදර්ශනය යන්තමින් හෝ නිවෙසට ශ්‍රවනය වෙයි. එවැනි විටෙක එතැන චිත්තරූප මවාගැනීම තරමක වේදනාවකි.

මෙවැනි ගමන් සදහා මටම ඔබින මිත්තරයන් පිරිසක් සිටීම වඩාත් පහසු සහ ආරක්ෂාකාරී විය. එසේ නොමැති නම් නිවෙසින් මේ ආකාරයේ ගමන් සදහා අවසර ලැබෙන්නේද නැත.

වරක් අපට යාබද ගම්පියසක තරුණයන් පිරිසක් එක්ව අටවාගත් සංගීත කණ්ඩායමක් පැවැත්වූ කළඑළි ප්‍රසංගයකි. එළිමහනේ නොමිලේ පැවැත්වූ මෙහි ගීත ගායනය සදහා ප්‍රවීණ සංගීත වේදී ගුණදාස කපුගේ මහතාද එක්ව සිටියේය. කැළෑබද මණ්ඩියක වූ වල් පදුරු කපා දමා බිම සැකසූ තැනක ප්‍රසංගය සූජානම් කොට තිබුනි. එහෙත් ඇතැම් තැනක පොළවෙන් උඩට මතු වූ කපා දැමූ ශාඛ වල මුලක් දෙකක් වෙයි.

කපුගේ ගායකයා එදා එහි පැමිණියේ කන සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න තිබියදීය. සිරුර අපහසුවෙන් සමබර කරගෙන වේදිකාව දෙසට යන ඔහුගේ පය පෙර කියූ මුල් වල හැපී වැටෙන්නට යයි. එවිට අමු තිත්ත කුණු හබ්බයක් දෙකක් එළියට පනින්නේ වටේ පිටේ සිටි බෝ පැල වැනි  අපේ සිත් සතන් සනසවමිනි.

කෙසේ හෝ ඇහැට කනට පෙනෙන ඔහුගේම වයසේ කාන්තාවක විසින් වත්තන් කරගත් කපුගේ තෙමේ වේදිකාවට ගොඩවී පළමු ගීතය ගයන්නට ආරම්භ කළේය.

සංගීත කණ්ඩායම ගමේ බඩුවලින් යුතු එකක් බව පෙර කීවෙමි. ඩ්‍රම්ස් වාදකයා පවත්වාගෙන යන රිද්මය කපුගේ ගායකයාට නින්ද නැති රැයේ ගයන්නට වේගවත් වැඩිය...ඔහු යම් යම් සංඥා වාදකයා වෙත තම හස්තයෙන් දැක්වුවද ඒවා තේරුම් ගන්නට ඒ වෙලාවේ පැමිණ සිටි ජනකාය නිසාදෝ අන්ද මන්දව සිටි ඔහුට හැකි වූයේ නැත.

ගීතයේ පළමු කොටස අවසන් වී සංගීත ඛණ්ඩ වලට යොමු වනවාත් සමග ඔහු කරා ගිය කපුගේ තෙමේ...

යකෝ....ගහපිය කියන්න පුලුවන් විදියකට...යනුවෙන් තෙපලූ අයුරු වේදිකාව අසලම සිටි මගේ දෙසවනට වාර්තා විය.

කෙසේ හෝ සෙසු වාදකයන්ගේ සහයෝගයෙන් නිසි මගට පිළිපන් ඩ්‍රම්ස් වාදකයා දෙසට හැරී මහත් සෙනෙහසින් ගීතයෙ ඉතිරිය ගයන්නට කපුගේ ශූරීන් අවසානයේ කටයුතු කලේය.

අප අවට ගම්මාන වල පැවැත්වූ සංගීත ප්‍රසංගයන් බොහොමයකට ජනප්‍රිය ගායකයන් සහභාගි වුවද බොහෝ විට සංගීත කණ්ඩායම ලෙස කටයුතු කලේ ගම් ආශ්‍රිත තරුණයන්මය.

