Wednesday, October 2, 2013

100 බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ


සිරා කොලුවා දැන් ඉන්නේ නොරටක බව සිරාගේ කාමරයට එන යන ඇත්තො බොහොමයක් දන්නවා. ආදරණීය දෙමාපියන්ගෙන්, සහෝදරයගෙන් වගේම මිත්‍ර සමාගමෙනුත් වෙන් වෙලා ඉන්න නිසාම රැකියාවෙන් පස්සෙ නවාතැනට ගියාම කථා බහ කරන්නත් කෙනෙක් හිටියෙ නැත්නම් සමහර වෙලාවට දැනෙන්නෙ පුදුමාකාර පාලුවක්. අන්න ඒ පාළුව දුරු කරගන්න තමයි සිරාගෙ ජංගම දුරබණුව රසපිරි සිංහල ගීතයන්ගෙන් පිරිලා තියෙන්නෙ.

මම බොහෝ වෙලාවට නව පරපුරේ ගීත අහන්නෙ අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ ගීත නිර්මාණ බහුතරයක් හුදු ප්‍රේම විලාපයන් පමණක් වීම. දවසට දෙකට රිගින් ටෝන් වලට වෙන්දේසි කරලා දාන්න ක්ෂණික නූඩ්ල්ස් වගේ නිර්මාණය වන මේ ගීත නිර්මාණ වල පැවැත්ම බොහොම කෙටි කාලීන බව තමයි බොහෝ අයගෙ අදහස. ඒ වගේ වටපිටාවක් ඇතුලෙ නිර්මාණ ගුණයෙන් පොහොසත් පරණ ගීත වල අගය කියලා නිම කරන්න බෑ. නවාතැනේ තනිඋනාට පස්සෙ මේ ගීතයක් අහගෙන මනසින් ලංකාවෙ ජීවිතයට, විශේෂයෙන් අතීත මතක සටහන් අතරට යන තරම් සුවයක් තවත් නෑ.

අන්තර් ජාලයෙන් තමයි බොහෝ වෙලාවට පරණ ගීත රස හොයාගෙන යන්නෙ. අන්න ඒ වගේ පහුගිය දවසක කාලයක් අහන්න බැරිවුන පුද්ගලිකව මම ඉතාම ප්‍රිය කරන ගීතයක් ආයෙමත් මගේ සවනට ලං වුනා. ගීතය ගායනා කරන්නෙ පුණ්‍යා කත්‍රිආරච්චි සමග විශාරද එඩ්වඩ් ජයකොඩි. පද රචනාව ඩෝල්ටන් අල්විස්, සංගීතය රෝහණ වීරසිංහ.

බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ

කුරුන්ද ලග දෙල් ගහ යට නිවෙස තිබෙන්නේ

කවදද එන්නේ, කවදද එන්නේ


කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ

මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ

තනියම එන්නේ.....තනියම එන්නේ....



කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ

ඒ මල්පෙති වලින් ඔබට පවන් සලන්නේ

දෙමාපියන්නේ වරද නොවෙන්නේ....

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ

මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ

තනියම එන්නේ.....තනියම එන්නේ....


සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ

හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ

හනිකට එන්නේ හනිකට එන්නේ


බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ

කුරුන්ද ලග දෙල් ගහ යට නිවෙස තිබෙන්නේ

කවදද එන්නේ, කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ

මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ

තනියම එන්නේ.....තනියම එන්නේ....


තමන්ගෙ පෙම්වතාට ගෙදර ඇවිල්ලා දෙමාපියන්ගෙන් කැමැත්ත විමසලා මාව ඔයාගෙම කරගන්න කියලා ආරාධනා කරන අහිංසක පෙම්වතියකගෙ සිතුවිලි සහ ඊට පෙම්වතා ලබාදෙන පිළිතුරු වලින් තමයි මේ ගීතයෙ පදරචනාව අලංකාර වෙලා තියෙන්නෙ. ඔන්න ඔතනදි තමයි කාලයේ වැලිතලාවට යටවෙලා තිබුන මේ මතකයන් නැවතත් මගේ දෑස මානයේ පෙනෙන්න ගත්තෙ. අද පෝස්ටුව මේ ගීතය ගැන කියලා හිතුවා නම් බොලාට වැරදිලා. මෙච්චර වෙලා වටේ ගියා විතරයි. ඔන්න දැන් තමයි අපි කථාවට එළැඹෙන්නෙ.

මගේ උපන්දිනේ අනිද්දා...එදාට ඔයත් අපේ ගෙදර දවල් කෑමට එන්න. අපේ නගාගෙ දියවී යමින් තිබූ ප්‍රේමයක පරමාදර්ශ පෙම්වතිය වෙච්ච එරන්දිකා දුරබණුවෙන් මට දැන්වූයෙ ඒ වෙද්දි ඇය හා මා මිතුරන් විදියට සෑහෙන ලං වෙලා හිටිය නිසා වෙන්ට ඕනෙ.

මේ විදියට කවුරු හරි මට කිසියම් යමකට ආරාධනාවක් කලා නම් ඒ සිතිවිල්ලට ගෞරව කරලා මම හැමවෙලේම ඒ කාරියට සහභාගී වීමේ පුරුද්දක් ඉස්සර ඉදන්ම තිබුනා. අන්න ඒ අනුව ඇගේ ඉල්ලීම පරිදි අදාළ දවසෙ ඇගේ නිවසෙ සාදයට සහභාගි වුනේ මම වගේම ආරාධනා ලබපු පිරිමි පාර්ශවයෙ තවත් මිතුරන් පිරිසක් සමග. ඒ අතර පුස්තකාල කථාවෙ හිටිය බීඩියත් හිටියා. ගම්පහ පුස්තකාලය තමයි නගාගෙ ප්‍රේමයට වගේම එරන්දිකා හා අපි අතර දළු ලා වැඩුනු මිත්‍රත්වයටත් මග හෙළි කලේ. එරන්දිකාගෙ අම්මා තාත්තා වගේම නැගණියත් ආරාධිතයන් බොහොම ආදරයෙන් පිළිගෙන තමයි නිවසේ අසුන් පැනෙව්වෙ.

