Saturday, July 14, 2012

37 දින හතරේ ආගිය තොරතුරැ 3 කොටස

ඔන්න අපි චාරිකාවේ 3 වන කොටසටත් ආවා... කලින් කථා කියවපු නැති අයට මෙන්න.... කියවගෙනම එන්න...
1 කොටස
2 කොටස

කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාවෙ පළමු දින රාත්‍රිය ගත කරලා  පසුදා උදේම කිරිවෙහෙර වදින්න අපි සූදානම් උනා... උදෙන්ම කිරිබත් සමග ලුණු මිරිස්  කෑමට සුදානම් කරල දුන්නෙ හිච්චි අයියා ...  පිරිස  බොහොම කඩිසරව ආහාර අනුභවය අවසන් කලාට  කිරිබත් ඉතිරිවෙලා.... ඒ ටික ලබාදීලා කාගෙ හරි කුසගින්නක් නිවන්න දායක වෙන එකත් පිනක් හින්දා මෙන්න මේ අයට උදේ කෑමට ආරාධනා කලා...


ලුණු මිරිස් බොහෝම අපූරැවට ඉවත් කරගෙන කිරිබත් විතරයි දෑතින්ම අල්ලන් ඒගොල්ලො කෑවෙ.......ශ්‍රීලාංකික කලු වදුරා අපේ රටටම අ‍‍වේණික සතෙක්....ඒ වගේම ජීව විද්‍යාත්මකව වටිනා සම්පතක්.

කතරගම හැමෝම යන එන නිසා ඒ ගැන විශාල විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නෑ... පින්තූර කීපයක් විතරක් දාන්නයි හිතුවෙ...




කතරගමදි දකින්න ලැබුණු විශේෂම සිදුවීම තමයි අලියාගේ බඩ යටින් රිංගවීම... ගාස්තුව එක් අයෙකුට   රැ. 50/- එක පෙලට අලි තිදෙනෙක්ම මේ වැඩේට යොදවලා තිබුනා... ඇත්ගොව්වන් කියන විදියට  නින්ද නොයාම/ නපුරැ හීන පෙනීම/ ප්‍රේත දෝෂ ආදියට අලියාගේ බඩ යටින් රිංගීම සාර්ථක ප්‍ර‍තිඵල දේලු... කුඩා ළමයින් සමග වැඩිහිටියන් ඉතා උනන්දුවෙන් මේ කාර්යයට දායක වෙන හැටි සිරා දුටුවා.... දේවාලයෙන් පිටතට එන බැතිමතුන්ගේ පූජා වට්ටි වලින් කෙසෙල් ගෙඩියක්, කොමඩු පලුවක්, උක් පතුරක් ආදීය ලැබෙන නිසා මේ සද්ධන්තයන් වගේ වගක් නැතුව කුල්ලක් බදු කන් දෙපසට සොලවමින් සිටි ආකාරය නම් පංකාදුයි...



කිරිවෙහෙර දෙසට යද්දි ඊළගට හමුවෙන්නෙ  මෙන්න මේ අය...



මල්කෙල්ලන් යයි පොදු ව්‍යවහාරයේ හැදින්වුවත් අපෙනුත් මල් ගන්න යැයි කන්නලව් කරමින්... බුදු පුදට යන සැදැහැවතුන්ගෙන් මල් පොකුරට මුවා වී ජීවිතය ජීවත්කරන්නට කරනා වෑයම ඉතා සංවේදියි..... ඒ නිසාම සිරා නෙලුම් මල් පොකුරක් ලබා ගත්තේ ඔවුනට කරනා උපකාරයක් ලෙසින්...

සුදෝ සුදුව ඉහළට එසැවී තිබෙනා කිරිවෙහෙර චෛත්‍ය රාජයානන් නෙතට නම් රසදුනක්...


කිරිවෙහෙරින් සමු ගෙන ආපසු එන ගමනේදී මැණික් ගග අසබඩදි මේ අයත් හමු වුනා... ජීවිත ගමනේදී එල්ල වූ අභියෝගයන් වෙත දෙවියන්ගේ සරණ අපේක්ෂා කර එය ඉටුවූ පසු දෙවියන් වෙත කෘතගුණ දැක්විමක් ඔවුන් මේ සිදුකරන්නෙ....කාවාඩි නටමින්...



