Monday, July 28, 2014

56 දඹුල්ලේ ටිකට් හොරු සහ තවත් කථා

දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තුන්කොන් තරගාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරගයකිනි. අපේ රට තරග වදින නිසාම අතිමහත් ප්‍රේක්ෂක ජනතාවක් පිටිය කරා පැමිණියෙන් එම තරගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරමින් සිටි සිරා කොලුවා ඇතුලු කණ්ඩායම මුහුණ දුන්නේ තරමක අපහසුතාවකට බැව් පෙර ලිපියකදී මම කීවෙමි.



දඹුළු කථා 1 කොටස  2 කොටස  3 කොටස

ප්‍රවේශ පත්‍ර සියල්ලම අළෙවි වී අවසන් වූයේ නැතිනම් ඒවා අළෙවි කිරීම නතර කරන්නේ කොයි වේලාවටද යන තීරණය ගත්තේ අප භාරව සිටි අපගේ නිළදරුවා වූ පෙරේරා මහතා විසිනි. සාමාන්‍යයෙන් අඩු මිළකට නියම වී ඇති ප්‍රවේශ පත්‍ර වේලාසනින් අළෙවි වී අවසන් වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ කියන තරගාවලියේ සිරා කොලුවා සහ මගේ සහායකයා වූ මංජුවා අළෙවි කලේ රු 750/- කට මිළ නියම වී තිබූ ප්‍රවේශ පත්‍රයක් බව මගේ මතකයේ හොදින් සටහන් වී තිබේ.

සෑම තරගයකදීම එකතු වන ටිකට් පත් මුදල් එදිනම ආරක්ෂක සේවයක් යටතේ දඹුල්ලේ සිට කොළඹ යවා බැංකුගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගණකාධිකාරී වරයෙකු සියල්ල අධීක්ෂණය කර තම අනුමැතිය සටහන් කල පසු පෙරේරා මහතාටද මේ කටයුුතු වලින් නිදහස ලැබේ.

දිවා රාත්‍රී ක්‍රිකට් තරග සවස 2.30 ට ආරම්භ විය. පළමු කණ්ඩායම පන්දුවට පහර දීමෙන් පසුව ලකුණු හඹා යන කණ්ඩායමේ ඉනිම ආරම්භ වී පැයක් පමණ යනතුරු ප්‍රේක්ෂකයෝ පැමිණෙති. එයින් පසු තරගය නැරඹීටම අලුතෙන්ම කෙනෙකු ආවා නම් ඉතාම කළාතුරකිනි.

තමාට නියම වූ ප්‍රවේශ පත්‍ර සියල්ල විකුණා අවසන් කල විටෙක අපට ඇත්තේ තරගය සජීවීව නරඹන්නට ක්‍රීඩා පිටියට යන්නට තදියමකි. ක්‍රීඩා පිටිය දෙසින් වරින් වර නැගෙන ජය ඝෝෂා හඩ ඒ ආශාව තව තවත් වැඩි කරයි. එහෙත් අප අත තිබෙන මුදල් මෙන්ම විකුණා ඇති ටිකට් පත් ප්‍රමාණය ගණනය කර අපෙන් මුදල් භාරගන්නේ ගණකාධිකාරී වරයා එහි පැමිණි පසුවයි. එහෙත් ඔහු පැමිණෙන තෙක්  එහි කල් මරන්නට වුවහොත් අපට ක්‍රිකට් තරගය නරඹන්නට අවස්ථාවක් නොලැබෙයි.

පුතා මැච් එක බලන්න යන්න පුලුවන්. හැබැයි සල්ලි වල වගකීම ඕගොල්ලො අරගන්න ඕනෙ කැමතිද ? පිටියට යන්නට අවසර පැතූ දිනයක පෙරේරා මහතා එසේ පැවසුවේය.

දුරදිග නොබලා වුවද එයට කැමති වී, අප අතේ ඒ අවස්ථාවේ තිබූ ලක්ෂ එක හමාරකට ආසන්න මුදලක් දෙකට බෙදා මාගේ සහ මංජුවාගේ කලිසම් සාක්කු දෙකේ දමාගෙන  හිතේ ගින්දරෙන් වරින් වර සාක්කු අත ගාමින් තරගය නැරඹූ ආකාරය මේ සටහන තබන අවස්ථාවේ මා හට සිහිපත් වෙයි. යම් හෙයකින් එදා එම මුදල් අස්ථානගත වූයේ නම් අපට කුමක් වේදැයි මට මේ මොහොතේ සිතා ගත නොහැකිය.

පැයකට ආසන්න කාලයක් තරගය නරඹා මුදල් භාරදීම පිණිස ප්‍රවේශ පත්‍ර කවුළු වෙත යන විට එහි යම්කිසි පුරස්නයක් පැනනැගී තිබුනි. රවියා අළෙවි කල ටිකට් පත් සංඛ්‍යාව සහ එකතු වී ඇති මුදල අතර විශාල පරස්පරයකි.

