Monday, May 11, 2015

59 OIC සමග අඩියක් ගැසීමි

ආම්ස්ට්‍රෝන්ග් යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. අප දෙදෙනා අතර මුල්ම හමුවීම සටහන් වූයේ තූර්ය වාදක ඛණ්ඩය තුලදී බව මට මතක තිබේ. ඒ කාලයේ ගමනේ යාම පුහුණු වන විට ආමාගේ අත් අනෙක් උන්ට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා මේ ආකාරයේ නමක් එකාට පට බැඳිනි.

අාම්ස්ට්‍රෝන්ග් යන්න ඇසූ විට එක්වරම මතකයට එන්නේ හඳට ගිය ආම්ස්ට්‍රෝන්ග් වුවත් අපේ ආමා ඒ ආම්ස්ට්‍රෝන්ග් ගැන අසා නැති බව මට ටක්කෙටම කිව හැක. ඒකා එවැනි දේ ගැන දැනුවත් එකෙක් නොවේ. එතරම් කල එළියක් නැති මූණත් තහඩුවක් තිබුනත් ආමා බැල්ම දැම්මේ සුපිරි යැයි සම්මත දැරිවියන් වෙතය. කෙල්ලන් දැලේ දමාගැනීමේ කලාව මැනවින් ප්‍රගුණ කර සිටි නිසාදෝ අමාගේ දැලට අඩු නැතුව කිරිල්ලියන් එකතු විය.

ආම්ස්ට්‍රෝන්ග් ගැන මම වේලාසනද ලියා තිබේ. නැවතිල්ලේ සිතා බලන විට බොලාට කියන්නට තවත් දේ ඇති නිසා අදත් ලියන්නට සිතුනි. ඒකා එතරම්ම ප්‍රියමනාප එකෙකි. අහිංසක පෙනුමක් ඇති ආමා වැඩිය මහත නැති ශරීර කූඩුවක් දරා සිටියි. වෘත්තීය ජීවිතයේ මුල් අවධිය සිරිලක සුපතල රක්ෂණ සමාගමක් තුල ගෙවූවද කල් යද්දී ආමා ඒවායින් ඉවත් වී තමාගේම කියා යන්තං පදං ඇරඹූ ව්‍යාපාර අද වන විට අතු ඉති ලා වැඩී තිබෙන අන්දම දැකීම සිරා කොලුවාට සතුටකි. ඒ අතර කළුතර ප්‍රදේශයේ අැති පුංචි පහේ නවාතැන්පලක්ද වෙයි.

ව්‍යාපාර තුලින් ඉදිරියට යන විට ආමාගේ මිතුරු ඇසුරට ප්‍රාදේශීය දේශපාලුවන්, කලාකරුවන් ඇතුලු විවිධ වෘත්තිකයන් එකතු විය. ඒ අතර සිටි ඇතමෙකු ආමා සමග රස්තියාදුවේ ගිය දිනෙක මටද මුලිච්චි වී තිබේ. කළුතර ඇති නවාතැන්පල අපූරු තැනකි. එතැන සේවයේ නිරත වන තරුණයෙකු චිත්‍රපට ක්ෂේත්‍රය සමග සබඳතා ඇති නිසාම නිළියන් නළුවන්ගෙන් මිදී අතමිට මුදල් ඇති වයසක මුදලාලිලා සමග කම්සැප වළඳන්නට හොර රහසේ එහි යති එති. ජනකාන්ත තරුණ නිළියන්,ගුවන් සේවිකාවන්, ගුරුවරියන් අත මිට යහමින් මුදල් ඇති උන් සමග පැමිණ තහනම් ගහේ ගෙඩි කන අන්දම ආමා මට කියා තිබේ.

දිනක් මා එහි ගියේ අාමා සමග වෙනත් ගමනක් යන අතර තුරයි. සතුටු සාමීචිය මැද්දේ උගේ සුරතින් සභාවට පැමිණි බියර් කෑන් එකක් දෙකක් හිස් කරමින් ඉන්නා විටෙක පොල් ගෝනි දෙකක් උඩ සිට බිමට වැටෙනා විට නැගෙන හඬ බඳු දඩස් දඩස් ශබ්ද දෙකක් ලඟ ලඟ ඇසුනි. මේ ස්ථානයේ ප්‍රධාන පිවිසුම රාත්‍රී 10ට වසා දමයි. ඒ වන විට වෙලාව රාත්‍රී 11 ට පමණ විය. මමත් ආමාත් ශබ්ද ඇසුන දෙසට යන විට තරුණ යුවලක් එහි විය. මුන් දෙන්නා තාප්පයෙන් පැන ඇති බව මගේ අක්මාවට වැටහුනි.

රූමත් තරුණිය සහ ලකයක් නැති තරුණයා අාමාගේ හිතවතුන් බව කථාවෙන් වැටහුනි. ඒකාගේ ආරාධනයෙන් අප සමග එක මේසයක හිඳ බියර් පානයට මේ යුවලම එකතු වූ අතර මඳ වේලාවකින් කාමරයක් තුල තනි විය.

කවුද බං ඒ...

ඒකි නැගීගෙන එන නිළියක්...

එතකොට අර අනිත් හාදයා...