කතරගම  වන්දනාවෙන් අනතුරැව  බුත්තල කතරගම මාර්ගය ඔස්සේ අපි බුත්තල දෙසට ගමන් ගත්තා... ත්‍ර‍ස්තවාදී තර්ජන තිබූ සමයේ බස්රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍ර‍හාරයක් එල්ල වෙලා ජීවිත රාශියක් දැයට අහිමි වුනෙත් මේ මාර්ගයේම ගල් ගේ නම් ඉසව්වෙදි... ඒ අමිහිරි මතකයත් සිහිපත් කරන ගමන්ම අපේ පිරිස බුත්තලට ලගා වුනා...

බුත්තල මාළිගාවිල මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගමන් කලාම හමුවෙන පෞරාණික බෞද්ධ සිද්ධස්ථානය තමයි දෙමටමල් විහාරය... පිහිටා තියෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ.... චෛත්‍ය රාජයාගේ පැහැය නිසාම මෙම විහාරස්ථානය ඉතාමත් පෞරාණික ස්ථානයක් බව ඈතදීම සිරාට  සිතුනා....

කලු පැහැයට දිස්වෙන වෛත්‍ය රාජයාණන්

අවට සුන්දර පරිසරය

දෙමටමල් විහාරයේ ඓතිහාසික පසුබිම

බෝධි රෝපණයට පෙර නිධන් වස්තු තැන්පත් කල එකම විහාරය හැටියට මෙම ස්ථානය සැලකෙනවා.
ක්‍රි.පූ දෙවස සියවසේදි කාවන්තිස්ස රජු කරවූ ගමට්ඨවාලී විහාරය යනු මෙය බව සමහර ඉතිහාසඥයො කියනවා. එහෙත් ක්‍රි.පූ 3 වන සියවසේදි  දේවානම් පියතිස්ස රජුගේ දෙටු සොයුරැ රැහුණු රාජ්‍යයේ පාලකයා වූ මහානාග රජතුමා විසින් කරවූ දෙටුමල් වෙහෙර පසුකලෙක දෙමටමල් විහාරය වූ බවටයි බොහෝ අය පිළිගන්නෙ... ඒවගේම කාවන්තිස්ස , මහා පරාක්‍ර‍මභාහු රජවරැන්ගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියක්... පසු කලෙක චෛත්‍යයේ අලුත්වැඩියාවන් කාවන්තිස්ස රජතුමා කරවූ බවට පූජාවලියේ 34 වන පරිජේදයෙත් සදහන් ‍වෙනවා. මලියදේව මහරහතන් වහන්සේ ජජක්ක සූත්‍ර‍ය දේශනා කොට යෝගාවචරයන් හැට නමක් රහත් කල ස්ථානයද මෙයම වේ...ඒ බැව් සටහන් වන්නෙ ධර්ම ප්‍ර‍දීපිකාව නම් ඉපැරණි ග්‍ර‍න්ථයේ. සද්ධම්ම රත්නාවලිය රචනා කල ධර්මසේන හිමි වැඩ සිටියේද මේ විහාරයේමයි.... පොළොන්නරැ සමයේ රැහුණේ පාලකයකුව සිටි ශ්‍රී වල්ලභ රජුගේ ප්‍රියම්භිකාව,  සුගලා දේවිය දන්ත ධාතූන් වහන්සේ සතුරැ උපද්‍ර‍ව කෙරෙන් ආරක්ෂාකිරීමට සගවා ඇත්තේද මෙහිය.  දුටුගැමුණු කුමාරයාගේ මළනුවන් වන තිස්ස කුමරැ සිය අයියන්ඩිය (ගැමුණු)  සමග පැවති සටනකින් පැරදී පලා යන අතර තුර මෙම විහාරයේ නායක හාමුදුරැවන් සැතපෙන ඇද යට සැගවී සිට ඇත . දෙමහටමල් විහාරයේ අතීතය හාරා අවුස්සන විට මේ තිස්ස කුමරැගේ ඇද යට සැගවී සිටීමේ කථාව ඉතාමත් කුප්‍ර‍කට එකකි. ගැමුණු කුමාරය තම මළනුවන් දුටු ස්ථානය යන්නෙන් බිදි ආ දුටුමල් යන්න දෙටුමල් වි පසුව දෙමටමල් බවට පත් වූ බවට තවත් මතයක් තිබෙනවා....

මේ අයිය මලෝ  සටන පිළිබද කථාව වෙනම පෝස්ටුවක් ලෙස ඉදිරි දිනෙකදී සිරාගේ කාමරෙන්....