වරක් පල්ලියේ මංගල්ලය වෙනුවෙන් පැවති ප්‍රසංගයකි. නිසි සන්නිවේදනය නැති නිසා හෝ පුහුණුවේ මද කම නිසා උන් නිතරම වරදවා ගත්තෝය. ඩ්‍රම්ස් වාදකයා වයන්නට පටන් ගන්නා ගීතය නොව වෙනත් ගීතයක් කී බෝ්ඩ් වාදකයා වාදනය කරන්නට පටන් ගනී. එවිට රිද්මයේ නොගැලපීම මත සින්දුව ලත් තැනම ලොප් වෙයි. කණ්ඩායමේ නිවේදකයා දෙකට නැමී අපට සමාවෙන්න යනුවෙන් නිතරම කියයි.

එදා එහි සිටි නරඹන්නන් කුල්මත් වූයේ ගායකයන්ගේ ගීත ශ්‍රවනයෙන් නොව නිතරම වරද්දා ගන්නා සංගීත කණ්ඩායමට හූ කීමෙනි. ඇතැම් තැනක වරදවාගෙන ගීතය මැද හරියේදී නතර වූ විටෙක නරඹන්නන්ගෙන් ලැබෙන හූවට මුහුණදීගත නොහැකිව ප්‍රසිද්ධ කලාකරුවෝ ශබ්ද විකාශන උපකරණ වලට මුවා වූහ.

සංගීත ප්‍රසංග වර්ණවත් වූ තවත් සාධකයක් වූයේ මල් වැනි දැරිවියන්ගේ සහභාගිත්වයයි. නිතරම නිවෙස ආශ්‍රිතව වෙසෙන අයෙකු වුවද කාලයකට පසු එළැඹෙන මෙවැනි අවස්ථාවකදී වැඩිහිටියෙකු සමග ප්‍රසංග භූමියට පැමිණෙයි. එවන් විටෙක මේ මල් සොයා මදි නොකියන්නට බඹරු ඇදී එයි. යුවතියගේ හිත දිනාගන්නට මෙන් කැපිච්ච පණුවන් මෙන් ඉදිරිපත් කරන නර්තන අංග ඔවුනට කෙසේ වෙතත් අපට නම් හොද විනෝදයක් එන්නත් කලහ. ඇතැම් නර්තන කරුවෙකු තණමල්විල මලින් සන්තර්පනය වී ඉදිරිපත් කලේ ඔවුනටම ආවේණික නර්තන රටාවන්ය. ගීතයේ පද වලින් කියවෙන දෑ තම දෙඅත් මගින් නරඹන්නන් වෙත වෙත පහදා දීමට ඇතැම් විටෙක ඔව්හු කාරුණික වූහ.

එහෙත් කාලය කෙමෙන් කෙමෙන් ගතවෙද්දී එළිමහන් ප්‍රසංග සංවිධානය කරන උන් මහත් අමාරුවක වැටුනේ ප්‍රසංග නැරඹීමට මත් වී පැමිණෙන ඇතමෙකු තම තමන්ගේ පුද්ගලික කොන්තර සංගීත භූමිය තුල විසදා ගන්නට යාමෙනි. ඇතැම් විටෙක නර්තනයේ යෙදෙන කෙනෙකුගේ අතක් තම ශරීරයේ වැදුනද එය නිම වන්නේ ගාලගෝට්ටියකිනි. මේ හේතු නිසාම වර්තමානය වන විට අප ඉසව්වේ ඉළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීම කළාතුරකින් සිදුවන දෙයක් බවට පත්ව තිබුනද පල්ලියේ මංගල්ලයට නම් ගමේ බඩු තවමත් ශිල්ප දක්වයි.

සිරා කොලුවාගේ ප්‍රමුඛත්වයෙන් වසර 18 කට පසු අප ගම් පියසේ සංගීත නාදය දෝරෙගලා ගිය අන්දම ඉදිරි දිනයක කියමි. කථාව ආරම්භයේදී මා ඔබට සදහන් කල නෙවිල් අයියා කාලයක් අතුරුදන්ව සිට එක් වරම අප ගම්පියසේ ප්‍රාතූර්භූත විය. වර්තමානයේ හන්දියේ තුන් රෝද රථ ගාලේ ප්‍රමුඛ සාමාජිකයෙකි. සංගීතය හා බැදුන කිසිම කටයුත්තක නොයෙදෙන ඔහු විහිළුවට හෝ අද ගීතයක් ගයන්නේ නැත. ගිටාරයක් දෙස අැහැක් ඇර බලන්නේ නැත.

