Sunday, March 31, 2019

23 සුදු මල්ලී  සමග මාවරැල්ලේ ගියෙමි

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද  මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ.

සිරාගේ අතීත පුස්තකාල කථාවක කලබල යන නමින් සටහන් වූ, මාගේ අතීත පාසල් මිත්‍ර‍යා හෙවත් වර්තමාන යුධ හමුදා වෛද්‍ය මිත්‍ර‍යා, සිරා කොලුවා ඇතුලු මිත්‍ර සම්පත්තිය අරුණළු යන නමින් ආර්ථිකමය වශයෙන් අඩපණව තිබෙනා දුර ඈත පාසල් අරභයා සිදු කරන්නා වූ සමාජ සත්කාරයන් කෙරෙහි ආරම්භයේ සිටම උදව් උපකාර කල කෙනෙකි. හෙතෙම ඇතැම් විටෙක අදහස් දෙයි. ඇතැම් විටෙක වෛද්‍යවරයෙකු ලෙස තම සේවය ලබා දෙයි. ඒ නිසාම අරුණළු සෙවන යට ඔහු අතිශයින් වැදගත් චරිතයකි.

ගිය වසරේ දවසක හෙතෙම මවෙත සැලකලේ තම අනාගත භාර්යාව ලෙස තෝරාපත්කරගෙන ඇති යුවතිය ඉංග්‍රීසි ගුරුවරියක බවත්, ඇය සේවය කරන ගම්බද පාසලේ බොහෝ අඩුපාඩු ඇති බවත්, මීළග අරුණළු වැඩසටහනෙන් හැකි නම් මෙම පාසල වෙත යම් සහයෝගයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව කරුණු සොයා බලා අප සියල්ලෝම මාවරැල්ල කණිෂ්ඨ විද්‍යාලයේදී අරුණළු සමාජ සත්කාරයක් පැවැත්වීමට තීරණය කලේ එහි අධ්‍යාපනය ලබන්නේ ආර්ථිකමය වශයෙන් බැටකන අහිංසක දෙමාපියන්ගේ දූ දරුවන් බැවිනි. කාලයක් වැසී ගිය පාසලක්ව තිබූ මෙය 2014 වසරේදී නැවත ජීවය ලබා  පවත්වාගෙන යාමද අප සැම පැසසිය යුතු කාරණයක් නිසාම ඒ ගමන් මගට අපේ දායකත්වය ලබාදීම වඩා වැදගත් වනු ඇතැයි යන්න අපගේ පොදු හැගීම වූවේය.

මෙම විද්‍යාලයේ 1 සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන දරු පිරිස ගණනින් 30 කට මඳක් වැඩි වූයෙන් ඔවුනට උපකාර කරන්නට මෙවර අපට විශාල මුදලක් අවැසි වූයේ නැත. ඒ නිසාම මිතුරන් කීප දෙනෙකුට පමණක් මෙවර සත්කාරය පිණිස දායක දායක වන ලෙස අපි ආරාධනා කළෙමු.

අරුණළු සමාජ සත්කාරයන් සමග නිබඳව කටයුතු කරන මෙල්බර්න් නුවර මධුසංඛ පියුමි යුවල,  සිරා කොලුවා සමග අතීතයේ දවසක බෑන්ඩ් කෙරුවාවේ යෙදුන  සිංගප්පූරුවේ ජනක අබේරත්න , සිරා කොලුවාගේ පන්ති සගයන් වන සිංගප්පූරුවේ චාමර, කොරියාවේ මධුරංග, සිරාගේ කාමරය හරහා සිරා කොලුවාගේ අතිජාතයෙකු වූ කැලිෆෝනියාවේ සමීර මෙවර වැඩසටහනේ වැඩිබරක් කරට ගත්තේ දේශීයව ඊට දායක වූ ව්‍යාපාරිකයන් දෙපළක් වන ජයන්ත අයියා සහ දසනායක අයියාට අමතරවය.  සිරා කොලුවාගේ අතිජාතයෙකු වන උදිත කොලුවා මෙවර පැමිණියේ සිය බිරිඳ ශ්‍යාමාද කැටුවය. මේ ඇගේ මෙන්ම සිරා කොලුවාගේ බිරිඳගේද  පළවෙනි අරුණළු සහභාගිත්වයයි.

කලබල පෙම්වතිය අපට පාසලට අවැසි දෑ මොනවාද යන්න විදුහල්පතිනිය සමග සාකච්ඡා කර වරින් වර පැවසුවාය.