දෙමටමල් විහාරය සතු පෞරාණික චෛත්‍යයටම ආවේණික අපූරැ වෙනසක් ඇත... එය අදද දක්නට පුලුවන් එකකි... මහානාග රජතුමා මෙහි ඉදිකිරීම් කරන විට වෛත්‍ය සදහා කොතක් සවිකර නැත. ඒ සදහා උපයෝගී කරගෙන ඇත්තේ දේවතාකොටුවට ඉහළින් සවි කල අඩි 15 කට වඩා උස අඩි 5ක පමණ වටප්‍ර‍මාණයක් ඇති යූකාගල නමින් හැදින්වෙන ශිලාමය ස්ථම්භයකි. පසුකලෙක කාවන්තිස්ස රජතුමා විසින් දෙමටමල් විහාර චෛත්‍ය අලුත් වැඩියා කරන විට කොත් කැරැල්ලක් චෛත්‍යයට එකතු කර තිබුනද එක් තැනකින් යූකාගල පෙනෙන්නට ඉඩ තබා තිබේ.

යූකාගල 

දෙමටමල් විහාරයෙන් අනතුරැව අපේ නඩය මාළිගාවිල ඉසව්වට පිටත් වුනා... මාළිගාවිල පිහිටි  බුදු පිළිමය හා දඹේගොඩ බෝසත් පිළිමය නිසා   තමයි මේ ප්‍රදේශය හැමෝම දන්නෙ....

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය මාළිගාවිල ගමෙහි මෙම ස්ථානය පිහිටා ඇත. කොළඹ මොණරාගල ප්‍ර‍ධාන මාර්ගයේ කුඹුක්කන හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ සැතපුම් 8ක් පමණ ගියවිට මෙම ස්ථානය හමු වෙන්නෙ.

මාළිගාවිල බුදුපිළිමයට යන මාවත

වන වැදුනු අතීත උරැමය

ක්‍රි.ව 6 වන සියවසේ සිට 08 වන සියවස දක්වා කාලයට අයත් යැයි සැලකිය හැකි අක්කර 300 ක පමණ භූමි භාගයක පැතිරැන අරියකර විහාරය නමින් අතීතයේ හැදින්වී ඇති මෙම ස්ථානය ක්‍රි.ව 667 - 683 රජකල අග්ගබෝධි රජතුමා විසින් කරවූවක්... එතුමා රැහුණේ කණගාමයෙහි අන්ධයන් හා ගිලනුන් උදෙසා රෝහලක් කරවූ බවට වංශකථා වල සදහන් . එම ස්ථානයත් මෙයම විය හැකි බවටයි පුරා විද්‍යඥයන් සලකන්නෙ....

සමහංග හිටි ඉරියව්වෙන් යුත් මාළිගාවිල බුද්ධ ප්‍ර‍තිමාමේ උස අඩි 37 අගල් 10 , එමගින් නිරෑපනය වෙන්නෙ අභය මුද්‍රාව, සතුරැ උවදුරැ නිසා කාලයාගේ ඇවෑමෙන් වනගත වන මෙම ස්ථානය 1950 දී පමණ නැවතත් සොයා ගන්නා විට මෙම පිළිමය තිබී ඇත්තේ බිම වැටී කොටස් තුනකට කැබලි වී,  රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සමයේදී මෙම පිළිමය නැවතත් යථා තත්වයට පත් කරලා තියෙන්නෙ ශ්‍රීලාංකික ඉංජිනේරැ මහිමයෙන්... ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙම පිළිමය යථා තත්වයට පත් කරන ලෙස රාජ්‍ය ඉංජිනේරැ අංශ වෙත දැනුම් දුන්නත් එය කල නොහැකි දෙයක් ලෙස ඔවුන් දක්වා තිබෙනවා... එහෙත් මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට ඇති ජනාධිපතිතුමා මෙය අනිවාර්යෙන්ම කල යුතු බව දිගින් දිගටම පැවසූ නිසා ඉංජිනේරැ අංශයන්ට මේ විස්මිත ප්‍රාතිහාර්ය පාන්නට අවසානයේ ඉඩ හසර ලැබෙනවා... ඒ සදහා කොන්ක්‍රීට් තාක්ෂණයේ පියා ලෙස විරැදාවලිය ලැබූ විද්‍යාජෝති කුලසිංහ මහා ඉංජිනේරැ තුමාගේ උපදෙසුත් ලැබී තිබෙනවා.... පිළිමය නැවත සිටවූ පසු ආධාරක ගඩොල් බැම්මක සහය ලබා දී තිබෙන්නෙ ශක්තිය වැඩි කරන්න. මේ මහගු පෞරාණික වස්තුව හෙට දවසට සුරක්ෂිත කොට දායාද කල, අද අප අතර නැති මේ දෙපළම ජාතියේ  නාමයෙන් සිරා ගෞරවයෙන් සිහිපත් කරනවා.....