සීදුවේ සකුරා චන්දන ගයන්නේ නෙවිල් අයියාගේ ගීතයදැයි වෙලාවකට මට සිතෙයි.



මම කාමරේ අරින සිරා කොලුවා.

Friday, April 11, 2014

70 රොබිනාගේ බලු කථාව

බල්ලා හෙවත් සුනඛ තෙමේ යනු මිනිසාගේ ලගම මිත්තරයාය. බල්ලා කියා නින්දා සහගත නමක් මේ වර්ගයට පට බැද තිබුනද සත්‍ය ලෙසම මොවුන් ඉතා හොද ගති ගුණ ඇති පිරිසකි. බොරුව වංචාව දන්නේවත් නැත. එහෙත් ඉද හිට හොරකෑමට සිතක් පහල වුවත් ස්වාමියා කෙරේ දක්වන්නේ පරම පවිත්‍ර අකලංක ආදරයකි. ලක්ෂ ගනන් වියදම් කර, දහ අතේ ණය වී,  මගුල් කා ගෙදර ගෙනා ගෑණු පරාණයවත් මෙවැනි අවංක ආදරයක් තම ස්වාමියාට විටෙක පිරි නමන්නේ නැත. එහෙත් කකුල් හතරේ බලු යාලුවන් එසේ නැත. කන්න දුන්නත් නැතත් නගුට වනමින් තම ආදරය සහ සුහදතාව ප්‍රකාශ කරන්නේ ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියන්නාක් මෙනි.



කුඩා කාලයේදී මේ වර්ගය බලු කුක්කා හෝ බලු පැටියා ලෙස හදුන්වයි. පුලුන් බෝලයක් වැනිව අම්මාගේ කුක්කු බී ඉතාම අලංකාර ශරීර සෝභාවකින් පසුවන බලු කුක්කෙකු වෙත සෙනෙහසක් සිතේ උපදින්නේ නැති කෙනෙකු වේ නම් ඒකාගේ පපුවේ තෙතමනය අඩියටම හිදිලාය. මේ අය කුඩා කාලයේදී ඒ තරමටම හුරතල් පාටය. ගෙදර ගෙනියන්නම සිතෙයි. මිනිසාගේ මේ සිතුවිල්ල නිසාම බලු පොඩ්ඩෝ බලු මව්කිරි බොන්නේ කෙටි කාලයකි. කාගේ හෝ නිවෙසක ස්ථිර පදිංචිකරුවකු වන්නට පොඩි එකා සන්ධියේම චෑන්ස් එක ලැබීම එයට හේතුවයි. එතැන් සිට ගොන් කිරි බී බලු මිතුරෝ වැඩෙති.

සිරා කොලුවා කුඩා කාලයේ අප නිවසේ බල්ලන් සිටියේ නැත. එහෙත් මගේ පියා ගැටවරයා කාලයේ නිවසේ ඇති දැඩි උන මාරයකු බදු (බ්ලොග් ලියන මාරයා නොවේය) ටාසන් නම් බල්ලෙකු ගැන නිතර පැවසුවේය. ඒකා බළල්ලු දඩයමට රුසියකු බවද තාත්තා එකල කිව්වා මට මතකය. නිවෙසට පැමිණෙන කෙනෙකු ඈතින් නතර වී ගෙදර ඇත්තෙකුට කථා කර මිස කිසිදිනෙක නිවසට පැමිණ නැත්තේ ටාසන්ගේ කීර්තිනාමය ගම පුරා පැතිර තිබූ නිසා වන්නට ඇත.

කෙසේ හෝ සිරා කොලුවා සහ ඒකාගේ මල්ලි කොල්ලාගේ බලු සුරතල් බැලීමේ පරම පවිත්‍ර ආශාවත්, ඒ පිළිබද නිතර දෙවේලේ කංකෙදිරි ගෑමත් තාත්තාට මහත් කන් කරච්චලයක් ඌ තැන අප නිවසට බලු යාලුවෙක් ගෙන ඒමට එතුමා එකග වූවේය. ඒ අප මෑණියන්ගේ විරෝධතාවද නොතකාය.

