Thursday, September 29, 2016

45 ම‍ගෙ 8000 ට කෙළියා ඕයි !

පර්චස් 20 ට වැඩි ඉඩම් තියෙන, ඒවයෙ පොල් ගසුත් තියෙන අයට ආණ්ඩුවෙන් පොල් පොහොර සහනාධාරයක් දෙනවලු. ග්‍රාම සේවක නෝනා ලග අන්න පෝරම කොල තියෙනවලු. ගොහින් කොළයක් ගෙනල්ලා තියන්ඩ. මම ආපහු ආවම පෝරමේ පුරවලා උවමනා තැන් වලට ඉදිරිපත් කරලා පෝර ටික ගන්න සූජානම් කොරන්නං. පේනවනෙ...දැන් ගස් වල පොල් එන්න එන්නම පොඩි වෙනවා. ඵලදාව මේ විදියට අඩු වෙන්නෙ පොහොර හිඟ හින්දා...මතකනෙ එහෙනං...

සිරා කොලුවගෙ පිය තුමා මෑණියන් දෑ සමග දඹදිව වන්දනාවෙ යන්න ගුවන් තොටුපලට පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා පවසපු මේ වදන් පෙළ මට ආයෙමත් කම්පනාවට ආවෙ ඒ අය එහෙ ගොහින් සතියක් ගත උනාට පස්සෙ. බැරි වෙලාවත් පෝරම කොල අහවර වෙලා තිබුනොත් මෙතන වසන්න වෙන්නෙ නැති නිසාම මමත් තකහනියක් ග්‍රාම සේවක නෝනා බැහැ දකින්න යන්න උදැහැනැක්කෙම පිටත් උනා.

සිරා කොලුවා රට පැටවෙන කාලෙ අපිට හිටිය ග්‍රාමසේවක නෝනා බොහොම වයසක උන්දෙක්. කොහොමින් කොහොම සිරා කොලුවා ආයෙමත් සියරට එන කාලෙ වෙද්දි ඒ උන්දැ විශ්‍රාම ගිහින් ඒ වෙනුවට අපේ ගම් තුලානෙ ග්‍රාම සේවක රාජකාරිය බාර අරගෙන හිටියෙ යාබද ප්‍රදේශයක පදිංචි සීදේවි නෝනෙක්.

නෝනෙක් කිව්වට ඉතිං සිරා කොලුවටත් වඩා වයසින් අඩු...තවම අවිවාහක කෙලියක්. මගුල් මුද්ද දාන ඇගිල්ලට යාබද ඇගිල්ලෙ තමයි එයා මුද්දක් දාලා හිටියෙ. ඒ දර්ශනෙන් පස්සෙ මගේ අක්මාවට දැනුනා මේ කෙලී තවම කසාද බැදලත් නැති විත්තිය.

කාරණේ මතක නැතත් සිරා කොලුවට ලංකාවට ආ විගස වගේ යම් රාජකාරියකට ග්‍රාම සේවක නෝනව මුණ ගැහෙන්න යන්න උනා. එදා තමයි ඔන්න නමෝවිත්තියෙන් අපේ අභිනව ග්‍රාමසේවක නෝනව මගේ කලු ඉංගිරියාවට වැටුනෙ. අපරාදෙ කියන්න බෑ. සී දේවි කෙල්ල. සාරියක් කාරිය ඇදලා හරිම පිළිවෙලට, නීතියට වැඩේ කරගෙන ඉන්නවා. යන එන කා එක්කත් සුහදයි. ඒ වගේද අත් අකුරු මුතු කැට වගේ බබලනවා. ඉතින් මට රාජකාරිය අහවර උනත් එතනම පදිංචි වෙලා ඉන්න හිතුනා.

ඔන්න ඔහොම වටපිටාවක් තියෙද්දි පොල් පෝර පෝරමේ ගේන්න යන්න ඉතින් මොනවටද බොලව් පැකිලෙන්නෙ. සිරාගෙ ඇන්ටික් ස්කූටරේට බර දීලා කොලුවා ගියා ඔන්න ග්‍රාමසේවක නෝනව මුලිච්චි වෙන්න.

අපේ නැසීගිය උස බන්දුල ගොයියගෙ ගෙදර තමයි ග්‍රාමසේවක කාර්යාලය පිහිටුවාගෙන තිබුනෙ. මම එතැනට ලගා වෙද්දිත් ග්‍රාම සේවක නෝනගෙ කාමරේ කීප දෙනෙක්ම ඉන්න විත්තිය මට දැනුන නිසා ස්කූටරේ පිටට නැගලා බන්දුල ගොයියගෙ වත්තෙ ඵලදාව දිහා මම ඇස් දෙකේ පොට යනකං බලාන උන්නෙ කොරන්න වෙන කෙං ගෙඩියක් තිබුනෙ නැති නිසයි.

විනාඩි 15 ක් 20 ක් ගත වෙන්න ඇති. ග්‍රාමසේවක කාර්යාලයේ දොරෙන් එක පාරටම මතු උනේ මාලු විකුණන නිශාන්ත ගොයියා. බොලේ මේ හාදයා අද මාලු වෙළදාමෙ ගිහින් නැත්තෙ මොකද...මම මනෝ ආතල් ලොවක සැරි සරද්දි මටත් නොදැනිම නිෂාන්තයා මගේ ලග.

පින්තූරය මෙතැනින්

මොකෝ මේ පැත්තෙ...ඇරත් මේ උදේම....එච්චරයි මට අහන්න ලැබුනෙ.

මගෙ 8000 කට කෙලියා ඕයි ! නිෂාන්තයා හෙණ ගැහුවා වගේ එකපාරටම කිව්වා.

මොකක්ද බොල ඒ හරුපෙ...උඹ බූරු ගහන්නවත් ගොහින් පැරදුනාද ? මම එහෙම ඇහුවෙ සැක සංකා හිතේ තියාන ඉන්න හොද නැති හන්දයි.

නෑ බං මල්ලියෙ අද උදේ මාලු ගේන්න මීගමු යද්දි මාව කොල්ල කෑවා බං ඒකල වෙළ මැද්දෙදි.

ගම්පහ - ජාඇල 201 බස් මාර්ගයෙ යන එන ඇත්තො දන්නවා ඒකල වෙල කියන්නෙ මාර්ගය දෙපැත්තෙම වෙල් යායක් තියෙන නිවාස වලින් තොර හුදෙකලා පෙදෙසක් කියලා. අන්න එතැනදි තමයි මේ අසරණයගෙ 8000 ට කවුරු හරි කාලකණ්නියෙක් කෙළියෙ.

එ්කළ වෙල කිව්වම අපි කුඩා සන්ධියෙ නිතරම කොල්ල කෑම් සිද්ධ උනා. මේ හොරකම් වලට රැයක් දවාලක් තිබුනෙ නෑ. මහ දවාලෙ වැඩිපුරම සුද්ද උනේ මාලු වෙළඳාමේ නිරත වෙච්ච අය. මේ වගේ හොරකම් දිගින් දිගටම සිදුවෙන්න ගත්තට පස්සෙ සිරිලංකා පොලෝසියෙ ඇත්තො ගත්ත යම් යම් සාධනීය පියවර නිසා හොරු රැළ වඳවෙලා ගිහින් ඒකළ වෙල මැද්දෑව බොහොම සාමකාමී තැනක් බවට පත් උනා.

ඒත් දැනට වසර තුන හතරක ඉඳලා ආයෙමත් කොල්ලකෑම් එක දෙක බැගින් වාර්තා වෙන්න ගත්තා. සිරා කොලුවගෙ පියතුමාගෙ හිතවතෙක් වෙන ඕල්ටර්නේටර් තිස්ස මාමා තමන්ගෙ ඇඹේනියත් එක්ක බයිසිකල් කටුවක නැගලා ගොහින් බැංකුවෙන් ගත්ත රුපියල් ලක්ෂ 9 ක් එක්ක ගෙදර එද්දි, ඒකල වෙල හරියෙදි පිටිපස්සෙන් ආව වෑන් රථයක් මේ ජෝඩුව මහා මාර්ගය වෙනුවට අලුතින් වපුරපු කුඹුරක් වෙත යොමු කලා. බයිසිකලේ පෙරළගෙන මඩ අස්සෙ එරිලා දගලන තිස්ස ගොයියා ලගටම ආව හොරු රැළ රුපියල් ලක්ෂ 8 ක් දාලා තිබුන බ්‍ර‍වුන් පේපර් කවරෙ අරගෙන ගියෙ ඒ අසරණයට කෝචොක් හිනාවකුත් දාගෙන, උඩ සාක්කුවෙ තිබ්බ ලක්ෂය විතරක් ඉතිරි කරලා.

මම වෙනදා යන වෙලාවට පාන්දර 4.30 ට ගෙදරින් පිටත් උනා. රුපියල් 8000 ට ටිකක් වැඩියෙන් සල්ලි තිබුනා. ඒකල වෙල මැද්දෙ පුලුන් ගහ කිට්ටුවට යද්දි මට විරුද්ධ පැත්තට බයික් එකක කොල්ලො දෙන්නෙක් ආවා. උන් මාව පහුවෙද්දි මගේ දිහා හරි අමුතු විදියට බලාන ගිය නිසා මට සැකයක් හිතුනා.

මම පැති කණ්නාඩියෙන් බලාගෙන ඉස්සරහට යද්දි, හදිස්සියෙ දැක්කා උන්ගෙ බයිසිකලේ මගේ පැත්තට හරවනවා. එතැනින් පස්සෙ මම යන්න තියෙන උපරිම වේගෙන් බයිසිකලේ පැද්දා. ඒත් වැඩක් උනේ නෑ. උන්ගෙ තිබුනෙ බොහොම බල සම්පන්න බයික් එකක්. උන් අඩියට දෙකට මගේ ලගට ආවා. එන පොට හොඳ නෑ කියලා මට දැනුන නිසා මම බයික් එක නතර කරලා බැහැලා දුවන්නයි හැදුවෙ. එත් පරක්කුයි මල්ලියෙ. හොඳ උස මහත එකෙක් පැනපු ගමන් මගෙ බෙල්ලට කඩුවක් තියලා කුණුහබ්බයක් කියලා මගෙ පර්ස් එක උදුරලා ගත්තා. 

මාලු ගන්න තිබ්බ සල්ලියි. අපේ පොඩි කෙල්ලගෙ ඉස්කෝලටෙ උවමනා පොත් කීපයක් ගන්න උවමනා සල්ලියි ඔක්කොම තිබුනෙ එකට. උන් සල්ලි උදුරගෙන යද්දි මම පිංසෙන්ඩු උනා මගේ ලැයිසොමවත් දීලා යන්න කියලා. ඒත් ඒ නරුමයො ඒ කථාවට ඇහුම් කං දුන්නෙම නෑ

නිශාන්තයගෙ මුහුණෙන් තවමත් කම්පනයක සළකුණු පේනවා. ඇස් කෙවෙනි අග පුංචි කඳුලක් දිලිසෙනවා. දරු පැටව් 4 දෙනෙකුගෙ තාත්තා කෙනෙක් විදියට මාලු රස්සාවෙන් හොයන සල්ලියෙන් ජීවත් වෙන කෙනෙක්ට රුපියල් 8000 ක් නැති වෙනවා කියන්නෙ මොන තරම් පාඩුවක්ද ?

අද උදේම පොලෝසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ග්‍රාමසේවක නෝනගෙන් අරගෙන යන්න ලියකියවිලි වගයක් තියෙනවා. ඒ ටික ගන්න තමයි මෙහෙට ආවෙ. මට වාවන්නෙ නෑ බං පොඩි කෙල්ල අලුත් පොත් අරගෙන ඉස්කෝලෙ යන්න හරි ආශාවෙන් හිටියෙ.

ඒ අවසරයෙන් ග්‍රාම සේවක නෝනගෙ ඔපීසියෙන් එළියට ආවෙ නිෂාන්ත ගොයියගෙ ඇඹේනිය. 

හෙණ ගහලත් මදි නේද මල්ලි මේ කරන අපරාද වලට ? ඇය මගෙන් ඇහුවා.

ඔය හරියෙදිම සති දෙකකට කලියෙනුත් මාලු කාරයෙක්ව සුද්ද කරලා. උන් හිතාන ඇත්තෙ මාලු විකුනන්නෙ කෝටිපතියො කියලා වෙන්න ඇති. ඇයි යකෝ පොඩි මිනිහටමනෙ මංකොල්ලා කන උනුත් කෙළින්නෙ.

ඇගේ කථාව ආවේගශීලියි. පුංචි එකෙක් වඩාගෙන නිෂාන්ත තවමත් සුසුම් හෙලනවා.

කඩුව බෙල්ලට තියද්දි මට හොඳටම භය හිතුනා මල්ලි. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. මට දරු පැටව්, ගෑණි මතක් උනා. ඒත් උදව්වට කියලා කවුරුවත් ආවෙ නෑ. උන් දෙන්නා ගිහින් විනාඩි 10 කට විතර පස්සෙ තමයි සෙනඟ එකා දෙන්නා එන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.

තවත් මොහොතකින් නිශාන්ත ගොයියා තමන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගෙන ග්‍රාමසේවක කාර්යාලයෙන් පිටත් උනා.

පව් නේද අර මනුස්සයට වෙලා තියෙන වැඩේ...දැන් ඊලග දවසෙ මාලු ගේන්න යන්න අමුතුවෙන් සල්ලි හොයන්න එපායැ. ඇරත් ඒ අය සල්ලි  ඔහේ අරගෙන යනවා මිසක ආරක්ෂාව ගැන හිතන්නෙ නෑනෙ. මම ඒත් දැන් කිව්වෙ මීට පස්සෙ මාලු වෙළදාමෙ යද්දි සල්ලි අතේ අරගෙන යන්නෙ නැතුව. මීගමුවට ගිහින් බැංකු කාඩ් එකෙන් උවමනා ප්‍ර‍මාණය ගන්න, මාලු විකුනලා අහවර උනාම ආයෙමත් බැංකුවට දාන්න කියලා. ග්‍රාම සේවක දැරිවි එහෙම කිව්වා.

