Sunday, February 23, 2014

132 බෝම්බ හාල් සහ පල්ලිය

පාරම්පරික බෞද්ධයින් සහ කතෝලික බැතිමතුන් පමණක් වෙසෙන අප ගම් පියස තවමත් වර්ගවාදී හෝ ආගමික ගැටුම් වලට මැදිවී නැත. එහි වර්තමානය වන විටත් දේශපාලන ගැටුම් හෝ නොතිබීම ගැන මම ඉතාම සතුටු වෙමි. පෙර කියූ ආගම් දෙකට අයත් සිංහල ජනතාව පමණක් 100% වෙසෙන පළාතකි මේ කියන ඉසව්ව.

අදින් දශක දෙකකටත් එහා කාලයේ සිටම මේ ගමට වරින් වර සුභාරංචි කරුවෝ පැමිණියහ. බොහෝ ඇත්තන් මේ පැමිණෙන්නේ කතෝලික ආගමේම අය බව වරදවා සිතුවත්, පාරම්පරික කතෝලික බැතිමතුන් ඔවුන් නිවැරදි කලේ මේ අපේ ආගමට සම්බන්ධයක් නැති වෙනත් පිරිසක් බව කියමිනි.

මුරටැඹ නම් පුංචි පහේ සගරාවක් දෙකක් බෑගයක දමාගෙන ගෙවල් ගානේ ඇවිද ගිය ඒ අයට මුදලක් දී මුල් කාලයේදී මේවා ගත්තේ ගමේ තිබූ කතෝලික බෞද්ධ සහජීවනය නිසා වුවත් මේ පැමිණෙන්නේ කතෝලික දහමටද වින කටින පිරිසක් බව ගම්වාසීන්  දැනුවත් වූ පසු සුභාරංචි කරුවන් අමු තිත්ත කුණුහරුපෙන් සංග්‍රහ ලැබුවෝය.

බෞද්ධ බව දැන දැනත් ඒ නිවෙස් වෙත පැමිණ අපිට පොඩ්ඩක් කථා කරන්න පුලුවන්ද ? යනුවෙන් ඔව්හු විමසති. මොකක් ගැනද ? යනුවෙන් අප විමසූ කල....දෙවියන්ගේ සුභාරංචිය ගැන යනුවෙන් පිළිවදන් සපයති. මට ඔය බයිලා අහන්න වෙලාවක් නෑ...කැමති කෙනෙකුට කියා ගන්නා ලෙස කීවද පැමිණි පිරිස යන පාටක් නැත. එවන් විටෙක නිවැසියාගේ ක්ෂණික කෝපය හමුවේ පිටවෙන ශුද්ධ සිංහල නිසාම ඔව්හු පසුබැස්සාහ.

මේ කරදරයෙන් බේරෙනු පිණිසම අප නිවසේ ප්‍රධාන උළුවස්සේ පසුකලෙක බෞද්ධ ආගමික ස්ටිකරයක් පිටතට පෙනෙන සේ ඇලවීමට මගේ පියානන් කටයුතු කලේය. එදායින් පසු සුභාරංචිකරුවන් පැමිණි පසු අප පිළිතුරු වෙනුවට එය පෙන්වීමු.

කෙසේ හෝ ගමේ විසූ අඩු ආදායම් ලාභී අයවලුන් වෙත මුදල් පෙන්වා කෙසේ හෝ තම ආගමට හරවා ගන්නට ඔව්හු දැරූ උත්සාහය ටික කලෙකින් සඵල විය. තනිපංගලමේ ජීවත් වූ පුද්ගලයෙකු තම දේපළ සියල්ලම පල්ලියක් උදෙසා පූජා කොට ඔහුද ඒ දහමේම සරණ ගියහ.

මේ පල්ලිය වනාහි ඔබ සිතනා පල්ලියක් නොවේය. එය නිවෙසකි. නමුත් පිටතින් පැමිණෙන පූජකයෙක් එහි වැඩකටයුතු ඉරිදා දිනයන්හි කරගෙන ගියේය. දරිද්‍රතාවයේ පතුලේ සිටි අය මුදල් ලබා ගැනීමේ අරමුණින්ම සතියකට එකා දෙන්නා බැගින් මේ අලුත් පල්ලියට ගෑටුවද, ඒ අය අතර අප ගම්වාසීන් සිටියේ අතලොස්සකි.

කාලය බිදෙන් බිද ගලායන විට පල්ලියක් උදෙසා නිවෙස පූජා කල  තැනැත්තාගේ සමීපතම ඥාතීන් පිරිසක්ද මේ ආගමට හැරවීමට තරම් ඔහු කාර්යක්ෂම විය. ඒ පවුලක සිටි තරුණයකු ගහකින් පත බෑවී මිය ගියේ මේ කියන කාල සමයේදීමය. ඒ අවමගුල් උළෙලේ චාරිත්‍ර විධි අප දන්නා ඒවාට සම්පූර්ණයෙන්ම වෙනස් විය. සමීපතම ඥාතියෙකුට කදුලු සලා හැඩීම පවා තහනම් විය. සංගීත භාණ්ඩ යොදාගනිමින් දේහය නිවෙස තුල තිබියදීම සංගීතමය දේව මෙහෙ පැවැත්වීය. මේ අලුත් කාරණය ගම්වාසී අප හැමටම අලුත් අත්දැකීමකි.

ගමේ මිනිසුන්ගේ හොද හිත නිසාම කිසිවෙක් මේ අලුත් පල්ලියේ ක්‍රියාකාරකම් වලට බාධා කරන්නට ගියේ නැත. ඔවුන් දුප්පතුන් සොයායමින් තමන්ගේ ආගමට පැමිණෙනවා නම් 1998 වැනි කාල සමයකදීත් රු. 50000 වැනි මුදලක් ගෙවූහ. මුදලේ වටිනාකම නිසාම මේ අලුත් දහමේ සරණ ගිය බොහෝ පිරිසක් දුර ඈත සිට පවා ඉරිදා දිනයන්හි නිවස තුල පිහිටි පල්ලියට පැමිණෙන බව මද කාලයකින්ම නිරීක්ෂණය කල හැකි විය.

ඉන් අනතුරුව බැතිමතුන් සදහා නිවෙස තුල ඉඩකඩ මද වූයෙන් වෙනම ශාලාවක් ඉදිකර ඒ ස්ථානයේ දේව මෙහෙයන් පැවැත්වීම ආරම්භ වූයේය. බස් කොන්දොස්තර වරු පල්ලිය අසල බස්නැවතුම පල්ලියේ නමට ලියා දුන්හ. පල්ලිය ලග බහිනවානම් ඉස්සරහට එන්න යනුවෙන් ඔව්හු මොර දුන්හ.

කෙසේ හෝ කාලයක් තිස්සේ සෙමෙන් සෙමෙන් තම ගමන ගොස් අවසාන භාගයේ යෝධ බූවල්ලෙකු මෙන් ගමේ පාරම්පරික බෞද්ධයන් මෙන්ම කතෝලිකයන්ද  ගිල ගනිමින් තිබූ අලුත් පල්ලිය පිළිබද ගම්මුන්ගේ දෑස් බැද තිබූ කඩතුරා කෙමෙන් විවෘත විය. තමන් කැමති ආගමක් අදහන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඉඩ ලැබුනද මුදල් සාධකය කොට බලෙන් ආගම් වෙනස්කරවීම අනුමත කල නොහැකිය.

සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු දිවයින පුරා ඇතිවුන බෞද්ධ පුනරුදයෙන් උත්තේජනය ලැබ මහා මාර්ගයට මායිම් වන ලෙස විශාල බුදු පිළිමයක් ඉදිකිරීමට අල්ලපු ගමේ ඇත්තන් කටයුතු කලහ. ඒ ආසන්නයේම පෙර කී පල්ලියද පිහිටා තිබුනි. 

හැන්දෑවට හැන්දෑවට පිරිත් දේශනා ප්‍රචාරය වූ දවසක ශබ්ද විකාශන උපකරණ වලට හානි පමුණුවා පල්ලියේ ඇත්තන් අලුත් ගේමකට කුළුදුලේම ඇන්ටර් විය.

කාලයේ ඇවෑමෙන් පල්ලියේ 10 වෙනි සංවත්සරයත් උදා විය. ඒ සදහා ඔවුන් කරන්නට නියම කරගත් ව්‍යාපෘති කුමක් වුවත් එහි එක් අංගයක් වූයේ වෙළද හිතවතුන්ගේ දැන්වීම් වලින් යුතු සමරු පොතක් නිර්මාණය කිරීමයි. එය පල්ලියේ අරමුදලටද යහපත් දායකත්වයක් දක්වනු  ඇතැයි ඔවුන් සිතූ නිසාදෝ අහුමුළු නෑර සියලුම වෙළද සැල් වෙත දැන්වීම් එකතු කිරීම සදහා සිය නියෝජිතයන් යොමු කලහ.

ව්‍යාපාර හිමිකරුවන් මේ ආගමට අයත් නැති වුවත් ඔව්හු ගමේ පැවති සහෝදරත්වය සලකා ඒ සදහා වෙළද දැන්වීම් ලබා දුන්හ. ඒ අනුව අප පළාතේ සිල්ලර බඩු සදහා තොග කඩයක් පවත්වාගෙන යන චමින්ද අයියාද තනි පිටුවක දැන්වීමක් ලබා දී තිබුනි. 

සමරු පොත් සදහා මුදල් ලබා දෙන්නේ  ඒවා මුද්‍රණය කර බාර දුන් දවසක බව ඔබ දන්නවා යැයි සිතමි. ඒ අනුව පල්ලියේ සමරුපොතද දැන්වීම් ලබා දුන් අය අතර බෙදා දෙන දවස උදාවිය. හන්දියේ චමින්ද අයියාගේ දැන්වීමට අදාළව හාල් මිටි කීපයක් සහ වෙනත් සිල්ලර බඩු සහිත දැන්වීමක් නිර්මාණය කර තිබුනත් එහි වූ හාල් මල්ලක තිබූ අකුරු කීපයක් විශාල ගැටලුවක් නිර්මාණය කරන බව දැන්වීම් රැගෙන ආ අයටද නොසිතෙන්නට ඇත.

බෝධි සත්ව රුවක් වැනි රුවකට ඉහළින්  BOMBA යනුවෙන් එහි වූ එක් හාල් කවරයක සටහන් කර තිබුනි. ශබ්ද විකාශන උපකරණ වලට වූ හානිය නිසා කුපිත වී සිටි ගම්මුන් මේ කාරණය නිසා දැඩිව කිපුනි.

දැන්වීම තුලට එක්කර තිබුනේ මෙවැනි සහල් කවරයකි.

තමුසෙලා උවමනාවෙන්මද මෙතන බෝම්බ කියලා ගැහුවෙ...පොත භාරදෙන්නට පැමිණි  උන්ගෙන් ඒ පිළිබද තොරතුරු හාරා අවුස්සන්නට ඇතමෙකු දැරූ උත්සාහය අවසානයේ ගුටි කෙළියක් බවට පත්වී අලුත් ගැටලුවක සමාරම්භය සනිටුහන් කලේය.

ගුටි කෑ එවුන් මරු සිහියෙන් පල්ලියට ගොස් මේ බව සැළ කල විට පල්ලියේ සිට ඒ ගැන සොයන්නට පැමිණි තවත් පිරිසක්ද ආවේගශීලී කොලු කුරුට්ටන්ගෙන් බඩ කට පුරා සංග්‍රහ වින්දෝය.

මේ කාරණය පළිබද කනවැටුනු ගමේ පාරම්පරික කතෝලික පල්ලියේ පියතුමාද ඒ දැන්වීම දැක බලාගත්තේය.

