ඔහුගේ උප්පැන්නයේ නම ඇක්මන්ය. නමුත් පොළේ ඒ නමින් ඔහුව දන්නේ එහෙමත්ම පිරිසකි. පොළේ සියල්ලන්ම ඇක්මන් හදුනන්නේ ඇඹුල් දොඩම් කියූ විටය. නිවසට හා ගමට ඇක්මන් උනාට පොළට ඇක්මන් ඇඹුල් දොඩංම විය. ඒ මාතර බත් කඩේ කට හොද නැති රෝහණ මුදලාලිට පිං සිද්ධ වන්නටය.
කඩයට ගොඩවන කාට හෝ කොලොප්පමක් කර සිනාසීම මුදලාලිගේ සිරිතය. එක්කෝ කාට හෝ නමක් පටබදියි. නැත්තං අමු තිත්ත කුණුහරුප පද පෙරළියක් කියා නොකීවා සේ හිදියි. තේරී සිනාසෙන උන් අතර නොතේරී කට බලියාගෙන ඉන්නා උන්ටද කෝචොක් කිරීම මුදලාලිගේ පුරුද්දය. ඒ නිසා තේරුන නොතේරුන හැම එකාම තේරුම් ගියා සේ සිනාසීමට වගබලාගෙන සිටිති.
විටෙක ඔහු
“ගුණදාස ගියේ නැතෙයි උඩුවෙ බලන්න ?,, යි අසයි.
“ අනේ මුදලාලි කොහෙද ඕවට වෙලාවක් ? තැඹිලි විකුණන ගුණේ නිරුත්තරව උත්තර දෙයි. නමුත් වටේ පිටේ ඉන්නා උන් හිකි හිකි ගාමින් දිව කට හපාගෙන සිනාසෙති.
“ මේ හුළගත් එක්ක ගෙයි ඉන්නත් භයයි බං....අරුන්ගෙ පොල් ගහ ගේ දිහාටමනෙ ඇඹරෙන්නෙ. ග්‍රාමයට කිව්වට ඌත් අරූගෙ සල්ලියට යට වෙලා.
කඩයට ගොඩවැදුනු තවකෙකු හා දොඩද්දී ඒ ඇහෙන මුදලාලිගේ කට කොකියයි.
මොකෝ වත්තෙ හුළංවත්ද සිරිපාල ?
ඔයින් පසු වැටෙන්නට යන ගහද අමතක කර සිරිපාල ඇතුළුව හැමෙකාම මුදලාලි අනුව සිනාවෙති.
ඇක්මන් පොළට ආ මුල් කාලයේ දවල් බත කන්නට හවස්වරුවේ ගොඩවැදුනේ මේ මාතර බත් කඩයටයි. ඒ ආ දිනක අලුතින් පොළට ආ මේ ගැටයාට තවමත් යමක් කියාගැනීමට ඉඩක් නොලැබුණු රෝහණ මුදලාලි පොටක් පාදා ගත්තේය. කුලෑටිකමින් රාක්ක දිහා එබි එබී බත් ගිල දමන ඇක්මන් දෙස බැලූ මුදලාලි....
“මොනවද තමුසෙ අර පැණි දොඩම් කියලා විකුණන්නෙ ? අපේ පොඩි එකා ආසාවට ගෙඩියක් ගෙනත් කාල කිව්වෙ කටේ තියන්න බෑ ඇඹුලයි කියලා.
ඇක්මන් භීතියෙන් මුදලාලි දෙස බලා සිට, “ඇඹු...ඇඹුල් දොඩම් ! අනේ අම්මප නෑ මුදලාලි මං එහෙම කරන්නෙ නෑ. මේ බලන්න මේ ගෙඩිය.
ඔහු බත් පතද පසෙක තබා තම දොඩමෙහි පිරිසිදු භාවය පෙන්වීමට හදයි.
මේ..මේ...පැණි දොඩම් මුදලාලි කාලා බලන්න.
“අනේ පලයං යෝධයෝ උඹේ ඔය ගොරක දොඩමත් අරං. උඹ අහුවෙයංකො මට.
මුදලාලි තර්ජනය කරද්දී කඩේ අනිත් උන් හිනැහෙන්නට හේතුවක් ඇඹුල් දොඩම්ට හිතාගනු බැරි විය. ඔහු නම් භීරාන්තව සිටියේය.
