Tuesday, October 14, 2014

97 මයෙ මලයා සහ ලේලන්ඩ් දොර

ට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිංට්‍රිං................................

ජංගම දුරබණුව කම්පොනය වන්නේ පන්සල් හන්දියේ පුෂ්පෙ කොලුවාගේ ඇමතුමක් නිසාවෙනි. සති අන්තයේ නිවාඩු දවසේවත් ලස්සන හීනයක් බලාගෙන දැරිවියකට තුරුල් වෙලා මල්වත්තෙ අකුලක් අස්සට රිංගන්න මුන් ඉඩ දෙන්නෙ නැති හැටියක්...හිතින් බැන බැන මම දුරබණුව අතට ගත්තා.

මස්සිනා....උඹ තවම නිදිද....පොඩි දෙයක් කියන්න ගත්තෙ...කලබල වෙන්න එපා හැබැයි.

කියපං කියපං කලබල වෙන්නෙ නෑ.

උඹලගෙ මල්ලිට පොඩි කරදරයක්...

ඇයි බං මොකද උනේ....

මට හදිස්සියේ අකුණක් වැදුනා වගෙයි. බම්බලපිටියෙ ලාල් හෑගොඩ මහතාගෙ ඡායාරූපකරණය පිළිබඳ පන්තියට යන්න ඒකා ඉරිදා උදේම නිවසෙන් පිට වෙනවා කියලා මම දන්නවා.

අම්මට තාත්තට වැඩිය විස්තර  කියන්න එපා ඒ අය කලබල වෙයිනෙ බං....ඒකයි මම ගෙදරට ගන්නෙ නැතුව උඹේ එකටම ගත්තෙ.

කියපං යකෝ මොකද උනේ...

මල්ලි ආව බස් එකේ පඩිපෙළ කඩාගෙන වැටුනා හරියටම අපේ ගේ ඉස්සරහදි. ඒකා පඩියක ඉදලා තියෙන්නෙ. හොඳටම තුවාලයි...අද ෆොටෝ පන්ති යනවා කිව්වා. කැමරාව ගැන තමයි මුලින්ම ඇහුවෙ. මම ඒක ගෙදර ගෙනත් තිබ්බා. කැමරාවෙ ලෙන්ස් එකත් හයි කරලමයි තිබුනෙ...ඒකට සීරීමක් වත් වෙලා නෑ. වැටෙද්දි ඇග උඩට වෙන්න ඇති කැමරාව වැටෙන්න ඇත්තෙ. ඒක අපේ ගෙදර තියෙනවා. තව තුවාල කාරයො කීප දෙනෙක් ඉන්නවා. ගෑණු ළමයෙක් හිටියා එයාගෙ මුළු ඇඟම වගේ තුවාලයි. මිනිස්සු එකතු වෙලා ඔක්කොම අයව ඉස්පිරිතාලෙ යැව්වා. උඹ අම්මලව අරගෙන ඉස්පිරිතාලෙට පලයං. මමත් එන්නම්.

මට හිතාගන්න බැරි උනා. නිදහස් ඉරිදාවක මේ වෙච්ච සන්තෑසිය ගැන. හැකි ඉක්මනින් ගෙදර ඇත්තන්වත් සූජානම් කොරගෙන ගම්පහ රෝහලට යද්දි අනතුර සිදු වෙලා පැයකට ආසන්නයි.

හදිසි අනතුරු ඒකකයට යද්දි එතැන එළියෙ පුටුවක මයෙ මලයා වාඩි වෙලා බොහොම දුක්බරව බලා උන්නා. මට දරාගන්න බැරි උනා ඒකාගෙ ස්වරූපය දැක්කාම. අලුත්ම ටී ෂර්ට් එකේ භාගයක්ම නෑ. හරියට ක්ලේමෝ බෝම්බයකට අහු උන එකෙක් වගේ කලිසම වගේම ටී ෂර්ට් එකෙත් කෑලි කෑලි එල්ලෙනවා. අත් දෙක පුරාම ලේ. අත් දෙක ඇඟට ලං කරගන්න බැරි නිසා ඈත් කරගෙන උන්නෙ. ඒකාගෙ පිට සම්පූර්ණයෙන්ම හම ගහලා වගේ. අපේ අම්මට ලේ බලන්න අපහසු නිසා එයා ඇස් දෙක පියා ගත්තා.

මොකද උනේ....මම ඇහුවා...

බස් කාරයා රේස් ගියා. පුෂ්පෙගෙ ගේ හරියෙදි පාරෙන් උඩට ඉස්සිලා තිබුන ටෙලිකොම් මෑන් හෝල් (Manhole) එකක පඩිපෙළ වැදිලා සම්පූර්ණයෙන්ම ගැලවිලා විසිවුනා....බස් එකේ සෑහෙන්න සෙනග හිටියා. මම හිටියෙ යටම පඩියෙ. එතකොට බස් එක 90 ට 80 ට  විතර යන්න ඇති.


පොලිසියේ ගාල් කර තිබියදී මවිසින් ගන්නා ලද අනතුරෙන් පසු බස් රථයේ දර්ශන



ඇඟපුරාම තුවාල තියාගෙන පැයකට ආසන්න කාලයක් අපහසුවෙන් බලා ඉන්න මයෙ මලයා නිසා මට ඇතිවුනේ රෝහල් කාර්ය මණ්ඩලය එක්ක දරාගන්න බැරි කෝපයක්.

මෙච්චර ලොකු ඉස්පිරිතාලයක් වෙලත් පැයක් යනකං ඇයි බේත් ටිකක් දාන්න බැරි. මගේ කෝපය වචන බවට පෙරලුනා. පිරිමි හෙද නිලධාරියෙක් මා එක්ක පැටලුනා.

මේ අය එක්ක ගෙනාපු ගෑණු ළමයට ගොඩාක් අමාරුයි...එයාගෙ ඇඳුම් ඔක්කොම ගලවලා බේත් දාන නිසා මේ අය එළියෙන් තියලා තියෙන්නෙ.

මේ ඉස්පිරිතාලෙටම බේත් දාන්න තියෙන්නෙ එතැන විතරද ? ඒ ගෑණු ළමයට බේත් දාන්න පැය ගානක් ගියොත් මේ අයත් ඒ පැය ගානම ඉවසගෙන මෙතන බලා ඉන්න ඕනෙද...මගේ වචන ඊතල වගේ හෙද නිලධාරියා සොයා ගියා. අන්තිමේදි අපි දෙන්නා අන්තිම දරුණු වාග් සංග්‍රාමයක පැටලුනා. සහෝදර කැක්කුම නිසා මගේ හිත අද මට අවනත නෑ.

මෙන්න මේ මිනිහව එළියට දානවා...හෙද නිලධාරියා වයසක රෝහල් ආරක්ෂකයෙකුට නියම කලා. අනේ බොහොම වයසක මනුස්සයෙක්.

මහත්තයා...මෙතන කළබල කරන්න එපා....අපිට තමයි ප්‍රශ්න වෙන්නෙ...කරුණාකරලා එළියට යනවද...

මම ඉතින් ඒ වචන වලට ගරු කරලා මලයව වහාම පුද්ගලික රෝහලකට ඇතුලු කලා. ඒ ඇත්තො ඉතාම කඩිනමින් තුවාල පිරිසිදු කරලා විශාල ගෝස් කැබැල්ලකින් පිට වහලා රාජකාරිය අහවර කලා. ඒ වෙද්දි මලයගෙ එක අතකට මැහුම් 4 ගානෙ මැහුම් 8ක් ඒකාට දායාද වෙලා තිබුනා.

මේ තියෙන බෙහෙත් හෙට තුවාල වලට දාන්න. පිටට දාලා තියෙන ගෝස් කෑල්ල මේ බෝතලේ තියෙන සේලයින් වතුර වලින් තෙම තෙමා ගලවන්න.

එදා රාත්තිරියෙ මලයා නිදාගන්න විදියක් නැතුව ඇඹරුන හැටි මට හොදට මතකයි. ඇඟ පුරාම තුවාල තියෙද්දි කොහොම නිදා ගන්නද ?

පහුවදා උදේ වරුවෙ බෙහෙත් දාන රාජකාරිය පටන් ගත්තා. මේ වැඩේට අපේ නිවසේ ඉන්නෙ මම විතරයි. තුවාලෙ විශාලත්වය නිසාම මගේ හිතත් සසල වෙලා. මලයගෙ පිට එහෙම් පිටින්ම තුවාලයක්.

මම හිත තද කරගෙන රාජකාරිය පටන් ගත්තා. ලේ වලට ඇලිලා තියෙන ගෝස් කැබැල්ල සේලයින් වලින් පොඟවලා ගලවන්න හැදුවත් ඒක ගැලවෙන්නෙ තුවාලෙ උඩ හම තීරුවක් විදියට ගලවගෙන. මම හෙමින් හෙමින් වෙලාව අරගෙන මේ සම්පූර්ණ කොටසම ගලවගෙන යද්දි තුවාලයේ තරම දැක්කම මගේ ඔලුව කැරකෙන්න ගත්තා. මේ වැඩේ මම කල යුතුමයි කියන කාරණේ සිහිපත් කලාම ආයෙමත් හිතට ධෛර්යය ආවා.

තමන්ගෙ හම ගෝස් කැබැල්ලත් එක්ක තීරුවට ගැලවෙද්දි දැනෙන වේදනාව කොපමණද...නමුත් මලයා එක ශබ්දයක් මුවෙන් පිට නොකර ඒ වේදනාව දරා ගත්තා. මට හරිම පුදුමයි ඒ හැකියාව ගැන.

තවත් දවසක් දෙකක් යද්දි තුවාල කාරයො පිළිබඳ වගේම සිදුවීමේ සුළ මුල ගැනත් මගේ කන් දෙකට වැටුනා. ගම්පහ - ජා-ඇල මාර්ගයේ බස් රථයකට ඒ කාලෙ තමන්ගෙ ගමන නිම කරන්න විනාඩි 40 ක් ලබා දී තිබුනා. මේ අය එයින් විනාඩි 30 පමණම බස් රථය ආරම්භ කරන කලාපයේ අතර මග කොට කොටා ගත කරනවා. අන්තිමේදි විනාඩි 10 ට තමයි ගමන ගිහින් තියෙන්නෙ. ඉතිං වේගය ගැන හිතන්න පුලුවන්නෙ.