ඇගේ අතිජාත මිතුරියන් පිරිසකුත් මේ සාදයට ඇවිල්ලා හිටපු නිසාම නිවසේ සාදය බොහොම සුන්දරයි. උපන් දින කේක්ගෙඩිය කපලා උපන්දින සුභ පැතුම් එක් කලාට පස්සෙ කෑමට පෙර අනුමත වෙන්න කිසිම පහසුකමක් තිබුනෙත් නැති හින්දම භෝජන සංග්‍රහය ඇරඹෙන අවස්ථාව උදාවෙනතුරු මිදුලේ තිබුන බංකු උඩට වෙලා දැරිවියන් එක්ක නිදහසේ කථා බහ කරන්න ඇති තරම් කාල වේලාව තිබුනා. එරන්දිකා වගේම මේ අයත් ගම්පහ වතුර ටැංකිය ඉදිරිපිට කොළ පාට ටයි පටියක් තියෙන පාසලේ තමයි අධ්‍යාපනය ලබලා තිබුනෙ.

අන්න ඒ වෙලාවෙ තමයි මට ඇයව හා පුරා කියලා මුලිච්චි වුනේ. නිතරම සිහින් සිනාවකින් මුව සරසාගෙන බොහොම ප්‍රබෝධමත්ව හිටිය හින්දමදෝ පහසුවෙන් දැරිවියක් වෙනුවෙන් නොනැමෙන සිරාගේ හිතේ පුංචි ඉඩක් වැඩි වේලාවක් යන්නටත් මත්තෙන් ඇය නමින් වෙන්වුනේ සංසාර පුරුද්දට වගේ.

දහවල් ආහාරයෙන් කාරිය සන්තර්පණය වෙලා ඉන්න වෙලාවෙ තමයි එරන්දිකා මම හිතපු නැති ආරාධනාවක් කලේ. ඔයාට හොදට සින්දු කියන්න පුලුවන් කියලා අපි දන්නවා....ඉතිං කියන්නකො සින්දුවක් මගේ මේ යාලුවොත් ඉන්න වෙලාවෙ...

සින්දු නම් කියන්න පුලුවන් වැඩේ තියෙන්නෙ මට එක සින්දුවක් වත් සම්පූර්ණයෙන් පද මතක නෑනෙ. ඒක මුසාවක් නෙමෙයි. අදටත් කොච්චර සින්දු ඇහුවත් මේ ප්‍රශ්නෙ තියෙනවා.

ආ ඒකට භය වෙන්න එපා මම දෙන්නම් සිංදු පොතක්ම...උපන්දිනය සමරපු දැරිවි එහෙම කිව්වාම අනිත් දැරිවියොත් හීන් හිනාවකින් ඒ කතාවට එකතු වුනා. එරන්දිකා වහාම තමන්ගෙ කාමරයට දුවලා ගිහිං...සින්දු පොත උස්සගෙන ආවා.

බෑන්ඩ් එක නිසාම ගොඩනැගුනු පිටකොන්දක් තිබුන හින්දා කෙල්ලො පිරිස ඉස්සරහා සින්දුවක් කියන්න මට කිසිම චකිතයක් තිබුනෙ නෑ. ඒ අය පෙන්නපු පිටුවෙ තිබුන බොහොම ආදරණීය ගීතයක් ගායනා කරන්න මට නියම උනා.

ගායනය අතරතුරත් මගේ නෙතු යුග හෙව්වෙ ඇගේ දෙනෙත් වල පහස. ඇගේ නෙත් මගේ දෙනෙත් එකම රේඛාවක සම්මුඛ වෙච්ච අවස්ථාවෙ මට දැනුනෙ කාලාන්තරයක් තිස්සෙ දැන හදුනන තරමේ සමීප බවක්.

සාදයෙන් සමුගන්න කලින්..මගේ මිතුරිය එරන්දිකාගෙන් මම ඇය ගැන විමසුවා.

මොකද නදීරා ගැන අහන්නෙ....ආදරයක් වත් හිතුනද ? එතකොට තමයි මම දන්නෙ එයාගෙ නම නදීරා බව. දෙපැත්තට හිස වනලා හීන් හිනාවක් එක්ක ඇය එහෙම ඇහුවාම සිරා හිස සලා ඔව් කිව්වා.

මම දැනුවත්ව තාම කවුරුවත් නෑ. මගේ හොදම යාලුවෙක්. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නෙත්. දැන් ඔන්න නර්ස් නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා...මම හිතන්නෙ තව අවුරුද්දකින් දෙකකින් පුහුණුව ඉවරයි.

වැඩේ කියන්නෙ ඒකිට කවදාවත් එෆෙයාර් එකක් තිබිලම නෑ. හරිම හොද කෙල්ල...මම හිමින් සැරේ අහලා විස්තරේ කියන්නම්. හැබැයි එක දෙයක්... පන්ති යන කාලෙ කොල්ලො බර ගාණක් ඇහුවා. කාටවත් කැමති උනේ නෑ. එයා ඔය අනිත් කෙල්ලො වගේ නෙමෙයි. දෙමාපියන්ගෙ කැමැත්ත නැතුව කිසි දෙයක් කරන්නෙ නෑ. මෙච්චර දවසක් කොල්ලෙක්ට සෙට් උනේ නැත්තෙ ඒ හින්දයි...ටිකක් කට්ට කන්න වෙයි කැමැත්ත ගන්න. එරන්දිකා අවසන් වශයෙන් එහෙම කියද්දි මම නිහඩව අහගෙන හිටියා.

ටික දවසක් ගත වුනා. එවකට මා සේවය කරපු දැන්වීම් ප්‍රචාරණ ආයතනයෙ රාජකාරිත් එක්ක මේ සිදුවීම ටිකෙන් ටික මට අමතක වෙලා යන වකවානුවක තමයි එරන්දිකා මට නැවත වතාවක් දුරබණුවෙන් ඇමතුවෙ.

වැඩේ හරියන්නෙ නෑ හලෝ...මම කීප සැරයක්ම ඇහුවා. නදීරා කියනවා ගෙදරින් හොයලා දෙන කෙනෙක් මිස වෙන කෙනෙක් බදින්න අදහසක් නෑ කියලා.

