Sunday, May 29, 2016

52 කිත්තාගේ අටපට්ටම

මේ අවුරුද්දෙ වෙසක් දවස උදා වෙනකං සිරා කොලුවා බොහොම ආශාවෙන් පොඩි එකෙක් වගේ බලාන උන්නෙ සිරාගෙ අතිජාත ස්කූටරේ නැගලා යාලු හිත මිත්තරාදින් එක්ක ඉස්සර වගේ රවුමක් කාරිය යන්න පුලුවන් හින්දයි. අවුරුදු 3 ක්ම සිරා කොලුවට ලංකාවෙ වෙසක් දකින්න බැරි උන නිසා මේ වතාව බොහොම විශේෂ එකක් උනා. එහෙත් අයහපත් කාළගුණය හමුවේ මේ බලාපොරොත්තු බිඳ වැටුනා. ඇරත් සිරා කොලුවගෙ හිත මිත්තරාදින් අතර උන්න අයගෙන් බහුතරයක් පුංචි දරුවන්ගෙ පිය වරුන් වෙලා ඉන්න නිසා ඉස්සර වගේ දුර ඈත, වාහනයක මිස, යකඩ අස්පයන්ගෙ පිටේ නැගලා යන්න මනාප නෑ. මේ වගේ වට පිටාවක නිවසින් පිට යන්නෙ නැතුව ගෙදරටම වෙලා වෙසක් සමරන්නයි අන්තිමේදි මට සිද්ධ උනේ.

එහෙම ඉන්න අතරෙදි මගේ හිත ඈත අතීතයේ දවස් අතර අතර මං උනා. මම හිතින් පොඩි එකෙක් වගේ ඒ අතීත මතක සටහන් අතරටම වෙලා හිටියා. පොඩි කොල්ලො විදියට එකතු වෙලා සරුංගල් හදපු හැටි, සරුංගලේ නූල කැඩුනාම ඔලුව ගිණි ගත්තා වගේ සරුංගලේ පස්සෙ දුවපු හැටි, බට තුවක්කු හදාගෙන ඒවට දාන්න කිරිල්ල හොයන්න ගිය හැටි, වෙසක් කූඩු හදන්න උණ ගස් කපපු හැටි, කුඹුරු යාය මැද්දෙ අපි ක්‍රිකට් ක්‍රීඩාව කරපු හැටි... මේ ක්‍රියාකාරකම් නිසා හිතට දැනුන චමත්කාරය, කාලය ගත වෙලා ගියාට තවමත් දැනෙනවා වාගෙයි.

කිත්තා...මේ මතක සටහන් බොහොමයක ජීවමාන වෙන චරිතයක්. සිරා කොලුවාට වඩා වසර දෙක තුනක් වැඩිමල් කිත්තා මා එක්ක මුලින්ම ගණුදෙනුව පටන් ගන්නෙ කුඹුරු යාය මැද්දෙ ක්‍රිකට් ගහපු අවදියෙදි. අත ඇරලා දාලා තිබුන කුඹුරු කීපයක් මැද තැනක ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුනේ බොහොම සුලුවට. කොළඹ ප්‍ර‍සිද්ධ ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයෙක් වෙලා හිටිය අපේ ගමේ රොෂාන් අයියා වගේ වැඩිමල් උන් තමයි මේ කාරියට උර දුන්නෙ. කාලයක් මේ විදියට ක්‍රීඩාව කරගෙන යද්දි අපේ තණ තිල්ල ස්වභාවිකවම ඉතාම හොද තත්වයට පත් උනා. පැයක් වැස්සත් විනාඩි 10 න් වතුර බැහැලා ගියා. සැහැල්ලු පන්දු ක්‍රීඩා කරපු අපි පස්සෙ කාලෙක රොෂාන් අයියගෙ උපාංග වල පිහිටෙන් ලෙදර් බෝල එක්කත් ක්‍රීඩාව කරන තත්වයට උසස් උනා.

මෙන්න මේ වටපිටාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න සිරා කොලුවට හැකි උනේ 8 කැලෑසියට වගේ ආවට පස්සෙ. හරියට අද කාලෙ පුහුණු සංචිතයක ඉදලා කණ්ඩායමට එනවා වගේ. පොඩි උන්ට වේග පන්දු වලට මුහුණ දෙන්න තියෙන අපහසුතාවත්, පන්දු රැකීමේ දුර්වලතාවත් නිසා අපේ ගමේ වැඩිමල් උන් තමන් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට එතනින් පහල උන්ව ගත්තෙ නෑ. ඒ වගේ උන්ට සිද්ධ උනේ හොටු පෙරාගෙන අනිත් උන් ක්‍රීඩා කරන දිහා බලාන ඉන්න.

රොෂාන් ගොයියගෙ අධිසැර පන්දු වලට භයේ අපි ටෙනිස් බෝල ක්‍රීඩාව කරපු මුල් අවධිය මට තවමත් හොදට මතකයි. ඒ කාලෙ අපේ පිත්තත් පාදයත් අස්සෙන් පන්දුව කඩුලු වල දැවටුනේ හරිම පහසුවෙන්. මෙන්න මේ කාරණයට විසදුමක් විදියට කිත්තා එක අතකින් පිත්තේ මිටත් අනිත් අතින් පිත්තේ පහළ කොනත් අල්ලගෙන දෙකට නැමිලා වගේ ආරක්ෂා කාරී පියවර අනුගමනය කලා. කිත්තා කිව්ව ගමන් මට නිරායාසයෙන් මතක් වෙන්නෙ කිත්තගෙ ලෑල්ල. කිත්තා ලෑලි දදා ඉද්දි දවා ගන්න නම් මෙලෝ ජගතෙක්ට ඉඩක් නෑ. ඒ වෙලාවට නම් පන්දු යවන්නො කුණු හබ්බක් දෙකක් හීනියට අත ඇරියෙ කිත්තව මානසිකව වට්ටන්න හිතාගෙන වෙන්න ඇති.

කුඹුරු වපුරන කාලෙට අපේ ක්‍රීඩාපිටිය සහමුලින් ජලයෙන් යට වෙනවා. 96 ලෝක කුසලාන ජයත් එක්ක ඒ වෙද්දි අපිට වැළදිලා තිබුන ක්‍රිකට් උණ නිසාම ක්‍රීඩාව ජලයට යට වෙන්න දෙන්න කොහෙත්ම බෑ. එවැනි වටපිටාවක විකල්ප ක්‍රීඩා පිටි කීපයක් අපිට තිබුනා. විශාල පොල් ඉඩමක් වන පිල්ලෑව වත්ත වගේම වෙන්දේසි වත්තත් මේ අතරට අයත් උනා.

වෙන්දේසි වත්ත ප්‍ර‍සිද්ධ සමාගමකින් කොටස් කරලා ඉඩම් කට්ටි විකුනලා තිබුන ඉඩමක්. ඒවා මිළදී ගත්ත හිමිකරුවන් මේ ඉඩම් වල නිවාස ඉඳිකිරීම ආරම්භ කරන තෙක් ක්‍රීඩාව කරගෙන යන්න අපිට හැකි උනා.

කට හැකර ඇලිස් උන්දා ජීවත් උනේ මේ වෙන්දේසි වත්තට යාබදව. ඇලිස් උන්දැගෙ රන් තැඹිලි ගහෙන් ගෙඩියක් දෙකක් හොරට කඩන්න කිත්තට තිබුනෙ පුදුමාකාර කෑදර කමක්. උන්දැ බැහැරට ගිය බවක් දැනුනොත් කිත්තා ගහ දිගේ බඩගාන්නෙ ක්‍රීඩාව පටන් ගන්නත් කලියෙන්. මෙන්න මේ වගේ දවසක ගහට බඩ ගාපු කිත්තා පුක ගිණි ගත්තා වගේ එක පාරටම ගහෙන් බිමට රූටගෙන ආවා. පශ්චාත් භාගය අත් දෙකෙන්ම අල්ලගෙන බොහෝ දුරක් දුවලයි මිනිහා නතර උනේ. උගෙ කලිසන් කොටේ පාත් කරලා බැලුවාම කලුපාට තට්ටං කෑලි දෙකට කලාදුරු හමුදාවක් ඇරියස් අල්ලලා.....අන්තිමට ඇලිස් උන්දැගෙම රතු ලූණු අතුල්ලලා තමයි පුකේ දැවිල්ලට සහනයක් හොයා ගත්තෙ.

මේ කියන අතීතෙ අපේ කොලු නඩේ නිතර හමු උන තවත් තැනක් තමයි අත්තනගළු ඔයේ අපේ නාන මංකඩ. කාගෙ කාගෙත් දිය පිණුම්, කරණම්, කිමිදුම් දක්ෂතාවන් ප්‍ර‍කට වෙච්ච මේ පරිසරයෙ කිත්තටත් හොඳ නමක් තිබුනා. පැය දෙක තුනක් වතුරෙ ඔට්ටු තියලා ඇස් ගෙඩි ගොරකා මද වගේ රතු පාට උනාමයි අපි ඒ කාලෙ නිවෙස් බලා ගියෙ. 

ඔයට උඩින් තිබුන පාලම යට ඔය ඉවුර එක්ක පුංචි ඉඩක් තියෙනවා. ඒ කොටසට වෙලා මාලු බෑමත් කිත්තා ගජරාමෙට කරපු තවත් වැඩක්. මිනිහට කාන්තා කටහඩකින් කථා කරන්නට විශේෂ හැකියාවක් තිබුනා. ඒ හැකියාවෙන් වැඩ ගත්ත හැටි තමයි සිරා කොලුවා දැන් බොලාට කියන්න යන්නෙ.

ඔයට උඩින් තියෙන පාලමෙන් අපේ ගමට යාබද ගමට යන්නට හැකියි. විශාල ලොරියකට තරමේ යන්නට හැකි පලලක් තියෙන පාලම යට කිත්තා හැංගෙන්නෙ ඈතින් සේවය නිම වී නිවෙස් බලා යන තරුණියක් දෙන්නෙක් එනවා දැක්කොතින් තමයි.

ඒ ඇත්තියො පාලමට පිවිසෙනවාත් එක්කම කිත්තගෙ හඩ කාන්තා කටහඩක් වෙලා පාලම යටින් මතුවෙනවා.

අනේ අයියෙ වඳින්නං මට යන්න දෙන්න... මේ හඬින් තිගැස්සෙන යුවතියෝ ගල් ගැහුනා වගේ පාලම උඩ නවතින හැටි  ඔය ඉවුරෙ අට්ටික්කා කරටියක ඉඳගෙන අපි බලා ඉන්නෙ හිනාව අතින් කපාගෙන.

මාව අනාථ කරන්න එපා අයියෙ...මගෙ ඇඳුම් දෙන්නකො....කිත්තගෙ වැලපිල්ල පාඩම උඩට ඇහෙන්නෙ බොහොම සරුවට. මේ හඬින් කම්පනය වෙන යුවතියො පාලමට කිට්ටුව තියෙන මහතු මාමගෙ කඩේට දුවන්නෙ කෙල්ලෙක්ට කරදර කරනෝ... කියලා මහ සද්දෙට බෙරිහන් දෙන ගමන්. අන්න ඒ වෙලාවෙදි පාලම යටින් ඔයට පැනලා දිය යටින් යන කිත්තා අල්ලන්න මොන සක්කරයටවත් ඉඩක් නෑ.

අපේ කථානායකයගෙ දෙමාපියො වැඩිය දැන උගත් අය නෙමෙයි. වැඩිමල් සහෝදරයෙක් සහෝදරියක් එක්ක හිටිය පවුලේ බඩ පිස්සා නිසාමදෝ කිත්තා සෙල්ලක්කාර විදියට තමයි කරදඬු උස් මහත් වෙද්දි හැසිරුනේ. ඉගෙනීමට උවමානවක් තිබුනෙත් නෑ. පාසල් යනවට පාසල් ගිය ඒකාගෙ පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් උනා. 

ඊට මඳ කාලයකට පස්සෙ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ විවේකී බව ටිකෙන් ටික අඩුවෙලාම ගිය නිසා ක්‍රිකට් ක්‍රීඩාව නතර උනා. ඉස්සර දිනපතා මුණ ගැහුන අය සතිපතා වත් හමුනොවන තැනට වැඩ කටයුතු යෙදුනා. තවත් කාලයකට පස්සෙ එකිනෙකා මඟ ඇරුනා. ඔය අල්ල පනල්ලෙ කිත්තා අරාබි රටකට අපනයනය උනා.

සිරා කොලුවා උ/පෙ එහෙම ලියලා අහවර කරලා ඉද්දි කිත්තා ආයෙමත් ලංකාවට ආනයනය උනා. ඒ වෙද්දි මිනිහා ඉස්සර වගේ ලොකු සුහදකමක් නැති අමුතුම ජීවියෙක් වෙලා ඉවරයි. අපේ ගමට යාබද ගමේ නිවෙසක පටන් ගත්ත අලුත් පල්ලියෙ යොහෝවාගෙ සාක්ෂිකාරයො සෙට් එකක් කිත්තගෙ මනස විකාර කරලා මිනිහව බිලී බා ගත්තා.

ඉස්සර දන්සැල් දෙන්න, වෙසක් එකට කොඩියක් දෙකක් එල්ලන්න, ගමේ පොදු වැඩ වලට ආව ගිය කිත්තා දැන් කිසිම කටයුත්තකට එන්නෙ නෑ. ඒ මදිවාට මිනිහගෙ කටේ තිබුනෙ මම මේ ගමේ වැඩ වලට නෑ එහා ගමේ උන් එක්ක තමයි ඉන්නෙ කියන වචනෙ.

අපි කාට කාටත් කිත්තව දිරවන්නෙ නැති තැනට වැඩ කටයුතු සිද්ද උනා. මගදි දැක්කත් අහක බලාගෙන යන තත්වයකට පත් උනා. බෝම්බ හාල් සිද්ධියෙන් පස්සෙ කිත්තට ගමේ උන්ව වහ කඳුරු වගේ උනා. ආයෙ රට පැටවීම පැත්තක තියලා මිනිහා තුන් රෝද රථ රියදුරෙක් විදියට රථයක් අරගෙන අපේ හන්දියෙ බින්න බැස්සා.

ඔය අල්ල පනල්ලෙ දවසක තමයි සිරා කොලුවත් රට පැටවුනේ. මම එහෙ ඉන්න කාලෙ අපේ ගමේ විස්තර නිවසට කථා කරන දවසට මයෙ මලයා මා වෙත සන්නිවේදනය කලා.

ඈත පළාතක ලස්සන කෙල්ලෙක් කිත්තා කසාද බැන්දා...යෝජනාවක්ලු...ගමේ ගොඩාක් උන්ට වෙඩිම කිව්වෙ නෑ. අපිට කිව්වෙත් නෑ. මලයා දවසක් දා කිව්වා.

කිත්තා දැන් තාත්තා කෙනෙක්..පොඩි කොලු පැටියෙක් ඉන්නවා. මයෙ මලයා මට පයින්ඩෙ දීලා මාස 6 කට විතර පස්සෙ මයෙ මලයත් පියෙක් උනා. සිරා කොලුවා මහප්පෙක් උනා.

අපේ දුව ඇවිදින්න එක්ක යද්දි කිත්තගෙ පුතාවත් කිත්තගෙ නෝනා එක්කගෙන එනවා. පොඩි දෙන්නා හරි එකතුයි.  ටික කාලයක් ඇවෑමෙන් මලයා කිව්වා.

