Friday, January 17, 2014

83 දුක් විදින අලියා

ක්ෂීරපායි හෙවත් මැමාලියා ගණයට අයත් අලියා ගැන නොඇසූ කථා කීපයක් ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. එහෙත් අලියාගේ බොහෝ තොරතුරු ඔබද දනියි. සමහරු කැපුවත් අලියා හැර නොයන බැව් කියති. නැතිනම් ආණ්ඩුවේ සිටිනා දේශපාලුවෙක් කියූ අලි බොරුවක් හෝ කරන ලද අලි වංචාවක් ගැන කථා වෙති. අනේ මගේ මූණෙ උලන්නට අලි ගැට පේර ගෙඩියක් දෙකක් අරන් එනවකො. බිරින්දෑවරු සැමියන් අමතා එසේ පවසති. බලනවකො...ඔය යකා අලි වැඩ්ඩෙක්....මෝටර් සයිකලය අලුත් වැඩියා කරන තැනක සිටිනා පාරිභෝගිකයකු බයිසිකල් බාස් පිළිබද තම හිතවතෙකුට එසේ හදුන්වාදෙති. එසේත් නැතිනම් තම හිතවතෙකු මිය ගිය කල්හි අලියා බීම බෝතල කීපයක්ද ඉදිරියෙන් තබාගෙන මතක පැන් වත් කරති. කලකට පෙර අපෙන් සමුගත් කෝපිකඩේ අලි ජේමිස් උන්නැහේද ඔබට අමතක විය නොහැක.

එහෙත් සබද....මා මේ කියන්නට යන්නේ ඒ අලීන් ගැන නොව පණ ඇති අලීන් ගැනය. කකුල් හතරේ අලියා වූ කලී විශාල ශරීරයක් සහිතව ඉපදී මෙලොව ඇති සියලු දුක්ඛ දෝමනස්සයන් දශක ගනනාවක් පුරාවට නිහඩව විද අවසන් ගමන් යන අහිංසක සත්ව ප්‍රජාවකි. සම්පූර්ණයෙන්ම ශාකභක්ෂක පිරිසකි. බොහෝ මිනිසුන් අවධානය යොමු නොකරන ඒ සද්දන්තයන් විදිනා දුක් ගැහැට මේ ලිපියටත් මෙයින් පසු ලියවෙන ලිපියකටත් පාදක වෙයි.

ගොඩබිම සිටිනා විශාලතම සත්වයා ලෙස විරුදාවලිය ලද අලියා වර්තමානය වන විට ආසියානු හා අප්‍රිකානු අලියා ලෙස වර්ග දෙකකට පමණක් සීමා වී සිටී. ඒ අතරිනුත් ආසියානු අලියා සුන්දරත්වයෙන් හා නුවනින් ඉහළ කෙනාය. එහෙත් තරහා ගිය කලෙක ප්‍රචණ්ඩත්වයෙන් ඉහළ කෙනා අප්‍රිකානු අලියාය. මේ අයගේ ආදිතමයා පෘථිවිය දැඩි ශීතලකින් යුතු වූ පලයිස්ටෝසීන යුගයේ ජීවත් වූ අඩි 14 පමණ උස, ශරීරය පුරාම ගණව රෝම වැවුනු වුලි මැමත් නම් නාමයකින් නූතන සත්ව විද්‍යාඥයන් විසින් හදුන්වන සත්වයාය. එහෙත් පසු කාලෙක පෘථිවිය තුල ඇතිවුන විවිධ වෙනස්කම් හමුවේ මැමත්ලා අප හැර සදහටම වෙන්වී ගියහ.

අලියාගේ සීයා...මැමත්


අලියා යනු සැබැවින්ම නෙතට රසදුනකි. ඒ නිසාමදෝ පුරාතණයේ සිටි අපේ මුතුන් මිත්තෝ...අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා නොවනා වගත් අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත ආදී ලෙස ඒ අලීන්ගේ වරුණ අපට කියන්නට අමතක නොකලහ. එසේත් නැති නම් ගොඩබිම වෙසෙන වෙනත් සත්වයෙකුට උරුම නොවූ අපූරු අංගෝපාංගයන්ගෙන් සමන්විත මේ අගනා ජෛව නිර්මාණය දෙස බලා ඔවුන්ගේ සෞන්දර්යවාදී සිත් අවදි කලහ. අපූරු ශරීර ලක්ෂන වලින් හෙබි වීමත්, ශරීරයේ ඇති විශාලත්වයත්, ශක්තිසම්පන්න භාවයත් නිසාම අන් සතුන් හට හිමි නොවූ සුවිශේෂී ස්ථානයක් අලියා නමින් මිනිස් සමාජයේ වෙන් වූයේ ඈත අතීතයේ සිටම බැව් අවිවාදයෙන් පිළිගත හැකි කාරණයකි. ගල් යුගය දක්වා දිවෙන ගුහා චිත්‍ර වලද අලියා සටහන් වී ඇත්තේ එබැවිනි.

ඈත අතීතයේදී රජවරු අලින් තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කල බවත් තම සිව්රග සේනාවන් තුල සාමාජිකයන් කොට යුධ සටන් සදහා පෙරමුණට යැවූ බවත් ඇතැම් කථාවක කියවෙයි. ඒ අනුව මිනිසා සහ අලියා අතර ඇති සැබැදියාවට සෑහෙන කාලයක ඉතිහාසයක් ඇත.

අලියා හෙවත් හස්තියා යනු සොබාදහමේ අපූරු නිර්මාණයක් බැව් යලි යලිත් කීම අවැසි නොවේ. බිම වැටුනු ඉදිකට්ටක් වුවද අහුලා ගත හැකි තරම් සංවේදීත්වයක් ඇති, හුස්ම ගැනීමටත්, ආහාර ලබා ගැනීමට ආධාරකයක් ලෙසත්, අතක් මෙන් හදිසියේ පහර දීමටත්, ඕනෑම දෙයක් අල්ලා ගැනීමටත් යන ආකාරයේ බහුවිද ප්‍රයෝජන වලින් යුතු හොඩවැල අලියා සතු විශාලම සම්පතයි. අන් කිසිදු සතකුට එවැනි යමක් නැති නිසාම අලියා කැපී පෙනෙයි. ඉදිරියට නෙරා එන උඩු ඇන්දේ කෘන්තක දත් දෙපලට මිනිස් සමාජය දළ නම් නමක් පට බදියි. එය අලියාට සුන්දරත්වයක් එකතු කලද...අද වන විට උන්ගේ ජීවිත වලට කණකොකා හඩා ඇත්තේද මේ කෙහෙල් මල් දළ දෙක නිසාය. අලින්ට තම ජීවිත කාලය තුල ගස් අතු ඇඹරීමට එසේත් නැතිනම් ආහාර කුඩා කැබලි වලට කඩා ගැනීමට දත් කට්ටල 6 ක් ලැබෙයි. 6 වන කට්ටලයද අවසාන වූ පසු ආහාර ගැනීමට ප්‍රථම ඒවා පොඩි කරගන්නට ක්‍රමයක් නොමැතිව සමහර අලින් ජීවිත සටන පරාද වන බැව් ඇතැම් තැනක මම කියවා තිබේ.

අපේ ජන සමාජයේ  විශාලව ඵලය හටගන්නා පුවක් ගෙඩිය, දෙල් ගෙඩිය, අඹ ගෙඩිය රට නම් විශේෂන පදයකට මුවා වූවා සේම දළ ඇති අලියා ඇතා නම් අපූරු නමකට හිමිකම් කියයි. ඇතාගේ කාන්තා පාර්ශවය ඇතින්න වන විටක අලියාගේ ගැහැණු පාර්ශවය කෙණෙර යනුවෙන් හදුන්වයි. එහෙත් බොහෝ දෙනා ඇතින්නිය ගැන අසා තිබුනත් කෙණෙරක ගැන අසා නැත.

වංගෙඩි මෙන් විශාලව වැඩී අලි සිරුරේ අලි බර දරණා අලි පාදයන්ද...එහි ඇති අලි නියපොතුද.... නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගනී. එහෙත් මිථ්‍යා විශ්වාසයන්ගේ එල්බගෙන, මහන්සියෙන් කිසිවක නිරත නොවන ඇතැමෙකු තම වාසනා මහිමය වැඩි කරගන්නට හදන්නේ අලි වලිගයෙන් කෙදි ගැලවීමෙනි. ඒවා ලග තබාගැනීමෙන් වාසනාව පහල වන බවට ඇති මේ තේරුමක් නැති කථාව නිසාම පෙරහැර අස්සේ වුවද අලි නැට්ටෙන් කෙදි ගැලවීමට ඇතැමුන් වෙර දරති.

ගමරාළ අලි වලිගයේ එල්ලී දිව්‍යලෝකේ ගිය කථාව පුංචි සන්ධියේ නොකියවූ ඇත්තෙකු සිටිය නොහැකි වන තරමට ජනප්‍රිය එකකි. අප කුඩා කල කියවූ කතන්දර වල අලියාගේ කන්පෙති සමාන කර තිබුනේ ධාන්‍ය වර්ගයන්හි අනවශ්‍ය කොටස් ඉවත් කර අවශ්‍ය දේ ඉතිරි කර ගැනීමට කුස්සියේ භාවිතා වන කුල්ල නම් උපරකරණයටයි. ඒ යෙදුම අදටත් ගැලපෙනවා යැයි මා සිතමි. නමුත් නාගරික දරුවන්ගෙන් බහුතරයක් කුල්ල යනු කුමක්දැයි නොදන්නා බව සිකුරුය. එවිට මට සිතෙන්නේ කාලය මැව් වෙනසක අරුමේ යනුවෙනි. කුල්ලෙන් පොලන්නට දෙයක් නැති නාගරික නිවසට...කුල්ලක් කුමකටද ?

