ඒ කාලෙ ගම්පහ නගරයේ තිබුන හොදම යයි සම්මත ගණිතය උපකාරක පන්තියට තමයි සිරා කොලුවා ගියේ. මේ පන්තියෙදිම තමයි සිරාගෙ අභිමංගල ප්‍රේමය වෙච්ච රතු කොණ්ඩෙ මුලිච්චි උනෙත්... ඒ විතරක් නම් මදැයි, අයිය බඩාගෙ ප්‍රේම කථාවටත් පාර කිව්වෙ මේ පන්තියම තමයි. ඔය කිව්ව විෂයන් තුන අතරින් ගණිතය උගන්වපු ගුරුතුමා බොහොම දර දඩු නීතියට වැඩ කරපු කෙනෙක්...ඒ නිසාම ගණිතයට උනන්දු නැති උන්ට බලෙන්ම හරි උනන්දුව ඇති කරගත යුතු තත්වයක් තමයි පන්තිය තුල තිබුනෙ.
6 වසරෙ සිටම මේ පන්තියට ආව ගිය උන් හැටියට ඒ වෙද්දි ගුරුතුමා ගැන හොද විශ්වාසයක් වගේම අවබෝධයකුත් අපේ හිත්වල ඇතිවෙලයි තිබුනෙ. උගන්වන හැම තත්පරයක්ම ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙලා ඒ කටයුතු වල නිරත වෙන ඔහුගේ නීති රීති වලට අනුව වැඩ කරන්න අමාරු උනත් ප්‍රතිඵල එන දවසට නම් ඒ වෑයම පිළිබද අනේකවාරයක් සතුටු වෙන්න පුලුවන්.
වසර මුලදිම අවුරුද්ද පුරා පන්ති පැවැත්වෙන ආකාරය පිළිබද දැනුවත් කිරීම එතුමාගෙ සිරිතක්. ඊට අමතරව ප්‍රසිද්ධ නිවාඩු දවස් වලත් අවශ්‍යතාව අනුව අතිරේක පන්ති පැවැත්වුනා. මේ කිව්ව 1998 මැයි 1 වෙනිදාත් එහෙම දවසක්.
කාටද මැයි පළවෙනිදා නිවාඩු ඕනෙ....එහෙම අය අත උස්සන්න බලන්න...සෑර් හඩ වැඩි කරලා කියනකොට අවශ්‍යතාව තියෙන එකාටත් ඒක අමතක වෙනවා... මේ මැයි පළවෙනිදට අතිරේක පන්තියක් තියෙනවා...විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගන්න කැමති අය අනිවාර්යෙන්ම එන්න ඕනෙ...මැයි පෙළපාලි වල යන අයට දිගටම අනිත් උන්ට හුරේ දදා පෙළපාලියෙම යන්න පුලුවන්...
මෙහෙම ඉතිං ගහෙං ගෙඩි එනවා වගේ එකපාරටම අතිරේක පන්තියක් දැම්මම අපේ ආතල් කැඩෙනවා උනාට..නොගියොත් ඊළග දවසෙ පන්ති ගිහිල්ලා හමාරයි. පැය 6 ක් උගන්වන දේවල් සුලුපටුද හැබෑටම...මේ පැය 6 ම ගණිතය විතරයි...ගණිතය විෂයට ඒ දවස්වල තිබුන අකමැත්ත අන්තිම ඉහළ වුනත් විභාගෙ ගොඩ දාගන්න ඕනෙ නිසා හැමෝම අමාරුවෙන් හරි පන්ති ආවා.
ඒත් ගොයියො මැයි 1 වෙනිදා පන්ති යන එක සෙල්ලං නෑනෙ කියලා අවබෝධ වෙන්නෙ පන්ති යන්න පාරට ආවට පස්සෙ. පුද්ගලික අංශයෙ බස් එදාට සෙනග අඩු නිසා නිවාඩු... රාජ්‍ය අංශයෙ බස් මැයි පෙළපාලි වලට යන ජාති මාමක ජනතාව ප්‍රවාහනය කරන්න ගිහිල්ලා.....බත් මුලක්, අරක්කු බෝතලයක් නොමිලේ දෙනවා කිව්වම මේ ජනතාව වැඩ කරන ජනතාවට පණ උනත් දෙන්න පෙරට එයි. හැබැයි ඒ සියල්ල මැයි 1 වෙනිදා නිමා වෙද්දිම නිමා වෙනවා.
