Tuesday, January 12, 2016

71 සයිමන්ට හූ කියූ රවියා සහ අයුතු ජනරාශිය

ඊයෙ පෙරේදා දවසක ඇඹිලිපිටියේ සිදු වූ ඛේදවාචකයෙන් පසු ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුල වේගයෙන් පැතිරෙන නවතම වචනය අයුතු ජන රාශියයි. පොලෝසිය අත වරද තිබුනත් ඉහළින් ලැබෙන අණ පරිදි තමන්ගේ සහෝදර නිළධාරීන් වෙනුවෙන් සුදු හුණු ගාන්නට යන පොලෝසියේ මාධ්‍ය ප්‍රකාශක උතුමා ඔහුට කලින් රාජකාරි කොල උත්තමයා මෙන්ම විහිළුවක් බවට පත් වී ඇති ආකාරය දෙස සංවේගප්‍රාප්තව නෙත් යොමු කරමින් මේ ලියවිල්ල අරඹමි.

මෙවැනි ක්‍රියාකාරකමක් හමුවේ පොලෝසියේ නම ගෑවුනේ පළමු වතාවට නම් නොවේ. ඉතාමත් අවංකව, රාජකාරිය දේවකාරියක් ලෙස සළකා ඉටු කරනා පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින සිරිලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුළු තරයක් මී හරකුන් නිසා සමස්ත දෙපාර්තමේන්තුවේම කීර්තිනාමයට කැළැලක් ඇති වීම සාමාන්‍ය පුරවැසියන් ලෙස අප නිතර නිතර අත් දැක තිබේ. වර්තමානයේ සන්නිවේදන ක්ෂේත්‍ර තුල ඇති වී තිබෙන දියුණුවත්, කැමරා සහිත ජංගම දුරකථන ඉතාම සුලභ වීමත්, සමාජ ජාල වටා සිටින බහුතර තරුණ පරපුරත් නිසාම අතීතයේ මෙන් නොමනා දෙයක් කොට සැඟවී සිටීම පහසු නැත. රූප මාධ්‍යයෙන් විදුලි වේගයෙන් පුවත් මවනා මෙවැනි සිදුවීමකට රටේ දැවෙන ප්‍රශ්න කෙටි කලකට හෝ අමතක කර දමන්නට ඇත්තේ කදිම හැකියාවකි.

අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට එක් නීතියකුත්, දේශපාලන රස්නය වැදුන අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම හරහා නීතිය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම වැළැක්විය හැක්කක් නොවේ. ඇඹිලිපිටියේ තරුණයා උඩුමහළින් බිමට පැන්නා යයි නිර්භයව කියනා පොලෝසිය...ඇතැම් දේශපාලන චරිත වැරදි කර තිබුනත් අත්අඩංගුවට ගන්නට නීතිපති උපදෙස් පතන්නේ සෑහෙන කාලයක් ගත කරමිනි. මෙය තෙවන ලෝකයේ රටවල් බහුතරයක සරළ සාමාන්‍ය ක්‍රමවේදයයි. මෙවැනි ආකල්ප වලින් මිදෙනා තුරාවට අපට සංවර්ධනයේ දොරගුළු විවර කරගන්නට නොහැකි බව සිරා කොලුවා වන මගේ අක්මාවට මෙය ලියන අවස්ථාවේත් දැනෙයි.

අයුතු ජනරාශිය නිසා මේ දිනවල බඩට බත් නැති එකාගෙත් හිත කුතුහලයෙන් පිරිලාය. එළවළු වෙළඳ සැලේ මිළ ගනන් අහස උසට උවත් පාරිභෝගිකයාට වගේ ගණනක් නැත. කොන්දොස්තර මල්ලීගෙන් නොලැබුන ඉතිරි රුපියල ගැන වද වෙන්නෝ අල්පය. අයුතු ජනරාශිය එතරම් ප්‍රබල තැනකට පැමිණියේ ඉතාම කෙටි කලකිනි.

සිරා කොලුවාගේ ඉතිහාස පොත පෙරලා බැලූ විටෙක අයුතු ජන රාශිය නැමති අරුම පුුදුම චෝදනාව මම මෙන්ම මගේ මිත්තර කැළටත් ඇතැම් සිදුවීම් අරභයා එල්ල වෙන්නට ඉඩ තිබුනාදෝයි ඇඹිලිපිටිය සිදුවීම පසුබිමක තබා නිවී සැනසිල්ලේ සිතන විට සිතෙයි. එවැනි සිදුවීම් කීපයක් අද දවසේ මෙහි අකුරු කරමි.

උ/පෙ විභාගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරියක් සිරා කොලුවා විසින් සිදුකල බව කාමරයට යන එන අයට මතක ඇතුවාට සැක නැත. ඒ පිළිබඳ කථා කීපයක්ම මවිසින් අතීතයේ දවසක ලියා තිබේ.

මම දැන් කියනා සිදුවීම ඒ කාලයට අදාළ එකකි. අප එකල ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙත අළෙවි කරන ප්‍රවේශපත්‍ර වර්ගය අවසන් වූ විටෙක ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් එක් රැස් වූ මුදල් වල වගකීම රැගෙන හෝ..මුළු මුදලම අදාළ නිළධාරියෙකුට භාර කොට ක්‍රිකට් තරඟ නරඹන්නට එකතු වෙන්නට හැකියාව තිබුනි.

මා සමගම ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ රාජකාරියේ යෙදී සිටි රවී ගොයියා එහෙම් පිටින්ම ක්‍රිකට් පිස්සෙකි. ලංකාවේ කණ්ඩායම තරඟයක් ජය ගන්නවා නම් රවියාට මුලු ලෝකයම දිනුවා වැනි තරම් සතුටක් දැනෙයි. ඒ වේලාවට ඒකාට ඉන්නා තැන කරනා දෙය පවා අමතක වෙයි.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති තරඟයකි. ලංකාව සහ ඔස්ට්‍රේලියාව කරට කර සටනකි. චමින්ද වාස්ගේ අවසන් පන්දු වාරයට ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 7 කි. මයිකල් බෙවන් සමග සයිමන් අයියා පිත්ත හසුරුවයි. එහෙත් කැන්ගරුවන් පරදා සිරි ලංකාව එදා ලැබූවේ කලකට අමතක නොවන අති විශිෂ්ඨ වර්ගයේ ජයග්‍රහණයකි.

