Monday, August 28, 2017

44 කලකට පසු....

අන්තිම පෝස්ටුව කාමරේ පල කරලා මාස 4 කටත් කිට්ටුව ගත වෙලා. අද මේ ලියමන ලියන්න ගනිද්දි බ්ලොග් කෙරුවාව හරිම ආගන්තුක දෙයක් විදියට මගේ අක්මාවට දැනුනෙ. පාපැදි තරග සඳහා සහභාගි වෙන අය නිතර නිතර පුහුණු වෙනවා වගේ, ක්‍රිකට් ක්‍රීඩකයො නිරන්තරයෙන් පුහුණු වෙනවා වගේ, බ්ලොග් කෙරුවාවෙන් මඳ කලක් හෝ බැහැර උනොත් ඒ වෙනස හොඳින් දැනෙනවා.

නිහඬව හිටිය මාස කීපය ඇතුලෙදි සිරාගෙ කාමරේ බොහොම නිහඬව 5 වෙනි සංවත්සරයත් සමරලා. සිරා කොලුවා වන මට කාමරේ දොර කබල ඇරලා යමක් කොටන්න තරමේ ඉස්පාසුවක් නැති වීම තමා මේ නිහඬ බවට හේතුව උනේ. ඉස්සර දවසක බොහොම සාර සුබාවට දෙනෝ දහක් ආගිය තැනක් මේ විදියට පාලුවට යන්න ඉඩ දෙන්න බැරි නිසා ඔන්න සිරා ආයෙමත් ලියනවා. හැබැයි හීන් දුකක් හිතේ තුරුළු කරගෙන.


ඒ තමයි අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය රචනා කල, විචාරක තුමාගේ නික්ම යෑම. සිරා කොලුවට කිසිම කිසි දවසක මේ චරිතය මුලිච්චි උනේ නැති උනත් ජංගම දුරබණුවෙන්, ඊයෙන් , මුහුණු පොතෙන් කරපු කථා බහත්, බ්ලොග් ලිපි ඔස්සේ සිදු උන දැනහඳුනාගැනීමත් එක්ක විචාරක තුමා කියන්නෙ බහුශෘත දැනුමක් ඇති පුද්ගලයෙක් කියලා සිරාට හිතුන වාර ගණන අනන්තයි අප්‍ර‍මාණයි. ඔහුගේ බ්ලොග් අඩවිය හරහා පාඨකයන් වෙත තිළිණ කල විෂය, සාමාන්‍ය පොදු ජනතාව අත පොවන මානයේ නැති දෙයක් වීමත් ඔහුගේ ඒ කැපී පෙනීමට හේතුවක් උනා.

සිරාගේ කාමරේ පල වූ ලිපි අරභයා තමන්ගෙ අදහස් අවංකව ප්‍ර‍කාශ කරපු අතලොස්ස අතරෙ ඔහුට හිමිවෙන්නෙ අද්විතීය ස්ථානයක්. ඔහුගේ අදහස් හරහා බොහෝ විට සිරා කොලුවගෙ ලිපි වලට ලැබුන ආලෝකය ඉහළයි. ඒ ආලෝකය යළි නොම එන්නට නිවී ගිහින් බව සිහිපත් වෙනකොට පෘථග්ජනයෙක් විදියට මගේ හිතට තවමත් විප්‍රයෝගයේ අරුමය දැනෙනවා.







පහුගිය මාර්තු මාසෙ අරුණළු නමින් අප විසින් කරන්නට යෙදුන ප්‍ර‍ජා සත්කාරයේදී විචාරක තුමා මුල්ම අවස්ථාවෙ සිටම දැක්වූ සහයෝගය ඉතාම බැති සිතින් මෙනෙහි කරන්න උවමනායි. අපේ ආධාර ලබාදුන් දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත ක්ෂේත්‍ර‍ චාරිකාවක නිරත වන්නට දින නියමකරගෙන සිටින විටෙක අප සියල්ලන්ම බෙහෙවින් උනන්දු කරමින්, ඒ පළාතේ වග විත්ති නිරන්තරයෙන් පවසමින්, පූනානි යුධ හමුදා කඳවුරේ නිළදරුවන් වෙත අරුණළු හඳුන්වා දෙමින් ඔහු කල ප්‍ර‍ශස්ත මෙහෙවර මිළ කල නොහැකියි.