අද කිත්තගෙ පුතයි අපේ දුවයි ඇවිදින්න අරන් ගියා. පොඩි කොල්ලට හොදටම උණ ...අපේ කෙල්ලට ආපහු යන්න කලින් කිස් එකකුත් දුන්නා. මලයගෙ නෝනා මට කිව්වෙ ඊටත් පස්සෙ දවසක.

මාර වැඩේ අයියෙ, කිත්තා ප්‍ර‍යිවට් බේත් අරගෙන දිදී ඉදලා..උණ හොදටම වැඩි වෙලා..ඉස්පිරිතාලෙ එක්ක යද්දි පරක්කු වැඩියිලු. කිත්තගෙ පොඩි එකා නැති උනා. හැදිලා තියෙන්නෙ H1 N1 ලු. අපේ කෙල්ලටත් ඒ එක්කම හොදටම උණ හැදුනා. ඔය ලෙඩේමයි. අපි නියම වෙලාවට ඉස්පිරිතාලෙ ගිය නිසා කෙල්ල බේරුනා. මයෙ මලයා එහෙම කිව්වම පොඩි එකා මගේ නොවුනත් මටත් ලොකු කම්පනයක් දැනුනා.

තමන්ගෙ ලේ වලින් ජාතක උන දරුවා තමන්ගේ වරදින් වසර දෙකක් ආයු වළඳලා නැති උනා කිව්වම මොන අම්මට තාත්තටද වාවගෙන ඉන්න පුලුවන්. මෙන්න මේ දුක්බර කාලසීමාවෙදි කිත්තගෙ විපර්යාස රාශියක් වෙන්න පටන් ගත්තා. බුදු දහමින් ඈත් වෙලා උන්න කිත්තා ආයෙමත් පන්සල, ස්වාමීන් වහන්සේලා එක්ක ආශ්‍ර‍ය පටන් ගත්තා, ගමේ පොදු වැඩ වලදි පෙරමුණ ගත්තා. කා අතරත් හොඳ හිත පැතිරෙව්වා. කාට කාටත් දැන් සතුටුයි. හතුරු වෙලා හිටිය අය කිත්තා එක්ක දැන් මිතුරුයි.

අයියේ...මෙන්න කිත්තා ඇවිල්ලා....හරියටම වෙසක් දවසෙ උදේම  මයෙ මලයා බෙරිහන් දෙනකොට මම උන්නෙ ගේ ඇතුලෙ.

කොහොමද මල්ලි...මම පොඩි එකීට වෙසක් කූඩුවක් දීලා යන්න ආවෙ...මම සැකිල්ල හැදුවෙ. අපේ පවුල තමයි  කොළ ඇළෙව්වෙ.

කිත්තා ගෙනත් දුන්න කූඩුව

සුදුයි රතුයි පුංචි අටපට්ටම දිහා චූටි එකී ආශාවෙන් බලාන ඉන්නවා.

ලත්තනයි...කෙලි පොඩ්ඩගෙ කට ඉස්සර උනා.

කිත්තා පොඩි එකී දිහා හැඟීම්බරව බලාන උන්නා. මගෙ පැටියා හිටියා නම් මීට වඩා සුට්ටක් ලොකුවට ඉඳියි...මිනිහට එහෙම හිතෙන්න ඇති. වැඩි වෙලා උන්නෙ නෑ. කිත්තා අපෙන් සමුගත්තා. වෙසක් කූඩුවක් හදාගන්න වෙලාවක් නැතුව, සල්ලි වලට ගන්න හිටිය අපිට කිත්තා වටිනා තෑග්ගක් දීලා ගියා.

මුලු ගමේම කිත්තගෙ නැති උනා පුතාගෙ වයසට ලඟ පුංචි අය ඉන්න ගෙවල් වලට කිත්තා අටපට්ටම් හදලා ළගටම ගිහින් දීලා. පව් නේද දුවේ...අපේ අම්මා මලයගෙ නෝනට කිව්වෙ එදා දවල් බතට කලියෙන්.

දන්නවද වැඩක්...අන්න කිත්තගෙ නෝනට ආයෙමත් දරුවෙක් ලැබෙන්නලු....අපේ ගමේ රොයිටර් ඇගි නැද්දා එදා හැන්දෑවෙ සතුටුදායක පුවතක් අපි හැමෝගෙම කනේ තිබ්බා.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

ජීවිතය යනු එහෙම් පිටින්ම අභියෝග රාශියකි. මේ අභියෝග අරභයා අපි දක්වන ප්‍ර‍තිචාර අනුව දුක හෝ සතුට අපේ ජීවිත වලට එළැඹේ. දුක, අපේක්ෂා භංගත්වය සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතයට යහපත් විපර්යාස එකතු කරන්නට සමත් වන බව ඔබ අසා තිබුනාද ?

Wednesday, May 18, 2016

64 සඳරුවගෙ කැරකෙන කූඩුව

මෙදා පාර අපි හන්දියෙ ගහමු ඩෝ හොද කැරකෙන කූඩුවක්...නිකංම නිකං කැරකෙන කූඩුවක් නෙමෙයි තට්ටු දෙක දෙපැත්තට කැරකෙන කූඩුවක් අරිද ඩෝ...සයිඩ් එකෙන් පොඩි විරිදු පාරක් හරි ඔලුබක්කො පාරක් හරි දාලා කීය කීය හරි දෙයියනේ කියලා එකතු කරගෙන වෙසක් පහුවෙලා හොඳ ආතල් එකක් දාමු. 




එවකට අපේ ගමේ අපිට වඩා වයසින් අඩු ගැටයන්ගෙ සංගමේ සභාපති වගේ හිටිය සඳරුවා ඕනෙම කුණු ගොඩකට එක හිතෙන් මුලු පංචස්කන්ධයම ලයින් කරන්නෙ දෙපාරක් හිතන්නෙ නැතුව. ලොකු පොඩි කවුරුත් සඳරුවගෙ සමාගමය ප්‍රිය කලේ මුගෙ ශ්‍රී මුඛයෙන් ඇනිකට් දොර යටින් පොල් ලෙල්ලක් එනවා වගේ වේගෙන් එක දිගට ගලන උපහාසය මුසු වෙච්ච කථා විලාශයට තියෙන කැමැත්ත නිසාමයි. සමහරු නම් කිව්වෙ සඳරුවගෙ අම්මා ඌව ලැබෙන්න කලින් ඝන්ටාර පූජාවක් කරපු කථාවක්. සඳරුවගෙ චරිතෙ ගැන බොලාට වැටහීමක් ගන්න පොඩි පූර්ණිකාවක් සපයලාම ඉන්නං.

අදින් වසර කීපයකට පෙර දවසක සිරා කොලුවගෙ පුටාරා එකේ මැද පොල්ලට සඳරුවා ගොඩ උනේ කිරිකොට් පිට්ටනියට යන්න. අතර මග හරියෙදි සඳරුවගෙ ජංගම දුරබණුවට ඇමතුමක් ආවා. දුරකථන අංකය දැක්ක ගමන්ම ඒකා පොඩියක් නවත්තහං අයියෙ කියාගෙන පුටාරා එකෙන් බිමට පැන්නෙ හරියට රටක් රාජ්ජයක් ජය ගන්න යන්න හදන එකෙක් වගේ.

මම තොට ගත්තෙ නෑ ගොං හරකො...උඹනෙ දැන් මට කෝල් කරන්නෙ....කථාව බොහොම රළුයි. මමත් අග මුල ගැට ගහගන්න විදියක් නැතුව සඳරුවා දිහා බලාන ඉන්නවා.

උඹේ දුව එක්ක මම ෆිල්ම් බලන්න ගියෙ නෑ බොල. පිස්සෙක්ද? පෙත්ත ගත්තෙ නැද්ද? තමුසෙට පාචනේද ඕයි ? හෙට පෝයද නැත්තං ජංගියෙ හිලක්ද ?  එතනින් පස්සෙ උගෙ කටින් පිටවුන කුණුහබ්බ ලැයිස්තුව මොන හිතකින් මම මෙතන කොටන්නද ? මිනිත්තුවෙන් දෙකෙන් කථාව අහවර කරලා ඒකා ආයෙම පුටාරා එකේ මැද පොල්ලට බර දුන්නා.

අයියෙ පොඩියක් නවත්තහංකො...සඳරුවා ආයෙම බිමට පැන්නා.  මළ කෙලියක්නෙ බං වෙලා තියෙන්නෙ. වැරදීමකින් මම වෙන එකෙක්ට කියලා මම යාලු වෙලා ඉන්න කෙල්ලගෙ තාත්තටනෙ කුණුහබ්බෙන් බැනලා තියෙන්නෙ. ඒ මනුස්සයා වෙන නොම්බරේකින් මට කථා කලේ. කටහඩ දැන් තමයි මීටර් උනේ.

අනේ බුදු මාමණ්ඩි මට සමාවෙන්න ඕනෙ. මට මේ උදේ ඉදම්ම එකෙක් වද දෙනවා උගෙ දුව එක්ක මම යාලුයි කියලා. ඒකයි මම කුණුහබ්බෙන් බැන්නෙ...නෑ නෑ මම මාමණ්ඩිට එහෙම කරනවද ? මගෙ ආයුෂත් අරගෙන මාමණ්ඩි ඉන්න ඕනෙ. පිස්සුද අප්පා එහෙම කෙල්ලෙක් එක්ක මම යාලු නෑ. මම යාලුවෙලා ඉන්නෙ මාමණ්ඩිගෙ දුව එක්ක විතරමයි. ඇත්තමයි සත්තයි. මගෙ දත් හැලෙයි, මම අබ්බගාත වෙයි.  මම බොරු කියනවා නම්...අනේ එහෙම හිතන්න එපා...මේක රත්තරං පපුවක් මාමෙ. මාමට තේරෙයි තව ටික දවසකින් සඳරුවා කියන්නෙ කවුද කියලා. හෙට අනිද්දම මාමණ්ඩිව මුලිච්චි වෙන්න මම එන්නං...එතකං සමා වෙන්ඩ ඕනෙ...අරිද ?

සඳරුවගෙ කථා ඔන්න ඔය විදියයි. ඒ කාලෙ ඒකා රැකියාවක් කලෙත් නෑ. පාසලෙන් ඉවත් වූ අලුතම වගේ කියලයි මට මතක. විනාඩියෙන් දෙකෙන් ලොකු කථාවක් කියන්න සඳරුවට තියෙන්නෙ උපන් හැකියාවක්..ඒ කථාව අස්සට අංග චලන ටිකකුත් එකතු උනාම අහගෙන ඉන්න පිරිසට හිනා වෙලා පණ යනවා.

සඳරුවගෙ වෙසක් කූඩු යෝජනාවට උගෙ වයසෙ කාණ්ඩෙ සහයෝගය දෙන්න කැමති උනේ කිසිම විවාදයක් නැතුව. ලංකාවෙ ප්‍ර‍ධාන මාර්ගයක පිහිටා තියෙන අපේ හන්දියෙ අපි දන්න අතීතයේ කවදාවත් කැරකෙන කූඩුවක් හැදිලා තිබුනෙ නෑ. ඒ හින්දමද කොහෙද බාල මහලු හැමෝම තම තමන්ට පුලු පුලුවන් විදියට උදව් කරන්නං කියන පොරොන්දුව ඒකාට දුන්නා.

ඔය අය අතරෙ අපේ හන්දියෙම තමන්ගෙ ප්‍රියම්භිකාව එක්ක සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යන සම්පත් අයියා මූලිකයා බවට පත් උනා. උඹලා ගින්දර වගේ කූඩුව හදපං සඳරු මල්ලි. ඕනෙ දෙයක් අපිට කියලා සල්ලි ඇතුව හෝ නැතුව කඩෙන් අරගෙන පලයං. පස්සෙ උඹලට පුලුවන් උනොත් සල්ලි දියං. ඒ නැතත් මගෙ හිතේ කහටක් නෑ. උඹලගෙ වැඩේට අපිත් පුලුවන් විදියට සහයෝගයක් දෙන්න එපායැ බොලව්...

න්න බලහං...අපේ සම්පත් අයියා අපිට දෙන සප් එක...අපි මේ වැඩේ කරන්නෙ සම්පත් අයියෙ ඇත්ත වශයෙන් කියනවා නම් පුද්ගලික ලාභ බලාගෙන නෙමෙයි. අපේ ගමේ කොල්ලන්ගෙ නිර්මාණ කෞෂල්‍ය පිටස්තර ජනතාවට පෙන්වන උදාර පරමාර්ථයෙන්. සඳරුවා මේ වගේ බර ටෝක් එකක් දෙන වෙලාවට ගොඩාක් උන් අතින් කට වහගන්නවා ඌට පේන්නෙ නෑ.

කොහොමින් කොහොම තවත් ආධාරකරුවෙක් දුන්න ටෙන්ට් එකක් කාරිය හන්දියේ කූඩුව හදන තැන අටවගෙන කැරකෙන කූඩු වැඩේ නැගලම යන්න පටන් ගත්තා. රාජකාරියට යන තරුණ පරපුරත්..නෝ ජොබ් කොම්පැණියෙ සුපවයිසර්ලා මැනේජර්ලා කාරියත් හැන්දෑවට හැන්දෑවට කයියක් ගහන්න අනිවාර්යෙන්ම ඔන්දස්පොට් වෙන තැන බවට මෙතැන පත් උනේ බොහොම ටික දවසකින්.

රෑ දවල් නැතුව එක දිගට කූඩු වැඩේ යනවා. පොල් අතු වලින් වහලය සකස් කරගෙන කැරකෙන කූඩු සැකිල්ල හදාගෙන යද්දි සඳරුවාගෙ වෑයම ගැන පැහැදුන ගොඩාක් දෙනා ඒකාට වචනෙකින් හරි උදව් උපකාර කරන්න පෙළඹුනා. ගිණි අව්ව , සීතල උදේ , මහ රෑ කියලා බලන්නෙ නැතුව ගජරාමෙට වැඩ කරන කොල්ලන්ට සම්පත් අයියගෙ කඩෙන් ටිකිරි මාරියක් එක්ක තේ කෝපි ටිකක් නිරන්තරයෙන් ලැබුනෙ කිසිම අයකිරීමකින් තොරවයි. ඔහුගෙ ඇඹේණිය කඩේ වැඩත් අතපසු කරගෙන මේ නඩේට සත්කාර කලේ බොහොම කැපවීමෙන්.

අඩෝ...බුල කෙලින්න එපා ඩෝ....වැඩ කරන කොල්ලන්ට තියෙන සියරට් එක බීලා මෙතන නිකං හාල් පාරුවා වගේ දුම් දාන්න එපා අරිද ?...සයිඩ් එකෙන් ඉදින්...නෝ ජොබ් කම්පැණියෙ එකෙක් වැඩ කරන තැන වාත වෙද්දි සඳරුවා දුන්නෙ ඒ වගේ වදන් ටිකක්.

සඳරු පුතේ ගෙදර හදපු ඉඳිආප්ප...අපේ කෙල්ල කිව්වා කූඩුවෙ වැඩ කරන අයියලටත් ටිකක් දෙමු කියලා...කාලා බලන්නකො..නංගිම තමයි අලහොද්ද හැදුවෙත්. ගමේ නැන්දා කෙනෙක් එහෙම උපකාරයක් කලාම සඳරුවා ඒ ඇත්ති ඉස්සරහා නැමෙන්නෙ තද හුළගකට අහු උන බට පඳුරක් වගේ. 

නංගිව අපි ආදරයෙන් මතක් කලා කියන්න නැන්දෙ...කට පලල් කරගෙන සඳරුවා එහෙම කියන්නෙ තමන්ගෙ සගයන්ට ඇහැක් ගහන ගමන්.

