දඹුළු කථා
1 කොටස
දඹුළු කථා
2 කොටස
නිමල් යනු කවරෙක්දැයි සිරා කොලුවා මුලින්ම හදුනාගත්තේ මේතාක් විස්තර කල දඹුළු සංචාරයේදී යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඊට පෙර වතාවලදී මේ පුද්ගලයාව රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නරඹන ඇතැම් දිනෙක දැක ඇතත් ඔහුගේ නම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඔහුට ඇති පයුරු පාසානය කුමක්දැයි මා හට අවබෝධයක් නොවීය.
|
දකුණු පස බිම ඉදගෙන සිටින්නේ නිමල් අයියාය |
දඹුළු සංචාරය පිළිබද ලියවුනු පළමු ලිපියේදී නිමල්ගේ නම කරළියට පැමිණි බව ඔබට මතකය. ඒ කලූ සමග ක්‍රිකට් පුහුණුවේ යෙදී සිටි තැනැත්තා වශයෙනි. හෙතෙම නොහදුනන අය සමග එතරම් සංවාදයට ගියේ නැත. නමුත් තමන්ගේ රාජකාරිය දේවකාරිය මෙන් කරන්නට හැම වෙලේම උත්සාහ ගත් අයෙකු ලෙස ප්‍රකටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ආම්පන්න සහිත බෑගයන් සහ වෙනත් අඩුම කුඩුම ඒවා ප්‍රවාහනය කල යුතු ක්‍රීඩාංගන වෙත ගෙනයාමට අදාළ රථ වාහන වලට පැටවීම සහ බෑම, ක්‍රීඩකයන් වෙත සැපයෙන පානීය ජල බෝතල් සහ පැණි බීම වර්ග කළමණාකරණය, ක්‍රීඩා තරග අතර තුර ඒවා පිටිය තුල සූදානම් කිරීම වැනි වගකීම් ඉටුවුනේ ඔහු අතිනි.
නිමල් අයියා අප හමු වූ මුල් වතාවේම එතරම් සුහද බවක් පල කලේ නැත.
ක්‍රිකටර්ස්ලට වඩා ආඩම්බරයිනෙ බං මෙයා යනුවෙන් අපේ එකෙක් දෙන්නෙක් එවැනි විටෙක අදහසක් එකතු කලත්, ඔහුගේ පිටතට නොපෙනෙන මිනිසත්කම සමග දොඩමළු වෙන්නට අපට මේ චාරිකාව තුලදීම අවස්ථාවක් උදා විය.
අප දඹුල්ල ක්‍රීඩා පිටියට පැමිණියේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට බැව් ඔබට මම කීවෙමි. අපගේ ජාතික කණ්ඩායමට අමතරව ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි වූ අනෙක් රටවල් බව නැවතත් මතක් කරමි.
තරගාවලිය ආරම්භ කරමින් පළමු දින දෙක තුල තරග දෙකක් පැවතියත් තෙවැනි දිනය විවේකී දිනයක් විය. විවේකී දිනයේදී අප හට ඉටුකරන්නට රාජකාරියක් නොමැති නිසා අප භාරව සිටි නිළදරුවා වූ පෙරේරා මහතා අපට කැමති අතක යන්නට එන්නට අවසර දුන්නේය. ඒ අවසරයෙන් අපේ පිරිස හැන්දෑ කොරේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සදහා අවශ්‍ය පන්දුවක් සහ පිත්තක් මිළදී ගැනීමට දඹුල්ල නරගය වෙත යන්නට සැලසුම් කොට තිබූ අතර , ඒ ගමන නිම කර නැවත නවාතැන වෙත එන විට ක්‍රීඩා පිටිය තුල ඉදි කර තිබූ තිලක් අයියාගේ පොල්අතු සෙවිළි කල කඩය ආසන්නයේ වූ පුහුණුවීමේ තණතීරු (Factice Net) වෙත පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුදිනට නියමිත තරගය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කොට තිබුනි.