අපගේ ඉල්ලීම අනුව අප නිවසට සැපත් වූයේ තනිකරම දුඹුරු පැහැයෙන් යුතු ජාතියක් ජම්මයක්, උප්පැන්නයක් හෝ මව, පියාගේ විස්තර කිසිවක් නැති කුක්කෙකි. ඒකා ඒ අවස්ථාව වන විටත් කුඩා එකෙකු බව හොදින් මතකය. අලුත් කුක්කා අප නිවසේ අලුත් සාමාජියකු බවට භෞතීස්මය ලැබීමෙන් පසුව අපේ අම්මාගේද පුද සත්කාර මේකාට ලැබිනි. ඒ දවස් වල ඒකා දවස මුලුල්ලේ බත් මාළුවෙන් තොරව ගොන් කිරෙන් යැපුනි. අල්ලපු ගෙදර ජෑස් කොල්ලා පින්තකා ලබා දුන් එළකිරි වල පිහිටෙන් කුක්කා කෙටි කාලයකින්ම පෘෂ්ටිමත්ව නැගී සිටියේ දඩබ්බර ගතිගුණ ප්‍රකට කරවමිනි.

මුල්ම දින වල රාත්තිරියේ නිවසේ සියලුම විදුලි පහන් නිවා දමා නින්දට යන විට නිවසට පිටතින් සිටින කුක්කා භියට පත් වී හඩයි...එවිට උගේ නිළ භාරකරුවන් වන මමත් මලයාත් ඇතුලුව අපේ කුටුම්භයේ කිසිවෙකුට නිදි නැතිය. කුක්කාගේ කට කුඩා වුවත් එයින් උත්පාදනය වන ශබ්දය ඉතා විශාලය. මට හිතෙන ලෙසට ඩෙසිබල් වලින්ම බර ගානකි.

එයට විසදුමක් ලෙස පොලේ ගෙන යන්නට භාවිතා කල එළවළු මල්ලක් සුව පහසු ලෙස සකසා ඒ තුල කුක්කා රදවා නිවසේ මුළුතැන්ගෙහි තැබීම ඵලදායී විය. එහෙත් අතරින් පතර දිනක කුක්කාගේ චූ කුරුල්ලා හදිසියේ නින්දෙනේ අවදි වී කුස්සියේ බිම දිගේ ගලායන ලෙස පිටකරන වැඩිපුර ජලය දුටු වනම පරල වන අම්මාගේ කන්කළු හඩ ඒ කාලයේ අප උදෑසන අවදි කල එළාමය විය.

කුක්කා කුඩා නිසා නමක අවශ්‍යතාව මුලින් මතු නොවුනි. එහෙත් ජෑස් කොල්ලාගේ පින් කිරි බී මේකා වැඩෙන්නේ පුදුම වේගයකිනි. ඒ හේතුවෙන් පැටියාට නම් තැබීමේ කාලය පැමිණ ඇතැයි තීරණය කල උගේ සම භාරකරුවන් වන මමත් මලයාත් ගැලපෙන නමක් නොමැතිව සෑහෙන වාර ගනනක් එහෙට්ට මෙහෙට්ට දෝලනය වුවද අවසානයේ ගැලපෙන නමක් සැට් විය.

රොබින්......අපේ බලු පැටියා වෙත අප දායාද කල නාමයයි. ඒ දින වල රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කථා මාලාව මේ නම යෙදීම සදහා අපට සෘජුව බලපෑවේය. අපේ කුක්කා රොබින් හුඩ් වැනි වීරයෙකු වනු දැකීම අපගේ අපේක්ෂාව විය.

කල් යත්ම රොබින්, රොබිනා ලෙස උච්චාරණයට පහසු පරිදි වෙනස් විය. මේකා කූඩුවක් තුල ඇති දැඩි වූයේ නැත. කොහේ හෝ මුල්ලක දවස පුරාම කම්මැලි කමට නිදියන කාරිය නම් යස අගේට කලේය. එහෙත් අප භූමි සීමාවෙන් පිටතට ගියේ නැත.