පොල් පොහොර පෝරමේ අරගෙන ගෙදර ආවා කියමුකො. පිට පළාතකින් ඇවිත් දවල් කාලයේ අපේ ගමේ මාලු විකුණන තවත් ගොයියෙක් මට අතර මගදි සම්මුඛ උනා.

අර නිශාන්ත ගොයියගෙ 8000 කට ඇරලා දෙන්නෙක් අද පාන්දරම මාලු ගෙන්න යද්දි.

ආ මිනිහද කෙනා...අපිට මීගමුවට ආරංචිය ආවා වෙච්ච වැඩේ ගැන. ඔයාට කියන්න මල්ලි දැන් මාස දෙකකට විතර කලියෙන් මාවත් කොල්ල කන්න ආවනෙ දෙන්නෙක් මහ දවාලෙ.

මම එදා මාලු බයිසිකලේ නවත්තලා පොඩියක් අකුලක් අස්සට රිංගුවා මුත්තරා බරෙන් නිදහස් වෙන්න. මම එතැනින් ආයෙමත් බයිසිකලේ ලගට එද්දි  එතන දෙන්නෙක් හිටියා.

මල්ලි...ඉස්සො ඉන්නවද ? උන් එහෙම ඇහුවා. මම ඉන්නවා කිව්වා.


ලොකු උන්ද පොඩි උන්ද ?

ලොකු උන්

කීයද ගාන

කිලෝ එකක් 1000 යි.

මෙහෙම කථාව යද්දි කථාවට සම්බන්ධ නැති අනිත් එකා බයික් එක උඩ ඉදන් 

මචං ඉක්මන් කරපං....  ඔහොම කියනවා.

මම මාලු පෙට්ටිය ඇරලා මාලු පෙන්නුවා. ඉස්සො ගන්න හදපු මිනිහා මගෙන් අහනවා 5000 ක් මාරු කරන්න නැද්ද කියලා. මගෙ ලග මාරු කරන්න සල්ලි තිබ්බත් මම නෑ කියලා පොඩි සල්ලි විතරක් තියාන ඉන්න පර්ස් එක අැරලා පෙන්නුවා.

වැඩක් නෑ මචං...ඉක්මනට යං කියලා තමයි අන්තිමට මිනිහා ගිහින් බයිසිකලේට නැග්ගෙ. ඔන්න ඔහොමයි මල්ලි තත්වෙ. මාලු පෙට්ටියක් බැදගෙන යනවා දැක්කම අපිවම කොල්ල කන්න ටාගට් කරන උන් ටිකක් වෙනමම ඉන්නවා. මම මහ පාන්දර මාලු ගෙන්න යන්නෙත් නෑ...ගේන්න ගියත් තව වෙළෙන්දො දෙතුන් දෙනෙක් එක්ක යන්නෙ. එතකොට කොල්ල කන්න ආවොත් මාලු මන්න පාරක් හරි දෙන්න පුලුවන් මකබෑවිලාම පල කියලා.

ගන්න අක්කෙ පණ පිටින් ජීලාවො..පන්සීය 360 යි. මිනිහා මාලු බිස්නස් එකකට ඇන්ටර් වෙද්දි සිරා කොලුවා නිවස බලා ආවා.

අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න වෙර දරන මේ වගේ මිනිහෙක් කොල්ල කනවා කියන්නෙ කොල්ල කන එකා මොන වගේ මානසික මට්ටමක එකෙක්ද ? මට හිතාගන්න බැරි උනා.

සමහරු මළගෙවල් හොයාගෙන ගිහින් බූරු ගහලා අම්බානක පැරදිලා පාන්දර පාරට බැස්සම හිතේ කේන්තියට අහුවෙන එකාව කොල්ල කනවා. එහෙමත් නැත්තං ඉතිං කුඩ්ඩෙක් තමයි පුතේ.

ගෑණි මැරිච්ච දා ඉදන් හන්දියෙ පිලට තනි රකින පියදාස මාමා එහෙම කිව්වෙ බුලත් කෙල තළියක් පාර පුරා රටා අඳිද්දි.





මම කාමරේ අරින සිරා කොලුවා.


Tuesday, September 20, 2016

44 උපුල් විලේදී මනුස්සකමේ සුවඳ විඳ ගත්තෙමි.

තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.

1 කොටසට

අද එතැන් සිට.....

ලොකු හාමුදුරුවො අත දික් කර පෙන්වූ ඉසව්වට බස් රථයේ හැමෝගෙම නෙත් යොමු උනා. ඔතන ඔය අලුතින් වහලා දාලා තියෙන පස් යට මහා සද්දන්තයෙක් ගමේ අය මිහිදන් කලා. දල ඇතෙක්. ගමේ අයට එයාව මුලිච්චි වෙනකොට කාලෙකට කලින් වෙඩි වැදුන තුවාල උඩුදුවලා බොහොම අසාධ්‍ය වෙලා හිටියෙ. වනජීවී එකටත් කියලා ගමේ අය ඇතාට හෙවනක් හදා දීලා, කෑම බීම ආදියෙනුත් සෑහෙන්න උදව් පදව් කලා. ඒත් තුවාල වල තිබුන බරපතල කම නිසාම බේරගන්න බැරි උනා. ඒ සතා අන්තිම හුස්ම හෙලන්න කලියෙන් අපේ පන්සලේ හාමුදුරුවො කීප දෙනෙක් එක්ක එතනට වැඩම කරලා පිරිත් සජ්ජායනා කරන්නත් අපිට හැකි උනා. මරණය සිද්ධ වෙලා වළ දාන වෙලාවෙ ඒ සත්වයට පාංශකූලය දීලා පින් පෙත් අනුමෝදන් කරන්නත් ගමේ අය එකතු පහදු උනා. මේ ගම් වල මිනිස්සුන්ට මොන තරම් අලියාගෙන් කරදර තිබුනත් සතෙක් කදරයක වැටුනාම ඒ හැමදේම අමතක කරලා උදව් කරන්නෙ.

අපේ බස් රථය ආයෙමත් ගමන් ආරම්භ කරලා තාර කැඩුන හුදෙකලා මාර්ගය දිගේ ඉදිරියට ඇදෙනවා. ලග ලග නිවාස නැති මේ ඉසව්වෙ  අතරින් පතර තමයි ගෙයක් දෙකක් දකින්න ලැබුනෙ. මාර්ගය දෙපැත්තෙම තිබුනෙ විශාල කුඹුරු යායක්. අපි එහි සංචාරය කල කාලයේ තමයි ඒවායෙ අස්වැන්න නෙලමින් තිබුනෙ.

මාර්ගයට පෙනෙන කුඹුරු යාය

තාර කැඩුන මාර්ගය තවත් නොබෝ වේලාවකින් ගුරු පාරක් බවට පත් උනා. කාලෙකින් අහස් දිය වැටිලා නැති නිසාම මතුවෙන දූවිල්ල කපාගෙන බස් රථය ඉදිරියට ඇදෙනවා. ඒ දිහා ගමේ මිනිස්සු දෑස් අයාගෙන බලා ඉන්නවා. දැන් අපි උපුල් විල රජමහා විහාරය කිට්ටුවටම ඇවිල්ලා.

ගුරු පාර දිගේ තරමක් මග ගෙවූ අපේ නඩේ ඔන්න රජමහා විහාරයෙ දොරටුව අසලටම ඇවිල්ලා නතර උනා. අපට කලින් මෙතනට වැඩම කරලා තිබුන කඳුරු වැවේ පුන්න හිමියන් එහි කටයුතු සියල්ල මැනවින් සංවිධානය කර තිබුනා. ඒ වෙද්දිත් දහම් පාසලේ පුංචි දරු පැටව් ඒ අයට ආධාර දෙන්න කිලෝමීටර් 200 කට වැඩි දුරක ඉදන් පැමිණි ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලා පිළිගන්න පුංචි ළමා සාරියකින්, පුංචි සරමකින් සැරසිලා පෙර මග බලාන උන්නා.



ආධාර කණ්ඩායම කප්රුක් කොඩිය යටින් විහාරයට ඇතුලුවෙද්දි අවට කලාපයම සාධු නදින් රැව් පිළිරැව් දුන්නෙ ගම්වාසීන් බොහෝ පිරිසකුත් මේ සත්කාර්යය දෑසින් දැකගන්න ඒ ස්ථානයට ඒ වෙද්දිත් රැස් වී තිබූ හින්දයි.


කප්රුක් පූජාවෙ වැඩකටයුතු අහවර උනාට පස්සෙ මේ පොඩි ඇත්තො තමන්ගෙ අතේ එතෙක් වෙලා හිරකරගෙන තිබුන සුදු නෙළුම පිළිගන්නලා අපේ කණ්ඩායමේ හැමෝම තමන්ගෙ දහම් පාසල වෙනුවෙන් සාදරයෙන් පිළිඅරගෙන උත්සව සභාව වෙත කැන්දගෙන ගියෙ තමන්ගෙ ගුරුවරුන්ගෙ මගපෙන්වීම යටතේ.

උපුල්විල රජමහා විහාරයෙ ඇත්තො කුඩා වේදිකාවක් සහිත කදිම උත්සව සභාවක් තමන්ගෙ ශක්තියේ ප්‍ර‍මාණයට ඒ වෙද්දි එහි තනා තිබුනා. සියල්ලන්ම පංච ශීලයේ පිහිටුවා උත්සවේ වැඩකටයුතු ආරම්භ කලේ උපුල්විල රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින්.


මේ සත්කාර්යයේදි උපුල්විල විහාර පාර්ශවය වෙනුවෙන් සංවිධාන කටයුතු වල බර කරට ගත්ත කඳුරු වැවේ පුන්න හාමුදුරුවො තමන්ගෙ පිළිගැනීමේ කථාව ඇතුලෙදි උපුල්විල වැනි දුරබැහැර පෙදෙසක, මේ දහම්පාසලේ දරුවො මුහුණදෙන ගැටලු අඩුපාඩු ගැන සිදුකල විවරණය ඉතාම සංවේදියි. මට එතැනදිත් කල්පනා උනේ මෙවැනි පිරිසකට මේ අයුරින් ආධාර දෙන්නට සහභාගි වන්නට ලැබුන මේ අවස්ථාව මොන තරම් වටිනා එකක්ද යනුවෙන්.

කඳුරු වැවේ පුන්න හිමියන්

නායක හිමිවරුන් තිදෙනා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්.

මාකේවිට තරුණ සංගමයේ සභාපති තුමා
මාකේවිට තරුණ සංගමය වෙනුවෙන් එහි අනුශාසක තෝරපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවැත්වූ කෙටි අනුශාසනාවකින් පස්සෙ ත්‍යාග බෙදාදීම ඇරඹුනා. එතෙක් වේලා ඉතාම උනන්දුවෙන් මේ සත් කාර්යය දෙස ආශා දෑසින් බලා සිටි කුඩා දරු දැරියන්ගෙ වගේම එයාලගෙ දෙමාපියන්ගෙත් නෙත් අගට සතුටු කඳුලු පිරුනෙ සතුට වැඩිකමට වෙන්න ඇති.

 තෝරපිටියේ ආනන්ද හිමි

මොනතරම් බාධක තිබුනත් ඒවා මැඩගෙන දිනපතාම දහම්පාසලට පැමිණි දූ දරුවන් දිරිමත් කරන්න පැමිණීමෙන් ඉදිරියෙන් සිටි අයට මුලින්ම ත්‍යාග ලබා දුන්නා. එයින් අනතුරුව වසරින් වසර ත්‍යාග ප්‍ර‍දානය ඇරඹෙද්දි කුඩා දරු දැරියන් ඉතාම උද්යෝගයෙන් තමන්ට හිමි ත්‍යාග ලබාගන්නට ඉදිරියට ආවා. ඒ අය වයසින් පොඩි උනාට කලබලයක් නැතුව තමන්ගෙ අවස්ථාව එළඹෙන තෙක් ඉවසීමෙන් සිටි ආකාරය ඉතාම කදිමයි.

අපිටත් තෑගි ලැබේවිද ?



දරුදැරියන්ගෙ ත්‍යාග අතරට අලංකාර පොත් බෑගයක්, අතිරේක කියවීම් පොත්, අභ්‍යාස පොත්, දහම් පාසල් එන්නට උවමනා ඇඳුම් සකසා ගන්නට අවශ්‍ය රෙදි, පෑන් පැන්සල් ඇතුලත් පැන්සල් පෙට්ටියක්, DSI පාවහන් ලබා ගන්නට හැකි තෑගි වවුචරයක් වැනි දෑ අයත් උනා.

මේ දරුවන්ගෙ නැණස පාදන්නට නොයෙක් කරදර බාධක මැද්දෙ කැපවෙලා කටයුතු කරන ගුරු භවතුන් හටත් ඒ අයගෙ සේවය අගය කරලා ත්‍යාග ලබා දෙන්න අපි පසුබට උනේ නෑ. මේ සියලු දේට අමතරව එතෙක් මේ දහම් පාසලට අඩුවක් වෙලා තිබුන කාර්යාලයක් වගේම එයට අවශ්‍ය වෙනත් උපකරණත් තරුණ බෞද්ධ සංගමය විසින් ලබා දුන්නා. කාලෙකට කලියෙන් හේලීස් ආයතනයෙන් උපුල්විල ගමට පිරිසිදු පානීය ජලය ලබාගත හැකි විශාල පිරිපහදු යන්ත්‍ර‍යක් පරිත්‍යාග කොට තිබුනත් ඒ ජලය නිසි පරිදි ගබඩා කරගන්නට උපුල් විල රජමහා විහාරයට පහසුකම් තිබුනෙ නෑ. ඒ සඳහා උවමනා පානීය ජල ටැංකි දෙකකුත් මෙහිදී ප්‍ර‍ධානය උනා.


මේ සියලු කටයුතු අතරෙ උත්සව භූමියේ ඉදිවෙලා තිබුන පුංචි වේදිකාව උඩ මේ පුංචි ඇත්තො විවිධ ප්‍රාසාංගික අංග ඉදිරිපත් කලා. ඒ අයට තියෙන සීමිත පහසුකම් එක්ක ඒ දක්ෂතා ඉතාම ඉහළ බවයි අපේ කණ්ඩායමේ හැමෝගෙම පාහෙ අදහස උනේ.




