Monday, December 22, 2014

61 දෙණියායේ බේබඳු කථාව

ඉංග්‍රීසි සෑර්ගේ කථා මාලාව කියවා තිබෙන සිරාගේ කාමරයේ පාඨක ප්‍රජාවට දැන් ඒ චරිතය ආගන්තුක නොවෙයි. ඉංග්‍රීසි පන්තිය අතරතුර දළුලා වැඩුන පරම පවිත්‍ර හිතවත්කම නිසාම සෑර්ගෙන් අපට නොමිලේ ලැබුන රහමෙර පදම ඉක්මවා යද්දී ගෙදරින් තහංචි වැටුන ආකාරයත්..සිරා කොලුවාගේ පියා එල්ල කල අනුකම්පා විරහිත කනේ පහරත් බොලාට මතක ඇතුවාට සැක නැත.

වේලාසන නොතිබූ ආකාරයේ විරෝධතාවක් ඇතමෙකුගේ නිවෙස් වලින් එල්ල වන කල සෑර්ට කලින් මෙන් නිදහසේ බෝතලයක් හිස් කොට තමාගේ තරුණ අවධියේ කොරන්නට නොහැකි වූ දෑ වර්තමානයේ තරුණයන් කීප දෙනෙකු සමග ආවර්ජනය කොට ඒ මිහිර විඳගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය. මේ කාරණය නිසාදෝ දවසේ දෙකේ විනෝද චාරිකා සංවිධානය කිරීමට එතුමා කටයුතු යෙදීය.

එලෙස අප ගිය අභිමංගල චාරිකාව වූ හපුතලේ ගමන ගැන ඔබ දැන් කියවා අහවරය. එයින් පසු දැරණියගල ප්‍රදේශයේ ඇළිහත ආශ්‍රිත වනාන්තරයේ රැයක් පහන් කල අතර ඒ ගමන සැබවින්ම ත්‍රාසය භීතිය පිරුණ එකකි. ඒ මතක සටහන් මම වෙනත් දිනයක ඔබ වෙත තිළිණ කරන්නෙමි.

මේ කියූ චාරිකා දෙකට අමතරව තවත් චාරිකා කීපයකට එක් වූ ඉංග්‍රීසි පන්ති නඩය ඒ වන විටත් සෑර් සමග යන චාරිකා පිළිබද හොඳ අවබෝධයකින් සිටි කාලයක අද ඔබට කියනා දෙණියායේ ගමනට අවස්ථාව එළඹුනි.

තමුසෙලා දෙණියායෙ ගිහින් තියෙනවද ?

දෙණියායේ විසිතුරු.... පින්තූරය මෙතැනින්
හෙණ ගැහුවා මෙන් මධුවිතකට සැට් වී සිටි සවස් වරුවක සෑර් අපෙන් විචාලේය.

නෑ සෑර්...අපි සියල්ලෝම කීවෙමු. නෑදෑයෙක් මිත්තරයෙක් මෙලෝ යකෙක් නැති දෙණියායට අප කිසිවෙක් ඒ වනතුරුත් ගොස් තිබුනේ නැත.

එහෙනම් අපි දෙණියායෙ යමු ඊලග ට්‍රිප් එක විදියට...

එහෙ මොනවද බලන්න තියෙන්නෙ...

මොනවා බලන්නද අයිසෙ..අපි කොහෙ ගියත් කරන්නෙ වතුර තියෙන තැනක නැවතිලා බොන එකනෙ...ඒකට තමයි අපි දෙණියායෙ යන්නෙත්...

සෑර්ගේ හඬින් පසුබා ගිය අපි ඉන් එහාට කිසිවක් විමසන්නට ගියේ නැත.

ඒ වන විට අපේ ඉංග්‍රීසි සෑර් වෑන් රථය විකුණා පැරණි පන්නයේ කාර් රථයක හිමිකරු වී සිටියේය. දැන් මේ ගමන යන්නට නියමිතව තිබෙන්නේ මේ රථයෙනි. නියමිත දිනයේ උදෑසනම අපි ඒ කාලයේ නිතර අනුමත වූ සන්නාමයෙන් මිළදි ගත් බ්‍රැන්ඩි බෝතල් වලින් රථයේ ඩිකිය පුරවා දැම්මෙමු. බ්‍රැන්ඩි වලට අමතරව සැන්ටිං වලට තවත් පාන වර්ගද...අයිස් කැට කවරයක්ද...ප්ලාස්ටික් කෝප්ප සහ අත් පිසින්නට ටිෂූ කොලද ආදී වශයෙන් ඩිකිය තුල ජංගම ස්කාගාරයක් සකසන්නට අපට ගම්පහ නගරයේදීම හැකියාව ලැබුනි.

ඒ වෙද්දි නගා කොලුවා හැර මමත්, පුෂ්පයාත් රැකියාවන්හි නිරත වීම අපේ චාරිකාවේ ආර්ථික බර හෑල්ලු කරගන්නට සෑර්ට සහාය විය. ජංගම ස්කාගාරයේ වැඩ නිමවා, ටැංකිය පිරෙන්නට පෙට්‍රල් ගසා, අලිපැටියෙකුද ඇතුලත් අප තිදෙනා සහ සෑර් රථයේ අසුන් ගත් පසු එය පොළවේ ගෑවෙන නොගෑවෙන තරමට පහත් වී තිබුනි.