ගඩොල් ආධාරකය



දඹේගොඩ අවලෝකිතේෂ්වර බෝධිසත්ව පිළිමය මාළිගාවිල ඇති අනෙක් හිටි පිළිමයයි.. බොහෝ අය බුදු පිළිමය පිළිබද අසා ඇති මුත් මේ පිළිබදව අහලා නෑ... දඹේගොඩ බෝසත් පිළිමය ලෙස තමා වර්තමානයේ හැදින්වෙන්න... මේ පිළිම දෙක පිහිටා තියෙන්නෙත් එක ලග නොවීම ඊට හේතුවක් වෙන්නත්  පුලුවන්.... බෝසත් පිළිමයත් කාලයේ ඇවෑමෙන් බිම වැටිලා කෑලි 100 කට වඩා කැඩිලා තිබිලා තියෙන්නෙ.... කලින් කිව්වා වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අදහස අනුව කුලසිංහ ඉංජිනේරැ තුමාගේ උපදෙස්  පරිදි ඒ අපරිමාන උත්සාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස මෙම පිළිමයටත් නැවතත් නැගී සිටින්නට අවස්ථාව උදා වුනා.. සමහර කොටස් කොන්ක්‍රීට් මගින් සම්පූර්ණයෙන් ප්‍ර‍ති සකසා තියෙන්නෙ.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 100 ක් පිරීම නිමිති කරගෙන මෙම පිළිමය නැවතත් ජනතාවගේ පුද සත්කාර්යයට විවෘත වෙලා තියෙන්නෙත් ප්‍රේමදාස ජනාධිපති තුමා අතින්.




මාළිගාවිල පුදබිමේ ඓතිහාසික බව තීවර කරණ ටැම් ලිපියක් පිහිටා තිබෙනවා..


හතරවන මහින්ද රජුගේ පාලන කාලයේ (ක්‍රි.ව 956 - 972 ) එනම් එතුමාගේ දසවන පාලන කාලයේ මධ්‍ය කාලීන් සිංහල අක්ෂරයෙන් ලියැවුන එකක්....


මධ්‍ය කාලින සිංහල අක්ෂර


හතරවන මහින්ද රජතුමාගේ දහවන රාජ්‍ය වර්ෂයේ මැදින් මස පුර පක්ෂයේ 13 වන දින මගුල් මහා පිරිවෙන කරවා එහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා වෙත සිව්පසය ලබා දිම පිළිබදව තොරතුරැ මෙහි සදහන් වේ. එසේම විහාරස්ථානයේ ශෛලමය බුදුපිළිම 3ක් කරවූ බවද, මහා විහාරය,පොළොන්නරැව මහා සෑය, ලෝවාමහා ප්‍රාසාදය, මහියංගන විහාරය, රැවන්වැලි සෑය ආදී විහාරස්ථාන කිහිපයක ස්වාමින් වහන්සේලා වෙත පැනවූ  නීති රීති පිළිබද තොරතුරැ ඇතුලත් වේ. භික්ෂූන් වහන්සේලා, ඉදිරියේදී  වාර්ෂික අයවැය ලේඛනයක් ඉදිරිපත් කල යුතු බවටද තොරතුරැ ඇතුලත්ය...


අපේ චාරිකාවෙ දෙවන දින ගමනේ සැලසුම ඡුලියන් අයියගේ කථාව දෙසා බාපු සිරාගෙ මහප්පගෙ... සිරිලංකා පොලීසියේ නිලධාරියෙකු ලෙස දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේවය කර විශ්‍රාම ගොස් සිටින කෙනෙක්....  දෙවන දවසේ අපි නැවතීමට තීරණය කරලා තිබුනේ බිබිල ප්‍රදේශයේ එයාගෙ හිතවතකුගේ නිවසේ... වසර 20 කට පෙර මහප්පගෙ මතකය අනුව මේ ප්‍රදේශයේ මාර්ගයන්හි පැවති තත්වයට අනුව ගත වන කාලය අනුවයි ඒ සැලසුම සිදු කර තිබුනේ... එහෙත් දැන් මාර්ග සියල්ලම කාපට් මාර්ග බවට පත් කර තිබූ හෙයින්  සවස 3 වෙද්දි අපි ඒ ඉසව්වට ලගා වූනා...  සංචාරයක් ලෙස ගතවන දිනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නවාතැන වෙනස් කරලා ඒ ලැබෙන අමතර කාලයෙන් සේනානායක සමුද්‍ර‍ය දැකබලා ගෙන  අම්පාර පොල්වගා ජනපදයෙ ඔවාගිරිය පුරාණ පන්සලේ නවාතැන් ගන්න පිරිස තීරණය කලා ඒ  මහප්පගෙ හිතවතාගෙ කාරැණික මගපෙන්වීමෙන්....