ලංකාව පරදිනු ඇතැයි සිතා ශෝකයෙන් විලම්භීත වී තිබූ රවියාගේ මුහුණට ජයග්‍රහණයෙන් පසු අලෝකයේ රැස් වැටී තිබේ. ඒකාට උන්හිටිතැන් අමතකය. පරාජයට පත් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනා යලි ක්‍රීඩාගාරයට යා යුත්තේ අප සිටිනා ස්ථානය අසලිනි.

බිම බලාගත් වනම පොඩි ළමයින් දෙදෙනෙකු මෙන් පිතිකරුවන් දෙපළ නැවත ක්‍රීඩාගාරයට පියමං කරන අතරතුරේ අප පසු කරන්නට ආසන්න වූවා පමණි. සිරිලංකාවේ ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටි රවියා අප සිටි තැන සිට පහතට ඔලුව යොමුකොට ඇන්ඩෘ සයිමන් (Andrew Symond)  නැමති ක්‍රීඩකයාගේ මුහුණ ආසන්නයේම සිට  දරුණු හූ හඬක් කීප වතාවක් නැගුවේය. සයිමන් රවියා දෙසට හෙලුවේ, ඔස්ට්‍රේලියාවට වරෙන්කො දෙන්නං උඹට වැනි බැල්මකි.

සයිමන් අයියා

මේ හූ හඬ නිසා කුපිත වූ ඒ ආසන්න පෙදෙසේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළදරුවෝ දඬයමකට එළඹෙන සිංහ පෝතකයින් මෙන් රවියාගේ බෙල්ල බදාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ඒකා වෙතට පැන්නෝය.

රවියා දැන් බෙහෙවින් අසරණ වී සිටියි. වටේ පිටාවේ ඉන්නා ප්‍රේක්ශක ජනතාවද දෑස් අයාගෙන රවියා දෙස බලා සිටිති. ප්‍රථමයෙන් පැමිණි පොලිස් නිලධාරියා රවියා වෙත එල්ල කල කම්මුල් පහර ඒකාට නොවැදුනේ හිස පැත්තට හැරවූ නිසාය. 

තෝ කාටද යකෝ හූ කිව්වෙ....

පොලෝසියේ ඇත්තෝ ඉතාම ආදරයෙන් රවියා වඩාගන්නට පොර කති. මා සමග පැමිණි එකා තනිකර පලායන්නට මට හිතක් නැත. ඒ නිසාම මේ අටමගලය මැද්දට මමද පැන්නෙමි.

අනේ සෑර් මගෙ යාලුවට සමාව දෙන්න. මූ තනිකර ක්‍රිකට් පිස්සෙක්...ගම්පහ ඉදන් දඹුල්ලට ආවෙ මේක බලලා යන්න. මම ඔවුන්ගෙන් අයැද සිටියෙමි.

මූ මහ හරකෙක්...අර මිනිහගෙ කනට කරලා මූ හූ කිව්වෙ. ඒ යකා ගිහින් කම්ප්ලෙන් කලාට පස්සෙ මේ වීඩියෝ එක බැලුවොත් මේ පොයින්ට් එකේ ඩියුටි කරපු අපි ඔක්කොම ගස්...මට දෙන්න හිතෙනවා මූට....

පොලිස් රාළහාමිගේ මිට මෙළවූ අත වක ගැසී රවියාගේ සුදු කම්මුල් සිප ගන්නටම වෙර දරයි. ඒ අතර තුර කාලයේ මගේ අඛණ්ඩ දුක්ගැනවිල්ල නිසාම ඒ ඇත්තන්ගේ හදවත උණු වී ගිය සෙයකි.

හරි මල්ලි උඹ කියන නිසා මූව අත ඇරලා දානවා..ඒත් මේකාට කියන්න අනිත් දවසෙ මෙහෙම වැඩක් කලොත් අද වගේ ලේසි වෙන්නෙ නෑ කියලා...අරිද....

එදා යන්තමින් පොලෝසියෙන් රවියා බේරාගත්තේ වටා පිටාවේ අති මහත් ප්‍රේක්ෂක සමූහයක් සිටි නිසාම විය යුතුය. වර්තමානයේ වගේ කාලයක නම් රවියාත් මමත් අප අසල සිටි තවත් පිරිසකුත් අයුතු ජන රාශියකට අයත්ව එළොව බලා යන්නට හෝ අතපය ඒවායේ සන්ධි වලින් පන්නාගන්නට චෑන්ස් එක ලැබෙන්නට ඉඩ තිබුනි.

මේ තවත් දවසක කථාවකි. එක් වැසි සහිත රාත්‍රියක ගම්පහ නගරයේදී මධුවිතක් තොලගා අප මිත්‍ර කෂ්ඨාගේ CT 100 යතුරු පැදිය මතට මමත් නඟා කොලුවාත් පැටවුනේ නිවෙස් බලා පැමිණීමේ අරමුණිනි. රැකියාව අහවර කර සිරා කොලුවාත්, නඟාත් දුම්රියෙන් ගම්පහට පැමිණියෙන් කෂ්ඨා බයිසිමොටෝවෙන් තනියම නිවසින් පිට වී තිබුනි. බයිසිමොටෝව පණ ගන්වා මඳක් ඉදිරියට ධාවනය කලා පමණි. පොලිස් පරීක්ෂක උතුමෙක් හදිසියේ එහි ප්‍රාතූර්භූත වූ පොලිස් ජිප් රථයකින් බැස අප කරා ආවේ විදුලි වේගයකිනි. මඳ අඳුර සහිත වැසි පොද යට වුවත් එතුමාගේ උරහිසේ වූ තරු දෙක මට අද මෙන් මතකය.

මේක බයිසිකලයක්ද ත්‍රී වීල් එකක්ද අයිසෙ ? කී දෙනෙක් මේකෙ නැගලද ? ඔහු ඇගිලි දිගු කර මුලු මගීන් ගනන 3 ක් ලෙස තීන්දු කළේය. කෂ්ඨා තමන්ගේ ශ්‍රී මුඛයෙන් වෑහෙන අරක්කු ගඳ නොදැනෙන්නට බොහොම සංයමයෙන් පොලිස් පරීක්ෂක උතුමාගෙන් මුඛය දුරස් කරගෙන පිළිතුරු දෙයි.