මේ අපේ............ශාන්තු වරයා නොවැ. මේක සම්පූර්ණයෙන්ම අපේ ආගමට කරපු අපහාසයක්.....යනුවෙන් ප්‍රකාශ කල හෙයින් ක්‍රිස්තියානි හිතවතුන්ද කෝපාග්නිය දල්වා ගත්තෝය.

එයින් පසු මේ කෙහෙල්මල් පල්ලිය ගමෙන් ඉවත් කල යුතු බවට ජනතාව අතරින් හඩක් නැගුනත් ඒ කාරිය ඉටු කිරීමට අදාළ පල්ලියේ භාර කරුවන් කැමති නොවූයෙන් ගැටලුව තව තවත් උඩුදිව්වේය. පන්සලේ නායක හාමුදුරුවන් මෙන්ම පල්ලියේ පියතුමාද කීවේ ගමේ සමගියට මෙයින් පසු මේ පල්ලිය බාධාවක් බවයි.

බෝම්බ දැන්වීම නිසා පත්තු වූ පල්ලි විරෝධය අවසානයේ තවත් දරුණු විය. නායක හාමුදුරුවන් තම දායකයින් සමග පල්ලිය ඉදිරිපිටට වැඩම කර  සිටියේ ඉරිදා දිනයන්හිදීය. නොබෝ දිනකින්ම ඉරිදා දිනයට පියතුමාද එයට එක්වූයේ තම දායකයන් සමගය.

පල්ලිය ගම තුල පිහිටා තිබුනත් එහි වැඩි වශයෙන් ආවේ  ගියේ පිටපලාත් වල අයයි. ඉරිදා දින පූජාවට පැමිණෙන මේ පිරිස සදහා බාධා කිරීමෙන් පල්ලියේ කටයුතු අඩපණ කිරීම දෙපාර්ශවයේම අරමුණ විය.

බෞද්ධ සහ කතෝලික දෙපාර්ශවය නොකඩවා ඉරිදා දිනයන්හි පල්ලිය ඉදිරිපිට බස් නැවතුම ආවරණය කිරීමත්, ඔවුන්ගේ පිරිස් බලයේ  සංඛ්‍යාත්මක අගයත් දුටු කල සුභාරංචිකරුවන් මදින් මද නොපෙනී ගියෝය.

ලේ හැලීමකින් හෝ දේපළ හානියකින් තොරව මේ කාරිය ඉටු වීම ගැන සැනසුම් සුසුමක් හෙළීමට ඒ සදහා දායක වූ අයට හැකියාව ලැබෙන්නට ඇත.

තවත් මාස කීපයකට පසුව පල්ලිය අත් හැර පූජකයන් ඉවත්ව ගියෙන් පල්ලිය භාවිතයෙන් තොර විය.

මා දැන සිටි පරිදි මේ පල්ලියේ සිටි පූජකවරයා ෆාස්ටර් නමින් හැදින්වූ අතර ඔහු එක් දියණියකගේ පියෙක් විය. කතෝලික පූජකයන් හට විවාහ වීමට අවසරයක් නැති වුවත් මේ කියූ දහම තුල එය හැකිය.

පල්ලියේ ගැටලුව නිම වූ පසුව අපේ ගමේ බෞද්ධ කතෝලික හිතවත් කම තවත් දළු ලා වැඩුනෙන් වෙසක් සමයේ ගමේ සිදුකෙරෙන බෞද්ධ වැඩ කටයුතු සදහා කතෝලික හිතවතුන්ගේ නොමසුරු ශ්‍රම දායකත්වයත්, පල්ලියේ මංගල්ලය පැවැත්වෙන දින වලට බෞද්ධ හිතවතුන්ගේ සහභාගීත්වයත් වසරක් පාසා තවමත් ලැබේ.

ආගම් යනු මිනිසා යහපත් කරනු උදෙසාත්..ඔවුන් තුල යහපත් හික්මීමක් ඇති කිරීම උදෙසාත් නිර්මාණය වූ දෙයක් ලෙස මම පුද්ගලිකව විශ්වාස කරමි. ඉහත විස්තර කල සැබෑ සිදුවීම පිළිබද ඔබේ අදහස් කොමෙන්ටුවක් ලෙස එක්කර යම් කථිකාවක් ඇති කිරීමට මම ඔබට ඇරයුම් කරමි.


පසු සටහන

මේ කියන බෝම්බ (BOMBA) හාල් පිළිබද අන්තර්ජාලයේ සොයා යන විට හමුවූයේ කදිම විස්තරයකි. ස්පාඤ්ඤයේ ජාතික ආහාරය වන PAELLA සැකසීම පිණිස ශිත කදුකර පෙදෙස් වල වගා කරන විශේෂිත සහල් වර්ගයක නාමය BOMBA වෙයි. එය එරටේ භාවිතා වන සුපිරිම සහල් වර්ගයයි. 

මේ කියන සහල් විශේෂය ශීත දේශගුණය යටතේ ඉතා සෙමින් වැඩෙන බවත්, වල් නාශක හෝ කෘමි නාශක භාවිතය කිසිසේත් සිදු නොවන බවත්, අස්වැන්න ලබා ගැනීමට ගතවන දිගු කාලය නිසා හාල් අැටය තුල ජල සංයුතිය සාමාන්‍ය සහල් වලට වඩා 30% අඩු බවත්...ආහාර පිසින විට සාමාන්‍ය සහල් මෙන් තෙගුණයක් හොද්දේ අඩංගු දෑ සහල් ඇට මගින් උරාගන්නා බවත් එහි සදහන් වෙයි.


PAELLA භෝජනයක්
















BOMBA සහල්




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

මේ කියන ආගම බයිබල් ආගම ලෙසද හදුන්වයි. ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට මෙහි සිටින කතෝලික සොයුරන් දෙදෙනෙකු ඇමතුවෙමි. ඒ අය කියනා විදියට මෙය අන්තගාමී මතවාදයකි. දරුණු රෝගයක් ඇති කලෙකත් වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාච්ඤා කර රෝග සුව කිරීම වැනි කාරණා මේ ඇත්තන් විශ්වාස කරති. කතෝලිකයන්ද මුදල් පෙන්වා බිලී බෑමේ වෑයමක් මොවුන් තුල ඇති නිසා කතෝලික පල්ලි මේ ක්‍රියාදාමයන් පිළිබද සිය බැතිමතුන් දැනුවත් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සැළකලහ. 

මෙම වදන උච්චාරනය කරන්නේ බොම්බා ලෙසය. නැතුව බෝම්බ ලෙස නොවේය.

මා දැන් සේවය කරන මැලේසියාවේ කාර්යාල ගොඩනැගිලි තුල නිතරම දැකිය හැකි වදනකි BOMBA . ඒ තුලින් මේ අතිත කථාව මට මෙනෙහි වුවද මැලේසියාවේදී ගිණි නිවීම් දෙපාර්තමේන්තුව මේ නමින් හදුන්වයි. 

ඡායාරූප විකිපීඩියා අඩවියෙනි.


132 comments:

  1. බෞද්ධ හා කතෝලික ආගම් දෙකේම අය සහයෝගයෙන් කටයුතු කිරිමනම් අගයකල යුතු දෙයක්, මොකක්ද අයියෙ අර ආගමේ නම? 

    ReplyDelete
    Replies
    1. යොහෝවාගේ සාක්ෂිකාරයෝ කියන්නෙ ඒ අයට...ඒ අය ජේසුස් වහන්සේ හදුන්වන්නෙ යොහෝවා යන නමින්ලු...ප්‍රතිමා කිසිවක් භාවිතා කරන්නෙත් නැතිලු....

      Delete
    2. සිරා, දන්න විදිහට පොඩි නිවැරදි කිරීමක් කරන්න අවසරයි. මම දන්න විදිහට යෙහෝවාගේ සාක්ශි කරුවන් මුදල් ගෙවා තම ආගමට පිරිස් බඳවා ගන්නේ නෑ. ඔවුන් බෙහෙත් නොගෙන ඉන්නෙත් නෑ. අපේ ඔ‍ෆිස් එකේ ඒකට සම්බන්ධ කීප දෙනෙක් ඉන්න නිසා මම ඒ ගැන දැනුවත්. ඔවුන් ක‍තෝලික පල්ලිය විවේචනය කරනවා පල්ලියේ චාරිත්‍ර විදි හා ඇදහිලි ක්‍රම මගින් ජනතාව නොමග යවනවා කියමින්. මම ඔවුන්ගේ මත වාද සමඟ එකඟ නොවුනත් ඔබ කියන කරුණ වැරදි නිසා මෙහෙම කියන්න හිතුනා.


      ක‍තෝලික පල්ලියෙන් ඔය වගේ කැඩිලා ගිය කල්ලි 30000 කට වඩා මේ වෙනකොට ලෝකය පුරා ක්‍රියාත්මකයිලු. ඔවුන් ඔවුන්ටම ආවේනික ඔය වගේ එක එක චාරිත්‍ර විදි පවත්වාගෙන යනවා. සමහරු මුදල් ගැරීම උවමනාවෙන්, සමහරු ක‍තෝලික පල්ලිය එක්ක ඇති වූ එක පුද්ගලික කෝන්තර නිසා. අපි දන්න ප්‍රසිද්දම එක එංගලන්තෙ රජ්ජුරුවන්ගෙ වෙන්වීමනෙ.

      බුද්දාගමටයි, ක‍තෝලික ආගමටයි එකට සහාජීවනයෙන් පැවතීමේ කිසි ගැටලුවක් නෑ. මම ඒක මගේ පුද්ගලික අත්දැකීමෙන්ම දන්නවා.

      Delete
    3. කතෝලික මිතුරන් මට ලබා දුන් තොරතුරු අනුවයි ඒ කරුණ මා දැක්වූයේ...ඉදිරියේදී තතු දන්නා අය මේ ගැන තවත් තොරතුරු එකතු කරාවි.

      Delete
    4. ඔහොම බේත් නොබොන අය ඉන්න ආගම පෙන්තකොස්ත නෙවෙයිද?

      Delete
    5. මාත් දන්න තරමින් එයාලා පෙන්තකොස්ත.

      Delete
    6. http://www.prosieben.at/tv/galileo/videos/mein-leben-als-zeuge-jehova-clip
      this is the film in german - you can see what they do and where is the mainplace

      Delete
    7. ඩූඩ් හරි පෙන්තකොස්ත අය තමා බෙහෙත් බොන්නේ ලේ පරික්ෂා කරන්නේ නැත්තේ. අපි එක්ක කාලයක් මේ ආගමේ කෙනෙක් වැඩකළා. සියල්ල දෙවියන්ගේ කැමැත්ත කියලා ඒ අය ඉන්නවා.

      Delete
    8. පොන්තකොස්ත නෙමෙයි බොලව් ,,,,,,,,,,,,,,,,,,,,පොන්න කොස්ස

      Delete
    9. යොහෝවා යනු ස.බ. දෙයියාට කියන නමයි. ජීසස්ට නොවේ.

      Delete
    10. මේ කියන ධර්මය ගැන මගේ දැනීම ඉතාම අවමයි. මා සමග කතෝලික මිතුරන් පැවසූ දේ ඇසුරින් තමයි ඇතැම් කරුණු මා මෙහි දක්වා තියෙන්නෙ....ඒ තුල වැරදි තියෙන්න පුලුවන්...ඒ වැරදි නිවැරදි කරන්න කතෝලික දහම ගැන ඉතා පුළුල් අවබෝධයක් ඇති මිතුරන් කීප දෙනෙකුට පුද්ගලිකව ආරාධනා කලා. බලමු ඒ අය තමන්ගෙ අදහස මෙහි සටහන් කරාවි.