එදිනෙදා යෙදෙන රාජකාරී හමුවේ ඇතමෙකුට සමහර විටෙක චාරිකාවේ යෙදෙන්නට හැකියාවක් නොලැබෙයි. වනිගයාට රාජකාරී කටයුත්තක් නිසා මේ ගමන යන්නට අප සමග එක්විය නොහැකි විය.

දෙණියාය බලා යන ගමනේ බොහෝ කථා රථය තුලදී දිග හැරෙයි. රියදුරුට යාබද ඉදිරි අසුනේ සිටින්නේ නගා කොලුවායි. ඒකා එහි තබා ඇත්තේ සිතියම් කියවීම උදෙසායි. GPS නොතිබූ ඒ කාලයේ අප බොහෝ විට මාර්ගය සොයාගන්නට අති විශාල සිතියමක් උපකාරී කරගත්තෙමු. සෑර් තමන් දන්නා තරම් දුරට රථය පදවා අහවර කල පසු එතැන් සිට සිතියමේ පිහිටෙන් අපේ ගමනේ ඉතිරිය ක්‍රියාත්මක වෙයි.

ගුරුකමට එන්නට පෙර ලංකාවේ ජාතික උද්‍යාන වල වගකීම් සහගත රැකියාවක නිරත වූ අපගේ සෑර් සතුව අති විශාල ප්‍රමාණයේ ලංකා සිතියමක් විය. මෙය සම්පූර්ණයෙන් දිග හැරිය විටෙක අඩි හයක් පමණ දිගු වෙයි. දැන් අප පසුකරන ප්‍රදේශය මතුපිටට පැමිණෙන ලෙස අඩියක තරම් වන පරිදි සිතියම නවා එහි මාර්ග දෙස සුපරීක්ෂා සහගතව බලා ඉන්නට ඉදිරි අසුනේ සිටින නගා කොලුවාට නියම වී තිබේ. මේ සිතියමේ ඉතාම හොඳින් අතුරු මාර්ග පවා දක්වා තිබූ බව මට මතකය.

මම දෙණියායෙ අන්තිමට ආවෙ අවුරුදු 20 කට විතර කලින්..ඒකයි ආයෙම සැරයක් එන්න හිතුනෙ. 

සෑර් රථය පදවන ගමන් කියයි. මෙවැනි ගමනකදී කිසි දිනෙක රාත්‍රී නවාතැන කුමක්දැයි වේලාසන සැලසුම් කරන්නේ නැත. අප හැමදාමත් කලේ රාත්‍රිය උදාවන්නට මොහොතකට කලියෙන් නතර වෙන්නට තැනක් ඒ වන විට සිටින ප්‍රදේශයෙන් සොයා ගැනීමයි.

රථය නගරාශ්‍රිත පෙදෙස් පසුකරවිත්  සොබා සුන්දරත්වයෙන් අනූන ගම්බද පෙදෙසක් පසු කරමින් සිටියි. මාර්ගයට යාබදව තිබූ කුඩා කඩයකින් මිළදී ගත් පාන් ගෙඩි දෙක තුනක් පෙති කපා..නගා කොලුවා නිවසින් සාදවා ගෙනවිත් තිබූ පරිප්පු සහ සීනි සම්බල් සමග ගිල දැම්මේ රථය නිස්කලංක රබර් වත්තක් අසල නවතා බව මට හොඳින් මතක තිබේ. ඇගපත නැති ගැරඩියකු බඳු නගාගේ බොක්කේ හිඟන ජනපදයක් සිටිනා බව අපට ඒ වන විටත් එත්තු ගොස් සෑහෙන කලක් ගත වී තිබුනි. නගා කොලුවා තනිව පාන් ගෙඩි එක හමාරකට ආසන්නව වගකියූ පසු අපගේ උදෑසන ආහාරය අහවර වූයෙන්  නැවතත් දෙණියාය බලා පිටත් වීම ආරම්භ කළෙමු.

අවිස්සාවේල්ල,  ඇහැළියගොඩ, රත්නපුරය පසුකරමින් පැමිණි අප කහවත්තේදී රථය නැවැත්වූවේ පුෂ්පෙ කොලුවාගේ  කැමරාවට දළ සේයාපටයක් මිළදී ගැනීම සඳහාය. ඩිජිටල් කැමරා නොතිබූ ඒ යුගයේ මේ චාරිකාවේ ඡායාරූප ලබා ගැනීමට 36 රෝලක් දමන්නට තරම් ආර්ථික ශක්තියක්  අප සතුව තිබුනි.

ඉංග්‍රීසි සෑර්ට එදා සිටම රහමෙර ඩිංගිත්තක් පානය කරන්නට ජලාශයක් හෝ වෙනත් ජල මූලාශ්‍රයක් ලඟ පාතක තිබිය යුතු විය. සුළගේ දිය රැළිති නංවන ජල තලාවේ සුන්දර දසුන දෙස බලා සිටින විට නෙතට කිසිඳු විඩාවක් නැත. ඒ නිසාම වර්තමානයේ උවද පණු බෙහෙත් සුට්ටක් බොන්නට චාරිකාවක් අතර තුර අප නතර වෙන්නේ ජලය පේන මානයේ තැනකය.