සෑර් වැස්ස නිසා මේ යාලුවෙක්ව මේකට දාගත්තෙ....එයා අද කුඩේ ගෙනල්ලා නෑ ගොඩාක් දුර පයින් යන්න තියෙනවා.

කුඩේ නෑ කියලා බයිසිකලේ තුන්දෙනා ඩබල් දාලා ගියාම හරියනවද අයිසෙ...තමුසෙලා ගිහින් කොහෙහරි හැප්පිලා සැමන් උනාම අපිට තමයි ඒත් කරදරේ...නගිනවා බලන්න දැන් බයිසිකලේ මුලින්ම ආපු උන් දෙන්නා. 

මමත් කෂ්ඨාත් ඉක්මනින් බයිසිකලය මතට වීමු... නඟා කොලුවා දැන් පාරේ ඇවිදගෙන ගිය මගියෙකුගේ චරිතය රඟ දක්වයි.

ආ දැන් තමුන් දෙන්නා යන්න ගිය ගමන යනවා... ඉබ්බා වතුරට දමන්නට ඇසූ කල ඇන්නෑවේ කියූවාක් මෙන් අපි අපේ ගමන පිටත්වීමු. 

අනිත් දවසෙ මතක ඇතුව කුඩයක් අරගෙන එනවා පාරට බහිනකොට...

තරු දෙකේ සෑර් නඟාට ගෝරනාඩු කරනවා අපට ඇසුනේ යන්තමිනි. දඩයක් නොකා මෙවැනි අවස්ථාවකින් ගැලවෙන්නට ලැබුන චෑන්ස් එක ගැන සිතමින් අප අපේ නිවාස දෙසට දිවෙන මාර්ගයේ මඳ දුරක් පැමිණ නැවත නඟා බලන්නට ගියෙමු. ඒ වන විට පොලිස් ජිප් රිය එතැන නොතිබුන නිසා වැහි දියට සෘජුව නිරාවරණය වෙමින් මගියාගේ චරිතය රඟ පාමින් සිටි නඟා කොලුවා ගැන උපන් සානුකම්පාව නිසා ඒකාව නැවත පටවාගෙන තුන්දෙනා ඩබල් දමා නිවෙසට සැපත් වන්නට අපිට හැකි වූහ.

මේ තවත් රාත්‍රියක කථාවකි.

ගම්පහ මල්වත්ත ආසන්නයේ තැනක ඒ කාලයේ තිබූ වාහන ටින්කරින් වැඩපලක් මේ කියන දිනයේත් දිනයක අවසානය සනිටුහන් කරමින් නිහඬ වී තිබුනි. සේවක භාරකරුවන් නිවෙස් කරා ගොස් සිටි හෙයින් ඒ ස්ථානයට තනි රැක්කේ අඟ පසඟ අඩු වූ වාහන කීපයක් පමණකි.

එදා අපේ උන්ට ෆුල් කෝඩයක් ගැසූ දවසකි. එවන් දවසක මහත්වරුන් ලෙස නැටුම් තෙල් ඩිංගිත්තක් ඒ සඳහා වෙන්වූ තැනක සිට බොක්කට හලා ගන්නට අපට වරම් නැත. අමාරුවෙන් රුපියල දෙක එකතුකරගෙන ගන්නා ඖෂධ බෝතලය සහ ගම්පහ නයිට් කඩයකින් ගන්නා කොත්තුවකින් අපේ සාදය ඇරඹෙන්නේ මේ ගැරේජය වැනි අහළ පහල නිවෙස් නැති කුරා කූඹියෙකුට හෝ කරදරයක් නැති හුදෙකලා ස්ථානයකය.

වයිට් ලේබල් බෝතලයේ අඩිය පෑදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පොලෝසියේ රාළහාමිලා 10 දෙනෙකු පමණ එහි පැමිණියේ බයිසිමොටෝ කීපයකිනි.

අඩ අඳුරේ සිටි අප වෙතට ඔවුන්ගේ අධි සැර විදුලි පන්දම් එල්ලවූයේ සැණකෙනි...

මොකද ඔතන කරන්නේ....උච්ච සප්තකය ආශ්‍රිත ස්වර කීපය මැද පරිසරයේ නිහඬතාව බිඳී ගියේය.

හංගන්නට කිසිම දෙයක් නැති නිසා හන්දියෙ ගෙදර පුෂ්පයා අපි මේ බොනවා යනුවෙන් ප්‍ර‍තිරාව නැගුවේය.

මුන් බොන්නේ මොනවාදැයි බලන්නට එතනට පැමිණි නිළදරුවන් විදුලි පන්දම් එළියෙන් බෝතලයේ ඉතිරිය කොපමණදැයි විමසා බැලුවෝය.

ඉන් අනතුරුව එකිනෙකාගෙන් තමන් නිරත වෙන ආර්ථික කාර්යයන් කුමක්දැයි පොලෝසියේ ඇත්තන් විමසීමට පටන් ගත්හ.

පුෂ්පයා වරලත් ගණකාධිකාරී ශිෂ්‍යයෙකි, නඟා කොලුවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. මම ගැෆික් කරුවෙකි. එතැන සිටි වනිගයාද සමාජයට වැඩදායී යමක නිතරව සිටි හෙයින් අප සිතුවාට වඩා තත්වය සාමකාමී විය.

බීලා බයිසිකල් පදින එක වැරදි වැඩක් කියලා දන්නවනෙ. ඉගෙන ගත්ත ළමයි නිසා කියන්නෙ..මේ ඉතිරියත් ඉක්මනින් බීලා..වෙරි වෙන්න කලින් ගෙදර යන්න...එසේ කියා පොලිස් ඇත්තන් අපට ඈතින් වූ ප්‍ර‍ධාන මාර්ගයේ බේබදු රියදුරන් වටලන ක්ෂණික මාර්ග බාධකයක් යෙදීය.

මා ඇතුලු බේබදු නඩය බෝතලයේ අඩිය පාදා, කොත්තුවේ අවසානය උදා කර බයිසිමොටෝ පණගන්වා මේ මාර්ග බාධකය මැදින්ම නිවෙස් කරා ගියේ පොලිස් මාමලාට සැලියුට් කිරීමෙන් අනතුරුවය.

ඇඹිලිපිටියේ වැනි තත්වයක් එදා එතැන තිබුනා නම්...අප සියලු දෙනා අයුතු ජනරාශියකට යටත් කොට පොලෝසියේ රැය පහන් කරවන්නට ඉඩ තිබුනි.

