2014 වසරෙ නමෝවිත්තියෙන් කාමරේ දොර ඇරලා ඔබට කියන කථාවයි මේ. කියවන අයට වැදගත් වන ලිපියකින් කාමරේ බ්ලොග් කෙරුවාව අලුත් වර්ෂය උදෙසා අරඹන්නයි මේ වෑයම.
අපේ ඔපීසියෙ මගේ අංශයෙ කළමනාකාර වරයා තමයි සුබ්‍රා කියන්නෙ. මැලේසියානු ජාතික දමිළ පුද්ගලයකු වන තරබාරු සුබ්‍රා බොහොම තැන්පත් කෙනෙක්. ඒ වගේම නිර්මාංශ ආහාර මත පමණක් යැපෙන කෙනෙක්. සුබ්‍රා ගෙ කකුල් දෙක ලගට වෙන්න හැමදාමත් වගේ වතුර බෝතලයක් තිබුනා. එහෙත් ලගකදි ඉදලා මේ ප්ලාස්ටික් බෝතලේ ඇඹරිලා අමුතුම හැඩයක් අරන් තිබුන හින්දමයි මම ඒ ගැන ඔහුගෙන් විමසුවේ...
සුබ්‍රා මොකෝ මේ බෝතලේට වෙලා තියෙන්නෙ...
ආහ් ඒකද....ඊයෙ පෙරේදා දවසක මම අපේ ඩිස්පෙන්සර් (water dispenser) එකෙන් උණු වතුර දැම්මා මේකට...ඊට පස්සෙ තමයි ඔය විදියට ඇඹරිලා ගියේ.
ඉතිං ඔහොම බෝතලයක වතුර දාලා තව දුරටත් බොන්න හොදද ?
සුබ්‍රා ඒ ගැටලුවට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නා.
නමුත් ඒ ගැටලුවට අපේ ලගපාත ඉන්න අනිත් මිත්තරයො කීප දෙනත් වටවෙලා අදහස් දක්වන්න ගත්තා.
මම අහලා තියෙන විදියට ප්ලාස්ටික බෝතල් වලට උණු වතුර දාලා පාවිච්චි කරන්න හොද නෑ...එක්කෙනෙක් එහෙම කිව්වා.
ඔය ප්ලාස්ටික් බෝතල් කොහොමත් කීප වාරයක් පාවිච්චි කරන්න හොද නෑ...ඕවා හදලා තියෙන්නෙ සීමිත වාර ගනනක් පාවිච්චි කරලා විසි කරන්න...මට එහා පැත්තෙන් ඉන්න සුදු නංගි එහෙම කිව්වා....එයා රුසියාවෙන් ආව ලස්සන නංගියෙක් හින්දයි අපි සුදු නංගි කියන්නෙ....
සුබ්‍රා ගෙ පානීය ජල බෝතලය අස්සෙන් මතුවෙච්ච මේ කථා බහ දුර දිග ගිය නිසාම තමයි මම අන්තර්ජාලය අවුස්සලා මේ සම්බන්ධයෙන් යමක් හොයන්න උත්සාහ කලේ. එහි ප්‍රතිඵලය අද ඔබ මේ කියවන ලිපිය කිව්වත් වරදක් නෑ. මොකද අපි බොහෝ දෙනෙකුට ප්ලාස්ටික් බෝතල් ජලය පානය සදහා යොදා ගත්තට ඒ පසුපස තියෙන තාක්ෂණික කාරණා ගැන දැනුමක් නෑ...ඒ නිසාමයි මම අද මේ ලිපිය ලියන්නේ..මෙය ඉංග්‍රීසියෙන් පළ වී තිබූ ලිපියක සිංහල අනුවාදයයි. මට හැකි විදියට තමයි පරිවර්ථනය කොලේ.
ඔබේ ශරීර සෞඛ්‍යයට හානිකර ප්ලාස්ටික් වර්ග හදුනාගන්නේ කෙසේද ?
මෙන්න අපේ අද මාතෘකාව.ප්ලාස්ටික් නිපදවන්නෙ විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන. ඒ නිසා සමහර වෙලාවට මේවා අපේ සිරුරට බෙහෙවින් අහිතකර වෙන්නත් පුලුවන්. එහෙත් ප්ලාස්ටික් කියන වචනය ඇතුලෙ විවිධාකාර ප්ලාස්ටික් වර්ග තියෙන නිසා කුමන වර්ගයේ ප්ලාස්ටික්ද අනතුරුදායක හෝ අනතුරුදායක නැත්තෙ කියන කාරණය ගැන බොහෝ දෙනෙකුට හොද වැටහීමක් නෑ.
එහෙම කියලා කණගාටු වෙන්න කාරණයක් නෑ . ඔබ දැන සිටිය යුතු බොහොමයක් කාරණා මේ ලිපිය කියවලා අද සිට හෝ දැනගන්න ඔබට හැකියාව ලැබේවි.
ප්ලාස්ටික් නිෂ්පාදකයො තමන්ට අවශ්‍ය මුහුණුවර ප්ලාස්ටික් වලින් මතුකරගන්න නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය, එහෙමත් නැත්තං රසායනික ද්‍රව්‍ය එකිනෙකට වෙනස්. ප්ලාස්ටික් වලින් වැඩි නම්‍යශීලී ගතියක් අවශ්‍ය විට යොදන රසායනිකයන් නෙමෙයි ශක්තියෙන් වැඩි ප්ලාස්ටික් නිපදවන්න යොදාගන්නෙ, නිෂ්පාදන වියදම හැකිතාක් අඩුකරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න වලි කන නිෂ්පාදකයා පාව්චිචි කරන්නෙ ඔය දෙකටම අයිති නැති වෙනස්ම රසායනිකයන්.
මේ තියෙන්නෙ ඒවාට උදාහරණ phthalates, bisphenol A (BPA), polybrominated diphenyl ethers (PBDE) and tetrabromobisphenol A (TBBPA) මේවා පොදුවේ හදුන්වන්නෙ endocrine-disrupting compounds (EDCs) යන නමින්. එයට පොදු අරුතක් දෙනවා නම් මිනිසා ඇතුලු ක්ෂීරපායී සතුන්ගේ ග්‍රන්ථි ආශ්‍රිත පද්ධතියට සහ හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සංයෝග ලෙසත් හදුන්වන්න පුලුවන්. සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා අවධානම ඇති කරනවා, තවත් සමහරක් රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර ඛණිජ ලවන (Toxic Metal) වලින් සමන්විත ඒවා. විශේෂයෙන් BPA රසායනිකය ඊස්ට්‍රජන් හෝමෝනය හා සමානව ක්‍රියාකරන්නක්.
කෑම වර්ග අසුරන්න, බීම වර්ග දාන්න, බෙහෙත් වර්ග ගබඩා කරන්න, පොඩි දරුවන්ට සෙල්ලං කරන්න ලබාදෙන ක්‍රීඩා භාණ්ඩ වල ඉදලා අභ්‍යාවකාශ යානා වල ඇතැම් කොටස් සැකසීම දක්වා වූ විශාල වපසරියක් ඇතුලෙ පලාස්ටික් නිෂ්පාදන විසිරිලයි තියෙන්නෙ. ඉහත විස්තරය කියවලා ඔබ මොහොතකට හෝ ප්ලාස්ටික් වලින් සිදුවිය හැකි හානිය ගැන හිතලා කණස්සල්ලට පත්වෙන්න ඇති.
එහෙත් සතුටුදායක ආරංචිය තමයි මේ ප්ලාස්ටික් නිෂ්පාදන ඒ ඒ වර්ග අනුව සංඛේත අනුසාරයෙන් නම් කර තිබීම. ඒ අනුව අපේ අවශ්‍යතාවට වඩා ගැලපෙන ප්ලාස්ටික් උපකරණය අඩු අවධානමක් යටතේ මිළදී ගන්න අපිට හැකියි. ඒ සදහා පහත විස්තරය බොහොම වටිනවා. ඒ අනුව 1 සිට 7 දක්වා අංක යෙදූ සංඛේත 7ක් මගින් තමයි සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග කර තිබෙන්නෙ. බොහෝ විට මේ සංඛේත සටහන් කර තිබෙන්නෙ ඔබ මිළදී ගන්නා ප්ලාස්ටික් නිෂ්පාදනයේ යට පැත්තට වෙන්න.
මෙන්න පළමු වර්ගය...මෙය වෙළදපොලේ බොහොම සුලභයි.
