මේ පොඩි කොලුවා බස් එකේ තනියම යවන්න පුලුවනෑ...එවකට ජීවතුන් අතර සිටිය අපේ තාත්තගෙ අම්මා හෙවත් අපේ ආච්චි එහෙම කිව්වා. බස් එකේ බෙල් එක ගහන්නවත් උස නැති පොඩි එකාව (ඒ උනාට මම ඒ දවස් වල හිතාගෙන හිටියෙ මම හරි ලොකුයි කියලා) බස් රථයෙන් පාසල් යවන්නෙ නැතුව පාසල් සේවා වෑන් රථයක යවන්න මගේ මව්තුමිය තීරණයකට බැස්සෙ මේ කරුණු කාරණා සලකා බැලීමෙන් අනතුරුව.
1993 වගේ කාල සීමාවකදිත් අපේ පලාතෙ ඉදන් ගම්පහ විද්‍යාල වලට වගේම කොළඹ පාසල් වලටත් සේවා පවත්වපු පාසල් සේවා වෑන් රථ විශාල ප්‍රමාණයක් තිබුනා. ඒ අතරින් මට ගැලපෙන එකක් තෝරා දුන්නෙ ගමේ අම්මා නම් වූ ඥාතීත්වයෙන් මට මිත්තනියක වූ තවත් කෙනෙක්. මේ අය අද ජීවතුන් අතර නෑ.
ඔන්න සිරා එක්කම පොඩි ඉස්කෝලෙන් එකම ලකුණු අරගෙන සිස්සත්තෙ සමත් වෙලා නගරෙ පාසලට යන්න සුදුසුකම් ලබපු මාලනී නැන්දගෙ පුතා උදිතයත් මේ වෑන් රථයටම ඔබන්න ඒ අයත් කම්පනා කොර තිබුන නිසා මට භය වෙන්න දෙයක් තිබුනෙත් නෑ. මොකද මේ අවදියෙදි සිරා හරිම ලැජ්ජාකාරයා.
පුතේ හෙට ඉදන් වෑන් එකේ යන්න පුලුවන්...ගමේ අම්මා අපේ අම්මට පණිවිඩේ දුන්නා. ඒ දවස්වල මම උදේට නැගිටින්න අදිමදි කරනකොට අම්මා අහන්නෙ...
අර අලුත් සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙ යන්න ආශා නැද්ද කියලයි... ඒ වගේ වචනයක් ඇහුනම සිරා බල්ටියකුත් ගහගෙන ඇදෙන් බිමට පැන්න බව මට තවමත් මතකයි. මම ඉස් ඉස්සෙල්ලාම පාසල් වෑන් රථයට ගොඩවෙච්ච දවසෙ වෑන් රථයට භාර දෙන්න අපේ අම්ම එක්ක ගමේ අම්මත් ආවා.
Toyota LH 30 |
ඒ වෙද්දිත් මට කලින් හන්දියකින් වෑන් රථයට ගොඩ වෙන උදිතයා ඒක ඇතුලෙ. මාත් එක්ක වෙනත් විද්‍යාලයක කෙනෙක් අපේ හන්දියෙන්ම පාසල් සේවයට ගොඩ වුනා. අපරාදෙ කියන්න බෑ..ඇති පදම් ඉඩ...ඉදගෙන නෙමෙයි නිදියගෙන උනත් යන්න පුලුවන්...වෑන් රථය එළවන වයසක ඩැයිවර් මාම පවු...මේ විදියට කට්ටිය අඩුවෙන් අරගෙන ගිහිං එයාට පාඩුත් ඇති...මගේ සූටි මොළේට එහෙමත් හිතුනා.
පාසල ඉවර උනාට පස්සෙ වෑන් රථය නවත්වන තැන...එතැන කීය වෙනතුරු ඉන්නවද වගේ දේවල් ඩැයිවර් මාමා බොහොම කාරුණිකව කියලා දුන්නා. මම පස්සෙ දැනගත්ත විදියට ඒ වෑන් රථය ඩැයිවර් මාමගෙම එකක්.