      Delete
    11. Senna kiyapu karana tikak hari,oba kisima deyak nodena sira liyala thiyenne hariyata kalawam mallumak wage..mokada yehowa devige shakshi karuwan sira oya hithanawata wada godak wenas.oyata mama dena web ekata gihin balanna hodata balala aye apita eyala gana niwaradiwa kiyanna.web eka thama..
      jw.org ratawal 240 wada basha 985 wada wisala sewayak karanawa.oba hodata web eka balala liyanna.pil iwalata.sthuthi sira.hodata thorathuru balala niwaradiwa liyanna ha kiyala

      Delete
  2. //ආගම් යනු මිනිසා යහපත් කරනු උදෙසාත්..ඔවුන් තුල යහපත් හික්මීමක් ඇති කිරීම උදෙසාත් නිර්මාණය වූ දෙයක් ලෙස මම පුද්ගලිකව විශ්වාස කරමි.//

    ඒත් ගොඩ දෙනෙක් ආගම අදහන්නේ භෞතික වාසි බලාගෙන.

    මම
    ඉෂාන් දික්ඕවිට

    ReplyDelete
    Replies
    1. අධ්‍යාත්මික වශයෙන් සහනයක් අවැසි කල ඒ කාරිය කරන්න මුදල් හෝ වෙනත් වස්තූන් වලට බෑ....ආගමක වටිනාකම දැනෙන්නෙ අන්න එවන් වෙලාවක. පුද්ගලයෙක් අධ්‍යාත්මික වශයෙන් දියුණු කිරීම තමයි ඕනෑම ආගමකින් විය යුතු යැයි මම විශ්වාස කරන්නෙ.

      Delete
  3. අපේ ගෙදරත් ඔය සඟරා කීපයක් තිබුනා මතකයි...අල්ලපු ගමේත් ඔය වගේ පොඩියට වැඩේ පටන් අරගෙන තිබුනා...ඒත් වැඩි කාලයක් තිබුනේ නෑ ගමේ අය විරුද්ධ වෙලා වැඩේ නවත්තලා...

    ReplyDelete
    Replies
    1. මේ අයගෙ විවිධ කල්ලි ඇති....විවිධ නම් භාවිතා කරනවාත් ඇති...නමුත් අන්‍යආගමිකයකු බව දැන දැනත් ඒ අයට තමන්ගෙ ආගමේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමත් ඉතාම අශෝභන ක්‍රියාවක් විදියටයි මම දකින්නෙ...තමන්ගෙ ආගමට ගන්න අදහසක් නැති නම් ඇයි එහෙම කරන්නෙ.

      Delete
  4. බොම්බා රයිස් නියමයි.. ඒ වගේම අර සෙන්න කිව්ව වගේ ඔය වගේ හැටහුටාහමරාක් කන්ඩායම් ඉන්නවා. නියම ලිිපියක්.. පව් ඒ උනත් අර එළවපු අය. තමන්ගේම ගෝත්‍රය නේද

    ReplyDelete
    Replies
    1. උන් ටික එලෙව්වෙ නැත්තං සාමකාමී ගම යුධ පිටියක් වෙනවා...ඔය මම කිව්ව ඒ ආගම අදහපු අයගෙ අවමගුල් වලදි කනත්තෙ කතෝලික කොටස පියතුමා ඒ අයට ලබා දුන්නෙ නෑ විරුද්ධ වුනා. බෞද්ධ අය අනුකම්පා කරලා ඒ පැත්තෙ වලලගන්න ඉඩ දුන්නා...

      Delete
  5. බයිබල් ආගමේ අය මරියතුමීව අදහන්නෙ නෑ.ජේසුතුමා විතරයි.අපේ ගෙවල් පැත්තෙ පවුලක් ඉන්නවා කලින් බෞද්ධ දැන් බයිබල් ආගමට බැඳිලා.ගෙදර ෆ්‍රිජ් එක කැඩුනම දොර ඇරගෙන යාඥා කරනවා.ඇහෙන් නොදැක්කනම් විස්වාස කරන්නතු බැරි තරම්.මහ පුදුම මිනිස්සු.වාසියට තමයි සේරම.එ ආගමට බැ‍ඳෙනකොට සල්ලි එහෙම ආධාර කරනවා මම හිතන්නෙ.කිසිම ආගමක් හරියට අදන්නැති අය තමයි ඔහොම බොළද වැඩ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ බයිබල් ආගම කියන්නෙ එහෙකට. යෙහෝවගෙ කාණ්ඩෙ වෙනම එකක්.

      Delete
    2. එහෙමද අනේ මන්දා මම දන්නෙ මරියතුමී අදහන්නෙ නැති කට්ටියක් ගැන විතරයි.නානාප්‍රකාර ඒවා තියනවනේ.අර සෙවන්ත්ඩේ කියලා එකකුත් තියනවා නේ?

      Delete
    3. ඔය ආගම් අතර වෙනස්කම් නම් මම කියන්න දන්නෙ නෑ....කතෝලික ආගමෙන් බෙදුනු විශාල ප්‍රමාණයක් කණ්ඩායම් ඉන්න බව ඔය සෙන්නා කියලා තියෙන්නෙ...

      Delete
  6. අපිනම් අළුත් කොහොමද මේ බ්ලොග් එක ෆලෝ කරන්නෙ??

    ReplyDelete
    Replies
    1. අළුත් පරණ භේදයක් නෑ...දකුණු පැත්තෙ ඉහළින්ම තියෙන Join the site බොත්තම ඔබන්න.

      Delete
  7. සල්ලි දීලා බලෙන් ගන්නෙ නෑනෙ.. නැති බැරිකමට දෙන සල්ලි අරගෙන කැමැත්තෙන්මනෙ යන්නෙ..අනික මොන දේ උනත් තමන් අදහන දර්මය සම්පූර්නයෙන් විශ්වාස කරන එකෙක් ඔවට යන්නෙ නෑ එහෙම ගියත් ඒක ඒ මිනිහගෙ අයිතිවාසිකමක් මමනම් දකින්නෙ නෑ ඒකෙ වැරද්දකුත්.....

    මටත් බැනපල්ලා ඒත් මට හිතෙන දේ මම කිව්වා

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි මචෝ...මිනිස්සු ආගමක් අදහන්නෙ සමාජයේ හොද මිනිසුන් ලෙස ජීවත් වෙන්න. ආගමික නායකයන්ට අවශ්‍ය කරන්නෙත් ඒ දේ...හොද මිනිසුන් වැඩි වන තරමට රටක නරක දේ අඩු වෙනවා. සල්ලි වලට හැමෝම තමන්ගෙ ආගම් වෙනස් කරලා ආගම කියන දේ මුදල් මතින් මනින්න ගියොත් මේ අරමුණු ඉටු වෙන්නෙ නෑ....වනචාරී යුගයට තමයි නැවතත් යන්න වෙන්නෙ.

      Delete
    2. ඒ කතාව හරියට හරි

      Delete
  8. ඔතන තේරුම් ගත යුතු ප්‍රධානම දේ මේ ක්‍රිස්තියානින් නොවන බවත් ඒ වගේම මේ අන්තවාදීන් නිසා බෞද්ධයන් වන අපට වගේම හෝ ඊටත් වඩා ධනාත්මක බලපෑමක් ඇතිවන්නෙ කිතුනුවන්ට බව.

    ඒවගේම සිරා අයියෙ ඔය මුදල් දී ආගමට හරව ගන්නවා කියන තැනදි මම නම් ඉන්නෙ මේ වගේ මතයක. ඔය කියන විදියට මුදල් හෝ වෙනයම් හෝ වාසියක් තකා තම ආගම වෙනස් කරන්නා තම මුල් ආගම හෝ දර්ශණය පිලිබඳ පැහැදිලි, හොද අවබෝධයක් නොමැති අයෙක්. නිකම්ම තම පරම්පරාවෙන් ලැබුන ආගම ඔහේ අදහන්නන් වාලෙ අදහපු අයෙක්. දැන් 50000ක් දුන්නම ආගම වෙනස් කරපු එකා තව අන්තවාදියෙක් ඇවිත් 75000ක් දික් කරපු ගමන් ඒ ආගමත් වෙනස් කරනවාමයි.

    එහෙම එකේ ඔහොම ඉන්නන් වාලෙ ඉන්න දාහකට වඩා නියමාකාරව දහම තේරුම් ගත් එක් අයෙක් වටිනවා. (මෙය මගේ මතය පමණයි) මමනම් කියන්නෙ 50000ක් දුන්නම මොකෙක් හරි ආගම දාලා යනවානම් අපිත් තව 10000ක් දෙමු යන්න කියලා. මොකදඒ වගේ මඩේ හිටවපු ඉනි නිසා දහමක් දියුණු කරන්න බෑ. දහම නිසි ආකරව විශ්වාසයකින් යුතුව තේරුම් ගත් එක් අයෙක් හිටියත් දහම පවතීවි.


    තවත් දෙ‍යක් තියෙනවා. වර්ථමානයේ සාම්ප්‍රධායික ආගම් හා දර්ශණයන් විශාල ලෙස සාමාන්‍ය ජනයා අතර ජන'අ'ප්‍රිය බාවයට පත් කරමින් සිටිනවා. ඒ ඒ ආගම්, දහම් වල පූජ්‍ය පක්ෂය විසින්ම. ඒවයෙනුත් වෙන්නෙ සාමාන්‍ය ජනයා අතර ඇති යම් පුද්ගල ප්‍රමාණයක් අර අන්තවාදීන් විසින් බිලිබා ගැනීමයි.

    කොහොම උනත් ඔය අන්තවාදී කණ්ඩායම් වල ගෑණු උදවිය පවා අල්ලගෙන ගහලා පාරවල් දිගේ ඇදන් ගිහින් විකාර නොක‍ර ඔයාලගෙ ගමේ උදවිය ක්‍රියා කරපු ආකාරය අගය කරමි.

    සමඟිය බලය වේ!!

    ReplyDelete
    Replies
    1. ඉහලම ඇති ධනාත්මක. යන වදන රිනාත්මක ලෙස වෙනස් විය යුතුය.

      Delete
    2. ඔය ජන'අ'ප්‍රිය කතාව කියන්න මූලිකම හේතුවත් පැහැදිලි කරලම යන්නම්.

      මීට මාස දෙකකට විතර කලින් මගේ පාසල් වියෙ හොදම මිතුරෙකුගෙ පියා මිය ගියා අපේ ගමේම හෘදයාබාධයකින්.

      මාගේ මිතුරා පවුලේ එකම දරුවා වන අතර එදින ඔහුගේ මවද කිසිවක් සිතා ගත නොහැකිව සිහිමඳ ගතියෙන් සිටි නිසා අදාල මිතුරාත් මාත් අපේ තව මිතුර හතර පස් දෙනකුත් මරණය ගැන දැනුම් දීමට පංසලට ගියා (එය අප සියළු දෙනා දහම් පාසල් පවා ගිය විහාරය) සැබැවින්ම තම පියාගේ මරණයෙන් කම්පාවට පත්ව සිටි පුතුගෙන් නායක් හිමියන් එක් වරම අහපු ප්‍රශ්ණ ටික නිසා තව ටිකෙන් මිත්‍රයා අවසානයේ ගමේ පංසලෙන් එක් නමක් වත් වඩම්මන් නැතිව පිට විහාර වලින් වඩම්මා පාංශකූලයත්, හත්දින පිංකමුත් කල අතර තෙමස් පිංකම් වලටද එය එසේම සිදුකෙරේ.

      දැන් එතනම බලන්න. ඔහු නිසා විහාරෙන් පමණක් ඈත් වී වෙන විහාරස්තානයක් ඇසුරුකලාට තවත් වෙන අයෙක්ට මේ සිදුවීම වූ හැටියෙ බුදු දහම ගැනම කළකිරුනොත් එයින් ප්‍රයෝජන ගන්නෙ අන්තවාදින්.