Plastic #1: Polyethylene Terephthalate (PET)
පෙට් බෝතලය යනුවෙන් සමහර පැණි බීම වෙළද දැන්වීම් වලත් ඔබ අසා ඇති. ඒ මෙවැනි වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවූ බෝතල් තුල ඒවා ඇසුරුම් කර තිබෙන නිසා බව දැන් ඔබ දන්නවා. මේ ප්ලාස්ටික් විශේෂය විනිවිද පෙනෙන සුලුයි. ප්‍රතිචක්‍රීකරණයත් පහසුයි.
මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් තුල පානීය ජලය, පැණී බීම , ශක්තිජනක පාන , බියර්, මුඛ සේදුම් දියර, සෝස්, ආදිය ඇසුරුම් කිරීමට වගේම මේ අමුද්‍රව්‍ය වලින් සැකසූ ප්ලාස්ටික් භාජන තුල රටකජු බටර්, ජෙලි, ජෑම්, අච්චාරු ආදි නිෂ්පාදන ඇසුරුම් කිරීමටත් යොදා ගන්නවා.
මේ ප්ලාස්ටික් වර්ගය තැනීම සදහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අධික තාපයට හෝ හිරු එළියට බෝතලය නිරාවරණය වීමේදී / බොහෝ කාලයක් ගබඩා කර තැබීමේදී ක්ෂය වීමට පටන් ගන්නා හෙයින් ඔබ පානීය ජල බෝතලයක් හෝ වෙනත් බීම වර්ගයක් මිළදී ගන්නා අවස්ථාවේදී ඒවා ගබඩා කර තිබෙන ස්ථානය අවට පරිසරය දෙස මදක් අවධානයෙන් බලන්න.
අද සමාජයේ බොහෝ දෙනා මෙවැනි බෝතල් කාර්යාලයේ හෝ තමන් නිතර යනෙන වාහනයේ තබාගෙන එදිනෙදා පානිය ජලය රැගෙන යාමට යොදාගන්නවා මා දැක තිබෙනවා. නමුත් මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයට සුදුසු නෑ. එක්වරක් භාවිතා කර ඉවත් කරන පරමාර්ථයෙන් තමයි ඒවා නිපදවා තිබෙන්නෙ.
Plastic #2: High Density Polyethylene (HDPE)
මේ වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදන තුල කිරි, පානීය ජලය, පළතුරු යුෂ වර්ග, රූපලාවන්‍ය නිෂ්පාදන, ෂැම්පු වර්ග, සේදුම්කාරක, ගෘහාශ්‍රිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන, ග්‍රොසරි බෑග්, ධාන්‍ය වර්ග ආදී බොහෝ දෑ වෙළදපලට එනවා.
අඩු අවධානමක් සහිත ප්ලාස්ටික් විශේෂයක් ලෙසයි මේ වර්ගය අතීතයෙදි සලකනු ලැබුවෙ. නමුත් 2011 වසරෙ කරන ලද නවතම පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන්නේ මේ වර්ගයේ ප්ලාස්ටික් තුල අඩංගු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කුඩා බිලිදුන්ගේ සහ කුඩා දරුවන්ගේ ශරීරයන්හි සෛල සැකැස්මේ වෙනස් වීම් ඇතිවීමට සම්භාවිතාවක් ඇති බවයි. මේ විශේෂය යම් වර්ණයක් සහිතව නිෂ්පාදනය වන විනිවිද පෙනෙන ස්වභාවය නොමැති වර්ගයක්. ප්‍රතිචක්‍රීකරණය පහසු නෑ.
Plastic #3: Polyvinyl Chloride (PVC)
PVC අකුරු 3 දුටු පමණින් මේ ප්ලාස්ටික් විශේෂය ඔබ හදුනන බව මම දන්නවා. විශේෂ හැකියාවන් රාශියක් ඇති මේ ප්ලාස්ටික් වර්ගය නැමෙන සුලු ලෙස වගේම නොනැමෙන යන දෙආකාරයෙන්ම නිපදවන්න හැකියාව තියෙනවා. අපට අද ලිපිය තුල හමුවන හානිදායක අගයෙන් වැඩිම ප්ලාස්ටික් විශේෂයද මෙයයි. බෙහෙත් පෙති ඇසුරුම්,විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ඇසුරුම්, පයිප්ප, ඇද ආවරණ කවර, ඇසුරුම් සදහා යොදාගන්නා ඝනකමින් වැඩි පොලිතින්, කෘතිම හම්, ජලයේ පාවෙන සෙල්ලම් බඩු, මේස ආවරණ රෙදි, කර්ටන්, වයර් ආවරණ, මස් වර්ග හා චීස් විකිණීමේදී යොදා ගන්නා ඇතැම් ආවරණ මේ වර්ගය භාවිතයෙන් නිපදවයි. රසායන ද්‍රව්‍ය වලට වගේම දැඩි හිරු රෂ්මියටත් ඔරොත්තු දීමේ අපූරු හැකියාවක් මේ ප්ලාස්ටික් විශේෂය සතුයි. පිළිස්සීමේදී පිළිකා කාරක දෑ පරිසරයට මුසු වෙන්න හැකියාව තියෙන නිසා එසේ කිරීමෙන් වැළකීම නුවනට හුරුයි.
Plastic #4: Low Density Polyethylene (LDPE)
එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරන ෂොපින් බෑග්, පාන්, ශීතකල ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කවර, එළවළු හා පළතුරු ඇසුරුම්, අපද්‍රව්‍ය බහාලන කවර, විවිධ භාජන වැසීමට නිපදවූ ආවරණ (පියන්), සෙල්ලම් බඩු, CD හා DVD කවර, පරිගණක දෘඩ තැටි ආවරණ, මිරිකීමෙන් ඇතුලත ඇති ද්‍රව්‍ය ලබාගත හැකි ඇසුරුම්, ආදිය මේ ප්ලාස්ටික් වර්ගය භාවිතයෙන් නිපදවනවා. අඩු අවධානමක් සහිත ප්ලාස්ටික් විශේෂයක් ලෙසයි පිළිගැනෙන්නේ.
Plastic #5: Polypropylene (PP)
යෝගට් හා මාගරින් ඇසුරුම්, බෙහෙත් බෝතල්, ඒ සදහා අවශ්‍ය පියන්, සිරප් සහ සෝස් වර්ග අසුරනයන්, කෑම පෙට්ටි, විද්‍යාගාර උපකරණ මේ වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවයි. ආරක්ෂිත ප්ලාස්ටික් විශේෂයක් ලෙස පොදුවේ පිළිගැනේ. උණුසුමට ඔරොත්තු දෙයි.
Plastic #6: Polystyrene (PS)
මේ වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදන බොහෝ විට හමුවෙන්නෙ ආහාර සම්බන්ධ සේවා පැවැත්වීමට අවශ්‍ය උපාංග විදියට. කෝප්ප, පිගන්, හැදි, ගෑරුප්පු, වාණිජව කෑම පාර්සල් අළෙවි කරන අය කෑම බහාලන පෙට්ටි, මස් හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන තබන තැටි, බිත්තර රදවන, යෝගට් කෝප්ප, ශක්තිමත් ආහාර අසුරනයන් වගේම කොයි කා අතරත් ජනප්‍රිය සෘජුෆෝම් නම් නිෂ්පාදනයත් මෙයට අයත්. styrene නම් පිළිකාකාරක අමුද්‍රව්‍ය මෙහි අඩංගු නිසා තවමත් දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. භාවිතය හැකි තරම් අවම කිරීම නුවනට හුරුයි.
Plastic #7: Other
මේ වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදන බොහෝ විට හමුවෙන්නෙ ආහාර සම්බන්ධ සේවා පැවැත්වීමට අවශ්‍ය උපාංග විදියට. කෝප්ප, පිගන්, හැදි, ගෑරුප්පු, වාණිජව කෑම පාර්සල් අළෙවි කරන අය කෑම බහාලන පෙට්ටි, මස් හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන තබන තැටි, බිත්තර රදවන, යෝගට් කෝප්ප, ශක්තිමත් ආහාර අසුරනයන් වගේම කොයි කා අතරත් ජනප්‍රිය සෘජුෆෝම් නම් නිෂ්පාදනයත් මෙයට අයත්. styrene නම් පිළිකාකාරක අමුද්‍රව්‍ය මෙහි අඩංගු නිසා තවමත් දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. භාවිතය හැකි තරම් අවම කිරීම නුවනට හුරුයි.
Plastic #7: Other
සරළව කියනවා නම් ඉහත කිසිම වර්ග කිරීමකට අයත් නැති ප්ලාස්ටික් විශේෂයන් වෙනත් යන ඛාණ්ඩය යටතේ මෙහි වර්ගීකරණය වෙයි. ලීටර් 3 හා එයට ඉහළ ධාරිතාවේ ජල බෝතල්, ඇතැම් පළතුරු යුෂ වර්ග හා සෝස් වර්ග අඩංගු බෝතල්, එළවළු පළතුරු කූඩ, සෙරෙප්පු, පුටු හා ගෘහ උපකරණ මේ යටතට එක් කල හැක. ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි ප්ලාස්ටික් මෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය මගින් නිපදවන දිරාපත් වන ප්ලාස්ටික් විශේෂද වෙනත් යන ඛාණ්ඩය යටතේ තිබේ.