මම එක දෙයක් කියන්නම්...මටත් වඩා එයාට ලග තව යාලුවෙක් ඉන්නවා ඔයාවත් දන්න. ඒ තමයි ගයා. අන්න එයා ලව්වා මේ ගැන ඇහුවා නම් මීට වඩා හොද උත්තරයක් ලැබෙන්න පුලුවන්. එරන්දිකා එහෙම කියලා ඇමතුමට තිත තිබ්බා.

එදිනෙදා යෙදුනු වැඩරාජකාරි අස්සෙ මේ සිදුවීම් පෙළ මට අමතක වෙලා තිබුන වෙලාවක තමයි වසරකට විතර පස්සෙ ගම්පහ දුම්රිය නැවතුමේදි ගයා කෙල්ල මට මුලිච්චි උනේ. එයත් මේ කිව්ව උපන් දින උත්සවේ දවසෙ එතන හිටියා. පුස්තකාලෙදි සුහද වෙච්ච තවත් යෙහෙළියක්.

මතු සම්බන්ධයි...



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

මේ ලිපිය හිතුවට වඩා බොහෝ දිගු එකක් වුනා. ගෙඩිය පිටින් පල කරලා දිග වැඩියි කියලා බොලාගෙන් බැනුම් අහගන්න බැරි කොමට ඕන්න දෙකට කැඩුවා.

නගා කියන්නෙ පාසල් සමයේ ඉදන්ම මගේ ලගම මිත්තරයෙක්.

100 comments:

  1. අලුතෙනුත් හොඳ සින්දු එන්නේ නැතුවම නෙමෙයි. වෙලා තියෙන්නේ දැන් සින්දු ප්‍රමාණය වැඩි හින්ද චාටර් ඒවත් වැඩි එක.

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් තියනවා ඉතා අගනා නිර්මාණ.

      Delete
    2. අලුත් හොද ඒවා නැත්තෙම නෑ කියනවා නෙමෙයි.කලාතුරකින් හොද නිර්මාණයක් දෙකක් අහන්න ලැබෙනවා. ප්‍රවීණයන්ගෙ නිහඩතාවත් මෙයට එක් හේතුවක්.

      Delete
    3. අලුත් හොද සින්දුවක් ආවත් එ පරන කෙනෙක්ගෙන්ම තමයි

      Delete
  2. ඔන්න ඕකනේ බැරි ඒ පාර උබ මේ බ්ලොග් එකෙත් කොටස් කඩලා ලියන්න ගත්තද ? දැන් ඉතින් ඉදපන්කෝ අනික් කොටස එනකම්

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද බොල...කථාව දිග වැඩි උනාම බැණුම් අහන්න බැරි හින්දා නොවැ දෙකට කැඩුවෙ...කේල් හන්දියෙන් ආප්පයක් කකා බලාන ඉමු ඊලග කොටස එනකං...

      Delete
    2. රාළේ එතකොට උඹ ලියන්නේ කොටස් කඩලා නැතුව පූට්ටු කරලද?

      Delete
    3. හි.... හි.... හි.... අන්න අරු අය්යාට තමයි එක තේරුනේ

      Delete
  3. ඔන්න ඉතිං.. සිරාත් පටං ගත්තද ඒ පාර මතු සම්බන්ධයි දාන්න...

    ( මේ බනින්න එපා බං.. යන්තං වෙලාව අහු උනාම ඔක්කොම පෝස්ට් කියෝලා දානවා විතරයි.. දිග කමෙන්ට් දාන්න වෙලාව මදි...ඒ තරම් බ්ලොග් ගොඩක් අප්ඩේට් වෙනවනෙ... හි හි)

    ReplyDelete
    Replies
    1. මම ඉතිං රැල්ලට යන මිනිහෙක් නෙමෙයි නොවැ...කථාව හිතුවට වඩා දිගු වෙච්ච එකම තමයි මතු සම්බන්දෙට මග කිව්වෙ.

      අනේ ඔය සීදේවි මූණු පොඩ්ඩ බලාගෙන කොහොම බනින්නද ඉතිං...එක දවසක් කියවන්න බැරි උනොත් ඉතිං බ්ලොග් රෝල සෑහෙන්න දිගයි තමා...වෙලාවකට මටත් තද වෙනවා.

      Delete
  4. මෙතන එක කතාවක් නෙවෙයි කතා කීපයක් තියෙනවානේ. සින්දු ගැන කියනවද? උඹේ ප්‍රේමය ගැන කියනවද?

    මෙහෙම කියමු. සිරා කියනවාවගේ

    >>නව පරපුරේ ගීත නිර්මාණ බහුතරයක් හුදු ප්‍රේම විලාපයන් පමණක් වීම. ක්ෂණික නූඩ්ල්ස් වගේ නිර්මාණය වන මේ ගීත නිර්මාණ වල පැවැත්ම බොහොම කෙටි කාලීන බව තමයි බොහෝ අයගෙ අදහස. <<

    සිරා දන්නවද ඔය කතාව හැමදාම තිබුණු එකක් කියලා? දැන් ඔය අපි අගය කරන පැරණි පරපුරේ ගීතත් ඒ කාලේ නව පරපුරේ ගීත හැටියට එලි දකිනකොට ඔය විදියටම විවේචනය වුනා. එහෙම නොවෙන එක දෙකක් ඇති. නමුත් බොහොමයක කතාව ඕකයි. අනාගතේදිත් ඔය දේම තමයි වෙන්නේ. තව අවුරුදු විස්සකින් කියයි එදාට බිහිවෙන හරසුන් බොළඳ නිර්මාණ වගේද දෙදාස් දයහ දහකයේ බිහිවුන විශිෂ්ඨ නිර්මාණ කියලා.
    :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඩූඩ් එන්න එන්නම අපි යන්නේ කොතනටද කියලා පැහැදිලියි නේද?

      Delete
    2. ඒකාලෙත් විවේචනය උනා...ඒක ඇත්ත...ඒත් අදවගේ බුද්ධිමය දේපල කොල්ලයක් උනේ නෑ...අද රිගින් ටෝන් වලට සින්දු විකුණලා කෝටිපතියො වෙලා තියෙන්නෙ ගීතය නිර්මාණයට කිසිම දායකත්වයක් නැති පිටස්තර පිරිසක්...සල්ලි හම්බකරන්න මිස ශ්‍රාවකයන්ගෙ රස වින්දනය උදෙසා නෙමෙයි අද බහුතර ගීත නිර්මාණය වෙන්නෙ. ඒ කාරණයයි මම මතුකලේ.

