Sunday, April 26, 2015

54 පොඩි ඇඟිල්ල සහ වෙසක් සඳ

සිරා කොලුවා බයිසිකලයට පෙම් බැන්දේ කෙසේදැයි අතීතයේ දවසක ලියා තිබේ. බොහෝ උන්ට මෙන්ම මටද මගේම කියා බයිසිකලයක් ලැබුනේ සිස්සත්තය සමත් වීමෙන් අනතුරුවයි. මේ පුංචි බයිසිකලය සමග කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වන විට ශරීරයේ ප්‍රමාණයට බයිසිකලය නොගැලපෙන අවස්ථාවක් උදාවෙයි.

සාමාන්‍ය පෙළ ලියන අවදිය වන විට අපේ කාලයේ කොල්ලන්ට තිබුනේ මවුන්ටන් බයිසිකලයක් පැදීමේ ආශාවයි. මමත් බොහෝ උන් මෙන් ඒ සඳහා සිහින මැව්වෙමි. විභාගය හොඳට පාස් උනොත් බයිසිකලයක් අරගෙන දෙන්නම්. අම්මා එසේ කියූ නිසා මගේ ආශාවට තටු ලැබුනි.

විභාගයේ ප්‍රතිඵල පැමිණ මඳ කාලයක් ඇවෑමෙන් ජපානයේ මඳක් පාවිච්චි කල කදිම මවුන්ටන් පා පැදියක හිමිකරුවෙකු වන්නට මට අවස්ථාව ලැබුනි. බයිසිකලයේ ඇති ගියර් ප්‍රමාණය සහ අනෙකුත් අංග උපාංග අනුව බජාර් එකේ බයිසිකලයට ලැබෙන ස්ථානය තීරණය විය. සම වයසේ මිත්තරයන්ද විවිධ පාපැදි සමග කරළියට එන විට අප අතර බයිසිකල් මගින් වෙසක් බලන්නට යාමේ අලුත් උන්මාදයක් පැතිරි ගියේය.

වෙසක් දිනයේ උදේ රැයින් මාර්ගයට එකතු වන මේ මිත්තර කැළ තම පාපැදි මගින් ‍තෝරාගත් සිද්ධස්ථානයක් වෙත ගමන් කිරීම ආරම්භ වන අතර ඒ ගමන් මගේදී හමුවන සෑම දන්සැලකටම සහභාගි වීම අපගේ සිරිත විය. දහවලේ කුසගිනි දැනෙන වේලාවට බත් දන්සැලකින් සප්පයාම් වන අප තවත් කිලෝමීටරයක් ගිය තැන හමුවන බත් දන්සැලෙන්ද සප්පායම් වන්නෙමු. සිසිල් පැන් දන්සැල් එකක් අතහරින්නේ නැත. කුස තුල මේ තරම් දන්සැල්  සඳහා ඉඩ ලැබුනේ කොහෙන්දැයි අපි දන්නේ නැත.

මේ අයුරින් සෑම වසරකම පා පැදි මගින් වෙසක් සිරි නරඹන්නට යාම පුරුද්දකට වඩා සිරිතක් වන තරමට දියුණු විය. පසුකාලයකදී පාපැදි පාගන්නට අකමැති ඇත්තන් යතුරු පැදි මගින් මේ ගමන් ගිය නිසා පාපැදි සංගමයේ සාමාජිකයන් ගනන අඩු විය. සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ අයනු ආයනු කියවූ වකවානුව වන විට උදෑසන සිටම දන්සැල් සොයා බයිසිකල් පැදීම නතර කොට සන්ධ්‍යාවට පමණක් කොහේ හෝ යන්නට තරම් අපි වයසින් මුහුකුරා ගොස් සිටියෙමු.

ගම්පහ අවට ජීවත් වන ඇත්තන් ගම්පහ සාම විහාරයේ පෙරහැර ගැන දනිති. ගම්පහ නගර මධ්‍යයෙන් චිරාත් කාලයක සිට ගමන් කරනා, අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මේ පෙරහැර දැකබලා ගැනීමට අාසන්න ගම් නියම් ගම්වලින් පවා ජනතාව ගම්පහ නගරයට ඇදෙති. පෙරහැර ආරම්භ වන අවස්ථාව වනවිට නගරය එකම හිස් ගොඩකි. වාහනයක් තියා බයිසිකලයක් හෝ නවතන්නට ඉඩක් නැත.

මේ කියන දිනයේ බයිසිකල් සංගමයේ සාමාජිකයන් ඒ මේ අත ගොස් සිටි නිසා පෙරහැර නැරඹීමට යාමට ජොකියෙක් නොමැතිව මම හතර අතේ කල්පනා කළෙමි. මට සැනින් නගා කොලුවා මතකයට පැමිණියෙන් මම වහා ඇමතුමක් ගතිමි.

නගෝ...උඹ මොකද කරන්නෙ.

මොකුත් නෑ බං ගෙදර ඉන්නෙ.

හැන්දෑවට පෙරහැර බලන්න යමුද බයිසිකලේ.

මගෙ බයිසික‍ලේ පැච් එකක්. තවම දාගන්න බැරි උනා.

එහෙනං කිතුලගෙ එක ඉල්ලගෙන යමං. මම එන්නං 6 වෙද්දි ගෙදරට.

පෙරහැර බලන්නට යන්නට දැන් නගා කොලූ සිටී. එහෙත් උගේ පොල්ල නැති බයිසිකලයේ හුළං නැති නිසා කිතුලා නැමති තවත් මිතුරෙකුගේ පා පාදිය රැගෙන එන්නට එහි යා යුතුය. ඉතාමත් අහිංසක එකෙකු වූ කිතුලා කිසි විටෙකත් රෑ පානේ ගමන් බිමන් ගියේ නැත. එහෙයින් උගේ බයිසිකලය නිවසේ සුවසේ පසුවෙයි.

හවස 6 වෙද්දී මම පෙරහැර නරඹන්නට සූජානම් වී නගා කොලූගේ නිවසට සේන්දු වූයෙමි. ඉන් අනතුරුව ඒකා මගේ බයිසිකලයේ පටවාගෙන කිතුලාගේ  නිවෙසට පෑගුවෙමි. මෙය ගම්බද මාර්ගයකි. ඇතැම් තැනක තරමක පල්ලම් මෙන්ම කඳුගැටද තිබේ. ඒවා තරණය කොට කිතුලා සොයා යන විට ඒකා පාපැදිය මිදුලේ තබා තිබුනි.

මම හෙට කොහෙවත් යන්නෙ නෑ.. උදේට ගෙනත් දියං ඒ ඇති. කිතුලා හැමදාමත් මෙන් අහිංසක සිනහවක් නගයි.

