බූට් මාසය වෙනුවෙන් දාලා තිබුන ඔක්කොම ලිපි ටික කියෙව්වා. ඉතින් මමත් හිතුවා මගේ කථාවත් සිරාගෙ කාමරේට කියන්න ඕනෙ කියලා. මගේ කථාව මෙතැන පලවුනු අනිත් කථා වලට වඩා වෙනස් උනාට වින්ද වේදනාව නම් වෙනසක් නෑ. මේ කථාව නම් ගොඩාක් පරණ කථාවක්. face book, Skype විතරක් නෙවෙයි ජංගම දුරකථන වත් ඒ කාලෙ තිබුනෙ නෑ. (ගඩොල් භාගෙ cellphone එකක් ලක්ශ 1.5 යි.)
මම ඉස්කෝලෙ ගියේ රත්නපුර පැත්තෙ තිබුන ජනප්‍රිය මිශ්‍ර පාසලකට. මම ගොඩක් ලස්සන නැති උනාට ඉස්කෝලෙ ගොඩක් ජනප්‍රියයි. යාලුවොත් ගොඩාක් හිටියා. මම ජානක අයියත් එක්ක යාලු වෙනකොට ඉගෙනගත්තෙ 9 වසරේ, එයා සා/පෙ පන්තියෙ. එයාට ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තිබුනේ. දැනුත් ඒ කතා කරන ඇස් දෙක මැවිලා පේනවා. කාටත් හොරෙන් පටන් ගත්ත අපේ ආදරේ මාස දෙකක් යනකොට මුලු ඉස්කෝලෙම දන්නවා. ඒ කාලෙ අපිට කථා බහ කරන්න තිබුන එකම විදිය ලියුම් විතරයි. ඒත් කවදාවත් ලියුමක් වත් කාටවත් අහුවෙන්නෙ නැති වෙන්න අපි දෙන්නා පරිස්සම් උනා.
එකම ඉස්කෝලෙ හිටියත් හම්බවෙලා කතා කරන්න අමාරුයි. ගොඩාක් දවසට උදේට good morning කියනවා විතරයි. ඒ කොහොම උනත් අපි දෙන්නා ගොඩාක් ආදරේ කලා. එයා දක්‍ෂයි ඒත් පාඩම් කරන්න කම්මැලියි. මගේ අකුරුනම් රෑ එළි වෙනකන් උනත් කියවන්න පුලුවන් කියලා කියුවම මම එයාගෙ ඔක්කොම සටහන් මගේ අකුරු වලින් ලියලා දුන්නා. සමහර දවසට රෑ පැයක්වත් නිදාගන්නෙ නැතිව තමයි මම ඒ දේවල් කලේ. ඒ දේවල් නම් අපතේ ගියේ නෑ. අපි දෙන්නා ගොඳට ඉගෙනගත්තා. මට ජානක අයියාගෙන් තොර ලෝකයක් තිබුනෙම නෑ.
ජානක අයියා උ/පෙ කලෙත් ඒ ඉස්කෝලෙමයි. මම උසස් පෙළ කරන්න නුගේගොඩ ඉස්කෝලෙකට ආවා ජානක අයියත් නුගේගොඩ පන්ති ආව නිසා අපි දෙන්නට හම්බවෙන්න කරදරයක් තිබුනෙ නෑ. මේ කාලෙ ගෙවල්වලින් අපේ සම්බන්ධය දැනගෙන හිටියට ඉස්කෝලෙ යන කාලෙ ආදරේ කරනවට කැමැත්තක් තිබුනෙ නෑ. අපි දෙන්නා ආදරේ කරන ගමන් ඉගෙන ගත්තා. කවදාවත් ඉස්කෝලෙ වත් අතිරේක පන්තියක් වත් කට් කරලා කොහේවත් ගිහින් නෑ. එයා මට ආදරේ කලා වගේම මාව පරිස්සම් කලා. ජානක අයියා විභාගය අවසන් උනු ගමන්ම රස්සාවකට ගියා. (ඒ කාලෙ කැම්පස් යන්න අවුරුදු 2 විතර බලාගෙන ඉන්න ඕන) මට නම් ඕන උනේ ඉක්මටම ජානක අයියව කසාද බඳින්න. ඉක්මනටම එක වහලක් යටට යන්න. අපි දෙන්නා අපේ අනාගතේ ගැන ගොඩාක් හීන දැක්කා.