ඇත්තටම අයියෙ අපේ පාසලට ගුරු පුටු තියෙන්නෙ තුනයි. පිටස්තර කෙනෙක් විදුහල්පති තුමිය මුණගැහෙන්න ආවම පන්තිකාමරයකින් පුටුවක් ගෙනිහින් තියන්න ඕනෙ. ඒ වගේම පාසලට ශබ්ද විකාශන උපකරණයක් නෑ. මේ පුංචි දරුවන්ට අපිට පුලුවන් විදියට අනිත් පාසල් වල දරුවො ලබන අත්දැකීම් ලබාදෙන්න අපි මහන්සි වෙනවා. මම මේ ඉස්කෝලෙට ආවට පස්සෙ අපි ගිය අවුරුද්දෙ ඉදන් ඉංග්‍රීසි දිනයක් පටන් ගත්තා. එදාට අපේ දරුවො ඉංග්‍රීසියෙන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඉස්කෝලෙ දෙමාපියො වගේම අපිත් හතර අතේ ඇවිදලා තමයි ශබ්ද විකාශන පද්ධතියක් හොයාගෙන එන්නෙ. මේ දරුවො මයික් එකකින් කථා කරලම නෑ. ඒ නිසා ඒ අත්දැකීම දෙන්න අපිට ලොකු උවමනාවක් තිබුනා. ලබන අවුරුද්දෙ වැඩසටහන වෙද්දි පාසලට වරින් වර පරිත්‍යාගයන් කරපු කීප දෙනෙක් එක්ක කථා කරලා පාසලේම තියාගන්න පුලුවන් ශබ්ද විකාශන උපකරණයක් අරන් දෙන්නං කියලා විදුහල්පතිතුමිය මට පොරොන්දු උනා.

කලබල පෙම්වතිය දොඩමළුයි. ඇය මේ හෙළිකරන්නේ අපේ රටේ බොහෝ ග්‍රාමීය පාසල් වල පවතින අඩුපාඩු පිළිබඳ යථාර්තවාදී මුහුණුවරයි.

ගිය අවුරුද්දෙ ඉංග්‍රීසි දිනය දවසෙ මම  ඉංග්‍රීසි ටීටර්ට  පොරොන්දු උනා තමයි. ඒත් මට තවම ඒ පොරොන්දුව ඉටු කරගන්න ලැබුනෙ නෑ. පාසලේ ඉන්න දරුවො ගාන කීයද කියලා අහලා, ඉන්නෙ තිහකට ටිකක් වැඩියෙන් කිව්වම හැමදෙනාම කිව්වෙ මේ පොඩි පිරිසකට මොන ස්පීකර්ද මොන මයික්ද කියලා...ඒත් ඒ අයට තේරුම් ගන්න බෑ මයික් එකකින් සභාවක භය නැතුව කථා කරන්න පුලුවන් දරුවෙක් අපිට හදාගන්නයි මේ සම්පත් ඉල්ලන්නෙ කියලා...සිරා කොලුවා සමග විදුහල්පතිනිය අරුණළු වැඩසටහන සැලසුම් කරමින් කථා කරපු දවසක එහෙම කිව්වා. මේ සියලුම ගුරුදෙමාපියන් තමන්ගෙ දරුවො වගේම මේ අහිංසක දුවාදරුවන් ඇති දැඩි කරන්න නුවණින් පෝෂණය කරන්න දරනා මහන්සිය අපගේ සිත් ගත්තා. අපි කොහොම හරි මේ වැඩේ කරමු. මිත්‍ර‍යන් පිළිබඳ විශ්වාසයෙන් මම මගේ සහතිකය ලබා දුන්නා.

මහත්තුරු අපෙන් මොනවද ඕනෙ කියලා ඇහුවාම අපිට තියෙන අඩුපාඩු සියල්ලම කියන්න හිතෙන්නෙ නෑ. අපි දන්නවා හැමදෙනාම බොහොම අමාරුවෙන් තමයි මේවා අපට ලබාදෙන්නෙ කියලා. මමත්, අපේ ගුරු මණ්ඩලයත් හැකි හැම වෙලාවෙම මුදලින් අපේ දරුවන්ට උදව් කරලා තියෙනවා. අපිට ඉන්න දරුවො ප්‍ර‍මාණය සීමිත නිසා ගොඩාක් දෙනා උදව් කරන්න පෙළඹෙන්නෙ නෑ.

මේ දරුවන්ගෙ දෙමාපියන් අති මහත් බහුතරය උගත් අය නෙමෙයි. රබර් කිරි කැපීම, එහෙමත් නැත්තං කුලී වැඩක් කරලා තමයි ඒ ඇත්තො මේ දරුවො පෝෂණය කරන්නෙ. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය දැඩි ලෙස බීමට ඇබ්බැහිවෙලා තියෙන නිසාම මේ පවුල් වල ආර්ථික ගැටලු බොහොමයි. විදුහල්පතිනිය පාසල වගේම පාසල අවට සමාජය ගැනත් නිර්ලෝභීව අපව දැනුවත් කලා. 