උපුල්විල ගම්මානය හරිම අව්‍යාජයි කියලා මට දැනුනෙ එහි ගම්වැසියන්ගෙ අල්පේච්ච ජීවන රටාව නිසාම නෙමෙයි. ඒ ඇත්තන් අප වෙනුවෙන් පිළියෙල කර තිබූ සංග්‍ර‍හයන් පවා ඔවුන්ගේ ශක්තිය අනුව පිළියෙල වී තිබීම නිසයි. ආධාර කණ්ඩායමේ හැමෝගෙම පිපාසය නිවන්නට ඔවුන් විසින් පිළි්යෙල කර තිබුනේ දෙහි යුෂ පානයක්. ඊට අමතරව උපුල්විල ගම්මානයට ආවේණික නාරං කැවුම් වලට සමාන ගැඹුරු තෙලේ බදින ලද පොල් බෝලත්, පෑන් කේක් වලට සමාන වෙල්ල වැහුම් නැමති ආහාරයත් තිබුනා. මේ ආහාර දෙවර්ගයම ඉතාම ප්‍ර‍ණීත බව නොකියාම බෑ.


තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ අනුග්‍ර‍හයෙන් දරුවන්ට ලැබුන සංග්‍ර‍හයන්

ත්‍යාග බෙදාදීලා අහවර උනාම ආයෙමත් පරංගියාවාඩිය පන්සලට පැමිණිලා දිවා ආහාරය සකසා ගන්නයි අපේ අරමුණ වෙලා තිබුනෙ. ඒත් තමන්ගෙ ගමට ආධාර දෙන්න පිට පළාතකින් පැමිණි ඇත්තන් දිවා ආහාරයෙන් සංග්‍ර‍හ නොකොට සමුදීම තමන්ට මදිකමක් කියලා හිතුන නිසාදෝ ගමේ සම්පත් උපයෝගී කරගෙන ඉතාම රසවත් දිවා ආහාරයක් ඒ ඇත්තන් සූජානම් කොට තිබුනා. නෙළුම් කොලේ බත් ටිකක් කන්න ලැබෙන්නෙ ඉඳලා හිටලා නොවැ. ඉතින් කවුද අකමැති වැව් මාලු ටිකක්, නෙළුම් අල ටිකක් එක්ක බත් ඩිංගක් කන්න. ඉතින් ඒ අවස්ථාව අපිට උදා උනා.  සිරා කොලුවා මීට කලියෙන් කවදාවත් රස විදලා නැති, කුරහන් තලප, නෙළුම් බට්ටො වගේම සියඹලා කිරිහොද්දත් මේ කෑම වේලෙදි රස බලන්න ලැබුනා. උපුල්විල ගමේ අම්මලාගෙ අත් ගුණය ගැන නම් කියන්න වදන් නෑ. අපේ දිවා ආහාරය ඒ තරම් රසවත්.


නෙළුම් කොලේ බත් සමග මනුස්සකමත් බෙදූ උපුල්විල දහම් පාසලේ ගුරු මණ්ඩලය
 නෙළුම් බට්ටො ගැන අපේ පළාත් වල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කල යුතුයි. වැවක නෙළුම් මලක් පිපිලා අහවර උනාම කෝන් එකක් වගේ ඉතිරි වෙන කොටස තුල නෙළුම් බීජ අඩංගු වෙනවා. මේ කොටස හොඳින් මෝරා අහවර උනාට පස්සෙ ඒ තුලින් ලබාගන්න නෙළුම් බීජ තම්බා ආහාරයට ගන්න පුලුවන්. අන්න ඒවා තමයි නෙළුම් බට්ටො.



දිවා ආහාරයෙන් පස්සෙ උපුල්විල රජමහා විහාරයේ දහම් පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන පරාංගියා වාඩිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය සන්ධ්‍යා කුමාරි මහත්මිය සමග කෙටි කථාබහක නිරත වෙන්න සිරා කොලුවට අවස්ථාවක් ලැබුනා. මේ තියෙන්නෙ එතුමියගෙ අදහස්.

සන්ධ්‍යා කුමාරි මහත්මිය
පරංගියාවාඩිය කියන්නෙ ත්‍ර‍ස්තවාදී තර්ජන නිසා සෑහෙන්න බැටකෑව ගමක්. අපේ ගමට යාබද ගම වතාවක් සම්පූර්ණයෙන්ම ත්‍ර‍ස්තවාදියො විසින් ගිණිබත් කලා. මේ මොන තර්ජන තිබුනත් පරංගියා වාඩිය ගමේ මිනිස්සු පාසලත් පන්සලත් රැකගෙන ගොවිතැනින් ජීවිකාව කරගෙන හරිම අමාරුවෙන් ජීවත් උනා.

මහ වැහි වැටිලා යාන් ඔය ගැලුවොත් මිනිස්සුන්ගෙ වගා බිම් සියල්ල පාළු වෙනවා. තවත් කාලෙකට හබරණ පැත්තෙන් පැමිණෙන අලි ගම් වදිනවා. මේ කොයි විදියට බැලුවත් පරංගියාවාඩිය ගමේ මිනිස්සුන්ට තියෙන ගැටලු වල නම් නිමක් නෑ. ගොවිතැනින් ජීවිකාව රැකගන්න මේ ගමේ බහුතරයකට තමන්ගෙ දූ දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න මහ සල්ලියක් නෑ. ඇරත් මේ තියෙන ගැටලු එක්ක ඒ ඇත්තන්ට ගමෙන් පිටවෙලා රස්සාවක් කරන්නත් බෑ. තමන්ගෙ පවුලෙ ආරක්ෂාව ගැන බැලිය යුතු හින්දා.

පරංගියා වාඩිය පාසලේ දූ දරුවො 265 ක් විතර ඉන්නවා. 1 වසරෙ ඉදන් 11 වසර දක්වා තමයි පන්ති පැවැත්වෙන්නෙ. ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ප්‍ර‍තිඵල 100%. ඒ දරුවොම තමයි උපුල්විල පන්සලේ දහම් පාසලේදි ආයෙමත් අපිට මුණ ගැහෙන්නෙ. පරංගියාවාඩිය පාසලේ ගොඩනැගිලි සහ ගුරුවරුන් ප්‍ර‍මාණවත්, නමුත් අපිට තියෙන ගැටලුව තමයි අපේ දරුවන්ට නව තාක්ෂණය එක්ක ගැටෙන්න තියෙන අවස්ථා ඉතාම සීමිත වීම. වතාවක් එල්ලාවල මේධානන්ද හාමුදුරුවො පාසලට පරිගණක 10 ක් පරිත්‍යාග කලා. ඒත් අද වෙද්දි ඒ බොහොමයක් ක්‍රියා කරන්නෙ නෑ

පිටපළාත් වලින් ඇවිල්ලා ඉන්න ගුරුවරු බහුතරයක් මේ පාසලේ වැඩ කරන්නෙ. ඒ හැමෝම මේ දරුවන්ට තමන්ට පුලුවන් උපරිමයෙන් උගන්වලා ඒ අයගෙ අනාගතය අදට වඩා යහපත් එකක් කරන්න උත්සාහ කරන්නෙ මේ දරුවන්ට මේ තියෙන ගැටලු වලින් මිදිලා යහපත් ජීවිතයක් ගත කරන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය නිසයි. සමහර වෙලාවට ගුරුවරු ප්‍ර‍ශ්න පත්‍ර‍ අතින් ලියලා හොරොව්පතාන ටවුමට අරගෙන ගිහින් ඡායා පිටපත් ගහගෙන ඇවිත් මේ දරුවන්ට විභාග වලට පිළිතුරු සපයන්න ඒවා ලබාදෙන්නෙ.

ඒත් ගමේ ගොඩාක් දරුවො සාමාන්‍ය පෙළ දක්වා අමාරුවෙන් පාසල් ඇවිල්ලා එතනින් නතර වෙනවා. සමහරු නගරයේ රස්සාවකට යනවා. විශේෂයෙන් ගෑණු දරුවො ඉක්මනින් කසාද බඳිනවා. නැත්තං ගාමන්ට් එකක හරි රස්සාවක් හොයා ගන්නවා. තමන්ගෙ පවුල් වල තියෙන ආර්ථික තත්වය එක්ක ඒ අයට අකමැත්තෙන් හරි  ඒ දේවල් කරන්න වෙලා තියෙනවා. එතනින් එහාට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන අතලොස්සකුත් අපේ ගමේ ඉන්නවා.

දහම් පාසල් ගොඩනැගිල්ල ඈතින් පෙනෙන ආකාරය

උපුල්විල දහම් පාසල යුද්ධය පැවතුන සමයේ ඉඳන්ම ගම්වාසීන් එකතුවෙලා බොහොම අමාරුවෙන් පවත්වාගෙන ආවෙ. දහම්පාසලට කියලා ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳි උනේ 2015 දි World Vision ආයතනයේ අනුග්‍ර‍හයෙන්. ඒ ගොඩනැගිල්ලෙ පන්ති පවත්වන්න උවමනා කරන ඩෙස් බංකු හැදුවෙ මේ දරුවන්ගෙ දෙමාපියො. අපේ දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න හේලීස් ආයතනය උදව් කලා. ඒත් පොහොය දිනට සිල් ගන්න එන ඇත්තන්ට ප්‍ර‍මාණවත් ඉඩ පහසුකම් නැති හන්දා එදාට මේ පන්ති කාමරේ එයාලට දීලා දහම් පාසල නිවාඩු දෙන්න සිද්ධ වෙනවා.

දහම් පාසලට තියෙන එකම වැසිකිළිය දැන් ගොඩාක් අබලන්. ඒ නිසා අලුතින් වැසිකිළියක් දෙකක් ඉඳි කරගන්න හැකි නම් බොහොම වටින වැඩක්. පන්සලට බුදු පිළිමයක් තිබුනෙ නැති නිසා ටික කාලෙකට කලින් තරුණ සංවිධානයක් බුදු පිළිමයක් හදන ව්‍යාපෘතියක් පටන් ගත්තා. නමුත් ඒ අයට මේ වෙද්දි මුදල් හිගකමක් තියෙන නිසා ඒ කාර්යය දැන් අතර මග නැවතිලා. කවුරු හරි සුපින්වතෙක් හෝ සංවිධානයක් ඒ බුදුපිළිමයේ වැඩ අහවර කරගන්න උදව් කරනවා නම් දහම් පාසලට එන පුංචි දරු දැරියන්ට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව බුද්ධ වන්දනාවේ යෙදෙන්න පහසු වේවි.

තවමත් වැඩ අහවර නොවූ බුදු පිළිමය

තමන්ගෙ ගම, තමන් සේවය කරන වටපිටාව ගැන සන්ධ්‍යා කුමාරි ගුරුතුමිය දීර්ඝ විග්‍ර‍හයක යෙදුනා. ඇයත් දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ බාලම දියණිය ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙදි නැටුම් අංග ඉදිරිපත් කරන්නත් දායක උනා.

ත්‍යාග ප්‍ර‍දානෝත්සවයෙ වැඩ අහවර උනාට පස්සෙ අපි ආයෙමත් තිරප්පන්කඩවල රජමහා විහාරයට ඇවිත් නෙළුම් වැවේ දියවරින් දාහය නිවාගෙන ආයෙමත් ගම රට බලා එන්න පිටත් උනේ මතු දවසක මේ වැනි යහපත් කාරියකට දායක වීමේ ආශාව සිතේ තද කරගෙන. දින දෙකක කාලයක් තුල මා සමග බොහෝ සේ හිතවත් උන පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමක් මගේ අත් දෙකේ එල්ලිලා.


ආයෙමත් කවදද අපිව බලන්න එන්නෙ ?

ඉක්මනින්ම....මම උත්තර දුන්නා.

ඉක්මනින්ම කිව්වෙ ?

හාමුදුරුවො අදට වඩා ලොකු හාමුදුරු කෙනෙක් වෙච්ච දවසට මම ආයෙමත් එන්නං.

ඔය ඇත්තමද...පුංචි ස්වාමීන් වහන්සේ හීන් හිනාවක් නැගුවා.

මෙන්න මේක අධ්‍යාපන වැඩ වලට යොදාගන්න. පුංචි මුදලක් ඒ පුංචි අත්වල තනි කලාම උන් වහන්සේලා ඒ වත්කම දෝතින්ම ග්‍ර‍හණය කරගත්තා. සමහර විටෙක මේ සල්ලි පවුලෙ අගහිගකම් නැති කරගන්න යොදවාවි. ඔවුන්ගෙන් සමුගන්න අවස්ථාවෙදි මට එහෙම හිතුනා.


පසු සටහන


උපුල්විල රජමහා විහාරයේ ත්‍යාග ප්‍ර‍දානෝත්සවය පුරාම ඒ කටයුතු මැනවින් මෙහෙයවමින් නිවේදන කටයුතු වලින් දායකත්වය දුන්නෙ බොහොම පියකරු දැරියක්. කිසිම ගුරුහරුකමක් නැතුව ජන්මයෙන් තුරුලුකරගත්ත හැකියාව මේ යැයි කියමින් ඇය ඉතාම ව්‍යක්ත ලෙස භාෂාව හැසිරුවා. ඒ වගේම පුංචි වේදිකාව පුරාම ඇවිදිමින් වෘත්තීය මට්ටමේ සන්නිවේදකයෙකුගේ හැඩතලා පෙන්වූවා. සමහර වෙලාවට තමන් ආමන්ත්‍ර‍ණය කරන වචන වල අර්ථය ඇගේ මුහුණේ හැගීම් වලින් නරඹන්නන්ට දකින්න ලැබුනා

මේ කෙල්ල නම් හරිම දක්ෂයි. කවුරු හරි මේ දේවල් හරියට කියා දුන්නොත් හොඳ තැනකට යයි.  ඒත් ගමේ මල් ගමේම පරවෙලා යන්න සිද්ධ වෙන එකනං අපරාදයක්. අපි එක්ක ගිය සමහරු එහෙම කිව්වා.