කොහොමද පුතා මෙච්චර ගානක් අඩු වෙන්නෙ. ඔයාලා ඉතුරු සල්ලි දෙද්දි වරද්දගත්තද ?

පෙරේරා මහතාද දැඩි සේ කලබල වී සිටියි. රුපියල් 2000 කට වැඩි වටිනාකමක් සහිත ප්‍රවේශ පත්‍රයක් රවී කොලුවා අළෙවි කල අතර ඔහු මෙන්ම ඔහුගේ සහායකයාද සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකිව අරමුණක් නැති දෑසින් මුදල් සහ ටිකට් පත් සතපවා තිබූ මේසය දෙස නෙත් යොමා සිටියහ.

ඉතුරු සල්ලි නම් හරියටම දුන්නා. එතන කිසිම වැරැද්දක් වෙන්න විදියක් නෑ. රවියා පවසයි. එහෙත් එතැන තිබූ මුදල් සහ අළෙවි වී අවසන් වූ ටිකට් පොත් සංඛ්‍යාව අතර පෑහීමක් නැත. එක් ටිකට් පොතක ටිකට් පත් 50 ක් අඩංගු වෙයි. ඒ නිසා අළෙවි වී අවසන් වූ පොත් සංඛ්‍යාව 50න් ගුණ කිරීම මගින් සමස්ත ටිකට් පත් වටිනාකම සැණෙකින් ලබා ගත හැක.

පුතා දැන් එකවුන්ටන්ට් ආවම මම මොනවද කියන්නෙ. ඒ මිනිස්සු සැක කරයි අපි මේ සල්ලි හොරකං කලා කියලා. පෙරේරා මහතා දැඩි සේ කලබල වී ඇති සෙයකි.

අපි හැම පොතකම ටිකට් 50 ගානෙ තිබුනද කියලා හොයලා බලමු. 
කවුදෝ කෙනෙක් කල ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නට වෙනත් සරණක් නැති තැන පෙරේරා මහතා තීරණය කලේය. එයින් පසු අකරතැබ්බයට හේතු සොයාගන්නට වැඩි වේලාවක් ගියේ නැත.

හරිනෙ පුතා. මේ පොතේ එක ටිකට් එකක් අඩුයි. මේකෙ දෙකක් අඩුයි. මෙහෙම ටිකට් අඩුවෙන්න බෑ. හැම එකකම 50 ගානෙ තියෙන්න ඕනෙ.

ටිකට් පතක් ඉරා අවසන් වූ පසු ටිකට් පොතේ ඉතිරි වන කොටස් (Counter File) පරීක්ෂා කිරීමේදී අතුරුදන් වූ ටිකට්පත් වල එම කොටසද ඉවත් කර ඇති බව පැහැදිලි විය.

මෙතන ලොකු වංචාවක් තියෙනවා පුතා. කරුණාකරලා ඕගොල්ලො මේ වැඩේ කලා නම් මට කියන්න. මම මේකට වග කියන්න ඕනෙ.

රවියා සහ උගේ සහායකයා එවැනි කිසිවක් සිදු නොකල බව පුන පුනා කීම නිසා ඉදිරි තරග වලට ඇති ටිකට් පත් වලද මේ ආකාරයෙන් අඩුවක් තිබේද යන්න පරීක්ෂා කර අවසන් නිගමනයකට එන්නට ගණකාධිකාරී තැන සමග පෙරේරා මහතා එකගතාවකට පැමිණියේය.

මේ අනපේක්ෂිත සිදුවීම නිසා අප කණ්ඩායමේ සිත් සතන් වල වූ සතුට යම් තරමකට සේදී ගොස් තිබේ. තමා වංචාවක් කලා යැයි නිලදරුවන් සිතනු ඇතැයි රවියා විස්සෝපයෙනි.

එදින නිවසට ගිය වහාම ඇගපත පිරිසිදු කිරීමකින් හෝ තොරව ඉදිරි තරග වලට නියමිත ප්‍රවේශ පත්‍ර අඩංගු කාඩ්බෝඩ් පෙට්ටි වල ආරක්ෂිත ආවරණ ඉවත් කර ඒවා සාලය මැද පැදුරක් එලා එහි හැලුවේ පෙරේරා මහතා විසිනි.

ඒ ඒ තරග වලට අදාළ සියලුම ප්‍රවේශ පත්‍ර වර්ග දැඩි පරීක්ෂා කිරීමකට ලක් කල අතර ඒ සදහා පැය කීපයක් ගත විය. අවසානයේ අපට සියල්ල නිරාකරණය කරගත හැකි විය.

පුතා ටිකට් අඩු වෙලා තියෙන්නෙ ලංකාව සෙල්ලම් කරන මැච් වල විතරයි. වටිනාකම වැඩි ටිකට් පොත් වලින් තමයි ටිකට් අඩු වෙලා තියෙන්නෙ. මම දැන් මේ අතුරුදහන් වෙලා තියෙන හැම ටිකට් එකකම අංකය අරගන්නවා. එදාට පොලිසිය ඉතුරු ටික බලාගනියි.