කොහොමද වෑන් එක....ගෙදර ආවම අම්මා ඇහුවා...
හොදට ඉඩ තියෙනවා නියමයි....මමත් ඉතිං බත් කන්න අත හෝදන ගමන් එහෙම කිව්වා.
ඔන්න ඉතිං අති සාර්ථක දෙවැනි දවසටත් පාසල් වෑන් රථයට ගොඩ වුනා...නැග්ග ගමන් පිටිපස්සෙ සීට් එකකට යන්න හදද්දිම කෙල්ලෙක්ගෙ කකුල පෑගුනා...ඌයි... කොහෙ යනවද මන්දා...ඒකි බෙරිහන් දුන්නා...
කව්ද නංගි අලුත් කෙනෙක්ද ? තවත් එකියක් එහෙම ඇහුවා. එතකොට තමයි මට තරු පෙනුනෙ...කලින් දවසෙ හිටිය නැති කාන්තා පරාණ රාශියක් වෑන් එකේ පිටිපස්සෙ සැමන් ටින් එකක වගේ අඩුක් කර තියෙන රමණීය දර්ශනය.
පිටිපස්සෙ ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ...කෝ බොලේ උදිතයා...මම වහාම පිටිපස්ස බැලුවා. Toyota LH30 වෑන් රථයෙ රියදුරාට පිටිපස්සෙ ඇන්ජින් ආවරණය උඩ සකසා තිබුන කෙට්ටු සීට් එකක වෑන් රථයේ පුරුෂ පක්ෂය ඉන්දවලා තිබුනා. මමත් ඉතිං ලැජ්ජාවෙන් රතු වෙච්ච මූණ හංගගෙන එතනින් වාඩි උනා...ඇන්ජිමේ රස්නෙත් පස්සා පැත්තට යන්තමට දැනෙන්න සලස්වලා වෑන් රථය හැමදාමත් පාසලට ලගා වුනා. මේ සීට් එකේ ඉදගත්තම පිටිපස්සෙන් ඉන්න කෙල්ලන්ගෙ මූණු ටික හොදට පේනවා. කකුල් තියාගන්නත් ඉඩක් නැති උනාට ඩැයිවර් මාමා අපෙනුත් අනිත් අයගෙන් අය කරන මුදලම අය කොලා.
ටික දවසක් යද්දි මගේ අක්මාවට වැටහුනා...අපේ පාසල් වෑන් රථයෙ තියෙන්නෙ තනිකරම කාන්තා පාලනයක් බව...වෑන් රථයටම හිටියෙ කොල්ලො 5 දෙනයි. ඒ අතරින් වැඩිමල් එකා ඩැයිවර් මාමා එක්ක ඉස්සරහම සීට් එකේ. අනිත් හතර දෙනා ඉතිං මම කලින් කිව්ව හීනි සීට් කබලෙ පේලියට දිගේලි උනා. අපේ පුකට කුෂන් සීට් අරහං හින්දද මන්දා වෑන් එකේ ගිය පළවෙනිම දවසින් පස්සෙ එහෙම චෑන්ස් එකක් ආයෙ කවදාවත් වෑන් රථයෙන් ඉවත් වන තුරාවටම වැදුනෙම නෑ.
අපේ පාසල් වෑන් රථය මම කලින් කිව්ව මාදිලියෙ සුදු පැහැති එකක්. ඒක වටේටම නිල් පාට ඉරි ගහලා තිබුන නිසා අනිත් වෑන් රථ අතරින් පහසුවෙන් හදුනාගැනීමේ හැකියාව පුංචි අපට ලැබුනා. වෑන් රථය ඇතුලෙ හිටිය කාන්තා පරාණ සියල්ලම එකම පාසලක. ඒ තමයි අපේ පාසල ලගම පිහිටි රතු ටයි පටියක් හිමි ඉස්කෝලෙ.