මේ කිව්ව දවසෙත් වෙච්ච සංසිද්ධිය එමම තමයි. පන්තිය පටන් ගන්නෙ 8 කණිසමට...සිරා පාරට ආවෙ 7 ට. දැන් පැයක්ම බස් එකක් එනතුරු බලා ඉදලා ඉදලා නිකරුනේ ගෙවිලා..පරක්කු වෙලා පන්තියට එනවට අපේ සෑර් කැමතිත් නෑ...මොකක් හරි ඇනුම් පදයක් කියනවා...ඒකට කෙල්ලො සැට් එක හිචි හිචි ගානවා...ඒ හින්දා ප්‍රමාද වෙලා පන්ති යන එක මහ එපා කරපු වැඩක්....
මේ වකවානුවේ අපේ නගා කොල්ලා ගමේ පාසලට ගියේ...ඒ උනාට මේ අතිරේක පන්තියෙදි අදුනගත්ත නිසා මා සමග තරමක ඇයි හොදයියක් තිබුනා...පැයක්ම බස් නැතුව හිටියට පස්සෙ තමයි උගෙ ලද බොළද කටහඩ දෝරෙ ගැලුවෙ.
ඇයි බන් මේ නිවාඩු දවසක අපිට ගෙදරට වෙලා ඉන්න දෙන්නෙ නැතුව අතිරේක පන්තිදාලා පාරෙ රස්තියාදු කොරවන්නෙ...දැන් බලහං පැයක්ම පාරෙ හිටගෙන හිටියා..එක බස් එකක් නෑනෙ බන්....
සෑර් දැනගන්න ඕනෙ නේද මැයි පළවෙනිදට පාරෙ බස් නෑ කියලා... තව එකෙක් හීනියට හූමිට්ටක් තියනවා...
ඔන්න ඔය අතරෙදි තමයි DIMO යනුවෙන් මූණතේ නම ගහලා තියෙන කහපාට ලංගම බස් එකක් ප්‍රධාන මාර්ගයේ ඈත කොණෙන් මතු වුනේ...බස් එකේ දොර දෙකේම සැට් එක කට කපලා...පා පුවරුවෙ කකුල් තියාගෙන එල්ලෙන්න තියෙන හැම තැනම මගියො එල්ලිලා හිටියෙ හරියට බල්ලන්ගෙ ඇගේ මැක්කො එල්ලිලා ඉන්නවා වගෙයි. ඒත් පන්ති යන්න තියෙන උවමනාව නිසාම අපේ හන්දියෙ හිටිය නඩේ පාරට පැනලා අත දැම්මෙ බස් එක නවත්තගන්න.. බස් එකේ තවත් නගින්න ඉඩක් තිබුනෙ නැති හින්දම රියදුරා ඒක නොනවත්වාම ධාවනය කලා. මෙන්න මේ අතරෙදි බස් රථය තුල හිටිය අපේ මිත්තරයෙක් අපිටත් රථයට නගින්න අවස්ථාවක් ලබා දෙන්න රථයෙ සීනුව නාද කොලා.
මෙන්න මේ වගේ එකකින් තමා බල්ටිය ගැහුවෙ |
ක්‍රිකට් තරගයක හතරෙ සීමාවෙදි පන්දුව නවත්තන්න තණ නිල්ල දිගේ ක්‍රීඩකයො ලිස්සලා යන විදියට තාර පාර දිගේ ටික දුරක් ගිහිල්ලා සිරා කොලුවා නැවතුනා...අපේ උන් ඉක්මනට ඇවිල්ලා මට නැගිටින්නට අත දුන්නා...මම ඉස්සෙල්ලාම බැලුවෙ ඔලුව තියෙනවද කියලා...ඒක අතට අහුවුන නිසා කුකුල් දෙක තියෙනවද බැලුවා...ඒකත් හරි...ඊට පස්සෙ තමයි වෙච්ච හානි දිහා බැලුවෙ...
අලුත්ම ටී ෂර්ට් එක ක්ලේමෝ ප්‍රහාරයකට ලක් වෙලා වගේ හැම තැනම ඉරිලා...කිරි ගොට්ටෙ වගේ හිල්...නිල්පාට ඩෙනිමෙ දණහිස ලග කොටස ගෙවිලා ගිහිල්ලා ලස්සන රවුම් දෙකක් කකුල් දෙකේම මතු වෙලා...එදා ඩෙනිම වෙනුවට වෙනත් මෘදු රෙද්දකින් නිම වෙච්ච කලිසමක් ඇදගෙන හිටියා නම් සිරාට දණිස් පොල්කටු දෙකක් කඩෙන් ගන්න වෙනවා...
