Saturday, September 27, 2014

72 නගාගේ විරහා වේදනා

සිරා කොලුවගෙ මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාවට අවසානයේ මක්කද උනේ කියලා බොලාට කියන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. පහුගිය දොහේ කාමරයට ආව ගියා බොහෝ ඇත්තො ඒ හරිය දැනගන්න ඉන්නෙ බොහොම කැමැත්තෙන් කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ.

නගාගෙ ආදර කථාවෙ කලින් කොටස් කියවන්න අතපසු වෙච්ච ඇත්තන්ට මෙන්න උදව්වක්
1 කොටස  2 කොටස  3 කොටස


ඖෂධවේදී විභාගයෙන් අසමත් උනාට පස්සෙ චූටි නංගි මානසිකව ඉතාම පහත් තැනකට වැටුනා. ඒ හින්දම සිරා කොලුවට වගේම පුෂ්පෙ ගොයියටත් ඇයව යථා තත්වයට ගේන්න සෑහෙන්න මහන්සි වෙන්න සිදු උනා කියන දේ මුසාවක් එහෙම නෙමෙයි බොලව්.

මම බෙහෙත් ජාති ගැන දන්නවා...මට වෙලාවකට හිතෙනවා බෙහෙත් පෙති අහුරක් කටට දාගෙන බීලා මැරෙන්න.

චූටි නංගි දුරකථනයෙන් අමතපු වතාවක සිරා කොලුවට කිව්වෙ විහිළුවකට එහෙම නෙමෙයි. මේ කෙල්ල ඇත්තටම මේ දේ කරාවි කියලා අපි දෙන්නටම හිතුනා. ඇය ඒ තරම් වේදනාවකින් ඒ සමයෙදි ජීවත් උනේ.

මිත්‍රත්වය කියන වදනට ශක්තිමත් අරුතක් දෙන්න මටත් පුෂ්පෙ කොලුවටත් හැකි උනේ ඇයව නැවතත් ඖෂධවේදී විභාගයට ඉන්දවන්න තරමට මානසික තත්වය හදන්න පුලුවන් වෙච්ච හින්දයි. චූටි නංගි අන්තිමේදි කැමති උනා දෙවැනි වතාවටත් විභාගයට පෙනී ඉන්න.

මේ වතාවෙ ඇය මේ වෙනුවෙන් අතිරේක පන්තියට පැමිණෙන ඉරිදා හැන්දෑවට සිරා කොලුවත් ගම්පහ නගරයට බඩ ගෑවා. ඇයව මුලිච්චි වෙලා ඇය සමග කථා කරද්දි දුරකථනයකින් කථා කරනවට වඩා මම කියන දේ ඇයට දැනේවි කියලා මට විශ්වාසයක් තිබුනා. විභාගය පිළිබද හොද ධෛර්යයක් එන්නත් කරලා..ජීවිතයෙන් පලා යන්න තීරණය කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු කියන කාරණය අවබෝධ කරලා දුන්නට පස්සෙ ඇගේ කථා බහ බොහෝ දුරට වෙනස් උනා. සිනහව අදුනන්නේ නැතිව සිටි ඇය නැවත සිනාසෙන්න පටන් ගත්තා.

චූටි නංගි මේ වතාවෙ බොහොම හොද අධිෂ්ඨානයකින් විභාගයට සූජානම් උනා. නගා කොලුවා කැලණිය සරසවියට වෙලා ඇයව සම්පූර්ණයෙන් අමතක කරලා තමන්ගෙ පාඩුවෙ අධ්‍යාපන වැඩකටයුතු වල යෙදිලයි උන්නෙ.

උඹ ඒකිට කැමති නැත්තං...කෙලින්ම කියපන්...අපි කොච්චර එහෙම කිව්වත් නගා ඒ දේ කලේම නෑ.

දවසින් දවස ගෙවිලා ගිහිල්ලා චූටි නංගිගෙ ඖෂධවේදී විභාගයට ඉතිරිව තියෙන්නෙ තවත් මාසයක කාලයක්, පෙර වතාවෙ අත්දැකීම් එහෙමත් උපයෝගී කරගෙන ඇය මේ වතාවෙ ඉතාම හොදට විභාගයට සූදානම් වී අහවරයි.නමුත් නගා කොලුවා කලින් වතාවෙ කරපු වැරැද්ද දෙවැනි වතාවටත් කලා. චූටි නංගිට හදිසියේම දුරකථනයෙන් කථා කලා.

කිසිම වෙනසක් නෑ....ගිය වතාවෙ වගේම තමයි. චූටි නංගිගෙ මානසික ඒකාග්‍රතාව හිටි අඩියේම අන්තිම පහත් තැනකට ආයෙමත් වතාවක් වැටුනා. මේ වතාවෙත් තමන්ට අභියෝගය ජයගන්න බැරි වේවි කියලා ඇය ඉකි බිදිමින් ජංගම දුරබණුවෙන් පවසද්දි මට වගේම පුෂ්පයාටත් නගාව මරාගෙන කන්න තරමේ කේන්තියක් දැනුනා.

ඇයි....එයා මගේ ජීවිතේ එක්ක මේ විදියට සෙල්ලම් කරන්නෙ...චූටි නංගි අපෙන් ඇහුවා...අපි ඉතින් කාගෙන් කියලා අහන්නද ?

දෙවැනි වතාවෙත් පරදින්න එපා....ඔයා කොහොම හරි දිනන්න...ඔයාගෙ ජීවිතෙන් යන්න ගිය කෙනෙක් නිසා ඇයි ඔයා ඔයාගෙ අනාගතය උකසට තියන්නෙ. මේ දේවල් අපි දෙන්නා චූටි නංගිට කිව්වෙ ඇයව මුලිච්චි වෙලා මිස දුරබණුවෙන් නොවෙයි. තමන්ව ධෛර්යමත් කරන්න තමා ලගම කෙනෙක් ඉන්නවා කියන ශක්තිය ඇයව නිසි ඉලක්කයට රැගෙන යාවි කියන බලාපොරොත්තුව මටත් පුෂ්පයටත් තිබුනා.

මේ වතාවෙත් මට විභාගෙ පාස් වෙන්න බැරි වේවි. විභාගයට තව තියෙන්නෙ සතියයි. චූටි නංගි බොහොම දුක්බරව එහෙම කියපු දවසක, ඇගේ සිතෙන් මේ සෘණාත්මක සිතුවිලි අයින් කරලා දාලා ඉතිරි සතිය තුල හොද විශ්වාසයකින් විභාගයට මුහුණ දෙන්න තරමට හිත හදන්න අපි දෙන්නට හැකි උනා.

ඇය විභාගයට මුහුණ දුන්නා. රැකියාවෙ කටයුතු සමග මමත් පුෂ්පයත් කාර්යබහුල උනා. චූටි නංගි විභාගයක් ලිව්වද කියන කාරණයත් අමතක වෙලා තිබුන පසුබිමක හදිසියේ දවසක කාලයකට පස්සෙ ඇගෙන් ඇමතුමක්..

මම අම්මට තාත්තට කියන්නත් කලින් මේ ඔයාට කථා කලේ...

මොකද හදිස්සියේ....

මම විභාගෙ පාස්...ඊයෙ ප්‍රතිඵල ආවෙ...එහෙම කිව්ව චූටි නංගිගෙ කටහඩ හදිසියේම වෙනස් උනා. ඇයට හැඩුම් ආවා. සතුට වැඩි කමට වෙන්න ඇති.