      Delete
    3. මොනවාද ඒ ඇසූ ප්‍රශ්න?

      Delete
    4. තම පියා මිය ගිය තරුණ‍යෙකුගෙන් ඔහුගේ මානසික තත්වය තේරුම් නොගෙන ඇසිය යුතු ප්‍රශ්ණ දෙක තුනක්ම ඇහුවා. එකක් නම් "උඹේ තාත්තා මැරුණා කියලා දැන් මම මක් කරන්නද කියන්නෙ"නිකමට හිතලා බලන්න මේ වගේදෙයක් ඒ වගේ වෙලාවක ඇහුවොත් මානසික තත්වය. (ඔය එක් ප්‍රශ්ණ‍යක් පමණයි)

      Delete
    5. දීර්ඝව කරුණු දැක්වූවාට ස්තූතියි ප්‍රියා...ඔබ කියන කාරණය එක්ක මම එකගයි...අද 50000 ට ආගම මාරු කරන එකා අනිත් දවසෙ ඊට වඩා ගානකට ඒ වැඩේ කරාවි. අන්තිමට ආගම ආදායම් මාර්ගයක් වෙලා...

      වර්තමානයේ ප්‍රධාන ආගම් වලට තියෙන ලොකුම අභියෝගය තමයි පූජක පක්ෂය ඒ ඒ ආගමේ හර පද්ධතීන් වලට අනුගත නොවීම. දුස්සීල පැවිදිදෙකුගෙන් බණ අහනවා නම් ඒ අහන පාර්ශවය දකින්නෙ ඒ පැවිද්දාගේ ක්‍රියාකලාපය ඒ තුලින් ධර්මය කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න බෑ කියන එකයි මගේ අදහස. නමුත් බොහෝ දෙනා පැවිද්දාගෙන් සමස්ත ධර්මයම මනින්න යනවා...එතනයි වැරැද්ද.

      Delete
    6. //නමුත් බොහෝ දෙනා පැවැද්දාගෙන් සමස්ත ධර්මයම මනින්න යනවා…//

      සම්පූර්ණ එකඟයි සිරා අයියෙ. ඔතන තමා ප්‍රශ්ණෙ මුල තියෙන්නෙ. මම නම් හිතන්නෙ අපේ දහම විනාශ කරගන්නෙ අපිමයි.

      මම කොහෙ හරි දැක්කා "ඔහුන් දහම වෙනුන්වෙන් තර්ක කරාවි, එයින් දිනාවි, දහම රකීවී, මිනී මරාවි මරාගෙන මැරේවි. නොකරන එකම දෙය දහම අනුව දිවි ගෙවීම පමණකි." මේක ඕනම දහමකට අදාලයි.

      ස්තූතියි.

      Delete
  9. ඔය කියන සැට් එකේ අය ඉස්සර අපේ ගෙදරටත් ආව..අර මුර ටැඹ සහ පිබිදෙව් කියල සාගර වගයකුත් දීල යනවා. එත් උන්ගේ අවාසනාවට අපේ තාත්ත කතෝලික ආගම ගැන හොඳට හාදාරපු කෙනෙක්. තාත්ත අවුරුදු දහයක විතර කාලයක් කාලයක් මීගමුව කලාපයේ කතෝලික ධර්මය පිලිබඳ ගුරු උපදේශක ලෙස වැඩ කළා. මේ යෙහොවා සැට් එක දෙසාබාන බොරු බේගල තර්ක සේරම තාත්ත එකින් එක පිළිවෙලට උන් ඉස්සරහම බිඳලා කුඩු පට්ටම් කරලා දානවා. අන්තිමේදී උන්ට කට උත්තර නැති වෙනවා.උන්ට ඇත්ත ආගම උගන්නනවා. මට මතක විදියට දෙපාරක් විතර තමා උන් අපේ ගෙදර ආවේ. ඊට පස්සේ අපේ පාරෙන්වත් ගියේ නෑ. ඔන්න ඔහොමයි උනේ..

    ReplyDelete
    Replies
    1. කතෝලික අය විදියට ඕගොල්ලම කියනවා නම් මේ යොහෝවා කියන කණ්ඩායම දෙසන්නේ බේගල් කියලා ඒ අයගෙ ක්‍රියාකාරීත්වය ප්‍රශ්ණකාරියි කියන කාරණය එතැනින්ම තහවුරු වෙනවා. මොකද ධර්මය විකෘති කිරීමත් විශාල වරදක්...

      Delete
    2. ඔබ කොහොමද ඔවුන්ගෙ අර්ථකතන වැරදියි කියන්නෙ.

      Delete
    3. මෙයට පිළිතුර මාගෙන් නොව ෂෙහාන් සේනාධීරගෙන් තමයි යකා අහන්න ඇත්තෙ.

      Delete
  10. කිතුනු සභාව බිඳවැටුනේ යුරෝපයේ ඇති වුන පුනරුද සමයේ.1453 කාලේ.ඊට පස්සේ ආගම් රාශියක් ඇති වුනා.අපේ රට යටත් කරන් හිටපු ලන්දේසීන්ගේ ආගම වුන රෙපරමාදුත් ඔය වගේ එකක්.ඒ බොහොමයකම ශාස්තෘවරයා යේසුස් වහන්සේ.

    පන්සලත් කතෝලික පූජකයන් අතරත් සබඳතාවයටත් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.මිෂනාරීන් මුලින් රැස්වීම් පවත්වලා තියෙන්නේ පන්සලේ.

    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. //..කිතුනු සභාව බිඳවැටුනේ යුරෝපයේ ඇති වුන පුනරුද සමයේ.1453 කාලේ.ඊට පස්සේ ආගම් රාශියක් ඇති වුනා.....//

      මේක සිද්ධ වෙන්නේ ජර්මනියේ මාර්ටින් ලූතර් විසින් 1517 දී රෝමානු කතෝලික සභාවේ කරුණු විවේචනය කරලා විටන්බර්ග් සියලු ශාන්තුවරුන්දේ දේවස්ථාන දොරටුවේ කරුණු 95 කින් යුක්ත ලියවිල්ලක් අලවන එකෙන්. මේ ක්‍රියාමාර්ගයේ අවසන් ප්‍රතිඵලය 1555 දී ඕගස්බර්ග් සම්මේලනයෙන් යුරෝපය පුරා කතෝලික සබාවට තිබ්බ බලය බිඳ වැටිලා කිසියම් රටක ආගම තීරණය කිරීමේ බලය ඒ රටේ පාලකයාට හිමි කර දීම.

      //.අපේ රට යටත් කරන් හිටපු ලන්දේසීන්ගේ ආගම වුන රෙපරමාදුත් ඔය වගේ එකක්.ඒ බොහොමයකම ශාස්තෘවරයා යේසුස් වහන්සේ...//

      ශාස්තෲවරයා ජේසුතුමා කියනවාට වඩා ලොකු දෙයක් මෙතන තියෙනවා. දෙවියන් වහන්සේව සෑම කණ්ඩායමක්ම පිළිගන්නවා. නමුත් වෙනසකට තියෙන්නේ ශාන්තුවරු නොපිළිගැනීම. බයිබලය පමණක් පිළිගැනීම වගේ කරුණු

      //..පන්සලත් කතෝලික පූජකයන් අතරත් සබඳතාවයටත් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.මිෂනාරීන් මුලින් රැස්වීම් පවත්වලා තියෙන්නේ පන්සලේ....//

      මේක නම් හරි විවාදාත්මක කරුණක්. මෙහෙම දෙයක් වුණා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒත් පන්සල් එක්ක සමීප ඇසුරක් පවත්වමින් පාලි ආදි විෂයයන් ඉගෙන ගත්තු කිතුණු පූජකවරුන් ගැන නම් අහලා තියෙනවා

      Delete
    2. සදුන් ගෙන හැර පෑ තොරතුරු වලට කාලෙකට පස්සෙ හසිත මලයා මේ පැත්තට පැමිණ පිළිතුරුක් දී ඇති අන්දම දැක්කම බොහොම සතුටුයි. මේ කියන කාරණා ගැන මගේ දැනුමක් නැති නිසා...මම නිහඩවම සිටිමි. දැනුම ඇති අය තව දුරටත් සංවාදයේ යෙදීම යෙහෙකි.

      Delete
  11. අපේ ගේ ඉස්සරහත් ඔයින් එකක් තියෙනව . හැම ඉරිදාම සෙනග එනවා . වත්ත පිටිය සුද්ද කරනවා . ඇතුලේ පුජා පවත්වනවා ඇති. පිටින් තමයි සෙනග එන්නේ . නත්තල් දාට ඔවුන් පල්ලිය සුද්ද කරනවා. දන්නා විදිහට ජේසුස් වහන්සේ පිළිගන්නේ නැහැ . පියා පමණයි අදහන්නේ

    ReplyDelete
    Replies
    1. මමත් ඡාලයේ හොයලා බලපු විදියට විකල්ප කණ්ඩායම් ජේසුස් වහන්සේගේ පියානන් තමයි තමන්ගෙ සාස්තෘ වරයා විදියට පිළිගන්නෙ...

      Delete
  12. වෙනත් ආගම් ගැන ලොකු න්‍යායික අවබෝධයක් නෑ. හැබැයි ආගමික සහජීවනය හොඳ යි කියන එක යි මගෙත් අදහස.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි දිලිනි. ආගම් අතර සහජීවනය ඉතා වැදගත්...මොකද ආගම් කියන්නෙ දශක ගනන් දිගට ඇදී ගියට මූල බීජය සපයපු සාධකයක්....

      Delete
  13. ඔය යෙහෝවාගෙ සාක්කිකාරයෝ අපේ පැත්තෙත් ගැවසෙනව. ඔන්න එක දවසක් කට්ටිය අපේ මහප්පලාගෙ ගෙදර ආව, එදා අපිත් හිටියෙ එහෙ.

    යෙහෝවා පොර : දෙවියන් වහන්සේ අපේ පියාණන්
    චූටි අයියා : හෑ?
    යෙහෝවා පොර : උන්වහන්සේ අපි හැමෝගෙම පියාණන්
    චූටි අයියා : අඩෝ මේ %^#& නැතුව පලයව්. අපේ පියාණන් දයාරත්න ප්‍රනාන්දු හරිද!

    එදානම් කට්ටිය උන්ව හොඳටම චාටර් කරල යැවුවෙ.

    ReplyDelete
    Replies
    1. //අඩෝ මේ %^#& නැතුව පලයව්. අපේ පියාණන් දයාරත්න ප්‍රනාන්දු හරිද!//

      :D :D

      Delete
    2. එතකොට අර විට්ටර් අංකල් කියන්නේ තුන් සිංහලයම නෑදෑයෝ කියලා, ඒ බොරුවක්ද?

      Delete
    3. බොලාගෙ කථාව කියවලා දවසේ විඩාවත් නැති වුනා බස්සියේ...කදිම විහිලුවක් නොවැ ඒක....ආපු උන්ට කට උත්තර නැතුව යන්න ඇති.

      විට්ටර් අංකල් කියපු කථාව එහෙම නම් ජාතීන් අතර පුදුමාකාර සුහදතාවකින් මේ වෙද්දි සිරිලංකාව බැබලෙන්න ඕනෙ කකා....

      Delete
  14. මේ තියෙන්නෙ අපේ ගෙදරට ආව යොහෝවාගේ සක්ෂිකරුවෝ ගැන මම ලියපු බ්ලොග් සටහනක්.

    http://charithsriyan.blogspot.com/2013/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ලින්කුවට ස්තූතියි...එයත් නිවාඩු පාඩුවේ කියවා බලන්නම්...