උඹේ එක මට දියං...මේක උඹ ගනින්..නගා කවදත් මගේ බයිසිකලයට මනාපය. එහි ජේත්තුකාර පෙනුම ඒකාගේ සිත්ගෙන තිබේ. මම කිතුලාගේ මවුන්ටන් බයිසිකලයට නැගුනෙමි. අපි දැන් ගම්පහ නගරය බලා පා පැදි හසුරවන්නෙමු.

කිතුලාගේ නිවස මඳක් පසු වූ විට ඇත්තේ තරමක පල්ලමකි. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආවත් එතැන ඇත්තේ පල්ලමකි. ඒ කලාපය අඳුරේ ගිලී පැවතුනේ මාර්ගයේ වූ විදුලි බුබුළු ක්‍රියාත්මක නොවූ බැවිනි. මට සැනින් කිතුලාගේ බයිසිකලයේ ඩයිනමෝවක් ඇති බව මතකයට නැගුනෙන් බයිසිකලය පදින අතරතුර ඩයිනමෝව ක්‍රියාත්මක කරන්නට ඒ දෙස බලමින් බයිසිකලය ඉදිරියට ධාවනය කලෙමි.

මගේ ඇස් ඩයිනමෝවේ තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් මාර්ගයේ විරුද්ධ පැත්තෙන් ගණ අඳුරේ වේගයෙන් පැමිණි තවත් පා පැදියක් මගේ පා පැදිය සමග මුහුණට මුහුණ ගැටුනේ මේ අතරයි. ඒ ගැටුමෙන් සිරා කොලුවා පාරේ වම් පසටත්..ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පැමිණි හාදයා තාර පාර මැද කොන්ද බිම වදින ලෙසත් ඇද වැටුනි. ඒකා වැටුන සැනින් බුදු අම්මෝ යැයි හඩ නැගූයෙන් මම මගේ තුවාල අමතක කොට ඉක්මනින් එතැනට ලගා වූයේ උගේ කොන්ද කැඩෙන්නට ඇති බවට උපකල්පනය කිරීමෙනි. වට පිටාවේ රූස්ස ගස්කොළන් ඇති නිසා එතැන ඇත්තේ කෑලි කැපිය හැකි අඳුරකි. මමත් නගාත් හනිකට බිම වැටී උන් තරුණයා වෙත ලගා වන විට ඒකාට බැට දෙන්නට අප සැරසෙනවා යැයි උගෙ අක්මාව සන් කල නිසාදෝ දනි පනි ගා නැගිට, පෙරළී තිබූ පා පැදිය කෙලින් කොට එයට නැගී නැවතත් හැටට හැටේ පාගන්නට විය.

පාපැදිය ගැටුන සැනින් මගේ දකුණතේ ඇගිලි හිරි වැටී ගිය නිසා මම භියෙන් යුතුව නගාට ඒ බව දැනුම් දුන්නෙමි. නගා කොලුවා වහා තම ජංගම දුරබණුවේ ආධාරයෙන් මගේ ඇගිලි පරීක්ෂා කර පොඩි ඇගිල්ල මොනවා හරි වෙලා යැයි පවසනවා මට සිහිනයෙන් මෙන් මතකය.

දැන් බයිසිකල් පදින්නට නොහැක. එහෙයින් කිතුලාගේ පා පැදියට හානියක් වී නොතිබූ නිසා එය නැවතත් කිතුලාට බාර දී ඒ නිවසින් පිටත් වන්නට සැරසෙන අවස්ථාව වන විට දකුණතේ සුළැගිල්ල තරමක් ඉඳිමී අවසානය.

මචං දැන් පෙරහැර බලන්න යන්න එපා. ඉක්මනට ඇගිල්ලට බේතක් කරගනින්. ඔතන තව ටිකක් ඈතට ගියාම සරත් කියලා අයියා කෙනෙක් ඉන්නවා. මේ නගා දන්නවා ඇති. කැඩුම් බිඳුම් වෙදකම් කරන සරත් කිව්වම හැමෝම දන්නවා. හැන්දෑවෙ කිය කියා උන්නා පෙරහැර බලන්න යන්න ඕනෙ කියලා. දැන්ම පලයං. මෙන්න මේ රු 100 ත් අරගනින්. ඒ අවස්ථාවේ කිතුලා දැක්වූ දයාබරත්වය මට තවමත් ඉතා හොඳින් මතක තිබේ.

මගේ බයිසිකලයේ හරස් පොල්ලට බර දුන් පසු නඟා එය එහි පැදවූවේය. කුඩා ඇගිල්ල එන්න එන්නම වේදනා දෙයි. එය සත්‍ය ලෙසම මහත් වූ වේදනාවකි. ඇඟිල්ල කැඩිලද මන්දා බං..හරි කැක්කුමයි. බයිසිකලය පදින නගා කොලූට මම කීවෙමි.

සරත් අයියාගේ නිවසට යන විට ඔහු බිරිඳ හා දරු දෙදෙනා සමග පෙරහැර බලන්නට යාමට සූජානමෙන් නිවසේ ප්‍රධාන දොර යතුරු දමා වසමින් සිටියේය. නඟා කොලුවා හෙතෙම තරමක් හඳුනයි. 

සරත් අයියා..මේ මගේ යාල‍ුවෙක්. බයිසිකලේ හැප්පුනා දැන් ටිකකට කලින්..ඇඟිල්ලට මොනවා හරි වෙලා. පොඩියක් බලන්නකො.

සරත් අයියා දෙවියෙකු මෙන් වහා දොර විවෘත‍ කොට අප නිවස තුලට කැඳවා රෝගීන්ට ප්‍රතිකාර කරනා ස්ථානයේ අසුන් ගැන්වූවේය. ඔහුගේ කැඩුම් බිඳුම් ප්‍රතිකාර සඳහා සාමාන්‍යයෙන් සහාය වන ප්‍රිය බිරිඳද අප කරා අවුත් බෙහෙත් මැල්ලුමක් සකස් කරන්නට ගත්තාය.

මල්ලි දැනට මම බෙහෙත් තෙල් ටිකක් ගාලා මැල්ලුමක් බඳින්නම්. අත වැඩිය හොල්ලන්න එපා. ඇගිලි වලට හානි උනාම හොඳ වෙන්න ගොඩාක් කල් යනවා. ඔයා හෙට එන්න ආයෙම. එතකොට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා හරියටම. 

මම ඒ වන විට වෘත්තීය ජීවිතය ආරම්භ කොට සති දෙකක් ගත උනා පමණි. අලුත් රැකියා ස්ථානයට ගිය සැනින් නිවාඩු ගන්නට සිදු වී තිබේ. මසිතේ නොයෙක් සිතුවිලි ඇතිවී සැනින් නැති වෙයි.