මිත්‍ර‍ සම්පත්තියේ පිහිටෙන් නවීනතම ශබ්ද විකාශන උපකරණයක් වගේම එෆ් එම් මයික්‍ර‍ෆෝන දෙකක්, ප්‍රින්ටරයක්, ගුරු පුටු තුනක්, පුස්තකාලය සඳහා කියවීම් පොත්, හැම දරුවෙකුටම අලුත්ම පාසල් බෑගයක් සමග බෑගය පිරෙන්න පොත්, පෑන්, පැන්සල්, මකන කෑලි, පැන්සල් කටර්, වැනි දේවල් වගේම ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්න අයට ශිෂ්‍යත්ව වැඩපොත් ආදිය ලබාදෙන්නත්, ඔවුන් ඊලග වසරෙ මේ පුංචි පාසලේ අධ්‍යාපනය හමාර කරලා වෙනත් පාසලක 6 වසරට ඇතුලත් විය යුතු නිසා අලුත් සපත්තු ගන්න වවුචර්, ආදියට අමතරව දරුවන්ට දෙමාපියන්ට ගම්වාසීන්ට හැමෝටම සහභාගි වීමට හැකි නොමිලේ බෙහෙත් සමග වෛද්‍ය සායනයක්  පවත්වන්නටත් අපට ලැබුන අරමුදල් ප්‍ර‍මාණවත් උනා. අප එහි යන්නට පෙර දවසෙ මගේ පන්ති සගයෙක් වන බේකරියෙ සාගර පොඩි උන්ගෙ පොඩි බඩගින්න පුරවන්න බනිස් පෙට්ටියක් දෙන්න පොරොන්දු උනා. බනිස් කාලා බොන්න මයිලෝ අරගෙන දුන්නෙ නිරෝන් අයියා.

මට එදාට රාජකාරි බොහොමයි...උඹලා එක්ක එන්න විදියක් නෑ. අනේ ඒ පොඩි උන්ට බනිස් කාලා බොන්න මගෙ ගානෙ මයිලෝ අරගෙන දෙන්නං...උඹලා ඒවා බෙදලා උන් ඒවා බිව්ව විදිය බලලා මටත් සතුටු වෙන්න පින්තූරයක් දෙකක් පෙන්නහං...ඒ හොදටම ඇති මල්ලි....නිරෝන් අයියා එහෙම කිව්වා.

අරුණළු වැඩ වලට කවදත් හොඳම තත්වයේ ලස්සන ලස්සන බෑග් මහලා, ඒවා සකසන්න ගිය මුදල පමණක් අයකරගෙන අපට ලබා දෙන්නෙ බෙන්තොට ඉන්න හර්ෂණී අක්කා. ඔයාලා කරන වැඩේ මම ඉතාමත්ම ඉහළින් අගය කරනවා මල්ලි...ඒවා තමයි අපි මේ සමාජයට කරන්න ඕනෙ යුතුකම්...මමත් පාරෙ ඉරිච්ච බෑග් එකක් එල්ලගෙන යන දරුවෙක් දැක්කොත් කථා කරලා නොමිලේම බෑග් දෙනවා. ඒක මට ලොකු සතුටක්...අලුත් බෑග් එකක් ලැබුනම ඒ පොඩි හිත්වලට ගොඩාක් සතුටුයි කියලා මම දන්නවා...ඒ නිසා මම ගිය අවුරුද්දෙ ඔයාලගෙන් ඉල්ලුවා වගේ මේ අවුරුද්දෙත් ඉල්ලන්නෙ මම හදපු බෑග් එල්ලගෙන සතුටෙන් ඉන්න පොඩි උන් දකින්න පින්තූරයක් දෙකක් මට එවන්න කියලා විතරයි.


වෙළඳපලේ අභ්‍යාස පොත් වල මිළ සෑහෙන්න ඉහළ ගිහින්, හොඳම තත්වයක් එක්ක, සාධාරණ මිළකුත් තිබ්බෙ රත්න පොත් වල විතරයි. ඒ ඇත්තන්ට දුරබණුවෙන් අපේ අරමුණ ගැන කිව්වම ඉතාම අඩුමුදලක් අයකරගෙන අපට උවමනා පොත් සියල්ලම ගෙදරටම ගෙනල්ලා දෙන්නත් රත්න පොත් බලධාරින් කටයුතු කලා.

අපේ සමාජය මොන තරම් දූෂණය වෙලා කිව්වත්, මිනිස් කම වෙනුවට නොමිනිස් කම හිස ඔසවලා තියෙනවා කිව්වත් ඒ ජරාජීරණය වෙච්ච සමාජය අස්සෙත් සුවඳ මල් තවමත් පිපෙන බවට මේවා තමයි සාක්ෂි.

වටින් ගොඩින් ටිකෙන් ටික අවශ්‍ය දේවල් අපේ නිවසෙ පැත්තක ගොඩගැහෙනවා. දන්න හඳුනන අපගේ හිතවතුන් තමන්ගෙ සේවා ස්ථානයටත් මේ පණිවිඩේ අරගෙන ගිහින්, ඒ අයගෙ මිතුරන්වත් මේ වැඩසටහනට දායක කරගෙන. නිවෙස් ඇතුලෙ තැන් තැන් වල තනිවෙලා හිටිය, තමන්ගෙ දරුවන් ඉස්සර දවසක කියවලා පැත්තකින් තියලා තියෙන කථා පොත් එක දෙක ඒ මනුස්සකමේ සුවඳ එක්ක ගුලිවෙලා දවසින් දවස සිරා කොලුවගෙ නිවස බලා ආවා. සිරා කොලුවගෙ හාමිනේ ඒ දේවල් ක්‍ර‍මානුකූලව තැන්පත් කලා.