කාගේත් සිත් දිනාගත් උපුල්විල පුංචි සමනලිය

දහම්පාසලේ තමන්ගෙ සහෝදර සහෝදරියන්ට තෑගි ගන්න එන්න කියලා නම් අඩගැහුවට මේ දියණියට තෑග්ගක් ගන්න එන්න කියලා කිසිවෙක් ආරාධනය කලේ නෑ.

ඔයාට තෑගි නැද්ද. මම ඇගෙන් ඇහුවා.

මට පැමිණීමට ලැබෙන තෑගි ලැබෙන්නෙ නෑ. මගෙ පැමිණීම අඩුයි මේ අවුරුද්දෙ. ඇය මයික්‍රපෝනය අතේ තද කරගෙන මන්දස්මිතියක් නැගුවා. සන්ධ්‍යා කුමාරි මහත්මිය හරහා මම දැරිවියගෙ මව්තුමිය මුණ ගැහුනා. ඇගේ කථාව බොහොම සංවේදියි.

දුවගෙ තාත්තා ලංගම බස් එලෙව්වා. ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ඉනෙන් පහළ පණ නැතිව ගෙදර ඉන්නෙ. මම කුලී වැඩකට යන්නෙ නැති දවස් වලට එයාව බලාගන්න පුලුවන්. ඒත් මම ගෙයින් එළියට යනවා නම් මේ දුව තමයි තාත්තව බලාගන්නෙ. එදාට ඉතින් දහම්පාසල් එන්න ලැබෙන්නෙ නෑ. මගේ ලොකු දුව පේරාදෙණිය සරසවියෙ ඉගෙන ගන්නෙ. එයත් බොහොම අමාරුවෙන් එතැන  අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කුලියක් මලියක් කරලා අපිට යමක් දෙන්න කෙනෙක් නැති නිසා මට හැකි විදියට මේ දුවලගෙ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරනවා.

ඇගේ ඇස් අග කදුලක් මෝදු වෙනවා මම යන්තමින් දැක්කා. හිස් අහස විතරයි දහම් පාසලට ඉහළින් තිබුනෙ. ඉරට මුවාවෙන්නට වලාකුලකුදු නැති කාෂ්ඨක රස්නෙ යට මේ මිනිසුන්ගෙ ජීවිත මොන තරම් වියලිලා ඉරිතලා ගිහින්ද ? මම තනිව කල්පනා කලා.

තරුණ සංගමයෙ විශේෂ ඉල්ලීමක් අනුව මේ දියණියට පැමිණීමට ලබාදෙන ත්‍යාගය ලබා දුන්නා.

ඔබතුමන්ලා නැත්තං මට මේ තෑග්ග අද ලැබෙන්නෙ නෑ. ලස්සන රෝස පාට බෑගය අත ගාමින් ඇය අපිට කිව්වා.

ඔයා කැමතිද කොළඹ යන්න. නිවේදන කලාව ගැන ඉගෙන ගන්න. රූපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට සහභාගි වෙන්න.

මම නම් කැමතියි. ඇය සුදුවැලි මත මාපට ඇගිල්ලෙන් හාරමින් හොරැහින් අපි දිහා බැලුවා.

ඒත් තාත්තා බලාගන්න හිටියම කොහෙවත් යන්න විදියක් නෑ. ඇරත් කොළඹ වගේ දුරකට මාව එක්කගෙන එන්න කෙනෙකුත් නෑ.

දුවේ...ගැටලු බාධක හැමෝටම තියෙනවා. ඒවා පන්නරයක් කරගෙන හොඳට ඉගෙන ගන්න. මේ මහත්තුරු හැකි විදියට උදව් කරාවි. සන්ධ්‍යා මහත්මිය ඇගේ හිස අතගාමින් එහෙම කිව්වා.

දහසක් දුක් කම්කටොළු මැද්දෙන් හිනාවෙන්න වෙර දරන මේ මල් කැකුලට තමන්ගෙ අනාගතය ජයගන්න තවත් බොහෝ දුරක් යා යුතුයි. ඉතින් ඒ දුර අවම කරලා දෙන්න මේ ලිපිය කියවන ඔබට හැකියි. කැමති නම් උපකාර කරන්න ඔවුන්ගේ දුප්පත් දහම් පාසලට, කැමති නම් උපකාර කරන්න බාගෙට වැඩ නිමවුන බුදු පිළිමයේ කටයුතු නිම කරන්න, කැමති නම් උදව් කරන්න මේ දියණියගෙ අනාගතයට, කඳුරුවැවේ පුන්න හාමුදුරුවො අවශ්‍ය සම්බන්ධීකරණය ඔබ වෙනුවෙන් සිදුකරාවි.

කඳුරුවැවේ පුන්න හිමි - 071 611 8062



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

හොරොව්පතාන පැත්තෙන් ඔබ කොහේ හෝ සංචාරයක යනවා නම් තිරප්පන්කඩවල විහාරස්ථානයට ගොඩ වදින්න අමතක කරන්න එපා. විහාරස්ථානයට හැරෙන ස්ථානයේම සිවිල් ආරක්ෂක කඳවුරකුත් තියෙනවා. මේ පන්සලේ පුංචි හාමුදුරුවො පන්සලට අමුත්තො එනවට හරිම මනාපයි. ඒ අය බැහැදැකලා, සුදු නෙළුමින් විකසිත උන තිරප්පන් කඩවල වැවේ සිහිල විඳගෙන ඔබට ආපසු එන්නට හැකියි.

සිරා කොලුවාගේ අවිවේකය නිසා මෙම ලිපිය සිරාගේ කාමරය තුල පලවන්නේ සිතුවාට වඩා බොහෝ ප්‍ර‍මාදයකිනි. ඒ පිළිබඳ මගේ කණගාටුව.

Tuesday, August 30, 2016

58 පරංගියාවාඩියට තෑගි දෙන්නට ගියෙමි.

පරංගියාවාඩිය....ඔබ සමහරක් විටක කවදාවත් අහලා නැති නාමයක් වෙන්න ඇති. නමුත් මේ අපේ රටේ තවත් ග්‍රාමයක නමක්. සිරා කොලුවත් ඉස් ඉස්සෙල්ලාම මේ නම ඇහුවෙ හරියටම ගිය මාසෙ දවසක. පොසොන් බත් දන්සැල පවත්වන මාකේවිට තරුණ  සංගමයෙ සභාපති තුමා තමයි පරංගියාවාඩිය ගැන මට හා පුරා කියා කියලා දුන්නෙ. අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ලඟා වෙලා අළුත් ඔය මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් පැමිණීමෙන් පරංගියාවාඩියට පැමිණෙන්න පුලුවන්.

පුතා...අපි පරංගියාවාඩිය කියලා දුෂ්කර ගමක දහම් පාසලකට උපකාර කරන්න ලෑස්ති වෙනවා මේ අවුරුද්දෙ දන්සැල් සමිතියෙ ප්‍ර‍ජා සත්කාරය විදියට. අපි එක්ක එකතුවෙනවද ? ඔහු ඇහුවෙ එහෙමයි. කවදත් හොඳ දේකට පෙරටම යන පුරුද්ද තවමත් මා ලග තියෙන නිසා මමත් ඒ වැඩසටහනට එකතු උනේ දෙවරක් හිතන්නෙ නැතුව.

වර්තමානයේ පරංගියාවාඩිය කියලා හැඳින්වූවාට අතීතයේ මේ ග්‍රාමය හඳුන්වලා තියෙන්නෙ උපුල්විල කියන නාමයෙන්. ගමේ ඉතිහාසය අනුරාධපුර යුගයේ රජකම් කල කූටිකණ්න තිස්ස හෙවත් මකලන්තිස්ස රජතුමාගෙ රාජ්‍ය සමය දක්වාම දිව යනවා. ලංකා ඉතිහාසයේ රජකමට පත් පළමු කාන්තාව වන අනුලා බිසව මරා දමා මේ රජතුමා රාජ්‍යත්වයට පත්වන්නේ බුද්ධ වර්ෂ 500 දී පමණ. අනුලා බිසව අතෘප්තිකර කාම පිපාසාවෙන් පෙළුණු තැනැත්තියක බවත්, තමාගේ පහසට ලොල් වූවන් රජකමට පත් කරමින්, වරින් වර ඔවුන් මරා දමමින්, රටවැසියන්ගේ ද්වේෂයට ලක් වී සිටි තැනැත්තියක් බවත් ලංකා ඉතිහාසයේ සටහන් වෙනවා. මකලන්තිස්ස රජතුමා වර්ෂ 22 ක් ඉතාම මැනවින් රට පාලනය කොට, වෙහෙර විහාර තනවමින්, වාරිමාර්ග දියුණු කිරීමට දායක වූ රජකෙනෙක්. මහවැලි ගංගාව ආශ්‍රිතව මුලින්ම වාරිමාර්ග කර්මාන්තයක් ඇරඹූ රජු ලෙසත් ඔහුගේ නම ඉතිහාස ගතවී තිබෙනවා.

මේ රජතුමා වැව් කර්මාන්තයට සුදුසු ස්ථානයක් සොයමින් සිටි කාලයේ, මේ පෙදෙසේ කඳු දෙකක් හරහා ගලන ජලයෙන් නිර්මාණය වූ මානෙල් මලින් සුසැදි මනස්කාන්ත විලක් දුටු බවත්, පසුව ඒ කඳු ද්විත්වය යා කර වේල්ලක් ඉඳිකරවා, ජනතාව පදිංචි කරවා ඔවුන් වෙනුවෙන් විහාරයක්ද තැනවූ බවත් සඳහන් වෙනවා. මේ වැව උපුල් විල වැව ලෙසත්, විහාරය උපුල් විල රජමහා විහාරය ලෙසත් වර්තමානයේද හැඳින්වෙනවා.

ඉස්සර දවසක උපුල්විල යනුවෙන් හඳුන්වපු මේ ගම්මානය වර්තමානයේ හැඳින්වෙන්නෙ පරංගියා වාඩිය යනුවෙන්. ත්‍රීකුණාමලය වරාය පැත්තෙන් රට තුලට පැමිණි පෘතුග්‍රීසි හමුදා කණ්ඩායමක් මේ ගමේ දින කීපයක් කඳවුරු බැඳ තිබීම ඒ නාමය යෙදෙන්නට ආසන්න හේතුවයි. නමුත් ගමේ වැඩිහිටියො පරංගියා වාඩිය කියන නමට එතරම් කැමැත්තක් නෑ. ඔවුන් කැමති උපුල්විල කියන නාමයට. පරංගියා වාඩියේ සිට ත්‍රිකුණාමලයට තියෙන්නෙ කිලෝමීටර් 40 කට මඳක් වැඩි දුරක්. මේ ගමට මායිම්ව සේරුනෑව, බණ්ඩාරකුඹුක් වැව ආදී ගම් පිහිටා තියෙනවා. මේ ගම්මාන ත්‍ර‍ස්තවාදී තර්ජන පැවති සමයේ එයින් දැඩිලෙස බැට කෑ ගම්මාන බවත් කිව යුතුයි. පරංගියාවාඩියෙ ඉතිහාසය ඔන්න ඔහොමයි.

සෑහෙන අතීතයක ඉඳන් නොයෙක් අපහසුතා මැද පවත්වාගෙන එන උපුල්විල රජමහා විහාරයේ දහම් පාසලේ දරුවන්ට අපිට හැකි විදියට යමක් කරමු කියලා මුලින්ම යෝජනා කලේ දන්සැල් කමිටුවෙ ප්‍ර‍ධාන අනුශාසක තෝරපිටියේ ආනන්ද නායක හිමියන් විසින්. අවශේෂ සාමාජිකයන්ගේ ශ්‍ර‍ම සහ ආර්ථික දායකත්වයන් මතින් ඒ සිතුවිල්ල යථාර්තයක් කරගන්න අවසානයේදි උන්වහන්සේට හැකි උනා. දන්සැල් සමිතියේ සභාපති වරයා සංවිධායකයින්, වගේම සාමාජික සාමාජිකාවනුත් මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන වගත් කිව යුතුමයි.

දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් සූදානම් කල තෑගි භෝග අතරට අධ්‍යාපන උපකරණ, අභ්‍යාස පොත්, අතිරේක කියවීම් පොත්, වගේම, දහම් පාසල් පැමිණීම සඳහා අවශ්‍ය ඇඳුම් සකසා ගැනීමට උවමනා කරන සුදු රෙදි පවා ඇතුලත් උනා. මේ සියල්ලම අගනා පාසල් බෑගයක බහා අපි ඔවුනට ලබා දුන්නේ DSI ආයතනයෙන් පාවහන් ලබාගැනීමට හැකි තෑගි වවුචරයක්ද සමගින්. එම ආයතනය අප වෙත විශාල වට්ටමක් ලබා දුන්නේ මේ සත්කාර්යය ඔවුනුත් එක හිතින් අනුමත කල නිසාම විය යුතුයි.


පසුගිය සෙනසුරාදා හිමිදිරියේම මේ සියලු දෑ රැගත් අපේ බස් රථය අනුරාධපුරයට ලඟා වෙලා අටමස්ථාන වන්දනාවෙන් පස්සෙ එදින රාත්තිරියෙ අපේ නවාතැන වෙච්ච තිරප්පන්කඩවල රජමහා විහාරයට ලගා උනේ ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි.

අටමස්ථාන වන්දනාව අතරතුර අභය ගිරියේදී සිරා කොලුවාට කෝපිකඩේ සිරා මුලිච්චි වීම.
ඔහුත් අසදෘෂ පිංකමකට දායක වී සිටියා.

මේ විහාරයේ නායක හිමි, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී අලුවිහාරේ විමලරතන නා හිමියන් අප එහි යන විට වැඩ සිටියේ නෑ. නමුත් ‍උන් වහන්සේගේ ගෝලබාලයන් වන කුඩා හිමිවරුන් රැසක් අප පිළිගන්න පෙරමගට පැමිණියා. කසාවතින් සැරසුන මේ කුඩා හිමිවරුන්ගේ දසුන අප කාටත් සංවේදී දසුනක් උනා. ගනනින් 30 කට ආසන්න හිමිවරුන් පිරිසක් තිරප්පන්කඩවල රජමහා විහාරයේ වැඩ වසනවා.