එතැන් පටන් ඇක්මන් නැති තැන කියන්නට පටන් ගත් ඇඹුල් දොඩම් නම, ඔහු ඇති තැනද කියන්නට පටන් ගෙන කාලයක් ගත වෙන විට ඇක්මන් යන්න ඇක්මන්ටද අමතක වන තරමට ප්‍රචලිත විය. කල් යත්ම ඇක්මන්ද ඔවුන් හා තමන්ටම සිනා සී පුරුදු පරිදි ජීවිකාව කරයි. විටෙක ඔහු හිත පෑරුනද කල හැකි අනෙකක් නොමැත්තෙන් හේ ඒ උහුලාගත්තේය. එවිට ඇක්මන්ට තමා ගැනම කම්පාවක් ඇතිවෙයි. තමුන් අනෙක් හැමටට නෝංජලයෙක්ම පමණක් වීම මේ කම්පාට හේතුව වන්නට ඇත.
සතියේ ඉතිරි දවස්වල ඔහු සයිකලයද පැදගෙන බොහෝ දුර බැහැර පළාත්වලට යන්නේය. උපතින්ම කොටෙකු වූ හෙතෙම බින්දුවටම පහත් කල සීට් එකේ උඩට පහළට තට්ටම් දෙක අතුල්ලවමින් හැතැප්ම ගනන් සයිකලය පාගයි. දොඩම්වලට අමතරව පේර, වෙරළු ආදියද කෙහෙල් මුවක්, ඇඹරැල්ලා ටිකක් එකතු කර ගත්තද, ඔහුගේ ප්‍රධාන අළෙවි භාණ්ඩය දොඩම් ම විය. සයිකලයේ පිටුපස ලගේජයේ පෝර උරය ඒ සදහා පමණක්ම වෙන්කර තිබුණි. අනෙකක් වූයේ නම් ඒවා සයිකලයේ හැඩලයේ දෙපැත්තේ එල්ලීගෙන පොළට ආවේය.
දෙල් ගහ යට සුපුරුදු තැන ඉටිකොළය එලන ඇඹුල් දොඩං සයිකලයේ ඇති දොඩම් උරය ලිහා සීරුවට එකින් එක ගෙන ඒ මත අඩුක් කරයි. දවසක දොඩම් ගොඩ පිරමීඩාකාරය. තවත් දවසක ගඩොලින් බැදි තාප්පයක් සේය.
“පැණි දොඩං.....එන්න නෝනා මේ හතරම සීයයි. හතරම සීයයි. ගන්න පැණි දොඩං....,, පිරමීඩය හෝ තාප්පය බැද නිම වූ වහාම ඔහුගේ හඩ ඇසෙයි.
කීයද ?
බරට සිලි සිලි උර දෙකක් දෑතින් ගෙන එන්නෙක් දොඩම් ගොඩ වෙත නිකට දිගු කරමින් ඉගියෙන් විමසයි.
“හතරම සීයයි මාත්තය, ෂෝක් දොඩං....,,
මිළ විමසන්නා දොඩම් ගෙඩිවල ලෙලිද විනිවිද බිකිද ගණින්නාක් සේ මදක් බලා හිද යළි ඉවත යයි. ඇක්මන් තම සුපුරුදු වාක්කිය ද අමතක කර දොඩම් ගොඩ දිහා බලා සිටින්නේ පළමු වරට ඒවා දකින්නකු සේය. තමා නුදුටු යම් අමුත්තක් දොඩම්වල ඇත්දැයි බලන්නට මෙන් ඔහුගේ දෙනෙත දොඩම් ගොඩ පුරාම දුවයි.
“පැණි දොඩං....ගන්න පැණි දොඩං...දෙකක් පණහයි, හතරක් සීයයි...,,
ඔහු අනතුරුව නව වැකියක්ද මැදට අමුණා යළි ගෑගසන්නට පටන් ගනියි.
“දෙන්න හතරක්,,
රුපියල් සීයේ නෝට්ටුවක් ඇක්මන්ගේ දෑස් ඉදිරියට දිගු වෙයි. ඔහු හිස ඔසවා නොබලා, හිස පහත් කරගෙනම දොඩම් ගෙඩි හතර සිලි කවරයක දමා දිගු කරන අතරම රුපියල් සීයේ නෝට්ටුව අතට ගනියි. දොඩම් ගොඩ පිටුපස හිදගන්නා ඇක්මන්ට තමන් ඉදිරිපිට ඇති කිසිවක් නොපෙනෙයි. ඔහුට පෙනෙන්නේ දොඩම් ම පමණි.