පෙරේරා මහතා එතෙක් ඔහු පෙලන ලද ගැටළුවෙන් නිදහස් වී තිබේ.

කවුද එතකොට මේ වැඩේ කරන්න ඇත්තෙ ? රවියා විමසයි

අපි ක්‍රිකට් බෝඩ් එකේ වැඩ ටික ඉවර කරලා දඹුල්ලට මේ ටිකට් ඔක්කොම එවනවා ප්‍රාදේශීය සභාවෙ අනුමැතිය අරගෙන සීල් එකක් ගහන්න. ඒක ගැහුවට පස්සෙ තමයි ආපහු කොළඹට ගෙන්න ගන්නෙ. මට හිතෙන විදියට එතැනදි තමයි මේ වැඩේ වෙලා තියෙන්නෙ.

අපගේ නවාතැන වූ තිලක් අයියාගේ නිවසේදී තරගයක් පැවැත්වූ දිනට පසු දින ඉන්දියානු මාධ්‍යවේදීන් විසින් පැවති තරගයට අදාළව ඔවුන් විසින් ලබාගත් ඡායාරූප පෙන්වීම සිරිත් පරිදි සිදුවීගෙන ගියේය. ඔවුන් ඇත්ත වශයෙන්ම ඒ කාරියට ඉතාම දක්ෂ පිරිසක් වූහ.

දඹුල්ලේදී තරගයක් නැති විවේකී දිනයක් ලැබුන විට ඔවුන්ගේ බිරින්දෑ වරු ලංකාවට ගෙන යන්නට ඔතා දුන් ඉන්දියානු රස කැවිලි අප සමග බෙදා හදාගෙන අනුභව කරන්නටද ඔව්හු අමතක නොකලහ. මේ අය අතර සිටි දැඩි හින්දු භක්තිකයකු වූ තීරු ලිපි රචකයෙකු සිය දියණියගේ විවාහ උත්සවයට සහභාගි වන ලෙසද මා හට ආරාධනය කලේ අප කණ්ඩායමේ අනෙක් අයට වඩා මා ඔහුට හිතවත් වූ හෙයිනි.

ඇතැම් රාත්‍රියක අප ඔවුන් සමගින් කුඩා මේසයකට තට්ටු දමමින් ගීත ගැයුවෙමු. එවන් විටෙක සිරා කොලුවාට අමතරව නැසී ගිය ගායනවේදී කපුගේ ගේ කටහඩට සමාන  හඩක් ඇති මිහිර අයියාද කපුගේ ගැයූ විරහා ගීතයෙන් සභාව පිනවූවේය.

අපගේ ආරාධනයෙන් ඉන්දියානුවන්ද හින්දි ගීතයෙන් සභාව කුල්මත් කලෝය. ඔවුන් අතර ඉතා හොද ගායන හැකියාවක් ඇති මාධ්‍යවේදියකු විය. අප ඔහුගෙන් ඉතාම පැරණි හින්දි ගීත වල නම් පවසා ගායනා කරන ලෙස ඉල්ලා සිටි කලෙක,

සෑහෙන්න පරණ සින්දුවක්නෙ...ඕගොල්ලො මේවා අහලා තියෙනවාද ? යනුවෙන් විශ්මය පලකොට අපේ ඉල්ලීම් ඉටුකලා පමණක් නොව එම ගීත අඩංගු චිත්‍රපටයේ නම පවා පැවසුවේය.

හින්දි නළු නිළියන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා වලට සහභාගි වී ඔවුන් ලැබූ අත්දැකීම්ද අප සමග බෙදා ගන්නට තරම් ඔව්හු නිහතමානී වූහ. ඒ කාලයේ සිටි නිළියන් අතරින් Make Up නොමැතිව ඉතාම සුන්දරම තැනැත්තිය ප්‍රීටි සින්ටා බවද ඇය අනෙක් නිළියන්ට වඩා බොහෝ සේ  මිටි බවද, අයිශ්චර්යාගේ දත් අසුන්දර බවද ඔව්හු අපට පැවසූහ.

මෙවැනි අවස්ථාවක් බොහෝ විට තිලක් අයියාගෙන් මුදල් දී ලබා ගන්නා බියර් බෝතලයකින් දෙකකින් හැඩ විය. ඉන්දියානුවන් අතරින් අජිත් සිං පමණක් බියර් පානයට එකතු වූ අතර පෙන නැගී ඇති බියර් වීදුරුව තුලට ඇගිල්ලක් යොමු කර පෙන ස්වල්පයක් තවරා..අප සිටි මේසයේ හතර කොනටම ඒවා විසිකර බියර් පානය කිරීම ඔහුගේ සුවිශේෂී පුරුද්දකි.