ඔන්න ඉතිං ජීවිතේ පළමු වරට ලංකාවෙ  විශාලම ජලාශය වන සේනානායක සමුද්‍ර‍ය දෑසින් දැක ගන්නට සිරා ට අවකාශ ලැබුනා....

ජාතියේ පියා මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා කියලා අහලා තිබුනත් එතුමා නිදහස් සටනේ පුරෝගාමියා බව දැන උන්නත් ඊට අවශේෂ කාරණා ගැන සිරා සිටියෙ දැනුවත් කමින් තොරව... එතුමා එසේ හැදින්වීම කොතරම් සාධාරණ දැයි කියන්න, ගල් ඔය, ඉගිනියාගලදි හරස් කර ඉදිකල මේ සමුද්‍ර‍යක් බදු විශාල ජලාශයම ප්‍ර‍මාණවත් කියලා සිරාට හිතුනෙ  ලංකාවෙ ඊසාන දිග නැගෙනහිර හා ඌව පළාත් වල පවතින කටුක දේශගුණ තත්වයත් එක්ක ජීවිකාව ගෙන යන්නට වලිකන අපේම හිතමිතුරන් වෙත මේ මහා සමුද්‍රයෙන් අද දවසේ සැලසෙන සේවය දැක්කම... එතුමාගේ අනාගත පුරෝකථනය කෙතරම් විශිෂ්ඨ දැයි මොනවට පැහැදිලි වෙනවා... ගල් ඔය ව්‍යාපාරයත් එක්කයි නැගෙනහිර පලාතෙ සිංහල ජනාවාස පැතිරෙන්නෙ... එසේ නොමැති වූයේ නම් කොටි ත්‍ර‍ස්තයින්ට ඉතාමත් ලෙහෙසියෙන් මේ ප්‍රදේශ අත්පත් කරගන්නත් ඉඩ තිබුනා... ඉදිරියේදී ඇතිවෙන ජනවාර්ගික ප්‍ර‍ශ්නය පිළිබදවත් එතුමා වේලාසන දැන සිටි බවයි එයින් අපට වැටහෙන්නෙ.. ඒ නිසා ජාතියේ පියානන් සෑම ශ්‍රීලාංකිකයෙකුගේම ගෞරව බහුමානයට නිබද පත්විය යුතුයි....



මකරය නම් පෙදෙස  පිහිටා ඇත්තෙ ඈතින් පෙනෙන කදු පෙදෙසට වෙන්න


මෙය 1948 න් පසු නිදහස් ශ්‍රීලංකාවේ ඇරඹුනු පළමු මහා පරිමාණ වාරි කර්මාන්තයයි... 1949 වැඩ ඇරඹී 1953 අවසන් කර තිබෙන අතර ශ්‍රීලංකාවේ ජලාශයක් සතු උසම වේල්ලද මෙයට අයත් වේ. එය අඩි 140 උසින් යුතුය.
වේල්ල මත

සේනානායක සමුද්‍ර‍ය අක්කර අඩි 770,000 ක් විශාලයි, ගොවිබිම් අක්කර 120,000 කට ජලය සපයනවා, ඒ වම් ඇළ හා දකුණු ඇළ නම් ජල මාර්ග දෙකක් ඔස්සේ, අම්පාර නගරයට පානීය ජලය සපයන පානීය ජල යෝජනා ක්‍ර‍මයකුත් ඒ සමගම ක්‍රියාත්මකයි. ඒ වගේම එහි ඇති විදුලි බලාගාරයෙන් මෙගාවොට් 1 ක විදුලි බලයක් ජාතික විදුලි සැපයුමට දායාද කරනවා... වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 200,000 ක්

ජල පිරිපහදුව

සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම අරමුණු කොට ගල්ඔය ජාතික වනෝද්‍යානය ආරම්භ කරලා තියෙන්නෙ... ඒ ජලාශයේ ඉදිකිරීම් අවසන් වූ පසු , 1954 පෙබරවාරි 12 වැනිදා.. වනසතුන්ගේ ආරක්ෂාව එහි තවත් අරමුණක්...

මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක පුරා පැතිරී ඇති ගල්ඔය ජාතික උද්‍යානය හා අභය භූමිය හෙක්ටයාර් 25900 ක් පමණ විශාලයි...

සේනානායක සමුද්‍ර‍ය පිළිබද තවත් තොරතුරැ මෙතැනින්

ඉර බසිමින් තිබූ සුන්දර සැන්දෑවක  සේනානායක සමුද්‍රයේ අලංකාරත්වය විදගෙන ඔන්න අපි ඔවාගිරිය ඓතිහාසික පුදබිමට ලගාවෙන්න සූදානම්... ගමන අතරතුර ආහාර සදහා එළවලු මිළදී ගැනීමට රථය නතර කලා... පොඩි ඉටිපන්දමක් දල්වාගෙන කඩේ අය වැඩ කරන්නෙ... විදුලි සැපයුමක් නැද්ද කියලා විමසුවාම ලැබුනේ ඉතාම සුවදායක පිළිතුරක්... මහත්තයෝ ඊයේ හවස 3 ඉදන් කරන්ට් එක නෑ... බදුල්ලෙන් එන ලයින් එකට ගහක් වැටිලලු... හෙට එයිද කියන්නත් බෑ...

විදුලි එළිය නැති රැයක හතලිස් ගනනක් සමග නවාතැන් ගැනීම,  ආහාර පිළියෙල කිරීමට / සනීපාරක්ෂක කටයුතු  සදහා....ලොකු අභියෝගයක්... ඒ අභියෝගයත් කෙසේ හෝ අපි ජය ගත්තා..... අදට මේ මදැයි....

4 වන කොටස හෙවත් අවසන් කොටස සමග නැවත හමුවෙමු .


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.....


මීළග කොටසින්


ඔවාගිරිය පන්සල් භූමියේ දුටු  අතිවිශාල පොල් අඹ
රැයට දිස්නය දෙන චන්ද්‍ර‍කාන්ති පාශානයෙන් නිර්මිත බුදුන්ගේ හිටි පිළිමය
අරන්තලාවේ භික්ෂු සංහාරය සිදුවූ ස්ථානය
මහඔය උණු වතුර ළිං
වැදි ගම්මානයේ අපි නොදන්න නිහාල් ජයවර්ධන




ප.ලි

ඉතිහාසය සම්බන්ධ තොරතුරැ වලින් මා සන්නද්ධ කල  පුරාවිද්‍යා උපාධිධාරී මාගේ පැරණි පෙම්වතිය ගෞරවයෙන් මෙහිලා සිහිපත් කල යුතුය. (අලුත් පෙම්වතියක් තවම නැත)  හේතු කීපයක් නිසා ඉතා සුහදව වෙන්වීමට අපට සිදුවිය,  සිය දෙවන උපාධියට සූදානම් වන ඇයගේ වටිනා කාලය කැප කර මාගේ ඉල්ලීමට අනුව මෙම තොරතුරැ මා අතට පත් කිරීම පිළිබද මා ඇයට අතිශය කෘතඥ පූර්වක වන බවද සිරාගේ පාඨකයන්  වෙත දන්වනු රිසි වෙමි. නිකම්ම නිකං චාරිකා සටහනක් වෙනුවට ගත හැක්කක් ඇති සටහනක් තිළිණ කිරීමට සිරා සැමවිටම කැමතිය...




37 comments:

  1. ඉරිසියාව කියන්නෙ නරක දෙයක් තමා..ඒත් මට කියන්න වෙන්නේ දැන් නම් ඉරිසියාවේ බැහැ කියල තමා..:)

    ReplyDelete
    Replies
    1. හා හා ඒවා ඔට්ටු නෑ හොදේ...