මා ඉහතින් සදහන් කල bisphenol A (BPA) නම් රසායන ද්‍රව්‍ය මේ ඛාණ්ඩයේද ඇතැම් නිෂ්පාදන තුල දැකිය හැකි නිසා ඒවා දිගින් දිගටම භාවිතය අහිතකර විය හැක.
මෙතෙක් වේලා මා ඔබට ඉදිරිපත් කලේ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ලොව වඩාත්ම පිළිගැනීමක් ඇති සංඛේත පිළිබද තොරතුරු. අපි දැන් මේ සියලු කරුණු සාරාංශ කරමු. ඒ අනුව ඔබ හැකි තරම් භාවිතයෙන් ඈත් විය යුත්තෙ 7# 3# 6# යන ප්ලාස්ටික් විශේෂ. ඒ අතරිනුත් 3 වෙනි වර්ගය තමයි බොහොම හානිදායකයි කියලා කියන්නෙ.
ඇත්ත වශයෙන්ම ප්ලාස්ටික් මගින් මිනිස් සිරුරට විය හැකි හානි පිළිබද තවමත් නිසි තක්සේරුවක් 100% කරන්න හැකියාවක් ලැබිලා නෑ. විද්‍යාඥයන් මෙතෙක් කර ඇති සියලුම වාගේ පරීක්ෂණ මිනිස් සිරුරට සමාන ශරීර සැකැස්මක් ඇති සතුන් යොදා හෝ එවැනි සැකැස්මක් කෘතිමව සකසා සිදු කල ඒවා. කවදාවත් ජීවතුන් අතර සිටින මිනිසෙකු මෙවැනි පරීක්ෂණ සදහා යොදා ගෙන නැති බවයි අන්තර්ජාලයේ සදහන් වෙන්නෙ. ඒ නිසාම හැකි හැම විටම ප්ලාස්ටික් භාවිතයෙන් ඈත් වෙලා වීදුරු/යකඩ/දැව හෝ කඩදාසි (Paper Plates, Paper cups) යන අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදිත උපකරණ භාවිතයට උත්සාහ කිරීම නිරෝගී ජීවිතයක් අපේක්ෂා කරන ඔබට යහපත් පිටිවහලක් සපයාවි.
පානිය ජලය දිනපතා රැගෙන යාමට අඩුම තරමේ වර්ගීකරණයේ 3 ට ඉහළ ප්ලාස්ටික් වර්ගයක් යොදා නිපදවූ භාජනයක් යොදා ගන්න. නමුත් ඒ සදහා වීදුරු බෝතලයක් පරිහරණය හැම අතින්ම සුභ දායකයි. ඔබ දිනපතා රැකියාවට පිටත් වෙද්දි කෑම අරගෙන යන්නෙ 5 වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවූ භාජනයකද බලන්න. උණුසුම් ආහාර රැගෙන යාමට මෙහි ඇති ප්ලාස්ටික් වර්ග අතරින් යොග්‍යම වර්ගය එයයි. එම වර්ගයේ ප්ලාස්ටික් බදුනක් පිටුපස ඇති මේ සලකුණද එයට සාක්ෂියක්. එයින් පැවසෙන්නේද ආහාර පාන රැගෙන යාමට යෝග්‍ය බවයි.
අදින් පසුව යම් අවශ්‍යතාවක් උදෙසා ප්ලාස්ටික් භාජනයක් මිළදී ගැනීමේදී විශේෂයෙන් ආහාර පාන ආදිය ගබඩා කිරීමට නම් ඉහත දැක්වූ සලකුණු අනුව නියම වර්ගය තෝරා ගැනීම ඔබේ පවුලේ හිතසුව පිණිසම වනු ඇති.
පසු සටහන
මීට පෙර ලිපියේදී පැවසූ පරිදි 2014 වසරේ සිට සිරාගේ කාමරයේ මසකට එක් ලිපියක් ලියන්නේ පාඨක ඔබයි. සභ්‍යත්වය රැකෙන පරිදි ඕනෑම මාතෘකාවක් යටතේ ලිවීමට ඔබට නිදහස ඇති අතර බ්ලොග් අඩවියක් නොමැති, එහෙත් ලිවීමට පිපාසයෙන් පෙළන පාඨක ඔබට එය කදිම අවස්ථාවක් වනු ඇත. ඔබේ නිර්මාණ infosira2012@gmail.com ඊ ලිපිනයට එවන්න. ඔබේ නම සහිතව ඒවා නිසැකවම මෙහි පල වේවි.
අවසන් ලිපියේදී මා පැවසූ අලුත් ලේබල් දෙකෙන් පළමු ලේබලය අද මෙහි ඇලවෙයි. එය අන්තර්ජාලයෙන් මා සොයාගන්නා වටිනා තොරතුරක් ඔබ හා බෙදාගන්නා මෙවැනි වර්ගයේ ලිපි උදෙසා වෙන් වෙයි. සිරාගේ කාමරය තුලින් හැකිතරම් ප්‍රයෝජනවත් දේ පල කිරීමට මම අදහස් කරගෙන සිටිමි.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
ඉංග්‍රීසියෙන් පල වූ ලිපියේ මීට වඩා බොහෝ කරුණු අන්තර්ගත වුවද අවශ්‍යම කරුණු පමණක් මෙහි ගෙන ආවෙමි. කැමති පින්වතෙකුට එය මෙතැනින් කියවිය හැක.
වර්තමානය වන විට ප්ලාස්ටික් ඉංජිනේරු විද්‍යාවක්ද පවතී. මෙම ලිපිය කියවන ඔබ සතුව මීට පරිභාහිර තොරතුරු තිබේ නම් හෝ මේ කියන විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු නම් ඒ දැනුමෙන් බිදක් කමෙන්ටුවක් ලෙස මෙහි ඇතුලත් කර අන් අයගේ දැනුම් මට්ටම පුළුල් කිරීමට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඉස්සර සාජන්ට වතුර බෝතලේ අරගෙන ගිය හැටි මටක් උනා .
ReplyDeleteඇත්තට අපි බෑන්ඩ් ගහපු කාලයක් බිව්වෙ එකම ප්ලාස්ටික් බෝතලයක වතුර නොවැ...ඒ කාලෙ මේවා දැනගෙන උන්න එකක්යැ...
Deleteකාලීනව කාටත් වැදගත් ලිපියක්.
ReplyDeleteමාගේ බොගට නාම පුවරුව සාදා එව්වාට මලයට තුති.
ඒක සුලු දෙයක් කෙන්ජි අයියා..නැවතත් එවැනි උවමනාවක් ඇති වූ දිනක අමතන්න...
Deleteසිරා මමත් ප්ලාස්ටික් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපේ යාලුවා වන රේ අයියාගෙන් එයා සබ්ජෙක්ට් එකට ස්පෙෂලිස්ට් කෙනෙක් (මෙහෙ මුලින්ම වැඩකරේ ප්ලාස්ටික් ෆැක්ටරියක production engineer හැටියට අවුරුදු 3ක් විතර) වහාම කථා කරලා තොරතුරු මේකට update කරන්න
ReplyDeleteඅඩේ රේ අයියා එහෙම දේකට සම්බන්ධයි කියලා මම දැනගෙන උන්නෙ නෑ නොවැ...මේ දවස් වල එයාව අල්ලගන්න අමාරුයි...ඉදිකිරීමේ කටයුතු කීපයක්ම කරගෙන යනවා. බටු කේව්ස් යන්න ආවෙත් නෑ...කාර්ය බහුලයි ලු....
Deleteමේකනම් මාරම ප්‍රයෝජනවත් ලිපියක්...නොදන්න කරුණු ගොඩක් දැනගත්තා....
ReplyDeleteදැනගත්ත දේවලින් අන් අයත් දැනුවත් කරන්න...එයයි වැදගත්ම දේ...
Deleteඅළුත් අවුරුද්දේ ජිවිතෙට වැදගත් ලිපියකින් වැඩ අල්ලල තියෙන්නේ....
ReplyDeleteඔපිසියෙ වතුර බොතලෙනම් නිතරම මාරු කරනවා...මොකො ඉතින් මාසෙන් මාසෙට එක එක විදියේ, අමුතු අමුතු හැඩ බොතල් එකතු වෙනවනේ..