මේ අනතුර වෙච්ච දවසෙ රථය පදවලා තිබුනෙ අපේ මාර්ගය හුරු නැති වෙනත් මාර්ගයක රිය පදවපු හාදයෙක්. ගමනේ මුල් කොටස තුල නියමිත වෙලාවෙන් තුන් කාලක් විතර වැය කරපු මේ අය කට කපලා සෙනග හිටිය බස් රථය විනාඩි 5 න් කිලෝමීටර් 10 කට කිට්ටු ගමනාන්තය සොයා ගියා. අවසානයේ අධික වේගයත් එක්ක ටෙලිකොම් ගැට්ටෙ වැදුන බස් රථයේ පසුපස පාපුවරුව එහි දොරත් සමග එළියට විසි උනේ ඒ මත හිටි අයත් එක්කමයි. ඒ කොටස එළියට විසි වී ගියත් රථයේ වේගය නිසා එය නවතාගන්න රියදුරාට තවත් මීටර් 50 ක පමණ දුරක් යන්නට සිදු වී තිබුනා. අන්න ඒ අවස්ථාවෙදි රථය තුල උන්න උසස් පෙළ ශිෂ්‍යාවක් බස්රථයෙ පියගැටපෙල ගැලවුනාට පස්සෙ එතැන ඇතිවුන කුහරයට වැටිලා බස් රථය සමගම ඉදිරියට ඇදිලා දරුණු ලෙස තුවාල ලැබුවා.

මේ තියෙන්නෙ කුහරෙ
බස් එකෙන් එළියට විසිවෙලා වැටුනට පස්සෙ මම ඉක්මනටම නැගිට්ටා. මම දැක්කා ඈතින් බස් එකේ යට ගෑණු ළමයෙක් වැටිලා ඉන්නවා. ඩ්‍රයිවර් කලබලේට පල්ලමක් වගේ තැනක හෑන්ඩ් බ්‍රේක් නැතුව බස් එක නවත්තලා තිබුනෙ. බස් එක ටිකෙන් ටික පස්සට එනවා. කාටවත් අර ළමයා ගැන අවධානයක් නෑ. මම ඉක්මනට බස් එක යටට රිංගලා ගෑණු ළමයට හානියක් නොවෙන විදියට උස්සලා ගත්තෙ. මලයා කාලයක් වෘත්තිකයෙක් විදියට රතු කුරුස සමාජයේ හිටිය නිසා හදිසි අනතුරකදී තුවාල කරුට හානියක් නොවන පරිදි ඔසවන ආකාරය පිළිබද පුහුණුවක් තිබුනා.

එයාගෙ ඒ ක්‍රියාව වීර සම්මාන කමිටුවට දැනුම් දුන්නා නම් සමහර විට සම්මානයක් ලැබෙන්නත් ඉඩ තිබුනා. තමන් මොන තරම් තුවාල වෙලා හිටියත්...ඒ දැරිවියගෙ ජීවිතය බේරගන්න තමන්ගෙ ජීවිතය අවධානම ලක් කරලා මලයා බස් එක යටට රිංගපු එක ගැන තුවාල ලබපු දැරිවියගෙ දෙමව්පියො පස්සෙ දවසක මලයට පින් දුන්නා.

අනතුර සිදුවෙලා දවස් දෙකක් ගතවෙන්න ඇති. හැන්දෑ කොරේ කීප දෙනෙක් අපේ නිවසට සම්ප්‍රාප්ත වෙලා. බස් රථයේ රියදුරා / කොන්දොස්තර තැන / හිමිකරු මේ තිදෙනාම එතැන හිටියා.

බස් එක පොලිසියෙන් අරගෙන ගියා. අපි දෙන්නගෙ බලපත්‍ර කැන්සල් කලා. බස් රථයෙ සේවකයො දෙන්නා මල්ලි එක්ක කියනවා මට ඇහුනා.

මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. මේ රස්සාව නැතුව වෙන කරන්න එකක් නෑ. ලැයිසම නැතුව කවුරුවත් මාව වැඩට ගන්නෙත් නෑ. පොලිසියෙන් කියනවා තුවාල වෙච්ච අය අපේ බලපත්‍ර ආයෙම දෙනවට විරුද්ධ නෑ කියලා පොලිසියෙ අත්සන් කලොත් ඒවා දෙන්න පුලුවන් කියලා.

අපේ පොඩි දරුවො ගැන හිතලා අත්සන් කරන්න බැරිද ? කොන්දොස්තර තැන මලයගෙ අත අල්ලගෙන එතැන බිම වැටිලා පින් සෙන්ඩු වෙනවා.

ආයෙ කවදාවත් මම මෙහෙම බස් එක එලවන්නෙ නෑ. රියදුරා එහෙම කිව්වා.

මම වන්දි මුදලක් දෙන්නං. රථයේ හිමිකරුවා එහෙම කිව්වා.

මට වන්දි එපා....ඒකත් අර ගෑණු ළමයටම දෙන්න. මයෙ මලයා එහෙම කිව්වා.

නඩුවක් ගොණු කරලා හොද වන්දි මුදලක් ගමු කියලා හිත මිත්තරයො යෝජනා කරලා තිබුනත්...මේ සේවකයො දෙන්නගෙන් යැපෙන අය ගැන හිතලා පොලිසියේ අත්සන් කරන්න මලයා කැමති උනා.

නමුත් ගෑණු ළමයගෙ නිවසෙ අය මේ තුන්දෙනාව කුණු හරුපෙන් බැනලා එළවලා තිබුනෙ සමාදාන ඕනෙ නෑ නීතියෙන් බලාගමු කියලා. ඒ වගේම මේ සිද්ධියෙන් තුවාල ලබපු අය අතර නාවික සෙබලෙකුත් හිටියා. ඔහුගේ දකුණතේ ඇඟිලි වලට බරපතල තුවාල සිදු වී තිබුන වටපිටාවක නැවත ගිණි අවියක් භාවිතා කරන්න හැකි වෙයිද කියන ගැටලුව නාවික හමුදා ප්‍රධානීන්ට තිබුනා. මේ සෙබලව හදන්න රජය වියදම් කරලා තියෙන නිසාත්...ගිණි අවියක් හසුරුවන්න නොහැකි වුවහොත් ඔහුගේ සේවයෙන් පලක් නොවන නිසාත් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න තීරණය කල බවක් මට ඒ දවස් වල ආරංචි උනා.

අපට ආසන්න පෙදෙසක හිටිය තුවාල ලබපු දැරිවිය බලන්න මලයා සහ අපේ පවුලෙ අයත් එක්ක මමත් වතාවක් ගියා. ඇය අපි යද්දි නිදාගෙන උන්නෙ.

අනේ දවස පුරාම කෙල්ල මොර දෙනවා...වේදනාව ඉවසන්න බෑ කියලා. මේ අගෝස්තුවෙ උසස් පෙළ ලියන්න හිටියෙ. පන්ති යද්දි තමයි මේක උනේ. මේ පුතා අපේ ළමයව බේරාගත්තෙ කියලා කීප දෙනෙකුම කිව්වා. චීත්ත අගිස්සෙන් දැරිවියගේ මව කඳුලක් පිස දමයි.

මයෙ කෙල්ලට මොනවා හරි උනා නම් මම ඕකුන්ව ඉතුරු කරන්නෙ නෑ. තම එකම දියණිය ගැන පියාගේ කෝපය සාධාරණ එකකි.

ඉස්පිරිතාලෙදි බෙහෙත් දාන වෙලාවට මයෙ දුව කෑ ගහන්නෙ ඕකුන්ව මරපියෝ කියලා....කෙල්ලට ඉවසන්න බෑ වේදනාව. මට දුක දරාගන්න බෑ ඒ වෙලාවට...කොච්චර ආශාවෙන්ද විභාගෙට ලෑස්ති උනේ. දැන් ඔක්කොම ඉවරයි. කාලකන්නි අමනයො සල්ලි පස්සෙ දුවලා අපේ සතුට උදුරගත්තා.

අම්මාට අමතරව තාත්තාගේ නෙතු අගටද කදුළු පුරයි. පියවරුන් හඩන්නේ ලොවට රහසේ කලාතුරකින් දවසක නිසා ඒ කදුළු වල බර වැඩි යැයි මට සිතෙයි.

ක්‍රම ක්‍රමයෙන් මලයා අතුරු ආපදාවකින් තොරව සුවපත් වීම අපගේ නොමඳ සතුටටම හේතු විය. රතු කුරුසියේ මලයාගේ සහෝදර සේවක කැළ වතාවක් දෙකක් අප නිවසට පැමිණි  අතර මලයාගේ අනතුර නිසා මහත් කැළඹීමට පත් යුවතියක දුටුවෙමි. ඇය ඒ වන විට මලයාගේ පෙම්වතිය බැව් ඒකා කියා තිබුනේ මා හට පමණකි. අද ඇය මලයාගේ පතිනියයි.

කාලයේ අවෑමෙන් නඩු නොගොස් බස් රථය බේරාගන්නට එහි හිමිකරු නාවිකා සෙබළාට මෙන්ම දැරිවියටද වන්දි මුදලක් ගෙවූ බව අසන්නට ලැබුනි. රියදුරා සහ කොන්දොස්තර ඉවත් කොට අලුත් දෙදෙනෙකු සමග අළුත්වැඩියාවෙන් පසු නැවත ගමන් ඇරඹූ  මේ බස් රථයෙන් බේබද්දෙකු ඉවතට විසි වී මිය යාමත්...ඒ හා සම්බන්ධ නඩු හබත් නිසාම බස් කෙරුවාව තිත්ත වූ හිමිකරු බස් රථය විකුණා දැමූ බව තවත් කාලයකට පසු ආරංචි විය. අලුතින් බස් රථය මිළට ගත් තැනැත්තා එය තවමත් අප මාර්ගයේම ධාවනය කරවයි.