අති විශාල අලි ශරීරයේ දාහය නිවා ගැනීමට අලියා මේ කුලු යුග්ම දෙපසට වනමින් පවන් සලාගන්නා ආකාරය කදිමය. මේ කුලු වලට ඇතුලතින් ඇති අලියාගේ කන ඉතා තියුණුය. කිලෝ මීටර 3 ක් හෝ 4 ක් එහායින් ඇසෙන ශබ්දයක් වුව ග්‍රහණය කරගත හැකි තරමට ප්‍රබලය. නමුත් අලියාගේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව දෙනෙත කුඩාය. ඒවායේ පෙනීම දුර්වලය. එහෙත් ඉව යනුවෙන් අප හදුන්වන හැකියාව නිසාම අලියා කරදරයකින් තොරව ඒ මේ අත ගමන් කරයි. වැඩිමනක් රාත්‍රී කාලයට ඇවිදින්නට ප්‍රිය කරයි. අධික හිරු එළියෙන් ඇති වන පීඩාවන්ද එයට එක් හේතුවක් විය හැක. දාහය තවත් දරාගත නොහැකි තැනට පත් වූ කලෙක අලියා ජල පහරකට බැස දිය ස්නානය අරඹයි. හොඩෙන් පිට මැදට වෙන්නට වතුර ඉස ගනියි. නෑමෙන් අනතුරුව මඩ නාගෙන ගොඩට එයි. ඒ දැඩි හිරු කිරණ මගින් සමට වන පීඩාව වලකන්නට ක්‍රීම් වර්ග හා ලෝෂන් වැනි දෑ අලියාට නැති හෙයිනි.

මේ අපූරු සත්වයා මිනිසා සමග වාසය අරඹන්නේ බල්ලන්, බළලුන්, ගවයන් වැනි සත්වයින්ට සෑහෙන කාලයකට පසුව වීම විශේෂයකි. ඒ ශරීර ප්‍රමාණ වලින් කුඩා පෙර නම් කියූ සත්වයින් හීලෑ කරගැනීම පහසු වුවත්..මෙවැනි සද්දන්තයෙක් හීලෑ කරගැනීමට අවැසි තාක්ෂණය ආදිතම මිනිසාට ලැබෙන්නට සෑහෙන කාලයක්  ගිය නිසා විය යුතුය. ඒ කාරිය ඇරඹෙන්නට ඇත්තේ මවගෙන් වෙන් වූ කුඩා පැටියකු හෝ ලෙඩරෝග යනාදියෙන් අසරණ වූ සතෙකු මුලින්ම තම ජනාවාශ වලට රැගෙන ඒමෙන් වන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.

මේ හමුව මිනිසාට කෙසේ වුවත් අලියාගේ නස්පැත්තියට ඉවහල් වූ කාරණයක්ම විය. වනාන්තරයට වී තමන්ට රිසි සේ ඒ මේ අත ඇවිදමින්, ආහාර බුදිමින්, දිය ස්නානය කරමින් ගත කල ඒ නිදහස් සමය අලියාට අහිමි විය. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් එළැඹුනු යුගය තමාට වඩා බොහෝ සෙයින් ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසාගේ බලයට යටත්ව පඩි රහිතව සේවය කරනා කම්කරුවෙකු තත්වයට අලියා පත් කලේය.

කාලයේ ඇවෑමෙන් අලි හිමිකරුවන් අලි සල්ලිකාරයන් මෙන්ම සමාජයේ අලි බලවතුන්ද වූහ. මේ නිසාම අලි ඇල්ලීම මෙන්ම විකිණීමද....සේවය සදහා කුලියට සැපයීම වැනි විවිධ අතුරු කාරණා ඔස්සේ පසු කාලීනව අලියා කරළියටම පැමිණියේය. නැති නම් ලාභදායී ව්‍යාපාරයක් විය. අලියෙකු නිවසේ ඇති දැඩි වීම තමාගේ ප්‍රබලත්වය මෙන්ම සල්ලිකාර කමද බාහිර සමාජයට කියනා අගනා සාධයක් වූ නිසාම අලියෙකු දෙන්නෙකු තමන් හට ලබාගැනීමට ප්‍රභූ පැලැන්තිය දත කෑහ. මේ සියලු කාරණා ලාංකීය ජන සමාජයයේ පේන තෙක් මානයක ඇති ඉතිහාසයට පොදු වූ කාරණාවෝය.

ලක්බිම පාලනය ඉංග්‍රීසීන් විසින් සිදු කල කාල වකවානුව අපේ අලි සම්පතේ අවාසනාවන්තම කාලය බැව් කිව යුතුය. විනෝදය පිණිස අලි මැරීම එකල සිටි මෝඩ සුද්දන්ගෙ විනෝද ක්‍රීඩාවක් විය. අහිංසක සතෙකුට ගිණි බිද විනෝද විය හැකි හිතක් මිනිහෙකුට තිබේ නම්...ඒකා වනචාරියෙකි. මිනිස් කමට නින්දාවකි. එලෙස අලීන් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් විනෝදය උදෙසා මරා දැමූ කෘ ෘර සුද්දෙකුද වෙයි. ඒකාගේ මරණින් පසු සිරුර තැන්පත් කර ඇති මහනුවර ඇති මිනී වලටද වසරක් පාසා හෙණ ගසනා බවක් නුවර වැසියෝ කියති.

සිරිලංකාවේ අලි ඉතිහාසය ගැන සොයා බැලීමේදී නම කියූ පමණින් බොහෝ දෙනා දන්නා හස්තිරාජයන් දෙදෙනෙකි. ඒ පනාමුරේ ඇත් රාජා සහ දළදා මාලිගාවේ සිටි රාජා.

පනාමුරේ....පනාමුරේ...පනාමුරේ ඇත් රාජා.....පනාමුරේ ඇත් රාජා....

පනාමුරේ ඇත් රාජා සැබැවින්ම ඇතෙකු නොව අලියෙකු වුවත් තිරිසන් සතකු ලෙස සිටියදීත් තම අවශේෂ වර්ගයාගේ නිදහස වෙනුවෙන් සටන් කොට මියගිය අභිමානවත් සත්වයෙකි. එකල මෙන්ම දැනුදු ශ්‍රී ලාංකීය ජන සම්භාවනාවට පත්වෙන අලියෙකි. ඒ නිසාම ඇත් රාජා යන බුහුමන ඒ සතා වෙනුවෙන් පුද දී තිබේ.

පනාමුරේ ඇත් රාජා වැනි උතුම් ගුණාංගයෙන් යුතු වූ සත්වයෙකු ගැන මෙසේ සිල්ලරට පවසා ඉන් ඉවත් වීමට මගේ සිත ඉඩ නොදෙයි. මේ ලිපිය කෙතරම් දිගු වුවත් කියන්නට ඇති සියලුම දෑ ලියන්නට මගේ අතැගිලි වෙර දරයි.

සිරි ලංකාවේ පළමු කථානායකයා වන ප්‍රැන්සිස් මොලමුරේ මහතාට ඉංග්‍රීසි රජයෙන් ලියා පැවරූ අක්කර 99000 ක පමණ අති විශාල භූමිය තුල ජීවත් වූ සියලුම අලි ඇතුන් අල්ලා හීලෑ කර විකුණා දැමීමට තීරණය විය. ඒ අනුව ඒ භූමිය තුල ඉතා ශක්තිමත්ව හා විශාලව අලි ගාලක් සකසා අල්ලා ගන්නා කැළෑ අලින් හීලෑ වන තෙක් රදවා තබා ගැනීමට කටයුතු කොට තිබේ. එහි ආරම්භය 1928 තරම් ඈත අතීතයකට දිව යන්නකි.

එක් දිනකදී ගාලට කොටු කල  අලි 18 දෙනෙකු අතර පෙර කියූ හස්තියාද සිට ඇත. සාමාන්‍යයෙන් කැලෑ අලීන් ඇල්ලීමට හීලෑ අලීන්ද යොදා ගන්නා අතර...අල්ලා ගැනීමෙන් පසු උන් හීලෑ බවට පත් කිරීමටද හීලෑ අලින් යොදා ගනියි.

මේ සුවිශේෂී හස්තියා මේ කිසිම ක්‍රමයකට අවනත වී නැති අතර හීලෑ අලින්ට මුලින්ම පහරදී තිබේ. සාමාන්‍ය කැළෑ අලි දළ ඇතෙකු කෙරේ භය පක්ෂපාත බවක් දක්වන නිසා ඉන් අනතුරුව පනාමුරේ හස්තියා හිලෑ කිරීමට දළ ඇතෙකු ලං කර තිබේ...දළ ඇතාටද නොසිතූ පරිදි දැඩිව පහරදී තමා රදවා සිටි ශක්තිමත් බුරුත කොටන් වලින් සකසා තිබූ කුටියද කඩා බිද දමා රුදුරු වෙස් ගෙන අලි ඇල්ලීම නරඹමින් සිටි මිනිසුන් හටද පහරදීමට උත්සාහ කරමින් හැසිරුනු මේ හස්තියා පාලනය කිරීමට තව දුරටත් අසමත් කල උගේ නිදහස නැති කල ෆ්‍රැන්සිස් මොළමුරේ නම් හදවතේ තෙතමනයක් නැති මිනිසා විසින්ම මේ සත්වයා හට වෙඩි තැබීමට ලංසි ජාතිකයකුට අණ කොට ඇත. නළල මැදට වැදුනු එකම එක වෙඩි පහරකින් තමා හා තම වරිගයේ නිදහස උදෙසා සතියකටත් වඩා කාලයක් එක දිගට දිවි හිමියෙන් තනිව සටන් කොට ලාංකීය ජන සමාජය තුල වීරත්වයට පත් මේ පනාමුරේ ඇත් රාජා වෙඩි කෑ පසුව එහි සිටි සාමාන්‍ය ජනතාව කදුලු සැලූ බැව්ද ප්‍රකටය.

ඡායාරූපය http://www.silumina.lk/
1950 අගෝස්තු 9 වන දින  එම ස්ථානයේ සිට මේ  දසුන නරඹා කම්පනයට පත් සුගතපාල මලලසේකර නැමති ගායකයා හා තනු නිර්මාපකයා මෙන්ම ආනන්ද රාජකරුණා නැමති ගී පද රචකයාද එක්ව ඔවුන්  දුටු සංවේදී සිදුවීම අදද අප ශ්‍රවනය කරනා පනාමුරේ ගීතය බවට පත්කොට ඇත. මේ වීර හස්තියා මියගොස් දැන් වසර 63  ක් ගත වී ඇතත් අදද මේ සත්වයා මිය ගිය දිනය දා  පනාමුරේ ප්‍රදේශයේ ජනතාව රාජා සිහිපත් කරමින් භික්ෂූන් වහන්සේ නමක් ලවා බණක් කියවති. අටපිරිකර සහිතව අංගසම්පූර්ණ දානයක් පළිගන්වති. මතක වස්ත්‍ර පූජා කරති.

