Sunday, October 23, 2016

50 බියුටිෆුල් ස්ටෝන්

කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවක

ස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක 

අවස්ථාව -  ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක්


මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින් බෑන්ඩ් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙදි තමා....ලොකු අයියා සියරැට් එකක් දකුණු අතින් මේසෙට තට්ටු කරන ගමන් අපි දිහා බලාගෙන කිව්වෙ හදිස්සියෙ යමක් මතක් වෙච්ච එකෙක් ගානට. ඉගුරු දාපු ප්ලේන්ටියෙන් ඉහළට ඇදෙන දුමාරයට තවත් ටිකකින් ලොකු අයියගෙ සියරැට් දුමත් එකතු උනා.

මොකෝ කියන්නෙ...කස්ටිය සෙට් වෙලා යමුද ට්‍රිප් එකක්...ප්ලේන්ටියෙ රස්නෙ වැඩිකමට අයිය බඩාගෙ දිව පිච්චුනත් මිනිහා අදහසක් දුන්නෙ එතෙක් වේලා කඩේ ඇතුලෙ තිබුන නිහඩතාවය බිඳිමින්.

අන්න ගින්දර අයිඩියා එක. යමල්ලා යමල්ලා එකෙන්ම යමල්ලා. ලොකු අයියා අයිය බඩාගෙ යෝජනාව සපථ කලේ කඩේ කොල්ලා ලොකු අයියට ගෙනත් දුන්න තේ කෝප්පෙ දිහා ජාගර බැල්මක් හෙලන ගමන්.

කොහෙද යනවා නම් යන්නෙ ලොකු අයියෙ...VP ගොයියා කඩේ ෂෝකේස් එක ඇතුලෙන් පේන කේක් කෑල්ලක් දිහා පෙරේත කමට බැලුවෙ ඒවා ගන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා වෙන්න ඇති.

කොහෙ ගියත් අපි යන්නෙ බොන්නනෙ බං...ඒ හින්දා අඩියක් ගහලා ආතල් එකේ නාගන්න පුලුවන් තැනකට යමල්ලා.

එහෙනං අපි උණවටුන බීච් එකට යමු....බඩ මහත ජපන් චමියාගෙ අදහසට එකෙන්ම ඇන්කෝර් එකක් නැගුනා.

උණ වටුන

ඔය තියෙන්නෙ අදහස්...එක එකා එක එක කෝස්, ජොබ්, ලව් අරවා මේවා පටන් ගන්න කලියෙන් එහෙනං ඔය කියන ගමන යමල්ලා. නැත්තං ආයෙ අල්ලනවා බොරු. ලොකු අයියගෙ උපදෙස් අනුශාසනා මැද අපේ බෑන්ඩ් නඩේ හා හා පුරා කියලා විනෝද චාරිකාවක යෙදෙන්නයි මේ සූජානම.

ජයන්ත අයියගෙ ඇට්ටේරියා ගහ යට ස්පොට් එකේ ගතවුන තවත් සන්ධ්‍යා වරු දෙක තුනකින්, හිස් උන ප්ලේන්ටි කීපයකින්, විසිකරපු සියරැට් කොට දුසිමකට එකහමාරකට විතර පස්සෙ ගමනට දිනයක්...ගමන යන්න වාහනයක් වගේම ගමනට එකතු කරගන්න පිරිස පිළිබඳවත් අවසන් නිගමනයකට එන්න අපි හැමෝටම හැකියාව ලැබුනා. මෙච්චර කාලයක් දුක සැප එකට බෙදාගෙන එක පවුලෙ සහෝදරයො රැළක් වගේ හිටියට අපිට කවදාවත් විනෝද චාරිකාවක් යන්න තරමෙ ඉස්පාසුවක් තිබුනෙ නෑ. බෑන්ඩ් ගැහිල්ල අහවර කරලා පාසලෙනුත් සමු අරගෙන ඉන්න අල්ල පනල්ලෙ විනෝද චාරිකාවක් යන්න කාලය  ඇති පදම්.

අපේ පුංචි අම්මගෙ පුතාගෙ ගෙවල් ලග තියෙන රෝසා බස් කොටේ බුක් කලා. මොකද වෑන් එකකට කස්ටිය වැඩිනෙ. අනික බීලා වැඩිඋන උන් හිටියොත් උන්ටත් ආතොල් එකේ එන්න පුලුවන්නෙ. උදේ කෑම එක ගෙදරින් අරගෙන යමල්ලා. සල්ලිත් හිගයිනෙ තවම...ජොබ් කරන උන් ඉන්නෙත් මමයි අයිය බඩයි VP යයි විතරනෙ. දවල්ට ඔය මොනා මොනා හරි බඩට දාගමු. ආයෙ වෙන කොහෙවත් නැවතිලි නෑ. කෙලින්ම උණවටුනෙ අරිද ? නාන්න සෝටක් එහෙම අරගෙන වරෙල්ලා. ගෙදරින් ගන්න පුලුවන් උපරිම ගාන අරගෙන වරෙල්ලා. මොකද බෝතල් දෙක තුනක් නැතුව සොමියක් නෑනෙ.