ඒ දිනවල අපේ වයසේ කොලු කුරුට්ටෝ පන්දු සෙල්ලමේ යෙදුනේ අප නිවසට ආසන්න තැනකය. ඒ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු වූ මමත් මලයාත් බොහෝ විට මේ අය සමග පන්දු කෙලියෙහි යෙදුනෙමු. සමහර විටෙක අපෙන් බැට කා ඉවත දුවන පන්දුව බඩවැටියක් අස්සේ සැගවී යයි..කෙතරම් උත්සාහ කලත් නැවත සොයා ගැනීම උගහටය.

එවන් විටක මගේ මලයා....අපි රොබිනා දාලා හොයමුද ?

ඒ කොහොමද ? එවන් විටෙක මම අසමි.

අපි ඌට බෝලයක් ඉව කරවලා හොයන්න කියමු.

රූපවාහිනියේ වීර කථා වල සිටිනා ආකාරයේ වීර බල්ලෙකි අපේ රොබිනා. අපේ සිත් එසේ කියයි. ඒ නිසා අපේ නැති වූ බෝලය මේකා සොයා දෙනවා ඒකාන්තය.

ඉන් පසුව මලයා නිදි වැදී ඇති තැනකින් ඒකා සොයාගෙන විත්  දම්වැලක ගැට ගසා පන්දුව නැති වූ පෙදෙසට රැගෙන එයි. තවත් බෝලයක් හෝ රබර් සෙරෙප්පුවක් උගේ නහයට ලං කල විට හොදින් ඒ දේ ඉව කර අප යන යන තැන ඒකාද පැමිණෙයි...නමුත් සොයන බෝලයක් නැත.

ඇතැම් විටෙක මේ අර්ථ විරහිත කාරිය දෙස කෝචොක් බැල්මක් දමා සිටිනා ජෑස් කොල්ලා

කොලුවො බල්ලා බෝලෙ හොයලා දෙයි...ඒකෙ ගූ ටිකක් ගෑවිලා තිබුනා නම්...යනුවෙන් මහා හඩින් පවසා අසික්කිත සිනහවක් නගයි. ඒ සිනා හඩින් ප්‍රකෝප වන මලයා රොබිනා ලිහා දමා පන්දු තැලීමේ කාරියෙන්ද සමුගැනීම සිරිතයි.

දිනක් රාත්තිරියේ හතට පමණ අප මිදුල දෙසින් බල්ලෙකු බුරන හඩ ඇසුනෙන් දෙමාපියෝ සමග අප දෙදෙනාද ඒ කිමෙක්දැයි බැලීමට එහි ගියෙමු. අපේ රොබිනා තරුණ බල්ලෙකු බවට පත්වන්නට ඇත්තේ එදාය. ඒ දිනය වන තෙක් බිරුම් ශබ්දයක් පිට නොකොට සිටි නිසාම අප සිතා සිටියේ රොබිනා යනු බුරන හැටි නොදන්නා බල්ලෙකු කියාය. උගේ අභිමංගල බිරුම් හඩ ඇසූ ඒ රාත්තිරිය මටත් මලයාටත් සතුටු දායක එකක්ම වූයේය.

ටික් ටික් හඩින් කාලය ගලා ගියේය. කුඩා රොබිනා බිදෙන් බිද ලොකු මහත් වී තරුණ ජවය ඇති කදිම පෙනුම ඇති බල්ලෙකු විය. එහෙත් මේකාගෙන් අප බලාපොරොත්තු වූ වීරකම් කිසිවක් ඌ සතුව තිබුනේ නැත. නන්නාදුනන පිටස්තර අයෙකු හදිසියේ හෝ නිවෙසට පැමිණියේ නම් මිදුලේ පසෙක නිදා සිටින රොබිනා නිවැසියකු වෙත දක්වන තරමේ සෙනෙහසක් ඒ ආගන්තුක චරිතයටද පුද දෙයි. නැට්ට කිසි කිසි හඩින් දෙපසට වැනෙයි.