      Delete
  15. සහෝ විසින් සත් ගුණවත් සිරා කොල්ලා වෙත ලියමි ඔබ කාලයක් ඇසුරු කොට ඇති පුද්ගලයෙක් ලෙස ඔබ මැද මාවතක සිට මේම පොස්ටුව ලිවීම පිළිබදව පළමුව‍ මා ඔබට ස්තූති වන්ත වෙමි ....එයට හේතුව නම් මමද කතෝලිකයකු වන බැවිණි ....ඔබ කියු බොහෝ කරුණු සාධාරණය වුවද සමහර අසාධාරණ තැන්ද මා දකිමි එය මා දකින්නේ රචකයාගේ අයිතියක් ලෙසය ඔබ කියන සුභාරංචි කරුවන් මුදලට යම් යම් දේ කිරීම කතෝලිකයකු වශයෙන් මා ද අනුමත නොකරමි. නමුත් ඔවුන්ගේ දහම තුළ අන් ආගම් උකහා ගැනිය යුතු දේ මා දකිමි එකමුතු කම, චාම් බව අන් අයට උදව් කිරීම වැනි කාරණා තුළදී ඔවුන් ඉදිරියෙන් සිටි මම මේ පොස්ටුව තුළ අන්තවාදී බවක් දකී සෑම විටම අප තුළ ඇති වැරදී සාදා නොගෙන කිසිදු ආඟමකට සාර්ථක විය නොහැකි යන්න මගේ අදහසයි එකිනෙකාට ඇගිල්ල දික් කර ගැනීමෙන් අපි කරන්නේ අපගේ වල හාරා ගිනීමයි ..‍

    ReplyDelete
    Replies
    1. මගේ සහෝදරයා උඹ මගේ බ්ලොග් එකට කමෙන්ටුවක් එක් කලාමද කොහෙද...ඉස්සර අපි එකට වැඩ කරපු කාලෙ අපි ආගමික දේවල් කියලා උඹව කොච්චර නම් තරහා ගස්සනවද ? උඹේ අතිජාත මිත්තරයයි මමයි තමයි ඒ කටයුත්ත වැඩිපුර කලේ...මම එදා වගේම අදත් දකින්නෙ උඹ කතෝලික දහමේ හරය ඉතා හොදින් වටහා ගත්ත හොද බැතිමතෙක් හැටියට...උඹේ හිතේ උඹේ ආගම ගැන තියෙන භක්තිය ගෞරවය මට අමුතුවෙන් වටහාදෙන්න අවශ්‍ය නෑ මිත්තරයා...මම ඒ දේ හොදට දන්නවා.. ජය !

      Delete
  16. සිරා අයියේ ඇත්තම කීවොත් මගේ හොඳම යහලුවන්නේ කිහිප දෙනෙක්ම කතෝලික. ආගම වෙනස් වුනාට එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයො වගේ තමා ආශ්‍රය කරන්නෙ. සිරා අයිය කිවත් වගේ ආගම තියෙන්නෙ යහපත් මිනිසුන් ඇති කිරීම සඳහායි. තව ඔව යොහොවාගේ සාක්ෂිකාරයො ඉස්පිරිතාලෙකට ගියත් එතන මලම ඇණයක් වෙනවග මොකද මේ අය රුධිර පාර වියලනයට විරුද්දයි. ඒක නිසා වෛද්‍යවරයාට නිසි ලෙස රෝගයකට පිලියම් කිරීමේදීත් සෑහෙන ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. යොහෝවා කණ්ඩායම ගැන මම වැඩි විස්තර දන්නෙ නෑ මලයො...ඒ නිසා කිසිත් නොකියමි. මටත් හොද මිතුරන් ඉන්නවා කතෝලික ආගම අදහන.. මේ ආගම් දෙකේ මූලික කාරණා වල යම් වෙනසක් තිබුනත් ඒ දෙකෙන්ම හොද මිනිහෙක් හදන්නයි පාර පෙන්වන්නෙ.

      Delete
  17. මේ ලිපිය මම කලින් කියෙව්වා.දෙවැනි පාර කියවන කොට කොමෙන්ට් එහෙම කියවන කොට මටත් හිතුනා යමක් කියන්න.ඇත්තෙන්ම මේ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට තමන්ගෙ මතය කියන්න අවසර දෙන්න ඕන.ඔය සල්ලි දෙන කතාව නම් මට එච්චර විශ්වාස නෑ.ඒක සිරාට කවුරුහරි කියපු එකක් වෙන්නත් පුළුවන්.බෞද්ධ ,කතෝලික වගෙ ආගම් වුනත් ඔය විදියට ප්‍රචාරය කරපුව තමයි.මුල් යුගයෙ කතෝලිකයන්ට රෝම පාලකයන්ගෙන් දැඩි විරෝධතා එල්ල වුනා.ඒ තරමටම නැතත් බෞද්ධන්ටත් එහෙමයි.තමන්ගෙ ආගම හරියට අදහන කෙනා වෙන ආගමකට යන්නෙ නෑ.තමන්ගෙ ආග්ම හරි අනෙක් ඒව වැරදි කියන මතය නම් එච්චර හරි මදි.ඔය හැම ආගමක්ම විශ්වාසය මත පදනම් වන ඒව මිසක කිසිම කෙනෙක් පර්යේශන කරල වැළද ගත්ත ඒව නොවෙයි.දෙමවුපියො පොඩිකාලෙ ඔළුවට දාපුව.ඔච්චරයි කතාව.

    ReplyDelete
    Replies
    1. සාම්ප්‍රදායික රෝමන්/ග්‍රීක දෙවි වරුන්ට එරෙහිව රෝමානු ක‍තෝලික ආගම දේශනා කරන්න මුල් කාලයේ එහි ආරම්භකයන් කටයුතු කරපු ආකාරය, ඔවුන්ට මුහුණ දෙන්න වුන කරදර පිළිබඳ අපූරු සටහනක් තියනවා "විසූවියස් විදාරණය හෙවත් පොම්පෙයි නගරයේ අවසානය" - පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ - කියන පොතේ.

      Delete
    2. සල්ලි දෙන කථාව කවුරුවත් කියපු දෙයක් නොවෙයි යකෝ...මම කියපු පල්ලියෙ හිටිය ෆාස්ටර්ගෙ බිරිද මගේ මවගෙ මිතුරියක්...ඇය සෑහෙන කාලයක් අපේ ගෙදර බඩ ගෑවා අපේ පවුල ඒ ආගමට ගන්න....මුදල් ගැන කථා බහ ඇතිවෙලා තිබුනේ එවන් විටෙක.

      තමන්ගෙ ආගම ගැන කියන්න ඇයි වෙනත් ආගමක් අදහන කෙනෙක් ලගට යන්නෙ ඔවුන්ගේ ආරාධනාවකින් තොරවම...ඒ කාර්යය ඉතාම වැරදියි. තමන්ගෙ ආගමට අලුතින් පිරිස් බදවා ගන්න නොවේ නම් මොකක්ද ඒ කාර්යයේ අර්ථය...ගිණි මද්දහනෙ දාඩිය පෙරාගෙන ගෙයක් ගෙයක් ගානෙ යන්නෙ, ඒ නිවෙස් වල ජීවත් වෙන් ඇත්තන් ගැන ඉපදුන හැබෑම සෙනෙහසකින් කියලද ඔබ අදහස් කරන්නෙ....මගේ ආගම හොදයි කියලා මම මේ ලිිපියෙ කිසිම තැනක කියලා නෑ...අපිට වඩා සෑහෙන මානසික දියුණුවක් ලැබූ ශාස්තෘ වහන්සේ කෙනෙකු විවේචනයට මම තරම් නොවෙමි කියලයි කියන්න වෙන්නෙ.

      Delete
    3. //සල්ලි දෙන කතාව නම් මට එච්චර විශ්වාස නෑ.ඒක සිරාට කවුරුහරි කියපු එකක් වෙන්නත් පුළුවන්.//
      යකෝ ඔයා ඉගෙනගන්න ගියා කිවුව නේද ඔය ආගම්? අනේ මන්ද! :3

      Delete
  18. ඔය පොඩි බෝපැල පන්සල් වෙන, සුරුවම් අන්තිමේ පල්ලි වෙන එක ඉතින් කවදත් තිබ්බ. ඒ ඒ අයට ඒ ඒ ආගම්. නානත්ත කායා... නානත්ත සංඥා...

    ඔය පර්වතය මත සභාව, පෙන්තකොස්ත, යෙහෝවගෙ ටීම් වගේ ඒවගෙ ලස්සන කෙල්ලො හැන්ඩි කොල්ලො තමයි ගෙවල් ගානෙ යවන්නෙ. ඒ හින්ද උන් එනවට ඒ කාලෙ මාත් ආසයි.

    බෝම්බ හාල් ගැන අහුවෙත් අදයි!

    ReplyDelete
    Replies
    1. ඔය ගෙවල් ගානෙ යන අයවත් ඇයි මං මේ කාර්යයේ නිරත වෙන්නෙ කියන දේ දන්නෙ නෑ...ඔවුන්ගේ ස්වාධීන චින්තන ශක්තිය මොට කරලා මනස විකෘති කරලා තියෙන්නෙ...ඔවුන්ට හොද නරක ස්වාධීනව හිතන්න හැකියාවක් නෑ.

      Delete
  19. යෙහෝවගෙ සාක්ෂිකරුවන් යනු පුද්ගලිකත්වය අහිමිකළ පිරිසක්.ඒ අයගෙ මුළු ජීවිතයම ආගමික සංවිධානය විසින් පාලනය කරනවා.ඒක හරි අමුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒ කථාවට මම එකගයි. මොකද මේ අයගෙ ජීවිතයම ආගම ගැන කිය කියා ඉන්න එක. අපේ නිවෙසට එන යන අපේ මවගෙ තවත් හිතවතියක් හිටියා...ඇය උත්සාහ කරලා ලබා ගන්නා සෑම ජයග්‍රහණයක්ම නොපෙනෙන දෙවියෙකු වෙත තමයි හැමදාම පැවරුවේ...වචන 10 ක් කථාකලොත් ඒ අතරින් 6 ක් 7ක් දෙවියොම තමා...

      Delete
  20. කිසිදු ආගමකින් වෙනත් ආගමකට කපටිකමින්, රැවටීමෙන්, තෑගිබෝග දීමෙන්, හරවාගන්න උත්සාහ කිරීම වරදක්. එමෙන්ම එවැනි උත්සාහ ගන්නේ හරයක් නැති බොරු මිත්‍යාමතධාරී ගරාවැටෙන ආගම් කල්ලි විසින්. යොහොවා පිරිසක් දැනට අවුරුද්දකට පමණ පෙර අපේ ගෙදරට ආවා. මම කිව්වා තමුන්නාන්සේලාගෙන් ගෙන් කෙනෙක්, මේ දැන්, මට සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නුවොත් චතුරාර්ය සත්‍යය බොරුයි කියලා, මම අදම තමුන්නාන්සේලාගේ ආගම වැළඳගන්නවා කියලා. අනේ උන්නැහේලා කතා නොකරම යන්න ගියා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ මතයේම තමයි මමත් ඉන්නෙ...බටහිර රටවල් වලින් මෙරට රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබෙන ඩොලර් වියදම් කරලා උන්ට ගැති පිරිසක් මෙහෙ හදාගන්න එක තමයි මෙවැනි ව්‍යාපෘති වල අවසාන අරමුණ...ඒ සදහා පොට පාදගන්නෙ හැමෝම කරනවා වගේ දුප්පත් කමට සහන සලසලා..

