ටජ් මහල ගැන ඉතිං කවුද අහලා නැත්තෙ. අසල්වැසි ඉන්දියාවෙ අග්‍රා නුවර තියෙන මේ ඉපැරණි ස්මාරකය ආදරයේ සංඛේතය හැටියටත් සමහරු සළකනවා නොවැ. යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වගේම නූතන ලෝකයේ පුදුම 7 තුලත් තියෙන ටජ්මහල පිටිපස්සෙ තියෙන කථාව ගැනත් බොහෝ අය දන්නවා.
මෝගල් අධිරාජ්‍යයෙකු වූ සාජෙහාන් රජතුමාට බිරින්දෑවරු කීප දෙනෙකුම හිටියා. ඒ උනාට රජතුමා වැඩිපුර ආදරය කලේ තමන්ගෙ තුන්වැනි බිරිඳ වෙච්ච මුම්ටාස් මහල් දේවියට. ඇය පර්සියන් කුමාරිකාවක්. තමන්ගෙ 14 වෙනි දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඇය ජීවිතයෙන් සමුගැනීම රජතුමාට ඉතාම විශාල චිත්ත පීඩාවක් ගෙනදුන් බවත් ඒ නිසාම ඒ වියෝවෙන් වසර 5 කට පසු ඇය වෙනුවෙන් ටජ්මහල නම් ස්මාරකය ඉඳිකරන්න රජතුමා කටයුතු කල බවත් විකිපීඩියාව කියනවා. 1632 වසරේදී ඉඳිකිරීම් ආරම්භ කරලා 1648 වසරෙදි එහි වැඩ අවසන් වී තිබෙනවා. අවට ඇති උද්‍යානයේ කටයුතු නිම කරන්න තවත් වසර 5ක් ගතවෙලා.
මේ විදියෙ වෙහෙසකර ගමනක් අවසන් කරලා ටජ්මහල විකසිත වෙද්දි දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ලේ, කදුළු, දහඩිය මේ දැවැන්ත කිරි ගරුඬ නිර්මාණය පිටිපස්සෙ ලොවට රහසේ ගලා ගිහින්. තවත් මෙවැනි නිර්මාණයක් නොකරන්නට ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ දෑත් කපා දැමූ කථාවත් ඉතාම ප්‍රසිද්ධයි. කෙසේ වෙතත් සාජෙහාන් රජතුමා ජීවිතයේ අවසාන කාලය තමන්ගේම පුතාගේ සිරකරුවෙකු විදියට ටජ් මහලට යාබද රතු බලකොටුවෙ ගෙවා දැමූ බව නම් බොහෝ දෙනා අසා නැතුව ඇති.
අන්තඃපුරයක් තිබූ රජතුමෙක් තමන්ගෙ තුන්වැනි දේවියගෙ අභාවය වෙනුවෙන් කල මේ නිර්මාණය ආදරයේ සංඛේතයක් ලෙස පිළිගන්න සමහරු කැමති නෑ. ඒ වගේම ටජ් මහල පසුබිමේ එතරම් ප්‍රසිද්ධ නැති අභිරහස් බොහොමයි. ලිපියේ අග තිබෙන ලින්කුවට කෙටුවොත් ඒවා ගැන දැනගන්න බොලාට හැකියි.
ටජ්මහල ගැන මේ විදියට කියාන යද්දි සිරා කොලුවා ජාලෙන් පෙරලලා අද කියන්නෙ කවුරුත් දන්න ටජ්මහල ගැන කියලා බොලාට හිතුනා නම් වැරදියි. මම දැන් තමයි අපි නොදන්න ටජ් මහල ගැන කියන්න පටන් ගන්නෙ. මේ කියන ටජ් මහල නම් උත්තරීතර ආදරයක සංඛේතයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් එකක්.
ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ Bulandshahr නැමති පිටිසර ගම්මානයේ ජීවත් වන 77 හැවිරිදි Faizul Hasan Kadari විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙක්. 2011 වසරෙදි තමන් සමග එතෙක් කල් ජීවිතයේ දුක සතුට බෙදාහදාගත් ආදරණීය බිරිඳ මියැදුනාම ඇයගේ නික්ම යාම ඔහුට මහා දුකක් ඇති කලා. ඇගේ නම Tajammuli Begum. මේ යුවලට දරුවො හිටියෙ නෑ.