ආ මිනිහා කැමරාකරණය කරන ඩයල් එකක්...

එතකොට මේ වෙලාවෙ....

මේ දවස් වල මේ හරියෙ චිත්‍රපටියක් කරනවා. ඔය ඉතින් වැඩ ඉවර වෙලා අනිත් උන්ට හොරෙන් දෙන්නා කොටුවක් පැනලා.

ආමා මට කීවේ එහෙමයි.

ආම්ස්ට්‍රෝන්ග් ව්‍යාපාරික ලාභය එකට කලතා නවීන මෝටර් රථයක් හිටි අඩියේ මිළදී ගත්තේය. හරියටම ඊට සතියකට පමණ පසු ඔහු මා හමුවන්නට මේ රථයෙන් පැමිණෙන විටත් එහි L බෝඩ් එකක් එල්ලෙමින් තිබූ අතර ආමාගෙ රථ පැදවීම ආධුනික මට්ටමේ බව රථයට නැගී සැනෙකින් මා හට අවබෝධ විය. පණ භයේ ඉදිරි අසුනේ සිටියදී තමා පසුකර යන හැමටම මා සමග බනින ආමා ඒකාට අවහිරයක් වන වාහන වලටද තිත්ත කුණුහරුපයෙන් බැන්නේය. වාහනයේ වීදුරු වසා තිබුන නිසා ඒවා ඇසුනේ මා හට පමණි.

එයින් පසු සෑහෙන දොහක් ගතවන තුරු මා හට ඒකා මුලිච්චි වූයේ නැත. තවත් කලක් ගිය තැන දවසක ආමාගෙන් ජංගම දුරබණුවට ඇමතුමකි.

උඹ ගෙදරද ඉන්නෙ...මා එක්ක කොළඹ යන්න වරෙන්...මම උඹව ගන්න ගෙදරට එන්නං...

ආමා සමග කථා කරනව විට අනෙකා කියන දෙයකට ඉඩක් නැත. ඒකාම කථාව පටන් ගෙන ඒකාම කථාව අවසන් කරයි.

තවත් විනාඩි 20 ක පමණ කාලයකින් කලු පැහැති රථය අප නිවසට සේන්දු විය. මගේ මව සමග මඳ වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි ආමා අපේ ගෙදරින් ප්ලෙන්ටියක් සමග කෙහෙල් ගෙඩියක් බොක්කට හලාගෙන මා කැටුව කොළඹ බලා පිටත් විය.

ඒ කාලයේ මගේ මිත්‍රයා විවාහ වී සිටියේ නැති නිසා උගේ අලුත්ම ප්‍රේම ජවනිකා වලට මා සවන් දිය යුතුය. උගේ ජංගම දුරබණුවට නිවනක් නැත. වරින් වර විවිධ ඇමතුම් ලැබෙයි. දැන් ආමා රථය පදවන්නට ඉතා ශූරය. ඇර සෝලෝ කියා සැමටම ඉස්සර කරමින් ඒකා යයි.

කොහෙද බං අපි යන්නෙ...රථය තුල වූ නිහැඩියාව බිඳිමින් මම ඇසුවෙමි.

මට ගොඩාක් උදව් කරපු පොලිසියෙ කෙනෙක් ඉන්නවා...එයාව මුණ ගැහෙන්න. මිනිහට කුඩ්ඩො, පොකට් කාරයො, බඩුපොට් කාරයො පරාණ භයයි. පොලිසිය ඇතුලෙම නෙලනවලු ඕකුන් අහුඋනාම. ජරාව කන පොරක් නෙමෙයි.

කොළඹ තදාසන්න පෙදෙසක පොලිසියක් අසල රථය නැවතිනි. රථයේ වීදුරුව පහත් කර බැරැක්කයේ සිටි රාළහාමි කෙනෙකුගෙන් ආමා නමක් කියා ඉන්නවාදැයි ඇසීය.

සර් දැන් ආවෙ..ඔෆිස් එකේ ඉන්නවා ඔන්න...පිළිතුර එසේ විය.

රථය පොලිසිය තුල නවතා මමත් ආමාත් මූලස්ථාන පොලිස් පරීක්ෂක තැනගේ කාර්යාලය ඉදිරිපිට සිටගත්තෙමු.  අප එහි යන විටත් කොස්තාපල් වරුන් තිදෙනෙකුට හෙතෙම උපදෙස් දෙමින් සිටියේය.

කවුද අද..............ඇමතිතුමාගෙ ගෙදර ගේට්ටුවෙ රාජකාරියට යන්නෙ. 

කොස්තාපල් වරුන්ද භිය පක්ෂ පාතීව පිළිතුරු දෙයි. කාර්යාලයේ පසෙකින් විකට් කූරු කීපයක් පෙනෙයි.

අර තියෙන්නෙ...අරවායින් තමයි අර වැරදි කරන උන්ට දෙනවා ඇත්තෙ...ආමා අංජනම් බලයි.

ප‍ොලිස් පරීක්ෂක තැන රාජකාරිමය කටයුතු නිම වූ පසු අපට එහි එන ලෙස හස්ත සංඥා කළේය.

ඉතිං මල්ලි...හුග කාලෙකින්...මේ කවුද ?