වෑන් රථය ඇතුලෙ මේ දැරිවියො කල්ලි දෙකක් විදියට පිල් බෙදිලා හිටියෙ. පොඩිම එකීගෙ ඉදන් ලොකුම එකී දක්වා හැම වයස් පරාසයකම අය මේ කල්ලි දෙකට අයත් වුනා. මුන් දෙගොල්ල වෑන් රථය ඇතුලෙ හැමදාම මරා ගත්තා. ඒ පිටිපස්සෙ සීට් එක ලබා ගන්න.
උදේට බැරි උනොත් හැන්දෑවට හරි පිටිපස්සෙ සීට් එක අල්ලගන්නවා කියන අධිෂ්ඨානයෙන් තමයි කෙල්ලො ගවුම් කරේ තියාගෙන වෑන් එකට දුවගෙන එන්නෙ. ඉස්සෙල්ලාම ආවෙ පොඩි කෙල්ලෙක් නම් තමන්ගෙ පිලේ ලොකු අක්කලා වෙනුවෙන් පිටිපස්සෙ සීට් එක වෙන් කරගන්න ඒකෙ වාඩි වෙනවා. ඊළගට එන්නෙ අනිත් පිලේ වැඩිමල් කෙල්ලෙක් නම් අර චූටි කෙල්ලගෙ කොණ්ඩ කරලෙන් අල්ලලා තල්ලු කරලා එතන ඉද ගන්නවා...ඊට පස්සෙ එකා දෙන්නා ගානෙ ඇවිල්ලා වෑන් එකේ පැක් උනාට පස්සෙ තමයි ජල්ලිය අල්ලන්නෙ.
පිරිමි අපි මේ දෙපාර්ශවයටම සහයෝගයක් නැති මධ්‍යස්ථව සිටි පිරිසක්. මුන් දෙගොල්ල වෑන් එක ඇතුලෙ මරාගන්න ඒ පරම පවිත්‍ර පිවිතුරු දර්ශනය අපි හැමදාමත් දැකලා සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.
තමුසෙ මොකද අපේ චූටි නංගිගෙ කොණ්ඩෙන් ඇද්දෙ...
ඇයි තමුසෙ ඒකිගෙ අක්කද ? අනිත් එකිත් මරියකඩේ කට සැර වෙළෙන්දියෙක් වගේ උත්තරේ දෙනවා.
ආයෙ එහෙම වෙලා තියෙන්න බෑ හරිද.
මෙන්න මේ විදියට සමහර දවස් වල වලිය වැඩිදුර නොගොස් නතර වෙනවා.
සමහර දවස් වලට නැගලම යනවා...එදාට නම් කියලා වැඩක් නෑ.....ජොලිය වැඩි වෙලා අපිට පාසල් වෑන් රථය ආතල් පුරයක් වගේ දැනෙන්න ගන්නවා.
අත අරිනවා මගේ කොණ්ඩේ...එකියක් මොර දෙනවා...
අනේ අක්කෙ මගේ ගවුම ඉරුවා...
ඌයි...මගේ කකුල පාගන්නෙ...ගන්නවා අහකට...
මෙන්න මේ වගේ වලිය නැගලම යන වෙලාවට ඩැයිවර් මාමා වාහනේ නවත්තලා පිටිපස්සට ඔලුව කරකෝලා, බලලා.
අනේ දුවේ ගහ මරා ගන්නෙ නැතුව සාමකාමීව යන්නකෝ....කියලා බොහොම බැගෑපත්ව ඉල්ලා හිටිනවා...අන්න ඒ වෙලාවට තමයි සද්දෙ පොඩ්ඩක් හරි අඩු වෙන්නෙ.
පාසල් නිවාඩු දෙන දවසට තත්වෙ මීට වඩා බොහෝ සෙයින් වෙනස්...එදාට මේ කිව්ව සැට් එක ඉස්කෝලෙ ඇතුලෙ වතුර වලින් ගහගෙන ගවුම් ඉරාගෙන තමයි වෑන් රථයට ගොඩ වෙන්නෙ.