ලොකු අයියා අපූරුවට ගමනේ අරමුණු පැහැදිලි කොලා. සිරා කොලුවත් ඉතින් ඒ වෙද්දි නෝ ජොබ් කම්පැණියෙ ප්‍රාදේශීය කළමණාකරුවෙක් විදියට වැඩ කොරාපු එකෙක් නිසා අපේ නිවසින් විවිධ වියදම් වෙනුවෙන් ලබා දුන්න මුදලින් එකතු කරගත්ත සොච්චම් මුදලක් එක්ක ගමන යන්න එකදු පහදු උනේ පුදුමාකාර සතුටකින්.

කාලය වෙනදා වගේම ටික් ටික් හඬින් ගලා ගියා. දවසින් දවස උණවටුන චාරිකාව යන දවස අපිට ලං උනා. අමතර මුදලක් හොයාගන්න පුලුවන් වෙච්ච උන් ගමන යන්න අලුතින් කමිසයක් කලිසමක් මිළදී ගත්තා. කොහොමින් කොහොම ඕන්න අපි ගමන යන දවසත් උදා උනා.

බෑන්ඩ් කෙරුවාව වසර ගානක් කොරාපු එකෙක්ට වෙලාවට වැඩක් කරන්න කියලා අමුතුවෙන් කියලා දෙන්න උවමනා නෑ ආයුබොවන්ඩ. ඒ හින්දම උදැහැනැක්කෙ ලොකු අයියා එන්න කියලා නියම කරපු වෙලාවටම වගේ එකා දෙන්නා බැගින් ආව පිරිස රෝසා බස් එකක් පිරෙන්න තරමට එකතු උනා.

තවමත් හාත්පස කලුවරයි. සති අන්ත දවසක් නිසාම ගම්පහ නගරයේ තවමත් විශාල ජනතාවක් නෑ. මේ වටපිටාව දෙබෑ කරමින් තවත් මොහොතකින් අපි ඉදිරියේ නැවතුනේ  සුදු පාට බඳ මැදින් නිල් පාට ඉරි සටහන් උන රෝසා බස් එකක්. උණවටුන අපිට සමීප කරන්නෙ මේ රෝසා බස් කොටේ.

රෝසා මේ වගෙයි.

චාරිකාවට සහභාගි වෙන්න ඇවිත් උන්නු හැම දෙනාවම සාදරයෙන් පිළිඅරගෙන, නාම ලේඛණය කාරිය ලකුණු කරලා ඔන්න ඉතින් දෙයියන් බුදුන් සිහිකරගෙන උණවටුන චාරිකාව පිටත් උනා.

නිකං මළගෙදරක වගේ යන්න බෑ ඩෝ...කෝ බෑන්ඩ් කාමරයෙන් අරගෙන ආව බඩු ටික. ඔය ටිකත් සෙට් කරගෙන සින්දුවක් කියන ගමන් යමල්ලා. ලොකු අයියා හැමෝටම අණ දුන්නා. 

තවමත් හරියකට අඳුර මැකිලා නැති හුදෙකලා මාර්ගය දිගේ රෝසා කොටේ ඇදෙන්නෙ විවිධාකාරයේ ගීත ගොන්නකුත් දරාගෙන. පැය කීපයක් ගත උනාට පස්සෙ ගාලු පාරෙ මුහුදට යා උන හිස් භූමියක රෝසා ගිමන් හරින්න නතර උනේ අපේ බොකු බඩවැල් උදෑසන ආහාරයෙන් සන්තර්පණය කරගන්න ඉඩක් ලබා දෙමින්. 

පාතරාසයෙන් පස්සෙ ඔන්න ආයෙමත් රෝසා හැටට හැටේ උණවටුන බලා ඇදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි බස් රථයෙ ඉදිරියෙ හිටිය ලොකු අයියා තරමක කැප් තොප්පියක් එක එකාට ලං කරමින් බස් එකේ පස්සට ආවෙ.  බෝතල්වලට ආධාර කරපියව්....සියරැට් බොන උන් ඒකටත් කීය කීය හරි දියල්ලා...ලොකු අයියගෙ හඩ රෝසගෙ හඩට ඉහළින් නැගෙනවා.