තවම ගුලිකරගෙන සිටින සීයේ කොළය දිගහැර බලද්දී එහි ඉන්නා මාල ගිරා ජෝඩුව ඇක්මන්ට සුමනා සිහිපත් කළේය. අවුරුදු දාහතකට පෙර අලුත්ම අලුත් සයිකල් පොල්ලේ හිදගෙන ආ ගමන්මය තව ඈ. එදා තමන්ගේ මිටිකම වුවද සැපකැයි ඔහුට සිතුනේ සුමනාද පොල්ලේ තබාගෙන ඇගේ ඇතිල්ලි ඇතිල්ලී පෑගූ පෑගිල්ල මතක් වීය. පුංචි පාලම තෙක් මහ නැග්මේ මැද්දකරක් වෙනතුරු පෑගූ හේ සයිකලෙන් බැස්ස නමුත් ඈට පය බිම ගහන්නට නුදුන්නේ, කතරගං දෙයියන්ට පූජා වට්ටියක් පුදන්නට යන බැතිමතෙකු සේ සැලකිල්ලෙන්ද, කලකින් වහින වැස්සකට පැන කෙළින කොලු කැලක සේ ඉපිලෙමින්ද, මුල් දිනුම දිනූ ලොතරැයියක් අතැත්තෙකු සේ පපුවේ ගැස්මෙන්ද පාලම මැද උස් පඩියටම යනකල් බයිසිකලය තල්ලුකල හෙයිනි. එවක් පටන් සුමනා ඔහුට දරුවන් තිදෙනෙකු වැදුවාය. උන් තනිව හැදුවාය. අදත් වචනයක් කීවොත් ඒ උන් ගැනය.
“පොඩි එකාට ඉස්කෝලෙ යන්න බෑ කියලා අඩනවා. කොල්ලො කොලොප්පං කරනවලු අරක මේක කියලා...
ඊයෙ හැන්දෑවේ ඈ කී හැටි ඇක්මන්ගේ හිතට ආවේ පපුව කකියවාගෙනය.
“.....කීයද මේ,,
“ ආහ්...ගන්න නෝනෙ දෙකක් පණහයි. හතරක් සීයයි..,.
මෙදා පාර නම් බස්වලටද වෙළදාමේ යා යුතු යයි ඔහු හිතාගත්තේය.
.......................................................................................................
“මහත්තයා හුග කාලෙකින්......,,
රෝහණ මුදලාලි කඩයට ගොඩ වූ අමුත්තා දිහා බලා සිනාවෙන් යුතුව කීවේ හුරු පුරුදු නොවෙනස් හඩිනි.
ඒකනෙ මුදලාලි කොහෙද මේ පොත්පත්වල වැඩත් එක්ක, දන්නවනෙ...
නැත්තං නැත්තං මහත්තයො....
හැබෑවටම මුදලාලි, සිරිමෙවන් මහත්තයා ගැන දැනන් සිටියේය. මාසයකට වරක්වත් තමුන්ගේ කඩේට ගොඩවෙන සිරිමෙවන් මහත්තයා කෝපි කෝප්ප හත අටක් හිස් කරමින් මුදලාලි හා දොඩමළු වෙයි. මුදලාලිගේ ඇතැම් අත්දැකීම්, අරුම පුදුම කතන්දර ආදිය තමුන්ගේ වාගේ ගැමි සුවද පෙරි පෙරී තීරු ලිපියක හෝ නිබන්ධනයක ලියයි. විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට පන්ති සාමාර්ථ ලබා දීමට කැපවෙයි. ආණ්ඩුවට කහියි. සම්මානවලට පාත්‍ර වෙයි.
ඉතින් ඉදගම්මු මහත්තයා.
රෝහණ මුදලාලි ඊටත් සිනාසුණ මිස අනිකක් නොකළේය.
මුදලාලි අද නම් මං ආවෙ පොඩි හදිසි උවමනාවකට. මුදලාලිගෙන් පොඩි උදව්වක් බලං.
ඒ මොකක්ද මහත්තයො.
මේ මට උවමනාවකට ඇඹුල් දොඩං ගෙඩි විසිපහක් තිහක් ඕන කරලා තියෙනවා මුදලාලි. හැබැයි හොද එව්වායින්. මං මුදලාලිම හොයාගෙන ආවෙ ඒකයි.
අර මොකටෙයි මහත්තයො එච්චර දොඩං ? බේතකට නං වෙන්න බෑ.
නෑ නෑ මුදලාලි මේ අපේ නෝනගෙ වැඩකට. පොඩි ගුරුකමකට. මුදලාලි දන්නවනෙ...
මුදලාලි කට කොනකට නැගි හිනාව නොසගවාම කථා කලේ තමුන් දන්නා වග පෙනෙන්නටමය.
හ්ම්....අපේ එකෙක් නං ඉන්නවා මහත්තයො...හැබැයි මිනිහා විකුණන්නෙ පැණි දොඩං. ඒ උනාට මිනිහාගෙන් දැනගත්තැකි දොඩං ටිකක් හොයාගන්න විදියක්...ඉන්නකො ඩිංගක්....සුනිමල්....සුනිමලෝ....
ඔහු කඩේ අතවැසි කොලුවාට අඩගසා සිරිමෙවන් මහත්තයාට ඇඹුල් දොඩං මුණගස්වන ලෙසද තමුන් විසින් මහත්තයා එහි එවූ වගද කියනා ලෙස උපදෙස් දුන්නේය.
