Sunday, March 27, 2016

47 රුධිරය සමග බාර ඔප්පු කරනු දුටිමි. (සංවේදී දසුන් සහිතයි)

සංවේදී හදවත් ඇත්තන් මේ ලිපිය කියවීමෙන් වළකින්න. මෙම ලිපියේ ඇති ඇතැම් ඡායාරූප ඔබට පීඩාකාරී විය හැක.

ජීවිතය යනු මේ යැයි නිශ්චිත අර්ථ කථනයක් දෙන්නට අපහසු දෙයකි. දුක සතුට, නින්දා ප්‍රශංසා, යස අයස මැදින් ජීවිතය ගලන්නේ බාධක මතින් ගලා යන ගංගාවක් පරිද්දෙන් බව බොහෝ දෙනාගේ අදහසයි. තම ජීවිතය හමුවේ නොනැවතී හමුවෙන කරදර බාධක හමුවේ දුර්මුඛව යන ඇතමෙක් ඇසට නොපෙනෙන දෙවියන්ගේ පිහිට යඳිති. භාර හාර වෙති. තවෙකෙකු අනාගතයේ ලබන්නට සිහින දකින දෙයක් වෙනුවෙන් භාර හාර වෙති. දෙවියන් නමඳිති. 

තමා එතෙක් මුහුණ දුන් කරදර බාධක අවහිර, රෝග පීඩා ආදිය කෙමෙන් පහව ගිය කල, නැතහොත් අතීතයේ දිනෙක ප්‍රාර්ථනා කරන ලද යමක් අත්පත් කරගත් විට දෙවියන් ඉදිරියට පැමිණ ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙමින් තමා විසින් සිදුකල පොරොන්දු ඉටු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

පූජා වට්ටි, මල්, පහන්, සුවඳ දුම්, පඬුරු පාක්කුඩම් හෝ සත්ව බිලි මේ අරභයා පුද දෙන වග අපි දනිමු. එහෙත් තමාගේම ශරීරයේ රුධිරයෙන් බාර හාර ඔප්පු කරනු මම මගේ ජීවිතයේ පළමු වතාවට පසුගිය මහ සිකුරාදා දින මීගමුවේ ක්‍රිස්තියානි පල්ලියකදී දුටිමි. අද ලිපිය ඒ ඔස්සේ ලියවෙන්නකි.

පසුගිය වර්ෂයේ දිනෙක වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන මයෙ මලයා අමුතුම ආකාරයේ ඡායාරූප කීපයක් මවෙත එවීය. ඒවායේ වූයේ ගලා යන රුධිරය සමග බාර ඔප්පු කල බැතිමතුන් කීප දෙනෙකුගේ ඡායාරූප කීපයකි. එතෙක් කිසි දින අසා හෝ දැක නොතිබූ මේ කාරණය ගැන සිරිලංකාවට පැමිණි දිනයක ලියන්නට මම එදා තීරණය කළෙමි. දැන් ඉතින් ඒ දවස එළැඹී තිබේ.

කාලයක් මීගමුව ඉසව්වේ ඇමරිකානු රතු කුරුස සමාජයේ රාජකාරියක නිරත වී සිටි මයෙ මලයා ඒ හරහා දැන හදුනාගත් ධීවර ප්‍රජාවේ බොහෝ දෙනෙකි. ඒ අතර ජීවිතාරක්ෂකයෙකු ලෙස මීගමු වෙරළ තීරයේ කටයුතු කල තරුණයෙකු ඔහුට වඩාත් හිතවත් වූවේය. ඉහත කී බාර ඔප්පු කිරීම මයෙ මලයා පළමු වරට දුටුවේ මේ මිත්තරයාගේ ආරාධනය නිසාවෙනි.

මෙවරද සිරිත් පරිදි බාර ඔප්පු කරන්නට මහ සිකුරාදා දින සැදැහැවතුන් පල්ලිය වෙත රැස් වෙන බව ජීවිතාරක්ෂක මිතුරා මයෙ මලයා හට වේලාසනින් සැළ කර තිබුනේය. එදා කෙසේ වෙතත් මෙදා ඒ ගමනට එකතු වන්නට සිරා කොලුවාටද හැකියාව ලැබුන බැවින් අද සිරාගේ කාමරයට යන එන ඔබට මේ ලිපිය කියවන්නට ලැබී තිබේ.