මේ ලියමනේ නොයෙක් තැන ඔබට හමුවූයේ ඇඹිලිපිටියේදී චෝදනාවට ලක් වූ පිරිසද ඇතුලත් සිරිලංකාවේ පොලෝසියයි. එහෙත් ඇඹිලිපිටියේ වැනි අත්දැකීම් අපි නොලැබුවේ අපට හමු වූ පොලිස් නිලධාරීන් සමාජය සමග ගණුදෙනුව හොඳින් කරන්නට දන්නා අයවලුන් නිසා විය යුතුය. එහෙත් මේ ගනුදෙනුව පිළිබඳ අල්ප මාත්‍ර‍ දැනුමක් ඇති පොලිස් ඇත්තන් සමාජයට අලුත් සිදුවීමක් නිර්මාණය කරනවා මෙන්ම වටිනා මිනිස් ජීවිතද ඩැහැ ගනිති. මෙවැනි සිදුවීම් යලි ඇතිවීම වැළැක්වීමට නම් පොලෝසියේ උන්දලාට උපදේශන වැඩමුළු පැවැත්වීම ඵලදායී වේ යැයි මට සිතේ.

මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ගිය වසරේ පෙබරවාරිය සිරාගේ කාමරය තුල සැමරුවේ බූට් මාසයක් යනුවෙනි. මෙවරද පෙබරවාරිය බූට් මාසයක් කරන්නට මම සිතා සිටිමි. දැනටම මා වෙත එක් කථාවක් ලැබී අහවරය. ඔබටත් ඔබේ හද පෙලූ ආදර කථාවක් වේ නම්, විරහව ඔබ හඳුනන්නේ නම්...සිරාගේ කාමරයට යන එන දහස් සංඛ්‍යාත පිරිස සමග ඒ කථාව බෙදාගන්නට කැමති නම් ඔබේ කථාව ඊයක් (E-mail) ලෙස සිරා කොලුවාට විදින්න. එය ඔබේ නම සහිතව මෙහි නිසැකවම පල වේවි.

71 comments:

  1. හැම කෙනාම එකවගේ නැහැ සමහරක් නිලධාරීන් හින්දා තමා මුලු පොලෝසියේම සායම යන්නේ

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත මිත්‍රයා..මමත් එහෙම තමයි හිතන්නෙ.

      Delete
  2. මරු කතා තුනක් බං.. නියමයි..

    බුට් මාසෙට දෙයියනේ කියල උඹගේ කතාවකුත් ආවනං ගති..

    ReplyDelete
    Replies
    1. එකගයි .....:-) කතා ටික මරු.

      Delete
    2. උඹ ගාවත් තියේනං යවපන්, උඹගෙ බ්ලොගෙත් වල් වැහිල තියෙන එකේ.

      Delete
    3. කාගෙවත් කාමර වලට තල්ලු කරන්නේ මක්කටෙයි අයියා.. මම්ම දාගන්නවා මිසක්කා. අනික ඔය සිරා සුවර් නෑ. මොන මොන දේවල් වෙනස් කරල දායිද... කව්ද දන්නේ.. හැක්..

      Delete
    4. දේශකයගෙ කමෙන්ට් එක දැකල මතක් උනේ...

      ගුණදාස ලියනගේ, බැඳල නැති කාලෙ, එයාගෙ අනාගත බාරියාව වුණ චන්ද්‍රලතා (නම ඒක වගේ මට මතක) ගැන කවි පංතියක් ලියලා, මීමන ප්‍රේමතිලක උන්න පත්තරේකට යැව්වලු. ඒකෙ කෙල්ල සඳට උපමා කරලා ලියල තිබ්බලු. අන්තිම කවියෙ අන්තිම පදේ තිබ්බෙ,

      “පෙන්වනු මැනවි සඳ එළියේ මිහිරි කම“ කියල ලු.

      ඒ උනාට පත්තරේ ගිහිං තිබ්බෙ,

      “පෙන්වනු මැනවි ළා තණපත් නැගෙන බිම“ කියලලු.

      ඒ ගැන අහපුවාම මීමන කිව්වලු,

      “මං දැනගත්ත උඹ කවුරු හරි කෙල්ලෙක් ගැන ලියපු එකක් කියල. කුපාඩි කමට අන්තිම පදේ වෙනස් කළා“ කිව්වලු...

      දිවලකඩ ගුණදාස - ගුණදාස ලියනගේ ගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙ තිබ්බෙ.

      Delete
    5. දේශක මාමට ස්තූතියි....අනිත් මාමලාටත්, ලොකු අයියලාටත් ස්තූතියි...අවුරුද්දක් ඇතුලෙ කොහොමද දේශකයො මගෙ බූට් කථා දෙකක් එන්නෙ..මම ඔය දකින දකින ළඳට පැණි පෙරන්නෙ නෑ නොවැ...ඩ්‍රැකී උන්නැහේ...තණ කියලා ලියනවා නම් මූර්තජ නයන්න අනිවාර්යයි ඔන්න..

      Delete
    6. ලා තණපත් නැගෙන බිම ය කිව්වෙ, දැං දැං යන්තං රෝම වැවීගෙන එන මොකද්දෝ ස්ථානයක්...

      Delete
  3. බූට් කතා ලිය-ලිය ඉන්නෙ මේ අවුරුද්දෙවත් පිලිවෙලක් වෙන්න බලපං

    ReplyDelete
    Replies
    1. පිළිවෙලක් වෙන්න තිබ්බා දැරිවියක් මුණ ගැහුනා නම්...

      Delete
  4. බීලා බයිසිකල් පදින එක වැරදි වැඩක් කියලා දන්නවනෙ. ඉගෙන ගත්ත ළමයි නිසා කියන්නෙ..මේ ඉතිරියත් ඉක්මනින් බීලා..වෙරි වෙන්න කලින් ගෙදර යන්න ////// පුදුමයි ඉතිරි ටික ඉල්ල ගත්තේ නැති එක

    ReplyDelete
    Replies
    1. /වයිට් ලේබල් බෝතලයේ අඩිය පෑදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පොලෝසියේ රාළහාමිලා 10 දෙනෙකු පමණ.../

      ඒකයි හේතුව.