      Delete
    3. ගීත රචකයන් ගීත ජනප්‍රිය කරවන්න මුදල් වියදම් කරන යුගයක් මේක.

      Delete
    4. ගීතයට වඩා රූපරචනය ජනප්‍රිය කරගන්න යන්නෙ.

      Delete
  5. කතාව හොදටම රසවත් වේගන එනකොටමනේ සිරා කොලුවා මතු සම්බන්ධයි කිව්වේ.බලමුකො මේ පාර මොකද වෙන්න යන්නේ කියල.මතු සම්බන්ධයි කිව්වේ පලවෙනි පාරටද මන්ද?

    ReplyDelete
    Replies
    1. මීට කලිනුත් මතු සම්බන්ධයි කියලා තියෙනවා ...මේ පළවෙනි වාරය නොවෙයි. කථාව රසවත් වෙද්දිම දෙකට කඩන්න කියලා මට උපදෙස් දුන්නෙ අපේ වෙනී අයියා.

      Delete
    2. අහුවෙද්දෙන්කො ඔය වෙනියා මට.. මේ කොල්ලන්ව නරක් කරනවට දෙන්න ඕනෙ හොඳ් දඬුවමක්..

      Delete
    3. අනේ නපුරක් එහෙම කරන්න එපා...වෙනී අයියා අහිංසකයි...

      Delete
  6. හෆ්ෆා! දුරක ඉදන් ආදර බර සින්දු අහගෙන මනෝ පාරක් ගහගෙන කොටාගෙන යනවා වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද මලේ...මනෝපාරක් ගහගත්තම අවුරුදු ගානකට ඇතිවෙන්න පෝස්ට් ලියවෙනවා...සට සට ගාලා...

      Delete
  7. මොකද දැං සිරා ගෑණුළමයි ගැනම කතා කරන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. කල වයසත් දැන් හරිනෙ...තනිකම තදටම දැනෙනවා මේ දවස් වල...ඒක නිසා වෙන්ට ඇති.

      Delete
    2. atha paawichchi karalama alle reka makila gihin lu...

      Delete
  8. ඔකනේ බෑරි බන්.හොදම තෑනට එනකොට කතාව නවත්තනවනේ.

    ReplyDelete
    Replies
    1. එතකොටනෙ පාඨකයගෙ කුතුහලය කියන එක ඇවිස්සෙන්නෙ...

      Delete
    2. kuthuhalaya nemei ban "YAKA" awissenne...

      Delete
  9. අඩේයප්පා!!!!!!! මරු නෙ බං!

    මට පොඩි අයිඩියා එකක් ආවා! පොඩි පහේ යෝජනාවක්.

    අපි මේ ස්ටෝරිය දාලා ෆිල්ම් එකක් කරමු!

    උඹ අර සින්දුව කියන හරියෙදි උඹෙ ක්ලෝස් අප් එකක් අරන්, එහෙම්ම සිහින ලෝකෙකට යනවා වගේ ගන්න පුලුවන්....!

    හැබැයි මචෝ රොමැන්ස් විතරක් නම් මදි වෙයි.

    සටන් ජවනිකා 4ක් වත් ඕනේ! (නදීරාට අයියෙක් ඉන්නව ඇති නේ?)

    අර "ශ්‍රී ලාංකීය වානිජ සිනමාවේ ආශ්චර්යමත් මළකුණ" හදපු උදාර අයියවයි, සතිශ් අයියවයි වැඩේට සෙට් කරගමු.

    මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. නදීරට අයියලා නෑ මල්ලියෙක් තමා උන්නෙ...සටන් ජවනිකා වලට අමතරව දුෂඨයෙක් සමග විකටයෙකුත් ගන්න වෙයි නේද බොලං...සතිශ් අයියා කිව්වෙ ආදරණීය වස්සානය වනසපු කෙනාද ?

      Delete
    2. ඒ සතිශ් නෙමෙයි,

      අර "සුපර් ගල්ස්" එක හදන්න කෝටි දහයක් යට කරලා අන්තිමට පාඩුව පියවගන්න තමන්ගේ අපාර්ට්මන්ට් එකකුත් විකුණුවේ....! අන්න එයා!!
      දුෂ්ටයෙක් ලංකාවෙන් හොයාගන්න බැරි නම් කොලිවුඩ් වලින් ගෙන්නමු.

      ජෝකර් හැටියට සූරි මාමාවයි, හසන්ත අයියවයි ගෙන්න්මු. (ගාන ටිකක් සැර වුනාට අවුලක් නෑ. උන් දෙන්නා දැන් පොඩි මල්ලියි, චූටි මල්ලියි දෙන්නටත් වඩා අම්බානක පොපියුලර් නේ!)

      Delete
    3. එහෙනං වැඩේ කථා කරලා ගනින් මලයො...මාලනී නැන්දටත් ඕකෙ චරිතයක් තියමු...කඩේයන මල්ල එක්ක ජැකා අයියත් එන්නෙ නැතෑ....

      Delete
  10. සිරා මමත් හුගක් වෙලාවට අහන්නේ ඔය 90,80 දශකයේ ඒවා තමයි.පුදුම රසක් බං ඒවායේ තියෙන්නේ.

    කො බන් කතාව පටන් ගත්ත සැටියේ මතු සම්බන්යක් දාලනේ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ගොයියො...බැණුම් අහන්න මම භයයි නොවැ...ඊලග කොටස එනකං ඔය තියෙන දෙයක් කාලා බලා ඉමු එහෙනං...

      Delete
  11. ඇයි අනේ අපි වෙනදාටත් කියවන්නේ...ඔක්කොම ලියන්න එපැයි

    බලමුකෝ ඉතිරි කොටසත්

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලියලා තියෙන්නෙ...දෙකට කැඩුවා දිග වැඩි වෙයි කියලා හිතලා...ඔයා දන්නවද මම මේ වෙද්දි මාස ගානකට ඇති වෙන්න පෝස්ට් ලියලා ඉවරයි. නිවාඩු දවස් වලට කරන්න රාජකාරියකුත් නැති එකේ මේක තමයි දැන් රාජකාරිය.