මහ සිකුරාදා ගිණි මද්දහනේ මමත් මලයාත් මීගමුව මුන්නක්කරේ නැමති ප්‍රදේශයේ වූ මේ කිතුනු පූජා භූමියට ලගා වන විට එහි බොහෝ පිරිසක් රැස් කකා සිටියහ. වෙසක් සමය සිහිගන්වමින් ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට යන්නට යන්නට, තාර යෙදූ මාර්ග කෙමෙන් කෙට්ටු වන්නට වන්නට විවිධ පැණි බීම වර්ග සහිත දන්සැල් ඉතාම සුලභ වූහ. පල්ලිය කරා යන බැතිමතුන් මෙන්ම මාර්ගයේ ගමන් කරනා අන්‍ය ආගමිකයන්ටත් මේවායේ සංග්‍රහයන් අඩුවක් නොමැතිව භුක්ති විදින්නට අවස්ථාව සළසා තිබුනි.


මමත් මලයාත් දන්සැලක දෙකක රස බලා කඩිනමින් පල්ලිය වෙත පැමිණියෙමු. අසුන් ගැනීම උදෙසා නිවසේ සිට රැගෙන එන අතේ රැගෙන යා හැකි විවිධ හැඩයේ කුඩා පුටු සමග ලොකු කුඩා කවුරුත් පල්ලිය වෙත පැමිණෙති.

පල්ලිය භූමිය තුලදී මයෙ මලයාගේ මිතුරා අපට සම්මුඛ වූවේය. නානාප්‍රකාර ජනතාව අතරින් ඔහු අප රැගෙන පල්ලියේ පිටුපස කොටසට ගියේය. එහි අද දින බාර ඔප්පු කරන්නට සූජානමින් පැමිණි සැඳැහැවතුන් එක් රැස් වී සිටියෝය.

පල්ලියේ ප්‍රධාන පියනම ඒ සැනෙකින් එදිනට නියමිත පූජාවේ වැඩ කටයුතු ආරම්භ කොට මඳ වෙලාවක් ගත වන විට බාර ඔප්පුකරන්නට පැමිණි අය තමන් එතෙක් හැඳ සිටි වෛවර්ණ වස්ත්‍ර ගලවා සුදු සරමට බැස්සෝය.

සුදු සරම විචිත්‍ර පටියකින් කිටි කිටියේ ගැට ගසා, තවත් සුවිශේෂී උපකරණ දෙකක් සමග ඔව්හු නැවතත් අපට සම්මුඛ වූයේ තවත් විනාඩි ගණනක් ඇවෑමෙනි.

වීදුරු කටු සහිත ඉටි බෝලය

වේවැල් මිටිය
ඔවුන්ගේ එක් අතක වීදුරු කටු සවිකල ඉටි බෝලයකි. අනෙක් අතේ සමාන කුඩා ප්‍රමාණ වලට කපන ලද වේවැල් පොකුරකි. මේවා යොදාගෙන මේ අය කරන්නට යන රාජකාරිය දෙස අරමුණකින් තොරව මම බලා සිටියෙමි.


මේ පිරිස අතර මයෙ මලයාගේ මිතුරාට අමතරව ඔහුගේ පියාද වූවේය. ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කරන්නට තවත් වේලා තිබූ නිසා සිරා කොලුවා වන මම මේ කාරිය පිළිබඳ වැඩි තොරතුරක් දැනගන්නට ඔවුනට සමීප වූයෙමි.

මොකක්ද අද මෙතන වෙන්නෙ. මම සුහදව විමසීමි.

අපි හැම අවුරුද්දෙම මහ සිකුරාදා දවසට කලින් අවුරුද්දෙ වෙච්ච බාර මේ විදියට ඔප්පු කරනවා. මම නම් සෑහෙන කාලයක ඉදන් මේ වැඩේට දායක වෙනවා. මේ අවුරුද්ද මගේ අන්තිම වතාව කියලා තීරණය කරගෙන ඉන්නෙ.  පුතා නම් 2000 අවුරුද්දෙ ඉදන් තමයි බාර ඔප්පු කරන්න සම්බන්ධ උනේ. 

අනෙක් පළාත් වල පල්ලි ඇතුලෙ මෙහෙම දෙයක් කරනවා අපි දැකලා නෑනෙ.