පන්සලේ වැඩ සිටින කුඩා හිමිවරුන්ගේ නාන තොටුපල

දන්සැල් කමිටුවේ අනුශාසක හිමියන් මාස ගනනාවකට කලියෙන් තිරප්පන් කඩවල රජ මහා විහාරයේ විහාරාධිපති විමලරතන හිමියන්ගෙන්, තමන්ට ආධාර කිරීමට දහම් පාසලක් සොයාදෙන ලෙස ඉල්ලීම් කොට තිබුනා. ආර්ථික තත්වයෙන් උපුල් විලට වඩා යහපත් තැනක තිබෙන තම දහම් පාසලට මේ ආධාර ලබාගැනීමට උත්සුක නොවූ සැබෑ යථිවරයානන් කෙනෙකු වන විමලරතන හිමියන් ඒ ආධාර උපුල්විල විහාරස්ථානයේ දහම් පාසල වෙත ලබාදීමට උවමනා සම්බන්ධීකරණය සිදු කලා.

හිමිදිරියේම නිවෙස්වලින් පිටත්ව සිටි ආධාර නඩේ සියල්ලන්ටම හොඳටම මහන්සියි. ඒ නිසා හැකි ඉක්මනින් ඇගපත හෝදගෙන මඳක් ගිමන් නිවාගන්න අපි හැමෝටම උවමනා උනා. මේ අවස්ථාවේ අපගේ සහායට පැමිණි කුඩා හිමිවරුන් විහාරයට ආසන්නයේ පිහිටා තිබෙන තිරප්පන්කඩවල වැව වෙත අප රැගෙන ගියේ අඳුර වැටෙන්නට මොහොතකට කලියෙන්. අපගේ ආගමනය මේ හිමිවරුන් වඩ වඩාත් සතුටට පත් කොට තිබුනා. ඉතාම කුඩා වයසේ කෙළිදෙලෙන් පසුවන මේ හිමිවරුන් වෙත අපේ නඩයේ සිටි මව්වරුන්ගේ අවධානය වැඩි වැඩියෙන් ලැබුනේ මව්කමේ අසිරිය නිසාම වෙන්න ඇති.

තිරප්පන්කඩවල වැවේ වැව් කණ්ඩිය මතට පැමිණි වහාම අපිට දක්නට ලැබුනෙ ඉතාම මනස්කාන්ත දර්ශනයක්. සුදු නෙළුම් මුළු වැවම ආක්‍ර‍මණය කරලා. සිහින් සුළගට නෙළුම් පත්, නෙළුම් පොහොට්ටු වගේම පිබිදිලා ඉන්න සුදු නෙළුම් මල් නැළවුනෙත් අපිව පිළිගන්න වාගෙයි.

අඳුරට මුසුවෙන තිරප්පන්කඩවල වැව


පුංචි හාමුදුරුවරු අපට ඇති තරම් දිය කෙළියට ඉඩ දී වැව් කණ්ඩිය ආසන්නයේ රැදුනා.

හාමුදුරුවනේ...මේ වැවේ කිඹුල්ලු නැද්ද ? අපේ කණ්ඩායමේ කෙනෙකු ගැටලුවක් නැගුවා.

මොකද නැත්තෙ 4 දෙනෙක් ඉන්නවා.

එතකොට මේ වැවේ නාන්නෙ කොහොමද භය නැතුව.

පේනවනෙ වටේටම තියෙන නෙළුම් පදුරු ගොඩ...කිඹුලට යටින් එන්න අමාරුයි ඔය පඳුරු නිසා. ඒත් උන් සමහර වෙලාවට නාන හරියටම එනවා. උන් එහෙ මෙහෙ යද්දි නෙළුම් කොල  හයියෙන් හෙළවෙන නිසා අඳුනගන්න ලේසියි. හැබැයි කවදාවත් ගමේ කෙනෙකුට උන් හානියක් කරලා නෑ.

ගිමන් නිවිලා, අපේ විඩාව සන්සිදුවාගෙන දිය කෙළිය අහවර වෙද්දි අවට පරිසරය කෑලි කපන තරමට කලුවර වෙලා තිබුනා. බැහැරක වැඩම කරලා හිටිය ලොකු හාමුදුරුවො ඒ අල්ල පනල්ලෙ විහාරයට නැවත වැඩම කරලා තිබුනා. උන් වහන්සේ විසින් ඉතාම ලෙංගතුව අපි සියල්ලන්ම පිළිගත්තා.

පිරිසක් රාත්‍රී ආහාරය සකස් කරද්දි තවත් පිරිසක් නායක හිමියන් සමග ආගමික කටයුතු වලට දායක උනා. හෙට උදේම මේ පන්සලේ සංඝයා වහන්සේලාට  දානෙ පිළියෙල කරලා උදේ 9.30 වෙද්දි උපුල්විලට යන්න ඕනෙ. දන්සැල් කමිටුවේ සභාපති තුමා කාට කාටත් ඇහෙන්න හෙට දින වැඩසටහන ගැන දැනුවත් කලා.

පුංචි හිමිවරුන් විශාල ප්‍ර‍මාණයක් වැඩ වසන නිසා ඒ අය භුක්ති විඳින්නට කැමති ආහාර පානත් උදෑසන දාන වේලට ඇතුලත් කරන්න සංවිධායකයින් වේලාසනම තීරණය කර තිබුනා. ඒ අනුව වඩේ, සැන්ඩ්විචස්, රෝල්ස්, මැකරෝනි, ආප්ප, පැටිස් වැනි දෑ උන්වහන්සේලා වෙනුවෙන් පසුදා හිමිදිරියේ පටන්ම සකස් කිරීම ආරම්භ උනා.

උදෑසන 6 කණිසම වෙද්දි නින්දෙන් පිබිදුන පුංචි ස්වාමීන් වහන්සේලා දානය සකස් කරන ස්ථානය වටා රැස් උනා. සමහර කෙනෙකුට ආප්ප උයන්න උවමනා උනා. තවත් කෙනෙක්ට ආප්ප හැන්දෙන් ගලවන්න උවමනා උනා. කෙළිදෙලෙන් ගත කරන වයසෙදිම කසා වතක් පොරවගන්න උනේ ගිහි ගේ ගැන කළකිරීම නිසාම නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසාම ඒ කෙළිකවට වලට අපේ වැඩිහිටියොත් ඉඩ දුන්නා.

ඊළග පෝයට මමත් හාමුදුරු කෙනෙක්

ආප්ප ගලවන්නෙ මෙහෙමයි මාමෙ.

දානය සූදානම් වෙන අතරතුර ඒ පිළිබඳ සොයා බලමින් අපේ කණ්ඩායමට සහාය උනේ විහාරාධිපති හිමියන්ට පස්සෙ පන්සලේ කටයුතු සොයාබලන කඳුරුවැවේ පුන්න හාමුදුරුවො. ඉතාම තරුණ වයසේ සිටින උන් වහන්සේ ඉතාම නිවුන ස්වරයෙන් තමන්ගේ පැවිදි ජීවිතය, තිරප්පන්කඩවල ජන ජීවිතය, යුද්ධය පැවති සමයේ විඳි දුක් ගැහැට, දින ගනන් කැළෑවේ රැය පහන් කල අයුරු අප සමග කථා බහ කලා. මගේ ගුරු හාමුදුරුවොම තමයි පන්සලේ ලොකු හාමුදුරුවොත්, උන් වහන්සෙ තාත්තා කෙනෙක් වගේ මේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම බොහොම වගකීමෙන් ආදරයෙන් රැකබලා ගන්නවා. තමන්ට පුංචි දෙයක්, කෑමක් බීමක් ලැබුනත් හැමෝටම සම සේ බෙදා දීලා තමයි උන් වහන්සේ වළඳන්නෙ. මගේ මහණ ජීවිතයෙ මම දැක්ක උතුම්ම ගතිගුණ තියෙන හාමුදුරුවො තමයි මගේ ගුරු හාමුදුරුවො. පුන්න හාමුදුරුවො හැගීම්බරව කිව්වා.

අද දවසෙ අපි ආධාර ලබා දෙන්නට සුදානම් වෙන උපුල්විල විහාරයේ දහම්පාසලේ කටයුතු කැපවීමෙන් කරගෙන යන්නට දැනුම් තේරුම් තියෙන තරුණ හිමි නමක් ඒ පන්සලේ වැඩ වසන්නේ නැති නිසාම ඒ වගකීම් පුන්න හිමියන් වෙත පවරා තිබුනෙ තමන්ගෙ ගුරු හාමුදුරුවො වන අළුවිහාරේ විමලරතන හිමියන්ගෙ කැමැත්ත අනුවයි.

පුන්න පන්සලේ නැති උනාම මටත් ගොඩාක් පාඩුයි. මේ පුංචි හාමුදුරුවරු වගේම පන්සලේ කටයුතුත් බලාන ඉන්නෙ උන් වහන්සෙ. එහෙම කියලා උපුල්විල දහම් පාසලේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු මග නවතින්න දෙන්න බෑ. පුන්න හිමියො එතනට සම්බන්ධ වෙලා තවම මාස 5යි. ඒ මාස 5 ට ලොකු දියුණුවක් එතැන ඇති වෙලා තියෙනවා. විමලරතන හිමියන්ගෙ අදහස් එහෙමයි.

උදෑසන 8 කණිසම වදිනකොට අපේ දානය සැකසිලා අහවරයි. මේ දාන වේලෙ තියෙන විවිධත්වය වගේම රසවත් ආහාර පාන දුටු ඊලග පොහෝ දින මහණ වෙන්නට නියමිතව ඉන්න පුංචි දරුවෙක්, අද නම් බඩ පැලෙන්නම කනවා යනුවෙන් පැවසුවාම එය හාස්‍යයට කාරණයක් ලෙස අපට දැනුනෙ නෑ. නිතර අනුභව කරන්න නොලැබෙන කෑම ජාති දැක්කම බඩ පැලෙනකං ඒවා කන්න කාටද නොහිතෙන්නෙ. දානයට පෙර බුද්ධ පූජාව පැවැත්වුනේ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.

බුද්ධ පූජාව පවත්වන නායක හිමිවරුන් දෙදෙනා.

ලොකු හාමුදුරුවො නැති තැන විවිධ දඟ වැඩ කරන පුංචි හාමුදුරුවරු බොහොම සන්සුන්ව විහාරාධිපති හිමියන් පිටිපස්සෙ දාන ශාලාවට වැඩියා. ජේෂ්ඨත්වය අනුව පිළිවෙලට උන් වහන්සේලා දැන් අසුන් අරගෙන. ඒ අතර පුංචි අයියා මලෝ දෙන්නෙකුත් වැඩ හිටියා.



විහාරාධිපති අළුවිහාරේ විමලරතන හිමි  සහ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමි

පුංචි හිමිවරුන් වෙනුවෙන්ම සැකසූ ආහාර පාන වලට ඒ අය බොහෝ රුචි උනා. ඒවා මේ පරිසරයෙදි නිතර දෙවේලෙ දකින්න නැති වීම ඊට හේතුව වෙන්න ඇති. අපිත් එක්ක කථා බහෙන් පස්සෙ උපුල්විල පන්සලේ උත්සවයේ සූදානම බලන්න බැහැරට වැඩිය පුන්න හාමුදුරුවො දානය අතර තුර එතනට ආයෙමත් වැඩියා.



කඳුරුවැවේ පුන්න හිමියන් 

අයියා මලෝ දෙදෙනා එක ලගින්ම අසුන් අරගෙන.

දානයෙන් පස්සෙ අතුරු පස විදියට විවිධ පළතුරු වර්ග සූදානම් කර තිබුනා. පුංචි හාමුදුරුවරුන් වළදන්න ආස කරන රඹුටන් විශේෂයෙන්ම එකතු කොට තිබුනා. අප රැගෙන ගිය විශාල රඹුටන් තොගයම ඒ හිමිවරුන් අතර බෙදා දුන්නා.

දානවේලෙන් පස්සෙ අපේ නඩේ උදෑසන ආහාරය නිම කොට නැවතත් බස් රථයට නැගුනෙ උපුල්විල පන්සලට යාමේ අරමුණින්. අළුවිහාරේ විමලරතන හිමියනුත් අපිත් එක්කම බස් රථයට නැගුනා. බස් රථය තැනින් තැන තාර ගැලවුන හුදෙකලා මාර්ගයක ඉදිරියට ඇදෙනවා. වටේටම තියෙන්නෙ එක දිගට පැතිරුණු කුඹුරු යාය. සමහර තැන් වල කුඹුරට යාබදව පවතින ගස් මත ඉඳිවුන පැල්කොටයක් දෙකක් දකින්න පුලුවන්. වල් අලින්ගෙන් වගාව බේරගන්න ඔය පැල්කොට අටවලා තියෙන්නෙ මහත්තයො. තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො  බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.

මාර්ගයට පෙනෙන තිරප්පන්කඩවල  ගම්මානයේ සුන්දරත්වය


ලිපියේ දීර්ඝ බව වැඩ රාජකාරි අස්සෙන් බ්ලොග් කියවන්නට එන යන අයට බාධාවක් නිසා, ඉතිරිය ඊලග කොටසින් කියවමු.




මම කාමරේ අරින සිරා කොලුවා.


Wednesday, August 17, 2016

47 සාජන් සිල්වා

මොකද අයිසෙ නුපුරුදු මිනිහෙක් වගේ බලාන ඉන්නෙ ඔය පුටුව අරගෙන වාඩිවෙනවා. පොලිස් ස්ථානාධිපති තැන උපැස් යුවලට යටින් තමා දෙස බොහෝ වෙලාවක් බලා ඉන්නට ඇතැයි යන උපකල්පනයෙන් සාජන් සිල්වා අසල පුටුවකට හනි හනික බර වූයේ දෙගිඩියාවෙන් ගැහෙන හදවත වාරුකරගනිමිනි.

තමාට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයෙන් තමා නිවැරදි කරු කියලා ඔප්පු උනොත් ආයෙ රස්සාවට එන්න පුලුවන්. එතකං තාවකාලිකව වැඩ තහනම් කොරන්න කියලයි පොලිස් අධිකාරී තුමා නිර්දේශ කරලා තියෙන්නෙ.