බලන්නකො අක්කෙ අරකි ටැප් එක ලගදි මාව අල්ලගෙන ගවුම ඉරුවනෙ...ඒ කිව්වෙ ගවුම ඉරපු කෙනත් වෑන් රථයෙ යන කෙනෙක්...ඇතුලෙ ප්‍රශ්න සමහර වෙලාවට උන් පාසල ඇතුලෙත් විසදගන්නවා...හරිම සීදේවි කෙල්ලො. අද උන්ව බැදගෙන ඉන්න උන්ට දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.
මේ කියන පාසල් සේවයේ කැසට් පට කීපයක්ම තිබුනත් මාස 6ක විතර කාලයක් එක දිගට උදේ හවස වාදනය කලේ එකම කැසට් පටයක්. ඒ තමයි නාමල් උඩුගමගෙ වේදනා. මේකෙ තිබුන සින්දු වලට වෑන් එකේ හිටිය කෙල්ලො රෑන වශී වෙලා හිටියෙ. කෙටියෙන්ම කියනවා නම් උන් නාමල් ගොයියට වහ වැටිලා හිටියෙ. හැමදාම එකම සින්දුව අහලා මට ඒ දවස් වල ඒ කැසට් පටියෙ ගීතාවලිය කටපාඩම් වෙලා තිබුනෙ. වෑන් රථයෙ පුරුෂාධිපත්‍යයක් තිබුනෙ නැති නිසා උන්ට කැමති දෙයක් කරගන්න දීලා කොල්ලො ටික ඇන්ජිම උඩ පුක රත්වෙන සීට් එකේ වෙනදා වගේම ගියා ආවා.
නාමල්ට පස්සෙ උන් වහ වැටුනෙ සමුදුර පත්තරෙත් එක්ක ඒ දවස් වල නොමිලයේ ලබා දුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පෝස්ටර් එකතු කරන්න. ඒ අතරින් අරවින්දට සහ රොෂාන් මහානාමට තමයි කෙල්ලන්ගෙ වැඩි කැමැත්ත ලැබුනෙ.
මෙන්න මේ අතරෙ දවසක තමයි බොලව් මටයි උදිතයටයි අමතක නොවන වැඩක් වුනේ. පන්ති දෙකක හිටිය අපි දෙන්නා පාසල අවසන් උනාට පස්සෙ එකම තැනකදි මුණ ගැහිලා එකටම තමයි වෑන් රථයට ගොඩ වෙන්න යන්නෙ. අර මම කලිනුත් කිව්ව නිල් පාට ඉරි සැට් එක හින්දා වගේම හැමදාම නවත්වන්නෙ එකම තැන නිසා මේ රථය හදුනාගන්න එතරම් අපහසු නෑ. ඒත් මේ කියන දවසෙ ඇහේ කලු බබාට සෑහෙන්න මහන්සිය දැනෙන තුරු වෑන් රථය හෙව්වත් ඒක එතන තිබුනෙ නෑ. ඒ කිව්වෙ අන්තරස්දාන වෙලා.
වැඩක් නෑ බං තවත් හොයලා වෑන් එක අපි දෙන්නවා දාලා ගිහිල්ලා.
උදිතයා පරාජිත හැගීමෙන් එහෙම කිව්වා.
දැන් ඉතිං මක්ක කරන්නද...ගෙදර යන්නත් එපායැ. මගේ කලිසම් සාක්කුවෙ කඩචෝරු කාලා ඉතුරු වෙච්ච රුපියල් 3ක් තිබුනෙ පෙර පිනකට වගේ. උදිතයා ලග ශත 5ක් අතේ නෑ. ඒ දවස් වල ගම්පහ ඉදන් අපේ හන්දියට ගාන රුපියල් 1.50. දැන් දෙන්නටම බස් එකේ ගෙදර යන්න මුදල් ඇති. උදිතයත් මට පින් දෙන ගමන් එදා මාත් එක්ක අලුත් පාසලට ආවට පස්සෙ පළමු වරට බස් රථයක නැගලා ගෙදර ගියා. මට මතක විදියට එතකොට අපි හිටියෙ 6 පන්තියෙ.