යං මහත්තයා...
සුනිමල් ඉස්සර විය.
.......................................................................................................
සිරිමෙවන් මහත්තයා පිටවී යන තෙක් සුනිමල් සිටියේ නොඉවසිල්ලෙනි. මහත්තයා කාරයට නැග දොර වසාගන්නවාත් එක්කම කට අරින්නට හිටියත් මුදලාලි ඔහුට ඉස්සර විය.
කොහෙන්ද බං අර ඇඹුල් දොඩං ? මුදලාලි හිද ඇත්තේද සුනිමල් හිටි තත්වයේමය.
මාර වැඩේනෙ මුදලාලි මාත්තයා උනේ... මං මහත්තයවත් එක්කගෙන ඇඹුල් දොඩං ගැනත් කෙටියෙන් කියාගෙන ඒ පැත්තට ගියා. ගිහිං මිනිහට විස්තරේ කිව්ව විතරයි මෙන්න උදේ මං බේකරියට යද්දිත් පැණි දොඩං, පැණි දොඩං කියලා කෑ ගහපු එකා, ආ එන්න මහත්තයො තෝරලා ගන්න කියලා දොඩං ගොඩ පෙන්නුවේ නැතෑ....
නෑහ්.... මුදලාලි බුලත් විටක් ඒදන අතරේම පුදුම විය.
නෑ නෙමෙයි මුදලාලිට හින්දා රුපියල් දෙකක්ම අඩුකරලා දෙනවත් කියපි.
මුදලාලි මුදලාලිටම හරියන ගෝලයා හා හිනැහුණේය.
ඉතිං උඹ මොකද කලේ ?
මාත් දෙන්නං පුතයට කියලා හිතාගෙන හිනාව තද කරං හිටිය. මහත්තයා දොඩං මල්ලත් අරන් පිටත් වෙද්දි මූ මට පැත්තකට කථා කරලා කියනවා,
බුදු මල්ලියෙ මුදලාලි මට තවත් පදයක් හදයි උඹ මේක කිව්වොත්. මං වෙළදාම් කරලත් ඉවරයි පොළේ. එහෙම උනොත්, අරං තිබිච්ච ඇඹුල් දොඩං වගයක් දුන්නෙ කියහං. දරු පවුල නිසානෙ හැම එකම කරන්නෙ කියලා ඒකා නොවැන්දා විතරයි. මට පුකෙනුත් හිනා ගියා....හික් හික්.....
ඒත් මුදලාලි ඒ අසා නගන්නට සූදානම් කරගෙන සිටි හිනාව ගිලගත්තේය.
“ඕකා මේ පළාතෙවත් ඒද මන්දා....හැක් හැක්.....
සුනිමල් සිනාසෙන අතර මුදලාලිට ඇඹුල් දොඩම් ගැන කණගාටුවක්ද තමුන් ගැන සිහින් කලකිරීමක්ද උපන්නේය.
සුනිමල් හිනැහෙමින් හිතුවේ මුදලාලිගේ මුහුණ සිනාව වැඩිකමට ඇඹුල් වුනා කියාය. සිරිමෙවන් කාරයේ යන අතරතුර සිතුවේ ඇඹුල් දොඩම් ගැන කෙටි කථාවක් ලියන්නටය. ඇඹුල් දොඩම් සිතුවේ පොඩි එකාට කලිසං රෙද්දක් අරගෙන ගෙදර යන හැටිය. මුදලාලි සිතුවේ සිරිමෙවන්, තමුන් හා සුනිමල් වැනි උන් අතරේ ඇඹුල් දොඩම් කෙතරම් නම් අහිංසකද කියාය.
මුදලාලි ඇත්තටම ඇඹුල් දොඩම් විකුණන්නෙ ඇඹුල් දොඩම්ද ? පැණි දොඩම්ද ? සුනිමල් රෝහණ මුදලාලිගෙන් ඇසුවේය.
නිමි.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
ඉසුරු අබේසේකර
ප.ලි
ඉසුරු අබේසේකර යනු ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. මේ කථාව සිරාගේ කාමරයේ පල කරන අදහසින් මවෙත ලියා එව්වාට මගේ මෙන්ම ඔබේද ස්තුතිය ඔහුට හිමි විය යුතුය. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.
මාසයේ අවසාන ලිපියේ හිමිකම ඔබේය. ඊලග මාසයේ අවසාන ලිපිය ලෙස ඔබේ ලිපියක් පලකරන්නට කැමති නම්...සිරා කොලුවා වන මට ඊයක් විදින්න.
මාසයේ අවසාන ලිපියේ හිමිකම ඔබේය. ඊලග මාසයේ අවසාන ලිපිය ලෙස ඔබේ ලිපියක් පලකරන්නට කැමති නම්...සිරා කොලුවා වන මට ඊයක් විදින්න.