මිනිසා හා සමගාමී අලියාගේ ආයුෂ ප්‍රමාණයත්...අනෙකුත් සතුන්ට වඩා අලියා නුවනක්කාරයෙකු වීමත්...අලි සමාජය තුල අලින්ගේම සංස්කෘතියක් ඇති කරගන්නට තරම් ඥාණවන්ත භාවයක් තිබීමත්, යන කාරණා නිසා අලියා අනෙකුත් සතුන්ගෙන් පැහැදිලිවම වෙනස් වෙයි.

අලි රංචුවක නායකත්වය බොහෝ විට දරන්නේ ගැහැණු සත්වයෙක්. නමුත් මේ අදහස වෙනස් කල අවස්ථාව තමයි පනාමුරේ සිදුවීම. සමහරු විශ්වාස කරන්නෙ පනාමුරේ රාජා අලි රැළට නායකත්වය දුන්න නිසයි තමන්ගෙ රැළ වෙනුවෙන් තනිව සටනට බැස්සෙ කියලා.

අලුත් පැටවෙකු ඉපදුන කල්හි කිරිදෙන සෑම අලි මාතාවක්ම තමාගේ නොවුනත් හැම පැටියෙකුටම කිරී බීමට ඉඩ දීම අලි සංස්කෘතියෙ සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම රැළේ නායිකාව විසින් නාහෙට අහන්නේ නැති විසේකාර පිරිමි අලි රැළෙන් පිටමං කිරීමට කටයුතු කිරීම හේතුවෙන් තනි අලියා නම් දරුණු අලියෙක් උපදිනවා. සද්දන්ත අලියා විවිධ ශබ්ද හා අංග චලන 200 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත දියුණු භාෂාවක් සන්නිවේදනය උදෙසා භාවිතා කරන බවයි නූනත සත්ව විද්‍යාඥයින්ගේ අදහස.

රැලෙන් පිටමං වන කෙනා තනි අලියා බවත්...ඒකා දරුණු ගතිගුණ ඇති එකෙකු බවත් ඔබ දන්නවා...අලින් ගැන කථා කරද්දි තුන්පත් රෑන නම් ජනප්‍රිය වදනකුත් තියෙනවා. තුන්පත් රෑණ යන සංකල්පයෙදි මත දෙකක් තියෙන බවයි පේන්නෙ. පොදු ජනවහරෙ තාත්තා මව දරුවා කියා හැදින්වුවත්...සත්ව වේදීන්ගේ අදහස අනුව මව, පෙර මුරයක පැටියෙකු සහ පසු මුරයක පැටියෙකු, (උදා අයියා මල්ලි )ලෙසයි තුන් පත් රෑන හදුන්වන්නෙ.

බර වැඩෙහි යෙදිය හැකි යන්ත්‍රෝපකරණ නිපදවා තිබූ නැති අතීතයේ අලින් විසින් ඒ කාරිය ඉටු කලා. වර්තමානය වන විට එවැනි කාර්යයන්ගෙන් බොහෝ අලින් නිදහස් වුනත් නවීන යන්ත්‍රෝපකරණ වැඩෙහි යෙදිය නොහැකි තැන්වල තවමත් අලියා දුක්විදිමින් සේවය කරනවා.

කාර්මීකරණයෙන් පස්සෙ පළමු, දෙවැනි ලෝක යුද්ධ නිමාකරගෙන වේගයෙන් භෞතික දියුණුවක් කරා ලෝකය ගමන්කරද්දි මිනිසුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් තිබූ ඉඩත් පුළුල් උනා..ජනමාධ්‍ය, චිත්‍රපටි, සංගීතය වගේම සර්කස් කලාවත් ඒ යටතේයි ඉදිරියට එන්නෙ.

එදා වගේම වර්තමානයේදීත් සර්ක්ස් වල අනිවාර්ය අංගයක් උනේ පුහුණු කරන ලද සතුන්. ඔබ ටිකට් පතක් රැගෙන ආශාවෙන් මේ දේවල් බලා සිටියත් මේ සතුන් පුහුණු කරන්නේ ඉතාම කුරිරු ලෙස බැව් ඔබ නොදන්නවා විය හැකියි. මෙන්න මෙතැනින් මේ පිටුවෙ තියෙන වීඩියෝව බලන්න...සර්කස් දර්ශනයකට මොහොතකට පෙර මේ හස්තින්ට පහර දෙන හැටි හා..ඒ අසරණ සතුන් දකිනකොට මගේ නෙතු අගට කදුලක් එකතු වෙන එක නතර කරන්න බෑ. සර්කස් සංදර්ශනයකදි සෑම සර්කස් කරුවෙකුම අතේ කුඩා පොලු කැබැල්ලක් තිබෙන්නේ ඒ සත්වයාට පහර දීමෙන් පසු ලද වේදනාව මතක් කරන්න. ඒ මතකයන් නිසාම අසරණ සතුන් කියන දේ කරනවා.

මේ කාරණය අරමුණු කර  PETA සංවිධානය මගින් පැවැත්වූ විරෝධතාවක්



නිරන්තරව පහර දෙමින්...ඔවුන්ගේ නිදහස මුලිනුපුටා දමා මේ කරන කාර්යයන් මිනිසුන් ලෙස අපට කිසිසේත් අනුමත කරන්න බෑ. මේ ලිපිය ලියනා සිරා කොලුවා වන මම දැනුම් තේරුම් ඇති වූ කාලයේ සිටම අසරණ සතුන් කෙරේ ඉතාමත්ම සෙනෙහස, අනුකම්පාව දක්වන කෙනෙක්. මා කුඩා කල අපේ ගම ආසන්නයට පැමිණි සර්කස් කණ්ඩායමේ සිටි එළුවෙකු පිළිබද මතකයක් මෙතැනදි අලුත් වෙනවා.

එදා එළුවාට සමබර දණ්ඩෙ යන්න පළමු වතාවෙ නොහැකි වුනා....සර්කස් කරුවන් සර්කස් මඩුවෙ පිටිපස්සට මේ සතාව රැගෙන ගිහිල්ලා විනාඩි 5 කට පමණ පසු නැවතත් රැගෙන ආවා....ඒ සතා දුවගෙන ආවෙ....මට හොදටම දැනුනා...පසුපසට රැගෙන ගිහිල්ලා මුගුරකින් ගහපු බවක්...හීනියට තියෙන පොල්ලක් දිගේ අමාරුවෙන් කකුල් තියා තියා යද්දි එදා මම හිතින් ප්‍රාර්ථනා කලා අනේ මේ වැඩේ සාර්ථකව කරන්න එළුවට අවස්ථාව ලැබෙන්න කියලා...නැවතත් ගුටිකන්න වෙන නිසා.‍

ඒ තමයි මම නරඹපු පළමු සහ අවසන් සර්කස් දර්ශනය. ඇත්ත දැන ගත්තට පස්සෙ නැවතත් එවැනි යමක් බලන්න කිසිම ආශාවක් ඇති වෙන්නෙ නෑ.

90 දශකයෙන් පස්සෙ රට රටවල් අතර සංචාරය කිරීම කර්මාන්තයක් විදියට සංවර්ධනය වෙන්න පටන් ගත්තා. සහශ්‍රය ලබන අවස්ථාව වන විටත් එය සීඝ්‍ර දියුණුවක් ලබා තිබුනා. මා සිටින මැලේසියාවේ ජනතාවට ලොව වටා සංචාරය උදෙසා සහාය වීමට වසරකට දෙවරක්  අති දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට තරම් මේ රටේ සංචාරක වෙළදපොල පුලුල් වෙලා. ලෝකයේ බොහෝ දියුණු රටවලත් තත්වය එහෙමයි. හැම තැනම අලුතින් හෝටල් ඉදිකරනවා...ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කරනවා.

මේ කාරණයෙදි විවිධ රටවල් තම තමන්ගේ රටවල ඇති ස්වභාවික පිහිටීම්, විශ්මිත ඉදිකිරීම්, විනෝදාස්වාදය සපයන මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරලා හැකි තරම් සංචාරකයො පිරිසක් තමන්ගෙ රට වලට ගෙන්නගෙන රටේ ආදායම ඉහළ නංවා ගන්නයි උත්සාහ කරන්නෙ. මම මීළගට කියන කථාව අයිති ආසියාවෙම තවත් රටක් වන තායිලන්තයට.

ඔබ තායිලන්තයේ සංචාරය කර තියෙනවද ? තායිලන්තයේ අලි චිත්‍ර අදින, පා පන්දු සෙල්ලං කරන හැටි දැකලා සෑහෙන්න සතුටු උනාද ? ඔබ සතුටු උනා කියලා කියනවා නම් ඒ පසුපස ඇති මේ දුක්මුසු කථාව ඔබ නොදන්නා නිසා බව මට හොදටම විශ්වාසයි.


මේ සතුන්ගේ නෙත් දිහා බලන්න...ඒ බැල්ම තුල ඔවුන් විදිනා දුක් ගැහැට අපූරුවට සටහන් වෙලා තියෙනවා


ඔපීසියේ මගේ ලග ඉන්න රුසියාවෙන් ආපු සුදු නංගි මේ ලගදි කරපු තායිලන්ත සංචාරයෙන් පස්සෙ මට මෙහෙම කිව්වා...

අපෝ ඕගොල්ලන්ගෙ රටේ අලි ෆුට් බෝල් ගහන්න දන්නෙත් නෑනෙ...ඒකට බලන්නකො තායිලන්ත අලි...ඒගොල්ලො ගොඩාක් දේ දන්නවා....

ඇය ලංකාවේත් සංචාරය කරලා තියෙන තැනැත්තියක් විදියට අපේ අලීන්ගේ ක්‍රියාකාරකම් දැකලා තියෙනවා. ඒ ගැටලුවට පිළිතුරක් දෙනවා වෙනුවට මම කලේ අන්තර්ජාලය ඔස්සේ කාරණය සොයා බැලීම. එතැනදී තමයි තායිලන්ත සංචාරක කර්මාන්තයේ පැවැත්ම උදෙසා පාපන්දු සෙල්ලං කරන, චිත්‍ර අදින, සංචාරකයන් පිට මත හිදුවාගෙන එහේ මෙහේ යන මේ අසරණ අලි විදින වද වේදනා ගැන හොද අවබෝධයක් ලැබුනෙ. තායිලන්තයේ සිටින කැලෑ අලි තොග පිටින් අල්ලාගෙන සංචාරකයන් පිනවන්න පුහුණු කරන වැඩ පිළිවෙල නිසාම එරට වනගත අලි ගහණය සෑහෙන්න අඩු වෙලා.

මේ සියලු කාරණා ඉවසා සිටින අලියා මනසින් උසස් අපට වඩා ඉවසීම හුරු කර තිබෙනවා නොවේද ?