මේ ප්‍රතිඵලය  ගන්න ඔයාලා දෙන්න දුන්නු උදව් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔයාලා නැත්තං මම කවදාවත් මේ විභාගය පාස් වෙන්නෙ නෑ...මානසිකව ගොඩාක් පහළට වැටිලා හිටිය මට ඔයාලා කරපු දේවල් වලට ගොඩාක් ස්තූතියි .

මගේ හිත සතුටින් පිරුනා. දැන් චූටි නංගිගෙ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් වැටිලා. අගයක් තිබුනෙ නැති කෙල්ලට දැන් අගයක් තියෙනවා. උසස් පෙළ කරපු කාලෙදි වගේ නිදහස් මානසිකත්වයකින් ජීවත් වෙන්න ඇයට හැකියි.

තවත් සතියක පමණ ඇවෑමෙන් ඇය අපි දෙන්නාටම ගම්පහ නගරයේ අවන්හලකදි පුංචි පහේ සංග්‍රහයක් දුන්නෙ අපිත් එක්ක තිබුන ලෙංගතුකම නිසාමයි. අන්න එදා තමයි ඇය මේ රහස අපට හෙළි කලේ.

මට යෝජනාවක් ඇවිල්ලා අනේ. මම මොකද දැන් කරන්නේ ?

මොනවා කරන්නද...ඒ කොල්ලා හොඳ නම් කැමති වෙන්න...ඔයා ගැන හිතන්නෙ නැති නගා ගැන තවත් හිතන්නෙ මොනවටද...ඔයාට ඒකා දුන්න ගින්දර මදිද...මමත් පුෂ්පයත් එහෙම කිව්වා.

මට එයාව අමතක කරන්න ලේසි නෑ.  චූටි නංගි තවමත් නගාට ආදරෙයි.

තමන්ට ආදරේ නැති කෙනෙක්ව බලෙන් ලබා ගන්න බෑනෙ...ඒ නිසා ඉස්සෙල්ලාම ඔය කියන හාදයට ගෙදර එන්න කියලා කථා බහ කරලා බලන්න. එයාගෙ ගතිගුණ හොද නම්...ඔයාට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා නම් කසාද බදින්න. අපේ යෝජනාවට ඇය අකමැත්තෙන් හරි කැමති උනා.

තවත් සති දෙක තුනකට පස්සෙ චූටි නංගිගේ මනාලයා ඇය බැහැ දකින්න නිවසට ආවා...අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නැති හින්දා ඇය අන්තිමේදි ඔහුට කැමැත්ත දුන්නා.

මේ වෙද්දි මේ කෙලී නිසා නගා එක්ක අපි හිටියෙ තරමක අමනාපෙකින්...ඒ නිසාම කෙටි පණිවිඩයක් විදියට මම ඇගේ තීරණය ඔහු වෙත යැව්වා. අපි හිතුවෙ නැති දෙයක් තමයි අන්තිමේදි සිද්ධ උනේ.

නගා ගොයියා මෙච්චර කල් තිබුනෙ නැති අමුතුම අමාරුවක් උත්සන්න වෙලා චූටි නංගි හොයාගෙන පිස්සු බල්ලෙක් වගේ ගම්පහට කඩාපාත් උනා. උපන් දින තෑග්ග ගන්න ආවෙ නැති මිනිහට චූටි නංගි තව කෙනෙක්ට අයිති වෙන්න යනවා කිව්වම උණ ගැනිලා.

මගේ අතින් වැරදි වෙන්න ඇති...අනේ කොහොම හරි චූටි නංගිව ආයෙමත් මට සෙට් කරලා දීහං...නගා පින්සෙන්ඩු උනා. පෙර වැරදි තියෙන හින්දම මමත් පුෂ්පයත් මේකාගෙ බස් කනකට ගත්තෙ නෑ.

අපේ සහායක් නැති තැන නගා තනිවම සටනට එළැඹුනා. ඒ වෙද්දි චූටි නංගි ගම්පහ නගරයේම ඔසු හලක පුහුණු වෙමින් උන්නෙ. දුරකථනයෙන් ඇමතුවාම මට ඔයත් එක්ක කථා කරන්න දෙයක් නෑ කියලා නගා හමුවීම ඇය ප්‍රතික්ෂේප කරපු නිසාම ඒකා පිස්සුවෙන් වගේ දවසක්දා ඇගේ සේවා ස්ථානයට කඩා වැදිලා. කථා කරන්න පොඩියක් එළියට එන්න කියලා කරදර කරද්දි....එතැන හිටිය පුරුෂ පාර්ශවය ඒකාගෙ බෙල්ලෙන් අල්ලලා බල්ලෙක් වගේ එළියට තල්ලු කොරලා තිබුනා.

අපේ ඇස් අදහා ගන්න බෑ. නගා විරහා වේදනාවෙන් කෑ මොර දෙනවා...මේකා මේ රගපානවද කියලා අපට සැකයක් නැත්තෙත් නෑ. නමුත් මාසයක් දෙකක් ගත උනත් නගාගේ රෝගය සුව උනේ නෑ. අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගෙන මේකා චූටි නංගි මත්තෙ මැරෙද්දි මිත්තරයෙක් විදියට අපේ පපු කැවුතු උණු උනා.

පුෂ්පයා වගේම මමත් රැකියාව නිම කරලා නිවසට එද්දි අපේ නිවෙස් දෙකෙන් එකක නගා අපේ ආගමනය බලාගෙන රැදී ඉන්නවා. ගමන් වෙහෙස නිවාගන්න පවා ඉසිඹුවක් නෑ. නගාගෙ දුක්බර ආදර කථාවට සවන් දෙන්න වෙනවා. මේ මගුල හැමදාම කරන්න බෑනෙ. සිරා කොලුවා දවසක්දා පෙර වැරදි සියල්ල මතක් කරලා ඒකාට හොදවායින් කියා දුන්නා. එදායින් පස්සෙ සෑහෙන කාලයක් ගතවෙන තුරු අපේ නිවස පැත්ත පළාතක නගා ආවෙ නෑ. දැන් ඉතිං පුෂ්පෙ කොලුවා විතරයි නගාට ඇහුම්කන් දෙන්න ඉතිරි වෙලා ඉන්නෙ.

ඒ කාලෙ ඉතිං අපි මධුවිතකට එහෙම ඉදගත්තෙ ඉදලා හිටලා, හීනියට කයියක් එහෙම ගහලා පොඩි ජොලියක් දාන්න. නමුත් ආපු වෙලේ ඉදන් නගාගෙ අදෝවැඩියාව...චූටි නංගි ගැන දොඩවනවා. එක දවසක් පුෂ්පයට හොදටම තරහා ගිහින් නගාට ගහන්න අතක් ඉස්සුවා මේ කරදරේ ඉවසලා ඉවසලා බැරිම තැන. නමුත් ගැහුවේ නෑ.

බාහිරින් බැලුවාම දැන් නගා උන්මත්තකයෙක් වගේ....තමන්ට මුලිච්චි වෙන්නෙ කොල්ලෙක්ද බල්ලෙක්ද බලන්නේ නැතුව ඒකා තමන්ගෙ විරහා වේදනාව කියව කියව ඇවිදිනවා.

මචං මට උදව් කරපංකො....පින් සිද්ධ වෙයි බං...මිත්තරයෙක් උනත් මේ විදියට බැගෑපත් වෙද්දි අපි කොහොමද ඉවසන්නෙ....