පල්ලිය ලගම ජලාශයක් වගේ දෙයක් තියෙනවා නම් තමයි මේ වැඩේ කරන්න පහසු. මොකද මේ කාර්යය මෙහෙයවන කෙනා පුද්ගලිකව හැම කෙනෙකුගේම ලේ පිහදාලා වතාවත් කරන්නෙ පල්ලිය ලගම තියෙන ජලාශයට බැහැලා. ගොඩාක් පල්ලි වලට එහෙම පිහිටීමක් නෑ. ඒ හින්දා වෙන්න ඕනෙ අනිත් අය කරන්නෙ නැත්තෙ.

මේ බාර ඔප්පු කිරීමට ලොකු ඉතිහාසයක් තියෙනවද ?

අපොයි ඔව්...මෙච්චර කාලයක් මේ කාර්යය මෙහෙයවපු කෙනා මේ අවුරුද්දෙදි නැති උනා. එයාට අපි කිව්වෙ ධීවර මාමා කියලා. එයාට මැරෙනකොට වයස 80 පැනලා. එයාගෙ සීයත් මේ විදියට බාර ඔප්පු කරලා තියෙනවා කියලයි අපිට කියලා තියෙන්නෙ. ඒ විදියට බැලුවාම ලොකු ඉතිහාසයක් තියෙනවා.  තවත් සමහරු කියන්නෙ යටත් විජිත කාලෙ පෘතුග්‍රීසි පාලනයක් යටතේ ලංකාව තිබුන අවධියෙ ඉන්දියාවෙ ගෝවේ දූපතෙන් මේ චාරිත්‍රය ලංකාවට ආවා කියලා.

කොහොමද මේ උපකරණ ටික හදාගන්නෙ ?

දැන් ඉස්සර වගේ මේ චාරිත්‍ර ගැන දන්න පරණ අය ගමේ අඩුයි. තරුණ පරම්පරාව එක්කයි දැන් අපි මේ දේවල් කරන්නෙ. ඉස්සර ධීවර මාමා ඉන්න කාලෙ හැමදෙයක්ම අකුරට ඉෂ්ඨ සිද්ධ කලා. එයා තමයි මේ දේවල් හදන හැටි ගැන අපිට කියා දුන්නෙ. ඉටි බෝලෙ හදා ගන්න කලින් යකඩ වළලු තුනක් හදාගෙන ඒකට වීදුරු කටු රදවලා හීනි කම්බි වලින් බැද ගන්න ඕනෙ. ඊට පස්සෙ මේ කම්බි වලලු පොල්කට්ටක් වගේ දෙයකට දාලා ඒක පිරෙන්න රත් කරපු ඉටි වක්කරලා තමයි මේ ඉටි ගුලිය හදාගන්නෙ. වේවැල් ටික හදාගන්නෙත් අපිම තමයි.

කොයි වෙලාවටද  වැඩේ පටන් ගන්නෙ ?

පල්ලියේ පියතුමා දේවමෙහෙය පවත්වාගෙන යද්දි ඒකෙ එක තැනක ගීතිකාවක්  තියෙනවා. ඒ කොටසට ලං වෙද්දි අපි මේ කාරිය පටන් ගන්න ජේසු පිළිමෙ පේන තෙක් මානෙට ගිහින් පේලියට හිට ගන්නවා. මෙදා පාර ධීවර මාමා නැති නිසා ගමේ වෙනත් වැඩිහිටි කෙනෙකුට එන්න කිව්වා මේ වැඩේ මෙහෙයවන්න. ඒ වෙලාවට එයා බයිබලයේ විශේෂ පාඨයක් කියවනවා...ඔරසම් කියනවා කියන්නෙ...අන්න ඒ දේ කරනවා. එකම පාඨය තමයි හැමදාම කියන්නෙ. ඒ පාඨය ඇතුලෙ තියෙන්නෙ ජේසු තුමාගෙ ගුණ.

ධීවර මාමාගේ අඩුපාඩුව සම්පූර්ණ කල ගමේ වැඩිහිටියන්


ආරම්භයට මෙහොතකට කලින්, තාත්තයි පුතයි වම් පැත්තෙ කොනේම.