මේ වීඩියෝවෙ භාගයක්වත් වත් බලන්න මට බෑ....මගේ හදවත ඒ තරමට සංවේදියි. එහෙත් ඔබට හැකි නම් බලන්න. නොදන්නා දෙයක් ගැන දැන ගන්න. හැබැයි සංවේදී හදවත් ඇති ඇත්තො නොබලන තරමට හොදයි.


මේ තරමට මිනිසා කුරිරු උනේ ඇයි. සතෙක් උනත් ඌටත් වේදනාව දැනෙන බව නොදන්නා නිසාද? මේ ලෝකය මිනිසාට පමණක් නොව සතා සීපාවාටද අයිති බවත්....ඒ සතුනුත් නිදහස බොහෝ ඉහළින් අගය කරන බවත් මනසින් උසස් යැයි සම්මත එනමුත් තිරිසනුන්ටත් පහත් හිතක් තියෙන මේ අකාරුණික මිනිසුන්ට  අමතක වෙලාද ? 



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

පනාමුරේ ඇත් රාජා ගැන සම්පූර්ණ ලිපිය මෙතැනින්

ඇතැම් කරුණු අන්තර්ජාලයෙනි.















83 comments:

  1. අප්පේ අලි ගැන අලි කතාවක්... දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා අයියේ
    //අපෝ ඕගොල්ලන්ගෙ රටේ අලි ෆුට් බෝල් ගහන්න දන්නෙත් නෑනෙ...ඒකට බලන්නකො තායිලන්ත අලි...ඒගොල්ලො ගොඩාක් දේ දන්නවා....//// හයියෝ ඔයා කිවේ නැද්ද අපේ රටේ අලි දාන සෙල්ලම් හි හි
    ඇයි අප්පා වීඩියෝ එකේ අලියට වද දෙද්දී ඉවසගෙන ඉන්නේ මේ අලියා බිම දාලා චප්ප කරලා පාන්නේ නැතුව .. අනේ මන්ද මිනිස්සු කියන්නේ මේ ලෝකේ ඉන්න නපුරුම සත්තු ජාතිය

    ReplyDelete
    Replies
    1. මේ තරම් ලොකු ශරීරයක් තියෙද්දි මිනිස්සු නම් මේ විදියට ඉවසාවිද ? මේ සතුන් තිරිසන් උනත් මිනිසුන්ට වඩා උසස් කියලයි මට හිතෙන්නෙ...

      සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට බෑ මිනිසා ගීතයේ ඔය කියන මිනිස් විෂ ගැන කියනවා නොවැ...

      Delete
  2. අපූරුයි සිරා. අපූරු ලිපියක්. උඹ මීට කලිනුත් අලින් වෙනුවෙන් ලිපි කිහිපයක්ම පළ කළා මතකයි.

    ලංකාවේ දැන් අලි තුන්දහසකටත් අඩු ගානක්ලු ඉන්නෙ නේද ? බොහොම ළඟදි ඒකත් නැතුව යයි රටට.

    මම යෝජනා කරනවා ජාතික කොඩියෙ ඉන්න, අපේ රටේ කවදාවත් නොහිටිය සතෙක් වුන අර මෝඩ කම්මැලි සිංහයව අයින් කරලා, අපේ ජාතික වස්තුවක් වෙච්ච අලියාව ඒකට අතුලත් කළොත් හොඳයි කියලා.

    ආසියානු අලින්ගෙනුත් ශ්‍රී ලංකාවේ අලියා විශේෂයි කියලා මම අහලා තියනවා. බුද්ධිමත් භාවය අතිනුත් වැඩියිලු. ඒ තොරතුරු මෙතනින්.

    උඹට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. යකෝ, අලියා ජාතික කොඩියට දාන්න කියලා සුදු වෑන් එකෙන් වැලිගම්පිටි යන්නද හදන්නේ? ඇයි ගෙදරින් කෑවා ඇද්ද?

      Delete
    2. එක තමයි මාත් බැලුවේ ...සෙන්නා දිවි නසාගැනීමේ අලුත් ක්‍රමයක් හොයාගෙන

      Delete
    3. හෙහ් හෙහ්.. වැඩේ හිතුවට වඩා සීරියස් වගේ නේද ? ඒත් ඔතන ඉන්න ඕනා අලියා තමා, සිංහයා නෙමේ.. අපි අලියට, අලියා අපිට... ( ඕනමනම් රනිල් මහතැන් එක්ක කතා කරලා අලියට සිංහයව මාරු කර ගන්න බැරියෑ. හෙහ් හෙහ් )

      Delete
    4. ස්තුතියි සෙන්නා...මීට කලියෙන් පිලිපීනයේ සත්ව උද්‍යානයක සිරකර සිටි මාලි මුදා ගැනීමට PETA සංවිධානය ලෑස්ති කරපු වැඩ පිළිවෙලට සහාය වෙන්න ලිපියක් ලිව්වා...එයින් පසු ලියන ලිපිය මේ. අනිත් සත්තුත් බහුතරයක් දුක් විදිනවා තමයි. නමුත් ඒ අයට වඩා වැඩි කාලයක් ජීවත් වන නිසා අලියා විදින දුක වැඩියි.

      ඔය කියන අලි සංගණනයෙන් පස්සෙ රටට නියම දත්ත ඉදිරිපත් නොකර අතින් ගානක් එකතු කරලා ඉදිරිපත් කලා කියලත් කියනවා...මොනවා උනත් මේ සද්ධන්තයන් තවත් දශකයකට දෙකකට පස්සෙ නිසැකවම සත්තු වත්තෙ කූඩුවකට පමණක් සීමා වෙයි කියලත් හිතෙනවා...

      ජාතික කොඩියට සිංහයව ගන්න ඇත්තෙ නිර්භීත කම පෙන්නන්න වෙන්න ඕනෙ...නමුත් ඒ කාරිය කොරපු උගත් විශාරදයන් දැන ඉන්න නැතුව ඇති සිංහයා බුදින්නෙ ගෑණු සතා දඩයම් කොරපු යමක් බව...සිංහයා වස කම්මැලියා කියලා නොවැ කියන්නෙ...

      Delete
    5. මෙන්න සංගණනයේ තොරතුරු
      වන අලි ගහනය 5879යි, දළ ඇතුන් 122යි, පැටවුන් 1107යි

      ඒ අනුව දළ ඇතුන්ගේ ප්‍රතිශතය 2%

      Delete
  3. අලිම අලි පෝස්ටුවක්නෙ කොටස් 2කටම කඩන්ඩ පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. තවත් අලි පෝස්ටුවක් ඉදිරියට එනවා....

      Delete
  4. අලි ගැන අලි විදියට ඉගෙන ගත්තා. රසවත් විදියට ලිව්ව නිසා ඉවර වෙනකංම කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. අලි ගැන අලි විදියට ඉගෙන ගත්තා කියා කියනවා නම් මට අවංකව ඇති වෙන්නෙ අලි සතුටක්.

      Delete
  5. අලින් ගැන අලි ගොඩක් ව්ස්තර දැන ගත්තා. ස්තූතියිසිරා.

    මාත් සත්ව හිංසාවෙ මේ පැති ගැන හිතලා තිබුනෙ නෑ. අපි එවා මතුපිටින් බලලා සතුටු වෙනවා විතරයි. ඒවයෙ ඇතුලාන්තය පෙන්වා දුන්නාට තුති.
    (සතුටු වෙන්වා කිවුවෙ පෙරහර, සර්කස් ආදිය බලා සතුටු වීමයි)

    ReplyDelete
    Replies
    1. පෙරහැර ගැන ඊලග ලිපියෙන් කථා කරනවා...එයත් කියවන්න...

      Delete
  6. අපේ කැලෑ වල ඉන්න අලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හීලෑ අලින් බහුතරයත් ඒ වගේම තමයි. ලස්සනට පෙරහැරේ දක්කුවාට බරපතල හිංසන වලට ලක් වෙනවා, හීලෑ කරද්දීත්, පස්සේ වුනත්, මන්ද පෝෂණය නිසා ඇට දිරල කකුල් වෙනුවට මුක්කු වලට හිර වෙලා මැරෙන කම් දුක් විඳින හීලෑ අලි ඉන්න රටක් මේක, ඒක වුනේ තමන්ට කර ගන්න බැරි දේ භාර ගත්තු අය හිටියේ පුජ්‍ය ස්ථානයක, පැහැදිලි කරලා කියන්න ඕනි නෑ ඉතුරු ටික, ඒවටත් අමතර තවත් දේ තියෙනවා නේ. දන්නෝ දනිති තමයි.

    ReplyDelete
    Replies
    1. රාමා බොහොම ස්තූතියි අදහසට....මගේ ඊළග ලිපියෙන් ඔය කියන කාරණය ගැන මගේ අදහස් දක්වනවා...නොවරදවාම එයත් කියවන්න...

      Delete
  7. එදා එළුවාට සමබර දණ්ඩෙ යන්න පළමු වතාවෙ ඔය දේ මම ඇස් 2කෙන් දැකලා තියනවා සිරා අයියයා වගේම මමත් මම හිතන්නේ ඔය එකම සර්කස් එක තමා සර්කස් පැසිපියා වැටුනොත් ලෙලි ගියා කියලා දාගෙන කරන්නේ අර දිග රැවුල තියන එළුවෙක් නේද ඉන්නේ අපි බලපු දවසේ දඩාන් ගාලා එළුවා බිමට වැටුනා පවූ ඊට පස්සේ උනේ සිරා අයියයා කියපු ටික තමයි මම අස්සෙන් බලන් හිටියා මම ගොඩක් පොඩියි ඒ දවස් වල මම ඇඩුවා තාම මතකයි අමතක කරන්න බැරි සිදුවීමක් කවදාවත්ම

    ReplyDelete
    Replies
    1. හරියට හරි බොරලු...සර්කස් පැසිපියා තමයි...එළුවා දිග රැවුල තියෙන එකෙක් තමයි...බලහං..මේ අපි දෙන්නම දුටු දේවල්...වසර පුරාම ගම් නියම් ගම් පසු කරමින් යන ගමනෙදි මේ සතා කොච්චර ගුටි කනවා ඇත්ද...හරිම දුකයි බං හිතට...