කීපදෙනෙකුට කිව්වත් ගුරුපුටු  හොයාගන්න අපිට තවම බැරි උනා නේද ? සිරා හාමිනේ දවසක් සිරා කොලුවට යෝජනා කලේ මොරටුවට ගිහින් අපිම හොයාබලමු කියලා. එයින් පස්සෙ උදාවුන සතිඅන්තයක අපි දෙන්නා මොරටුවට ගියා. කඩයක් කඩයක් ගානෙ ඇවිදලා බැලුවත් අපට උවමනා මාදිලියෙ පුටු තිබුනෙ නෑ. ඒත් අතුරු මාර්ගයක කොනක තිබුන පුංචි කඩයක ගුරු පුටු කීපයක් අපි දෙන්නගෙ ආගමනය බලාපොරොත්තුවෙන් ඉදලා...

මගේ බිරින්දෑත් ගුරුවරියක් නිසා..ගුරුපුටුවෙ සුවපහසුව සහ අවශ්‍යතාව ගැන ඇයට තියෙන අවබෝධය සමග එතැන තිබුන මාදිලී කීපයක් අතරින් එකක් තෝරාගත්තා. ඒ මාදිලියෙන් පුටු තුනක ඇණවුමට මුදල් ගෙවලා ආයෙම නිවසට ආවට පස්සෙ මොරටුවේ ඉඳලා ගුරුපුටු ගම්පහට ප්‍ර‍වාහනය කරලා දෙන්න මාර්ග සංවර්ධන අධිකාරියෙ අසංක කැමති උනා.

මහත්තුරුන්ට පුලුවන් නම් මේ දරුවන්ගෙ තාත්තලට බීමේ ආදීනව ගැන දේශනයක් කරන්න. ඒ අය රබර් වතු වලදි බොහෝ වෙලාවට සර්ප දෂ්ඨන වලට ලක්වෙන නිසා අහුවෙන සර්පය මරලා දානවා. පුලුවන් නම් ඒ ගැනත් යමක් කරන්න. විදුහල්පතිතුමියගෙන් ලැබුන ඒ ඇරයුමත් පිලිගත්තට පස්සෙ මම කල්පනා කලේ එකම එක කෙනෙක් ගැන විතරයි...ඒ තමයි සුදු මල්ලි හෙවත් ජනක රණසිංහ. මගේම පාසලේ වැඩිහිටි සහෝදරයෙක්, නිහතමානී මිනිහෙක් ඒ වගේම තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක්.

සුදු මල්ලි ඉතාම ලෙංගතුව අපගේ ආරාධනය පිළිගත්තා වගේම, එදින වැඩසටහනට අදාළ ඉදිරිපත්කිරීම් සිදු කිරීමට අවශ්‍ය කරන තොරතුරු සකසාගෙන එන්නටත්  භාරගත්තා.

අමුතුවෙන් පිංකම් ඕනෙ නෑ මල්ලි...මේවා තමයි පිංකම්....මමත් රට වටේ යන මිනිහා නිසා ඉගෙනගන්න සම්පත් නැති උනත් ඉගෙනගන්න තියෙන ආශාව නිසාම දුක්විඳගෙන හරි ඉගෙනගන්න දරුවො ඕනෙ තරම් දකිනවා. ඒ අය ගැන ඇත්තටම දුකයි....ඒත් අපිට පුලුවන් දේ අපි කරමු.

මේ පුංචි හිත්වලට සතුට දෙන්න, ඒ අයගෙ අධ්‍යාපනයට ධෛර්යය දෙන්න, පුංචි තෑගි ලස්සනට ඔතාගෙන අපි ඒ අය බලන්න යන්න පිටත් උනේ අරුමැක්කෙමයි. ගමනට සහභාගි වන පිරිස කල්වේලා ඇතුවම පැමිණ තිබුන නිසා ප්‍ර‍මාදයක් නෑ. ගම්පහ අස්ගිරියෙන් සුදු මල්ලි, පල්ලියපාරෙන් ගීතා ටීචර්, විජය පාරෙ සාගර  බේකරියෙන් බනිස් පෙට්ටිය වගේම ඉහළගමින් කලබල වෛද්‍යතුමා සමග අරුණළු වෛද්‍ය සායන වලට උවමනා බෙහෙත් සැපයීම හැමදාමත් සිදුකරන මාතරයත් රථයට නැගුනට පස්සෙ නඩේ සම්පූර්ණයි.

මගේ වර්තමාන සේවා ස්ථානයේ  සේවකයන් ප්‍ර‍වාහනයේ නියුතුව තිබෙන පිටස්තර බස් රථයක හිමිකරු ඉතාම අඩුමුදලකට මේ රථය රියදුරු සමග ලබාදුන්නෙ...මේ වගේ වැඩ වලට අපිත් පුලුවන් විදියට උදව් කරන්න ඕනෙ කියන හැගීමෙන්. අපේ ගමන යන්නට නියමිතව ඇත්තේ ඉතාම කටුක මාර්ගයක, වල ගොඩැලි, වගේම පාර දෙපැත්තෙ කලුගල්කුළු තිබෙන මාර්ගයක වුවත් තමන් සතු නවතම සුඛෝපභෝගී බස් රථයක් ඔහු අපට ලබාදුන්නේ ඒ පිළිබඳ කිසිම තැකීමක් නැතුව.