මේ කියන කාලෙ වෙද්දි සිරා කොලුවා සුරා සූදුවෙන් තොර බෝ පැලයක් වගේ කොලුවෙක්. මේ දහජරා බීම මිනිහා පරිහාණිය කරා අරගෙන යනවා කියලා මගේ අක්මාවටම දැනිලා තිබුන නිසා මම ඒ වෙද්දි අමද්‍යප සංගමයෙ ඉහළ තනතුරක් දරමින් උන්නෙ. ඔයින් මෙයින් මගේ වාරයත් ආවා.

බෝතලේට කීයක් හරි දියං. ලොකු අයියගෙ කැප් තොප්පිය මගේ ඉස්සරහා නතර වෙලා. මයෙ දිහා බලාන උන්නා.

ලොකු අයියෙ මම බොන්නෙ නෑ.

උඹ නොබිව්වා කියලා හරියන්නෙ නෑ බොල බොන උන්ට බොන්න හරි මේකට කීයක් හරි දාහං...

මේ ලෝකය හරිම කුරිරුයි වෙලාවකට...අපි කොච්චර උත්සාහ කලත් යහපත් විදියට ජීවත් වෙන්න පාපමිත්තරයො ඉඩ දෙන්නෙම නෑ. ලොකු අයියගේ වදෙන් බේරෙන්නම බැරි උන තැන අනිත් උන් වගේම මටත් බෝතලයට ආධාර කරන්න සිද්ධ උනා.

කැප් තොප්පියට ආධාරයක් තියන ගමන්ම මම හිතින් හිතාගත්තෙ ලොකු අයියෙ මම උඹට දෙන්නං බැටේ කියලයි.

එකතු උන ආධාර මුදල ගැන ලොකු අයියා සතුටින්. ඔහුගෙ මුහුණෙ තිබුනෙ තෘප්තිමත් සිනා රැල්ල ඒ වගට සාක්ෂි. ගාලු පාරට යාබදව මුහුද පේන, වැඩියමක් නිවාස නොපෙනෙන තැනක රෝසා නතර උනා. ලොකු අයියා එක්ක බස් එකෙන් බැස්ස ජපන් චමියා, අයිය බඩා, කිඩා වගේ උන් තවත් මොහොතකින් බස් එකට නැගුනෙ සියරැට් පැකට් දෙක තුනක්, එවකට කාගෙ කාගෙත් නිළ පානය වෙලා තිබුන සීදුවෙ ගල් බෝතල් කීපයක්, බයිට් එකට අවශ්‍ය කළමනා, ෂැන්ඩියට උවමනා දේවල් සහ ප්ලාස්ටික් කොප්ප දුසිමක් සමගින්. මේ දර්ශනය දැකලා බේබදු කැලගෙ කට කනට ගිය අන්දම මගේ නෙත් වලට සම්මුඛ උනත් නොබොන සිරා කොලුවගෙන් එකතු කිරීමේ වෑයම ගැන මම හිටියෙ බොහොම තරහින්.

ඉර මුදුන් වෙන පැයේදි රෝසා උණවටුන වෙරළ පැත්තට ඇදෙන අතුරු මාර්ගයක මඳ දුරක් ගොහින් නතර උනා. ස්නානයට අවශ්‍ය කළමනා, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කළමනා සමග බෝතල් අඩුම කුඩුම ටිකත් හනි හනිකට වෙරළට ප්‍ර‍වාහනය උනා.

හොඳින් ඉර එළිය වැටුන ලස්සන දවසක අසිරිය සිත් පුරා විඳගනිමින් උන්න විදේශික ජෝඩු අප ඉදිරියේම ඔවුනොවුන් සිප ගත්තෙ අපේ කිරි කෝඩු හිත් දූෂණය කරමින්.

ස්නානය පිණිස යොදාගන්න සෝටෙන් සැරසුන බෑන්ඩ් නඩේ උණවටුන වෙරළෙ හෙවන තියෙන තැනක ස්ථාන ගත උනා. බෝතලයක් කඩාගෙන සවුදිය පුරනකම් කාට කාටත් ඉවසිල්ලක් නෑ. බොන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් ගෙදරින් ආව සිරා කොලුවගෙ දැහැන බිඳුනෙ ලොකු අයියා කල නොමනා වැඩෙන්. ඒ හින්දම මමත් බොන උන් අතරින් හිඳ ගත්තා.

උඹ බොන්නෙ නෑ කියලා මොත්තෙ දැම්මා නේද ඩෝ....මම දන්නෙ නැද්ද උඹ ගැන. ලොකු අයියා සාටර් හිනාවක් නගාගෙන කාට කාටත් මදි නොකියන්න උවමනා කළමනා බෙදා දුන්නා. මගේ හිතේ තියෙන තරහා මිනිහා දන්න එකක්යැ...දෙන්නං අද මම උඹට දුවන්නම. මගේ හිත මටම කිව්වා.