මාර්ගය ආසන්නයේම එවැනි ස්ථානයක් ජනශූන්‍ය පෙදෙසක හදිසියේම දුටු රථයේ රථාචාර්ය සෑර්...රථය මාර්ගයෙන් අයින් කොට නවත්වා  පොඩියක් අනුමත වෙන්නට හැමටම ආරාධනා කලේය. එහි වූ ජලයද ඉතාම පිරිසිදු නිසා ජලය ස්නානයටද අප හට දොළදුකක් ඇති විය. දරට ගිය ළඳුන් කීප දෙනෙකුගෙන් විමසූ කල එතැන අවධානමක් නැති බව දැනගන්නට ලැබුනි.

කලිසම් කොට වලින් සැරසුන අපේ චාරිකා නඩය අතින් කටින් බෝතල් රැගෙන මාර්ගයට එතරම් නොපෙනෙන ඉසව්වක තිබූ කුඩා ඇළ මාර්ගයේ සිත්සේ දිය කෙළින අතරතුර නැටුම් තෙල් සුට්ටක්ද ආමාෂ ගත කලේ ආගිය තොරතුරු වලින් සභාව කුල්මත් වූ පසුබිමක සිටය.

උපන් ගෙයි ලෙඩෙකු වන නගා කොලුවා දහවල් 1 කණිසම පැන ඇතිනම් ඒ කාලයේ ස්නානය කරන්නේ නැත. මොන දහං ගැටය ගැහුවත් මේකා වතුරට බහින්නේම නැත. ඇළ මාර්ගය ආසන්නයේ ගල් ගෙඩියක් මතට වී බ්‍රැන්ඩි වීදුරුවක් පැය ගානක් තිස්සේ තොල ගෑමට ඒකා කැමතිය. දිවා ආහාරය අතර මග ස්ථානයකින් මිළදී ගෙන පාර්සල් කර කටගැස්මටද යමක් මිළදී ගෙන පැමිණ තිබූ නිසා එහිදීම දිවා ආහාරය භුක්ති විඳින්නට අපට හැකි විය.

මධුවිත නිමවා දැන් නැවතත් රථය පිටත් වෙයි. ඒ වනතෙක් සිතියම කියවූ නගා කොලුවා ඒ කාරිය කොරන්නට තවත් බැරි බව පවසා රථයේ පිටුපසට පැමිණ සිටි නිසා දැන් ඉදිරි අසුනේ පුෂ්පෙ කොලුවා විරාජමානව සිටියි. රථය කෙමෙන් කෙමෙන් රක්වාන පසුකරන විට නගා කොලුවා ඔන්දස්පොට් වන ලකුණු පෙන්වීය.

අපේ අසරණ නගාට බඩු පැකට් වී ඇති බවත් කබරයා මග එන බවත් දන්නා නිසාම සෑර් රථය අතර මගක නවතා පුංචි විවේකයක් ගන්නා විටෙක නගා කබරයා දිගේලි කලේය. කීප වතාවක්ම කබරයා දැමීමෙන් බොක්කේ තිබූ අවසන් බත් ඇටයද පොළවට මුදාහැරි නගා කොලුවා රථයේ පසු පස ආසනයේ සුව නින්දකට වැටුනි.

මේකා මෙහෙම නිදියද්දි කොහොමද තව කෙනෙක් පිටිපස්සෙ ඉඳගන්නෙ...හොරට බීලත් මේකව ඇඳගෙන වැටුනනෙ හැබෑට...සෑර් සිටින්නේ විස්සෝපයෙනි.

දෙහිගෙඩියක්වත් යටි පතුල් දෙකේ උලලා මේකව කෙලින් කරගමු...නැත්තං දෙණියායට යන්න වෙන්නෙ නෑ කළුවර වැටෙන්නට කලියෙන්...

සෑර්ගේ යෝජනාව අනුව ගෙයක් දොරක් නොපෙනෙන ඉසව්වක බේබදු නගාට දෙහි ගෙඩියක් සොයා මහා මෙහෙයුමක් ආරම්භ කළෙමු.

නගා සමග රථය තනිකොට අප හුදෙකලා ඉසව්වක නිවෙසක් සොයා ඉදිරියට ඇදෙමින් සිටින්නෙමු. ඒ මාර්ගයේ වාහනයක් ධාවනය වූයේ කළාතුරකින් නිසා හාත්පස බොහෝ සේ නිශ්චලය. හමනා සිහිල් සුළග ගතට එක්කරන්නේ අමුතුම මිහිරකි. දහවලේ හලාගත් බ්‍රැන්ඩි වල කික් එක තවමත් සම්පූර්ණයෙන් අප හැර දමා ගොස් නොතිබූ නිසා නගා නිසා අප කන කට්ට උවද අති සුන්දර සෙයකි.

කිලෝමීටර් භාගයක පමණ දුරක් පා ගමනින් පැමිණි පසු අපට කුඩා නිවෙසක් හමුවිය. වත්තේ කොණට වෙන්නට දෙහි ගසක් තිබෙන බව දැකීමෙන් අපගේ චිත්ත සන්තානයම ඔකඳ වී ගොසිනි.

සුදු අක්කෙ....ඈත පළාත් වල චාරිකාවක් ගිය කල ප්‍රදේශවාසී ගැමියන්ට සෑර් ආමන්ත්‍රණය කරන්නේ ඒ අයුරිනි. මහළු කාන්තාවක් නම් සුදු ආච්චී කියා අමතයි.

මේ පළාත් වල තිබෙන දුක්ඛ දෝමනස්සයන් මේ යැයි කියා පානා කැඩපතක් බඳු, දිරාගිය ශරීරයකින් යුතු වූ කෘෂ ගැහැණියක් අප ඉදිරියේ දිස්විය.