      Delete
  21. පොඩි කාලේ අපේ ගෙවල් වලටත් ආවා.. අම්මයි ආච්චියි, අපි බෞද්ධ කියලා මග ඇරියට, මම එයාලගේ පන්ති වලටත් ගියා, පොත පත අරවා මේවා තෑගී වලට හම්බ උනා. පස්සෙ කාලේක එන්නේ නැතිවම ගියා. ඒත් ඒ පාර ගැලවීමේ හමුදාවේ ඒවා නම් දිගටම ආවා.. ඒත් මම උන්ගෙන් හැමදාම ඇහුවා දැන් ඔය සුභ ආරංචිය අරගෙන එයා කවදද එන්නේ කියලා.

    ඊට පස්සේ මෑත කාලෙකත් ආවා.. මම කිව්වා, සුභ ආරංචිය අරගෙන එන එක්කෙනා ආවට පස්සේ එන්න කියලා..

    ගාළු පාරේ, දෙහිවල හරිඅයේ තාප්පෙක, ළොකු අකුරෙන් ගහලා තියෙනවා, ළඟදීම එනවා කියලා.. දැන් ගහලා ගොඩා................ක් කල්.. ඒත් තාම ආවේ නම් නෑ.. කවදාවත් එන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ගැලවීමේ හමුදාව කියන්නෙත් ඒ අයටම සම්බන්ධ පිරිසක්ද....අපේ ෆොනී ගැලවීමේ හමුදාවටවත් ගැලපෙන්නෙ නෑ කියලයි ලක්ෂ්මන් කිරිඇල්ල කියන බුද්ධිමතා ඉස්සෙල්ලාම කිව්වෙ.

      ඔය කියන පිරිස සහ බාලගිරි දෝෂය එකම සැට් එකක් වෙන්න ඇති. හැමදාම අද නෙමෙයි හෙට....

      Delete
    2. ලන්කාවෙ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයක් බිහිවෙන දවසට පස්සෙන්ද එයා එනව.

      Delete
  22. මේ ආකාරයටම බුද්ධ දර්ශනය තුලත් කල්ලි ඇති වෙන දවසක වැඩි ඈතක නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. දැනටම කල්ලි වාදය ඇරඹිලා තියෙන්නෙ...ඒ අය තමයි දැන් කලු සිවුරු අරවා මේවා ශාසනේට අලුත් දේ එකතු කරන්නෙ..සමහරු අවුරුදු 3 න් රහත් කරන කෝස් එහෙමත් පටන් අරන්...

      Delete
  23. ඕන ආගමක් අදහන්න දර්ශනයක් පිලිපදින්න මිනිස්සුන්ට නිදහස තියන්න ඕන. මුදල් දීල හෝ වෙනත් දේවල් දීල මනුස්සයෙක් ගෙ ඒ නිදහස කොල්ල කන්නෙ නැතුව. එක් එක් ආගම් වලින් කැඩෙන කොටස් තමයි බොහෝ විට ඔය වගේ ප්‍රශ්න ඇති කරන්නෙ. ඒ ප්‍රශ්නය බරපතල වෙන්න කලින් විසඳ ගත්තු එක ලොකු දෙයක්. එතනදි සැබෑ කිතුනු අය ඇත්ත තත්වය තේරුම් ගත්ත එක අගය කරන්න ඕන දෙයක්.
    ඇත්තටම විවිධ ආගම් අදහන අය එකිනෙකාගෙ නිදහසට ගරු කරමින් එකට සමගියෙන් ඉන්න එක කොච්චර සුන්දර දෙයක් ද..

    බෙහෙත් පෝර දාන්නෙ වී වර්ගයක් ඉස්සර තිබුන අපේ පොඩි ලියදි කෑල්ලකත් දාල. ඒවත් පැහෙන්න වැඩි කාලයක් යනව.

    ReplyDelete
    Replies
    1. ආගම කියන දේ මුදල් මතින් තීරණය කරන්න යාම ඉතාම නරකයි...ඒ සදහා අනුබල දීමත් හොද නෑ කියලයි මගේ අදහස...හැමෝම සල්ලි වලට තමන්ගෙ ආගම වෙනස් කලොත්...ඒ වැඩේ කරන අයගේ උපදෙස් අනුව මොළ සේදීමකට ලක් වුවොත් ලංකාවට ලොකු විනාශයක් කරන්න පුලුවන් මේ පිරිස් හරහා අපි මේ ගැටලුව සුළුවෙන් හිතුවට...

      පැරණි සිංහල වී වර්ග අස්වැන්න ලබා දෙන්න සෑහෙන කාලයක් ගත්ත බවක් තමයි මමත් අහලා තියෙන්නෙ...දැන් වගා කරන්නෙ පසු කාලීනව අලුතෙන් බිහි කරගත්ත ඒවා නොවැ....

      Delete
  24. Replies
    1. තිස්ස දොඩංගොඩ ද? කාලෙකිං දැක්කෙ නෑ තමයි. :D

      Delete
    2. නෑ නෑ කකා මේ කියන්නෙ තිස්ස අත්තනායක ගැන...මේ දවස් වල එජාපය ප්‍රතිසංවිධානය කරනවා...පළාත් සභා ඡන්දයට රැස්වීම් වල කථා පවත්වන්න පෙරහුරු වල යෙදෙනවා...

      Delete
  25. ඔය සුභ ආරංචි කියන අය මෙහෙත් හිටි ගමන් ගෙවල් ගානේ යනවා.. ඒ හුගක් අය එන්නේ හැබැයි එංගලන්තෙන්.. මෙහේ මිනිස්සුත් හුඟක් වෙලාවට ඒ කියන කතා අහන්න සූදානම් නෑ.. මඟ අරිනවා.. බෝම්බ හාල් ගැන නම් ඇහුවෙත් අදමයි.. කෝම වුනත් හැමෝගෙම සහයෝගෙන් ප්‍රශ්ණේ විසදගන්න ලැබුන එකම ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් මලයො මේ හාල් වර්ගය හොයාගෙන ෆොටෝවක් දෙකක් ගහලා අලුත් කෑමක් එහෙම හදලා අපිත් එක්ක රස බෙදාගන්න. මම මැලේසියාවෙදි මෙවැනි හාල් වර්ගයක් දැක්කා...බොම්බා කියලා ඒවට කියන්නෙ කියලා දන්නෙ මේ ලිපිය ලියන්න තොරතුරු හොයද්දි...සාමාන්‍ය සහල් වලට වඩා හාල් ඇටය මේ වර්ගයේ තරමක් විශාලයි.

      තමන්ට අවශ්‍ය නැති දෙයක් අහගෙන ඉන්න මිනිස්සු කැමති නෑ...ඒකෙ ලෝකෙ කොහෙත් එකයි....

      Delete
  26. ‘Jehovah's Witnesses’ මෙහෙත් ඉන්නවා. මම නම් එයාලා ගේන පුංචි පොත්වලට කීයක් හරි දීලා යවනවා. එන්නේ ලස්සණට ඇඳගෙන. බොහොම ලස්සණ තරුණ අය තමා ආගම ප්‍රචාරය කරන්නේ. එයාලා තමන්ගේ ලෙඩ්ඩුන්ට අනුන්ගේ ලේ දෙන්නේ නෑ කියලා අහලා තියෙනවා. හැබැයි ඔය විදියට බලෙන් ආගම පතුරනවා කියලා දන්නේ නෑ. පේන විදියට නම් නෑ.

    මොනා ඇදහුවත් හැමෝම මිනිස්සු. තමන්ට පිහිටක් ලැබෙනවා නම් සමහරු ගස්, ගල්වලට උණත් වඳින්ට කැමතී.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නම් බලෙන් ආගම පතුරවපු බවට උදාහරණ ඕනෙ තරම් තියෙනවා...අපේ පැත්තෙ සමහරු ආගම මාරු කරලා තුන් රෝද රථ පවා දිනාගත්තා පල්ලියේ අනුග්‍රහයෙන්...තව ටික කාලයක් ඒ පල්ලිය ක්‍රියාකාරීව තිබුනා නම් ගමේ ස්වභාවය එහෙම් පිටින්ම වෙනස් කරනවා...ඊට කලින් තමයි හැමෝම ක්‍රිියාකාරී වුනේ...මොකද මේ අලුත් ආගමට සම්බන්ධ පිරිස් ගමේ පොදු වැඩට සහභාගි නොවී මග අරින්න ගත්තා....

      Delete
  27. සිරාගෙ ගමේ වගේ අාගම්, මිනිස්සු අතර සහජීව‍නයෙන් ජීවත් වෙනවනං පිටින් එන උවදුරු බොහෝ දුරට අඩුකරගන්න පුලුවං.
    ඔය වගේම ධර්මයට වැඳීම කියල බුද්ධාගමට සම්බන්ධවත් මොකක් හරි තියෙනව. මම දන්න පවුලක් ඉන්නව කළු පාට පෙට්ටියක් වගේ එකකට වන්දනා කරන.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ප්‍රධාන පක්ෂ දේකේම ආධාර කරුවො ඉන්නවා...කවදාවත් වචනයක් වත් හුවමාරු කරගෙන නෑ....ගමේ පොදු වැඩකදි හැමෝම එතන...මෙන්න මේ සමගිය තමයි මේ කණ්ඩායම අතින් වැනසෙන්න ගියේ...

      Delete
  28. යොහොවාගේ සාක්ශිකාරයෝ කරන්නේ ගොඩ වැඩි කරගන්න එක.මොකද කවුරුහරි නඩුවක් දැම්මහම සාක්ශි දෙන්න ඉන්නවනේ හෙනම සෙට් එකක්....

    ReplyDelete
    Replies
    1. ගොඩ වැඩි කරගෙන තමන්ගෙ මතවාදය හැකිතරම් ජන සමාජය අතරට තල්ලු කරන එක තමයි එයාලගෙ අරමුණ කියලයි මමත් හිතන්නෙ...

      Delete
  29. මට මතකයි කඹුරුපිටියෙ ගම් උදාවට ගිය දවසෙ සුභාරංචිය කියන පොත බෙදුව ඔයවගේ කස්ටියක්. මාත් පොත් තුන හතරක් ගෙනාව.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දශක දෙකකටත් කලියෙන් නේද....සුභ ආරංචිය අරන් එනවා කියන කෙනා එහෙනං සෑහෙන්න ප්‍රමාදයි....

      Delete
  30. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තියෙන්න ඕනේ.අනික උඩ ප්‍රියා කියලා තියෙන හැටියට සල්ලි දීලා ආගමට හරවා ගන්නවා කියන එක ප්‍රයෝගික දෙයක් නෙමේ.බයිබලයේ තියෙනවා ඇදහිල්ල ක්‍රියාවෙන් ඔප්පු කල යුතුයි කියලා.හැබයි ඒ කියන්නේ අසනීපයක් වුණාම බෙහෙත් නොගෙන යාඥා කරමින් පමණක් ඉන්නවා කියන එක නෙමේ.යාඥා කිරීම කල යුත්තේ අසනීපයට ප්‍රතිකාර ගන්නා අතරතුරේදියි.

    අරම හාලක් ගැන ඇහුවෙත් අදමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.ඒ මිනිසුන්ට ප්‍රචන්ඩත්වයෙන් සැළකීම මම අනුමත කරන්නෙ නෑ.සල්ලි දීල ආගම්වලට හරව ගන්නව කියන එක විහිලුවක්.හැම මතයකටම ඉඩ තිබෙන්න ඕන.මට මතක් වෙනව අපූරු ලිපියක්

      http://nidahass.blogspot.com/2014/01/blog-post.html

      මිහිදු මහ රහතන් වහන්සෙටත් තව පොඩ්ඩෙන් අල්ලගෙන ගහනව අන්‍යාගම් පතුරෝනව කියල හෙහෙ හෙහෙ

      ආගම් ගැන මම පෝස්ට් එකක් දාන්නම්

      Delete
    2. ගමේ සමගිය රැක ගන්නයි ඒ වෑයම ගන්න උනේ. මොකද මේ පල්ලිය නිසා ගමේ සමගියට පැහැදිලි තර්ජනයක් එල්ල වුනා...ඒ ආගම වැළදගත්ත අය ගමේ පොදු කටයුතු වලින් බැහැර වුනා...ඒ කල්ලිය අතර පමණක් තමන්ගෙ සම්බන්ධතා පවත්වා ගත්තා...ඒ මදිවට තව අය ගමෙන් එතනට ගෙනියන්න උත්සාහ කලා.

      මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණෙද්දි ලංකාවාසීන්ට හරි හාමන් ආගමක් තිබුනෙ නෑ..සමහරු හිරුට වන්දනා කලා...සමහරු ගස් ගල් වලට වන්දනා කලා....ඒ අයගෙ ඒ වන්දනා ක්‍රම අර්ථවත් කිරීමක් මිහිදු හිමියන් විසින් කලේ....ගස් වලට වැදපු අය බෝධියට වදින්න හුරු කලා...හේතුවක් ඇතුව....

      Delete
  31. අපේ පැත්තෙත් මාසෙකට සැරයක් විතර එනවමයි සෙට් එකක්, සාක්කි අහන්න මෙහෙ
    උසාවියක් නෑ කියලා යවනවා

    ReplyDelete
    Replies
    1. පව් බන් කාගෙ හරි දරුවො නොවැ....අන් බසකට මුලා වෙලා තමන්ගෙ තරුණ ජීවිතය නිරපරාදෙ නාස්ති කරනවා...

      Delete
  32. ඒ කාලෙ මටත් සුබාරංචි පොත් තැපෑලෙන් ආවා,ඔය ගොල්ලො කතෝලිකත් නෙවෙයි කැඩිලා ගිය වෙනම කට්ටියක්.කොහෙන් සල්ලි හම්බවෙනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. සල්ලි ලැබෙන්නෙ බටහිර විවිධ සංවිධාන හරහා....සමහරුන්ට ගෙවල් හදන්න ගොඩනැගිලි ද්‍රව්‍ය..කොටින්ම කක්කුස්සි කටවල් බෙදලා ආගමට බදවා ගන්නෙ...

      Delete
  33. අපෝ ඔවුන්ගෙං මල ඇනේ... මාවත් දවසක් බෞතිස්ම කරන්ඩ හැදුවා වත්තල ටවුමෙදි...

    ReplyDelete
    Replies
    1. හැබෑට...යන්තම් අහවල් එක බේරගෙන මාරු උනාද ?

      Delete
    2. අහවල් එක කපන්නේ මුස්ලිම් එවුන්ගේ විතරයි නේ ??

      Delete
    3. යෑස්...මැලේසියාවෙ නම් හැමෝම ඒක එහෙම කරන්නෙත් නෑලු...මෙහෙ ඉන්නෙ මොඩර්න් මුස්ලිම් කියන සැට් එක...ඒ අය අන්තවාදී නෑ අරාබි රටවල ඉන්න උන් වගේ...

      Delete
  34. මගේ නම් අදහස ආගමක් තියෙන එක හොඳයි මඟ පෙන්වීමක් හැටියට. ඒත් තමන්ගේ හිතට එකඟව කාටවත් කරදරයක් නැතිව සමාජයට ආදර්ශයක් විදිහට ජීවත් වෙන්න පුලුවන් නම් තව ආගමක් මොකටද? ඒ වගේම තමයි අනෙකුත් ආගම් වලට ගරැ කරන්නත් පුරැදු වෙන්න ඕනේ. ලෝකේ දැනට ඇතිවූ දරැණු යුද්ධ බොහෝමයක් පිටුපස තිබෙන්නේ ආගම් ප්‍රශ්ණයක්. ජය!!

    ReplyDelete
    Replies
    1. හොදම උදාහරණය කුරුස යුද්ධය...ඉන් පසුව මෑත කාලීනව ඉන්දියාවෙ කෙතරම් නම් ආගමික ගැටුම් ඇති වෙනවද...ආගමක් කියන දේ ඒ ඒ පුද්ගලයාගෙ අධ්‍යාත්මයට සමිප දෙයක් නිසා තමන්ට එරෙහි මතවාද වලට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා වැඩියි.

      Delete
  35. සිරා......මගේ වයිෆ්ගේ ඥාති පවුලක් සහ මුලින්ම අගාධයට ගියා පෙන්තකොස්ත නිසා. බෙහෙත් නොගෙන ඒ පවුලේ දෙන්නෙක් මැරුනා. ඉඩ කඩම් ඔක්කොම පෙන්තකොස්තෙට ලිව්වා. ඔය කුණුහරුපේ ඒ පවුලට ගෙනත් දාපු වැඩිමල් අයියා දැන් ඒ ඔක්කොම අමතක කරලා හොඳින් ඉන්නවා. යෙහෝවා විට්නස් අය නම් මේ රටේත් ගෙවල්වලට ඇවිත් කියෝ කියෝ ඉන්න ට්‍රයි කරනවා. මම නම් කාරුණිකව ප්‍රතික්ශේප කරනවා. නියම ඇණ.

    පයෙලා මම කැමති කෑමක් .නමුත් මස්ල්ස්, ඔයිස්ටර්ස් දානේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඒ අයියට එහෙනං වෙන්න ඕනෙ දේ උනාට පස්සෙ මොළේ පෑදෙන්න ඇති. මිනිස්සු මේ තරම් මෝඩද කියලත් වෙලාවකට හිතෙනවා....

      පයෙලා රස කොහොමද...ඉස්තරම්ද ?

      Delete
  36. අමතක කරන්නෙ නෑ සුදා...අනිවාර්යෙන්ම එන්නම්....වෙළද දැන්වීමට කීයක් හරි කැටේට දාගෙන යමු.

    ReplyDelete
  37. සියලුම ආගම හරයෙන් අදහනව නම් සහයිගෙන් අනික් ආගම් එක්ක ඉන්න පුලුවන්.නමුත් මෙ මිනිස්සුන්ගෙ අතරෙ තියෙන තිරිසන් ගතිය අවුස්සන මුලදර්ම වාදින් නම් කරන්නෙ විනාසයක්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඔබේ අදහසට මම එකගයි.

      Delete
  38. අපේ ගෙදරට දවසක් ක්‍රිස්තියානි හෝ කතෝලික... මං දන් නැ ඒ දෙකේ වෙනස, කවුරු හරි ඔය දෙකෙන් එකක් පිරිසක් ආවා. ඒ අපේම ඥාතිවරයෙකුගේ අනුදැන්ම පිට. ඔවුන් දෙවියන් වහන්සේගේ ගුණ කියමින් වර්ණනාවකට ආවා. පවු සමා කිරීම් ගැන කියලා අපේ දෙවියන් කවුද ඇහුවා. මම එතකොට දහය වසරෙ විතර ඇති. මං කීවා අපේ ආගමේ අප මත බල පැවැත්වෙන දෙවියකුගේ හස්ථයක් නැහැ, අප කරන කියන දේවල් අප විසින් තෝරාගන්නා දේය කියලා.
    කොහොම වුණත් මම තේරුම් කරල දුන්නා අපට අපේ ආගම හැර වෙන සරණක් අනවශ්‍ය බව සහ සම්පූර්ණ රැකවරණය අපේ ආගම තුළ නොඅඩුව ඇති බව. ඒත් මං කියවන්න ආස නිසා ඒ අයගෙන් බයිබලය ඉල්ලගත්තා. මගේ පහසුව සඳහා ඔවුන් මා වෙනුවෙන් වෙනම දවසක් ඇවිත් බයිබලයේ පලවෙනි තෙස්තමේන්තුවේ සිංහල පරිවර්තනය මට ගෙනත් දුන්නා. මං අදටත් ඒක ආසාවෙන් කියවනවා දැණුම ගවේශනයේ, ඉතිහාසය සොයායාමේ මගේ කුතුහලය නිසා.

    දෙවැන්න, අපේ ගමේ බලෙන්ම පදිංචි වුණා ෆාස්ටර් කෙනෙක්ද කවුද මංදා කියල කෙනෙක්. ඔහු මළවුන් ගෙන්වන්න ගත්තා. ටික කාලෙකින් අපේ ගම හොයාගෙන බොහෝ දුර බැහැරින් පිරිස් ආවා. ඒ වගේම ඊට අඩු නැතිව ගම පුරා හොල්මන් භූත බලවේක යක්කු පෙරේතයො වගේ දේවල් සැරිසරන්න ගත්ත බව ආරංචි වුණා. (මමවත් අපේ පවුලේ අයවත් මේ එකක්වත් දැක්කෙ නැ) ගමේ මිනිස්සු කිවා ඔවුන් දුටු බව.. හොල්මන්...

    මංදා.. එක එක ආගම්, එක එක ආගමික අන්තවාද එක එක විදිහට ප්‍රචලිත කරනවා ඒවයෙ අනුගාමික පිරිස්. තමන් තෝරාගතයුත්ත හරියට තෝරගත්තනම් හරි. ඒ වගේම අර අය දැණුවත් වුණොත් හොඳයි තමන්ගේ සදාචාර මායිම නොයික්මවා ඉන්නත්

    ReplyDelete
    Replies
    1. දීර්ඝ කමෙන්ටුවක් සටහන් කලාට ස්තූතියි සිත්තරී...මේ විදියට ආගම් ප්‍රචාරයට ගෙවල් ගානෙ යන තරුණ අය දන්නෙ නෑ තමාව රවටලා වෙනත් කෙනෙකුගේ අරමුණක් ඉෂ්ඨ කරගන්න මේ හදන්නෙ කියලා....ඒ අයගෙ චින්තන ශක්තිය මොට කරලා තියෙන්නෙ හරි වැරැද්ද කුමක්ද කියලා හදුනාගන්න බැරි වෙන්න.

      Delete
  39. සිරා... මටත් ඔය බොම්බා හාල් කිලෝ 5ක් කිරපන්...බලන්න.. මටත් ඔක කල බලන්න හිතුන....

    ReplyDelete
    Replies
    1. ඇයි 5 ක් දාමු 10 ක්ම ...කාලා බලලා හොද නම් මටත් කියනු සොදා...

      Delete
  40. අන්න මං පොස්ට් එකක් දැම්මා.
    http://yakaageadaviya.blogspot.com/2014/02/blog-post_7506.html

    ReplyDelete
    Replies
    1. සති අන්තයේ දවසක අනිවාර්යෙන්ම කියවන්නම්...ලින්කුවට ස්තුතියි...

      Delete
  41. සිරා උබ දන්නවද මෙහෙත් ඔය ආගමට ඒ කිව්වේ මුස්ලිම් ආගමට මුදල් දීලා හරවා ගන්න වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව .... මෙහෙමයි
    1 මුලින්ම සතියට දවසක් පය දෙකක යන්න ඕනා පන්තියට පය 5ක ඉන්නවට රිංගිට් 50ක් ගෙවනවා
    2 මාස 6ක් මේ පන්තියට ගියාට පස්සේ විබාගයක් තියනවා එකෙන් පාස් උනොත් හැම සිකුරාදාම පුජාවට යන්න පුළුවන් මාසෙට රිංගිට් 500ක් ගෙවනවා (හැබැයි කොන කපන්න ඕනා )
    3 අව්රුදු 3ක් දිගටම පුජාවට සහභාගී උන අයට උපතින් මුස්ලිම් ගැහැණු කෙනෙක්ව පල්ලියෙන් හොයලා දෙනවා මගුල් තෑග්ග හැටියට රටේ පුරවැසිකම හා මුදලින් රිංගිට් 50,000ක් හා ඔය ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනා වෙනත් උදව්වත් සමග

    ලංකාවේ සංජිවලා මෙහෙ අබ්දුල්ලලා වෙලා ඉන්නේ ඔන්න ඕක නිසයි

    ReplyDelete
    Replies
    1. හැබෑට...රාළෙ කියනකං මේ දේවල් ගැන හාංකවිසියක්වත් මම දැන උන්නෙ නෑ නොවැ...ඒ කියන්නෙ හතේ හත වැදිලා ඉන්න උන්ට පොට කපාගෙන තැනකට එන්න මාර්ගයක් මෙහෙ රජය හදලා දීලා තියෙන්නෙ...