      Delete
    2. අන්න හරි ඩ්‍රැකියට තේරුනා...ඒ නැතත් පොලෝසිය කවදාවත් අපෙන් කිසි දෙයක් ඉල්ලලා නෑ...අපි කථා කරන්නෙ හැම වෙලේම ඒ අයගෙ ගෞරවය තියලා...ඒ අය කැමති නෑ අපි එක එක ලොක්කන්ට කථා කරලා ෆෝන් දික් කරනවට...කෙනෙක් දවසක් මට එහෙමම කිව්වා..මම එහෙම නොකරපු එක අගය කරලා...

      Delete
  5. ඇඹිලිපිටියේ සිදුවීම සම්බන්දව ගවේශනාත්මක මාධ්‍ය භාවිතයක් තවමත් සිදුවී නැති බව මගේ අදහසයි.පොලිසියේ සහ අදාළ සිදුවීම සිදුවූ ස්ථානයේ සිටි පිරිසගේ ප්‍රකාශනයන්ගෙන් පමණක් සැබවින්ම සිදුවු දේ පිළිබඳව අවසන් තීරණයක් ගත නොහැකිය...පොලිස් නිලදාරීන් මත්පැන් ඉල්ලා ඒ නොලැබුණු විට එම ස්ථානයේ ආරවුලක් ඇති කල බව සැබෑවක් නම් පොලිස් දෙපාර්තමේන්තුව කලයුත්තේ ඔවුන් ආරක්ෂා කිරීම නොව ඔවුනට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවරයන් ගැනීමය.අනෙක් අතට හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එතනට ගිය පොලිස් නිලදාරින්ට ප්‍රහාරයක් එල්ලවුවා නම් එයද බරපතල තත්වයකි.එය එසේ නම් එවන් අවස්තාවකදී තම රාජකාරිය ඉටු කිරීමේදී පොලිස් නිලදාරීන් පසු බෑමට ඉඩ තිබේ.කෙසේ වුවත් මෙවැනි සිදුවීම් වලින් සිවිල් සමාජය අනාරක්ෂිත වීමයි සිදුවෙන්නේ.....නැවතත් මා කියන්නේ මේ සිදුවීම පිළිබඳව අපක්ෂපාති වාර්තාවක් එලිදැකිය යුතුය යන්නය.

    ReplyDelete
    Replies
    1. හදිසි ඇමතීමේ ඒකකයකට ලැබුණු තොරතුරක් අනුව විමර්ශනයටයි ගියේ, සැක නම් එම ඒකකයේ ස්තානාධිපතිගෙන් අහල බලන්න.

      Delete
    2. ඇඹිලිපිටියෙ සිදුවීමට අදාළව නඩු විභාගය දැන් ආරම්භ වී තිබෙන්නේ...දැනගන්න තියෙන විදියට මේ ඝාතනය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවා සිදු වී නෑ...එවැනි පසුබිමක එම දේහය භූමදානය කොට තිබෙන්නේ...

      Delete
  6. හොඳටම වෙරි වැඩි නිසා වෙරි බහින්න පාර අයිනෙන් වාහනේ නවත්තලා නට නට ඉන්නකොට ඇවිත් උපදෙසක් පමණක් දීල ගිය පොලිස් නිලධාරී නුත්, දහයයි පහ වෙනකොට බෝඩිමට ඇවිත් ජීප් එකේ පටවන් යන්න හදපු පොලිස් කාරයොත් දෙගොල්ලොම මුණ ගැහිලා තියෙනවා... ඇත්තටම නිල ඇඳුමක් දරන්න තරම් මොළයක් තියෙන මිනිස්සු පොලිසියට බඳවා ගන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ ඇත්තන්ගෙ මානසික තත්වය උඩ රාජකාරියේ ස්වභාවය තීරණය වෙනවා කියලා...ඒ අයත් ඉතින් සොච්චං පඩියකට මේ තියෙන සියලුම දුක්ඛ දෝමනස්සයන් දරාගෙන මේ සමාජ ක්‍ර‍මය තුල ඇතුලෙ ඉන්න අයනෙ. ලොක්කන්ට දෙකට නැමෙන එක...ඒ අයගෙ රැවුම් ගෙරවුම් ඉවසන එක පොලෝසියේ රස්සාව ලේසි නෑ...මිනිස්සු හරිම අඩුවෙන් තමයි පොලෝසියේ හොඳක් කියන්නෙ...බොටත් ජය !

      Delete
  7. බූට් මාසේ දික් කරන්න වෙයි ද දන්නෑ....

    ReplyDelete
    Replies
    1. කථා ගොඩාක් ආවොත් දික් කරන්න වෙයි...හැක්..

      Delete
  8. මාධ්‍ය වලින් ඇහෙන්න ඇති නේද අදාල පොලිස් ලොක්ක රටේ නමගිය ඕමල්පේ හාමුදුරුවෝ ප්‍රදේශයේ තරුණ පරපුර යහමගට ගන්න ගෙන්වාගත්තු (ඒ වැඩේට)කාර්ය ශූර නිළධාරියෙක්ය කියල, හාමුදුරුවෝ කාර්ය බහුල නිසා බන කියන එක පොලොසියට බාර දිලයි තිබ්බේ, ඔය පාටියටත් පොලොසිය ගියේ බන කියන්නයි, බන අහල සිත් පහද ගත් තරුණයෝම ඉල්ලීමක් කලාලුනේ එයාලට ආයේ අමතක නොවෙන්න ටිකක් තලන්න කියලා. මැරිච්ච කෙනා තමුන්ගේ වරද ගැන බොහොම කම්පා වෙලා බිල්ඩිමෙන් පැන්නලුනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන හිමියන් සිද්ධියෙන් පස්සෙ කුපිත වෙච්ච ජනතාව සන්සුන් කරන්න ගොහින් ඒ ඇත්තන්ගෙ හූ හඩ මැද සැඟවී ගියා කියලයි ආරංචි...

      Delete
  9. හොඳ වැඩ කරන රජයේ සේවකයින් ගැන වාර්ථා වෙනවා ගොඩක් අඩුයි. ඒ කියන්නේ එහෙම අය නෑ කියන එක නෙමෙයි. වගකීමෙන් එහාට ගිහින් ජනතා සේවය කළ/කරන හැමෝටම මගේ අචාරය

    ReplyDelete
    Replies
    1. හොඳට වඩා නරකට තමයි වැඩි ප්‍ර‍සිද්ධියක් ලැබෙන්නෙ...ගමක උනත් උසස් ප්‍ර‍තිඵලයක් ගත්ත ළමයෙක් ගැන කථා වෙනවා අඩුයි...ඒත් කොල්ලෙක් එක්ක කෙල්ලෙක් පැනලා ගියා නම් අහල ගම් 7 ක් ඒ ගැන දන්නවා.