      Delete
  8. ඇත්තටම සතුටුයි මෙහෙම දෙයක් ලියපු එක ගැන.. ඔය පෙරහැර කාල වලදී අලි ඇතුන් දහසක් දුක් විදින බව මම අහලා තියෙනවා.. උන්ව හීලෑ කරන්න ගන්න උත්සාහයන් එක්ක දැක්කම ඉතින් ඒක ඇත්තක් වෙන්න ඇති කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. පෙරහැර වලදි සිද්ධ වෙන කථාන්දරය ඊලගට ලියන්නම්...එයත් කියවන්න...

      Delete
  9. හොඳ ලිපියක් ගොඩක් වැදගත් කරනු තියෙනවා.ඉදිරියේදීත් මෙවැනි කරුණු ඔබගෙන් බලන්නට ලැබේවි යයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපියක් ලියන්න ටිකක මහන්සි වෙන්න වෙනවා බේබදු කථාවක් ලියනවාට වඩා...ඉසිඹුවක් ලද හැම විටම මෙවැනි දේ නිසැකවම ලියවේවි...

      Delete
  10. අපේ රටේ පෙරහැර සඳහා ගන්නා අලින්ට නම් ඒ තරම් දරුණු ලෙස පහරදී පුහුණු කරන බවක් අහලා. නැහැ. නමුත් බරවැඩ කරන අලින්ට නම් ගහනවා පුහුනුවේදීත් වැඩ කිරීමේදීත්. කොහොමටත් සතුන්ගේ නිදහස ගැන මිනිසා හිතන, කියන, දේ නෙවෙයි ක්‍රියාවේදී තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පෙරහැර වලදි අලින් පීඩාවට පත්වෙන ආකාර කීපයක් තියෙනවා....ඊලගට ලියන ලිපියෙන් ඒ ගැන කියන්නයි බලාපොරොත්තුව..

      Delete
    2. සිරෝ, අර බ්ලොග් හෙඩර් එකේ සිරා ඇඟිල්ල කටේ ගහගෙන ඉන්න පින්තූරේ සකලා සිරිපාල කොලුවාගේ කතාවක් මතක්වුනා. ඒත් ඉතින් ලියන්නේ කොහොමද?

      Delete
    3. ෙම් උන්නැෙහ් අන්තිම පාරට කියන්ෙන කියන්න බැරි කතා ගැන කියලා අපිව කුලප්පු කරලා ලියන්නේ කොහොමද කියලා ෙෂ්ප් ෙවන්න හදන්න ඒපා දැන් කතා ෙගාඩක් ගැන තැන තැන කියලා තිෙයනවා ලියන ඒකයි අැත්ෙත

      Delete
    4. මේ ඇනෝ අඬනවා විචාරක තුමෝ. දොළදුකක් ඇතිවෙලා කතාව අහන්න. ඔන්න ඔහේ මෙතනම ඇදලා අරින්න.

      Delete
    5. මම මගේ බොග් පාඨකයන්ට ලිපියක් ලියන්න දීලා තියෙන අවස්ථාව හරි පාවිච්චි කරලා ඔය කථාව කියන්න විචාරක තුමා...මට බැරියැ 50+ වගේ එකකුත් එක්ක මාතෘකාව යොදන්න...

      Delete
  11. අලි ගැන අලි දුකක දැනෙනවා සිරා . ඔය පනාමුරේ ඇතා ගේ කතාව මම පොඩි කාලේ ඉඳන්ම අහන කතාවක්, එක අහන හැම සැරේම පලවෙනි සැරේට අහනවා වාගේම දුකක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...ඒ වෙලාවෙ එතන හිටියා නම් කොච්චර කම්පනයක් දැනෙනවද ? මම වතාවක් වීඩියෝ එකක් දැක්කා සර්කස් අලියෙක් කුලප්පු වෙලා ඒ ඇදුම පිටින්ම නගරයට ගිහිල්ලා එතැන කලබල කරද්දි පොලිසියෙන් වට කරලා වෙඩි තියලා මරලා දාන දර්ශනයක්...එදා නම් මමත් ඇඩුවා...

      Delete
  12. ඇත්තටම සිරෝ කදුළු ආව ඇස් දෙකට...

    මගේ ජීවිතේ අපේ ගෙවල් වල සත්තු ඇති කරල තියෙනව.... ලේන්නු, කුරුල්ලො, බල්ලො, පූසො... ඒ එක සතෙක්වත් කූඩුවක් දැකලවත් නෑ... කොටින්ම කියනවනම් උන් ලංකාවෙ නොගියපු තැනකුත් නෑ... උන් අපි යන්නෙ කොහේද උනුත් එහේ යනව.... ගිහිල්ල වාහනේ හිර කරල තියන්නෙ නෑ.... එලියට දානව... සමහර අවස්තා වල අපේ ගමන් බිමන් වලට යන කාල වේලාව වැඩි වෙනව.. මොකද උන් ටික එකතු කර ගන්න ඕනනෙ...


    මෙන්න උදාහරන

    ReplyDelete
    Replies
    1. බොලාගෙ ක්‍රියා කලාපය ගැන මට බොහොම සතුටුයි ගාලු කොලුවො..ඇත්තටම අපේ ගෙදරත් කොටු කරලා හදන කිසිම සතෙක් නෑ...නිදහසේ හැදෙන බළල් නාම්බො දෙන්නෙක් විතරයි ඉන්නෙ....ඒ අය තමන්ට කැමති තැනක වැටිලා නිදියනවා...කාගෙන්වත් හිරිහැරයක් නෑ.

      Delete
  13. මම නම් බලාගෙන ඉන්න ආස ම සත්තු ජාතියක් තමා අලි කියන්නෙ... උන් කරන වැඩ දිහා ඕනෙ තරම් බලන් ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට පැටවු.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි...ඒකනෙ පැරැන්නො කිව්වෙ අලි බැලිල්ලත් බලි බැලිල්ලත් එපා වෙන්නෙ නෑ කියලා....ස්වභාවික පරිසරයෙ ඉන්නකොට අලි දර්ශනය හරිම චමත්කාරයි...අම්මා එක්ක පුතා හුරතල් වෙන හැටි...පෙම් ජෝඩු පෙම් කෙළින හැටි...කොච්චර ලස්සනද දර්ශනද.....

      Delete
  14. පනාමුරේ ඇත් රාජා ගැන ලිව්වේ අපේ චන්දනද? මට මතක ඒ වගේ.

    ඔය සිරා කිව්ව පැත්තට අමතරව අලින්ව බේරාගන්න ගිහිල්ල දිවිපුදපු වන ජීවී නිළධාරීන් ගැන අපේ සහෝදර බ්ලොග් රචක ගාමිණී සමරකෝන් ලියපු "Lost Trails In Yala East පොතේ සඳහන් වෙනවා. ගුණවර්ධන කියන වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරපු පුද්ගලයා ළිඳකට වැ‍ටුනු අලියව බේරගන්න අනිත් අයත් එක්ක පැය ගානක් තිස්සේ මහන්සි වෙලා රෑම්ප් එකක් හදනවා. අන්තිමේදි රෑම්ප් එක දිගේ ගොඩට එන අලියා ඉස්සෙල්ලම කරන්නේ ගුණවර්ධන පස්සෙන් පන්නගෙන ගිහින් පාගලා මරලා දාන එක.

    අලියෙක් මිනිහෙක්ව මරාදාන ආකාර කීපයක් ඒ පොතේම සඳහන් වෙනවා. මම ඒවා ලැයිස්තුව මෙතන ලියන්නේ නැත්තේ උඹලා මාව අලි විරෝධියෙක් හැටියට ගනං ගන්න පුලුවන් නිසයි. එහෙමත් වෙනන් පුලුවන්නේ. :D

    ReplyDelete
    Replies
    1. අලි විරෝධියෙක් වුනොත් අපි නෙමේ රනිල් ගොයියට තමයි තද වෙන්නෙ... මමත් දැක්කා වතාවක් ඔය වගේ වල් අලියෙක් වගා ලිදක වැටිලා ඉන්න වෙලාවක ඒ සතා ගැන වනජීවි එකට එහෙම කියලා බේරාගන්න මැදිහත් වෙච්ච පුද්ගලයා පස්සෙන් ඒ අලියා ගොඩ ඇවිල්ලා එලවගෙන ගිහිල්ලා පාගන දර්ශනයක්...වයසක කෙනෙක්...

      අලියාගෙ වාස භවන ආක්‍රමණය කලාට පස්සෙ ඉතිං අලියට දොස් කියලා වැඩක් නෑ නොවැ ආයුබොවන්...

      Delete
    2. @Henry Blogwalker

      අලිගාල් ගැන මං ලිව්ව ලිපියක ඒ ගැනත් තොරතුරු ටිකක් තිබුනා තමයි....

      Delete
  15. // නළල මැදට වැදුනු එකම එක වෙඩි පහරකින් තමා හා තම වරිගයේ නිදහස උදෙසා සතියකටත් වඩා කාලයක් එක දිගට දිවි හිමියෙන් තනිව සටන් කොට ලාංකීය ජන සමාජය තුල වීරත්වයට පත් මේ පනාමුරේ ඇත් රාජා වෙඩි කෑ පසුව එහි සිටි සාමාන්‍ය ජනතාව කදුලු සැලූ බැව්ද ප්‍රකටය.// :(

    ඔය වීඩියෝ එක මට නම් කීයටවත් බලන්න බෑ..

    එතකොට අර දෙහිවල සත්තු වත්තෙ ඉන්න අලිත් පුහුණු කරලා තියෙන්නෙ මේ වගේද..? "ආයුබෝවන්" කියන බෝඩ් එකත් එල්ලගෙන අලි ටික ඇවිල්ලා කරන සෙල්ලම් දැක්කම මට නම් දැනුනේ ඇත්තටම දුකක්...සතුටක් නෙවෙයි....උන් පව් කියලාමයි මට හිතුණේ.

    peta එකේ මාලිව බේරගන්න සයින් කරාට පස්සේ දැන් ඒකෙන් නිතරම වගේ මේල් එනවා...එයාලා ගොඩක් හොඳ දේවල් තමයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. PETA තමයි සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරවව කටයුතු කරන විශාලම සංවිධානය. ඒ සංදර්ශනයක් අපිට රසවත් වෙන්නෙ අපි එය නරඹන්නෙ ඉතාම කළාතුරකින් නිසයි. නමුත් මිනිසා තරම් දියුණු පරිකල්පන ශක්තියක් නැති අලියාට තමන්ගෙ ස්වභාවික පරිසරයෙන් මිදිලා...තමන්ගෙ ජීවන පුරුදු වලින් මිදිලා අවසානයක් පෙනෙන්නෙ නැති අවිනිශ්චිත කාලයක් මේ රැගුම් කරද්දි ඒ සතාට සිදුවන අසාධාරණයේ තරම පේනවා නේද...මොකද අලියා කියන්නෙ බොහොම සාමූහිකව ජීවත් වන සතුන් වර්ගයක්...විශේෂයෙන් ගැහැණු සතුන් තමන්ගෙ රැළ හැරදා කිසිම දවසක ඉවතට යන්නෙ නෑලු....