මහත්තයලා මොනවද බලන්නෙ...

අක්කා අපි මේ දෙහි ගෙඩියක් තමා හෙව්වෙ... සෑර්ගේ කට අපට ඉස්සර විය.

ඒ මොකටැයි මහත්තයො....එකනැට්ටෙ ඒවද ඕනෙ ?

එක නැට්ටෙ හරි නැටි දෙකක හරි අක්කෙ...අපි එක්ක ආපු කෙනෙක්ට පොඩියක් වැඩි වෙලා...එයාගෙ යටි පතුලෙ ගාන්න කියලා...

කෝ මහත්තයො දැන් ඒ කෙනා...

එවිට අපි දඟර ගැහුන මාර්ගයේ  ඈත වංගුවක පෙනෙන සුදු පැහැති මෝටර් රථය පෙන්වීමු.

මිනිහා තද නින්දක ඉන්නෙ...අපි ඇහැරවන්නෙ නැතුව පයින්ම ආවා දෙහි හොයාගෙන...

අක්කා හරිම අහිංසක එකියකි. දෙහි ගහෙන් දෙහි කඩා ගන්නට අපටම පැවරුවාය. හොඳින් පැහුනු ගෙඩි තෝරා දෙහි ගෙඩියක් දෙකක් කඩන්නට පටන් ගන්නවාත් සමගම මාර්ගය අද්දර සිටි මට සෑර්ගේ කාරය අප සොයා එන බවක් පෙනුනි. එය නයිට්රයිඩර් වර්ගයේ එකක් නොවන වග මට ඉන්තේරුවෙන්ම දනිමි.

දෑස් පිසදමා මම මේ දකින්නේ සිහිනයක් නොවන බව නැවත නැවතත් තහවුරු කරගතිමි. සැබෑවකි...ඒ සෑර්ගේ එකම තමයි. මේ මහා විශ්ම කර්මය සෑර් වෙත සැළ කල විට ඔහුද මගේ පසෙකින් සිටගෙන මේ පුදුමය දෙස බලා සිටියි.

ඉබිගමනින් අප කරා ආ රථය අප ආසන්නයේ නතර විය. රියදුරු අසුනේ සිටින්නේ මෙතෙක් වේලා පසුපස අසුනේ දපාගෙන සිටි නගා කොලුවාය. සෑර් අප සියල්ලන්ටම ඒ කාලයේ රියදුරු පුහුණුව ලබා දී තිබූ නිසා හැම එකාටම රිය පැදවීමට හැකියාව තිබුනි. රියදුරු අසුන පැත්තේ දොර විවෘත කර බිමට බට නගා විසි වී ගියේය.

උඹලා මාව දාලා යන්න නේද...ඕක්..... මට ඇහැරුනා..උඹලා පේන්න නැති නිසා මම කල්පනා කලා ආයෙමත් බෝතලයක් කඩලද කියලා මාව හලලා...

උඹ කොහොමද බොල කාර් එක ස්ටාර්ට් කලේ...යතුර මගේ ලඟනෙ...

සෑර්ගේ ඇස් ගෙඩි දෙක එළියට පනින්නට ඔන්න මෙන්නය.

ඇතුලෙ පොඩි කතුරක් තිබුනා...මම ඒක දාලා කැරකුවා..ස්ටාර්ට් උනා...

බමන මතින් සිටින නගා කොලුවා දෙපසට වැනෙයි...

මෙන්න මෙතනින් ඉද ගනිං.....උඹට පොඩි සාත්තුවක් කරන්න...

පාර අයිනේ නගා හිදුවාගත් අපි දෙහිගෙඩි දෙක තුනක් ඒ ඔලුවේ ඇතිල්ලීමු. ඔලුවේ ඇතිල්ලී හැලෙන රේණු දෙස, නගා තේරුම් ගත නොහැකි යමක් දිහා බලා සිටින ආකාරයෙන් බලා සිටියි.

මහත්තයලා දෙණියායට යනවා නම් ඉක්මනින් යන්න...සුනංගු වෙන්න එපා...ඔය පාරෙ තනියෙක් කැරකෙනවා...පහුගිය මාස වල ඉඳලා හිටලා වාහන වලට ගහලා තිබුනා රෑ වෙලා ගිය...

මේ කඳුකර ශීතල පළාතෙ වල් අලියෙක් ? කවුරු විශ්වාස කලත් අක්කාගේ ඒ කථාව මම නම් විශ්වාස නොකලෙමි.

වටින් ගොඩින් අඳුර වැටීගෙන එන නිසාම තවත් ප්‍රමාද නොවී දෙණියායට යන්නට සෑර් තීරණය කලෙන් අක්කාගේ කාරුණික භාවයට නොසෑහෙන සේ ස්තූති කොට අප එතැනින් පිටත් වීමු. රියදුරු අසුන පුෂ්පෙ කොලුවාට බාර දී සෑර් අනෙක් පසට විය. සෑර්ගෙන් පසු අපට සිටි හොඳම රියදුරා පුෂ්පයා වීම එයට හේතුවයි.