උඹ ඇත්තටම ආදරේ කරනවද මේ සැරේ....අපි උගෙන් ඇහුවා...

ඔව් බං...ඇත්තමයි සත්තයි...ආයෙ කවදාවත් අමතක කරන්නෙ නෑ.

අපේ වචනය නිසාම යෝජිත මනාලයාට නිවසට එන්නට අවසර දුන් චූටි නංගිට,  නගා ගැන නැවත හිතලා බලන්න පුලුවන්ද කියලා කියන්න අවසානයේ අකමැත්තෙන් උවත් අපට සිදු උනා. නමුත් හැමවිටම ඇගේ ප්‍රතිචාරය වූයේ..

ඔය මනුස්සයා හින්දා මම පුදුම දුකක් වින්දෙ...ආයෙමත් මට කථා කරන්න දෙයක් නෑ....කරුණාකරලා මේ ගැන කථා නොකර ඉමු.

දවසින් දවස නගා විකාර දොඩවනවා...මේකට මානසික රෝගයක්වත් හැදෙයිදෝ කියන භය මටත් පුෂ්පයටත් ඇති උනා. අපි චූටි නංගිගෙ ගෙදර යමු. අන්තිමේදි අසීරු තීරණයකට ආවා...ඇගේ මව මේ ආදර සබදතාව ගැන දැන සිටි කෙනා නිසා ඇය හා චූටි නංගි සමග සාකච්ඡා කරලා නැවතත් හැකිනම් නගාට අවස්ථාවක් දෙන්න කියන ඉල්ලීමයි අපට කරන්න ඉතිරි වෙලා තිබුනෙ.

පන්සලේ පාඩම් කරපු කථාවෙන් බොලාට හමුවුන වනිගයා තමන්ගෙ මිත්තරයෙකුගෙ මෝටර් රථයක් මේ ගමනට ඉල්ලගත්තා...දවසක්දා හිරු අවරට ගියාට පස්සෙ මමත්, පුෂ්පයත්, නගාත් රථයට පැටවුනා. රිය පදවන වනිගයාගෙ දෑතට සියලු දෙවි පිහිටයි කියලයි අපි ගමන පිටත් උනේ. චූටි නංගිගෙ පියා නිවසේ රැදී ඉන්න වෙලාවක මේ ගැන කථා කරන්න විදියක් නැති නිසා ඔහු නිවසේ නැති වේලාවක් තෝරාගෙනයි අපි මේ ගමන යන්නේ.

රථය ඇගේ මිදුලේ නිවසට සමීපයෙන් නතර කොලා. වීදුරු සියල්ල ටින්ට් කරලා තියෙන නිසා ඇතුලෙ ඉන්න නගාව පිටතට පේන්නෙ නෑ...වනිගයා  චූටි නංගිට කලින් මුලිච්චි වෙලා නැති නිසා ඔහුවත් ඇයට හදුන්වා දීලා අපි තුන්දෙනා සාලයේ තිබුන පුටු තුනකට බර දුන්නා. චූටි නංගි, ඇගේ මව සහ නැගණිය සමග අපට සම්මුඛ උනා.

ඕගොල්ලො ආවෙ අරයා ගැන කථා කරන්න නම් කරුණාකරලා ඒ ගැන කථා කරන්න එපා. චූටි නංගි කථාව පටන් ගන්නත් කලියෙන්ම උදැල්ල දැම්මා. ඇයට තමන්ගෙ දුක්බර අතීතය සිහිවෙලා දෙනෙතට කදුළු උනනවා. ඒ දසුනෙන් ඇගේ නැගණියත් සංවේදී වෙච්ච හැටි මට හොදට මතකයි.

ඔය ගැන ආයෙ කථා කරනවට මමත් කැමති නෑ පුතේ...මේ දරුවා පහුගිය කාලෙ මොන තරම් දුක් වින්දද ඔය සම්බන්දෙ හින්දා, මම ඒ සේරම දේවල් දන්නවා. චූටි නංගි වෙනුවට ඇගේ මව අපි එක්ක කථා බහේ යෙදෙනවා.

ඔයාලා ඉක්මනට ආපහු යන්න...තාත්තා ආවොත් ප්‍රශ්නයක් වේවි. 

අන්තිමේදි මම චූටි නංගි සමග  පුද්ගලිකව කථා කරන්න මිදුලේ නවතා තිබුන රථය අසලට ඇයව කැදවාගෙන ආවා. වෙනත් කෙනෙක්ට කැමති වෙන්න කිව්ව සිරාට.....ආයෙමත් නගා ගැන හිතන්න පුලුවන්ද කියලා අහන්න සිදු වෙලා.

ප්ලීස්...ඔය ගැන ආයෙ මා එක්ක වචනයක්වත් කථා කරන්න එපා. මම අපේ ගෙදර ආපු කෙනාව බඳින්න හිත හදාගෙන ඉවරයි. 

රථයට හේත්තු වෙලා චූටි නංගි කරනා කථා බහ ඒ තුල ඉන්න නගා කොලුවට හොදට ඇහෙනවා. ඒකා වීදුරුවකුත් යන්තමට පහත් කරගෙන මේ කථා බහට ඇහුම්කං දෙනවා...

මම අන්තිම තුරුම්පුවත් ගැහුවා...

මේ වතාවෙ නම් අපේ එකා ඇත්තටමයි ආදරේ කරන්නෙ...ඒක මට හොදටම විශ්වාසයි...මට කියන්න ලැබුනෙ එපමණයි.

නවත්තගන්න...ඔය බල්ලා නිසා මම පුදුම දුකක් පහුගිය කාලෙ වින්දෙ...මට තවත් නම් දුක් විදින්න බෑ. චූටි නංගි මහා හයියෙන් අඩාගෙන නිවස තුලට දිව්වා...ඇගේ පියා පැමිණියහොත් අපට බඩකට පුරා සැලකුම් ලැබේවි කියලා හිතුන නිසාම තවත් මොහොතක් හෝ අපි එතැන සුනංගු උනේ නෑ. තමන්ට බල්ලා කියනවා නගාට හොදට ඇහුනා. ඒකා සද්දයක් නැතුව රථය තුල අසුන් ගෙන හිටියා.

පේනවනෙ...මේක ආයෙ කොහොමවත් අටවන්න බෑ...උඹ වෙන අතක් බලාගනින්...අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහලා වැඩක් නෑ. උඹ අන්තිම මොහොත වෙනකං මොන මගුලක් කලාද ? පුෂ්පයා තමන්ගෙ තීරණය නගාට දැනුම් දුන්නා.

මේ සිදුවීමෙන් පස්සෙ අපි සුපුරුදු පරිදි නැවතත් රැකියාවේ කටයුතු සමග කාර්යබහුල වෙලා. නමුත් නගා තවමත් ඇය ගැන හිතමිනුයි කාලය ගත කරන්නේ. මගේ රළු වදන් හමුවේ අපේ නිවෙසට මේ ගැන කථා කරන්න නාවාට ඒකා තව දුරටත් පුෂ්පෙ කොලුවට ඇණයක් වෙලා.

මට ඒකි නැතුව ඉන්න බෑ බං...අපි වශියක් වත් කොරමු....නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය තියන තැනටම දැන් දැන් නගා පිරිහිලා. පහුගිය කාලෙ මේ ආදරය නිසා චූටි නංගි වින්ද වද වේදනා දෙගුණ තුන්ගුණ වෙලා දැන් නගා විදිනවා. හරියට දෛවයේ සරදමක් වගෙයි.

නගාගේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන...උඹට ඒක කරන්නම ඕනෙ නම් කොරහං...කියලා පුෂ්පයා කිව්ව නිසා නගා කොහේදෝ දේවාලයකට ගොහිං වැලි අහුරක් මතුරවගෙන තිබුනා. චූටි නංගිගේ දෙපතුල් වලට පෑගෙන විදියට මේ වැලි ඇගේ මිදුලට ඉහින එක තමයි නගාට ඇති අභියෝගය.

අන්තිමේදි වැලි ඉහින්න යන ගමනට පුෂ්පෙ කොලුවා  අකමැත්තෙන් උනත් එකතු උනා. දවසක්දා මහ රාත්තිරියක ඇගේ නිවස සමීපයටම යතුරු පැදිය පදවපු පුෂ්පයා වටා පිටාව ගැන අවධානයෙන් ඉද්දි නගා වැලි අහුර ඉහින්න චූටි නංගිගේ නිවෙස සමීපයට ගොහින්....මේ වෙලාවෙ හදිසියේම වගේ නිවසේ පිටත විදුලි බුබුලක් දැල්වීම නිසා කලබලයට පත් වෙච්ච අපේ අසරණ පෙම්බරා ඈත තියා දමලා ගැහුව වැලි අහුර මිදුලට මෙහායින් තියෙන පොල් ගහක වැදිලා එතැනම බිම පතබෑවුන බව මේ සිද්ධිය සිදු වෙලා බොහෝ කාලයකට පස්සෙ මට කිව්වෙ පුෂ්පෙ කොලුවා.

තව දුරටත් අපට උගේ අදෝවැඩියාව අහන්න වෙලාවක් තිබුනෙ නෑ. දිගින් දිගටම චූටි නංගි වෙත නගා කරදර කල නිසාම ඇය අපේ මිතුරු ඇසුරෙනුත් ටිකෙන් ටික ඈත් උනා. එහෙම උනා කියලා ඇයට වරදක් කියන්න බෑ.

කාලයේ ඇවෑමෙන් නගා බොහොම අමාරුවෙන් තමන්ගෙ උපාධිය සම්පූර්ණ කරගත්තා. චූටි නංගි යෝජිත පුරුෂයා සමග විවාහ උනා. ඉන් පසුව  කිසිදිනෙක ඇය අපට මුලිච්චි වෙලා නෑ. ජංගම දුරබණුවෙන් හෝ කථා බහක යෙදී නෑ. වර්තමානය වෙද්දී චුටි නංගි තමන්ගේම කියලා ඔසු හලක් (Pharmacy) පවත්වාගෙන යන එක්දරු මවක් බව කවුදෝ කිව්වා මතකයි. චූටි නංගිට රැස් පෙන්වලා අන්තිමේදි බලු වෙච්ච නගා නම් තවමත් අවිවාහකයි.

කොටස් 4 ක් පුරා දිවගිය නගාගේ ආදර අන්දරය මෙතෙකින් සමාප්තයි !


මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

ඇතැම් පෙම්වතෙකුට හිටි අඩියේම තමන්ගේ පෙම්වතිය අගේ නැතුව යයි. නමුත් ආදර සම්බන්ධය නිම වූ පසු ඇය තවත් කෙනෙකු සමග සම්බන්ධයක් ගොඩනගා ගතහොත් නැවතත් ආදරය කරන්නට සිතෙයි. මේ අරුමය කුමක්ද ? ආදරය යනු ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නොවේද ?

72 comments:

  1. ගහන්න ගහන්න වඳින එකත්, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය කියනවනෙ. නගා වගේ එකෙක් ඒ ගෑණු ළමයට නොලැබිච්චි එකම තමා හොඳ. දැන් එතකොට නගා නං බූට් එකක් දෙන්න ගිහින් ඒක රිටන් උන නිසා තනිකඩයි කියමුකො. ඒත් සිරා තාම තනිකඩ මොකක් හින්දද කියහන්කො.

    ReplyDelete
    Replies
    1. චූටි නංගි..

      සිත ඔබ පාමුල රදවා...
      බිදි සෙනෙහස ගිනි උහුලා....
      අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්...
      ඔබට සෝතැවුල් නොම වේවා.....

      අසුරැ සැනක් වූ රැසිරැ අතීතය,
      සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ.....

      සදා රැදේවා.... ඔබේ ලොවේ...

      ඔබට පිදුම් වූ සිතක විරාගය.....
      කැටපත් පවුරක ගීයක් සේ......
      සදා රැදේවා.... ඔබේ හදේ....





      --------------

      නගා,

      දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
      සැප දුක් සොයා බලන්න
      මගෙ දුරකතනයෙ අංකය මතකද
      මොහොතක් කතා කරන්න

      රුව දැක ගැන්මට පින් නැත දැන් මට
      මතක් උනත් සන්තෝෂයි
      කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
      අහගන්නට හරි ආසයි

      දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

      ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
      ඔබ ගැන මට සිහිවෙනවා
      ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
      මගෙ හදවත වැලපෙනවා

      දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

      Delete
    2. ගිණි පේල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් භයයි කියලා කථාවක් තියෙනවා නොවැ...තමන්ගෙ හිතට මෙච්චර දුකක් ගෙනාව මිනිහව විශ්වාස කරලා ආයෙමත් පරණ ගොං කම නොකර ඉන්න චූටි නංගි කල්පනා කිරීමේ වරදක් නෑ.

      සිරා කොලුවා උ/පෙ කරන කාල සමයෙදි දැරිවියො කීප දෙනෙකුට ඒක පාර්ශවීයවම පෙම් කොලා. ඒ එකියක්වත් මගේ අදහස ප්‍රකාශ කරන අවස්ථා වල මාව ප්‍රතික්ෂේප නොකලත්...එතනින් පස්සෙ කට්ට කාගෙන උන්ගෙ පස්සෙ යන පුරුද්දක් මට තිබුනෙ නෑ. නමුත් ඒ ඇත්තියො එහෙම තමයි මට දැනුන විදියට බලාපොරොත්තු උනේ..සා/පෙ කරන කාලෙ මගේ ගැන උනන්දුවෙන් හිටිය ලස්සන දැරිවියක් උන්නා. අතිරේක පන්තිය නිම වෙලා ඇය මා එක්ක කථාබහට ආවත් මම ඇයව මග ඇරියා...මට අදටත් හිතා ගන්න බෑ ඇයි මම ඒ කෙල්ලට අකමැති උනේ කියලා..

      එතැනින් පස්සෙ වෘත්තීය ජීවිතය තුලදි මම කීප දෙනෙකුට පෙම් කලා...ඒ අයගෙන් දෙදෙනෙක් මගේම සහෝදර කාර්යාල සේවිකාවන්...ඉන් එක්කෙනෙක් මුස්ලිම් යුවතියක්...අද වගේ සීතල යුද්ධයක් ඒ කාලෙ නොතිබුනත් ඇය ආගමේ වෙනස්කම මත මාව ප්‍රතික්ෂේප කලා...අනිත් තැනැත්තියට මාව මුණ ගැහෙන විටත් විවාහය රෙජිස්ටර් කර අවසන්...නමුත් ඇය මට පෙම් කල බව රහසක් නෑ.....ඇයම කියූ විදියට බදින්න කලින් මා මුණ ගැහුනා නම් අනිවාර්යෙන්ම සිරා කොලුවා සමග විවාහ වෙනවා කියලයි මම ඒ ආයතනයෙන් සමුගන්න දවසෙ ඇය කිව්වෙ.