තිලක් අයියාගේ නිවසේ සිටම මේ දර්ශනය දැකීමෙන් ඔද වැඩී ගිය සිරා කොලුවාත්...තවත් දෙතුන් දෙනෙකුත් වහ වහා ක්‍රීඩාංගනය වටා වූ කම්බි වැටේ, කඩය කිට්ටුවෙන් තනා තිබූ කපොල්ලෙන් රිංගූයේ ක්‍රීඩකයන් සිටින තැන ඇති චමත්කාරය අත්විදීමට බව කිය යුතු නොවේ. පසෙකින් ක්‍රීඩකයන් පැමිණි විශාල බස් රථයයි. එකල එහි රියදුරා ලෙස කටයුතු කලේද මගේ ගම්පියසේම සහෝදරයෙකු වීම පුදුම එළවන සුළු සිදුවීමකි. ඔහුගේ දසුන නෙත ගැටෙන තුරාවට මා ඔහු එම කටයුත්තේ නිරත වන බවක් අසා නොතිබුනෙමි. බස් රථයට යාබදව පොලීසියේ පෙර ගමන් රථයකි. ඒ අසලම පුටු දෙකක් තබාගෙන එම රථයේ පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වාඩි වී සිටිති. ඊටත් පිටුපසින් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ආම්පන්න රැගෙන පැමිණි ලොරි භාගයකි.
ටොම් මූඩි පුහුණුකරු තම ක්‍රීඩකයන් පුහුණුවීමේ නිරත කරවන අතරේ අපි සෙමින් සෙමින් දැලට කිට්ටු වීමු. අපට යාබදව ඉන්දියානු රූපවාහිනී කණ්ඩායමක්ද එහි වූ දර්ශන රූපගත කරමින් සිටියෝය.
සිරා කොලුවා දැන් සිටගෙන සිටින්නේ තරගයකදී කඩුලු රකින්නා සිටගෙන සිටින ස්ථානයේය. මා ඉදිරිපස ඇති දැල තුල පිතිකරුවෙකු පන්දුවට පහර දෙයි. ලෝක පූජිත මුරලි පන්දු යවයි. කඩුලු රකින්නාගේ ස්ථානයේ සිට ඔහු පන්දු යවන ආකාරය නිරීක්ෂණය කරන්නට ලැබීම සැබවින්ම දුර්ලභ චෑන්ස් එකකි. ඇත්ත වශයෙන්ම මුරලිගේ පන්දු තෝරාබේරාගැනීමට ඇති අපහසුව මම එහිදී හොදින් දුටුවෙමි. ඔහුගේ දූස්රා පන්දුව කිසි ලෙසකින් වේලාසන හදුනාගත නොහැක. වෙනත් පන්දුවක් යවන ආකාරයෙන්ම අත කැරකුනද පන්දුව දග කැවෙන්නේ ප්‍රති විරුද්ධ දෙසටය. පිතිකරු එවන් විටෙක අසරණ වෙයි. තම පන්දුවක් හමුවේ පිතිකරු මුලාවෙන හැම විටකම මුරලි පොඩි දරුවෙකු සේ මහ හඩින් සිනාසෙයි.
මා හොදින් අත්දුටු අනෙක් කාරණය නම් දිල්හාර ප්‍රනාන්දුගේ පන්දු වල පැවති වේගයයි. පන්දුව පතිත වූ සැනින් විදුලි වේගයකින් පිතිකරු සොයා පැමිණෙන එබදු පන්දුවලට පහර දෙන්නේ කෙලෙසදැයි මට එවේලේ සිතාගත නොහැකි විය. දිල්හාරගේ පන්දු වලට මුහුණ දෙමින් සිටි දිල්ෂාන්ගේ අත් ආවරණයේ පන්දුවක් වැදී ඔහු වේදනාවෙන් ඇඹරුන ආකාරය මට තවමත් මතකය. මේ දර්ශන රූගත කරන්නට ඉන්දියානුවන් දැල ආසන්නයටම වීඩියෝ කැමරාවක් ස්ථාන ගත කර තිබූ අතර පන්දුවේ ඇති වේගය නිසාම, නිදැල්ලේ ගිය පන්දුවක් දැල ඉදිරියට තල්ලුකරමින් ගොස් කැමරාවේ ලෙන්සය කඩා බිද දැමූ ආකාරයද සිහිපත් වෙයි.