දෙණියාය නගරයට පිවිසෙන විට වේලාව රාත්‍රී 9 ට ආසන්න වන්නට ඇත. නගරයට පිවිසෙන්නට තිබෙන මාර්ගයේ අවසන් කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණය තනිකරම පල්ලමකි. මේ මාර්ගයේ අපට වාහන කිසිවක් දකින්නට නොලැබුනු නිසාම ඇඳිරි නීතිය වත් දාලද දන්නෙ නෑ ? යනුවෙන් අපේ සිත් සතන් වල සැකයක් මෝදු වී තිබුනි. එහෙත් නගරයේ රථය නවතා නවාතැනක් සොයන විට......

මේ වෙලාවට තනියා පාරට එන වෙලාව...මහත්තුරු දන්නෙ නැතුවද ආවෙ....ගිය සතියෙත් වෑන් එකකට ගහලා පොඩි පට්ටම් කරලා තිබුනා...

නගරයේ හාදයෙක් එසේ කියනා විට අපි සියල්ලෝ මුහුණට මුහුණ බලාගත්තෙමු. වෙනත් වාහන මාර්ගයේ ධාවනය නොවූ හේතුව දැන් පැහැදිලිය. අප පසුකර පැමිණ ඇත්තේ තරමක අවධානමකි.

නගරයේ තිබූ කෝවිල අසලදී හදුනාගත් දමිළ තරුණයෙකු මාර්ගයෙන් අපට කදිම නවාතැනක් ලැබුනි. දෙමහල් නිවසක් වූ එහි හිමිකරුවා අගනුවර වෙසෙයි. මේ කියන කොලුවාත් තවත් කෙනෙකුත් මේ නිවස බලා කියාගෙන සිටියි. ඒ අය අප සමග හිතවත් වූ පසු ඉතාම සාධාරණ මිළකට නවාතැන් දීමට එකඟ විය. අපට කාමර දෙකක් ලැබුනි...ඒ නිවසේ වෙනත් ආගන්තුකයන් සිටියේ නැති නිසා..මුළු නිවසම අපේ වැනිය.

නගරයේ වූ රාත්‍රී ආපන ශාලාවකින් රාත්තිරියට බුඳින්නට පරාටා පාර්සල් කරගෙන නිවසට පැමිණි පසු...සෑර් මදි හරියට නැවතත් බෝතලයක් සභාවට කැඳවාගෙන ආවේය. දහවලේ සාටර් වී සිටි නගා...බෝතලය දුටු විගසම හොර නින්දකට වැටුනි.


මතු සම්බන්ධයි....



මම කාමරේ අරින සිරා කොලුවා.

61 comments:

  1. දෙනියාය නම් සුන්දරයි. උබලා ගියේ රත්නපුර පැත්තෙන්ද? ගාලුපාරේ ගිහින් ගාල්ලෙන් හැරිලා යන පාරේ ගියානම් අලි අහුවෙන්නේ නැහැ. දැන් නම් හයිවේ එකේ ඉමදුවට ගියා තවත් පැය දෙකෙන් දෙනියාය

    ReplyDelete
    Replies
    1. අපි ගියේ රත්නපුර පැත්තෙන්..ඒ මාර්ගය පුදුම සුන්දර එකක්...මෙච්චර කල් මේ මාර්ගයෙන් ගිහිල්ලා නැති කෙනෙක්ට මම කියන්නෙ ඒ පාරෙන් යන්න කියලයි..ස්වභාව ධර්මයාගේ සුන්දරත්වය හොඳින් විඳින්න පුලුවන් මාර්ගයක් ඒක...

      Delete
  2. දෙන්යායේ බේබදු කතාවේ ප්‍රාධාන චරිතය තුසිත රණවකද? ඒ කියන්නේ ගාණ්ධිනිගේ මිනිහද? මහින්ද රාජපක්ෂගේ මස්සිනාද?

    ReplyDelete
  3. නියම කතාව. ඊළඟ කොටස දානකම් බලන් ඉන්නාව :D. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා...සති අග වෙද්දි ඉතිරිය පලවේවි...

      Delete
  4. උබට ඕවා ඔච්චර හොඳට මතක කොහොමද බන් , මේ ඊයේ පෙරේදා උනා වගේ කියන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. ඔච්චර හොඳට කොහොම මතක තියෙනවද මන්දා

      Delete
    2. මෙහෙමයි මිත්‍රයා දෙබස් මේ මේ විදියයි කියලා මතක නෑ...නමුත් සිදුවීම් හොඳට මතකයි...මම කරන්නෙ කථාව ලියද්දි ඒ ඒ සිදුවීම් මගේ වචන වලින් විස්තර කරන එක...දෙබස් සහ තිර රචනය මගේ....හැක් හැක්...

      Delete
  5. සික්, කරුමෙට කියන්නෙ හැමදාම මට ට්‍රිපක් යද්දී එලවන්න වෙනව , ඉතින් බොන්නත් නෑ අවට සුන්දරත්වය බලන්න විදිහක් නෑ .

    ReplyDelete
    Replies
    1. "අවට සුන්දරත්වය" බලන්න තමා සයිඩ් කන්නාඩි එන්නෙ වාහන වල :D

      Delete
    2. දැන් ඉස්සරහට කැමරාවක් හයි කලා, නවත්තපු තැනට ගිහින් රෙකෝඩ් වෙලා තියන ටික බල ,බල ගල් ටිකක් බොනවා :D

      Delete
    3. සයිඩ් කණ්නාඩි බල බල ගියොත් හොඳට තියෙයි.
      එකපාරක් නුවරඑළියෙ ගිහිල්ල පූඩළුඔය පැත්තෙන් එනකොට වාහනේ එළෝගෙන ආපු මට අනික් උං කිවුවෙ උඹ එහෙම වටපිට බලන්න එපා කියල. මොකද ඒ පාර ඒ වෙනකොට හොඳට හදල තිබුණෙ නෑ වගේම එක පැත්තක් තනිකරම ලෝකාන්තෙ වගේ. ඔය අපර් කොත්මලේ පවර් හවුස් එකට උඩින් තියෙන හරිය.