සිරාගේ කාමරයේ පල වූ දිඹුලාගල ආධාර වැඩසටහන පිළිබඳ ලිපිය අරභයා
 විචාරක තුමා විසින් පලකල කමෙන්ටුව  දෛවයේ සරදමකටදෝ 
සිරාගේ කාමරයේදී ඔහු පල කල අවසන් කමෙන්ටුවම වූවේය.

අරුණළු වෙනුවෙන් එතුමා නිහඩව කල සේවය අති මහත්.

සිරා....උඹලා යොදා ගත්ත දවසට ඉස්කෝලෙ බලන්න පලයල්ලා. මමත් එන්න හිටියෙ. ඒත් මට හදිස්සියෙම උණ ගැනුනා. ඔහු ඉස්සෙල්ලාම කිව්වෙ එහෙමයි. හමුදා රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත් උනාට පස්සෙ තමයි ඔහුගේ රෝගී තත්වයේ බරපතල කම අපට දැනගන්න ලැබුනෙ. විචාරක තුමාගෙ ආශිර්වාදය ඇතුව අරුණළු වැඩසටහන අවසන් කරලා ඒ වග ඔහුට දැනුම් දෙන විට මාස එක හමාරක් හෝ දෙකක් ගත් වෙන්නට ඇති. ඒ කෙටි කාලය තුල ඔහු බොහෝ සේ ශාරීරිකව පිරිහී ඇති බව මට දැනුනෙ දුරබණුවෙන් ශ්‍ර‍වණය වෙච්ච ඔහුගේ දුබල කට හඬින්,

වැඩේ හොඳටම කෙරුනා නම් එච්චරයි බං. මාව බලන්න එන වෙලාවක උත්සවේ ෆොටෝ ටික අරගෙන වරෙන්...

එතුමා බොහොම ආයාසයෙන් ඒ වචන කීපය කිව්වෙ. අපේ ආගමනය බලාපොරොත්තුවෙන්.

අරුණළු වැඩසටහන වෙනුවෙන් සෑහෙන සේවයක් සිදුකල,  සිරා කොලුවාගේ යුධ හමුදා මේජර් මිත්‍ර‍යා නිවාඩු ලැබ නිවෙස බලා යළි එනතුරු සිරා කොලුවා බලා සිටියේ විචාරක තුමාගේ සුව දුක් බලන්නට යන්නට, ඔවුන් දෙදෙනාම යුධ හමුදාවේ එකම බලකායක සාමාජිකයන් වීම එයට හේතුවයි.

එහෙත් ඒ දිනය උදාවෙන්නට කලියෙන්ම ඔහු නික්ම ගොස් තිබුනා. ඔහුගේ අවසන් කටයුතු හෝ නිසි වේලාවේ මා හට සන්නිවේදනය නොවූයෙන් ඒ අවස්ථාවද මග හැරුනා. ඒ දිනවල මා අන්තර්ජාලයෙන් බැහැරව සිටීමත්, බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙක් සමග පුද්ගලිකව පයුරු පාසානයේ නොයෙදීමත් ඒ වගට හේතු උනා. අවසානයේ කිසිම කිසි දිනයක මුණ නොගැහුනු නමුත් බ්ලොග් කෙරුවාවෙන්, සුහද කථා බහෙන් සිරා කොලුවා හට සිටි සමීපතමයෙක් වෙන් වී ගියා. ඔහු වැනි මිනිසත් බවින් පොහොසත් මිනිසකුගේ වටිනාකම, අඩුව සිරාගේ කාමරයේදී අදත් හෙටත් දැනෙන බවට නම් කිසිදු සැකයක් නෑ.

වැඩිහිටියෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් ආදී විවිධ ස්වරූප වලින් ඔබ ලබාදුන් අදහස් , උපදෙස්, අනුශාසනා වලට මා බොහෝ ණය ගැතියි. නිවන් දකින්නට තවත් දුර වේ නම්, මතු භවයේ දවසක යළිත් අප එකිනෙකා මුණ ගැසෙනු ඇත.  ජීවතුන් අතර සිටියදී ඔබ දකින්නට නොපැමිණීම ගැන මා හට සමාව දෙනු මැන. ඔබට සුභ ගමන් විචාරක තුමනි.

ගත වූ කාලය ඇතුලෙ බ්ලොග් කෙරුවාවෙ කලින් දැනුන සුන්දරත්වය ගිලිහී ගිය නිසාදෝ...බොහෝ දෙනෙක් දැන් බ්ලොග් කරණයේ නිරත වෙන්නෙ නෑ. එහෙත් සිරා කොලුවාගේ කාමරේ සමග ඇති පයුරු පාසානය නිසාම මාගේ ආගිය තොරතුරු විමසන හුදී ජනයා වෙනුවෙන් තවත් මඳ කාලයක් හෝ යමක් අකුරු කරන්නට මගේ අකමැත්තක් නෑ.

උතුම් බුදු දහමට අනුව ලෝකයේ සෑම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා. ඇතිවන දේ දිනෙක නැසෙනවා. ඒ සනාතන ධර්මය යළි යළිත් පසක් කරමින් සිරා කොලුවා බ්ලොග් කෙරුවාවට පැමිණි අවධියේ බොහොම සරුසාරෙට තිබුන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් තව දුරටත් යාවත් කාලීන වෙන්නෙ නෑ. එහෙත් මගේ හිතේ පිරිලා තියෙන, තවමත් යුනිකෝඩ් හරහා ඔබට සමීප නොකරපු බොහෝ දේවල් තියෙන නිසාම සිරා කොලුවාට බ්ලොග් කෙරුවාවෙන් සමුගන්න තවත් කල් තියෙන හැඩයි.

ඉස්සර දවසක වගේ නිතර නිතර නොවුනත්, හැකි සෑම විටෙකම බොලා වෙනුවෙන් යමක් අකුරු කරන එක මට සතුටක්. මේ ඔස්සේ දැන හඳුනාගෙන කළ්‍යණ මිතුරන් තරමට සමීප උන පිරිසත් බොහොමයි. හැකි විදියකට සමාජයට,  ඈත පළාත් වල අහිංසක පොදු ජනතාවට, දූ දරුවන්ට සෙත සලසමින් අප විසින් කලින් කල සංවිධානය කරන සමාජ සත්කාර වලට මග හසර එළි උනෙත් සිරාගේ කාමරය නිසයි. එ් මතකය තවමත් අමතක නෑ.

රාජකාරි කටයුතු වලින් පස්සෙ සිරා කොලුවා වර්තමානයේ වැඩිම කාලයක් වැය කරන්නෙ මෙන්න මේ කටයුතු වලට, දිඹුලාගල පුංචි පාසලේ අරුණළු නිසා පීදෙන අලුත් මල් දැක්කම එවැනි සත්කාර්යයක් වෙනුවෙන් කරනා කැපකිරීම්, මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතෙනකොට දැනෙන තෘප්තිය මුදලට ගන්න බෑ. ඒ නිසාම එළඹෙන සැප්තැම්බර් මාසයේදි අපි අරුණළු එක්ක ත්‍රීකුණාමලයට යන්නෙ එහෙ පුංචි පාසල් දෙකකට උදව් කරන්න.

කාමරේ මකුළු දැල් ටික කැඩෙන්න දැනට මේ මදැයි...ඉදිරි දවසක, පුරුදු රසයෙන් ආයෙමත් අපි හමු වෙමු !




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

විචාරක දියණිය සිය පියාගේ අභාවයෙන් පසුවත්, ඔහුගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම පැසසිය යුතු කරුණකි. එහෙත් විචාරක තුමා විසින් සංවාදයට භාජනය කල විෂය පිළිබඳ ඈ හට දැනුමක් නොවීම කණාගාටුවට කරුණකි.




Related Posts Plugin for WordPress, Blogger...