මිහිර අයියා කපුගේ ගැයූ විරහා ගිත ගයන්නේ ඉතාම හැගිම්බරවය. ඇතැම් විටෙක ඔහු හට ආදරයේ විරහව පිළිබද පෙර අත්දැකීම් තිබෙන්නට ඇත. මේ ගීත වල අර්ථය පිළිබද විමසන ඉන්දියානුවන් වෙත අප දන්නා ඉංගිරිසියෙන් ඒවා පහදා දෙන්නට මටත් රවියාටත් සිදු විය.

එක් වෙහෙසකර දිනයක අවසානය සනිටුහන් කරමින් නිවෙසට පැමිණ මද වේලාවක් යන්නට ඇත. ඉන්දියානුවන්ද කැමරා ආම්පන්න රැගෙන මහත් සේ වෙහෙසට පත්ව නිවසට ගොඩ වැදුනේ අපටත් පසුවය. තවත් පැය භාගයක පමණ ඇවෑමෙන් එහි පැමිණියේ තුන් රෝද රියකි. ඒ තුලින් මතුවූයේ සුදු ජාතික තරුණියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා දියෙන් ගොඩගත් මාළුවෙකු මෙන් භියෙන් ගැහෙමින් සිටියහ.

තිලක් අයියා....තුන්රෝද රථ රියදුරා ශබ්ද නගා ගෙහිමියාට කථා කරයි.

ඒ හඩ ඇසී තිලක් අයියා ඔවුනට සම්මුඛ වෙයි.

කවුද මල්ලි මේ ?

ටවුමෙ ඔරලෝසු කණුව ලග හිටියෙ යන්න එන්න අතක් නැතුව, මේ ගොල්ලො මැච් එක බලන්න ඇවිල්ලා නතර වෙලා හිටපු තැනින් අයින් වෙලා වෙන කොහේටද යන්න කියලා, ඒ උනාට ඒ ගමන යන්න වෙලා නෑ. නතරවෙන්න තැනක් හොය හොයා මේ මහ රෑ ටවුමෙ ඉන්නවා දැකලා මම මෙහෙට අරගෙන ආවෙ. කාගෙ උනත් දරුවොනෙ..තව ටිකක් වෙලා එතන හිටියා නම් කවුරු හරි උස්සගෙන යනවා. දැන් රෑ 12 ත් පැනලා.

සුරූපී නව යොවුන් තරුණියන් දෙදෙනාට තිලක් අයියා නිවස තුලට පැමිණෙන ලෙස ආරාධනා කලද ඔව්හු එහි පැමිණියේ නැත. නිවස පුරාම සිටින පිරිමි පාර්ශවය දැකීමෙන් ඔව්හු භියෙන් සළිතව සිටිති.

එන්න භය වෙන්න එපා තිලක් අයියාගේ බිරිද පැමිණ ඔවුනට නැවත ආරාධනා කලද ඔව්හු තවමත් භියෙනි.

මේ අය කවුද ? එකියක සැලෙන හඩින් ඇසුවාය.

මේ අය මැච් එකේ ටිකට් වැඩ කරන අය, කොළඹ ඉදන් ඇවිල්ලා තියෙන්නෙ. භය වෙන්න එපා. මමත් මේ ගෙදරම තමයි ඉන්නෙ. තිලක් අයියාගේ බිරිද ඔවුන්ගේ භිය නැති කරන්නට වෑයම් කරන්නීය.

එවිට මා එකියකගෙන් විමසුවේ කුමන රටකින් මෙහි පැමිණියේද කියායි.

ඔස්ට්‍රේලියා යනුවෙන් ඇය ඇසෙන නෑසෙන හඩින් පවසා තිලක් අයියා පෙන්වූ කාමරයට තම මිතුරියද සමග පිවිසුනේ මහත් කලබලයෙනි.

කාමර නෑ මල්ලි දෙන්න. අපේ කාමරේ දීලා දැම්මා. අද ඔය එළියෙන් නිදා ගන්නවා. පව්නෙ ඒ අය... තිලක් අයියා මද සිනහවක් නගයි.

ඉන්දියානු මාධ්‍යවේදීන් අතරින් අප කණ්ඩායම සමග හොද හිතවත් කමක් තිබූ අජිත් සිං නැමති ඡායාරූප ශිල්පියාට සුදු යුවතියන්ගේ ආගමනය අපේ එකෙකු විසින් සැලකර තිබේ. හෙතෙම වහ වහා තම පරිගණකයද රැගෙන එහි පැමිණ යුවතියන් සිටි කාමරය ඉදිරියෙන් පැදුරක් එලා යුවතියන් දැක ගැනීමේ අටියෙන් එහි සිට විවිධ දෑ පරිගණකයෙන් කරමින් සිටියද යුවතියන් දෙදෙනා පසුදින අප රාජකාරිය සදහා නිවසින් පිටවන තුරාවට කාමරයේ දොර විවෘත කලේ නැත.

අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහභාගි වන තරගයකි. ප්‍රවේශ පත්‍ර අවුල විසදෙන තුරු අප සීරුවෙන් බලා සිටිමු. අතුරුදහන් වී ඇති ටිකට් පත් වලට අදාළ කාණ්ඩ අංක ඒ වන විටත් ප්‍රධාන පිවිසුමේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරින් අතට පත්කොට අවසන්ය.