      Delete
    4. ප්‍රසා, මගේ කමෙන්ට් එක දාද්දි මතක් උන එකක් තමයි ඔය පාර, ඔය පාරෙ බලන්න තියෙන්නෙ ඩන්සිනේන් ඇල්ල විතරයි. වෙන බලන්න මෙලෝ මගුලක් නෑ . එලෝලම පණ යනව.
      ටිකක් දුරදි මොබයිල් සිග්නලුත් නෑ.

      Delete
    5. @ කම්මල,
      ඔවු ඒ පාරෙ බලන්න තියෙන්නෙ ඔය ඇල්ල විතරයි. මේ අපේ එකෙක්ගෙ උවමනාවට ඒ පාරෙ ආවෙ. ඇල්ල ගාව ඉඳලනං පාර කාපට් කරල තිබුණ.

      Delete
    6. මොන පිස්සුද බං, ඒක මාර සිරා පාර. මේ බලහන් ඒකෙ තියෙන සුන්දර ස්ථාන, මේ අපි 2003 විතර ගිය ගමනක මතක.

      Delete
    7. අන්න ඒක තමයි කම්මලා අයියා ඩැයිවර් නෝනෙක් ලගට ගන්න ඕනෙ...එලවලා එලවලා ඇති උනාම..ආ සුදු ඔයා දැන් ගන්න කියලා ඔයාට පුලුවන් අවට සිරි නරඹන්න...මම නම් හිතාන ඉන්නෙ එහෙමයි...

      Delete
    8. @ඉන්දික,
      බොලා ඔය කැලෑ අස්සෙ රිංග රිංග බැලුවට අපිට ඒව කරන්න වෙලාවක් තිබ්බෙ නෑ බොල. රෑ වෙන්න කලින් ගෙදර එන්නත් එපැයි. කරපු එකම දේ ඔය පාලම ගාව පාර අයිනෙම තියාගෙන පොඩ්ඩක් අනුමත වෙච්ච එක විතරයි. (මග දිගටම ඉතිං එහෙම තමයි)
      @සිරා, අපොයි ඒක ඊට වැඩිය භයානකයි. :D

      Delete
    9. @ ඉන්දික , අපිත් කැලේ පැන්නේ නෑ බං . නුවරඑලිය ටොප් පාස් වලින් ඩන්සිනේන් පාරෙ , ඉහල කොත්මලේ හරියෙ තමයි ලස්සන. ඩන්සිනේන් වත්තට රිංගල කොටේජ් වල හිටියොත් හොදයි. පුෂ් ආයෙත් යනවනම් පුන්ඩලුඔය ටවුමෙන් තියනවා Fernland කියල තේ වත්තක් , ඒකෙ තියනව පුංචි ලොකාන්තයක් නියම තැන. කාරෙකකට උනත් කිට්ටුවටම යන්න පුළුවන් .
      @සිරා , ඩ්‍රයිවර් නෝනට දෙන්නෙ high way, නැත්තම් , රජරට පාරවල් වලදි තමයි. උන්දැ මයිකල් ෂූමාකර්ගේ පුංචි අම්මගෙ දුව.

      Delete
    10. පුංචි ලෝකාන්තයට නම් ගිහින් නැහැ. මහ ලෝකාන්තයට තමයි මම ගිහින් තියෙන්නෙ..

      Delete
  6. උඔ දන්නවනේ බේබදු කතා වලට අපි කෙහෙමත් මනාපයි ඉක්මනට ලියපිය ඉතුරැ ටික.

    ReplyDelete
    Replies
    1. ආයි අහලා... +++++

      Delete
    2. ඕ යේස් …

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. වැඩක් නෑ , බීල තියෙන්නෙ ගල් නෙමේ. ගල් නැති ට්‍රිප් ...ශෙක් ...වැඩක් නෑ .
      අපේ බ්‍රෑන්ඩ් එක ගල් .

      Delete
    4. අපරාදෙ සෑර් වියදං කරපු සල්ලි .. චැහ්

      සිරා ගල් වල අගේ දැන දැනත් සෑර්ව නොමඟ යවපු එක තරයේ හෙලා දකිමි .. ඕ යේස්

      කැඳවුම්කරු
      - ගල් බලකාය-

      Delete
    5. ගල් නැත්තං මොන සැපද.

      බ්‍රැන්ඩි වානා - ගල් ඕනා සංවිධානය.

      Delete
    6. රස හදුනන්නෝ ගල්ම ගහන්නෝ...බලපන්කෝ ගලට වශීවෙලා ඉන්න සෙට් එක.... හැබැයි මම නම් දැන් ඉතින් Jameson

      Delete
    7. ඉතුරු ටික ලියාගෙන යන ගමන්...මට භය හිතුනා බොලව්...පත්තර මල්ලි ගල් බලකායෙ කැඳවුම්කරු කියන්නෙ..මහමැතිවරණයට ඉල්ලයිද මන්දා යන විදියට...බේබදු ඡන්ද ටික හූරගන්න...