නගර මැදින් ගිය රථය, ගමට සේන්දු උනා, රබර් වතු පහුකරමින්, ගමේ සුළඟ විඳිමින් ඉදිරියටම ඇඳිලා මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරෙන තැන විශාල පල්ලමක්...එතැනින් රථය ඉදිරියට ගියේ බොහොම අමාරුවෙන්, දැන් දැන් බස් රථයේ ප්‍ර‍මාණයටම මාර්ගයේ පලල පුංචි වෙලා...මේ ඉස්කෝලෙට මීට කලින් ගිහින් තියෙන්නෙ එකම එක බස් එකයිලු...ඒකත් තනි දොරේ බස් කොටයක්...ඉස්සර දවසක කලබල පෙම්වතිය සිරා කොලුවට කියපු හැටි මතක් උනා.

බස් රථය දැන් යන්නෙ අවධානම් සහගත ගමනක්...ඇතැම් වංගුවක තියෙන කොන්ක්‍රීට් ලෑල්ලෙන් එළියට පිටුපස එක රෝදයක් පනිනවා...මේ මොන අවධානම තිබුනත් මේ ගමන යන්නම ඕනෙ කියන හැගීම රියදුරු තැනට තිබුන නිසාම ඔහු අප සියල්ලන් එහි ගෙනගියේ තමන්ගෙ රියදුරු හැකියාවන් මොනවට ප්‍ර‍දර්ශනය කරමින්. සැබැවින්ම එය එතරම් අපහසු ගමනක්.

ඉතිහාසයේ මාවරැල්ල වහකුල කණිෂ්ඨ විද්‍යාලයට සේන්දු වූ දෙවැනි බස් රථය දුටුවනම එහි රැස්ව සිටි ගම්වාසීන්, සිසුදරුවන්, දෙමාපියන් ඇතුලු සියල්ලෝම ඉතාම ප්‍රබෝධයට පත් වුනා. අපේ ආගමනය දැනගත්ත දවසෙ ඉඳන් මේ පුංචි හිත් නොඉවසිල්ලෙන් අප එන පෙරමග බලාසිටි බව අපට කිව්වෙ කලබල පෙම්වතී. අයියලා ඇත්තටම එනවා නේද ? පවු අනේ මේ ළමයි...මට ලෝභ හිතෙනවා ඒ අය ඒ තරම් ආශාවෙන් මග බලා ඉන්නෙ...


අරුණළු අමුත්තන් හැමෝම තමන්ගෙ පාසලේ තූර්යවාදන කණ්ඩායමේ දායකත්වයෙන් පිළිඅරගෙන ඒ අයට තියෙන එකම ශාලාවට රැගෙන යන්න පිටත් උනා. මේ පුංචි දරුවන්ට වාදන භාණ්ඩ කිසිවක් නෑ. ආදේශන භාණ්ඩ වලින් තමයි සියලුම දෑ නිමවා තිබුනෙ. පුංචි බූලියක් බේස් ඩ්‍ර‍ම් එකක් විදියට වර්ණ ගන්වලා, එය වාදනය කරනවා දැක්කම බෑන්ඩ් කෙරුවාවේ නිරත උන එකෙක් විදියට මට දැනුනෙ පුදුමාකාර දුකක්. මගේ දෙඇස් ඒ වෙලාවෙ කදුලෙන් බොඳ උනා...ඒක අතිශෝක්තියක් නොවෙයි. ඒ හැගීමම සුදු මල්ලි අයියගෙ මුහුණෙත් තැවරිලා, ඒ දෙඇස් අගත් කඳුලක් මෝදු වෙලා තිබුන බව මම හොඳින් දැක්කා.



ජාතිය ධජය ඔසවලා, ජාතික ගීය ගායනා කරලා, අහවර උනාට පස්සෙ පුංචි අතකින් අපට ලැබුන බුලත් හුරුල්ලක් අතට අරගෙන උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුලුවෙන්න අපිට හැකි උනා. ආගමික වතාවත් වලින් පස්සෙ උත්සවයෙ වැඩකටයුතු ආරම්භ උනේ අප විසින් එහි රැගෙන ගිය ශබ්ද විකාශන උපකරණ භාවිතයෙන්මයි.




බීමේ ආදීනව ගැන අහන්න තාත්තලා හිටියෙ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් පමණයි...අනිත් සියල්ලෝම මව්වරුන්...පුංචි අය ඉතාම ප්‍රබෝධයෙන් සතියක දෙකක් ඉඳන් එයාලා පුරුදු පුහුණු උන නැටුම් අංග, සින්දු, නාට්‍ය හැමදේම ඩෙස්ක් යොදාගෙන නිර්මාණය කරපු පුංචිම පුංචි වේදිකාවක ඉදිරිපත්වෙනවා.