      ඉන් අනතුරුව එළැඹි කාල සමයෙදි ඉතාම කෙටි කාලයකට සීමා වෙච්ච ආදර සබදතා දෙකක් තිබුනා...එක්කෙනෙක් පුරාවිද්‍යා උපාධිධාරිනිය. සිරා කොලුවට ඕනෑවට වඩා නීති රීති / අදහස් අතර විශාල නොගැලපීම් එක්ක ආදර සබදතාවක් අමාරුවෙන් අටවාගෙන ඉදිරියට අරගෙන යන්න කැමැත්තක් තිබුනෙ නෑ...අදත් එහෙමයි...ඒ නිසා ඒවා ඒ විදියට අවසන් උනා.

      වර්තමානය වන විටත් මට විවාහයක අවශ්‍යතාව තදින් දැනෙන්නෙ නෑ. ඒ වෙනුවට මගේ වෘත්තිය පැත්තෙන් තවත් ඉදිරියට යන විදිය මම කල්පනා කරන්නෙ. ඉදිරි වසර දෙක ඇතුලෙ සිරා කොලුවව අමාරුවෙ දාන්න මේ දවස් වල මගේ දෙමාපියො සූජානම් වෙමින් පවතිනවා. ඔන්න ඕකයි ලොකු අයියෙ සිරා කොලුවගෙ ජාතකේ...

      Delete
    3. ඉන්දික මේ සිරා ...........

      හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
      මගෙ පාළු පලට එන්න කවුරුත් නෑ යාළුවේ //

      පිපි කුසුමෙහි රොන් මුවරද
      නෙතු ඉඟුබිඟු සේමා
      නිති ගෙඋයන වැද රගදුන්
      පැණි සමනල සේමා
      සපැමිණ ඔබ වෙණ වැයු
      මා අභියස ගී ගැයු //

      හැමදාමත් යාළුවේ.....

      සව්සිරි සැප මා අතහැර
      අද වෙනතක ඇදිලා
      පින්මද තනිකම තනියට
      මගේ පැල තුල රැදිලා
      බිතු සිතුවම් රූ වැනි
      ඔබ කොතනද මිතුරනි //

      හැමදාමත් යාළුවේ.....

      Delete
    4. නෑ බං සිරා කියන්නෙ මේක.

      කවුදෝ කවුදෝ මා සෙව්වී
      මා නම් නැත කිසිවෙකු සෙව්වේ..
      නොගියට ඔය නුපුරුදු දීගේ..
      සුපුරුදු තනිය හොඳා..

      Delete
    5. සිරෝ උඹටත් .....

      හිඳීවි කොතැනක හෝ
      හිමිකාරයා උපන් නුඹේ නමින්
      වඩීවි කෙදිනක හෝ
      ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

      ගඟකට සයුරක් මුණ ගැසේවී
      රළකට වෙරළක් මඟ හිඳීවී
      නියඟට වැස්සක් ඇද හැලේවී
      නුඹටත් කෙනෙක් හිඳීවී
      දවසක සොයාන ඒවී

      අකුලක පිපෙන නැවුම් මලක් සේ
      නදියක නැගෙන තරංගයක් සේ
      නළලත සිඹින පවන් රොදක් සේ
      නොසිතුව විටෙක ළඟාවී
      නුඹ විඳි අඳුර නිවාවී

      ගී පද - කුලරත්න ආරියවංශ
      ගී තනුව - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    6. ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
      ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

      කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
      ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
      ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
      දෙමාපියන් ගේ ආශීර්වාදෙන් 
      විවා වුණොත් ජයවෙයි...

      ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
      අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
      ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
      දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
      ලව් එක ඉලව් ම වෙයි...

      නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
      ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
      දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
      එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි 
      අපායට ම වැටෙතෙයි...

      ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
      ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
      ගායනය: "ළා තණකොළ පෙත්තාස්"

      Delete
    7. හනේ අම්මේ වසලා හමාරයි....ඔය මැලේ රාළ...අඩුගානෙ මැලේ එකියක්වත් කරගන්න කියලා සිරාට සහයෝගයක් දෙනවා කියලයැ.....

      Delete
  2. ආදරය කියන්නේ තනි ආත්මාර්ථකාමී එකක් තමා. මම අර කොටලා තිබ්බෙත් මෙහෙව් සීන් කෝන් එකක් තමා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...තමා ආදරය කරන කෙනා තමන්ට පමණයි කියලා ආදරවන්තයා/වන්තිය හිතන්නෙ අන්න ඒ ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසා තමයි...

      Delete
  3. අනන්තවත් මේ වගේ සිදුවීම් වෙනවා. රෑ වැටුනු වලේ දවල් වැටෙන අයත් බොහොමයි.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කථා වල අඩුවක් නෑ....හැමදාමත් මේ ඉර හද පවතින තුරා මෙවැනි දේ අහන්න දකින්න ලැබේවි.

      Delete
  4. තමන්ට හිමි දේ තමයි උරුම වෙන්නෙ..දෙයක් ලබන්න හිමිකමක් නැත්තං කොච්චර හෙව්වත් ලැබෙන්නෙ නැහැ.අනික නගා ආයේ සෙට් උනත් පරණ පුරුදු අත් හරියි කියල කාටද විස්වාස කරන්න පුළුවන්.යාළුවො විදිහට අන්තිමට සිරාල කරපු දේ ගැන වරදක් කියන්න බැහැ. නමුත් අනිත් කෙනා විදපු වේදනාව අනිකටත් දැනෙනවනම් ඒක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියගෙ කථාව මම දන්න නිසා...මේ කමෙන්ටුව ඇතුලෙ ඔබ අදහස් කල දේ ගැන මට හිතාගන්න අපහසුවක් නෑ. පිරිමියා වගේම කාන්තාවත් තමන්ගෙ විවාහය හා ඉන් අනතුරුව අනාගත සුරක්ෂිත තාව පිළිබද කල්පනා කිරීම වරදක් නෙමෙයි. ඒ විදියට හිතලයි චූටි නංගි මේ තීරණය ගත්තෙ.

      Delete
  5. චූටි නංගී ගත්තෙ ඉතාම බුද්ධිමත් තීරණයක්. ඒ තීරණ ගන්න ඇයට මග පෙන්වීමෙන් සිරා සහ පුෂ්පයා කළෙත් හොඳ වැඩක්. ආදරය කියන්නේ හුදු හැඟීමක්. නමුත් ප්‍රේමයෙන් බැඳීම තීරණාත්මකයි. එය විචාර බුද්ධියෙන් විමසා බලා ගතයුතු පියවරක්.

    ReplyDelete
    Replies
    1. අපි එදා ඇයට උදව් නොකලා නම් ...ඇය සිටිය මානසික තත්වය යටතේ සමහර විට අද ඇය ජීවතුන් අතර නෑ. නමුත් මිත්තරයො විදියට අපේ මගපෙන්වීමත් සහාය කරගෙන ඇය අනාගතයට ශක්තිමත් අඩිතාලමක් යොදාගත්තා. මේ තත්වයට පත්වෙන බොහෝ දෙනෙකුට නොලැබෙන යහපත් මිතුරන්ගේ ඇසුර ලබන්න තරම් චූටි නංගි වාසනාවන්ත උනා.