මලයාගේ අනතුරට සම්බන්ධ රියදුරා සහ කොන්දොස්තර තැන මා පිටරට පැටවෙන අවස්ථාව දක්වාම අප මාර්ගයේ බස් රථ වල සේවය කරමින් සිටි අතර. රියදුරා මේ සිදුවීමෙන් උගත් පාඩම් නිසාදෝ එයින් පසු අධික වේගයෙන් ධාවනය කලේ නැත. කොන්දොස්තර තැන මලයා හැම විටම ගාස්තුවෙන් නිදහස් කළේය.



මම කාමරේ අරින සිරා කොලුවා.


97 comments:

  1. ඒ ලෙවල් කරන කාලෙ මාවත් ඉස්සරහ ෆුඩ්බොඩ් එකේඑල්ලිල එද්දි වැටෙන්න ගියා සී.ටීබී බස් එකක. එතන හිටිය අය්ය කෙනෙක් අල්ල ගත්තෙ.මතක් වෙනකොට තාමත් ඇඟ හිරිවැටෙනව.
    මල්ලිගෙ ඇඟේ තාම ඒ කැලැල් තියෙනවද...අර මුනෙ තියෙන කැලල නම් වෙන එකක් නේද ..කලින් ඒ ගැන ලිව්ව වගේ මතකයි.
    ගැණු ලමයට කොහොමද ඉන් පස්සෙ..?

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ලංගමයකින් 1998 දි ගහපු බල්ටිය ගැන බොලාට කිව්වා නොවැ. පාසල් කාලය නිමාකරගෙන වැඩට යන්න එන්න ගත්තට පස්සෙ දුම්රියේ පාපුවරුවම තමයි බොහෝ වෙලාවට මට හිමි උනේ...ඒ අපේ දුම්රිය ස්ථානයට දුම්රිය ලගාවෙද්දි කට කපලා පිරිලා ඉතිරිලා තියෙන නිසා. දවසක් බොට උනා වගේ දුම්රියේ එල්ලිලා ඊලග ස්ටේසුමට යන්න ලැබුනෙ නෑ...අත වෙව්ලලනවා...වැටෙන්න ඔන්න මෙන්න...මම කිව්වා මට හරිම අමාරුයි ටිකක් උඩට යමුද කියලා....ඒ වෙලාවෙ දෙවියෙක් වගේ උස මහත හාදයෙක් මාව උඩට දාලා එයා පහලට ආවා...නැත්තං මේවා ලියන්න අද සිරා කොලුවෙක් නෑ.

      Delete
  2. අම්මේ ෆුට් බෝඩ් එකේ යන්නත් බය හිතෙනවා මේවා අහපුවහම. මොකෝ මගේ තියෙන කැතම පුරුද්දක් තමයි ඔය බස් වල දොර ගාව යන එක! මොකෝ මැදට ගිහාම හුස්ම ගන්නවත් බෑනේ

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා පාපුවරුවෙ යන්න එපා නාඩියො...සුළු වැරදීමකින් සෑහෙන වේදනාවක් තමයි ඉතිරි වෙන්නෙ.....හැකි තරම් ඇතුලට පලයන්...දොරේ පොලුත් ගැලවෙනවා සමහර වෙලාවට...

      Delete
  3. අප රටේ ජනප්‍රිය කරවන්න ඕන සංකල්පයක් තමයි safety first කියන එක. බහුතරයකට වැරදුන තැන තේරෙන්නනේ අනතුරක් වුනාට පසුවයි. කවුරුත් කියන්නේ රියදුරා වැරදි කරු කියා උනත්. අනතුරුදායක ලෙස ටෙලිකොම් මෑන් හෝල් ඉදි කිරීමත් වැරදියි. වැඩිහරියක් ඕවා පාරේ මට්ටමට වඩා උස් හෝ පහත් නැත්නම් තියෙන්නේ වංගුවක. වංගුවක ඇති මෑන් හෝල් එකක් මත බෙරේක් ගහපු යතුරු පැදි කරුවෙක් වැටෙනවා මම දැක්කා දින කිහිපයකට කලින්. මෙවැනි ඉදිකිරීම් කරන්නේ මොලේ ඇති ඉංජිනේරු හෝ තාක්ෂණ නිලදාරීන්න්ගේ අදීක්ෂණයෙන් තොරවද? මෙතන රියදුරා මෙන්ම ටෙලිකොම් එකත් වැරදියි. බොහෝ විට ඔය පාපුවරුවේ වැනීමක් තිබිලා තියෙන්න ඕන. නැත්නම් එකපාරට කඩාගෙන වැටෙන්නේ නැහැ ඒ වගේම පාපුවරුව එයට දරාගත නොහැක්කි සෙනග ගොඩක බරට ලක්වෙලා තියෙන්න ඕන. මල්ලීද ඒ බව නොසලකා පාපුවරුවේ ගිය නිසා ඔහුද වැරදි කරුවෙක්. මේ අනතුරට හේතුවට පිළිවලින්
    1.රියදුරා සහ කොන්දා
    2.ටෙලිකොම් එක
    3. පා පුවරුවේ ගිය අය
    4. රථයේ හිමිකරු
    යන අය වැරදි කරුවන් වේ ඔවුන් සියල්ල safety first නොසලකා හැර ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස න්‍යායාත්මකව බැලුවාම සහතික ඇත්ත. නමුත් ලංකාව වගේ රටක ප්‍රායෝගික නෑ. එක දුම්රියක් ගියාම ඊලග දුම්රිය පැමිණෙන්න පැය භාගයක් විතර ගත වෙන රටක පාපුවරුවේ යෑම අනතුරුදායකයි කියලා මිනිස්සු හිතන්නෙ නෑ. බස් රථ උනත් එහෙමයි. මිනිස්සු බලන්නෙ එල්ලෙන්න පුලුවන් නම් ජනේලයක හරි එල්ලිලා වැඩට යන්න. මමත් කොළඹ රැකියාවට ගිය අවුරුදු 6 කට ආසන්න කාලය තුල කෝච්චි වල / බස් රථ වල මොන තරම් එල්ලිලා ගිහිල්ලා අැද්ද. අද මතක් වෙද්දිත් ඇග ගැහෙනවා.

      ලංකාවේ විවිධ අංශ අතර සහයෝගයක් නැති කමත් එක හේතුවක්....මාර්ගය කාපට් කරලා ඉවර උනාම ඒක කඩලා ලයිට් කණුවක් හිටවන්න / ජලනලයක් එලන්න පාර කඩනවා...මේ කඩන ඒවා හදන්න තව කාලාන්තරයක් ගත වෙනවා.

      අද මම ඉන්න මැලේසියාව වගේ රටක නම් ඔබ කියන කාරණා ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන්. සෑම විනාඩි 5 කට වතාවක්ම දුම්රිය ධාවනය වන නිසා මිනිස්සු දුම්රියක් වේදිකාවෙ තියෙනවා දැක්කත් එයට ගොඩවෙන්න උත්සාහ ගන්නෙ නෑ. ලංකාවෙ ප්‍රමාණවත් තරමට සැපයුමක් ඇති වෙනකං පාපුවරුවේ ගමන නතර වෙන එකක් නෑ. එයින් සිදුවෙන අනතුරු අඩු වෙන එකකුත් නෑ.

      Delete
  4. කීවත් වගේ පාපුවරුවේ නොයා ඉන්නවා නම් හොඳයි.

    ඒත් ඉතින් මල්ලිට නෝනව හම්බ වුනානේ...:D

    ReplyDelete
    Replies
    1. මල්ලිට නෝනව හම්බ උනා...ඒකට මේ අනතුරේ සම්බන්ධයක් නෑ...ඔහු විවාහ උනේ මේ කථාවෙදි කියන තුවාල ලබපු දැරිවි එක්ක නෙමෙයි.

      Delete
  5. ඔය රියදුරු මහත්තයයි , කොන්දොස්තරයි එක්කරගෙන ගිහින් ඔය වගේ දුක කියලා ශේප් වෙන්න හදන එක මෝස්තරයක්, මොකද එහෙම කැමති වුනාම අන්තිමට වන්දියත් නොදී මාරු වෙනවා, ප්‍රයිවට් බස් වල නිතර සිද්ධ වෙන අනතුරු එක්ක ඕක තමයි එයාලගේ උපක්‍රමය .

    කතාව ගිය විදිහට මං හිතුවේ බස් එකෙන් වැටිච්ච ගෑනු ළමයා මල්ලිට සෙට් වුනා කියලා

    ReplyDelete
    Replies
    1. අපි පාසල් යන කාලයේ රියදුරෝ / කොන්දොස්තරලා එක්ක අම්බානක වලි දාගෙන ඇති. මේ හින්දම අපේ පාසල ලග නැවතුමේ බස් රථ නැවැත්වූවේම නෑ. අපි මොන සෙල්ලම හරි දාලා එතැනින්ම තමයි බස් එකට නැගුනෙත්...

      එක අනතුරකින් පස්සෙ හරි හැදෙනවා නම් හොදයි කියලා කියන්න පුලුවන්. නමුත් ගොඩාක් අය හැදෙන්නෙම නෑ.

      Delete
  6. තමන්ගේ වේදනාව පැත්තකින් තියල තව කෙනෙකුව බේරගන්න හිතන මිනිස්සු අඩුයි.එ අතින් සිරාගෙ මල්ලි නියම මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම.....අපේ තාත්තා තමයි අපි දෙන්නටම මේ වගේ හිතන පුරුදු ඇති කරපු සාධකය. ඒ නිසා එයාටයි ඒ ගෞරවය හිමිවිය යුත්තේ.

      Delete
  7. පළමු වාතාවටයි COMMENT ක‍රන්නේ.

    " පොලිසියෙන් කියනවා තුවාල වෙච්ච අය අපේ බලපත්‍ර ආයෙම දෙනවට විරුද්ධ නෑ කියලා පොලිසියෙ අත්සන් කලොත් ඒවා දෙන්න පුලුවන් කියලා."

    මෙහෙම කරන්නේ කොහොමද? OFFENCE එකට විරුද්ධව රටේ නීතියට අනුව නඩු පැවරීම පොලිසියට අයිති කාර්යක්. ! එම නීතිය වෙනස් කරන්න, තමන්නට ඕන විදියට යම් සිද්දියක් සමතයට පත් කිරීමේ අයිතිය,පොලිසියට නැහැ . !!. රටක නීතියක් තියෙනවා, එය සැම විටම ක්‍රියාත්මක විය යුතුයි.
    නඩුවක් වෙනුවට වෙන යම් මාර්ගයකින් සිද්දියක් සමතයට පත් කරන්න පුළුවන් උසාවියකට පමණි. මේ ගැන JVP එකේ අනුර කුමාර ,Parliament එකේ පවා කතා කරලා තියෙනවා.