ඔව්හු පිටියේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළු වලින් මිළදී නොගත් සියලුම ටිකට් පත් දැඩි සේ පරීක්ෂා කළෝය. අවසානයේ අතුරුදහන් වූ ටිකට් පත් සමග පැමිණි අය අපට සොයාගත හැකි විය.

දඹුල්ල ප්‍රදේශයේ ජීවත් වන ඉතාම අහිංසක මිනිසුන් නිරපරාදේ වැරදි කරුවන් වූහ. කුඩා දරුවන් මෙන්ම නිවසේ සකසා ගත් කෑම බීම පවා රැගෙන ඔව්හු තරගය නරඹන්නට ආශාවෙන් පැමිණ සිටියේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සේවය කරන හිතවතෙකු මෙම ටිකට්පත් ලබා දුන් බව පවසමිනි. අවසානයේ තරගය නැරඹීම පසෙක තබා පොලිස් ජීප් රථයක නැගී පොලිසිය බලා යන්නට සිදු වීම අප හටද මහත් සංවේගය ඇති කල සිදුවීමක් විය.

දඹුල්ලේ ගතකල මේ කාල සමය ගැන ලියන්නට තවත් කථන්දර ඕනෑ තරම් තිබුනත්...දිගින් දිගටම ඒවා කියවීම නීරස අත්දැකීමක් විය හැකි නිසාම තාවකාලිකව දඹුළු කථා වලට තිත තබමි. ඉදිරි දිනයක නැවත දඹුළු කථා කියවන්නට ඉඩ ලබා දෙමි.


මම කාමරේ අරින සිරා කොලුවා.

56 comments:

  1. මුල කොටස් ටිකත් කියවගෙන එන්නම්...

    ReplyDelete
    Replies
    1. හොදමයි මිත්‍රයා...අද අපිට රාමසාන් නිවාඩු...හෙටත් නිවාඩු...ඒ නිසා බ්ලොග් කෙරුවාවට හොද විවේකයක් ලැබිලා.

      Delete
  2. කව්ද අය්යෝ නීරසයි කිවෙ...
    මංහිතන්නෙ සිරාටත් මගෙ ලෙඩේ බොවෙලා වගේ...
    කම්මැලි හිතුණාම ලියල තේරුමකත් නෑ කියල හිතුණාම ලෙස්සල යනව...
    හැක් හැක්...

    අර ටිකට් උස්සපු ඇත්ත හොරු හොයාගත්තෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. එකම දේ එකම දිගට යද්දි නීරස කෙසේ වෙතත් ඒකාකාරී ගතියක් ඇති වෙනවා නොවැ...ඒ හින්දයි වෙනසක් කරන්න බැලුවෙ. සිරා ලියන්න නම් පොඩ්ඩක්වත් කම්මැලි නෑ. නිදියගන්න තියෙන වෙලාවෙන් හරි කොටසක් අරගෙන ලියන්න තමයි වෑයම.

      ටිකට් උස්සපු හොරු සියල්ල පොලිසිය පසුව අත්අඩංගුවට අරගෙන තිබුනා. ටිකට් පොත් වල මැද්දෙන් ටිකට් කැඩුවාම ඒ අය හිතාන හිටියෙ අහුවෙන එකක් නෑ කියලා.

      Delete
  3. ඒ අහිංසක මිනිස්සුන්ට ටිකට් දීපු උන් අල්ලන්න තිබ්බේ...
    තව පොඩ්ඩෙන් රවිට තොප්පිය වැටෙන්නේ..

    දඹුලු කතාවට තාවකාලික තිතක් තියන එක හොඳයි වෙනසකට...

    එහෙනම් වෙනස්ම වෙනස් ලිපියක් ඕන අයියේ ඊළඟට...

    ReplyDelete
    Replies
    1. උන්ව ඇල්ලුවා නංගි. ඒ කාරණේ හොයාගත්තෙ නැත්තං ඇත්තටම සැකය යොමුවෙන්නෙ එදා ඒ ටිකට් පත් නිකුත් කරපු අය වෙතට. ඒ ටිකට් පත් වලින් තරග නරඹන්න ඇවිල්ලා හිටිය මිනිස්සු වැඩිය සල්ලිය භාගෙ නැති අහිංසක මිනිස්සු. මොන තරම් බලාපොරාත්තුවකින්ද එන්න ඇත්තෙ. පොලිස් ජිප් රථයක අසුන් ගන්වද්දි ඒ පොඩි දරුවො රථයේ වීදුරුවෙන් තරගය නරඹන්න යන අය දිහා බලාන හිටිය දසුන අපිට බොහොම විශාල දුකක් ඇති කලා.

      ඊළගට එන්නෙ මාසයේ අවසාන ලිපිය....බලන්නකො මෙදා පොටේ පලවෙන එක...ඒක සැබෑම වෙනසක් වේවි.