ගෙදර යද්දි වෙනදට වඩා ප්‍රමාද වෙලා තිබුන හින්දා අපේ අම්මා කාරණේ විමසුවා. එතකොට තමයි බට කැළෑවට ගිණි ගත්තා වගේ ගින්න පැතිරුනේ. මේ පොඩි උන්ව බස් වල යවන්න බැරි හින්දා නේද අපි වැඩි ගානක් දීලා වෑන් එකකට දැම්මෙ. මාලනී නැන්දත් මේ කථාබහට එකතු වුනා. මම හෙට ඉදන් අපේ එකාව ඔය වෑන් එකෙන් අයින් කරනවා, නැන්දට නප්පියට නැගලා.
පහුවදා උදේම මාලනී නැන්දා අපේ ඩැයිවර් අංකල්ට මදි නොකියන්න දොස් කියලා..ඒ මාසෙ ආගිය ඒවට ගණන් බේරලා උදිතයව බස් එකකට නග්ගලා. අපේ අම්මත් මාත් එක්ක හන්දියට ඇවිල්ලා ඩැයිවර් මාමාගෙන් ඇහුවා ඇයි එහෙම කලේ කියලා...
කවුද ඇතුලෙ හිටිය කුපාඩියෙක් කියලා අපි දෙන්නා අද හවස පාසලෙන් පස්සෙ පුහුණූවීමකට ඉන්නවා කිව්වා කියලා. ඉතිං ඩැයිවර් මාමා අපිව හලලා ගිහිල්ලා.
මගේ මව ඒ කාරණය ඒ විදියට විසදගෙන මාව නැවතත් ඒ රථයටම බාර දුන්නා. එතැනින් පස්සෙ උදිතයා නැතුව ටික කාලයක් මම තව දුරටත් පාසල් වෑන් රථයෙ පාසල් ගියා.
මේ අවු අස්සෙ අපේ පාසලේ 75 වෙන සැමරුමට දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කලා. හැම සිසුවෙකුටම ඒ පිළිබද විස්තර ඇතුලත් මුද්‍රිත පෝස්ටර් 3 බැගින් ලබා දුන්නෙ තම තමන්ගෙ නිවාස ඇති ඉසව්වෙ ප්‍රසිද්ධ ස්ථාන වල ඒවා අලවන පොරොන්දුව ඇතිව.
අනේ මගේ පෝස්ටර් 3 මට ගෙදර ගෙනල්ලා දිග ඇරලා බලන්නවත් බැරි උනා.
ඒ කිව්වෙ වෑන් රථයේ කාන්තා ආධිපත්‍යයට මාව හසුවුනා. මගේ පෝස්ටර් උන් අලවන්නම් කියලා ඉතාමත් සාහසික ලෙස පැහැර ගත්තා. මක්ක කරන්නද ඉතිං මම සුපුරුදු සීට් එකට බර දීලා අපේ හන්දියෙන් බිමට පැන්නා.
පාසල් වෑන් රථයට අපේ හන්දියට පස්සෙ ගොඩවුනේ එකම කොල්ලෙක් විතරයි. ඒකාට උපතින්ම කථා කරන්න බැරි නිසා ගම්පහ වෙනත් පාසලක විශේෂ ළමයි අධ්‍යාපනය ලබන පන්තියක ඉගෙන ගත්තෙ. මේ ළමයව එතනින් බස්සන්න යන්න තිබුනෙ බොහොම කෙට්ටු මාර්ගයක. වාහන දෙකකට මාරු වෙන්න බෑ. ඒ නිසා සමහර දවසට හරි ජංජාල තමයි වුනේ. වැඩි හරියක්ම අපිට උනේ පාසල් සේවයක නිරත වූ බර කරත්තයක් පිටිපස්සෙන් යන්න. කරත්තෙ යන වේගෙන් තමයි එතකොට ඩැයිවර් මාමට යන්න වුනේ. සමහර දවස් වලට මාමගෙ ඉවසීම පනිනවා අනිත් ළමයින්ට පාසල් යන්න පරක්කු වෙන ස්වභාවයක් තිබුනොත්...අන්න එදාට...