බොට එහා පැත්තෙ ඉන්න සුදු නඟාට ලන්කාවේ පුරවැසියෙක් කලානම් නරකද????
//බොට එහා පැත්තෙ ඉන්න සුදු නඟාට ලන්කාවේ පුරවැසියෙක් කලානම් නරකද????//
Delete+++++++++++++++++++++++
++++++++++++++++++
Deleteබොලා කියන අමුතු අමුතු හැඩ බෝතල් එකතු වෙන්නෙ ඒවා ඇතුලෙ ඔරිජිනල් එන දුඹුරු පාට, සුදු පාට ද්‍රාවණය හිස් උනාට පස්සෙ වෙන්ට ඕනෙ...
Deleteලංකාවෙ පුරවැසියෙක් කරන්න නම් පුලුවන්...වයසයි උසයි දෙකම හොදයි...නමුත් ජීවත් වෙන්න සෑහෙන්න අමාරු වෙයි...අපේ සමාජයට එයාගෙ ගතිගුණ අහසට පොළව වගේ...වෙලාවකට හරිම ආත්මාර්ථකාමියි. හැබැයි ලස්සන කෙල්ල...අද එයාගෙ 27 වෙනි උපන් දිනයට දීපු භෝජන සංග්‍රහයත් භුක්ති විදලා ඇවිල්ලා මේ කොටාගෙන යන්නෙ..
ෂා...නියම ලිපියක්..මාත් ටික කාලෙකට කලින් ඇහුවා ඔය ප්ලාස්ටික් භාවිතය ගැන. මං එදා ඉදන් ඔය බෝතල් ගෙනියන එක පුළුවන් තරම් අඩු කරා. දැන් නම් ගෙනියන්නේ නැති තරම්....
ReplyDeleteහැකි තරම් වීදුරු බෝතල් පාවිච්චි කරන්න මලේ...යාලුවන් වත් දැනුවත් කලා නම් හොදා...
Deleteප්ලාස්ටික් භාජනවලට කොහොමත් උණුවෙන් යමක් දැමීම සුදුසු නෑ.
ReplyDeleteහොඳම දේ තමයි වීදුරු භාජන භාවිතයට ගැනීම.
වැදගත් ලිපියක් සිරා.
ඇත්ත...උණුසුම් දේ දමන්න හොදයි කියලා නිර්දේශ කලත් ඒවා භාවිතා කරන වාරයක් වාරයක් පාසා ඇහැට නොපෙනෙන ක්ෂය වීම් වෙන්න පුලුවන්...
Deleteඉතාම හොඳ දැනුවත් කිරීමේ ලිපියක්.
ReplyDeleteලක්ස කෝටි වාරයක් මෙව්වා කියලා දුන්නත් අපේ මිනිස්සු අහන්නේ නැති එකනේ කරුමේ සිරෝ.
ඒක ඇත්ත...මේ කියන දේවල් ප්‍රායෝගිකව කරන්න අමාරුයි...නමුත් උවමනාවක් තිබුනොත් කරන්නත් බැරි නෑ...
Deleteමමත් කලින් ඊ-මේල් පණිවුඩයක් කියවා තිබුණා මේ ගැන. ඒ මතකයත් අවධි වුණා මේ ලිපිය නිසා. බොහෝ දෙනා මේවා භාවිතා කරන්නේ සැහැල්ලු බව නිසා. වීදුරු බෝතලයක වතුර දාගෙන බෑග් එකේ දාගෙන යන්න බැහැනේ(බොහෝ ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ බෑග් වල ඇත). ඉතාම වටිනා ලිපියක්. මේවා විටින් විට මතක් කර දෙන්න ඕනේ.
ReplyDelete@සුදික මතකද දවසක් ඔයාගේ පෝස්ට් එකක අපි මේ ගැන කතා වුනා
Deleteහැබැයි දැන් නම් ගොඩාක් කාන්තා පාර්ශවය පරණ අරක්කු බෝතලේකට වතුර පුරවාගෙන තමයි ඔපීසි වල භාවිතා කරන්නෙ...අරක්කු බොනවට ඒ අය බැන්නට....අරක්කු නොතිබුනා නම් වතුර ගෙනියන්න ලස්සන ලස්සන බෝතලුත් නෑ....
Deleteමුල්ම පෝස්ටුව සෑහෙන්න වටින කතාවක් සිරා. ඔය ප්‍රශ්ණෙ මටත් සෑහෙන්න කාලයක් තිබුනා.
ReplyDeleteහොදම දේ වීදුරු බෝතලයක් පාවිච්චි කරන එක තමා මන් නම් හිතන්නෙ.
(පොඩි ප්‍රශ්ණයක් සිරා, පාඨක ලිපි වලදි කමෙන්‍ට්ස් රිප්ලයි කරන්නෙ සිරාද?? අදාල ලිපියෙ හිමිකරුද??)
වීදුරු බෝතලයක් කොපමණ කාලයක් භාවිතා කලත් හානියක් නෑ කියලයි කියන්නෙ...හැබැයි පිරිසිදු කරලා ඒ විදියට තියා ගන්න ඕනෙ...පාඨක ලිපි වලදි ඒ ලිපි ලියන කෙනාට තමයි පිළිතුරු සපයන්න බාර කරන්නෙ...ලිපිය පලවෙද්දි ඒ අයට පෞද්ගලිකව දැනුම් දෙනවා ලිපිය පල වූ බවට...
Deleteගොඩක් වැදගත් ලිපියක් අයියේ...ඒ උනාට හොද නැති ඒව උනත් බාවිතයෙන් අයින් කරන්න තමා අමාරු...
ReplyDeleteඅපේ එදිනෙදා ජන ජීවිතයට ප්ලාස්ටික් සමීප වෙලා තියෙන තරමට අයින් කරන්න බෑ තමයි...නමුත් උත්සාහ කලොත් ආදේශක හොයාගන්න බැරි නෑ...
Deleteනමෝ විත්තියෙන්ම හොඳ ලිපියක් සිරා ප්ලාස්ටික් බෝතල් දැන් හිසරදයක් වෙලානෙ.
ReplyDeleteනැත්තං...තව ටික කාලෙකට පස්සෙ පොළව කොටනකොටත් පරණ ප්ලාස්ටික් සුන් බුන් විතරක් මතු වෙයි....
Deleteඑදිනෙදා භාවිතයට බෝතල් කල පානීය ජලය ඇසුරුම් කළ මෝල්ඩඩ් ප්ලාස්ටික් බෝතල් සුදුසු නැත..
ReplyDeleteවටිනා ලිපියක්.. උඹේ බ්ලොග්කටුව එන්න එන්නම උපාසක වෙනව නෙව...
පික්සු කථා කරන්න එපා මෙයා...සිරාගෙ කාමරේ ඔය කොයි එකත් තියෙනවා....සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ....අන්න ඒ සින්දුව අහලා නම දාපු කාමරේ හැම වර්ගයකම කථා කියන තැනක්...
Deleteඅනේ මන්දා .වහ තමයි බිලා තියෙන්නේ ..කරුමේ කියන්නේ බොන්න වෙන්නෙත් ඒවම තමයි !
ReplyDeleteබලන්න අද වතුර ටිකක් බොන්න විදියක් නෑ...එළවළු පළතුරු හාල් කොයි එකේද විෂ නැත්තෙ...මේ යන විදියට ඉස්සරහට ගියාම මතු පරපුර බොහොම ශක්තියෙන් අඩු රෝගීන් පිරිසක් බවට පත් වේවි.
Deleteමම නං වතුර බොන්න බීල ඉවර වුන වොඩ්කා බොතල් වල
ReplyDeleteබැරි වෙලාවත් වොඩ්කා බඩට එහෙම හලා ගන්නෙ නැද්ද....
Deleteප්ලාස්ටික් නාමකරණය ගැන අහලා තිබුණා විතරයි. අදයි හරියට දැනගත්තෙ. ගොඩක් ස්තුතියි.
ReplyDeleteඔබ යමක් දැන ගත්තා නම් එයයි මගේ සතුට...
Deleteප්ලාස්ටික් බෝතල් වලට වඩා පරණ අරක්කු බෝතල් හොදයි වතුර දාන්න..වීදුරු බොතල් තමයි අපේ කන්තෝරුවල අයනම් පාවිස්සි කරන්නෙ..
ReplyDeleteමගේ යාලුවෙක් හිටියා වයින් ස්ටෝර්ස් එකක් කරපු...එයාට නගරයේ ඕනෑම බැංකුවකින් සුටුස් ගාලා වැඩ කරවගන්න පුලුවන්...මොකද ඒවායෙ ඉන්න අති මහත් බහුතරයකට වතුර බොන්න හිස් අරක්කු බෝතල් සැපයුවේ එයා....කාන්තාවො පෙර මග බලා ඉන්නවලු එයා යනකං වතුර දාන්න බෝතලයක් ගෙන්න ගන්න...