මම මිනිහට පැනලා යන්න උදව් කලේ නෑ සර්...සාජන් සිල්වාගේ දෑස්  දිලිසෙන්නේ අපේක්ෂා භංගත්වයේ ගිණි පුපුරු වල එළිය පතිත වූවාක් මෙනි.

හරි අයිසෙ...මමත් හිතන්නෙ නෑ උදව් කලා කියලා...ඒත් නීතිය කාටත් එකයි. දැන් ඉතින් ගෙදර යනවා. පරීක්ෂණ වල ප්‍ර‍තිඵල අනුව අපි බලමුකො ඉස්සරහට වෙන දේ. මගේ රාජකාරිය මම කරන්නෙ. පොලිස් ස්ථානාධිපති තැන ඔහුගේ මේසය මත තිබූ යතුරුලියනය කරන ලද ලිපියකට තදියමේම අත්සනක් තබා නිල් පැහැති බෝල් පොයින්ට් පෑන මේසයේ කෙලවරට වන්නට විසි කලේය.

පොලිස් ස්ථානයේ කොරිඩෝවට පැමිණි සාජන් සිල්වාට ඔහුගේ දෙනෙත් බොද වී ඇති සෙයක් දැනෙයි. පොලිස් නිළ ඇඳුමෙන් සැරසුන විට වෙනදා දැනෙන අාඩම්බරය වෙනුවට මහත් අපහසුතාවක් සමග ලැජ්ජාවක් ඔහුගේ චිත්ත සන්තානයම පීඩාවට පත් කරයි.

තවත් මොහොතකට පසු නිළ ඇඳුමෙන් මිදී සාජන් සිල්වා පොලිස් ස්ථානයට යාබද කුඩා තේපැන් සල වෙත ඇදුනේ වෙනදා පුරුද්දට මිස තේ පානය කිරීමේ අවශ්‍යතාවයකින් නොවේ. අදින් පසු එළඹෙන හෙට දවස ජීවත් වෙන්නේ කෙසේදැයි ඔහුගේ සිත නොයෙක් වර ඔහුගෙන් විමසයි. වැඩ තහනම් කිරීමෙන් පසු රැකියාවක් නොකරන බිරින්දෑ සමග ගෙවන ජීවිතය දුෂ්කර එකක් වන්නට පුලුවන. සාජන් මහත්තයා යනුවෙන් ගම්මුන්ගේ ගෞරවයට පාත්‍ර වූ දවස් දැන් අතීතයට අයත් වූ එවා පමණකැයි ඔහුගේ සිත දෙස් දෙයි.

තේ පැන් හලේදී  තමා පසුකර යන අය තමා දෙස බලමින් සිනා සෙන අයුරක් ඔහුට දැනෙයි. ඒ අතරතුර අතීතයේ දවස් අතර මතකයෙන් සැරසරමින් හුන් ඔහුගේ දැහැන බිදුනේ මේ ස්ථානයේ වේටරයෙකු වූ බන්දුවා ගේ ආගමනය නිසාවෙනි.

සාජන් මහත්තයා අද වේලාසනම ඩියුටි ඕෆ් ද ? මම මේ හුග කාලෙකින් මේ වෙලාවට සාජන් මහත්තයා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කෙ. 

එදා මෙදාතුර පොලිසියේ රාජකාරි කල කාලය තුල මේ තේ පැන් සලේ තමාට වඩාත්ම හිතවත් තැනැත්තා බන්දුවා බව සාජන් සිල්වා දනියි. කට නොකැඩුන, තේ මණ්ඩි ඉවත්ව යන ලෙස හොඳින් පිරිසිදු කල කෝප්පයකම සැමදා තේ පිළිගැන්වූ ඒ හිතවත්කම, භය පක්ෂපාතී කම තවත් දින කීපයකින් අවසන් වනු ඇත.

සාජන් මහත්තයා තේකක් බොනවද ?  

අද තේ එපා බන්දුවො..මම වෙනදා පුරුද්දට ගෙදර යන ගමන් කඩේට ගොඩ වැදුනෙ. තව ටිකකින් ගෙදර ගිහින්ම තේ එකක් බොන්න බැරියැ.

නෑ නෑ එහෙම කියන්න එපා...අපේ කඩේ මහත්තයට අඩුවට හොඳ තේ කොළ වගයක් ලැබිලා..අද ගෙනාපු වණ්ඩු ආප්ප වගේකුත් තියෙනවා.

බන්දුවා ආනාරාධිතවම දුම් දමන තේ කෝප්පයක් සමග වණ්ඩු ආප්පයක්ද මේසය මත තබා රෙදි කඩකින් මේසය මනාව පිස දැමුවේය.

තේ කෝප්පය අතට ගෙන තොල ගාන්නට රුචියක් නොවූ සාජන් සිල්වා, තේ කෝප්පය තුලින් පෙනෙන තමාගේ ප්‍ර‍තිභිම්බය දෙස මඳ වේලාවක් බලා උන්නේය. එයින් පසු ගත වූ විනාඩි කීපයකදී තේ කෝප්පය අවසන් කොට වණ්ඩු ආප්පය මේසය මත තනිකොට තේ පැන් සලෙන් පිටතට පැමිණි හෙතෙම නිවස බලා පිටත් වූවේය.

වෙනදා නිවසේ ගේට්ටුව සමීපයට පැමිණෙන විට ඔහුගේ සිතට දැනෙන ප්‍ර‍හර්ශය අද නැත. වරදක් කොට කට්ටි පනිමින් සිටින ඇට්ටර කොල්ලෙකු මෙන් ඔහු හොර ගල් අහුලමින් ගේට්ටුවේ ඉහළින් වූ යකඩ කොක්ක පන්නන හඬට වෙනදා මෙන්ම ඔහුගේ ප්‍රිය බිරිඳ දේවිකා එහි දිව ආවාය.

අද මොකද මේ වේලාසනම ? ඇය මදක් වික්ෂිප්තව ඔහු දෙස බලා සිටියාය.

යමු ඇතුලට...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. සාජන් සිල්වා වට පිට පරීක්ෂාවෙන් බලා ගේට්ටුව වසා දැමුවේය. මැදි වයස පසු වී විවාහ ජීවිතයට එළඹුන මේ යුවලට තවමත් දරු සම්පතක් ලැබී නැත. විවාහ වී වසර දෙකකට මඳක් වැඩි කාලයක් ගත වී ඇති නිසාම මෑතක සිට ඒ පිළිබඳ තැවෙමින් සිටි සාජන් සිල්වාට රැකියා තහනම අලුත් කම්පනයක් ඇති කොට තිබේ.

රාත්‍රී සේවා මුර අවස්ථාවකදී ඔහුගේ බාරයේ සිටි රිමාන්ඩ් සැකකරුවකු පලා යාමත්, හෙතෙම පොලිසියේ ඇස් වලට වැලි ගසමින් කාලයක් සැගවී සිට අපහසුවෙන් නීතියේ රැහැනට හසුකරගත්, නගරයම මුලා කල දැවැන්ත වංචාවක සැකකරුවකු වීමත් සාජන් සිල්වාට අවාසි සහගත තත්වයක් නිර්මාණය කොට තිබේ.

අද ඉදන් මගෙ වැඩ තහනම් කලා...සාලයේ වූ කුෂන් පුටුවක හිඳගත් වහාම සාජන් සිල්වා දේවිකා දෙස බලා තෙපළුවේය.

මොකක් ? විශ්මයෙන් මුව අයාගත් ඇය එක එල්ලේම ඔහු දෙස බලා සිටියේ මුල් වරට දුටු ආගන්තුක රුවක් දෙස බලා සිටිනා පරිද්දෙනි.

පෙරේදා ෂෙල් එකේ හිටිය හොරෙක් පැනලා ගියා මගෙ ඩියුටි වෙලාවෙ මගේ අතපසු වීමකින්. දැන් ලොක්කො මාව සැක කරනවා උගෙන් සල්ලි අරගෙන මම මිනිහට පැනලා යන්න උදව් කලා කියලා.

හරි වැඩක්නෙ උනේ ? මිනිහව ආයෙ දැක්කොත් ඔයාට අඳුනගන්න පුලුවන්ද ? 

අපොයි ඔව්...මිනිහගෙ ඇස් දෙක මට හොදට මතකයි. පරීක්ෂණ ඉවර වෙලා මම නිවැරදි කාරයා කියලා ඔප්පු උනොත් මට ආයෙමත් රස්සාව ලැබෙයි හිඟ පඩි සල්ලිත් එක්ක. ඒවට ඉතිං ගත වෙන කාලයක් ගැන හරියටම කියන්න බෑ. ඒ අතරතුර කාලෙ අර කාලකන්නියව ආයෙමත් අල්ලගන්න පුලුවන් උනොත් මට කියන්න පුලුවන් කට ඇරලා මම නිවැරදි කාරයා කියලා.

ඊළග මාසෙ ඉඳන් අපි කොහොමද ජීවත් වෙන්නෙ ? අලුතින් ගත්ත ෆ්‍රිජ් එකට තවම වාරික හතරයි ගෙව්වෙ.

ප්‍ර‍ශ්න ප්‍ර‍ශ්න...හැම තැනම ප්‍ර‍ශ්න...ඉහළට ගත් හුස්ම මහත් ආයාසයකින් පහළ දැමූ සාජන් සිල්වා ඇඳුම් උනා දමා නාන කාමරයට වැදුනේය. වතුර මල යටදී ඔහුට වෙනදා දැනෙන සිසිලස අද අහලකවත් නැත.

රාත්‍රී ආහාරයෙන් පසු නිදන ගවුමකින් සැරසුන දේවිකා තම සැමියා අසලින් හිඳගෙන ඔහුගේ උරහිසට වාරු වූවාය.

අපි පුලුවන් විදියකට ජීවතේ ගැටගහ ගමු. ඔයාට බැරි උනොත් මම හරි රස්සාවකට යන්නං. කරදර කාටද නැත්තෙ. මේ අපේ අපල කාලයක් වෙන්න ඇති.

ඇයගේ වදන් සාජන් සිල්වාට තරමක හෝ අස් වැසිල්ලකි. මුඩු වී කතරක්ව ගිය භූමියකට වැටෙන වැහි පොදක් වැන්නේය. ඔහු මහත් වූ ස්නේහයකින් ඇගේ හිස සිප ගත්තේය. මෙවන් බිරිඳක් පමා වී හෝ ජීවිතයට එකතු වීම කෙතරම් වාසනාවක්දැයි ඔහු එකනෙහිම කල්පනා කළේය.

මම අයියට හෙට කථා කරන්නං. එයා වැඩ කරන තොග බඩු බෙදන ඒජන්සියෙ ලොරියක බිල් ලියන වැඩක් හරි ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ. අපි අමාරුවෙන් හරි නැගිටිමු. ඈත පළාතකට යන ලොරියක රස්සාව කලොත් ඔයා දන්න අඳුනන අය මුලිච්චි වෙන්නෙත් නෑනෙ. ඔහුගේ හදවත ගැහෙනා රිද්මය ඇයට වෙනදාට වැඩියෙන් එදා දැනෙන්නට ඇත. බලාපොරාත්තු හීන වී පරාජිත මානසිකත්වයෙන් සිටි ඔහුට දැන් බලාපොරොත්තුවක් තිබේ.

දේවිකාගේ එකම සහෝදරයා ප්‍ර‍සිද්ධ සමාගමක නිෂ්පාදන ප්‍රාදේශීයව බෙදා හරින මධ්‍යස්ථානයක සේවය කල කෙනෙකි. වැඩ තහනමෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ මැදිහත්වීම මත නගරයෙන් එපිට පළාත් වලට භාණ්ඩ බෙදාහරින ලොරි රථයක මුදල් භාරකරුගේ රාජකාරිය ලබා ගන්නට සාජන් සිල්වාට හැකි වූවේය. වෙළඳ සැල් වෙත බිල් පත් නිකුත් කිරීමත්. මුදල් හා ලැබෙන චෙක්පත් සුරැකිව රැගෙන ඒමත් ඔහුගේ වගකීම් වලට අයත් වූවේය.

කාලය වෙනදා මෙන්ම නිසොල්මනේ ගලාන යයි. වැඩ තහනම පිළිබඳ තවමත් හාවක් හූවක් නැත. පොලිසිය හෝ නගරය දෙසට මේ අතර තුර කාලයේ අත්‍යවශ්‍යම දෙයකට මිස නිකරුනේ නොයන්නට පුරුදු වූ සාජන් සිල්වාගේ සැප දුක බලන්නට ඔහුගේ අතිජාත පොලිස් මිත්තරයන් නම් අමතක කළේ නැත. එහෙත් එදිනෙදා වැඩ රාජකාරි අස්සේ කල්යත්ම ඔවුන්ගේ ආගමනයත් මඳින් මඳ හීන වී ගියේය. කලාතුරකින් දවසක මහා මාර්ගයේ සේවයේ නිරත වෙන ට්‍රැෆික් රාළහාමිලා නම් තවමත් පෙර පරිදි අල්ලාප සල්ලාපයේ යෙදෙති.

එක් වෙහෙසකර සති අන්තයක රාජකාරිය අවසන් කොට පැමිණි සාජන් සිල්වා රූපවාහිනිය නරඹමින් විවේකීව උන්නේය. ඔහු අසලින් හිඳගත් දේවිකා ඔහුගේ අතක් සෙමෙන් පිරිමදිමින් සිටියාය. ඇය මෙලෙස හැසිරෙන්නේ ඇයට විශේෂ යමක් කියන්නට ඇති විටෙක බව ඔහු  අත්දැකීමෙන් දනියි.

මොකද දේවිකා හොරගල් අහුලන්නෙ.

ඇය සිනහවකින් ඔහුට සංග්‍ර‍හ කර දීර්ඝ කථාවකට මුල පිරුවාය.

අල්ලපු ගෙදර නැන්දා කිව්වා මහනුවර පැත්තෙ තැනක තියෙන දේවාලෙක දරුවො නැති අයට බාර හාර වෙලා එක එක වත්පිළිවෙත් කරනවලු. එතනට ගිය ගොඩාක් දෙනාට දැන් ප්‍ර‍තිඵල ලැබිලලු. අපි දෙන්නටත් වෙලාවක යන්නලු. ඔයාට නිවාඩු තියෙන වෙලාවක අපිත් යමුද ?