      Delete
  6. නගා ට..

    එකවරක් ඔබට මා එපානම්
    සිය දහස් වාරයක් එපා මට ඔබ එපා

    මම මගේ පාඩුවේ අඬ අඬා සිටින්නම්
    ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුළ පලඳින්න

    එකවරක් ඔබට මා එපානම්....

    ඔබේ හඳ පහුරු ගා වේදනා නොදෙන්නම්
    ඔබ යනෙන මාවතේ දැකගන්න ඉඩදෙන්න

    එකවරක් ඔබට මා එපානම්.....

    විජය කුමාරතුංග....

    ReplyDelete
    Replies
    1. ගීතයේ කියවෙන්නෙ අහිංසක පෙම්වතෙකු හැර ගිය පෙම්වතෙකු ගැන...නමුත් නගාගෙ කථාවෙදි සියලු වැරදි තියෙන්නෙ නගා ලග...චූටි නංගිට කිසිම වැරැද්දක් පටවන්න බෑ. ඇය නිර්දෝෂීයි.

      Delete
  7. නගා සතුවුයේ ආදරය කියා දෙයක් නොව තනිකරම ආත්මාර්ථයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...සරසවිය තුලින් චූටි නංගිට වඩා හොද තැනැත්තියක් හොයාගන්නා අරමුණක් තමයි මිනිහට තිබුනෙ...චූටි නංගි විභාගය සමත් වීමෙන් පස්සෙ ඇයගේ වටිනාකම ඉහළ යාමත් නැවත් ඇය කරා නගා හැරෙන්නට හේතුභූත වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ.

      Delete
  8. Ditta dharma vedaniya Karma kiyanne mekata wenna ona
    Auntie K

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...අපිත් එහෙම තමයි ඒ දවස් වල හිතුවෙ...මොකද චූටි නංගි මොනතරම් මේ සම්බන්ධය නිසා දුක්වුනාද කියන කාරණය අපි පුද්ගලිකව හොදාකාරව දැක්කා.

      Delete
  9. පස්සෙන් එනකොට දුවන එකයි, දුවනකොට පස්සෙන් යන එකයි ඇත්ත නේද?

    ගෑනු ලමයට වැරැද්දක් කියන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝ අයට මේ දේ සිදුවෙනවා නේද...තමන් ලග ඉද්දි වටිනාකමක් නොදැනෙන චරිතයක්..තවත් කෙනෙකුගේ බවට පත්වුනාම වටිනාකමක් දැනීම තමයි ඒකට හේතුව...

      Delete
  10. ඕක නොබැඳම හිටපු එක ලොකු දෙයක්. කොයි කෙල්ල බැන්දත් එකිටත් දෙන්නේ ඔය දුකම තමා.

    ReplyDelete
    Replies
    1. නගා කියන්නෙ ස්වාධීනව තීරණයක් ගන්න බැරි....තමන්ගෙ පවුලෙන් එල්ලවන පීඩනයට බොහොම භය කෙනෙක්....ඒ නිසා මේ ආදර කථාව මේ විදියට අවසන් වීම ඉතාම හොදයි...

      Delete
  11. සිරා අයියේ නගාගෙ පස්සෙන් ඉතින් පොල්ගහ ආවද? :D, ඇත්තටම නගාට කැම්පස් ගියාට පස්සේ මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. පොල්ගහට මුල් තිබුනෙ නැත්තං සමහර විට පස්සෙන් එන්න ඉඩ තිබුනා. නගා කැම්පස් යද්දි චූටි නංගි රැකියාවක් නොකරන සාමාන්‍ය දැරිවියක්...ඉතිං මිනිහා සරසවිය තුලින් හොද රැකියාවක නිරතවෙන්න පුලුවන් දැරිවියන් කීප දෙනෙකුට හිතින් ට්‍රයි එක දුන්නා...ඒ සියල්ලම ඇණ වෙලා තියෙන වෙලාවක...මිනිහට තමන්ගෙ අතේ තිබුන දේ කටට දාගන්නත් බැරි උනා...

      Delete
  12. අන්තිමේදි, වැපිරූ තරමට අස්වැන්න ලැබිල තියන්නෙ නගාට.

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද ඒ ටික...චූටි නංගි වගේ ඉතාම තදින් ආදරය කරන තැනැත්තියක් ලබන්නත් පිනක් තියෙන්න ඕනෙ...ඒ පින නගාට නෑ. ආදරයට අවංක උනා නම් ඒකාට මේ දුක විඳින්න වෙන්නෙ නෑ.

      Delete
  13. ඕකාට හොඳම හොඳම හොඳම වැඩේ. චූටි නංගි ගත්ත තීරණය හරියටම හරි.

    ඇත්තමයි උන්නද මලාද හොයන් නැතුව ඉඳලා අන්තිමේදි කෙල්ල වෙන කෙනෙක්ගෙ වෙන්න යන බව දැනගත්තම වැඳගෙන පස්සෙන් එන ලෙඩේ ගොඩක් කොල්ලන්ට තියෙනව නේද? මොකද්ද හැබෑටම ඒකට හේතුව??

    ReplyDelete
    Replies
    1. කාන්තා පාර්ශවය නියෝජනය කරමින් මේ කෙලීට හොදටම තරහා ගොහින් වගේ...හෙක් හෙක්..

      ඒකට හේතුව තමයි තමන්ගෙ පෙම්වතීගෙ /පෙම්වතාගෙ වටිනාකම් නොදැනීම. තවත් කෙනෙකු ලගට ගියාම බාහිර පුද්ගලයෙක් විදියට බලාන ඉද්දි තමයි ඒ චරිත වල වටිනාකම ලග ඉන්න කාලෙට වඩා දැනෙන්නෙ...මට හිතෙන්නෙ එහෙමයි...

      Delete
  14. අපරාදෙ නගාට ආයෙත් උදව් කරන්න ගිහින් චූටි නංගිව තරහ කරගෙන :( .කොහොම උනත් කතාව මේ විදිහට ඉවර උන එක ගැන නම් මට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මම ඉතාම කැමතියි චූටි නංගි සමග ආයෙමත් වචනයක් දෙකක් දොඩන්න...ඇය මේ වෙද්දි දුරකථන අංක පවා වෙනස් කර තිබෙන නිසා සම්බන්ධ කරගන්න ක්‍රමයක් නෑ. නමුත් මෙදා පොටේ ලංකාවට ගියාම ඇයව මුලිච්චි වෙන්න උත්සාහයක් දරනවා. සිරා කොලුවා සමග ඇයට කිසිම පුද්ගලික තරහක් නෑ.

      Delete
  15. චුටි නංගිට වරදක් කියන්න බෑ. එයා ගත්ත තීරනේ හරි.. නගාට විඳින්න වුනේ එයා චූටි නංගිට දීපු දුක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ බව තමයි මගේ වගේම ඉහළින් අදහස් දක්වපු බොහෝ දෙනෙකුගේත් අදහස....

      Delete
  16. නගාට ඔහොම වෙලා මදි. මම නම් කියන්නෙ. තනිකර ආත්මාර්ථකාමී පාහරයෙක්!!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අදහසක් තමයි මමත් පුෂ්පෙ කොලුවත් ඔය කියන කාල වකවානුවෙදි දැරුවෙ...