Deleteවීදුරු බෝතල් භාවිතයට වඩා ප්ලාස්ටික් බෝතල්,ඇසුරුම් පාවිච්චි පහසු නිසා තමයිනේ මිනිස්සු ඒවාටම හුරු වෙලා තියෙන්නේ...ඉස්කෝලෙ යන ළමයින්ගෙ පොත් වල බර තරමට වීදුරු බෝතලයක් කොහොමටවත් පාවිච්චි කරන්න බෑ...ඒකට හොඳ පිළියමක් එනවා නම් හොඳයි ඉතින්..
ReplyDeleteහොඳ ලිපියක්...
ප්ලාස්ටික් ඇසුරුම් බරින් අඩු වීම, මිළෙන් අඩු වීම...බිම වැටුනට හානි නොවීම ඕවා තමයි වීදුරු වලට සාපේක්ෂව තියෙන වාසි...හැම දේකම වාසි වගේම අවාසිත් තියෙනවා නොවැ...අවාසි ගැන තමයි ලිපියෙ ලිව්වෙ....
Deleteසුබ නව වසරක් වේවා සිරා...! මගේ රාජකාරි කටයුතු වෙනස් කිරීම නිසා පෙර මෙන් මට එන්න වෙන්නේ නැහැ... පහු ගිය 27 වෙනිදා සිට තමයි මේ සියල්ල උනේ..එදායින් පස්සේ හරියට බ්ලොග් එකක් වත් කියවන්න ලැබුණේ නැහැ.... දැන් තමයි ටික ටික කියවන යන්නේ ...කාටත් වැදගත් පෝස්ට් එකක් සිරා.. මමත් වතුර ළඟ තියාගන්නේ වීදුරු බෝතලේකට ... කිව්වත් වගේ වතුර බෝතල් නැවත අසුරන සමාගම් වල පාවිච්චි කරන්නේ මොන ප්ලාස්ටික්ද ...?
ReplyDeleteරාජකාරිය දේවකාරිය වගේ කරන්න ඕනෙ...එතකොටයි සාර්ථක මිනිහෙක් වෙන්නෙ සහ මාසෙ අන්තිමට ගන්න පඩියට සාධාරණයක් ඉටු වෙන්නෙ...වතුර නැවත අසුරන සමාගම් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය අංක 7
Deleteහැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...විසදගන්න අප්රමාණ ප්රශ්න තියන නිසා බ්ලොග් පැත්තෙවත් එන්න බැරි වුනා... පුළු පුළුවන් විදිහට හැමෝගෙම බ්ලොග් වලට ආපහු ගොඩ වෙන්නම්
ReplyDeleteඔය කියන අප්‍රමාණ ප්‍රශ්න මේ වසර ඇතුලෙදි විසද ගන්න ලැබේවා කියලා පතන්නම්....කිව්වත් වගේ හුග කාලෙකින් දැක්කෙ..ලගදි බොග ලිව්වෙත් නෑ නේද ?
Deleteසිරා මල්ලිගේ වටිනා ලිපියෙන් බොහොම වැඳඟත් කරැණු රාශියක් ඉගෙන ගත්තා. උඹට ස්තුතිය පුදකරන අතරම සුභම සුභ නව වසරකුත් පතනවා!! ජයෙන් ජය!!
ReplyDeleteස්තුතියි අයියා....ඔබටත් රසවත් කවි අතර කථාද ලියවෙන බොහොම සුභදායී වසරක් වෙන්න කියා පතනවා...
Deleteසුබම සුබ නව වසරක් වේවා කියලම ඉන්නම්කො....සිරා මලයටත් අනිත් හැමෝටමත්..අලුත් අවුරුද්දෙ හා හා පුරා කියල බොහොම වැදගත් ලිපියක්..ස්තූතියි බොහෝම...මේ අවුරුද්දෙදිවත් තුන් දෙනා ඩබොල් දාල යන්න ලැබේවා කියල මලය වෙනුවෙන් ප්‍රාර්තනා කරන්නම්කො....
ReplyDeleteතුන් දෙනා ඩබල් දාලා කිව්වෙ...දැරිවියක් හොයාගෙන බැදලා දරුවෙකුත් මේ වසරෙදිම ලැබෙන්න කියලද.....ඔයාගෙ කමෙනට් එක කියවලා මට භය හිතුනා අනේ...මම මේ භය වෙච්ච පාර හිටගෙන මේ කමෙන්ට් එක කොටන්නෙ...තුන් දෙනා ඩබල් දාන්න තව අවුරුදු දෙකක් තුනක් යයි...
Deleteමේචර ලඟින් ආස්සරය කරන ප්ලාස්ටික් ගැන නොදන්න කරුණු ගණනාවක්ම දැනගත්තා.බොහොම ස්තුතියි සිරා.
ReplyDeleteඅන්න හරි...තමන් නොදන්න දෙයක් කොහෙන් හරි ඉගෙනගන්න කෙනා තමා ඉදිරියට අඩියක් හරි තිබ්බෙ....
Deleteඅපිළිවෙලට තිබුණු මතකයන් පිළිවෙලක් වුනා. ස්තුති මෙවැනි සටහනක් තැබීම ගැන..සුදික අයියගේ පෝස්ට් එකකදී ලියන්න ඕනේ කියලා හිතුවට ලියන්න බැරි වුණා.. හොද ලිපියක් අයියේ
ReplyDeleteඔයත් හැම වෙලේම කියනවනෙ කියවන කෙනාගෙ දැනුමට යමක් එකතු කරන්න පුලුවන් ලිපි තමයි වැඩිපුර ලියන්න ඕනෙ කියලා...ඒ කථාවත් හිතේ තියාගෙන තමයි අලුත් අවුරුද්දෙ වැඩ ඇල්ලුවෙ...
Deleteඔය තියෙන්නෙ සිරාගෙ සිරා පෝස්ට් එකක්. බලන් යනකොට මේ කාමරෙ නැති දෙයක් නෑ වගේ!
ReplyDeleteකාමරේ බොහොම සමබරව තියාගන්න තමයි මම බොහෝ වෙලාවට උත්සාහ කරන්නෙ....තව ඉදිරියට හොද හොද දේවල් වලින් කාමරය පිරේවි...අද වගේ එදාටත් කියවලා යන්න එන්න...
Deleteසිරා....මම නම් මාර විදියට බයවෙලා ඉන්නෙ මේ ලිපිය කියවලා.
ReplyDeleteමගේ දුවට අලුතෙන් බෝතලයක් ගෙනත් දුන්න අලුත් ශ්‍රේනියට..දැන් ලිපිය කියවන ගමන් අරන් බැලුව..ඕය ලකුනු මුකුත් නෑ ඉන්දුනීසියාවෙ නිශ්පාදිතයි කියල විතරක් ගහල තියෙන්නෙ.
මම කාලයක් තිස්සෙ ඔය ගැන දැනුවත්,,ඒත් බරපතල විදියට අමතක/අතපසු වෙනව ඔය කාරනා. හෙටම දරුවට මිල අධික උනත් හොඳ බෝතලයක් අරන් දෙන්න ඕන.
මේ රටේ ඔය සම්බන්දව ක්‍රියා කරන රජයේ බලධාරීන් මොනව කරනවද මන්ද..?
යම් තරමක දැනුවත් වෙලා ඉන්න අපිත් ඔය තේරීමේදී අමතක වීම වෙනවානම්...නොදන්න අය....මොනව කරගන්නව ඇද්ද..?
අනික මිල ඉතා අඩු බාල බෝතල් කොච්චර ලමයි ඉස්කෝලෙ ගෙනියනවද...!
අපොයි ..!
ඔය වගේ ප්ලාස්ටික් නිෂ්පාදන ලෝක වෙළදපොලෙන් බොහොම අඩුවට තොගය පිටින් ගන්න පුලුවන්...ඒවා එකක් නෑර බලලා තත්ව සහතික නිකුත් කරන්න තරම් අපේ ඒවට වගකිව යුතු අංශ තවමත් ශක්තිමත් නෑ...හොදම දේ තමයි අලුත් බෝතලයක් අරන් දෙන එක මම කිව්ව විදියට සළකුණු බලලා....වගකීමක් ඇතුව මේ දේවල් නිෂ්පාදනය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ සලකුණු නිෂ්පාදනයේ යටි පැත්තෙ සදහන් කරනවා... කහ පාට වෙච්ච පානීය ජල බෝතල් හෝ මෙගා බෝතල් පාවිච්චි කරන අයත් මම දැකලා තියෙනවා...දවසින් දවස ක්ෂය වෙන රසායනික කොටස් බඩේ තමයි ඉතිං නතර වෙන්නෙ ඒ අයගෙ...