මේ මගේ ඉස්කෝල කාලෙ ඉඳන්ම යාලුවෙක්...නිලධාරියා මටද සුහදතාව පළකරමින් අතට අත දුන්නේය.

ඉතිං...දැන් ගිහින් කරන්න වෙන වැඩක් නෑ නේද...අපේ ගෙවල් පැත්තෙ ගිහින් රෑට කාලා එහෙම යමු. 

ඒ ගැටළුවට පිළිතුරු ලෙස ආමාගේ ටිකිරි මුවේ මන්දස්මිතියක් නැගුනි.

එසැනින් අපගේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තැන සිය බිරිඳට දුරකථන ඇමතුමක් ගත්තේය.

.......මල්ලි ඇවිත් කාලෙකට පස්ස‍ෙ...මේ දැන් ඉන්නවා මගේ ඉස්සරහා තව මල්ලි කෙනෙක් එක්ක. අපි ඔක්කොම අද රෑ කෑමට ඉන්නවා..ඔය මොනවා හරි හදලා ගන්න..අර ඔයාගෙ ඉස්තරම් හාල්මැස්සො බැඳුමක් තියෙන්නෙ අන්න ඒක හදලා ගන්න.....මොකක් හාල්මැස්සො ඉවරයි.....හාල්මැස්සො ඉවර නම් ඔය ළමයෙක්ව කඩේ යවලා ගෙන්න ගන්නවකො...මම එනකං ඉන්න ඕනෙද...අපි තව පැය භාගයකින් විතර එනවා.

ඉතිං මල්ලි...කොහොමද බිස්නස් එහෙම කරගෙන යනවද කරදරයක් නැතුව...

අ‍පේ සතුටු සාමීචිය තවත් අඩ පැයක් පමණ තියෙන්නට ඇත.

මල්ලි එහෙනං යාලුවා එක්ක ගෙදරට යන්න..මම බයික් එකේ එන්නං...

මමත් ආමාත් පොලිසියේ සිට විනාඩි 10 ක පමණ දුරක් මෝටර් රථයේ පැමිණ අතුරු මාර්ගයකට පිවිසියෙමු. ආමා එහි කලින් කීප වතාවක් පැමිණ තිබෙන බව ඒකා රථය පැදවූ ආකාරයෙන්ම මා හට තහවුරු විය.

තට්ටු දෙකේ රමණීය නිවසක් ඉදිරිපිට රථය නැවතුනි. කොහොමද බලහංකො අයියගෙ නෝනා..තවම කෙල්ල වගේ...ආමා මට ඇසක් ගසා රථයෙන් බිමට බැස්සේය. අප පිළිගන්නට පොලිස් පරීක්ෂක තුමාගේ ප්‍රිය බිරිඳ පැමිණ සිටියාය. ඇය කොළඹ ප්‍රධාන කාන්තා පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක බව කිව්වා මතකය. එතුමිය සැබවින්ම රූමත් ළඳකි.

පොලිස් පරීක්ෂක තැන එනතුරු අපි නිවසේ ආලින්දයේ වූ පුටු දෙකකට බර දුන්නෙමු. තවත් මොහොතකින් ඔහු එහි පැමිණියේ කඩදාසි කොළයක ඔතන ලද යමක් රැගෙනය.

බත් කන්න කලියෙන් පොඩ්ඩක් ගමු මල්ලි...හුග කාලෙකින්නෙ......

අප ඉදිරියේ කුඩා ටීපෝවකි. ඒ මත හතරැස් බෝතලයක් තබා හෙතෙම නිවස තුලට වැදුනි. විනාඩි දෙක තුනක ඇවෑමෙන් ශීතකරණයෙන් රැගෙන ආ ස්ප්‍රයිට් සැන්ඩියක් සහ හපන්නට යමක් අප ඉදිරියේ දිගේලි විය.

පොලිස් පරීක්ෂක තැනට දියණියක සහ පුතෙකි. සා/ප‍ෙ ලියන වයසේ සිටි දියණියට අපගේ සැට් වීම නුරුස්නා වග සාලයේ සිටි ඇගෙන් එල්ල වූ දරුණු බැල්ම වලින් මම වහා හඳුනාගත්තෙමි.

එහෙනං  වැඩේ පටන් ගමු. ගෘහ මූලිකයා විසින් විවර කල බෝතලයෙන් අප දෙදෙනාගේ වීදුරු රන්වන් පැහැයෙන් බැබලුනි. ස්ප්‍රයිට් සමග සැර බාල කර පළවෙනි උගුර ආමාෂය කරා යැව්වෙමි. එහෙත් ඒවා ස්ප්‍රයිට් නොව සාමාන්‍ය ජලය බව හඳුනාගන්නට සැනෙන් හැකි විය. පොලිස් අයියාගේ මුහුණ විළියෙන් හැකිළී තිබේ.

කවුද මේ ෆ්‍රිජ් එකේ තිබුන ස්ප්‍රයිට් එක බීලා වතුර පිරෙව්වෙ...ඔයාලද ? ඔහු දරුවන්ගෙන් මුලින්ම විමසුවේය. එහෙත් ඔවුන් ඒ ජඩ වැඩේ කර නැත. උෟරු ජුවල් නැග සිටින අපේ පොලිස් අයියා කුස්සියේ සිටින බිරිඳ හමුවීමට ගියේය.