ඔයා ඕවා විශ්වාස කරනවද හැබෑටම ?  දොස්තරලට කරන්න බැරි වැඩ හොර දේවාල කාරයන්ට කරන්න පුලුවන්ද ? සාජන් සිල්වා ඇය දෙස බලා මහ හඬින් සිනහා වූවේය.

ඔයාට ඉතින් හැමදේම සැකයි. පොලිසියේ වැඩ කරපු හින්දද මන්දා. පණ්ඩිතයා නොවී යමුකො අනේ. ගියා කියලා අපිට අවාසියක් වෙන්නෙ නෑනෙ. කවුද දන්නෙ මේ ආරංචිය අපිට ලැබුනෙ අපේ වාසනාවකටද කියලා.

ඇගේ පෙරැත්තය නිසාම ඊළග සති අන්තයේ එහි යන්නට සාජන් සිල්වා තීරණය කළේය. දරුවකු කෙරෙහි දේවිකා දක්වන නොනිත් ආශාවේ තරම ඔහු හොඳින් දනියි. ඒ නිසාම ඇගේ යොජනාව ප්‍ර‍තික්ෂේප කරන්නට තරම් ශක්තියක් ඔහුට නැත.

මහනුවර බලා යන දිනයේ උදෑසනම වෙනදා නැති උද්යෝගයකින් දේවිකා හැඩ වැඩ වෙන අන්දම සාජන් සිල්වා බලා සිටියේය. සුදු පැහැති දිගු සායකින් සහ එයටම ගැලපෙන සුදු පැහැති බ්ලවුසයකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතන ලද දේවිකා වෙනදාට වඩා සුන්දර යැයි ඔහුට සිතුනි.

මොකද අද අමුතු විදියට බලා ඉන්නෙ. ඇය හුරතල් වෙමින් ඔහුගෙන් විමසුවාය.

අද වෙනදාට වඩා ලස්සනයි....ඒකයි බලාන උන්නෙ.

ආ ඇත්තද...අද ගමන ගිහින් ඇවිත් දරුවෙක් එහෙම ලැබුනම අපේ ගෙදරම ලස්සන වෙයි. ඇයගේ අහිංසක ප්‍රාර්ථනය සාජන් සිල්වාගේ සිත යම් තරමකට සංවේදී කළේය.

මහනුවර දක්වා බස්රථයකින් පැමිණ, එතැන් සිට තුන් රෝද රථයක පිහිටෙන් නගරයෙන් හුදකලාව පිහිටා තිබූ දේවාල භූමියට ඔවුන් පැමිණෙන විට හිරු මුදුන් වී තිබුනි. උදෑසන සිට එහි පැමිණි තරමක ජනතාවක් දේවාල භූමියේ ඔබ මොබ ඇවිදිමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිති.


පේනවනෙ ඉන්න සෙනග. ඔයා මේවා බොරු කියලා ගත්කටටම කිව්වට හැමෝම එහෙම නෑ. මෙතනින් ප්‍රයෝජනයක් නැතිනම් මෙහෙම සෙනග එන්නෙ නෑනෙ. දේවිකා රහසින් මෙන් ඔහුට පැවසුවාය.

දැන් අවුරුද්දකට කිට්ටු ඇති මේ දේවාලෙ පටන් අරගෙන. කපු මහත්තයට මළ ගිය ඥාතියෙකුගෙ දිෂ්ඨියක් ලැබිලලු තෝත්තර කරන්නෙ. සමහර අයට බේත් ජාති ගැනත් කියනවලු. අපේ ගෙවල් ලග ජෝඩුවක් තමයි මටත් කිව්වෙ. ලෙඩ රෝග වලට වගේම දරුවො නැති අයටත් එක වගේම පිහිට වෙනවලු.

තමාගේම වයසේ යැයි කිව හැකි පුරුෂයන් දෙදෙනෙක් තරමක් ඈතින් උස් හඩින් පවසන ඇතැම් දේ සාජන් සිල්වාගේ සවනට වැටෙයි.

පැමිණි පිළිවෙලට හිඳගන්නට දේවාල භූමියේ ඉඳිකොට තිබූ කුඩා ශාලාවක ඉඩ පහසුකම් සලසා තිබුනි. හෝරා කීපයක් ගත වෙද්දී උදෑසනම එහි පැමිණි අයගේ වාරය අවසන් වී දේවිකාගේ අවස්ථාව එළැඹිනි. ඒ අවස්ථාවේ එහි පැමිණි දේවාලයේ අත වැසියෙක් කාරණය විමසා දෙදෙනාටම දේවාලය තුලට පිවිසෙන ලෙස උපදෙස් දුන්නේය.

ඔවුන් එහි පිවිසෙන විට විශාල දේවරූපයක් දෙසට හැරී සිටි දේවාලයේ කපු මහතා මහා හඬින් යාතිකා කරමින් සිටියේය. අනතුරුව ගැත්තන් දෙස නොබලාම හෙතෙම ඔවුනට බිම හිඳගන්නා ලෙස අතින් සංඥා කළේය.

පූජා වට්ටියට පඬුරු තියලා භක්තිමත් හිතෙන් වැඳ ගන්නවා හොඳයි.

උස්හඬින් ගැයුන දේව යාතිකා අතර ගත වූ විනාඩි ගනනාවකට පසු පළමු වතාවට දේවාලයේ ප්‍ර‍ධාන කපු මහතා දරුවන් පතා පැමිණි මේ යුවල දෙසට හැරුනේය. එකනෙහිම භූමිතෙල් වැදුන ගැරඩියෙකු සේ එතනින් පලා යන්නට ඔහු සැරසුනත් ඔහුට වඩා වේගයෙන් සාජන් සිල්වා ක්‍රියාත්මක වූවේය.

තෝව තමා යකෝ මම මෙච්චර කල් හෙව්වෙ....

සිදු වූ කිසිදෙයක් වටහාගත නොහී දේවිකා භයෙන් භීරාන්තව තම සැමියාගේ මුහුණ දෙස බැලුවාය.



මම කාමරේ  අරින සිරා කොලුවා.

Sunday, July 24, 2016

56 බණ්ඩාර (2 කොටස)

බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා. 

අද එතැන් සිට.... ළමු කොටස මග හැරුන අය කියවගෙන එන්න.

මොකද මෙතන කරන්නෙ. මම සෑහෙන වෙලාවක ඉදන් බලාන හිටියෙ. ආගන්තුක කෙනෙක් එහෙම කිව්වා. මට ඉතින් හංගන්න දෙයක් නෑ. කලින් වගේම මගේ කථාව මුල සිට අගට කිව්වා.

ආ එහෙනම් ගෙදරින් පැනලා යන ගමන් නේද. දැන් කොහෙද යන්නෙ ? අමුත්තා ආයෙමත් ඇහුවා.

යන්න තැනක් නෑ. සීතලයි.  බඩත් ගිනියි. මම බයාදු විදියට කිව්වම එයා මාවත් කැන්දගෙන බේකරිය ඇතුලට ගිහින් කෑමට දේවල් අරගෙන දුන්නා. කෑම කාලා ඉවර උනාම යන්න තැනක් නැති නිසා අපේ ගෙදර යමුද කියලා ඇහුවම මම හා කිව්වා.

එදා රාත්තිරියෙ ඒ මහත්තයා මගෙන් ගොඩාක් ප්‍ර‍ශ්න ඇහුවා එතැනදි තමයි දැන ගත්තෙ ඒ මගේ අම්මගෙ මල්ලි කෙනෙක් කියලා. එයා ඒ කාලෙ රජයේ පිස්කල් නිලධාරියෙක් විදියට වැඩ කලේ. මීට කලින් කවදාවත් අපි මුණ ගැහිලා තිබුනෙ නෑ. අපේ අම්මට දරුවො 10 දෙනෙක් හිටියත් අම්මගෙ මල්ලි අපිව දැකලා තිබුනෙ නෑ. ලියුම් කරදහියකින් දුක සැප අහනවා මිසක. දුර ඈත අද වගේ යන සිරිතක් තිබුනෙ නැති වකවානුවක මේ කාරණේ පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

මාමා වහාම අපේ ගෙදරට පයින්ඩයක් යැව්වා පුත්තරයා මගේ ලග කියලා. ඒ වෙද්දි මම ගෙදරින් පිට වෙලා මාස 4 කට වැඩියි. මගේ අතුරුදහන් වීමෙන් පස්සෙ තාත්තා මාව හොයාදෙන්න කියලා මගේ පින්තූරෙකුත් එක්කම පත්තරේ දැන්වීමකුත් දාලා. මේ සිදුවීම් වලින් පස්සෙ සෑහෙන කාලයක් යනතෙක් මේ පත්තර දැන්වීම මගේ ලග තිබුනා. ඒත් පස්සෙ කාලෙක මගේ ගේ ගිණි ගත්තම ඒ මතක සටහනත් මගෙන් ඈත් උනා.

මාමා ලග මම ඉන්නවා කියලා පයින්ඩයක් යැව්වත් මගේ අම්මා තාත්තා කවුරුවත් ආවෙ නෑ. ගෙදර ඉන්න අනිත් දරුවො 9 දෙනා එක්ක ඒ අයට මේ වගේ දුරක් තකහනියෙ එන්න ඉඩක් තියෙන්න නැතුව ඇති. ඇරත් මාමා ලග ඉන්නවා කිව්වට පස්සෙ බයකුත් නෑනෙ

මාස 4 ක් තිස්සෙ ඉස්කෝලෙ නොගිය මම මාමගෙ උත්සාහයෙන් එයාගෙ නිවස ලඟ පාත පිරිවෙනකට ඇතුලු කොලා. පිරිවනේ පණ්ඩිත හාමුදුරුවන්ට මාව බාර දීලා උන්නාන්සේගෙ අනු දැනුම යටතේ අධ්‍යාපනය කරගෙන අවුරුදු දෙකකට කිට්ටු කාලයක් උන්නා. ඔය අතරෙදි තමයි පිරිවෙන කිට්ටුව තිබුන ස්ටූඩියෝ එකක ලස්සන දැරිවියක් එක්ක මගේ ඇයි හොදයියක් ඇති උනේ. එයා මට වඩා වයසින් වැඩි උනාට මගෙ පෙනුම නිසාදෝ මට කැමති උනා.

අද වගේ ටෙලිෆෝන් තිබුනෙ නෑනෙ ඒ කාලෙ. සෙනෙහෙ කොල තමයි ඉතින් නිතරම හුවමාරු උනේ. ඔයින් මෙයින් දවසක් අපේ සෙනෙහෙ කොලයක් ලොකු හාමුදුරුවන්ගෙ අතටම අහු උනා. එදා උන්නාන්සෙගෙ කාර්යාල කාමරයට මාව අඩගහගෙන ගොහින් මට වේවැලකින් හොදටම සැලකුවා. එදා හොරෙන් රා බීලා තාත්තගෙන් ගුටි කෑවට පස්සෙ ගේ එපා උනා වගේ මේ සිද්ධියෙන් පස්සෙ මට පන්සල එපා උනා. මාමගෙ ගෙදරින් පැනලා මම ආයෙමත් අපේ ගෙදරට ආවා.

අවුරුදු තුනකට කිට්ටු කාලයක් මම නිවසින් බැහැර වෙලා ඉදලයි ආයෙමත් ඒ විදියට එදා ගෙදර ගියෙ. ඒ ගත වෙච්ච කාල සීමාව ඇතුලෙ මගේ පෙනුම යම් තරමකට වෙනස් වෙලා තිබුන නිසා මගේ බාල සහෝදර සහෝදරියන්ට මාව එක්වරම අදුන ගන්න හැකියාවක් ලැබුනෙ නෑ. ඒ අය මගේ දිහා පුදුම වෙලා වගේ බලාන ඉද්දි අපේ ලොකු අයියා තමයි මේ අපේ මල්ලිනෙ කියලා මාව ගෙට ගත්තෙ. ඒ සද්දෙට තමයි අම්මා දුවලා ඇවිත් මගේ දිහා බලාන අඩන්න ගත්තෙ. අප්පච්චි නම් මම ආවා කියලා මා එක්ක එක වචනයක් කථා කලේ නෑ. පවුලෙ හැම දරුවෙක්ම හැමදාම උදේට දෙමාපියන්ට වඳිනවා. ඒත් එහෙම වෙලාවක වත් අප්පච්චි මා එක්ක කිසිම දෙයක් කථා කලේ නෑ.

ඉස්කෝල ගමන නැවතිලා හිටිය මාව ආයෙමත් ඉස්කෝලෙ යවන්න කවුරුවත් උනන්දු උනේ නෑ. අප්පච්චි එයාගෙ රාජකාරී වැඩ එක්ක කාලය ගත කලා. මම ගෙදර නැවතිලා උන්නෙ. ඔය අතර තුර කාලෙදි මා එක්ක රා බොන්න එකතු උන මගේ අතිජාත මිත්තරයො දෙන්නා බී එම් විජේරත්න, නිහාල් ජයසේන  ආයෙමත් මා එක්ක එකතු උනා. පොඩි පොඩි නොසන්ඩාල වැඩ වලින් පටන් අරගෙන කඩයක් දෙකක් හොරෙන් කඩන තරමට මදාවි වැඩ අපි තුන්දෙනාගෙන් උනා.

මේ විදියට ගියොත් මේකා හිරේ විලංගුවෙ වැටිලා මිසක නතර වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත අප්පච්චි මාව මහනදම් පුරන්න යවන්න තීරණය කොලා.  මගේ වේලාපත්කඩේ තිබුනා මහණ දම් පුරන්න සුදුසු කථාවක්. ඒ නිසා වෙන්න ඇති අප්පච්චි එහෙම තීරණයකට ආවෙ. අන්තිමේදි අප්පච්චි අදුනන ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් මාව මහණ දම් පුරන්න එකතු කලා. මම අවුරුදු 8 කට ආසන්න කාලයක් ඒ විදියට ස්වාමීන් වහන්සේ නමක් විදියට වැඩ ඉන්න ගමන් විවිධ ධර්ම කොටස් ඉගෙන ගත්තා. මාව උස්මහත් කරපු දෙමාපියොත් මට වැන්දා.  ඒත් දැනුම් තේරුම් තියෙන වයසට එද්දි  ලොකු හාමුදුරුවරුන්ගෙ ක්‍රියාකලාපය ගැන කල කිරිලා මම පස්සෙ කාලෙක සිවුරෙන් මිදුනා. ගමට ඇවිත් ආයෙමත් පරණ කාණ්ඩෙ එක්ක එකතු උනා.