ඒ අතරතුර විවිධ දෑ අරගෙන එන්න වරින් වර බස් රථය වෙත යන්න අප කාට කාටත් සිදු උනා. තමන්ගෙ ගමට මීට කලින් බස් එකක් එනවා දැකලා නැති නිසාදෝ පාසල් යන වයසෙ පොඩි උන් රොත්තක් බස් එක ඇතුලෙ ආසන වල මගීන් වගේ ඉඳගෙන ඉන්න අමුතුම දර්ශනයක් අපේ සිත් ඔකඳ කලා...

ඉඳගෙන ඉන්නද ඇහුවා....මම හා කිව්වා...රියදුරු තෙමේ මන්දස්මිතියක් නැගුවා.

දිවා විවේකයට කලියෙන් සාගරගෙ බනිස් පෙට්ටිය, මයිලෝ සමග බෙදාදුන්නත් දරුවන් බොහොමයක් මයිලෝ පානය කරනවා දකින්න ලැබුනෙ නෑ. බනිස් ගෙඩිය අනුභව කර මයිලෝ ඇසුරුම තුරුලුකරගෙන ඉන්නා දරුවන් ඉතාම සුලභ උනා. අප සිතුවේ ගෙදර ගොස් පානය කරන්නට ඔවුන් මේවා තබාගෙන සිටිනවා කියා වුවත් අප පසුව දැනගත් පරිදි මයිලෝ පැකට්ටුවට අමුනා ඇති පුංචි ස්ට්‍රෝව ආධාරයෙන් මේවා පානය කරන ආකාරය ඔවුන් දැන සිටියේ නැත.


පාසලේ දෙමාපියන්ගේ අනුග්‍ර‍හයෙන් අපට ලැබුනේ ගම්මානය අවටින් සොයාගත හැකි දෑ උපයෝගී කරගනිමින් සකසන ලද කඳිම දිවා අහාරයක්. බත් වලට අමතරව කටට සැර කොච්චි එක්ක මයියොක්කා කෑල්ලක් දෙකක් ආමාශගත කරන්නත් අපි අමතක කලේ නෑ.  අපි නොදන්න ලයිව් ආයෙ ටීවී එකේ යන්නෙ නැද්ද ? දත් හැලුන ආච්චිලා දෙන්නෙක් සුදු මල්ලි අයියාගෙන් ඇහුවාම සුදු මල්ලි අයියා ඇහුවෙ ඔයාලා මාව අඳුනගත්තද කියලයි.


දිවා භෝජන සංග්‍ර‍හයෙන් පස්සෙ සුදු මල්ලි අයියා සර්පයො ගැන සභාව දැනුවත් කරන්න පටන් ගත්තා. පුංචි හිත් වලට දැනෙන විදියට ඉතාම නිර්මාණාත්මකව ඒ ඒ සර්පයාගේ පින්තූරයකුත් සමගම. ඒ පුංචි හිත් ඉතාම සතුටට පත් උනා. සභාව එකම රස ගුලාවක් උනා. ඒ පුංචි හිනාවට ඒ අයගෙ දෙමාපියන් වගේම ගුරුවරුනුත් එකතු උනාට පස්සෙ එතැන කඳිම මිහිරියාවක් මැවුනා.


සර්පයො ගැන කතාවෙන් පස්සෙ බොහොම සංවේදී කථාබහකට සුදුමල්ලි අයියා එළැඹුනා. අපි දන්න විකට නලුවා අතුරුදන් වෙලා, දුක දැනෙන සංවේදී මනුස්සයෙක් එහි ඉතිරිවෙලා හිටියා. තමන්ට මොන තරම් ආර්ථික ගැටලු තිබුනත් මේ පුංචි දරුවන්ට හැකි උපරිම ලෙස උගන්වන ලෙස ඔහු දෙමාපියන්ගෙන් අයැද සිටියා.

මේ කථා බහ අතරේ ඔහු තූර්ය වාදන කණ්ඩායම ගැන වචනයක් කියන්නත් අමතක කලේ නෑ. ඒත් ඒ මතකය ඔහු වඩාත් සංවේදී කල නිසාම සභාව මධ්‍යයේ කථා කරගන්නට වචන ගොණු කරනු නොහැකිව විනාඩි කීපයක් ගත කලේ දෙඇස් තෙත් කරන කදුලු වැල් දෙනෙතට සමු දී තමකොපුල් තල සිපගන්නා අන්දම ලොවින්  සගවන්නට කිසිදු නිරර්ථක උත්සාහයක නොයෙදෙමිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙතෙම අව්‍යාජ මිනිසෙකි.




සෑහෙන කාලයක සිට දන්නේ වුවද සුදු මල්ලි අයියා මෙතරම් සංවේදී මිනිසෙක් යැයි මම පළමු වරට ශපථ කරගත්තෙමි. අනුන්ගේ දරුවෙකු වෙනුවෙන් හලන්නට කඳුලක් ඉපදුන ඔහු කෙතරම් ශ්‍රේෂ්ඨයෙකුදැයි මට මේ අකුරු අමුණන මේ මොහොතේද සිතෙයි.