    මේකට ජනතාවත් වග කිව යුතුයි. පොලිසියට ගොස් අඬා ,නැත්නම් පළාතේ MP කියා හෝ licence එක ගැනීමට කෙසේ හෝ පොලිසිය පොලොම්බවා ගන්නවා . එතකොට නීතිය කුමටද ?? කොයි අවස්ථාවෙද නීතිය හරියට කරන්නේ ? පොලිසියට හිතුන වේලාවටද ?රජතුමා කිව්ව වෙලාවටද ???

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිත්‍රයා ලංකාවෙ බොහෝ නීති පොතේ ලියවිලා තියෙන විදියට නෙමෙයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙ. ඊයෙ පෙරේදා දවසක කොටුව පොලිසියෙන් තුන් රෝද රථයක් අලංකාරය පිණිස අලවා තිබුන ස්ටිකර් ගලවා දමන ලෙස දුන් නියෝගයක් පිළිබද ප්‍රවෘත්තියක් මා දැක්කා. මොන නීති පොතේද එවැනි නීතියක් තියෙන්නෙ. ලංකාවෙ නීතිය පුද්ගල සාපේක්ෂ එකක්...

      Delete
  8. මතකද සිරා කෝච්චියක පා පුවරුව කඩංවැටිල වෙච්ච අල කලංචිය... අර කොල්ලත් නෑ...මගෙ ඇග හිරි වැටුණ ඒක දැකල...
    හිතාගන්න පුලුවං කොහොම වේදනාවක් තියෙන්න ඇද්ද කියල...
    ඔයවගේ අවදානං වාහන පාරෙ ධාවනය කරන්න දෙන්නෙ නෑ නේද...
    අනේ මංද

    ReplyDelete
    Replies
    1. මොකද අමතක...මම ඒ දවස් වල පත්තරේ රාජකාරි කොලේ...පත්තරේට ලැබිලා තිබුනා ඉතාම පැහැදිලි වෘත්තීය මට්ටමේ ඡායාරූප....අනතුරු සිදු වූ අවස්ථාවේ සිටම ලබාගත්...ඒ දර්ශන නැරඹුවාම මගේ හිත කම්පනයට ලක් වෙච්ච ආකාරය තවම මතකයි. ඒවා ඒ තරම් වේදනාකාරී පින්තූර.

      මේක බස් රථයේ ගැටලුවක් නෙමෙයි. මෑන් හෝල් එකේ අධික වේගයෙන් පඩිපෙල වදිනකොට පඩිපෙළ ගැලවී යාමක් තමයි සිදුවුනේ.

      Delete
  9. 'සිරා මල්ලියෙක්' නෙ.

    ඔය ෆුඩ් බෝඩ් කේස් නම් මෙහෙත් එකක් දෙකක් වුනා. එක වතාවක් අල්ල ගෙන ඉන්න තියන ඇලුමිනියම් බාර් එක ගැලවෙලා අතට ඇවිත් තිබුනා. එක වතාවක් තව එකෙක් මලා.

    අපිටත් ඉස්කෝලෙ යද්දි එල්ලෙන්න වෙන්නෙම ෆුඩ් බෝඩ් එකේ. ඒ, බස් අඩු නිසයි, අපේ හෝල්ට් එකට එනකොට කට කපල ලෝඩ් වෙන නිසයි. එතකොට එච්චර හිතුවෙ නැතුවට සෙල්ලං නෑ වැඩේ.

    ReplyDelete
    Replies
    1. මමත් වතාවක් පාපුවරුවේ එල්ලෙන්න ගිහින් බල්ටිය ගහලා තියෙන නිසා මේ කාරණයේ බරපතල කම හොදින් දන්නවා. වතාවක් මගේ මිත්තරයෙකුගේ කකුල බස් රථයේ පඩිපෙල සහ මෑන් හෝල් එකක් අතරට අහුවෙලා ඉතාම නරක විදියට හානි උනා. නමුත් දොස්තර වරුන්ගේ කැපවීම මත කකුලට සැත්කමක් කරලා නැවත ඇවිදින වරම් මිනිහට දුන්නා.

      Delete
  10. මේක නම් ඇඟ හිරිවැටන කතාවක්. පස්සේ අර ෆුට්බෝඩ් එකකඩා වැටිච්ච බස් එකේ පින්තුර ටිකක් ගන්න ලැබිච්ච එක ලොකුම දෙයක් නේද සිරා? උඹේ මල්ලි ඇත්තෙන්ම වීරයෙක්. තමන්ට අච්චර තුවාල වෙලා තියෙද්දි අර බස් එක යටට රිංගලා අර කෙල්ලව බේර ගත්ත එකම කොච්චර දෙයක්ද? ඒ කෙල්ල බේරිච්ච එකම ඇතිනේ අර වලට වැටිලා ඇදි ඇදී ගිහිල්ලත්.
    තවම කැලැල් තියෙනවද මල්ලිගේ?

    ReplyDelete
    Replies
    1. ඔව්.. අර දැරිවි බැන්ද කැළල තියෙනවලු.. හැක්.

      Delete
    2. මල්ලි වීරයෙක් කියලා මමත් පිළිගන්නවා. ඔහුගේ ශරීරයේ තිබුන තුවාල මොන තරම් වේදනාකාරී උනත් මිනිහා කෙදිරිගෑවෙ වැලපුනේ නෑ. ඔහුගේ ඉවසීමේ ගුණය ඉතාම ඉහළයි. මටත් එතරම් ඉවසන්න බෑ.

      අදටත් පිටේ විශාල ප්‍රමාණයේ කැළැලක් තියෙනවා....

      Delete
  11. අර බස් එක පිටිපස්සට ඇවිල්ල අර ගෑණුළමයව රෝද වලට යටවෙන්න තිබ්බ අවස්ථාවෙ තමන්ගෙ ජීවිතේ ගැන නොතකා ඒ ළමයව බේරගන්න කැපවෙච්ච එකට උඹේ මලයට උපහාරය.

    ලංකාවෙ ඔය බර වාහන වලට ආදායම් බලපත්තරේ ගන්නකොට ෆිට්නස් රිපෝට් එකක් ඕන කරනව නේද. ඒ අවස්ථාවල ඕව බලන්නෙ නැද්ද. මම දන්න තරමින් බොහෝ ගම්බද පළාත්වලින් පාසල් ළමයි ප්‍රවාහනය කරන වාහනවල තත්වෙ ඔයිට වඩා අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ ලංකාවේ නෙමෙයිද ඉන්නේ... මම වාහනේ නොපෙන්නයි ෆිට්නස් ගන්නේ... ඒ කාලේ.. (මේක දෙපිටකාට්ටු කතාවක් නොවේ)

      Delete
    2. එහෙම තමයි බං ගොඩක් එවුන් ගන්නෙ. ඒත් ඉතිං ඒවයෙ යන මිනිස්සුන්ට අබ සරණ තමයි.

      Delete
    3. ඒ අතින් මේ රටවල්වල ඉන්නෙ මෝඩ අරාබි උනත්, ක්‍රමේ මරු. අඩු ගානෙ ටින්කරින් අවුලක් තිබ්බත් පේන්ට් එක හිරීල තිබ්බත් පාස් කරන්නෙ නෑ, ටෙස්ට් එකේදි. ඒ හින්ද හද්ද පරණ වාහනත් කොලිටියටම තියෙනව.

      Delete
    4. වාහනේ ඕන් නෑ. පොත තිබ්බාම ඇති :D

      Delete
    5. වාහනේ ට පොත්, පොත් වලට වාහන.. ඕනම නම් යකඩ ගොඩකට වුනත් !!! :)

      Delete
    6. ලංකාවෙ මේ වගේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ කටයුතු බොහෝ වෙලාවට හිතවත් කම මත විවිධ ස්වරූප ගන්නවා. ඉස්සර ලංකාවෙ හෙල්මට් වල සවි ශක්තිය මැනලා තියෙන්නෙ ඊට එල්ලකරන පොලු පහරකින්. මේ පහරේ සැර වැඩි අඩු බව හිතවත්කම මත වෙනස් උනා කියලා මම අහලා තියෙනවා.

      Delete
  12. අච්චර තුවාල වෙලත් අර අහිංසක කෙල්ලව බේර ගත්තු සිරා මල්ලි නම් වීරයෙක්ම තමා.

    අර විදිහට සමාව අරන් ආයෙ ලයිසන් එක දුන්නම ඒ අය නිසා අගතියට පත් උනු අයට සාධාරණයක් ඉටු වෙයිද කියලා හිතෙනවා නේද අයියෙ.? මට නම් ඒක අවුල්.

    ReplyDelete
    Replies
    1. අගතියට පත් වෙච්ච අයට සාධාරණයක් වෙන්න නම් නිසි පරිදි නඩු විභාගයක් සිදුවෙලා අවසන් තීරණයකට එළඹෙන්න ඕනෙ. නමුත් ලංකාවෙ නඩුවක් විසදන්න ගත වෙන දීර්ඝ කාලයයි. නීතිඥයාට ගෙවන්න සිදුවෙන විශාල මුදලයි දිහා බැලුවම විශාල දෙනෙක් කැමතියි වැඩේ ගොඩින් බේරගන්න.

      Delete
  13. දවසක් මාත් ගියපු බස් එකක පුට්බෛා්ඩ් පොල්ල ගැලවිල ඉස්කෝලේ කොල්ලෝ හතර දෙනෙක් විසි උනා..

    මල්ලි කරපු වැඩේ හොදයි. ඇත්තටම බං එච්චර ධෛර්යක් එන්න ඇත්තේ ඌ ඒ වෙලාවෙම කෙල්ලට ට්‍රයි කරපු නිසා වෙන්ටැති.. හැක්.. බොරුවට කිව්වේ. උතුම් මානුෂික ක්‍රියාවක් එ් දරිවිව බේරගත්ත එක.