      Delete
  16. බොහෝම වටිනා රසවත් ලිපියක් සිරා කොළුවෝ. අද තමයි අලියගේ ගෑණු සතාගේ නම ඉගෙන ගත්තේ. මමත් කැමතිම සත්වයෙක්. මලේ මම හරියට තාම දන්නේ නෑ ඇතයි අලියයි අතර වෙනස. දළ ඇති අලියා ඇතා වෙනවද? කෙසේ වෙතත් උඹට ජය!! අද තමයි පෝස්ටු ඔක්කොම බලන්නේ. තව ගොඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇතා සහ අලියා කියන්නෙ වර්ග දෙකක්...ඇතා පොඩි කාලෙ ඉදලම චූටියට දළ පිහිටලා තියෙනවා...ලංකාවෙ දළ තියෙන්නෙ පිරිමි සතුන්ට විතරයි...එහෙත් අප්‍රිකාවෙ නම් කාන්තා පිරිමි දෙපාර්ශවයටම දළ පිහිටනවා...අප්‍රිකානු දළ නැති අලින්ට සාපේක්ෂව ඇතුන් සංඛ්‍යාව ඉහළයි...එය ලංකාවෙ 2% පමණ වෙනවා කියලයි අලුත්ම සංගණන තොරතුරු වලින් පේන්නෙ.

      Delete
  17. ඕන්..ඩැයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ..සිරාගේ මූණ හොඳට පුරුදුයි.මමත් ගම්පහ අවුරුදු 3 ස්ටුඩියෝ එකක වැඩ කලා.....සෑහෙන පෝස්ට් ටිකක් බැලුවා.ලියවිල්ල මරු...

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඩැයිවර් කොලුවො...

      මමත් දන්න එකෙක් ඉන්නවා ස්ටූඩියෝ එකක එච්චර කාලයක් වැඩ කොරපු...ඒ හාදයා අපේ බෑන්ඩ් එකෙත් හිටියා...

      Delete
  18. අලියා අලී පව්. වීඩියෝවනම් බලන්ට හිතුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අලියා පව් නේන්නං...ඒ හින්දනෙ ඒ අහිංසකයා ගැන තව ලිපියක් ලියන්න මට හිතෙන්නෙ...නගාටත් සංවේදී හිතක් වගෙයි තියෙන්නෙ...

      Delete
  19. දන්නවද අලිය වැඩියෙන්ම අඩන්නෙ මොන වෙලාවටද කියල..අලියගේ හුස්ම ඉවර වෙන්න එනකොට අලියගෙ කන්දෙක පාත් වෙනවලු.එතකොටලු අලිය දකින්නෙ එයාගෙ ඇගේ ප්‍රමාණය.ඒ වෙලාවට කියනවනෙ අලිය වැඩිපුරම අඩන්නෙ..ඇත්තද කියන්න හරියටම දන්නේ නැහැ සිරා අයියෙ..මටත් අපේ පැත්තේ ඉන්න සීය කෙනෙක් තමයි කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. ඒ කථාව නම් මම අහලා තිබුනෙ නෑ මලයො...නමුත් මටත් හිතෙන දේ තමයි අලියා තමන්ගෙ තරම සහ ප්‍රබලත්වය හරියට වටහාගෙන නෑ කියන කාරණේ...එහෙම දැනුවත් භාවයක් තිබුනා නම් දෙපා සතාට යටත් වෙයිද ?

      Delete
  20. මාත් අලි ප්‍රේමියෙක් මී..

    මගේ ළඟ ඩිස්කවරි වීඩියෝ කීපයක්ම තියනවා අලි ගැන. ඒවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. මැමත් කෙනෙක් ගේ සම්පුර්ණ සිරුරක් අයිස් යට තිබිල හමු වුනු වගක් කොහේ හෝ කියෙව්වා වාගේ මතකයි..

    ලංකාවේ දඩ කෙලි කියන පොතේ තියනවා සුද්දෝ සතුන් (අලිත් ඇතුළුව) වෙඩි තියපු හැටි. හැරී ස්ටෝරි කියල සුද්දෙක් 1906 දි ලියල තියන්නේ. සිරා සමහර විට කියවලත් ඇති. හරිම දුක්බර සිද්ධි තියන්නේ ඒවායේ..

    හොඳ ලිපියක් සිරා. ඉදිරි කොටස බලාපොරොත්තුවෙන්....

    ReplyDelete
    Replies
    1. මම ඉතින් නොදන්නවායැ බොලා ගැන. අලියා කියන්නෙ හැබෑට කොච්චර වෙලා බලාන හිටියත් ඇතිවෙන්නෙ නැති සතෙක්...දන්නවද...අලි ලිංගිකව එකතු වෙද්දි ඒ දිහා කවුරු හරි කෙනෙක් බලාන ඉන්නවා දැක්කොත් හරියට කිපෙනවාලු....පස්සෙන් පන්නනවලු...අහු උනොත් බඩු ෂුවර්ලු...

      ඔය කියන පොත මම කියවලා නෑ...දඩ කෙළි කිව්වම ඉතිං...කියවන්න හිතෙන්නෙත් නැති පොතක්...

      Delete
  21. පළමුවර සිරාගේ කාමරයට තට්ටුවක් දමා පැමිණ මෙය ලියමි

    අලියා යන පරිණාමයෙන් ඉහළ සත්වයාගේ ආදි පූර්වජයා ඇතා ඉතා ඈත යුගයක සිට මානවයා හා ගැටුණි. මිනිසා පරිසරය සමග පැවති අරගලයේ ප්රවතිඵලයක් ලෙස සියලු සතුන්ට සේම ඇතාටද මිනිසා නැමති දේහ ප්ර.මාණයෙන් කුඩා වූත් පරිකල්පනයෙන් විශාල වුත් සත්වයාට යටත් විමට සිදු විය. අපට මුලින්ම මෙම ග්රිහණය හඳුනාගත හැක්කේ මැමත් නම් ඇත් විශේෂය පෘථුවියේ අධිකතර ශීත යුගයේ සිටි අවධියේය. පරිසර විවිධත්වයට ඉඩදි ඔවුනට අද ලොවින් බැහැර විමට සිදුව ඇත.

    මිනිසාත් හස්ථිනූත් ගැටුණු අවස්ථා වල ක්ෂේත්ර වලින් හමුවන සාධක අනුව අප එලිෆාස් මැක්සිමස් ලෙස මෙම හස්ථින් හඳුන්වමු. කෙසේ වෙතත් පැලියෝලිතික මුල් අවධියේ හැර මිනිසා තාක්ෂණය දියුණු කරගත් පසු මෙම සද්ධන්තයින්ට මිනිසා වෙත යටත් විමට සිදු විය

    ආහාර ලෙස
    පරිවහන මාධ්ය ක් ලෙස
    යුධ කටයුතු සඳහා
    තත්වය හැඟවිමට
    උත්සව සඳහා

    අද දකින්නේ මේ සියල්ලේ නූතන පරාවර්තයය........

    අගනා ලිපියකි. නොදන්නා කරුණු රැසක් දැනගතිමි. දන්නා තතු අලුත් කර ගතිමි...

    අවසානයේ මෙයද එක් කරමි.
    අලියාගේ තරම අලියා දනි නම් මිනිසාගේ භූමිකාව වෙනස් වනු ඇත....

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගනිමි.

      නගාගේ හරබර කමෙන්ටුවට බොහොම තුති...ඔබේ විෂය ක්ෂේත්‍රයට අදාළවත් යම් පමණක කරුණු දැක්වීමක් මම දැක්කා...එය තමයි වැදගත්ම දේ.

      අලියා තමන්ගෙ තරම දන්නෙ නෑ කියලයි මගෙත් අදහස...

      Delete
  22. "ඉදිරියට නෙරා එන උඩු ඇන්දේ රදනක දත් දෙපලට මිනිස් සමාජය දළ නම් නමක් පට බදියි."

    මේක රදනක නෙමේ, කෘන්තක ලෙස නිවැරදි විය යුතුයි.

    ලංකාවේ අලින්ගෙ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නෙ නෑ. දැන් කටු දම්වැල් භාවිතයත් ඇවිල්ල. ගොඩක් අලින්ගෙ ශාරීරිකව දුර්වලකම් දකින්න නැති වුණත් මානසික රෝගී තත්ත්වයන් නම් දකින්න ලැබෙනවා. හොඳම උදාහරණය තමයි කොළඹ ගංගාරමයේ ඉන්න "ගංගා" නම් ගැහැණු ඇත් පැටවා.

    සාමාන්‍යයෙන් කැලේ ඉන්න අලියෙක්ගෙ අවසන් දත් යුගලත් ඉවත් වුණාවට පස්සෙ කෑමට ගන්නෙ ඉතාමත් මෘදු තෘණ වර්ග විතරයි. ඒත් හීලෑ අලියෙක් හෝ ඇතෙක්ගේ අවසන් දත් ටිකත් ඉවත් වුණාට පස්සෙත් කන්න දෙන්නෙ කොස් කොළ, පොල් අතු, කිතුල් කොට වගේ ඝන ආහාර වර්ගම තමයි. මේ නිසා ඔවුන්ගේ මරණය තවත් ඉක්මන් වෙන එකයි වෙන්නෙ.

    මම ඉගෙන ගත්ත විද්‍යා උපාධියේ සත්ව විද්‍යාවට ඉගෙන ගත්ත කොටස් කිහිපයක් තමයි ඔය කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා වැරැද්ද පෙන්වා දුන්නාට...මම එය නිවැරදි කලා. ලංකාවෙ අලි විදින කටුක අත්දැකීම් ගැන යම් තරමකට ඊලග ලිපියෙන් සාකච්ඡා කරන්නයි මගේ අපේක්ෂාව...ඔබ ලබාගත් දැනුම කමෙන්ටුවක් ලෙස හෝ මේ විදියට එකතු කරන එක බොහොම වටිනවා...

      Delete
  23. ස්තූතියි.. ඔන්න ලිපිය කියවලා දැනුවත් භාවය වැඩි කරගත්තා හොඳේ..