මේ සිදුවීම් වන අතර තුර මා සිටි දෙසට පැමිණෙමින් සිටියේ නිමල් අයියාය. නිවසින් පිටත් වන විට රැගෙන විත් තිබූ මගේ සමරු පොත ඒ වන විටත් කලිසම් සාක්කුවේ විය.
නිමල් අයියා, මට ක්‍රිකටර්ස්ලාගෙ අත්සන් ටිකක් අරන් දෙනවද මේකට...මම ඔහුට පොත දිගු කලෙමි.
මේ වෙලාවෙ ඕවා කරන්න බෑ. පේනවනෙ හැමෝම ප්‍රැක්ටිස් කරනවා...ඔහු කෝපයෙන් මෙන් පවසා ඉවත යන විට මගේ සගයන් ඔහු දෙස අවඥාවෙන් මෙන් බලා සිටියෝය.
දැල ආසන්නයේ සිට පුහුණූවීම් නරඹමින් සිටින විට කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ තිලක් අයියාගේ කඩේ සේවකයන් සමග දොඩමළු වෙති. තම අතක පැවති ආබාධයක් නිසා පුහුණුවීමේ නිරත නොවූ සනා සුපුරුදු ලෙස ජංගම දුරබණුවක් කනේ තබාගෙන එයට උත්තර දෙමින් අප සිටි ඉසව්වට පැමිණෙමින් සිටියේය.
ඕගොල්ලො අදද කොළඹ ඉදන් ආවෙ....ඔහු දුරකථනයේ අනෙක් පස සිටින තැනැත්තාට එලෙස පැවසුවත්...මා සමග සේවයේ නිරත වූ අහිංසක මංජුවා සිතුවේ ඔහු එය ඔහුගෙන් විමසූ බවකි.
නෑ අයියෙ අපි පෙරේදා ආවෙ...ඒකා ගත් කටටම කීවේ එහෙයිනි.
තම සංවාදය නවතා මංජුවා දෙස උපහාසාත්මකව බැලූ සනා....
ඔයාගෙන් නෙමෙයි මල්ලි ඇහුවෙ...යනුවෙන් පවසා ඉවතට යන විට මංජුවාට ඇදිවත උනා දමන්නට සිතෙන්නට ඇත. මේ සිදුවීමෙන් පසු දඹුල්ලෙන් සමුගන්නා තුරාවටම මංජුවාට කදිම නමක්ද පට බැදී තිබුනි.
කම්බි වැටේ කපොල්ලෙන් පැන Fractise Net අසලට පැමිණ පැයකට ආසන්න කාලයක් ගෙවී ගිය තැන අපේ නිළදරුවා වූ පෙරේරා මහතා එහි සැපත් වූවේය. එතුමා කොළඹ SSC ක්‍රීඩා සමාජයේ කළමණාකරුවෙක් වීමත්, නිමල් අයියා එම ක්‍රීඩා සමාජයේ නිත්‍ය සේවකයෙකු වීමත් හේතුවෙන් පෙරේරා මහතා කෙරෙහි මහත් ලෙංගතුකමක් නිමල් කෙරෙන් දිස් විය.
නිමල් කොහොමද ඉතිං.....
අනේ වරදක් නෑ මහත්තයා....වැඩ ටික කරගෙන ඉන්නවා...
අද කීයටද ආපහු යන්නෙ....
තව කොහොමත් පැය දෙක තුනක් ඉන්න වෙයි වගේ...