තමුසෙ නේද හොරෙන්ම ළමයි එක්ක මේක බීලා වතුර පිරෙව්වෙ...

අනේ නෑ...මම නෙමෙයි...මම දැක්කෙත් නෑ

දැන් මට ගෙදර හොරු අල්ලන්න වෙලා පිට උන් අල්ලන්න කලින්....බිව්වානම් කියනවකො...

මම ඕක බිව්වෙ නෑ අ‍නේ විකාරද....

කුස්සියේ කෙරෙන කථා බහ යන්තමින් අපේ කන් බෙර වල ගැටෙයි. බෙර කම්පොනය වෙයි.

මම ඉක්මනින් එන්නම් මල්ලි...කුස්සියේ තිබූ බෑගයක්ද ගෙන පා ගමනින්ම හන්දිය කරා ගිය නිලධාරී තැන නැවත ආවේ උවමනා දේ සමගිනි.

පොලිස් අයියා රාජකාරිමය අත්දැකීම් අප සමග බෙදාගන්නා අතර තුර බෝතලය පල්ලං බසියි. එයින් වැඩි කොටස ගෘහ මුලිකයාගේ කුස කරා ඇදී ගිය නිසාදෝ මටත් ආමාටත් වඩා ඔහුට කික් වී තිබුනි. ඒ අතර තුර වාචාල ප්‍රශ්නයක් අහන්නට මා හට සිත් විය.

ඇත්තටම අයියෙ...අයියට කොහොමද අක්කා සැට් උනේ...

ඒ ගැටලුව ඇසූ සැනින් ඔහුගේ  මුවේ මල් මල් හිනාවක් නැගුනි. ඒක බොහොම පරණ කථාවක් මල්ලි...මේ ඇහුනද..ඔයාව හම්බවෙච්ච හැටි මල්ලිට කියන්නද මුල ඉඳන්...ඔහු තම ප්‍රියම්භිකාවටද අමතයි.



ඒ දවස් වල මම හිටියෙ ත්‍රීකුණාමලයෙ උප පොලිස් පරික්ෂක කෙනෙක් විදියට. මෙයාගෙ පළවෙනි ගුරුපත්වීම දුෂ්කර සේවයේ,  අපේ චෙක් පොයින්ට් එක හරහා තමයි ඉස්කෝලෙට ආවෙ ගියෙ. මම ඉතින් තනි තරුව ගහගෙන ඉන්නවා දැකලා මෙයාම තමයි ලියුමක් දුන්නෙ මට හංගගෙන ඉඳලා. පොලිස් අයියා අතීත මතකය අප ඉඳිරියේ හලයි.

අනේ ඔය බොරු මල්ලි. මෙයා තමයි මගේ පිටිපස්සෙන් දවස් ගානක් බඩගාලා ලියුමක් දුන්නෙ. මම ඒකට උත්තර ලියන්න ගියෙත් නෑ. මගේ යාලුවන්ට කං කෙඳිරි ගාලා..උන්ගෙන් බේරෙන්න බැරි තැන උත්තරයක් ලිව්වෙ. ඔය කථා නවත්තලා කාලා ඉන්න අනේ. ඇයට ලැජ්ජා සිතී ඇති සෙයකි.

ඇගේ ආරාධනය නිසා අප කරමින් උන් කථාව මඳකට නවතා කෑම මේසයට ඉඳගත්තෙමු. හාල්මැස්සො බැඳුමද සමග තවත් ව්‍යංජන කීපයක් එහි විය. ආහාර බුඳින අතරතුරත් දෙදෙනා අතර වාදය දිගටම ඇඳුනි.

එතකොට ඔයා කියන්නෙ මම ඔයාගෙන් ඇහුවා කියලා එහෙමද...

එහෙම තමයි..නැත්තං මම පස්සෙන් ආවා කියලද කියන්නෙ...

ඇයි මතක නැද්ද...අර එස් අයි මහත්තයා නම් අපි දිහා බලන්නෙවත් නෑ කියලා එතනින් අැනුම් පද කියාගෙන ගියේ...ඒ මම වෙන්න ඇති....

එහෙම කිව්වෙ සරෝජා නෙ...මමයැ...

අනේ නිකා ඉන්නවා..මගේ පස්සෙන් ඇවිත් මාව දැලේ දාගත්තා...පොලිස් අයියාද අරින්නේ නැත. මේ වෙද්දී ඔවුන්ගේ දරුවන් නිදාගන්නට කාමර වෙත ගොස් සිටියහ. මමත් ආමාත් ආහාර හමාර කොට අත් සෝදා ගතිමු.

මේ මනුස්සයා  බොරු කියන හැටි. සතියක් දෙකක් මගෙ පස්සෙන්ම ආවා. මමත් ඉතින් දුක හිතිලා හා කිව්වා.

දැන් ඔයා දිගටම කියන්නෙ මම ඔයාගෙන් යාලු වෙන්න ඇහුවා කියලද..ඉන්නවකො මම පෙන්වන්න කවුද ඇහුවෙ කියලා.