මේ පළාතෙ හැම කෙනාටම වගේ සිංහල වලට අමතරව දෙමළ භාෂාවත් පුලුවන් ඔරසම් කියන්න පාවිච්චි කරන පොතේ අකුරු තියෙන්නෙත් දෙමළෙන්. කොහොමද හැබෑට දෙමළ පුලුවන් උනේ ?

ඔරසම් කියන්නට යොදාගන්නා පැරණි පොත



මීගමුවෙ මුන්නක්කරේ කියන්නෙ ඉතින් ධීවරයො ජීවත් වෙන පළාතක් නොවැ. අපේ ධීවරයො ඈත අතීතයේත් දෙමළ අය වෙසෙන පළාත් වලට ධීවර කටයුතු වලට ගියා. ඒ අයගෙන් තමයි දෙමළ ඉගෙනගන්න ඇත්තෙ. සමහර දෙමළ අය මෙහෙ පදිංචියට ආවා. සමහරු ආවාහ විවාහ කරගත්තා. අද දක්වාම තරුණ කෙනෙකුට උනත් හොදින් දෙමළ කථා කරන්න හැකි වෙලා තියෙන්නෙ ඒ හින්දයි. මේ වෙලාවට කියන ඔරසම් කොටස සිංහලෙන් කියනවට වඩා දෙමළෙන් කියද්දි තමයි ගොඩාක් අපේ හිත් වලට දැනෙන්නෙ.

වීදුරු කටු සවි කරපු ඉටි බෝලෙකින් පිටට ගහ ගත්තට ලොකු කැළැල් දකින්න නෑනෙ. ඒ තුවාල වලට බෙහෙත් මොනවා හරි ගානවද ?

විනාඩි 20-25 ක් වගේ කාලයක් තමයි බාරය ඔප්පු කරන්න ගත වෙන්නෙ. ඊට පස්සෙ හැමෝම පල්ලියට එහා පැත්තෙ කලපුවට බහිනවා. එතනදි මේ වැඩේ මෙහෙයවපු කෙනා පුද්ගලිකව හැම කෙනාගෙම ලේ කළපු වතුරෙන් පිහදාලා ඒ තුවාල කසිප්පු වලින් හෝදලා දානවා. ඒක තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නෙ. ඉරිදා වෙද්දි තුවාල සනීපයි.

මේ කථාබහ අස්සෙ මෙතෙක් වේලා කථා කරපු මාමගෙ පුත්තරයා..ඒ කියන්නෙ මයෙ මලයගෙ මිත්තරයා සිරා කොලුවට සම්මුඛ උනා.

ගිය අවුරුද්දෙ වෙච්ච බාරෙ හරිගියාද ? මෙදා පාර බාර ඔප්පු කරන්න ලෑස්ති උනේ ?

අපොයි ඔව්...මම 2000 අවුරුද්දෙ ඉදන් මේක කරන්නෙ. ගිය අවුරුද්දෙ මම ප්‍රාර්ථනා කලා මට පුතෙක් ලැබෙන්න කියලා. කලින් ලැබිලා හිටියෙ දුවෙක්. ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ඨ උනා.

වීදුරු කටු තියෙන ඉටි බෝලෙකින් පිටට ගහ ගන්නකොට රිදෙන්නෙ නැද්ද ?

නෑ. අපි  ගොඩාක් භක්තියෙන් මේ වැඩේ කරන්නෙ. ඔයාලා හිතන තරම් අමාරුවක් දැනෙන්නෙ නෑ.

තවත් මොහොතකින් ඔවුන්ගේ කාරිය අරඹන්නට කාලය පැමිණි නිසා මේ හැමෝම අපෙන් සමුගත්තා. ඒ අය ඔවුන්ගේ බාර නිදහස් කරන විදිය මමත් මලයාත් ඡායාරූපයට නැගුවා. වීඩියෝ ගත කලා. පල්ලියට පැමිණි විශාල ජනතාවක් ඒ අයගෙ බාර ඔප්පු කිරීම දිහා බලාන උන්නා. මුලින්ම ඉටි බෝලය මගින් පහරදීම ආරම්භ කලා, එයින් අනතුරුව වේගයෙන් වේවැල් මගින් පහර පිට පහර එල්ල උනා.