ආ එහෙමද....මොනවා හරි කරන්න කියලා මම බැලුවෙ
එයට එක්වරම පිළිතුරක් නොදුන් නිමල් අයියා ලැජ්ජා භිය පළමු වරට දැනුන එකෙකු මෙන් දෙපසට ඇඹරුනේය.
අර පේන ගෙදර අපි ඉන්නෙ...බඩු ටික පටවගත්තට පස්සෙ එහෙට එන්න.
ඒ අවසරයෙන් නැවත නිමල් කරා ගිය සිරා කොලුවා...
අප සියල්ලෝම භාරව සිටින්නේ පෙරේරා මහතා යැයි පවසා අත්සන් කීපයක් එකතු කරදෙන ලෙස නැවතත් පැවසුවෙමි.
කලින් කියන්න එපායැ මල්ලි....කවුද දන්නෙ...මේ අපේ මහත්තයගෙ ගෝලයෝ කියලා...
ඔහු මගේ සමරුපොත රැගෙන අඩියට දෙකට නික්මී ගියේය. විනාඩි 10 ක් යන්නට මත්තෙන් නිමල් අයියා නැවතත් මා සොයා පැමිණියේ...
ඔන්න ටීම් එකේ සීනියර්ම 5 දෙනෙක් අත්සන් කලා යැයි කියමිනි.
එහි මුරලි/සනා/වාස්/මහේල/සංගා තම අත්සන් තබා තිබුනි.
තවත් මොහොතක් එතැන ගත කර තිලක් අයියාගේ නිවෙස බලා එන විට අපේ කුස තුල කුසගින්න බුර බුරා නැගෙමින් තිබුනි.
තවත් හෝරාවක දෙකක පමණ කාලයක් ගතවෙන්නට ඇත. ඇලුමිනියම් රැළි බොඩියක් සහිත ලොරි කොටයක් මහත් අසීරුවෙන් තිලක් අයියාගේ ගේට්ටු කණු දෙක අස්සෙන් මිදුලට පැමිණ නතර විය. එයින් බැස නිමල් අයියා මෙන්ම එහි රියදුරු තැනද අප කරා සම්මුඛ වූහ.
මම ඒත් බැලුවා නිමල් ගියාද කියලා....පෙරේරා මහතා එක එල්ලේ ඔහු දෙස බලා නිවස තුලට ගොස් නැවත පැමිණියේ සීල් අරක්කු බෝතලයක්ද සමගිනි.
බොනවද ? බොනවද ? හෙතෙම අපේ උන් එකෙක් නෑර විමසයි. ඒ වෙද්දී සිරා කොලුවා සැර මත්පැන් පානයට අත්පොත් තබා සෑහෙන දොහක් ගතවී තිබුනද, කඩේ මාමාගේ පුත්‍ර රත්නය සිටින තැනක ඒ හැකියාවන් පෙන්වා මේ වග අපේ නිවසට සන්නිවේදනය කරවාගන්නට අවශ්‍යතාවක් නොවූයෙන් මම නොබොන්නෙකු සේ එහි වූ දිගැටි ලෑලි මේසයේ හිදගෙන සිටියෙමි.
නිමල් අයියා අත්සන් රාජකාරිය නිසා දැන් මා හදුනයි.
මල්ලි බියර් එකක් බොනවද ?
බඩු තියෙනවද ? මම ඇසීමි.
තියෙනවා දෙන්නම්.
මේසයෙන් ඉවත්ව ගිය නිමල් අයියා ලොරිය තුල වූ ප්ලාස්ටික් පෙට්ටියක් අප සිටි තැනට ඔසවාගෙන ආවේය. එය වූ කලී ක්‍රිකට් තරග අතරතුර හතර සීමාවට එපිටින් තබාගෙන ක්‍රීඩකයන් වෙත පාන වර්ග ලබාදෙන්නට භාවිතා කරන පෙට්ටිය බව සැනෙන් හදුනාගන්නට මට හැකි විය.
ඔහු එහි පියන විවර කර බියර් කෑනයක් මේසය මත තැබීය. කොකා කෝලා මෙන්ම ස්ප්‍රයිට් කෑන් කීපයක්ද තැබීය.