වම් අතේ වගේම දකුණු අතෙත් ඇගිලි මුල තුවාල වෙලා පුංචි පුංචි රවුම් ආකාරයෙන්...ඒවායින් ලේ ගලනවා...සිරාට බරටම හානි...ඒ උනාට පන්ති යන්නෙ නැතුව ඉන්න මට හිත දෙන්නෙ නෑ...පාරෙ ගියපු වාහනයක් නවත්තගත්ත අපේ උන් මාවත් ඒකට පටවගෙන පන්තිය තියන ඉසව්වට ආවා...
මචං ඔය විදියට පන්තියට යන්න බෑනෙ...අපි බේත් දාගෙන යමු...
නෑ බොලව්..උඹලගෙ වෙලාව අපරාදෙ....මේ වෙලාවෙ ඉස්පිරිතාලෙ සෙනග වැඩි නම් සෑහෙන වෙලාවක් ඉන්න වේවි...ඒ හින්දා අපි කෙලින්ම පන්තියට යමු..
උඹට කලන්තෙ වගේ එහෙම නෑ නේද ? ඔලුව බිම වැදුනද ? නගා බොහොම ලෙංගතුකොමෙන් මගෙන් අහනවා..
ඔයින් මෙයින් අපි පන්තියටත් ආවා කියමුකො...ගණිතය සෑර් මගේ දෙමාපියන්ගෙ හිතවතෙක් වෙච්ච හින්දම මම හැමදාම පළවෙනි නැත්නම් දෙවැනි පේළියෙ තමයි වාඩි උනේ...එහෙම නැති උනා නම් අපේ නිවසට සෑර්ගෙන් පැමිණිලි එනවා. ඉදිරි පෙල වටේටම ඉන්න උන් මගේ යාලුවො වෙච්චි කොට කවදාවත් මගේ තැනට වෙන එකෙක් ආවෙ නෑ...එදත් මට නියමිත ස්ථානය ඉතිරිව තිබුනා...
මම අත් දෙකේම ලේ පෙරාගෙන පන්තියෙන් වාඩි උනා...මගේ දිහා ඉස්සෙල්ලාම බැලුවෙ දැරිවියන්ගෙ පැත්තෙ පළමු පේළියෙ අගට වෙන්න හැමදාම ඉන්න මංජුලා... ඒකි මා දිහා බැලුවා විතරයි අත් දෙකෙන් මූණ වහගෙන අල්ලපු දැරිවියගෙ උරහිසට හේත්තු උනා...මංජුලාට ලේ දැකලා කලන්තෙ දාලා...මම දන්නවද ඒකිට ලේ බලන්න බෑ කියලා...එහෙම උනා නම් නොපෙන්වා ඉන්න තිබුනා.
ඒ අස්සෙ සෑර් කලබලා වෙලා...මම වෙච්ච සන්තෑසිය ඔක්කොම කිව්වට පස්සෙ...ලේ ටික හෝදගෙන පන්තියට එන්න කියලා මට නියම කොලා...ඒ දවස්වල ඉතිං නව යොවුන් උන්මාදය තිබුන කාලෙ නොවැ...කොච්චර හානි උනත් කෙල්ලෙක් බලනකොට මාර කික්...ඒ හින්දම මට ලොකු වේදනාවක් දැනුනෙ නෑ...
තුවාල වල ලේ පැල්ලම් ජලයෙන් සෝදලා තවත් පැය දෙකකට පමණ පස්සෙ පන්තියට ලැබුනු විවේක කාලයෙදි ලග පාත තිබුන ගම්පහ රජයේ රෝහලට යන්න මම පිටත් වුනා...එතකොටම මගේ ලගට ආවෙ අපේ ගණිතය සෑර්...
මම කට කැඩෙනකං කිව්වා නේද මේ පන්තියෙ කොල්ලන්ට, ජීවන්ත කකුල කඩා ගත්තට පස්සෙ බස් වල යද්දි පරිස්සමෙන් යන්න කියලා. ඔය අහලා තියෙන්නෙ අපූරුවට...
ජීවන්ත කියන්නෙත් මගේ පාසලේ මගේ ලගම මිත්තරයෙක්...මේ කියන දවස් වලට මාස දෙකකට විතර ඉස්සෙල්ලා දවසක මිනිහගෙ කකුල බස් රථයක පාපුවරුව සහ පාරෙ තිබුන කොන්ක්‍රීට් ගැට්ටක් අතරට අහුවෙලා සෑහෙන්න හානි උනා...මාස ගානක් කොළඹ මහ ඉස්පිරිතාලෙ නැවතිලා, කැඩුනු අස්ථි වෙනුවට කම්බි දාලා, සැත්කම් කීපයක් කරලා , කිහිළි කරුවෙන් තමයි අන්තිම කාලෙ පන්තියට ආවෙ...දැන් නම් ලොකු කැළලක් කකුලේ තිබුනා උනත් මිනිහා කිසිම අපහසුතාවකින් තොරව දෙයියනේ කියලා ඇවිදිනවා.