විනාඩි 15 ක පමණ කාලයක් තුල සුළැගිල්ලේ බෙහෙත් තෙල් තවරා, බෙහෙත් මැල්ලුම තබා වෙළුම් පටි වලින් දකුණත ආවරණය කොට පළමු ප්‍රතිකාරය අවසන් විය. නගා ඉදිරිපත් කල රු 100 ලබා නොගත් ‍සරත් අයියා නිවස වසා දමා ඉක්මනින් සිය රථයට නැගුනේ පෙරහැර නරඹන්නට තරමක් පමා වී තිබුන නිසාවෙනි.

අපි මොකද කරන්නේ... අපේක්ෂා භංගත්වයට පත්ව සිටි නඟා කොලුවා පිළිබඳ මට ඇතිවූයේ දොම්නසකි. අපිත් යමං පෙරහැර බලන්න. මේ බයිසිකලයෙම. හරස් පොල්ලට මා නැගුන පසු නගා කොලුවා ප්‍රවේශමෙන් එය ගම්පහ නගරය කරා ධාවනය කළේය.

ගම්පහ නගරයේ ගල් පල්ලිය අසල සිට පාසල් මිත්‍රයන් පිරිසක් සමග පෙරහැර නැරඹූ වේදනාබර රාත්‍රිය මට තවමත් මතක තිබේ. දකුණතේ සුළැගිල්ලෙන් සමහර විටෙක නැගෙනුයේ ඉවසිය නොහැකි වේදනාවකි. මේ මහත් වේදනාව ඉවසාගෙන මම පෙරහැර නරඹා මධ්‍යම රාත්‍රියේ  නිවසට ගියෙමි. නින්දත් නොනින්දත් අතර ගෙවු දීර්ඝ රාත්‍රියකින් පසු නව දවසකට අරුණළු පතිත විය.

පසුදා දහවල වන විට නගාගෙන් මේ අනතුර ගැන දැනගත් මා මිත්‍ර ප්‍රියා කොලුවා මා බලන්නට පැමිණ සිටියෙන් උගේ යතුරු පැදියේම සරත් අයියා සොයා යන්නට මා හට හැකි විය. මෙවැනි අනතුරක් සිදු වූ විටෙක එහි වේදනාව හොඳින් දැනෙන්නේ ඊට පසුදා බව නොයෙක් වර අසන්නට ලැබේ. මම දැන් ඒ මහත් වේදනාව විඳිමින් සිටින්නෙමි.

රිදෙයිද බං..ඊයෙ නම් අතපත ගෑවෙ නෑ...අද නම් මිරිකයි බං ඇගිල්ල..මගේ සිත යකාගේ කම්මල බඳුය. මහත් වූ භීතියකින් ගැහෙමින් මහ දවාලේ සරත් වෙද මහතාගේ නිවෙසට යන විට නොයෙක් පළාත් වලින් පැමිණි රෝගීන් රාශියක් එහි වූහ. මෙයත් බයිසිකල් ඇක්සිඩන්ට් එකක්. සරත් අයියා මා පෙන්වා තවෙකෙකුට පැවසුවේය. එහි සිටි බොහෝ රෝගීන් යතුරු පැදි නිසා අනතුරට පත්වූවන් වූහ.

රෝගීන් එකා දෙන්නා වෙදගෙදරින් පිටත්ව යන විට සිරා කොලුවාගේ අවස්ථාව උදා විය. භියෙන් කම්පොනය වන හදවත දරාගෙන මම රෝගීන්ට ප්‍රතිකාර කරන කාමරයේ ඇඳ මතට ප්‍රියාගේ සහයෙන් නැගුනෙමි. මෙයට පෙර වතාවක් කුකුල කඩාගෙන මෙවැනි අත්දැකීමක් විඳ තිබුනත් මගෙ හිතට දැන් දැනෙනුයේ තරමක භීතියකි. බෙහෙත් තෙල්, මැල්ලුම් සුවඳ නාස් පුඩු විනිවද යයි.

කෝ බලමු. කාමර‍යේ තිරය පහත් වන විට වෙද මහතාගේ බිරිඳ, මා වෙනුවෙන් සැකසීමට අවශ්‍ය බෙහෙත් මැල්ලුම පිළිබඳ දැනගනු රිසියෙන් එහි පැමිණ සිටියාය.

කලින් දිනයේ එතූ වෙළුම් පටි එකින් එක නිරුවත් වී අවසානයේ වේදනාබර සුළැගිල්ල මතු විය. එහි මැද පුරුකෙහි අසාමාන්‍ය ඉඳිමුමක් මා හට දැකගත හැකි විය. 

මොකක්ද කරන රැකියාව. සරත් අයියා අසයි.

මම ඩිසයිනරයෙක්.

අකුරු ටයිප් කරන්න එහෙම මේ ඇගිල්ලත් ඕනෙ නේද.

ඔව්. 

ඒ උනාට කමක් නෑ. ඉක්මනට හොඳ වෙන්න නම් ටික දවසක් නිදහසේ ඉන්න. ඇඟිලි වල කැඩුම් බිඳුම් ඇති උනාම සුව වෙන්න පරක්කු වෙන්නෙ අනිත් ඇඟිලි පාවිච්චි කරලා යමක් කලත් මේ ඇගිල්ලත් හෙලවෙන නිසා. අැගිල්ලක් කැඩුනොත් හරියටම හරි යන්න මාස 6 ක් වත් යනවා.

මම අසරණව ප්‍රියා කොලුවා දෙස බැලීමි. හෙතෙම මගේ උරහිස වටා යැවූ දකුණතින් මිත්‍රත්වයේ උණුසුම දැනුනි. සරත් අයියා දකු‍ණතේ සුළැගිල්ල ඉතා මෘදුව බෙහෙත් තෙල් වර්ගයක් යොදා අත ගාමින් සිට මඳින් මඳ ග්‍රහණය තද කළේය. දැන් නම් ඉවසාගත නොහැකි වේදනාවක් දැනෙයි. මට කෑ ගසන්නට සිතෙයි. එහෙත් මම මහත් පරිශ්‍රමයෙන් සියල්ල දරා ගත්තෙමි. විනාඩි 5 ක පමණ ඇවෑමෙන් ඔහු අවශ්‍ය කරන බෙහෙත් මැල්ලුම පිළිබඳ සිය ඇඹේනිය දැනුවත් කලේය. එයින් අනතුරුව එතැන බිම තිබූ භූමිතෙල් උදුනක ඇගිල්ල තවන්නට බෙහෙත් පොට්ටනියක් උණුසුම් වන්නට විය.

හම පිළිස්සෙන තරමේ උණුසුමකින් යුතු බෙහෙත් පොට්ටනිය ඇගිල්ල මත තබා තද කරනා විට හූ කියන්නට සිතේ. හම පිළිස්සෙන වේදනාවත්..ඇගිල්ලෙන් නැගෙන වේදනාවත් දෙකම එක්වූ විට ඉවසන්නට බැරිය. කෙසේ හෝ ඒ කාරියද අහවර කොට දෙවන දවස නිමාවට පත් විය. ඇඟිල්ල කැඩිලා නෑ. මැද පුරුක පුපුරලා තියෙන්නෙ. සරත් අයියා සිය තීන්දුව දුන්නේය. බුලත් කොළයක තබා අප ලබා දෙන පඬුරක් හැර අයකිරීම මෙපමණයි කියා ඔහු කියන්නේ නැත.