බොන්න මල්ලි
හෙතෙම මහත් ලෙංගතුකමින් මා හට ආරාධනය කළේය.
කොහෙන්ද බියර් පෙරේරා මහතා නිමල්ගෙන් විමසීය
අස්ගිරියෙ ටෙස්ට් සීරිස් එකට දීපුවායෙ ඉතිරි....
විවිධ මාතෘකා ඔස්සේ කථාව ඇදී යයි. මිහිර, ටිරෝන් යන වැඩිමල් සහෝදරයන් මත්පැනේ පහස සොයද්දී මම රවියා සමග බියර් වීදුරුවක් දෙකක් හිස් කරමින් සිටියෙමි.
එහෙත් මේසය මත ඇත්තේ එකම එක බියර් කෑනයක් නිසා මම බොහෝ කල්වේලා ගෙන එය හිස් කරන අන්දම දුටු නිමල් අයියා...
මල්ලි මොකද...නිකං ගාටන්නෙ. තව බඩු තියෙනවා ඔහු පෙට්ටියේ පියන ඔසවා ඒ තුල තිබූ බඩ කඩිත්තු සියල්ලම මේසය මතට හැලීය. එහි බියර් කෑන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම විවිධ පැණි බීම වර්ග බොහොමයක්ද විය. හිස් පෙට්ටිය නැවත ලොරියට දමා නිමල් අයියා අපට සම්මුඛ විය.
නිමල් දැන් හෝටලේටද යන්නෙ...පෙරේරා මහතා විමසයි.
නෑ මහත්තයා මුරලි මහත්තයගෙ ඉරුණු සපත්තුවක් තියෙනවා...ඒක දඹුල්ල ටවුමෙන් මහගෙන එන්න කිව්වා. නිමල් අයියා සපත්තුව අපට පෙන්වයි.
මාවන් මට කියනවා නිමල් මට වඩා මගේ ඩ්‍රයිවර්ට සලකනවා කියලා. ඒ කථාව ඇත්තද ?
පෙරේරා මහතා කෝචොක් එකට මෙන් අසයි.
එහෙම කිව්වද ? පෙරේදා මහත්තයගෙ නෝනා ආවා මැච් එක බලන්න ඩ්‍රයිවර් එක්ක. මිනිහව හෝටලේ මගෙ කාමරේ එක රැයක් තියාගන්න කිව්වා. මම ඉතින් මාවන් මහත්තයට තියෙන ගෞරවේටම මගේ ඇද එයාට දීලා බිම නිදිය ගත්තා රෙද්දක් එලාගෙන.
මාවන්, නිමල්, පෙරේරා...මේ සියල්ලන්ම එකම ක්‍රීඩා සමාජයක අය නිසාම ඇත්තේ පුදුමාකාර හිතවත් කමකි.
මද වේලාවක් ගත වෙද්දී නිමල් අයියා තම හද පතුලේ ඇති දෑ වමාරන තත්වයට උසස් වූවේය.
මාවන් මහත්තයා කියන්නෙ දෙයියෙක් වගේ මනුස්සයෙක්. මේ ෆෝන් එකත් එයා මට අරන් දුන්නෙ. ඒ කාලයේ හැටියට එය කැමරාවක්ද සහිත වටිනා ජංගම දුරබණුවකි.
හැමවෙලේම මම පේන්න නැත්තං මට කථා කරනවා...ඉස්සෙල්ලාම අහන්නෙ කෑවද කියලා...ඊලගට අහන්නෙ අතේ සල්ලි තියෙනවද කියලා....
ඔහු එසේ කියා අවසන් වෙනවාත් සමගම එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මාවන් අතපත්තුගෙන් නිමල්ට ඇමතුමකි. ඔහු කථා කරන දේ පිටතට ඇසෙන සේ (Speaker Phone) සැකසුම් කර අප හට නිහඩ වෙන මෙන් අතින් සංඥා කළේය.