අපේ නම ඉස්සරහට අරගෙන යන්න අපට කවුරුවත් නෑ. මරණ මංචකයෙ වැතිර උන් තමන්ගෙ බිරිඳ ජීවිතයෙන් සමුගන්න ආසන්න දිනයක කියපු මේ වචන කීපය අපේ කථානායකයගෙ හිතේ ඊයම් බරු වගේ ගැඹුරට කිඳා බැස්සා.
මම ඔයා වෙනුවෙන් මුළු ලෝකයටම පේන්න ස්මාරකයක් හදන්න පොරොන්දු වෙන්නම්. අපි දෙන්නට දරුවො නැති උනත් අපේ ස්මාරකය නිසා අපි දෙන්නා ගැන මතකය මිනිසුන්ගේ හිත් වල දිගටම තියේවි. හසන් කඳාරි තමන්ගෙ ආදරණීය බිරිඳගේ අවසානය උදා වෙන්නට මත්තෙන් ඒ විදියෙ පොරොන්දුවක් උනා.
කදාරි මහත්තයාගෙ ගෙදරට සැබෑ ටජ් මහල හොදින් පේනවා. ඒ හින්දම ඒ යෝධ නිර්මාණයේ අනුරුවක් මියගිය ආදරණීය බිරිඳ වෙනුවෙන් තමන්ගෙ වත්තෙ ඉඳිකරන්න ඔහුට අදහසක් පහළ උනා. සැබෑ ටජ්මහල මුම්ටාස් දේවියගේ සොහොන් ගෙය බවට පත් උනා වගේම මේ හදන්න යන ටජ් මහලත් සොහොන් ගෙයක්. තමාගේ අභාවයෙන් පස්සෙ ප්‍රිය බිරිඳට පසෙකින් මේ නිර්මාණය තුල සැතපෙන්න ඔහු අදහස්කරගෙන ඉන්නෙ. නමුත් මේ අසරණ විශ්‍රාමිකයට තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඉඳිකරගෙන යන මේ නිර්මාණයට කිරි ගරුඬ සවිකරන්න තරමේ වත්කමක් නෑ. ඒ හින්දම ඔහු වැලිගල්, ගඩොල්, යකඩ උපයෝගී කරගෙන තමන්ගෙ පොරොන්දුව දිගේ ඉදිරියට ගියා.
![]() |
| ඉස්සර දවසක ලස්සන සැමරුම් |
මේකට සල්ලි හොයන්න මගේ ඉඩමක් මම ලක්ෂ 6 කට වික්කා. නෝනගෙ රත්තරං බඩු වෙනත් ආභරණ ජාති ලක්ෂ එක හමාරකට වික්කා. විශ්‍රාම වැටුප විදියට එකතු වෙච්ච ඔක්කොම සල්ලි බැංකුවෙන් ගත්තා. එතැන තවත් ලක්ෂ එක හමාරක් වගේ තිබුනා. මේ වෙද්දි මට අවුරුද්දකටම රු ලක්ෂයක් වගේ තමයි වියදම් කරන්න පුලුවන්. ඒ උනාට ඒ මුදල ඉඳිකිරීම් නවත්තන්නෙ නැතුව පවත්වාගෙන යන්න ප්‍රමාණවත් නෑ.මම මැරෙන්න කලින් මේක හදලා ඉවර කරන එක තමයි දැන් මගේ එකම හීනය. ඔහුගේ අදහස එහෙමයි. මුල් නිර්මාණයේ ඉදිරිපස තිබෙන ජලය ඉහළට විඳින පොකුණු, පේළියට සිටුවන ලද ශාක, අලංකාර ගඩොල් නිර්මාණ පවා ඉඳිකරන්නයි සැලසුම් කොට තිබෙන්නේ. මොනවා කරන්නත් සල්ලි නැති කම තමයි දැන් මෙතන තියෙන පුරස්නේ.
මට මුදල් ප්‍රශ්නයක් තියෙන බව ඇත්තයි. ඒ උනාට මම කාගෙන්වත් මේ වෙනුවෙන් මුදල් ලබා ගන්න සූදානම් නෑ. මගේ අධිෂ්ඨානය මගේ මුදල් වලින්ම මේ දේ කරන්නයි. සමහර මිනිස්සු මට කිව්වා මම මේ කරන්නෙ මුදල් නාස්තියක් කියලා. තවත් සමහරු කිව්වා මේ සල්ලි වලින් කසාද බඳින්න වත්කමක් නැති අයට ඒ කටයුතු කරගන්න උදව් කලා නම් මීට වඩා වටිනවා කියලා. ඒ අයට මම කිව්වෙ මේ දේ කරන්නෙ මගේ බිරිඳ අනුස්මරණය කරන්න නිසා ඔය කියන කිසිම දෙයක් මට ඒ කාරණය තරම් වටින්නෙ නෑ කියලයි.