      Delete
  2. හොදම කොටස -

    ප.ලි

    ඉතිහාසය සම්බන්ධ තොරතුරැ වලින් මා සන්නද්ධ කල පුරාවිද්‍යා උපාධිධාරී මාගේ පැරණි පෙම්වතිය ගෞරවයෙන් මෙහිලා සිහිපත් කල යුතුය. හේතු කීපයක් නිසා ඉතා සුහදව වෙන්වීමට අපට සිදුවිය, සිය දෙවන උපාධියට සූදානම් වන ඇයගේ වටිනා කාලය කැප කර මාගේ ඉල්ලීමට අනුව මෙම තොරතුරැ මා අතට පත් කිරීම පිළිබද මා ඇයට අතිශය කෘතඥ පූර්වක වන බවද සිරාගේ පාඨකයන් වෙත දන්වනු රිසි වෙමි. නිකම්ම නිකං චාරිකා සටහනක් වෙනුවට ගත හැක්කක් ඇති සටහනක් තිළිණ කිරීමට සිරා සැමවිටම කැමතිය..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා.. ඇත්තම තමා කිව්වෙ

      Delete
  3. කිව්වත් වගේ අර ප.ලි. ය මරුනේ.

    මමත් ඕලෙවල් කරපු දවස්වල ගෙදර අය එක්ක ඔය තැන්වලට ගියා. ඊට පස්සෙ යන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. දකුණු පළාතෙ කෙනෙක් විදියට මා හිතන්නෙ ඔබට වැඩි දුරක් නෑ මේ ඉසව්වට

      Delete
  4. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබිලා ඉවරයක් නෑ රජෝ...

      Delete
  5. ට්‍රිප් එකක් ගිහිල්ල පෝස්ට් එකක් ලිව්වද..? , පෝස්ට් එකක් ලියන්න ඕනනිසා ට්‍රිප් එකක් ගිහින්ද..? කියල හිතාගන්න බැහැ . සෑහෙන්න සූදානම් වෙලා පෝස්ට් එක ලියල තියෙනව නියමයි..!

    ReplyDelete
    Replies
    1. කට්ටිය වේලාසනම තොරතුරැ ලියන්න කියපු නිසා මම සූජානම් වෙලා තමා ගියේ.

      Delete
  6. චාරිකාවක් ගෑන මෙහෙම වටින පොස්ටුවක් දෑක්කමයි.. කාපු බිපු දේවල් ගැන ලියනවට වඩා ඉගන ගන්න දැන ගන්න යමක් ලියපු එක අගය කරනවා... හිරු හිමාවි කිවා වගේම ඉතින් ඉරිසියාව නොදැනෙනවා නෙමේ

    ජය

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා
      ස්තුතියි දේවා! ඔබටත් ජය!

      Delete
  7. නියම ට්‍රිප් එක සහෝ
    පින්තූර දාපු එකනම් හොඳයි.

    ReplyDelete
  8. දෙවැනි කොටස මග ඇරුන. මේ කියල තියන ගොඩක් තැන වලට ගිහින් තියනවා. පට්ට ට්‍රිප් එක ඈ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි... නොගිය තැන් වලටත් යන්න උත්සාහ කරන්න..

      Delete
  9. ඔන්න ඔක්කොම පෝස්ට් ටික කියෙව්ව.
    පළවෙනි එකේ විහිළු තහළු වැඩි හින්දා එතරම් සාර්ථක නැති වුනත් දෙක තුන ඉතාම හොදයි.
    මේ වගේ චාරිකා සටහනක් ලිවිය යුතු හොදම විදිය තමයි මේ.

    මමත් ගොඩාක් පුංචිකාලෙ ඔය මාර්ගයේම චාරිකා තුනක් විතර ගිහින් තියෙනවා. සිතුල්පව්වෙ කුඩා සිතුල්පව් විහාරය ඒ කාලේ ප්‍රතිසංකරණය කරලා තිබුනෙ නෑ. ඒ වගේම හවස්කාලේ එතනට යන්නත් බෑ, වළස්සු හින්දා.
    දෙමටමල් විහාරයටත් ගිහින් තියෙනවා, ඒත් දැන් වගේ කලඑළියක් ඒ කාලෙ තිබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අවංක අදහස් වලට මම ගොඩාක් කැමතියි... පුංචි කාලෙන් පස්සෙ ගියේම නැත්නම් ආයෙත් යන්න උත්සාහ කරන්න.. සංවර්ධනය වෙලා තියෙන්නෙ මොනවද කියලා බලා ගන්න හැකිවේවි එවිට..

      Delete
  10. දෙමටමල් විහාරය, මාළිගාවිල, දබේගොඩ කියන සිද්ධස්ථානවලට මට තාමත් යන්න බැරිවුණා. ස්තුතියි මේ විදිහට හරි ඒ ස්ථාන සමීප කරවනවට :)

    ReplyDelete
    Replies
    1. මාළිගාවිල හා දඹේගොඩ කියන්නෙ ස්ථාන 2ක් නෙමෙයි එකක්... එකම භූමි භාගයක ස්ථාන දෙකක, නම් දෙකකින් මේ පිළිමයන් පිහිටලා තියෙන්නෙ...