      Delete
  12. //අපේ නගාගෙ දියවී යමින් තිබූ ප්‍රේමයක පරමාදර්ශ පෙම්වතිය වෙච්ච එරන්දිකා//
    WTF?

    ReplyDelete
    Replies
    1. මම පලියට ඒ ගැන පැහැදිලි කිරීමක් පසුව එකතු කලා...නගා කියන්නෙ අපේ යාලුවෙක්ට දාපු ආරූඩ නාමයක් මිස ගෑණු දරුවෙක් නොවෙයි..

      Delete
    2. මේ අපේ පවනියා එහෙම නෙවෙයිනේ.

      Delete
    3. පවනියලා ඉස්කෝලෙත් නෑ මම හිතන්නෙ මේවා වෙනකොට...උන් චූටි කොල්ලොනෙ...

      Delete
  13. මොකද්ද බං මේකෙ තියන දිග? ඉතුරු ටිකත් දැම්මනං ඉවරයිනේ. මේවගේ කතාවක් ඊයෙත් කියෙව්ව.
    සිංදුව මතක් උනේ කාලෙකින්. අහන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් එකතු උනාම මේ පෝස්ටුව සෑහෙන්න දිගු වෙනවා...සීමිත කාලයක් තුල ගොඩාක් බ්ලොග් සටහන් කියවන අයට ඒක ලොකු කරදරයක් බව දන්න නිසාම දෙකට කැඩුවා...සින්දුව ඇහුවද...

      Delete
  14. මේ සින්දුවට සම්බන්ද අත්දැකීම ගොඩ දෙනෙකුට තියෙනවා, මොන එහෙකට මතු සම්බන්ධ කලාද මන්දා

    ReplyDelete
    Replies
    1. දිග වැඩියි කොලුවො කොටස් දෙකම එකට අත ඇරියා නම් ඒ නිසා දෙකට කැඩුවා..

      Delete
    2. yako apine kiyawanne... magulak karanawa dekata kadala... anith dawase ehema karala ahu unoth bota unu wathuren 5i alwathuren 8i gahanawa oon

      Delete
    3. උණු වතුර ඇල් වතුර, පුංචි කාලෙ කරපු ඔය සෙල්ලම කාලෙකින් මට මතක් වුනේ මේ කමෙන්ටුව කියවලා ඇනෝ...

      Delete
  15. Replies
    1. ඕකෙත් ඉතින් අවසානය හිතාගත්ත ඇහැකි.. කමක් නැහැ උඹ කියපන් , අපි අහන් ඉන්නම්...:(

      Delete
    2. අවසානය සුභවාදී උනා නම් ඉතිං සිරාට අද තනියක් නෑ නොවැ...බොලා අහගෙන ඉන්න හින්දම තමයි මම මේවා කියන්නෙ.

      Delete
  16. අඩේ සිරා අයියේ. මම නම් කලින්ම සුභ පතනවා. උඹේ 4 මගේ 6 මටත් මගේ මේ උපන් දිනේ ගෙවන්න වෙන්නේ තනියම. ඇත්තටම මේ පිට රටවල් වලට එනවා කියන්නේ කරුමයක් බං.

    ReplyDelete
    Replies
    1. මොනවද මලේ මේ අංක දෙක..මගේ උපන් දිනේ නම් තව ඉස්සරහට...වසරේ අවසාන මාසයේ...

      Delete
  17. සුභ පැතුම් සිරා..
    මේ සින්දුව මගෙත් ආසම සින්දුවක්..ඒත් ගොඩක් අය මේ සින්දුව ගැන දන්නැති නිසා ට්‍රිප් එකකදි වත් කියන්න බෑ.. :(

    ReplyDelete
    Replies
    1. මේ වගේ නිවී සැනසිල්ලෙ අහන්න පුලුවන් සින්දු කවුරුවත් ට්‍රිප් වලදි කියන්නෙ නෑ...නැගලා යන ඒවම තමයි ඉල්ලන්නෙ...

      Delete
    2. ට්‍රිප් යද්දි කියන්ඩ වෙන්නෙ බස් එකේ රිද්මෙට අනුකූල සිංදුනෙ. ඒකයි...

      Delete
  18. හරිම හොඳයි සිරෝ. හරිම ලස්සන අතීතාවර්ජන ලිපියක්. ඒ වගේම සිරාගේ උතුම් රසවින්දන හැකියාවට මම හිසනමා අචාර කරනවා. රසවින්දනය තුළින් පවා කෙකෙකුගේ පෞරුෂත්ව ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ ගීතය මමත් අතිශයින්ම ප්‍රිය කරන ගීතයක්. අපේ ගැමි සංස්කෘතියට බද්ධවූ ගීතයක්.

    මමත් දන්නා නදීරා කෙනෙක් ඉන්නවා. ඇයට ඉතා මිහිරි හඬින් ගීත ගායනා කල හැකියි. යුද හමුදා සංගීත කණ්ඩායම් සමග ඇය ඉතා දක්ෂ ලෙස ගායනා ඉදිරිපත් කරනවා. ඇය මගේ ඒකකයේම සහෝදර නිලධාරියකුගේ බිරිඳ. අද ඉන්නේ ඌව පළාතේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක තුමා...අගය කිරීම සම්බන්ධව

      නදීරගෙ වර්ණනාව කියවගෙන එද්දි මම හිතුවෙ තම්පලා ගහ කපන්න සැට් වෙයි කියලා...කොහෙද ඔයා මගේ බලාපොරොත්තු සුන් කලා..හලිම නාකයි...

      Delete
    2. පරණ කවියක අග පදය මතක්වුණා.

      'නාඬන් හිරමනේ පොල් ගානවා හෙට' :D :D :D

      Delete
  19. සින්දුවෙන් ගිය දුරක්. යකෝ හොඳම හරියෙදි නේද නැවැත්තුවෙ. මොනව උනාද අන්තිමට කියලා දැනගන්න බලන් ඉන්නේ. දැන් නම් ඉතින්ගෙදරින් කැමැත්ත දෙනකම් ඉන්න කෙල්ලෝ නැ. ලස්සනට ලියල තියෙනවා. එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේගීත මම පෞද්ගලිකවම ප්‍රිය කරනවා ගොඩක්ම...