    ඒක නෙමෙයි අර වන්දි මුදල ගෑනු දැරිවිගේ මාර්ගයෙන් බොලයි මල්ලි ගත්තයි කියලයි ආරංචිය..

    හරි ඒකට කමක් නෑ.. සැබෑ ලෝකයේ කතාවක් කියවා අමුතු හැගීමක් හිතට පිරැණා... සිරෝ...

    ReplyDelete
    Replies
    1. ආයිත් කියවන්න දේශා.... වැරදි කොණකින් අල්ලගෙන... බස් එකෙන් වැටිච්ච ගෑණු ළමයයි සිරාගෙ මලයගෙ ගෑණු ළමයයි දෙන්නෙක්...

      Delete
    2. දේශකයා දෙකක් දාලද මේක කියෙව්වෙ...අපේ මලයා ඒ කෙලීට ට්‍රයි එකක් දෙන්න ගියේ නෑ. ඒ වෙද්දිත් මිනිහට පෙම්වතියක් හිටියා...ඔය හිරු කෙල්ල අගේට තේරුම් ගත්තෙ.

      Delete
    3. අම්මප එාහෙමද?? මට හිතුනෙම එහෙම නේ..

      Delete
    4. ගොඩක් අය ඒක පටලවගෙන නේද? උඩින් පල්ලෙන් කියවන එවුන් මාට්ටු.. යෙලා යෙලා..

      Delete
    5. දේශකයො...බොලා කියෙව්වෙ නෑ නේද ලිපිය....හොරා අහුවුනා...හැක් හැක්..

      Delete
    6. බලහං අතෑරපු පේලි එක ඡේදෙන් බඩු හෑව්.. හැක්...

      Delete
  14. සිරා මල්ලි කෙනෙක්!! Respect!

    මම හිතුවෙ කතාව ගිය විදියට අර තුවාල වුන ගෑල්ලමයට සෙට් වෙයි කියල. ඒ ළමයට ඊට පස්සෙ මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ඒ ළමයට ඊට පස්සෙ මොකද උනේ කියලා මම දන්නෙ නෑ...මල්ලි එක්ක කයියකට සෙට් උන වෙලාවක අහලා බලන්නම්.

      Delete
  15. මේ කතාව කලින් අහලා තියෙන බව මගේ මතකය කියනවා. සමහරවිට කතන්දරේ පත්තරේ ගියාද දන්නේ නෑ. මොනවා වුණත් මේ විදියට ඉවර වෙච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ කතන්දර ඉතිං මුලින්ම සිරාගෙ කාමරෙන් තමයි ඔබ සොයා එන්නෙ. වෙනත් කිසිම මාධ්‍යයක මේවා පලවෙලා නෑ. සුවර් ඇන්ඩ් සොට්...

      Delete
  16. ෆුට් බෝඩ් එක ගැලවිල වැටිල ඔයිං බේරුණු එක ගැන සතුටුයි ඇත්තටම. ඕක ඉස්සරහ ෆුට්බෝඩ් එක වුනානං ඉවරෙටම ඉවරයිනෙ ඉතිං.බස්වල පාපුවරුවෙ මිනිස්සු එල්ලිලා යද්දි මැද ඉඩ තියෙනවා. සමහරු (කාන්තාවන් විශේෂයෙන් මැද ඉඳලා රිංගගෙන එන්න බැරි බව කියා) බසයට නැග්ගම දොර ලඟින් හෙල්ලෙන්නෙ නෑ.
    ප්‍රයිවට් බස්කාරයොත් දුර දුවන සීටීබී කාරයොත් උන්ගෙ අම්මගේ රේස් යාමක් යන්නෙ. උන් එක එකා මට්ටු වෙන්න ඉතිං මෙහෙම එකාට එක ගානෙ අනතුරු වෙලා මිනිස්සු මැරිලා හරි උඹේ මලයා වගේ බරපතල තුවාල ලබලා තියෙන්නම ඕනි. නැතුව තමන්ට වෙනකං දැනෙන්නෑනෙ. බස්කාරයො, ටිපර් කාරයො ඉන්නෙ ටිකක් උඩිංනෙ. අනික් වාහනවල එවුංට වගේ උස ගැන බයක් උන්ට නෑ. අනික පොඩි වාහන කාරයො බස් එකක්/ටිපර් එකක් දැක්කම තමංගෙ පණ බේරගන්න අහකට ඇරං උන්ට ඉඩදෙනවා. ඉතිං උන්ටම ගිය පාර.

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව සහතික ඇත්ත. මහියංගනය - නුවර පාරෙ පණ භයෙන් අපි යන්න ඕනෙ...අඩියෙන් අඩියට වැලි ටිපර්...මේ වාහන ලොකු උනාට හෙමින් ගමනකුත් නෑනෙ. අනිත් වාහන කාණුවකට හරි දාලා ඉඩ දෙන්න ඕනෙ. මේ ටිපර් රියදුරන්ගෙන් සැලකීම් ලබන්නෙ අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී වාහන පමණයි.

      Delete
  17. සහෝදර ප්‍රේමය ගැනනම් ගොඩක් දේවල් ලියල තියෙනව..හරිම සංවේදියි..

    ReplyDelete
    Replies
    1. මයෙ මලයා කියලා ලිපියේ මුල් හරියෙ දීලා තියෙන ලින්කුව කෙටුවා නම් අපි දෙන්නගෙ සහෝදර ප්‍රේමය ගැන හොද අදහසක් ලබාගන්න පුලුවන් ගොයියො.

      Delete
  18. හත්වලාමේ ඔය සිද්දිය ඉස්සරහා දොරක උනානම් අර ගෑනු ළමයා අද පන පිටින් නැහැ, ඔය ෆුට් බෝර්ඩ් එක කඩන වැටෙන එක එක්කෝ ගම්පහ පැත්තේ අවුලක්ද මන්දා, මගේ අම්මෝ 80 90 ට ගිහිල්ලා අර දැරිවිගේ වගේම අනිත් තුවාල කාරයොත් බේරුන විදිය නම් හිතා ගන්නත් අමාරුයි. මොනා උනත් සිරා අයියගේ මලයා කරලා ක්‍රියා කරලා තියෙන විදිය නම් අනිවාර්යයෙන්ම අගය කල යුතුයි.

    අපේ අම්මනම් මට පා පුවරු ගමනට තහංචි දැම්මේ හය වසරේ ඉඳලා, එදා නෙළුවා නෙලිල්ලක් සිරා අයියගේ මලයා වගේ තම පිට. එදා ඉඳන් ඔන්න මම නම් බස් එකේ මැද, එත් දැන් නම් මැද ගිහිල්ලත් බේරෙන්න බැහැ. එක සැරයක් කට කපලා තිබුණු 176 ක මම මද ඉඳගෙන යනවා ජනේලෙන් අසිරිය බල බල. ට්‍රැපික් එකේ කාසල් පහු උනා විතරයි මු දැම්මා රේල් පාරට ඒක පහු කරන යන්න තරම් ගැප් එකක් හදා ගන්නේ නැතිව. දැන් පාරේ මද හිටලා. උදේ ඔෆිස් ටයිම් කෝච්චියත් එනාවා. රේල් පාර වහන්න බැහැ බස් එක මැද. පාර වහලා නැති නිසා එතනින් එහාට පාස් කරන්න සිග්නල් එක යන්නේ නැති නිසා පරක්කුව කවර කරන්න කෝච්චිය ආවේ හිමින්. අන්තිමේ බස් බොඩියයි කොච්චි එන්ජින් එකයි අතර ආදී 5ක ගැප් එකකින් නැවතුනා. හිතා ගන්නකො කොහොමට දැනේන්න ඇතිද? මිනිස්සු අනිත් අයව පාගන් දොරවල් වලට දුවනවා, කුණුහරුප කියනවා, තවත් වීරයෝ ඩ්‍රයිවර්ටයි කොන්දටයි ගහනවා එක විකාරයි, මට හෙල්ලෙන්නවත් විදියක් නැහැ. තවාදීන්ගෙන් යාන්ගල්මෝදර සීන් එක තමා වෙන්නේ. එතන බෙන්ඩ් එක නිසා කොච්චි පාරේ අනික ඒ දවස් වල දෙපැත්තේ අනවසර ගෙවල් නිසා එන්ජින් ඩ්‍රයිවර්ට පාර ක්ලියර් නැහැ. අම්මෝ ලේ ටික වතුර උනා.

    අර ගෑනු ළමයට ප්ලාස්ටික් සැත්කම් කරන්න වෙන්න ඇති කැළැල් මකන්න.

    හැම ෆීල්ඩ් එකකම safety first rules වැඩිපුරම බ්රේක් කරන්නේ ලාංකිකයෝ,ඊළඟට ඉන්දියන් කාරයෝ. මේක සමහර ෆීල්ඩ් ඵල වෙනස් වෙන්න පුළුවන්. ශිපින්ග් සහ සේලින් වලදී නම් පිල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ඇග හිරිවැටෙනවා සොමියෝ....

      Delete
    2. ඔන්න ඔහොම එකක් අපෙ ඩූඩයියටත් වුනා කියන්නෙ, කාර් එකක් කෝච්චි පාරක හිටල.
      ලින්ක් එක හෙව්ව හෙව්ව, ම්හු හොයා ගන්න බෑ.

      Delete
    3. යාන්ගල්මෝදර මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනවා...එදා සිදුවෙච්ච අනතුරෙන් පස්සෙ සුන්බුන් විසිරිලා තිබුන විදිය තවමත් මතකයි.

      ඔය රේල් පාර මැද නතර උන බස් රථයේ රියදුරාට මගීන් මදි නොකියන්න සැලකුවද ?