මම උ/පෙ විභාගයෙන් පස්සෙ මහරගම ඉංග්‍රීසි පන්තියකට ගියා. එක දවසක් ජානක අයියා පන්තිය ලගට ඇවිත් එයා විභාගය පාස් උනා කිවුවම මට සතුට දරාගන්න බැරි උනා. පාර අයිනේ පන්තියෙ ළමයි ගොඩක් මැද්දෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නෙ වටේ පිටේ තියන හැමදෙයක්ම අමතක වෙච්ච නිසා. එදා එයා අපි කසාද බදිමු කියලා මගේ කේන්දරේ ඉල්ලුවා. ඒ තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස වගේම අන්තිමටම සතුටු වෙච්ච දවස. ඊලග දවසෙ අපි කේන්දර දෙක මාරු කරගත්තා.
කොහොම හරි අම්මව ඇදගෙන එදා හවසම කේන්දරේ බලන්න ගියා. ඒ දෙක කොහොමට වත් ගැලපෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ. මම කේන්දරේට වඩා අවුරුදු 6ක ආදරේ විශ්වාස කලා. මට ඕන උනේ එයාගෙම වෙන්න විතරයි. මට ඕන උනේ එයා විතරමයි. ජානක අයියාගෙ ගෙදරිනුත් කේන්දරේ බලලා තිබුනා. ඊලග දවසෙ අපි හම්බ උනාම එයා කිව්වෙ අපි මේක නතර කරමු කියලා විතරයි. අවුරුදු 6 ක් තිස්සෙ පණ වගේ ආදරේ කරපු මගෙන් අඩුම ගානෙ " නතර කරමුද? " කියලවත් ඇහුවෙ නෑ. මට වචනයක් වත් කතා කරගන්න බැරිවුනා...පැය ගානක් එයා ලගට වෙලා ඇඩුවා. මගේ හිත හදන්න වත් කියන්න දෙයක් එයාට තිබුනෙ නෑ. එයා නැතිව එක හීනයක් වත් නොදැකපු මම එයා නැතිව කොහොම ජීවත් වෙන්නද?. මොනවා කරන්නද මගේ ආදරේට වඩා කේන්දරේ විශ්වාස කල නිසා එයා මාව දාලා ගියා.
කරන කියන දෙයක් හිතාගන්න බැරිවුනා. කොල්ලෙක් උනානම් කන පැලෙන්නෙ බීලා හොඳට නිදාගන්න වත් තිබුනා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්නත් හිතුනා. ඒත් එහෙම කළොත් ජානක අයියට දරාගන්න බැරිවෙයි කියලා හිතුනා. එයා මගේ නොවුනත් ඒ හිතට දුකක් දෙන්න මට බෑ. මගේ කරුමෙ එතනින් ඉවර උනේ නෑ. මාවත් ජානක අයියා යන විශ්ව විද්‍යාලයටම තේරුනා.
මට ආයෙත් එයාට මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මම දන්න අඳුනන හැමෝගෙන්ම ඈත්වුනා. ගෙදර අයගෙ බල කිරීමට ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. NIBM එකේ උපාධිය කරන්න පටන් ගත්තා. කාලයත් එක්ක වේදනාව අඩු උනේ නැති උනත් ගෙදර අනිත් අය වෙනුවෙන් හිනාවෙලා හිටියා. අලුත් යාලුවොත් එක්ක එහෙම ඉන්න අමාරු වුනේ නෑ. පන්තියෙ වැඩියෙන්ම කෑ ගහලා හිනාවෙලා හිටියෙ මම. රෑට තනි වෙච්ච වෙලාවට ඇති වෙනකං ඇඩුවා. නින්ද යන්නෙ නැති නිසා පාඩම් කලා. මට කවදාවත් ජානක අයියව අමතක කරන්නම බැරි උනා.