නිමල් කොහෙද ඉන්නෙ...අපි හෝටලේට ඇවිල්ලත් දැන් ගොඩාක් වෙලානෙ.
මම මේ මුරලි මහත්තයගෙ සපත්තුවක් මහගෙන එන්න නතර උනා. ඉක්මනට එන්නම්. තමා ඇත්ත වශයෙන්ම සිටින තැන කියන්නට නිමල් අයියා මැලි වෙයි.
නිමල් දවල්ට කෑවද ? අතේ සල්ලි තියෙනවද ? මාවන්ගේ මනුස්ස කම අප ඉදිරියේ දෝරගලා යයි.
අපේ සාදය තවමත් අහවර නොවූ නමුදු නිමල් අයියා ඉක්මනින් පිටත්ව යන්නට වෙර දරයි. ඒ සමගම මුරලිගෙන් ඇමතුමකි. එයද පෙර පරිදි අපට ශ්‍රවනය වෙයි.
නිමල් මගේ සපත්තුව හැදුවද බං...
තාම හදන තැන මහත්තයා...
ඕක කොහොම හරි හදාගෙන වරෙං.....හෙට මැච් එකට දාන්න එකක් නෑ නැත්තං.
මල්ලිලා අහිතක් හිතන්න එපා මං ගැන. මම අදුනන්නෙ නැති අයට කථා කරන්න හිනාවෙන්න යන්නෙ නෑ. එහෙම කලොත් මගේ ඩියුටිය මට හරියට කරන්න වෙන්නෙ නෑ. මැච් එකක් තියෙන දවසකට පොඩි වතුර බෝතල් 200 මට ලැබෙනවා. ඒක මදි නොවෙන්න මම කොහොමහරි බෙදා දෙන්න ඕනෙ. ඒ වතුර බෝතල් පොලිසියෙ අයත් ඉල්ලනවා. වාහන එලවන ඩ්‍රයිවර්ලත් ඉල්ලනවා..ඉල්ලන හැමෝටම දුන්නම සෙල්ලං කරන අයට කෝ...
මම අයිස් කැට අරගෙන මේ පෙට්ටියට දාලා ඒක ලෑස්ති කරන්න ඕනෙ, බෑග් ටික පැවිලියන් එකට ඇදලා දෙන්න ඕනෙ, ආයෙ පටවන්න ඕනෙ, ඒ අයට ඉන්න හිතවත්ම සේවකයා තමයි මම.
ඔහු ගැට දෙකක්ම ගසා තම අත්ලේ හිරකරගෙන සිටි ලේන්සුවක් මේසය මත තබා දිග හරියි. ඒ තුල ක්‍රීඩකයන්ගේ වටිනා අත් ඔරලෝසු මෙන්ම මංගල මුදුද වූහ.. ක්‍රීඩකයින් පුහුණුවීම් සිදු කරන විට ඒවා ගලවා නිමල් අයියා වෙත භාර දෙති.
කිසිම අකුරක් කොටලා නැති මේ මුද්ද සංගක්කාරගෙ. මේ ඔරලෝසුව මහේලගේ...රොලෙක්ස් ඔරලෝසු කීපය අතරින් ඔහු එකක් පෙන්වයි. නිමල් අයියා තවත් මද වේලාවකට පසු මුරලිගේ සපත්තුව මහන්නට අවැසි බව කියා අපෙන් සමුගෙන ගියේය.
තම රාජකාරිය දේව කාරිය මෙන් ඉටුකල මේ මිනිසා විවේකීව ඉන්නා වේලාවක් ක්‍රීඩා පිටිය තුල අප දැක නැත. කුමක් හෝ රාජකාරියක් නොමැති කලෙක ඔහු අලුත් ක්‍රිකට් පිත්තක් හෝ පදම් කරයි. සාමාන්‍ය මිටියක මෙන් මිට ඇති. මිටියේ යකඩ හිස වෙනුවට ලෙදර් පන්දුවක් සවිකර ඇති උපකරණයක් මේ සදහා භාවිතා වෙයි. ක්‍රිකට් පිත්තකින් හොදින් ලකුණු රැස් කරන්නට නම් ඒවා ඉතා හොදින් පදම් කල යුතුය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සදහා මේ කාරිය කර දුන්නේද නිමල් අයියා බව බොහෝ අය නොදන්නා කාරණයකි.