මඳින් මඳ සීදුවෙ  හතරැස් බෝතල් වල අඩිය පෑදෙද්දි සිරා කොලුවා උන්නෙ ලග නමමින්. මම තොප්පියට දාපු ගානට වඩා ගානක බීලා මගේ පාඩුව අවම කරගන්නවා. මගේ හිත දැන් එක අරමුණක නතර වෙලා.

අවසානයේ සිරා කොලුවට වෙච්ච දේ සිරා කොලුවා දන්නෙත් නෑ. මට මතක වෙරළේ තැනක ඉඳගෙන ගල් බෝතල් හිස් කරමින් උන්නා කියලා විතරයි.

දැන් සිරා කොලුවට ගැස්සෙන මතුපිටක අපහසුවෙන් වැතිරී ඉන්න බවක් දැනෙනවා. මේ කොහෙද ? මම තනිවම කල්පනා කොලා. ඇස් දෙක අරින්න අපහසුයි. ඔලුව බඹර චක්කරයක් ගානට කැරකෙනවා. මුලු ශරීර කූඩුවම තලා දාලා වගෙයි.

මූ මාර බීමක්නෙ බං බීලා තියෙන්නෙ. බලහං කීයටද කට් ඩවුන් උනේ....තාමත් නිදි.

ඌට දවල්ට කන්නත් බැරි උනානෙ...බොක්කෙ තිබ්බ ඔක්කොම උණවටුන වෙරළට හැලුවා.

ඕකා බොන්නෙ නෑ කියද්දි මමමයි තග දාලා ගානක් කපා ගත්තෙ. ඒ තරහට ලග නැමුවද මන්දා...

මොකද ලොකු අයියෙ කරන්නෙ..මූට ගම්පහට යනකම්ම ඇහැරුනේ නැත්තං අපි මොකද කරන්නෙ...

විවිධ කටහඬ මගේ සමීපයෙන්ම ඇහෙනවා...මම තවමත් උත්සාහ කරන්නෙ මම ඉන්නෙ කොහෙද කියලා හඳුනාගන්න. බොඳ වෙච්ච සිනමා රූප වගේ චාරිකාව යන්න පිටත් උන හැටි, රෝසා උණවටුන වෙරළ කිට්ටුව තැනක නතර උන හැටි මගේ සිහියට ආවා. මම අපහසුවෙන් ඇස් දෙක විවෘත කොලා.

ලොකු අයියෙ මෙන්න මූ ඇහැරුනා. ජපන් චමියා බෙරිහන් දුන්නා.

උඹට දැන් කොහොමද මල්ලි..අවුලක් නෑ නේද...උඹට වැඩි වෙලා බීච් එකේම ඩවුන් ගියා. මාර ගේමක් දීලා බස් එකට පටව ගත්තෙ ඇඳගෙන ආපු ඇඳුම් ටික අන්දවලා.

මට තිබහයි...බඩගිනියි. මම බොහොම අසරණ තාලෙට කිව්වා.

ඉඳින් ටිකක් ඉස්සරහා තේ කඩේක නතර කරන්න කියන්නං. ගාලු කොටුවටත් ගිහින් දවල්ට කෑවෙ හැන්දැ වෙලා. අපි තවම උණවටුනෙන් පිටත් උනා විතරයි බං.

තවත් පැය භාගයක පමණ ඇවෑමෙන් වැහැරී ගිය පෙනුමෙන් යුතු දුප්පත් තේ කඩයක් ඉදිරියේ රෝසා නතර උනා. 

බැහැලා වරෙන් මොනා හරි කාලා තේ ටිකක් බීහං...දවල්ට කන්නත් බැරි උනානෙ. ඔන්න ඕකනෙ බං කියන්නෙ තරමට බීහං කියලා...කොහෙද උඹලා බොන්න ගියාම තියෙන අරක්කු ඔක්කොම පෙරේත කමට බොන්න යනවනෙ. ලොකු අයියා තවමත් දෙහි කපයි.

සිරා කොලුවට ඔලුව කෙලින් කරගන්න තවමත් අමාරුයි. ඒත් මොනා හරි බඩට දාගන්න උවමනාව තදට දැනෙන නිසා වැනි වැනී තේ කඩේ ඇතුලට ගියේ බොහොම ආයාසයෙන්. තේ කඩේ මැද පුංචි වීදුරු ෂෝකේස් එකක කෑම වර්ග කීපයක් තිබුනා. ඊට එහායින් බොහොම පැරණි තාලෙ පුංචි ශීතකරණයක් තිබුනා.

මොනා හරි අරගෙන කාහං...ලොකු අයියා ආයෙමත් කිව්වා.

මම අත් දෙකට වර්ග දෙකක් එක සැරේ ගත්තා.