රාජකාරී ස්ථානයෙන් නිවාඩු ලබා සතියකට පසු මම සේවයට යන තත්වයට පත් වී සිටියෙමි. දවසක් හැර දවසක් ආකාරයෙන් බෙහෙත් බැඳ ඒ වන විට ඇඟිල්ලේ වේදනාව බොහෝ දුරට අඩු වී තිබුනි. සුළැගිල්ලට බෙහෙත් තබා දකුණත සම්පූර්ණයෙන් වෙලා තිබූ නිසා බැලූ බැල්මට විශාල හානියක් ඇති බවක් පෙනෙයි. ඒ නිසාම දුම්රියේ ගම්පහ සිට කොළඹ බලා යන විටත්..අාපසු එන ගමනේදිත් මා හට ආසනයක් ලබා දීමට මගීන් සෑමවිටම කාරුණික වූහ.

සේවා ස්ථානයේ අත්සන දමන්නට මා හට නොහැක. බෙහෙත් පොට්ටනියේ තිබෙන තෙල් බෙහෙත් එහි තිබෙන කඩදාසිය මත තැව‍රෙයි. ඒ කටයුත්තේදි මගේ අත්සන ඒ අයුරින් යොදන්නට මිතුරෙකුගේ සහාය ලබා ගතිමි. පරිගණකයේ රාජකාරි කරන විට යතුරු පුවරුවෙන් තෙල් බෙහෙත් සුවඳ පැතිරෙයි.

මාසයකට පමණ පසු මම ප්‍රතිකාර නතර කළෙමි. ඇගිල්ලේ වේදනාව සහ ඉඳිමුම ඒ වන විට අඩු වී තිබුනද මගේ සුළැගිල්ල යථා තත්වයට පත්ව තිබුනේ නැත. එය වක් හැඩයක් ගෙන තිබුනි. එය වෙද මහතාගේ වරදක්දැයි මා දන්නේ නැත. එවකට සේවා ස්ථානයේ බලධාරීන් රජයේ රෝහලක ශල්‍යකර්මයක් මගින් ඇගිල්ල කෙලින් කරන්නට මා හට යෝජනා කලද මම  නැවත් වරක් වේදනා විඳින්නට ඇති අකමැත්ත නිසා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළෙමි. අදටත් වක් වු සුළැගිල්ලකින් පරිගණක යතුරු පුවරුව මත නොයෙක් දෑ කරමි. ඒ කිසිවකට එය බාධාවක් වී නැත.

දකුණතේ වක ගැහුණු සුළැඟිල්ල හැම විටකම මට වෙසක් අසිරිය මතක් කරයි.

වෙසක් සමය යනු රථවාහන අනතුරු ඉතාමත් බහුලව සිදුවන කාල සමයකි. මාර්ගයට සාමාන්‍යයෙන් ධාවනයට එකතු නොවෙන පැරණි අබලන් රථ පවා වෙසක් සිරි නරඹන්නට යන ගමනට එකතු වෙයි. රථවාහන පොලිසියට මාර්ගයේ ඇති තදබදය අස්සේ නීතිය ක්‍රියාත්මක කරන්නටද නොහැකිය. වෙසක් සිරියෙන් ඔකඳ වෙන ඇතමෙකු ආරක්ෂිත හිස්වැසුම් පළදින්නේ නැතිව ඉතාම වේගයෙන් ඒ මේ අත ගමන් කරයි. එ් මදිවාට එක යතුරු පැදියක තුන් හතර දෙනා ගමන් කරති.

මා දන්නා විදියට මේ කාලය තුල සිදුවන රිය අනතුරු වලින් වැඩිම ප්‍රමාණයකට මුහුණ දෙන්නේ යතුරු පැදි කරුවන්ය. මගේ අනතුරෙන් පසු එළැඹුන වසරේ යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව හිස බෝක්කුවක ගැටීමෙන්  ඉතාම තරුණ වයසේ කෙනෙක් අවාසනාවන්ත ලෙස අප ප්‍රදේශයේදී ජීවිතයෙන් සමුගත්තා.

මේ වෙසක් සමයේ වෙසක් නරඹන්නට යතුරු පැදි වලින් යන්නට බලාපොරොත්තුවෙන් සිටින අයටයි මේ මතක් කිරීම. හැම විටෙකම ආරක්ෂිත හිස් වැස්ම පළඳින්න. අධික වේගය මරුවා කැඳවන බව නිතර සිහිපත් කරන්න. එවිට මේ වෙසක් සමයේ ඔබේ සතුට ආරක්ෂා වෙනු ඇති.




මම කාමරේ අරින සිරා කොලුවා.


54 comments:

  1. යාලුවෙක්ගේ බයික් එකක් අරං ගිහින් මට එකපාරක් ඔය වගේ යමර වැඩක් උනා.. අපි ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ හොකී ප්‍රැක්ටිස්.. ඉස්කෝලෙට උඩින් ගෙදරක තිබුනා අපේ මැත්ස් ටීචර් ගේ ක්ලාස් කරන තැන.. හොකී ප්‍රැක්ටිස් අතරතුර මා ඒ දිනවල සාදරයෙන් රැක බලාගත් ප්‍රියම්බිකාව ක්ලාස් ඉවර වී ඉඟි මරමින් යනු දුටුවිට මට උන් හිටි තැන් අමතක උනා. එතනම තිබ්බා පොඩි එකෙක්ගේ බයිසිකලයක්. ඌත් අපිත් එක්ක ප්‍රැක්ටිස් කරන එකෙක්.. පිට්ටනිය මැද සිටි මෑන්ට කෑ ගසා කියා මං බයිසිකලයට නගිනවිට අයිති කාරයා මොන මොනවාදෝ කියූවත් ඒ කිසිවක් මට ඇහුනේ නෑ. අම්මට සිලි උනේ ටිකක් දුර පල්ලමේ යනකොට.. ගෑනු ළමයි ටිකත් පහුකරගෙන වේගයෙන් පල්ලමේ ඇදී යන බයිසිකලේ බ්‍රේක් බිංදුවක්වත් නෑ.. පල්ලම ඉවර වන හන්දියේ කෙලින්ම ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් අලුතෙන් සැදූ ඔරලෝසු කණුවක්.. දකුණු පැත්තට අඩු වංගුවක් ඇති මාර්ගයේ ඉස්සරහට තඩි බස් එකක් එනවා පේනවා. එකම ඔප්ශන් එක වේගයෙන් වමට ඇති දැඩි වංගුවේ හැරවීමයි. වෙන කරන්න දෙයක් නැති කමට හැරෙව්වා.. වැලි ගොඩේ ආතල් එකේ ලිස්සා ගොස් නැගිටිනකොට වම් අත මැණික් කටුව ලඟින් පැනලා අඩියක් විතර පහලින් එල්ලෙනවා.. මාස එක හමාරක් ගල් ප්ලාස්ටර් දාගෙන ඉන්න උනා..