කොල්ලො ටික ගජරාමෙට වැඩ. අපිට ඉතින් කඩේ ඉස්සරහම බලා ඉන්න බෑනෙ. ඒක හින්දා මේ දවස් ටිකේම තේ කෝපි කාරිය දුන්නා. කඩේට එන යන ඇත්තියක් එක්ක සම්පත් ගොයියගෙ නෝනා පුරසාරම් දෙඩුවෙ අන්න එහෙමයි.

කැරකෙන කූඩුවෙ වැඩ රාජකාරි බොහොමයක් දැන් අවසන් වෙලා, වෙසක් උත්සවයට තව එක සතියයි. අන්තිම සතියෙ තියෙන්නෙ සව්කොළ වලින් කරන වැඩරාජකාරි නිසා මහන්සිය වගේම ඉවසීමත් හොඳින් ප්‍ර‍ගුණ කරන්න ඕනෙ. සතියක් දෙකක් තිස්සෙ මුලු දවසක්ම  කැරකෙන කූඩුවක් අස්සෙ ඉදලා දැන් සඳරුවගෙ නඩේට හොඳටම මහන්සියි.

තොපිලා මොකද කියන්නෙ...මහන්සිය යන්නත් එක්ක කියලා රෑ වෙලා පොඩි එකක් ගමුද ?

කොහෙද බං සෙට් වෙන්නෙ...මෙතනමද ? කැරකෙන කූඩු සාමාජිකයෙකුගෙන් පුරස්නයක්.  

ඔව් ඔව් මෙතනම බෝතලේ කඩමු මිනිස්සු නිදාගන්න කං ඉදලා...

බෝතලයක් ගේන්න තොට සල්ලි තියෙනවද සඳරුවො...

සල්ලි තියෙන නිසා නේන්නං බොල කියන්නෙ..උඹ නිකං පීදෙන්නෙ නැතුව හිටහංකො.

මුලු ගම්මානයම වැහි අදුරත් එක්ක වේලාසන නින්දට ගියත් හැමදාම වගේ අදත් සඳරුවගෙ කැරකෙන කූඩු භූමිය අවදියෙන්. පිටට පේන්නෙ නැති වෙන්න ආවරණය කරලා තියෙන හින්දම ජාමෙ බේරගෙන අඩියක් ගහන්න කියාපු තැන එතැන කියලයි උගේ අදහස.

බෝතලේ අඩිය පෑදෙන්න තව ටිකයි. කැරකෙන කූඩු ව්‍යාපෘතියෙ බොන කන උන් හිටියෙ අතලොස්සක් නිසා දැන් හැමෝටම හොද ගානට කික්.

සඳරුවො...සැන්ටිං ඉවරයි බං...

දැන් මොන රෙද්ද එක්කද යකෝ බොන්නෙ. තොගෙ කටේ දත් පණුවො කාලද දැල අස්සෙන් අත දාගෙන හිටිය වෙලාවෙ  සැන්ටිං ඇතිද මදිද කියන්න බැරි උනේ ?

මට අමතක උනා බොල...දැන් මොකද කරන්නෙ.

මොනවා කරන්නද සම්පත් අයියගෙ කඩේ දැල අස්සෙන් කලින් ගෙනාවා වගේ අත දාලා තව සෝඩා බෝතලයක් දෙකක් ගමු.

සම්පත් ගොයියගෙ කඩේ වටේටම තිබුනෙ යකඩ කූරු වලින් හදපු දැලක් වගේ සැකිල්ලක්. මේ සැකිල්ල ලගම තමයි පැණිබීම ජාති ගබඩා කරලා තිබුනෙ. දැලේ හිල් අස්සෙන් සැන්ටිං වලට බෝතලයක් දෙකක් පන්නන එක සඳරුවා වගේ එකෙක්ට ටොයිස් වැඩක්.

කොහොමින් කොහොම බෝතල් දෙකක් පන්නලා රහමෙර තිබුන හැම එකම අහවර කොලා කියමුකො. ඊට පස්සෙ කඩෙන් ගෙනාව හිස් බෝතල් ආයෙමත් එතැනින්ම තියන්න ඕනෙ කියලයි කඳ පාත් උන සඳරුවගෙ අදහස...

එහෙම තැන තැන බෝතල් දාලා යන්න එපා ඩෝ...සම්පත් අයියා ඔද මිනිහා...ඕහ්.....අපිට මේ කූඩුවෙ වැඩේට දැන් දවස් කීයක් කියලා බිස්කට් දුන්නද , තේ දුන්නද, කොහු ලණු කැරළි දුන්නද, අපේ දෙමාපියෝවත් මේ තරම් සහයෝගයක් දුන්නද බං.....ඒ හින්දා හිස් බෝතල් ටික එතන තියන්නම ඕනෙ.

කොච්චර කිව්වත් සඳරුවගෙ අදහස වෙනස් උනේ නැති නිසා කඩේ දැල අස්සෙන් පිල්ලි ගිය සෝඩා බෝතල් ආයෙමත් දැල අස්සෙන්ම අත දාලා එතැන තියන එක තමයි කැරකෙන කූඩු කණ්ඩායමේ ඊළග මෙහෙයුම.

සම්පත් ගොයියගෙ කඩේ පිටිපස්සෙ ගෙදර ජීවත් වෙන සුරංග මාමා දවසේ රාජකාරි අහවර කරලා මධ්‍යම රාත්‍රිය කිට්ටුව නින්දට යන කෙනෙක්. වහලා දාලා තියෙන කඩේ පැත්තෙන් බෝතල් එකට වදින සද්දයක් ඇහෙන නිසා මිනිහා හොදට සද්දෙ එන පැත්තට කන දීලා. මීට කලියෙන් දෙවංගියක්ම මේ කඩේ හොරු කඩපු නිසාම සුරංග මාමා ගෙයින් එළියට ඇවිත් කලුවරේම ඇහැ දුන්නම දැක්කෙ දැළ අස්සෙන් අත දාගෙන හිටිය කැරකෙන කූඩු නඩේ. කලුවරට මුන්ගෙ මූණු පෙන්නෙ නෑ.

සුරංග මාමා නූල් සූස්තර කාරයා. මිනිහා තනියම එතනට යන්නෙ නැතුව ඉක්මනින්ම කඩේ හිමිකාරයටත් පයින්ඩෙ යවලා කලුවරේම බැටෑලියන් එකක් ලෑස්ති කරගෙන දැල අස්සෙන් අත දාගෙන හිටිය උන්ගෙ බෙලි කෙටි වලින්ම අල්ල ගත්තා.

තොපි මොකද යකෝ මේ මහ රාත්තිරියෙ මේ කඩේ කඩනවද ?

අපිව අත අරින්න සුරංග මාමා...අපි හරිම අහිංසකයි...සඳරුවගෙ හිර උන බෙල්ලට උගුරු ඇටේ කොටසත් අහුවෙලා තිබුන නිසා සද්දෙ එළියට එන්නෙ යන්තමින්...

උඹලා අද කූඩුව අස්සට වෙලා බිව්වද ? මේ ගඳ එන්නෙ...හිටපිය කඩේ අයිතිකාරයා එනකං..දෙන්නං හොඳ සම්බුවක් අද...

කඩේ හිමිකාර සම්පත් ගොයියා ඒ අව් අස්සෙ අඩියට දෙකට එතැන...දැල අස්සෙන් බීම බෝතල් පිල්ලි ගිය කථාවත්, කැරකෙන කූඩු සැට් එක අඩි ගසා පාටි දමා ඇති ආකාරයත් සුරංග මාමා පණ පිහිටුවලා කිව්වට පස්සෙ සම්පත් ගොයියගෙ ඉවසීමේ සීමාව පැන්නා. සඳරුවගෙ පැහැබර මුහුණ අවපැහැ වෙන තරමෙ දරුණු පාරක් කම්මුලක් සිප ගත්තා.

තොපිට යකෝ මම සති දෙකක් විතර මොන තරම් උදව් කලාද ? මොන තරම් දේවල් නිකං දුන්නද ? කොච්චර තේ කෝපි දුන්නද ?  එහෙව් මගේම කඩේ බඩු හොරකම් කලා...කාලකන්නි...කැරකෙන කූඩු හදනවා කිය කියා රෑ තිස්සෙ අරක්කු බිබී මොනවද මේ කරන වැඩ.

සම්පත්ට ආච්චි වැහිලා ඉන්න වෙලාවට පාලනය කරන්න කාටවත් බෑ. ඒ මදිවට ඒකා ගැටයා සන්දියෙ ඉදලම සටන් ක්‍ර‍ම ඉගෙනගත්ත එකෙක් නිසා හරියට තැනට ගහන්න සූරයා.

සුරංග මාමගෙ හමුදාවත් එක්කම කැරකෙන කූඩුව ඉඳිවෙමින් තිබුන තැනට කඩිමුඩියෙ ඇවිද ගිය සම්පත් ගොයියා අනුකම්පා විරහිතව එල්ල කරපු පා පහර දෙක තුනකින් පස්සෙ සඳරුවගෙ කැරකෙන කූඩුව කැරකෙන්නත් කලියෙන්ම තීන්දු ගමන් ගියා.

මේ හන්දියට තොපි වගේ අපතයො හදන කැරකෙන කූඩු ඕනෙ නෑ. තොපිලගෙ ගෙවල් වලට මම දැන්මම පයින්ඩෙ යවලා දෙමාපියන්ට කියා දෙන්නං කූඩු හදනවා කියලා කරලා තියෙන දේවල්.

අපි කිව්වා මේ බූරුවට හිස් බෝතල් ආයෙම තියන්න ඕනෙ නෑ කියලා...කොහෙද ඇහුවද..නෙදකින් ගං කබරයා...සඳරුවගෙ කැරකෙන කූඩු සංවිධානෙ එකෙක් ඒකාට බනින්නෙ බොහොම සාහසික විදියට.

ඔයින් මෙයින් පහුවදා උදෑසන වෙද්දි එතන හිටිය උන්ගෙ දෙමාපියන්ට වගේම මුලු ගමටම කලින් දවසෙ රාත්තිරියෙ වෙච්ච සංගෙදිය ප්‍ර‍චාරය උනා. මුන්ට ඇති හැකි විදියට උදව් කරපු හැමෝම සඳරුවගෙ මළගිය ඥාතින් පවා සිහිකරමින් බැන්නා.

නෙදකිං අවලං හැත්ත...ඕකුන්ට මම ඉඳි ආප්පත් ගිහින් දුන්නා...ඉඳි ආප්ප නැන්දටත් යකා ආවේශ වෙලා.

අන්තිමේදි සතියක් දෙකක් යනකං ගමටත්, තමන්ගෙ කොලු නඩයටත්  මූණ දෙන්න විදියක් නැතුව නිවාස අඩස්සියෙ හිටිය සඳරු කොලුවා පස්සෙ දවසක සුරංග මාමව දැක්ක තැනක යටියන්තොට යවන බවට පාරම් බබා හිටියත් උගෙ දෙමාපියො තමන්ගෙ පුත්තරයා ලංකාවෙ හිටියොත් පාප මිත්තරයො හින්දා කවදාවත් ගොඩගන්න බැරි බව දන්න නිසාම විදේශ රටකට අපනයනය කොලා.

සිරා කොලුවා වසර 3 කට පස්සෙ තමයි මෙදා පාර ලංකාවෙදි වෙසක් සිරිය දකින්නෙ. ලංකාවෙ හිටියෙ නැති කාල සීමාවෙ අපේ ගමේ ගොඩාක් දේ වෙනස් වෙලා. ඉස්සර වගේ ගමේ පොදු වැඩ වලට දැන් තරුණ පරපුරක් නෑ. සඳරුවා තවමත් විදේශ ගත වෙලා. උගෙ ගෝලයොත් විවිධ දේ සමග කාර්ය බහුල වෙලා. උන් එදා කැරකෙන කූඩුව හදපු භූමිය දකින වාරයක් පාසා සිරා කොලුවට මතක් වෙන්නෙ බොලාට අද කිව්ව මේ කථාව.

මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන්නෙ, කිසිම නොගැලපීමක් ඇති නොවෙන්න. ඒත් තමන්ගෙ එදිනෙදා ජීවිතය තුල ඇතිවෙන නොගැලපීම් ගැලපීම් කරගන්න මිනිස්සු වෙසක් කූඩුවක් හදනකොට තරම් මහන්සි වෙනවද කියලා මේ වෙසක් සමයෙදිවත් හිතලා බලන්න.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ලංකාවේ ජීවිතය මා කලින් සිතුවාට වඩා කාර්ය බහුල වී තිබේ. ඒ නිසාම සිරාගේ කාමරයට යමක් ලියන්නට වෙලාව නැත්තටම නැති වී ඇත. එහෙත් සිරා කොලුවො තෝ මලාද ? යනුවෙන් අසා මා වෙත ඊ විදින කිසිදා හැබැහින් දැක නැති සිරාගේ කාමරයට යන එන ඇත්තන් වෙනුවෙන් හැකියාවක් ලැබෙන සෑම විටෙකම මම ලියමි.

Sunday, March 27, 2016

47 රුධිරය සමග බාර ඔප්පු කරනු දුටිමි. (සංවේදී දසුන් සහිතයි)

සංවේදී හදවත් ඇත්තන් මේ ලිපිය කියවීමෙන් වළකින්න. මෙම ලිපියේ ඇති ඇතැම් ඡායාරූප ඔබට පීඩාකාරී විය හැක.

ජීවිතය යනු මේ යැයි නිශ්චිත අර්ථ කථනයක් දෙන්නට අපහසු දෙයකි. දුක සතුට, නින්දා ප්‍රශංසා, යස අයස මැදින් ජීවිතය ගලන්නේ බාධක මතින් ගලා යන ගංගාවක් පරිද්දෙන් බව බොහෝ දෙනාගේ අදහසයි. තම ජීවිතය හමුවේ නොනැවතී හමුවෙන කරදර බාධක හමුවේ දුර්මුඛව යන ඇතමෙක් ඇසට නොපෙනෙන දෙවියන්ගේ පිහිට යඳිති. භාර හාර වෙති. තවෙකෙකු අනාගතයේ ලබන්නට සිහින දකින දෙයක් වෙනුවෙන් භාර හාර වෙති. දෙවියන් නමඳිති. 

තමා එතෙක් මුහුණ දුන් කරදර බාධක අවහිර, රෝග පීඩා ආදිය කෙමෙන් පහව ගිය කල, නැතහොත් අතීතයේ දිනෙක ප්‍රාර්ථනා කරන ලද යමක් අත්පත් කරගත් විට දෙවියන් ඉදිරියට පැමිණ ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙමින් තමා විසින් සිදුකල පොරොන්දු ඉටු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

පූජා වට්ටි, මල්, පහන්, සුවඳ දුම්, පඬුරු පාක්කුඩම් හෝ සත්ව බිලි මේ අරභයා පුද දෙන වග අපි දනිමු. එහෙත් තමාගේම ශරීරයේ රුධිරයෙන් බාර හාර ඔප්පු කරනු මම මගේ ජීවිතයේ පළමු වතාවට පසුගිය මහ සිකුරාදා දින මීගමුවේ ක්‍රිස්තියානි පල්ලියකදී දුටිමි. අද ලිපිය ඒ ඔස්සේ ලියවෙන්නකි.