      Delete
  10. පොලිසියේ හොඳ උනුත් නැතුවාම නෙවෙයි සිරා අයියේ...ඒත් හැම එකාමනම් නෙවෙයි.. සමහර උන් විතරයි..

    ReplyDelete
    Replies
    1. හොඳ උන් ඉන්න බවක් ලිපිය තුල කිව්වෙ ඒකනෙ මලේ...වැඩියෙන් ඉන්නෙ හොඳ අය තමයි...ඒ උනාට දෙතුන් දෙනෙකුගේ නරක වැඩ වලින් ඒ හොඳ නොපෙනී යනවා පොදු ජනතාවට...

      Delete
  11. සිරාගේ කාමරෙත් අයුතු ජනරාශියක් තමයි...

    ReplyDelete
    Replies
    1. බයවෙන්න දෙයක් නෑ. මුගේ කාමරේ අස්සෙ ඕන තරං බෝතල් තියෙනව.

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්...බොතල් සහ කොට දෙකම තියෙනවා...බයිට් එකට නම් බැදපු හුරුල්ලො තමා...

      Delete
  12. කතාවක් තියෙනවනෙ වැඩිපුර ඉන්නෙ හොඳ මිනිස්සු උනත් ඒ මිනිස්සු තැන තැන විසිරිලා අඩුවෙන් ඉන්න නරක මිනිස්සු එකට එකතු වෙලා ඉන්න නිසා හොඳට වඩා නරක වැඩී වගේ පේනවා කියලා....

    ReplyDelete
    Replies
    1. ඒක හරි ,ඒකනෙ අපිව කාටවත් වැඩිය පේන්නෙ නැත්තෙ. ඒකට කැමාව හැමෝටම පේනව.

      Delete
    2. අපේ සමාජය කොහොමත් නරක දේකට තරම් හොඳ ක්‍රියාවකට ප්‍ර‍සිද්ධිය දෙන්නෙ නෑ...ඒ නිසයි අපිට නිතරම නරක විතරක් අහන්න ලැබෙන්නෙ.

      කම්මල මහතාගේ දෙගුණ ලෙඩේ තවම හොඳ නෑ වගේ...හැක්...

      Delete
  13. Replies
    1. ඔබේ කථාව කියෙව්වා දැන්...එතැන කමෙන්ටුවකුත් එල්ලුවා..

      Delete
  14. ඔහොම පෝය දවසක පිට්ටනියෙ බිබී ඉන්නකොට ජීප් එකෙන්ම ඇවිල්ල මෙතන පොදු තැනක් වෙන තැනකට අරං ගිහිං බීපල්ල කියපු පොලීසියෙ අයත් හිටිය. අඩුම ගානෙ පෝය දවසෙ කොහෙන්ද බඩු ගත්තෙ කියලවත් ඇහුවෙ නෑ.

    ඔය දඹුල්ලෙ ඕපනිං මැච් එක බලන්න අපිත් ගියා. මමනං පැයක් විතර ග්‍රවුන්ඩ් එකේ ඉඳල අනික් උං මැච් එක ඉවර කරල එනකල් වෑන් එකට වෙලා හොඳට නිදාගත්ත එක තමයි කළේ. හැක්.. මොන මැච්ද ඒකෙ විනාඩි දහයක් ඉන්නකොට කරෝල වගේ වේලෙනව.

    ReplyDelete
    Replies
    1. දඹුල්ල ක්‍රීඩාංගනය තියෙන පැත්තෙ අව් රශ්මිය හරිම වැඩියි...ඉබන්කටුව වැවෙන් එන සුළගත් ගිණි මද්දහනෙ රස්නෙයි. ප්‍රවේශ පත්‍ර‍ කවුන්ටරය පහුකරගෙන පිට්ටනිය ඇතුලු උනාම තවත් කිලෝමීටරයක් විතර දුර පයින් යන්න ඕනෙ ගිණි අව්වෙ තාර පාරෙ. ගොඩාක් ක්‍රීඩා ලෝලියො මේ තියෙන දුර ගැන තමන්ගෙ කෝපය පල කල බව මට මතකයි...පිට්ටනියට යන්න ත්‍රී වීල් සර්විස් එකක් පටන් ගනියව්..සමහරු එහෙම කිව්වා.

      Delete
  15. අපෝ පොලිසිය එක්ක නම් කිසිම ගණුදෙනුවක් නැහැ බං.යුනිෆෝම් ඇන්දම උන්ට වඩා කවුරුත් නැහැ වගේ හැසිරෙන්නේ.හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා.හැබැයි අතලොස්සක්.බහුතරය මහා එපා කරපු උන්.එහෙම බැලුවාම සිරාට ඔය හම්බු වෙලා තියෙන්නේ සිරා පොලිස් සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස බහුතරය හොදයි සුළුතරයක් නරකයි කියලයි...මට ඇත්තටම නරක පොලිස් නිලධාරියෙක් හමුවෙලාම නෑ....මම කථා කරන විදිය නිසාද දන්නෙත් නෑ...හැමෝම ඉතාම හොඳට කථා බහ කරලා තියෙනවා...

      Delete
  16. ඒ කාලේ පොලීසිය vs අද කාලේ පොලෝසිය :V

    ReplyDelete
  17. පොලීසියේ හමුදාවේ ඔය හැම එකේම හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි ඉන්නවා. නමුත් පොලීසිය මේ තරම් අප්‍රසාදයට ලක්වෙන්නේ නිතර මහජනතාව සමග සම්බන්ධවන, නීතිය රකින, රාජකාරියක් නිසයි. ලෝකයේ බොහෝ රටවල පොලීසිය, මිනිස්සුන්ගෙන් හොඳ අහනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විචාරක තුමා..එංගලන්තෙ පොලිසිය උනත් ජනතාවගෙන් හොඳ අහන්නෙ අඩුවෙන් කියලයි මමත් අහලා තියෙන්නෙ. පොලිසියට ජනතාව කොතරම් බැන්නත්..කරදරයකදී පොදු ජනතාවගේ ලඟම හිතවතා වෙන්නෙත් පොලිසියම තමයි.