      Delete
  4. ඔය ටිකට් සීන් එකේ ඔහොම කෙස් ගොඩයි, හැබෑටම හරි හොරාව ඇල්ලුවද ? ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසකයෙක් ගේ පිටින් යන එක තමා . අන්තිමට මොකවත් නොදන්නා මිනිහෙක් අතුලේ

    ReplyDelete
    Replies
    1. සැබෑ හොරු අල්ලන්න අපහසුතාවක් එතැන තිබුනේ නෑ නොවැ...තමාට ටිකට්පත දුන්නෙ කවුද කියලා ඒ මිනිස්සු කිව්වාම හොරාව හොයාගන්න ලෙහෙසියෙන් පුලුවන්.

      Delete
  5. පහුගිය කොටස් කියවන්න උනේ නෑ. ඒ හින්ද ඒ ටිකත් කියවලම මේකට කොමෙන්ට් කරන්නං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා..වැඩ රාජකාරි අස්සෙ මේ පැත්තට ඔලුව දාල යන්න ආවට...

      Delete
  6. හොරු ටික අල්ලගත්තද?

    ReplyDelete
  7. ඇයි ටිකට් එකට අනුපිලිවෙලට නොම්බරයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනුපිළිවෙලට නොම්බරයක් තියෙනවා. ඒ නොම්බර පරීක්ෂා කරලා තමයි අතුරුදහන් වෙලා තිබුන නොම්බර සොයාගෙන පොලිසිය වෙත ලබා දුන්නෙ.

      Delete
  8. පෙරේරා මහතා, තිලක් අයියා අගය කලයුු මිනිසුන්.
    ස්තුතියි මචං...හොද ලිපිපෙලක් දුන්නට..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම තිලක් අයියා එදා රාත්‍රියෙ අර දැරිවියන් දෙදෙනා නවත්වාගත්තෙ නැතිනම් ඒ අයගෙ ජීවිත වලටත් තර්ජනයක් වෙන්න ඉඩ තිබුනා...දඹුල්ල කියන නොනිදන නගරයේ මේ වගේ විදේශික කාන්තාවන් දෙදෙනෙකු තනිව නරගය තුල සිටිනවා කියන්නෙ විශාල අවධානමක්...ඒ වගේම තුන්රෝද රථ රියදුරාවත් අගය කල යුතුයි.

      Delete
  9. මාර ආසාවෙන් කියවපු කතා පෙළක්... තව විස්තර ටිකක් ලියන්න පුළුවන් නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඉදිරි දිනයක නිසැකවම තවත් දෑ ලියන්නම්. ස්තූතියි ඔබේ අදහසට...

      Delete
  10. අර මිනිස්සුන්ට පොලිසියට යන්න සිද්ද වුනේ අපරාදේ කියලා හිතුනට උඹලට ඒක ඔප්පු කරගන්න බැරි වුනානම් හිරේ යන්නයි වෙන්නේ. පස්සේ ඒ ප්‍රාදේශීය සභා හොරුන්ව අල්ල ගත්තද?

    එතකොට ඕස්ට්‍රේලියන් කෙල්ලෝ දෙන්නා උදේ ගෙදර අයට ස්තුති කරලා ගියාද?

    ReplyDelete
    Replies
    1. ඒ කාරණේ ඔප්පුකරගන්න අපහසුතාවක් ඇති වුනේ නෑ. මොකද තරගය නරඹන්න පැමිණි අයට පෙන්වන්න හැකි උනා නොවැ එම ටිකට් පත් ඒ අයට ලබා දුන් කෙනා ගැන.

      ඔස්ට්‍රේලියානු තරුණියන් දෙදෙනා අඩුම තරමේ තේ එකක්වත් ලබා ගත්තෙ නෑ කිව්වා. අප රාජකාරියට පිටත් වූ දවසෙ දවල් 12 ට පමණ ස්තුති කරලා පිටත් උනා කියලා තමයි තිලක් අයියා අපට කිව්වෙ.

      Delete
  11. ඔය ටිකට් හොරපාරෙ යන එක සාමන්‍යකෙස් එකක්.පොඩිමිනිහෙක් කරපු නිසා ඇදිල යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ටිකට් පත් වල වටිනාකම වැඩි නිසා අනිවාර්යෙන්ම ටිකට් පොත් වල මුදල් ලේඛණගත කරද්දි එය ගැටලුවක්.

      Delete
  12. ෂහ් … මාර අත්දැකීමක් බං.

    ReplyDelete
  13. කියවන්න අපහසුවක් නැති නිසා තව ලිව්වත් අවුලක් නෑ සිරා.රසවත් මතක සටහන් පෙළක් නොවැ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා හැලපයියා පොඩි විරාමයක් තියන්න. නැතිනම් ඒකාකාරී ගතියක් කියවන අයට දැනේවි.