    ReplyDelete
    Replies
    1. ඇඟ කිලිපොලා යන දර්ශනයක් නොවැ...ඒ කාලෙ කමි සේෆ්ටිය ගැන දැන ඉඳලා නැති හැඩයි...අතේ කෑලි ගියත් කමක් නැ...බොට ඒ දැරිවිම සෙට් උනා නම් පස්සෙ කාලෙක..මොකද උනේ..එයා බොගෙද නැත්තං අනුන්ගෙද...

      Delete
    2. ඒ ගැන මෙතන තියෙනවා.. (රහසින්..) අපේ ගෙදර උන්දැට එහෙම මෙව්ව කියනව නෙවෙයි ඕං.. හැක්

      Delete
  2. ඔය බයිසිකල් වලින් වෙසක් බලන්න යන අමාරුව අපිටත් තිබ්බ මිට අවුරුදු 25 කට විතර කලින්.එහෙම අමාරුවක් තිබිල අනුරාදපුරේ ගියා.යනකොට මරු ..හප්පොච්චියේ....එනකොට වින්ද දුකක්..එදා මෙදා තුර ආයෙනම් ඒ ගොන් වැඩේ කලේ නැහැ..එදායින් පස්සෙ බයිසිකල් වලින් දුර ගමන් යන එකත් නැවතුනා.අවවාදයක් එක්ක කතාව ඉවර වෙනව..සතුටුයි ඒ ගැන..ජය..

    ReplyDelete
    Replies
    1. අනුරාධපුර අපි ඉතිං ස්කූටර් වල ගියා නොවැ. අපිට එන්ජිමක් තියෙන එකක ගිහින් අමාරු නම් බොලාට පාගලා ගිහින් කොහොම අමාරු ඇතිද කියලා හිතුවා...ඔය වගේ ගමනක් යන්න හොද පිරිස් බලයක් තියෙන්න ඕනෙ. එතකොට කම්මැලි හිතෙන්නෙ නෑ.

      Delete
  3. මගේ දකුණු අතේ සුළඟිල්ලේ ඉස්සරහ පුරුකේ බාගයක් නෑ! මේ වගේ අපූරු මතකයක් ඒකටත් තියනවා. කොටලා දාන්න ඕනේ වෙලාව ලැබුණු ගමන්

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බං බාගයක් නැත්තෙ. කොහෙ හරි ඇගිල්ල ගහන්න ගියාද...

      Delete
  4. ඔය වගේම ඇක්සිඩන්ට් එකක් මටත් වෙලා තියෙනවා ඔයිට සමාන විදියකට.

    මේ ඒක නෙවෙයි සිරා. උඹලා ඔය තරම් දන්සැල් බත් අප්ලෝඩ් කලාම මගදි ඩවුන්ලෝඩ් කරන්න වෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ හෙන්රි අයියා...කවදාවත් මට නම් ඩවුන්ලෝඩ් කරන්න උනේම නෑ. අපේ එකේ හිටියා අනුරාධ කියලා. ඌ බීම දන්සැල් ගානට බත් දන්සැල් වලින් කෑවෙ...ඒ කෑම දැකලා අපිට පිස්සු වගේ...

      Delete
  5. මේවා නියම ජීවිත සිහිවටන සිරෝ.

    අපි පොඩි කාලේ තිබුන රේසින් බයිසිකල්වල නම් ගියර් තිබුණේ නැහැ. නමුත් ලස්සන වේගවත් බයිසිකල්. මම යාලුවෙකුගේ රේසින් බයිසිකල් එකක් ඉල්ලගෙන රස්තියාදුවේ ගියා. අන්තිමට වේගය පාලනය කරගන්න බැරුව බෝක්කුවකින් පහලට ගියා. බයිසිකලේ ෆ්‍රේම් එකත් ඇදවුණා. රීම් දෙක ඇඹරිලා ගියා. බයිසිකලේ වටිනාකම රු 450 යි. නමුත් ඒක ගෙවාගන්න මගේ දෙමව්පියන්ට වත්කම තිබුණේ නැහැ. ඔවුන් බොහොම පින්සෙන්ඩු වෙලා වාරික කීපයකින් වන්දිය ගෙව්වා. අදටත් මට දුක මගේ දෙමව්පියන් ගැනයි.

    ReplyDelete
    Replies
    1. රේසින් බයිසිකල් වල රිම් බොිහොම සිහින් නිසා අනතුරක් උන ගමන් ඇදවෙන එක ෂුවර්..මමත් වතාවක් කලුවරේම පාර මැද්දෙ යකඩ ගොඩ වගේ තිබුන රැලේ බයිසිකලයක හැප්පිලා උඩින්ම ගිහින් වැටුනා. අත් ඔරලෝසුව ගන්න දෙයක් නෑ. වෙලාවට තුවාලා නෑ. ඒ මනුස්සයා කලුවරේම පාර මැද බයිසිකලේ තල්ලු කරනවා. ලගට එනකං මම දැක්කෙ නෑ. ‍මම ඒ වෙලාවෙ පැද්දෙ ස්පෝර්ට් බයිසිකලයක්. මගෙ ෆෝක් අත ඉවරයි. අරයගෙ රිම් එකක් අට උනා. ඒ මදිවට රෝද කැරකෙන්නෙ නැති ඒ හුචක්කුව ඉස්සරහින් උස්සගෙන යන්න මට සිද්ධ උනා. මම ආවෙ නැත්තං උදව් කරන්න මිනිහා පොලිසි යනවා කියලා මාව භය කලා. මමත් ඉතින් පොඩි එකා නිසා භය වෙලා උදව්ව කොලා.

      Delete
  6. //මටද මගේම කියා බයිසිකලයක් ලැබුනේ//

    සිරාටම කියලා කෙනෙක් ලැබුනාම මොන වගේ කතා නම් ලියවෙයිද? :D

    //මම ඩිසයිනරයෙක්//

    වඳවෙමින් යන සතෙක් මතක් වුනා...:P

    අන්තිමට කියලා තියෙන කතාව ඇත්ත. අනතුරු සිද්ධවෙන්නේ මේ වගේ කාලවලට.

    ReplyDelete
    Replies
    1. සිරාටම කියලා කෙනෙක් ලැබුනාම මේකෙ අලුත් ලේබලයකින් කථා ලියවෙයි...ඔයාලා කිසි හැල්ප් එකක් දෙන්නෙ නෑනෙ..