      Delete
  17. මම මේ කල්පනා කලේ සිරෝ........
    මෙය ඔබ විසින් කරන ලද නිර්මාණයක්ද..... එසේත් නොමැතිනම් සත්‍ය කථාවක්ද ???? මෙය සත්‍ය කථාවක් නම් අදාල පුද්ගල චරිත යම් ආකාරයකින් අපහසුතාවයකට පත් නොවන්නේද ??? මේ පිළිබඳව ඔබගේ අදහස් දැනගනු කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මේ කථාව ප්‍රබන්ධයක් නෙමෙයි. සත්‍ය ලෙසම සිදු වූ සිදුවීම් අළලා ලියවුන එකක්. මේ පුද්ගල චරිත අපහසුතාවට පත්වෙන්නෙ ඒ අය හදුනාගත හැකි ලෙස ඔවුන්ගේ ඡායාරූප හෝ නියම නම්ගම් සහිතව මේ කථාව පල වූවා නම්..මේ කියන කාලය අවසන් වෙලා අපි දැන් දශකයකට ආසන්න කාලයක් ඇවිල්ලා තියෙන්නෙ...මා මෙහි ලියා ඇති නම් වලින් ඔවුන්ව හදුනන කිසිවෙකු මගේ බ්ලොග් අඩවිය කියවන්න එන්නේ නෑ. මේ සත්‍ය කථාව මෙහි පලකලේ කලේ නගා කලා වැනි ගොං කමක් වර්තමානයේ කරන්නට සැරසෙන කවරෙකුට හෝ මෙමගින් යම් අදහසක් ගන්නට හැකිය කියන උපකල්පනයේ සිටයි.

      Delete

    2. ඇනෝ
      මේ කතාව සත්‍යයක්...

      සිරා,
      "මා මෙහි ලියා ඇති නම් වලින් ඔවුන්ව හදුනන කිසිවෙකු මගේ බ්ලොග් අඩවිය කියවන්න එන්නේ නෑ"
      ඈ බොල ගොබිලො තොට මාව අමතක වුනාද ?

      මම
      මයික්

      Delete
  18. කවුද බං කියන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන් නෑ කියලා :D
    ඔය ලැබිල තියෙන්නේ !!!!

    ReplyDelete
    Replies
    1. නගා වපුරපු දේ අස්වැන්න විදියට නෙළා ගත්තා...ඒ ගැන අපට කරන්නට දෙයක් නෑ.

      Delete
    2. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රට නෙවැ ඉන්දික අයියා :D

      Delete
  19. නගාට ඔහොම වෙන්න ඕනෙ.
    ආදරේ කියන්නෙ ආත්මාර්තකාමී සිතුවිල්ලක් නෙමේ.ආදරේ හරිහැටි තේරුම් නොගත්ත මිනිස්සු තමා ආත්මර්තකාමී වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආදරය මොන තරම් සුන්දර මනෝභාවයක් වුවත් ඒ තුල අඩු වැඩි වශයෙන් ආත්මාර්ථකාමීත්වය අන්තර්ගත බවයි මගේ අදහස.....තමන්ගේ ප්‍රේමවන්තයා තමන්ගේම පමණයි....මේ විදියට හිතෙන්නෙ ආදරය තුල තියෙන ආත්මාර්ථකාමීත්වය නිසයි...

      Delete
  20. නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නැ ඔය තරමට ලස්සන
    කියන එක තමයි නගාට වුනේ.බොලා කොරපු ලොකුම මොඩකම චුටි නනගි බදින්න යනෑක නගාට කියපු එක.එක නොකරනම් ඔය දෙ ඔයිට වෙනස්.
    චුටි නනගිට ජයවෙවා

    ReplyDelete
    Replies
    1. අන්න හරි...එහෙම දෙයක් තමයි මිනිහට ඇත්ත වශයෙන්ම උනේ...මම ඒ කාරණය කිව්වෙ මේකාව රිදවන්නම තමයි...චූටි නංගි කොච්චර වේදනා වින්දද කියන කාරණය මම දැකලා තිබුන නිසා නගාවත් රිදවන්න වියරු ආශාවක් වගේ දෙයක් මගේ හිතේ තිබුනා...

      Delete
  21. උදව් කරන්න ගිය යාළුවෝ දෙන්නා අර කෙල්ලගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නොබැලුව කුසල කර්මයම සෑහෙනවා බං. :D

    ReplyDelete
    Replies
    1. අයුතු ප්‍රයෝජන ගන්නෙ කොහේද බං...සිරා එතකොට ලොකුලමයෙක් වෙලා නෑලු..!!

      Delete
    2. එයා දැන් ලොකු ළමයෙක් වීයා...

      Delete
  22. මිනිස්සුන් ගෙ හිත් ක්‍රියාත්මක වෙන හැටි හිතා ගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සු ඉතිං තේරුම් ගන්නත් අපහසුයි නොවැ...

      Delete
  23. පලියෙ තියෙන එක තමා ඇත්ත....

    ඈ බං ඒකිට යාලුවෙක් හිටියෙ නැතෙයි හරි හමන්...යෙහෙලියක් ..!

    ReplyDelete
    Replies
    1. චූටි නංගිට කිට්ටුවෙන්ම යෙහෙළියො දෙන්නෙක් හිටියා...මේ දෙන්නත් පුස්තකාලෙට ආවා ගියා...එකියකට කොල්ලෙකුත් සැට් වෙලා හිටියා...ඒ කෙල්ලගෙ ගම නුවර...උ/පෙ වලින් පස්සෙ එයා ගමේ ගියා....අනිත් කෙල්ලත් මට මතක විදියට චූටි නංගි ලියපු විභාගෙටම පන්ති ආවා...ඒ උනාට චූටි නංගි තමන්ගෙ පුද්ගලික දේවල් ඒ අය එක්ක කථා බහ කරන්න කැමති උනේ නෑ.

      Delete
  24. ගිය සැරේ කොටස මිස් වුණා, දෙකම එකට කියෙව්වා.... අන්තිමේ විසඳිච්ච ආකාරය හොඳයි වගේ...

    හඳක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්...

    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්...

    ReplyDelete
    Replies
    1. සුනිල් එදිරිසිංහ මහතාගේ මේ ගීතය මමත් ඉතාම ප්‍රිය කරන එකක්...තමන් ලග තියෙනවා වගේ නොවෙයි...ඒ දේ අනුන් අතට පත් උනාමයි අපට වැඩිපුර අගය දැනෙන්නේ....ඒ අදහසම තමයි වියෝවූ පසු ප්‍රේමයේ අභිමන් දැනෙනවා කියන පද පෙළින් අරුත් ගැන්වී තිබෙන්නේ...

      ස්තූතියි තිසර...

      වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
      හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් //

      ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
      දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

      වියෝවූ පසුවයි...

      හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
      පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

      වියෝවූ පසුවයි... //

      ගී පද : බන්ධුල නානායක්කාරවසම්
      ගී තනු : රෝහණ වීරසිංහ
      ගායනය : සුනිල් එදිරිසිංහ

      Delete
  25. මගෙ මිත්‍රයෙක් සිරා වගේ ඔහොම ලමයෙකුට උදව් කරන්න ගිහින් අන්තිමට එයාව බැඳගත්තා.. වැඩිකල් ගියේ නැ, ඉවර උනේ උසාවියෙන්.. හපොයි .. සිරා බේරුණු බේරිල්ල..