පසුගිය වර්ෂයේ දිනෙක වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන මයෙ මලයා අමුතුම ආකාරයේ ඡායාරූප කීපයක් මවෙත එවීය. ඒවායේ වූයේ ගලා යන රුධිරය සමග බාර ඔප්පු කල බැතිමතුන් කීප දෙනෙකුගේ ඡායාරූප කීපයකි. එතෙක් කිසි දින අසා හෝ දැක නොතිබූ මේ කාරණය ගැන සිරිලංකාවට පැමිණි දිනයක ලියන්නට මම එදා තීරණය කළෙමි. දැන් ඉතින් ඒ දවස එළැඹී තිබේ.

කාලයක් මීගමුව ඉසව්වේ ඇමරිකානු රතු කුරුස සමාජයේ රාජකාරියක නිරත වී සිටි මයෙ මලයා ඒ හරහා දැන හදුනාගත් ධීවර ප්‍රජාවේ බොහෝ දෙනෙකි. ඒ අතර ජීවිතාරක්ෂකයෙකු ලෙස මීගමු වෙරළ තීරයේ කටයුතු කල තරුණයෙකු ඔහුට වඩාත් හිතවත් වූවේය. ඉහත කී බාර ඔප්පු කිරීම මයෙ මලයා පළමු වරට දුටුවේ මේ මිත්තරයාගේ ආරාධනය නිසාවෙනි.

මෙවරද සිරිත් පරිදි බාර ඔප්පු කරන්නට මහ සිකුරාදා දින සැදැහැවතුන් පල්ලිය වෙත රැස් වෙන බව ජීවිතාරක්ෂක මිතුරා මයෙ මලයා හට වේලාසනින් සැළ කර තිබුනේය. එදා කෙසේ වෙතත් මෙදා ඒ ගමනට එකතු වන්නට සිරා කොලුවාටද හැකියාව ලැබුන බැවින් අද සිරාගේ කාමරයට යන එන ඔබට මේ ලිපිය කියවන්නට ලැබී තිබේ.

මහ සිකුරාදා ගිණි මද්දහනේ මමත් මලයාත් මීගමුව මුන්නක්කරේ නැමති ප්‍රදේශයේ වූ මේ කිතුනු පූජා භූමියට ලගා වන විට එහි බොහෝ පිරිසක් රැස් කකා සිටියහ. වෙසක් සමය සිහිගන්වමින් ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට යන්නට යන්නට, තාර යෙදූ මාර්ග කෙමෙන් කෙට්ටු වන්නට වන්නට විවිධ පැණි බීම වර්ග සහිත දන්සැල් ඉතාම සුලභ වූහ. පල්ලිය කරා යන බැතිමතුන් මෙන්ම මාර්ගයේ ගමන් කරනා අන්‍ය ආගමිකයන්ටත් මේවායේ සංග්‍රහයන් අඩුවක් නොමැතිව භුක්ති විදින්නට අවස්ථාව සළසා තිබුනි.


මමත් මලයාත් දන්සැලක දෙකක රස බලා කඩිනමින් පල්ලිය වෙත පැමිණියෙමු. අසුන් ගැනීම උදෙසා නිවසේ සිට රැගෙන එන අතේ රැගෙන යා හැකි විවිධ හැඩයේ කුඩා පුටු සමග ලොකු කුඩා කවුරුත් පල්ලිය වෙත පැමිණෙති.

පල්ලිය භූමිය තුලදී මයෙ මලයාගේ මිතුරා අපට සම්මුඛ වූවේය. නානාප්‍රකාර ජනතාව අතරින් ඔහු අප රැගෙන පල්ලියේ පිටුපස කොටසට ගියේය. එහි අද දින බාර ඔප්පු කරන්නට සූජානමින් පැමිණි සැඳැහැවතුන් එක් රැස් වී සිටියෝය.

පල්ලියේ ප්‍රධාන පියනම ඒ සැනෙකින් එදිනට නියමිත පූජාවේ වැඩ කටයුතු ආරම්භ කොට මඳ වෙලාවක් ගත වන විට බාර ඔප්පුකරන්නට පැමිණි අය තමන් එතෙක් හැඳ සිටි වෛවර්ණ වස්ත්‍ර ගලවා සුදු සරමට බැස්සෝය.

සුදු සරම විචිත්‍ර පටියකින් කිටි කිටියේ ගැට ගසා, තවත් සුවිශේෂී උපකරණ දෙකක් සමග ඔව්හු නැවතත් අපට සම්මුඛ වූයේ තවත් විනාඩි ගණනක් ඇවෑමෙනි.

වීදුරු කටු සහිත ඉටි බෝලය

වේවැල් මිටිය
ඔවුන්ගේ එක් අතක වීදුරු කටු සවිකල ඉටි බෝලයකි. අනෙක් අතේ සමාන කුඩා ප්‍රමාණ වලට කපන ලද වේවැල් පොකුරකි. මේවා යොදාගෙන මේ අය කරන්නට යන රාජකාරිය දෙස අරමුණකින් තොරව මම බලා සිටියෙමි.


මේ පිරිස අතර මයෙ මලයාගේ මිතුරාට අමතරව ඔහුගේ පියාද වූවේය. ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කරන්නට තවත් වේලා තිබූ නිසා සිරා කොලුවා වන මම මේ කාරිය පිළිබඳ වැඩි තොරතුරක් දැනගන්නට ඔවුනට සමීප වූයෙමි.

මොකක්ද අද මෙතන වෙන්නෙ. මම සුහදව විමසීමි.

අපි හැම අවුරුද්දෙම මහ සිකුරාදා දවසට කලින් අවුරුද්දෙ වෙච්ච බාර මේ විදියට ඔප්පු කරනවා. මම නම් සෑහෙන කාලයක ඉදන් මේ වැඩේට දායක වෙනවා. මේ අවුරුද්ද මගේ අන්තිම වතාව කියලා තීරණය කරගෙන ඉන්නෙ.  පුතා නම් 2000 අවුරුද්දෙ ඉදන් තමයි බාර ඔප්පු කරන්න සම්බන්ධ උනේ. 

අනෙක් පළාත් වල පල්ලි ඇතුලෙ මෙහෙම දෙයක් කරනවා අපි දැකලා නෑනෙ.

පල්ලිය ලගම ජලාශයක් වගේ දෙයක් තියෙනවා නම් තමයි මේ වැඩේ කරන්න පහසු. මොකද මේ කාර්යය මෙහෙයවන කෙනා පුද්ගලිකව හැම කෙනෙකුගේම ලේ පිහදාලා වතාවත් කරන්නෙ පල්ලිය ලගම තියෙන ජලාශයට බැහැලා. ගොඩාක් පල්ලි වලට එහෙම පිහිටීමක් නෑ. ඒ හින්දා වෙන්න ඕනෙ අනිත් අය කරන්නෙ නැත්තෙ.

මේ බාර ඔප්පු කිරීමට ලොකු ඉතිහාසයක් තියෙනවද ?

අපොයි ඔව්...මෙච්චර කාලයක් මේ කාර්යය මෙහෙයවපු කෙනා මේ අවුරුද්දෙදි නැති උනා. එයාට අපි කිව්වෙ ධීවර මාමා කියලා. එයාට මැරෙනකොට වයස 80 පැනලා. එයාගෙ සීයත් මේ විදියට බාර ඔප්පු කරලා තියෙනවා කියලයි අපිට කියලා තියෙන්නෙ. ඒ විදියට බැලුවාම ලොකු ඉතිහාසයක් තියෙනවා.  තවත් සමහරු කියන්නෙ යටත් විජිත කාලෙ පෘතුග්‍රීසි පාලනයක් යටතේ ලංකාව තිබුන අවධියෙ ඉන්දියාවෙ ගෝවේ දූපතෙන් මේ චාරිත්‍රය ලංකාවට ආවා කියලා.

කොහොමද මේ උපකරණ ටික හදාගන්නෙ ?

දැන් ඉස්සර වගේ මේ චාරිත්‍ර ගැන දන්න පරණ අය ගමේ අඩුයි. තරුණ පරම්පරාව එක්කයි දැන් අපි මේ දේවල් කරන්නෙ. ඉස්සර ධීවර මාමා ඉන්න කාලෙ හැමදෙයක්ම අකුරට ඉෂ්ඨ සිද්ධ කලා. එයා තමයි මේ දේවල් හදන හැටි ගැන අපිට කියා දුන්නෙ. ඉටි බෝලෙ හදා ගන්න කලින් යකඩ වළලු තුනක් හදාගෙන ඒකට වීදුරු කටු රදවලා හීනි කම්බි වලින් බැද ගන්න ඕනෙ. ඊට පස්සෙ මේ කම්බි වලලු පොල්කට්ටක් වගේ දෙයකට දාලා ඒක පිරෙන්න රත් කරපු ඉටි වක්කරලා තමයි මේ ඉටි ගුලිය හදාගන්නෙ. වේවැල් ටික හදාගන්නෙත් අපිම තමයි.

කොයි වෙලාවටද  වැඩේ පටන් ගන්නෙ ?

පල්ලියේ පියතුමා දේවමෙහෙය පවත්වාගෙන යද්දි ඒකෙ එක තැනක ගීතිකාවක්  තියෙනවා. ඒ කොටසට ලං වෙද්දි අපි මේ කාරිය පටන් ගන්න ජේසු පිළිමෙ පේන තෙක් මානෙට ගිහින් පේලියට හිට ගන්නවා. මෙදා පාර ධීවර මාමා නැති නිසා ගමේ වෙනත් වැඩිහිටි කෙනෙකුට එන්න කිව්වා මේ වැඩේ මෙහෙයවන්න. ඒ වෙලාවට එයා බයිබලයේ විශේෂ පාඨයක් කියවනවා...ඔරසම් කියනවා කියන්නෙ...අන්න ඒ දේ කරනවා. එකම පාඨය තමයි හැමදාම කියන්නෙ. ඒ පාඨය ඇතුලෙ තියෙන්නෙ ජේසු තුමාගෙ ගුණ.

ධීවර මාමාගේ අඩුපාඩුව සම්පූර්ණ කල ගමේ වැඩිහිටියන්


ආරම්භයට මෙහොතකට කලින්, තාත්තයි පුතයි වම් පැත්තෙ කොනේම.

මේ පළාතෙ හැම කෙනාටම වගේ සිංහල වලට අමතරව දෙමළ භාෂාවත් පුලුවන් ඔරසම් කියන්න පාවිච්චි කරන පොතේ අකුරු තියෙන්නෙත් දෙමළෙන්. කොහොමද හැබෑට දෙමළ පුලුවන් උනේ ?

ඔරසම් කියන්නට යොදාගන්නා පැරණි පොත



මීගමුවෙ මුන්නක්කරේ කියන්නෙ ඉතින් ධීවරයො ජීවත් වෙන පළාතක් නොවැ. අපේ ධීවරයො ඈත අතීතයේත් දෙමළ අය වෙසෙන පළාත් වලට ධීවර කටයුතු වලට ගියා. ඒ අයගෙන් තමයි දෙමළ ඉගෙනගන්න ඇත්තෙ. සමහර දෙමළ අය මෙහෙ පදිංචියට ආවා. සමහරු ආවාහ විවාහ කරගත්තා. අද දක්වාම තරුණ කෙනෙකුට උනත් හොදින් දෙමළ කථා කරන්න හැකි වෙලා තියෙන්නෙ ඒ හින්දයි. මේ වෙලාවට කියන ඔරසම් කොටස සිංහලෙන් කියනවට වඩා දෙමළෙන් කියද්දි තමයි ගොඩාක් අපේ හිත් වලට දැනෙන්නෙ.

වීදුරු කටු සවි කරපු ඉටි බෝලෙකින් පිටට ගහ ගත්තට ලොකු කැළැල් දකින්න නෑනෙ. ඒ තුවාල වලට බෙහෙත් මොනවා හරි ගානවද ?

විනාඩි 20-25 ක් වගේ කාලයක් තමයි බාරය ඔප්පු කරන්න ගත වෙන්නෙ. ඊට පස්සෙ හැමෝම පල්ලියට එහා පැත්තෙ කලපුවට බහිනවා. එතනදි මේ වැඩේ මෙහෙයවපු කෙනා පුද්ගලිකව හැම කෙනාගෙම ලේ කළපු වතුරෙන් පිහදාලා ඒ තුවාල කසිප්පු වලින් හෝදලා දානවා. ඒක තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නෙ. ඉරිදා වෙද්දි තුවාල සනීපයි.

මේ කථාබහ අස්සෙ මෙතෙක් වේලා කථා කරපු මාමගෙ පුත්තරයා..ඒ කියන්නෙ මයෙ මලයගෙ මිත්තරයා සිරා කොලුවට සම්මුඛ උනා.

ගිය අවුරුද්දෙ වෙච්ච බාරෙ හරිගියාද ? මෙදා පාර බාර ඔප්පු කරන්න ලෑස්ති උනේ ?

අපොයි ඔව්...මම 2000 අවුරුද්දෙ ඉදන් මේක කරන්නෙ. ගිය අවුරුද්දෙ මම ප්‍රාර්ථනා කලා මට පුතෙක් ලැබෙන්න කියලා. කලින් ලැබිලා හිටියෙ දුවෙක්. ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ඨ උනා.

වීදුරු කටු තියෙන ඉටි බෝලෙකින් පිටට ගහ ගන්නකොට රිදෙන්නෙ නැද්ද ?

නෑ. අපි  ගොඩාක් භක්තියෙන් මේ වැඩේ කරන්නෙ. ඔයාලා හිතන තරම් අමාරුවක් දැනෙන්නෙ නෑ.

තවත් මොහොතකින් ඔවුන්ගේ කාරිය අරඹන්නට කාලය පැමිණි නිසා මේ හැමෝම අපෙන් සමුගත්තා. ඒ අය ඔවුන්ගේ බාර නිදහස් කරන විදිය මමත් මලයාත් ඡායාරූපයට නැගුවා. වීඩියෝ ගත කලා. පල්ලියට පැමිණි විශාල ජනතාවක් ඒ අයගෙ බාර ඔප්පු කිරීම දිහා බලාන උන්නා. මුලින්ම ඉටි බෝලය මගින් පහරදීම ආරම්භ කලා, එයින් අනතුරුව වේගයෙන් වේවැල් මගින් පහර පිට පහර එල්ල උනා.

අධිෂ්ඨානශීලී බැල්මෙන් ආරම්භය ලබාගන්නට සූදානම්ව


වීදුරු කටු සහිත ඉටි බෝලයෙන් ඇති වූ තුවාල
   
බාරය ඔප්පු කොට අවසානයේ රුධිරයෙන් නැහැවී...





පුරාණ සම්ප්‍රදාය අනුව රුධිරය සේදීමට කලපුව වෙත යමින්...
වතාවත් මෙහෙයවූ තැනැත්තා විසින් පුද්ගලිකව සෑම කෙනෙකුගේම රුධිරය මෙසේ සෝදා හරියි.
තුවාල මත කසියා හෙවත් ඇති හිටියා යොදන අවස්ථාව.



ඔවුන් බාරය ඔප්පු කරන ලද ආකාරය මේ වීඩියෝවෙන් නරඹන්න.

මේ අයගෙන් අති මහත් බහුතරය ධීවර කාර්මිකයො. කාත් කවුරුවත් නොපෙනෙන මහ මුහුදෙ වර්ෂයෙන් වැඩි කාලයක් ගත කරන ඔවුන්ට පිහිටට ඉන්නේ ඔවුන් අදහන දෙවියන් පමණයි කියන සිතුවිල්ල ඔවුන්ගේ සිත් වල ගැඹුරේ බොහොම තදින් සටහන් වෙලා ඇති. ඒ නිසාම බොහොම භක්තිමත්ව මේ විදියට බාර ඔප්පු කරනවා විය යුතුයි කියලා අන්තිමේදි මට හිතුනා.