කරන්න පුලුවන් හැම දෙයක්ම කරලත් එයාව අමතක කරන්න බැරි උනා. මගේ හොඳම යාලුවා කිව්වෙ කාවහරි කසාද බඳින්න කියලා. ඉතින් ඊළගට මගෙන් යාලුවෙන්න ඉස්සෙල්ලම අහන කොල්ලත් එක්ක ඇත්ත විස්තරේ කියලා එයා මාව කසාද බඳින්න කැමති උනොත් කසාද බඳින්න තීරණය කලා. මට මගේ සැමියා හම්බ උනේ එ් විදියට.
මට ආයෙත් ජානක අයියව හම්බ උනේ අවුරුදු 8කට විතර පස්සෙ පුතයි මහත්තයයි එක්ක සාප්පු සවාරියෙ යන වෙලාවක. ඒ වෙලාවෙ ජානක අයියට ළග ඉන්නෙ කවුද කියලා අමතක උනා. දුවලා ඇවිත් අත්දෙකම අල්ලගෙන කතා කලේ. ඉස්සර වගේමයි... මම මහත්තයට කවුද කියලා හඳුන්වා දුන්නම සති අග ගෙදර එන්න කියලා එයා කිව්වා.
ඊලග සති අන්තෙ එයා අපේ ගෙදර ආවා. ඒ වෙනකොට ජානක අයියත් කසාද බැඳලා දුවෙක් ඉන්නවා. දන්නවද ඉස්සෙල්ලම මාත් එක්ක තනියම කතා කරන්න ලැබුන වෙලාවෙ එයා මගෙන් ඇහුවෙ ඇයි එදා "අපි මේක නතර කරමු" කියපු වෙලාවෙ බෑ කියලා එක සැරයක්වත් කිවුවෙ නැත්තෙ කියලා. එකම එක සැරයක් බෑ කිව්ව නම් කවදාවත් දාලා යන්නෙ නෑ යන්න දෙන්නෙත් නෑ කියලා එයා කිව්වා.
අනේ දෙවියනේ ජීවිතේ ආපස්සට හැරෙන්න අපිට බෑ. එදා කියපු නැති එකම එක වචනයක් හින්දා මම පණටත් වැඩියෙන් ආදරේ කල ජානක අයියව මට නැති උනා. අවුරුදු 6ක ආදරේ එක වචනයක් නිසා නැති උනා.
ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි කියලා සිරා මල්ලිත් කියලා තිබුනා. මමත් එහෙමම තමයි අද හිතන්නෙ. කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ආදරය අහිමි උනත් තරහක්, කණගාටුවක් නෑ.
මගේ කථාව කියෙව්වට හැමෝටම ස්තූතියි !
සිරාගේ කාමරයේ බූට් මාසය වෙනුවෙන් ලියා එව්වේ,
ඉමල්කා සිල්වා.
ප.ලි
අධික කාර්ය බහුලතාවය නිසා සිරාගේ කාමරයේ බූට් මාසය මෙවර කථා කීපයකට පමණක් සීමා කිරීමට සිදුවීම ගැන සිරා කොලුවා ලෙස මගේ සාතිශය සංවේගය පල කරමි. ගිය වසරේ මෙන්ම මේ වසරේත් මෙහි පලවූ සියලුම බූට් කථා පිරිමි පාර්ශවය විසින් එවන ලද ඒවාය. එහෙත් හා පුරා කියා අද මෙහි පලවන්නේ සහෝදරියක විසින් විරහව පිළිබඳ අකුරු කරන ලද ලියමනකි. ප්‍රේමයේ විප්‍රයෝගය කාන්තා පිරිමි භේදයකින් තොරව දුක, කණස්සල්ල දායාද කලද, කාන්තාව බොහෝ විට නිහඩව මේ මනෝභාවයන් විඳදරා ගන්නා බව මගේ හැගීමයි. මේ ලිපිය ඒ වගට දෙස් දෙනු ඇත. ඉමල්කා සොයුරිය....ඔබට මගේ ස්තූතිය.
ලිපියේ හිමිකාරියගේ ඉල්ලීම පරිදි චරිත නාමයන් වෙනස් කොට තිබේ.