      Delete
  14. ටිකට් කේස් කරන්න ගියොත් ඉතින් කොහොමත් ඔහොම දෙයක් නොවුනොත් තමයි පුදුමේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ක්‍රිකට් තරගයක ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීම වගේම ඒ ටිකට් පත් පරීක්ෂා කරලා පිටිය තුලට යන්න අවසර දෙන ආරක්ෂක අංශයත් සෑහෙන මහන්සියක් ගන්නවා මහා ජනකායක් මැද මේ කටයුතු කරන්න.

      Delete
  15. සිරා......මට කිහිපයක් මිස් වෙලා තියෙන්නේ. ඒ ටිකත් කියවන්න ඕන.
    ඔය ඕන හොරකමක අන්තිමට අහුවෙන්නේ අසරණයෙක් තමයි අන්තිමට.

    ReplyDelete
    Replies
    1. පහත් තැනින් යයි ගලා ජලේ කියලා කියමනකුත් තියෙනවනෙ....ඒ කෙසේ වෙතත් මෙහිදී නම් ඒ වැරැද්ද කරපු කෙනාව තමයි අවසානයේ නීතියේ රැහැනට හසු උනේ.

      Delete
  16. පවු අර අහිංසක මිනිස්සු.

    අර සුදු ගෑණු ළමයි දෙන්නට අරම පිහිට වෙච්ච එක නම් ඒ වෙලාවෙ හැටියට ලොකු උපකාරයක්. තිලක් අයියත් ත්‍රී රෝද රත රියදුරත් හොද නිසා හොදයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ සුදුයි කිව්වනම් ගැණු ළමයි කිව්වනම් එක ගැන තමයි ආමාරුව

      Delete
    2. ඇත්තටම ප්‍රියා...එය අපිටත් බොහොම විශාල දුකක් දැනුන සිදුවීමක්.

      තුන්රෝද රථ රියදුරා තමයි සුදු නංගිලා බේරා ගන්න මුලින්ම මැදිහත් වූ කෙනා. තව දුරටත් දඹුල්ල නගරයේ හිටියා නම් ඒ දෙන්නට කාගෙ හරි කාම පිපාසාව සංසිදුවන්න තමයි වෙන්නෙ. ඒ අවධානම තේරුම් ගත්ත තිලක් අයියා ඒ දෙන්නව කාමර නෑ කියලා පිටත් කරන්නෙ නැතුව තමන්ගෙ කාමරය දුන්නා.

      රාළටත් හිතෙන දේවල් හැබෑට....

      Delete
  17. ඔන්න ගසා කනවානම් ක්‍රම නේද සිරා..........................

    ReplyDelete
    Replies
    1. වැරැද්දක් කලොත් කිසි දවසක ගැලවීමක් නෑ කියන කාරණයත් අපි හිතේ තබා ගත යුතුයි.

      Delete
  18. පුදුම බේරිල්ලක් බෙරිලා තියෙන්නේ. අර මිනිස්සුත් පව් හැබැයි. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. එදා ඒ කාරිය ඔප්පුකරගන්න නොහැකි උනා නම් නිසැකවම රවි කොලුවට පුද්ගලික මුදලින් ඒ අලාභය පියවන්න වෙනවා. ඒකෙ දෙකක් නෑ.

      Delete
  19. රසවත් වුනත් නීරස වුනත් ජීවිත අත්දැකීම් කියන්නේ නැවත වෙනස් කල නොහැකි දේවල් නේ සිරා. මොනවා කරන්නද? හිතේ බර යන්නත් එක්ක ලියලා දාන්න. අපිට මේවා අලුත් අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා බ්ලොග් කියවන්න එන බොහෝ අය මෙවැනි තාලෙ ලිපි වලට මනාප බව. එහෙත් එක දිගටම මෙවැනි දේම පලවන වටපිටාවක යම් කිසි උදාසීන ගතියක් දැනෙන්න පුලුවන් කියලා මට හිතෙන නිසා තමයි ලිපි මාලාවට මද විරාමයක් තැබුවේ.

      Delete
  20. ෂෝය් කතා මාලාව!
    මේකට තව එක කොටසක් විතරක් ලියපන් පුතේ..එකේ අර ඔසී කෙල්ලෝ දෙන්න ගැන විතරක් ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඔසී කෙල්ලො දෙන්නා ගැන ඉතිං වෙන ලියන්න දෙයක් නෑ මිත්‍රයා. නමුත් දඹුල්ල ක්‍රීඩාංගනයෙදි අපි කොරාපු රාජකාරිය තුලදි අපිට බොහෝ විදේශිකයන් පිරිසක් සමග ඉතාම සුහදව කථා බහ කරන්න අවස්ථාව ලැබුනා. එය කවදාවත් අමතක නොවන අත්දැකීමක්.

      Delete
  21. "අයිශ්චර්යාගේ දත් අසුන්දර බවද"
    අඩෝ............ දන්නා කියන ඈයින්ට කතා හදන්න ලැහැස්තිවෙන්න එපා

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඔවුන් කිව්වෙ ඒ අයගෙ එවැනි අඩුපාඩු චිත්‍රපටය තුල නොපෙනෙන්නට ඒ අයව කාච ගත කරන්න කැමරාකරුවන් සමර්ථ බවක්.