මම ඉතිං හිස පහත් කරලා සෑර්ගෙ ඔවදන් පිළි අරන් ඉස්පිරිතාලෙ බඩගෑවා...වෛද්‍යවරියක් මගේ නම ගම වයස වගේ දේවල් එක්ක පාසලේ නමත් ඇහුවා...මම ඉතිං උත්තරේ දුන්නම...
ආ ඒ ඉස්කෝලෙ කෙනෙක්ද ? ඒකෙ අයට තියෙන්නෙ පුදුම දැගලිල්ලක්නෙ...මේ කරගෙන තියෙන්නෙ...
අසරණ සිරා ලෙඩා බිම බලාගෙන හිටියා....ඊළගට බෙහෙත් දාපු සුදු නර්ස් නෝනා...
කොහෙද ඉස්කෝලෙ...
මගෙන් සුපුරුදු පිළිතුර...
ආ එහෙ එක්කෙනෙක්ද ? මෙයාලට පුදුම ගායක්නෙ තියෙන්නෙ...පාරවල් වල වෙන මිනිස්සු යනවා කියලා හිතන්නෙත් නෑ එච්චරට දැගලිල්ල... නර්ස් නෝනා අපේ පාසලේ වරුණාව වයසක ඇටෙන්ඩොන්ට් උන්දෙක්ට කියනවා...එයත් ලෝඹු කට ඇරලා හිනා වෙන ගමන් මගේ දිහාට ඇහැ කරකවලා හීනියට බලනවා.
යකෝ....මේක හරි කෙළියක්නෙ...ඉස්කෝලෙ නම කිව්වාමත් බනිනවා...මක්ක කරන්නද...එතැනදීත් සිරා ලෙඩ කපුටා වගේ ඔලුව පාත් කරගෙන ඉදලා බේත් ටික දාගත්තා...
එදා රෑ නින්දට යද්දි මගේ තුවාල සෑහෙන්න රිදුම් දෙන්න ගත්තා...දවස් ගාණක් හැන්දකින් බත් කෑවෙ. මේ සිද්ධියෙන් පස්සෙ කාලයක් යනතුරු මම කල්පනා කලේ බස් රථයෙ ඉදිරි පා පුවරුවෙන් බිමට වැටිලා බස් රථය අස්සට ගිය මගේ දෙපා බේරුනේ කොහොමද කියලා. මළගිය ඥාතියෙකුවත් පිහිට උනාද මන්දා....
බ්ලොගේ අද මොන කථාවද ලියන්නෙ කියලා හිතාගෙන යතුරු පුවරුවේ ඇගිලි තියාගෙන ඉද්දි...ඒවායෙ තියෙන පරණ ලප කැළැල් දැක්කම තමයි මගේ යටගියාවෙ මේ සිදුවීම මතක් උනේ ඔන්න....
අඩේ මේ DIMO බස් එක හොයන්න ගිහිල්ලා පට්ට බොගක් සැට් උනා....ලංගම බස් වල ජාතකේම එතන තියනවා...මේ ෆොටෝව ඉස්සුවෙත් එතැනින්...ඒ තැන තමයි මේ.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
පාසල් යන වයසෙ දාංගලේ තියෙන කොලු කුරුට්ටො හරි, හැමදාම දුම්රියේ පා පුවරුවෙ එල්ලිලා වැඩට යන හිතවතෙක් හරි මේ සටහන කියවනවා නම්.....
අනේ වදින්නම් රත්තරනේ ටිකක් පරක්කු උනාට කමක් නෑ ඊළග එකේ ඇවිල්ලා තමන්ගෙ ජීවිතය වගේම කකුල් දෙකත් බේරා ගන්න. මම පත්තරේ වැඩ කොරපු සමයෙ වේයන්ගොඩදි දුම්රියට අහුවෙලා ඉනට පහලින් ශරීරය වෙන්වුනු තරුණයගෙ සංස්කරණය කරපු නැති ඔරිජිනල් ඡායාරූප පෙළ දැක්කා...ඒවා දැක්කම මට හිතුනෙ මේවා දකින්න අපිත් පවු කලා නේද කියලා....එය එතරම් වේදනාකාරියි....ශරීරය දෙකඩ වෙලා තියෙද්දිත් ඔහු පියවි සිහියෙන් මිතුරන් සමග කථාබහේ යෙදුනා...පසුව රෝහලේදි මිය ගියා...