විදුහල්පතිතුමිය වෙත පරිත්‍යාගයන් ලබාදෙමින්


අවසානයේ ඔව්හු යුවතපතීන් වූහ

පාසලට ලබාදීමට රැගෙන ආ දෑ බෙදාදීලා අවසන් උනාට පස්සෙ පුංචි දරුවන්ට ත්‍යාග බෙදාදීම ආරම්භ උනා. සතියක දෙකක ඉඳන් කුතුහලයෙන් ඉන්න මේ පුංචි හිත් දැන් දැන් නොඉවසිලිමත් බව අපි දන්නවා.




ත්‍යාග ප්‍ර‍දානෝත්සවය අවසානයේ පුරුදු විදියට අරුණළු වෛද්‍ය සායනය ආරම්භ උනා. පුංචි දරුවන්ට අමතරව ගමේ වෙසෙන වැඩිහිටියොත් පේලි සැදී එහි ප්‍ර‍තිලාභ භුක්ති වින්දා. ගල්කඩවලදි වගේම මාවරැල්ලෙදිත් වෛද්‍යතුමා නියම කරන බෙහෙත් පෙති, ඖෂධවේදී මාතරගේ අධීක්ෂණය යටතේ පුංචි පුංචි පැකට් වලට ඇසුරුම් කරලා දුන්නෙ මගේ පාසල් මිත්‍ර‍යා උදිත.






ඔයින් මෙයින් මේ සියලුම කටයුතු අවසන් වෙලා අපි ආපහු ගම්බිම් බලා පිටත් උනේ ඒ ඇත්තන්ගෙන් ලැබුණ බෙලිමල්කෝප්පයක් බීලා හකුරු කෑල්ලක් හපන ගමන්. වෙහෙසකර වුවත් අද දවස ගැන හැම දෙනාම සතුටෙන්.

අප අපට හැකි දේ හැකි ප්‍ර‍මාණයෙන් කරන්නට උත්සුක වන්නේ නම් අප සමාජය මෙයට වඩා යහපත් එකක් වනු ඇත. අඳුරටම ශාප නොකොට එක් පහනක් හෝ දැල්වීමට ඔබත් අධිටන් කරනු මැනවි.

අප විසින් ලබා දුන් පුංචි තිළිණය සමග සුදු මල්ලි අයියා 




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ගිය වසරේ සැප්තැම්බර් මස පැවැත්වුන සත්කාරයකි. අකුරු කරන්නට ඉසිඹුවක් ලැබූයේ අදයි.

මේ පුංචි තූර්යවාදන කණ්ඩායමට සැබෑ තූර්යවාදන උපකරණ ලබාදෙන්නට ඔබට හැකි නම් ඒවා ආදරයෙන් බාර ගන්නට ඒ පුංචි හිත් කැමතිය. සිරා කොලුවා විසින් එවැනි උත්සාහයන් සම්බන්ධීකරණය කරනු ඇත. 


මයික් එකෙන් කථා කරන්න තියෙන ආසාවට උදේ රැස්වීමේ කථා කරන්න දැන් ළමයි පොරකනවා. මීට කලින් අපි ළමයෙක් ඉස්සරහට යවාගත්තෙත් හරිම අමාරුවෙන්. හැමෝම කථා කරන්න පොරකන නිසාම අපි දැන් සතියකට උදෑසන රැස්වීම් දෙකක් තියනවා...පස්සෙ දවසක විදුහල්පතිතුමිය එහෙම කිව්වා.

23 comments:

  1. PLS contact me. 0714532346 (Madhawa)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට...නිසැකවම අමතන්නෙමි..

      Delete
  2. I need to know few more information. Can i have your contact no.?

    ReplyDelete
    Replies
    1. Please send me an E-mail with your contact details to infosira2012@gmail.com

      Delete
  3. ඔය පාසලේ පින්තූර ටිකයි අර බෑන්ඩ් එකයි දැක්කම පපුව ගොඩක් බරට දැනුණා. ලඟම පාසල හොඳම පාසල කරන්න, පන්ති කාමර ඩිජිටල් කරන්න කලින් ලකාවෙ හැම පාසලක්ම එකම මට්ටමට දියුණු කරන්න ඕනෙ. උඹලා ඔය කරනදේ ගොඩක් වටිනව වගේම, මේ දේවල් අමාත්‍යාංශයෙයි පළාත් සභාවලයි අවධානයට ලක් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දැක්කෙ ඩ්‍ර‍ැකියො...මේ රජය අධ්‍යාපනය පිළිබඳ හැමදාම සැලසුම් හදනවා..ඒත් මේ වගේ අසරණ පුංචි පාසල් වලට අත් වූ සෙතක් නම් පේනතෙක් මානයක නෑ...අඩුම තරමෙ ඒ අයට අවශ්‍ය මූලික සම්පත් ටික හෝ ලබාදෙනවා නම් මේ පුංචි දරුවන්ට සහනයක්.

      Delete
  4. සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...//
    යකෝ..මෙවා අපේ කාමර..ආය අමුතුවෙන් ඉස්තුති ඔනේ නැහැ.

    නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !//

    එනවා..මචෝ..උබටත් ජයවෙවා....


    තවත්වත් මෙවැනි දෙට උබට ශක්තිය ලැබෙවා

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා කාලෙකින් නේද...පුලුවන් විදියට සමාජයට යමක් කරන එක තමයි අපේ අරමුණ...ඊලග වැඩසටහනේදි අපි එක්ක එකතු වෙන්න.