ආ තැනැත්තා ගිය පසුව......මේකා මහ ගොන් බල්ලෙක්...මේකව කවලා පොවලා නාවලා හැදුවට වඩා හොදයි හරක් පැටියෙක් හැදුවා නම්...ගෙදරට හොරු පැන්නොත් මේකා උන්ටත් නැට්ට වනයි....යනුවෙන් මගේ මෑණියන් නිතරම වාගේ පැවසුවාය.

ඇතැම් විටෙක අහල පහල නිවෙස් වල ඇති දැඩි වන බල්ලන් එක රොත්තට බුරයි. එහෙත් නිදි සුව විදින රොබිනාගේ ප්‍රතිචාරය කන් ඔසවා බලා නැවත නිදා ගැනීමයි. ලෝකය අනිත් පැත්තට කැරකුණත් ඒකාට වගේ ගනනක් නැත.

තවත් මද  කාලයක් ගිය පසුව රොබිනාට වැළදුනේ අමුතුම රෝගයකි. ඒකාට රෙදි පෙන්නන්නට බැරි විය. කලිසම් කමිස ආදී ඇදුම් පවා ඌට හසුවුනොත් යලි අදිනවා බොරුය. කොහෝ හෝ මුල්ලකට වී ඒකාට හසුවන ඇදුම් ඉරා දැමීම රොබිනාගේ නවතම ඇබ්බැහිය විය.

දිනක් උදෑසන අමු තිත්ත කුණුහරුප කියමින් ජෑස් කොල්ලා කාටදෝ බනින්නේය. ඒ කාටදැයි එකවර පැහැදිලි නැතත් තවත් මොහොතක් ඇවෑමෙන් කාරණය පැහැදිලි විය.

අන්න අපේ බල්ලා ජයසේකර අයියගෙත් කලිසම් වගයක් කාලා...අම්මා තාත්තාට පැවසුවාය. එය අසා තාත්තා කෝපයෙන් යුතුව රොබිනා දෙස බැලුවත් ඒකා සුපුරුදු ලෙස නැට්ට දෙපසට වනා තාත්තා දෙස යටහත් පහත්ව බැලීය.

ලොකු පුතේ උඹලගෙ ගොන් බල්ලගෙ කකුල් හතර කඩනවා මම ආයෙ මේ පැත්තෙ ආවොත්....ජෑස් කොල්ලා කාකි කලිසම් කොට තුනක් මවෙත දක්වමින් බෙරිහන් දෙයි.

ඒ මොකෑ ඒ ? සිරා කොලුවා විමසුවේය.

මේන්න බලහං මේ කුපාඩියා කරලා තියෙන වැඩේ ඊයෙ රෑ....

විදුලි සන්දේශයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා සතුව එහි රාජකාරි කරන සමයේ ලද නිළ ඇදුම් රෙදි වලින් මසන ලද කාකි පැහැති කොට කලිසම් කීපයකි. එයින්  කලිසම් 3 ක් යලි භාවිතයට ගත නොහැකිව ඉවත දමනා තැනට රොබිනා කටයුතු කොට තිබිනි. වැලේ වනා තිබූ කලිසම් කොට මහ රාත්තිරියේ සුලගට බිම වැටෙන්නට ඇත. කලිසම් තුනේම පුක පැත්ත නැත. ඒ තැන් වල ඇත්තේ විශාල සිදුරකි.

මේ සිදුවීමෙන් පසු...හරියන්නෙ නෑ...මෙයාට ගෙදරක ඉන්න තේරෙන්නෙ නෑ...යනුවෙන් රොබිනා මාතෘකා කොට තාත්තා සිය අප්‍රසාදය ප්‍රකාශ කලද අපගේ රොබින් ගුණ වැයීම හමුවේ ඒ කාරණය යට ගියේය. නමුත් ඒ කෙටි කාලයකටය.  ජලය යටට බලහත්කාරයෙන් යැවූ රබර් බෝලයක් නැවතත් ජලය මතුපිටට පැමිණෙන ආකාරයෙන් රොබිනාගේ ජඩ ගති නැවතත් මතු විය.

එදින නම් පාඩුව සිදුවී තිබුනේ අපේ ආච්චී හෙවත් තාත්තාගේ අම්මාටය.