පොලිස් අයියා කඩිමුඩියේ ඉහළ මාලයට දුවගොස් ඉටිකවරයක පිරවූ යමක් සමග නැවත පහළට පැමිණියේය.

අනේ ඔය මොකද කරන්න යන්නෙ...බිරිඳ දෑස් ලොකු කරගෙන බලා සිටියි. ඕක මෙතන හලන්න එපා මනුස්සයො.

අනේ මේ මගෙ කට අවුස්සගනනෙ නැතුව පැත්තකට වෙනවා.

සාලයේ තිබූ මේසයක් මත කවරයේ තිබූ දෑ විසිරී ගියේය. එය පෙම්පත් එකතුවක් බව පැහැදිලිය. මේ තියෙන්නෙ මෙයයි මම ලියපු ලියුම්.. මෙතන තියෙනවා මුල්ම ලියුමත්....පොලිස් අයියා සමහර ලියුම් අතට ගෙන ශබ්ද නගා කියවයි. බිරිඳ අපහසුතාවයෙන් ඇඹරෙයි. මමත් ආමාත් මේ ක්‍රියාව නවතාදමන්නට සෑහෙන්න වළි කෑවෙමු.

ඔහොම ඉඳපල්ලා ලියුමක් දෙකක් කියවන්න...

අයියා පුද්ගලික දේවල්නෙ...ඕවා කියවන්න එපා මෙතන...අපි දහඅතේ වැඳ ලියුම් සියල්ල එතකු කොට මල්ලට දමා අක්කා අතට දුන්නෙමු.

විළියෙන් රතුවී ඇති ඇගේ මුහුණ දුටු මා හට ඔවුන්ගේ අතීත ආදර ජවනිකා ගැන විමසීම පිළිබඳ පසුතැවිල්ලක් ඇති විය. එනපොට හොඳ නැති බව අවබෝධ කරගත් ආමා එතෙක් නොතිබූ හදිසියක් ඇඟට ආරූඩ කරගෙන අපි විඳි සංග්‍රහ වලට නොසෑහෙන සේ දෙපළටම ස්තූති කරමින් නිවෙසින් එළියට පැන්නේය. ඔහු අනුගමනය කරමින් මමද නිවෙසින් එළියට විසි උනෙමි. පොලිස් අයියාගේ රතු වූ ඇස් ගෙඩි දෙක අඩවන් වී තිබුනි.

හරි මල්ලි...එහෙනං ආයෙ දවසක මම අපේ කථාවෙ ඉතිරිය කියන්නං. රථය ඉඳිරියට ධාවනය වන විට ඔහු එසේ කීවා මතකය.



මම කාමරේ අරින සිරා ‍කොලුවා.

59 comments:

  1. හොඳයි බං. පතෝල වගේ.

    ReplyDelete
    Replies
    1. පරිප්පු දාලා හැදුවාම පතෝලත් හොදයි ගොයියො...ඇඟට හානියක් නෑනෙ...

      Delete
    2. හෙහ් හෙහ් ඊළඟ සැරේ වැඩිපුර පරිප්පු ටිකක් දාලා ලියහං ගොයියො එහෙනං.

      Delete
    3. කිල‍ෝ එකක් විතර අරං දීලං ගියොත් නරකද...

      Delete
  2. හපොයි අපේ ගෙදරත් ඔයවගේ 'සෙනෙහෙකොල' එකතුවක් තිබුණා. අපේ දුවලා දෙන්නා එව්වා කියවලා නරක් වෙන්ඩ කලින්, මම එව්වා ගිනිදෙවියාට පිදුවා.

    සිරෝ උඹ නම් පොලීසියෙන් බිව්වා විතරයි. මේ පහුගිය වෙසක් දවසේ අලව්ව පහුකරගෙන යන අය, පොලීසියෙන් කෑවා ඇතිවෙන්ඩ. ඔව්, පොලිස් භූමියේම තිබුණා මහා දන්සැලක්.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ගිණි දෙවියාට පිදුවෙ..තව ටික කාලයක් තියාගත්තා නම් මොන තරම් සුන්දර අතීතාවර්ජනයක්ද.

      පොලිසියෙ ඇත්තො දාන පාරමිතාව පුරන්න‍ෙ ඉඳලා හිටලා නිසා දෙන වෙලාවට මන්නා පාරක් හරි කන්න ඕනෙ...

      Delete
  3. යකෝ පොලිසියේ මහත්තුරැ එක්ක බොන්නෙ උබේ ඔලුව නරක් වෙලාද? ආය එහම පැත්ත පලාතේ යන්න එපා.
    තව ඩිංගෙන් අපිට උඔව ඇගිලි සලකුනේ බලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අනේ අපේ අවාසනාවට එහෙමවත් දෙයක් උනේ නැනේ මෙන්ඩෝ

      Delete
    2. ඒ මහත්තැන් අකුරට වැඩ කොරනවා කියලයි පුරසිද්ධ...බලන්න මෙන්ඩිස් අයියා..අපේ කරුමෙට අපිට මේ රාළ වගේ වයසක ඩයල් ආශ්‍රය කරන්න උනානෙ හැබෑටම...