      ඩිසයිනරයා කියන්නෙත් සත්ව කොටසක් තමයි...ගොඩාක් වෙලාවට රෑ දවල් දෙක නැති. දවල්ට කම්පැණියෙ වැඩ...රෑට පාර්ට් ටයිම්...

      Delete
  7. බයිසිකල් සින් නැත්තෙ කාටද. මටත් මතකයි පෝය දවසක පන්සලට ගච්චනකොට පාරේ බස් එකට ඉඩදෙන්න ගිහින් මාවත් දා ගෙන ආපු අයියකාරය එක්ක කානුවක් දිගේ බඩගෑවා .. .

    ReplyDelete
    Replies
    1. මල්කොබා ඇත්තද බං ඒ පැත්තෙ අක්කා කෙනෙක් උඹට කුඩයක් කැඩෙන්න ගැහුවා කියන්නෙ ලැම්බට් කොක්කක් ගහන්න ගිහින් ....

      Delete
    2. ඇයි බන් සිරෝ. සිරා ගුටිකනව බලන් ඉන්න බැරිම තැන මම උබව බේර ගන්න ගිහින්නෙ ගුටි කෑවේ.

      Delete
  8. ඇත්ත මාත් කීප විටක්ම දැකල තියෙනව බයිසිකල් හතර පහ එක තැන වැදිල තියෙනව වෙසක්, පොසොන් කාලවල. නොසැලකිලිමත්කම සහ පවුල් පිටින් බයික් වල ගමන් කිරීමෙන් පාලනය කරගැනීමට අපහසු වීම ඔය අනතුරු වලට හේතු වෙන්න පුලුවන්.
    සිංහල වෙදකම් කළාම ඔය ඇද කුද ඉතුරු වෙන එක සාමාන්‍ය දෙයක්ද මන්ද.

    ReplyDelete
    Replies
    1. සිංහල වෙදකම් හරියටම කලාම අැද ඉතිරි වෙන්නෙ නෑ. සමහරු වෙදකම් කලාම ඇදය ඉතිරි වෙනවා. වෙසක් කාලෙට ඉගිල්ලිලා යන බයිසිකල් දැක්කම ඇඟ හිරිවැටෙනවා.

      Delete
  9. වටිනා අවවාදයක්. බයිසිකලෙන් වැටිල මගෙත් දකුණු අතේ සුලගිල්ල ඇදයි. දන්සැල් වැදිල්ලයි බයිසිකල්වල වෙසක් බැලිල්ලයි අපිත් අඩු නැතිව කලා. හැබැයි යන රූට් එකටනම් එක එකා මරාගන්නව, හැමෝටම ඕනෙ තමන් ට්‍රයි කරන කෙල්ලගෙ ගේ පැත්තෙ යන්න.
    මටම කියල වෙනම බයිසිකලයක් තිබුනෙ නෑ ගෙදර තිබ්බ හම්බර් බයිසිකලේ තමයි පැද්දෙ . ඒක අමතර බර කිලෝ 15 විතර තිබ්බ. ලගේජ් එක, ඩයිනමෝ එක, ලයිට් එක, චේන් කේස් එක, කිලෝ එකක් විතර බර බෙල් එක. හැබැයි කොච්චර පැද්දත් අමාරු නැති සීට් එක.
    සාම විහාරෙ පෙරහැරට අපි පල්ලියෙන් කිරිකෝපි දන්සැලක් දෙනව ඉතින් අපිට පෙරහැර හැමදාම මිස් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය කියන සීට් එකේ ස්ප්‍ර්‍රිං ‍තියෙනවා නේද...වලක වැටුනාම බම්ප් වෙනවා සීට් එක. අපේ ගෙදරත් අපි ගොඩාක් පුංචි කාලෙ ඔය වගේ ඇන්ටික් බයිසිකලයක් තිබුනා. කිරි කෝපි දන්සැල දෙන්නෙ ගල් පල්ලිය ලග නේද...වතාවක් මම බිව්වා. එතන එහා පැත්තෙ පොකුණ පාරෙ ඉන්නවා මගේ හොද මිත්තරයෙක්.

      Delete
  10. මගෙත් දකුණු අතේ සුලැඟිල්ලෙ ඔය වගේ ඇදයක් තියෙනව සිරෝ....... ඒ නම් බයිසිකල් පැදිල්ලක් හින්ද නෙමෙයි. කිරිකට් ගහනකොට කැච් එකක් ගන්න ගිහිල්ල ටෙනිස් බෝලයක් වැදිල......... දන්නවද කොහෙද උණේ කියල......... රත්නාවලියෙ පිට්ටනියෙදි................. කැම්පස් ගාටන්න කලින් ඉස්සර තිබුණු ඉංගිරිසි පන්ති යනකාලෙ තමයි ඒක උණේ......... මං ගියේ රත්නාවලියෙ තිබුණු පන්තියට.......... අප්පා....... එහෙමත් කාලයක් සිරෝ.........

    ReplyDelete
    Replies
    1. රත්නාවලියෙ ඔය කියන තැන ක්‍රිකට් ගහන්න කොළඹ පාරෙ දත්දොස්තර සිරිවර්ධනගෙ මලයා එරන්දයත් ආවා නේද. ඉස්සර මිනිහා මටත් එන්න කිව්වා. මට කවදාවත් එන්න ලැබුනෙ නෑ. රත්නාවලියෙ ලස්සන දැරිවියො හිටියා නේද ඔය කියන අතිරේක පන්තියෙ...

      Delete
  11. මේකෙන් මතකෙට ආව කරුණු ගොඩයි. මම කරනම් ගහපු එකක් ගැන ටික කාලෙකට කලින් ලිව්වා. මම හිතුවේ රෑ කරුවලේ හැපුන කෙනා වැරදි බයිසිකලයේ ගියා වත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. මා එක්ක හැප්පුන එකා වැරදි පැත්තෙන් ආවෙ. තිත්ත කලුවර තැනක වේගයෙන් ආවම ලගට එනකං දකින්න‍ෙ නෑනෙ. මට එවලෙ ඒකට ගහන්න තරම් කේන්තියක් ආවෙ නෑ. පාර මැද වැටුන විදියට මම හිතුවෙ මලා කියලා.