Deleteදරුවන්ට වතුර බෝතල් අලුතෙන් අරන් දෙනකොට බෝතලේ යට පැත්ත බලන්න...මම හිතන්නෙ යට පැත්තෙ රවුමක් ඇතුලෙ ගහල තියනව..බෝතලය අයිති කාන්ඩය මොකක්ද කියල...
Deleteබොහොමයක් ප්ලාස්ටික් භාණ්ඩ වල යටි පැත්තෙ තමයි මේ සලකුණු මුද්‍රණය කරලා තියෙන්නෙ....
Deleteහා හා පුරා කියල උණු කැවුම් වගේ හැමෝම කියවන පෝස්ටුවක්නෙ සිරා අයිය දාල තියෙන්නෙ..ගොඩක් විස්තර දැන ගත්ත.දන්නවනම් ප්ලාස්ටික් අල්ලන්නෙ නැහැ..හි හි
ReplyDeleteදැනගත්ත විස්තර යාලුවන්ටත් කියන්න හොදේ....
Deleteඒ ලෙවල් ලියන අයටත් ඉතාම වැදගත්.. විශය නිර්දේශයේ තුල මෙච්චරම නැතත් මේ වර්ග ගැන සහ ඒවායේ ලක්ශන සාකච්චා කෙරෙනව රසායනික කමාන්ත කියන පාඩම් යටතේ
ReplyDeleteකොහොම උනත් මමත් අපේ තාත්ත ලංකා හොස්පිටල් එකේ නවත්තල ඉන්න කාලෙ හම්බුනු වතුර බෝතලයකට වතුර එකක් ෆිල්ටරෙන් පිරෙව්වා.. එදා බෝතලේ ඇබරුනේ නම් නෑ.. ඒත් බෑග් එකේ දාගෙන ගිහින් බලින්නම් බෝතකෙන් භාගයයි..පුංචිම පුංචි කෙට්ටු බෝතලයක් වෙලා.. ඉටි කොල පිච්චෙනකොට එන ගඳ ඇවිත්..මම ඊට කලින් එච්චර වෙනස් විමක් වෙනව දැකල තිබුනෙ නෑ.. එදාම හිතාගත්තා ඒ බෝතල් පාවිච්චිය නම් එව්චර හොද නෑ කියලා...
සමහර ළමයි ඉන්නව සිරා අයියෙ එකම බෝතලේ අවුරුද්දක් විතර අරං යන..මේ ඩිස්පෝසබල් බෝතල් අවුරුද්දක් විතර පාවිච්චිකරනවා.. කොච්චර එකම බෝතලේ පාවිච්චි කරනවද කියනවනම් විනිවිද පේන්නෙ නෑ කහපාටයි.. කොච්චර නම් විශ ශරීර ගත්වෙනව ඇද්ද ? :/
ඔව් මලයා ඈත පළාත් වල අසරණ ළමයින්ට ප්‍රවෘත්තියක් වත් නරඹන්න ක්‍රමයක් නැති නිසා මේ වගේ දේවල් සන්නිවේදනය වෙන්නෙ නෑ...මොනා කරන්නද ඉතින්...සංවර්ධනයෙ ප්‍රතිලාභ හැමෝටම සාධාරණව බෙදෙන්නෙ නෑ නොවැ...උණුසුම් ජලයට බෝතලය ඇඹරෙනවා කියන්නෙ රසායනික ද්‍රව්‍ය බෝතලයෙන් ක්ෂය වෙලා ජලයට එකතු වෙනවා කියන එකයි...
Deleteවටින ලිපියක් සිරා අයියේ...! ස්තූතියි. මේ බෝතල් ගැන පහුගිය කාලෙ ලංකාවෙත් ලොකු කතිකාවක් ගිය බව මතකයි. ඒත් භාවිතයේ නම් වෙනසක් වෙලා නෑ.
ReplyDeleteස්තුතියි බස්සි නගා...ලංකාවෙ ඉතින් හැමදාම කථිකාව ඇරඹෙනවා විතරයි නොවැ...ඒ ඔස්සෙ සංවාදයක් ඇරඹෙන්න කලියෙන් මුදලාලි සල්ලි වලින් බලධාරින්ගෙ කට වහනවා...
Deleteඅලුත් අවුරුද්දේ වටින කියන දෙයක්. වීදුරු බෝතලේ අරගෙන යන එක තමයි ටිකක් අමාරු. හැබැයි ප්ලාස්ටික් භාවිතය අවම කරන එකනම් ඇඟට ගුණයි කොහොමත්.
ReplyDeleteඒක තමයි නාඩියො...නැත්තං නාඩි වැටෙන්නෙ නැතුව යන්න පුලුවන්....දිගටම වීදුරු බෝතලයක් භාවිතා කරනු සොදා....
Deleteවටිනා ලිපියක් සිරා අයියේ මමත් මිට කලින් ඔය පාල්ස්ටික් වර්ග කරපු සිස්ටම් එක දැනගෙන හිටියා එත් මෙචච්ර ගොඩක් දේවල් දැනගත්තේ අද බොහොම ස්තුතියි
ReplyDeleteස්තූතියි බොරලු....ඔබේ සතුට මගේද සතුටයි...
Deleteහොඳ වෙලාවට මත්පැන් ප්ලාස්ටික් බෝතල් වල එන්නෙ නැත්තේ.. !!!
ReplyDeleteඒ උනාට ගල් කාලෙ වගේ අයිටම් දැන් ප්ලාස්ටික් බෝතල් වලත් එනවා නේද බන්...එතකොට සරම අස්සෙන් ඉනේ ගහ ගන්න ලේසියිනෙ...බිම වැටුනත් හානියක් නෑ...
Deleteඅළුත් ලේබලේ හුඟක් වටිනවා අයියේ.. ඉස්සරහත් මේ වගේ වැදගත් දේවල් ලියමු..
ReplyDeleteඅනිවාර්යෙන්ම මාසෙකට එකක් මේ වර්ගයෙන් ලියනවා...පරිවර්ථනයට තමයි ටිකක් වෙලා යන්නෙ...
Deleteප්ලාස්ටික් භාජන කොච්චර පාවිච්චි කරනවද කීවොත්, ඒවගෙන් වෙන හානිය ගැන හිතන්ටවත් වෙලා නෑ. මේ වගේ ලිපිවලින් ඒ ගැන මතක් කරලා දෙන එක වටිනවා සිරෝ...
ReplyDeleteබාගයක් හිස් කරපු ප්ලාස්ටික් වතුර බෝතල් කාර් ඇතුලේ තියලා නැවත බොන්ට හොඳ නැති කතාවකුත් පහුගිය දවස්වල ඊමේල් වගේකින් දැක්කා. ඒ වගේ පරණ දේවලුත් අලුතෙන් මතක් උණා මේ පෝස්ට් එක කියෙව්වාම.
කාර් රථයක ඇතුලෙ තියෙනවා කියන්නෙ සෑහෙන උෂ්ණත්වයකට ඒ බෝතලය ලක් වෙනවා කියන එකයි...මොකද වාහනයක් අව්වෙ නවත්තලා තියෙන වෙලාවක රථයට පැමිණි විගස වීදුරු වහගෙනම වායු සමනය ක්‍රියාත්මක කරන්නත් නරකයි...වාහනේ ඇතුලෙ තියෙන රත්වෙච්ච වාතය පිටතට යන්න වීදුරුවක් කාරිය ඇරලා පොඩි වෙලාවක් දීලා තමයි වායු සමනය ක්‍රියාත්මක කල යුත්තෙ....
Deleteපට්ට පට පට...
ReplyDeletePrint to PDF Button එකත් වටිනවා ඈ... ;)
ඕක කාමරේ පටන් ගත්ත කාලෙම එකතු කලේ අවශ්‍ය කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න...
Deleteසිරා අංක 3 හානිදායක වෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි මදි නේද? දැන් ඒ කොටසෙම කියලා තියන විදිහට අපි එදිනෙදා උවමනාවන්ට සහ දීර්ඝ කාලීනව භාවිතා කරන බොහෝ දේ නිපදවෙන්නේ PVC වලින්. ඇඳුම් පවා හදනවා මේකෙන්. මේක හානිදායක වෙන්නේ පිළිස්සීමකදි වගේ විතරද, නැත්නම් මේ වර්ගයෙන් නිපදවන භාණ්ඩ භාවිතයත් අහිතකරද?