      Delete
    4. යාන්ගල්මෝදර සිද්දියේ කෝච්චියේ හෙඩ් ගාර්ඩ් විදියට හිටියේ අපේ ලොකු තාත්තා, සිද්දිය එයා කියන විදියට කොච්චියටත් ඒ හරිය පහු කරන්න සිග්නල් තිබිලා නැහැ. එන්ගින් ඩ්‍රයිවර් කොච්චි ටයිමින් දන්න ඉස්සරහා ලයින් එකේ ඒ වෙලාවේ කොච්චි නැති නිසා සිග්නල් එක පහු කරන දුවවලා. ලොකු තාත්තා අර එයාලා ඉන්න පෙට්ටියේ තියෙන බ්රේක් ලිවර් එක අදිද්දී (අර කරකවන්න තියෙන එක) වෙන්න ඕනා ටික වෙලා, බස් කාරය තමා ලොකුම වරද කලේ. පස්සේ ලොකු තාත්තා වගේම එන්ජින් ඩ්‍රයිවර් ඉන්ටඩික් උනා. වෙනම පරීක්ෂණයක් ගියා සී ජී ආර් එකෙන්. ඩයිවර් නම් නඩුවට ආවෙත් නැහැ, පොර පැන්න කැනඩාවට. පස්සේ නඩුවෙන් දිනලා ලොකු ගානක් එක්ක පැන්ෂන් ගියා. දැන් නුවර තේ වත්තක් බලාගෙන විවේක සුවයෙන් ඉන්නෝ. කොච්චි වල රස කතා එමටයි.

      Delete
    5. කථා එමට තියේ නම් ලියහංකො ලිපියක් දෙකක් ඒවා එකතු කරලා....

      Delete
  19. මල්ලි නම් නියම වැඩ කාරයෙක්ම තමයි.. අයියාටත් කලින් පතිනියකුත් ගන්න පුළුවන් උනානෙ..

    ReplyDelete
    Replies
    1. මල්ලි වැඩ්ඩා තමයි...අයියා ඉතිං තවම පතිනියක් ගෙදර ගේනවා තියා...හිතලවත් නෑ.

      Delete
  20. උඔගේම මල්ලි නිසා අනුන්ට උපකාර කිරිම, දරාගැනිම ගැනනම ආය දෙකාහාමරක් නෑ..ඒ වුනාට මචං ඇගේ මයිල් කෙලින් වුනා ඇයි යකෝ ඔයිට වඩා දෙයක් වුනානම්.

    ReplyDelete
    Replies
    1. අද මේ සිදුවීම දිහා ආපහු හැරිලා බලද්දි මටත් භියක් නොදැනුනා නොවෙයි මෙන්ඩිස් අයියා. ඔබ කියූ ගුණ අපේ පියාගෙන් අප ලැබූ දායාද....එහි ගෞරවය එතුමාට හිමිවිය යුතුයි.

      Delete
  21. ඔන්න සිරා මෙන්න මෙව්වා තමයි නියම ආශ්චර්යය කියන්නේ එහෙම නැතුව මාමාගේ ඈස් චර්යය නෙවෙයි. මල්ලි කොල්ලාගේ පූරුවේ පිනක් තිබිලා තියනවා ජීවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. මාමගෙ ආශ්චර්යය ලංකාවට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි නේද...කොහොමත් ලංකාවෙ මිනිස්සු පොඩි දේ වෙනුවට විශාල දෙයක් තමයි හැම වෙලේම කරන්න උත්සාහ කරන්නෙ.

      Delete
  22. සිරා, කොළු කමට බස් වල ෆුට් බෝඩ් යනකොට එකෙක් දෙනෙක් ඉන්න නිසා ගානක් නැති උනාට සෙනග වැඩි බස් වල අමාරුවෙන් ෆුට් බෝඩ් එකේ එල්ලිල යද්දි මට නිතර දැණුන හැඟීමක් තමයි මේ මගුල දැං කඩන් වැටුනොත් කියල.

    උඹලගෙ මල්ලි කරල තියෙන්නෙ බොහොම වටින වැඩක්!

    ඉවාන් කිව්ව වගේ ඔය බස් ඩ්‍රයිවර්ගෙ අඳෝනාව කියන එක ගැටයක්.

    මගෙ යාළුවෙක් ඉන්නව බස් ව්‍යාපාරෙ ලොකුවට කරන. මුන්ගෙ ඉන්ටසිටියක් අනූගණවලදි, දවසක් මග්ගොන පාළම ගාව කතරගම යන්න පිටත්වෙච්චි වෑන් එහෙක හැපිල වෑන් එකේ 10 එතනමයි. බස් ඩ්‍රයිවර් රෝන් සයිඩ් ගිහින්. ඌ දැකල වංගුවෙ මූණට වෑන් එක එනව, කකුල් දෙක උස්සල සීට් එක පස්සට ඇදගෙන. පස්සෙ ඒ පැත්තෙ උන් මේ ඩ්‍රයිවර්ට ගහන්න හොයද්දි අයිතිකාරය මිනිහව බේරගත්තෙ උගෙ කකුල් දෙකම කැඩිල කියල. නමුත් මිනිහට හීරීමක්වත් නෑ. බස් කාරයො කියන්නෙ එහෙම කට්ටියක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඇති තරම් පාපුවරුවෙ එල්ලිලා ගිහින් තියෙනවා...රථය වේගයෙන් යන වෙලාවට මේක දැන් කඩාගෙන වැටුනොත් කියන භය මටත් ඇතිවුනා. බස් කාරයො කියන්නෙ සිල්ගත්ත අහිංසකයො ටිකක් නෙමෙයි කියලා මම දන්නවා.

      Delete
  23. මොනා කියන්නද මන්ද... බස්කාරයින්ට නං හැමදාම බයිනවනෙ.. ඔය ටෙලිකොම් එකේ පාරවල් හාරන සෙට් එකට නං මොළයක් ඇත්තෙම නෑ.... මේ අලුතින් කාපට් දාපු පාර ඊළඟ සතියෙ හාරනව.. ඊට පස්සෙ එතන අවුරදු ගානක් මඩ ගොඩක්... මොළයක් කියල එකක් තියෙන ලොක්කො එකෙක්වත් ඕවයෙ ඉන්නවද කියන එකත් සැකයි...

    ReplyDelete
    Replies
    1. හැමෝම බස් රථ සේවකයන්ගෙ විනය පිරිහීම ගැන තමයි කථා කරන්නෙ. නමුත් සමස්තයක් විදියට රටේ බොහෝ අංශ වල විනයක් නෑ තියෙන්නෙ පිරිහීමක් කියන දේ පැහැදිලිව පේනවා. එවන් වට පිටාවක බස් රථ සේවකයො පමණක් නිසි මග යයි කියලා මම හිතන්නෙ නෑ.

      Delete
  24. ලංකාවේ ඉන්න ප්‍රයිවට් බස් එලවන අයටයි කොන්දොස්තරලටයි වෙනමම පුනුරුත්තාපනයක් දෙන්න ඕන. ඉතිරි සල්ලේ දෙන්නේ නෑ තිබ්බත් පස්සේ දෙන්නම් කියල මග අරිනවා .හුස්මගන්නත් බැරිවෙන්න ලෝඩ් කරගෙන අන්තිමට පාර මැද්දේ බීගෙන වගේ එළවන් යනව මිනිස්සු තුවාල උනා නෙමේ මැරුණත් එයාලට ගානක් නෑ. අන්තිමට සමාව ඉල්ලුවම,වන්දි දුන්නම හැමදේම හරියයි කියලනේ හිතන්නෙ ....

    ReplyDelete
    Replies
    1. මේ ගැටළු ගැන නිසි අධීක්ෂණයක් කරන්න පුද්ගලයෙක් / ආයතනයක් තිබුනා නම් වඩා හොදයි. විශේෂයෙන්ම බස් රථ සේවකයන්ගෙ විනය පිළිබද.

      Delete
  25. අඩෝ නූලෙන් නෙ බන් බේරිල තියෙන්නෙ.. දැන් ඌට හොදයි නේ.. එච්චරයි...

    අනික ඌ අර කෙල්ලට උදවු කරේ නැත්තම් ඒ කෙල්ල අද ඉන්නෙ නැති වෙන්න තිබුන... ඒක උබෙ මල්ලිට කවදක හරි ලැබේවි...

    මේත් ඒ වගේ අත්දැකීමක් තමා...

    http://jeevithayasundharai.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. මල්ලි විතරක් නෙමෙයි බොලං මමත් බස් එකෙන් බල්ටියක් ගැහුවා කියලා බොලාට අමතකද ?

      Delete
  26. අනේ අම්මේ ආයේ නම් යන්නේ නෑ ෆුට් බෝර්ඩ්... රෙස්පෙක්ට් සිරා මලයා..

    ReplyDelete
    Replies
    1. පාපුවරුවෙ නොයන තරමට සෞඛ්‍යයට හොදයි ගොයියො...

      Delete
  27. කෙසේහෝ මලයාගේත් අනෙක් අයගේත් ජීවිත වලට අනතුරක් නොවීම ගැන සතුටුයි.. බස් ඩ්‍රයිවර් හැදුනානං ලොකු දෙයක්...
    විශේෂම දේ තමයි මල්ලී තමාගේ ජීව්තයත් නොතකා අර දැරිවිගේ ජීවිතය බේරගන්න කරපු කැප කිරීම.. අති විශීෂ්ඨයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානෙ...අපේ මාර්ගයේ රියදුරන් සහ කොන්දොස්තර වරුන් මේ අනතුරෙන් පස්සෙ සෑහෙන්න හැදුනා. එදායින් පස්සෙ තවම මෙවැනි අනතුරක් ඇති වෙලාම නෑ.

      ජය !

      Delete
  28. A/L කරන කාලෙ නම් මම බස් එකක්, කෝච්චියක් නවත්තන්න කලින් පනින පුරුද්දක් තිබුණා. ඒත් එක දවසක් කොටුවෙ ස්ටේෂන් එකේදි මනුස්සයෙක් කෝච්චිය යන්න අද්දනකොට නගින්න ගිහින් වැටිල කකුල් දෙකම ඇගෙන් වෙන් වෙලා තියෙන හැටි දැක්කා ඇස් ඉස්සරහදිම. ඊට පස්සෙ නම් කොච්චර පරක්කු වුණත් කෝච්චියකින්, බස් එකකින් පනින පුරුද්ද නැති වුණා.

    ReplyDelete
    Replies
    1. ඔබට ඒ දර්ශන බොහොම විශාල කම්පනයක් එකතු කරන්න ඇති. වේයන්ගොඩ දුම්රිය අනතුරෙන් දෙපා අහිමි වෙච්ච තරුණයාගේ දර්ශනත් ඉතාම දුක්බර එ්වා. පාපුවරුවේ අවදානම් ගන්න යනවා නම් ඒ දර්ශන හිතට ගන්නා තරමට හොදයි.