      Delete
  7. නගා එකා හොඳයි.. වතාවක් අපේ එකෙකුට දෙහිඅත්තකණිඩියේදි වැඩිවෙලා මූව නිදි කරා අපි ගිය ජීප් එකේ පිටිපස්සේ.. මේක මුළු ජීප් එක පුරාම කෙල ගහල ගන්න දෙයක් නෑ.. රෑ දහයට විතර පෙරේතයා වගේ නැගිටල ඇවිත් අපි බිබී හිටපු එකෙන් බාගයක් විතර එක හුස්මට ආයි කෙළියා අපිටත් බැන බැන.. හැක් හැක්.. හා හා.. ඊළඟ කෑල්ල කියනකං ගනින් ඔය සර් ගෙනාපු බෝතලේ මෙහාටත් දෙකක් දා ගන්ඩ..

    ReplyDelete
    Replies
    1. ඊලග කොටහා බලහංකො කල්‍යාණ මිත්‍ර...ඒකෙදි තව අයට වැඩි වෙනවා..හැක් හැක්...බෝතලේ උඹට දෙන්න දික් කරද්දි මෙන්ඩියා ගත්තා ඔන්න...

      Delete
  8. මටත් මතක් උනා බන් අපේ සැට් එක පිල්ලෑවේ සෙට් උන හැටි.... පිල්ලෑව උනාට ඒක දුපතක්.... ඇලකින් එගොඩ වෙලා තමයි යන්නේ... ඇලෙන් එගොඩ වෙන්න දාලා තිබ්බේ කපපු පොල් ගහක්... කට්ටිය යනකොට කිසිම අවුලක් නැතුව අර සන්දර්ශනකාරයෝ කම්බිය දිගේ යනවා වගේ ගානට බැලන්ස් කරගෙන ගියා... බෝතල් හිස් කරලා එනකොට තමයි කට්ටියට තරු විසි උනේ... කෙලින් හිටගන්නවත් බැරුව මොන බැලන්ස්ද... අන්තිමට කට්ටියම හරහට දාලා තිබ්බ පොල් කදේ බඩගෑවා ගහට නගිනවා වගේම.... (උබලට සිද්දිය තෙරුනානම් පට්ටෙට හිනා යන්න ඕනේ...)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කාලෙදි බොට බූට් වේදනාව දැනුනෙ නෑ නේද...පොඩියක් නමාගෙන හබක් වෙච්ච ප්‍රේමය මතක් කරද්දි දැනෙන ෆන් එක කොහොමද කොල්ලො...

      Delete
  9. යකෝ අරූට කෙලින් කටින් ඉන්ඩ බැරුවත් ඌ වාහනේ අරගෙන ඇවිල්ලා නෙව :)

    ReplyDelete
    Replies
    1. අපේ උන් එහෙම තමයි...ඔලුව නැතත් කඳ බඩ වැඩ...

      Delete
  10. ඊලඟ ඒකනම් දෙකක් දාගෙනම බලන්න වෙයි වගෙ..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං වීයා...බොලා මේක කෙටුවෙත් කාලක් බඩ හලාගෙන නේද...

      Delete
  11. දෙනියායෙ නෙමෙයි බොල රක්වානෙන් පොඩ්ඩක් උඩහට ගිය තැන ඉඳංම අලි ඉන්නව.
    දෙනියාය පැත්තනං ඇත්තටම සුන්දර පැත්තක් තමයි.
    නගා වාහනේ ස්ටාට් කරපු හැටි කියවනකොට මට මතක් උනේ කතරගමදි අපිත් එක්ක ගිය පොඩි එකෙක් උංගෙ වෑන් එකේ පිටිපස්සෙ දොර යෝගට් හැන්දෙන් ඇරපු හැටි.

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ...මම හිතුවෙ කඳුකර පළාත් වල අලි නෑ කියලා...මෙදා පොටේ ලංකාවට ආවම අතිජාත ස්කූටරයෙන් දෙණියායෙ ඉන්නයි මම හිතාන ඉන්නෙ...

      යෝගට් හැන්දෙන් දොර ඇරියා නම් කොලුවා ලොකු වෙද්දි සෑහෙන තැනකට එයි...රටේ ජනාධිපති උනොත් ලෝකෙටම ලොක්කා වෙයි...

      Delete
    2. පොඩි එකා දැං සෑහෙන තැනකට ඇවිල්ලා ඉන්නෙ. ආං බඩු ඉන්නවා ගොඩකවෙල බාර් එකට ඉස්සරහා කඩේ…ගියොත් බලතෑකි .ඕ යේස්

      Delete
    3. හැක්.. හැක්... අපි අනුංගෙ හිල් වලට යතුරු දාන්න යන්නෑ පත්තරයො. :D

      Delete
  12. සෑර් මාර පින්වතෙක්නේ. . ඔය සර්ට තිබ්බේ සුදු පාට කාර් එකක් නේද. . ට්‍රිප් එක යන්න රියල් නගෙක් නැති එකේ මේකෙ කිව්වා නගා හොදයි වගේ. හික් හික්

    ReplyDelete
    Replies
    1. සුදු පාට කාර් එකක් කියලා ලිපියෙ ලියලා තියෙනකොට ආයෙත් අහනවා කාර් එක සුදු පාටද කියලා...අනේ මන්දා...ඔලුව තදින් වැදුනද කොහෙ හරි...නැත්තං තවම වෙරිද ? නගාට වෙච්ච දේවල් ඊලග කොටසට අමුණන්නම්.