    ReplyDelete
    Replies
    1. තව මේ වගේ සින්දු සම්බන්ධ පෝස්ටුවක් දෙකක් ඉදිරියේදි එනවා...මෙහෙම කෙල්ලො අදත් නැත්තෙම නෑ...ඉතාම අඩුයි. දෙමාපියන් එක්ක ඉතාම තද බැදීමක් තියෙන අය තමයි එහෙම වෙන්නෙ. එඩ්වඩ්ගෙ කටහඩ ඔහුටම ආවේණික දුලබ එකක්..අන්න ඒ නිසයි මේ ගීත අපිට වැඩිපුර දැනෙන්නෙ...

      Delete
  20. දැන් වතුර ටැංකිය, කොළ පාට ටයි එහෙම දකිද්දි.. ගම්පහදි මට උබෙ කෑල්ල මතක් වෙයි..
    එදා මල්වත්ත බුක් කරන්න යන්න උබ සැට් වුන තැනදි, මට තාමත් උබ ආපු හැටි මතක් වෙනව වගේ :ඩී

    සිංදු ගැන කියනව නම් බං.. පරණ ඒවම තමා හොද.. !!

    ජය !

    ReplyDelete
    Replies
    1. මම ඉතිං ඇන්ටික් පෙරේතයා කියලා උඹ දන්නවනෙ...ලංකාවට පය තිබ්බ දවසක ආයෙත් ගම්පහ මල්වත්තෙ කස්ටිය රැස් කොරමු... ඒ මතකය මටත් සදා අනුස්මරණීයයි බන්...ඒ හින්දයි අමාරුවෙන් හරි වෙලාව හොයාගෙන තාමත් බොග කොටාගෙන කොටාගෙන යන්නෙ.

      අපේ කබු නායක සෑමටත් ජයම වේවා...නිකං කන්න වෙඩිං වැඩි වැඩියෙන් සැට් වේවා !

      Delete
  21. අම්මපා ඇත්තට රත්නාවලියන් යශෝධරාවියන් සිරිකුරුෂියන් වටා ගෙතුනු බන්ඩලාගේ පාසල් ජිවිතය පට්ට සුන්දරයි නේද උඹ ඔය එක එක එව්වා ඇදලා ගන්න කොට අපිත් ඒ කාලේට ඉගිලිලා යනවා බං ..!!!

    ReplyDelete
    Replies
    1. මම දන්නවනෙ ඉතිං...අපේ ලොකු අයියත් ඒ කාලෙ නිකං ඉන්න නැතුව ඇති කියලා...අනේ නෝනා මේවා දන්නවා නම්...

      Delete
  22. නොදකින් මුත් ටෙලිනාට්‍ය ක්‍රමේට දැන් පොස්ට් දාන්නේ. දැන් ඉතින් දෙවැනි කොටස මගහැරුනොත් මේ ටික කියවපු එකෙනුත් වැඩක් නැ.

    ReplyDelete
    Replies
    1. උමේ කමෙන්ටුව කියවලා මට හිනාගියා බං...සිරා ඉතිං රැල්ලට යන එකෙක් නෙමෙයිනෙ බං...පුදුම වැඩේ කියන්නෙ පෝස්ටුව දිග වැඩි උනාම වගේම කොට උනාමත් බනින එක නොවැ...මධ්‍යම ප්‍රමාණයට ඊළග එකේ ඉදන්වත් කියවමු එහෙනං... මග ඇරගන්න එපා පුතෝ ඊළග කොටස...

      Delete
  23. සිරාගෙ කතාවත් එක්ක සිත අතීතයට ඉගිලුනා,කාටත් ඔවැනි අත්දැකීම් තියෙනවා බලාගෙන යනකොට මේ ගීතයට පුද්ගලිකව මමත් හරි කැමතියි,හරි ලස්සන ගැමි ගතියක් තියෙනව සහ හිතට දැනෙනවා

    ReplyDelete
    Replies
    1. බොලාගෙ ඔය වගේ පරණ අත්දැකීමකුත් අකුරු කලොත් නරකද හැලපයියෙ...රහට ලියහං..බණ්ඩි පෝර පාරකුත් ගහලා...

      Delete
  24. බොහෝ ගීත වල යටි අරුත තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ විස්තර කිරීමකින් තමයි. මේකත් වැඩි ජනප්‍රියත්වයක් නොලබපු ගැමි පෙම් සුවඳක් තියෙන ගීතයක්. දෙවෙනි කොටස බලාගෙන ඉන්නවා. ඒත් සමහර වෙලාවා මිස් වෙනවා මලයෝ. ගෙදර ප්‍රශ්න ආවම මේ ඔක්කොම අමතකයි.

    ReplyDelete
    Replies
    1. ඊළග කොටස ලගදීම...සුදීක අයියා ඒ කොටසත් කියවාවි කියලා හිතනවා...මම දන්නවා නොවැ පවුල් වෙච්ච අය විදියට ඔය ඇත්තන්ට තියෙන වැඩ රාජකාරි...

      Delete
  25. සිරෝ උඹේ කාලේ හරි........මේ ටිකේම ලියන්නේ ප්‍රේමයකට අත වනන .....ඒ ලඟින් කැරකෙන එව්වා......අර සිංදුවත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයට අත වැනුවට...තාම මට කවුරුවත් අත වැනුවෙ නෑනෙ බන්...ඒ නිසා ඒ කාරියත් වෙනකං ප්‍රේමයට අත වනන ඒවා ලියාගෙන ඉන්න තමයි කම්පනාව...

      Delete
  26. කොයි බං,සින්දුවට ලින්ක් එකක් දාල කතාව ඉවර කලානම් මොකෑ වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. සින්දුවට ලින්කුවක් දැම්මා නම් මේ කිව්ව කථාව කියන්නෙ පොලිසියෙන්ද කොලුවො...බොලා මගුලක් කථා කරනවා...