ඔච්චර එක සැරේ කන්න එපා යකෝ...ගෙවන්න සල්ලි නෑ...ලොකු අයියා වැද වැටෙනවා...ඒත් මට තවමත් මිනිහා එක්ක තරහයි. අතට ගත්ත අඩයකුයි ඥාණ කථාවකුයි කාලා අහවර වෙද්දි අනිත් උන් ටික ප්ලේන්ටියක් බොන්න සැට් වෙලා උන්නා.

මොනවද උඹට බොන්න ඕනෙ ? ලොකු අයියා ආයෙමත් ඇහුවා...සිරා කොලුවා ඒ දිනවල ප්‍ර‍සිද්ධ වෙලා තිබුන පැණි බීම ජාතියක නම කිව්වා. කඩේ හිමිකරුවා පුංචි ශීතකරණෙ ඇරලා බීම බෝතලයක් මගේ ඉදිරියෙ තියෙන ගමන් අනිත් උන්ගෙන් ඇහුවෙ මෙයාට වැඩි උනාද කියලයි. 

සිරා කොලුවා බොහොම අමාරුවෙන් කාලා බීලා ආයෙමත් බස් රථයට නගින්න තේ කඩයෙන් එළියට එද්දි ලොකු අයියා තමන්ගෙ පසුම්බියෙ අදුරු මුලු වල තිබ්බ මාරු කාසිත් එකතුකරගෙන කඩේ බිල ගෙවනවා යන්තමින් මතකයි.

දැන් ඔන්න රෝසා ආයෙමත් සැර දාගෙන ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙනවා. අයිය බඩා, ජපන් චමියා, කිඩා, ජෝතියා වගේම ලොකු අයියත් වරින් වර මා එක්ක කථා බහේ යෙදෙනවා.

උඹ නම් මාර යකෙක්...බීලා බීලා වැඩි වෙලා නටපු පිස්සුවක්.

මට මතක නෑනෙ බං...මට මතක වැල්ලට වෙලා අඩියක් ගගහා හිටියා කියලා විතරයිනෙ.

ඒ උඹටනෙ. උඹ ඇදගෙන වැටෙන්න කලින් වැල්ල පුරාම ඇවිද්දා....ඒ වෙද්දි සිංහල සහමුලින්ම අමතක වෙලා ඉංගිරිසි විතරයි පාවිච්චිය. උඹ අන්තිමට වැල්ලට වෙලා අව්ව තපින සුද්දියෙක් ලගට ගියා. ගිය ගමන් බියුටිෆුල් ස්ටෝන් කියලා ඒකිගෙ කකුල අත ගෑවා. ටිකක් දුරින් හිටිය සුද්දිගෙ මිනිහා උඹට නෙලන්න කියලා එතනට එද්දි අපි දහ අතේ ඌට වැදලා උඹව බේරගත්තෙ.

ඊට පස්සෙ තමයි මෙලෝ සිහියක් නැතුව ඇදගෙන වැටුනෙ. අන්තිමට මේ මහ සෙනග බලා ඉද්දිම උඹේ සෝට ගලවලා...අහවල් එකේ වැලි ගසලා බොහොම අමාරුවෙන් ඔය කලිසම ඇන්දුවෙ...දැන් තේරෙනවා නේද උඹ අපිට දුන්න ආතල් එකක තරමක්.

අනේ අම්මේ ආයෙ සැරයක් අපි ට්‍රිප් ගියොත් මම උඹෙන් නම් බොන්න කියලා කීයක් වත් එකතු කරන්නෙ නෑ...ඇත්තමයි සත්තයි. ලොකු අයියා පරාජිත හඬින් එහෙම කියද්දි බමන හිසින් යුතු වූ සිරා කොලුවට ජයග්‍රාහී සතුටක් දැනුනා.




මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

බියුටිෆුල් ස්ටෝන් කථාව ඇත්තටම සිදු වූවක්ද, අනිත් උන් ගොතන ලද කථාවක් දැයි මම තවමත් නොදනිමි. මේ චාරිකාවෙන් පසු කාලයක් යන තුරු උන් බියුටිෆුල් ස්ටෝන් මතක් කරමින් සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව කීතු කීතු කර දැම්මෝය.

බෑන්ඩ් නඩේ ඊලග වසරේද වාර්ෂික චාරිකාව ලෙස උණවටුනටම ගියෝය. පෙර වර්ෂයේ අමිහිරි මතකයත්, එතෙක් විඳිමින් හුන් නව නිංගිරාවත් නිසා මම එවර සැර පානයෙන් වැළකී හොද ළමයා වූයෙමි. පෙර චාරිකාවේ අත්දැකීම් නිසා එවර රෝසා කොටේට ලොකු අයියා විසින් තැඹිලි වල්ලක්ම පැටවූයේ කට් ඩවුන් වන උන්ගේ මතු ප්‍රයෝජනය පිණිසය.