අධිෂ්ඨානශීලී බැල්මෙන් ආරම්භය ලබාගන්නට සූදානම්ව


වීදුරු කටු සහිත ඉටි බෝලයෙන් ඇති වූ තුවාල
   
බාරය ඔප්පු කොට අවසානයේ රුධිරයෙන් නැහැවී...





පුරාණ සම්ප්‍රදාය අනුව රුධිරය සේදීමට කලපුව වෙත යමින්...
වතාවත් මෙහෙයවූ තැනැත්තා විසින් පුද්ගලිකව සෑම කෙනෙකුගේම රුධිරය මෙසේ සෝදා හරියි.
තුවාල මත කසියා හෙවත් ඇති හිටියා යොදන අවස්ථාව.



ඔවුන් බාරය ඔප්පු කරන ලද ආකාරය මේ වීඩියෝවෙන් නරඹන්න.

මේ අයගෙන් අති මහත් බහුතරය ධීවර කාර්මිකයො. කාත් කවුරුවත් නොපෙනෙන මහ මුහුදෙ වර්ෂයෙන් වැඩි කාලයක් ගත කරන ඔවුන්ට පිහිටට ඉන්නේ ඔවුන් අදහන දෙවියන් පමණයි කියන සිතුවිල්ල ඔවුන්ගේ සිත් වල ගැඹුරේ බොහොම තදින් සටහන් වෙලා ඇති. ඒ නිසාම බොහොම භක්තිමත්ව මේ විදියට බාර ඔප්පු කරනවා විය යුතුයි කියලා අන්තිමේදි මට හිතුනා.



මම කාමරේ අරින සිරා කොලුවා. 


ප.ලි

කිතුණු දහම හෝ මෙහි විස්තර කරන කාර්යය පිළිබඳ මගේ වැඩි දැනුමක් නොමැති නිසා...ඒ පිළිබඳ දැනුමක් ඇති අයට මේ ලිපිය කියවන අය දැනුවත් කරන්නට තහනමක් නැත.

ඔවුන්ගේ මේ චාරිත්‍රය කරුණු නිසි ලෙස නොදැන විවේචනයට සාහසික නොවන්න.

47 comments:

  1. කවදාකවත් අසා හෝ දැක නැති කාරණාවක්. ටිකක් දරුණුයි වගේ ඒ බාර ඔප්පු කිරීමනම්

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම....ගියවර ඡායාරූප වලින් තමයි මමත් ඉස්සෙල්ලාම දැක්කෙ.

      Delete
  2. මෙය ස්වපීඩා කාමුකත්වය මගින් පැන නගින්නකි

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මේ ගැන ලියවුන විවිධ ලිපි රාශියක් මා දැක තිබෙනවා. මෙය ස්වයංමෝහනයක් වැනි තත්වයක් විනා, කිසිදු දේව බලයක්, මොක්ෂයට යාමේ මාර්ගයක්, ජීවිතයේ දියුණුව ඇති කරන්නක්, තමන්ගේ චර්යාව සහ චින්තනය වැඩි දියුණු කරන්නක්, නොවේ. මේ පිරිස සාම්ප්‍රදායිකව මෝහයේ ගැලී සිටින්නන් පමණයි. එතනින් එහාට ඔවුන්ගේ විචාර බුද්ධිය මෙහෙයවීමේ ශක්තියක් ඔවුන්ට නැහැ. එය අතිශයින්ම කණගාටුදායකයි.

      සිරා වරදවා තේරුම්ගන්න එපා මම මේ ලිපියට විරුද්ධව කතා කරනවා කියා. මා කියන්නේ මේ ඊනියා ඇදහිලි ක්‍රමය තත්‍ය ලෝකයට නොගැලපෙන බවයි.

      Delete
    2. ගිනි පෑගීම, ක‍ටු වලින් එල්ලී යාම ආදියත් මේවයෙම කොටස් තමා. එකම වෙනස අරමුණු වෙන දෙවියාගේ වෙනස විතරයි...

      Delete
    3. සෙන්නා, කතෝලිකයකු වශයෙන් ඔබ පහත කියා ඇති පරිදි සහ, මගේ මව් පාර්ශ්වයේ අය අදටත් අදහන කතෝලික දහමේ, මා නිරීක්‍ෂණය කර ඇති වත් පිළිවෙත් අනුව, මෙවැනි ඇදහීම් පිළිවෙතක්, දෙවියන්වහන්සේ විසින් මෙලොවට උගන්වා නැහැ.