      Delete
  4. යකඩෝ කුළුණු දෙකට කොමෙන්ටුවක් දාන්න එනකොට මු ඒ ටිකට වෙන එකක් දාලා.... උබේ ලොක්කට කියන්න ඕනා උබට ඔපීසියේ වැඩ නෑ ටිකක් වැඩිපුර වැඩ දෙන්න කියලා......
    මගෙත් එකට ඉගෙන ගත්ත හොඳම යාළුවො කීපදෙනෙක්ම ඉන්නවා පොලෝසියේ...... මම උන් ඒක්ක කන්න බොන්න යන්නේ නෑ උන්ගේ පුරාජේරුව අහගෙන ඉන්න බැරි නිසාම........

    ReplyDelete
    Replies
    1. කුළු‍නු දෙක දාල කොයි කාලෙද බොල. දැං ඒ දෙක කඩා වැටිලත් ඇති.

      Delete
    2. මැලේ, කුළුනු දෙක ලඟට ගිහිල්ල දාපං ඒක වෙන වෙලාවක

      Delete
    3. කුළුණු දෙක පාත් වෙනකං ඉන්නවද කමෙන්ට් එක දාන්න...අනේ මන්දා....වයසක මිනිස්සු පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව මේ තරුණයො අස්සෙ කොහෙ රිංගනවද මන්දා...ඇත්තටම වැඩ නං අඩුයි හිටි ගමන් ඔපීසියෙ...වැඩ ටිකක් එවන්න බැරිද...

      අපරාදෙ කියන්න බෑ මේ පොලිස් අයියා නම් එහෙම පුරාජේරු කිව්වෙ නෑ..කොහෙද ඉතිං ලව් ලෙටර් එකකට මරා ගත්තනෙ...

      Delete
  5. ලියන්න අදහස් නං තියෙනවා. ඒත් මේකේ දාන කොමෙන්ට් සිරාට හිතුන හිතුන විදියට අයින් කරන නිසා කොමෙන්ට් දාලා වැඩක් නෑනේ. සිරාගේ ලිපි කොච්චර හොද උනත් හැලප,මාතලන් බ්ලොග් වල වගේ කොමෙන්ට් වැටෙන්නේ නැත්තේ සිරා කොමෙන්ට් අයින් කරන නිසා. එ නිසා වැඩිය මොකුත් නොකියා,වෙනදා වගේම ලිපිය බලලා යන එක හොදයි වගේ.

    ReplyDelete
    Replies
    1. අදහස් වාරණය කරලා නෑ ඇනෝ මිත්‍රයා..මම කිසි දෙයක් ඉවත් කරන්නෙ නෑ වෙනත් අයට අපහාස කරලා නැති නම්...උපහාසය සහ අපහාසය කියන්නෙ දෙකක් නොවැ...වෙනත් බලොග් කරුවන්ගේ නම් නැතුව කැමති දෙයක් කියන්න...මේතැනදි අපහාස කරන්න පුලුවන් මට විතරයි..ඒ කිසිවක් ඉවත් කරන්නෙ නෑ ශිෂ්ඨ සම්පන්න භාෂාවෙන් තියෙනවා නම්...

      Delete
  6. පව්... අර අක්කා කට්ට්ය ඉස්සරහ කොච්චර නම් අසරණ වෙන්න ඇතිද...

    ReplyDelete
    Replies
    1. එයාගෙ මූණ රතුවෙලා තිබුනා..මොනවා උනත් ඒක පුද්ගලිකත්වයනෙ..මට උනත් අහපු මෝඩකම් කියලා හිතුනා ඒ ප්‍රශ්නෙ...

      Delete
  7. ඔය වගේ සීන් කෝන් මමයි ගම හාමිනෙයි අතරත් වෙනවා. ආදරය කරන්න කලින් යාළුවෝ විදිහට අවුරුදු දෙකක් විතර අඳුරගෙන හිටිය නිසා දෙන්නටම ෂුවර් නෑ කවුද ඉස්සෙල්ලාම පස්සෙන් ගියේ කියලා.....!

    ReplyDelete
    Replies
    1. එතකොට ආදරය කියපු කෙනෙක් නෑ නේද...කාලයා තමයි ආදරය ඇති කරලා තියෙන්නෙ නිකංම....

      Delete
  8. සිරා සහෝදරයා, කතාව එක හුස්මට කියෙව්ව. ලෙසට ලියල තියනවා. සමහර මිනිස්සු සාමාන්‍ය ජීවිතේදීත් පිට මිනිහෙක් ආවම ගෑනිට පාට් එක දාල පොර වෙන්න හදනවා මම දැකල තියනවා. බිව්වම ඒක වැඩියි. පොලිස්ක් කාරයන්ගෙ බහුතරයකගේ ඔය සීන් එක කොහොමත් වැඩි ඇති තමා. ඒ වගේ අත්දැකීමකට මුහුණදෙන්න උනාම ඇතිවන අපහසුතාවය ගැන මට හිතාගන්න පුළුවන්... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. කාන්තාව බයිට් එකක් නෙමෙයි. සමහර විවාහක පිරිමි තමන්ගෙ බිරිඳ පිට අය / මිත්‍රයො ඉදිරියෙ විහිළුවට හරි අවඥාවට ලක් කරනවා මම දැක තියෙනවා...ඒක එච්චර හොද ක්‍රියාවක් නෙමෙයි. ඇයටත් ආත්ම ගෞරවයක් තියෙනවා නොවැ. බොටත් ජය !