දඹුල්ලේදී තරග නැති විවේකී දිනයක පැවැත්වූ කුඩා පරිමානයේ මධු සාදයෙන් පසු කිසිම කිසි දිනක ඔහු මට වචනයක් දෙකක් දොඩන්නට මුලිච්චි වූයේ නැත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් ජයග්‍රහණය කොට කුසලානයද රැගෙන පිටිය වටා සිටින නරඹන්නන්ට ආචාර කරමින් යන විටෙක නිමල් අයියා එහි පෙරමුණ ගත් ආකාරය මට දැනුදු මැවී පෙනෙයි. එය තමාට ලැබුනු කුසලානයක් මෙන් එවන් අවස්ථාවලදී සතුටෙන් ඔකද වූ ඔහුගේ සිතට දැනෙන්නට ඇත.
ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ආම්පන්න ප්‍රවාහනය කර දෙන්නට, ජල බෝතල් බෙදා දෙන්නට, පිති පදම් කරන්නට නිමල් නැමති ඒ සුන්දර මිනිසා නැවත එන්නේ නැත. සංසාර ගමනේ එක් නවාතැනකදී අප හමුවූ මේ භවයෙන් නික්මී අලුත් නවාතැනක් සොයා යන්නට දෛවය ඔහුට ඉඩකඩ සැලසූ හෙයින් ඔහුගේ මතකයන් පමණක් මා සතුව ශේෂව පවතී.
|
රිවිර පුවත් පත ඔහුගේ අභාවය වාර්තා කර තිබූ අයුරු |
පුද්ගලික ජීවිතයේදී වැර වෑයමෙන් රැස් කල ධනයෙන් මිළදී ගත් නව නිවසේ පදිංචිය අරඹන්නට දිනකට කලියෙන් ඔහු නොසිතූ ලෙස රිය අනතුරකින් දෙනෙත් පියාගත්තේය.
ඔහුගේ හදිසි අභාවය සැලවූ මොහොතේම චිත්‍රපටයක රූප රාමු මෙන් දඹුල්ලේ සිදුවීම් පෙල මා මතකයට පැමිණි අතර...මේ ලිපි මාලාව මේ ලෙසින් හදිසියේම ලියන්නට සිතක් පහල වූයේද ඒ නිසාමය. වනාතමුල්ලේ, දුක හදුනන කටුක පොළවක ඉපිද, වැර වෑයමෙන් ජයටැඹ සොයා ගොස්, ජයග්‍රහණය පාමුලදී ඔබ නික්ම යාම සැබැවින්ම කණගාටුදායක සිදුවීමකි.
නිමල් අයියේ...ඔබට නිවන් සුව !
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
හෙතෙම මුලින්ම SSC පිටියෙන් ඉවතට ඇදී ගිය පන්දු අහුලා දුන් කෙනාය. ඉන් අනතුරුව විසි කැත්තක් ආධාරයෙන් මුළු පිට්ටනියේම තණකොළ කැපූ තණකොළ කපන්නාය. එවැනි කටුක අතීතයක් පසුකර ඔහු ජාතික කණ්ඩායම හා සම්බන්ධ වූ අකාරය දැන ගන්නට නිමල් අයියා පිළිබද රිවිර ඉරිදා සංග්‍රහයේ පලවූ ලිපිය මෙතැනින් කියවන්න.
නිමල් නැමති මේ ධෛර්යවන්ත පුංචි මිනිසාගේ වියෝව පිළිබද බ්ලොග් අවකාශයේ ලියවෙන එකම සටහන මෙය විය හැක.