අප කණ්ඩායමේ සිටි අයිය බඩාත්, කෂ්ඨාත් මා වෙනුවට එවර කට් ඩවුන් වූහ. උන් දෙදෙනා එදා අප හට දුන් ආතොල් එකට පිං සිදු වන්නට එයින් ඉදිරියට අපේ වාර්ෂික චාරිකාව මෙන්ම, බියුටිෆුල් ස්ටෝන් කථාවටද තිත තැබිනි.

ජයන්ත අයියාගේ ඇට්ටේරියා ගහ යට ස්පොට් එක වර්තමානයේ එතැන නැත. අද එතැන රාජ්‍ය බැංකුවක ශාඛාවක් ඇත.


සෑහෙන කාලයකට පසු බෑන්ඩ් කථාවක් ලීවෙමි. අතීතයේ දිනෙක මෙන් විවේකය නොමැති නිසා දැන් දැන් සිරාගේ කාමරය තුල ලිපියක් පල වන්නට ගත වන කාලය ඉතාම ඉහළ ගොස් තිබේ. එය හැකි තරම් අඩු කරගන්නට හැකි සෑම විටම උත්සාහ ගනිමි.

50 comments:

  1. මදෑ ගණන් හිලව් කරගන්න ගිහින් ඔහොම බේරුනා.වැඩිවුනත් කමක් නෑ ඊට පස්සෙ අනිත් උන් ඒක මතක් කර කර චාටර් කරන එකමයි ඉවසන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහෙම කාලයක් තිබුනා. ඔය බියුටිෆුල් ස්ටෝන් කථාව නිසා මම නැත්තටම නැති වෙලා හිටියෙ ඒ කාලෙ.

      Delete
  2. කැම් එකක් සෙට්කරලම දවසක කට් වෙන්නම ගහල බලන්න ඕන.නැත්තං ජීවිතේටම නොදුන්න ආත්ල් දුන්නය කියල තමයි ලෝකයා පහුවදාට කියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද ක්‍ර‍මයක්..නැත්තං ලෝකයා එක එක චෝදනා කරන්න පුලුවන්. ඒත් ඔය හැමඑකටම වඩා හොද ක්‍ර‍මය තමයි තමන්ගෙ තරමට බොන එක.

      Delete
  3. බියුටිෆුල් ස්ටෝ(න්)රි

    ReplyDelete
  4. ඒ කාලේ ගත්තු ආතල් තමයි කවදට උනත් ඉතුරු වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්...ආයෙ ඉතින් එහෙම කාලයක් මේ ආත්මයෙන් චුත වෙනකං අපිට ලැබෙන්නෙ නෑ.

      Delete
  5. ගනන් හිලව් බේරන ක්‍රමයත් නරක නෑ.....

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මීටරෙන් වැඩ කරන එකානෙ...අන්තිමට ලොකු අයියට බර පාඩු...

      Delete
  6. ඔය ඇට්ටේරියා ගහ යට කියන්නේ තානායම ඉස්සරහ BOC දැන් එක තියෙන තැනද ?

    ReplyDelete
    Replies
    1. අන්න හරියටම හරි...එතැන තමයි.

      Delete
  7. එහෙනං මෙහෙමයි නරක් උනේ
    K නැන්දා

    ReplyDelete
    Replies
    1. නරක මිතුරු ඇසුර නිසා තමයි නැන්දෙ නරක් උනේ...ඒත් මම කවදාවත් දුම් පානය නම් කොලේ නෑ...අදත් එහෙමයි...එදත් එහෙමයි...හෙටත් එහෙමම තමයි.

      Delete
  8. බොන්නැති උන් බොන්න ගත්තාම මලම ඇණේ. හරියට වෙජිටේරියන් උන් මස් මාලු කන්න ගත්තා වගේ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++
      ඇත්ත කතාව.

      Delete
    2. මම නම් අකමැතිම දේ තමයි බොන්නැති උනුත් අපි එක්කම වාඩි වෙලා බයිට් එක ඩයට් කරන එක.

      Delete
  9. හැක්.. මදැයි ඔහොම බේරුනා. හැබැයි උඹෙන් ගත්ත ගානට වඩා අනික් උන්ට වද දීල තියෙනව වගෙයි.

    බොන්න පුරුදු උනාට පස්සෙ උනත් එකපාරක් මාත් මොනවහරි අවුලක් වෙලා සිරීපාදෙ මහගිරිදඹේ හරියට යනකල් වමනෙ කර කර ගියා. අන්තිමට කඩේක හිටපු එකෙකුට අපේ එවුවො සීන් එක කිවුවට පස්සෙ ඒකා අමුවෙන්ම දෙහි ගෙඩියක් මිරිකල පෙවුවට පස්සෙ තමයි වැඩේ හරි ගියේ. හැක්..