      Delete
  9. තිලකෙගේ අම්මයි තාත්තත් පොඩි දේවල් වලට වාද උනා වගේ මතකයි..

    ReplyDelete
    Replies
    1. තිලකෙ කිව්වෙ දේශිකාගෙ නියම නමද ?

      Delete
  10. උඹල ගිහිල්ල ඒ ගෙදර යුද්ධයක් අවුලල තියලනෙ ඇවිල්ල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. යුද්ධය අස්සෙන් තමයි අපි දෙන්නා මාරු උනේ යන්තං...නැත්තං ජොනී බට්ටෙක් පුපුරන්න ඉඩ තිබුනා.

      Delete
  11. දැන් සහනුත් නැති එකේ උඹට මාගල් මුදියන්සෙ කියන්නයි වෙලා තියෙන්නෙ. උඹත් මාර අත්දැකීම් බං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මාගල් කියන්නෙ..මේවා දිගද...බොලාගෙ ගජබින්නාලංකාරෙ දිග ඇරියම මේ වගේ තුන හතරක් දිගයි..අන්දිරිස් ආතා ඉතිං සෙල්ලා මිනිහෙක්යැ.

      Delete
  12. හෙහ් තව ටිකක් එහෙ මෙහෙ වුණා නං තමා වැඩේ හිහි
    කෝම වුණත් බීපුවම බඩේ හංගල තියෙන දේ වුණත් අදිනව කියන්නෙ නිකං නෙවී ඈ
    හිහි

    ReplyDelete
    Replies
    1. සමහරු ලිහිල් වෙනවා..සැබෑ ජීවිතයෙදි හිනා නොවෙන එකා හිනා වෙනවා. තවත් සමහරු අස්සෙ මුල්ලෙ හංගපුවා එළියට දානවා.

      Delete
  13. සිරාගෙ ලියන ඉස්ටයිල් එකනම් මරු.......... ඒකට අමාගෙ බිස්නස් අත්දැකීම් මුහු කරල තව පෝස්ට් එකක් දාන්න...........එතකොට මරේ මරු වෙයි.............. සිරාට ජය වේවා!.........

    ReplyDelete
    Replies
    1. ඉදිරි දවසක බලමුකො හා පුංචො...බොටත් ජය වේවා !

      Delete
  14. හාපෝ මහ කුජීත පොලිස්කාරයෙක්. අර මනුස්සයා පව්. සිරා අයියත් ඉඳලා ඉඳලා මරු ප්‍රශ්ණයක්නෙ අහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එයා හොද කීර්තිනාමයක් තියෙන පොලිස් නිලධාරියෙක්. ජරාවට වැඩ නෑ කියලා ගොඩාක් ප්‍රසිද්ධයි..ඒකනෙ කුඩ්ඩො වෙව්ලන්නෙ.

      Delete
  15. ඔහොමත් පොලිස්කාරයෝ ඉන්නවාද?පොලිසිය කියන කොටත් මට නම් මහා අපුලක් දැනෙන්නේ ඇයි දන් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං නිතර දෙවේලෙ අහන්න දකින දේ නිසානෙ. තමන් හදුනන අය ඉතිං ආගන්තුක සත්කාරය හොදට දක්වනවා...

      Delete
  16. කන්ඩ බොන්ඩ දුන්නනම් අහවල් එකකට කිරිපල්ල අතගාන්ඩ ගියාද? කොහොම උනත් අනුන්ට බොන්නදෙන පොලිස් කාරයෙක් ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. කම්මලයගේ කතාව සහතික ඇත්ත.අනුන්ට කන්න බොන්න දෙන පොලිස් කාරයෙක් ගැන මමත් ඔය ඇහුවමයි.

      Delete
    2. එහෙම අයත් ඉඳලා හිටලා ඉන්නවා...සමහර විට ඒ බෝතලේත් තග දාලා ගෙනාපු එකක් වෙන්ට බැරි නෑ.

      Delete
    3. අනුන්ට බොන්නදෙන පොලිස් කාරයෙක්????
      වෙන්ඩ බෑ

      Delete
  17. කාපු බීපු වෙලාවට අනවශ්‍ය දේවල් අහන්න ගිහිං උඹලමනේ වැඩේ කාගෙන තියෙන්නෙ.තව ටික වෙලාවක් හිටියනං පොලිස් ගුටිත් කාගෙන එන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලොක්කා බොහොම සුහදයි. ඒ නිසයි මම ඇහුවෙ කොහොමද දෙන්නා ජෝඩු උනේ කියලා...මම හිතපු නැති තැනක තමයි අන්තිමට නතර ‍උනේ.

      Delete
  18. සිරා පෙම් කතා ලියනව වගේම අනුන්ගෙ පෙම් කතා අහන්නත් ආසයි වගේ . ඉතින් පාඩමක් ඉගෙන ගත්තද ඊට පස්සෙවත් .

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය කියන්නෙ ඉතිං බොහොම සතුටුදායක සුවදායක හැගීමක් නොවැ. මට වැඩි කාලයක් විදින්න නොලැබුනත් විඳපු කෙනෙකුගෙන් හරි ඒ ගැන අහන්න මම අදටත් මනාපයි.