      Delete
  5. අගේ ඇති වැඩක් සිරා.
    ස්මාට් පන්ති කාමර හදන්න ඉස්සර මේ වගේ ඉස්කෝල වල මූලික අඩුපාඩු ටිකවත් සම්පූර්ණ කරන්න අධ්‍යාපන බලධාරීන්ට පුලුවන්නං ලොකු දෙයක්. ඒත් ඒක වෙයි කියල හිතන්න අමාරුයි.

    මේ වැඩේට සහභාගී වෙච්ච හැමෝටම ස්තුති කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියෙ...ඔබේ වදන් අපිට සවියක්...ඒ වගේම ඊලග වැඩසටහනකදී ඔබට පුලුවන් අපි සමග එකතුවෙන්න...මම වේලාසනින් දැනුම් දෙන්නං..

      Delete
  6. ජයින් ජයම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවෙත් හමුවෙමු සමීර...ඔබටත් ජය!

      Delete
  7. රට සිංගප්පූරුවක් කරන්න දිවා රෑ වෙහෙස වන බඩ වඩන ඒ පබයන්ට මෙිවා නොපෙනෙන කලයක ⁣මෙි වැනි දේ කිරිමට ඉදිරිපත් විම සතුටට කරැනක් අයියේ...සුබ පැතුමි...අරැණළු දිනෙන් දින දලුලා වැඩෙිවා..

    කලබල පෙමිවතිය,වතා ?
    ලියපු එක සතුටකි අපට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු, බලධාරීන්ට බොහෝ විට පෙනෙන්නෙ නගරයේ තිබෙන ප්‍ර‍සිද්ධ පාසල් වල අඩුපාඩු...අපි ඉතින් අපිට පුලුවන් විදියට පුංචි පාසල් වල අඩුපාඩු සපුරාලමින් ඒ පාසල් වල ඉගෙනගන්න දරුවන්ගෙ අධ්‍යාපනය වැඩිදියුණු කරගන්න සුලු හෝ දායකත්වයක් ලබා දෙනවා.

      Delete
  8. ඇත්තටම සිරා උබල කරපු දේනම් සිරා වැඩක්... කියන්න වචන නෑ.... අපිත් අපේ යාලුවෝ එකතු වෙලා ඔය වගේ වැඩක් කරා.. ඇත්තටම ගොඩාක් සතුටුයි....

    ReplyDelete
    Replies
    1. සතුටුයි...හැමෝම තමන්ට පුලුවන් දේ මේ සමාජය වෙනුවෙන් කරනවා නම් මජර දේශපාලුවො ඒ දේවල් කරනකං බලාන ඉන්න මේ පුංචි දරුවන්ට සිදු වෙන්නෙ නෑ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ස්තුතියි ඔබේ අදහසට....

      Delete
  10. ලොකු පිනක් සිරා, ලොකුම පිනක්.. පොඩි උන්ගෙ හිනාව දැක්කම පුදුම සතුටක් දැනුනේ..

    මම දන්න පාසලක එක්තරා වසරක කණ්ඩායමක් උන්ගෙ සංවත්සර පාටියක් පවත්වන්න යනවා. අනුමාන කරන පිරිවැය මිලියන විස්සකරට වැඩිලු.. අනේ මේවගේ පාසල් කීයක් ඒ සල්ලි වලින් ගොඩ දාන්න පුලුවන්ද?

    ඩ්‍රැකියත් කිව්වා වගේ ටැබ්ද, අරවද, මේවද ලොකු ලොකු දේවල් කරන්න කලින් රටේ තියන හැම පාසලකම ළමයි එකම තත්ත්වයෙන් මූලික පහසුකම්වත් ලබන බවට රජයෙන් වග බලා ගන්නවනම්, රටේ අනාගත මීට වඩා ගොඩක් වෙනස් වෙයි...

    මාවරලේ කිව්වම මතක් වෙන්නේ බද්දිය හාමුදුරුවන්ව...

    ReplyDelete
    Replies
    1. මුදල් තියෙන හැමෝටම තවත් කෙනෙකුගේ අසරණකමකට උදව්වක් වෙන්න හිතෙන්නෙ නෑ. මම පුද්ගලිකව ඔවැනි බොහෝ දෙනෙකුට ආරාධනා කරලා තිබෙනවා අපේ වැඩපිළිවෙලට යම් දායකත්වයක් දක්වන්න කියලා...ඒ ඇත්තො නෑසූ කන්ව හිටියා. නමුත් විනෝදය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම ඔවුන් කිසිවිටෙක පසුබට උනේ නෑ.

      Delete
  11. ම්චං, "සුදු මල්ලිව" අදුන ගන්නත් බැරි තරම් වෙනස් වෙලානේ...

    ReplyDelete
    Replies
    1. මේකප් නැති නිසාද දන්නෙ නෑ....

      Delete
  12. හප්පට සිරි......සිරා අයියා තවමත් බ්ලොග් ලියනවා නේද. සන්තෝසයි.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...