බලපං කොලූ, අලුත්ම චීත්ත රෙද්ද...මේ කාලකන්නියට බත් දෙන්නෙ නෑ වගේ කාලා කීතු කීතු කරලා...ගන්න දෙයක් නෑ යනුවෙන් මහත් විස්සෝපයෙන් යුතුව තාත්තා වෙත උන්දෑ පැමිණිලි කොලාය.

එදා නම් තාත්තා බොහෝ සේ කිපුනේය. නමුත් කිසිදිනෙක රොබිනාට අප කිසිවෙකු හෝ පහර දී හිරිහැර කර නැත.

පුතේ....මෙයාව තව දුරටත් මෙහෙ තියාගන්න බෑ...පේනවනෙ කරන වැඩ...දැන් සිද්ධි දෙකයි...මේ වැඩෙන් අහළ පහල මිනිස්සුත් තරහා වෙනවා...ඒ හින්දා අපි මෙයාව හදාගන්න පුලුවන් කෙනෙක්ට දෙමු.

තාත්තා සමග මමත් මලයාත් එතැන් සිට කොපමණ වාද විවාද කලත් ඒ සියල්ල ගගට කැපූ ඉනි මෙන් විය. අපේ සුරතලා රොබිනා අප නිවසින් සමුගන්නා බව ස්ථිර යයි මගේ සිත මට සන් කලේය.

එක් වැසිබර දිනයක පොල් කඩන ලාල් අයියා අප නිවෙසට සේන්දු වූයේය. කොට කලිසමකින් සැරසී නිතරම උඩුකයට ඇදුමක් නැතුව සිටින ඔහුගේ පුෂ් බයිසිකලයේ හරස් පොල්ලේ ලෙලි වලින් එකට සම්බන්ධ කල පොල් ගෙඩි දෙකක් වරදින්නේ නැත. මේ කියන දිනයේද එවන් ගෙඩි දෙකක් හරස් පොල්ලේ විය.

මහත්තයා කිව්වා බල්ලෙක් ඉන්නවා අරන් යන්න කියලා...ලාල් අයියා තමා ආ කාරණය අම්මා වෙත සැළ කලේය.

අපොයි ඔව්...කියන්න ඇති නේද විස්තරේ...මෙහෙ තියාගත්තොත් අපිට අල්ලපු ගෙවල් වල මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙ...

ආ ඒකට කමක් නෑ...අපේ ගේ අහල පහළක ගෙවල් නෑනෙ... ලාල් අයියාට රොබිනාගේ කුපාඩි වැඩ අවුලක් නැති සෙයකි.

කෝ මේ ළමයි දෙන්නා....මේ රොබිනව දම් වැලෙන් බැදලා ලාල් අයියට දෙන්න. අම්මාගේ විධානය අපට ඇසුනත් කුඩා කල සිට ඌ හදාවඩා ගත්, උගේ දුකේ සැපේදී එකට සිටි, ඒකාගේ බඩ ගින්න වෙනුවෙන් අපේ විස්කෝත්තෙන් හෝ පාන් කැබැල්ලෙන් කොටසක් පරිත්‍යාග කල මට හෝ මලයාට ඒ කාරිය කරන්නට දහිරියක් නැත.

මටත් කලියෙන් මලයාගේ ඇසකින් කදුලක් පිට පැන්නේය. ඒ ඇසිල්ලේ මගේ දෙනෙතින්ද රොබිනා වෙනුවෙන් කදුලක් උපන්නේය. අපගේ සහායකින් තොරව රොබිනාගේ දම්වැල සොයාගෙන ඒකා බදින්නට ලාල් අයියා සමත් විය. දම්වැලේ අනෙක් කොටස තම පා පැදියට ගැට ගැසූ කල රොබිනා පා පැදිය සමීපයේ සිටගෙන අප දෙදෙනා දෙස බැලූ අහිංසක බැල්ම මේ සිදුවීම සිදු වී වසර 25 කට පමණ පසු මේ ලියමන ලියන මේ අවස්ථාවෙත් මගේ හදවත අතිශයින් රිදවයි. ඒ බැල්මේ සංවේදීත්වය මගේ ඇට මස් නහර විනිවිද ගිය එකක් නිසාදෝ ඊයේ පෙරේදා වූ සිද්ධියක් ලෙස මනසේ ජීවමාන වෙයි.