ReplyDeleteමම පරිවර්ථනය කරපු ලිපියෙ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තිබුනෙ නැති නිසා මම එයට වඩා දෙයක් එකතු කරන්න උත්සාහ කලේ නෑ...නමුත් මේ පිළිතුරට මම පෝස්ටුව තුල එකතු කරපු නැති දේ එකතු කරනවා.
DeletePVC හෙවත් polyvinyl chloride බොහෝ වෙලාවට vinyl කියලා තවත් නමකින් හදුන්වනවා. විනිල් කියලා කියන්නෙත් මේ අමුද්‍රව්‍යම උපයෝගී කරගෙන නිපදවන ප්ලාස්ටික් විශේෂයකට. මේ සදහා යොදාගන්නෙ ස්වභාවික අමුද්‍රව්‍යම නොවුනට ඒ තුල බොරතෙල් වලින් ලබාගෙන නිපදවන ethylene වගේම ලුණු මගින් නිපදවාගන්නා chlorine යන සංඝටක දෙක සංකීර්ණ ක්‍රමවේදයක් ඔස්සේ මිශ්‍රකර සකසා ගන්නා රෙසිනයක් (ලාටු වැනි ඇලෙන සුලු ද්‍රව්‍යයක්) මගින් තමයි PVC නිපදවාගන්නෙ.
මේ නිෂ්පාදනයට තවත් අමුද්‍රව්‍ය එකතු කරමින් විවිධාකාර ගතිලක්ෂන තියෙන ප්ලාස්ටික් වර්ග නිපදවන්න තියෙන හැකියාවත්, තෙතමනයට ඔරොත්තු දීමත්, කල්පවත්නා ශක්තිමත් භාවයත්, විනිවිද පෙනෙන ලෙස හෝ නොපෙනෙන ලෙස නිපදවන්න හැකි වීමත් සහ නිෂ්පාදන වියදම සෑහෙන්න අවම වීමත් කියන කාරණා නිසයි අනෙකුත් ප්ලාස්ටික් නිෂ්පාදන වලට වඩා පෙරමුණට ඇවිත් තියෙන්නෙ.
මේ නිෂ්පාදන මිනිසාගේ සෞඛ්‍ය තත්වයට ඉතාම අවධානමකට යොමු කරන්න පුලුවන් ඒවා...නිෂ්පාදන අවස්ථාව, භාවිතා කරන අවස්ථාව, පරිහරණයෙන් පසු ඉවතට විසි කර තිබෙන අවස්ථා යන සියලු අවස්ථා වල පෙර කිව්ව අවධානම තියෙනවා.
ඊට හේතුව ඒ වර්ගයේ ප්ලාස්ටික් තුල අන්තර්ගත mercury, dioxins වැනි රසායනිකයන් වගේම phthalates වැනි අම්ල වර්ගත් ප්ලාස්ටික් ක්ෂය වීමේදී බාහිර පරිසරයට මුදා හරින නිසයි.
මාරාන්තික පිළිකා, මිනිස් ප්‍රජනන පද්ධතියේ සංකූලතා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අඩු ලුහුඩු කම් මේවා නිසා ඇතිවෙන්න පුලුවන්.
PVC වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවූ ක්‍රීඩා භාණ්ඩයක් හැපීමේදී ලෙහෙසියෙන් පහසුවෙන් මේ විෂ ද්‍රව්‍ය කුඩා දරුවකුගේ ශරීරයට ඇතුලුවෙන්න පුලුවන් නිසා PVC භාවිතයෙන් කුඩා දරුවන් හට ක්‍රීඩා භාණ්ඩ වගේම වෙනත් දෑ නිපදවීමත් නතර කිරීමට ඇමරිකාව ප්‍රමුඛ කාර්මික රටවල් විසින් මේ වන විටත් තීරණය කර හමාරයි.
මේ පිළිබද තොරතුරු තියෙන සෑම තැනකම පුන පුනා කියන එකම දෙයක් තියෙනවා...ඒ තමයි භාවිතයෙන් පසු කිසිම වෙලාවක මේ වර්ගයේ ප්ලාස්ටික් ගිණි තියන්න එපා කියන කාරණය...ඒවා ගිණි ගැනීමේදී පිළිකාකාරක රසායනිකයන් විශාල වශයෙන් පරිසරයට එකතු වීම එයට හේතුවයි. මේ දුමාරය ආශ්වාස කරන කෙනෙකුට පිළිකා සෑදීමේ අවධානමක් ඉන් පසුව ඇති වෙන්න පුලුවන්...මෙවැනි කාරණා අතිමහත් දෙනා දන්නෙ නැති නිසා හැකි විදියට දැනුවත් කිරීම තමයි වැදගත්ම දේ...
ස්තූතියි සිරා.. මාත් මේ ගැන හොයන්න ඕනේ. මේ කොටසත් පොස්ට් එකට එකතු කරන්න නැත්නම්, එතන ලින්ක් එකක් දාන්න මේ කොමෙන්ට් එකට...
Deleteඉතිං බං උඹ ඕක හොයල ආසාවටත් එක්ක කෑල්ලක් ලියහංකෝ.. තිසරයා..
Deleteඅන්න දේශකයගෙ කථාවට මමත් එකගයි. හැක්...
Deleteහරිම වටින ලිපියක් හුඟක් දේවල් දැනගත්තා ...
ReplyDeleteස්තූතියි නගෝ...ඔබේ දැනුම බිදක් හෝ පුලුල් වුනා නම් එය සතුටක්....
Deleteහෙනට වැදගත් ලිපියක් සිරෝ.. ගොඩක් දේවල් දැනගත්ත....
ReplyDeleteකාලීන ලිපි ලිවීම ගැන උබට ස්තූතියි යාලුවා...
පාරෙ එහෙ මෙහෙ වැඩ කරන වෙලාවට වීදුරු බෝතලයක්ම පාවිච්චි කොරහං මලයො...
Deleteමෙව්ව තේරුම් ගන්නවට වඩා ලේසි යි නෙ සිරා ප්ලාස්ටික් පාවිච්චි කරන්නෙ ම නැතුව වෙන මොනව හරි පාවිච්චි කළා නම් :-D
ReplyDeleteඅන්න බොට තේරුම් ගොහින් තියෙනවා...මම ලිපිය අග එක්කලා නොවැ ප්ලාස්ටික් වෙනුවට ආදේශක...අන්න ඒවායින් තමන්ට කැමති දෙයක් භාවිතා කරන්න පුලුවන්...ඉටි මලු වෙනුවට පන් මලුත් හොදා....
Deleteමාත් වතුර බොන්නෙ ප්ලාස්ටික් බෝතල් වල. අංකය නං බැලිල්ලක් නෑ. හොඳ ලිපියක් සිරා.
ReplyDeleteඈ.....මොකෝ වීදුරු බෝතල් දැන් පාවිච්චියක් නැත්ද????
Deleteවෙන්න බෑ...රාජ් ඔය කිව්වට වීදුරු බෝතල් වලින් අයින් වෙලා කියලා මට හිතන්න බෑ.
Deleteසුභ අලුත් අවුරුද්දක් සිරාට,
ReplyDeleteමට හිතෙන්නෙ එහා පැත්තෙ සුදු නගාට හිත ගිහින් වගේ ලාවට
සුපිරියැ
සුදු නංගි ඇත්තටම ලස්සන කෙල්ල...ඒත් වෙලාවකට ආඩම්බරයි...ඒ වගේම ආත්මාර්ථකාමියි.
Deleteසෑහෙන වටින විස්තර ටිකක් !!!
ReplyDeleteඅපේ රූමාත් දවසක් ඕ විදිහට ප්ලාස්ටික් බෝතලේක උනු වරුත දාලා බෝතලේ සියබලා කරල වාගේ ඇබරිලා තිබුනා. :)
සියඹලා කරල වගේ....පට්ට යෙදුම බන්...ඒක සුපිරියි...රූමාට කියන්න අරක්කු ගෙනාවම බෝතලේ විසිකරන්න එපා ඒකෙන් වැඩක් ගන්න කියලා...
Deleteමං ඔය ප්ලස්ටික් සීන් එක ගැන ටිකක් දැනන් හිටියා. එත් මෙකෙන් තමා වැඩි විස්තර දැන ගත්තෙ.අපි ඔය ප්ලස්ටික් සීන් එක නිසා බොඩිමෙ උන් විදුරු බොතල් වලට මාරු වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි :)
ReplyDeleteබොහොම සන්තෝෂයි...ගෙදර දොරේ ආහාර ගබඩා කරන භාජන ගැනත් විමසිලිමත් උනා නම් හොදා....
Deleteඅවුරුද්දේ ඉසේල්ලම හොඳ ලිපියක්,මේ ඔක්කොම හරියට දැන ගත්තේ අද..