      Delete
    2. සිරා කපා පං කපාපං මලේ

      Delete
  42. මගෙත් තියෙනවා මේ ආගමේ කතාවක් මම මේ නොලිය හිටිය තනිකර කුණු ගොඩක් නිසා සිරා අයියේ ලංකාවේ මොනවද කියල හිතෙයි මෙහෙ පල්ලියට ගියා නම් කතෝලික පල්ලියට යන්නේ 100 දෙනෙක් නම් මේකට යනවා 100000 කට වැඩිය ඔක්කොම හවුස් මේඩ් වැඩ කරන ගාමන්ට් වල සේවය කරන අහිංසක කාන්තාවන්ම තමයි මුන් බිලී බාන්නේ.

    ReplyDelete
    Replies
    1. අරාබි රටක වෙනත් ආගමක් ප්‍රචාරය සදහා නිදහසක් ලැබෙන්නෙ නෑ නේද...කොහොමද මේ කටයුතු සිදු වෙන්නෙ...

      Delete
    2. යම් තරමකට නිදහසක් තියෙනවා සිරා...මෙහෙ කුවේට් එකෙත් කතෝලික පල්ලියක් තියෙනවා..හැම සිකුරාදාම හවස ලංකාවේ පාදර් කෙනෙක්ගේ පූජාවකුත් තියෙනවා..මමත් පල්ලියක පූජාවකට ගිහින් නැති නිසා දවසක් ගිහින් බලාගෙන හිටියා..

      Delete
    3. බෞද්ධ පන්සල් නැතිද බන් එකක්වත්...

      Delete
  43. මම කැම්පස් ෆයිනල් ඉන්න කාලේ ගිය ඔය සාක්ෂි කාරයෝ පස්සේ ,මහනුවර මුල්ගම්පල හරියේ තමයි ඔය ශාක්ෂි කාරයොන්ගේ ඔෆිසිය තිබ්බේ . මම රබර් සෙරෙප්පු දෙකක් එහෙම දාගෙන ටීෂර්ට් එකක් ඇඳගෙන අපතයා වාගේ ගියාම ,අප්පේ මෙන්න උන් ඉන්නවා ටයිපොලු දාගෙන ...විච්චූරණ කරගෙන ...අප්පේ අර කෙල්ලෝ එහෙම ඉඹලා ලෙව කාලා පිලිගත්තම් යන්න හිතෙන්නේ නෑ ආපහු. අන්තිමට බේරිලා ආවේ හද්ද අමාරුවෙන්

    ReplyDelete
    Replies
    1. බොලා බේරුනේ එතකොට රබර් කෑල්ලක් දාගෙන ගිය නිසා...වෙන එකෙක් නම් අනිත් දවසෙ සපත්තු දෙකක් දාගෙන ඇවිල්ලා කොල්ලො ටිකත් එක්ක කෝලිත්තමක් කරන්න හිතා ගන්නවා නිසැකයි....බොලා හොද හැදියාව තියෙන එකෙක් නොවැ...

      Delete
  44. මුරටැඹ & පිබිදෙව් සඟරා එක්ක නම්, යොහෝවාගේ සාක්ෂිකාරයෝ (http://www.jw.org/en/) ;) සැහෙන්න අන්තවාදි වැඩි එයාල. ඉතිං අවුල් තමා.
    ලේ ගන්නේ නැහැ, මොනම අසාධ්‍ය ලෙඩකදිවත්. ඒ ආගමෙන් පිට විවාහ වෙන්නෙත් නැහැ. අනික ප්‍රතිමා වලට වන්දනාමාන කරන්නේ නැහැ. හැබැයි උඩ කොමෙන්ට් එහෙක සෙන්නා කියපු එක හරි. එයාල 'මුදල් ගෙවා තම ආගමට පිරිස් බඳවා ගන්නේ නෑ. ඔවුන් බෙහෙත් නොගෙන ඉන්නෙත් නෑ.'

    දන්න තරමින් රෝමානු කතොලික සහ ක්‍රිස්තියානි හැටියට මුලික වශයෙන් දෙගොල්ලක් ඉන්නවා. අපේ, ථෙරවාද මහායාන වගේ. රෝමානු කතොලික අයගේ තමා පුජකයන් කසාඳ නොබැඳ ඉන්නේ. සුදු ලෝගුවක් දාගෙන එන පල්ලියේ ෆාදර්? එයාලගේ තමා සාන්තුවරයෝ ඉන්නෙත්.
    ඉතුරු කොටස, ඒ කිව්වේ ක්‍රිස්තියානි අය අනු කොටස් බර ගාණකට කැඩිල ඉන්නේ. මේතොදිස්ත, ඇන්ග්ලිකන්, පෙන්තකොස්ත සහ බයිබල් අරන් යන එන ඉතුරු ක්‍රිස්තියානි ආගම් හැම එකක්ම ඒ එක එක කොටස්.

    ReplyDelete
    Replies
    1. ඔය කථාව ඔය විදියටම මගේ මිත්තරයෙකුත් මේ ලිපිය ලිව්වට පස්සෙ කිව්වා...කතෝලික පූජක පක්ෂයට විවාහ වෙන්න තහනම් වුවත් ක්‍රිස්තියානි පූජකයන්ට ඒ කාරිය කොරන්න පුලුවන් කියලත් කිව්වා...තොරතුරු වලට ස්තූතියි මිත්තරයා...

      Delete
  45. ආගම් භේදයක් නැතුව එකම රටක් විදියට ඉන්නවනම් අපිට රටක් විදියට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන් කියල තමයි මට හිතෙන්නෙ.ඒ වෙනුවෙන් මිනිස්සුන්ගෙ ආකල්ප කියන දේ තව ගොඩක් දුරට වෙනස් විය යුතුයි.විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ දේවල් වෙනස් කරන්න හදන එක ගොඩක් අමාරු දෙයක්..ඒත් උත්සහ කලොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ කියන වෙනස ඇති කරන්න මලයො පාලක පක්ෂයේ ඉදලම ආදර්ශය වැදගත්. අද ඉතිං පාලකයො තමයි කරන තරමක් වැරදි වැඩ කරන්නෙ...ඉතිං කොහොමද පොඩි උන්ව හදන්නෙ. ආගමික වශයෙන් සහජීවනයක් ඇති කරන්න බෑ එක එක නායකයන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන නිසා....

      Delete
  46. අපේ පැත්තෙත් ඉස්සරම ඔහොම කස්ටියක් හිටියා...දැන් නම් ආරංචියක් නෑ..!

    ReplyDelete
    Replies
    1. මේ අයට ඉතිං ඇඩ්‍රස් නෑ...ඒකනේ හැමදාමත් ගෙයින් ගෙට යන්නෙ....ස්ථිර පදිංචියක් නෑ.

      Delete
  47. මුරටැඹ ගැහුවෙ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා කාන්ඩයක් කියලා මතකයි. ඒකත් එක ආගමික නිකායක් වෙන්න ඇති. ඔය සඟරාවක තිබ්බා එක පාරක්, පරිණාමය කියන දේ බොරුවක් කියලා.

    අපේ තාත්තත් දවසක් ගෙදරට ආව ඔය කණ්ඩායමේ දෙන්නෙක් එක්ක තර්ක කරලා ලැජ්ජාවට පත් කළා.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙත් පොඩි අප්පුහාමි කියලා මනුස්සයෙක් ඉන්නවා ටිකක් වයස...මිනිහා ගෙට එන්න කියලා සැට් එකම ඉන්දවලා අහලා තියෙන්නෙ ඇයි කිරි පණුවව දෙවියන් වහන්සේ මැව්වෙ...උගෙන් මට හරි කරදරයි කියලා....

      Delete
  48. කමෙන්ට් එකක්වත් කියවන්නේ නැතිව කමෙන්ට් කරන්නේ.

    ඔය වගේ දේවල් තාවකාලිකයි කියලා මම විශ්වාස කරන්නේ. මුදල් මත යම් දෙයක් ඇති වුවහොත් මුදල් නැති දා එයට පැවැත්මක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ලංසුවට ලංසුව ගියොත් ඉතිං වැඩි ලන්සුවක් ලැබෙන තුරා තාවකාලික නැවතීමක් පමණයි අපේක්ෂා කල හැකි වෙන්නෙ.

      Delete
  49. මේ පිරිස යොවාගේ සාක්ශිකාරයෝ නොවන බව පැහැදිලිවම කිව හැකියි, යොහෝවා සාක්ශි කාරයින්, මුද්ලට මිනිසුන් බඳවා නොගන්නා බව නම් අත්දැකීමෙන්ම කිව හැකියි. ඔවුන්ගේ අමුතු දේකට කරන්නේ රුධිර පාරවිලයනය ප්‍රතික්ශේප කිරීම පමනි. මොවුන්ගෙන් කෙනෙකු ඉතා සමීපව අපේ නිවසේ සිටි බැවින් මට මේ බවට දිවුරා කිව හැකියි. කිතුනුවේ හැටියට ලඟදීම ලෝක විනාසය එනබවත්, එවිට ධාඑමික අය ඉතිරි වනබවත් කියා එනිසා ධාර්මික වීමත් දීවියන්ට කීකරු වීමත් අත්‍යවෂ්‍ය බව කීම තමා ඔය සුභාර/න්චිය. එය ගෙන් ගෙට නොගියත් හැම කිතුනු නිකායේම සුභාර/න්චියයි. මොවුන් අතර ඉක්මනින් දර්මය ඉගෙන ගන්නා අය මිනිටීරියල් සර්වන්ට්, එල්ඩර් සහ පයර්නියර් යනුවෙන් හැඳින්වේ. ඒ සන්විධානය ඇතුලේ සල්ලි ඇති නැති බේදයක් නැත, මුදල් කැටයක් තබා ඇත ඊට කැමති ආධාරයක් දිය හැකියි.

    මොවුන් කිසිම රටක ජාතික කොඩියකට හිස නැවීම ප්‍රතික්ශේප කරයි, මන්ද ඔවුන් අදහන්නේ දේව රාජ්‍යය නිසා, නත්තල සමරන්නේද නැත ( නත්තල ඇත්තටම කලින් වෙන උත්සවයකට ආදේෂ වූවක් බව කවුරුට් පිලිගන්න කරුනක්නේ )

    මේ නීති වලට අනුගත නොවන අය සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබයි, මයිකල් ජැක්සන්ගේ කුඩ්ඩාකාලයේ යොහොවා සාක්ශිකාරුව්කු වූ අතර ඔහු ගේ ගීත සදාචාරාත්මක නොවන බැවින් සන්ගමයෙන් ඉවත් කලේය

    මොවුන් මුදල් දී ආගමට හරවන, යාඝ්නාවෙන් ලෙඩ සුවකරන සහ බලෙන් ආගමට හරවන්නන් නොවන බව නම් කිව හැකියි, ඒත් මොවුන්ගෙන් කෙනෙක් බුදු පිලිමයක් අතර සිට පින්තූරයක් ගත්තත් එය වරදක් සේ දකිති. සාමාජිකත්වය දෙන්නේ විභාගයක් සමත් වීමෙන් පසුයි.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...