      Delete
    2. ඒකත් එහෙමද ? ඒකත් දැනගත්තු එකම මදෑ :)

      Delete
  11. සුපිරි ලිපියක්. පිස්සු කෙලපුවා වගේම මේවත් කියන එකෙන් ඔබේ බ්ලොග් එකේ වටිනාකම වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් ට තුති... කන බොන එක හැමෝම කරන නිසා ඒ ගැන ලියල පලක් නෑ කියලා හිතුනා..

      Delete
  12. ලස්සන විස්තරයක් ඒ වගේම වටිනාකක් තියෙනවා. මම කාලෙකට කලින් කතරගම ගියා ඒත් අලියාගේ බඩ යටින් යන්න සල්ලි දුන්නත් නිකන් මට බෑ බෑ වගේ හිතුනා.මොකද ඒ කාලේ නමගේ ඔරලෝසුව එච්චර හොඳ නැහැ.

    වටිනා පින්තුර ටිකක්.හිටපු පෙම්වතියටත් ස්තුතියි කියපන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අපිටත් ඔය පැත්තෙ තොරතුරැ වැඩි වැඩියෙන් පෝස්ටු හරහා ලබා දෙන්න.. ඇයව නැවත හමුවුන දවසක ඔබේ ප්‍ර‍තිචාරය දන්වන්නම් ජය!

      Delete
  13. තට්ටු කොලේ නම් නෑ ඇතුලට එන්න කලින්.
    මට කතරගම දේවාලෙට ගිහින් නම් ඇති වුනේ කලකිරීමක් විතරයි,එදා හිතාගත්තා ආයේ කතරගම යනවනම් කිරි වෙහෙරට යනවා මිසක් දේවාලෙට නම් අඩිය තියන්නේ නෑ කියලා.
    තොරතුරු දුන්න අක්කට විභාගේ හොඳට කරන්න ලැබෙන්න කියලා විශ් කළා කිව්වා කියන්න.

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම බෑ... අනිත් දවසෙ තට්ටුවක් දාගෙනම එන්න D:
      ස්තූතියි ප්‍ර‍මුදි.. ඇය නැවත ඇමතුමක් දුන් දිනෙක ඔබේ ප්‍රාර්ථනාව ගැන කියන්නම්..
      කතරගම දේවාලෙදි රැපියල් දාහෙන් උඩ කොළ තියෙන පූජා වට්ටි භාරගන්න කට්ටිය පොර කන හැටි මමත් දැකලා තියෙනවා...

      Delete
  14. මගේ කමෙන්ට් එක කෝ...සිරා මම අහන්නෙ සිරාවටම මමයි පළමු කමෙන්ට් එක දැම්මේ..ඒක අයින් කලානම් ඕකේ..

    ReplyDelete
    Replies
    1. සිත්තමී ට පැටලිල්ලක් වෙලා වගෙයි... ඔයා අංක 1ට කොමෙන්ටුවක් දැම්මෙ චාරිකා සටහන් 4 කොටසෙ.... ඔයා දැන් මේ කමෙන්ට් කරලා තියෙන්නෙ 3 කොටසෙ... මම කිසිම දෙයක් අයින් කරලා නෑ...

      Delete
  15. මට මතක විදිහට මාලිගාවිල බුදු පිලිමය කඩා වැටිලා ඒක කෙලින් කරලා ප්‍රතිසංස්කරණය කරන්ඩ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොළඹින් ක්‍රේන් එකක් හිටන් යැවුවා ලු.
    ට්‍රිප් එක නම් සිරා !!

    ReplyDelete
    Replies
    1. එතුමා නොහිටින්න ආයෙ මේ වගේ වැඩක් කරන්න කෙනෙක් සෙට් වෙන්නෙ නෑ කියලා තමා මට හිතෙන්නෙ...

      Delete
  16. මේකත් හරිම ආසාවෙන් කියෙව්වා. ගොඩක් දේ දැන ගත්තා. ඒ වගේම අර ප. ලි. යත් හරිම ආදර්ශවත් කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. උදව් කරපු කෙනා ගැනත් කියන්න එපෑයැ... නැත්නම් ඒක අසාධාරණයි...

      Delete
  17. නියමයි මචන්.. Thanks for sharing with everyone...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! ඔබේ අදහස් වලට...

      Delete
  18. Thank you for the interesting post. This adds some more locations to visit.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...