ඕයි...හරක් දෙන්නා පන්නලා ඕකට ඇන්ජිමක් හයි කරගන්නවකො කියලා කෑ ගහනවා.
සිරා කොලුවා දවසක් සුපුරුදු ලෙස හන්දියට ගියේ පාසල් වෑන් රථයට ගොඩ වෙන්න. ඒත් එදා සෑහෙන වෙලා බලාගෙන හිටියත් වෑන් එක ආවෙ නෑ. රතු ටයි අක්කලගෙන් කෙනෙක් බස් රථයක ඉදන් ඔලුව දාලා කෑ ගැහුවෙ මල්ලි අද වෑන් එක නෑ...බස් එකක යන්න කියලා.
එදා මම පාසල් යන්නෙ නැතුව ආයෙත් ගෙදර ගිය බවයි මතකයේ තියෙන්නෙ. පහුවදා ඉදන් පරණ වෑන් එක වෙනුවට වෙනත් රථයක් තමයි පැමිණියේ....අලුත් ඩැයිවර් මාමා කියපු කථාවෙන් පස්සෙ සමහර කෙල්ලො වෑන් එක ඇතුලෙ ඇඩුවා.
එයා කිව්ව විදියට අපේ ඩැයිවර් මාමා අන්තිමට අපිව පාසලෙන් අරන් ආපු දවසෙ සියල්ලන්ම නිවෙස් වලට ඇරලලා මළ ගෙදරක කුලී ගමනක් ගිහිං...ඒ ඇත්තන්වත් බස්සලා ආපහු තමන්ගෙ නිවසට එද්දි හදිසියේ ඇති වෙච්ච හෘදයාබාදයක් නිසා වෑන් රථය තුලම මිය ගිහිල්ලා. රථය නිවෙසක තාප්පයක් කඩාගෙන ගිහිල්ලා නතර වෙලා. ඇන්ජිම පණගැන්වී තිබූ රථයේ සුක්කානම උඩ හිස තියාගෙන ඉදලා තියෙන ඩැයිවර් මාමා ගැන ඊට ටික වෙලාවකට පස්සෙ පාරෙ ගිය කෙනෙක් විපරම් කරන තුරු කිසිවෙක් බලලා නෑ. ගෙදර ඇත්තන්ට සද්දෙ ඇහිලත් බලලා නෑ...එහෙම වේලාසනින් බැලුවා නම් සමහර විට ඩැයිවර් මාමා ආයෙත් අපිව ඉස්කෝලෙ එක්කගෙන යන්න ජීවතුන් අතරට එන්න ඉඩ තිබුනා කියලත් ඒ දවස් වල මට හිතුනා.
මේ සිදුවීම අපිට ආරංචි වෙලා සතියකට පස්සෙ පරණ වෑන් රථය නැවතත් පාසල් සේවයට ආවෙ ඩැයිවර් මාමගෙ තරුණ පුතා රියදුරු අසුනෙ ඉන්දවමින්. ඒ වෙද්දිත් වෑන් රථයෙ ඉදිරිපස පොඩි උන තැන් එහෙමම තිබුනා. අර රණ්ඩු වෙන කෙල්ලො දෙපාර්ශවය එදායින් පස්සෙ කවදාවත් රණ්ඩු උනෙත් නෑ. ඒ අතර හිටිය සමන්ති, ගගුලි, සොනාලි, කියන දැරිවියන්ගෙ නම් කීපයත් එක්ක Toyota LH 30 වෑන් රථයක් වර්තමානයේත් මහමග ඉද හිට දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නෙ සූටි එකා කාලෙ සිරා පාසල් ගිය පාසල් සේවය.