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

කිතුණු දහම හෝ මෙහි විස්තර කරන කාර්යය පිළිබඳ මගේ වැඩි දැනුමක් නොමැති නිසා...ඒ පිළිබඳ දැනුමක් ඇති අයට මේ ලිපිය කියවන අය දැනුවත් කරන්නට තහනමක් නැත.

ඔවුන්ගේ මේ චාරිත්‍රය කරුණු නිසි ලෙස නොදැන විවේචනයට සාහසික නොවන්න.

Thursday, March 17, 2016

61 වසර 800 කට පසු මුට්ටියෙන් මතු වූ පරණ වට්ටක්කා

සිරා කොලුවට දැන් වැළදී තියෙන්නෙ බොහොම දරුණු කම්මැලිකමක්. ඒ කම්මැලි කම නිසාම තමයි දැන් සිරාගෙ කාමරයට ඉදලා හිටලා ලිපියක් ලියවෙන්නෙ. ඒ උනාට අද දවසෙ කියවන්න ලැබුන ඉංග්‍රීසි ලිපියක් දැක්ක ගමන් මට හිතුනා කාමරේට එන යන අයට කියවන්න මෙතනට රැගෙන ආ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මේ ලිපිය බොහොම රසබර එකක්.

2008 වසරෙදි ඇමරිකාවෙ විස්කොන්සින් නුවර (Wisconsin) පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකල කැණීමකදි ඔවුන්ට හමු උනා කුඩා මැටි මුට්ටියක්. ඇත්තටම මේ මුට්ටිය පළමු දැක්මෙන්ම කුතුහලය ඇතිකරන තාලෙ එකක්. මේ කැණීම කල භූමිය කැනඩාව, ඇමරිකාව වගේම මෙක්සිකෝවෙත් මුල් පදිංචිකරුවන් පිරිසක් ලෙස සැළකෙන මෙනොමයිනී (Menominee) නැමති ගෝත්‍රයට අයත් පාරම්පරික භූමියක්. ඇමරිකාවේ විස්කොන්සින් නුවර වර්තමානයේත් මේ ජන වර්ගයට අයත් 8700 ක පමණ ජනතාවක් වාසය කරනවා. මේ අය ඉංග්‍රීසි භාෂාවට අමතරව මෙනොමයිනී කියන පාරම්පරික භාෂාවත් කථා බහ කරනවා. ඒ භාෂාවට අනුව මෙනොමයිනී යන්නේ අරුත ජනතාව යනුයි. මේ අය සතුව වර්තමානයේත් අතීතයේ සිට පැවත එන ඔවුන්ටම වෙන් වූ විශාල පෙදෙසකට පැතිරුන භූමි භාගයක් තිබෙනවා. ඉහත කී කැණීම සිදුවුනේ මෙවැනි තැනක.

අපූරු මැටි මුට්ටිය

පුරාවිද්‍යාඥයන් පිරිසට හමුවුන මැටි මුට්ටිය අවුරුදු 800 ක් පැරණි බව පසුව සොයා ගත්තා. එතකොට ඒ තුල තිබුනෙ මොනවද ? මෙය කියවන ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුව එය බව මම දන්නවා. ඇත්ත වශයෙන්ම එහි තිබුනෙ ඔබ කිසිලෙසකින් වත් හිතන්නෙ නැති දෙයක්.

මුට්ටිය ඇතුලෙ තිබුනෙ වට්ටක්කා කුලයට අයත් ශාක විශේෂයක ඇට වර්ගයක්. පෘථිවිවාසීන් ආහාර ගබඩාකරතැබීම, අහාර සංරක්ෂණය වැනි කාරණා පිළිබද ඈත අතීතයේ සිටම දැන සිටි බව මේ මුට්ටිය හමුවීමත් සමග තහවුරු උනා. වර්තමානයේ නම් මේවා වෙන වෙනම විෂයන් ලෙස ඉගෙන ගත හැකියි. එහෙත් වසර 800 කට එහා ආදිවාසීන් ඒ කාරණා දැනසිටීම පුදුමයට කරුණක්. මේ පුදුමය තවත් තීව්ර වෙන්නෙ මේ බීජ වර්ගය අයත් ශාක විශේෂය මැටි මුට්ටිය හමුවෙන වකවානුව වෙද්දි පෘථිවි තලයෙන් සහමුලින්ම තුරන්ව ගොස් තිබූ නිසයි.

මුට්ටිය තුල තිබූ බීජ

කුඩා මැටි මුට්ටියකින් වසර 800 කට පසුව කරළියට ආ මේ බීජ විශේෂය වඳවී ගිය ශාක විශේෂයක් නැවත වරක් පෘථිවියේ ජීවමාන කරන්නට දායක උනා. එහි සම්පූර්ණ ගෞරවය මේ බීජ විශේෂය මැටි බුට්ටියේ බහා තැන්පත් කල Menominee මුතුන් මිත්තන් හට හිමිවිය යුතුයි. බාගවිට අනාගතයේ මේ ශාක විශේෂය වඳවී යනු ඇතැයි ඔවුන් සිතුවා වන්නටත් පුළුවන්. එසේත් නැතිනම් අනාගතයේ පැමිණෙන ආහාර හිගයකදී ආහාර සැපයුම පවත්වාගෙන යාමේ අරමුණ වෙනුවෙන් සගවා තැබුවා වන්නටත් පුලුවන්.

කෙසේ හෝ මේ වටිනා සොයාගැනීම සිදුකර වර්ෂ 7 කට පසු කැනඩාවේ Winnipeg සරසවියේ සිසුන් මුට්ටියේ තිබූ ඇට සිටුවන්නට තීරණය කලේ නූතන විද්‍යාවේ සහයෝගයත් ඇතිවයි. අවුරුදු 800 ක් පැරණි ඇට ස්වල්පයකින් පෘථිවියෙන් වදවූ ශාකයක් නැවත බිහිකරන්නට ඔවුනට හැකිවෙයිද ?

ඇත්ත වශයෙන්ම ඒ කාරිය කරන්නට ඔවුන්ට හැකි උනා. මේ බීජ මගින් බිහිකල පැල වලින් මේ වෙද්දි ඵලදාවත් අරගෙන අවසන්. කාලයක්ම තුරන් වෙලා තිබිලා ආයෙමත් පෘථිවියට ආව මේ ශාඛයට හැමෝම එකතු වෙලා තැබුව නම තමයි gete-okosomin. ඒ නම Menominee භාෂාවෙන් Big Old Squash නැමති අරුත තමයි සපයන්නෙ. ඝනකම් ලෙල්ලක් වගේම ඇට රාශියකුත් තිබෙන විශාල ප්‍රමාණයේ එළවළු වලට පොදුවේ Squash කියලයි කියන්නෙ. මේ ශාඛයට Menominee භාෂාවෙන්ම නම් තැබීම නූතන පරම්පරාවට මේ ශාඛය දායාද කරන්න දායක උන Menominee මුතුන් මිත්තන්ට කරනා ගෞරවයක් ලෙසයි හැමෝම සලකන්නේ.



ආයෙමත් වතාවක් මේ ශාඛය ලොවෙන් තුරන් නොවෙන්න ලැබූ ඵල වලින් හැකි තරම් නව ශාක බිහිකිරීම තමයි මේ දවස් වල සිදුවෙන්නෙ. gete-okosomin බැලූ බැල්මට තවත් එක් එළවළුවක් පමණයි කියලා ඇතැම් කෙනෙකුට කිව හැකි උනත් මේ ශාකය පිටුපස සිටින Menominee මුල් පදිංචිකරුවනුත් ඔවුන්ගේ ජන සමාජයත් නිසාම එය අපූරු ශාඛයක් බවට පත් වී අවසානයි. සමහර වෙලාවට අපේ පරිසරයෙ ගස් කොළන් හරි අපූරු විශ්වාස කල නොහැකි දේත් කරනවා කියලා අපිට හිතෙන්නෙ අවුරුදු 800 කට පස්සෙ පැළවුන gete-okosomin දිහා බැලුවම.


ඉතිහාසය හරිම අපූරු දේ විටින් විට අපිට ගෙනල්ලා දෙනවා. අපි හැමෝගෙම ජීවන චක්‍ර මේ ඉතිහාසය මත මේ පොළවට ශක්තිමත්ව මුල් ඇදලා තියෙනවා. නූතන විද්‍යාව දිහා බලාගෙන ඇතැම් විටෙක ඉතිහාසය අමතක කරන්න අප වෙර දැරුවත් කොහෙන් හෝ තැනකින් අපේ ඉතිහාසය අපට මුණගැසෙන වගට gete-okosomin කදිම උදාහරණයක් සපයන බවක් මට සිතෙනවා.



අද ලිපියට මූලාශ්‍රය



මම කාමරේ අරින සිරා කොලුවා.

Thursday, February 25, 2016

68 අහිමි පෙම සහ මම

බූට් මාසය වෙනුවෙන් දාලා තිබුන ඔක්කොම ලිපි ටික කියෙව්වා. ඉතින් මමත් හිතුවා මගේ කථාවත් සිරාගෙ කාමරේට කියන්න ඕනෙ කියලා. මගේ කථාව මෙතැන පලවුනු අනිත් කථා වලට වඩා වෙනස් උනාට වින්ද වේදනාව නම් වෙනසක් නෑ. මේ කථාව නම් ගොඩාක් පරණ කථාවක්. face book, Skype විතරක් නෙවෙයි ජංගම දුරකථන වත් ඒ කාලෙ තිබුනෙ නෑ. (ගඩොල් භාගෙ cellphone එකක් ලක්ශ 1.5 යි.)

මම ඉස්කෝලෙ ගියේ රත්නපුර පැත්තෙ තිබුන ජනප්‍රිය මිශ්‍ර පාසලකට​. මම ගොඩක් ලස්සන නැති උනාට ඉස්කෝලෙ ගොඩක් ජනප්‍රියයි. යාලුවොත් ගොඩාක් හිටියා. මම ජානක අයියත් එක්ක යාලු වෙනකොට ඉගෙනගත්තෙ 9 වසරේ, එයා සා/පෙ පන්තියෙ. එයාට  ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තිබුනේ. දැනුත් ඒ කතා කරන ඇස් දෙක මැවිලා පේනවා. කාටත් හොරෙන් පටන් ගත්ත අපේ ආදරේ මාස දෙකක් යනකොට මුලු ඉස්කෝලෙම දන්නවා. ඒ කාලෙ අපිට කථා බහ කරන්න තිබුන එකම විදිය ලියුම් විතරයි. ඒත් කවදාවත් ලියුමක් වත් කාටවත් අහුවෙන්නෙ නැති වෙන්න අපි දෙන්නා පරිස්සම් උනා.

එකම ඉස්කෝලෙ හිටියත් හම්බවෙලා කතා කරන්න අමාරුයි. ගොඩාක් දවසට උදේට good morning කියනවා විතරයි.  ඒ කොහොම උනත් අපි දෙන්නා ගොඩාක් ආදරේ කලා. එයා දක්‍ෂයි ඒත් පාඩම් කරන්න කම්මැලියි. මගේ අකුරුනම් රෑ එළි වෙනකන් උනත් කියවන්න පුලුවන් කියලා කියුවම මම එයාගෙ ඔක්කොම සටහන් මගේ අකුරු වලින් ලියලා දුන්නා. සමහර දවසට රෑ  පැයක්වත් නිදාගන්නෙ නැතිව තමයි මම ඒ දේවල් කලේ. ඒ දේවල් නම් අපතේ ගියේ නෑ. අපි දෙන්නා ගොඳට ඉගෙනගත්තා. මට ජානක අයියාගෙන් තොර ලෝකයක් තිබුනෙම නෑ. 

ජානක අයියා උ/පෙ කලෙත් ඒ ඉස්කෝලෙමයි. මම උසස් පෙළ කරන්න නුගේගොඩ ඉස්කෝලෙකට ආවා ජානක අයියත් නුගේගොඩ පන්ති ආව නිසා අපි දෙන්නට හම්බවෙන්න කරදරයක් තිබුනෙ නෑ. මේ කාලෙ ගෙවල්වලින් අපේ සම්බන්ධය දැනගෙන හිටියට ඉස්කෝලෙ යන කාලෙ ආදරේ කරනවට කැමැත්තක් තිබුනෙ නෑ. අපි දෙන්නා ආදරේ කරන ගමන් ඉගෙන ගත්තා. කවදාවත් ඉස්කෝලෙ වත් අතිරේක පන්තියක් වත් කට් කරලා කොහේවත් ගිහින් නෑ. එයා මට ආදරේ කලා වගේම මාව පරිස්සම් කලා. ජානක අයියා විභාගය අවසන් උනු ගමන්ම රස්සාවකට ගියා.  (ඒ කාලෙ කැම්පස් යන්න අවුරුදු 2 විතර බලාගෙන ඉන්න ඕන​) මට නම් ඕන උනේ ඉක්මටම ජානක අයියව කසාද බඳින්න​. ඉක්මනටම එක වහලක් යටට යන්න​. අපි දෙන්නා අපේ අනාගතේ ගැන ගොඩාක් හීන දැක්කා.

මම උ/පෙ විභාගයෙන් පස්සෙ මහරගම ඉංග්‍රීසි පන්තියකට ගියා. එක දවසක් ජානක අයියා පන්තිය ලගට ඇවිත් එයා විභාගය පාස් උනා කිවුවම මට සතුට දරාගන්න බැරි උනා. පාර අයිනේ පන්තියෙ ළමයි ගොඩක් මැද්දෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නෙ වටේ පිටේ තියන හැමදෙයක්ම අමතක වෙච්ච නිසා. එදා එයා අපි කසාද බදිමු කියලා මගේ කේන්දරේ ඉල්ලුවා. ඒ තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස වගේම අන්තිමටම සතුටු වෙච්ච දවස​. ඊලග දවසෙ අපි කේන්දර දෙක මාරු කරගත්තා.

කොහොම හරි අම්මව ඇදගෙන එදා හවසම කේන්දරේ බලන්න ගියා. ඒ දෙක කොහොමට වත් ගැලපෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ​.  මම කේන්දරේට වඩා අවුරුදු 6ක ආදරේ විශ්වාස කලා. මට ඕන උනේ එයාගෙම වෙන්න විතරයි. මට ඕන උනේ එයා විතරමයි. ජානක අයියාගෙ ගෙදරිනුත් කේන්දරේ බලලා තිබුනා. ඊලග දවසෙ අපි හම්බ උනාම එයා කිව්වෙ අපි මේක නතර කරමු කියලා විතරයි.  අවුරුදු 6 ක් තිස්සෙ පණ වගේ ආදරේ කරපු මගෙන් අඩුම ගානෙ " නතර කරමුද? "  කියලවත් ඇහුවෙ නෑ.  මට වචනයක් වත් කතා කරගන්න බැරිවුනා...පැය ගානක් එයා ලගට වෙලා ඇඩුවා. මගේ හිත හදන්න වත් කියන්න දෙයක් එයාට තිබුනෙ නෑ. එයා නැතිව එක හීනයක් වත් නොදැකපු මම එයා නැතිව කොහොම ජීවත් වෙන්නද​?. මොනවා කරන්නද මගේ ආදරේට වඩා කේන්දරේ විශ්වාස කල නිසා එයා මාව දාලා ගියා. 