ReplyDeleteඉස් ඉස්සෙල්ලාම කාටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් දෙයක් ලියන්න මගේ අත කැසුවා....ඒකයි මෙහෙම දෙයක් ලිව්වෙ...
Deleteඅනේ බං, කලින් ඔටුව ගැන පෝස්ටු වල්ට කමෙන්ට් දැම්මෙ නෑ. එක හුස්මට පෝස්ටු දෙකම කියෙව්වා. දැනුත් පරණ පෝස්ටු වලට යන ගමං. නැවතිලා මේක කොටන්නෙ. ජය වේවා!
ReplyDeleteඒකට කාරියක් නෑ සුදෝ...කමෙන්ට් බලාගෙනම නෙමෙයි මම ලිපි ලියන්නෙ...හැකි වෙලාවට තමයි මම වගේම ඔබත් බ්ලොග් ලිපියක් කියවන්නෙ...මොකද මේ දේවල් වලට වඩා එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් අපට වටිනවා... බොටත් ජයම වේවා !
Deleteහරි. ප්ලාස්ටික් හොඳ නෑ කියාපංකෝ. ඒ වෙනුවට දැන් ඇලුමිනම් බෝතලයක් ඇවිත් තියෙනවා වතුර දාන්න. එතකොට කාලෙකට කලින් ඇලුමිනියම් භාජන වල කෑම හදන්න හොඳ නෑ කියලා උඩ පැන්න මතකද? එතකොට මේ බෝතලේ හදලා තියෙන ඇලුමිනියම් විතරක් ශරීරයට හිතකරවෙන්නේ කොහොමද කියලයි මම කල්පනා කලේ.
ReplyDeleteඔය ඇඹුල් ජාති , තක්කාලි දාලා හදන කෑම තමයි ඒවගේ හදන්න එපා කියන්නේ... වතුර දැම්මට අවුලක් නැහැ ඩූඩ් අය්යේ..
Deleteමට මතක ඇලුමිනියම් භාජන වල බත්වත් උයන්න එපා කියලා කියනවා සහන් මලයා. රයිස් කුකර් වල පෑන් එකත් ඇලුමිනියම්.
Deleteහරි එතකොට, ඔය කියන සුපිරි ඇලුමිනියම් බෝතලේ වතුර දාලා වාහනේක තියලා රත් වෙලා බිව්වට ප්‍රශ්ණයක් නැද්ද දන්නේ නෑ නේ?
\\\\මට මතක ඇලුමිනියම් භාජන වල බත්වත් උයන්න එපා කියලා කියනවා සහන් මලයා.\\\\\\\
Deleteමේ කතාව දැකල ඔන්න මට පොඩි කතාවක් මතක් උනා අය්යේ..අලුත් අවුරුද්දේ බය වෙනවා හෙම නෙවේ ඕන් ... මම දන්න ගෙදරක් තිබ්බා . ඒ ගෙදර රෙදි ඇර අනික් සියලු දේවල් ඇලුමිනියම්.. ඒ කියැව්වේ උයන්නේ කන්නේ බොන්නේ කෑම බෙදන්නේ එකී මෙකි නොකී සේරම කරන්නේ බෙලෙක් පිගන් වල..වතුර එකතු කරන්නේ ඇලුමිනියම් කළ වල... ( තෙල් මිරිස් ඇඹුල් ලුණු දෙහි ජාඩි අච්චාරු සේරම් බෙදාගන්නේ ඇලුමියම් භාජන වල )
ඔන්න ඔහොම කාලයක් ගියා... ඒ ගෙදර ඇන්ටිට වකුගඩු අමාරුවක් ආව.. ලේ දෙන්න උනා. ලේ දුන්නේ නැහැ.. වකුගඩු බද්ධ කරන්න උනා.. වකුගඩු බද්ධ කරේ නැහැ.. ( හේතුව ඔවුන්ගේ ආගම..! )
අන්තිමට දවස් 16 පණ පිටින් කුණු උනා වකුගඩු ෆේල් වෙලා..ඊට පස්සෙයි එයා නැති උනේ... ( පණ පිටින් මස් කුණු උනා කියලා හිතාගන්නකෝ ) ..
NOTE:- මගේ මෙම කමෙන්ටුවෙන් යම් ආගමකට අපහාසයක් කිරීමට අපේක්ෂා නොකරමි.
\\\\\\ඔය කියන සුපිරි ඇලුමිනියම් බෝතලේ වතුර දාලා වාහනේක තියලා රත් වෙලා බිව්වට ප්‍රශ්ණයක් නැද්ද දන්නේ නෑ නේ?//
වතුර පිරිසිදු කරන්න ගන්න සමහර රසායන සංයෝග පැය කීපයක් යනකම් ක්රිකරීයි අය්යේ.. ඒ නිසා ටැප් එකෙන් ආපු ගමන් පාවිච්චියට ගන්න එපා.. දවසක් වත් වතුර පරණ වෙන්න අරින්න උඩ ටැංකියේ... උඩ ටැංකිය හරහා වතුර ගන්න...ටින් බෙලෙක්ක වල කෑවට කමක් නැහැ . හැබැයි ලුණු ඇඹුල් සහිත කෑම විතරක් කන්න එපා.. සෑම විටම පැය 24 කට වඩා පරණ වූ නළ ජලය පරිහරණය කරන්න.
ඇලුමිනියම් භාජන වල විනාකිරි...ඇඹුල් වර්ග තමයි දාන්න හොද නෑ කියලා මම අහලා තියෙන්නෙ ලෝහය සමග ප්‍රතික්‍රියා කරන නිසා....හැබැයි හෙන්රි අයියා ගල් පොල් තාමත් වීදුරු බෝතල් වල එන නිසා භය වෙන්න කාරියක් නෑ....
Deleteවැදගත් ලිපියක් සිරා. තව දෙයක් තියෙනවා. තෙල් බැදුම් ජාති වගේ ඒවා ෂොපින් bag වල දානවා පත්තර පිටුවල ඔතනවා. ඒ වගේ දේවලුත් අනතුරු දායකයි. ඒ වගේම PET(1 කාණ්ඩයේ) බෝතල් වල කිහිප වරක් වතුර විතරක් නොවේ දැන් පොල්තෙල් දාන්නත් ගන්නවා. දැන් බහුලව තියෙන දිරන වර්ගවල ෂොපින් bag කෑම් වර්ග දාලා තියන්න සුදුසු නැහැ.
ReplyDeleteඔය ඔක්කොම ඇත්ත...නමුත් ප්‍රායෝගිකව මේ දේවල් මග අරින්න ක්‍රමයක් නැහැ...අතීතයේ අද වගේ මිනිස්සු කාර්යබහුල වෙලා හිටියෙ නැති නිසා ඒ අයට ස්වභාවික ක්‍රම තිබුනා ආහාර රැස් කරන්න වගේම හේනට කුඹුරට අරන් යන්න...ඒ විදියට කාර්යාලයකට ගෙනියන්න බෑ නොවැ....අන්න එතනයි අවුල...
Deleteනිවී සැනසිල්ලේ කියවන්න කියලා තිබ්බ එක එහෙම්මම අමතක වුනා. බොහොම වටිනවා සිරා මේ කරපු වැඩේ. ඒත් අපි ඕවා ගැන කෙතරම් දුරට සැලකිලිමත් වෙනවද කියන එක ප්‍රශ්ණයක් !
ReplyDeleteමේවා මෙහෙම කිව්වට අද තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ප්‍රායෝගිකව ප්ලාස්ටික් වලින් බැහැර වෙන එක අපහසු කාරියක්...
Deleteමෙන්න මේවාට තමයි සිරා පොස්ට්ස් කියන්නේ...!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා....සිරා...!
ස්තුතියි ඇල්බන් ලොක්කො....බොටත් එසේම වේවා ....
Deleteසිරා.......ප්ලාස්ටික් ගැන මේතරම් හොඳට සිංහලෙන් ලියපු ලිපිය මේක වෙන්නැති. අළුත් අවුරුද්දෙම නැවත හිතන්න පෝස්ට් එකක්.
ReplyDeleteස්තූතියි සිරාට .. ඉතාම අගනා හැඳින්විමක්.වගේම වටිනා උපුදෙස් ටිකක් අපි බොහෝදෙනක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අංක 1 - 4 දක්වා ප්ලාස්ටික් අසුරන නැවත නැවත් භාවිතා කරනවා. එකක් අපිට ඇති ලෝබ කම.
ReplyDeleteමේ ප්ලාස්ටික් ගැන මෙවන් දැනුවත්කිරිම් ඉතාමත් වැදගත්
මෙන්න මෙීක A/L business studies target paper එකටත් දාලා..
ReplyDeleteමෙන්න මෙීක A/L business studies target paper එකටත් දාලා..
ReplyDelete