      Delete
  27. සිරා ගෙ පෝස්ටුවෙන් තමා ඇත්තටම මට මේ සින්දුව ආයෙ මතක් උනේ. පොඩි කාලෙ අහල තිබ්බට, ඒ මතකය හිතේ කොණක හැංගිලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ආයෙමත් එහෙනං අහලා ගැමි පරිසරයක අව්‍යාජ පෙම් සුවද විදගනු...තනියම නෙමෙයි බොලාගෙ හාමිනෙත් එක්කම...

      Delete
  28. අප්පටසිරි !!
    ඉතුරු හරිය කියවන්න ආයෙම එන්න වෙනවා. ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න
    ඒක නෙමේ බොලා දැන් කොයි රටේ ද ඉන්නේ ??

    ReplyDelete
    Replies
    1. මම පිටරට පැටවෙන්න කලියෙන් ලිපි ලියද්දි බොලා පේන්න හිටියෙ නෑ...ඉතිං මම කම්පනා කොලා මේකා මලාද නැත්නම් කෙල්ලෙක් අරං වහං වෙලාද කියලා...දැන් මැලේසියාවෙ තමයි වාසෙ...ඉතිරිය ඉක්මනටම දෙනවා...

      Delete
  29. සන්සාර පුරුද්දට හමුවුනා නම් කොහොමද බන් ඔච්චර ඉක්මනට අමතක උනෙ

    ReplyDelete
    Replies
    1. මං අහලා තියෙන විදියට සංසාර පුරුද්දට තමයි ආගන්තුක කෙනෙක් දුටු ගමන්ම අපට බොහොම හුරු පුරුදු ගතියක් ඇති වෙන්නෙ...මෙතැනදිත් උනේ ඒ දේමයි.

      Delete
  30. සිරා අයියා දන්නවද මම අහල තියනවා අපිට කොයි විදිහෙන් හරි මුණගැහෙන හැමෝම එක්ක අපේ සංසාරේ හොඳ හරි නරක හරි බැදීමක් තිබිල තියනවලු.. ඒත් ඔහොම ගොඩාක් දැනෙන්නේ ලගින්ම හිටපු අය වෙන්න ඇති... හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතන්නයි තියෙන්නේ...
    ලංකාවේ නැති නිසා මමත් සිංදුවෙන් තමයි ජීවත් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි...අද දවල්ට කන්න එළියට ගිහින් එද්දි සපත්තුවෙ අඩිය ගැලවුනා...සිරා සසල උනාද නෑ...හැම දේම වෙන්නෙ හොදටයි කියලා හිත හදාගත්තා...

      Delete
  31. Machan Sira,

    When you are happy you're enjoying the music, But when you're sad you understand the lyrics

    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනවු පීරා.....
    ගෙවූ කාලය සිහිනයක්

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුලින් සේදිලා
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා

    එදා ළඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ

    We all live with memories machan. Some of them make us smile and some of them make us really sad.

    I'm
    Mike

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මයික්...මමත් ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක් උඹ මෙතන අකුරු කරලා තියෙන්නෙ...සින්දුවක් අහගෙන හිතේ තියෙන තනිකම/පාලුව/දුක නැති කරගමු එහෙනං...

      Delete
    2. සිරා,

      අතීතය් අමිහිරි මතක අමතක කරන්න පෙත්තක් වත් තිබුනානම්.

      සියල්ල ඉදිරී ගරා වැටුනු දා
      ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
      දැන හදුනා ගත් තනිකම නුඹටත්
      මා හැර යන්නට සිදුවෙයි නැවතත්

      ප්‍රේම තාපයෙන් පර මල් යහනට
      තවත් ලදක් එයි හෙට දවසේ
      එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
      මා නුඹ එලවන්නද කෙලෙසේ

      ඇය හෙට ආවද, පසු දින යාවිද
      අදහනු බෑ ඇය ලදක් නිසා
      හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
      හතර මායිමෙන් එහා නොයා

      මම​
      මයික්

      Delete
  32. අලුතින් හොද ගීත නැතිවෙන්න හේතුව සාහිත්‍යමය භාෂාව නොදනිම .. ඉතින් දැන් ඉන්න උන් ලියන්නෙම සරල කතාකරන භාෂාවේ ගීත ඕවා මතක් හිටින්නෙත් නෑ .. ගීතයේ ප්‍රස්තුතය ගැලපිමකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඉස්සර ගීත රචකයො විදියට පෙරට ආපු හැමෝම හොදින් සාහිත්‍ය හදාරපු ඇත්තො...ඒ කාලෙ ඒ ගීත ප්‍රචාරය කරපු ශ්‍රී ලංකා ගුවන් විදුලියත් අවර ගනයේ නිර්මාණ ප්‍රචාරය නොකරපු හින්දා හැම වෙලේම ගීතය හොද නිර්මාණයක් බවට පත් වුනා.

      අද ඉතිං මුදල් මූලික ගීත නිර්මාණයන් තුල කොහෙන්ද අර කිව්ව වටිනාකම්...

      Delete
  33. වැඩක් නෑ මාත් මතුසම්බන්ධ වෙනවා

    ReplyDelete
    Replies
    1. හොදා හොදා...ඊළග කොටසින් යලි සම්බන්ධ වෙමු.

      Delete
  34. පෝස්ට් එක හොඳම හරියෙන් කඩපු එකට නම් බලවත් විරෝධය..!!!

    සත්තකින්ම පරණ ගීත හා නව ගීත පිලිබඳව මා හටත් ඇති මෙව්ව එක ඕකම තමා..!
    පරණ ගීත ලියවුනේ එක්කො සුන්දර/අසුන්දර අත්දැකීමක්,ජනගීයක් වැනි දේ මුඛ්‍ය කරගෙන නිසා ඒවා අපෙත් අත් දැකීම් බවට පත් උනා.

    මගෙත් අත්දැකීමක් ලියන්නම්.මේ දවස්වල දරු නැලවිලි බව දන්නවනෙ .
    ඉතිං මම ඉතාමප්‍රිය කරන ගීයක් කියමින් මම පුතා නිදි කරනව...ඒ එක්කම හින්දි ගීයක් ද මතකයට එන්නෙ නිරායාසයෙන්. ඒත් කොපියක් නොවේ..මා හිතන්නෙ රාග තාලය එකකැය් කියා.