      මෙය හුදෙක්ම පිරිසිදු කතෝලික දර්ශනය විකෘති කිරීමක්. බෞද්ධ දර්ශණයද මෙලෙසම විකෘති කර තිබෙනවා.

      Delete
    4. මෙතන ඇත්තටම තියෙන්නෙ ඔවුන්ගේ හිත් වල තියෙන අධි්ක භක්තිය ඔවුන්ගේ පූජා ස්ථානයකදී ක්‍රියාවට නැගීම කියලයි මට හිතෙන්නෙ. මලක් පහනක් පූජා කරනවට වඩා තමන්ගෙම රුධිරයෙන් මේ වැඩේ කරද්දි ඔවුන්ගේ හිත් වලට දැනෙන තෘප්තිය වැඩි ඇති. ධීවර සහෝදරයො පිරිසක් නිසා වෙනත් පිරිසකට වඩා දෙචියන්ගේ සරණ යදින්නට ඒ අයට සිදුවන වාර ගනන වැඩි ඇති.

      Delete
  3. සිරා මේක දැක්කෙ නැද්ද.. ටිකක් විතර මේ විදිහෙ චාරිත්‍රයක්.

    http://www.ethiopia.sanchara.lk/#!hamartribes/jv13c

    ReplyDelete
    Replies
    1. ලින්කුවට ස්තූතියි...එය ඉතාමත් අගනා ලිපියක්...

      Delete
  4. මෙච්චර ළඟ ඉඳලත් මේක ගැන අහලවත් තිබ්බේ නෑ

    ReplyDelete
    Replies
    1. ලග කිව්වෙ බොලා මීගමුවෙද ?

      Delete
  5. ලේ සහ පීඩාව 'නතින්ග්' වූ කල මෙවැනි චාරිත්‍ර පුදුම විය යුතු කරුණු නෙමෙයි.බාර ඔප්පු කරගැනීම සඳහා ඇතැම් රට වල කුරුසයේ ඇණ ගසාගන්නා අවස්ථා ද වැඩසටහන් වල තිබෙනවා දැක තිබෙනවා.
    අපි ඉන්න තැන ගැන සුළු වැටහීමක් ලැබුනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැඩි විශ්වාසය , භක්තිය...මේ දේවල් නවීන විද්‍යාවටවත් මනින්න බෑනෙ. බොටත් ජය වේවා !

      Delete
  6. සිරා අයියෙ සිරාවටම වීඩියෝව නං බැලුවෙ නෑ. බොරු මොකටද
    ඇඟ හිරිවැටෙනව. මම නං ජීවිතේට ඔය වගේ එකක් බලන්න යන්‍ෙ නැතිවෙයි
    හෆූ

    ReplyDelete
    Replies
    1. වීදුරු කටු බෝලෙන් පිට තුවාල කරගනිද්දි ඒ අයට රිදෙනවා කියන හැගීම ඇති වෙද්දි පොඩි නොසන්සුන් තාවයක් නම් ඇතිවෙනවා තමයි.

      Delete
  7. ධීවරයන් විදියට මාස ගානක් මහ මුහුද මැද කන කට්ටෙ හැටියට ඔවුන්ට මේව ඒ තරං ලොකු දේවල් නොවෙන්න ඇති. හින්දු ආගමේ අය කෝවිල් වලදි ඇඟේ කටු ගහගෙන කරත්තවල එල්ලිලා යන එකත් මේ වගෙම දෙයක් නෙ.

    කසිය කියන්නෙ ‍හොඳ ‍ඔෟෂධයක් එතකොට. හැක්..

    ReplyDelete
    Replies
    1. කසියා දැම්මම තුවාලෙ ඉතාම ඉක්මනින් පැසවන්නෙ නැතුව සුව වෙනවා කියලයි ඒ අය කියන්නෙ. මම ඔවුන්ගේ පරණ තුවාල ගැන බැලුවා..ඒ කථාව ඇත්ත වෙන්න ඇති. කැලැල් පේන්න තිබුනෙ නෑ.

      Delete
    2. කසියා විසට Bacteria තියා virus වත් පලාතට එන්නෙ නෑ
      K නැන්දා

      Delete
    3. Alcohol as antiseptic !
      Faith as pain killer !