කරන කියන දෙයක් හිතාගන්න බැරිවුනා. කොල්ලෙක් උනානම් කන පැලෙන්නෙ බීලා හොඳට නිදාගන්න වත් තිබුනා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්නත් හිතුනා. ඒත් එහෙම කළොත් ජානක අයියට දරාගන්න බැරිවෙයි කියලා හිතුනා. එයා මගේ නොවුනත් ඒ හිතට දුකක් දෙන්න මට බෑ.  මගේ කරුමෙ එතනින් ඉවර උනේ නෑ. මාවත් ජානක අයියා යන විශ්ව විද්‍යාලයටම තේරුනා.

මට ආයෙත් එයාට මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මම දන්න අඳුනන හැමෝගෙන්ම ඈත්වුනා. ගෙදර අයගෙ බල කිරීමට ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. NIBM එකේ උපාධිය කරන්න පටන් ගත්තා. කාලයත් එක්ක වේදනාව අඩු උනේ නැති උනත් ගෙදර අනිත් අය වෙනුවෙන් හිනාවෙලා හිටියා.  අලුත් යාලුවොත් එක්ක එහෙම ඉන්න අමාරු වුනේ නෑ. පන්තියෙ වැඩියෙන්ම කෑ ගහලා හිනාවෙලා හිටියෙ මම​. රෑට තනි වෙච්ච වෙලාවට ඇති වෙනකං ඇඩුවා. නින්ද යන්නෙ නැති නිසා පාඩම් කලා. මට කවදාවත් ජානක අයියව අමතක කරන්නම බැරි උනා.


කරන්න පුලුවන් හැම දෙයක්ම කරලත් එයාව අමතක කරන්න බැරි උනා. මගේ හොඳම යාලුවා කිව්වෙ කාවහරි කසාද බඳින්න කියලා. ඉතින් ඊළගට මගෙන් යාලුවෙන්න ඉස්සෙල්ලම අහන කොල්ලත් එක්ක ඇත්ත විස්තරේ කියලා එයා මාව කසාද බඳින්න කැමති උනොත් කසාද බඳින්න තීරණය කලා. මට මගේ සැමියා හම්බ උනේ එ් විදියට.  

මට ආයෙත් ජානක අයියව හම්බ උනේ අවුරුදු 8කට විතර පස්සෙ පුතයි මහත්තයයි එක්ක සාප්පු සවාරියෙ යන වෙලාවක​. ඒ වෙලාවෙ ජානක අයියට ළග ඉන්නෙ කවුද කියලා අමතක උනා. දුවලා ඇවිත් අත්දෙකම අල්ලගෙන කතා කලේ. ඉස්සර වගේමයි... මම මහත්තයට කවුද කියලා හඳුන්වා දුන්නම සති අග ගෙදර එන්න කියලා එයා කිව්වා.

ඊලග සති අන්තෙ එයා අපේ ගෙදර ආවා. ඒ වෙනකොට ජානක අයියත් කසාද බැඳලා දුවෙක් ඉන්නවා. දන්නවද ඉස්සෙල්ලම මාත් එක්ක තනියම කතා කරන්න ලැබුන වෙලාවෙ එයා මගෙන් ඇහුවෙ ඇයි එදා "අපි මේක නතර කරමු" කියපු වෙලාවෙ බෑ කියලා එක සැරයක්වත් කිවුවෙ නැත්තෙ කියලා. එකම එක සැරයක් බෑ කිව්ව නම් කවදාවත් දාලා යන්නෙ නෑ යන්න දෙන්නෙත් නෑ කියලා එයා කිව්වා.

අනේ දෙවියනේ ජීවිතේ ආපස්සට හැරෙන්න අපිට බෑ. එදා කියපු නැති එකම එක වචනයක් හින්දා මම පණටත් වැඩියෙන් ආදරේ කල ජානක අයියව මට නැති උනා. අවුරුදු 6ක ආදරේ එක වචනයක් නිසා නැති උනා.

ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි කියලා සිරා මල්ලිත් කියලා තිබුනා. මමත් එහෙමම තමයි අද හිතන්නෙ. කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ආදරය අහිමි උනත්  තරහක්, කණගාටුවක් නෑ.



මගේ කථාව කියෙව්වට හැමෝටම ස්තූතියි !


සිරාගේ කාමරයේ බූට් මාසය වෙනුවෙන් ලියා එව්වේ,


ඉමල්කා සිල්වා.



ප.ලි

අධික කාර්ය බහුලතාවය නිසා සිරාගේ කාමරයේ බූට් මාසය මෙවර කථා කීපයකට පමණක් සීමා කිරීමට සිදුවීම ගැන සිරා කොලුවා ලෙස මගේ සාතිශය සංවේගය පල කරමි. ගිය වසරේ මෙන්ම මේ වසරේත් මෙහි පලවූ සියලුම බූට් කථා පිරිමි පාර්ශවය විසින් එවන ලද ඒවාය. එහෙත් හා පුරා කියා අද මෙහි පලවන්නේ සහෝදරියක විසින් විරහව පිළිබඳ අකුරු කරන ලද ලියමනකි. ප්‍රේමයේ විප්‍රයෝගය කාන්තා පිරිමි භේදයකින් තොරව දුක, කණස්සල්ල දායාද කලද, කාන්තාව බොහෝ විට නිහඩව මේ මනෝභාවයන් විඳදරා ගන්නා බව මගේ හැගීමයි. මේ ලිපිය ඒ වගට දෙස් දෙනු ඇත. ඉමල්කා සොයුරිය....ඔබට මගේ ස්තූතිය.

ලිපියේ හිමිකාරියගේ ඉල්ලීම පරිදි චරිත නාමයන් වෙනස් කොට තිබේ.

Monday, February 8, 2016

63 මිත්‍ර සහ ආදරය

රතු පැහැති ස්පෝට් වර්ගයේ පා පැදිය ගම්පහ පුස්තකාලයේ පසෙකින් තිබෙන සුදු අරලියා ගස අසල කම්බි වැටට හේත්තු වන විට පුස්තකාලයේ දොරටු විවර වී වැඩි වේලාවක් ගත වී තිබුනේ නැත. උදෑසනම මිදුලේ සුදු වැලි මත පැහැදිලි රටා මවමින් මේ මිදුල අමදින්නේ පුස්තකාලයට යාබදව පිහිටා තිබෙන නගර සභාවේ කම්කරු ළඳක් විසින් බව බයිසිකලයෙන් බිමට බට මිත්‍ර හට සැනෙකින් මෙනෙහි වූවේය. අතරින් පතර එක දෙක බැගින් වැටී තිබෙන වියලී ගිය අරලිය කොළ සහ සුදු පැහැය ඇකී මැකීගිය අරලිය මල් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවාදෝයි විටෙක ඔහුට සිතෙයි. මේ දසුන දෙස තත්පර කීපයක් බලා හිඳ පා පැදියේ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසු පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලට පිවිසෙන තරප්පු පෙල අභියසට හෙතෙම පැමිණියේ මඳ කොරයක් සහිත වම් පාදය ආයාසයෙන් අවනත කරගනිමිනි.

තරප්පු පෙල එකින් එක තරණය කරන්නට දැන් වෙනදාට වඩා අපහසු බවක් මිත්‍ර හට දැනෙයි. කුඩා කල සිටම වම් පාදයේ පැවති වියවුල දැන් තරමක් නරක අතට හැරී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානය දෙස් දෙයි.

තව මාස දෙකකින් උසස් පෙළ ඉවරනෙ...ඊට පස්සෙම දොස්තර කෙනෙක් හම්බ වෙනවා...

ඔහුගේ සිතුවිලි ඒ මේ අත දෝලනය වෙද්දී පුස්තකාලයේ පාඩම් කරන කොටසේ තමන් නිතර වාඩි වී සිටින ආසනය වෙත ඔහුගේ පියවර එසවුනේ නිරායාසයෙනි. තවමත් පාඩම් කරන කොටසේ සියලු ආසන පිරී ගොස් නැත. අතරින් පතර පෙනෙන හිස් තැන් ඔස්සේ දිවගිය ඔහුගේ නෙතු දෑල අවසානයේ ඇගේ රූප කාය ඉදිරියේ වෙනදා වාගේම නතර වූවේය.

ලස්සන කෙල්ල...හිනාවෙන කොට සීදේවි පාටයි...කොන්ඩෙත් දිගයි..

අරමුණක් නැතිව ඉබාගතේ උපදින සිතුවිලි උපදින සැනින් නැසෙද්දී මිත්ර හට වෙනදා දැනෙන වේදනාව අදත් ඇතුලු හදේ දැනෙන්නට වූවේය.

කොර කකුලක් තියෙන මට කෙල්ලෙක් කැමති වෙයිද ?

මේ මනෝභාවය ඉදිරියේ තවත් වේලා රැදී ඉන්නට ඔහුට අපහසුය. තාත්තා මිය ගිය දිනයේ සිට තමා සහ මලනුවන් ලොකු මහත් කරන්නට වෙර දැරූ මවත්, අකලට වියලී ගිය ඉපලක් බදු ඇගේ වතත් සිහිවන වාරයක් පාසා මිත්ර ගේ සිත වෙඩරු පිඩක් මෙන් උණු වෙයි. නෙතු දෑලේ කදුලක් උපදී. කෙසේ හෝ මුල් වාරයේම විභාගය හොදින් සමත් වී ඉංජිනේරුවකු ලෙස සාමාර්ථය ලබා මවගේ ඉදිරි ජීවිතය සැපවත් කරමි යන උදාර සිතිවිල්ලෙන් පණ ගැන්වුන මිත්ර රූබර යුවතිය පසෙක තබා එදින පුස්තකාලය තුල විසදන්නට අධිටන් කල ගණිත ගැටලු වෙත යොමු වූවේය.

.......................................................................................................

හිතේ පවතින දැඩි අධිෂ්ඨානය නිසාම මිත්ර අසල සිටගෙන සිටින යුවතිය ඔහුට සංවේදනය වූයේ තත්පර කීපයක පමාවකිනි.

අයියේ...

මිත්රගේ නෙතු යුග නිතර නතර වන රූපකායේ හිමිකාරිය ඔහු අසල සිටගෙන සිටින්නීය. ඇය අත ඇති හාෆ් ෂීට් කොළ කීපය දෙස ඕනෑවට එපාවට මෙන් බැලූ මිත්‍ර ඇගේ රූබර වත කමල දෙස නම් උමනාවෙන් බැලුවේය.

ඇයි නංගි...ඔහුගේ සැලෙන කටහඬ ඇයට ඇසුනාදැයි සැක සිතෙන තරම්ය.

මේ ගානක් තියෙනවා...අපි හදන්න හැදුවට හදාගන්න බෑ...අපි ඉතින් විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙනෙ...අයියා හෙට අනිද්දා ලියන්න ඉන්න කෙනා නිසා හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුවා..

මේ ගැටලුව පුස්තකාලයේ නොයෙක් දෙනා වෙත යොමු වී අවසානයේ තමා කරා පැමිණි බවක් මිත්‍ර දැන සිටියේ නැත. ධ්‍යානයකට සමවැදුන කෙනෙකු මෙන් නිතරම ඉලක්කම් සමග හරඹ කරන ඔහුට අවට පරිසරයේ සිදුවන සිදුවීම් දැනෙන්නේ නැත.

විනාඩි කීපයක ඇවෑමෙන් ඉතාමත් පහසුවෙන් ගණිත ගැටළුව විසදුනි. එය විසදූ ආකාරය පිළිබද විස්තරාත්මකව දැනගන්නට ඇය මඳක් මිත්‍ර වෙත නැඹුරු වූවාය. ඈ වෙතින් හමනා සුවඳ විලවුන් සුවඳින් අමන්දානන්දයට පත් හෙතෙම ඉතාම මැනවින් ඒ කාර්යය අවසන් කලේය.

.......................................................................................................

උ/පෙල විභාගයට තවත් වසරක කාලයක් තිබුනත් මේ යුවතිය ඉතාම උත්සාහ වන්තය. ගම්පහ නගරයේ ප්‍රධානම කාන්තා පාසලේ ඉගෙනුම ලබන ඇගේ නම නිශානි බව මිත්ර දැන ගත්තේ දිනක් ඔහු වෙත ඉදිරිපත් කල ඇගේ ප්‍රශ්න පත්‍රයක තිබී අහම්බෙන් නෙත ගැටීමෙනි.

පුස්තකාලයේ පාඩම් කරන කොටසේ විභාගයට සූදානම් වන පිරිස අතරේ ගණිත අංශයේ ප්‍රමුඛයා මිත්‍ර බව ඒ වන විටත් බොහෝ දෙනා දන්නා රහසක්ව පැවතින. මේ විෂයට ඔහු දක්වන දක්ෂතාව නිසාම දිනපතාම නිශානි ගෙන එන ගැටලුවක් දෙකක් විසදන්නට ඔහුට සිදු වුවද හෙතෙම එයින් සතුටක් ලැබුවා මිස කෝප වූයේ නැත.

තමාගේ සිත සොරාගත් යුවතිය වෙත මෙලෙසින් උපකාර කිරීමට ලැබීම මිත්ර වෙත ගෙන ආවේ බලවත් ආශ්වාදයකි. විභාගයට තවත්  දිණ කීපයක් වෙද්දී සිතේ සිරවී ඇති සිතිවිලි වචන බවට පෙරලන්නට ඔහුට හැකි වූවේය.

මම ඔයාට කැමතියි නංගි...තම මිතුරන් සැමටම රහසින් ඔහු එසේ කියන්නට ඇත. එහෙත් වම් කකුලේ කොරයක් සහිත මිත්‍ර වැනි තරුණයෙකු වෙනුවෙන් තම හදවත දන්දෙන්නට ඇය පාරමීදම් පුරන්නියක නොවුනාය. මිත්ර වෙත සිහින් වේදනාවක් දැනුනද ඒ වේදනාවත් තමාගේ සවියට ගෙන උ/පෙ කඩඉම ඉතා හොඳින් ජයගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත පිවිසෙන්නට මිත්‍ර වාසනාවන්තයෙක් වූවේය.
......................................................................................................
විශ්ව විද්‍යාලය තුල කටයුතු ආරම්භ වුවත්, එහිම නවාතැන් ගෙන සිටියත් මිත්‍ර හට ගම්පහ පුස්තකාලය අමතක කරන්නට නොහැකිය. තමාගේ සාර්ථකත්වයට පිටිවහලක් වූ මෙම ස්ථානයට හැකි සෑම විටෙකම පැමිණීම ඔහුට සතුටකි.

එලෙස පැමිණෙන සෑම විටෙකම විභාගය ජයගන්නට වෙර දරණ නිශානි ඔහුට දකින්නට ලැබෙයි. දෙවන වර පළමු හමුවීමේදීම මිත්‍රගේ ජයග්‍රහණය පිළිබඳ තම සුභාශිංෂණ එක් කරන්නට ඇය අමතක නොකලාය. අතීතයේ මෙන් ඇයත් ඇගේ යෙහෙලියනුත් හැකි සෑම විටෙකම මිත්‍රගේ සහයෝගය ලබාගන්නේ ඔහු මේ මග සාර්ථකව තරණය කල නිසාවෙනි. කිසිදු නිරහංකාරකමකින් තොරව තමාගේ යහපත වෙනුවෙන් ලබාදෙන ගුරුහරුකම් නිසාදෝ ඇගේ හද ගැඹේ උපන් ආගන්තුක හැගීමකට ඇය ආදරය යනුවෙන් නම් තැබුවාය. අවසානයේ මිත්‍ර සහ නිශානි ප්‍රේමයෙන් වෙලුනෝය.