      දන්න කියන කෙනෙක් කිව්වෙ යාලුවෙක්ද ?

      Delete
  22. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ හොර ගුහාවක් සිරෝ.
    ඕකේ ඉන්නෙත් පාර්ලිමේන්තුවේ වගේම මහත්මා හොරු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම....හොරුන්ගෙ හොරා කෑම කොච්චරද කියනවා නම් ඊට පස්සෙ කාලෙක ක්‍රීඩකයන්ගෙ වැටුප පවා ගෙවා ගත නොහැකි තැනට ක්‍රිකට් ආයතනය පත් වුනා. ඒ කාලෙ දහවල් කෑමට සියලුම සේවකයන්ට බුෆේ ක්‍රමයට ආහාර පිළිගැන්වූවාලු ක්‍රිකට් ආයතනය තුල.

      Delete
  23. අනේ ද කියන්නේ, ප්‍රාදේශීය සභාවට ටිකට් යවල ආපහු ගෙන්නගත්තම ඔඩිට් එකක් කරන්නේ නැතුව ටිකට් ඉෂු කරලා කියන්නේ ඉතිං එතන හොරු දෙන්නයි.. :D එකෙක් අහුවුණා අනිකා පැන්නා මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. ආයතනික නීති රීති ගැන නම් මට අවබෝධයක් නෑ ගොයියො. විනෝද බද්දෙන් නිදහස් කරලා ගහපු සීල් එකක් වගේ තමයි මට මතක. මේ ටිකට් පත් වලත් සැගවුනු ආරක්ෂක සලකුණු බොහොමයක් තියෙනවා. වතාවක් SSC ක්‍රීඩාංගනයේදී පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියක සැක සහිත ටිකට් පතක් පරීක්ෂා කරන්න මුදල් නෝට්ටු පරීක්ෂා කරනවා වැනි ආලෝකය විහිදෙන උපකරණයක් භාවිතා කලා. ඒ ආලෝකයට ටිකට් පත ලක් කලාම ටිකට් පත තුලින් කලින් නොපෙනුන අකුරු වගයක් පෙනුනා. එදා තමයි අපි එහෙම දේවලුත් තියෙන වග දැනගත්තෙ.

      Delete
  24. කොටස් දෙකක් කියෙව්වෙ අද. හැමදාම වගේ ලස්සනයි. මෙහෙම අත් දැකීම් කියවන්න ආසයි. මේකට තිත තිබ්බෙ තව ලස්සන කතාවක් ගේන්න නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා....සිරාගෙ කාමරය කියන්නෙ හැමදාම අලුත් දෙයක් කරන්න උත්සාහ කරපු තැනක්...ඒකාකාරී ගතිය නැති කරන්නයි මේ වෑයම.

      Delete
  25. ඔක්කොම ටික එක පාර කියවලා දැම්මා ඔන්න අද!

    ReplyDelete
    Replies
    1. නාඩි පුතා නැවත දැකීම සතුටක්...සියරට ආවද නැවත ?

      Delete
  26. සුදු ජාතික තරුනියන් එතනට ආවේ කොහොමද කියලා හරියට තේරුනේ නෑ.

    දැන් නම් makeup නැතිව ලස්සණම නිළිය Katrina Kaif :)

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ පොඩ්ඩි...සුදු තරුණියන් දෙදෙනා ක්‍රිකට් තරගය බලන්න එන්නෙ තමන් නතර වෙලා හිටිය තැනින් ඉවත් වෙලා. තම තමන්ගේ බඩු මුට්ටුත් අරගෙන. මැච් එක ඉවරවෙලා අලුත් තැනක නතර වෙනවා කියන බලාපොරොත්තුවෙන්. ඒ උනාට ඒ අයට සැලසුම් කල විදියට ඒ දේ කරන්න නොහැකි වෙලා. නවතින්න තැනක් හොයමින් දඹුල්ල නගර මධ්‍යයේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ගමන් කරමින් ඉද්දි තමයි තුන්රෝද රථ රියදුරාට හමුවෙලා තියෙන්නෙ. එසේ නොවුනා නම් කාගේ හෝ ලිංගික බිල්ලක් වෙන්න තිබුන සම්භාවිතාව වැඩියි.

      මම නම් ඉතිං ඔය නිළියො ගැන දන්නෙ නෑ....මොකද මම චිත්තරපටි බලන එකෙක්යැ.

      Delete
  27. හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ .. කොහොම වුනත් රසවත් මතකයක්..

    ReplyDelete
    Replies
    1. හරිම වැඩේ උනේ රවියට නේද....රවියට ඔයිට වඩා වැඩ උනා. ඒවා ආයෙමත් දඹුළු කථා ලියන දවසක කියන්නම්.

      Delete
  28. ස්තුතියි සිරා රසවත් මතකයක් බෙදාගත්තාට..
    අර ගෑනු ළමයි දෙන්නා ගැන ඇහුවාම නම් දුක හිතුනා..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...