      Delete
  29. තමන් ගැන වත් හිතන්නේ නැතුව තවත් කෙනෙක් බේරගත්තට සිරා අයියගේ මල්ලිට අපේ ආචාරය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගා...එහෙම හිතන මිනිස්සු මේ සමාජයෙ එන්න එන්නම වඳ වෙනවා...

      Delete
  30. අපිත් ඉස්කෝලේ යන කාලෙයි මුලින්ම වැඩට යන කාලෙයි ෆුට්බෝඩ්මයි... ෆුට් බෝඩ් එකට වඩා මට නම් හිතිලා තියෙන්නේ අර රිවට් ඇණ හතරකින්ද කොහෙද තියන පොල්ල ගැලවෙන්නේ නැත්තේ ඇයි කියලා... බිසී වෙලාවට ඔය පොල්ලේ කීදෙනෙක් නම් එල්ලෙනවද? සමහර එවුන්ගේ ඇඟම බස් එකෙන් එළියේ, අතෙන් බාගයකුයි, කකුලේ ඇඟිලි ටිකකුයි විතරයි බස් එක ඇතුලේ...

    මලයාගේ වීර ක්‍රියාව නම් විශිෂ්ටයි. ඔය බිම ඇතිල්ලිලා හම ලෙලි ගියහම ඒ තුවාල වලින් ටික දවසක් යද්දි නිකං සාරු ගලනවා වගේ වෙන්න පටන් ගන්නවා. බයිසිකල්, මෝටර්සයිකල් වලින් ලෙලි ගිය පාරවල් කකුලේ තාමත් තියනවා. ඔය සිද්ධියෙන් අම්මලත් දැනගත්තද මල්ලිගේ කෙල්ල ගැන?

    ReplyDelete
    Replies
    1. මමත් ඉතිං පාසල් යන කාලෙ ඉදලම තමයි පොල්ලෙ එල්ලිලා යන්න පුරුදු උනේ....ඒ උනාට හන්දියෙ කඩේ නැන්දා එල්ලිලා ගිය දවසට පණිවිඩේ ගෙදරට දෙනවා. එහෙම දවසට ඉතින් ගෙදර ගොහින් හමාරයි.

      පාරක වැටිලා තුවාල උනාම පාරෙ තියෙන අපද්‍රව්‍ය එහෙමත් තුවාල වලට එකතු වෙන නිසා තුවාල ඉක්මනින් පැසවන්න බලනවා. මලයගෙ තුවාල වේලන්න බෙහෙත් පෙති එහෙමත් දුන්නා...ස්වභාවිකව වේලෙන්න ගියොත් සෑහෙන්න කල් ගත වෙයි කියලා.

      මේ සිද්දියට කලින් මලයට appendicitis වලට සැත්කමක් කලා. ඒ අවස්ථාවෙත් ඒ ඇත්ති මලයව බලන්න ආවා. නමුත් ගෙදර අය දැනගත්තෙ පල්ලියෙ මංගල්ලයක් වෙනුවෙන් ඇයගෙ ගෙදර පවත්වපු සාදයකට අපේ මලයා සහභාගි වෙන්නට යන්න කලින් නිවසට දැනුම් දුන් අවස්ථාවෙ.

      Delete
  31. සිරා මල්ලි කෙනෙක් ආ උඹට ඉන්නේ.මේක කියවන කොට මට මතක් වුනේ අපේ මලයා මෝටර් බයික් එක දවසක් කකුලට පෙරලාගෙන ගෙදර ඇවිත් වින්ද දුක.එකා ගේ මුළු කකුලම වෙලලා තිබ්බේ පල්ස්ටර් වලින්.රෑ මැදියමේ මු ඉකි ගගහා අඬනවා.ඌගේ ඉකි ගැහිල්ලට ගෙදර අනෙක් අයත් අඬනවා.

    ReplyDelete
    Replies
    1. මෝටර් බයික් වලින් වැටෙන එක නෙමෙයි අවුල....සයිලන්සරය තියෙන පැත්ත කකුලට බර උනොත් ඒක ඇගේ ගෑවිලා පිච්චෙන එක....ඒ තුවාල හොඳ වෙන්න කල් යනවා...බයික් වලින් වැටිලා හම ගහ ගත්තම ඉතින් ඉඳලා වැඩක් නෑ.

      Delete
  32. හෆ්ෆා ..... තුවාල ගැන කියවන කොටත් මාව නිකන්ම ඇකිලුනා. බොරු මොටද, මටත් තුවාල, ලේ දිහා බලන්න අමාරුයි. ඒ වගේ සිද්ධියකට මුහුණ පාපු අයට කොයිතරම් වේදනාවක් ඇත්ද. ඇත්තෙන්ම බලන්ගියාම උඹලයි මල්ලිත් උඹ වගේම සත්ගුණවත්නේ.
    අපිට ඒවා අවශ්‍යම වෙන වෙලාවලට අපේ රටේ සෞඛ්‍ය සේවාවන්වල අකාර්යක්‍ෂමතාවයත්, බොහෝ සෞඛ්‍ය සේවකයන්ගෙ මුඩුම මුස්පේන්තු වැඩත් දැක්කම හිතෙනව අපේ බදු සල්ලිවලින් මුන්ට මොකට පඩි ගෙවනවද කියල. අපිට ඕනම වෙන වෙලාවට නැත්නම් ඒවයින් ඇති වැඩේ මොකක්ද. හොඳ මිනිස්සුත් ඉන්නව, ඒ වගේම රෝහල්වලින් මොන විදියෙන් හරි මිනිස්සුන්ව සනීප කරනවත්, ඒත් රජය අපෙන් මංකොල්ලකාගන්න ගොඩට සාපේක්‍ෂව ලැබෙන සේවය ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ කාමරේට ආව DDT යව උම්මා එකක් දීලා පිළිගන්නවා.....

      මෙහෙමයි මචෝ...තමන්ගෙ වෘත්තිය ගැන සේවකයෙක් තෘප්තිමත් නම් එයාගෙන් අපට බොහොම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙන්න පුුලුවන්. ලංකාවෙ මොන ක්ෂේත්‍රයෙද තෘප්තිමත් සේවකයො හොයාගන්න ඉන්නෙ. රෝහල් කාර්ය මණ්ඩල තුල කිසිසේත්ම නෑ කියලයි මගේ අදහස....එක වර්ගයක පඩි ඉහළ දානකොට තවත් කට්ටියකට රිදෙනවා..ඔන්න ඉතින් පටන් ගන්නවා වර්ජන.

      අපි දෙන්නගෙම ලග තියෙන්නෙ අපේ තාත්තගෙ ගතිගුණ...එයා ගහට කොළට, සතා සීපාවට ආදරය කරන හදවත ලස්සන මිනිහෙක්. මිනිස්සුන්ටත් හැකි හැම විටකම උදව් වෙන.

      Delete
    2. මම හිතන්නෙ බං මිනිස් ස්වභාවය අනුවම මිනිස්සු තෘප්තිමත් වෙන්නෙ නෑ. ඒත් කාගෙන්හරි වැඩ ගන්නව නම් වැඩ කරන්න සුදුසු පරිසරයක් සකස්කර දීමත්, ලැබෙන සේවයට නිසි වැටුපක් ලබාදීමත් කළ යුතුයි. රාජ්‍ය අංශයෙ, විශ්‍රාමිකයින්ගෙ වැටුප් විෂමතාවය දැන් දශක කීපයක් තිස්සෙ හිටපු ඉන්න සියළුම රජයන් පවත්වගෙන යනව. ඉල්ලන ඉල්ලන එකාට එවේලෙට දීමෙන් කවදාවත් ඕකට විසඳුමක් දෙන්න බෑ. හැමෝම ඒක දන්නව. ඒත් කරන්නෙ ඒක. මම හිතන්නෙ මෙතෙන ප්‍රශ්නෙ ඒක නෙවි, කළමණාකරණයෙ දුර්වලතාවය. පෞද්ගලික අංශය බැලුවොත් ඒවා දුවන්නෙ ලාබය මත, ඔවුන්ට පාරිභෝගිකයින්ගෙ හොඳහිත හැමවිටම වැදගත්. ඒ නිසා පෞද්ගලික අංශයෙ සේවකයන් තමන්ට ලැබෙන වැටුප ගැන සෑහීමකට පත් වුනත් නැතත් බොහෝවිට ඔවුන්ගෙ සේවය සැලකිය යුතුතරමෙ හොඳමට්ටමක පවතිනව. රජයෙ රෝහල් ගත්තොත් රෝහල් අධ්‍යක්‍ෂවරු වෛද්‍යවරුන්. බොහෝවිට ඔවුන්ට කළමණාකරණය, පරිපාලන දැනුමක් නැහැ. කාලයක් තිස්සෙ තිබුණු දුර්වලකම් නිසා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිත් මස්රාත්තලම ඉල්ලන තත්ත්වයට පත්වෙලා. මේ සියල්ලටම හේතුව ඉන්න සහ හිටපු රජයන්වලට රාජ්‍ය සේවය නිසි පරිදි පවත්වගෙන යෑමේ අවශ්‍යතාවයක් නැතිකම. මේ ආණ්ඩුවලට ඔවුන් වැය කරන මහජන මුදල් ගැන වගේ වගක් නැහැ. ගිනිපොලියට හරි අරගෙන බෑන්චූන් ගහනව. ඒව යොදවන ව්‍යාපෘති නිසි ප්‍රමිතියට නැහැ. හොයන්න කෙනෙක් නැහැ. හැමඅතින්ම පරිපාලනය අන්තිමයි.

      Delete
    3. හැබැයි පුද්ගලික අංශයට වඩා ගොඩාක් වරප්‍රසාද විදින ගමන් තමයි රජයේ සේවකයො සමහරෙක් ආකාර්යක්ෂම වැඩ කරන්නෙ....එහෙම නේද කොලුවො...