      Delete
  12. 2003,2004 ගම්පහ පෙරහරේ සංවිධාන කටයුතු වලට ගියා මමත්. ඒකෙත් අමුතු ටෙක්නික් තියනවා. නැටුම් කණ්ඩායම් එකතැන නට නට ඉන්නකොට උන්ව ඉස්සරහට පන්නන්න, සෙනග පිරිලා පාරෙ ඉඩ මදි වෙනකොට සෙනග දෙපැත්තට කරන්න, කට්ටිය වෙන් වෙන්ව නැතුව එක පෝලිමට ඉස්සරහට දක්කන්න. වැඩ ගොඩයි. සෙනග පාරෙන් අයින් වෙන්නෙ නැත්තං කොප්පරා පන්දම් කාරයට කිව්වම ඌ කරේ කදක් වගේ තියන් ඉන්න ඇවිලෙන කොප්පරා පන්දම(පන්දම කිව්වට යකඩ කූඩුවේ දාපු ගිනි බෝලයක්) සෙනග පැත්තට බර වෙන්න අරන් ගියාම රස්නෙ නිසාවට සෙනග අයින් වෙනවා.
    හම්මේ දන්සැල් කන්න බයිසිකල් වල ගිය හැටි ගැනත් අඩංගු ලිපියක් ලියාගෙන යනවා. ඒ කාලේ නං කියල වැඩක් නෑ. දෙන දෙන දේවල් කන්න බොන්න බඩේ කොහේ ඉඩ තිබ්බද කියල දැනුත් පුදුම හිතෙනවා.
    අළුක්කු අදින මාම කෙනෙක් අපේ ගමෙත් හිටිය. කැඩුම් බිඳුම් වේද මහත්තය නං හිටියේ අල්ලපු ගමේ. අර යකාගෙන් උළුක්කු අදින්න ගියාම තියන සනීපෙ. දවසක් කකුලෙ ඇඟිල්ලක් උළුක්කු වෙලා ගිහිං අළුක්කු අදිනකොට (බිම ඉඳගෙන බුවා වැඩේ කරන්නෙ) මගේ පයින් පාරක් කාලා මිනිහ විසිවෙලා වැටුනේ. මතක් වෙනකොටත් තාම රිදෙනව.

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවෙ පෙරහැරේ වැඩ වලට ගියොත් ඔය කම්මල අයියා කියලා තියෙන කෝපි දන්සැලෙන් මතක ඇතුව සප්පායං වෙයං. ගම්පහ කියන්නෙ මගේ ගෙදර වගේ. ඉතින් මගේ යාලුවො කීප දෙනෙක් පෙරහැර දවසට පවත්වන දන්සැල් වල ඉන්නවා. පෙරහැර පටන් ගන්න කලියෙන් අපි ඒවා වැඳ පුදාගෙන සූජානම් වෙලා ඉන්නවා. කස කරුවො කරන්නෙත් පෙරහැර ලග එන බව සන්නිවේදනයට අමතරව පෙරහැරට අවශ්‍ය ඉඩ ලබාදෙන එක නේද සජ්ජො.

      Delete
  13. හැප්පිච්ච අනිත් එකාට මොකද දන්නෙ නැ වුනේ?

    ReplyDelete
    Replies
    1. ඌ වෙනිවැල් ගැට බීලා ගොඩ ගියා අර මචන් උඹ බොන ගල්..............ඒවා නොවයි

      Delete
    2. ඒ වුනාට මචං කොත්මල්ලි වෙනිවැල් වගෙද ගල්?

      Delete
    3. ඔය හැපිච්ච අනික් එකා ගල් ගහල තමයි ඇවිල්ල තියෙන්නෙ. සිරා මොකුත් නොකර ගිය නිසා තමයි හැපුනෙ.

      Delete
    4. හැක් හැක්..ඔන්න ප්‍රසන්න අයියට හරියටම වැටහුනා...මා එක්ක කලුවරේ හැපුන එකාගෙ හැඩරුව ටිකක් මෙන්ඩියගෙ වගේ...පොරද දන්නෙත් නෑ...ගලක් ගහලා වෙසක් බලන්න ගියේ...

      Delete
    5. මාව හප්පපු එකා හොය හොය හිටියේ ගහනවා එයාපොට් එකෙන් බැහැපු ගමන්(බෝතලයක්)

      Delete
  14. බයිසිකල් කරනම් ගහපුවා ගැන නම් කතා ගොඩයි, මාමත් ඉස්සෙල්ලම දැක්කේ ඩයිනොසරයෙක් වගේ එකෙක් , බලද්දී ඩිසයිනරයෙක් ,

    ReplyDelete
    Replies
    1. ඩිසයිනරයොත් සමහර වෙලාවට ඩයිනෝසරයො වගේ තමයි. කොහෙවත් යන හදිස්සි වැඩක් කරලා දෙන්න කෙනෙක් නැතුව හදිසියේම අපේ කරේ වැටුනොත් ගනුදෙනුකරුවො ඒ දවස් වල අපිට දෙයියන්ට වගේ සැලකුවෙ ඒ වැඩේ වෙලාවට කරගන්න තියෙන උවමනාව නිසා අපිව ඩයිනෝසරයො වගේ පේන්න ඇති මගෙ හිතේ.

      Delete
  15. ජීවිතේ සමහර දේවල් අමතක නොවෙන්නම මතක සටහන් තියලා යනවා කියන එක ඇත්තක්..

    ReplyDelete
    Replies
    1. අමතක නොවන සටහනක් තියන්න සමහර වෙලාවට තත්පර කීපයක් හොදටම ඇති.

      Delete
  16. මම ෆුට් බයිසි වලින් වැටිලා ලොකු කරදර වෙලා නැහැ, වැටිලා හැප්පිලා පොඩි පොඩි සීන් උනත් දිගු කාලින මතක සටහන් ඇඟේ සටහන් වෙලා නැහැ
    ඒත් මොටෝ බයිසි වලින්නම් ජිවිතේ අමතක නොවෙන පාඩම් ඉගෙනගෙන තියෙනවා
    කකුලේ හොඳට පේන තුවාල කැළලක් සහ ගොඩක් දුර ඇවිදිද්දී කකුලේ එන ලොකු වේදනාවක්
    එක දිගට වචන විස්සක් තිහක් ලියද්දි අතේ ඇතිවෙන ලොකු වේදනාවක්
    උඹේ සුලඟිල්ල වගේම පොඩි ඇදයක් සහ ඉදිමුමක් තියෙන මහපට ඇඟිල්ලක්
    මේ සේරම මට උරුම උනේ මම 30 ටත් අඩු වේගෙන් හිමිට බයික් එකේ යද්දී වංගුවකදී ස්පීඩ් එක කොන්ට්‍රෝල් කරගන්න බැරුව ඇවිත් මහ දවාලේ මගේ බයික් එකේ හප්පපු පල්සර් එකක ආපු අපතයෝ දෙන්නෙක් නිසා
    ඒ 2009...
    මොටෝ බයික් පදින එක ජිවිතේ වගේ කරගෙන හිටපු ලොකු පුතා අද මොටෝ බයික් එකක පිටිපස්සේ වාඩිවෙලා යන්නත් බයයි උන් දෙන්නට පින් සිද්ධ වෙන්න

    කතාවත් එක්ක තියෙන අවවාදය වටිනවා මචෝ...