      Delete
  8. මෙච්චර ලග ඉදලත් මේව නොදන්න එක ගැන පුදුමයි. ඕක කතෝලික ආගමට ආවෙ පේගන් ඇදහිලි එක්ක වෙන්න බැරිද. පේගන් උත්සවවලදි සිරුර තුවාල කර ගැනීම් බහුලයි.

    ReplyDelete
    Replies
    1. මේ චාරිත්‍ර‍ය මම හිතන්නෙ පාරම්පරිකව සිදු වෙන දෙයක් වෙන්න ඇති.

      Delete
  9. මමත් කතෝලිකයෙක්. හැබැයි ඔහොම දෙයක් ඇහුවෙත් අදමයි. කරන්නෙත් ඔය පල්ලියේ විතරක් වෙන්න ඇති. අනික් මේක කියවන අයත් ඒක සහතික කරයි සමහරවිට
    බොහොම මෑතක් වෙන තෙක්ම යුරෝපයෙත් ශරීරයට වද දීලා තම දේව භක්තිය පෙන්වන තේවාචාරීවරු උන්නා කියලනම් අහලා තියෙනවා. බොහෝ විට අර කිව්වවගේ මේක ඉන්දියාවෙන් ආව දෙයක් වෙන්න පුලුවන්. දකුණු ඉන්දියාවේ අද කාලේ පවා සමහරු බාර වෙනවා සෑහෙන දුරක් දණ ගාමින් ගොස් බාර ඔප්පු කරන්න.

    කොහොමත් මම නම් ඔහොම කරල නෑ. මම නොකලත් නොකරන්නෙමි එය ගැරහීම... :) ස්තූතියි සිරා මලේ ලිපියට

    ReplyDelete
    Replies
    1. මේ පල්ලියට අමතරව දූව පල්ලියෙත් කරන බව අහන්නට ලැබුනා. මේ කාර්යය කරන්න හිතේ දැඩි බවකුත් අධිෂ්ඨානයකුත් අවශ්‍යයි නොවැ...අනිත් අය ඉදිරියේ යම් කිසි වීරත්වයක් ඔවුන්ගේ හිතට දැනෙනවාත් ඇති.

      Delete
  10. පිලිපීනයේ මේ වගේ වතාවතක් කරනවා National Geographic Channel එකේ ප්‍රචාරය වූ වැඩ සටහනක දුටුවා.

    ReplyDelete
    Replies
    1. මිනිස් චර්යාවන් රටින් රටට ඉතින් සමාන වෙන්න බැරි කමක් නෑනෙ.

      Delete
  11. උඹ කියල තියෙන විදියට සංවේදී දසුන් මේකෙ නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. සමහරවිට අහන දකින දේවල් එක්ක අපේ සන්වේදීබව වෙනස්වෙලා ඇති.

      Delete
    2. සංවේදී කථාව කිව්වෙ බොලාට නෙවෙයි...කාන්තා පරාණ වලට...බොලාට ඉතින් මෙතන බෙල්ලක් කපන පින්තූර ටිකක් දැම්මත් සංවේදී නෑනෙ කියයි...:D

      Delete
  12. මෙහෙම දෙයක් ඇහුවමයි, සමහර විට හින්දු ආගමෙන් ආපු දෙයක් වෙන්න ඇති.
    තමන්ගෙ මැට්ටං තං මැට්ටං කියල ඔන්න ඔහෙ ගහගත්තාවෙ .
    එක අතකින් අල්ලා හුක් අක්බර් කියල තව එකෙක්ගෙ බෙල්ල කපනවට වඩා තමන්ගෙ ඇගටම මොනා හරි කරගන්න එක සාධාරණයි

    ReplyDelete
    Replies
    1. හින්දු ආගමෙන් නෙමෙයි. පෘතුග්‍රීසීන් යටතේ තිබුන ගෝවේ දූපතෙන් යටත් විජිත සමයෙ ලංකාවට එන්න ඇති කියලයි ඒ ඇත්තො විශ්වාස කරන්නෙ.