    ReplyDelete
    Replies
    1. බේත වැරදිනේ බං. අමුවෙන් තව ඩිංගක් ගැහුව නං වැඩේ හරි.

      Delete
    2. පිස්සුද බොල. වතුර උගුරක් බිව්වත් ඒකත් ආපහු දාන තත්වයක් තමයි තිබුණෙ.

      Delete
    3. දෙහි බිව්වම වැඩි වෙන්නේ නැතිද ?දෙහි ගෙඩියේ තියෙන ආම්ලික ගතියත් නිසා.දෙහි ගෙඩිය වෙරි බස්සන්න ඔලුවේ ගාන එකද හරිම ක්‍රමය.

      Delete
    4. වැඩිවීම කොහොම වෙතත් ඒක බිව්වම නිකං අැසිඩ් බිව්ව වගේ උනා.
      ඒ අත්දැකීම පාදක කරගෙන ලෝකාන්තෙ ගිහිල්ල බෝතලේ කටේ තියාගෙන බීල ඔය සෙතේම අත්වෙච්ච එකෙකුට මා විසින් ඔය දෙහි ට්‍රීට්මන්ට් එක දීල ගොඩ දැම්ම. හපොයි දෙයියනේ වැලිමඩ පැත්තෙ දෙහි ගෙඩියක් හොයාගන්න එදා විඳපු දුකක්.

      Delete
    5. අපේ උන් කියන්නෙ ගගහා හිටිය වර්ගය ඉවර වෙලා වෙනත් වර්ගයකට මාරු වෙද්දි පළවෙනි එක නීට් පාරක් ඇරලා දාන්න කියලා. එහෙම නැති උනොත් බඩු මාරු වෙලා, කලවං වෙලා ජංජාලයක් වෙනවලු.

      දෙහි රේණු කෙස් අස්සෙන් හැලෙන සුන්දර දවස් කීපයක් මටත් තිබුනලු ඔන්න.

      Delete
    6. ස්ප්‍රයිට් භාගෙකට දෙහි ගෙඩියයි සීනි හැන්දයි ලුණු හැන්දයි දිය කරලා බොනු.දෑස් හැර ගැනීම,හිස ඔසවා ගැනීම පමණක් නොව කථාකිරීම,සිනාසීම,උගුරත් නහයත් අතර ඇති වමනය කැබලි කාරා ඉවත්කිරීම හා වතුර පානය කිරීමේ හැකියාව විනාඩි දහයක් ඇතුලත ලැබෙනු අත්දුටුයි..! ප්‍රථ්‍යක්ශයි..!!

      Delete
  10. අෆ්පා එහෙම සාටර් වුනාට පස්සේ ආතල් ඉවරයි.අනෙක් උන්ගේ ආතල් එකත් කුඩු සමහර වේලාවට.

    ReplyDelete
    Replies
    1. ආතල් කුඩේ කුඩු වෙන්න ඇති ඉතින් අනිත් උන්ගෙ. මම මක් කොරන්නද ඉතිං...ලොකු අයියා තමයි වගකියන්න ඕනෙ.

      Delete
  11. බොන්නේ නැති උන් නොබීම ඉන්නවනම් හොදයි කියලා හිතෙන්නේ ඔය වෙලාවට තමයි.

    ReplyDelete
    Replies
    1. මම ටික කාලයක් බීලා..මේ කියන කාලෙ වෙද්දි නතර කරලා තිබුනෙ. නමුත් ඒ නැවතීම දිගටම කරගෙන යන්න බැරි උනා මගෙන් සල්ලි ගත්ත නිසා.

      Delete
  12. මොකක්ද බන් මල්ලියේ වරිගේ නහගන්න වැඩ කරන්නේ? යන්තම් අැති උඹ ස්ටෝන් ඔක අත ගාන්න ගිහිල්ලා නැවතුණා. තව දුර ගියා නම් අත පය එල්ලගෙන තමයි ඉන්න වෙන්නේ. අර අපේ ගමයා වගේ පට්ට ගල කිව්වා නම් ඉවරයිනේ.

    ReplyDelete
    Replies
    1. මට නම් තවමත් විශ්වාස නෑ ඔහොම වැඩක් මම කලාද කියලා. මට හිතෙන්නෙම අනිත් උන් බොරු කියනවා කියලා. පට්ට ගල කිව්වට ඉතින් සුද්දිට වැටහෙන්නෙ නෑ නොවැ...