    ඇත්තටම අලින්ට අත් වෙලා තියෙන ඉරණම ගැන හුඟක් කණගා‍ටුයි. වීඩියොව බලන්න ගත්තත් හිත හදාගෙන බලන්න බැරි නිසා බැලුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පෙරහැරට අදාළ කාරණා තවම ලිව්වෙ නෑ නගෝ...ඒ කොටස ඊලග ලිපියෙන් ආවරණය වේවි. එයත් කියවා බලන්න..

      Delete
  24. මම කොහොමත් කැලෑ කොලේට හැදිච්චි මනුස්සයා වෙච්චි ඔය සත්තුන්ට හරිම මනාපයි. කොහොමත් සතුන් අයිති කැලේට. උන්ගේ නිදහස තියෙන්නේ එතන.

    ReplyDelete
    Replies
    1. බොලාගෙ කලාපෙ මේ සතුන් නිතර ගැවසෙන නිසා පොඩි කාලෙ ඉදලම දැක ඇතැයි සිතමි. කැලේක සතෙක් නිදහසේ ගත කරන ජීවිතය දිහා බලාන හිටියම අපිට දැනෙන සතුට...සත්තු වත්තෙ කූඩුවක ඉන්න සතෙක් දැක්කම ඇති වෙනවද ?

      Delete
  25. ස්ිර්ා
    සිරා අලි ලවර් කෙනෙක් නොවැ¡

    ReplyDelete
    Replies
    1. අලි පමණක් නොවෙයි..අසරණ සතුන් හැමකෙනෙකුටම ආදරෙයි..

      Delete
  26. එංගලන්තේ වේල්ස්වල තියෙනවා ස්කන්ධ කෝවිල් කියලා තවත් බයිලාවක් (මට හිතෙන්නේ එහෙමයි ). ලංකාවේ සිංහල බුවෙක් තමයි ඕක පටන් අරන් තියෙන්නේ. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා දීපු අලියෙක් ඉන්නවා ඔතන. දුකේ බැහැ දැක්කාම. කොටුවෙලා ඉන්නවා බිත්ති හතරක. Heating එහෙම තියෙනවාලු. අනේ මන්දා බන්.

    පන්සල්වලට, කෝවිල්වලට අලි බලාගන්න පුළුවන්. අනාථ දරුවෙකුට නවාතැනක් දෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ටිකක් හොයලා බලන්න ඕනෙ...PETA සංවිධානයට දැනුම් දුන්නා නම්...ඒ සතා ඉන්නා දුක්ඛිත තත්වයෙන් මුදවා ගැනීමට හැකි වේවි. ඔබ සතුව වැඩිදුර තොරතුරු තිබෙනවා නම් එවන්න...

      Delete
    2. සිරා..... skandha valeහරි skandha vale elephant කියලා හරි ගහපන්. විස්තර තියෙයි.

      මට කෙනෙක් කිව්වා Gods in chains by Rhea Ghosh කියලා පොතක් අලි ගැන ලියවුනු එකක්ලු.

      Delete
  27. මම හැම සතෙක්ට කැමතියි මොකද ඔවුන්ගේ නිදහස තියෙන්න ඕන මිනිහට වගේම. බොහොම හොද ලිපියක් අනිත් එකත් එනකං ඉන්නවා සිරා..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි...සතුන් අපිට වඩා අසරණයි...ඒගොල්ලන්ගෙ හැගීම් වචන වලින් කියන්න බැරි නිසාත්...ඒ අය වෙනුවෙන් පෙනී ඉන්න කවුරුවත් නැති නිසාත්...මොළය අපේ තරම් දියුණු නැති නිසාත්....එහෙම අසරණ සතෙක් මොළය දියුණු මිනිසුන් විසින් තවත් අසරණ කරනවා කිව්වම කොච්චර පවුද

      Delete
  28. දැන් නම් අලි නඩත්තු කරන්න හරි අමාරුයිලු බන්,,,ඒත් දේශපාලකයෝ පින්නවල අලි උන්ගේ වගේ අරගෙන පන්සල්,දේවාල වලට පූජා කරලා,,ඒ සත්තු ඉන්නවලු කන්න බොන්න නැතුව,දම්වැළ් වලින් බැදගෙන,,

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ඉහළම තාක්ෂණය තියෙන රටවලත් සත්ව උද්‍යානයක් තුල අලියෙකුට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිය නොහැකි පසුබිමක් තුල...කොහොමද බං අඩුම තරමේ ඒ සතාගෙ බඩ පිරෙන්න කෑම ටික වත් ලබා දෙන්නෙ...සුලු පටු කෑමක්ද කන්නෙ...එතකොට ව්‍යායාම...ඉතිං සතා අකාලයේ මියැදෙනවා..

      Delete
  29. උඹ විශ්වාස කරපන් සිරා මම සර්කස් බලල තියෙන්නෙ එක පාරයි.ඒ ගිය වෙලේ අලි සංදර්ශනයක් වෙලාවෙ තවත් බලන්න බෑ සත්තුන්ට ගහනව ..කියල හොඳටම අඬල අතරමගදි අම්මත් එක්ක ආපසු ඇවිල්ල තියෙනව. එදායින් පස්සෙ තාමත් සර්කස් බල්ලත් නෑ බල්න්නෙ ත් නෑ..! මගෙ ලමයින්ට පෙන්නනෙත් නෑ..!

    එකපාරක් සත්තු වත්ත බලන්න ගිහින්..අර චූටි බංකුවක අලින්ව වාඩි කරනව බලල ..මිනිස්සු මහ හඬින් අත්පුඩි ගහනව...අනේ මන්ද මටනම් මෝඩ චූන් එකක් වගේ පෙනුනෙ. මම බලන් හිටියෙ නෑ බැන බැන ගියා පැත්තකට.
    අනික අලින්ව අරන් යන පෙරහරවල් පවා මම ප්‍රතික්ෂේප කරනව...දලදා පෙරහර උනත් එහෙම තමා..! ඊට වඩා යමක් නොකියමි.

    //ගමරාළ අලි වලිගයේ එල්ලී දිව්‍යලෝකේ ගිය කථාව පුංචි සන්ධියේ නොකියවූ ඇත්තෙකු සිටිය නොහැකි වන තරමට ජනප්‍රිය එකකි// ඇත්තමයි කෝ බං ඒ කතා දැන්...මටත් මතක නෑ..?

    ReplyDelete
    Replies
    1. මමත් එවැනිම තමයි...සත්තු වත්තට ගියේ දෙපාරයි...මුලින්ම ගියේ පුංචි එකා කාලෙ...ඒ කාලෙත් මට සතුන්ගේ දුක ගැන වැටහීමක් තිබුනා...අන්තිමට ගියේ දැනට වසර දෙකකට විතර කලියෙන්...ඒ ගමනෙන් පස්සෙ මම හිතා ගත්තා නැවත කවදාවත් ඒ පැත්ත පළාතක පස් පාගන්නෙ නෑ කියලා.......සමහරු සතුන්ගෙ මානසික මට්ටම බොහොම පිරිහිලා....ඒ ගැන සලකා බලන්න කවුරුවත් නෑ....මම ගිය දවසෙ කටේ විශාල ගෙඩියක් තිබුන ඕලු මුවෙක් හිටියා...මම ඒ සතා ගැනත් බලධාරීන් දැනුවත් කලා....එතන සේවයට ඉන්න බහුතරයකට සතුන් ගැන හැගීමක් නෑ...

      දරුවන්ට කියා දෙන්නත් එක්ක ආයෙමත් ඒ කථා හොයාගෙන කියෙව්වොත් නරකද ?

      Delete
  30. http://www.youtube.com/watch?v=wCDL1a46bv8 :( :( dawasata ahinsaka saththu kee denek marenawada.. zoo keeperslath inne foreignerslagen salli aran saththunta kema denna epa kiyala board gahala thiyeddi kema denna. saththu ekka ganu denu karaddi adaren karunawen anukampawen weda karanna oni ali gena sathutu wenna thiyena ekama de udawalawa ath athuru sewana witharai. pinnawala karana de theruma mokakda. puluwannam dr. vijitha pererage wana ali samaga dasa wasarak kiyawanna.. mama budhdhagame eth mama anumatha karanne peraherawal wala ali athun geniyana eka ahinsaka sathek marenakan ehema hira karala thiyaganna eka weradi. mehe ali maraddi ape rate patiyekta thiyena thena balanna http://nationalzoo.si.edu/animals/asianelephants/meetelephants.cfm animal planet eke peyaka program ekak giya kandulawa upaddanna awurudu ganak try karapu hati.. apita mokak hari karanna bari weida me wena dewal nawaththanna podiyata patan gaththoth.. me post eka dakinakan man hithuwe nehe blog loke mehema saththu gena hithana ayath innawa athi kiyala

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මිත්‍රයා...බ්ලොග් ලියන්නෙත් පපුවෙ තෙතමනය සහිත මිනිසුන්ම තමයි. මම දැඩිව සතුනට ආදරය කරන ඒ අයට හැකි විදියට රැකවරණය දීපු කෙනෙක් ලංකාවෙ ඉද්දි...මෙහෙ උනත් වතුර ටිකක් බොන්න නැති බල්ලෙක් දැක්කත් ඒ අයට ඒ දේවල් සම්පාදනය කරලා දෙන්න පසුබට වෙන්නෙ නෑ...මිනිස්සුන්ට වඩා සෑහෙන අසරණ කොටසක් සතුන් කියන්නෙ...ඒ අයට සන්නිවේදනය බෑ...තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න බෑ...ඒ නිසා මිනිස්සු දැන ගන්න ඕනෙ අසරණ සතුන්ට හැකි තරම් පිහිට වෙන්න.

      සත්තු වත්ත ගැන නම් කියලා වැඩක් නෑ...පඩියට මිසක සතුනට ආදරේ මිනිස්සු එතන ඉන්නෙ හරිම අඩුවෙන්...එතනට ගිය අන්තිම වතාවෙදි මගේ හිතට දැනුන දුක මට තවමත් මතකයි....මගේ දිවි ඇතිතුරාවට නැවතත් සත්තු වත්තට නම් යන්නෙ නෑ...මගේ දරුවෙක් වත් එක්කගෙන යන්නෙ නෑ කියලයි හිතාන ඉන්නෙ...ඒ පොත වෙලාවක හොයාගෙන කියවන්නම්...මේ අලි කථා බහ සමාජයේ කතිකාවක් බවට පත්වුනොත් යහපත් දෙයක් නිසැකවම වේවි.