      Delete
    4. ඒකම තමා බං මමත් මේ කියන්නෙ. තව එහෙමත් වෙලා තමා උන් මෙහෙම කරන්නෙ කියල. තමන්ට ලැබෙන දේ ගැන සේවකයො තෘප්තිමත් වීම නොවීම නෙවි ඔවුන්ගෙ අකාර්යක්‍ෂමතාවයට හේතුව. මට ලැබෙන දේවල් හොඳටම ඇති, ඒ නිසා මම මගේ වැඩේ උපරිමෙන් කරන්න ඕන කියල හිතල වැඩ කරන මිනිස්සු කොහේද ඉන්නෙ. ඒ නිසා කවුරු හරි ඔවුන්ව අධීක්‍ෂණය කරන්න ඕන. නිසි යාන්ත්‍රණයක් තිබෙන්න ඕන. නිවැරදි කලමණාකරණයක් - පරිපාලනයක් තිබෙන්න ඕන.

      Delete
    5. මම මැලේසියාවෙදි දකිනවා තමන්ගෙ රැකියාව ඉතාම තෘප්තිමවත්ව ඉටු කරන මිනිස්සු. මෙහෙ බස් වලට කොස්දොස්තර චරිත නෑ. බස් රියදුරා ලග තියෙන පෙට්ටියකට සල්ලි දැම්මාම ඔහු ටිකට් පත නිකුත් කරනවා...නමුත සෙනග තදබදය වැඩි වෙලාවට පසුපස දොරෙන් කිසිවෙකු නැගලා ටිකට් ගන්නෙ නැතුව ඉන්න වගක් රියදුරාට දැනුනොත්...ඔහු රථය මාර්ගය අයිනෙ නතර කරලා...රියදුරු අසුනෙන් බැහැලා ඔහු කරා යනවා...ඒ වගේ දෙයක් ඔහු කරන්නෙ ඔහුගේ රැකියාව පිළිබද තෘප්තිමත් නිසයි. නැත්තං දේවකාරිය වගේ කරන්නෙ නෑ.

      අපේ කාර්යාල පිහිටා තිබෙන ගොඩනැගිලි වල ඉන්න පිරිසිදු කිරීම් කටයුතු කරන කාන්තාවනුත් එහෙමයි. දවසේ ඕනෑම වෙලාවක ඉතාම කාර්යක්ෂමව තමන්ගෙ කටයුතු කරනවා.

      Delete
    6. සමාවෙන්න සිරා, මම මේ උඹ එක්ක වාද කරනව නෙවි, නැවත මතුවුනු කරුණු අනුව මගේ මතය පැහැදිලි කළා විතරයි. කොහොම උනත් මම මේකෙන් නවතින්නම්.
      යුරෝපා රටවල, ඇමරිකාවෙ එහෙමත් අපි අහල තියෙනව, බටහිර චිත්‍රපටිවලින් දැකල තියෙනව ඔය සිරා කියනව වගේ අවස්ථාවන්, ස්වයං සේවා. තමන් ගත්ත බඩුමුට්ටුවලට කාඩ් එක ඇතුල් කරල තමන්ම ගෙවල යන අවස්ථා පවා. අනෙක බොහෝ විට ප්‍රධාන නගරවල දි ඒ මිනිස්සු ගෙයින් එළියට බැස්ස වෙලාවෙ ඉඳල ඔවුන්ගෙ හැසිරීම කොහේ හරි තියෙන කැමරාවක සටහන් වෙනව. ලෝකෙ කොහෙත් නීතිගරුක හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නව සිරා. ඔය කිසිම දෙයක් එක රැයින් ඇති කරන්න බෑ. කාලයත් සමඟ අසාමාන්‍යයි වගේ පේන දේවල් බොහොම සාමාන්‍ය වෙනව. අපේ රටේ උනත් ඔය ඕනම දෙයක් ක්‍ර්‍රියාත්මක කරන්න පුළුවන්. මිනිස්සු තමන් හිතල ඔය විදියෙ වැඩ කරන්න පෙළඹේවි කියල හිතන්න බෑ. නමුත් ඇති කරන ක්‍රමයකට අනුගත වීම නම් පහසුවෙන් කරගන්න පුළුවන් වේවි. මුලින් ඇතිවෙන ගැටළු ක්‍රමිකව විසඳගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ නිසි වැඩපිළිවෙලක්, ක්‍රමයක්, ප්‍රතිපත්තියක්. කවුරුන් හෝ ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි. මම මුල ඉඳලම අදහස් කළේ ජාතික ප්‍රතිපත්ති සැකසීම රට නිවැරදි මාවතකට යොමු කිරීම රජයක වගකීම බව. ඒත් අවාසනාවට මේ දූෂිත දේශපාලන ක්‍රමෙන් අනුබල දෙන්නෙ නපුරට විතරයි. එයින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු, ව්‍යාපාර, සංවිධාන මේ රට පුරාම. මුළු සමාජ ක්‍රමයම ගඳ ගහන අප්‍රසන්න තත්ත්වයට පත්වෙලා. මේ ක්‍රමය යටතෙ තෘප්තිමත් මිනිස්සු ඉන්න පුළුවන් ද? නැවතත්, මේ තත්වය යටතෙත් පුද්ගලික අංශයෙ සේවකයො තෘප්තිමත් උනත් නැතත් සාපේක්‍ෂව හොඳ සේවයක් ඔවුන්ගෙන් ලැබෙන බව මම මුලදිම කිව්වා. මම කියන්නෙ මිනිස්සුන්ගෙන් බලෙන් වැඩ ගන්න ඕන කියල නෙවි, සියල්ලන්ම උදෙසා සාධාරණ ක්‍රමවේදයක් සැකසිය යුතුබව. ඒ වගකීම කවුරුන් හෝ ගතයුතු බව. එයින් තත්ත්වය මීට වඩා යහපත් වේවි කියල මම විශ්වාස කරනවා.

      Delete
  33. සිරි............... කතාව සිරා

    හොද උපදේසයකුත් හැංගිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට...උපදේශය කිව්වෙ කොයි එකද මෙයා...

      Delete
  34. සිරා මෙ ගැන තවකොහෙ හරි කිවුව නේද.මට මතකයි කමෙන්ට් එකක හරි

    ReplyDelete
    Replies
    1. මම මයෙ මලයා කියලා ලියපු කලින් ලිපියක මේ ගැන කෙටි සටහනක් යෙදුවා. එහි ලින්කුව මේ පෝස්ටුව තුලම තියෙනවා...

      Delete
  35. පිස්සු ඩබල් වෙන කතාවක්. මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම් අවදානමකද තියෙන්නේ කියලා හිතෙනවා. මේ සිද්ධියෙදි නම් බස් එක කොහේ හරි යටක වැදිලා හින්දා කියලාවත් හිතාගන්න පුළුවන්.

    මීට අවුරුදු 30ට විතර ඉස්සෙල්ලා අපේ මාමා කෙනෙක් ආමි එකෙන් පෙන්ෂන් ගිහින් ප්‍රයිවට් බස් එකක් එලෙව්වා. ඒ බස් එකේ එක තැනකින් ෆ්ලෝබෝඩ් එක කඩාගෙන මිනිහෙක්ව අස්සට වැටිලා ඒ බස් එකටම යටවෙලා මැරුනා. මාමාට රිමාන්ඩ් එකේ ඉන්න වුනා. බස් අයිතිකාරයාට කීප වතාවක් කිව්වත් ඒ ගැන උනන්දුවක් තිබුනේ නැහැලු. දවසක් දෙකක් බස් එක ගරාජ් එකට දැම්මාම ෆිනෑන්ස් ගෙවන්න අමාරුයි කියලා. ඔන්න තත්වේ. ඒ දවස්වල තිබුනෙත් ඔය හුචක්කු පරණ බස්.

    ReplyDelete
    Replies
    1. පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ කියන්නෙ ඒක නොවැ...කොයි වෙලාවෙ පහනෙ ආලෝකය නිවේවිද කියලා කියන්න බෑ. සමහරු වාහනය කොහොම හරි අටවලා විකුණනවා...මම දන්න කෙනෙක් වාහනයක් අරගෙන ඒකෙ දිරුම් පෑස්සුම් කරනකොට වාහනේ එක පාරටම ගිණිගත්තා ඒ කොටස...කලින් කරපු අලුත් වැඩියාවකදි කාඩ් බෝඩ් කෑලි වගයක් තහඩු අස්සෙ හංගලා....ඒ වගේ ගල් කොට්ටෝරුවොත් ඉන්නවා අපේ සමාජයේ...

      Delete
  36. මල්ලි නම් හරිම වීරයෙක්. අනූ නමයෙන් බේරිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...මමත් එහෙම තමයි හිතන්නෙ....මමත් වතාවවක් බස් බල්ටියක් ගැහුවා...කාමරයෙ ඇතුලෙ හොයලා බලන්න හමු වේවි ඒ කථාව.

      Delete
  37. එච්චර දෙයක් වෙලත් තමන් ගැන නොසිතා අනතුරට පත් වෙච්ච අනිකා දිහා බලපු සිරගෙ මලය නම් සිරාම මලයෙක්...මට ඔය කාලකන්නි බස් කාරයෝ පෙන්නන්න බැරි මගේ තාත්ත මට අහිමි කලෙත් ඔය සමහරු කියල තියෙන වර්ගයේ අසමජ්ජාති රියදුරෙක්...

    ReplyDelete
    Replies
    1. මගේ මිත්‍රයෙක් ඉන්නවා වර්තමානයේ වෛද්‍ය වරයෙක් විදියට කටයුතු කරන...එයා තමයි මගේ උසස් පාසල් අධ්‍යාපනයෙදි ඉස්සෙල්ලාම ලැබුන මිතුරා. එයාගෙ තාත්තා ලංගම රියදුරෙක්...යක්කල ගම්පහ මාර්ගයෙදි නිවසට ආසන්නයේ බස් එකකට යට වෙලාම තමයි උන් පුංචි කාලෙ ඒ තාත්තා නැති වෙලා තිබුනෙ....රියදුරෙකුගේ නොසැලිකිලිමත් එක තත්පරයක් තව කෙනෙකුගේ ජීවිතයේ වසර ගානක වෙනසක් කරන්න සමත්....

      Delete
  38. ඇඟ හිටිවැටෙන කතාවක් . සිරාගේ මල්ලි නම් හිත හයිය එල කොල්ලෙක් .

    ReplyDelete
    Replies
    1. අදහසක් එකතු කලාට මගේ ස්තූතිය...කොලුවො...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...