      Delete
  13. දැන් ට්‍රිප් එකක් යන්න ගිහාම කට්ටිය එකතු කරගන්න එක තමයි අමාරුම වැඩේ බං! වැඩ කෝටියයි

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම තමයිං බොලං...දැන් මම විතරයි දරු මල්ලෙක් එක්ක හුරතල් නොවන අපේ සෙට් එකේ එකම එකා.

      Delete
  14. හප්පොච්චියේ...............කවදා හරි තෝත් එක්ක බොන්න සැට් වුනොත්, තෝව ගහකට තියලා බැඳලා තමයි, වැඩේ පටන් ගන්නේ.

    ඉතිං ඉතිං, ඇත්තටම අර ස්ටෝන් ගොඩක් බියුටිෆුල් ද ඈ?

    ReplyDelete
    Replies
    1. බොන්න සැට් උනොත් නෙමෙයි...වෙලාවක අඩියකට සැට් වෙමු. මම ඉතින් තරමට බොන එකා...ඒ නිසා කිසිම ගැටලුවක් ඇති වෙන එකක් නෑ

      ස්ටෝන් එක බියුටිෆුල්ද කියලා දැනගන්න වෙන්නෙ ඒ වෙලාවෙ සිහියෙන් හිටිය අනිත් උන්ගෙන් තමා....

      Delete
  15. සුද්දො එයිද ලංකාවට උඹල වගේ එවුන් ඉන්නකල්.... ගූතලන් උඹ එක්ක මෙච්චර මල ඒකයි...

    ReplyDelete
    Replies
    1. ගූ තලන් කියන්නෙ මිනිහෙක්ද බං..කිඹුලා කියලා තලගොයා පෙන්න තරමේ පල් හොරෙක්නෙ...උන්ට කවුද ගයිඩ් ලා කියන්නෙ...ඒ වගේ උන්ට කියන්න ඕනෙ බීච් බෝයිලා කියලා...

      Delete
  16. කවුරුත් බොන්නේ ඔය වගේ වක්‍ර හෝ කෙලින් ම පාප මිත්‍රයින් නිසා තමයි! මං නං කාටවත් බොන්න කියා කියලා පාප මිත්‍රයෙකු වෙලා නෑ තවම!

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි...බොන්න අකමැති එකෙක්ට කටේ තියලා බලෙන් පොවන්න යන්නෙ නෑ...මොකද එහෙම කරලා ඌ පිස්සු කෙලියොත් අපි වගකියන්න ඕනෙ එතනින් පස්සෙ.

      Delete
  17. මම නං නොබොන උන්ට බොන්න බල කරන්නෙ නෑ. මොකද උන්ට වැඩි උනාම ඒ ටොෆියත් මටනෙ කන්න වෙන්නෙ. ඒ නිසා බොන උන් බීපල්ලා නොබොන උන් බයිට් කාපල්ල කියල හිටියනං ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් බොන්නෙ නැති උන් ලගට ගන්නෙම නෑ...උන් ලග හිටියොත් අපිට බයිට් දාලා ඉවරයක් නෑ.

      Delete
  18. ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න සිරාගේ කාමරේට ගොඩ උනා.දිගටම එන්නම්කෝ ඉස්සර වගේම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට...කාමරේට එන්න හැකි සෑම විටකම.

      Delete
  19. මමත් උණවටුනේ ගිහින් කුජීත උනා වර්ග තුනක් කළවම් වෙලා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උණවටුන වෙරළ භයානක තැනක්....

      Delete
  20. ඉස්සර අපි ප්‍රැක්ටිස් ඉවරවෙලා යන්නෙ පෙරේරා ඇන්ඩ් සන්ස්.ගිහින් ගන්නෙ රෝස් පාන් එකක්.ඒක උඩට දා ගන්නවා සෝස් තලියක්.පස්සෙ පස්සෙ අපි යනකොට සෝස් එක හංගන තැනටම වැටුනා..හෙහ් හෙහ්
    ඕබී වැඩකට අපි සෙට් එක ඉස්කෝලෙ ගිය වෙලාවක ගිහින් ඒ කඩේ වැඩකරපු ඇන්ටිට කතා කරල හිනාවෙලා ආවා..එයාට ඇඬුනා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕවා බොහොම සුන්දර මතක සටහන්..එහෙම නේද ලබ්බො...මටත් ඔවැනිම බොහොම සුන්දර අතීතයක් තියෙනවා...ඒ මතකයන් තමයි කලින් කලට පෙලින් පෙලට කාමරේ ඇතුලට එන්නෙ. බොටත් ජයම වේවා !

      Delete
  21. මූදට පැනල මැරෙනව හොඳයි බං මීට වඩා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම....මටත් හිතුනා මූදෙ පැනලා මලා නම් මීට වඩා හොදයි කියලා.

      Delete
  22. Replies
    1. මේ පැත්තෙ ආව එක ගැන සතුටුයි විජය අයියා

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...