කලින් වතාවෙ බෑ කියපු එකී මේ වතාවෙ කැමති වුනේ මිත්‍රයා දැන් ඉංජෙක් වෙන්න ඉන්න හින්දා...ගෑණු ඔහොමම තමයි බං...වාසි අතට හෝයියා...

ප්‍රේමයේ විප්‍රයෝගයේ රස ඇති පදමට විඳ ඇති පුස්තකාල පාඩම් කොටසේ එකෙකු දිවා විවේකයේදී මේ නවයොවුන් ප්‍රේමය එලෙස දුටුවේය. අවට සිටිනා උන් කියනා කිසිදු දෙයක් කණකට නොගත් මිත්‍ර තම පැපැදිය අාපසු එන ගමනේදී ලබාගන්නා අටින් ඇගේ අත අල්ලාගෙන සෑම දිනෙකම හිරු අවරට යන හෝරාවේ ගම්පහ නගරය ඔබමොබ ඇවිද ගියේය.

අපේ තාත්තා අදුනන කෙනෙක් දැක්කොත් මට පුස්තකාලෙ එන්න දෙන එකකුත් නෑ අයියෙ...

නිශානිගේ දුක්ගැනවිල්ල නිසාම මිත්‍රගේ ගමන් මාර්ගය අතුරු මාර්ග කීපයකට පමණක් ක්‍රම ක්‍රමයෙන් සීමා වූයේය. ඔහුගේ ආදරය පරවි රැජිනියක් සේම අවිහිංසකය, අලුත් කලයක පිරිසිදු ජලය සේ නැවුම්ය, පිල් විදහා ගත් මොණර රාජයෙකුට දැනෙනා තරමේ ආඩම්බරයක්ය. පුස්තකාලයේ රූබර ළදක් සමග පෙම් සබඳතාවක් ඇරඹීම පහසු නැත. ඒ බව දන්නා මිත්‍ර තමා ගැන ආඩම්බර වීමේ වරදක් නැත.

.......................................................................................................

මිත්‍ර මෙන් නැතිබැරි පවුලක ඉපදී නැති ඔහුගේ පෙම්වතිය ඇතිහැකි පවුලක එකියකි. ඇගේ පියා නීතිඥයෙකි. මේ සාධක හමුවේ අනියත බියකින් ඔද්ගැනුන මේ ප්‍රේමවන්තයාගේ සිත නිතර සැලෙයි. නිශානි කවදාවත් වෙනස් වෙන එකක් නෑ.  එලෙස සිතීමෙන් තාවකාලිකව ගැටලුව අමතක කරන්නට මිත්‍ර රිසි වූවේය.

නිශානි උ/පෙ විභාගයට ලීවාය. ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින ඇයට මිත්‍ර සමග පෙම් කෙලින්නට ඕනෑ තරම් කාලය තිබේ. ඔහු වැනි තරුණයෙකුට දෙමාපියන් අකමැති නොවනු ඇතැයි යන සිතුවිල්ල ඕනෑවටත් වඩා විශ්වාස කල නිශානි තම දෙමාපියන් වෙත මිත්‍ර හඳුන්වා දෙන්නට පසුබට නොවුනාය.

මොකද පුතා කකුල...ඇවිදිනකොට තරමක කොරයක් තියෙනවා නේද..මගෙ යාලුවෙක් ඉන්නවා හොඳ දොස්තර කෙනෙක්...අපි පෙන්වලා බලමු. යන වියදම් ගැන පුතා වද වෙන්න එපා. ඒවා මම බලාගන්නම්.

පළමු හමුවීමේදීම ඇගේ පියා මිත්‍රගේ ආබාධය පිළිබඳ සැළකිලිමත් වූවේය. එදා ඔහු මේ නිවසින් සමුගත්තේ වෛද්‍ය පරීක්ෂණය උදෙසා සහභාගි වන්නට දිනයක් ගිවිසාගැනීමෙනි.

.......................................................................................................

මිස්ටර් මහවත්ත...කොල්ලා කොච්චර හොඳ උනත්, උගත් කම තිබුනත් මේ කසාදය කරලා දුවගෙ අනාගතය අඳුරු කරගන්න එපා. මිත්‍රට තියෙන්නෙ කලාතුරකින් හැදෙන ලෙඩක්...මාංශ පේශීන් හැදෙන වේගයට වඩා මැරෙන වේගය වැඩි නිසා එයාගෙ කකුල් වල ශක්තිය අඩු වෙලා. තව කල් යද්දි ඔය කොරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඇවිදින්නම බැරි තැනට එයි. මේ වගේ ලෙඩෙක්ව හොඳ කරන්න විදියක් තවම හොයාගෙන නෑ. දුවගෙ අනාගතය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න.

ඉකුත් සතිය වන තෙක්ම තමාගේ තුරුලේ හිඳිමින් පෙම්බස් දෙඩූ යුවතියකට මෙතරම් ඉක්මනින් වෙනස් වෙන්නට හැකි වේ යැයි මිත්‍ර කිසි දිනක විශ්වාස කලේ නැත. ඇගේ දෙමාපියන් හමු වී පැමිණ සති දෙකක් පමණ ඇවෑමෙන් දෙමාපියන් මේ සබඳතාවට අකමැති බව පැවසූ ඇය සබඳතාව බොහෝ පහසුවෙන් විසන්ධි කර දැමුවාය. දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදුන් නිෂානි විරහා වේදනා නැමති සෝ සයුරේ කර වටක් දක්වා මිත්‍ර රැගෙන ගියාය. ආදරය මේ තරම් දුකක් බව කලින් දැන සිටියා නම්....නොයෙක් වර මිත්‍ර එලෙස කල්පනා කරන්නට ඇත.

නිශානිගේ ආදරය අහිමිවීම මිත්‍ර හට මහත් වේදනාවකි. මේ කරුම ලෙඩේ හැදුන වෙලේ මමත් මැරිලා ගියා නම්...එහෙත් මෑණියන්ගේ ගුණ සුවඳ දැනෙන සෑම විටෙකම ඒ සිතුවිල්ලෙන් මිත්ර ක්ෂණිකව බැහැර වූවේය.

.......................................................................................................

විරහා වේදනාව කෙමෙන් කෙමෙන් හීන වී යද්දී මිත්‍ර පේරාදෙණිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය අවසන් කර පහුණුවන කාර්මික ඉංජිනේරුවකු ලෙස ලංකාවේ නම ගිය ආහාර සැකසුම් කරනා සමාගමක සේවයට බැදුනේය. කාර්යශූර බවත්..විෂයෙහි දැක්වූ ප්‍රවීණතාවත් නිසාම කෙටි කලකින් ප්‍රධාන ඉංජිනේරුවෙකු තරමට ඉහළට පැමිණි මිත්‍ර මේ සමාගමේ නවතම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර තමාගේ අභිමතය පරිදි සවි කිරීමට වරම් ලද්දේය. ඒවා මිළදී ගැනීම පිණිස රටවල් කීපයක සංචාරය කරන්නටද ඔහුට අවස්ථාව ලැබුනේය. මේ සවිකිරීම් සියල්ලම ඉතාම මැනවින් සිදු වූ නිසා ආයතනය ඔහු කෙරේ වඩ වඩාත් පැහැදුනේය.


රැකියාව අතින් කෙතරම් ඉහළට ගියත් මේ අතර තුර කාලයේ මිත්‍රගේ සෞඛ්‍ය තත්වය බොහෝ සේ පිරිහුනි. ඔහුගේ වම් කකුල ඔසවාගෙන පියගැට පෙලක් නැගීම පවා අපහසු වූවේය. සමකාලීන වෘත්තීය සගයන් නවීන රථ වාහන පාවිච්චි කලත් මිත්‍ර එසේ නැත. තමාගේ සෞඛ්‍ය තත්වය නරකම අතට හැරුන පසු මෙතෙක් සේවය කල ආයතනයේ සේවයෙන් ඉවත් වී කුළුබඩු සම්බන්ධ තමාගේම ආයතනයක් සුළුවෙන් පටන් ගන්නට මිත්‍ර කටයුතු කලේ ලබන වැටුපට සරිලන සේවයක් තව දුරටත් සැපයීමට තමාට නොහැක යන මතයේ එල්බගෙන සිටි නිසාවෙනි.

පුද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ඉංජිනේරු උපාධියක් ලද නිෂානිට දැන් නව පෙම්වතෙකු සිටියි. ඔහු සමග ගත් විවිධාකාරයේ ඡායාරූප වලින් ඇගේ මුහුණු පොත සැරසෙද්දී, ඇගේ යෙහෙලියන් මේ දෙදෙනා ඉතාම ගැලපෙන යුවලක් බව කීවෝය. මිරිස් සැර ඉහවහා ගිය, අධික ශබ්දයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන පරිසරයක සිටියද, ගතින් කෙතරම් දුර්වල වුවද මිත්‍ර මානසිකව ඉතාම සංසුන්ය. මෙතරම් ගැටලු හමුවේ යළි නැගිටින්නට නොහැකි ලෙස ඇද වැටෙන බොහෝ දෙනෙක් සිටිනා සමාජයක විරහා වේදනා, ශාරීරික පීඩා අතරින් තමාගේ ඉලක්කය කරා ගිය මිත්‍ර වීරයෙකු නොවන්නේද ?

දිනෙන් දින කායික ශක්තිය අතින් දුර්වල උවත් තවමත් මිත්‍ර නව යන්ත්‍ර උපකරණ පිළිබඳ සිත යොමු කරන්නේ බාධක හමුවේ පෙරට යන පුදුමාකාර ශක්තියක් ඔහු තුල තිබෙන බැවිනි. ජීවිතයේ එක් අන්තයක් කඩා වැටෙන කල්හි තවත් අන්තයකින් ජයග්‍රහණය ලබැගැනීම බොහෝ පිරිසකට කල නොහැකි කාරියකි. ඒ අතලොස්ස අතරට මිත්‍රගේ නමද ලියවිය යුතුමය.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරා කොලුවා ගම්පහ පුස්තකාලයේ පාඩම් වැඩ කරනා සමයේ මේ සත්‍ය කථාවේ ඔබට හමු වූ චරිත දෙකම දුටුවෙමි. කථා බහ කළෙමි. ඔවුන්ගේ සැබෑ නම් වලට කිට්ටුවෙන් යන නම් දෙකක් චරිත හැදින්වීම පිණිස යෙදුවෙමි. එවකට මිත්‍රගේ අතේ එල්ලී පෙම් වදන් දෙඩූ ඇය අද දිනයේ නව පෙම්වතෙකු සමග පෙම්කෙලිනා අන්දම දකින කල මිත්‍ර හට හිතවත් කෙනෙකු ලෙස සිරා කොලුවාගේ සිතටද දුකක් කණගාටුවක් දැනුනේ වරක් දෙවරක් නොවේ. සිරාගේ කාමරයේ බූට් මාසයේදී මේ කථාව ඔබට පළමුවෙන්ම කියන්නට මා කල්පනා කලේ මේ සිතුවිලි වලින් මා ලද උත්තේජනය නිසාමය.

මිත්‍ර තම විෂය තුල ඉතාම දක්ෂයෙකු නිසා අපේ රටට කදිම සම්පතක් වන මේ වටිනා ජීවිතය රැක ගන්නට මිතුරන් ලෙස අපි අවස්ථා කීපයකදීම උත්සාහ කළෙමු. පාරම්පරික වෙද මහතුන් කීප දෙනෙකු වෙතම ඔහු ඉදිරිපත් කළෙමු. එහෙත් අවසානයේදී මිත්‍ර ලද සුවයක් නැත.

සිරා කොලුවා සිරිලංකාවට පැමිණි අලුතම මම මිත්‍ර හට දුරබණුවෙන් ඇමතුවෙමි. ආගිය කථා වලින් පසු මම ඔහුගෙන් ඇසුවේ අලුත් ආදර සබඳතාවක් නැතිද යනුවෙනි.

මට මොන ලව්ද බං ? ඔහු පෙරළා බොහෝ උදාසීනව මගෙන් විමසූවේ සිහින් සිනහා හඬක් මධ්‍යේ වුවත් මගේ ගැටලුව ඔහුට රිදුමක් වන්නට ඇති බව මම පසුව කල්පනා කළෙමි. 

ආදරය යනු හිමිකරගැනීමම නොවන බව බොහෝ අයගේ මතයයි. මමද ඒ මතයේම රැදෙමි. එවන් තැනක හිඳ ජීවිතය දෙස බලනවා නම් ආදරයෙන් පරාජිත වූ කෙනෙකුට දැනෙන වේදනාව බොහොම අවම බව මගේ හැගීමයි. සමහර විටෙක මිත්‍ර අද එතැන ඉන්නවා වන්නටත් පුලුවන.

Monday, February 1, 2016

74 පීතර මාමා

සිරා කොලුවා වාසය කොරන්නෙ ඉතින් ගම් තුලානක කියලා සිරාගෙ කාමරය ඇතුලෙ නොයෙක් වර ලියවිලා තියෙනවා නොවැ. මැලේසියාවෙ ඉදලා මෙහෙට පාත් උනාට පස්සෙ ගමයි නගරයයි අතර වෙනස මට හොඳට දැනුනා. සතියක් දෙකක් යනකං කාලෙකට පස්සෙ විඳින ගමේ වෙල් ඉපනැල්ලෙ සුවඳ එක්ක ඉස්සර දවසක පුංචි සන්ධියෙ අපි කරක් ගැහුව ඉසව් වලට වෙලා අතීතයේ දවසක හිත නතර කරගෙන ඉන්න බොහොම ලොකු කැමැත්තක් තමයි මට ඇති උනේ. ඒ විදියට ගත උන හැම තත්පරයකදිම පුංචි දරුවෙක් කාලෙ මගේ ඉතිහාසය ආයෙමත් මට මැවී පෙනුනා. ඉස්සර අපි එල්ලෙ ගහපු, සරුංගල් යවපු, කොහිකිරිල්ල දාලා බට තුවක්කු වලින් වෙඩි තියාගත්ත අපේ ගම්මානය තවමත් ලොකු විපර්යාසයකට ලක් වෙලා නෑ. වෙනසකට තිබුනෙ ගම්වාසීන් ලබා තිබුන භෞතික දියුණුව සහ ඒ අවධියෙ දෑස මානයෙ හිටිය සමහර චරිත පොළව යට සැතපී සිටීම පමණයි. අද කාලෙ පොඩි උන් වෙල් යායෙ කරක් ගහන්න යන්නෙ නැති නිසා ඒ පරිසරය අපේ ඉතිහාසය සිහිවෙලා සියුම් දුකකින් බලාන ඉන්න බවක් මට දැනුනෙ.

මම ලංකාවෙ හිටියෙ නැති මාස 30 ක කාලය තුල ගම් වැසියො අතර අරටු වගේ ජීවත් උන කීප දෙනෙක්ම තීන්දු ගමන් ගිහින් තිබුනා. කවුරු කවරුත් ආගිය තොරතුරු අහලා ඊළගට අහන්නෙ ආයෙමත් යනවද කියන පුරස්නෙ. අනේ නෑ..මගෙම කියලා වියාපාරයක් අටවගෙන සිරි ලංකාවෙම ඉන්න කැමතියි කිව්වම ඒ ඇත්තොත් බොහොම සතුටු උනා. ඊළගට අහන්නෙ ඉතින් මට බොහොම සුපුරුදු පුරස්නයක්...

බඳින්නෙ නැතෙයි ?