      Delete
  19. මාතෘකාව දැක්ක ගමන් මතක් වුනේ ලගදි බුකියේ දැක්ක පොලිස්කාරයෙක්ගේ ඩෝප් විඩියෝ එක.. බලලා ඇතිනේ අයියත්..

    ReplyDelete
    Replies
    1. බීලා මරු කියවන එකක් නම් දැකලා තියෙනවා නිල ඇඳුමෙන්ම...ඒක වෙන්න ඇති මලයා කියන්නෙ.

      Delete
  20. කාල බිලා තව ඒවත් කරගෙන ඇවිත් වගේ ;)

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් කරන්න ලැබුනෙ නෑ බං...අපි හැදිච්ච ළමයි...

      Delete
  21. සිරා...බොලා අත් දෙක වන වන ද ඒ ගෙදරට ගියේ....මම හිතුව උඹල බොතලයක් ඇන්න යන්න ඇති කියල....බොලා පොලිස් ලොක්කගේ බොතලේට වැඩේ දුන්න නේද..?

    සිරා බ්‍රැන්ඩ් එක ගල්ද..?

    ReplyDelete
    Replies
    1. ආය නැතුව බ්‍රෑන්ඩ් එක ගල්
      බොන්නෙ විස්කි

      Delete
    2. අත් දෙක වන වනා තමයි ගියෙ...මොකද බං අපි බොන්න ගිය උන් නෙමෙයිනෙ..හදිසියෙ සෙට් වීමක්... ගලක් ගහන්නත් ආසයි බං...මම කොහොමත් දැන් සුරාව හරිම කලාතුරකින් ලගට ගන්නෙ...බොක්කෙ යාලුවො නැති රටක මොන සුරාවද...

      ඔය මෙන්ඩිස් අයියලගෙ නම් බ්‍රෑන්ඩ් එක ගල් කියන්නෙ.

      Delete
  22. ඒ ගෑණි දුෂ්කර සේවෙන් අති දුෂ්කර සේවයට මාරුවක් ඉල්ලං හදාගත්තා වගේ වැඩක්නේ යකෝ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. පොලිස් හාදයො සමහරු ගෙදරදිත් පොලිස් අණ තමයි නිකුත් කරන්නෙ...මෙතනත් එහෙමමද මන්දා...

      Delete
  23. එහෙම පොලිස් කාරයොත් ඉන්නවනෙ. එහෙම අපහසුතාවට පත් කරන එක නම් පට්ටම චාටර්.
    මොනවා උනත් සිරා අයිය oic කෙනෙක් එක්කත් අඩියක් ගැහුව එහෙනම් ඈ :D

    ReplyDelete
    Replies
    1. මමත් ඔය දැක්කමද මන්දා...අපේ කිසිම දෙයක් නැතුව...තමන් ගානෙම පාටියක් දුන්න පොලෝසියෙ ඇත්තෙක්...

      Delete
  24. පොලිසියේ ලොක්කෙක් එක්ක බිල එන කොට මව නම් පොලිසියේ සොක්කෙක් නවත්තලත් තියෙනවා බේරෙන්න ලොක්කට කථා කරනකොට බුවා නිදි ,,හෙන ගෙමක්ක් දීලා ගැලවුනේ...
    ඉස්සර අදුරන වෙන ලොක්කෙක් හිටිය බුවා හේන් එහෙම වැටලුවම පොලිසියේ පාර්ටි දැන්මා නඩු භාණ්ඩ වලින්ම..අදුරුම් කම් මත ගිහින් මත බහිනකන් පොලිසියේ පහන් කරපු අතිතෙකුත් තිබ්බ නෙහ්

    ReplyDelete
    Replies
    1. දවසක් අපි CT 100 බයිසිකලේ හතර දෙනෙක් දාගෙන ගෙදර යනවා බෝතල් පාටියක් දාලා. මගදි පොලෝසියෙන් නැවැත්තුවා..මේක බයිසිකලයක්ද....ත්‍රී වීල් එකක්ද කියලයි ඇහුවෙ...වැඩි උන් දෙන්නා බැහැපල්ලා කියපු නිසා කොනට වෙන්න හිටිය උන් බැස්සා...පොලෝසිය ගියාම හතරදෙනා ආයෙමත් ඩබල් දැම්මා.

      Delete
  25. යකඩෝ අපි සිරාට සලකනවා මදිනෙ.සෙල්ලං නෑ.පොලොසියෙ ලොකු මහත්තය එක්කම බිව්වා කියන්නෙ පොඩි සෙල්ලමක්ද?අනේ මේ..අනුන්ගෙ ප්‍රේම කතා අහ අහා කාලෙ කන වෙලාවෙ නරකද තමන්ගේම කතාවකට හිත යොමු කළා නම්.

    ReplyDelete
    Replies
    1. පොලෝසියෙ ලොකු මහත්තයා බිව්වට පස්සෙ හරි ජොලි පොර...ආමගෙ වෙඩිමට ඇවිල්ලත් හොද සොමියක් දුන්නා අපිට. ඔයා කියපු දේ ගැන හිත යොමු කරන ගමන් ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...