      Delete
    2. mekath balanna https://www.facebook.com/pages/Animal-SOS-Sri-Lanka/165576613502654?sk=photos_albums lajjai ape minissunge thiyena karunawa gena.. kohomawunath dan kale jeewath wena godak minissunta wada saththunge kelehi gunaya thiyenawa.. puluwannam ekata funds hoyala denna ape kattiya wage sakkuwata daganne nehe kiyala e saththu jeewath wena widiyen penawa kotinma ape lama niwasayak lamainta wada saththunta adaren salakanawa.. :|

      Delete
  31. අලියා ගැන නියම පෝස්ටුවක්...
    උන්නත් දාහයි... මලත් දාහයි කියලා කියන්නෙත් අලින්ටම නෙහ්..

    මෙන්න මේ ගාථාවත් මතක් උනා ඔය පෝස්ටුව කියවනකොට...

    අහං නාගෝ’ව සංගාමේ – චාපාතෝ පතිතං සරං
    අතිවාක්‍යං තිතික්ඛිස්සං – දුස්සීලෝ හි බහුජ්ජනෝ

    ReplyDelete
    Replies
    1. ගාථාවෙ තේරුම මෙහෙමයි...
      යුධ බිමට බැසගත්ත හස්ති රාජයෙකුට, තමන්ට වදින ඊතල පහරවල් හොඳට ඉවසගෙන ඉන්ට පුළුවනි. මමත් අන්න ඒ වගේ කෙනෙක්. අනුන්ගෙන් ලැබෙන කර්කශ වචන, මං ඉවසනවා. මේ ලෝකෙ බොහෝ දෙනෙක් දුස්සීලයි.
      (කුරු රටේදී මාගන්දිය බැමිණිය අරභයා වදාළ ගාථාවකි )

      ගොඩාක් දුකයි බන්...සමහර අලි කොටන් අදින වීඩියෝ මම දැකලා තියෙනවා...එරෙන මඩේ මොන දුකක්ද විදින්නෙ....

      Delete
  32. අලියා කියන්නේ මමත් ආසම සතෙක් , හැබැයි වැඩියෙන් කැමති අප්‍රිකන් අලින්ට උන් හරි ලස්සනයි අනිත් අලින්ට වඩා ..

    සර්කස් පැසිපියා එකේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉන්නේ අපේ පැත්තේ, එහෙම එකෙක්ට වෙච්ච රසවත් කතාවක් තියෙනවා පස්සේ පුළුවන් උනොත් ලියලා දාන්නම්..

    ReplyDelete
    Replies
    1. උඹේ රුචිය එහෙම උනාට සත්ව වේදීන්ගේ අදහස වගේම මගේ අදහසත් ආසියානු අලියා තමයි ලස්සන අලියා...අප්‍රිකානු අලින්ගෙ කැත බලහංකො...කන් දෙක නිකං මුක්කං වෙලා...

      ඔය මතක් වෙච්ච රස කථාවත් කියමුකො එහෙනං...

      Delete
  33. ඊයේ බැලුවත් හදිස්සි වැඩකට ගිය නිසා කොමෙන්ට් කොරන්න බැරිවුනා. සිරා අයිය අතින් ලියවූ තවත් වටිනා ලිපියක් කියලයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊලග ලිපියත් කියවන්න මලේ...මේ සතුන් දුක් විදින තැන් වලින් බේරාගන්න අපි වැනි බලය අඩු සිවිල් පුද්ගලයන්ට කරන්න පුලුවන් මෙවැනි දෙයක් ලියන එක විතරයි කියලයි මට හිතෙන්නෙ...

      Delete
  34. පනාමුරේ අලියා ගැන මං අහල තියෙන්නෙ ඌ ට පුලුවන් කම තිබ්බලු තනියම ගාල් කඩගෙන යන්න ඒත් ඌ අනිත් උන් වෙනුවෙන් සටන් කල නිසා මරුම් කෑව කියල

    අනික තමා ලංකාවෙ වන අලි ඔයිට වඩ දුක් විදිනව හක්ක පටාස් කාල් කට කුඩුවෙලා

    අලි වෙනුවෙන් ඉවසල ඉවසල උන්ව මරන්නෙ කරන්න දෙයක් නැති කමට කියල අලි කරදර තියන පැති වල කට්ටිය කිව්වට අලි මිනිස්සුන්ට ගහන එක සාධාරණයි වගෙ මොකද අපි උන්ට දෙන වද ඉවසන එකෙත් සීමාවක් උන්ටත් තියෙන නිසා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සත්වවේදීන් කියන්නෙ ගැහැණු අලියෙක් වෙනුවට මේ කණ්ඩායමේ නායකත්වය පිරිමි අලියෙකු වන රාජා දරන්න ඇති කියලා ඒ අය අනුමාන කරනවා කියලා...හක්ක පටස් වලින් විදින දුක නම් කියලා වැඩක් නෑ...සමහර සත්තු දවස් දෙක තුන ගිහිල්ලා මැරෙන්නෙ..කොච්චර වේදනාවක්ද....මේ වගේ වැඩ කරන උන්ට යන්න අපායක් තියේවිද ....

      තමන්ගෙ වගා කොච්චර පාලු වුනත්...තමන්ගෙ ගෙවල් කැඩුවත්...නුවර කලාවියෙ මිනිස්සු අලියෙක් කරදරයකට පත්වුනොත් අහක බලාගෙන ඉන්නෙ නෑ ඒකව බේරාගන්න හැකි විදියකට යමක් කරනවා මිස...අන්න ඒකයි අපේ මිනිස්සුන්ගෙ තියන මනුස්සකම කියන්නෙ...පොඩි මිනිහා ලග නරක දේ අඩුයි...රට පාලනය කරන උන්ගේ සිට ලොකු මිනිස්සු ලග තමයි නරක වැඩිපුර තියෙන්නෙ...

      Delete
  35. පුලුවන්නම් අර ගන්ගාරාමෙ ඉන්න අහින්සක සතා ගැනත් ඔය සන්විදානෙට කියන්න. ඒ සතා පුදුම දුකක් විදිනව එතන.

    ReplyDelete
    Replies
    1. ඒ විදින දුකත් කෙටියෙන් කියන්න ඇනෝ මිත්‍රයා...මම ඒ ගැන දැනුවත් නෑ....හැකි දෙයක් කරමු...ඊට කලියෙන් හිටිය ඇතා අකුණක් ගහලා මලේ ඇත්ගොව්වා ගොරවන අකුණු ගහන වෙලාවක දම්වැල් වලින් ඒ සතා එළිපහලියෙ ගහක බැදලා ඉදලයි...

      Delete
    2. මම දන්න තරමට කලින් එකා මරුනෙ ලෙඩවෙලා. දෑන් ඉන්න සතාව හෙල්ලෙන්නවත් බැරිවෙන්න කකුල්දෙක දෙපැත්තට ඇදල ගෑට ගහන හැටි දෑකල ඒ ගැන කතාකරන්න ගිහින් ඔතන හිටපු සිවුරක් ඇඳගත්ත තරුන පුද්ගලයෙක් මටයි මගෙ යාලුවටයි නුසුදුසු විදිහට කතාකලා. පුද්ගලයට නෑතත් බුද්ද චීවරයට ගෞරවයක් තියෙන නිසා අපි කරබාගෙන ආව. ඔහු කලදේ ඔහු ගෙනයයි. අපි කලදේ අපි ගෙනියයි කියල හිතල අපි යන්න ගියා. මම හිටියෙ විදේශිකයො දෙන්නෙකුත් එක්ක. ඒ අය මේ සතා ගෑටගහපු හටි බලන් ඉඳල බොහොම කනගාටුවුනා. මම දෑක්ක තවත් විදේශ්කයො මූනු නරක් කරගෙන බලන් ඉන්නව. මම ආයෙත් කවදාවත් පන්සලක්ය කියන ඔතනටනම් යන්නෙ නෑ කියල හිතාගත්ත.

      Delete
    3. අකුණු ගහල මැරුණෙ කෙරමිණිය පන්සලේ හිටපු සෙල්ල රාජා ඇතයි, කෝට්ටේ රජමහා විහාරයට අයත්ව හිටපු ලංකා අලියයි.

      ගංගාරාමෙ හිටපු නවම් රාජා මැරෙන්න මාසෙකට විතර කලින් මට ඇතාගෙ පින්තූර වගයක් ගන්න ලැබුණ, අහම්බෙන් පන්සලට ගිය වෙලාවක. කිසිම ලෙඩ ගතියක් නම් පේන්න තිබුණෙ නෑ. ඇතා එක පාරටම මැරුණු බවක් තමයි කියන්නෙ. ඇතා මැරිල පහුවදාම වළ දැම්මා. කිසිම පශ්චාත් මරණ පරීක්ෂණයක්වත් කරන්නෙ නැතුව. කිසිම ලෙඩක් නොතිබිච්ච සතෙක් එක පාරට මැරුණෙ හදිසි රෝගාබාධයක් නිසාද, නැත්නම් දළ ගන්න තිබිච්ච උවමනාවටද කියන සැකය නම් තියෙනවා. ඒත් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකිරිච්ච නිසා කිසිම නිගමනයකට එන්න හැකියාවක් නෑ.

      නවම් රාජාත් එක්කම ලංකාවට ආපු නැදුන්ගමුවේ රාජා නම් හොඳ තත්ත්වයෙන් ඉන්නවා. දෙන්නගෙම වයස්වල පොඩි පරතරයක් තියෙන්නෙ.

      ගංගා ගැන නම් කතා කරල වැඩක් නෑ. අනිවාර්යයෙන්ම මේ ගංගාට මානසික රෝගයක් තියෙනවා. සතා හැසිරෙන අස්වාභාවික විදිහෙන්ම ඒක කියන්න පුළුවන්. එකම තැන ඇවිදින්න නොදී ගැට ගහල තියෙන එකත්, පුංචි කාලෙම වැඩිහිටි අලින්ගෙන් වෙන් කරල තනිවම තියා ගෙන ඉන්න නිසාත් මානසික රෝගයක් හැදෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි. හැබැයි ගංගාරාමේ ඉන්න අනිත් සත්තු නම් ගංගාට වඩා නිදහසක් භුක්ති විඳිනවා.

      මේ තියෙන්නෙ ගංගා ගැන Youtube එකේ වීඩියෝවක්.

      https://www.youtube.com/watch?v=xdw98qGC6-M

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...