      Delete
  18. පෝලෝසියේ කතා ටිකනම් මරු...
    දැන් පෝලෝසියත් එක්ක ගේම ඉල්ලන හින්දා උනුත් ගේමටමයි එන්නේ..අනේ පව් අර මාධ්‍ය ප්‍රකාශකතුමා.

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම් අනුව පොලිසිය සමග සාමකාමීව කථා බහ කරනවා නම් ගොඩාක් වෙලාවට කරදරයක් නැතුව සිද්ධිය සමථයකට පත් වෙනවා.

      Delete
  19. බොලේ රවියා නියම බුවෙක් නේ.
    කිවුවත් වගේ හැබැයි අද කාලේ වගේ උනානම් රවියා එක්කම සිරාවත් සෙටේඩියම් එකන් තල්ලු කරලා හරි ආපදාවක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. රවියට මම පොලෝසිය ඉස්සරහදිම එදා පිට්ටනියෙ බැන්නා...තෝ පිස්සු කෙලින්න එපා යකෝ..මේ මහත්තුරුන්ටයි කරදර වෙන්නෙ කියලා...

      Delete
  20. ලංකාවේ අපෙ පොලොසිය!

    ReplyDelete
  21. මට නරක පොලිස් නිලධාරින් මුණ ගැහිලා තියෙන්නේ බොහොම අඩුවෙන්...
    ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ වලියක් සම්බන්ධ සිදුවීමකට මටත් විරුද්ධව දීපු පැමිණිල්ලකට මාව ගෙනියන්න ගෙදරට ආපු පොලොස් මාමලා ගෙදරටම ඇවිත් මාව පොලිසියට එක්කගෙන ගිහින් දවල්ට කාලද ඉන්නේ කියල එහෙම අහල, මම කාල ඉන්නේ කියල කිව්වා නිසා මට වාඩිවෙලා ඉන්න පුටුවක් ගෙනත් දීල TV එක දාල දුන්න බල බල ඉන්න...

    ReplyDelete
    Replies
    1. මට නරක පොලිස් නිළධාරීන් හමුවෙලාම නැති තරම්..මම කවදාවත් දඩයක් කාලත් නෑ..දඩ කන වැරදි කරලා අහු උනත් ඒ ඇත්තො මට යන්න කිව්වා මම කථා කරන විදිය අගය කරලා...

      Delete
  22. රවියා කළා වගේ වැඩක් අර පර්සි (අපේ ආදරණීය චියර් ලීඩර්) කරාලු නෙ දවසක්. ඕස්ට්‍රේලියාවෙ ඩේවිඩ් බූන් පිච් එකට යනකොට කෑගහල කිව්වලු
    ඩේවිඩි බූන්
    කම් බැක් සූන්
    බිෆෝ නූන්
    කියල. කිව්වත් වගේ අරූ ඉක්මණට අවුට් වෙලා ඇවිත්. යකා වගේ පර්සිට රවාගෙන ගියාලු

    ReplyDelete
    Replies
    1. පර්සි ඔය වගේ වැඩක් තවත් ඉන්දියානු ක්‍රීඩකයෙකුට කලා කියලා මම අහලා තියෙනවා....ඔහු ක්‍රීඩා පිටියට යද්දි කිව්වලු ඔබ රැස් කරන්නෙ ලකුණු 10 යි කියලා. මිනිහා පළවෙනි බෝලෙට ගැහුවලු 6 පාරක්...දෙවැනි බෝලයට හතරෙ පාරක්...බැලුවලු පර්සි දිහා.....මිනිහත් බලාගෙන ඉන්නවලු....තුන්වෙනි බෝලෙන් දැවී ගියාලු....

      Delete
  23. ඕනම දේකට ඔයාටත් කතාවක් තියනවා නේද කියන්න. කතා සාගරයක්.
    බූට් මාසෙට දාන්න සිරාගෙ ඉතුරු වුන බූට් කතා එහෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මගෙ ඉතිරි උන කථා තියෙනවා...ලිපි ලැබෙන පිළිවෙල අනුව බැරියැ කථා පෙට්ටිය ඇරලා මගේ බූට් කථාවක් දාන්න...

      Delete
  24. හම්මේ අර අන්තිම සීන් ඒක වගේ එකක් ඇඹිලිපිටියේදී එහෙම උනානම් ..........

    ReplyDelete
    Replies
    1. එහෙනං අපිවත් කොහෙ හරි උඩකට අරගෙන ගිහිල්ලා පියාඹපල්ලා කියලා බිමට අත අරියි...

      Delete
  25. මගේ ලයිසන් එක දවස් 3 ක් පැනලා තිබුණා. දුව එක්ක ටවුන් එකේ යද්දි නැවැත්තුවා.
    “ආදායම් බලපත්‍රය වහාම ප්‍රදර්ශනය කරන්න“ අහක බලාගෙන කිව්වා. මං හිතුවෙ පෙන්නන්න කියනවා කියලා.
    “අළුත් කරන්න තියෙන්නෙ. දවස් තුනයි පැනලා“
    “අා...දැන් නැද්ද ලයිසන්. මේවා ලියන්න පුළුවන්. ඒ වුණාට කමක් නෑ ඉක්මනට අළුත් කරගන්න. දුව කොහෙද ඉස්කෝලෙ යන්නෙ?“
    මාත් සැලියුට් ගහලා යන්න හදකොට අනිකා අහනවා,
    “වාහනේ විකුණන්නෙ නැද්ද?“ කියලා. හොඳම හොඳ එවුන් අනන්ත ඉන්නවා. අපතයෝ ටික දෙනෙකුට ඔය කාකි රෙද්දෙ ඌෂ්ණෙ ගහනවා ඔළුවට. උන් ටිකත් පුනරුත්ථාපනය කරලා ගත්තම අපේ පොලීසිය නරක තැනක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ඉහළ නිලධාරීන් ඉතාම අවංකව රාජකාරි කරන අය...පොලිස් පොඩ්ඩො ඉතින් හැම අතින්ම තැලෙන අයනෙ...ඒ අයගෙ රැකියා පීඩනය නිසාත් සමහර වෙලාවට පිස්සු කෙලිනවා...

      Delete
  26. හැම පොලිස් මාමලම නරක නැ හොද අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...සුලුතරයයි නරක අය ඉන්නෙ...