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මේ...ලොකු පුතාට වෙලා තියෙන දෙයක්. ඒ වගේ වෙලාවට අනිත් උන් දෙන්නව මරන්න තමයි හිතෙන්නෙ. අපෙ බෑන්ඩ් එකේ ලොකු අයියත් වතාවක් හැප්පුනා..පල්සර් එක දෙකට කැඩිලා වෙන වෙනම ගත්තෙ. ‍ලොකු අයියා වාහනේට දානකොට සිහිය නෑ. හැමෝම හිතුවෙ මැරිලා කියලා..මිනිහට ඉස්පිරිතාලෙදි පන ආවා...එක කකුලක් දෙකට කැඩුනා. අතක් කැඩුනා. 99න් බේරුනේ....රාත්‍රියට බයික් හරි භයානකයි වේගයෙන් යනවා නම්.

      Delete
    2. වැඩේ කියන්නේ උන් දෙන්න වැටුනේවත් නැහැනේ බං...
      උන්ගේ බයික් එකේ හැන්ඩ්ල් එක කෙලින්ම වැදුනේ මගේ බයික් එකේ ඉස්සරහ බ්‍රේක් අල්ලුවේ... ඒකෙ ඉස්සරහ තිබ්බේ ඩිස්ක් බ්‍රේක්.
      ඒ නිසා තමයි මාව කරකැවිලා උඩින් ගිහින් වැටුනේ...

      Delete
  17. වෙසක් කාලෙට බොහොම වටින අවවාදයක් සිරා අයියේ...
    වැඩියෙන්ම අමාරු වෙන්න ඇත්තෙ අද මොන බේතක් දෙයිද කියල හිත හිතා වෙදගෙදරට යන ටික වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. දෙන බේත ගැන නෙමෙයි අනේ හිතට බය තිබුනෙ. වෙද මහත්තයා අර කබලෙන් අරගෙන පිච්චෙන තරම් රස්නෙන් ඇගිල්ල උඩ තියලා බේත් පොට්ටනිය තද කරනවා. හම පිච්චෙනවා ඉවසන්න බෑ. ඇගිල්ලෙ වේදනාව එක්ක පිච්චෙන වේදනවා..මම ඒත් ඉවසාන උන්නා. මට මතක් උනේ ඒ වෙලාවෙ ගෙදරට / දෙමාපියන්ට බොරු කරලා බොන්න ගිහින් කරපු පවු පටිසන් දෙනවා කියලා.

      Delete
  18. සිරා ආව දවසක පෙන්නන්නං, අපේ තාත්තගෙ 1970 රැළේ බයිසිකලේ මේ ළඟදි හදලා ගත්තා දැන් නිකං අලුතෙන් ගත්තා වගේ.

    මාත් දවසක් රෑක අතුරු පාරක යද්දි, බයිසිකලේ දර ගොඩක් උඩින් ගියා. මං හනික බයිසිකලේ නවත්තලා, බැස්සා. මෙන්න බොලේ අර දරගොඩ මට බණින්න පටං ගත්තා. බලපුවාම, පොරක් හොඳටම බීලා පාරෙ වැටිලා ඉඳලා. මං ගියෙ උගෙ ඇඟ උඩින්.

    ReplyDelete
    Replies
    1. බොට තිබුණෙ මහන්සියි කියල බලන්නෙ නැතුව උගේ කට උඩිං ආයෙ පාරක් බයිසිකලේ පදින එකනෙ.

      Delete
    2. කොහෙන්ද කෑලි ගත්තෙ, මටත් හම්බර් බයිසිකලේ හදල ගන්න.

      Delete
    3. ඈ බං ‍ඩ්‍රැකියො..බොලා දෙකක් දාලද උන්නෙ..මිනිහෙක් දරගොඩාක් වගේ පෙනුනෙ. ගල් නම් වෙන්න බෑ බිව්වෙ. වෙන දෙයක්...

      Delete
    4. @ ප්‍රසා - ඒකම තමයි මං කළේ

      @ කම්මල - ලකී සයිකල් වර්ක්ස්, ගණේමුල්ල. කෑලි කියන්නෙ හබ්, රිම්, ඇක්සල්, බ්‍ර්කේ විතරයි දැම්මෙ

      @ සිරා - මහ රෑ බං, මෙළෝ දෙයක් පේන්නෑ. ඒ දවස් වල නම් මගෙ බ්‍රෑන්ඩ් එක 'කාල්ස්බර්ග්' විතරයි

      Delete
  19. ඇඟිල්ල ඇදවෙලා බේරුනා ඇති බං.උඩින් ගිහිං කොඳු අටේ බිම ඇනුන නං එහෙම ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං අර අනික් එකා කොන්ද ඇනගෙන බේරිලා තියෙන්නෙ.

      Delete
    2. මම තවත් වතාවක් තාර පාරෙ ඒ විදියටත් වැටිලා තියෙනවා. උඩින්ම ගිහින්. එදා නම් වැටුන ගමන් බය උනා කොන්ද නැතුව ඇති කියලා. නමුත් වෙලාව හොදයි. කිසිම හානියක් නෑ

      Delete
  20. මදැයි ඔයින් ගියා.කොහොමත් වෙසක්.පොසොන් දවස් වල ඔය රථවාහන අනතුරු බොහෝම වැඩියි.
    සමහරවිට අපි කොයි තරම් පරිස්සම් වුනත් වැඩක් නැති වෙනවා අනෙක් මිනිහාගේ නොසැලකිල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. අධික වේගය තමයි ප්‍රධානම හේතුව. වෙසක් සිරි නරඹන්න එකතු උන මහා ජනකාය අස්සෙත් සම හරක් ඉතාම වේගයෙන් යතුරු පැදි ධාවනය කරනවා. වේගය සතුටක් උනාට ඒක දුකක් වෙන්න ගතවෙන්නෙ සුලු වෙලාවයි.

      Delete
  21. සිරා .....ඔන්න මමත් උඹගෙ බුකියට මගෙ ඇගිල්ලෙ පින්තුරයක් එව්ව.....බලපන් කො මට වෙච්ච දෙ....හික්ස්....මම හිතන්නෙ මට තමයි ලොකුම දෙ වෙලා තියෙන්නෙ......

    ReplyDelete
  22. ගිය අවුරුද්දෙ අත කඩාගත්තට පස්සෙ තමා දැනුනෙ අතක පයක තියෙන වටිනාකම. මැණික් කටුවෙන් අත පැනපු එකෙන් නම් තාම කැක්කුම එනවා බරක් උස්සනකොට. කැඩුණු එක නම් වෑල්ඩින් වෙද මහත්තයාට පින් සිද්ද වෙන්න හරි ගියා....

    ReplyDelete
  23. ඇත්ත කතාව තමා....වෙසක් එකට දන්සල් ගියා වගේ නෙවෙයි අතක් පයක් කැඩුනම තියෙන ආතල් එක...

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...