      Delete
  13. පුදුම ගනයේ බාර ඔප්පු කිරිල්ලක්..තමන්ගේ වීශ්වාසතුලින් මිනිස්සු කොච්චර පුදුම දේවල් කරනවද?
    ස්තුතියි සිරා මේ තොරතුරු බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. දැඩි විශ්වාසයකට ගොඩාක් දේ කරන්න පුලුවන්. ඒ බව තමයි මෙතන පේන්නෙ. ස්තූතියි අදහසට...

      Delete
  14. මේ වගේම චාරිත්‍රයක් පෙන්නුවා, Nat Geo එකේ යන Taboo කියන ප්‍රෝග්‍රෑම් එකේ.. එකේ පෙන්නුවේ මෙක්සිකොවේ වගේ තමා මට මතක. ඒකෙදිත් ඔය වගේ මොකක්ද උපකරණයකින් පිටට ගගහා ඉස්සරහට යනවා.. ඒක හැබැයි මෙච්චර සාහසික නෑ..

    ඔවුන් මේක මොන අරමුණින් කළත්, මම දන්න ක‍තෝලික ආගමේ නම් මේ වගේ චාරිත්‍ර අනු දැන වදාරලා නෑ...

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ ඔවුන් ජීවත් වන වටපිටාව එක්ක හැදුන උප සංස්කෘතියක් තුල පැවත එන චාරිත්‍රියක්...ධර්මයේ මූලික කරුණු වල අඩංගු නැති උනත් ඒ මිනිස්සු එදිනෙදා ජීවිතය තුල මුහුණ දෙන ගැටලු පීඩා හමුවේ ඇති වූ දෙයක් වෙන්න ඇති.

      Delete
  15. මුන්නක්කරේ ඉන්දියානු සම්භවයක් තියෙන් කිතුනුවන් ගොඩක් ඉන්නවා කියලා අහලා තියනවා. මේකත් සමහරවිට ඉන්දියාවෙන් ආපු චාරිත්‍රයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ අයත් ඉන්දියාවෙ ගෝවේ දූපතෙන් ආව කථාවක් තමයි කියන්නෙ.

      Delete
  16. ජනයාගේ විශ්වාසයන් මත ගොඩ නැගුන දේවල් ඒ දේවල් වලට අපි ඔක්කොම ගරු කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මමත් හිතන්නෙ. අපි කරන සමහර ක්‍රියාකාරකමක් තවත් කෙනෙකුට විහිලුවක් වෙන්න පුලුවන්...ඇදුම් අදින්නේ නැති ගෝත්‍රිකයන් අපේ ජන සමාජයේ කෙනෙකුට විහිලුවක් උනාට...ඒ ඇත්තන්ට අපි ඇදුම් අදින එක විහිලුවක් වෙන්න පුලුවන්.

      Delete
  17. මේ වගේ චාරිත්යක් කතෝලිකයින් අතරේ තියෙනවා කියලා ඇහුවාමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්...ගියවර ඡායාරූප දකිනතුරු මමත් දැකලා තිබුනෙ නෑ.

      Delete
  18. මාත් අද තමයි ඇහුවේ කතෝලික බැතිමතුන් අතර මේ වගේ චාරිත්‍ර තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...ගොඩාක් දෙනා අහලා නැති චාරිත්‍රයක් තමයි.

      Delete
  19. ටොක් ටොක් ටොක්... සිරා ඉන්නවද?
    මං මේ අසල්වාසියෙක්, ළඟදි බ්ලොග් වල පදිංචියට ආවෙ. අදමයි ගොඩ වුනේ මේ පැත්තෙ.

    මේ වගේ චාරිත්‍රයක් චිත්‍රපටියෙදි දැක්ක. ඒත් කතෝලික ආගමිකයො මෙහෙම දෙයක් කරනව කියල ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. සිරා සෑහෙන දවසකින් කාමරේ පැත්තෙ ආවෙ. කාමරේට සාදරයෙන් පිළිගන්නවා. ලංකාවෙ ක්‍රිස්තියානි බහුතරයක් අය මෙවැනි චාරිත්‍ර‍යක් ලංකාවෙ තියෙන බව දන්නෙ නෑ.

      Delete
  20. මේ වගේම දෙයක් සමහර ඉස්ලාම් රටවලත් තියෙනව. මේ විදිහමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා රුධිරයෙන් බාරය ඔප්පු කරද්දි ඔවුන්ගේ චිත්ත සන්තායටම ඒ දේ දැනෙනවා ඇති.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...