ඒ වෙද්දි මගේ ලොකු අයියත් අපේ ගමේ චණ්ඩියෙක් විදියට නමක් දිනාගෙන තිබුනෙ. දවසක් අයියව අල්ලන්න ආව පොලෝසියෙ රාළහාමිලා දෙන්නෙක්ව අයියා එක සැරේ කිහිල්ලෙ ගහගෙන ගිහින් වෙලකට අත ඇරලා දිව්වෙ. එහෙමයි ඒ කාලෙ කොල්ලන්ගෙ ශරීර ශක්තිය. අයියගෙ චණ්ඩිකමත් පැත්තකින් තියෙද්දි ඒ වටපිටාවෙ මමත් චණ්ඩියෙක් උනා.

මේ කියන කාලෙ අපේ ගමේ තිබුනා විශාල බූරු පිටියක්. ගෙවල් වලට හොරෙන් මමයි මගේ අතිජාත මිත්තරයො දෙන්නයි එතනට යන්න එන්න පටන් ගත්තා. ඔතන හිටියා එක මදාවියෙක් හැමදාම වංචා කරලා අනිත් මිනිස්සුන්ට අතින් පයින් සලකලා එලවලා දාන. අපිටත් දවස් දෙක තුනක් මේ මිනිහගෙන් බැට වැදුනට පස්සෙ මමයි යාලුවොයි තීරණයක් ගත්තා ඒකව යටියන්තොට යවලා දාන්න.

දවසක් අපි ඉනේ කිරිච්චි ගහගෙන බූරු පොලට ගියා. මදාවියා අදත් සටනට ආවොත් එතනම බාවනවා කියලමයි අපි එදා හිතාගත්තෙ. සාමකාමීව බුරු ගැහිල්ල ටික වෙලාවක් පැවතුනත් එක පාරටම අර මිනිහා වංචා කරලා කෑ ගහන්න ගත්තා. එතෙන්දි මමයි යාලුවො දෙන්නයි බූරු පොලේදීම 18 පලකට පිහියෙන් ඇනලා ඌව එතනම කම්බස් කලා.

මේ සිද්ධියෙන් පස්සෙ වෙනසක් නැතුව මම ගෙදරට වෙලා උන්නා. ඒත් ගමේ රාජකාරියකට එන්න කලින් ගමේ මුලාදෑනියා දැනුවත් කිරීම තමයි ඒ කාලෙ සිරිත. අන්න ඒ වගේ වේලාසනම මා ගැන කියලා මාව අත්අඩංගුවට ගන්න පොලෝසියෙන් ගෙදරටම ආවා. එදා මම පොලිස් ජිප් එකට නගින හැටි මගේ ගෙදර අය බොහොම දුකෙන් බලාන උන්නා. තාත්තා නම් තරහෙන් පිපිරෙන්න ඇති එයාට වෙච්ච නව නිංගිරාවට.

අවුරුදු එක හමාරක් විතර අපි තුන්දෙනා අච්චු වින්දා. ඒත් මිනීමැරුම ගැන කිසිම කෙනෙක් සාක්ෂි දුන්නෙ නැති නිසා ඒ කාලෙන් පස්සෙ අපි නිදහස් උනා. මේ අතර තුර කාලෙදි මගේ ලොකු අක්කා යුධ හමුදාවෙ සූපවේදයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උනා. ගෙදර හිටියොත් මිත්තර සම්පත්තිය නිසා මම ආයෙමත් හිරේ විලංගුවෙ වැටෙයි කියලා භය වෙලා උන්න තාත්තා, මස්සිනා මාර්ගයෙන් මාව කොළඹ වික්ටරි කියන හෝටලේ වැඩට එව්වා. ඒක තමයි මම අද කරන රක්ෂාවෙ මූලාරම්භය.

දවසට රුපියලේ පඩියට මම හරියටම අවුරුදු 4 ක් එතැන පිගන් හේදුවා. සෙනග බොහොමයක් යන එන හෝටලයක් කිව්වම ඉතින් කොච්චර පිගන් හෝදන්න තියෙනවද. මම ඒ හැමදේම ඉවසගෙන වැඩ කලා සමාජයෙන් කොන් වෙලා ඉන්න මම ආයෙමත් තැනකට එන්න ඕනෙ කියන අධිෂ්ඨානයෙන්. ඒ කාලෙ මේ හෝටලේ උයන වැඩ කරපු කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කියා දුන්නෙ නෑ. ඒත් ඒ අය ඉවුම් පිහුම් වැඩ කරන දිහා බලාන මම තනියම ඉගෙන ගත්තා. ෆ්‍ර‍යිඩ් රයිස් හදනකොට තාච්චිය ලිප උඩ තියලා හොල්ලලා බත් ටික කවලම් කරන විදිය අතේ හුරුවෙන් කරන්න ඕනෙ දෙයක්. මම ඒ දේවල් දිහා කාලයක් පුදුම වෙලා වගේ බලාන උන්නා. මේක කරන්නෙ කොහොමද කියලා ඇහුවට මට ඒ දේවල් කියා දෙන්න කවුරුවත් කැමති උනේ නෑ.

අන්තිමේදි කුස්සියෙන් අතුගාලා ඉවත් කරන ලූණු පොතු, සුදු ලූණු පොතු මහ උරයකට එකතු කරලා ඒවා තාච්චියක දාගෙන තමයි මම ඒ වැඩ කෑලි අල්ලගත්තෙ. හෝටලේ පිගන් හෝදන රස්සාව කලාට මම හෙමින් හෙමින් ඉවුම් පිහුම් කරන හැටි ඉගෙන ගෙන තනියම වැඩ අරගෙන කරන තරමට දියුණු උනා.

අන්න ඒ වගේ මීගමු පැත්තෙ තිබුන මගුල් ගෙදරකට උයන කොන්තරාත්තුවක් දවසක් දා මට ලැබුනා. මේ රාජකාරිය කරන්න මීගමුවට ආවම තමයි පස්සෙ කාලෙක මගේ බිරිඳ වෙච්ච කෙනා මට මුලින්ම මුණ ගැහුනෙ. එයාගෙ අක්කගෙ මගුලට තමයි මම එදා උයන්න ගිහින් තිබුනෙ. අපි මුණගැහිලා කථා බහ කලා විතරයි. ඊට පස්සෙ නොදැනීම ආදරවන්තයො වෙලා තමයි කසාද බැන්දෙ.

තාත්තා අපේ කසාදෙ නුවර ගෙදරදි මහ ඉහළින් ගත්තා. මගෙන් මොන වැරදි අතීතයේ උනත් තමන්ගෙ පුතෙක් කසාද බදිනකොට හැම තාත්තා කෙනෙකුටම ආඩම්බරයක් දැනෙනවා ඇති. අන්න ඒ වගේ මගේ අප්පච්චිත් බොහොම සතුටින් එදා දවසෙ උන්නෙ. ඇරත් ඒ වෙද්දි මම නරක ඇසුරින් මිදිලා...නරක වැඩ වලින් මිදිලා හොද මිනිහෙක් විදියට සමාජගතවෙමින් උන්නෙ.

මම අංගම්පොර ශිල්පය ඉගෙන ගත්තෙ බොහොම පොඩි කාලෙ උනාට එදා ඉගෙන ගත්ත සාස්තරේ තවමත් මතකයි. පස්සෙ කාලෙක මීගමුවට ආවට පස්සෙ මම ෂෝටෝඛාන් කරාටේ පාඨමාලාවකට එකතු උනා. ඒ පාඨමාලාවට අපි එකතුකරගත්තෙ පුහුණුවීම් වලදි අපිට හානියක් උනොත් ඒ වගකීම ගුරුවරු ගන්නෙ නෑ කියන කොන්දේසිය සඳහන් කොරාපු කඩදාසි වල අත්සන් අරගෙන.

ඔය විදියට පුහුණුවීම් කරගෙන ගිහින් එක දවසක් අපට තිබුනා තවත් කෙනෙක් එක්ක මුහුණට මුහුණ සටන් කරන වැඩමුළුවක්. මම පහරක් ගහද්දි එහා පැත්තෙ කෙනා ඒක වලක්වලා ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කරනවා. ඔය විදියටයි වැඩේ සිද්ධ උනේ. එත් මම එදා ගහපු පාරක් මාරක නිළයකට වැදිලා මාස තුනකට පස්සෙ චන්ද්‍රසෝම කියලා කෙනෙක් මැරුනා. එදා ඒ පාර ගැහුවෙ අර මිනිහව මරණ අදහසකින් නෙමෙයි. ඒත් මැරුන කෙනා මම ගහපු පහර වැළැක්වූවෙ නෑ. ගල් පිළිමයක් වගේ බලාන උන්නා. අදටත් මම පුදුම වෙනවා එදා ඇයි මිනිහා එහෙම කලේ කියලා. 

ලංකාව වටේම අරමුණක් නැතුව ගිය මම අන්තිමේදි මගේ ස්ථිර පදිංචිය විදියට මීගමුව තෝරගත්තා. පිගන් හේදිල්ලෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා කෑම ඉවිල්ල විතරක් කරගෙන ගියා. පුංචි පහේ සාද, විවාහ මංගල අවස්ථා මට අඩු නැතුව ලැබුනා. ඒ මුදල් වලින් මම ගෙයක් දොරක් හදාගත්තා. මම දරුවො දෙන්නෙකුගෙ පියෙක් උනා. කොල්ලයි කෙල්ලයි.

කොල්ලා මම වගේම හැඩ රුවට ලස්සනට හැදීගෙන ආවා. අපරාදෙ කියන්න බෑ. මම පොඩි කාලෙ වගේ නෙමෙයි. හරිම සංවර දරුවෙක්. ඒත් එයා......

බණ්ඩාරයන් අහස දෙස බලාගෙන යමක් කියන්නට උත්සාහ කරයි. ඒත් ඒ සඳහා වචන එකතු කරගැනීම උගහට සෙයකි. ඒත් එයා මගෙන් උදුර ගත්තා.  ඔහුගේ කථාව නැවතී සිහින් ඉකිබිඳුමකට හැරෙන අන්දම මම මහත් පුදුමයෙන් මෙන් බලා උන්නෙමි. ඉකිබිඳුම එසැනින් මහා කදුළු ගංගාවක ඇරඹුම වූවේය.

බණ්ඩාරයන් දැන් මා ඉදිරියේ දැන් කුඩා දරුවෙකු මෙන් ඉකිගසා හඬා වැටෙයි. ඔහුගේ සංවේදී බාවය හමුවේ මගේ නෙත් කෙවෙනි අගටත් කදුලක් පිරෙයි. වසර ගනනාවකට පෙර ජීවිතයෙන් සමුගත් ඔහුගේ පුත්‍ර‍යා කෙරේ උපන් පීතෘ සෙනෙහස දෝරෙ ගලා යන අන්දම දෙස මම දුක්මුසුව බලා උන්නෙමි. ඔහු හැකි තරම් හඬා වැටී වෙහෙසක් දැනුන නිසාදෝ නැවතත් මා හා දොඩමළු වෙයි.

අවුරුදු 17 ක් එතකොට මගෙ කොලු පැටියට. ඉස්කෝලෙන් පස්සෙ අතිරේක පන්තියකට යද්දි ලොරියකට යට වෙලා මහ පාරෙදිම මැරුනා. ඒ වේදනාව මට අදටත් බොහොම තදින් දැනෙනවා. පස්සෙ කාලෙක මගේ දුව කසාද බැඳලා ඉතාලියට ගියා. දැන් මම දරුසෙනෙහසක් කියලා දෙයක් විඳින්නෙ නැති තාත්තා කෙනෙක්. මේ හින්දම මම පස්සෙ කාලෙක ගොඩාක් බීමට ඇබ්බැහි උනා. මගේ නෝනගෙ බල කිරීමට අන්තිමේදි මම බීම කොහොම හරි අඩුකරගත්තා. ඒත් ඊට පස්සෙ බුලත් විට කන්න ඇබ්බැහි උනා.

ඔහු බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා කදුළු අතරින් සිනාසෙයි. මේ කුමන මිනිසෙකුදැයි තේරුම් ගත නොහී මම ඔහුගේ දෙනෙත දෙසම එක එල්ලේ බලාන සිටියෙමි.

මගේ ජීවිත කථාව ඔන්න ඔහොමයි පුතේ. මේ ගෙවුන අවුරුදු 63 ට මම ලබපු අත්දැකීම් ඔක්කොම මට මෙතන කියන්න බෑ. ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මහනුවර ඉපදුන මම අද මීගමුවෙ පදිංචි වෙලා. උපතින්ම වලව්කාරයෙක් වෙච්ච මම අවුරුදු හතරක් එක එකාගෙ ඉඳුල් හේදුවා. අපේ දෛවය අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් පව් අනුව මේ සංසාරෙ පුරාම අපිව දිග ගමනක් එක්ක යනවා. ඉපදෙනවා... ආයෙමත් මැරෙනවා ඉපදෙනවා...මේ චක්‍රයෙන් මිදෙන්න අපිට බුදුහාමුදුරුවො මග කියා දීලා තියෙනවා. ඒත් අපේ පව්කාරකමට අපි ඒ මග යන්න නිකමටවත් හිතනවද? බණ්ඩාර උන්නැහේ අපේ කථාබහට තිත තියමින් අන්තිමේදි මගෙන් ඇහුවා.


බණ්ඩාරයන් මීගමු වෙරළේ වාරකන් සමයේ දිය නාමින්.
ඔහුගේ අනන්‍යතාවය සුරකිනු පිණිස සමීප ඡායාරූපයක් වෙනුවට මෙවැනි ඡායාරූපයක් පල කරමි.

්‍







කථාව අහවරයි එහෙනං.


මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...