      Delete
  13. ඇමරිකාවේ සුද්දියන් වෙත
    තොපි හෙලුවෙන් හිටපියව් මම 29 වෙනකන් නිවාඩු.

    ReplyDelete
    Replies
    1. ඇයි බං සුද්දියො සේරම ජංගි ටික වේලෙන්න දාලද මේ දවස් ටිකේ...

      Delete
  14. ඔය දෙනියාය ලස්සන උනාට ඉන්න හරි හමන් තැන් නැති එක තමා අවුල. ඉක්මනට ඉතුරු ටිකත් දාහන්කො.

    ReplyDelete
    Replies
    1. ඉන්න හරිහාමන් තැනක් නෑ තමයි...අපිත් සෑහෙන කට්ටක් කාලා අර ගෙදරට සෙට් උනේ...රජයේ තානායම තමයි නැතිනම් තියෙන්නෙ...හැබැයි උන් නොවටිනා ගානක් අය කරනවා.. එක රාත්‍රියකට...එතැනට ගිහිල්ලත් නැවත හැරිලා ඇවිිල්ලා තමයි මම මේ කියපු ගෙදර නතර උනේ...ඒ ගෙදර සියලුම පහසුකම් තිබ්බා අඩුවක් නැතුව....

      Delete
    2. www.facebook.com/pages/Dalu-Tea-Centre/1421139508168900

      යන කෙනෙක් මෙතනට ගිහින් තේ බීල යන්න. මගෙ යාලුවෙක්ගෙ තැනක් නිර්මාණශීලි තේ නිෂ්පාදකයෙක්.

      Delete
    3. මම ඔය ලින්කුවට ගිහිල්ලා බැලුවා..හරිම සුන්දර තැනක්නෙ අයියා...ස්තූතියි තොරතුරට..

      Delete
  15. එළ... ඉතුරු ටිකත් ඉක්මනට දාන්න. (දෙනියායෙ දැන්නම් අලි නැද්ද කො‍හෙද. අන්තිමට ඉතුරු වෙලා හිටියෙ දෙන්නයි. උන් දෙන්න ගැනත් කාලෙකින් ආරංචියක් නෑ)

    ReplyDelete
    Replies
    1. අලි දෙන්නා සමහර විට දැන් පන්සල් වල පෙරහැරේ යනවා ඇති...පහුගිය කාලෙ දේශපාලුවො තමන් වැදුවා වගේ අලි පරිත්‍යාග කලානෙ අපල දුරුකරගන්න...

      Delete
  16. දෙනියාය කියල ඇහෙද්දීත් අඟට නිකං ලාවට සීතලක් දැනෙනවා. පට්ට ප්ලේස් එක.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි බොලං අපි ආයෙත් දවසක එතැනට යන්න හීන මවන්නෙ...

      Delete
  17. කට්ටිය කියලා තියනවානේ නවතින්න හොද තැනක් නෑ කියලා.. ඔන්න තියනවා තැනක්. පෙහාරි සූරියකන්ද. හැබැයි මට හොයාගන්න පුළුවන් වුනේ නෑ ෆොටොස් තියන ලින්ක් එකක්. ඒක කරන්නේ සුමේධ අයියා.. කලකාමී මනුස්සයා.. ලක්ෂරි තැනක් නෙමෙයි ඒත් හොද රසට කාල බීල ගෙදර වගේ ඉදල එන්න පුලුවන්..ෆේස්බුක් එකේ පෙහාරි සූරියකන්ද කියල බලන්න... ෆොටෝස් ටිකක් තියනවා ඒකේ..
    සිරා අයියගේ වෙරි කතා ගල් බොන්නන්ගේ සංගමයේ නැගල යනවා නේද?

    ReplyDelete
    Replies
    1. මමත් උත්සාහ කලා එතැන ඡායාරූපයක් හොයාගන්න..මට හැකියාවක් ලැබුනෙ නෑ. නිසැකවම අපේ මීළග දෙණියාය සංචාරයෙදි එතැන නවතින්න අවස්ථාව ලැබේවි. ඒක එහෙම උනොත් ජාලයට ඡායාරූප ටිකක් මම මුදාහරින්නම්..තොරතුරට බොහොම ස්තූතියි නගෝ...ගල් බොන්නන්ගෙ සංගමයේ ගරු අනුශාසක එලද බ්‍රා මෙන්ඩා...ඒ වගේම සභාපත කම්මල...මාධ්‍ය ප්‍රකාශක පත්තර මල්ලි, භාණ්ඩාගාරික සින්දු ඇනෝ වගේ බේබද්දො ඉන්නකං මේ සංගමය තනි කෙළින් ඉදිරියටම තමයි යන්නෙ...

      Delete
  18. ශික්! උඹ මේවා ලියද්දි ආයේ ට්‍රිප් යන්න දොළ දුක් පහළ වෙනවනේ

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් මේවා කියෙව්වත් නැතත් ට්‍රිප් යන එකානෙ බොල...

      Delete
  19. දෙයියෝ දීපු ඉංග්‍රීසි සර් උඹලට වාසනාවන්....

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද ඒ ටික...නැත්තං කොහෙද අපිට මෙහෙම ආතොල් එකක්...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...