    "පාලොස්වක සඳ පායනු වැන්නේ....
    සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ..
    සිතුම් පැතුම් ඉ‍ටු වේවිද මන්දා...

    පූරුවෙ කල පිං අපට කොයින්දා..//

    සැතපෙන නින්දෙදි රෑ තුංයම හීන හතක් පෙනුනා
    සඳකිඳුරකු ලෙසිනා එනසඳ ඔබෙරුව මටපෙනුනා....(මේලෙස..කියාගෙන යනව...වාදනය වන කොටස එනව..)

    තුජෙ සූරජු මේ සජංසා..
    ******
    *****
    මෙරා නාම් පරේගා ලෝෂන්........****

    සතතකින්මලියන්න බෑ වචන දන්නෑ..ඒත්..මට ..ම්..ම්ම්ම් ගාල කියන්න පුලුවනි තාලය...
    අන්තිමට දරුවත් නිදි බං..!

    මම කීප විටක් හිතුව ලියන්න..ඒත් හින්දි සිංදුව හොයල තමා ලියන්න වෙන්නෙ(අපොයි පෝස්ට් එකක්ද මන්දා)

    ReplyDelete
    Replies
    1. වීයෝ මගේ තාත්තා මාව නැලෙව්වෙත් ඔය සින්දුව කිය කියා.. කවමදාවත් අමතක නොවෙන සින්දුවක්...තුජේ සූරජ් කහු යා චන්දා .... මන්නා ඩේ කියන්නේ.. ඒක් පූල් දෝ මාලි ෆිල්ම් එකට 1969 දී... කිසිදා අමතක නොවෙන ගීතයක් ........ මේ ටිකේම මගේ පහු ගිය අතීතයන් ඇවිස්සෙනවා .............

      Delete
    2. වීයා කියපු හින්දි සින්දුවට අදාළ සිංහල සින්දුව මෙය නෙමෙයි..අමරදේව මාස්ටර්ගෙ ගීතය ස්වතන්ත්‍ර තනුවකට ගැයෙන ගීතයක්..බලාගෙන යද්දි අපි හැමෝගෙම තාත්තලා එක වගෙයි නොවැ....අපේ තාත්තාත් පරණ හින්දි සින්දු වලට බොහොම මනාපයි...ඉස්සර අයි ටී එන් එකේ රංජිත් පෙරේරා භාරත ගී වින්දන ඉදිරිපත් කරද්දි එය අනිවාර්යෙන්ම අපේ තාත්තා නැරඹුවා. පැරණි හින්දි සින්දු ගැන කථා කරනවා නම් ලංකාවෙ ඉන්න ජීවමාන පුස්තකාලය තමයි රංජිත් පෙරේරා මහතා.

      වීයා අද ඉටු කරන වගකීම් දවසක අපිටත් කරන්න වෙයි නොවැ...එදාට බලමු...ජය !

      Delete
    3. සිරා උඹ මේ කියන්නේ රන්ජිත් එදිරිසිංහ මහත්මයා ගැනද?

      Delete
    4. ආයිත් අහල සහන්..චිත්‍රපටයත්,ගීතයත් එයමයි.

      සිරා ඒ ගීයෙ තනුව ගැන නොවේ මම කිව්වෙ.රාගතාල එකවගේ දැනෙන්නෙ.

      හින්දි දන්නෙ නැති උනත් ඒ ගී මතකයේ ‍රැ‍ඳෙන්නෙ ඇයි..සිරා ඉහත කී කාරනාමයි.

      අරූ. .........ඔව් රන්ජිත් එදිරිසිංහ තමා.

      Delete
    5. සමාවෙන්ට ඕනෙ රන්ජිත් එදිරිසිංහ..මට නම පැටලුනා...රංජිත් පෙරේරා කියන්නෙ තට්ටෙ තියෙන නලුවෙක්...

      Delete
  35. ගැමිකම පිරුණු ගීයක අරුතට නාගරීකරණයේ තරුනයෙකුගේ පුද්ගලික අත්දැකිමක් එකතු වුනාම කොහොම හිටිවිද. ඇත්තටම අද මෙවන් රසවත් ගි බිහි නොවන්නේ මේ තරගකාරි රටාවන් එක්ක. ඒවන් කාලෙක මේවගේ ක්ලැසික් එකක් ඉඳ හිටල ඇහෙනවිට දැනෙන සනීපෙ කියල නිමකරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාත් නිර්මාණ කරුවෙකු විදියට මේ කටුක යථාර්තය ගැන හොදට දන්නවා නොවැ...කඨෝර සින්දු අහලා ඇති වෙලා ඉන්න වෙලාවට මේ වගේ හිතට දැනෙන ගීතයක් ඇහුවාම දැනෙන වෙනස කදිමයි.

      Delete
  36. බකිනි ගහේ පාමුල ලඟ ළිඳකි තියෙන්නේ
    බිකිණි ඇඳන් ගෑනු ළමයි එතන
    කවදාවත් නොනාපු අය එතන නාන්නේ
    පොල්පරාල යාර ගනන් කුණු ඇඹරෙන්නේ..

    ඉතුරුටික අපි සෙට් උන දවසක කියමු...

    මේ වසන්ත කාලයයි දරුවො...ඕක වැඩිපුර දැනෙන්නෙ මද කිපෙන මඳ වයසෙදි මූදෙන් එතෙර තනි උනාමයි. ඕක හොඳ නොවෙනකල් අපිට රස පෝස්ටු ලැබෙයි. ඉන් පස්සෙ....?

    ReplyDelete
    Replies
    1. කයියකුත් කොටලා තියෙන්නෙ...බිකිණි වෙනුවට අපි චීත්තයක් ආදේශ කරමු...මොකද ළිද සංගමේ නිළ ඇදුම ඒක නොවැ...

      වසන්තය ලබලා සෑහෙන දොහක් ගියා...මද කිපිල්ල හොද උනාට පස්සෙත් රස පෝස්ටු ලැබෙයි...නිසැකවම...

      Delete
  37. ලස්සන සිංදුව . නියම අර්ථකතනයක් දීල තියෙන්නෙ එළ කිරි

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...