    ReplyDelete
    Replies
    1. මේ දැරිවිගේ ස්වභාවය මගේ හීන කුමාරියට සමපාත වෙච්ච නැති නිසාම මට ආදර හිතක් පහළ වුනේ නෑ.....ඇරත් මගේ හොදම මිත්තරයෙකුගෙ පෙම්වතී නිසාම මුල් කාලෙ ඉදන්ම මිතුරු හැගීමක් පමණයි තිබුනෙ...ඒ කාරණා තමයි සිරා කොලුවාව ඇගේ පෙම්බරා නොකලේ...

      Delete
  26. සිරා වැනිම ඩයල් එකක්.. හැක්... හැක්..

    ReplyDelete
    Replies
    1. කොයි එකාද බොලං...කියන හරුපයක් තේරෙන භාෂාවෙන් කියහංකො....සංගීත මාස්ටර් වයළින් එකෙන් ගැහුවද...

      Delete
  27. නගා ගැන නම් මට කිසිම දුකක් නෑ. අවස්ථාවාදී කොල්ලො

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි...ඌ ගැන කිසිම දුකක් නෑ...

      Delete
  28. රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
    සතුටයි කිරුළ අපේ.....................................

    අකලට වට මහ වරුසාවක් සේ
    අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
    මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
    ඇයි දෝ යළි ආවේ...

    පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
    සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
    අතීත ආදර නටබුන් අතරේ
    මන්දිර මැව්වා දෝ...

    සොවක් නැතේ නොසිතනු මැන සංකා
    ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
    රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
    සතුටයි කිරුළ අපේ...

    හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
    ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
    විමසන වදනට පිළිතුරු දෙන්නම්
    ළඟක දි ලබන දිනේ...


    ගී සංකල්පනාව: දයා ද අල්විස්
    තනුව සහ සංගීතය: නන්දා මාලිනී
    ගායනය: නිරංජලා සරෝජිනී

    ReplyDelete
    Replies
    1. මේක තමයි සිරාවටම ගැලපෙන සින්දුව!!

      ලංකාවෙ වළලු දපු අත්වලින් විතරක් මැවුන එකම සින්දුව මම දන්න තරමට.

      Delete
    2. මම පුද්ගලිකව ඉතාම ප්‍රිය කරන ගීතයක්...නිරංජලා සරෝජිනය වැනි මධුර කටහඩක් තියෙන ගායිකාවක් වර්තමානයේ ගීත ගයන්නේ නැති වීමත් අපි වැනි සුභාවිත ගීතයට පෙම්බදින උන්ට ලොකු පාඩුවක්...

      ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ ගායිකාවො සහ පද රචිකාවියන් බිහි වී තිබෙනවාට වඩා ඉතාම අඩුවෙන් තමයි තනු නිර්මාණයට දායක වෙච්ච කාන්තාවන් බිහිවී තිබෙන්නේ...ඒ අතලොස්ස අතරත් නන්දා මාලනිය පෙරමුණේම ඉන්නවා. හද විළ කළඹන / සැදෑ කළුවර / බුදු කරුණා දෑස තෙමී වැනි අතිශය ජනප්‍රිය ගීත වල තනු නිර්මාණය කර තිබෙන්නේද නන්දා මාලනිය විසින්මයි. 1981 දී තිරගත වෙච්ච “බඹා කෙටූ හැටි“ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණයද නන්දා මාලනිය විසින් සිදු කර තිබේ. කාන්තාවක් සිංහල චිත්‍රපටයකට පසුබිම් සංගීතය සැපයූ පළමු අවස්ථාව එයයි.

      Delete
  29. ඔන්න ඔහොමයි ඕව සිද්ද වෙන්නේ.. පස්සේ කාලෙක කල්පනා කරලා බලනකොට ඉතින් දෙන්නම හොඳ තැන් වල ඉන්නවනම් දෙන්නම සතුටින්.. නැත්නම් ඉතින් පසුතැවීම්..

    ReplyDelete
    Replies
    1. පස්සෙ කාලෙක එකිනෙකාට හමුවෙන්නෙ නැත්තං ගැටලුවක් නෑ..නමුත් නිතරම හමුවෙන්න පටන් ගත්තොත්, අතීතකාමය නිතර වද දේවි...

      Delete
  30. නගාට හොදම වැඩේ..
    උසස්පෙල කරන කාලේදි පොඩි කාලේ ඉදන් දන්න යාලුවෙක් ගොඩාක් කල් ආදරේ ඉල්ලගෙන පස්සෙන් ආවා.. යටි හිත කොයි තරම් පිලිගත්තත් එයා ඇත්තටම ආදරෙයි කියලා අපේ ගෙදරින් අකමැතිවෙයි කියල කැමැත්ත දුන්නේ නෑ මම... ඒත් අදටත් ඒක ගැන දුකක් තියනවා මට.. ඒත් දෙන්නෙක් එක වහලක් යට ඉන්න පවුල් දෙක අතරේ ගැලපීමක් තියෙන්නත් ඕනි. අපි කොයි තරම් ඒක නෑ කිව්වත් ඒක තමයි ඇත්ත.. ඒ නිසා ඒක මග ඇරුන එක හොදයි...

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයෙක් අද කාලෙ ආදර යෝජනාවකට කැමැත්ත දෙනකොට බොහෝ දුරදිග හිතන්න ඕනෙ...පේනවනෙ බෑ කිව්වා කියලත් සම හරක් පිහියෙන් අනින යුගයක් නොවැ මේක...හා කියලත් බෑ...බෑ කියලත් බෑ..හා කියලා පස්සෙ කාලෙක බෑ කියන එක ඊටත් වඩා භයානකයි..

      Delete
  31. සිරා,

    මේ හා සමානම කතාවක් මගේ හොදම යෙහෙලියකට සිද්ද වුනා.. උඹ කොල්ලව දැනගන්න ඔනේ... (බන්ඩාර සර් ගෙ පන්තියේ අපේ ස්කෝලෙ සෙට් එකකටක සද්දේ දමා ගම්පහ ස්ටේශන් එකෙ හක්ක පනින්න ගුටි කාපු ආනන්දෙ එකා ... දිගා කියල කිව්වේ... )

    උෟ ඒ රත්නාවලියේ කෙල්ලව සෙලමකට ගත්ත​... ඒ කෙල්ල ජ​'පුර තේරිල 3වෙන් අවුරුද්දේ ඒ කෙල්ලට පිස්සු හැදුන ඌ කරපු බලු වැඩක් නිසා..කොහොම හරි ගෙදර මිනිස්සු යලුවො අපි ඔක්කොම එකතු වෙලා එකි අවුරුද්දකත පස්සෙ ගොඩ අවා.. උපාධියත් ඉවර කරගත්ත​... අද කොලඹ ප්‍රධාන බැන්කුවක මැනේජර් කෙනෙක්... අපේම ඉස්කෝලෙ 1999 බැජ් එකෙ අයියා කෙනෙක් බැන්දේ.. අද ලස්සන චූටි දුවෙක් ඉන්නවා... අදටත් දෙන්නම කතා කරන්න SMS අමතක කරන්නේ නෑ...

    පරන එකාට යන එනමක් නෑති වුනා... උගේම යලුවො උව කොන් කලා.. දැන්නම් මොනවා කරනවාද දන්නේ නෑ...

    ඇත්ත බං ආදරය කරල ඒ හිත බිදුනට පස්සේ...ආයි කෙල්ලෙක් දිහා බලන්න හෙතෙන්නේ නෑ... ඒකනම් මම හොදටම දන්නවා...

    මම
    මයික්

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...