මේ කුඩා ටජ්මහල නිසා Bulandshahr කියන පිටිසර ගම්මානය ඉන්දියාව තුල දැන් තරමක් දුරට ප්‍රචලිත වෙලා අවසන්. සමහරු මෙය නරඹන්නත් එනවා.
මේ නිර්මාණය අපේ ගම ලස්සන කරලා. මිනි ටජ්මහල විදියට අපේ ගම දැන් ඉන්දියාව පුරාම ප්‍රසිද්ධ වීගෙන යනවා. දිල්ලිය, බොම්බේ, කේරළ වගේ පළාත් වල මිනිසුන්ගෙන් පවා කදාරිට ඇමතුම් එනවා. ඒ අයටත් මේක බලන්න එන්න ඕනෙලු. එහෙම කියන්නෙ කදාරිගෙ අසල්වැසියෙක්.
![]() |
| අසල්වැසියා සමග කදාරි මහතා |
මමත් මගේ බිරිඳත් බොහොම තරුණ වයසෙදි විවාහ උනා. සුළු සුළු මත ගැටුම් ඇරෙන්න අපි අතර කවදාවත් ගැටුමක් ඇතිවෙලා නෑ. එයා මට දරුවෙක් ලබා නොදුන්නා කියලා මම කවදාවත් වෙනත් කසාදයක් කරගන්න හිතුවෙ නෑ. මම හිතනවා දවසක මට ඇයත් එක්කම මගේ ටජ්මහලෙදි සමාදානයේ සැතපෙන්න පුලුවන් කියලා.
ආදරය යනු ඔබ මා අඩු වැඩි වශයෙන් පෙළන සුන්දර මනෝභාවයක් බව සැබැවි. කුමන තරාතිරමක සිටියද ආදරය ඉදිරියේ උමතු වූ මිනිසුන් පිළිබඳ කතන්දර ඈත අතීතයෙන් මෙන්ම වර්තමානයේද අඩු නැතුව හමුවෙයි. කෙනෙකුට ආදරය සමග සුන්දර ගණුදෙනුවක් තිබෙන විටෙක තවෙකෙකුට ඇත්තේ විශාල වේදනාවකි. ආදරය පිළිබද නිර්වචනයක් දෙන්නට කිසිවෙකුත් අපොහොසත් වන්නේ ඓහෙයිනි.
ආදරය යනු ඔබ මා අඩු වැඩි වශයෙන් පෙළන සුන්දර මනෝභාවයක් බව සැබැවි. කුමන තරාතිරමක සිටියද ආදරය ඉදිරියේ උමතු වූ මිනිසුන් පිළිබඳ කතන්දර ඈත අතීතයෙන් මෙන්ම වර්තමානයේද අඩු නැතුව හමුවෙයි. කෙනෙකුට ආදරය සමග සුන්දර ගණුදෙනුවක් තිබෙන විටෙක තවෙකෙකුට ඇත්තේ විශාල වේදනාවකි. ආදරය පිළිබද නිර්වචනයක් දෙන්නට කිසිවෙකුත් අපොහොසත් වන්නේ ඓහෙයිනි.
මේ කථාව කියවූ ඇතමෙකුට කදාරි යනු පල් මෝඩයෙකු ලෙස සිතෙනවා වන්නටත් පුලුවන. එහෙත් ආදරය නම් උත්තරීතර හැගීම ඕනෑවටත් වඩා ලග ඇති හෙතෙම තම බිරිඳ වෙනුවෙන් ආයාසයෙන් ගොඩනගනා මේ නිර්මාණය සැබෑ ටජ්මහලට වඩා මානුෂික එකකි. එයට වඩා ආදරයෙන් ඔපවත් වූ එකකි. ආදරයේ සංඛේතය ලෙස සැබෑ ලෙසම හැඳින්විය හැකි එකකි.
මේ වීඩියෝව පසුව එකතු කරමි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
කවුරුත් දන්නා හඳුනන ඔරිජිනල් ටජ්මහල ගැන අපි නොදන්න අභිරහස් කථා මෙන්න මෙතැනින්.
