අනේ ඔය සතාව හොදට බලාගන්න...වෙලාවට කන්න බොන්න දෙන්න. මේ දෙන්නා නම් කැමතිම නෑ මෙයාව දෙනවට...අම්මා තවදුරටත් ලාල් අයියා සමග පවසා අප දෙදෙනා ඔහුට දැක්වූවාය.

හරි හරි භය වෙන්න එපා...මම හොදට බලාගන්නම්....යනුවෙන් පවසා ලාල් අයියා බයිසිකල් පැඩලය උඩ තම දකුණු කකුල තබා පිටුපස බැලුවේය.

එහෙනං මම ගිහින් එන්නම් යනුවෙන් නැවතත් පවසා පැඩලය මත කකුල බර කරන විටම යං පුතා... යනුවෙන් රොබිනා වෙත ඉගියක් කරන්නටද හෙතෙම අමතක නොකලේය.

බයිසිකලය සමග පෙරට යන්නට අදි මදි කල රොබිනා තෙත බරිතව තිබූ මිදුලේ කකුල් දෙකෙන් අඩියක් දෙකක් රූටා ගොස් පසුව සෙමෙන් ඉදිරියට ඇදෙනා බයිසිකලය සමග ඉදිරියට දිව ගියේ අප දෙදෙනා දෙස අවසන් බැල්මද යොමු කරමිනි. ඒ සමගින් මෙතෙක් හිරකරගෙන සිටි ප්‍රියයන්ගෙන් වෙන් වීමේ වේදනාව මගේ මලයාගේ මුවෙන් මහා හඩින් පිටවෙද්දී මමද එයට අත්වැල් ඇල්ලුවෙමි.

රොබිනාගේ අවසන් මතක සටහන ලෙස මිදුලේ වූ අඩි සලකුණක් කොටු හැඩයට පිහියෙන් කපා නිවෙස තුල තබන්නට කුඩා මා හට එකල සිත් වූයේ මේ සත්වයා හා අප අතර තිබූ දැඩි බැදීම නිසා වන්නට ඇත. තාත්තා සමග වචනයකුදු දෙඩීමෙන් වැලකී...ආහාර ගැනීමෙන්ද වැලකී දිනක් දෙකක් ගත කරන්නට තරම් අප දෙදෙනාගේ කුඩා සිත් දරදඩුව තිබුනි.

කුඩා ළමුන් සහ සුරතල් සතුන් එකට බැදෙන්නේ කදිම මිතුරන් විලසිනි. ළමා චිත්‍රපටි රැසක ඇති කුඩා දරුවන්ගේ හා සුරතල් සතුන්ගේ චරිත ඒ වගට සාක්ෂි සපයනු ඇත.  ඒ අත්දැකිම සිත් සේ විද ඇති නිසාම මා යම් දිනයක පියෙකු ලෙස මෙවන් තීරණයකට එළඹෙන්නට ඉඩක් නැත. ඒ එදිනට මගේ පුත්‍රයා විදිනා වේදනාව ඊට කලියෙන් මා අත්දැක ඇති නිසාය.



මම කාමරේ වෙසෙනා සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

අප නිවසේ මෙයින් පසුද සුනඛයන් ඇති දැඩි විය. ඒ කිසිවෙකුට රොබිනාට මෙන් වාසස්ථානය හැර යාමට සිදුවූයේ නැත. ඒ අය ගැනත් ඉදිරියේ දවසක ලියමි.

සයිබරයේ මහා මංගල්ලය වන සිහින අවුරුදු උළෙලට සහභාගි වන්නට කාලය පැමිණ  තිබේ. බ්ලොග් ලියන කියවන සැමටම විවෘත මේ ඉසව්ව පිළිබද වැඩිදුර විස්තර දකුණු පැත්තේ ඉහළින් එල්ලා ඇති ගැජට්ටුව මත කෙටීමෙන් ඔබට ලබා ගත හැකිය.
Related Posts Plugin for WordPress, Blogger...