බඳින්න කෙල්ලෙක් නැතිය කිව්වම ඉතින් අටෝරාශියක් පුරස්න...ඔය හැම එකටම හිනාවෙලා උත්තරයක් දෙන එකත් ටිකෙන් ටික මගේ දිණ චරියාවට එකතු උනා. අපේ වත්ත පහළින් තියෙන බිම් කොටස මගේම කියලා නිවසක් තනාගන්න අරමුණින් සංරක්ෂණය කලාට මේ භූමිය ඉස්සර දවසක වී අස්වැන්න ලබා දුන්න කුඹුරක්...එත් කාලයත් සමග මේ කුඹුරෙන් ලැබෙන ඵලදාව බොහොම අඩු මට්ටමකට වැටුනට පස්සෙ මගේ පියතුමා කලේ කුඹුරෙ අගල් කීපයක් කපා ඒ පස් වලින් කුඹුර ගොඩවෙන්න සැලැස්වීම. දැන් ඉතින් මයියොක්කා පොල්, තැඹිලි වගේ භව භෝග බොහොම සරුසාරෙට හැදිලා තියෙනවා. කොටින්ම කියනවා නම් බොලව් පොල් කඩන්නෙ කකුල් දෙකෙන් හිටං.

කාලයකට පස්සෙ වත්තට බහිනකොට මේ ඉඩම කැලෑවෙන් යටවෙලා තිබුනෙ. මගේ ආගමනයෙන් පස්සෙ සිදු කෙරුන ප්‍ර‍ථම රාජකාරිය උනේ කැලෑව අස්සෙන් ඉඩම මතු කරන කාරිය. සතියක් දෙකක් ඇවෑමෙන් ඒ කාරිය බොහොම අපූරුවට ඉෂ්ඨ සිද්ධ උනා. මගේ තනි මහන්සියෙන් කැලෑව නොපෙනී ගියා.

මේ ඉඩම් කෑල්ලෙ ඉදලා වටේට බැලුවම පෙනෙන දර්ශනය බොහොම සුන්දරයි...වටේටම තියෙන කුඹුරු යාය දිගේ හමන හුළග බොහොම සිසිලසයි. කොන්ක්‍රීට් යායක කාලයක් වාසය කල සිරා කොලුවගෙ ඇස් දෙකටත් මේ පෙනෙන කොළ පැහැය බොහොම සුවදායකයි.

ඔන්න ඔය විදියට මගේ දිනචරියාව එක්ක කාලය ගත වෙලා ගියේ වෙනදා වගේම ටික් ටික් හඩින්. ඔය අතරෙ ඊයෙ පෙරේදා දවසක උදේ වරුවෙ එකා දෙන්නා බැගින් එකතු වෙලා මහා ජන සමූහයක් අපේ වත්ත පිටිපස්සෙ වෙල් යායෙ එක තැනකට ඒකරාශි වෙලා තිබුන වගක් සෑහෙන වෙලාවක් යනකං සිරා කොලුවගෙ අක්මාවට දැනුනෙ නෑ.

පිටිපස්සෙ කුඹුරු යාය මැද්දෙ සෙනග ගොඩාක් ඉන්නවා...අවට පරිසරයේ පාවෙලා ගිය ඕපයක් මගේ කනටත් වැටුනා...මමත් ඉතින් තකහනියක් වෙල් යායට සේන්දු උනේ හිතේ ඇතිවුන කුතුහලය හින්දම තමයි.

අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කුඹුරු යාය හරහා ගමන් කරන ස්ථානයේ තරමක සෙනග පොදියක් එකතු වෙලා. හැමෝම විස්සෝපයෙන් වගේ බලාන ඉන්න කාරණේ තවමත් පැහැදිලි නෑ. කකුලේ ඇගිලි අස්සෙන් නියරේ මඩ චුරු පනිද්දි මමත් මේ ජනකාය අසලට ලං උනේ හිතේ කුතුහලයට සමුදීමේ අරමුණින්.

සුදු පාට පොලිතින් කවරයකින් සහ චීත්ත රෙද්දකින් වැසුන සිරුරක් වගා නොකල කුඹුරු ඉඩමක මුනින් අතට සැතපිලා තිබුනා. ඉටි රෙද්දෙ කෙළවර කකුල් කෙටි දෙක වහන්න තරම් දිග නැති නිසා ඒවා අව් කාෂ්ඨකේ පිච්චෙමින් තමයි තිබුනෙ.

කවුද බොලං මේ වැටිලා ඉන්නෙ...මම දන්න අදුනන හාදයෙකුගෙන් විමසුවා...

පීතර මාමා ....ඊයෙ රාත්තිරියෙ කුඹුරෙ වතුර බදින්න කියලා ගෙදරින් ආවලු අද පෝර ගහන්න කියලා. එළිවෙනකං ගෙදර නාව නිසා හොයලා බලද්දි තමයි මෙතන වැටිලා ඉන්නවා හොයාගෙන තියෙන්නෙ. 



සිරා කොලුවා දන්න කියන කාලෙ ඉදලම තරමක අහංකාර චරිතයක් වෙච්ච පීතර මාමා ගැන ගමේ ගොඩාක් අයගෙ ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. බොහෝ වෙලාවට අහළ පහළ උදවිය එක්ක එහෙමත් නැත්තං තමන්ගෙ කුඹුරට යාබද කුඹුරු හිමියො එක්ක ආරියාදුවටම ගිය බවක් තමයි මට මතක තියෙන්නෙ. මිනිහගෙ කුඹුරට වතුර මදි නම් අල්ලපු කුඹුරට හෙණ ගැහුවත් කමක් නෑ මම වතුර අරගෙන කියලා හිතන තාලෙ මිනිහෙක්. ඒ නිසාමදෝ මට නම් කිසිම කණගාටුවක් උන්දැ ගැන ඇති උනේ නෑ.

වතාවක් තමන්ගෙ වත්තට යාබද වත්තෙ මායිමට වෙන්න තිබුන කොස් ගහක් ගැන කථා බහක් ගිහින් පීතර මාමා ඒ ගෙදර පුත්තරයා අලුතින් කැන්දගෙන ආව මනමාලිට හොද කුණු හබ්බ වලින් සලකලා තිබුනා. මේ කාන්තා පරාණෙ මේ ගැන තමන්ගෙ සැමියට පැමිණිලි කලාට පස්සෙ දෙපැත්ත හොද ගානට ගිණි ගත්තා. ගින්න කොච්චර දුර දිග ගියාද කියනවා නම් පීතරයගෙ හතර හන්දි කඩලා ඉස්පිරිතාල ගත කරන්න ඒ ඇත්තො කටයුතු කලා.

මේ කොස් නඩුව සෑහෙන දොහක් අධිකරණයේ විභාග උනා. තීන්දුව ලැබුනද...තවම නඩුව යනවද කියලා මම නම් දන්නෙ නෑ. ඒත් ඉතිං ඉඩම් නඩුවක් පරම්පරා ගානක් ඉදිරියට යන ශාපයක් නිසා තවම ඉවර වෙන්න විදියක් නෑ.

කොස් ගෙඩියට..කුඹුරට ලැබෙන වතුර ටිකට මිනිස්සු එක්ක මරා ගත්ත පීතර උන්දැට මොකද හැබෑටම උනේ බලන්න තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා පොලිතින් ආවරණය ඉවත් කොලා. හුග කාලෙකින් ඔහුගේ රුව මම දැක්කෙ.  පීතර උන්දැ බොහොම වයසට ගොහින් මග ඇවිදගන්න බැරි තරමටම වයසට ගොහින්. සම්පූර්ණයෙන්ම සුදු වෙලා තිබුන හිසකෙස් කුඹුරෙ තණකොළ අස්සෙන් කැපී පෙනුනා. වම් අතේ හැරමිටිය වගේම දකුණු අතේ විදුලි පන්දමක් තවම අත් වලට හිරවෙලා. මුනින් අතට වැටිලා තියෙන දේහයේ මුහුණ අසල ලේ බින්දුවක් දෙකක් ගලාගිය ලකුණු පේන්න තියෙනවා.

මේක මිනීමැරුමක් වෙන්න බෑ...මේ මනුස්සයා දන්න කියන කාලෙ ඉදලම ඉතින් වෙල් මත්තෙයි ඉඩම් මත්තෙයි නැහුන මිනිහෙක් නොවැ. මෙච්චර ලොකු පුත්තරයො ඉද්දි තණ්හාව වැඩි කමට තමයි තනියම තවමත් මේ කුඹුරු කරන්නෙ. ගමේ කෙනෙක් එහෙම කිව්වා.

එහෙමමත් නෙමෙයි....පුත්තරයො තම තමන්ගෙ පවුල් ජීවිත ගැන බැලුවා මිසක මේ වයසක ජෝඩුව ගැන බැලුවෙම නෑ. නැත්තං රාත්තිරියෙ ගෙදරින් ගිය මිනිහා හොයන්න උදේ වෙනකං ඉන්නවද....පීතර ගොයියගෙ නෝනා අසනීප වෙච්ච දවසෙ ඉදන් ගෙදර උයන පිහන රාජකාරි කලා කියන්නෙත් මුන්දා නොවැ.. තවත් කෙනෙක් එහෙම කිව්වා.

ඉස්සර දවසක අපේ අසල්වැසියො වෙච්ච ජෑස් කොල්ලගෙ ඇඹේනිය වෙච්ච විමලාවතී උන්දැට කරුවලේ මොකෙක්ද සරුපයෙක් දෂ්ඨ කොරලා බොහොම වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉන්න වෙලාවෙ උදව්වට ආවෙ මේ කියන පීතර ගොයියම තමයි. එදා ඉතින් සිරා කොලුවා බොහොම පුංචි එකා. විමලාවතී උන්දැට බේත් කරන්න පීතර ගොයියව ගෙන්නුවෙ අපේ ගමේ අත් බේතක් කාරිය කොරගන්න පුලුවන් මිනිහෙක් විදියට උන්දැට තිබුන කීර්තිනාමය හින්දයි.

මොණර පිහාටු කීපයක් සහ පීතර ගොයියගෙ වත්තෙන්ම හොයාගත්ත තවත් අඩු වැඩිය අටෝරාශියක් එක්ක විමලාවතී උන්දැ ලගින් වාඩි උන පීතර උන්දැ..ලී වංගෙඩියක බේත් බඩු ටික දාගෙන කොටපු හැටි මට තවමත් මතකයි. තලපයක් වගේ මේ අඩුවැඩිය හදාගෙන අවසානෙට බොහොම සුවිශේෂී දෙයක් මිනිහට උවමනා උනා.

කොල්ලො මේ පොල්කට්ටට හුජ්ජ කරහංකො...උන්දැ මට කිව්වා.

එහෙත් ඒ වෙද්දි සිරා කොලුවගෙ මුත්තරා බොක්ක හිස් කරලා තිබුන නිසා ඉල්ලුමට සැපයුම දෙන්න විදියක් තිබුනෙ නෑ. පීතර ගොයියා සිරා කොලුවට දික් කරපු පොල්කට්ට උස්සගෙන අපිට එහායින් තිබුන තවත් ගෙදරකින් ඊට පස්සෙ උවමනාව සම්පූර්ණ කරගෙන ආවා. මේ සංයෝගෙ කකුලෙ ආලේප කලාට පස්සෙ විමලාවතී උන්දැගෙ වේදනාව ටිකෙන් ටික අඩුවෙලා ගිය බවක් මට මතකයි.

කොහොමින් කොහොම ගිණි ගහන ඉර අව්ව යට බාගෙට ආවරණය වෙච්ච පොලිතින් කවරයකින් වැහුන පීතර ගොයියගෙ දේහය තණ කොළ ගොල්ලක මුණින් අතට සැතපිලා. මඩ ගෑවුන වයසක නිරුවත් දෙපා යුග දිහා මම මොහොතක් බලා උන්නා. මේ කකුල් දෙකෙන් මේ තරම් කාලයක් මොන තරම් දුරක් ඇවිදින්න ඇතිද...කොපමණක් මඩ පාගමින් තමන්ගෙ දරුවන්ට බත සම්පාදනය කරන්න ඇතිද. කී දෙනෙක්ට අංචි අදින්න ඇතිද ? පීතර ගොයියගෙ ගතිගුණ කොහොම උනත් ගම් තුලානක මිනියක් තනි කරලා යන සිරිතක් ගම්මුන්ට නෑ. පොලෝසියෙ ඇත්තො පැමිණෙන විටත් මහ සේනාවක් පීතර ගොයියට තනි රකිමින් වෙල් යායෙ උන්නෙ ඒ නිසාමයි.

පීතර උන්දැ එක්ක නඩු කියපු ඇත්තෙක් මිනිය ලගට එන්න  පසුගාමීව ඈතින් බලාන උන්නා. ඔහුගේ ඉරියව් දිහා මම ඉතාම විමසිල්ලෙන් බලා ඉද්දි මට හිතුනෙ ඔහුගේ චිත්ත සන්තානය විසින් ඔහුව වරදකරුවෙක් කර ඇති වගක්. ඒ ඇත්තගෙ මුහුණින් විශාල පසුතැවිල්ලක සේයාවක් තමයි මම එදා දැක්කෙ.

අපි හැමෝම දවසක පීතර උන්දැ ගිය මේ ගමන යනවා. ඒ වන තෙක් තමයි මේ සියලු සැණකෙළි...සල්ලිකාරයා, බලවතා, දුගියා, උගතා කියලා භේදයක් නැතුව හැමෝටම ඒ අවස්ථාව නිසැකවම ලැබෙනවා. ඉතින් එදාට මොනවද අපි ගෙනියන්නෙ. මරණාසන්න වෙලාවෙ මොනවද මතක් කරන්නෙ.  ඒ නිසා අත පය වලංගු වෙලාවෙ දන්න නොදන්න සැමටම යහපතක්ම කලොත් තමයි හොද.

තමන්ගෙ තරුණ කාලෙ එහෙම හැසිරෙන කිසිවෙකුට..තමන්ගෙ සැදෑ කාලයෙදි, ලග නැති සිල්වත් කමක් බොරුවට අරෝපණය කරගෙන පන්සල් පල්ලි වල පදිංචි වෙන්න උවමනා වෙන්නෙ නෑ. පීතර උන්දැගෙ නිවසට ගොහින් ඒ දේහයට අවසන් ගෞරව දක්වපු වෙලාවෙ මට එහෙම හිතුනා. මරණයට හේතුව හිසේ නහරයක් පිපිරීම කියලා පස්සෙ දවසක දැනගන්න ලැබුනා.

එදා ඉදන් කරක් ගහපු...දහස් වර පයට පෑගුන තැනක ලොවට රහසේ මැරෙන්න පීතර උන්දැ කවදාවත් හිතලා තිබුනෙ නැති බව සහතිකයි. අපි නොහිතන නොපතන දේම සිදුවෙන ලෝකෙක මේ තවත් එක් සාමාන්‍ය සිදුවීමක් පමණයි.



මම කාමරේ අරින සිරා කොලුවා




ප.ලි...

පෙබරවාරිය බූට් මාසයක් කරන්න කලින් හිතා හිටියත්..පීතර උන්දැ ගැන මට ලියන්නම හිතුනා...බූට් මාසයට තවමත් ලිපි බාරගන්නවා. ඔබේ බූට් අත්දැකීම අකුරු කොරලා සිරා කොලුවට ඊ ලිපියක් ලෙස එවන්ට අමතක කරන්න එපා එහෙනං. බූට් කාලා හිත වට්ටගෙන මැරෙන්න හිතෙන උන්ට මෙවැනි අත්දැකීම් ලියන එක ලොකු සහනයක් .
Related Posts Plugin for WordPress, Blogger...