      Delete
  27. හොඳ පොලිස් මාමිලා ඕන තරම් ඉන්නවා බන්.. එත් ගඳ වැඩ කරන පිරිසක් නිසා මුළු පොලිසියම ඒ තත්වෙට වැටිලා හමාරයි.. අපි එක්ක රුහුණු කුමාරියේ ගියා සාජන් මහත්තයෙක් පොලිසියේද කියල කියනාවත් බැරි තරම් මහත්මා ගතිගුණ තිබ්බ මනුස්සයෙක්.

    අපි උසස්පෙළ කරපු කාලේ යාලුවෙකුගේ ත්‍රීවීල් එකකින් තවත් යාලුවෙකුගේ තාත්තගේ දානේ ගෙදරක ගිහින් පොලිසියට මාට්ටු උනා.. ස්කූල් යුනිෆෝර්ම් එකෙන් ත්‍රී වීල් එකේ දහ අටදෙනයි.. එදානම් දෝත පුරවල උසාවි එන්නම ලියල දුන්න අපේ ත්‍රීවීල් එක එලවපු එකාට. පස්සේ දන්නා අඳුනන කීපදෙනෙක් උදව් කරපු නිසා දඩ කොලයක් අරන් යන්තම් බේරුනා.

    ReplyDelete
    Replies
    1. ත්‍රී වීල් එකක 18 ක් නැග්ගෙ කොහෙටද බං...මට හිතාගන්න බෑ...වහලෙ උඩත් ගියාද ? ෂුවර් එකටම වාහනේ පැද්දෙ අයිතිකාරයා නම් වෙන්න බෑ...

      Delete
  28. සිරා, උඹ් මුකුත් හිතන්න එපා ඕන් අදින් පස්සෙ මම් බොලාගෙ මේ කාමරේ පස් පාගන්නෑ...ඒකත් වැටෙන්නේ අයුතු ජනරාශියට නොවැ...

    පොලීසියෙ කෙරුවාව කොහෙත් ඔහොම තමා.. මතකද ඇමරිකාවෙ සෙල්ලම් තුවක්කුවක් අතේ තියන් හිටපු අවුරුදු 12 ක ළමයෙක්ව වෙඩි තියලා මැරුවා.. වෙඩි තියලා ඒ පොලිස් බූරුවා කිව්වේ ඌ හිතුවේ ඒක ඇත්ත තුවක්කුවක් කියලලු.. ඒහෙ හැබයි මෙහෙ වගේ ගොන් ආතල් දෙන මාද්දිය පොරකාසලා ඉන්න නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. සෙන්නා බය වෙන්න එපා...කාමරේ මම බෝතල් දෙකක් ලෑස්ති කරලාමයි තියෙන්නෙ ඉල්ලුව ගමන් දන් දෙන්න පොලෝසියට.

      බොහෝ වෙලාවට ඇමරිකාවෙ කලු ජාතිකයන්ට එරෙහිව තමයි ඒ වගේ සිදුවීම් වාර්තා වෙන්නෙ.

      Delete
  29. පොලීසියේ අනන්තවත් හොඳ මිනිසුන් ඉන්නවා. හැබැයි බොහෝ දෙනා පොලීසිය දිහා වපර ඇහෙන් බලන්නේ. ඔය වගේ පැති වල ගිණි රස්සෙන් අවු කූටේ වැඩ කරලා ලේ රත් වෙලා ඉන්න ඇත්තේ. කල දුටු කල වල ඉහින්න ගිහිං තමයි වැඩේ දෙල් වෙලා තියෙන්නේ. ඒ වුණාට පොලීසියේ අය ජරාව නොගෙන දඩ කොල ලියන්න ගත්තොත් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන පැත්තෙන් තමයි මම නිතරම පොලිසිය ගැන හිතන්නෙ. ඒ අයගෙ නිළ ඇදුමට යටින් තියෙන වෘත්තීය ජීවිතය සාමාන්‍ය රැකියාවකට වඩා බොහොම කටුක බව මම දන්නවා...මම ඉස්සර ක්‍රිකට් තරග වලට ප්‍රවේශ පත්‍ර‍ නිකුත් කරපු කාලෙ වෙච්ච වැඩක් මේ...පිට්ටනියෙ රාජකාරි කරන පොලෝසියේ අයට ලැබෙන බත් පැකැට්ටුව ලැබෙන්න එදා හවස තුන විතර උනා...ඒ පැකට් එක දිග ඇරලා බැලුවාම පිළුණු වෙලා..පොලිස් පොඩ්ඩො එදා ටැප් එකෙන් වතුර ටිකක් බීලා ආයෙමත් අව්වෙ හිටගත්තා....

      Delete
  30. Attatama kohoma coment akak dannada kiyala terenne naha mama oba ge lipi sama akakma kiyewwa oya ge kata wala amutuma rasa yak gab wela tiyenawa oya wage siduvem apatat ananta wat wela tiyenawa namu t oba ama sidu vema hari rasa wat vidi hata idiri pat kireme hoda haki yawak obata tibenawa ada tamay palamu watawata coment akak danne obata jaya

    ReplyDelete
    Replies
    1. ඔබේ අවංක අදහස් ගැන මගේ ස්තූතිය...

      Delete
  31. අර විචාරක තුමා කියලතියෙනවා වගේ වැඩි පුරාම පොලෝසිය මිනිස්සුන්ගෙන් වචන අහන්නෙ නිතරම සිවිල් ජනතාව එක්ක ගැටෙන රාජකාරියක් කරන නිසා හමයි.ඇත්තම කතාව නම් මට මුණ ගැහිච්ච බහුතරයක් පොලිස් නිලදාරීන් යමක් කමක් කතා බහ කරලා විසදා ගන්න පුළුවන් මිනිස්සු.එකම එක දවසයි ජරා මිනිහෙක් මුණ ගැහුනෙ.අන්තිමට මිනිහටත් කට උත්තර නැති කරලා තමයි ආවෙ.සුළු පිරිසක් කරන වැඩ වලට බහුතර පිරිසක් ගැරහුමට ලක්වෙනවා කියන්නේ ඒකයි.
    ප:ලි:- තවත් බූට් කතා තියේද බන් උබට?

    ReplyDelete
    Replies
    1. විචාරක තුමාගෙ අදහස එක්ක මමත් එකගයි කියලා ඉහළිනුත් කිව්වා...බූට් කථාම කියන්න බැරි ඒවා තමයි මහ ගොඩාක් තියෙන්නෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...